Saturday, August 4, 2012

61. ග්‍රෑම් හාරසීයක සතුට…

අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ…

“පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…”

ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි…

නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන යන සීතලත්, වැසෙන ඇසිපිය මත බරට රැඳුනු නිදිමතත් නොසලකා පැටලෙන දෙපා වලින් නිදි ඇඳෙන් බසිනුයේ හිමිදිරියේම ක්‍රීඩා පුහුණුවීම් සඳහා පිටත් වීමටයි..

මෙලෙස ගෙවුණු වසර ගණනාවක කාලය තුල වයසින් පරිණතව ඔහු පිරිපුන් ක්‍රීඩකයෙකු වෙත්දී ඔහුගේ ගතින් හැලුනු දහදිය, ලේ, කඳුලු, සුසුම් සියල්ලෙහිම වටිනාකමට හිලව්ව මේ දින කිහිපය තුල ඔහුට උපයාගැනීමට ලැබෙනවා ඇති… එය ග්‍රෑම් හාරසියයකටත් අඩු මිස වැඩි නොවූ ලෝහ පදක්කමක් වුවත් ඉන් ලැබෙන අපරිමිත සතුට මනින්නට ලොව මිම්මක් කොයින්ද…? එදා පුංචි කොලු පැටියා සූදානම් කරගෙන පුහුණුවීම් වලට රැගන ගිය ඒ තරුණ මව අද වියපත්ව තම සතුට පැවසීමට වචන නොමැතිව කඳුලු වගුරවනවා ඇති…

මේ ආකාරයෙන්ම නොවුනත් ඔලිම්පික් රන් පදක්කම් ලාභී බොහෝ දෙනෙකුගේ කතාව මෙවැන්නක් යැයි සිතමි… මිනිස් සන්තානයේ ඇතිවන හැඟීමකට ළඟා විය හැකි උපරිමයක් ඇත්ද, එයට ළඟාවනුයේ ආදරයේදී හෝ රාගයේදී විය නොහැක… එය නිසැකවම ක්‍රීඩාවේදී සහ යුද්ධයේදී විය යුතුයැයි මා විශ්වාස කරමි…

ලොවක් දිනනා මේ වීරයින් එකින් එක මුණගැසී ඔවුන් ඒ සඳහා ආ ගමන් මඟේ කල කැපකිරීම් ගැන විමසන්නට මට ආශාවක් පහලවේ… ඔවුන් හැමදෙනාටම කියන්නට දිඟු කතාවක් නිසැකවම ඇති… දවසේ සේවය නිමාවේ රූපවාහිනිය ඉදිරියේ හිඳගන්නා මා, කාගේ කවුදැයි දැනහැඳුනුම් කමක් නොදන්නා මුත්, මෙම ක්‍රීඩකයන් තම ජයග්‍රහනය සමරනා අයුරු ආසාවෙන් බලාසිටින්නේ වචනයෙන් විස්තර කල නොහැකි  හැගීමකින් ඔවුන් හා හදවතින් සතුටු වෙමිනි…

මා කියනා දෙය ඔබට විශ්වාස නැතිනම් මා අන්තර්ජාලය පීරා සොයාගත් මේ ජායාරූප දෙස බලන්න… රට ජාතිය ආගම වර්ණය කුමක් හෝ වුනාවේ… ලොවක් දිනන්නට සමත් වූ ඒ වීරයන්, තමන්ගේ සහ සමීපතමයන්ගේ අනේකවිධ කැපකිරීම් වල ප්‍රථිපලය උපයාගන්නා මොහොතේ නැගෙන මේ සතුටු සිනා ඔවුන් හා බෙදාගැනීමට අපහසුවක් නැති බව ඔබට වැටහෙනවා ඇති… මේ සෑම ජායාරූපයක්ම ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් පියනැඟි කටුක ගමන් මඟ ගැන දිඟු කතාවක් පවසනවා විය නොහැකිද..?

 

 

 

 

 

මිලකල නොහැකි මේ හැඟීම් කාච ගත කරගෙන ඇත්තේ පහත ජායාරූප ශිල්පීන් විසින්…

Adrees Latif,Andres Leighton,Natacha Pisarenko,Fabrizio Bensch,Alessandro Garofalo,Roland Schlager,Julian Finney,Grigory Dukor සහ Max Rossi

32 comments :

  1. හිත උණුසුම් වන සොඳුරුම තත්ත්පරයන් සේයා රැවට ගත් ඔවුන්ටත් , මේ සියල්ල එක්ව රසවත්ව සටහනකට එක් කළ ඔබටත් තුති

    ReplyDelete
  2. නිරන්තර පුහුණුව, කැපවීම. ක්‍රීඩකයෙක් වගේම ඔහුගෙ පවුලෙ අය, යාළුවො, පුහුණුකරුවො හැම කෙනෙක්ගෙම.
    බලන් ඉන්න අපට මෙහෙමනම්, ඒ අයට කොච්චර සතුටු ඇද්ද? අර පින්තූර දකිනකොට මට හිතුණෙ බටහිර ප්‍රීතියට වඩා චීන ප්‍රීතියෙ සංයමයක්, ආධ්‍යාත්මිකබවක් තියෙනවද කියල. :)බලන්නකො අර චීන ක්‍රීඩකයා දිහා.

    ReplyDelete
    Replies
    1. චීන නෙමෙයි කොරියන් ක්‍රීඩකය නේද?... ඒක මාරයි...

      Delete
    2. ,ඔයා කියපු නිසා මම ආයෙත් බැලුවා ..අනේ මන්දා අත්තටම එහෙම කියන්න පුලුවන්ද කියලා. මට මතක් උනා ජෝෂප් නීඩම්ගේ තියරි එක ...

      Delete
  3. ලස්සන පෝස්ට් එකක්...

    ReplyDelete
  4. ඇත්තටම ලොකු ජයග්‍රහණයක් ලබද්දී ඒ වෙලාවට කොච්චර පිරිසක් ඉන්නවද කියන එක අමතක වෙලා සතුට පිට කරන විදිහ වලක්වන්න අපිටවත් බැහැ

    ReplyDelete
  5. මුලින්ම මට හිතුනෙ බීටල්වයි නැගිට්ටවන්නේ කියලා..

    උත්සාහය කැපවීම නිසා ලොව ජයගත් වීරවරු..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, මටත් එහෙමයි හිතුනේ

      Delete
  6. සතුට මනින්න පුළුවන් මිනුමක් තාම හොයාන නැත්තෙ වාසනාවට කියලා හිතුනො පින්තූර ටික දැක්කාම..
    පින්තූර ගත්ත සහ ඒවා ශෙයා කරපු කලාකරුවන්ට සුභ පැතුම්..

    ReplyDelete
  7. වටිනා සටහනක්....
    අදටත් බලන්න කැමතිම වීඩියෝ එකක් තමා 2008 බීජිං ඔලිම්පික්වල මීටර් 100 අවසාන තරඟයේදී "උසේන් බෝල්ට්" අවසාන මීටර් 25-30 ඉවර කරපු විදිය...
    ඒ ටික ඔහු දිව්වේ නටමින්...
    ඒක තමා සතුට...
    ඒ සතුට ලෝක වාර්ථාවකට, ග්‍රෑම් 400කට වඩා මාරම වටිනවා බං...
    මාරෙටම වටිනවා...

    අර මම කිව්ව වීඩියෝ එක මෙතනින් බලන්න පුළුවං...
    http://www.youtube.com/watch?v=o-urnlaJpOA

    ජය වේවා!!!

    ReplyDelete
  8. ඔය ජයග්‍රාහී අවසන් මොහොතවල් බලනකොට අපේ ඇගත් හිරි වැටිලා යද්දී, ඒ මිනිස්සුන්ට දැනෙන සතුට කොහොම ඇත්ද? ලස්සනයි බීටා පෝස්ට් එකයි පිංතූරු ටිකයි, අපිට ආයේ කවදා අපේ රටේ ක්‍රීඩකයෙක්ගේ ජයග්‍රහනයක් බලන්න ලැබෙයිද දන්නේ නෑ මේ වගේ

    ReplyDelete
  9. ස්තූතියි හැමදෙනාටම... බැහැරක යන නිසා පිළිතුරු පසුවට...

    ReplyDelete
  10. මමත් ආසයි පැරදුන අය අඩන හැටි බලන්න... සුලු වරදක් නිසා නෙමෙයි ගොඩක් අය පරදින්නෙ අනිකා තමුන්ට වඩා දක්ෂ නිසා...

    මං හිතං හිටිය පුංචිකාලෙ පිටසක්වලින් ජීවින් ආහම ඒලියන්ස් විත් ඔලිම්පික්ස් තියෙයි කියලා..මගේ ජීවිත කාෙල ඇතුලත ඒලියන් කෙනෙක් දකින්න ලැබෙන එකක් නෑ වගේ...

    මේ සක්වල ගල ඉන්න සියලුම ප්‍රානින්ගේ දක්ෂයින් පිරිසක් තෝරන එකක් තමයි ඔලිම්පික්ස්...

    ReplyDelete
  11. මේක කියවද්දී මට මතක් වුනා පහු ගිය දවස් ටිකේ අන්තර් ජාලේ සැරිසැරුව වීඩියෝ ක්ලිප් එකක්-"the best job". ජයග්‍රහණයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගේම ඒ අයගේ දෙමව්පියන්ගේ කැපවීම ලස්සනට පෙන්නනවා ඒකේන්.
    http://www.youtube.com/watch?v=NScs_qX2Okk

    මා එක්ක වැඩ කරන කාන්තාවක් ඉන්නවා, ඇගේ ආබාධිත පුතා 2000 පැරා ඔලිම්පික් වලදී රන් පදක්කම් දෙකක් දිනාගත්තු කෙනෙක්. මම ඈට මේ වීඩියෝ එක පෙන්නුවාම ඇගේ දෑසට කඳුළු ආවා. ඇත්තටම ග්රෑම් හාරසීයක සතුට මිල කළ නොහැකියි නේද?

    ReplyDelete
  12. බීටා.. කියන්න දෙයක් නෑ....

    ReplyDelete
  13. මට මතක් වුනා පුංචි කතාවක්. ඒ මම ඉස්කෝලෙ ගිය කාලෙ නිවාසාන්තර ක්‍රීඩා තරගයේ පලවෙනි තැන අපේ නිවාසෙට ලැබුන වෙලේ නිවාස නායකය විදියට හිටපු මම ඒ කුසලානෙ ගන්න වේදිකාවට නැග්ග.

    මම එක ක්‍රීඩාවකටවත් සහභාගී වුනේ නැත්ත මගේ නිවාසෙ හිටපු ළමයින්ට තරග වලින් දිනන්න ලබා දුන්න සහය. සමහර වැරදි විනිශය වලදී ඒවාට විරුද්දව ගැටුම් (ඉතාම සාමකාමී) ඇති කරමින්, ඔවුනට ලබාදුන්නා දිරි ගන්වීම මට අදටත් අමතක නොවෙන දෙයක්.

    ඒත් ඉතින් වැඩේ කියන්නෙ කුසලානෙ අතට අරන් ඉස්සුව විතරයි. ඒක උඩ තිබුන කප් එක ගැලවිලා වෙදිකාවෙනුත් බිමට වැටුන. ඒ මට කවදාවත් අමතක නොවන දවසක්

    ReplyDelete
  14. ජීවිතේ ලබන ජයග්‍රහණයක් භුක්ති විදින්න ලැබෙන එක වාසනාවක් කියලා මං හිතන්නේ. එතනදි ඇත්තටම කැපවීම තියෙන්න ඕන. අනික තමන්ට තනියම කවමදාවත් ජයගන්න පුළුවන් වෙන්නෙ නෑ. අනිත් අයගේ උදව් තියෙන්න ඕන. ජයගත්තා කියලා ඒක අමතක කරන්න හොද නෑ. මට උසස් අධ්‍යාපනය ලබද්දි ලකුණු පුවරුවේ මගේ නමට ඉස්සරහින් 1 වැටිලා තියෙනවා දැකලා ඇඩුනා. එක එක්කෙනා ජයග්‍රහණය භුක්ති විදින විදිය වෙනස්. ඒ වෙනස බොහොම ලස්සනට අපිට පෙන්නුවට ස්තුතියි. ජය...!

    ReplyDelete
  15. මේක ඔවුන් අවුරුදු ගානක් කැපකරලා ඒක ඔවුන්ගේ කැප කිරීම

    ReplyDelete
  16. ඔව් අසීමිත කැප කිරීමක්

    ReplyDelete
  17. මිනිස් සන්තානයේ ඇතිවන හැඟීමකට ළඟා විය හැකි උපරිමයක් ඇත්ද, එය ළඟාවනුයේ ආදරයේදී හෝ රාගයේදී විය නොහැක. එය නිසැකවම ක්‍රීඩාවේදී සහ යුද්ධයේදී විය යුතුයැයි මා විශ්වාස කරමි.
    - බීටල් බෙයිලි

    (Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)(Y)

    ReplyDelete
  18. කියලා වැඩක් නෑ.ඒ ප්‍රතිචාර දැක්කාම අපිත් සංවේදී වෙනවා.

    ReplyDelete
  19. මේ උද්වේගකර තරඟ, එව්වයෙ ක්‍රීඩකයන් ජයග්‍රහණයෙන් ලබන සතුට දැක්කම හිතෙනව ඒ අවසාන තරඟ බලන්න ඒ මොහොතෙ එතන හිටියනං කොහොමද කියල. අවාසනාවකට ටිකට් හම්බුනේ මුල් වටෙයේ තරඟ බලන්න විතරයි. එව්ව මේ තරම් උද්වේගකර උනේ නැතත් ලෝකයේ ලොකුම සැණකෙළිය වන ඔලිම්පික් උළෙලේ තරඟකාරීත්වය නං උපරිමෙන් වින්දා.

    ReplyDelete
  20. .ඇතතටම ඔබට බොහොමත් ස්තූතියි බීට්ල් ..ඔබ සපයා තිබූ පෙරවදන මේ නිශ්චල තත්පරයන් වඩාත් තදින් හදවතට තෙරපාගන්නට උදව් උනා

    ReplyDelete
  21. මොනව කියන්නද.....

    ReplyDelete
  22. සමාවෙයන් මේ සටහන කියවන්න ප්‍රමාද උනාට . . දන්නවනේ ගෙවල් මාරු කිරීම් අරවා මෙව්වා එක්ක යමක් කියවන්න තරම් මූඩ් එකක මම නොහොටිය වග . . .

    එදා ඩුබායි වල පැනෝරාමා හෝටලේදි උඹ මේ පොස්ට් එක ගැන කියද්දී මම හිතුවා ඒක මේ වගේ සංවේදී පින්තූර ඇති එකක් වෙන්නම ඇති කියලා . . .

    බොහොම ස්තූතියි මචං මහන්සි වෙලා මේ පින්තූර හොයලා එකතු කරලා මේ පොස්ට් එකට දැම්මට . . .

    අහ් උඹව හැබෑවටම දැක අඳුන ගන්න ලැබීම මාර ම මාර සතුටක් කොල්ලෝ . . .

    ජය . . .. !

    ReplyDelete
  23. මේක නම් වටිනා කියන ලියවිල්ලකි.. :) ජයග්‍රණයේ සතුට කාටත් දැනෙන පොදු දෙයකි.. එයට ගැහැනු පිරිමි ලොකු කුඩා දුප්පත් පෝසත් භේදයක් නැත.. ඒ බව මේ ඡායාරූප අපූරුවට පිලිඹිබු කරනවා..
    ජය වේවා..

    ReplyDelete
  24. ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් දීර්ඝ කාලයක් ආපු රළු මාවතේ මලක් දකින අවස්ථාව.. ඔවුන්ගේ සිතේ සතුට අපටත් දැනෙනව මේ වගේ දසුන් දකින කොට.

    …ෆොටෝ ටිකත් හොයල දැම්මට ස්තුතියි. ජය වේවා!!!

    ReplyDelete
  25. ඇත්තට මීට කලින් ඔය වගේ පින්තූර දැක්කම හිතෙනවට වඩා ලොකු දෙයක් හිතට ආවා. ඒක මොකක්ද කියලා වචන වලින් කියන්න බෑ. ඒත් ඒක සතුටක්. පුදුමාකාර සතුටක් ඒ හිත්වල සැගවිලා කියලා හිතෙන කොට ඒ අයගේ උපරිම සතුට ඒ අය විදිනවා කියලා හිතෙන කොට,...

    ReplyDelete
  26. ඡායාරූපයක වටිනාකම තියෙන්නේ හරි තත්පරයෙදි අල්ලගත්තොත් විතරයි ඒ තත්පරයට කොච්චර කැපකිරීමක් කරන්න ඕනෙද ?

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. බොහොම අගෙයි..... :)

    මිනිස්සුන්ගේ හැගීම් ජායා රූපයට ග්‍රහණය කරගැනීම දුෂ්කරයි..... ක්‍රීඩකයන්ගේ හැගීම් ජායා රූපයට ග්‍රහණය කරගැනීම ඊටත් වඩා දුෂ්කරයි!!!!

    මිලකල නොහැකි මේ හැඟීම් කාච ගත කල එම ජායා රූප ශිල්පීන්ට සහ මෙම අපූරු ලිපිය ලියූ ඔබට ජයෙන් ජය :)D

    ReplyDelete

Web Statistics