Thursday, December 31, 2015

113. පද්මිනීට ලියුමක්..


Christina 2 woman, sketch, Indian, pencil drawing -- V....Vaughan

අට්ටි ගැසූ ප්ලාස්ටික් පුටුද, අනෙක් අඩුම කුඩුමද පටවා ගත් ඩිමෝ බට්ටා රථය වෙරිවූවෙකු මෙන් දෙපසට වැනෙමින් ගොස් මහපාරට හරවා නොපෙනී යන අයුරු රොෂාන් ඉස්තෝප්පුවට වී නිහඬව බලා සිටියේය…

ලොරි රථය නොපෙනී ගියද එය සැර දමා කන්ද නඟින හඬ ඉන් අනතුරුව ඔහුට ඇසුණි…

අලසව ඈනුමක් හැරි ඔහු හුන් ඉරියව්වෙන්ම ගෙමිදුල දෙසට නෙත් යොමු කලේය… පිනි දියට පෙඟී, පයට පෑගී ගෙබිම තැන තැන මියෑදී ඇති මඩ වැකුණු ක්‍රේප් පටි කැබලි පෙරදින සාදයේ වරුණ කියා පායි…

“පුතේ මමත් හවස කෝච්චියේවත් යන්න කියලා…”

රොෂාන්ගේ දැහැන බිඳුනේ පිටුපසින් පැමිණි හඬකිනි…

“පුංචි අම්මා යන්නද…? තව ටික දවසක් ඉන්න අමාරුද…? නිමාලි වැඩ අල්ල ගන්නකල්වත්…”

“වැඩ අල්ල ගන්න මේක පැට්ටේරියක්යෑ… අනික…”

ඇය තවත් යමක් කියන්නට තැතනුවද නිමාලි ඉස්තෝප්පුවට පැමිණෙන අයුරු දැක තම වචන ගිල ගත්තාය…

“කෝ අම්මා…?”

රොෂාන් නිමාලිගෙන් ඇසුවේ එතැන පැවති අසාමාන්‍යය නිහඬතාවය බිඳිය යුතු හෙයිනි…

“කාමරේ… ලියුමත් අතේ තියාගෙන ඉන්නවා… කෑම පිඟාන අල්ලලාවත් නෑ…”

අළුත කැන්දන් ආ මනාලියකට හුරු මෘදු හඬකින් ඇය චෝදනා කලාය…

“මොනවා කරන්නද මට තේරෙන්නේ නෑ… දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න තමයි වෙන්නේ…”

රොෂාන් පැවසූයේ ගැඹුරු සුසුමක් හෙළමිනි…

“අසනීපයක් නෙමේ… ඔය තියෙන්නේ මුරණ්ඩු කම…”

එසේ පැවසූ පුංචි අම්මා ගෙතුළට පිවිසියෙන් රොෂාන්ගේ පසෙකින් හිඳගත් නිමාලි සෙමෙන් ඔහුගේ සුරත අල්ලා ගත්තාය…

“අපි ලියුම කඩමුද…?”

රොෂාන් පුදුමයෙන් මෙන් නිමාලි දෙස බැලූයෙන්, ඇය නොකිය යුත්තක් කියවුනාක් මෙන් බියෙන් හැකිළුනි…

“නෑ… මම හිතුවේ එතකොටවත්…”

නිමාලි තමාගේ ඉල්ලීම සාධාරණීකරනය කරන්නට වචන සොයන්නට වීය…

“අම්මා කැමති නෑනේ… බලෙන් ලියුම කඩන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි…”

රොෂාන් පැවසීය…

“හ්ම්ම්…”

නිමාලි එකඟ විය…

“මට තේ එකක් ගේනවද…?”

නිමාලි එතැනින් නැඟිට ගිය පසු මේ ප්‍රශ්න සියල්ලට මුල් වූ ඒ කාලකන්නි දවස ගැන ඔහුගේ සිත දිව ගියේය…

ඒ රොෂාන් තම ප්‍රියම්බිකාව නිමාලිව කැන්දන් එන උත්සවයට ඔහුගේ මව පද්මිනී හා එක්ව ලහි ලහියේ ලැහැස්ති වෙමින් සිටි වකවානුවයි… සැමියෙකු නැතිව දහසක් කරදර විඳ දරාගනිමින් ලොකුමහත් කරගත් තම එකම පුතා සහකාරියක කැන්දන් එන දවස ගැන පද්මිනීට තිබුණෙ අප්‍රමාණ සංතෝශයකි… හිතුමතේට විවාහයේ බැඳුනු ඇගේ සැමියා මාකස් පැදුරටත් නොකියා නික්ම යද්දී රොෂාන් යන්තම් බහ තෝරන්නට පටන් ගත්තා පමණි… මාකස් ජීවිතයේ වගකීමක් නැති සෙල්ලක්කාරයෙකු බව ඇය දැන සිටියද, එක් වහලක් යට විසීමට පටන් ගත් පසු ඔහුගේ නරක ගතිගුණ හදාගැනීමට හැකිවේ යැයි ඇය විශ්වාස කලාය…එය අසාර්ථක වූ තැන දරුවෙකු ලැබුණ පසු ඔහු වෙනස් වේයැයි ඇගේ විශ්වාසය විය… නමුත් ඇගේ සියළු බලාපොරොත්තු සුන්කරමින් මාකස් ඔවුන්ව තනිකර නික්ම ගියා පමණක් නොව ඉන්මතු ඔහුගැන කිසිඳු ආරංචියක් ඇයට සොයාගත නොහැකි විය… තමා මාකස්ගේ කඩවසම් හිනාවටත් අපිලිවෙල රටාවටත් රැවටුනු බව පද්මිනීට වැටහෙන විට රොෂාන් කරඳඬු උස්මහත්වූ තරුණයෙකු වී තිබුණි…

පද්මිනීගේ සහෝදරයෙකු වන ප්‍රේමදාස මුදලාලි සවස් වරුවක ඔවුන්ගේ නිවසට පැමිණෙන විට රොෂාන් සිටියේ තම මව සමඟ විවාහ උත්සවයේ ඉතිරි සැලසුම් ගැන සාකච්ඡා කරමිනි…

තේ පැන් පිලිගැන්වීමෙන්  සහ උත්සවයේ කටයුතු ගැන කෙටි කතාබහකින් අනතුරුව පද්මිනී තම සොයුරාගෙන් පැමිණි කාරණය විචාලේ අසනීප තත්වය නිසා ගමන් බිමන් සීමා කර ඇති ඔහු විශේෂ කාරනයකට නොවන්නට මෙසේ නොපැමිණෙන බව දන්නා හෙයිනි…

“අයියා හදිසියේම වගේ ආවේ…? වැදගත් කාරණාවකට වෙන්නැති..?”

“වැදගත් කාරණාවක්ද මම දන්නේ නෑ… ඒත් මේක දැනගත්තාම උඹලටත් දන්වන්න ඕනේ කියලා මට හිතුනා…”

පද්මිනීත්, රොෂානුත් මුවින් නොදොඩා ප්‍රේමදාස මුදලාලි පවසන දේ අසා සිටියෝය…

“පහුගිය දොහක අපේ ලියන මහත්තයාට ඇහැ ගැටිලා තියෙනවා මාකස්ව…”

ඉස්මොල්ලේ යන්නට පැමිණි තේ උගුර අපහසුවෙන් ගිලදැමූ රොෂාන් තම මව දෙස බැලීය… මුහුණෙ මස් පිඩුවකදු නොසෙල්වා ඇය තම සොයුරා දෙස බලා සිටියි…

“ඔය නුවර පැත්තේ හෝටලයක කෝකියෙක් විදියට වැඩකරනවා කිව්වේ…”

“ලියන මහත්තයා කතා කරලද..?”

රොෂාන් ඇසීය…

“නැහැ…මිනිහා හිමිහිට හෝටලේ කොල්ලෙකුගෙන් විස්තර විපරම් කරලා තියෙනවා…ළඟදී වැඩට ඇවිල්ලා තියෙන්නේ…අවුරුදු ගානක් පිටරට වැඩ කරලා තියෙන්නේ කිව්වලු…පවුලක් පන්සලක් නැතුව හෝටලේම නැවතිලා ඉන්නවා කිව්වේ…”

ලියන මහත්තයා යනු රොෂාන් ඉපදෙන්නටත් පෙර පටන් ප්‍රේමදාස මුදලාලිට සේවය කරන ඉතා විශ්වාසවන්ත සේවකයෙකු බවද,  වගකීමෙන් ක්‍රියාකරන ඔහුට වැරැදීමක් වීමට ඇති ඉඩ ඉතා අල්ප බවද රොෂාන් දනී…

“මෙන්න මේ… හෝටලේ කාඩ් එකකුත් උන්නැහැ අරගෙන ඇවිල්ලා තිබුණා…”

හදිසියේ යමක් සිහිවූවාක් මෙන් තම පසුම්බිය අවුස්සමින් ප්‍රේමදාස මුදලාලි පැවසීය…

“මම දන්නේ නෑ… උඹලාගේ කැමැත්තක් කරපල්ලා… මගේ නම් බල්ලාවත් ඕකා එක්ක පයිරු පාසානයක් නෑ… ඒත් මේ මඟුල් තුලාවකුත් මේ අස්සෙම පැටලිච්චි… උඹලාට මේක කියන්න ඕනේ කියලා මට හිතුනා…උන්දැටත් දැනුම් දෙනවද… ආරාධනා කොරනවද… උඹලාට ඕනේ දෙයක් කරපල්ලා… මම ගොහින් එන්නම්…”

කාඩ්පත ටීපෝව මත තැබූ ප්‍රේමදාස මුදලාලි නැඟී සිටියේය…

“අපි මොකද කරන්නේ අම්මේ..?”

රොෂාන් ඇසුවේ ප්‍රේමදාස මාමා රැගත් රථය නොපෙනී ගිය පසුවයි…ඔහු තම පියා ගැන සඳහන් කල මොහොතේ පටන් මේ වනතෙක්ම මව කිසිදු වචනයක් පිට නොකල බව හදිසියේම රොෂාන්ට වැටහුනි…

“ඔන්න ඕක විසිකරලා දාන්න…”

තම මවගේ බිඳුණු හඬ රොෂාන්ට පසක් කලේ ඇය පුපුරා හැලෙන්නට ආසන්න හැඬුමක් තම උගුරේ හිරකරගන්නට තතනන බවයි…

“මෙන්න ආරාධනා කාඩ් ටික…”

මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු තම විවාහ උත්සවයේ ඇරයුම්පත් නිවසට රැගෙන ආ රොෂාන් ඒවා පද්මිනීට භාර දෙමින් පැවසීය…

“කාටද දැන් අම්මේ ඉස්සෙල්ලාම ආරාධනා කරන්නේ…?”

රොෂාන්ට සිතුනේ ප්‍රේමදාස මාමාට ආරාධනා කිරීම සුදුසු බවයි…

“ප්‍රේමදාස මාමා එදා දුන්න අර හෝටල් කාර්ඩ් එක තාම ඔයා ගාව තියෙනවද පුතේ…?”

පද්මිනී හදිසියේම පැවසුවේ රොෂාන් මවිතයට පත්කරමිනි…

“ඔව්..”

“අපි පළවෙනි ආරාධනාව තාත්තට තැපැල් කරමුද..? නෑවිත් ඉන්න එකක් නෑ…”

රොෂාන් තම පියා පිළිබඳ මතකය අසීරුවෙන් සිහියට නඟාගැනීමට උත්සාහා කලේය…සිහිනෙන් ඇඳි සිතුවමක් වන් ඡායාවක් විනා අන් යමක් ඔහුගේ සිතට නොඒ… පියා තම විවාහ උත්සවයට පැමිණිම හුදෙක් ඔහුගේ බාහිර ස්වරූපය කෙබඳුදැයි දැනගැනීමේ ආශාවකින් ඔබ්බට නොයෑම ගැන රොෂාන් මවිත විය…තමාට එසේ වුවද තම මවට එය ඉන් බොහෝ එහාට ගිය අත්දැකීමක් බව ඇගේ දිළිසෙන ඇස් දුටු පමනින්ම රොෂාන් වටහා ගත්තේය…

“හා…”

දෙවරක් නොසිතා තම මවගේ යෝජනාවට රොෂාන් එකඟ වූයේ එහෙයිනි… එදිනම සවස ධාතු කරඬුවක් වඩම්මන්නාක් සේ භක්තියෙන් පද්මිනී රොෂාන් වෙත ගෙනැවිත් භාර දුන්නේ හොඳින් ඇලවූ මංගල ඇරයුම් පතකි…

“අකුරු දෙක තුනකුත් කුරුටු ගාලා දැම්මා… හෝම් කමින් එකට නොවැරදීම එන්නය කියලා…”

පිම්බුනු ලියුම් කවරය ගැන රොෂාන්ට ඇතිවූ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් පද්මිනී පැවසීය…

එතැන් පටන් නොඉවසිල්ලෙන් තැන තැන දුව පැන ඇවිදිමින් උත්සවයේ කාරණා ඉටුකරමින් සිටියේ වසර දහයකින් තරුණ වූ පද්මිනී කෙනෙකි… සැබැවින්ම මේ සූදානම නිමාලි කැන්දන් එන උත්සවයටද නැතිනම් මාකස් පිළිගැනීමේ උත්සවයකටද යන්න රොෂාන්ට සැක කිරීමට තරම් පද්මිනීගේ හැසිරීම අසාමාන්‍ය වීය…

“ඔය කේටරින් මිනිස්සුන්ගේ අපිට ඕනේ කෑම තෝරන්න නෑ… කජු මාලුවක් එහෙම හදලා කටට රසට කෑම ටිකක් දෙමු…තාත්තා කන්න කැමතිම කජු මාලුව…පුංචි අම්මලාවත් අල්ලගත්තම මට ඇහැකි ගම් හතකට උයන්න… ”

උත්සවයේ සංග්‍රහ කටයුතු කේටරින් සේවයකට ලබාදෙමු යැයි රොෂාන් කල යෝජනාවට ඉඳුරා විරුද්ධ වෙමින් පද්මිනී පැවසීය… ඊට එකඟ වෙනවා හැරෙන්නට රොෂාන්ට කලහැකි අන් යමක් නොවීය…

දිනෙන් දින විවාහ මංගල උත්සවය ළංවෙද්දී මාකස්ගෙන් පෙරළා පිළිතුරක් නොලැබීම ගැන රොෂාන් පද්මිනීගෙන් ප්‍රශ්න කලද ඇය ඒ පිළිබඳව වද වෙන බවක් නොපෙණුනි…

“තාත්තා ලියන ලියුම්… කෙලින්ම උත්සවේට ඒවි… මම නොදන්නවැයි එයාගේ හැටි…”

පද්මිනීගෙ පිළිතුර විය…

“අම්මේ මෙන්න කජු වගයක් ගෙනාවා…කජු මාලුවට ගන්න…”

දිනක් රැකියාව හමාර කර නිවසට පැමිණි රොෂාන් පැවසූයේ පාර්සලයක් තම මව අත තබමිනි…

“මේ කොහෙන්ද..?”

පද්මිනී විමසද්දී…

“කන්තෝරුවේ වැඩකට නුවර ගියා… එන ගමන් ගත්තා…”

යැයි පැවසූ රොෂාන් නාන කාමරයට ඇතුළු වී දොර වසාගත්තේය…

සුපුරුදු කලබලයෙන් තවත් දින කිහිපයක් ගතවුනි… හදිසියේම එහි රිද්මය බිඳුනේ විවාහ උත්සවයට දිනකට කලින් පැමිණි ලිපියකිනි…

“තාත්තාගෙන්…”

ලියුම් කවරයේ පිටපැත්ත දෙස බැලූ පද්මිනී රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටින් පැවසීය… එහෙත් ඒ ක්ෂණයකින්ම ඇගේ මුහුණ කළු ගැසුනේ යමක් අවබෝධ වූ අයුරිනි…

“මොනවද කියලා තියෙන්නේ බලන්න…”

රොෂාන්ගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වූ පද්මිනී ලිපියත් රැගෙන නිහඬව ගෙතුළට පියනැඟුවාය…පැය කිහිපයක් යනතුරු ඇය ගැඹුරු කල්පනාවක නිරතව සිටියද අනතුරුව පෙරටත් වඩා උනන්දුවෙන් ඉතිරි වැඩ කටයුතු වලට උර දෙනු රොෂාන්ගේ ඇස ගැටිණි… තවමත් විවෘත නොකල ලිපිය පමණක් මවගේ කණ්නාඩි මේසය උඩ විය…

ඉන් ඉක්බිති දින කිහිපය ගෙවුණු අයුරු ගැන රොෂාන්ට නිනව්වක් නොවීය…නැවතත් මාකස් සහ ලියුම ගැන ඔහුට කල්පනාවට ආවේ නිමාලිව නිවසට කැන්දන් ආ දින රාත්‍රියේ මව ලිපියක් සුරත දරාගෙන කාමරයේ ඉකිබිඳින බව නිමාලී සැලකිරීමෙන් අනතුරුවයි… සත්‍යවශයෙන්ම තම පියා උත්සවයට නොපැමිණි බවත් රොෂාන්ට සිහිවූ‍යේ එවිටය… 

“ආ මෙන්න…”

නිමාලිගේ හඬින් රොෂාන් පියවි සිහියට පැමිණියේය…

“අපි හවස පුංචි අම්මාව ස්ටේෂන් එකට ඇරලවන ගමන් අම්මාව ටවුන් එකේ තියෙන ප්‍රයිවෙට් ක්ලින්ක් එකට එක්කගෙන යමු…”

රොෂාන් පැවසුවේ නිමාලි දුන් තේ කෝප්පය සුරතට ගනිමිනි…

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

“එහෙමට අසනීපයක් නම් පේන්නේ නැහැ… හාට් එකේ පුංචි අසාමාන්‍ය ගතියක් තියෙනවද කියලා මට සැකයක් හිතුණා…කෝකටත් අවශ්යනම් හාට් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බුවෙලා ඊ.සී.ජී එකකුත් කරන්න…”

වෙද්‍යවරයා පැවසුවේ රුධිර පීඩන මාපක යන්ත්‍රය පද්මිනීගේ බාහුවෙන් ගලවමිනි…

“ඩොක්ට මානසික මොනවා හරි…”

රොෂාන් කියන්නට ආ දෙය  ගිලගත්තෙන් වෙද්‍යවරයා පද්මිනීගේ සුරතේ තවමත් සිරවී ඇති ලිපිය දෙස නෙත් යොමු කලේය…

“අම්මේ ඔය ලියුම කඩමුද…?”

වෙද්‍යවරයා ඇසුවේ පද්මිනී වෙත නැඹුරු වී ඇගේ පිටට අත තබමිනි...

“හෙට…! හෙට කඩමු…”

ඒ පද්මිනී පැය ගන්නකට පසු කතාකල පලමු අවස්ථාව විය…

එදින රාත්‍රියේ රොෂාන් සිහිනයක් දුටුවේය… නිමාලි නිවසේ ඉස්තෝප්පුවට වී ප්‍රසව වේදනාවෙන් කෑගසයි… ඇයව රෝහලට ගෙනයෑමට අම්මා ඉඩ නොදෙයි…

“ඔය නිමාලි වදන්න යන්නේ උඹේ තාත්තා මාකස්ව…මට පුළුවන් වින්නඹු කම කරන්න…”

අම්මා පවසද්දී රොෂාන් එකඟ වෙයි… ඉන් සුළු වෙලාවකට පසු නිමාලි  දරුවා බිහිකරයි… පද්මිනීගේ උරහිසට උඩින් එබෙන රොෂාන් දකින්නේ අම්මා දෝතින්ම යමක් වඩාගන්නා අයුරුයි… නමුත් රොෂාන් මවිතයට පත්කරමින් ඔහු දකින්නේ දරුවෙකු වෙනුවට එහි ඇත්තේ මඩවැකුණු ක්‍රේප් පටි සහ බැලුම් කැබලි පොදියක් බවයි…

රොෂාන් සිහිනෙන් බියවී අවදි විය…මේසය මත වූ වතුර වීදුරුව එක හුස්මට පානය කල ඔහු ඉන් අනතුරුව නිදන්න උත්සාහා කලද බොහෝ වේලාවක් යනතුරු නින්ද ඔහු කරා පැමිණියේ නැත…පසුදින අම්මාගෙ අතින්ම ලියුම විවෘත කරවන්නට රොෂාන් ඉටාගත්තේය… ඔහු යළිත් නින්දට වැටුනේ  හිමිදිරි යාමයේය…

“ස්ලාං…!!! රොෂාආආආආආන්…!!!”

යමක් බිඳෙන හඩින්ද, නිමාලිගේ කෑගැසීමෙන්ද උඩගොස් අවදිවුන රොෂාන් ඇඳිවත සකසමින් පද්මිනීගේ කාමරයට දිවගියේය… බිමවැටී කුඩු වුන කිරිතේ කෝප්පය ඉදිරියේ සිටගෙන සිටින නිමාලි පද්මිනීගේ ඇඳ පෙන්වමින් යමක් පවසන්නට තතනයි…… රොෂාන් ඒ දෙස නෙත් යොමු කලේය… ලිපියද කිටි කිටියේ සුරතේ සිරකරගෙන පද්මිනීගේ නිසල සිරුර සිවිලිම දෙස බලා සිටියි…

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඉහල නැගෙන දුම් රොටු වලින් පද්මිනීගේ චිතකයේ මුඳුන නොපෙනී යන අයුරු නිමාලි ඔහේ බලා සිටියාය.. ගතවූ දින කිහිපය තුල සිදුවූ සියල්ල ඇයට සිහිනියක් මෙනි… තමාට පසෙකින් සිටගෙන සිටින රොෂාන් දෙස ඇය නෙත් යොමුල්කලාය.. ඔහු ගැඹුරු කල්පනාවක නිග්මනව සිටී… තවත් සුළු මොහොතකින් ඔහු තම සාක්කුවෙන් යමක් එළියට ගත්තේය…

“ලියුම…!” නිමාලිට කියැවිනි…

ලිපියද රැගෙන ඔහු සෙමෙන් ඇවිලෙන චිතකය දෙසට ළවෙද්දී නිමාලිට යමක් ඉවෙන් මෙන් වැටහුනි…

“එපා… අපි කඩලා බලමු මොනවද තියෙන්නේ කියලා…”

රොෂාන්ගේ බාහුවෙන් අදිමින් නිමාලි පැවසීය…

“මොනවා තිබුනත් දැන් වැඩක් තියෙනවැයි…”

රොෂාන් පැවසුයේ චිතකය වටකරමින් බුර බුරා නැගෙන ගිනිදැල් අතරට ලිපිය විසිකරමිනි…
~නිමි~

ප.ලි. : අකුරු බ්ලොග් අඩවිය ආරම්භ කර අදට පස් වසරකි. මා හා සමකාලීනව බ්ලොග් අඩවි ආරම්භ කල බොහෝ දෙනෙකු මේ වනවිට  පුනරුත්ථාපනය වී මින් නික්ම ගොස් ඇති සෙයකි. මසකට වරක් හෝ තවමත් බ්ලොග් අඩවිය යාවත් කාලීන කරන මා, Shawshank Redemption හි Red පවසන අන්දමට institutionalized වී ඇතිදැයි බියක් උපදී…


වසර පහක් පුරාවට බෙදන මිතුරුකමටත් ස්තූතියි… සිංහල බ්ලොග් ලියන කියවන ඔබ සැමට සිහින හඹායන්නට දිරිය ලැබෙන නව වසරක් පතමි…

පිංතූරය : V. Vaughan

Tuesday, November 3, 2015

112. අත අතනෑර...


සහසක් සක්වල,
සුවහස් සෙනෙහස...
සුරතට ගෙන එක මිටක හොවා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...

තරුමල් ඉහිරුණු,
අහස් වියන යට...
සඳදිය මුමුණන ගීය අසා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...

සසරක වෙහෙසක්,
අසුරක සනහන...
සුරඟන සිනහව දෙතොල අරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා.

කවදා, කොතැනක,
කෙලෙසක හෝ නුඹ...
සියළු පැතුම් ඉටුකරන තුරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...


ප.ලි.- සිඟිති දියණිය මා තුරුළේ නිදද්දී, මගේ ජංගම දුරකථනයේ සටහන් වුන ඡායාරූපයකට කවියක් ලියන්න උත්සාහා කරන්න හිතුණා...
"අත අතනෑර" යන සුන්දර යෙදුම සුමිත්‍රා රාහුබද්ධගේ වචන ගෙත්තමක් යැයි හඟිමි...

Sunday, October 25, 2015

111. වචන


මරණය අහිමිවීම ගැන ශෝකයෙන් හඬාවැටෙන ටෝනි නික්ලින්සන් නම් මිනිසෙකු දැකීමෙන් පුදුමයටත්, කම්පනයටත් පත්ව "අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම…" නමින් සටහනක් අකුරු බ්ලොග් අඩවියේ ලියැවුනේ මීට වසර තුනකට පමණ පෙර... ලින්ක් එක ඔස්සේ යන්නට ඉස්පාසුවක් ඇතොත් euthanasia ගැන දැනුමැත්තන් කිහිපදෙනෙකුගේම අදහස් කමෙන්ට්ස් වල සඳහන්..

අද විවේකී දිනයේ අන්තර්ජාලයේ රස්තියාදුවක් ගසන්නට ලද ඉසිඹුවකදී ඇසගැටුනු මාටින් පිස්ටෝරියස් නම් මේ අලුත් මිනිසාගේ කතාව එක අතකින් ටෝනිගේ කතාවට බොහෝ සෙයින් සමානයි... තව අතකින් ඊට හාත්පසින්ම වෙනස්...

1988 වසරේ ජනවාරියේ දිනක, ඒ වනවිට වසර දොළහක නිරෝගී කොළුගැටයෙකු වූ මාටින් හදිසියේම රෝගී වෙනවා.. කතාකිරීමේ හැකියාවත් ආහාර ගැනීමත් ඇනහිටින ඔහු තවත් මාස කිහිපයකින් සම්පූර්ණයෙන්ම කෝමා තත්වයට පත්වෙන්නේ දෙමාපියන් සහ හිතවතුන්ගේ බලාපොරොත්තු සුන් කරමින්... 

වසර දෙකක් වෙජිටබල් තත්වෙන් ජීවත් වෙන මාටින් කෙමෙන් තමන්ගේ පියවි සිහිය නැවත ලඟා කරගන්නවා.. නමුත් අවාසනාවකට ඇසි පිය හෙලනවා හැරෙන්නට තමා නැවතත් සිතන්නට පටන්ගත් බව, නැවත ඉපදුන බව තම දෙමාපියන්ට , බාහිර ලෝකයට දැනුම් දෙන්නට  ඔහුට හැකියාවක් නැහැ. වසර ගණනක් තම අකර්මන්‍යය දරුවා වෙනුවෙන් අපරිමිත වෙහෙසක් විඳ හෙම්බත්ව සිටින දෙමාපියනුත් මාටින්ගේ මේ වෙනසට අසංවේදී වීම පුදුමයක් නෙමෙයි.. ඔවුන්ට තවමත් මාටින් ගත සිත දෙකම මියගිය කෝමා රෝගියෙක්.. 

ඉතින් මාටින් අවාසනාවන්ත විදියට තමන්ගේ ශරීරය ඇතුලේම සිරකාරයෙක් වෙනවා... තමා ගතයුත්තේ මොන ආහරයද, සිටිය යුත්තේ මොන ඉරියව්වටද යන පුංචි දේ පවා වෙනකෙකුගේ පාලනයට නතුව ගෙවන්නට සිදුවීම කෙතරම් මානසික වදයක් වෙන්නට ඇතිද..? පාතරසයට ගන්නා සැන්ඩ්විච් එකට වැරදි සෝස් වර්ගය දැම්මොත් පැමිණිළි කරන ඔබට, මට, අපිට මෙය වටහාගැනීමට පුළුවන් වේ යැයි මට හිතෙන්නේ නැහැ... 

අසරණයන් පෙලන්නට දෙයිවය රුසියෙක්... මාටින්ට සිතීමට හැකියාවක් නැතැයි විශ්වාස කරන එක් සාත්තු සේවකයෙකු අතින් වරක් ඔහු ලිංගික අතවරයකට ලක්වෙනවා.. තමා මුහුණදෙන අප්‍රසන්න අත්දැකීම ගැන සම්පූර්ණයෙන්ම සංවිඥානිකව, ඒත් ඊට එරෙහිව වචනයකින්වත් සටන් කිරීමට නොහැකිව, තම දෙමාපියන්ට ඒ ගැන දැනුම් දීමට නොහැකිව අන්ත අසරණව ඔහු මරණය අයදිනවා...

සන්නිවේදනය ඔහුගේ සිරගෙය නම්...අදහස් ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව ඔහුගේ දඬුවම නම්... මරණය..! ඒ ඔහුගේ එකම නිදහස...

ඒ නිදහස සොයා ඔහු ගිය ගමන ගැන නිවිසැනසිල්ලේ කියවන්න ඉස්පාසුවක් මට ඇත්තේ නැහැ, ඔබටත් ඇති යැයි මා හිතන්නේ නෑ.....

Cover Image

නමුත්... වසර ගණනක් අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව මැරී මැරී ඉපදුනු මාටින්ගේ සිතුවිලි වචන බවට පත්වී දෝරේ ගලන මේ විනාඩි පහළොව සාවදානව අසාගෙන ඉන්න මනුශ්‍යයත්වයේ නාමයෙන් අපි දෙදෙනාම බැඳිලා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා...


Sunday, September 6, 2015

110. දරු නැලැවිලි…


රන් කිරි කටගෑ දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව් ලිට්ල් ඩක්ස් නම් තාරාවුන් පස් දෙනෙකුට වුන ඇබැද්දියක් ගැන කියාදුන් ජොයිස් මම්මාද ඒ අතර විය… මේ සුමිහිරි ගී සියල්ල අසමින් තොටිල්ලේ තාලයට නැලවෙමින් මා සැනහුනද, අම්මා ගැයූ එක් නැළවිළි ගීයක් මේ සියල්ලටම වඩා මට අතිශයින්ම සුවිශේෂී වූයේය… ඒ මෙවැන්නකි…

අම්මා හඳමාමාගෙන් අසාදැනගත් පරිදි, කොහේදෝ කැලයක පුංචි කූඩුවක සැළලිහිණි ජෝඩුවක් පැටවා සමඟ ගී ගයමින් සතුටින් ජීවත් වූයේලු,  හදිසියේම දවසක නොනවත්වා ඇදහැළුණු මොර සූරන වැස්සක් හේතුවෙන් ගස් ගල් උදුරාගෙන සැඩ ගංවතුරක් ගලන්නට වූයේලු…වෙන්නට යන විපත්තිය දුටු සැළලිහිණි අම්මා තම දරුවා බදාගෙන හඬනු දුටු සොබාදහම කම්පාවී වැහිබිඳු ආපසු අහසට ඇදගත්තේලු…

දිව මතුරක් වන් වූ ඒ මිහිරි නැලවිලි ගී තාලයට නැලවෙමින් නින්දට වැටුනා විනා, එකල මේ කතාවේ අරුතක් මට වැටහෙන්නට කොහෙත්ම ඉඩක් නොතිබුණු බව නිසැකය…එහෙත් ඉන් වසර ගණනකට පසු අම්මා එම ගීතයම ගයා මල්ලී නලවද්දී, පසෙකින් සතර පොත් කියවමින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි මම මේ කතාව ඉවසිල්ලේ විමසන්නට තරම් මෝරා හිටි වග නොකිව මනාය… හඳමාමාගේ අසාගත් බව අතිශෝක්තියක් බව තේරුම් ගත්තද, එහි දෙවැනි කොටසේ පැවසෙන සිදුවීම නම් මට මහත් විස්මයක්ම විය… මොහොතකුදු පමා නොවුණු මම වැහි බිඳු එහෙම අහසට ඇදගන්නා හැටි ගැන අම්මාගෙන් ප්‍රශ්න කලෙමි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…”

අම්මාගේ සරල පිළිතුර එය විය… එය එකහෙලා පිළිගත් පැටිවියෙහි උන් මම, දිගින් දිගටම ඒ ආශ්චර්යය ගැන සිතමින් උදම් වීමී… එය සත්‍යයක්ම මිස බොරුවක් නොවන වගට විශ්වාස කළෙමි…

එහෙත් කාලයත් සමඟ මෝරද්දී වෙනස් වුන සිතුම් පැතුම් අතර වැහි බිඳු අහසට ඇදගත් ආශ්චර්යයද ඇතුළත් වීම නොවැලැක්විය හැකි වූයේ නැති… දේව වාක්‍යය මෙන් මා විශ්වාස කල අම්මා පැවසූ බොහෝ දේ ගැන මම උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වීමි… ඇය අවලංගු කරමින් මා පරිණාමය කෙරෙමින් ලෝකය නොනැවතී කැරකෙන්නට විය…

එපමණක් නොවේ; මෙසේ ගතවූ කාලය මුළුල්ලේ පියවරුන්ගේ දින කීයක් ගතවුනාදැයි මට නිනව්වක් තිබුණේ නැති… මහපොළව සමඟ ඔට්ටු වී කාසි අහුලා මා උගතෙකු කරන්නට තාත්තා ගත් වෙහෙස පියවරුන්ගේ දිනයක තබා ආත්ම හතකින්වත් ගෙවා ඉවර කල හැක්කක් නොවේ… ඉතින් කිමද මට පියවරුන්ගේ දිනයක විශේෂයක්…

එහෙත් ජීවිතයේ පළමු වතාවට මට පියවරුන්ගේ දිනයක් සුවිශේෂී කල අද පුදුම හැන්දෑවකි… ලොවක් දිනූ වග අදහාගත නොහැකිව මම තෙත දෑස් පිස දමමි…

තවමත් පෙකිණිය පවා නොවියළුනු කිරිකැටියන් දෙදෙනෙකුගේ සිඟිති පා සටහන් වලින් හැඩවුන සුභපැතුම් පතක් දික් කරගත් හෙදිය සතුටින් සුභ පතයි…

විවාහ වී වසර අටකටත් වැඩි කාලයක්  ආත්මයම දවා අලුකරන තරම්වූ කටුක පරාජයන් හමුවේ, මව් සෙනෙහස නැමති ආශ්චර්යය ගැන විශ්වාසය තබා, පැරදුනු හැමවිට පෙරටත් වඩා ශක්තියෙන් නැඟීසිට නොනවත්වා සටන් වැදුනු ඒ පුදුම ළිහිණි මව නිල්මි පසෙකින් සුවෙන් සිනාසෙයි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…” අම්මාගේ හඬ සිහිනෙන් මෙන් මා සවනත රැව්දෙයි…

වෙනදා මෙන් ඇය නිවැරදි කරන්නට හදිසියක් මට නැත...


ගීතය ගයන්නේ සුජාතා අත්තනායක
ලිව්වේ කරුණාරත්න අබේසේකර
සංගීතය P.L.A. සෝමපාල
(ස්තූතිය අරූට)

Sunday, July 12, 2015

109. උමතු මැහැල්ල…

images

වසර ගණනකින් තීන්ත පුසුඹක් නොවිඳ මළගිය බිත්තිද, එකිනෙකා පරයා ඉහළට නැගෙන්නට පොරබදින තෘණ ශාඛයන්ගෙන් හැඩිවූ මිදුලක්ද සහිත ඒ අඳුරු නිවස, පාරේ යන එන්නන් හැඳින්වූයේ “හොල්මන් ගෙදර” නමිනි…

ඊට සුදුසු නම එයම විය… හොල්මන් ගෙදර පසුකර යන එන්නන්ගෙන් කෙනෙකු අහම්බෙන් හෝ ඒ දෙස බැලුවහොත්, අඳුරු බැල්කනියේ සිට තමා දෙස ඇසිපිය නොහෙළා  බලාසිටින ඇස් දෙකක් දකියි…වහා ඉවත බලාගෙන කඩිනමින් ඒ නිවස පසුකර නොයන්නට එඩියක් ඇත්තෙකු වීනම්,  ඒ ඇස් අයිති දවස පුරාවට බැල්කනියේ ඇති ඇඳි පුටුවක හිඳි පිළිමයක් සේ වාඩිවී සිටිනා හොල්මන් ගෙදර හිමිකාරිය වූ උමතු මැහැල්ලකට බවද දකියි… ඇය උමතුදැයි දන්නා කිසිවෙකුත් නැති… එහෙත් කිසිවිට කිසිවෙකු හා කතාබහ නොකර මාර්ගය දෙසම නෙත් අයාගෙන සිටිනා හෙයින් ඇය උමතු යැයි විශ්වාස කිරීම සැමට පහසු වූ සේය…

හොල්මන් ගෙදරටම දිරායන, මැදිවිය මදක් ඉක්මවූ ගුප්ත මුරකරු මෙහි වෙසෙන අනෙක් ප්‍රාණියා විය… අවට කිසිවෙකු ඔවුන් හා ගනුදෙනුවක් නොවූ අතර ඉඳහිට හෝ ඒ නිවසට පැමිණියෙකු වූයේනම් ඒ ටවුමේ ග්‍රොසරියේ බඩු බෙදන කොළුවායි…

“කෝ උන්නැහේ නැතෙයි…?”

සති දෙකකට වරක් බඩුමල්ලක් කරගසාගෙන එන ඔහු මිදුලේ සිටම බැල්කනියෙන් විමසයි… පිළිතුරු වෙනුවට ඔහු දකින්නේ වචනයකදු නොදොඩා තමා දෙස බලාසිටින මැහැල්ල පමණකි… කොහේදෝ සිට දුව එන මුරකරු ගනුදෙනු බේරා බඩු මල්ල රැගෙන කුස්සියට යයි… ආපසු යන කොළුවා ගේට්ටුව වසන්නේ තවමත් තමා දෙස නෙත් අයාගෙන සිටින මැහැල්ල දෙස නොබලා සිටින්නට උත්සාහා කරමිනි… මේ ක්‍රියාවලිය බිඳෙන්නේ එහෙමත් දිනෙකය…

හොල්මන් ගෙදර මැහැල්ලට උරුම වූයේ අහම්බෙනි… මීට බොහෝ කාලයකට පෙර, බඩු ගෙනන කොළුවා අතදරුවෙකු සන්දියේ, මේ මැහැල්ල ආදරණීය බිරිඳකි… හොල්මන් ගෙදර හිමිකරුවා වූ ඇයගේ සැමියා එදිනද “ගිහින් එන්නම්…” යැයි පවසා රැකියාවට නික්මිනි… එහෙත් පොරොන්දු වූ පරිදි ඔහු නැවත පැමිණියේ නැත… ඒ වෙනුවට පැමිණියෙ අසුභ ආරංචියක් රැගත් පොලිස් නිලධාරියෙකි… ඔහුට වැරදී ඇතැයි මළසිරුර හඳුනාගන්නට යනතෙක්ම ඇයගේ විශ්වාසය විය… එහෙත් වැරදී තිබුණේ ඇයටයි… එතැන් පටන් ඇය බාහිර ලෝකය හා ඇති සම්බන්ධය කෙමෙන් බොඳවෙන්නට විය…ඉන් මාස කිහිපයකට පසු සැමියාගේ මිණීමරුවා යැයි කෙසඟ කොළුවෙකු උසාවියේදී දක්වද්දී, ඒ ගැන ඇය වදනොවුනේ බාහිර ලෝකය හා ඇගේ ඇති සම්බන්ධය ඒ වනවිටත් සම්පූර්ණයෙන්ම පාහේ අතහැරී තිබුණ හෙයිනි…

එතැන් පටන් ඇය බැල්කනියෙන් ඉවතට නෙත් අයාගෙන සිටින්නට පුරුදු විය… අසල් වැසියන්, මහමඟ, නිවාස යානවාහන වැනි ඇයට සම්බන්ධයක් නැති බොහෝදේ කාලයත් සමඟ වෙනස්වෙනු ඇය අරමුණකින් තොරව ඔහේ බලා සිටියාය…

ඒ හාත්පස වෙනදාට වඩා ආලෝකවත් වූ පුන් පොහෝ දිනයකි… රාතී ආහාරයෙන් පසු තම සුපුරුදු අසුනට වන් මැහැල්ල ගේට්ටුවෙන් ඔබ්බෙහි වූ මහාමාර්ගය දෙස බලාසිටින්නට වූවාය…ඒ ඔස්සේ ඇවිද එන මිනිසුන් තිදෙනෙක් ඇයට දර්ශනය විය… සඳ එළියෙන් ඉන් එක් අයෙක් ග්‍රොසරියේ බඩු ගෙනෙන කොළුවා බව ඇය හඳුනා ගත්තාය… අනෙක් දෙදෙනා ඔහු සමඟ යමක් වාද කරමින් සිටිනා බවක් දිස්වුනි… ඔවුන් පවසන දෙය මැහැල්ලට ඇසුණේ නැති… අවසානයේ ඔවුන් යමකට එකඟවූ බවක් පෙනුනෙන්, ග්‍රොසරියේ කොළුවා ආ දෙසටම ඇවිද ගිය අතර අනෙක් දෙදෙනා ආපසු නික්ම ගියෝය…

තවත් ටික වේලාවකට පසු පෙර කී දෙදෙනා නැවත ග්‍රොසරියේ කොළුවා ගිය දෙසටම ඇවිද යනු ඇය නිරීක්ෂණය කලාය… මුලින් ඇය සිතුවේ මේ කිසිවකට සහභාගී නොවී සිටින්නටයි… එහෙත් ටික වේලාවකට පසු ගෙතුළට ඇවිද ගිය ඈ දුරකථනය එසවූවාය… වසර ගණනාවකින් දුරකථන ඇමතුමක් ගෙන නොමැති හෙයින් ඇයට කිසියම් නුහුරු බවක් දැනුනි… ආයාසයක් දැරූ ඇය නොම්මරය මතක් කරගන්නට උත්සාහා කලාය… 9..9..1….9..1..1….1..9..9….1..1..9… අවසානයේ ඇයට එය සිහිවිය… අනෙක් පසින් ඇමතුම සම්බන්ධ වෙද්දී කිව යුත්තේ කුමක්ද, එය කිව යුත්තේ කෙසේද යන්න ගැන ඇයට මනා වැටහීමක් තිබුණි…

ඒ ඇය වසර ගණනාවකට පසු බාහිර ලෝකය හා සම්බන්ධ වුනු පළමු අවස්ථාව වූයේය…

නිමි…

Monday, May 18, 2015

108. මතක සැමරුම්…



ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි... 

බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ මා සතු බඩු අඩුක් කරමින් සිටියෙමි... ඉඩ පාඩු ඇති කාමරයක් බැවින් තවකෙකු මෙහි පංදිචියට පැමිණීමේ අවදානමක් ඇතිබවට අපේ පහසුකම් සලසන්නා දුන් උපදෙස තවමත් මගේ සිතෙන් පහව ගොස් නොතිබුණි...

බෝල මූණා කාමරයට එබුනේ මේ අතරේදීය...

"අයියා මම කජන්... මටත් මේ කාමරේ ඉඩක් ඉල්ලගන්න කිව්වා..."

ඒ අපේ මුල්ම හමුවයි.. එතැන් පටන් ඌ මගේ රූමා විය... කිලෝමීටර ගනනක් එපිට මහ පොලව බෙදාගන්නට දෙමළු හා සිංහලයින් මරාගනිද්දී, අතේ ඇඟිලි වලින් ගැනිය හැකි වපසරියක ටයිල් පොලව අපි අපූරුවට බෙදාගනිමින් සිටියෙමු... 

“ජනතාවට ආතල් සපයන්නෝ.. කජන් සහ සහෝදරයෝ...” ඒ විලාවේ උන් අනෙකුන් ඌ හැඳින්වූ අයුරුයි...යාන්තම් දෙතොල මල් පැණියෙන් පෙඟවුනු සැනින් උගේ බ්‍රේක් නැති කටට පණ එයි... කජන් යනු ඔහුගේ මුල් නම නම්, විනෝදය යනු උගේ දෙවනි නම වූ සෙයකි... අදටත් මා උපරිම විහිළු තහළුවෙන් ගතකල කාල සමයක් වේද ඒ කජන් ඇතුළු ඒ අනෙකුත් මිතුරන් හා ඒ ගෙවුනු සමාගමයයැයි මම විශ්වාස කරමි...

අපි නොරට කහවනු හූරද්දී  ලංකාවේ පෙර නොවූ විරූ වෙනස්කම් සිදුවෙමින් තිබුණි..පාලකයෝ, නායකයෝ අලුත් විය.... කාලයක් තිස්සේ එතෙක් ප්‍රවෘත්ති වල අප නරඹන්නට, අසන්නට පුරුදුව සිටි පුවත් වෙනස් වෙන්නට වූයේ අසාමාන්‍යය ලෙසයි... මේ සිංහල දෙමල මුස්ලිම් බේදයක් නොමැතිව හැම ශ්‍රී ලාංකිකයාගේම සිතුවිලි හොඳට හෝ නරකට වෙනස් වුනු කාලයක් යැයි මම සිතමි... ආතතිය කෙමෙන් දැඩි වන්නට විය... ජාතිවාදයේ සුළං උඩු හුළඟටත් උඩින් හමායයි... දොරට අගුල් සියයක් දමා කාමරයේ සැඟවුනත් මටත් කජන්ටත් ඉන් ගැලවිය හැකි නොවේ...

පළමු සංඥාව ලැබුනේ මා බලාපොරොත්තු නොවුනු අවස්ථාවකයි...

" මචං මගේ සල්ලි ඉවරයි...පොඩ්ඩක් උඹේ ෆෝන් එක දීපං මට ලංකාවට කෝල් එකක් ගන්න..."

කජන් මට දුරකථනය විසිකරයි...හපා ගිල දැමුවාක් මෙන් යට භාගය නැති ඊලාම් සිතියම උගේ දුරකතනයේ  ස්ක්‍රීන් සේවරයේ ලෙලදෙයි...මම එය නොදැක්කා සේ සිටීමට උත්සාහ කරමි...

මේ අතර යුද්ධය ක්‍රීඩා තරඟයක් මෙන් කෙමෙන් උණුසුම් වෙද්දී ඉන් මිදෙන්නට හැකිවූවෙකු වේදැයි මට සැක සහිතය...

"අයියා අපි සල්ලි දාලා පී.සී. එකක් ගමුද...?" 

මට වඩා මාස කිහිපයක් වැඩිමල් බව පසුව දැනගත්තද ඌ දිගටම මට ආමන්ත්‍රනය කලේ අයියා නමිනි...

ලැප්ටොප් අදමෙන් සුලභ පාරිභෝගික භාණ්ඩයක් නොවුනු ඒ සමයේ කාගෙන්දෝ මිළදීගත් ඩෙස්ක්ටොප් පරිගනයක් අපේ පුංචි මේසය අරක්ගත්තේ එසේය... එකම බ්‍රවුසරයක එකිනෙකට  මුවා වෙමින් ඩිෆෙන්ස්.එල්කේ අඩවියද ටැමිල්නෙට් අඩවියද ඇමිණෙයි... අපි අදාල පිටුවට පමණක් පිවිසීමට ප්‍රවේසම් වෙමු...

දිනය හරියටම මතක නැතත් ඒ සති අන්තයක් බව මගේ මතකයේ තැන්පත්ව ඇත...ගුවන් හමුදා ප්‍රහාරයකින් තමිල් සෙල්වම් මියගිය පුවත අන්තර්ජාලයෙන් කියවූ මට උන්හිටිතැන් අමතක විය... මම කජන් සෙවූයෙමි.. ඌ ගොරවමින් නිදාසිටියි...

"අඩෝ මෙන්න තොපේ ලොක්කෙක් ඉවරයි... මහ එකාටත් හෙට අනිද්දම දෙනවා ඔන්න බලපන්..."

ඌ නිදාසිටිනා ඇඳට පයින් අනිමින් මම වියරුවෙන් කෑගැසීමි...

මඳ වේලාවකින් සිහි එලවාගත් ඌ පරිගණකයට දිවගියේය... ඒ මම කජන් හඬනවා දුටු මුල්ම සහ එකම දිනයයි...

එදින ඌ සතිඅන්ත පාටිය වර්ජනය කලේය... මම ඌත් සමඟ එලියට ගොස් මගේ ගනනේ රාත්‍රී ආහාරය අරන් දුනිමි..."තමිල් සෙල්වම් මැරුවට මගෙන් පාටියක්...!" මගේ වියරු මුවින් එදා එසේ පිටනොවීම ගැන අද මම අනේකවාරයක් සතුටු වෙමි...

ඉන් පසුව බොහෝදේ උඩු යටිකුරු වුනු බව ඔබත් මමත් හොඳින් දනී... නඟර අලංකරනය වෙනුවෙන් අප සිටි විලාවද ඇතුළු ඒ ප්‍රදේශයේම ගොඩනැඟිලි පස් වී උයනක් නිමැවුනි... තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියූ අපසැම විවාහ වී පවුල් ලෙස වෙන් වෙන් නවාතැන් කරා නික්ම ගියෙමු...උතුරට වසන්තය උදාවූ අතර කජන් එහි උගේ වාසනාව උරගා බලන්නට රැකියාවට ආයුබොවන් කියලා ලංකාවට නික්ම ගියේය...

කඳුළු බ්ලෝ-ඩ්‍රයි කරන ලද අතර…රණවිරුවන් මරා දැමුණි…

දින කීපයකට පෙර නුහුරු අංකයකින් හුරුපුරුදු කටහඬක් ඇසුනි...

"අයියා ෂොප් එක පාඩුයි...ණය වගේකටත් හිරවෙලා ඉන්නේ... මම ආයේ එනවා... ජූනි මාසේ මුල...සති දෙකක් විතර ඇකමඩේශන් හොයාගන්න ඕනේ..."

"උඹ වරෙන්...අපි මොනවා හරි කරමු..."

මම පවසමි... සැබැවින්ම මම මොනවා හරි කලයුතු බව මම හොඳින්ම දනිමි... 

මේ ලොව පුරා ඒ අසිරිමත් ජයග්‍රහණය සමරන මොහොතයි... මටද සමරන්නට යමක් ඉතිරිව තිබේ… අහස ගිනිගෙන දැවෙන තරම් ෂෙල් වෙඩි පිට වෙඩි පුපුරාගියත්, පොළව කැබලි වෙනතරම් මරාගෙන මැරෙන බෝම්බ පුපුරාගියත් විනාශ නොවුණු අප මිත්‍රත්වය සමරන්නට කජන් එනතුරු මම බලාසිටිමි...

Monday, May 4, 2015

107. වෙසක් මංගල්ලයක්...


නොරට තනිකඩ සඳළුතලයක
පැඟිරි සුවඳක් ඉහෙනවා...
පිරුණු සඳවත වලා අතරින්
සඳළුතලයට එබෙනවා...

කිමද අද මේ පුදුම එළියක්
සඳවතෙන් මම අහනවා...
"සිහි මදිද? අද වෙසක් පෝදින"
ඇයත් ඔච්චම් කරනවා...

ගමේ හැමතැන වෙසක් කොහොමද?
"හොඳයි..! දන්සැල කරනවා..."
"මෙදාපාරත් කවි බණක් හෙම
 පන්සලේ අද තියෙනවා..."

බණ අහන්නට ඇයත් එන්නැති?
සඳවතෙන් මම අහනවා...
"ඇවිත් හිටියද කොහෙද වෙන්නැති..."
සඳ නෝක්කඩු කියනවා...

නංගිලත් එක්කලා එන්නැති?
නැවත මීවිත පිරෙනවා...
පිළිතුරක් දෙන්නැතුව සඳවත
වළාකුළකින් වැහෙනවා...

පිංතූරය ගත්තේ @clarebear6t3

Sunday, April 26, 2015

106.Right Place, Right Time…

Wrong Place, Wrong Time… ස්වභාවික විපතකින් අනතුරට පත්වූවෙකුගේ ඉරණම ගැන හිතහදාගන්නට ඊට වඩා සාධාරණ යෙදුමක් මට කල්පනා වෙන්නේ නැහැ…. ගතවෙන්නේ වැරදි මොහොතේ වැරදි තැනක ඉන්නට අවාසනාවන්ත වුනු මහා හුඟක් දෙනාගැන ලෝකයේ හැම කොනකම ප්‍රවෘත්ති උතුරා යන දිනයක්…

ස්වභාවික විපතක පැටලෙන ඡායාරූප ශිල්පියෙකුට නම් මෙය හාත්පසින්ම වෙනස් අත්දැකීමක්… Right Place, Right Time… එතැන් පටන් ඔහුට ඇත්තේ කඳුළු දිස්නය දෙන්නට ආලෝකය ඇල්ලීම… එසේ නිවැරදි තැන නිවැරදි මොහොතේ සිටි ඡායාරූප ශිල්පීන් බොහොමයක් අන්තර්ජාලයට මුදාහැරි ඡායාරූප ගොන්නක, දිවා විවේකයේ හැඟීමකින් තොරව දැවටෙමින් ඉද්දී දුටුව මේ ඡායාරූපය ඉදිරියේ මගේ ඇස් නැවතුනේ නොදැනුවත්මයි…

මේ ඡායාරූපයේ සටහන් වී සිටින පුද්ගලයා කවුදැයි මා දන්නේ නෑ… නමුත් ඔහු නිවැරදි තැන, නිවැරදි මොහොතක සිටි ඡායාරූප ශිල්පියෙක් කියලා හිතන්න මම කැමතියි…

27F986AD00000578-3055045-A_man_comforts_a_woman_next_to_a_seriously_injured_person_on_the-a-96_1430009667867

27F986DD00000578-3055045-The_earthquake_had_an_epicentre_80_kilometres_north_west_of_Kath-a-95_1430009664179

සැකයක් නැහැ, ඔහු ඉන්නේ නිවැරදිම තැන… ලෝකයේ දරුණුම ඛේදවාචකයක් ඉදිරිපිට නිරුපද්‍රිතව… ලෝකයේ ජනප්‍රියම වර්ගයක ඩිජිටල් කැමරාවකුත් සමඟ…

තම කැමරාව බෑගයෙන් එලියට ගන්නවත් ඉස්පාසුවක් නැතිව, ඔහු ඉන්නේ නිවැරදිම මොහොතක… ලෝකයම අහිමි වුන නාඳුනන දරුවෙකුට කෑගසා හඬන්නට උරහිසක් අවශ්‍යයම මොහොතක…!
පිංතූර දැක්කේ ඩේලි මේල් අඩවියේ…

Tuesday, April 14, 2015

105. ගොළු ළමයා…

 image

ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ…

ඒ විතරක් නෙමෙයි කවුරුහරි මට එහෙම දෙයක් ගැන කිව්වත්, මම ඒ කතාව විශ්වාස නොකර ඉන්න ලොකු ඉඩක් තිබුණා… විශේෂයෙන්ම අපේ කොම්පැණිය ඉස්සරහා “මම ගොළු ළමයෙක්මි.” කියලා අඟුරු කෑල්ලකින් ලියපු කාඩ්බෝර්ඩ් දැන්වීමක් ඇඟේ එල්ලාගෙන ඉන්න ගොළු ළමයා ගැන…

ව්‍යයාකරණ ටක්කෙටම ගලපලා කවුදෝ ලියලා දුන්න බෝඩ් එක හැරෙන්න, ගැලපෙන වෙනදෙයක් ගොළු ළමයාගේ ජීවිතේ තිබුණාද මට සැකයි… “ළමයෙක්මි” කිව්වට ළමයෙකුට නොගැලපෙන ඇඳුම, ඒ ඇදුමට නොගැලපුන බාහිර පෙනුම,  ඒ පෙනුමට නොගැලපුන මරුමුස් මුහුණ, ඒ මුහුණට නොගැලපුන අපි යමක් දිගුකරන සැනින් එලිය වෙන හිනාව… මේ හැමදෙයකම තිබුනේ එකකට එකක් පැටලිලි සහගත බවක්… එහෙම වුනත් ඉඳහිට කෑම පාර්සලයක්, සිල්ලර නෝට්ටුවක් දික්කරනවා ඇරෙන්න ඒ පැටලිලි ලිහන්න අපි කාටවත් කොහෙන්ද ඉස්පාසුවක්…

මිනිහෙකුට අනුකම්පා කරනවානම් ඔහුගේ දුක් වේදනා අහන්නත් අපි වගකීමකින් බැඳිලා ඉන්නවා කියලා මට හිතෙන්නේ … අවාසනාවකට ගොළු ළමයා පහුකරගෙන ගිය අපි කාටවත් එහෙම වගකීමක් ගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැතුවා වෙන්නැති… නගරයේ කලබලය මැද්දේ අපි කඩි කුලප්පුවෙන් දුවද්දී නගරය නොගැලපුන ගොළු ළමයා අපේ නොසැලකිල්ල ගැන තරහා නොවී, අපිත් එක්කම ජීවත් වුනා…

දින දෙකක් පුරා පැවති මොකද්දෝ ප්‍රදර්ශනයකට මම වැඩකල ආයතනයෙන් ප්‍රදර්ශන කුටියක් එකතුකලේ ඔය අතරෙදි… ඒ එන ජනකායට බෙදලා  දෙන්න සූදානම් කරපු පත්‍රිකා තොගයකුත් අරගෙන මගේ ප්‍රධානියා මගේ ගාවට ආවා…

“දුවලා ගිහින් කවුරුහරි හොයාගෙන වරෙන්, එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා මේ ටික බෙදන්න කියපන් …”

“උබට පිස්සුද..? මේ හදිසියේ මිනිස්සු කොහෙන් හොයන්නද..?”

“කොහෙන් හොයන්නද කියලා මම දන්නවනම් උබට කියනවද…?”

ප්‍රධානියාගේ නියමයෙන් මම ආයතනය පැත්තට ඉගිල්ලුනේ කවුරුන් හෝ සේවකයෙක් හොයාගන්න අටියෙන්… මිනිහෙකුගේ හීන  සැබෑකරන්න විශ්වයම කුමන්ත්‍රණ කරන්නේ සමහර දවස්වලට විතරයි… ආයතනයේ තේ හදන කාන්තාවගෙනුත්, සෙකියුරිටි අන්කල්ගෙනුත්, ත්‍රීවීල් පාක් එකේ තරුණයින්ගෙනුත්, අසල හෝටලයක මුදලාලිගෙනුත්, වචන මිසක් මිනිස්සු නොලැබුණු මම හිස් අතින් ආපහු කාර් එකට නඟිද්දී, මට වචනෙකින්වත් උදව්වක් දෙන්න බැරි ගොළු ළමයා පදික වේදිකාවේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන හිටියා…

“මේ වැඩේට එන කෙනාට කියක් දෙනවා කියන්නද..?’

“දවසට එක්දාස් පන්සීයයි, දවස් දෙකට තුන්දාහක් දෙනවා කියපන්…”

ප්‍රධානියාගේ ගනන් හිලව් මතක්වුන මට, පුංචි ස්ටන්ට් එකක් කරලා බලන්න හිත බලකලා… ආපහු වාහනේ දොර වහලා ගොළු ළමයා ගාවට ඇවිදගෙන යද්දී මට තිබුනේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් විතරයි…සමහරවෙලාවට බලාපොරොත්තුවක් වැඩිත් එක්ක…

කලින් සාත්තු සේවකයෙක් විදියට වැඩ කරලා තිබෙන සෙකියුරිටි අන්කල්ගේ අත්දැකීම් වලටත්, අපිට ක්‍රීඩා සපත්තු දෙකක් දෙන්න කාරුණික වුන පහළ ජිම් එකක වැඩකල ලපටි ගෑනු ළමයෙකුටත්, හවස්වරුවේ ක්ලබ් යන්න ආයතනයේ ඇඳුම් තබාගන්න සේල්ස් මිතුරෙකුගේ ත්‍යාගශීලී බවටත් පින්සිද්ද වෙන්න, ඉන් පැයකට විතර පස්සේ නාලා, රැවුළ කපලා, කළුපාට කමිසයකිනුත්, කලිසමකිනුත් ලස්සනට සැරසුන ගොළු ළමයා හිටියේ BMICH එකට පිම්මේ ඉගිල්ලෙන කාර් එකක ඉස්සරහා අසුනේ…

හැමදාම උදේ හවස පහුකරගෙන යන ආයතනයේ සේවකයෝ කිසිවෙකුට අඳුනගන්න බැරිවුන ගොළු ළමයා, තමන්ට පැවරුන රාජකාරිය අකුරටම ඉටුකරන හැටි මම බලාගෙන හිටියේ හරි සතුටින්… මේ වෙනකල් හැමදාම තව කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගන්න පුරුදුවෙලා හිටි ගොළු ළමයාට එදා නම් මිනිස්සු මහා හුඟකට දෙන්න දෙයක් තිබුණා… වෙනදාටත් වැඩියෙන් ගොළු ළමයාගේ මුහුන එලිය වැටුනේ ඒ නිසා වෙන්නැති… එයා ඒක කොච්චර සතුටින් කලාද කිව්වොත් දවස ඉවරවෙද්දී, දවස් දෙකේම බෙදන්න තිබුණ පත්‍රිකා තොගය බෙදලා ඉවරකරපු ගොළු ළමයා ස්ටෝල් එක වහද්දී අපි ඉස්සරහා හිනාවේවී හිටගෙන හිටියා… ඔහු කවුද කියලා අඳුන්වලා දුන්නට පස්සේ සතුටින් පුදුම වුන හැමෝම ඔහුව කලින් අඳුනගත්ත නැති එකගැන තමන්ටම දොස් කියාගත්තා…  දවස් දෙකේම සල්ලි ගොළු ළමයාට දීලා මම ඔහුව ආයතනය ගාවින් බැස්සුවේ ඉතින් එයාගේ රාජකාරිය ඉවරබව අතින් පයින් පැහැදිලි කරලා දීලා… රුපියල් තුන්දාහක්, ඒ කාලේ හැටියට ගොළු ළමයාට සති කීපයක්ම රසට කන්න පුළුවන් වේවි.. මට හිතුණා…

ප්‍රබන්ධයක් මෙතැනින් ඉවරවුනත් ඇත්ත කතා වල තව ටිකක් තියෙනවා… පහුවදා හිමිදිරියෙම මම ආයතනයට එද්දී ගේට් එක ගාව හිනාවෙවී හිටගෙන හිටියේ ගොළු ළමයා… අර දුන්න මුළු මුදලම වියදම් කරලා අලුත් ඇඳුමකින් පිළිවෙලට සැරසිලා..! අපි දුන්න ඇඳුම් සපත්තු ආපහු බාරදෙන්න බෑග් එකකට දාගෙන…!! අද දවසේ තමන්ට කරන්න පැවරෙන වැදගත් රාජකාරිය මොකද්ද කියලා ආශාවෙන් බලාපොරොත්තු දල්වාගෙන…!!! 

තමන්ට අවශ්‍යය කෑමට සල්ලි නෙමෙයි, අනිත් අය වගේම සමාජයේ වැදගත් පිළිගැනීමක් ලබන්නයි කියලා වචනයක්වත් මුවින් පිටනොකර මුළු නඟරයටම ඇහෙන තරම් හයියෙන් ගොළු ළමයා එදා මට කිව්වා…
ඒ මම ගොළු ළමයෙක් කතාකරනවා දැකපු පළවෙනි වතාව…

~~~~~~~~~

ප.ලි. : බ්ලොග් ලියනවා තබා කියවීමටත් කාලය සමඟ සටන් කරන්න වෙන දින කිහිපයක් ගතවුනත්, මේ සටහන හේතු දෙකක් වෙනුවෙන්;

1. වැසූ බඳුනක පියන අරිනවාක් මෙන් පහසුවෙන් මිනිසුන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩවල් විවෘතකර පෙන්වන අපූරු නිර්මාණකරුවෙකු වෙන ඉවාන්ගේ පෙර පිං කතාවෙන් මතුකරන අදහසට තවත් මානයක් එක්කරන්න මට තිබුන අවශ්‍යයතාවය…

2. බ්ලොග් වසන්තයේ නියමුවකු වන දුමීගේ වැඩක් නුදුටුවා සේ නොඉන්නට බලකරන, එක්තරා කලබල රැයක ඩුබායිහි කෙටි හමුවකදී උතුරාගිය හිතවත්කම…

බ්ලොග් වසන්තයට ජයවේවා..! සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක වේවා…!

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා…! 

අවාසනාවකට පිළිතුරු කමෙන්ට් වලටත්, බ්ලොග් වසන්තයේ කමෙන්ට් වලත්, අලුත් අවුරුද්දේ බ්ලොග් නෑගම් යෑමටත් යනාදී මේ කිසිවකට ඉසිඹුවක් නොලැබෙන පශ්චාත්තාපය තුනීකරගනුවස් කමෙන්ට් වසමි… සහෘද ඔබගේ කියවා යෑමම මට සතුටකි…
පිංතූරය මෙතැනින්

Thursday, April 2, 2015

104. සමනළ පියාපත්…

 

මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්‍රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි…

මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන, සහභාගීවෙන්නන් අතරින් ස්වේචාවෙන් ඉදිරිපත් වෙන අයෙකු විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීමයි… අවාසනාවකට අප කණ්ඩායමේ හැමදෙනාම පාහේ හොඳින් කතාකල හැකිවුන් නිසා, කිසිවෙකු  ඉදිරිපත් නොවෙන වාතාවරණයක් තුළ, ප්‍රායෝගිකව සිදුවූයේ අහඹු ලෙස ශ්‍රාවක සමූහයෙන් තෝරාගන්නා පුද්ගලයින් සභාව ඉදිරියට බලෙන් ගෙන්වා ගැනීමයි… තවකෙකුට මුවාවෙමින් සැඟවීමට උත්සාහාකරන, ලැජ්ජාශීලී පුද්ගලයින් මෙහිදී බොහෝවිට ඉලක්ක වෙනබව  මා ඒ වනවිට දැන සිටියේ නැත…

ජලාශයකින් එතෙරෙ වෙන  ගවරැලකට කඩාවදින දඩයම් රිසි කිඹුලෙක් ඉන් දුර්වල අවාසනාවන්තයෙකු අහඹු ලෙස ඩැහැගනියි… සෙස්සෝ ඌ බිල්ලට දී ගැලවෙති. ගවයාගේ දිවිතොර වුවද, ඌ මතු එළඹෙන ගැහැටින්ද මිදුනේ වෙයි… වාසනාවකට හෝ අවාසනාවකට මම එදින දඩයම් වුනු ගවයා වීමි…මූලාසනයේ කැඳවීමට අනුව වෙවුලන දෙපා වලින් යුතුව ඒ දෙසට ඇවිද යන මට වදවීමට අතිරේක හේතුවක්ද නිර්මාණය වී තිබුණි… ඒ එදින වැඩසටහනට සහභාගී වී සිටි ප්‍රධාන අමුත්තායි…

සමාගමට අයිති ආයතන සමූහයේම කුඩා සේවක කණ්ඩායම් වල එකතුවකින් නිර්මාණය වූ මෙම වැඩසටහනේ සෑම දිනකම එක් ආයතනයක කණිෂ්ඨ විධායකයෙකු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සිරිතක් විය… අවාසනාවට එදින ප්‍රධාන අමුත්තාද සහභාගීව සිටියේ අප ආයතනයෙනි… උදෑසන සුභපැතුමකට පෙරළා ආචාර නොකරන, දවස පුරා තම පරිඝණකයට ඔළුව ඔබාගෙන සිටන, නිහඬ ගුප්ත චරිතයක් වූ එම කළමණාකාරවරයා ඉදිරියේම මගේද, අප ආයතනයේද සායම හෝදාගන්නට වීම මට ලැබුණු නරකම අහම්බයක් බව මම දැන උන්නෙමි…

“විනාඩි තුනයිනේ… මෙහෙම කරද්දී ඉවරවෙයි… මෙහෙම කරද්දී…” අත්පොලසන් හා මිතුරන්ගේ විහිළු සිනා මධ්‍යයේ ඉදිරියට යද්දී මම මැතිරුවෙමි… ලෝකය සෙමින් කැරකීම ඇරඹුනි…මම කතාව පටන්ගත්තෙමි…

[පරණ බැකප් දත්ත අවුස්සා සොයාගත්, ඒ කතාවේ ‘අහන් ඉන්න පුළුවන්’ පරිවර්තනය මෙසේ අකුරු කරමි…]

“සුභ සැන්දෑවක් මා ප්‍රිය මිතුරු මිතුරියනි… මට මේ අවස්ථාව ලබා දුන්නාට මූලාසනයට ස්තූතියි…[සභාවේ සිනා]… හොඳයි, තිරයේ දිස්වෙන අද මාතෘකා අතරින් මම කතාකරන්නට කැමති මාතෘකාව ‘ඇස්ටරොයිඩයක ගැටීමෙන් ලෝකය තව දින හතකින් විනාශ වෙන බව දන්නවා නම් ඔබ ඒ දින හත ගතකරන්නේ කෙසේද?’ යන්නයි…

දින හතක් කියන්නේ කෙටි කාලයක් තමයි… නමුත් සතුටින් මියෙන්නට ඒ ප්‍රමාණවත් කාලයක් යැයි මට හිතෙනවා… මම ප්‍රථමයෙන්ම කරන්නේ  මේ කතාව ඇත්තක්දැයි නැවත වරක් සැකහැර දැනගැනීමයි… දෙවනුව මම කරන ප්‍රධාන දෙය ආයතනයේ මගේ  ඉතිරිව ඇති නිවාඩු සියල්ල එකවර ලබා ගැනීමයි…[සභාවේ සිනා]

මියෙන්නට පෙර මා වෙනුවෙන් පැය විසිහතරම කැප කල හැකි දින හතක් ඔන්න මට දැන් තිබෙනවා… එතැන් පටන් දින ගෙවෙන හැටි ගැන මෙසේ හිටිහැටියේ  පැහැදිලිකිරීම තරමක් අසීරු කර්තව‍යයක්… බොහෝදුරට ඒ දින හත ගෙවෙන හැටි ගැන මම සුපුරුදු විදියට ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සකසාවි…[සභාවේ සිනා]… එහි අඩංගුවන දේ ගැන දැන්ම අනාවැකි කීම අපහසු වුනත් අනිවාර්යෙන්ම එහි තිබියහැකියැයි මට හිතෙන සමහර දේ මෙසේයි… බොහෝ දුරට ඉන් ලොකුම කාලය මගේ ප්‍රියාවිය වෙනුවෙන් වෙන්වේවි… ඇය මා නිසා ඇඬූ අවස්ථා බොහොමයි… මේ දින හතේදී ඇයව කිසිවිට නොහඬවා සිටීමට මම මටම පොරොන්දු වෙනවා… ඊට අමතරව මගේ දෙමව්පියන්ට, මගේ නැණැස පෑදූ ගුරුවරයින්ට සහ මගේ හිත මිතුරන්ට ඔවුන් මා වෙනුවෙන් ලබාදුන් සියලු දේ වෙනුවෙන් ඔවුන්ට ස්තුති කිරීමට මම උත්සාහාකරනු ඇති… මගෙන් වරදක් වූ අයෙක් ඇත්නම් ඔවුන්ගෙන් ඒ වෙනුවෙන් සමාව අයදින්නටත් කිසියම් කාලයක් වෙන්වේවි…මේ දේවල් සමඟින් දවස් හත අවසන් වී යනු ඇතැයි මට සිතෙනවා…

[ලෝකය සෙමෙන් කැරකෙන්නට ගත්තා ඔබට මතක ඇති… කතාව අවසන්වූවත්  මට වෙන්වූ වේලාව අවසන් නොවූයෙන් තවත් විනාඩි කිහිපයක්  ඇදිය යුතුව තිබේ…මම මනසේ අදහස් සූරමි…]

අහ්ම්… හොඳයි… මට තවත් කරුණක් සඳහන් කරන්න හිතුනා… මේ මාතෘකාව අපේ මූලාසනයේ මිතුරාගේ හිතේ ඇඳුනු අහඹු සිතුවිල්ලක් පමණයි… නමුත් අඩුම වශයෙන් මෙහිදී දින හතක් ඉතිරිව ඇති බව අපි දන්නවා…සත්‍යය තත්වය ගැන පොඩ්ඩක් කල්පනාකර බැලුවොත් අපි මේ තරම්වත් වාසනාවන්ත නැති බව ඔබට වැටහේවි… ජීවිතය කියන්නේ ඉහළගත් හුස්ම පහළ දමන්නට පෙර අහිමිවිය හැකි දෙයක්… සමහරවිට මෙතන ඉන්න අපි කාට හෝ දින හතක්වත් ජීවත් වෙන්නට ඉතිරිව ඇතිදැයි අපි දන්නේ නැහැ… ඉතින් ප්‍රියාවිය නොහඬවා සිටින්නට, දෙමාපිය සෙවනේ මොහොතක් ගෙවන්නට, උදව්කල අයෙක්ට ස්තූතියි කියන්නට හෝ වරදකට සමාව යදින්නට ඇස්ටරොයිඩයක් පැමිණ ලෝක විනාශයක්ම එනකල් ඉන්නට අවශ්‍යද..? නැහැ… මට හිතෙන්නේ මියෙන්නට පෙර ඉටුකරගන්නා අටියෙන් අපි කල්දමන  බොහෝ සිහින සැබෑ කරගැනීමට සුදුසුම දවස අද දවසයි… මොකද අද යනු ඇත්තටම ඔබ මියෙන දිනයට පෙර දිනය වන්නටත් පුළුවන්…

[කාලය අවසන් බව හැඟවෙන අර මිහිරි සීනු නාදය, මගේ සිරුරම ලිහිල් කරයි…කල්පය ගතවී ඇත… ]

මතක තබාගන්න ජීවිතය කෙටියි තමයි… නමුත් සතුටින් ජීවත් වී සතුටින් මියෙන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්… ස්තූතියි…!

කතාව පුරාවට මා මනසින් ඇස් ඉදිරියේ නිර්මාණය කරගෙන සිටි දැවැන්ත තාප්පය අත්පොළසන් හඬින් සුණුවිසුනු වෙයි… කැමරා කාචයකින් ග්‍රහනය කරගත් නිසල ඡායාරූපයක් සේ එදා මා දෑස් ඉදිරියේ තිබූ දර්ශනය මා මනසේ ඇඳී තිබේ… එහි හරිමැද, ශ්‍රාවක සමූහය පසුබිමේ, අත්පොළසන් තබා මස්පිඩුවකදු නොසෙල්වා මාදෙස පිළිමයෙක් මෙන් බලාසිටි ප්‍රධාන අමුත්තාව මේ ලියන මොහොතේද මට සිතට නඟාගත හැකියි…

සිකුරාදා පැවැත්වුන මෙම වැඩසටහන අවසානයේ මම නිවසට ගියෙමි… සති අන්තය විශේෂ කරදරයකින් තොරව ගෙවී ගියේය… සඳුදා උදෑසන ආයතනයේ වැඩ අරඹා සුළු මොහොතකින් මගේ ප්‍රධානියාගෙන් ඔහු හමුවට පැමිණෙන ලෙස ඇමතුමක් ලද්දෙමි… දෙවරක් තට්ටුකොට ඔහුගේ කාමරයට ඇතුළුවෙද්දී ප්‍රධානියාට අමතරව තවත් අමුත්තෙකු එහිඇති බව මම දුටුවෙමි… පසෙක වූ සාකච්ඡා මේසය උඩ වාඩිවී සිටියේ පෙරදිනයේ මගේ ආරධිත අමුත්තායි…

“මූද මිනිහා…?”

“මූ තමයි…!”

මොන විනැම්බෑසියක්ද මම මොහොතකට වික්ෂිප්ත වීමි… අමුත්තා කතා කරන්ට විය…

“උඹ ගිය සතියේ කල කතාව මාරයි… උඹ දන්නවද මම වීක්එන්ඩ් එකේ ෆැමිලි එකත් එක්ක ගමේ ගියා… දරුවෝ තේරෙන වයසට ආවට පස්සේ මම උන්ට අපේ මහගෙදර පෙන්නලා තිබුනේ නෑ… ආපහු එනගමන් බෙන්තොට බීච් හෝටලේත් දවසක් ඉඳලා අපි ආවේ… උඹට ස්තූතියි…”

“යු ආ වෙල්කම්…” මම විරිත්තීමි…

ඉන්පසු මම ආයතනයෙන් අස්වෙන තුරුම ආයතන සාදයක හෝ කොරිඩොවක හමුවූ විට දුකසැප විචාරා යන්නට ඔහු පුරුදුව සිටියේය…

සියල්ල මෙතැනින් අහවර වන්නට තිබුණි…නමුත් ජීවිතය සොඳුරු කතා රචකයෙකි…  ඇස්ටරොයිඩ ගනනක් පෘථිවියේ නොගැටී අප පසුකර  ගිය අතර, අඩි සළකුණු ගැන වද නොවුනු මම නොනැවතී ඉරවටා දුවමින් සිටියෙමි… එහෙත් ඉඳහිට දිනෙක මේ දිවිගමනේ පෙර අප තැබූ අඩි සලකුණුද වැදගත් වේ… එළැඹුනේ එවැනි දිනයකි…

ජීවිතයේ තවත් එක් වෙනසක් වෙනුවෙන් යටකී ආයතනයෙන් මම සමුගනිද්දී ලබාගත් රෙකමදාරු ලිපිය ප්‍රමාණවත් නොවෙන හෙයින් අලුත් ලිපියක අවශ්‍යයතාවයක් පැණනැඟුනි. මානව සම්පත් අංශය හරහා නිලවශයෙන් ඔවුන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුනේ මගේ රෙකමදාරු ලිපිය වසර ගනනාවකට පෙර මා ඉවත්වෙද්දීම ලබාදී ඇති බවත්, අවශ්‍යයනම් එහි කොපියක් මිස අලුත් ලිපියක් ලබා දීමේ සම්ප්‍රදායක් නොමැති බවත්ය… ඉන්පසු දුරකථනයෙන් කෙරුන නොනිල ඉල්ලමට පිළිතුර වූයේ සම්ප්‍රදායට පිටින් එවැන්නක් කිරීමට ආයතනයේ අහවල් විධායකගෙන් කෝඳුරු තෙල් හත්පට්ටයක පෙඟවූ විශේෂ අවසරයක් අවශ්‍යය බවයි… කෝඳුරු තෙල් හත්පට්ටය සොයාගත්තද, විශේෂ අවසරයක් කොහෙන් හොයන්නද…...?

දැන සිටි මිතුරන් සියල්ල ජීවිතයේ අලුත් අභියෝග සොයා ආයතනයෙන් නික්ම ගොස් සිටි හෙයින් මම අසරණ වීමි… නිකමට මෙන් අහවල් විධායක කවුදැයි විමසා බැලුවෙමි… දේව කරුණාවයි… මගේ ඇස්ටරොයිඩ ආරාධිත අමුත්තා තම වෘත්තීය ජීවිතය ජයගෙන ඇත…!!! :)

ඉතා කෙටි හඳුන්වාදීමකින් අවුරුදු ගණනක් ආපස්සට දුවන්නට ඔහුට ඉස්පාසුවක් තිබුනෙන්, අවශ්‍ය ලිපිය මටම කියා ඩ්‍රාෆ්ට් කරවාගෙන තම අත්සන යෙදූ කොපියක් කඩිනමින් මට ලැබෙන්නට සලස්වා, මුල් පිටපත තැපැල් කරන්නට තරම් ඔහු නිහතමානීවිය,.. අපේ අතීත හැඳුනුම්කම නොවන්නට මේ ලිපිය මට නොලැබෙනු නොඅනුමානය… නොසිතූ, නොපැතූ අහඹු සමනළ පියාපතක සෙලවුම ජීවිතයේ විසල් වෙනස්කම් සිදුකරන්නේ එලෙසිනි…

Inspired by : “දිනේශ්ගේ වර්ණ” සහ “පැතුම්ගේ බිත්තිය

පිංතූරය : http://cdn.inquisitr.com/wp-content/uploads/2014/04/asteroid2.jpg

Monday, March 30, 2015

103. චිත්‍රපටි…

ඊයේ මම දාපු බ්ලොග් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිවුණා…මම මීට කලින් චිත්‍රපටි ලිස්ට් එකක් ෂෙයාර් කරපු හැටි ගැන කියලා…ආයෙත් ඒ වගේ ඔත්තුවක් නැද්ද කියලා අහලා… එක වගේ රසයක් තියෙන කෙනෙක් හමුවුනාම  සතුටක් ඇතිවෙන හින්දා මේ පොස්ට් එක…

මම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට් හරහා නීති විරෝධීව… මේ නීති විරෝධී කේස් එක ගැනත් ගොඩක් දේ අන්තර්ජාලයේ කතාවෙනවා… කෙනෙක් වෙළඳපොලෙන් පොරවක් ගත්තාම එහා ගෙදර මනුස්සයාටත් ඒක පාවිච්චි කරන්න දෙනවානම් පොරොව හදපු නිෂ්පාදකයාට ඒ ක්‍රියාවට විරුද්ධ වෙලා එහා ගෙදර කෙනාත් අපෙන් අලුත් පොරවක් ගන්න ඕනේ කියලා නීති දාන්න බෑ කියලා ඔය නීතිවිරෝධී ටොරන්ට් වලට පක්ෂව කතාකරන අය අන්තර්ජාලයේ කියලා තිබුණා මම දැක්කා… මමනම් ඕවා ගැන ගොඩක් ගැඹුරින් හිතන්න යන්නේ නෑ… ඒ හින්දා ඔන්න ඔහේ නීති විරෝධී වැඩක් කියලාම කියමුකෝ…

කොහොමහරි, ඔය විදියට චිත්‍රපටි බලද්දී තියෙන ලොකුම පාඩුව රිලීස් වෙන සැනින් බලන්න වෙන්නේ නෑ… හොඳ කොපි එනකල් ඉවසීමෙන් ඉන්න වෙනවා… ඒත් බලන්න චිත්‍රපටි ගොඩක් තියෙනවානම් මේක ප්‍රශ්නයක් නෙමෙයි… මොකද අලුත් චිත්‍රපටි වල හොඳ කොපි එනකල් බලන්න ඊට පොඩ්ඩක් පරණ චිත්‍රපටි තියෙන නිසා…

ඔහොම බලන්න මම චිත්‍රපටි තෝරගන්නේ කොහොමද, සාමාන්‍යෙන් චිත්‍රපටිය රිලිස් වෙද්දී ට්‍රේලර් එක බලනවා… ඒක හොඳයිනම් ඒ චිත්‍රපටිය වොච්-ලිස්ට් එකකට සේව් කරගන්නවා… ඉන්පස්සේ ටොරන්ට් රිලීස් වෙන විදියට රේටින් වැඩිම ෆිල්ම් එකේ ඉඳන් බලනවා…ඉතින් මෙහෙම වෙද්දී සමහර ඒවා පෝලිම පනිනවා… සමහර ඒවා අවුරුද්ද ඉවර වෙනකලුත් පෝළිමේ…... දළාදා මාලිගාවේ තේවාව කරනවා වගේ අකුරටම මේක වෙන්නේ නෑ ඉතින්… සාමාන්‍යෙයෙන් වෙන්නේ එහෙම…

මම නෝට් කරලා තියෙන දෙයක් බොහෝවිට චිත්‍රපටි බලන අය පොත් කියවනවා අඩුයි... පොත් කියවන අය චිත්‍රපටි බලනවා අඩුයි... සයිකෝලොජිකල් කේස් එකක්ද දන්නේ නෑ... චිත්‍රපටිවල රූපය හදලා දෙනවානේ...පොතකනම් තමන්ට ගැලපෙන විදියට හිතින් මවා ගන්නවා... කොහොමහරි, මගේ පොත් කියවන යාලුවෙක් මේකනම් ලස්සන පොතක් කියලා රෙකම්න්ඩ් කලාම මම කරන්නේ ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් හදලා තියෙනවාද කියලා හොයලා තියෙනවානම් ඒක බලන එකයි...

දැන් ඇනෝ මිතුරාටත් එක්කම මාර්තු මාසේ ඉවර වෙද්දී මට බලන්න වොච් ලිස්ට් එකේ එකතු වෙලා තියෙන ෆිල්ම් ලිස්ට් එක දාන්නම්…ඔබටත් හිතට අල්ලන චිත්‍රපටියක් තිබුණොත් බලන්න...

මම බලපු චිත්‍රපටි ඩිලීට් කරන නිසා මෙතන නැහැ…

ප.ලි. ; ඔබ චිත්‍රපටි බලන්නේ නැතිනම්, සමාවෙන්න බයිට් කෑවානම් :D හැබැයි මේ පිංතූර සේරගෙම එකතුව මෙගා බයිට් එකක් වත් නෑ...

MV5BMjUzNTg0MzM3NF5BMl5BanBnXkFtZTgwNDg3NTY5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2NzMwNDQ2MV5BMl5BanBnXkFtZTgwMjU2NzA4MjE@._V1._SY209_CR8,0,140,209_MV5BMjA2ODM5MDE3N15BMl5BanBnXkFtZTgwOTIxNjc1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNDM5MDIxNzYyNV5BMl5BanBnXkFtZTgwMDUzMTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTgwNzA3MDQzOV5BMl5BanBnXkFtZTgwNTE5MDE5NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2MDMwNjEwNV5BMl5BanBnXkFtZTgwOTkxMzI0MzE@._V1._SY209_CR2,0,140,209_MV5BMjE3NjMwMjc3N15BMl5BanBnXkFtZTgwNDk4MjA0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjkyNjI3ODc0Ml5BMl5BanBnXkFtZTgwMTU0MjM2NDE@._V1._SX140_CR0,0,140,209_
MV5BMTc0MTM0MTA5MF5BMl5BanBnXkFtZTgwNzEwODEwMzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQ5NjYxODk2NF5BMl5BanBnXkFtZTgwOTgyNTU4MjE@._V1._SY209_CR1,0,140,209_MV5BNTMwODAzMTQ5NF5BMl5BanBnXkFtZTgwNDgzNjkwNDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTgzOTg0MDY3NV5BMl5BanBnXkFtZTgwNTI0OTA0MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjAwMTY3MTU0Ml5BMl5BanBnXkFtZTgwNzE0ODAwMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA4MDU0NTUyN15BMl5BanBnXkFtZTgwMzQxMzY4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTc5NzI4NTIyMF5BMl5BanBnXkFtZTgwMzIzNDMxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BODAzMDgxMDc1MF5BMl5BanBnXkFtZTgwMTI0OTAzMjE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjIzNzAxNjY1Nl5BMl5BanBnXkFtZTgwMDg4ODQxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjE3MDY2NTQ5Nl5BMl5BanBnXkFtZTgwMDIxMDI5MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjg5NDkxNDc2MV5BMl5BanBnXkFtZTgwOTM0NDMzMjE@._V1._SY209_CR3,0,140,209_MV5BMjE3MjUyMDAwOF5BMl5BanBnXkFtZTgwMjM4MTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTAzODc3NjU1NzNeQTJeQWpwZ15BbWU4MDk5NTQ4NTMx._V1._SY209_CR1,0,140,209_MV5BMTAxOTMwOTkwNDZeQTJeQWpwZ15BbWU4MDEyMTI1NjMx._V1._SY209_CR0,0,140,209_MV5BMjM0MTExMTkxNl5BMl5BanBnXkFtZTgwMzgwNDI0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMwOTQ0NTUyMF5BMl5BanBnXkFtZTgwNDg3NDUxNDE@._V1._SY209_CR2,0,140,209_
MV5BMjE5NDA2NDg1N15BMl5BanBnXkFtZTgwNjM1NDQ1MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTc4MDEzMTA5MF5BMl5BanBnXkFtZTgwODA5MTM0NDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjE4OTY4ODg3Ml5BMl5BanBnXkFtZTgwMTI1MTg1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTczNzI2MDc1Ml5BMl5BanBnXkFtZTgwOTU5NTYxMjE@._V1._SY209_CR1,0,140,209_
MV5BMTc3Nzk0NzQ1Ml5BMl5BanBnXkFtZTgwOTM1MDk5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTU2NjA1ODgzMF5BMl5BanBnXkFtZTgwMTM2MTI4MjE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM1MDc0NTE1NV5BMl5BanBnXkFtZTgwNzY0ODMzMjE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ1NTI4MjE5MV5BMl5BanBnXkFtZTgwNzI1MzgxMDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMjA0MTQ3MzczN15BMl5BanBnXkFtZTgwNjY1MzQxMTE@._V1._SY209_CR0,0,140,209_MV5BNjk4MzkyOTQwNF5BMl5BanBnXkFtZTgwODE5MTk1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjI2ODQ2NzUwMl5BMl5BanBnXkFtZTgwNjU3NTE4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BNDA0NTUwNzA1OF5BMl5BanBnXkFtZTgwMzQ0NjcwMDE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTQ5NjQ2NjQ3NF5BMl5BanBnXkFtZTgwNjU4MDMxMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTkzNDA0NzY1Ml5BMl5BanBnXkFtZTgwMjEwMDkzMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTk5MTkxOTI1N15BMl5BanBnXkFtZTgwNzAwNDA4MTE@._V1._SY209_CR0,0,140,209_MV5BODc5MzA4OTUxOF5BMl5BanBnXkFtZTgwNDA4ODI2MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTk4NTcxNjY4Ml5BMl5BanBnXkFtZTgwNTIyMzI3MTE@._V1._SY209_CR3,0,140,209_MV5BMjIzNTg4ODM3OV5BMl5BanBnXkFtZTgwMTk0MjkxMzE@._V1._SX140_CR0,0,140,209_MV5BNjY1NjQ1NjMzNl5BMl5BanBnXkFtZTgwNzU0Mjc1MjE@._V1._SX140_CR0,0,140,209_MV5BODQxODk0MDg4NV5BMl5BanBnXkFtZTgwNzIzNjE2MTE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjA5OTAwOTYzOF5BMl5BanBnXkFtZTgwMDQ4MDE0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA5MDM1ODE5NV5BMl5BanBnXkFtZTgwNjg0MTk5MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQyOTU2NDQ0Nl5BMl5BanBnXkFtZTgwNDQ3ODYxMzE@._V1._SY209_CR1,0,140,209_MV5BODYyOTMyNjMzMl5BMl5BanBnXkFtZTgwODgwNjQ3NDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMTM4MDQ4Mzg4N15BMl5BanBnXkFtZTcwNzE3NTU3OQ@@._V1._SY209_CR3,0,140,209_MV5BMjM3MDY1NTM5M15BMl5BanBnXkFtZTgwODM0ODkyMjE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMzMjc5MjIzNV5BMl5BanBnXkFtZTgwNTY4OTQ2MjE@._V1._SY209_CR0,0,140,209_MV5BOTA5NzAxNzMxNV5BMl5BanBnXkFtZTgwNzY2NDE3MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTY2MjMxNDQ0MF5BMl5BanBnXkFtZTgwNzg3ODI2MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTUxMjQ2NjI4OV5BMl5BanBnXkFtZTgwODc2NjUwNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMTYzODE1ODI4OV5BMl5BanBnXkFtZTgwNTIyNTc2MTE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ1MDA5NjUxN15BMl5BanBnXkFtZTgwNjAwMDg5MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjM5MTE1MDY0Nl5BMl5BanBnXkFtZTgwOTE3NTY4MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQyODgwNDM5MF5BMl5BanBnXkFtZTgwNTA1MTQ0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMzE3NTMwOTk5OF5BMl5BanBnXkFtZTgwODcxNTE1NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjEyOTI0OTg3N15BMl5BanBnXkFtZTgwNjk5NTExMzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjA5MjIzODE3N15BMl5BanBnXkFtZTgwNzUwNzYwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ0NjAyODk5N15BMl5BanBnXkFtZTgwNDM1NjgzNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM4MzMyNTk1MF5BMl5BanBnXkFtZTgwOTc4NzAwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTUxNDY4MDA1NF5BMl5BanBnXkFtZTgwMjI3OTE0MzE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjk4MDI5MDU4M15BMl5BanBnXkFtZTgwMDMyNzQ5MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMjA3Mzc0NjcxOF5BMl5BanBnXkFtZTgwMzIzMDQ5MTE@._V1._SY209_CR7,0,140,209_MV5BMTQ0MjgxMzExNl5BMl5BanBnXkFtZTgwMTkwNjI0MzE@._V1._SY209_CR0,0,140,209_
Web Statistics