Friday, June 28, 2019

124. සැගවුණ සිතුම්



පින්තූරය : ගත්තේ මෙතැනින් 

තෙමුණ පාරක, අඳුරු හවසක
කහඉරක් නොපෙනෙනා මානෙක
පාර පැන්නා, දෑත් පටලන්
අදත් ඉඳහිට මතක් වෙනවලු

උඹ නොදැක්කට, මම නොකිව්වට
කෝපි කඩයක වීදුරුව මත
ඇඳුනු සෙවනැලි රටා අතරට
ඇවිදයන හරිපොඩි ඇසිල්ලක
උඹේ රූපෙයි, මගේ රූපෙයි
කලුවරෙත් හරි හැඩට පෙනුණලු

පාර පැනලත් හුඟක් දුරකට
උඹ මගේ අත ඇරිය නැති එක
හිතලා කෙරුවද, නොදැන කෙරුනද
එතැන ගහ උඩ කුරුලු යුවළක්
හවස් වෙනකල් වාද කෙරුවලු

අදත් ඒ මඟ එදා වාගෙම
වහිනවත් ඇති, තෙමෙනවත් ඇති
අතින් අල්ලන්, සිතුම් හංගන්
තවත් අය පාරත් පනිනවැති
කඩෙත් තව ඇති, ගහත් ලොකු ඇති
අපිට අපි විතරක් නැතුව ඇති...


Web Statistics