මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි…
“නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?”
ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට පුද්ගලික වාසියක් නැති මෙම ගමන තේරුමක් ඇති එකක් කරගන්නට මම උත්සාහා කලෙමි…
“ඒ ටවුමේ තියෙනවා ආර්යාස් කියල ඉන්දියන් හෝටලයක්… ඒකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…”
මම පවසද්දී ඔහු හිනහාවෙයි…
“හරි.. අපි අලබෝලත් කමු… යමු… උඹ වරෙන්කෝ මගෙත් එක්ක…”
ඔහු මේ මුනගැහෙන්නට යන්නේ තරමක ජනප්‍රිය චරිතයකි…
“දැන් උඹ ලොකු මිනිස්සු එක්ක නේද ගනුදෙනුව…?”
“ එහෙම ගනුදෙනුවක් නෑ… මට සිංදුවක් ලියලා දෙනවද කියලා මම ඒ සර්ට ලියුමක් යැව්වා…ඊයේ සර්ම මට ලියුමක් එවලා මට සිංදු දෙකක් ලියලා තියෙනවා, ඒක ගන්න එන්න කියලා… මේ ඒක ඉල්ලගන්න යන්නේ…”
“හා එහෙනම් යමු…”
අදාල නගරයෙන් බැසගත් අපි දුම්රිය නැවතුමෙන් පිටතට පැමිණියෙමු…
“අලබෝලයක් කාලා ප්ලේන්ටියක් බීලම යනවද? “
මොහොතක පමාවත් වලකනු රිසියෙන් මම අසමි…
“මං කියන්නද..? අපි සර්ව හම්බුවෙලා ඉමුද..? මගේ අතේ රුපියල් සීයයි තියෙන්නේ… දැන් මෙතන ඒක ඉවරකරගෙන ගිහින්, බැරිවෙලා හරි සර් තේ එකක් බොමු කිව්වොත් දෙන්න උඹ ගාව සල්ලි තියෙනවද…?”
“ අනේ උඹ ගාව තියෙන සීය මට පෙන්නපන්… මම රුපියල් සීයක් දැකපු කාලයක් මතක නෑ…”
“වරෙන් යන්න එහෙනම්…”
මගේ අතින් ඇදගෙන ඌ ටියුෂන් පන්තිය කරා දිවයයි… පන්තියට විවේක කාලය ලැබෙන තුරු වූ පමාවකින් පසු අපි එතුමාව හමුවීමු… අපව උණුසුම් ලෙසින් පිළිගත් එතුමා තේ පැන් සංග්‍රහයකට වූ ආරාධනාවක්ද සමඟින් අපව අසල පිහිටි ආපන ශාලාවකට කැඳවාගෙන යන්නට විය… කොතැන හෝ වැරදීමක් ඇතැයි මගේ ටිකිරි මොළයට වැටහෙයි… සැබැවින්ම සංග්‍රහ කළයුත්තේ ඔහුගෙන් සිංදු දෙකක් ඉල්ලාගැනීමට පැමිණි අපයි… මේ උණුසුම් පිළිගැනීම සාමාන්‍ය මිත්‍රශීලීබවකින් ඔබ්බට යන්නකි…
එතුමාගේ ඇණවුමෙන් කෙටි ආහාර සහ පැණිබීම මේසයට ඇරෙයි… ලෙටර්හෙඩ් සහිත කිරිසුදු කඩදාසි වල පිළිවෙලට ලියූ ගී පදමාලා දෙකක් සුරැකිව මා මිතුරා අතට පත්කරන එතුමා එහි අර්ථය දීර්ඝ ලෙස විස්තර කරයි…
“පින් සිද්දවෙනවා සර්…” මිතුරාගේ ඉහේ මලක් පිපුනා වැනිය…
“දහදාහයි…”
“මොකද්ද සර්…?”
“දහදාහයි… එක සිංදුවටක පහයි.. දෙකම දහදාහයි…”
තවත් සුළුවේලාවකට පසු අපි දෙදෙනා විතරක් ඉතුරුවී සිටින මේසයට වේටර් ගෙන ආ බිල මත්තේ තැබෙන්නේ මා මිතුරා සතු අන්තිම රුපියල් සියයයි…
ගනුදෙනු බේරා අපි ආපන ශාලාවෙන් එළියට පැමිණෙද්දී, එවෙලේ අවසන් වූ පන්තියක සමනළියන් වැනි තරුණියන් අප ඉදිරියෙන් පියඹා යයි… අපි ඔවුන් පසුපසින් දුම්රිය ස්ථානය දෙසට පියමනිමු… හොරෙන් රිංගා ගත් දුම්රියේ වේදිකාව නොමැති පැත්තේ ඇති පාපුවරුවට අප දෙදෙනා ගොඩවෙන්නේ හදිසියක් වුනොත් බැස දුවන්නට සූදානමිනි…
“ආර්යාස් එකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…”
දුම්රිය සෙමෙන් නඟරයෙන් ඈත්ව යද්දී මම කොඳුරමි…
“වෙන දවසක මම උඹට අරන් දෙන්නම්…”
ඔහුගේ සෝබර මුහුනේ හසරැල්ලක් ඇඳේ…
මෑත දිනෙක නිවාඩුවට ගමේ ගොස් එන මොහොතේ ඔහු බැහැ දකිනු රිසියෙන් ඔහුගේ නිවස අසල මොහොතකට නැවතීමි… ඔහු තවමත් තනිකඩය… දිරාගිය ඔහුගේ මව්තුමිය මා පිළිබඳ හාංකවිසියක් මතකයට නඟාගැනීමට වෙහෙසෙයි… ඔවුන් දෙදෙනාගේ කුසට අහරක් සරිකරගනු වස් දවසේ මෙහෙවර වෙනුවෙන් ඔහු නික්ම ගොස්ය… කලකින් ආවරණය ඉවත්නොකල ගිටාරය පමණක් ඇඳ අද්දර එල්ලෙයි…
Inside Llewyn Davis පට්ට චිත්‍රපටියකි…!
චිත්‍රපටිය නැරඹිමට ඔබට ඉසිඹුවක් නැතිනම්, සහ ඔබ ෆෝක්, කන්ට්‍රි මියුසික් රසිකයෙක් නම් මේ එහි එන ගීත එකතුවයි…
ප.ලි. :
විස්තරයක් ලියන්න වේලාව නැතත් සඳහනක් හරි කරන්න මට අවශ්‍යය අනෙක් චිත්‍රපටිය The Fault in Our Stars
එහි දක්නට ලැබුණු ගීතයක් ඇසුරින් නිමැවුනු මේ මියුසික් වීඩියෝ දෙක මගේ සිත තදින් පැහැරගත්තා… සංගීත කණ්ඩායම Kodaline
මුලින්ම මේ සත්‍ය කතාවක්ද?
ReplyDeleteඑහෙම නම් අටුවා ටිකා අවශ්‍ය නෑ. මා දන්නා ඔබත් දන්නා එක්තරා ස ර් ගැන මොන අටුවා ටිකාද?
ඔබේ මිතුරා එතනින්ම සංගීතය අතහැර දමා නම් සර් උගන්වපු සිංහල මදිවෙයි ගොඩයන්න.
ෆිල්ම් එක බලන්න ඕනේ.
Deleteඔව්..ඩෙකරේශන් කිහිපයක් ඇරෙන්න සමස්තය සත්‍ය කතාවක්..
Deleteඔයාගේ අනුමානයත් හරි.. හැබැයි මෙහෙමයි... ඇත්තටම මේ සිදුවීම අදටත් මට කන්ක්ලූෂන් එකකට එන්න බැරි සිදුවීමක්... සමහරවිට එයා එදා කලදේ හරි ඇති... කාටවත් වැරද්දක් නොදා මේක ලියන්න මම උත්සාහාකලෙත් ඒකයි...
පට්ට! ෆිල්ම් එකටත් වඩා අකුරු අස්සේ ලියවුනු ජීවිතේ වින්දා
ReplyDeleteස්තූතියි... ඒ කියන්නේ ෆිල්ම් එකත් විඳින්න පුළුවන් ෂුවර්...
Deleteමචං 500 මයිල්ස් පට්ට සින්දුව
ReplyDeleteමම ඔය සින්දුවමම ඉස්සර ආසම සින්දු වලින් එකක්.
සී ඩී එක සුනාමියට අහු උනා
තංකූ මතක් කරාට
නියමයි..! ඇත්තටම මේ පෝස්ට් එක ලියන්න හිතුනෙත් ඒ සිංදුව හින්දාමයි... ගොඩක් පරණ සිංදුවක් කියලා දැනගත්තේ මේ ගැන හොයද්දී... මම නම් අද මේ ෆිල්ම් එක බලද්දී තමයි ඉස්සෙල්ලාම ඇහුවේ... පලවෙනි පාරින්ම කැරකිලා වැටෙන්න වැදුනා...
Deleteකඳුලු බිංදුවකුත් එක්ක, හිත අතීතයට ඇදිලා ගියා. පුංචි කාලේ ගිය ' Country Music Festival' එකක් මතක් වුනා බීටලේ. මේ වගේ අපේ හිත් ඔයාට ඕනි තැනට ගෙනියන්ට ඔයා හැබෑ දක්ෂයෙක්.
ReplyDeleteකතාව ගැන කියනවා නම් ඔහොම දේවල් අපේ ලෝකේ හැම තැනම වෙනබව හොඳින්ම දන්නවා...ෆිල්ම් එක පස්සේ බලන්නම්. :)
ඔයාගේ හිත මට ඕනේ තැනට ගෙනියන්න තිබුණානම් කොච්චර දෙයක්ද..? :D මම එච්චර දක්ශයෙක් නෙමේ... :D
Deleteහිමිච්චා වගේ හිටියට..... :-D
Deleteඋඹ ලියපු වචන ටික හරියට කෙටි කතාවක් වගේ හිත ඇතුලෙ මැවිල පෙනුන බන්..
ReplyDeleteඅනිවා ෆිල්ම් එකත් බලන්න ඕනි..
එල තැන්කෝ
Deleteසංවේදී මිනිස්සු අනික් අයගෙනුත් එහෙම සංවේදී කමක් බලාපොරොත්තු වෙනවා , ඒක වරදක් නෙවෙයි . ඒත් කොතැනකදී හෝ රැවටීමකට ,බලාපොරොත්තු කඩවීමකට ලක්වුනාම ඇතිවෙන කලකිරීම ඔහුට ලෝකයම එපා කරවනවා. අයින් පසු අර සංවේදී මිනිහා කිසිම හැගීමක් නැති පුද්ගලයෙක් බවට පත්වෙනවා .
ReplyDeleteමම කියපු දේ වැරදිද කියන්න දන්නේ නෑ . එත් ගුරුතුමාගේ හැසිරීම ගැන ඔබ ලියා තිබූ දේ ඔස්සේ මට හිතුනේ එහෙමයි . සංවේදී වීම සහ සංවේදී කම බලපොරොත්තු වීම අසාධාරණයි කියලා හිතන්න බෑ නේද? සංවේදී හිතක් රැවටීමට, සමච්චලයට හෝ බලාපොරොත්තු කඩවීමකට ලක්වීම සමහරවිට මහා විනාශයක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් ලෝකයට ලැබිය යුතු වටිනා දායාදයක් අහිමිවීමටත් හේතුවක් වෙන්න පුළුවන්
ඔව් සංවේදී වීම වැරදිදෙයක් නෙමෙයි... ඒක වැරද්දක්ද කියලා අපිට කතාකරන්න වෙන එකම මම හිතන්නේ අවාසනාවක්... ඒත් ඒ සංවේදී මිනිස්සු කවදා හරි බලාපොරොත්තු කඩකරගෙන අර තිත්ත පාඩම ඉගෙන ගන්න එපැයි... මගේ යාලුවා තාමත් ඒක ඉගෙනගෙන නැති හැඩයි...
Deleteමේක චිත්‍රපටියෙ එන කතාවද නැත්නම් ඒකට උඹේ අත්දැකීම් ඇසුරෙන් ලියපු පූර්විකාවක්ද ?
ReplyDeleteඒක ප්‍රසිද්ධ කමේ මිළනෙ....ආධුනික ගායකයට ඒ ගැනත් ටිකක් හිතන්න තිබුනා.. මමනම් ඔය වගේ දේකට යන්නෙ නරකම දේට සූදානම් වෙලා..
චිත්‍රපටියේ කතාව මීට වඩා ගොඩක් සංකීර්ණයයි මචෝ... ලියලා තියෙන දේ අත්දැකීමක්... ඒ චිත්‍රපටිය පුරාවටම මගේ පරණ යාලුවාව මතක් වුන නිසා ඒ කතාව ලිව්වේ... ඊයේ චිත්‍රපටිය නොබැලුවානම් ලියන්න හිටි දෙයක් නෙමේ...
Deleteඔව් ලොකු කමියුනිකේශන් ගැප් එකක් තිබිලා තියෙනවා... මට ඒක වැටහෙන්න පටන්ගත්තේ එයා එක්ක කතාකරද්දී.. මගේ අහිංසක යාලුවට ඊටත් ගොඩක් පස්සේ...
පුදුම වැඩක් නේ.. මේ ලිපිය ලියැවෙන්න දින තුනකට කලින් මම සටහනක් තැබුවා..
ReplyDeleteඒ ලංකාවේ ඇත්ත චරිතයක්.. බංකුවක් උඩ තියල ලියාපු ගීයක්..
"හොඳම නිර්මාණ වලට මිලක් නියම කරන්න බෑ" කියන්නේ ඒවා අධික මිලක් ඇති නිසා නෙමේ ඒවට මිල කියන සංකල්පය සම්බන්ධ නැති නිසා නේද බීටල්?
අපේ තාත්තලාගෙ පරම්පරාවේ නම් එහෙම හොඳ නිර්මාණ වලට මිලක් නියම කරන්න බැරි අය ගොඩක් හිටියා... ඒත් අදකාලේ එහෙම නොකර ඉන්න නම් උපරිම සටනක් දෙන්න වෙලා තියෙනවා නේද..?
Delete//"හොඳම නිර්මාණ වලට මිලක් නියම කරන්න බෑ" කියන්නේ ඒවා අධික මිලක් ඇති නිසා නෙමේ ඒවට මිල කියන සංකල්පය සම්බන්ධ නැති නිසා නේද බීටල්?//
Delete+++
/////"හොඳම නිර්මාණ වලට මිලක් නියම කරන්න බෑ" කියන්නේ ඒවා අධික මිලක් ඇති නිසා නෙමේ ඒවට මිල කියන සංකල්පය සම්බන්ධ නැති නිසා නේද බීටල්///////
Deleteතිස්ස ලියලා තියෙන්නේ මිල කල නොහැකි කියමනක්.
ඔය ගිත රචනා කරන ගොඩ දෙනෙක් හරිම මානක්කර මිනිස්සු.මටත් කිප දෙනෙක් මුනහැහිල තියෙනව.ඔවුන් සියල්ලගෙම ඔවුන්ගෙ රචනාවල පෙන්නන සන්වෙදිකම ඇතුලෙ නැ.සමහරවිට ඔවුන් නියම ලෙසට මෙ සමාජගත්වෙල වෙන්න ඇති.මම ඉතාම ආදරය කරන ගිත රචකයත් එහෙමම තමයි.එක හරිද වැරදිද මම දන්නෙ නැ.හැබැයි මම අදත් ඔහුගෙ ගිත වලට ප්‍රියයි.හැමදෙටම මිලක් තියෙන සමාජයක එක වැරදි නැතුව ඇති.
ReplyDeleteහ්ම්ම්... සමහර ප්‍රවීන ගායකයොත් එහෙම පත්තර වල මම දැකලා තියෙනවා...
Deleteසමාජයට අවශ්‍ය නොවන දේවල් වලට බලෙන් "වටිනාකමක්" ලබා දීමට උත්සහ කිරීම නිෂ්ඵල දෙයක් බීට්ල්. කළා නිර්මාණ වුනත් එසේමයි. තමන්ගේ නිර්මාණ වලට තැනක් නැහැ කියල කන්කෙඳිරි ගෑම අනවශ්‍ය දෙයක්.
ReplyDeleteසමාජය ඉල්ලන දේ දෙන්න ඕනේ කියන එක නොවේ මා කියන්නේ. කිසිම මිනිසෙක් සමාජයට අවශ්‍ය දේ නොදෙන අතරේ, මට ජිවත් වීමට නොහැකි යයි මැසිවිලි නගන්න ඕනේ නැහැ. ඔබගේ ප්‍රවේශය හොඳයි. මොකද කියවන්නාට පුළුවන්, තමන්ගේ කෝවට දා ගන්න.
ඔව් ඒක ඇත්ත තමයි... වටිනාකමක් ඇතිදේයක් නම් ඒක සදහටම සමාජයෙන් හැංගිලා තියෙන්න විදියකුත් නැහැනේ... මමත් හිතෙන්නේ කෘතිමව එහෙම වටිනාකමක් මවලා පෙන්නුවත් ඒක තාවකාලිකයි... එක බ්‍රේකින් පොයින්ට් එකක් එනවා සේරම කඩාගෙන යන...
Deleteමොකක්ද බීටලේ පෝස්ට් එකේ මාතෘකාවත් එක්ක නොම්මරයක් යන්නෙ? මට එහෙම නොම්මර තියෙන පෝස්ට් දැක්කම නිකම් නුහුරු ගතියක් එනවා. සාමාන්‍යයෙන් එවැනි ලිපි වලට සින්ඩිය හරහා එන්න හිතෙන්නෙ නෑ.. :)
ReplyDeleteඒ නොම්මරේ යන්නේ දැනට බ්ලොග් එකේ ලියලා තියෙන සේරම පෝස්ට් ගාන... ඒ ස්ටයිල් එක මම හිටපු ජනප්‍රිය බ්ලොග් කරුවෙක්ගෙන් කොපි කලේ :)
Deleteහිටපු අය පමණක් නොවේ දැන් ඉන්න හැලපයා, රවී වගේ අයත් ඔය නොම්බර ක්‍රමයටයි වැඩ. ඇයි ජීවීතේ මල් බ්ලොග්කාරිය!
Deleteඔව්.. මම ඉස්සෙල්ලාම දැක්කේ අතනින්... මේකේ තියෙන එක හොඳක් තමයි හාෆ් සෙන්චරි, සෙන්චරි එහෙම වදිද්දී අමතක වෙන්නේ නෑ...
Deleteමමත් ඔය වැඩේ කරනවා. මම ඒක කොපි කලේ ගාමිණීගේ විජිතය බ්ලොග් එකෙන්. ඒක හොඳ පුරුද්දක් කියල මට හිතුනා.
Deleteෆිල්ම් එකනම් බලලා නෑ.. ඊයේ ඒක කියවන්න වෙලාවක් වුනේ නෑ.. නැත්නම් මේ ෆිල්ම් එක අද ශෝක් එකට බලන්න තිබුනා.. දැන් ඉතින් ලබන සතියේ තමයි බලන්න වෙන්නේ..
ReplyDeleteඋඩින් ලියලා තියෙන කතාවනම් හිතට දැනුනා.. එක අතකට තමන්ගේ හීන වලට යන්න බැරි වෙන මිනිස්සු කොච්චරනම් අපි අතරේ ඉන්නවද කියලා හිතුනා..
හීන වලට යන්න බැරි හේතු ගොඩක් තියෙන්න පුළුවන්... ඒත් උත්සාහය මදි නොකියන්න තිබිලත් හීන වලට යන්න බැරිවෙනකොට තමයි අවුල එන්නේ...
Deleteචිත්‍රපටයත් බලා නැත..සිංදුවත් අසා නැත..
ReplyDeleteඒත් ඕක හොයාගෙන බලනවා කියන එක නං බුදු සුවර්ය...
අතීත අත්දැකීමක්ද...
ට්යුසං කරන සිංදු ලියන කීප දෙනයිඉන්නෙ නේද...
ඒ කියන්නෙ මට අනුමාන කරන්න පුලුවං
ඔව් ඇත්තටම අතීත අත්දැකීම මතක්වුනේ ෆිල්ම් එක බලද්දී...
Deleteකතාව අහල හිත ගැස්සුනා බීටලේ, ඒත් ඉතින් හැමදේම සල්ලි වලින් මනින ලෝකෙක මෙහෙම දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕන නේද?
ReplyDeleteඔව් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැති එක උගේ වැරැද්ද...
Deleteචිත්‍රපටි බලන්නේ නැති අපි වගේ අයත් චිත්‍රපටි අඳුන්නලා දෙන්න කතා කෑලි ත් එක්ක ලියන බ්ලොග් පෝස්ට් නම් කියවනවා. ඊට පස්සේ ලොකු කතාවක් ඇතුළේ තියෙන පොඩි කතාවක් ඇතුළේ තියෙන ලොකු කතාව කියවලා හිත සසල වෙනවා. :)
ReplyDeleteබීටල් ට මතක ද මන්දා Fault in Our Stars පොත ආපු අලුත ඒක කියවලා පිස්සු වැටිලා මම කිව්වා චිත්‍රපටිය ආවහම කොහොම හරි බලන්න කියලා? Glad you did!
මම ඒක වොච් ලිස්ට් එකට දාගත්තේ කිව්ව දවසේමයි... ඒ නිස මඟඇරුනේ නෑ... ෆිල්ම් එකටත් වඩා පොත ලස්සන ඇති තමයි... ඊරිසියයි වෙලාවකට :)
Deleteනියමයි බොක්කට වැදුනා. එල ද බ්‍රා.
ReplyDeleteඑලකිරි
Deleteසන්නිවේදන ප්‍රශ්නයක්...!!!
ReplyDeleteඑහෙනං මාත් රුපියල් තිස් දාහක් විතර වටිනවා.
කකාගේ මීල ඊට වඩා බොහොම වැඩියිනේ...
Deleteෆිල්ම් එක බලලම අදහස ලියන්නම්.. බ්ට්ල් දාන ෆිල්ම් ඔක්කොම වගේ මම බලනවා.. :D
ReplyDeleteඑල පැතුම්... මේක ගොඩක් ස්ලෝ ඩ්‍රාමා එකක්... සමහරවිට හරි මූඩ් එකේ හිටියේ නැතිනම් බෝරින් වෙන්නත් ඉඩතියෙයි...ලුවින් ඩේවිස් කියන ගායකයාගේ ජීවිතේ සාමාන්‍යය දින පහක් ගෙවෙන හැටි තමයි චිත්‍රපටියේ තියෙන්නේ... මම ඒක පුරාවටම දැක්කේ මගේ යාලුවාව... සමහරවිට ඒ නිසා වෙන්නැති මට ගොඩක් මේ ෆිල්ම් එක වැදුනේ...
Deleteකලින් වතාවක බීට්ල් රෙකමෙන්ඩ් කරපු චිත්‍රපටියක් (Now You See Me) හදිස්සියේම රෑක හෝල් එකට ගිහිල්ලම බැලුවා. දැන් තත්වය වෙනස්... අරං යන්නත් බැරි දාලා යන්නත් බැරි දෙන්නෙක්ම දැන් ගෙදර ඉන්නවා. මෑත කාලයේදි ටීවී එකේ පෙන්වන චිත්‍රපටියක්වත් එක දිගට අවධානයෙන් බලන්න ලැබුණේ නෑ. එහෙම පුළුවන් වෙච්ච කාලෙක බීට්ල්ගෙ බ්ලොග් එක ගයිඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙයි.
ReplyDeleteමමත් සර්ගෙ ලොකු වැරැද්දක් දකින්නේ නෑ. ඔවුන් ලියන පද වල තියන සංවේදී බව එන්නේ ඔවුන්ගේ පරිකල්පනයෙන් මිසක් හැසිරීමෙන් නෙවෙයි. හැබැයි යාළුවා උත්සාහය අත්හැර දැමීම නම් කණගාටුවට කරුණක්... උත්සාහ කලා නම් බීට්ල්ට උණත් බැරි නෑ සිංදුවක් ලියන්න :). යාළුවට අලබෝලෙන් වැඩේ ගොඩ දා ගන්න තිබ්බා.
හැබැයි මට මෙහෙම එකක් හිතුණා.... කතාවට ලිව්වට, ආපහු එන ගමනෙදි බීට්ල් නිකමටවත් අලබෝල ගැන මතක් කරන්න නැතුව ඇති කියලා....
සමාවෙන්න මගේ අවසානයෙන් පොඩි වැරදි වැටහීමක් වෙනවා තමයි... නෑ ඌ ඒ සිදුවීම හින්දා උත්සාහය අතෑරියේ නැහැ... තිසර හැමදාම මම නොකියන දේ ඇදලා ගන්නවා...එහෙනම් කියපු නැති ටිකත් කියන්නම්...
Deleteමේ සිදුවීම විතරක් නෙමේ මීට වඩා ගොඩක් කලකිරෙන දේ මගේ ඉසරහාම ඌට වුනා... මම නොදැනුවත්ව තව ගොඩක් දේ වෙන්න ඇති... උදාහරණයක් විදියට ඔය සිදුවීමෙන් ඌ ඉගෙන ගත්තා සිංදු හදන්න සල්ලි අවශ්‍යයයි කියලා.. ඊට පස්සේ ඌ අවුරුදු දෙකක් විතර වෙහෙස වෙලා ගීත රචකයෝ කිහිප දෙනෙක්ගෙන්ම ගීත මිලදීගෙන, සංඟීත ශිල්පියෝ මුණගැහිලා ස්ටුඩියෝ ගානේ ගිහිල්ලා ඒ ඇල්බම් එක සම්පූර්ණ කරගත්තා... ඒක ඉස්සෙල්ලාම අහන්න සැලැස්වුවෙත් මට... ගෙදර කැසට් එකේ කොලිටි නැති හින්දා මම හරි නෑ කියයි කියලා බයට, වෙන යාලුවෙකුගෙන් සෙටප් එකක් ණයට ඉල්ලාගෙන ඇවිල්ලා තමයි ඒක ප්ලේ කලේ... අවුල තියෙන්නේ ඒ දවස්වල සන්ෆලවර් බෑන්ඩ් එකෙන් අර බිස්කට් කුඩු මියුසික් එකට සේරම පරණ සිංදුත් රිමික්ස් කරන්න පටන්ගත්ත කාලේ... මුගේ සිංදු ලස්සන වුනාට මියුසික් නිකං තබ්ලා, බටනලා ගහන එකෝස්ටික් මියුසික්... මම කිව්වා මේවා හිට් වෙන එකක් නෑ මචං කියලා... ඒ තමයි ඌට ලැබුන පලවෙනි රිවීව් එක... ඊට පස්සේ ඌ ගෙදර අයට ඒක දාලා පෙන්නුවා... හැමදෙනාම මුල ඉඳන් අගටම අහගෙන හිටියා... මට මතකයි උගේ මල්ලි ඊට පස්සේ කිව්වා සන්ෆලවර් බැක් කරලා චන්දන ලියනාඅරච්චි වගේ කිව්වනම් මේ සිංදු ටික එලටම තියෙයි නේද අයියේ කියලා... ඒ ඌට ලැබුන දෙවනි රිවීව් එක... ඊට පස්සේ ඌට ඕනේ වුනා මේවා රේඩියෝවේ ප්‍රචාරය කරගන්න... ඒකට ලොකු ගානක් ගෙවන්න ඕනේ... ඔන්න එක දවසක් ඌ මට කෝල් කරලා කිව්වා මචං මගේ අර සිංදුවක් රේඩියෝ එකේ යනවා කියලා... මම කිව්වා මම අහන්නම් මචන් මොකද්ද චැනල් එක කියලා... රජරට සේවය... ඔන්න ඔහොමයි උගේ මියුසික් ජීවිතය ගෙවුනේ... ඊට පස්සේ බැඳිම් වෙනස් වුනා අපි ගිලිහිලා ගියා...මට ඌව මඟඇරුණා...
මේ පෝස්ට් එක ලියන්න ගද්දී මගේ හිතේ ලොකු කතාවක් තිබුණා... ඔය යාලුවාට අමතරව අද ලංකාවේ ප්‍රසිද්ද නව පරපුරේ ගායකයෙකුත් මගේ මිතුරෙක් නිසා ඒ දෙන්නව කම්පෙයාර් කරලා ලියන්නයි මට ඕනේ වුනේ... මේ දෙවනි යාලුවා සංගීතය පැත්තට බරයි කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නෑ... මියුසික් පීරියඩ් එකේදී වයලින් එකක් අරන් ගියා මිසක් මම දන්න විදියට අර මගේ පළවෙනි යාලුවා වගේ ජීවිතේම මියුසික් කරගෙන හිටියේ නෑ... මෙන්න එක පාරම මූ හෙයාර් ස්ටයිල් සේරම වෙනස් කරගෙන ටීවී එකේ ඉන්නවා... මම මූනුපොතේ දැක්කා ඌ ලොකු සවුන්ඩ් ස්ටුඩියෝ එකක් එහෙමත් ළඟදී ආරම්භ කලා...දැන් ඌ හැමදාම ටීවී රේඩියෝ වල මම දකින වෘත්තිය ගායකයෙක්... මට වැටහෙන එකම වෙනස මූට සල්ලි තියෙනවා...
මේවා සේරම කොහොමද බන් ලියන්නේ... :D
අල බෝලේ එහෙමම වුනාද මට මතක නෑ... හැබැයි මම අර බිග් බෑන් තියරි එකේ ශෙල්ඩන් කූපර් වගේ ඕනේම කණගාටුදායක මොහොතකත් තමන්ගේ සුවපහසුව ගැන වදවෙන ආත්මාර්ථකාමියෙක් කියලා ආදරේ කරන අය කියලා තියෙනවා... :D
ස්තුතියි කතාව කිව්වට... මට හිතුණේ පෝස්ට් එකේ සරල කරලා ලියලා තියන කතාව කියවලා ඒකට සංවේදී වෙන්න ලේසියි... ඒත් සම්පූර්ණ කතාව දැනගත්තහම අපි අතරමං වෙන ස්වභාවයක් තියනවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. පෞද්ගලිකව මේක සල්ලි තිබීම / නොතිබීම අතර වෙනසක් කියලාම හිතන්න හිත ඉඩදෙන්නේ නෑ, බීට්ල්ට මතකද චාමි ලියලා තිබ්බ ඉබ්බගේ කතාව.
Deleteඔව් මතකයි... ඒ වුනාට ඉබ්බා තරම් වාසනාවන්ත නෑ මූ...
Deleteමේ වගේ දේවල්වලින් කම්පාවට පත්වීම අරුමයක් නොවේ බීට්ල්. මුදල්.....මුදල්....මුදල්....
ReplyDeleteමම කන්ට්‍රි මියුසික් අහන්න කැමතියි. මේ ඔත්තුවට ස්තූතියි!!
දැන ගැනීම සතුටක් අරූ... මට සාමාන්‍යෙන් අහෙන අලුත් සිංදු යූටියුබ් එකේ ප්ලේ ලිස්ට් එකකට දාගන්නවා ඔෆිස් එකේ වැඩ කරන ගමන් අහන්න... මේ බ්ලොග් එකේ දකුණුපැත්තේ මම එල්ලලා තියෙන්නේ ඒ ප්ලේ ලිස්ට් එක...
Deleteදිනේෂ් ප්‍රියසාද් වරක් ගුවන්විදුලි වැඩසටහනකදි මෙහෙම කිව්ව. දිනේෂ්ගෙ දෙවෙනි ෆිල්ම් එක පෙරළිකාරයෝ එකේ සින්දු තුනක් තිබ්බලු ජෝතිට කියන්න. ජෝති ඇවිත් එක ටෙක් එකෙම්ම අර සින්දු තුනම කියල යන්න යනකොට ෆිල්ම් එකේ ප්‍රොඩ්‍යුසර් විජේ කුමාරතුංග ලියුම් කවරයක් දැම්මලු ජෝතිගෙ සාක්කුවට. සල්ලි එපාමයි කියපු ජෝති ඒ කවරෙ ආපහු දීල එතන තිබ්බ බ්‍රවුන් පේපර් බෑග් එහෙක ඔතපු බෝතලයක් විතරක් අරන් යන්න ගියාලු. එදා ඒ ජෝති සල්ලි එපා කියල කියපු සින්දු වලින් සමහරක් අදටත් ජනප්‍රිය සහ බොහෝ අය තාමත් හම්බුකරන් කන සින්දුලු.
ReplyDeleteදැන් ඔය කතවෙ කෙනෙකුට හිතෙන්න පුලුවන් ජෝති වැරදියි කියල. තව කෙනෙකුට පස්සෙ හම්බු කරන උන් වැරදියි කියල.
අනික් පැත්තෙන් එදා ප්‍රේමකීර්ති කාර් බොනට් උඩ, බිත්තිවල තියාන සිගරට් කොලවල ලියල දීපු සින්දු, ක්ලැරන්ස් අහල පහල ගෙවල් වල අහපු දැකපු චර්ත වලට උපහාසෙට හදාපු සින්දු අද මහා මිලක් ගෙවන ආර්ථික භාන්ඩ වෙලා.
ඇත්තටම කලා කෘති වලට මිලක් දීම කියන එක සංකීර්ණ සංසිද්ධියක්. ඔය ගැන වෙන කතාවක් මතක් උනා, ලියන්න ඕන අද හෙට.
බීටලෙ, අර සින්දු ටිකටයි කතාවටයි එළකිරි කිව්ව.
Deleteඔව් ඒකනම් මාර සංකීර්ණ දෙයක් තමයි...
ඒ කාලේ හිත්වත්කමට එකඟ වුන දේවල් දැන් ඇග්‍රීමන්ට් අත්සන් කරලා පිළිවෙලකට ඒවා වෙන්නේත් මේවා ලොකු මිළක් තියෙන ආර්ථික භාණ්ඩ වෙන හින්දා වෙන්නැති...
සිංදු ටික එළකිරිනම් එළකිරි... :D හැටේ දශකයේ සිංදු මම හිතන්නේ...
මේකේ තියෙන කමෙන්ට් ටික කියෙව්වට පස්සේ රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න බය හිතුනා බං. ඒ කමෙන්ට් කියවලා සැනසෙන්නම්.
ReplyDeleteඅලුක්කාලක් නේන්නම් අදකාලේ හොයාගන්න නැත්තෙම :D කමෙන්ට් ඕනේ නෑ සිංදු අහපන් නිකන් ඉන්න වෙලාවක..
ReplyDeleteමේකේ තියෙන කමෙන්ට් ටික කියෙව්වට පස්සේ රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න බය හිතුනා බං. ඒ කමෙන්ට් කියවලා සැනසෙන්නම්.(ඩූඩා කොපි කලාට බුද්ධිමය දේපොල හොරකම් කලා කියලා නඩු දායිද දන්නෑ)
ReplyDelete