Monday, March 31, 2014

88.Drinking Alone



විතක් පිරුණු සුරාවයි…
ඝනදුරු හුදකලාවයි…
නුඹ කටහඩ තවම රැඳුනු…
යාරා ගඟ ගලා යයි…

නුඹ නැතිවුන සොව අසමින්…
ඉඳහිට මගෙ හිත හදමින්…
අද එළිවෙනතුරු බොන්නේ…
සඳයි මමයි හෙවනැල්ලයි…

සඳ ටිකිලා බොන්නෙ නැතිලු…
හෙවනැල්ලට මූඩ් නැතිලු…
යාරා ගඟ කිඳුරියකට…
ආයේ නොබොන බව කීවලු…

අඩුවක් නැති සුසුම් වලට…
වැඩියක් නෑ බෝතලයක්…
නුඹ ගියදා කුමට තවත්…
“වැඩිය නොබොන” පොරොන්දුවත්…

ගඟ සපයයි සංගීතය…
සඳ ගයනා දුක් ගීයට…
ලෝකය නම් රඟ මඬළක…
බමන මතින් නටමි මමත්…
මම නටනා තාලයටම…
හෙවනැල්ලේ නටන් උඹත්…


Inspired by : Drinking Alone under the Moon - Li Bai  | Picture : Cityscape Painting – Yarra Night Life

ප.ලි. : කාලෙකට කලින් මම ලියාපු නිසඳැසකුත් මෙතනට ලින්ක් කරන්න හිතුණා... ඒ මම මේකට කොන්දේසි විරහිතව ආදරේ කරන නිසා...
මියගිය පෙම්යුවල | The dead lovers

Wednesday, March 19, 2014

87. ගුවන් ගමනේ අභිරහස

Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand

කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර කපාගෙන හීයක් සේ එම මාර්ගයේ ඇදී යයි…  මේ අතර සහායක නියමු අබ්දුල් හමීඩ් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කපිතාන්ගේ නියෝගය ලැබෙනතුරුයි… තවත් සුළු මොහොතකින් යානය මැලේසියානු ගුවන් පාලන සීමාවෙන් ඔබ්බට ඇදී යන බව ඔහු දනී… ඉන් අනතුරුව වියට්නාම ගුවන් පාලන සීමාවට ඇතුළුවීමට පෙර ඇති බ්ලැකවුට් කාලය තුළදී ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කළයුතුව තිබේ…

කපිතාන් ෂා සෙමින් හිස සැලූයෙන් සහායක නියමු හමීඩ් මැලේසියානු පාලක මැදිරිය ඇමතීය…

“SZBTower…This is MH370………..requesting ATC switch to SGN…”

“MH370 maintain 35000…heading……. 30…”

“heading 30…”

“MH370 ATC switch approved………. Good night”

“All right… Good Night…” 

යැයි පැවසූ සහායක නියමු තම හිස පැලඳි රිසීවරය ගලවා දැමීය…

මෙතැන් පටන් සියල්ල අතිශය තීරණාත්මක බව කපිතාන් ෂා දනී… දකුණුපස ඇති FMC පරිඝනකයේ යතුරු අතර ඔහුගේ ඇඟිලි කඩිනමින් දිවයයි… රේඩාර් තිරයේ යානය ගමන් කල යුතු මඟ දම්පැහැයෙන් දිස්වෙද්දී තිරය මත අලුත් මාර්ගයක් සුදු පැහැති කඩ ඉරි වලින් ඇඳෙන්නේ “Are you sure you want to change the course?” යන පණිවුඩය සමඟිනි…

කපිතාන් ෂා තම සහායක නියමු යානයේ ට්‍රාන්ස්පොන්ඩර ක්‍රියා විරහිත කරන තුරු මොහොතක් පමාවිය… තමා මේ කරන්නේ නිවැරදි දේද..? තවත් වරක් සිතන්නට මේ තත්පර කිහිපය ඔහුට ඉසිඹුවක් ලබාදේ… තමා සියයට සියයක් නිවැරදි නැති බව ඔහු හොඳින් දනී… තමා පමණක් නොව තම සහායක නියමුවාත්, මෙම මෙහෙයුමට සම්බන්ධව සිටින අනෙක් සියල්ලෝත් නිවැරදි මිනිසුන් නොවන බව ඔහු දනී… එහෙත් මේ වැරදි මිනිසුන් පිරිසක් එක්ව කරන නිවැරදි වැඩක් බව ඔහුගේ සිත ඔහුට හඬගා පවසයි…

කපිතාන් ෂා ගේ දබරැඟිල්ල “YES” නම සඳහන් යතුර උඩ තෙරපෙද්දී MH370 යානය තම සැමියාට අවනතවන කීකරු බිරිඳක් සේ සෙමින් වම්පසට ඇලවී අලුත් මාර්ගයට අනුගත වෙන්නීය… කැබින් එක වෙත ගුවන් ගමන් සිතියමේ සජීවී දර්ශන නොලැබෙන බව කපිතාන් ෂා තහවුරු කරගනිද්දී තම ගමන් මල්ලෙන් අයි පෑඩයක් පිටතට ගන්නා හමීඩ් එය කපිතාන් ෂා අතට පත් කරයි… අඩි 33000 ඉහළ අහසේ මේ මොහොතේත් ලෝකගෝලය වටා විසිරෙන මැස්සන් රැළක් මෙන් ඔබ මොබ යන ගුවන් යානා සිය ගනනක් විය හැක… සැකයක් නැතුවම ඒ කිසිදු ගුවන් යානයක නියමුවෙකු නොකරන අසාමාන්‍ය කටයුත්තකට MH370 හි මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතගසා තිබේ… කපිතාන් ෂා අයිපෑඩයෙන් ForeFlight ජංගම ම්රුදුකාංගය විවෘත කරගන්නා අතරේදී සහායක නියමුවා  ඔබමොබ ගෙනයාහැකි ADS-B උපකරණයක් ක්‍රියාත්මක කරයි… අයිපෑඩය දෙස සුළු මොහොතක් නෙත් යොමාගෙන සිටන කපිතාන්වරයා ඉන්පසු තම මහපට ඇඟිල්ල ඔසවා සියල්ල සතුටුදායක බව සංඥා කරයි…

දැන් ආරම්භ වෙන්නේ ඉවසීමේ හෝරාවයි… යානයේ එන්ජින් වලින් නික්මෙන බර හඬ හැරෙන්නට සියල්ල සන්සුන්ය… ආලෝක ලාම්පු නිවාගත් යානය අඳුරේම ඉදිරියට ඇදෙයි… කාලය සෙමින් ගතවේ… අයිපෑඩය දෙස නෙත් යොමාගත් වනම සිටින නියමුවන් දෙදෙනාගේ මුහුණේ එක්වරම ඇඳෙන්නේ සිනහවකි…

“බිංගෝ…!” නොදැනුවත්වම කපිතාන් ෂා ගේ මුවින් පිටවේ…

-----------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 16:10 Local time | Place : Kenny Hills Towers, Kuala Lumpur

කාර්යාල කාමරයේ වූ සෝෆාවේ තමා කෙතරම් වේලා නිදාගත්තාදැයි ගුවන් යානා අනතුරු විශේෂඥ රසල්ට නිච්චියක් නොවීය… මේ ගෙවෙන්නේ ගුවන්යානය අතුරුදන්වී 14 වෙනි දිනයයි… හවස්වරුවේ අගමැතිතුමා හා කෙරෙන හමුවේදී ඔහුවෙත ලබාදෙන්නට සතුටුදායක මට්ටමේ තොරතුරක් තමා සතුව නැති බව සිහිවන විට රසල්ට දැනෙන්නේ මහත් අපහසුවකි… තමාව මෙම ගුවන් යානා අතුරුදන්වීමේ අභිරහස විසඳීමට සම්බන්ධ කරගත් මොහොතේ පටන් තම යටිසිතෙන් දිගින් දිගටම බලකල එකම කරුණක් ඔස්සේ පමණක් ලුහුබැඳීම නිසා තමා අතරමං වී ඇති බව ඔහුට දැන් වැටහේ… එහෙත් මෙතෙක් කල් ඔහු පරීක්ශන රාශියක් සාර්ථකව අවසන් කලේත් මෙම මුරණ්ඩු හිතලු ඔස්සේ හඹා යෑම නිසා බවද ඔහු දනී…

ගැටවර චීන පරිගණක ඉංජිනේරුවරයා පෙර දිනයේදී ඔහුට ලබා දුන් කපිතාන් ෂා ගේ ගුවන්යානා සිමියුලේටරයේ මකාදැමූ දත්ත වල මුද්‍රිත සටහන් අපිළිවෙලට ඔහුගේ කාර්යාල කාමරය පුරා විසිරී ඇත… මේ වනවිට දහස්වරකටත් වඩා පරීක්ශා කරන්නට ඇති යැයි සැක කෙරෙන ඉන් එක් සටහන් පිටුවක් නැවතත් ඔහු ඇහිඳගත්තේය… 

මෙහි ඇත්තේ මීට දින කිහිපයකට පෙර කපිතාන් ෂා විසින් තම සිමියුලේටරයෙන් පදවා ඇති පුහුණු ගුවන් ගමනක සිතියමකි… දැනට හෙලිවී ඇති තොරතුරු අනුව MH370 යානයේ ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත වූ තැන් පටන් මැලේසියානු හමුදා රේඩාර් වල යානය සටහන් වූ තැන් දක්වා MH370 යානය ගමන් කර ඇතැයි සැලකෙන මාර්ගය මේ පුහුණු ගුවන් ගමනේ මාර්ගය හා ටක්කෙටම ගැලපෙයි…

නමුත් මෙතැනින් එහාට ඒ ගැන ගලපා ගත හැකි සම්බන්ධය කුමක්ද..? පුහුණු ගුවන් ගමනේ පථයට අනුව බෙන්ගාල බොක්ක හරහා ගුවන් යානය ඉන්දියානු ගුවන් සීමාවට ඇතුළු වී එතැනින් පකිස්තාන් ඇෆ්ගනිස්තානය හරහා ස්පාඥ්ඥ්යේ බාර්සිලෝනා නුවරින් අවසන් වේ… මෙය ජනප්‍රිය ගුවන් ගමන් පථයකි… MH370 යානය මෙම මාර්ගයේ නොගිය බව සහතික කල හැක්කේ අතිශය සංවේදී ගුවන් කලාපයක් වන මෙහි ඉන්දියානු පාකිස්තාන රේඩාර් වල එවැනි ගුවන් යානයක් සටහන් නොවීමයි… මෙම රටවල් වල ස්ථාපිත කර ඇති අතිශය සංවේදී හමුදා රේඩාර් වලට හසු නොවී බෝයින් 777 යානයක් ගමන්ගත්තේයැයි සැලකීම විහිළුවකි…  එහෙත් MH370 හි අභිරහස විසඳාගැනීමට මෙම පුහුණු ගමනේ කිසියම් හෝඩුවාවක් ඇතැයි සිතන්නට රසල්ගේ යටිසිත දිගින් දිගටම ඔහුට බලකරයි…

වටයක් කැරකී නැවතත් පළමු කොටුවටම පැමිණි රසල් සුසුමක් හෙලා විදුලි කේතලය ක්‍රියාත්මක කලේ  දිගින් දිගටම තර්ක කිරීම නිසා ඔද්දල් වූ මනස ප්‍රබෝධමත් කරගනු වස් වූයේ කෝපි කෝප්පයක් පානය කිරීමේ අටියෙනි… වතුර රත්වෙනතුරු මහල් නිවාස සංකීර්ණයේ ඉහල මාලයක සිට එලිය බලාගෙන සිටි රසල්ට , සිරිපොද වැස්සේ තම මහල් නිවාසය දෙසට ඇදී එන රතු පැහැති කුඩය බිරිඳගේ බව හඳුනා ගැනීම අපහසු නොවීය… ඇය වෙනුවෙන් තවත් කෝපි කෝප්පයක් පිළියෙල කරගෙන විසිත්ත කාමරයට එන විට;

“ඔන්න අපි වැස්සත් අරගෙනම ආවා…”

යැයි පවසමින් රසල්ගේ බිරිඳ නිවසට ඇතුළුවිය…

“කවුද අපි…?”

රසල් අසද්දී

“කෝ මට කෝපි..?”

යැයි පවසමින් බිරිඳ පිටුපසින් නිවසට ඇතුළුවූයේ ඔවුන්ගේ සෙනෙහෙබර දියණියයි…

“කවුද දන්නේ දුවත් එනවා කියලා…මම දැක්කේ ඔයාගේ කුඩේ විතරනේ…”

“ඉතිං එක කුඩේ යටින් දෙන්නෙකුට එන්න බැරිද..?”

රසල්ගේ බිරිඳ අසද්දී එයට පිළිතුරු දුන්නේ ඔහු නොවේ… සුළුමොහොතක් ගල්ගැසී ඔවුන් දෙදෙනා දෙස තුශ්ණිම්භූතව බලාසිටි රසල් හනික තම කාර්යාල කාමරය දිවගියේය…

එහි වූ තම පරිඝනක යන්ත්‍රය විවෘත කරගත් ඔහු යුහුසුළුව MH370 ගුවන් යානය අතුරුදන් වූ දිනයේ ගුවනේ වූ අනෙකුත් යානා වල ගමන් මාර්ග පිරික්සන්නට විය…

“බිංගෝ….!” මොහොතකට පසු ඔහුගේ මුවින් පිටවූයේ නිතැතිනි…

--------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 18:40 Local time | Place : Unknown

අගමැතිවරයා මෙතරම් ආතතියකින් සිටිනු ඔහුගේ සේවකයින් කිසිවෙකු මින් පෙර දැක තිබුණේ නැත… පසෙකින් දිගින් දිගටම නැගෙන උද්ඝෝශනයි… ලොවම ඇස් කන් යොමාගෙන සිටින මෙම සිදුවීම දැන් කෙමෙන් රජය අස්ථාවර වීමක් දක්වා දුර දිග යන බව පෙනෙන්නට තිබේ… සියල්ලටම වැඩියෙන් කපුටන් මෙන් හැම කුණුගොඩම අවුස්සන ලෝක ජනමාධ්‍යවලින් රජයේ සුවිශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් පමණක් දන්නා සත්‍ය කරුණු තව කොතෙක් දුරට වසන් කරගත හැකිදැයි පවතින අවිනිශ්චිතතාවයි… අද දිනයේ යානය සඟවා ඇති තැන සොයා නොගතහොත් තවත් කල් මැරීම නොකල හැකි දෙයක් බව අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට පැහැදිලිය… මුහුද පීරමින් සිටීම දිගින් දිගටම කලහැකි ප්‍රෝඩාවක් නොවේ…

කොල්ලකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් හොරරහසේ ඔවුන් වෙත බාරදීම වෙතට තමන් ක්‍රමයෙන් තල්ලු වෙන බව අගමැතිවරයාට වැටහෙන්නට විය… රසල් ඔහු හමුවට පැමිණියේ මෙවැනි පසුබිමක් යටතේදීය… අතිශය රහසිගත ස්ථානයක කෙරෙන මෙම සංවාදයේදී රසල් විසින් විස්තර කරන කරුණ විශ්වාස කිරීමට අගමැතිවරයා මදක් පැකිළුනි…

“රසල් කියන්නේ තවත් බෝයින් 777 එකක් මාර්ගයෙන් MH370 එක රේඩාර් වලට අහු නොවී ෆ්ලයි කලා කියලද..?”

“ඔව් ඒකට කියන්නේ ෂැඩෝ ෆ්ලයින්ග්… සිමියුලේටර් එකක මේක කරලා බලලා තියෙනවා මිසක් ඇත්තට මේ අවදානම කවුරුත් අරගෙන නැහැ… අතිශය පළපුරුදු ගුවන් නියමුවෙකුට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි…”

“හොඳයි කොහොමද මේක කලා කියලා රසල් සැක කරන්නේ?”

“සැක කරනවා නෙමෙයි… කැප්ටන් ෂා කලේ මේකම තමයි මට විශ්වාසයි… හරියටම මේ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් වුන තැනට සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් SG58 කියන බෝයින් 777 එකට තිබිලා තියෙන්නේ විනාඩි 15ක දුරක්… MH370 එකට කරන්න තියෙන්නේ ඒ ෆ්ලයිට් එකට උඩින් හෝ යටින් ෆ්ලයි කරන ගමන් SG58 ෆ්ලයිට් එකට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ශන්ස් හැක් කරලා ඒ ඉන්ස්ට්‍රක්ශන්ස්ම ෆලෝ කරන එක… MH370 ට්‍රාන්ස්පොන්ඩර්ස් ඔෆ් කරලා නිසා SG58 වලට තමන් ළගින් තව ෆ්ලයිට් එකක් ෆ්ලයි කරන බව ඇලර්ට් වෙන්නේ නැහැ… ඉන්දියා, පකිස්තාන් ඇෆ්ගනිස්තාන් එයාර් ස්පේස් එක මේ විදියට SG58 එකට මුවාවෙලා රේඩාර් වල ට්‍රැක් නොවී පැනගත්ත ගමන් ඊට පස්සේ තියෙන ඕපන් ස්පේස් එකේදී SG58 ශැඩෝ එකෙන් මිදිලා තමන්ට අවශ්‍ය තැනට ලෑන්ඩ් කරන්න පුළුවන්… MH370 එකේ තිබුන ඉන්ධන එක්කත් සලකලා, ආරක්ශාව වගේ බාහිර කාරනාත් සලකද්දී මේවගේ හොස්ටේජ් මිෂන් එකකට ලෑන්ඩ් කරන්න හොඳම තැන විදියට මට හිතෙන්නේ මෙන්න මෙතන… සර්ට හිතෙන්නේ මොකද්ද…?”

මේසය මත දිගහැර ඇති සිතියමේ ටර්ක්මේනිස්තාන්හි එක්තරා ගුවන් පථයකට තම දබරැඟිල්ල තබමින් රසල් පැවසීය…

“මට හිතෙන්නේද? මට හිතෙන්නේ උබව ඉඹගෙන ඉඹගෙන යන්න…”

අගමැතිවරයා සතුටින් ඉපිලෙමින් පැවසීය…

---------------------------------------------------------------------------------

Date : 22nd March 2014 | Time : 02:10 Local time | Place : Somewhere in Turkmenistan

ප්‍රහාරය  සැලසුම් කෙරුනේ අදහාගත නොහැකිතරම් වේගයකිනි… සියළු මඟීන් නිදාසිටින රාත්‍රී කාලයේ ඔවුන් රඳවාගෙන සිටි අතහැරදැමූ ගුවන් යානා ගොඩනැඟිල්ල වෙත කඩාවැදීම ප්‍රහාරයේ සැලසුම විය… බිම නිදා සිටින මඟීන් ප්‍රහාරයට ලක්වීම අවම වීමත් සිටගෙන සිටින ත්‍රස්තවාදීන්ට පහසුවෙන් පහරදීමටත් හැකිවීම මීට පෙරද මෙවැනි බේරාගැනීමේ මෙහෙයුම් වල සාර්ථක වී ඇති සැලැස්මකි…

මානුශික මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව අසන්නට සූදානමින් ප්‍රහාරය අනුමත කල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පුල පුලා බලා සිටියහ… ආරංචිය නිවේදනය කලේ හමුදාපතිවරයායි…

“මඟීන් සහ කාර්ය මණ්ඩලය 237ක් නිරුපද්‍රිතයි… ත්‍රස්තවාදීන් 12ක් සහ මඟීන් දෙන්නෙක් මියගියා… ඔවුන් දෙන්නාගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට විනාශ වී තිබෙනවා… ”

“මඟීන් දෙන්නා කවුද..?”

“හොර පාස්පෝර්ට් වලින් ගිය දෙන්නා…”

හමුදාපතිවරයා පැවසූයේ ඇසක් ඉඟි මරමිනි…

~නිමි~

ප.ලි. : මේ ලොවක් මවිත කල MH370 යානය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියදී අන්තර්ජාලයේම නොයෙක් විට ඇසගැටුණු conspiracy theories වල අනුසාරයෙන් මැවුනු හිතළුවක් බව නොකිවමනාය… ජීවිතයටම ෆ්ලයිට් ඩෙක් එකකට ඇතුළුවීනැති මා විසින් මෙහි වැරදියට සඳහන්කර ඇති දේ බොහෝ විය හැක…

හදිසි අනතුරු යනු අප්‍රසන්නතම අත්දැකීමකි… එයිනුත් ගුවන් ගමන් අනතුරු අප්‍රසන්නතාවයෙන් ඉදිරියෙන්ම සිටිතැයි සිතමි… හදිසිඅනතුරකින් මියෙන්නෙකුට තමා මියෙන බව දැනෙන්නේ මිලි තත්පර කිහිපයක් විය හැක.. නමුත් ගුවන් අනතුරකදී ඒ කාලය ඉතා වැඩියැයි සිතමි… වරක් low visibility යැයි පවසමින් මා ගමන්ගත් ගුවන් යානය ගොඩබාගැනීමට තැනක් සොයමින් නියමුවන් තතනද්දී එය අතිශය සුළු හදිසි අවස්ථාවක් වුවද මා යහමින් බිය වූ බව පැවසූවොත් එය වැරදි නොවේ… නියත අනතුරකදී මෙම මරබිය සිය දහස් ගුණයකින්  වැඩි ඇතැයි සිතමි…

ඉතින් අතුරුදන්ව ඇත්තේ 239 ක් හීන පිරුනු ජීවිතයි… ඔබට මට මෙන්ම ඔවුන් එනතුරු කඳුලු බොමින් බලා සිටින පවුල්වල හිතවතුන් සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි…

ශැඩෝ ෆ්ලයින් නැමති මේ සිත් ඇදගන්නා සුළු සංකල්පය මා දුටුවේ Keith Ledgerwood නැමැත්තෙකුගේ ලිපියකිනි… එය කියවන්න මෙතැනින්

Monday, March 3, 2014

86. මම බලපු චිත්‍රපටි–Wadjda

පසුගිය දිනෙක නැරඹූ චිත්‍රපටියක් විසින් පහුරු ගාන්නට යෙදුණ මතක පොසිලයකුත්, කලකින් යාවත්කාලීන නොවුන බ්ලොග් අඩවිය තරහාකර ගැනීමට ඇති අකමැත්තත් යන සිතුවිලි දෙකම එක්ව පෝර යෙදූ සටහනක් මේ… චිත්‍රපටිය සටහනේ අග හරියට, පරිස්සමට පැටලුම් ලිහාගත් අතීත මතකය මුලින්ම…

ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ගුරුතුමාගේ අනුදැනුම යටතේ වෙන්වෙද්දී මම අයිති කණ්ඩායම තීරණය වුණේ අමුතුම ක්‍රමයකට… 

“එහෙනම් ඔය අන්තිමට ඉතුරු දෙන්නා එක ගෲප් එකක් හදාගන්න…”

අන්තිමට ඉතුරුවුණු මා සමඟ ගෲප් එකක් හදන්නට අන්තිමට ඉතුරුවුණු ඇය, හිසකේ පටන් පා නියපොතු දක්වා කලු නිකාබයක සැඟවුණු මුස්ලිම් යුවතියක්… කලු පැහැ අත් පා ආවරණ පවා පැළඳ ඇස්කිමෝවෙකු සිහි ගැන්වූ ඇයගේ බාහිරට විවර වුණු එකම ශරීරාංගය වූයේ අඟල් කිහිපයක් පළල විවරයකින් මා දෙස ඔරවාගෙන සිටි නෙත් යුගල පමණයි… තම කණ්ඩායම ගැන සෑහීමකට පත්වී නොසිටියේ ඇය පමණක් නොවේ, උරෙන් උර ගැටී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වෙහෙසිය හැකි ව්‍යාපෘති සගයෙකු වෙනුවට,  මමත් බලාපොරොත්තු වෙන අවසාන තෝරාගැනීම කතාකරන රෙදි පොට්ටනියක් විය හැකියි…

නොරිස්සුමකින් ඇරඹි අප සමාගමය සතුට රැඳුන මිතුදමක් බවට පත්වීමට ගතවුණේ ව්‍යාපෘති සාකච්ඡා වට කිහිපයකුත් තව ටිකක්… කොහොමත් තුරුණු වයසේ කෙළි කවට සිනා වලට විවරවන සිතක් වසන්නට නිකාබයක් තුනී වැඩියි… මෙතැන් පටන් දිඟු කාලයක් පේළි කිහිපයකට කෙටි කළොත්, දැන් මම සිටින්නේ සාර්ථක ව්‍යාපෘති ඉදිරිපත් කිරීමක් අවසානයේ ඇගෙන් සමුගැනීමට සූදානම්ව ආචාරශීලී සුභපැතුමක් ගැන කල්පනා කරමින්…

“ඉතිං එහෙමනම්… ගත කළ හැම මොහොතක්ම සතුටක්…” ඇය පවසන්නේ මට කලින්…

“මටත් එහෙමයි… එකම එක දුකක් ඇරෙන්න…” මගේ මුරණ්ඩුකම ආචාරශීලීත්වයට වඩා දශමයක් ඉදිරියෙන්…

“ඒ මොකද්ද..?”

“අපි හරි කෙටි කාලෙකින් ලෝකේ අමාරුම දෙයක් කරලා දිනුවා… ඒත් එතෙන්ට යන්න අත්වැල් අල්ලාගෙන හිටි කෙනා කියලා මම අඳුනන්නේ ඇස් දෙකක් විතරයි…”

“යා අල්ලාහ්, ඉතිං ඒකට මම මොකද්ද කරන්නේ…”

“ඒ ඇස් දෙකට මූණක් දෙන්න…”

දෑසක විස්මය, අඟල් කිහිපයකින් රාමු කළවිට කලාකෘතියක් වැනියි…

“පිස්සුද ඒක හරාම්…”

“ඒ කියන්නේ..?”

“ඒක තහනම්… අනික මෙහෙම හොඳයි… එතකොට ඔයාට මගේ මූණ ගැන කැමති විදියකට හිතාගන්න පුළුවන්… “

“ඒක කොහොමද හොඳ වෙන්නේ… මම මැරෙනකොට මැරෙන්නෙත් ඔයා කවුද කියලා නොදැන… මිනිහෙකුට දෙන්න පුළුවන් තවත් දඬුවමක් තියේද..?”

“මොනවද මේ කියන්නේ… මම කැමතිවුණත් මූන පෙන්නන්න මට තහනම්… ඔයා නන්-මහ්රාම්…”

“ඒ කියන්නේ…?”

“ඔයා මගේ හස්බන්ඩ්වත්, තාත්තාවත්, සහෝදරයෙක්වත් නෙමෙයි… මට මූණ පෙන්නන්න අවසර තියෙන්නේ ඒ තුන්දෙනාට විතරයි…”

“ඉතිං මම සහෝදරයෙක් කියලා හිතන්න… එහෙම බෑද…?”

“එහෙම පුළුවන්ද, මම දන්නෑ…”

“මම දන්නෙත් නෑ…”

“පොඩ්ඩක් ඉන්න එහෙනම්… පුදුම මුරණ්ඩුකමක්…”

අත්බෑගයෙන් එළියට ගත්  පුංචි ඩයරියක ඇති දුරකථන අංකයකට ඇය ඇමතුමක් ලබාගන්නේ, ඇස් ඉරටු කර සිනාසෙමින්…

“ඔය කාටද කතා කරන්නේ…”

“පල්ලියට…”

****************************************



ඇගේ නම වජ්ඩා… දෙවියන් විසින් තවමත් පාලනය අතැර නොගිය කර්කශ සවුදි අරාබියේ දහසකුත් එකක් තහංචි මැද, දෙවියන් දුන් ජීවිතයට සාධාරණයක් ඉටුකරන්නට වෙහෙසෙන දැරියක්... මේ මොහොතේ ඇගේ එකම සිහිනය ඇගේම කියා පුෂ් බයිසිකලයක් පැද යෑම... නමුත් ඇගේ අවාසනාවට, හිමිදිරි යාඥාවේ පටන් නින්දට යනතුරු ඇයට ඇසුරු කරන්නට බලකර ඇති ආගමික ග්‍රන්ථයක ගල්වුණ අකුරු පේළි අතරේ කුඩා දරුවෙකුගේ මේ  ආශාව ලියවී නැහැ...

වතුර නොමැතිව වියළි පොළවේ හැදෙන මුරණ්ඩු පතොක් ගසක් මලක් නොපිපී මිසක් මියෙන්නේ නැහැ... තම සිහිනය සැබෑකරගැනීම වෙනුවෙන් සටන් නොකර පරදින්නට සූදානම් නැති මුරණ්ඩු පතොක් ගසක් ඇය...

පුෂ් බයිසිකලයකට අවශ්‍යය රියාල් අටසියය දෙමාපියන්ගෙන් කිසිදා නොලැබෙන බව වටහා ගන්නා වජ්ඩා  තමාට හැකි අයුරින් මුදල් එකතු කරන්නේ ඒ ඉලක්කයට ළඟා වීමේ අරමුණින්... නමුත් ඇය වැනි කුඩා දැරියකට ඉතුරු කල හැකි සීමාව ඇත්තේ එවැනි විශාල මුදලකට වඩා හුඟක් අඩුවෙන් බව වජ්ඩාට වැටහෙනවා...

පාසලේ පැවැත්වෙන, කුරානය කට පාඩමින් කියනා තරඟයක පළමු ත්‍යාගයට ලැබෙන තැගි මුදල ඇගේ ඇස ගැටෙන්නේ මේ අතරෙදියි... ඒ බයිසිකල් සිහිනය සැබෑ කරගත හැකි මුදලක්... දෙවරක් නොසිතා අදාළ තරඟයට ලියාපදිංචි වන ඇය එතැන් පටන් වෙහෙසෙන්නේ දේව වාක්‍යය කට පාඩමින් මනාව ගායනා කිරීමට... නමුත් වජ්ඩාට ධර්මය උගන්වන ගුරුවරු කිසිත් නොදන්නා රහස නම් ඇය මේ දිවි නොතකා ධර්මය ඉගෙනීමට වෙහෙසෙන්නේ එහි සඳහන් පාපයක් ඉටුකරගැනීමේ නිසඟ අරමුණින් බව...

දෙවියන්ට වංචාකර ඇයට ජයගැනීමට හැකිවේවිද..? මේ අතර තම සැමියා තවත් විවාහයක් කරගැනීම වැළක්වීමට ඇගේ මව ගන්නා උත්සාහය සාර්ථක වේවිද..? චිත්‍රපටියේ අවසානය මේ සියල්ල විසඳාවි...

ආගමික නීතිරීති වලින් පාලනය වෙන ගැහැණු, තම ආත්මය වටා වැර යොදා බැඳුණු ඒ යදම් සමඟින් තම ජීවිතය විඳින්නට ගෙනයන සටන මීට වඩා හොඳින් පෙන්වන චිත්‍රපටි ඇත්නම් මගේ වැටහීම අනුව ඒ අතළොස්සක් විය හැකියි... මුළු ගතම වැසෙන සේ ඇඳි අබාය ඇතුළේ හිරවී සිටින ගැහැනියගෙන් "දාඩිය නැද්ද..? ඔයගොල්ලෝ ඕක කොහොමද ඇඳන් ඉන්නේ?" වැනි අතිශය බොළඳ ප්‍රශ්න මේ චිත්‍රපටිය නැරඹුවාට පසු ඔබ ඔවුන්ගෙන් නැවත නොඅසන බවට මට විශ්වාසයි...

Haifaa Al-Mansour Picture

සවුදි අරාබියේ පළමු කාන්තා සිනමා අධ්‍යක්ශකවරිය… හයිෆා අල්මන්සූර්… කුඩාකල බයිසිකලයක් ගන්නට සිහින මැවූ සවුදි අරාබි යුවතියක්… විචාර බුද්ධිය මඬින ආගමික බල අධිකාරයට මෙම චිත්‍රපටියෙන් දසන් නොමදක්වා ඇය සිනාසෙන අයුරු මනරම්…

Web Statistics