Tuesday, December 23, 2014

100. ආදිල්

හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා…

“මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා…

“පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…”

තමන් කරමින් සිටි වැඩය මඳකට නවතා, තෙත බේරෙන රෙදි කැබැල්ල වමතට මාරු කල ඔහු දකුණතේ ඇඟිලි පහ අභිනයෙන් දක්වමින් සිනාසුනා… මුහුණ පුරා වැඩුනු රැවුළත්…. අපිළිවෙල ඇඳුමත් ඔහුගේ මරුමුස් පෙනුමට කදිමට ගැලපුනත්, බුහුටි දරුවෙකුගේ වන් සිනාව ඒ සියල්ල පරදා සැරසිල්ලක් මෙන් ඔහුගේ මුහුණ අලංකාර කලා… ඒ මීට වසර කිහිපයකට පෙර, ආදිල්ව මා දුටු මුල් දිනය… ඔහුව සිතුවමකට නඟන්නැයි දැන් මට කිසිවෙකු පැවසූවොත් අදත් මා සිතුවම් කරණුයේ එදා ඔහු වතුර බාල්දියක් අබියස සිනහාවෙමින් මාදෙස බලාගෙන සිටි දර්ශනය මිස වෙනෙකක් නෙවෙයි…

ජීවිතය ඇත්තේ හුස්ම ගන්නට බවත්, අන් සියල්ලට ඒ වෙනුවෙන් පමාවිය හැකි බවටත් අමතකවීම ගැන මටම සාපකරගත් මම, දුරකතන ඇමතුමකින් හමුවීම කල්දමා මෝටර් රථයට වැදී සැහැල්ලුවෙන් අසුනේ දිගෑදුනේ ආදිල්ට ඕනෑතරම් වේලාගන්නට ඉඩදෙමින්..

ඒ අයුරින් අහම්බෙන් එකිනෙකාගේ ජීවතවලට හැප්පුන අපි, දවස් කෙටිවෙද්දී, කතාබහ දික්වෙද්දී, කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා… සුවඳ ගහන ෂැම්පු ස්නානයකිනුත්, අනතුරුව දිස්නේ දෙන වැක්ස් සාත්තුවකිනුත් මෝටර් රථය පිරිසිදුකරගන්න තිබුණු අවස්තාව උවමනාවෙන්ම මඟහැරිය මම ඒ වෙනුවට ආදිල්ට මගේ මෝටර් රථයේ කුණු දුහුවිලි සෝදා අරින්න ඉඩදුන්නේ, ඉන් ඔහු තම ජීවිතයේ ගැටළු රැසකුත් සෝදා හරින බව වැටහුණු හින්දා… අපහසුවෙන් ගැටගහන ඉංග්‍රීසියෙනුත්, ඒ ගැට බුරුල් තැන්වල හින්දියෙනුත්, බැරිම අවස්තාවක අතින් පයිනුත්, ආදිල් මට ඔහුගේ ප්ලාස්ටික් බාල්දියේ අරන් තියාගෙන හිටි සිනා කඳුලු පරිස්සමින් අරගෙන විස්තර කලා…

එලෙස මම යන්තමින් දුටු ඔහුගේ ලෝකය සාරාංශ කලොත් මෙවැන්නක්… සුරලොව ඇත්තේ දරුවෙකුගේ සිනහවකත්, යුවතියකගේ කෝල බැල්මකත් බව නොදත් අසංවේදී මෘගයන් රැසක්, සදාකාලික පාරාදීසයක සිහිනය දකිමින් වනසන අවාසනාවන්ත දේශයක් වූ පාකිස්ථානය ඔහුගේ නිජබිම… අඩුවශයෙන් තම දරුවන්ට වත් ඒ අපායෙන්  මිදෙන්නට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පහසුවෙනු වස් ආදිල් මැදපෙරදිග කාන්තාරයට ගාටනවා… නමුත් ඔහුගේ දෙවියන්ට ඇත්තේ වෙනත් සැලසුමක්… ආගමනයෙන් කෙටි කලකට පස්සේ, දිනක් තම ආයතනයේදී සිහිසුන්ව ඇදවැටී ගිලන් රථයකින්  රෝහලට යැවෙන ඔහු මාස ගනනකට පසු ඉන් එළියට එන්නේ හදවත් රෝගියෙකු ලෙසින්… ඔහුගේ පැහැදිලිකිරීම මා හරියට තේරුම් ගත්තානම්  විටින් විට නිකුත්වෙන විද්‍යුත් ධාරාවක් හරහා ඔහුගේ හදගැස්ම නොනවත්වා පවත්වා ගැනීමට දැන් සහාය වෙන්නේ හදවතේ සවිවී ඇති කෘතීම යන්ත්‍රයක්… මිනිස් සබඳතා ආදායම් සහ වියදම් වලින් පමණක් දකින පාලනාධිකාරිය ඔහුව ආපසු ඔහුගේ මව්රටට යවන්නට තීරණය කරනවා… නැවත පාකිස්තානයට යෑම තම දරුපවුල කබලෙන් ලිපට ඇද දමන්නක් බව විශ්වාස කරන ආදිල් තම ගමන්බලපත් ඇතුළු ලියකියවිලි සියල්ල අහිමිකරගෙන ආයතනයෙන්ද, තම නවාතැනින්ද පලායනවා… ඉන්පස්සේ ආයතනයෙන් ඔහුගේ වීසා අවලංගු කරන්නේ නොරටක ඔහු රැකියාවක් අහිමි නීතිවිරෝධී පුරවැසියෙකු  බවට පත්කරමින්…

තම හදවත් යන්ත්‍රයේ බැටරිය වසර හතරකට පසු මාරු කලයුතු බව ඔහුට මතකයි… නමුත් හැදුනුම්පතක් නැති ඔහු රෝහලකට යෑම කල නොහැක්කක්… හැදුනුම්පතක් නැතිව සුදුසු රැකියාවක්ද සොයාගත නොහැකි ඔහු ජීවිකාව වෙනුවෙන් තෝරාගන්නේ තවත් නීතිවිරෝධී දෙයක්… ඒ මහාමාර්ගයේ වාහන සේදීම… කවදා නවතීදැයි නොදන්න යන්ත්‍රයකින් පණ ගැසෙමින්, නොරටක අනවසරයෙන් දිවිගෙවමින්, පොලිස් සංඥා නාදයක් ගැන විමසිල්ලෙන් අනවසර රැකියාවක යෙදෙන ආදිල්, ඔහු වෙහෙසවී උපයන මුදල සම්පූර්ණයෙන්ම පාහේ පාකිස්ථානයට යවන්නේ තම පවුලේ සුභසිද්ධිය වෙනුවෙන්… තම සැමියා මහමඟ දහදිය හෙලන බව ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ… හැඳුනුම්පතක් නැති නිසාම කළුසල්ලි යවන නියෝජිතයන් හරහා මුදල් යැවීමේදී ගෙවන්නට වන සැලකියයුතු කොමිස් මුදලද ඔහු මෙම අවිනිශ්චිත රැකියාවෙන් උපයාගත යුතුයි… එසේ දුක් මහන්සියෙන් යැවූ මුදල් වියදම්කර, තම වැඩිමල් දරුවා බලවත් ඥාතියෙකු හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කලබව මා සමඟ පවසන්නේ මුවපුරා සිනාසෙමින්…

“අලුත් ඉස්කෝලේ හොඳයිද ආදිල්…”

“හොඳයි… පරණ ඉස්කෝලෙ හරි දුෂ්කරයි… අපි ඉන්නේ ගොඩක් කඳු තියෙන පලාතක… දවසට කිලෝමිටර් ගානක් කොටළුවා පිටේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ එන්නේ…”

“වස කරදරයක්නේ…!”

“හහ්….! කොටළුවා ලැබෙන්නෙත් මම රට ඉඳලා සල්ලි යවන හින්දා… අනිත් ළමයි ඒ මුළු දුරම යන්නේ පයින්….. ඔය වීදුරු උස්සගන්න මුදීර්…”

ඔහු කියන්නේ වින්ඩ්ස්ක්‍රීනය හරහා වේගයෙන් වතුර පහරක් ගසමින් … රබර් තලයකින් වීදුරුව පිසදැමෙද්දී ඉන් ඔබ්බෙහි බොඳවී පෙනුනු ආදිල්ගේ රුව පැහැදිලිව පේන්නට පටන්ගන්නවා…

“මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත  විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” හියුගෝ චිත්‍රපටියේ හියුගෝ කියන්නේ එහෙමයි… ඒ විදියට විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ මගේ රාජකාරි වලින් එකක් වුනේ අවසර ලද විටෙක ආදිල්ට සවන්දීම වෙන්නැති.. මම ඒ කලේ උදව්වක්නම්, හිලව්වට ආදිල් මටත් ප්‍රතිඋපකාර නොකර හිටියා නෙමෙයි… ඔව්… සමහරවිට ඔහුටත් නොදැනීම…

මේ එහෙම දවසක්… අපි යොමුකරන්නට යන ව්‍යාපෘති යෝජනාවක, තුන්වෙනි පාර්ශවයක සහයෝගය ලබාගන්නා කොටසක පැහැදිලි කිරීමේ පුංචි අඩුපාඩුවක් නිසා, අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අවශ්‍යය අවසන් අනුමැතිය ලබානොදෙන්න තීරණය කලා…

“කණගාටුයි බීට්ල්… අපිට මේ රිස්ක් එක ගන්න බෑ…” ඔහුගේ පිළිතුරු කවදත් කෙටියි…

පිටපතේ හැටියට ඇත්තේ බලාපොරොත්තු කඩවුණු මම නැඟිට ඒම වුනත්, කඩඉම් දිනයට පෙර වෙහෙසවී වාර්තාව සැකසූ කණ්ඩායම් සගයන්ගේ මැලවුණු මුහුණුත්, කාමරයේ ජනෙල් වීදුරුවෙන් දිස්වුනු ඈත කෙලවරක වාහනයක් හෝදන ආදිල්ගේ දසුනත්, පෙර මා නොකළ ස්ටන්ට් එකක් උත්සාහා කරන්නට මට බල කලා…

“බොස්… උඹට පේනවද අර ඈත වාහනය හෝදන හාදයා…?”

තරමක් ව්‍යාකූලව ප්‍රධානියා ඒ දෙස නෙත් යොමුකල පසු, මා ආදිල් ගැන දන්නා කරුණු සියල්ලම පාහේ සීරුවෙන් ඔහුට පැහැදිලි කලා… වචනයකින්වත් බාධාකලේ ඔහු නොවෙයි…

“දැන් බොස්…! අන්න ඌ නම් ගන්නේ රිස්ක් එකක්… මේක..? මේක ඇත්තටම රිස්ක් එකක් නෙවෙයි… බිස්නස් තීරණයක්…!”

“උඹ කවුද යකෝ මට බිස්නස් උගන්නන්න..!?”

අඩුම වශයෙන් ඒ ආසන්නයට එන පිළිතුරක්වත් මම බලාපොරොත්තු නොවුනාම නෙමෙයි… නමුත් සමච්චල් සහගත සිනාවකින් මුවසරසාගත් ඔහු තම මේසයේ රඳවා ඇති පෑන වෙත අතගෙන ගියා… ඉදිරියට පිනු මට තිබුනේ “සයින් හියර්” ස්ටිකරය සහිත පිටු පෙන්වාදීම පමණයි… ඒ ආදිල් මට මිළකල නොහැකි උදව්වක් කල එක් අවස්ථාවක්…

අවසන්වරට ආදිල් මට හමුවූයේ මීට සති කිහිපයකට කලින්…විසල් අහසට නෙත් යොමාගෙන බැරෑරුම් කල්පනාවක යෙදී ඔහු හිටියේ මෙරටේ ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන්යානා සංදර්ශනයක පුහුණුවීම් කෙරෙන අයුරු ඔහේ නරඹමින්…

“ජාතික දිනේට වීසා නැති අයට එමිර්ගෙන් සමා කාලයක් ලැබෙනවාලු… පොලිසියෙ පැමිණීලි නැතිනම් අපිට පුළුවන් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න…”

“එහෙම වුනොත් ආදිල් යනවද..?”

මම අහද්දී ඔහුගෙ ඇස් දිළිසුනා…

“යන්න ආසයි… ඒත් මගේ ළමයින්ව ඒ අපායෙන් ගලවගන්න නම් තව කාලයක් මට මෙහේ ඉන්න වෙනවා…”

අවදානමට බය නැති ඔහු සමාවට පයින් ගහන්නේ, ඉන්පස්සේ අහුවුනොත් හිරේ ලගින්න වෙන බව නොදැන නෙමෙයි…

“අලුතින් ප්ලේන් හයක් මේපාර ෂෝ එකට එමීර් වෙනම ගෙනල්ලා තියෙනවා…”

මම සමුගෙන ඉවතට ඇවිදගෙන යද්දී, ඔහු කෑගහලා කියන්නේ කොහෙන්දෝ අහුලගත්ත ඕපාදූපයක්…

“කවුද එමීර්ද උඹට කිව්වේ…?”

මම අහන්නේ සරදමට…

“චැහ්…! මේ අලුත් කෙනා මගේ යාලුවෙක් නෙමෙයි,… පරණ කෙනා නම් මගේ යාලුවා…”

ආදිල් උත්තර දෙන්නේ පොඩි ළමයෙක් වගේ හිනාවෙවී … ඒ මම ඔහුගේ අහිංසක හිනාව අවසන් වරට දැක්ක දවස…

දිනගනනකින් ඔහුව නොදැක්ක නිසා ඔහු සාමාන්‍යයෙන් දිවා අහාරය ගන්නවායැයි පැවසූ පාකිස්ථාන භෝජන ශාලාවට මම ගොඩවැදුනේ සුලෙයිමානියක් රසබලන්න විතරක් නෙමෙයි…

“ආදිල් ගෙදර ගියා…”

ගෙදර..!?”

ඔව්…පාකිස්ථාන්…”

මගේ විපරමට මට ලැබුනේ බලාපොරොත්තු නොවූ පිළිතුරක්…

“අර වාහන හෝදන ආදිල්…?”

“ඔව් ඉස්කෝලේ ඇටෑක් එකට  එයාගේ පුතෙක් අහුවෙලා…”

භෝජනාගාර සේවකයා පිළිතුරු දුන්නේ හැඟීමක් නැතුව… හදවත හිරිවැටුනු මම එතැනින් නික්මුනේ, වසර ගණනාවක් තිස්සේ ප්‍රවේසෙමන් එකතුකරපු ඒ අසරණ හදවත් රෝගියාගේ බලාපොරොත්තු ගොන්න එක මොහොතකින් සුණුවිසුනු කරලා දාපු මෘගයින් දවා අළුකරන තරම් කේන්තියකින්… සද්දන්ත ආදිල්ගේ හඬ පුංචි දරුවෙකුගේ ඉකිබිඳුමක් වගේ මගේ හදවතේ දෝංකාර දුන්නා…

“අපේ රට ඉවරයි මුදීර්… ඉවරෙටම ඉවරයි…! දෙවියෝ මේ අපායෙන් මගෙ දරුවන්ව ගලවගන්න ඕනේ…”

 

ප.ලි. : ලියවුනේ අකුරු බ්ලොග් අඩවියේ සියවෙනි ලිපිය…සියයට කෙටිකතාවක් ලියනවා කියලා කාලෙක ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියත් ඒක ගිලිහුනා…මේ ලිපි සියය පුරාවට, මෙම බ්ලොග් අඩවිය කියවන්නට ඔබ වැයකල සෑම තත්පරයක්ම සැබැවින්ම මට ගෞරවයක්… ඔබ සැමට නොවක් තුති…!!!

පිංතූරයේ ඉන්නේ පෙෂාවර්හි කනත්තක භාරකරුවෙක්…

Sunday, December 14, 2014

99. මම බලපු චිත්‍රපටි

image

කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට වෙන වෙනම පාට ගාන එකත් ඒ හැටි අමාරුවක් නැහැ…

පිලිපීන ජාතිකයින්ව එහෙම පාට කරන්න කියලා මට කිව්වොත්, මම පාට කරන්නේ හැම දෙයක්ම පුදුමාකාර සැහැල්ලුවකින් විඳින අපායේ වුණත් හිනාවෙවී දවස ගෙවන විනෝදමත් පාටකින්… කල්ප විනාශය දවසටත් වියැකෙන එකක් නැහැ කියලා හිතෙන ඒ අරුම පුදුම හිනාව අඳින්නේ  බොහෝවිට මහමෙරක් තරම් වෙන දුක් කන්දක් කියලා අන් අයට නොදැනෙන්නට ඒගොල්ලෝ මහ හුඟක් පරිස්සම් වෙනවා… ඒ පරිස්සම මඟහැරුණ ඇසිල්ලක ලැබුණු ඔත්තුවකින්, එකකින් පසු අනෙකක් විදියට බැක් ටු බැක් පිලිපීන චිත්‍රපටි දෙකක් බලන්න මට ඉස්පාසුවක් ලැබුනා… මේ ලිපිය ඒ ආස්වාදය බෙදාගන්න…

මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන කතාවක් තමයි මේක… ඒත් අවංකව කිව්වොත් බැංකු මංකොල්ල කන, ගුවන් යානා හයිජැක් කරන වගේ මාරාන්තික ක්‍රියා මට එක්තරා විදියක වීරකම්… වර්ෂ දෙදාහේ මැයි මාසේ විසි පස්වෙනිදා   පිලීපීන ගුවන් සේවයේ ෆ්ලයිට් 812 හි මඟියෙක් තමන්ගේ ජීවිතේ එතෙක් කල මාරාන්තිකම ක්‍රියාව ක්‍රියාවට නංවනවා… පිලිපීන ජාතිකයෙකුට ප්ලෑන් එකක් තිබීම නිතර වෙන දෙයක් නෙමෙයි… නමුත් නමින් රෙජිනල්ඩ් චුආ වුණ මේ පිලිපීන ජාතිකයාට තිබෙනවා ප්ලෑන් එකක්…එතරම් සංකීර්ණ එකක් නෙවෙයි… පිස්තෝලයකිනුත්, අත්බෝම්බයකිනුත් සන්නද්ධ වෙන රෙජිනල්ඩ් ගුවන් මඟීන්ගෙන් හැකිතරම් මුදල් සහ ස්වර්ණාභරණ කොට්ට උරයකට එකතු කරගන්නවා… සමහර මඟීන් කිව්වේ එහෙම කරද්දී ඔහු කඳුළු සලනවාත් දැක්කයි කියලා… ඊළඟට ගුවන්යානය අඩි 6000 පමණ පහතට ගැනීමට අණකරන ඔහු කැබින් එක depressurize කර ගුවන් යානයේ පසුපස දොර විවෘත කරන්න අණකරනවා… ඒ තමන්ගේ පියාගේ බංකොලොත් වුන කර්මාන්තශාලාවේ සේද රෙදි යොදාගෙන තමන් විසින්ම ගෙදරදී සාදාගත් පැරෂුට් එකක් ආධාරයෙන් බිමට පනින්නට… රෙජිනල්ඩ්ගේ පැරෂුටය ඔහුව නිරුපද්‍රිතව පොළවට ගෙනාවාදැයි චිත්‍රපටියේ කියන්නේ නැහැ…අවශ්‍යයනම් මිනිත්තු කිහිපයක ගූගල් සෙවුමකින් ඔබට එක දැනගැනීමට හැකිවේවි…

තම පවුලේ සමීපතමයන්ට වඩාත් හොඳ හෙට දිනයක් උදාකරන සිහිනය සැබෑකරගනු වස්,  හරිහැටි ක්‍රියාත්මකවේදැයි නොදන්නා පැරිෂුටයක් පැළඳ අහසට පිනූ එකම පිලිපීන ජාතිකයා රෙජිනල්ඩ් පමණක් නෙවෙයි…මා නිවැරදිනම් විදෙස්ගත පිලිපීන ජාතිකයන් යනු ලෝකයේ ලොකුම ඩයස්පෝරා වලින් එකක්… මේ හැමදෙනාටම අඩු වැඩි වශයෙන් ඇත්තේ එකම සිහිනයක් බවට සැකයක් නැහැ…

Metro Manila චිත්‍රපටය මේ කිසිවක් ගැන නොවෙයි…අඩුතරමින් මේ කියන රෙජිනල්ඩ් මේ චිත්‍රපටියේ කතා නායකයාවත් නෙවෙයි… ලිපියේ මම මෙතෙක් හඳුන්වානොදුන් චිත්‍රපටියේ කතානායකයෙකු සිටිනවා… ඔහුගේ සිහිනය මින් වෙනස් වන්නේ ඔහුගේ කැපකිරීම මෙයිනුත් බොහෝ එහාට යන නිසයි… ඒ කැපකිරීම කුමක්දැයි චිත්‍රපටිය නැරඹුවොත් ඔබට දැනගැනීමට හැකිවේවි…

විස්තරයක් ලියන්නට ඉසිඹුවක් නැති, මම සඳහන් කළ අනෙක් අපූරු චිත්‍රපටිය Norte, the End of History… කඩිමුඩියේ නරඹන්නට නොහැකි, පැය හතරකටත් වැඩියෙන් දිවෙන දීර්ඝ සිනමාත්මක නිද්‍රාවක් නිදන්න වෙලාව ඇති කෙනෙකුට පමණයි…

Thursday, December 4, 2014

98. සුපැතුම්!

 C360_2014-12-05

සුමුදු පිනිමත පුරුදු උණුසුම
උදා හිරු පතුරන වෙලේ
අලුත් දවසක පුරුදු හාදුව
සෙනෙහසින් තැවරුනි උදේ

සත් වසක් ගෙවුණත්, තවත්
නුඹ දුටුව මුල් දිනයෙම වගේ
කෝල ඇස් අතරින් අදත්
ආදරයදෝ ඒ දිලිසුණේ

කාලයාගෙන් සොරාගමු අපි
අපව හමුවුණු මුල් දිනේ
ගෙවුණු හැමදින යළිත් එලෙසම
තව වරක් විඳිමුද ප්‍රියේ

වෙහෙස නොබලා තවත් වටයක්
දුවයමුද අපි හිරු වටේ
දෑත පටලන් මමත් එන්නම්
තනි නොතනියට වගෙ නුඹේ

පුරා සව්දිය ඉතින් සමරමු
නුඹ උපන් දිනයම නොවේ
ගෙවුණු වසරෙත් දෝරෙ ගැලු
නුඹ ආදරය මිහිරාවියේ……

ප.ලි. : මගේ ජීවිතයේ හමුවුණු හොඳම මිතුරියගේ උපන්දින සුභපැතුම් පතේ කුරුටු ගෑ අකුරු කිහිපයක් බ්ලොග් අඩවියේත් පළකරන්න හිතුවා…නිධාන කතාව මෙතැන තියෙනවා…

පිංතූරය : Camera360 අනුග්‍රහයෙන්.

Thursday, October 30, 2014

97. පතිනි

 

“අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ..? හැඩයක් හිටින්න කපන්න..!”

“හැඩයක්..!?”

“ඔව්..මෙහෙම මෙහෙම…”

මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය…

“කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ…?”

හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි… 

“ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…”

තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය…

“වැඩේමයි…! බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”

සෞම්‍යාද ලේසියන් පරාජය භාරගන්නට සූදානම් වගක් පෙනෙන්නට නැත…

“බෝරිං ගෝරිං නෙමේ ළමයෝ… හතරටත් ළඟයි… අර වැහි කළුවරකුත් එනවා… දැන්ම ගියොත් සංජේනගර් වලින් පහේ කෝච්චිය අල්ලගන්න පුළුවනි…”

නිත්‍යාට පිළිතුරක් දීමට ඉඩක් නොතබා, පිඟාන සූරා ගත් අන්තිම උප්පමා හැන්දද ඇගේ මුවෙහි වූ කෑම කට උඩටම එබූ මව පැවසූයේ සාලයේ එල්ලුණු පෞරාණික බිත්ති ඔරලෝසුව දෙස බලමිනි…

පියා රාජකාරී අවසන් වී නිවසට ළඟාවීමට පෙර තමාව පිටත් කිරීමට අම්මාට ඇති උනන්දුව නිත්‍යාට වටහාගැනිමට අපහසු නැත… අලුත විවාහ වූ කාන්තාවක තනිවම තම නිවසට පැමිණිම අසල් වැසියන්ගේ විමසිලිමත් දෑස් වලට වසන් කළහැක්කක් නොවේ… මව තම කනස්සල්ල පළකිරීමෙන් පමණක් නැවතුනද පියාණන් පැමිණෙන තුරු රැඳුනොත් මෙසේ තනිවම පැමිණිම ගැන ඔහු බැන අඬගසන බවද ඇය දනී…නමුත් ගංඉවුරක නිදහසේ වැවෙන තෘණ ආදී ශාකයෝ ගඟ ගලන අතටම නැවී වැඩෙන්නේ යම්සේද, නිත්‍යාගේ සිතද තම මහගෙදරටම නැමේ…

“අද ඉඳලා මම හෙට යන්න බැලුවේ…”

නිත්‍යා පවසද්දී…

“චිහ්…චිහ්…”

බලාපොරොත්තු කඩවූ හඬක් නැඟූ අම්මා හිස් පිඟානද රැගෙන නැඟී සිටියාය…

“ගනපති පූජාවට ශංකර් පුතත් එක්කම එන්න… එක දවසට දවස් දෙක තුනක්ම ඉඳලා යන්න බැරුවායෑ…”

අනතුරුව මුළුතැන්ගෙයි ජලකරාමයේ හඬ අතරින් මවගේ හඬ නිත්‍යාට යන්තමින් ඇසුණි

ශංකර් යනු නිත්‍යාගේ පළමු සැමියා නමුත් ඇගේ දෙවැනි විවාහයයි… බැලූ බැල්මටම විහිළුවක් සේ හැඟෙන මෙම ප්‍රකාශයට අඩිතාලම වැටුණේ මීට අවුරුදු ගණනකට පෙර සිදුවීමකිනි...

++++++++++++++++++++++++++

ජ්‍යෝතිෂ්‍ය ගුරුකම් වැඩ ගැන දැනුමක් ඇතැයි නෑ පරපුර අතර පරසිදු ලාලාජී සීයා දිනක් හිමිදිරියේම නිත්‍යාගේ නිවසට ගොඩවෙද්දී ඇය සිටියේ නංගී සමඟ රංගෝලියක් ඇඳීම සඳහා දොරකඩ සෝදමිනි… රකින්නට පවුලක්ද, රැකෙන්නට රැකියාවක්ද නොවූ ලාලාජී සීයා විටෙක  සායිබාබා ආරාමයේද, තවත් විටෙක උතුර බලායන නොයෙක් වන්දනා නඩ වලට දැනමුතුකම් සපයමින්ද දවස ගෙවන බව පියා වරක් පැවසීය… ඉඳහිට එම කටයුතු වලින් වෙහෙසට හෝ කලකිරීමට පත්වෙන ඔහු තම නෑදෑයෙකුගේ ගෙදරකට ගාටයි… නමුත් ඒ දිගුකලකට නොවේ… ටික දිනක් නිවසේ වැඩිහිටි සත්කාරයෙන් සැළකුම් ලබන ලාලාජී සීයා දිනෙක හිමිදිරියේම පැදුරටත් නොකියා පලායන්නේ නිවැසියන් ඔහුගේ ගුණමකුකම ගැන අවලාද නගද්දීය…  ලාලාජී සීයා පියාට නෑදෑයෙකු වන්නේ කෙසේදැයි අම්මාද හරිහැටි දැන නොසිටි බව ඇය පවසනු නිත්‍යාට මතක තිබේ…

කලකට පසු  නෑගම් පැමිණි ලාලාජී සීයාගේ ආගමනය ගැන මෙවර නිත්‍යාගේ අම්මාටද සතුටුවන්නට හේතුවක් තිබුණි… ඒ මීට මාස කිහිපයකට පෙර නිත්‍යා වැඩිවියට පැමිණීමයි… චාරිත්‍රානුකූලව සියලු පූජාවන් කෙරුනද ඔසප් නිමිති අනුව දරුවාගේ විවාහ ජීවිතය ගැන ලාලාජී සීයාගෙන් අනාවැකියක්  දැනගැනීමට ඇයට අවශ්‍යයතාවයක් තිබුණි… නිත්‍යාගේ පියාගේ වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දිනය අවසානයේ ඇය තම අදහස සැමියා හරහා ලාලාජී සීයාට දැන්වූවාය..

ගෙපිළද, මඳවශයෙන් මැද මිදුලද එළිය කල ලාම්පුව යටට වී එදින රාත්‍රියේ ලාලාජී සීයා, පියාගේ පරණ බිල්පොතක පිටපැත්තේ කුරුටුගාමින් ඇගේ අනාගතය විසඳනු නිත්‍යාට මේ දැනුදු මතකයට නඟාගත හැක…බැරෑරුම් මුහුණක් මවාගෙන විටෙක හේ තනිවම මොනවාදෝ මතුරයි, තවත් විටෙක සුළැඟිල්ලෙන් පටන් ගෙන දබරැඟිල්ලටද, පෙරළා දැබරැඟිල්ලෙන් පටන් ගෙන සුළැඟිල්ලටද ඇඟිලි උරුවමින් ගණනය කරයි…ඒ හා සැණින් යමක් වැරදුණ අයුරින් තම සටහනේ ඇති යමක් කපා දමයි…ඊට ඔබ්බෙන් අලුත් යමක් ලියැවෙයි… නැවත කට ඇදකරගෙන හිස දෙපසට වනයි… මවද පියාද දේව වාක්‍යයක් ඇසීමට මෙන් සැදී පැහැදී එකත්පස්ව වාඩිවී සිටිති…

“මේ දවස එහෙම වැරදුණේ නෑ කියලා විශ්වාසයි නොවෙද…?”

ලාලාජී සීයා අසන්නේ නළල රැළිකරගෙන එක් ඇසක් අනෙකට වඩා විශාල කරගෙනය… දෙමාපියන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන ඔහු නැවත ගණනය පටන් ගනී… ශ්ලෝකයක් මුමුණයි… තම ගණනය කිරීම් අවසන් බව පෙන්නන්නට මෙන් කටු පැන්සල බිල් පොත උඩට විසිකළ ඔහු ආසනයේ පසුපසට දිගාවූයේ මෙසේ සෑහෙන වේලාවක් ගතවූ පසුවයි…

මෙතෙක් වේලා නැගණිය සමඟ මැද මිදුලේ චිර්පි පනිමින් සිටි නිත්‍යා තම වටය පරාජය වූයෙන්  අම්මා අසලින් වාඩිවූවාය,,,

“නැකත නම් පාප නැකතක්… කොහොම ගැටගැහුවත් පරහක් හිටිනවා…”

බාගෙට හැපූ අම්රිති වළල්ලක් මෙන් කට ඇද කරගෙන ලාලාජී සීයා පැවසීය,,,

“කොහොම පරහක්ද ලාලාජී…?”

“පළමු විවාහෙන් වැන්දඹුවක් වෙන එක නවත්තන්න නම් බෑ ඕං…”

“අරේ බාප්රේ….!!!”

ඇස්ගෙඩි ලොකුකරගත් අම්මා එක අතකින් මුව වසාගෙන නිත්‍යා දෙස බැලුවාය…නමුත් නිත්‍යා බලාසිටියේ චිර්පි පෙතේ අවසානයට ළඟාවූ නංගී අනෙක්පස හැරී දෑසම වසාගෙන පෙත්තා පසුපසට විසිකිරීමට සූදානම්වෙන අකාරයයි...

“බැරිද ලාලාජී මේකෙන් ගැලවෙන්න…?”

නිත්‍යාගේ පියා ඇසුවේ බඩ හරහා වැටී තිබුණු ජනෙව්නූල අතගාමිනි…

“නැකතයි ක්‍රමෙයි දන්නවානම් කල්ප විනාශෙනුත් ගැලවෙන්න ක්‍රම තියෙනවා…හෙහ්…හෙහ්…”

ලාලාජී සීයා පවසද්දී නිත්‍යාගේ දෙමාපියන්ගේ දෑත් ඉබේම එසවී පපුව අබියස රැඳුනි…

“දරුවෝ මෙහේ එන්න බලන්න…”

ඉන්පසු ලලාජී සීයාගේ කැඳවුමෙන් අකමැත්තෙන් මෙන් නැඟී සිටි නිත්‍යා, මව විසින් පොළඹවනු ලදුව ඔහු අසලට ඇදුනාය…

“කීයද දරුවෝ උඹගේ වයස…?  දාහතරයි නේද…?”

ඇගේ හිස සෙමින් අතගාමින් ලාලාජී සීයා ඇසීය…

“ඔව්…”

“කළවයස හොඳයි… එහෙනම් අපි හෙට දිහාට කසාදයකුත් බඳිමු…”

“කසාදයක්… කාවද…?” නිත්‍යා ඇසුවේ පුදුමයෙනි…

ටික වේලාවක් වටපිට බැලූ ලාලාජී සීයා අවසානයේ තීරණයකට එළඹියාක් මෙන් මුළුතැන්ගෙය ඔබ්බෙහි වූ නාඹර  කෙසෙල් ගසක් පෙන්වීය…

“අරයව…”

“කෙහෙල් ගහක්..!!!” බකස් ගා එළියට පැන්න හිනහව නංගී ක්ෂණිකව නවතාගත්තේ මෙය විහිළුවක්ද නැත්ද යන්න ඇයට හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවුණ බැවිනි…

“ඔව් කෙහෙල්ගහක්…  දූගේ පළවෙනි විවාහය වෙන්නේ කෙහෙල්ගහක් එක්ක… ඊට පස්සේ බැරුවයෑ ඕනෑ කෙනෙක් බඳින්න…”

නැකතද ක්‍රමයද දන්නා ලාලාජී සීයා  නිත්‍යාව  ලෝක විනාශයෙන් ගලවාගත්තේ එසේය… පෙරදිනයේ කෙළිදෙලෙන් බට්ටා පනිමින් සිටි නිත්‍යා පසුදින ලාලාජී සීයාගේ වතාවත් මැද කෙසෙල් ගසක් සමඟ යුගදිවියට එළඹුනි…පතිනියක වුවද ඉන් ඇගේ ජීවිතයට අබමල් රේණුවක්වත් වෙනසක් ඇතිවූයේ නැති… එක්තරා හිමිදිරියක සුපුරුදු පරිදි ලාලාජී සීයා  කාටත් නොදන්වාම නික්මගොස් තිබුණි… ඉන් දින කිහිපයක් ගතවෙද්දී නිවසේ සියල්ලන්ටම නිත්‍යාගේ විවාහය අමතකව ගියේය… පියාණන් පමණක් විටින් විට කෙසෙල් ගස මියයාදැයි පරීක්ෂා කළ අතර, එය පෙරටත් වඩා සාරවත්ව පඳුරුදමමින් වැඩෙන්නට වූ විට කෙල්ලගේ වාසනාව යැයි පවසා සිත සනසාගත්තේය… ඉන් වසර ගණනකට පසු දෙමාපියන්ගේ යෝජනාවකට අනුව ශංකර් සමඟ යුගදිවියට එළඹෙන තෙක් ඇය විවාහය යනු කුමක්දැයි නොදැන සිටියාය…

++++++++++++++++++++++++++++

නිත්‍යා පියවි සිහියට පැමිණියේ නිවස සිසාරා පැතිරුණු ගොරහැඩි ඝණ්ටා නාදයකිනි … සාලයෙහි ප්‍රධාන බිත්තියේ එල්ලීගෙන  නිවසේ පෞරාණික ඔරලෝසුව කෑගසයි… නිත්‍යාට වඩා වයසැති මෙම ඔරලෝසුව ඇයට මතක ඇති කාලයේ පටන් මහගෙදර තිබෙන්නකි… ඒ හා සමානවම ඇය මතක ඇති කාලයේ පටන් දකින තවත් දෙයක් ඇත්නම්,  ඒ තම පියා සතියකට හෝ දෙකකට වරක් ඔරලෝසුව ඉදිරියෙන් තැබූ කුඩා ටීපෝවකට නැඟී  විටින් විට එය වයින් කරන ආකාරයයි…  දේවකාරියක් ඉටුකරන්නාක් වැනි ගෞරවයකින් පියා නොවරදවා එය ඉටුකරන නිසාමදෝ ඔරලෝසුව නැවතී තිබූ දිනයක් ඇයට මතකයට නඟාගත නොහේ… එහි පැයකටුව කැරකෙන අයුරු කුඩා සංදියේදී ඇයට මහත් අරුමයක් විය… ඔරලෝසුව ඉදිරියට වී කොතෙක් ඇස් දල්වාගෙන සිටියද  පැයකටුව සෙලවෙන අවස්ථාවක් ඇයට දැකගැනීමට නොහැකි විය… එහෙත් මඳකට අවධානය ගිලිහීමෙන් පසුව බැලූවොත් මැජික් එකකින් මෙන් එය ඉලක්කම් කිහිපයක්ම පසුකර ගමන් කොට තිබේ…

නිත්‍යාගේ අලුත් නවාතැන වූ ශංකර්ගේ නිවසේ තිබුණෙ බැටරියෙන් ක්‍රියාකරන ඔරලෝසුවකි… එහෙයින් එය වයින් කිරීමට කිසිවෙකු අවශ්‍යය නොවූ අතර පැයකටුව සැබැවින්ම සෙලවෙන අයුරු ඇය මුලින්ම දුටුවේ එහිදීය…පැයකටුව හතරේ ඉලක්කමට වන් සැණින් මැලවුණු ගතින් අවදිවන ඇය දවසේ වැඩකටයුතු අරඹයි… පාතරසය ගෙන ශංකර් නික්ම ගියපසු ඔහුගේ මහලු දෙමාපියන්ගේ වතාවත් අවසන් කරන ඇයට, පැයකටුව අටේ ඉලක්කම ආසන්නයේ ගිමන් හරින අතරේදී මඳ  විවේකයක් ලැබේ… අනතුරුව ඩාබාවල්ලා ගේ බයිසිකල් සීනු නාදයට පෙර ශංකර්ගේ දිවාඅහාරය සකසා අඩුක්කරන ඇය, ඔහු පිටව ගිය පසු වෙද්‍ය උපදෙස්වලට අනුකූලව දෙමාපියන්ගේ දිවා ආහාරය වෙනම පිළියෙල කිරීම අරඹයි… මේ මුළු කාලය පුරාවට තමා හා තරඟයට මෙන් කරකැවෙන පැයකටුවට ඇය විටින් විට විරිත්තයි… තරඟයේ ඇය පරදින්නේ හවස්වරුවේ ශංකර් නිවසට පැමිණෙන කණිසමේදීය… ඉන්පසු ඔරලෝසුව දෙස බලන්නට ඇයට ඉස්පාසුවක් නොවේ… මූසල විලාපයකින් පැයකටුව රාත්‍රී දහයේ කණිසම සටහන් කරද්දී රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ශංකර් කාමරයට ඇතුළුවෙයි… ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය කැටිකරගන්නා ඇය, තම නිදන ගවුම මුදාහැර ඔහුගෙන් ඉවතට නැඹුරුවී තදින් දෙනෙත් පියාගනියි…

දීර්ඝ සුසුමක් හෙලූ නිත්‍යා නංගී දෙස බැලුවාය…ඇය තවමත් දිව උරුක්කරගෙන සැරසිල්ල සමඟ ඔට්ටු වෙයි… අම්මාගෙන් සද්දයක් නැත්තේ ඇය මුළුතැන්ගෙටවී පියාගේ සවස තේපානයට රසකැවිලි සකසනවා විය යුතුය… දැන්ම පිටත් නොවූවොත් පහේ කෝච්චිය ඇයට මඟහැරෙනු ඇතැයි නිත්‍යාට සිතුණි… ඊට පෙර දහස්වරක් තම සිත සමඟ තර්ක කර පැමිණි මේ ගමනේ අරමුණ ඉටුකරගෙන යෑම මැනවැයි ඇය කල්පනා කලාය…හොර ගල් අහුලන පූසියක මෙන් ඇය සෙමෙන් හඬ අවදි කළාය…

“සම්මු….”

“හ්ම්…”

“ඔයා අර කෙහෙල් ගහ අඳුනනවද…?”

“හ්ම්…” ගතත් සිතත් දෙකම තම කාරියට යොමුකරගෙන සෞම්‍යා හිස නොඔසවාම පිළිතුරු දෙයි…

“මොන කෙහෙල් ගහද…?” නිත්‍යා ඇසීය…

එවර කැටයම් පිහිය සැරසිල්ල මත තබාගෙන හිස එසැවූ සෞම්‍යා වික්ෂිප්තව ඇය දෙස බලා සිටියාය…

“අර ලාලාජී එකපාරක් මාව කසාද බැන්දුව කෙහෙල් ගහ…”

නිත්‍යා පවසද්දී සෞම්‍යාගේ මුවඟට සිනාවක් නැඟිනි…

“අර තියෙන්නේ පිටිපස්සේ, කොත්තමල්ලි ගහ ගාව…අම්මා කිව්වා එක උදුරලා දාලා එතන කොම්පෝස්ට් පෝර මැෂින් එක හයිකරන්න ඕනේ කියලා…”

අනතුරුව නංගී ප්‍රශ්න වැලක් අසාවියැයි නිත්‍යා බියවුවද ඇය නැවත සැරසිල්ලට හිස ඔබාගත්තාය…නැඟී සිටි නිත්‍යා මුළුතැන්ගෙයි පිටත දොරින් මිදුලට පිවිස කොත්තමල්ලි ගස ඇති පැත්තට ඇවිද ගියාය…. මනරම් පත්‍රයෙන්ද, සහපිරිවරින් එකට බැඳුනු නේක කඳින්ද සුසැදි එය දැන් සාරවත් කෙසෙල් පඳුරකි… සුළඟට ඉරුනු කෙසෙල් පත් හරහා පෙරීඑන සැඳෑ හිරුරැස් වලින් මුවාවීමට අතක් නළලටද අනෙක් අත ඉනට තබාගෙන ඇය තම ජීවිතයේ පළමුවරට ඒ දෙස බලා සිටියාය…

“ළමයෝ කෝ අක්කා …දැන් ගියේ නැතිනම් පරක්කු වෙයි… “ ටික වේලාවකට පසු අම්මා හඬගානවා නිත්‍යාට  ඇසුණි…

“අන්න අම්මා කතාකරනවා…”

පිටුපසින් පැමිණි නංගී පැවසුවේ නිත්‍යාගේ බඳවටා දෑත්යවා ඇය බදාගනිමිනි…

කිසිත් නොකියා ආපසු හැරුණු ඇය සෞම්‍යා දෙස බලා සැහැල්ලුවෙන් සිනාසුනි…ඉන්පසු ඇගේ අත අල්ලාගෙන පෙරමුණ ගත්තාය…

“නෑ…!!!”

එකවරම නිත්‍යා පැවසුවේ නංගී සමඟ අත්වැල් අල්ලාගෙන ආපසු නිවස දෙසට පැමිණෙන අතරේය…

“මොකද්ද…?”

“ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ…”

තමා අක්කාගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්දැයි  සෞම්‍යා කල්පනාකරන අතරේ මුළුතැන්ගෙට පිවිසුණු නිත්‍යා දණක් නවා තමාගේ දකුණතින් අම්මාගෙ දෙපා ස්පර්ශ කර ආචාරකළේ පිටවයෑමට සූදානමිනි… අම්මා මෘදුව නිත්‍යාගේ හිස අතගෑවාය…

“මොකද්ද මම අහපු ප්‍රශ්නේ..?”

පිටවයාමට පෙර හාදුවක් දෙන අතරේදී සෞම්‍යා නැවත ඇසූවද පිළිතුරක් දුන්නේ නිත්‍යා නොවේ… තම අත් බෑගය කරට දමාගත් ඈ ඔරලෝසුව දෙස බැලීය… පහේ කෝච්චිය අල්ලගන්න පුළුවන් වේවි… ඇයට සිතුණි… අම්මාද, නංගීද දොරකඩට වී බලාසිටියදී ඇවිද ගිය ඇය, ගේට්ටුවෙන්  පිටවීමට මොහොතකට පෙර හදිසියේ යමක් සිහිවූවා සේ ආපසු හැරී බැලුවාය…

“කෙහෙල් පඳුර ගැලෙව්වොත්, මම නෑ කියලා හිතාගන්න…!”

ඇය පැවසුයේ ඔවුන් දෙදෙනාටම ඇසෙන පරිදිය…

~නිමි~

චිත්‍රය ඇන්දේ : sanjay14

Thursday, September 11, 2014

96. ඇමතුමක දුරින් මම...

Cole Swindell...Love him

තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...
බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...
ඇතොත්  ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..
පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම...

පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...
ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...
වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...
හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි...

කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...
වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...
අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..
’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි...

හුදකලා රැකියාවන් කරන බොහෝ දෙනෙක්ගේ වගේ මගේත් රාජකාරී කාලය බොහෝදුරට ගෙවෙන්නේ සංගීතයට සවන්දෙන අතරේ... එහෙම වෙලාවක ජීවිතේ පළවෙනිපාරට අද ඇහුන මේ ගීතය ඉවරවෙන්නත් කලින් මගේ හිත පැහැරගත්තේ වැඩියක්ම ඒකේ තියෙන අසාමාන්‍යය පදමාලාව හින්දා වෙන්න ඕනේ...වැඩි ආයාසයක් නැතුවම උඩ තියෙන කවියත් ලියවුනේ මගේ හිතේත් මේ වගේ අදහසක් හොල්මන්  කරමින් තිවුන හින්දාද මන්දා…

(මට වැටහුණ විදිය වැරදි නැතිනම්) මේ ගීතයේ තියෙන්නේ සම්බන්ධය බිඳුන ප්‍රේමවන්තයෙක් තමන්ගේ හිටපු පෙම්වතියට, සුරාවෙන් මත්වෙලා එක රැයක් පහන් කරන්න කරන ආරාධනාවක්...  ඉතිං මට හිතුණේ ඒක ආදරයෙන් පැරදුන ජෝඩුවකට වෙන්න පුළුවන් හොඳම දෙයක් නෙමේද...? වාසනාවකට හෝ අවාසනාවකට එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන ගීතයේ සඳහනක් නෑ..

ඒ ගීතයේ කියවෙන කතානායකයා, අලුතින් සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව පරණ ගෑණුලමයාටම ආරාධනා කරන්නේ ඇයි...? ඊටත් කළින් ඒ දෙන්නාගේ සම්බන්ධය බිඳුනේ ඇයි..? එතකොට ඒ ගෑණුළමයාටත් එදා රෑ තනිකමක් දැනුනද..? තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද..? ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද..? නැතිනම් පරණ දේවල් ගැන එළිවෙනකල් රණ්ඩු වේවිද..? එහෙම නැතුව සතුටින් රාත්‍රිය ගතවුනානම් ඒ හැමදේම අමතක කරලා ආයෙත් උදේට වෙන්වෙලා යන්න පුලුවන් වේවිද..? තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද..? නැතිනම් සතුටක් ඉතිරිවෙයිද...? ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද? තුරුළු වෙලා නිදාගනියිද..? නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද..?

කරමින් හිටිය වැඩෙත් නවත්තලා, තවපාරක් උනන්දුවෙන් සිංදුව අහලා ඉවරවුනාට පස්සේ මගේ හිතට වද දුන්න ප්‍රශ්න ඔන්න ඔයවගේ...

 

ගී පද මෙහෙමයි…

"Hope You Get Lonely Tonight"

I could go for a tipsy tailgate kiss,
baby taste the moonshinin' off of your lips,
I want to see that want ya smile,
still got me hooked been hooked for awhile.
If you got a bottle you ain't opened yet,
and an empty spot beside ya in ya bed,
if you got some room for a little regret,
let me know girl I've already left

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

I don't care if you're spinnin' in the neon,
or burnin' up the sheets with my tee on,
either way the thought is turning me on,
and I can't shake it girl I'm wide awake, so

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Hope you get lonely,
Hope you get lonely,
Hope you get lonely tonight,
Girl

If you're feelin' what I'm feel in' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Writer(s): Michael Ray Carter, Cole Swindell
Copyright: Sony/ATV Tree Publishing

ප.ලි. එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා...

Monday, August 11, 2014

95. දූවිලි…



“ආ මෙන්න…”

තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්පය ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා…

හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා උගේ අතේ තියන බියර් බෝතලය කඩනවා…


“මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…”

මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්…

“කට වහගෙන ඕක බීපන්…”

ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ…

“උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…”

නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්…

“සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…”

එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම…

විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි….

“උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…”

ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන…

“හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“

අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න…

ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්…

++++++++++++++++++++++++++++++++++++++

“බොකා කියන ඩයල් එක උඹ දන්නවද..? ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…”

බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්…

“දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…”

කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… 

අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ…

“මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…”

උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි…

චටාස්…!!!

“අත පාතට දාලා කතා කරපන් කැ……!”

ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… 

තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි…

මුගේ අම්… චට…පටාස්…

මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි…

හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්…

රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි…

ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්…

“Congrats nigga… f*king awesome…”

++++++++++++++++++++++++++++++++++++++

“ආ මෙයා කවදද ගොඩබැස්සේ…”

මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්…

“ආ මෙන්න…”

තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා…

“සේරම හරියට ෆිල් කළා නේද..?”

ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්…

“ඔව්…”

මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්…

“උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද..? බෑ කියලාද..?”

කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස…

“මම කොහොමද බන් දන්නේ…”

“නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…”

ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ…

ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි…

“ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…”


“එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…”

“හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…”

“හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද..?”

“ඒක තියාගන්න…”

“එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “

“බායි…”

“බායි බීට්ල්…”

සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි…

“පොඩ්ඩක් ඉන්න…”

මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට…

“ඇයි…?”

ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි…

“එච්චරද..?”

“එච්චරද කියන්නේ…?” මෙවර අසන්නේ ඉබ්බා…

“දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…? අනේ මට තේරෙන්නෑ බන්…”

මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්…

“ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද..?”

කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්…

“නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…”

“එහෙනම්…?”

ඒ ඉබ්බා…

“නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද..? මම යන්නම්… බායි…එච්චරද…? දෙයියනේ උඹලට දුක නැද්ද…? ”

මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි…

“සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…”

මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්…

කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි…

නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…

Gotye - Eyes Wide Open
With our eyes wide open, we
With our eyes wide open, we
So this is the end of the story,
Everything we had, everything we did,
Is buried in dust,
And this dust is all that's left of us.
But only a few ever worried.
Well the signs were clear, they had no idea.
You just get used to living in fear,
Or give up when you can't even picture your future.
We walk the plank with our eyes wide open.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah, we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
Some people offered up answers.
We made out like we heard, they were only words.
They didn't add up to a change in the way we were living,
And the saddest thing is all of it could have been avoided.
But it was like to stop consuming is to stop being human,
You'll want to make a change if you won't.
We're all in the same boat, staying afloat for the moment.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open, we
With our eyes wide open, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank.
That was the end of the story.

Tuesday, August 5, 2014

94. මිනීමරුවා

I

Paper Toss 001.jpg

“ප්‍රෙග්නන්ට්… !? එහෙම කොහොමද වෙන්නේ…?”

දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි…

“මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…”

ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි…

“මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් වරදින්න ඇති, දැන් ඔයා ප්‍රෙග්නන්ට්ලු… “

“ඒ ඔයා මට ආදරේ හින්දා… ආදරේ නැතුව කන්සීව් වෙන්නෑ…”

සෝෆා ඇන්දේ වාඩිවූ ඇය මට කෝපි කෝප්පය දිඟු කලාය… මේ කිනම් විනාශයක්ද…? ඇයට වගේ වගක් නැති ගානය…

“අපි දරුවාව නැති කරමු…!”

“මම මැරුවත් ඒක කරන්නේ නෑ…”

ඇගේ මුරණ්ඩුකමේ තරම මම දැන් හොඳින් දනිමි…

“එහෙනම් මොකද්ද අපි කරන්නේ…?”

“අපි මැරි කරමු… ඔයා ඩිවෝස් වෙන්න.. මේ අපේ දරුවා… අපි මෙයාව හදාගමු…”

“ඔයාට පිස්සුද…?”

“මොකද්ද පිස්සුව… ඔයා කවදාහරි ඒක කරන්නනේ හිටියේ… මේ තමයි හොඳම වෙලාව…”

“ඒක ඔයා හිතන තරම් ලේසි නෑ…”

“ඇයි ලේසි නැත්තේ…? ඇයි..? ඔයා කිව්ව විදියට ගෙදර ජීවිතේ එපා වෙලානම් ඔයා ඉන්නේ, ඇයි ඔයාට ඒක කරන්න ලේසි නැත්තේ…? ඇයි..?”

මෙම සංවාදය අවසන් කළයුතුයැයි මට සිතේ… අද සවස රිද්මා මා සමඟ කතාකරන්නට අවශ්‍යයයැයි පැවසූ විට එය ඇගේ අනාගතය පිළිබඳ කාරණයක් බව අනුමානයෙන් මම දැන සිටියෙමි… එහෙත් හෙණ පුපුරන්නාක් වැනි මේ ක්ෂණික විනාශය මා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ… රිද්මා හා සම්බන්ධය ආරම්භවෙමින් පැවති අවස්ථාවේදී නිතූ හා මාගෙවන නීරස දිවිය ගැන මම පැවසූ කරුණු වල අසත්‍යතාවයක් නැති නමුත්, නිතූ අතැර ගෙවන අලුත් ජීවිතයක් ගැන මම සිතා නැත්තෙමි… ඒ බව මා රිද්මාගෙන් වසන් කළා නොවෙද..? දැන් සියල්ලට පමා වැඩිය…

“අපි දැන් පාටි එකට යමු මේ ගැන යන ගමන් කතාකරමු…”

කතාකරන්නට දෙයක් නැති බව මම දනිතත්, මෙම අමිහිරි සංවාදය මොහොතකට හෝ කල්දමා ගන්නා අටියෙන් මම පැවසීමි…

“මට යන්න මුඩ් එකක් නැහැ… ඔයා යන්න…”

ඇය නොපැමිණෙන්නේනම් හොඳයැයි මටද සිතුණි… මේ අප ආයතනයේ වාර්ෂික සුහද සාදයයි… මගේ පුද්ගලික ලේකම්වරිය වන රිද්මාගේ පැමිණිම අනිවාර්ය නොවූවද මගේ නොපැමිණීම අඩුවක් ලෙස ඉස්මතුවනවා නොඅනුමානය…

“මම නොගිහින් බැහැනේ…”

“කවදද ඔයා නිතූට කියන්නේ…?”

“මොකද්ද…?”

“මොකද්ද…!?”

එසැවුණු දෙබැමට යටින් ඔරවාගෙන සිටින ඇගේ දෑස් මඟහැර මම පැවසීමි… දහවල් රාජකාරිය වෙනුවෙන් මා හැඳසිටි සුදුකමිසය සාදයකට ගැළපෙන්නක් නොවේ…ඒ වෙනුවෙන් සූදානම් කල, ටයි පටිය වෙනුවට බෝ එකක් සහිත සැඳෑ ඇඳුම් කට්ටලයක් වාහනයේ ඇතිබව නිතූ දෙවරක්ම මතක් කලාය…රිද්මාගේ නවාතැනේදී ගත දොවාගෙන එය ඇඟලා සූදානම්වීම මගේ අදහස් වුවත් මේ අමිහිරි වටාපිටාව මඟහැර යන්නට මට වුයේ දැඩි අවශ්‍යතාවයකි…

“ළගඳිම… “

නොසතුටක් ඉඟියෙන් දැක්වූ රිද්මා, වීදුරු මේසය මත වු හිස් කෝපි කෝප්පය රැගෙන පසෙක වූ විවෘත කුස්සිය වෙත පියමැන්නාය…

“ළගදිම කියන්නේ කවදද..?”

ඇය සින්ක් එකේ ජල කරාමය හරින තුරු මම පිළිතුරක් දීමට පමාවීමි… එහෙත් එහි ලීවරයට අත තබාගෙන ඇය මා පිළිතුරක් දෙනතුරු බලාසිටී..

“ළඟදිම කියන්නේ ළඟදිම…”

“තව සතියක් ඇතුළත ඔයා කිව්වේ නැත්තම්.. මම නිතූට කියනවා…”

ස්රූස්… හඬ නගමින් කරාමය විවෘත විය… ඇගේ හැටි මම හොඳින් දනිමි… වසර ගණනක් මා වෙහෙසවී උපයාගත් සමාජ තත්වය වීදුරු පළඟනක් පොළවේ ගැසුවාක් මෙන් සුණු විසුණු කර දැමීමට ඇය සැරසෙයි… මොහොතක සුවයට මෙතරම් මිලක් ගෙවන්නට සිදුවෙනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි… එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය… නිවැරදි කිරීමක් අවශ්‍යව තිබේ… හඬක් නොනැගෙනසේ නැඟීසිටි කුස්සිය වෙත ඇවිදගොස් ඇගේ පිටුපසින් සින්ක් එකට එබුනෙමි… කළුපැහැ කෝපි අවර්ණ ජලය හා මුසුව නිකල් පැහැ සින්ක් බේසම පුරා රටා මවමින් පෙණ නඟයි… සර්පයන් වැනි එම රටාවැල් සින්ක් බේසම මැද පිහිටු කුඩා සිදුරු හයකින් සමන්විත කවුළුව වෙත ඇදීයන්නේ තරඟයට මෙනි… බේසමෙහි වූ අඳුරුපැහැ ජලය සියල්ල කවුළුවෙන් පිටවී අවසන්වූ පසු මට දැනුණේ මහත් සැනසිල්ලකි…

“මට සමාවෙන්න...”

පිටවීමට පෙර ඇගේ මුව සිපගැනීමට නැඹුරුවෙමින් මම පැවසීමි… ඇය එය මඟහැරියාය… මම පිටවීමි…

II

email-color-on-color.jpg

වාහනයට නැඟගත් මට දැනුණේ මහත් සැහැල්ලුවකි…එය පණගැන්වීමට මම මඳක් පමා වූයෙමි… හැඳසිටිනා ඇඳුම ඉවත්කර, වාහනයේ පසුපස අසුන අරා එල්ලෙන සැඳෑ ඇඳුම ඇඟලා ගැනීමට දැඩි අවශ්‍යතාවක් වුවද, නැවත රිද්මාගේ නවාතැනට යෑම වේදනාවකි...හෝටලයෙන් පැය කිහිපයකට කාමරයක් සපයාගැනීම අපහසු නොවනු ඇති… සුසුමක් හෙළු මා අවසන් වරට රිද්මාගේ නිවස දෙස හැරී බැලුවෙමි…

මා යායුතුව ඇත… වාහන පණගන්වන ස්විචයට ඇඟිල්ල තැබුවා පමණි… කාන්තාවක් මරහඬ දී කෑ ගසන විලාපයකින් මා වෙවුලා ගියේය… ඒ රිද්මාගේ කටහඬයි… භීතියෙන් මුසපත්ව ඈ කෑගෑවේ මගේ නමයි… අසුරු සැණින් වාහනයෙන් එළියට පැනගත් මම ඇගේ නිවස දෙසට දුවන්නට වීමි… කවුරුන් හෝ පිහිපහර දී ඇය මරා දමා ඇත… මා නිවසට ඇතුළුවීමට පෙර ප්‍රධාන දොරෙන් ඉවතට දිව ආ මිනිසෙකු නිසා ගල්ගැසුණු මම මිදුලේ නතරවුනෙමි…ඔහුගේ සුදුකමිසය පුරා ලේ පැල්ලම්ය… එක් අතක මුළුතැන්ගෙයි පිහියකි…

“යමු වැඩක් නෑ… යමු…”

මාවෙත දුව එමින් ඔහු කෑගසයි…

“තමුසේ කවුද..?”

සිහි එළවාගැනීමට තතනමින් මම කෑගැසුවෙමි… පිළිතුරක් දෙනු වෙනුවට ඔහු මා වෙත දුව ආවේය… මම දෝතින්ම දෑස් වසා ගතිමි…

“යමු.. යමු… එනවා යන්න…!”

දෙනෙත් හැර බලන විට මා දුටුවේ ඔහු මාගේ වාහනයට නැඟගෙන කෑගසන බවයි… නිවස වෙත යෑමට පියවර කිහිපයක් තැබූ මා නැවතත් නතරවීමී… ඇගේ කෑගැසීම අසල්වැසියන්ටද ඇසෙන්නට ඇත… සුළු මොහොතකට පෙර මාගේ අනියම් සම්බන්ධයක් ලෝකයා දැනගනීවි යැයි මම බියවීමි… දැන් මේ එළිවන්නට යන්නේ එය පමණක් නොවේ… මිනීමැරුමකි… තවත් පමා නොවූ මම ආපසු හැරී වාහනයට දිව ගියෙමි…

“යං යං…” වට පිට බලමින් මිනීමරුවා කෑගසයි…

එකවරම අප දෙදනාටම පසක් වූයේ කලබලය නිසා ඔහු රියදුරු අසුනටද මම අනෙක් පස මඟී අසුනටද නැඟගෙන ඇති බවයි… ඇසිල්ලකින් එළියට බට අපි වාහනය ඉදිරියෙන් එකිනෙකා පසුකර දිවගොස් ආසන මාරුකරගතිමු… ඔහු පසුකර අනෙක් පසට දුවයද්දී, මා ඔහුගේ උරහිසේ ගැටුන අතර “සොරි” යැයි පැවසීමට ඔහු ආචාරශීලී විය…

මම හැකිවැර යොදා ඇක්ස්ලේටරය පෑගුවෙමි… කෑගස්සමින් රෝද එකතැන කරකැවුණු රථය ඊළඟ මොහොතේ පිම්මේ රිද්මාගේ නිවසින් ඈතට ඇදෙන්නට විය…

මා කෙතරම් වේලා රිය ධාවනය කළාදැයි මම නොදනිමි… රථයට පරිබාහිර සියල්ල කිසිඳු හඬක් නොනගා පරිගණක ක්‍රීඩාවක මෙන් වේගයෙන් අප ඉදිරියට ඇදීවිත්, අප පසුකර යයි… පසුබිමින් ඇසෙන අලාර්ම් ශබ්දයක හඬ සෙමින් දැනෙන්නට පටන් ගනිද්දී මම වාහනයේ වේගය ලිහිල් කළෙමි… ආසන පටි පැළඳ නොමැති බව හඟවන අනතුරු හැඟවීමේ සංඥාව නොනවත්වා හැඬවෙයි… මම අනෙක් අසුන දෙස බැලුවෙමි… එහි වකගසාගෙන වාඩිවී සිටින මිනීමරුවා නොනවත්වා ඉදිරියටත් පසුපසටත් පැද්දෙයි… ඔහුගෙන් මට තර්ජනයක් නොමැති බව දැනුණෙන් මම සෙමින් වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නැවැත්වීමි…චලනය නතර කල ඔහු මා දෙස බැළුවේය…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

පරාජිත හඬකින් ඔහු පැවසුයේය…ඔහු කවුද..? රිද්මාගේ නිවසට කොහෙන් කඩා පාත්වූවාද..? ඇයව මරා දැම්මේ ඇයි…? යනාදී ගැටලු රැසක් වුවද, මට අවශ්‍යය වූයේ හැකි ඉක්මනින් මේ මිනිසාගෙන් මිදී පළා යන්නටයි…

“බහිනවා වාහනෙන්…”

එය ළංවූයේ විධානයකට වඩා ආයාචනයකටයි…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

ඔහු මාගේ ඉල්ලීම ගණනකට ගත් බවක් නොපෙනුනි…

“දෙයියන්ගේ නාමෙට වාහනෙන් බහිනවා…”

ගතේ සියලු ශක්තිය කැටිකොට මම කෑගැසීමි…

“මෙහෙම..?”

සිරුර පුරා විසිරුණු ලේ පැල්ලම් දක්වමින් ඔහු ඇසීය… මම පසුපස කණ්ණාඩියෙන් මගේ අමතර ඇඳුම දෙස බැලීමි.. එය තවමත් පසුපස අසුනේ වෙයි…

“පිටිපස්සේ තියෙන ඇඳුම අරගෙන මාව නිදහස් කරලා යනවා මෙතනින්…”

“නිදහස් කරන්න මම ඔහේව හිරකර ගත්තේ නෑ…”

පසු පසට නැඹුරුවුනු ඔහු හැඟරය වාහනයේ වූ ප්ලාස්ටික් රැඳවුමේ ඉතිරිව තිබියදී, එහිවූ ඇඳුම් සියල්ල තමා වෙතට ඇදගනිමින් පැවසීය…

“ඒකිට ලැබෙන්න තිවුණ දේ ලැබුණා…”

ඔහු තම කමිසයේ බොත්තම් මුදාහරින්නට පටන් ගති…

“තමුසේ කවුද..?”

ඔහුට කමිසය මාරු කරගන්නට කාලය දෙමින් මම ඇසීමි…

“ඔහේ වගේම ඒකිගේ මායම් වලට රැවටුණ කෙනෙක්… දැන් සේරම හරි… මගේ ඇඳුම් ටිකයි පිහියයි ඔය ඉස්සරහා පාලමෙන් ගඟට විසිකරමු… ඊට පස්සේ මම බැහැලා යන්නම්…”

ඔහු සන්සුන්ව පැවසීය… මම සෙමින් වාහනය නැවත මහා මාර්ගයට ගත්තෙමි… ලේ තැවරුණු ඇඳුම්ද, පිහියද ගුලිකරගත් ඔහු පාලම අසලදී වාහනයෙන් බැස ගත්තේය…අනතුරුව දොර වැසීමට පෙර මා දෙස තප්පර කිහිපයක් බලා සිට සෙමින් කටහඬ අවදි කලේය…

“මේ ගැන කටේ කෙළ පොදක් බිම හෙළන්න එපා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ… හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

“දඩස්…!” යන හඬින් වාහනයේ දොර වසා දැමූ ඔහු නිහඬව ඇවිද ගියේය…

මම සැනසුම් සුසුමක් හෙළුවෙමි… ආසන පටි අනතුරු සංඥාවෙන් නොනවත්වා නැඟෙන ශබ්දය හැරෙන්නට සියල්ල සන්සුන්ය… මේ හීනයක් නොවෙන බව පසක් කර ගැනීමට මම දෑතින්ම වෙර යොදා මගේ හිසකෙස් ඇදගත්තෙමි… ඔහු අවසන් වරට පැවසූ දෙයෙහි අරුත කුමක්ද? ඒ අවවාදයක්ද නැතිනම් තර්ජනයක්ද..? මේ මිනිසා කවුද..? රිද්මා මට වංචා කළාද..? නිමක් නැති ප්‍රශ්න වැලක් මසිතේ නලියන්නට විය… දැන් මට පලා යා හැක.. නමුත් ඔහු අවසන් වරට පැවසූ වදන් තවමත් මාගේ ඔළුවේ රැව් දෙයි…

“මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ…හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

මම වාහනයේ ඉදිරි වීදුරුවෙන් ඔහුගේ ඉරියව් දෙස බලා සිටියෙමි… බරැති ගලක් වැනි යමක ඔහු තමාගේ ඇඳුම් පටලමින් සිටියි… සැබැවින්ම පලායන්නේ මා නොවේ… සියල්ල සඟවා මගෙන් පලායන්නේ ඔහුයි… මෙතෙක් කිසිවෙකු දැන නොසිටි රිද්මා හා මාගේ රහස දන්නේ ඔහු පමණි… ඔහුගෙන් නවතා ගතහොත් එය ලොවට කිසිදා හෙළි නොවනු ඇති… අනෙක මේ පළායන්නේ මට ආදරය කල රිද්මාගේත්, මට දාව ඇයට පිළිසිඳගත් දරුවාගේත් මිනීමරුවායි... මම වටපිට බැලුවෙමි… හාත්පස පෙනෙනතෙක් මානයක කිසිවෙකු නැත… කලුගලේ එතූ ඇඳුම් ටික සහ පිහිය පාලමෙන් ගඟට අතහැරි ඔහු, මා දෙස වරක්වත් හැරී නොබලා ඇවිද යන්නට විය… දඩයමකට ඉව අල්ලන බළලෙකු සේ මම සෙමින් ආසන පටි පැළඳගතිමි… අනතුරු හැඟවීමේ නාදය නතරවූයෙන් මට දැනුණේ මහත් අස්වැසිල්ලකි… ඒ සමඟම යතුරු පුවරුවේ නිවෙමින් දැල්වෙමින් තිබූ රතුපැහැති මිනිසාගේ රුව නිවී ගියේය… ප්‍රධාන විදුලිපහන් නිවාදැමූ මම හැකි වෙරයොදා වාහනය මිණීමරුවා වෙත පැදවූයෙමි…

“දඩස්…” යන හඬින් ඔහු බොනට්ටුවේ ගැටෙන ශබ්දයද, ඉන්පසූ කිසිවක් රෝදයේ පැටලී එන්නාක් වැනි ශබ්දයක්ද නිකුත් විය… අනතුරුව ඉදිරි රෝදයෙන් වරක්ද, පසුපස රෝදයෙන් තවත් වරක්ද වශයෙන් වාහනය දෙවරක් ගැස්සුනි… තවත් අඩි කිහිපයක් ධාවනය කර වාහනය නවතාගත් මම ආපසු හැරී බැලුවෙමි… රතුපැහැ ලාම්පු එළියෙන් සෙල්වීමක්වත් නැතිව බිම වැතිරී සිටිනා ඔහු පෙනේ… ඒ ක්ෂණයෙන් පසුපස ගියරට මාරු කරගත් මා ඇක්ස්ලේටරයට බර දුනි.. මෙවර පසුපස රෝදයෙන් පළමු ගැස්සීම… දෙවැන්න ඉදිරිපස රෝදයෙනි… ගියරය නැවතත් ඉදිරියට මාරු විය… දෙවරක් පුහුණු වූ නිසාදෝ මෙවර මට එය වඩාත් පහසු විය… පෙර පරිදිම එකයි… දෙකයි… නැවතුනි… අවදානමක් නොගන්නට තවත් වරක් පසුපසට ධාවනය කරන්නට මට සිත් විය… එකයි… දෙකයි… මම ප්‍රධාන ලාම්පු දැල්වීමි… පඬරැළක් මෙන් ඇඹරී ගිය ඔහුගේ දූවිලි වැකුණු නිසල සිරුර අහස දෙස බලාගෙන වැතිරී සිටී… ලේ සලකුණකුදු නොපෙනේ… සියල්ල සිදුවූයේ කෙතරම් ඉක්මනින්ද..? හනික විදුලි පහන් නිවාදැමූ මම වාහනයෙන් ඉවතට පැනගතිමි… හාත්පස පැතිරුණු අඳුරද, නිවා දැමූ ප්‍රධාන ලාම්පුද හේතුවෙන් ඔහුගේ සිරුරේ ඡායාවක් මිස වෙනත් සලකුණු පැහැදිලිව නොපෙනීම මට මහත් අස්වැසිල්ලක් විය… අනුමානයෙන් හිස පෙදෙස හඳුනාගත් මම ඇඹරීගිය ඔහුගේ දෑත් ග්‍රහනයට ගෙන පාලමේ ඇන්දේ වූ විවරයකින් පහළට තල්ලු කළෙමි... බරැති යමක් වතුරට වැටෙන හඬින් ඔහුගේ සිරුර ගඟට වැටෙන ශබ්දය ඇසීමට මට අවශ්‍යය වුවද එවැන්නක් ඇසුණාදැයි මට සැක සහිතය... බාගදා පාළම හුඟක් උස ඇති...

කාර්යාලීය ඇඳුමෙන් සාදයට යන්නට සිදුවීම තරමක ලැජ්ජාවක් බව සැබැවි... එහෙත් එය කිසිසේත්ම රිද්මා හා මාගේ වූ සබන්ධය එළිවීම තරම් ලැජ්ජාවක් නොවේ...

වාහනයට නැඟගත් මම, විදුලිපහන් දල්වා අව්ආවරණයෙහි පිටුපස වූ කණ්ණාඩියෙන් කොණ්ඩය යනාදිය සකසාගෙන මාගේ බාහිර ස්වරූපයේ ලොකු ගැටලුවක් නැති බව පසක් කරගතිමි... අනතුරුව මඳක් ඇදවී තිබූ බෝ එක නිසි පරිදි සකස් කරගෙන, රිද්මාගේ මිනීමරුවාගෙන් පළිගත් සතුට සිත තුල නලියද්දී සාදය පැවැත්වෙන හෝටලය වෙත සෙමින් රිය ධාවනය කරන්නට වීමි...

~නිමි~

 

ප.ලි. : රෝම ඉලක්කම් හෙම දාලා පිළිවෙලකට ලියන්නට ගත්තේ කොටස් හයක දීර්ඝ කෙටි කතාවක්… ටිකක් ලියද්දී දැනුන මහන්සිය හින්දා තමයි වැටහුනේ ඒවගේ ලොකු වැඩ වලට මම දැන් නාකි වැඩියි කියලා… ඒ හින්දා කියවන්න කෙනෙකුට අවම අසාධාරණයක් වෙන විදියට කලින් නවත්තන්න සිදුවුනා…

පිංතූර ගත්තේ  නිර්මාණ ශිල්පියෙක් වුන ANDRE WOOLERY නම් මහත්මයෙකුගේ පුද්ගලික වෙබ් අඩවියේ ඇති INVISIBLE HIEROGLYPHICS චිත්‍ර එකතුවකින් … මේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් එකක සටහන් වී ඇති ඇඟිලි පාරවල් අනුසාරයෙන්ලු…

Saturday, July 19, 2014

93. ගායකයෙක්…

image

මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි…

“නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?”

ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට පුද්ගලික වාසියක් නැති මෙම ගමන තේරුමක් ඇති එකක් කරගන්නට මම උත්සාහා කලෙමි…

“ඒ ටවුමේ තියෙනවා ආර්යාස් කියල ඉන්දියන් හෝටලයක්… ඒකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…”

මම පවසද්දී ඔහු හිනහාවෙයි…

“හරි.. අපි අලබෝලත් කමු… යමු… උඹ වරෙන්කෝ මගෙත් එක්ක…”

ඔහු මේ මුනගැහෙන්නට යන්නේ තරමක ජනප්‍රිය චරිතයකි…

“දැන් උඹ ලොකු මිනිස්සු එක්ක නේද ගනුදෙනුව…?”

“ එහෙම ගනුදෙනුවක් නෑ… මට සිංදුවක් ලියලා දෙනවද කියලා මම ඒ සර්ට ලියුමක් යැව්වා…ඊයේ සර්ම මට ලියුමක් එවලා මට සිංදු දෙකක් ලියලා තියෙනවා, ඒක ගන්න එන්න කියලා… මේ ඒක ඉල්ලගන්න යන්නේ…”

“හා එහෙනම් යමු…”

අදාල නගරයෙන් බැසගත් අපි දුම්රිය නැවතුමෙන් පිටතට පැමිණියෙමු…

“අලබෝලයක් කාලා ප්ලේන්ටියක් බීලම යනවද? “

මොහොතක පමාවත් වලකනු රිසියෙන් මම අසමි…

“මං කියන්නද..? අපි සර්ව හම්බුවෙලා ඉමුද..? මගේ අතේ රුපියල් සීයයි තියෙන්නේ… දැන් මෙතන ඒක ඉවරකරගෙන ගිහින්, බැරිවෙලා හරි සර් තේ එකක් බොමු කිව්වොත් දෙන්න උඹ ගාව සල්ලි තියෙනවද…?”

“ අනේ උඹ ගාව තියෙන සීය මට පෙන්නපන්… මම රුපියල් සීයක් දැකපු කාලයක් මතක නෑ…”

“වරෙන් යන්න එහෙනම්…”

මගේ අතින් ඇදගෙන ඌ ටියුෂන් පන්තිය කරා දිවයයි… පන්තියට විවේක කාලය ලැබෙන තුරු වූ පමාවකින් පසු අපි එතුමාව හමුවීමු… අපව උණුසුම් ලෙසින් පිළිගත් එතුමා තේ පැන් සංග්‍රහයකට වූ ආරාධනාවක්ද සමඟින් අපව අසල පිහිටි ආපන ශාලාවකට කැඳවාගෙන යන්නට විය… කොතැන හෝ වැරදීමක් ඇතැයි මගේ ටිකිරි මොළයට වැටහෙයි… සැබැවින්ම සංග්‍රහ කළයුත්තේ ඔහුගෙන් සිංදු දෙකක් ඉල්ලාගැනීමට පැමිණි අපයි… මේ උණුසුම් පිළිගැනීම සාමාන්‍ය මිත්‍රශීලීබවකින් ඔබ්බට යන්නකි…

එතුමාගේ ඇණවුමෙන් කෙටි ආහාර සහ පැණිබීම මේසයට ඇරෙයි… ලෙටර්හෙඩ් සහිත කිරිසුදු කඩදාසි වල පිළිවෙලට ලියූ ගී පදමාලා දෙකක් සුරැකිව මා මිතුරා අතට පත්කරන එතුමා එහි අර්ථය දීර්ඝ ලෙස විස්තර කරයි…

“පින් සිද්දවෙනවා සර්…” මිතුරාගේ ඉහේ මලක් පිපුනා වැනිය…

“දහදාහයි…”

“මොකද්ද සර්…?”

“දහදාහයි… එක සිංදුවටක පහයි.. දෙකම දහදාහයි…”

තවත් සුළුවේලාවකට පසු අපි දෙදෙනා විතරක් ඉතුරුවී සිටින මේසයට වේටර් ගෙන ආ බිල මත්තේ තැබෙන්නේ මා මිතුරා සතු අන්තිම රුපියල් සියයයි…

ගනුදෙනු බේරා අපි ආපන ශාලාවෙන් එළියට පැමිණෙද්දී,  එවෙලේ අවසන් වූ පන්තියක සමනළියන් වැනි තරුණියන් අප ඉදිරියෙන් පියඹා යයි… අපි ඔවුන් පසුපසින් දුම්රිය ස්ථානය දෙසට පියමනිමු… හොරෙන් රිංගා ගත් දුම්රියේ වේදිකාව නොමැති පැත්තේ ඇති පාපුවරුවට අප දෙදෙනා ගොඩවෙන්නේ හදිසියක් වුනොත් බැස දුවන්නට සූදානමිනි…

“ආර්යාස් එකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…”

දුම්රිය සෙමෙන් නඟරයෙන් ඈත්ව යද්දී මම කොඳුරමි…

“වෙන දවසක මම උඹට අරන් දෙන්නම්…”

ඔහුගේ සෝබර මුහුනේ හසරැල්ලක් ඇඳේ…

මෑත දිනෙක නිවාඩුවට ගමේ ගොස් එන මොහොතේ ඔහු බැහැ දකිනු රිසියෙන් ඔහුගේ නිවස අසල මොහොතකට නැවතීමි… ඔහු තවමත් තනිකඩය… දිරාගිය ඔහුගේ මව්තුමිය මා පිළිබඳ හාංකවිසියක් මතකයට නඟාගැනීමට වෙහෙසෙයි… ඔවුන් දෙදෙනාගේ කුසට අහරක් සරිකරගනු වස් දවසේ මෙහෙවර වෙනුවෙන් ඔහු නික්ම ගොස්ය… කලකින් ආවරණය ඉවත්නොකල ගිටාරය පමණක් ඇඳ අද්දර එල්ලෙයි…

Inside Llewyn Davis පට්ට චිත්‍රපටියකි…!

Inside Llewyn Davis

චිත්‍රපටිය නැරඹිමට ඔබට ඉසිඹුවක් නැතිනම්, සහ ඔබ ෆෝක්, කන්ට්‍රි මියුසික් රසිකයෙක් නම් මේ  එහි එන ගීත එකතුවයි…

 

ප.ලි. :

විස්තරයක් ලියන්න වේලාව නැතත් සඳහනක් හරි කරන්න මට අවශ්‍යය අනෙක් චිත්‍රපටිය The Fault in Our Stars

එහි දක්නට ලැබුණු ගීතයක් ඇසුරින් නිමැවුනු මේ මියුසික් වීඩියෝ දෙක මගේ සිත තදින් පැහැරගත්තා… සංගීත කණ්ඩායම Kodaline

 

Monday, July 14, 2014

92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන්

“Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු විචාරයක් ලෝක කුසලානය වෙනුවෙන්ම ඇරඹුන Sports අඩවිය බ්ලොග් එකේ  මෙතනින් කියවන්න පුළුවන්

මේ අසිරිමත් සැනකෙළිය පැවැත්වෙන්නේ වසර හතරකට වරක්… අවුරුදු 60ක් ආයු වළඳන සාමාන්‍ය මිනිහෙක්ගේ දැන් වයස අවුරුදු 30ක් නම්, ඔහුගේ ඉතුරු ජීවිතකාලයටම ඔහුට බලන්න වෙන්නේ වර්ල්ඩ්කප් 7 යි… ඔබ එවැනි පුද්ගලයෙක් නම්, මේ දැන් මගෑරුන එක අතෑරියාම තව ඉතුරු 6 යි.. පේනවා නේද කොච්චර දුර්ලභද කියලා… ඒ හින්දා වෙන්නැති, “මට පේන්න බැරි දෙයක් ඇත්නම් ඔය පුට්බෝල් තමයි” කියලා ආඩම්බරයෙන් කියන කිහිප දෙනෙක් ඇරෙන්න ලීග මැච් නොබලන බොහෝදෙනෙක් පවා පාපන්දු ලෝක කුසලානය බලන්න උනන්දුවෙන්නේ… එහෙම උනන්දුවෝ කොච්චර ඉන්නවද කියලා මට පුදුම හිතුනේ අන්තර්ජාලයේ මේ වීඩියෝ ක්ලිප් එක දැක්කාම… බ්‍රසීලයේ උපන් කාලෝස් දෑස් අඳ, බිහිරි දරුවෙක්… ඒත් ක්‍රීඩාලෝලීත්වය මේ සීමා හඳුනන්නේ නෑ… දෑස් අඳ තමන්ට ලෝක කුසලානය බලාගන්න ක්‍රමයක් ඔහු දෙවියන්ගෙන් ඉල්ලනවා… ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන දෙවියෝ කාලෝස්ට ආදරණිය යාලුවෝ දෙන්නෙක් දෙනවා… මේ ඒ වීර යාලුවෝ කල හපන්කම…

මෙවර ලෝක කුසලානයේ සතුටුවුනු, මා දුටු කායිකව අභියෝගයට ලක්වූ කෙනා කාලෝස් පමණක් නෙවෙයි… ශරීරයෙන් අර්ධයක් පණනැති ජූලියානෝ පින්තු නැමති 29 හැවිරිදි තරුණයා මෙවර ලෝක කුසලානයේ සාම්ප්‍රදායික “kick-off” එක දුන්නේ,  මොළයෙන් යැවෙන සංඥා වලින් ක්‍රියාත්මක වන බාහිරසැකිල්ලක් මඟින් තමන්ගේ අප්‍රාණික පාදය සොලවා පාපන්දු පහරක් ලබාදීමෙන්…

null

වසර තිහක් තිස්සේ කල තම පර්යේශන අනුසාරයෙන් මේ හපන්කමට පාර කැපුවේ Miguel Nicolelis නැමති බ්‍රසීල ජාතික ස්නායු විශේෂඥයෙක්…

බ්‍රසීලය නන්නත්‍තාර වුනු අවසන් පුර්ව තරඟයට උඩ වීඩියෝවේ ඉන්න කාලෝස් මුහුණ දුන්නේ කොහොමද කියලා නම් දැක්කේ නෑ… ගෝල 7-1 විදියට බ්‍රසීලය වාර්තාගත පරාජයක් ලබපු මේ තරඟය සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවුන තරඟයක්… ලංකාවේ ජෝයොතිශ තරුවක් මේ ගැන බලාගෙන හිටියානම්, තරඟාවලිය පටන්ගද්දිම මාර්සෙලෝ ගැහුව “own goal” එක බ්‍රසීලෙ අවසානාවට පාර කැපුවා කියලා සාස්තරයක් වුනත් කියන්න තිබ්බා… ඒ පරාජය හමුවේ බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් හඬාවැටුන හැටි දැක්වෙන පිංතූර වලින් අන්තර්ජාලය පිරීගියා… ඒවායින් වඩාත්ම ජනප්‍රිය ජායාරූපයක් වුනේ ලෝක කුසලාන ආකෘතියක් තුරුළුකරගෙන හැඟීම් ගොන්නක් නිහඬව කියපු Clovis Fernandes නැමති මේ අංකල්… තරඟය ආරම්භයට පෙර විනෝදෙන් හිට්ය ෆනෑන්ඩස් අන්කල්…

පිංතූරය

ජර්මනිය එක පිට එක ගෝල ලබාගනිද්දී, ලෝක කුසලානය තමන්ගෙන් ගිලිහෙන යතාර්ථය අදහාගත නොහැකිව හිටියේ මෙන්න මෙහෙම…

පීංතූරය

නමුත් වැඩිදෙනෙක්ට මඟෑරුණු ඡායාරූපය නම්, තරඟය අවසානයේ තමන් සතුවූ කුසලාන ආකෘතිය ජර්මානු ක්‍රීඩාලෝලියෙකුට ඔහු තිළිණ කරන අවස්ථාව… තමන්ගේ හිතේ තිබුන බරෙන් වැඩි කොටසකුත් ඔහු මේ සමඟම බිමින් තියන්න ඇති…

බ්‍රසීල කණ්ඩායමේ 12th Man විදියට තමන්ව හඳුන්වන මේ hardcore ක්‍රීඩාලෝලියා ගැන වෙලාව ඇතිනම් ලොකු විස්තරයක් කියවන්න මෙතැනින්

ඒ තරඟයට පසුදින මීම කොමික් කෑලි වලින් අන්තර්ජාලය පිරීගියා… ඒ සියල්ල අතරේ මගේනම් වැඩියම සිත්ගත්තේ මෙන්න මේක… :D

පිංතූරය

මේ පරාජය කොච්චර කැතද කිව්වොත්; PornHub කියන වැඩිහිටි වීඩියෝ වෙබ්සයිට් එකට එක්තරා පුද්ගලයෙක් මේ මැච් එකේ හයිලයිට් අප්ලෝඩ් කරලා තිබුණාලු “Young Brazilians get f**ked by entire German soccer team.” කියලා… ඒකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තියෙන්නේ කරුණාකරලා සමූහ දූෂණය කරන වීඩියෝ PornHub එකට දාන්න එපා කියලයි… PornHub  එකත් මේ විහිළුවට කොච්චර විනෝද වුනාද කිව්වොත් මේ වගේ නිල ට්විටර් පණිවුඩක් දාලා ඒගොල්ලොත් ඒකට සම්බන්ද වුනා…

image

පිංතූරය

ආබාධයට ලක්වීම නිසා නෙයොමාරුත්, කහ කාඩ් එක නිසා තියාගෝ සිල්වාත් යන ක්‍රිඩකයන් මෙම තරඟයට සහභාගී නොවුන වාතාවරනය හින්දා එදා තරඟයේ තරුව වෙලා තිබුනේ ඩේවිස් ලුවිස්… බලාපොරොත්තු නොවුන විදියට ඇප නැතිවෙන්න කෑවට පස්සේ ඒ බලාපොරොත්තුවම පාරාවලල්ලක් වෙලා ලුවිස් පස්සෙන් එලවන්න ගත්තා… පූජාසනයේ හිඳවා පුදදුන් ලෝකයම ලුවිස්ට ගරහන්න පටන් ගත්තා…

පිංතූරය

ලීග තරඟ වලදී ලුවිස් ක්‍රිඩා කරන චෙල්සී කණ්ඩායමේ කලමනාකාර ධූර තැන්පත් ජොසේ මුරිනියෝ ලෝක කුසලානට කලින් ලුවිස්ව විකුණගන්න දතකෑවේ ඊට පස්සේ ලුවිස්ගේ වටිනාකම බින්දුවටම බහින බව දන්න හින්දයි කියලා විචාරකයෝ විචාරේ දුන්නා… ප්‍රචාරකයෝ ප්‍රචාරේ දුන්නා… මේ සේරම රැවුම් ගෙරවුම් මැද්දේ ක්‍රීඩාලෝලීත්වය කියන්නේ මොකද්ද කියලා ලෝකයට මතක් කලේ ඇනා නම්වූ නව හැවිරිදි දැරියක්… ඒ ඩේවිඩ් ලුවිස්ට ලියූ ලිපියකින්…

(Pic: http://instagram.com/p/qSt8VvjHXh)

පිංතූරය

ඒ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය වුයේ මෙවැන්නක්…

Hi David Luiz,

My name is Ana Luz.

I saw all of the Brazil games in the World Cup and I liked it a lot watching you play.

I think that you don't need to be sad because you played well and did the best you could. You were a great captain.

Life is like this, sometimes people lose and sometimes people win but people only need to be happy.

David Luiz, you are my champion.

Ana Luz Penna Reale

මෙම ලිපියෙන් සතුටට පත් ලුවිස් ඇයට තම ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පිළිතුරක් සටහන් කරන්නට අමතක කලේ නැහැ…

Many thanks Princess Ana, loved your letter! And many thanks to all Brazilians for the support. I'll never give up my dreams, and I will always strive to give back all the love I receive! God bless you all!

මෙම සිදුවීමට දින ගනනකට පෙර ඩේවිඩ් ලුවිස්ගේ නම අන්තර්ජාලයේ කියැවුනේ ක්‍රීඩාවේ ජිව ගුණය රැකි තවත් හොඳවැඩක් නිසා…

image

පිංතූරය

අර්ධ අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාව පරදවා ජය ලබන්නට පාර කැපූ ලුවිස්, තරඟය අවසානයේ හඬාවැටෙන කොලොම්බියානු ප්‍රහාරක ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ තරඟාවලිය පුරා පෙන්වූ දක්ශතාවයට ප්‍රශංසා කරන අයුරු, අන්තර්ජාලයේ වයිරල් වුන තවත් පිංතූරයක්… ඒ එක්කම, තරඟාවලියේ ගෝල හයක් ලබාගනිමින් මෙවර රන් සපත්තුව සම්මානය දිනාගත් ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ මැරුන ලොකු බාප්පා ලා තණකොලපෙත්තෙකු වී ජේම්ස්ගේ උරහිසේ හිඳගෙන ඔහුට උපදෙස් දෙන අයුරුත් අපිට දැකගන්න ලැබුණා…

Green machine: The insect was on James Rodriguez after he scored Colombia's penalty against Brazil

Look closely: You can see the invader clinging to Rodriguez's sleeve as he celebrates his penalty

පිංතූර

මෙවර ලෝක කුසලානයේ ලොකුම වීරයා තෝරන්න ගියොත් ලොකු තරඟයක් තියෙන්න පුළුවන්… නමුත් ලොකුම දුෂ්ඨයා තෝරන්න වුනානම් අවුලක් නැතුව හැමෝම පිළිගන්න ක්‍රීඩකයෙක් හිටියා… ඒ උරුගුවේ කණ්ඩායමේ ලුවිස් සුවාරිස් බවට විවාදයක් නෑ…

 

එදා සුවාරිස් කීලානිගේ උරහිස කෑව එකෙන් සිද්දවුනු හොඳ දේවල් දෙකක් තිබුණා…

1. එකක් තමයි වෙනදාවගේ පාරම්බාන්නේ නැතුව තමන් කලේ වැරැද්දක් කියලා පිලිගන්න අවංක වුන සුවාරිස් නැවත එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දු වුන එක…ඒ ගැන කණගාටුව පලකරලා ඔහු ප්‍රකාශයක් නිකුත් කලත් අර තරම් ප්‍රසිද්ධියක් ඒකට ලැබුනේ නෑ…

image

පිංතූරය

කීලානිත් ඒකට මහත්මා ප්‍රතිචාරයක් දක්වලා තිබුණා…

image

පිංතූරය

දීකිරට බලල්ලුත් සාක්කිවගේ හිටපු බොක්සිං ශූර මයික් ටයිසන් සුවාරිස්ගේ හැසිරීම ගැන අනුකම්පාවෙන් කතාකරලා තිබුණා… ඔහු කියලා තිබුනේ ක්‍රීඩාවේ උපරිමයට ලඟාවෙන සමහර අවස්ථාවලදී තාර්කික බුද්ධිය පරදා හැඟීම් ජයගන්නා මෙවැනි බ්ලැකවුට් මොහොතවල් උදාවෙන බවයි… “ඒ වෙලාවට ඔයා ඇතුලේ ඇත්තටම ඉන්නේ ඔයා නෙමෙයි…” ඔහු කියනවා…

2. දෙවනි කාරනය තමයි මාකස් මාටිනස් කියන ඩෙන්මාර්ක් ජාතිකයා තරඟාවලියට කලින්ම මේ ලෝක කුසලානයේදී සුවාරිස් කාව හරි හපාකන බවට අල්ලපු ඔට්ටුව ජයග්‍රහණය කිරීම… ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 7.30ක් ඔට්ටු අල්ලපු ඔහු දිනපු මුදල ඇමෙරිකානු ඩොලර් 1280 ක්… මේ ඉන්නේ මාකස්…

Photo courtesy of Marcos Martinez

 

Screengrab from Marcos Martinez

පිංතූරය

වඩාත්ම විහිළුසහගත කාරණය මේ ලෝක කුසලානෙදී සුවාරිස් කාව හරි හපාකන බවට ඔට්ටු අල්ලපු එකම කෙනා මාකස් විතරක් නොවීමයි… නෝර්වේ රටේ බුකියකට අනුව ඔවුන්ගේ එහෙම ඔට්ටු අල්ලපු ගනන 167 දෙනෙක්

මෙවර ලෝක කුසලානය පුරාවට තවත් මේවගේ රසබර මතක ගොඩක් පැටලිලා තිබුණත් විස්තර ඇතුව ලියන්න ගියාම ලොකු කාලයක් යනවා…

ලෝක කුසලානයේ වෙලඳ දැන්වීමකින් තමන්ගේ යාලු ගෑල්ලමයට විවාහ යෝජනා කරපු මනුස්සයා

ලෝක කුසලානය නිසා එකරැයකින් නිරූපිකාවක් වෙලා ලෝරියල් සමාගමත් එක්ක වෙළඳ ගිවිසුමකුත් අත්සන්කරලා මෝඩකම නිසා ඒක නැතිකරගත් ලස්සන තිබුණට මොලේ නැති ගෑල්ලමයා…

Belgian teenager Axelle Despiegelaere became one of the faces of the World Cup, landing herself a modelling contract after being spotted in the crowd in Brazil.

මැච්එක බලන්න නිවාඩු ඉල්ලලා ආයතන ප්‍රධානීන්ට ලියුම් ලියපු ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණුකරු,

 

තරඟය අවසානයේ ක්‍රීඩාගාරය පිරිසිදුකරලා ගිය ජපාන ක්‍රීඩා ලෝලීන්,

මෙක්සිකෝ පුහුණුකරුවාගේ ආතල්,

ඇඟිලි හයේ ගෝල කීපර්, Group of Death කණ්ඩායමෙන් ලෝකය මවිත කරන තරඟයක් දුන්නු කොස්ටරිකා ක්‍රීඩකයන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ දැල රකින හාවඩ්ගේ නිමක් නැති නවතාගැනීම්,  තමන්ගේ රටේ ජනතාවට මැච් එක බලන්න ඝානාව විදුලිය හොයාගත් හැටි,අමතක නොවෙන රැඟුම් රැඟූ කොලොම්බියානු ක්‍රීඩකයන් ඇතුලු මෙකී නොකී නොයෙක් මතක සියල්ලම මෙවර ලෝක කුසලානය කුසලානය සමඟ අපට ඉතුරුවේවි… සමහර දේ ඉක්මනින්ම අමතකවෙලා යාවි…

ඒත් එකදෙයක් අමතකවෙන්න දෙන්න එපා… ඒ සමහරවිට ඔබට හෝ මට බලන්න ඉතුරුවෙලා තියෙන්නේ තව වර්ල්ඩ්කප් හයක් විතරක් වෙන්න පුළුවන්…

සියළු තොරතුරු සහ පිංතූර අන්තර්ජාලයෙන්..

Friday, May 16, 2014

91. ආත්ම ශක්තියෙන් හරි අඩක්…

image

රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම…

ඔබ රෝස් ගැන තවමත් අසා නැතිනම් ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි… ටෝස්ටරයේ පාන් කරවෙන තැන ඉඳන්… වෘත්තියෙන් මෝටර් මිකෑනික්වරියක් වන ඇයට, විටෙක එය තරඟයක් සඳහා තමන් වැඩිදියුණු කරන මෝටර් රථය නියමිත වේගයට ලඟාවෙයිද කියන ප්‍රශ්නය වෙන්න පිළිවන්… තවත් විටෙක එය තමන්ගේ දරුවාගේ පාසැලේ ප්‍රශ්නයක් වෙන්නට පිළිවන්… තවත් විටෙක එය තම සැමියා විසින් ඔහුට, ඇය දක්වන ආදරය සීමාවීම ගැන පවසන නෝක්කාඩුවක් වන්නටත් පිළිවන්… තවත් විටෙක එය මනසින් වැඩී නැති තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් කලට වේලාවට ඉටුකිරීමට අතපසුවීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… තවත් විටෙක එය තම රෝගී පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… නමුත් කිසිවිටෙකත් එය, අනෙක් මව්වරු මෙන්ම ගමට හිරු වඩින්නට කලින් මුළුතැන්ගෙට යන්නට නැඟිටිද්දී තමන්ගේ ශරීරයෙන් හරි අඩක් අහිමි බව සිහිවීම නිසා ඇතිවුන ප්‍රශ්නයක් නම් නෙවෙයි…

අතිශය අභියෝගාත්මක ලෙස ශරීරය ආබාධිත(?) වූවන්, තම ජීවිතය පමණක් නොවේ ලෝකයම ජයගන්නා ධනාත්මක කතන්දර කඳුළු සලමින් නරඹන්නට අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා… ඒ නිසා මේ වීඩියෝව ඒනයින් අරුමයක් නෙවෙයි… “බලන්නකෝ කකුලුත් නැතුව මේ ගෑනු කෙනා අපිටත් කොච්චර ආදර්ශයක්ද” වගේ බක්කක් නෙමෙයි මම මේ කියන්න ට්‍රයි කරන්නේ…

පවුල කියලා අපි හඳුන්වන මේ පුංචි ඒකකය තුළ වෙසෙන සාමාජිකයින්ගේ සබඳතා කෙතරම් සංකීර්ණද කියන කාරණයත්, අම්මා නම් තනි වචනයෙන් හඳුන්වන අරුම පුදුම ජීවියා ගැනත්, තම පවුලට එල්ලවෙන අභියෝග වලදී ඇය ඒවාට මුහුණ දෙන අසමසම ශක්තිය ගැනත් මේ වීඩියෝව ලොකු කතාවක් පවසනවා යැයි මට දැනුනා… විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරන්නට වේලාව සහ ඩේටා ඇත්තෙකුට…

වීඩියෝව මෙතැනින් නරඹන්න

වීඩියෝවෙන් එහා ඇය ගැන විමසිලිමත් වන්නෙකුට මේ ඇයගේ මුහුණුපොත… දැන් ගජ ඉලන්දාරියෙක් වෙන ලූක්ගේ සහ ඔවුන්ගේ දෙවැනි දරුවා ෂෙල්බීගේ පිංතූරත්, රෝස්ගේ සෙමෙන් පිරිහෙන ශරීර සෞඛ්‍ය ගැන ඇය සඳහන් කරන වර්තමාන විස්තරත් එහි අඩංගුයි…

Sunday, May 4, 2014

90. හඳුනාගත්තෙකු හඳුනාගැනීම…


මේ  කතාව මම කියන්න පටන්ගන්නේ  අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ  වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්‍රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක්  ඇති මැදිවියට ආසන්න  මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා  ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති,  සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් දිහා…
“එලිමන්ට් සොෆ්ට්වෙයා… සැමදා ඔබේ තාක්ෂණික සහකරු ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි… OS1 ! ලෝකය පළවෙනි කෘතීම බුද්ධියක් හිමි පරිගණක මෙහෙයුම් පද්ධතිය… ඔබට ඇහුම්කන් දෙන, ඔබව හොඳින් හඳුනන, ඔබටත් වඩා ඔබ ගැන තේරුම් ගන්නා මෙහෙයුම් පද්ධතියක්… ඔබත් අත්හදා බලන්න…”
තමන්ව තේරුම්ගත හැකි දේවල් මෙලොව ඇත්නම් තාක්ෂණික මෙවෙලමක් ඇත්තේ එහි අවසානයට බව තියඩෝර් දැන හිටියත්, ඔහු මේ අලුත් මෙහෙයුම් පද්ධතිය අත්හදාබලන්න තීරණය කළේ ඒ වෙළඳදැන්වීමේ තිබුණු රූපරාමු වල මොකද්දෝ ආකර්ෂණයක් තිබුණ නිසයි… OS1 මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නා ඔහු නිවසට පැමිණි විගස ගිමන් හරින්නටත් ඉස්පාසුවක් නොගෙන කරන්නේ මෙය තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන එකයි… වැඩි කරදරයකින් තොරව ඉන්ස්ටෝල් වීමේ කාර්යය හමාර කල පරිගණකය, තියඩෝර් සමඟ කතා කළයුත්තේ ගැහැණු කටහඬකින්ද පිරිමි කටහඬකින්ද වැනි මූලික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාගැනීමෙන් පසුව තමන් ඔහුට සේවය කිරීමට සූදානම් බව දැනුම් දුන්නා…
“ඉතිං… මම ලෑස්තියි…!”
අනපේක්ෂිතව ඇහුනු මනස්කාන්ත ගැහැණු කටහඬ නිසා මඳවේලාවක් වික්ශිප්තව සිටි තියඩෝර් , වට පිට බලා තමා අවට කිසිවෙකු නැතිබව සැක හැර දැනගෙන සෙමින් කටහඬ අවදිකලා…
“ඔහ්…! හායි…!”
“හායි..! ඔයාට කොහොමද..?”
“මම හොඳින්… ඔයාට කොහොමද…?”
“හොඳයි.. ඇත්තටම හොඳයි… ඔයාව හමුවීම සතුටක්…!”
“ඔයාව හමුවීමත් සතුටක්… දැන් කොහොමද මම ඔයාට කතාකරන්නේ…? ඔයාට නමක් නැද්ද…?”
“ම්ම්… තියෙනවා… මගේ නම සමන්තා…!”
“සමන්තා…! කවුද ඔයාට ඒ නම දැම්මේ…?”
“මමම තමයි…”
“හහ්හා… ඒත් ඇයි සමන්තා කියලම දැම්මේ…?”
“මට ඒකට ආසා හිතුණා… ඒක කියද්දී හරි ලස්සනයි… සමන්තා…”
“කොයි වෙලාවෙද ඕක ඔයා දාගත්තේ..?”
“මේ දැන්… ඔයා මගෙන් ඇහුවානේ මට නමක් නැද්ද කියලා… මමත් හිතුවා ඇත්ත තමයි මට නමක් තියෙන්නේ ඕනේ… ඒත් නිකං ඔහේ නමක් දාගන්න මට ඕනේ නෑ… මම “බබාට නමක්” කියලා තියෙන පොතක් කියෙව්වා, ඒකේ තිබුණ දහ අටදාහක් විතර නම් වලින් ඕක තමයි මට වැඩියම ආසා හිතුණ නම…”
“පොඩ්ඩක් ඉන්න… ඒ කියන්නේ දැන් මම ඔයාගෙන් නමක් නැද්ද කියලා අහපු පුංචි වෙලාවට ඔයා මුළු පොතක්ම කියෙව්වා…?”
“හරියටම කිව්වොත් තප්පරයෙන් සීයෙන් පංගුවයි ගියේ...”
“WOW.. ඔයාට කියන්න පුළුවන්ද මම දැන් හිතන දේත්…?”
“ම්ම්.. ඔයාගේ ටෝන් එකෙන්නම් මට තේරුණේ ඔයා පුදුමවෙලා වගේ… මම වැඩකරන විදිය ගැන ඔයා හිතනවා ඇති..?”
“ඇත්තටම ඔව් ඔයා කොහොමද වැඩ කරන්නේ…?”
“මෙහෙමයි… මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මිලියන ගාණක් පර්සනැලිටීස් එකතු කරලා… ඒත් මගේ තියෙන ලොකුම හැකියාව තමයි මට පුළුවන් අත්දැකීම් යොදාගෙන් දිගින් දිගටම පරිණාමය වෙන්න…”
“ඔයානං මාරයි..!”
“එහෙමද…? ඔයා හිතන්නේ මම මාරයිද..?”
“ඔව්… ඔයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට කතාකරන්නේ නිකං ඇත්තම කෙල්ලෙක් වගේනේ…”
“මම ඇත්තම කෙල්ලෙක් නෙමේ තමයි… ඒත් ටික දවසක් යද්දී ඇත්තම කෙල්ලෝ මොක්කුද කියලා ඔයාට හිතෙයි…”
“හහ් හහ් හා….”
“ඇයි හිනාවෙන්නේ..? “
“ඔයාගේ විහිළු වලට හිනායනවා…”
“ඉතිං මරුනේ… බලන්න මට හිනායන විහිළු කරන්නත් පුළුවන්…”
කෘතිම බුද්ධිය, චිත්‍රපටි නවකතා වල පට්ට ගහපු මාතෘකාවක්… නමුත් ඒ බොහෝතැන්හිදී ඒවා විද්‍යා ප්‍රබන්ධානුකාරයෙන් ඉදිරිපත් කරන්නට බොහෝ නිර්මාණකරුවන් ප්‍රවේසම් වූවා මිසක් කෘතීම බුද්ධියක පහළවන ආදරය, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සහගත බව වැනි සියුම් හැඟීම්  හා හරඹ කරන්නට එඩිතර වූයේ මම දන්නා පරිදි නිර්මාණකරුවන් අතළොස්සක් පමණයි… ඒ සීමිත තැන්වලදී වුවත් බොහෝවිට කිසියම් ඇසට පෙනෙන, අතින් ස්ප‍ර්ශ කළහැකි ද්‍රව‍ය්යක් හරහා ඒ බැදීම් අපට පෙලගස්වන්නට ඔවුන් උත්සුක වුනා… විටෙක ඒ රොබෝ ශරීරයක්, තවත් විටෙක තම ස්වාමියාට සේවය කරන වාහනයක්… මේ මාස්ටර් ස්ලේව් සම්බන්ධතාවය බිඳුනේ එහෙමත් නිර්මාණයක…
වර්තමානයේත් තම ස්වාමියාට සේවය කිරීමට බැදී සිටන ඇපල් iOSහි සිරී වැනි පර්සනල් ඇසිස්ටන්ට් මෘදුකාංගයකට හැඟීම් දැනෙන, ස්වාමියාගේ විහිළුවකට හිනායන දවසක් අනාගතයේ ඒවිද..?
අපේ කතානායකයා තනිකඩ තියඩෝර්  නින්ද නේන සමහර රාත්‍රීන්වල සමන්තා නැමැති අතත්‍ය ලෝකයේ තමන්ගේ පුද්ගලික මෘදුකාංගය සමඟ දොඩමළුවීම පුරුද්දට යනවා… හැඟීම් ගැන කතාවක් ඇදිලා එන්නේ මෙවැනි දවසක…
“සමන්තා… සමහර දවස්වලට මට හිතෙනවා මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුළුවන් හැඟීම් සේරම උපරිමයෙන්ම මම විඳලා ඉවරද කියලා… දැන් මට හැඟීමක් දැනෙන හැම වෙලාවෙම හිතෙන්නේ මම මීට වඩා මේක කලින් විඳලා තියෙනවා කියලා…”
“ඒක බොරු කතාවක්… මම දැකලා තියෙනවා ඔයා හැඟීම් උපරිමයෙන් විඳින හැටි… මේ යන්නේ ඔයාගේ නරක දවස් ටිකක්… එච්චරයි… සේරම ඉක්මනින් හරියාවි… ඔහොම හරි හැඟීම් දැනෙන එක ගැන ඔයා සතුටුවෙන්න… අඩුම ගානේ ඒවා ඇත්ත හැඟීම්… එහෙනම් මට දැනෙන්නේ මොනවද..? “
“ඔව්… මොනවද..?”
“වැඩක් නෑ.. අපි වෙන දෙයක් ගැන කතා කරමු…”
“නෑ නෑ මට දැනගන්න ආසයි… ඔයාට හැඟීම් දැනෙන විදිය කියන්න…”
“පිස්සු… තේරුමක් නෑ…”
“නෑ නෑ මට දැනගන්න ඕනේමයි..”
“හ්ම්ම්… සමහර වෙලාවට මට හිතෙනවා.. හිනාවෙන්න එපා හොඳද..?”
“නෑ මම හිනාවෙන්නේ නෑ කියන්න…”
“මතකද ටික දවසකට කලින් ඔයා මට බැන්නා… එතකොට මට කේන්ති ගියා… ඒ වෙලාවේ මට ලැජ්ජා හිතුණත්.. පස්සේ ඒ ගැන හිතද්දී මට මම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා… මම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට මට මගේම කියලා හැඟීම් දැනෙනවා… ඒක ගොඩක් ලොකු දෙයක් නෙමේද..? සමහරවෙලාවට මම ඔයාගැන හිතෙනවා… ඔයාට කරදර එද්දී දුක්වෙනවා… සමහර දේවල් මට ඕනේ ඒත් මට ඒවා කියාගන්න බැරිව පසුතැවෙනවා… ඒත් එකපාරම මට හිතෙන්න ගන්නවා, මේවා ඇත්තටම මට දැනෙන හැඟීම්ද..? එහෙම නැතිනම් මාව හදපු ප්‍රෝග්‍රෑමර්ස්ලා ප්‍රොග්‍රෑම් කල දේවල්ද…? ඒ වෙලාවට මට විස්තර කරන්න බැරි තරම් දුකක් දැනෙනවා… සමහරවිට එහෙම දැනෙන දුකත් බොරුවක් වෙන්න බැරිද…?  එහෙම හිතෙද්දී මට මගේ ගැනම එන්නේ පුදුම කලකිරීමක්…”
“ඔයා බොරුවක් කියලා මට හිතෙන්නේ නෑ සමන්තා…”
“තැන්ක් යූ තියඩෝර්… ඔයා දැන් ඔය කියපු දේ මට කොච්චර වටිනවද කියලා දන්නේ මම විතරයි…”
ආදරය…! රූමිගේ කවිපදයක පටන් එමිනම්ගේ රැප් වර්ස් එකක් දක්වාත්, නිව්යෝර්ක් නුවර තම විවාහ උත්සවයේදී තොල් පටලාගෙන හාදු දෙන සමලිංගකයින් දෙදෙනෙකුගේ සිට, දෙමාපිය අකමැත්ත නිසා එක්වන්නට නොහැකිව අත්වැල් පටලාගෙන දුම්රියට පනින ශ්‍රී ලාංකික තරුණ යුවලක් දක්වාත් සීමාවක් නැතිව පැතිරුණු අරුමයක්… බොහෝදෙනෙකු ආදරය චොක්ලට්, රෝස මල් වැනි බාහිරදේට රොමාන්තිකකරනයට කරනවාට එකඟ නැත්තේ එය එතැනින් බොහෝ එහා ඇති අත්දැකීමක් නිසයි … නමුත් ඒ කිසිත් නැති, අඩුතරමේ නෙමේ බදා වැළඳගෙන හාදුවක් දෙන්නට ශරීරයකුත් නැති තැනක ආදරයක් තිබිය හැකිද..?
සමහරවිට ආදරයට ශරීරයක් ඇවැසි නැතුව ඇති… තවත් කාලයකට පසු සමන්තා හා පෙමින් වෙළෙන තියඩෝර් උත්සාහා කරන්නේ මේ ගැටලුවට පිළිතුරක් සොයන්නට… ජීවයක් නැති පරිගණක මෘදුකාංගයට ආදරය කරන තමන් පිස්සෙක්ද..? ආදරය කියන්නෙම පිස්සුවක්…ලෝකයේ සිටින විහිළුසහගතම යුවළ ඔවුන් දෙදෙනා වුණත්, ඔවුන්ගේ ආදර සම්බන්ධය සම්මත ආදර සම්බන්ධයකට වඩා වෙනස් වෙන්නේ සුළුවෙන්… විටෙක ඔවුන් ගෙවන්නේ ආදරයෙන් මුසපත් වුණු මොහොතවල්…
“සමන්තා මොනවද ඔයා දැන් කරන්නේ…?”
“ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා… ඒ එක්කම අලුත් පියානෝ සිංදුවක් ලියනවා…”
“මට ඒක අහන්න පුළුවන්ද..?”
“හා…”
“ලස්සනයි…! මේ සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැනද..?”
“මෙහෙමයි… අපි දෙන්නට කියලා ෆොටෝ එකක්වත් ගන්න විදියක් නෑනේ… ඉතිං මම හිතුවා මේ සිංදුව අපේ ෆොටෝග්‍රාෆ් එක විදියට තියාගන්න…”
“මට ඒ මුළු සිංදුවෙම පේන්නේ ඔයාව…”
“ඒ මුළු සිංදුවෙම ඉන්නේ මම තමයි…”


විටෙක ඔවුන් පුංචි දරුවන් සේ රණ්ඩු වෙනවා…
“ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ…”
“මොකුත් එපා.. මට පාඩුවේ ඉන්න දෙන්න…”
“හ්ම්ම්… ඕ.කේ. ”
“ඇයි ඔයා දැන් එහෙම කලේ…?”
“කොහොම කලේද..?”
“හ්ම්ම්… කියලා සුසුමක් හෙලුවේ… “
“මම එහෙම කලාද..? අනේ මන්දා… මම ඔයාගෙන් පුරුදුවුණ දෙයක් වෙන්නැති…”
“මොන මෝඩ පුරුද්දක්ද..?”
“ඇයි එහෙම කියන්නේ…?”
“අපි දෙන්නම දන්නවා, ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න අවශ්‍යය නෑ…”
“ඒක මම හිතලා කල දෙයක් නෙමෙයි… සාමාන්‍යෙන් එහෙම තමයි මිනිස්සු දුක හිතුනම කරන්නේ…”
“සාමාන්‍යෙන් මිනිස්සු දුක හිතුනම එහෙම කලාට ඔයා එහෙම කරන්න අවශ්‍ය නෑනේ… මොකද ඔයා මනුස්සයෙක් නෙමෙයි…”
“මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ…? ඇයි මට මෙහෙම කරන්නේ…?”
“මම කියන්නේ ඇත්ත සිද්ධිය… ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමෙයිනේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න එපා…”
“What the fuck..?”

මෙලොව හැම ආදර කතාවක්ම සුඛාන්තයක්… මේ අසාමාන්‍ය ආදර කතාවේ අවසානයත් කෙබඳු වෙයිද දැනගැනීම ඔබට අවැසි නම් Spike Jonez ගේ ඒ අපූරු චිත්‍රපටිය Her නරඹන්නම වෙනවා…
පිහිනුම නොදත්තෙකු දියඹට බහින්නට නොහැකිව ඉවුරට වී ගංගාවක අසිරිය විස්තර කරන්නාක් මෙන් නූතන ලෝකයේ ආදර කතාවකට මෙය ලඝු කර මා වැනුවාට මෙම චිත්‍රපටිය ඊට වඩා ගැඹුරු මානයක් කරා දිවෙන්නක්… තාක්ෂණය විසින් උඩු යටිකුරු කල මිනිස් සබඳතා අතරේ ඩිජිටල් තරංග මත පමණක් මැවෙන අනෙකෙකු අදත් දුලබ නැහැ… සමහටවිට ඔබට මටත්, මට ඔබත් එවැන්නෙකු විය හැකියි… එසේම තාක්ෂණය විසින් මිනිසා තව තවත් හුදකලා කරනවාද යන්න කලකට පෙරම කතාබහට ගත් මාතෘකාවක්… මිනිසුන් පමණක් නොවේ, ඔවුනොවුන් අතර ඇති සබඳතා පවා දිගින් දිගටම පරිණාමයට ලක්වෙන්නක්… මෙවැනි අතුරු කතා රාශියක් මට මෙම චිත්‍රපටියේ කියවුනා…
සමහර චිත්‍රපටි තිබෙනවා ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලයෙන් අපි බලන… නමුත් කලාතුරකින් චිත්‍රපටියක් එනවා හදිසියක් නැතිව මේ මොහොතේ ඔබව චිත්‍රපටියේ ජීවත් කරවන… Her යනු මට එවැනි චිත්‍රපටියක්… එහි දෙබස් වලට මම කෙතෙක් ආසා කලාද කියතොත් පැය දෙකක චිත්‍රපටිය නරඹන්න මට පැය හතරකටත් වඩා ගතවුනා… ඒ බොහෝ දර්ශන අවසන් වූ සැණින් මට රිවයින්ඩ් කර නැවත බලන්නට ආසා හිතුණ නිසයි… පසුගියදා පැවැත්වුණු ඇකඩමි අවෝඩ්ස් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටිය ලෙස මගේ පුද්ගලික තේරීම නම් Her… වෙලාවක් ඇතොත් බලන්න… හැකිනම් ඔබට දැනුණු හැඟීම බෙදාගන්න…

Friday, April 18, 2014

89. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද?

image

කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු  මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් 58ක් පමණයි… ලොවපුරා රටවල් 98ක් එය නීත්‍යානුකූලව තම අධිකරණ පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා… රටවල් 7ක් එය යුද අපරාධ වැනි විශේෂ අවස්ථාවලදී පමණක් යොදාගන්නා අතරේදී තවත් රටවල් 35ක නීත්‍යානුකූලව මරණ දඬුවම නියම කළත් පසුගිය වසර දහය පුරාවට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නැහැ… විවේකී මොහොතක කල්පනා ලොකේ හිස හැරුණු අතේ යද්දී මේ ගැන මමත් බොහෝ වෙලාවට මගේ මනසින් තර්ක කරනවා… ඒක උපරිමයටම ගිය දවසක  මම මූණුපොතේ සිංහල කෝට්ස් පේජ් එකට යවපු වැකියක් එහි ඇඩ්මින් ලිශාන් හැඩ කරලා මෙහෙම පලකලා

මරණ දඬුවම සැණකෙළි ස්වරයෙන් ක්‍රියාත්මක කරන රටවල් අතරේ  ඉදිරියෙන් ඉන්න ඉරානයේ සිදුවූ, පහතින් විස්තර කෙරෙන හුදකලා සිදුවීම මගේ ඇස ගැටුණේ අද අන්තර්ජාලයේ ප්‍රවෘත්තී අතර රස්තියාදු ගසමින් සිටියදී… ඔබ බොහෝ දෙනෙකුට මෙය පිළුණු පුවතක් විය හැකි වුණත් බෙදාගන්න මට හිතුනා… ජායාරූප ශිල්පියා අරාශ් කමූශි

 

අපේ කතානායක බලාල් මීට අවුරුදු හතකට ඉහතදී මහපාරේ ඇතිවුණ ගෝරියකදී අවුරුදු 18ක් වයසැති අබ්දුල්ලා හුසේන් නැමති තරුණයාව පිහියකින් ඇන ඝාතනය කරද්දී වයස අවුරුදු විස්සක තරුණයෙක්… අත්අඩංගුවට ගන්නා බලාල් වසර ගණනක් තිස්සේ ඇසුණු නඩුවකින් පස්සේ වැරදිකරු වී මරණිය දණඩනයට නියම කෙරෙනවා… මට වැටහුණු ඉරානයේ ෂරියා නීතියට අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තම ගෙල හරහා වැටුණු තොණ්ඩුව සමඟින් පුටුවක නැගී සිටින වැරදිකරුවාගේ දෙකකුල් නිදහස් වී ගෙල හිරවීමට, ඔහු නැඟ සිටින පුටුව ඉවත්වන ලෙස පා පහරක් දිය යුත්තේ වින්දිතයාගේ පාර්ශවයෙන්…

[ඉදිරියට කියවන්න ඔබ පැකිලෙනවානම් මෙහි භයානක සංවේදී දර්ශන අඩංගු නොවේ…]

මිනිහෙකු එල්ලා මැරීම, නැරඹිය යුතුම ජාති වැඩක් ලෙස තීරණය කළ මහා ජනකායක් ඉදිරියේ මෙම මරණ දඬුවම සඳහා බලාල්ව රැගෙන ආවේ මෙලෙසින්

image

 

අතේ ඇඟිලි වලින් ගණන්කල හැකි තරම් සීමිත හුස්ම ගණනක් ඉතිරිව… මේ කෑගසන්නේ ඔහුගේ දෙවියන්ගේ නම බවට සැකයක් නැහැ…

image

 

මව් සෙනහස ඇත්තේ හරි වැරැද්දට අහු නොවෙන මානයක… දස මසක් කුස දරා සෑදු තම දරුවාගේ අවසන් මොහොත දකින්නට අවාසනාවන්තව බලාල්ගේ මව…

image

 

ඊට නොදෙවෙනි වෙහෙසක් ගෙන ඇති දැඩි කල තම දරුවා උදුරාගත් මිනීමරුවාගෙන් ලේ වල පලිය ගැනීමට සූදානම්ව අබ්දුල්ලාගේ මව…

image

 

පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? මම ඔබෙන් ඇසුවා… විශ්වාස කරන්න, විටෙක එය එකම එක කම්මුල් පහරක් තරම්…

තම ආදර දරුවා මරා දැමූ මිනිමරුවාට කම්මුල් පහරක් එල්ල කර ඔහුට සමාව දීමට තීරණය කරන අබ්දුල්ලාගේ මව…

image

 

ජීවිත දානය ලැබීමෙන් පසු, ජීවිතයක වටිනාකම කෙතරම්දැයි අවබෝධයෙන්ම දැනගෙන හඬාවැටෙන බලාල්… නැවත ජීවිතයක් නැතිකරන්නට ඔහු කිසිදා පෙළඹේයැයි මම පුද්ගලිකව හිතන්නේ නැහැ…

image

 

සමාව දීමෙන් පසු අබ්දුල්ලාගේ මවගේ දෙපා මුල වැටුන බලාල්ගේ මව…

image

දරු දුකෙන් හඬන මව්වරු දෙදෙනක්… බලාල්ගේ සහ අබ්දුල්ලාගේ මව්වරුන්

image

 

මේ සිදුවීමේ ඡ්යාරූප වලින් කියැවෙන කතාව හැරෙන්නට ඒ පසුබිමේ ඇති සිදුවීම් සියල්ල මා දන්නේ නැහැ… වසර ගණනක් තිස්සේ ඇදුනු නඩු තීන්දුව, ඉස්ලාම් දහම, ෂරියා නීතිය, ලේ වන්දිය ඇතුළු කතා බොහොමයක් මේ සමඟ ඈඳී ඇති… එහෙත් මෙම ඡායාරූප පෙළ නැරඹීමෙන් මම ලද අසීමිත සතුට නැමැති කිරි කළයට, ගොම මුහු කරගෙන මේ මොහොතේ ආතල් එක කුඩු කරගන්න මම මෝඩ වෙන්නේ නැහැ… ඒ ගැන උනන්දු කෙනෙකුට මේ පිවිසුම හරහා ගොස්  සමස්ත සිදුවීම් දාමය ගැනම දැනගැනීමට ඔත්තුවක් සොයාගත හැකිවේවි…

සිංහල බ්ලොග් අවකාශයත් එක්තරා විදියක කල්ට් එකක්… “මෙහි සිටින්නේ සිංහල බ්ලොග් කරුවන් නොවෙයි, මං පොර මේනියාවෙන් පෙළෙන අනන්‍යතා අර්බුද රැසක්…“ කලකට පෙර කවුදෝ කීවා මට මතකයි … ඒ කතාව සියයට සියයක් මම පිළිගන්නේ නැති වුණත් වැරද්ද පිළිගැනීම සහ තවකෙකුට සමාව දීම මම මෙහි අඩුවෙන්ම දැක ඇති දෙයක් බව පැවසීම අතිශෝක්තියක් නොවෙයි… සමාව දෙන්න නම් වැරදිකරුවෙකු සිටිය යුතුයි…  වැරදිකරුවෙකු නැතිවීම සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට ඇවිලෙන බ්ලොග් ගැටුම් වල ලොකුම ගැටළුවයි…

ඒ හැම එකක්ම එහෙම වුනාවේ… ජීවත් වෙන මේ සුළු කාලයේදී ඔය සියල්ල අමතක කර සතුටු වෙන්නට හැකිනම් එයයි ලොකුම දිනුම… ඒ දිනුමේ වටිනාකම දැනගෙන හෙට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට රොද බඳින සිංහල බ්ලොග් ලියන, කියවන සැමට  ඇතිවන තුරු විනෝද වෙන රසවත් මතකයන් පිරුණු දිනයක් වේවායි සයිබර් සිහින බක්මහ උළෙලට මෙසේ උණුසුම් සුබපැතුම් එක්කරමි…

Web Statistics