Sunday, November 27, 2011

41. කුකී පැකට්ටුව | The Packet of Cookies

Chocolate-Chip-Cookies-Gifts

ගුවන් මගී පර්යන්තයේ ටයිල් බිත්තියෙන් බාගයක් විතර වසාගෙන පැතිරුණු දැවැන්ත ඩිජිටල් නාමපුවරුව දිගේ උඩට පහළට ඇස් අරගෙන ගිය තරුණිය තරමක ආයාසයකින් තමන්ගේ ගුවන් බසයට හිමි අංකය හොයා ගත්තා… ඒ දිගේ හරහට ගෙනගිය ඇගේ ඇස් නතර වුණේ අවසන් තීරුවේ රතුපැහැති ලේබලය ඉදිරියේයි… “Delayed ” ගුවන් ගමන් මගියෙක් විදියට ඇය දකින්න අකමැතිම වචනය නිවී නිවී පත්තු වෙවී තිබුණේ ඇයට ඔලොක්කුවට වාගේයි…

“කමක් නෑ හේතුවක් ඇතුවනේ පරක්කු වෙනවා ඇත්තේ… කුණාටුවක අහුවෙලා මැරුම්කන්නේ නැතිව බේරුණා කියලා හිත හදාගනින්…” තමන්ට කියාගත් තරුණිය ඉන්පස්සේ වටපිට බැලුවේ අතිරේකව එකතු වුණු මේ පැය කීපය ගෙවාගන්න මගක් කල්පනා කරන ගමන්…

පසෙකින් තිබුණු කෝපිහලත්, තම අත්බෑගයේ පිටත කවරයක රැඳවුණු අයිපෑඩයත්, ඒ ඉදිරියෙන් වූ මගීන්ගේ විවේක අංගනයත් ඇයට ඉතිරි කාලය ගෙවීමේ සැලැස්ම මනසේ ඇඳලා දුන්නේ වැඩි අපහසුවකින් තොරවයි… තමාගේ ප්‍රියතම වර්ගයෙන් කෝපි කෝප්පයක් ඇණවුම්කරගත් ඇය එය තොලගාන අතරේ අතරේ සැපීම සඳහා කුකී පැකට්ටුවකුත් මිලදී ගත්තා…

තවත් සුලු මොහොතකින් ඇය සිටියේ කෑමට කුකී සහ බීමට කෝපි වළින් සන්නද්ධව පැය ගණනක් හෝ ගතකිරීමට සූදානම්ව මගී අංගනයේ සුවපහසු අසුනක් සොයමින්… දැවැන්ත වීදුරු බිත්තියෙන් ඔබ්බෙහි පිහිටි ධාවන තීරු ඔස්ස්සේ ඔබ මොබ ගමන් කරනා ගුවන් යානා වල දර්ශනයට ලොබ බැඳි නිසාම ඇය කෙළවරටම වන්නට ඇති අසුනකට බරදුන්නේ ඊට යාබද අසුනේ සිටි තරුණයා ගැන වැඩි තැකීමක් නොකරමයි…

කෝපි කෝප්පය අත් ඇන්දට සම්බන්ධ කුඩා මේස ලෑල්ලක් වැනි අධාරකය මතින් තැබූ ඇය තම අයිපෑඩය ක්‍රියාත්මක කරමින් අන්තර්ජාලයට සම්බන්ධවීමට අවශ්‍ය සීරුමාරු කිරීම් වල යෙදෙන්නට වුණා… එය අවසන්වනවාත් සමගම යාබද අසුනේ සිටි තරුණයා කළ දෙයින් ඇය විස්මයට පත්වුණා…

සගරාවක් වැනි යමක් කියවමින් සිටි ඔහු ඉන් දෑස් ඉවතට නොගෙනම පුටු දෙක අතර තබාතිබූ කුකී පැකට්ටුවෙන් කුකී එකක් ගෙන සපන්නට වූයේ තරුණියගෙන් එය ඉල්ලනවා තබා ඇය එතැන ඉන්නවාද යන වගටවත් අවධානයක් යොමු නොකරමින්…

“ඈහ්…? පෙනේද මේ ජරා කොල්ලගේ හැසිරීම…” ඇයගේ සිත එසේ හඬගෑවත් මුවින් එය පිටවන්නට නොදී ඇය පාලනය කරගත්තේ සමහරවිට තරුණයා තමා කියවන දෙයට තිබූ අධික අවධානය නිසා කුකී එකක් ගන්නදැයි ඇයගෙන් ඇසීමට අමතකවන්න ඇතැයි හිත හදාගනිමින්… සිතට නැගුණු කේන්තිය ආයාසයකින් පාලනය කරගත්තත් ඔහුගේ ඒ අශීලාචාර හැසිරීම ඇය නොඉවසන බව පෙන්වීමට මෙන් ඇයද කුකී එකක් ගත්තේ තරුණයා දෙස එක එල්ලේ බලාගෙනමයි… ඇස් කොනකින් පමණක් ඇයගේ ක්‍රියාව දෙස යාන්තමින් බැල්මක් හෙළු ඔහු ඉන්පසු ඇය දෙස නොබලාම සගරාව දෙස නෙත් යොමාගෙන දිගටම කියවීම කරගෙන ගියා…

තවත් සුළු මොහොතක් ගතවෙන්නට ඇති… තරුණයා හිස නොඔසොවාම දෙවෙනි වරටත් පැකට්ටුවෙන් කුකී එකක් ඩැහැගත්තේ ඇයගේ සර්වාංගයේම ලේ කෝප කරවමින්… මෙවරත් පෙර පරිදිමයි… කිසිත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිවයි… ඔහුගේ මේ අශීලාචාර ක්‍රියාව තවත් ඇයට ඉවසීමට නොහැකි බව ඔහුට පැවසීමට ඇය කට ගත්තත්, නන්නාඳුනන රටක අමුත්තෙකු හා දබර වීමට තිබූ පැකිළිම නිසා ඇය නිහඬ වූවා…

මෙතැන් සිට සෙල්ලම සිදුවූයේ එළිපිටමයි… ඇය කුකී එකක් ගන්නා වාරයක් පාසා ඔහුද කුකී එකක් ගන්නට වූයේ පෙර පරිදිම ඇය දෙස බැල්මක් වත් නොහෙළමින්…කාලයත් සමඟ වරකට දෙක බැගින් අවසන් වූ කුකී පැකට්ටුවේ අන්තිමට ඉතිරිවූයේ එක කුකී එකක් පමණයි…

“දැන් බලමු මූ මොකද කරන්නේ කියලා…!” ඇය තමන්ටම පවසා ගනිමින් නිහඬව බලා සිටියේ මොහුගේ මේ අශීලාචාර සෙල්ලම මෙතැනින්වත් අවසාන වේ යැයි බලාපොරොත්තුවෙන්… සගරාව පසෙකින් තැබූ ඔහු පැකට්ටුවේ තිබූ අවසන් කුකී එක ගෙන දෙකට කඩා එක් කැබැල්ලක් ඇය වෙත දිගුකළේ දෙතොලේ සිහින් සිනාවක් රඳවාගෙනයි… මේ සමගින්ම තම ඉවසීම පාලනය කරගැනීමේ හැකියාව ගිලිහීගිය ඇය කැඩුණු ජල නලයකින් වතුර විදින්නාක් මෙන් ඔහුට බැනගෙන බැනගෙන ගියේ අහල පහළ සිටියවුන්ගේද අවධානය ඒ වෙත යොමු කරගනිමින්… කිහිපදෙනෙක් ඒ ගැන විමසමින් ඇයගේ උදව්වට මෙන් එතැනට පැමිණියත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ ඇය දිගින් දිගටම තරුණයාට බණිමින් තම ගමන්මල්ලත් රැගෙන එතැනින් පිටවී යන්නට වූයේ වෙනත් ස්ථානයක ඇති විවේක අංගනයකට යෑමේ අරමුණින්… මේ සම්පූර්ණ වේලාවේම කිසිඳු වචනයක් නොදෙඩූ තරුණයා කුකී කැබැල්ලත් අල්ලාගෙන ඇය දෙස නිහඬව බලාසිටියා… තරුණයාද තමාට ඇතිවූ ලැජ්ජාව නිසාදෝ එතැන තවත් නොරැඳි, සියල්ලන්ගේම අවඥාසහගත බැල්මවල් මගහරිමින් බිම බලාගෙන එතැනින් ඉවතට ඇවිද යන අයුරු විදුලි සෝපානයේ විනිවිද පෙනෙන විදුරු දොරෙන් බලා සිටි ඇයට තමා කල දෙය පිළිබදව ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

විදුලි සෝපානයෙන් ඊළඟ මහලට ගොස් එහි ඇති මගී විවේකාංගනයට පිවිසුණු ඇය එතැන වූ හිස් අසුනක වාඩිවූයේ තවමත් පහව නොගිය කේන්තියෙන් යුක්තවයි… කලබලය අතරේ තමාගේ කෝපි බඳුනද අමතකව පැමිණ ඇතිබව පසක් වූ ඇය වියලුණු දෙතොල් තෙමාගැනීම සඳහා වතුර බෝතලය ගැනීමට අත්බෑගයට අතදැමූ පසු දුටු දෙයින් වික්ෂිප්ත වූවා…

වතුර බෝතලයට පෙර අත්බෑගය තුළ තිබී ඇය අතට අසුවුයේ තවමත් විවෘත කර නොතිබුණු ඇයගේ කුකී පැකට්ටුවයි..!

 

ප.ලි : මේකත් ඊයකින් ආවේ… කලින් අහලා තිවුණේ නැති නිසා බෙදාගන්න හිතුණා… පරිවර්තනයකට වඩා අනුවර්තනයක් කිව්වොත් හරි ඇති… Smile

Wednesday, November 16, 2011

40. අවුරුදු දාහක් වයසැති හොල්මන | Thousand Year Old Ghost

 

LOTR_Fell030_ChristopherLee

 

ඔන්න එම මනුස්සයෙක් තමන්ගේ වයිෆ්ව එක්කගෙන ගියා ගොල්ෆ් ගහන හැටි කියලා දෙන්න… පුරුදුනැති කමට වයිපරේ ගහපු පාර මිස් ෆයර් වෙලා බෝලේ ඒ ළග තිවුණ ගෙදරක ජනේලේ වීදුරුවත් බිඳගෙන ඇතුළට ගියා…

දැන් ඉතින් මොකද කරන්නේ… මනුස්සයා ඉතින් කේන්තියටත් එක්ක වයිෆ්ට ටිකක් බැනලා එහෙම, දෙන්නත් එක්ක කතාවුණා ඒ ගෙදරට ගිහින් කතාකරලා බෝලේ ඉල්ලගන්න… හොරෙන්ම මගෑරලා යන එකත් හොඳ නෑනේ… දැන් දෙන්නම බයෙන් බයෙන් ගිහිල්ලා හිමීට දොරට තට්ටු කලා…

“ඇතුළට එන්න…!” වයසක මනුස්සයෙක් ගොරෝසු කටහඬකින් එහෙම කිව්වා…

දෙන්නත් එක්ක ඇතුළට ගියාම තමයි මෙයාලා දැක්කේ වෙලා තියෙන විනාසය… ජනේලෙත් බිඳගෙන ඇතුළට ආව ගොල්ෆ් බෝලේ ඇතුළේ ස්ටූල් එකක් උඩ තියලා තිවුණ බෝතලේකුත් පෙරලගෙන බිමට වැටිලා… බෝතලේ කුඩුවෙලා කෑලි සීසීකඩ…

“ඔයාලගෙද මේ බෝලේ…” බිම වැටිලා තියෙන ගොල්ෆ් බෝලේ ඇස්දෙකෙන් පෙන්නන ගමන් නාකි මනුස්සයා ඇහුවා…

“අනේ ඔව්… අපිට සමාවෙන්න…. මෙයා මේ පුරුදු නැතුව ගහපු පාර වැරදිලා මේ පැත්තටයි විසිවුනේ…” පිරිමි මනුස්සයා අහිංසක මූණක් මවාගෙන කිව්වා…

“හරි අපරාදයක්නේ…” වයිෆුත් ඉතින් බොරුවට හිමීට මිමිණුවා…

“නෑ නෑ නෑ….සමාව ඉල්ලන දෙයක් නෙවෙයි… හරිනම් මමයි ඔහේලාට ස්තූති කරන්න ඕනේ…” නාකි මනුස්සයා මෙහෙම කිව්වම කපල් එක පුදුම වුණා… නාකි මනුස්සයා දිගටම විස්තර කරන්න වුණා…

“මම ඇත්තම කියන්නම්… මම ඇත්ත මනුස්සයෙක් නෙවෙයි… හොල්මනක්… මාව මේ බෝතලෙ හිරකරලා තිබුණේ අවුරුදු දාහක් තිස්සේ… ඔහෙලාගෙ උදව්වෙන් ඔන්න දැන් මම නිදහස් වුණා.. තව සුභ ආරංචියක් තියෙනවා කියන්න… අවුරුදු දාහක් හිරවෙලා උන්න නිසා මම නිදහස් වෙද්දී මට ලැබෙනවා වර තුනක්… මෙහෙම කරමු… එක වරයක් මම තියාගන්නවා පුද්ගලික පාවිච්චියට… ඔහේලා මට කරපු උදව්ව වෙනුවෙන් ඉතුරු වර දෙක මම ඔහේලාට දෙනවා… ඉතින් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න…”

නාකි මනුස්සයා මෙහෙම කිව්වම මේ දෙන්නට තේරුණා තමන්ට ලැබිලා තියෙන වාසනාවේ තරම… ටිකක් වෙලා කල්පනා කරපු පිරිමි මනුස්සයා මෙහෙම වරයක් ඉල්ලුවා…

“හොඳයි, මට එහෙනම් දෙන්න… හැම මාසෙම පළවෙනිදට මට රුපියල් ලක්ෂ සීයක් ලැබෙන්න ඕනේ…මම මැරෙනකල්ම…”

පොඩි වෙලාවක් මන්තරයක් වගේ එකක් මතුරපු නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… එන පළවෙනිදා රෑ දොළහට කොට්ටේ යට බලන්න… හොහ් හොහ්… එතකොට ඔය ඇත්තිගේ ප්‍රාර්ථනාව මොකද්ද..?”

සතුට ඉහවහා ගිය ගෑනු කෙනා මෙහෙම කිව්වා…

“මට දෙන්න, මේ ලෝකේ හැම රටෙන්ම මට වටිනා ගෙයක් ගානේ…”

ආයෙත් මැතිරිල්ල… ඉන්පස්සේ නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“හොහ් හොහ්… ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… ගෙදර ගිහින් බලන්න ඇඳ උඩ ඇති ගෙවල් වල ඔප්පු තිරප්පු…”

දැන් දෙන්නටම හරි සතුටුයි…

“දැන් මොකද්ද ඔබ තුමාගේ වරය…?” ටික වෙලාවක් ගිය තැන අර මනුස්සයා ඇහුවා… නාකි මනුස්සයා තමන්ගේ රැවුල එහෙම අතගාලා මෙහෙම කිව්වා…

“ඇත්තම කිව්වොත් මම අවුරුදු දාහක් හිරවෙලා ඉඳලා ලොකු ලිංගික අවශ‍යතාවයකින් ඉන්නේ… මම කැමති ඔබේ බිරිදගෙන් ඒක ඉටුකරගන්න… ඔබලාගේ අකමැත්තක් නැත්තම් ඉතුරු පැය කීපය මම උඩුමහලේ ඇයත් එක්ක ගතකරනවා… එහෙම නැත්තම් මේ ලැබුණු දෙවල් අමතක කරලා ගොල්ෆ් බෝලෙත් අරන් යන්න පුළුවන්…”

දෙන්නම පුදුමෙන් මූණට මූණ බලාගත්තා… ටිකක් වෙලා කල්පනා කරමින් හිටි පිරිමි මනුස්සයා ඉස්සෙල්ලාම කටහඬ අවදි කලා…

“ඒයි… දැන් අපිට ජීවිතකාලෙටම ලබාගන්න බැරිදේවල් මේ ලැබිලා තියෙන්නේ… ඒත් ඉතින්.. අනේ මන්දා..? ඔයා මොකද කියන්නේ…? “

ගෑනු කෙනත් ඇඹරී ඇඹරී මෙහෙම කිව්වා…

“අනේ මන්දා… පොඩ්ඩක් මේ ලැබිලා තියෙන දේවල් ගැන හිතුවාම ඉතින්… අනික එක පාරක් විතරනේ… මට කැමති වෙන්න පුළුවන්… ඔයා මොකද කියන්නේ…? “

“මගේ අවුලක් නෑ ඉතින්… මම දන්නවා ඔයා මේදේ කරන්නේ මට තියෙන ආදරේටයි කියලා…” පිරිමි කෙනාත් එහෙම කැමැත්ත දුන්නා…

ඉතින් නාකි මනුස්සයා මෙයාව උඩුමහලට එක්කගෙන ගිහිල්ලා පැය කීපයක්ම ඇතිවෙන්න විනෝද වුණා… ඊට පස්සේ ගෑනු කෙනාව පහළට ගෙනල්ලා ඇරලලා මෙහෙම කිව්වා…

“ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් වේවා එහෙනම්…! යන්න ගිහින් සතුටින් ජීවත් වෙන්න…”

නාකි මනුස්සයට නොසෑහෙන්න ස්තූති කරපු මේ ජෝඩුව ගෙදරින් පිටත් වුණා…

ජෝඩුව ගේට්ටුව ගාවටත් ගියාට පස්සේ නාකි මනුස්සයා මෙහෙම ඇහුවා…

“ආ මම අහන්නමයි හිටියේ… ඔයාලගේ වයස හෙම කීයද..?”

“අපි දෙන්නටම තිස් පහයි… ඇයි ඒ…” පිරිමි මනුස්සයා උත්තර දුන්නා…

“නෑ අවුරුදු තිස්පහක් වෙලත් තාම හොල්මන් ගැන විශ්වාස කරන එකයි පුදුමේ…!”

නාකි මනුස්සයා කිව්වා…

 

ප.ලී. : හියැක් හූ… :D ඉංගිරිස් වර්ෂන් එක මට ඊයකින් ආවේ… කලින් අහලා තියේ නම් සොරි හොඳේ…

පිංතූරේ : http://bit.ly/rKAaf7 ලෝඩ් ඔෆ් ද රින්ග්ස්

Saturday, November 12, 2011

39. තරඟය | The Game

 

“ගහපන් යාළුවේ… උඹට පුලුවන්…!”

තමා සමීපයෙන්ම ඉන්නා සගයා කෑගසන හඬ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාට ඇහුණේ වෙන ලෝකයකින් ඇහෙනා හඬක් වාගේයි…  කෙළින් සිටවූ බෝලයට පියවර කිහිපයක් පසුපසින් තම දෙපා අතර අඩි දෙකක පමණ පරතරයක් ඇතිවනසේ පහසුවෙන් සිටගෙන සිහි ඔහු තම ශක්තිමත් පපු කුහරය පිරෙන්නටම ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් හිස ඔසවා ඉදිරියට නෙත් යොමුකළා… තමා දෙස එක එල්ලේ බලා සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයන්,  පිටියේ සීමාවෙන් ඔබ්බෙහි වූ එකම හැඩයේ ප්‍රචාරක දැන්වීම් පුවරු… ඊට ඔබ්බෙහි වූ එකම වර්ණයෙන් යුත් ප්‍රමාණයෙන් කුඩා හිස්වූ ප්ලාස්ටික් ආසන… ක්‍රීඩාපිටිය කෙළවරේ පේළියට වවා ඇති ගස් සහ ඉන් ඔබ්බෙහි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන යනාදී නොයෙකුත් දේ ඔහු අවට පෙනෙන්නට තිබුණත් ඒ කිසිවක් ඔහු දුටුවේ නැහැ… සිරස්ව සිටවූ උස් කණු දෙක හරහා වැටුණු තිරස් පොල්ලකින් යුතු සුදු පැහැති ගෝල් කණුව ඔහු ඉදිරියේ කෙළින් සිටගෙන සිටියා… සම්පූර්ණ හිස් පසුබිමක ඔහුට පෙනුණේ ගෝල් කණුව පමණමයි…

“බස්සපන් එළියටම… උඹට පුලුවන්…!”

කඩුල්ලේ අනික් අන්තයේ සිටින තම සගයා පවසන අයුරු කලු කැරලි කොණ්ඩයක් ඇති ගැටවරයා හැගීමකින් තොරව අසා සිටියා… තම කරගැට වේලී රළු වුණු දෑතට කැත්ත උදැල්ල තරමටම හුරු ලී පිත්ත කිටි කිටියේ හිරකරගෙන සිටි ඔහු ඉපනැල්ල පිරුණු වෙල්යාය සිසාරා නෙත් හෙළුවේ තදින් හුස්ම ගනිමින්… නියර කිහිපයකට ඈතින් වම්පස කෙළවරේ කොට කලිසමකින් පමණක් සැරසී උන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට අඩි කිහිපයක් පිටු පසින් වූ  කුඹුරට ආගන්තුක වැටමාර අත්ත දෙස ඔහු තියුණු ඇසකින් බලා සිටියේ එය හතරේ සීමාව බව ඔහු දන්නා නිසායි…

~~~~~~

ඒ තරගයේ අවසන් මිනිත්තු කිහිපය බව තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා දැන සිටියා… මේ දඬුවම් පහර තරගය ජයග්‍රාහීව නිමකිරීමට ඔවුනට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… මේ සිරස් කණු දෙක අතරින් ඇදීයන සේ ඔහු හිසේ කෙස් ගණනට පහරවල් එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නේ මේ මොහොතේ ඔහු එල්ල කරන පහර මතයි… තරගයට හදවතින්ම අවතීර්ණ වූ ක්‍රීඩකයෙකුට මෙය අතිශය සංකීර්ණ අවස්ථාවක්… තම කණ්ඩායම ඇතුළු සියලු දෙනාම ඔවුන්ගේ බලාපොරොත්තු මේ වනවට කොන්දේසි විරහිතව තබා තිබුණේ ඔහුගේ කරමතයි… අංශක දශමයක වැරැද්දකින් ඒ සියල්ල සුනුවිසුනු වී යන්නේ නැවත ගොඬනගා ගත නොහැකි ලෙසයි… නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ගැඹුරු හුස්මක් ගත් ඔහු රිද්මයානුකූලව අඩි තබමින් දිවවිත් කෙළින් සිටවා තිබු බෝලයට වැරෙන් පහරක් එල්ල කලා… හැඩයෙන් වෙනස් රග්බි බෝලය කරකැවෙමින් හිස් අවකාශය කපාගෙන ඇදීගියේ සාමාන්‍‍ය  හැඩැති ගෝලාකාර පන්දුවකට වඩා වෙනස් නමුත් අලංකාර රටාවක් මවමින්…

“තඩස්….!!!!!!!” මෙතෙක් වේලා කන්දෙක අගුළු වැටුණාක් මෙන් කිසිදු ශබ්දයක් නෑසෙමින් තිබූ ක්‍රීඩකයාට දකුණු ගෝල් කණුවේ පන්දුව වැදෙන හඬ ඉතා තියුණුව ඇසුනා… ඒ සමගම පන්දුව විසිවුයේ වම් පසටයි….

“ගෝල්……….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕයේ……………..!!!!!!!!!! ”

තම පිලේ ක්‍රීඩකයන් සියලු දෙනාම එකවර කෑගසමින් තමාදෙසට දිවගෙන අයුරු  ඔහු බොඳවූ නෙතින් බලාසිටින්නට වුණා…

ඒ තරගයේ අවසන් පන්දුවාරය බව කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාත් දැන සිටියා… අවසන් පසුපෙළ පිතිකරුවා අනෙක් පස තබාගෙන ඔහු මුහුණ දෙන මෙම පන්දුව තරගයේ ජයග්‍රාහි ලකුණු හතර ලබාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… හතරේ සීමාව සලකුණු කරමින් සිටුවා ඇති වියලුණු වැටමාර අත්තට බොහෝ ඈතින් පතිතවන ලෙස ඔහු හිසේ කෙස් ගණනට පහර එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නෙ මේ පන්දුවට ඔහු එල්ල කරන පහරේ සාර්ථකත්වය මතයි…  එහා ගමේ කොල්ලන් උදුරාගැනීමට සැරසෙන තම අභිමානය රැකදෙන තෙක් නියර අයිනේ බලාපොරොත්තු සහගතව බලාසිටින තම සගයන්ගේ මුහුණු දෙස ඔහු වරක් පමණක් හැරී බැලුවා…. නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ප්‍ර්තිවාදී පන්දු යවන්නා ඒ වන විටත් දිව එමින් සිටියා… තමාට හැකි උපරිම ශක්තියෙන් පිත්ත අල්ලා ගත් ඔහු පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙනවාත් සමගම පිතිකරු සීමාවෙන් අඩි කිහිපයක් ඉදිරියට පැන වම් පාදය පෙරට තබා පා ඉන්න දෙසින් එල්ල කරන ඔහුගේ ප්‍රියතම පහර එල්ල කලා….

“ටකස්….” පිත්ත හිස් සුළග කපාගෙන යද්දී පාදය හා පිත්ත අතරින් රිංගූ පන්දුව පිටුපස කඩුල්ලේ වැදෙන ශබ්දය ඔහුට තියුණුව ඇසුනා…

“පොලු……!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හේ……!!!!!!!!!!!!!!!!!”

ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් සියලු දෙනා එකවර කෑගසමින් තමා පසුකර පන්දු යවන්නා වෙත දිවයන අයුරු ඔහු බොඳ වූ නෙතින් බලා සිටින්නට වුණා…

 

~~~~~~~

“තව එකක් ගහමුද…? “

ප්‍රතිවාදී ක්‍රීඩයන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“ජේසුනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියේ නිවස බලා දිව යන තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ සපත්තු පොළවේ හැපෙන රිද්මයානුකූල හඬ ඈතට ඇසුණා… පදික වේදීකාවේ යම් ධාන්‍යවර්ගයක් කමින් සිටි පරවියන් රෑනක් ඔහුගේ කලබලයට බියවී ඉවතට පියාඹා ගියා… මගදී හමුවෙන පඩිපෙළ බසින්නට පවා පමානොවූ ඔහු අත් ඇන්ද දිගේ පහළට රූටාවිත් බිමට පැන නැවතත් දුවන්නට වුණා…  ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

“තව එකක් ගහමුද…?”

තම සගෙයෙක් අනෙක් පිලේ උන්ගෙන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“දෙයියනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් අනුමානයෙන් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියෙ නිවස බලා දිව යන කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ නිරුවත් දෙපා ඉරිතැළුණු පොළවේ වදින රිද්මයට කුඩා දූලි වළාවන් නැගෙන්නට වුණා… නියරේ බිත්තර රකිමින් සිටි කිරල ජෝඩුවක් ඔහුගේ කලබලයට බියවී කෑගසමින් ඉවතට පියාඹා ගියා… කුඹුර කෙළවරේ ඇති ඒදණ්ඩ වෙත දිවීමට පවා පමානොවූ ඔහු වියලුන  ඇලකන්ඩියේ පටු තැනකින් අනෙක් පසට පැන නැවතත් දුවන්නට වුණා… ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

~~~~~~

“අම්මේහ්….රිමෝට් එක දෙන්න…” හති දමමින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා…  ඒ පොදුරාජ්ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක නගරය නිවේදනය කරන මොහොතයි… කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී ගෝල්ඩ් කෝස්ට් හි ජීවත් වූ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා සිටියේ දෑගිලි බැදගෙන රූපවාහිනිය දෙස නෙත් යොමාගෙනයි…

“අම්මේහ්… කලේ දෙන්න…” හති දමමින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා… ඒ බීමට ජලය ලබාගැනීම සදහා කිලෝමීටර හතරක් පමණ දුරකින් වූ නල ළිද වෙත යෑමට දිනපතා ඔහු පිටත්වන මොහොතයි…කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී හම්බන්තොට ජීවත් වූ කලු කැරලි කොණ්ඩයක්  සහිත ගැටවරයා සිටියේ වතුර කලයකුත් ඔසවාගෙන ඇදිරි වැටෙන්නට පළමුව අලි මණ්ඩිය පසුකර ගැනීමේ අදහසින් පය ඉක්මන් කරමින්……

“දෙදාස් දහ අට සත්කාරක නගරය වන්නේ ගෝල්ඩ් කෝස්ට්…!!!”

සුදුජාතිකයා එසේ පවසද්දී තඹ කැරලි කොණ්ඩය සහිත ගැටවරයා ප්‍රීතියෙන් කෑගසමින් නිවසින් එළියට දිවගියේ තම නගරයේ සැණකෙළි සිරින් විනෝදවීමට නොබෝ වේලාවකින් එක්වන පිරිස සමග එකතු වීමටයි… මේ කිසිත් නොදන්නා කලු කොණ්ඩය සහිත ගැටවරයා වතුර කලයද ඔසවාගෙන තම නිවස වෙත ළඟා වෙමින් සිටියේ සවස පරාජයේ අඳුරු මතකය සිතින් මකාගැනීමට උත්සාහා කරමින්…

අපරාදෙ ඉස්සරහට පැනලා ගැහුවේ… තව බෝලයක් දෙකක් ඉඳලා ගැහුවනම් සමහරවිට ගහන්නත් තිබුණා… ඔහු තනිවම සිතන්නට වුණා…

Monday, November 7, 2011

38. සරුංගල් විද්‍යඥයා | The Kite Master


Exterior of the Leaning tower of Pisa 1173-1350 Pisa, Italy


වෙනස් විදියට හිතන මිනිස්සු හින්දයි ලෝකේ අලුත් වෙන්නේ කියලා කිව්වට මොකද වෙනස් විදියට හිතන්න ගිහින් හැමදේම අවුල් කරපු මිනිස්සුත් ඉන්නවා… සරුංගල්  විද්‍යාඥයා එහෙම කෙනෙක්…

සරුංගල් විද්‍යාඥයාගේ විනෝදාංශය වුනේ සරුංගල් හදන එක… අනිත් මිනිස්සු වගේම කොටු, ත්‍රිකෝණ සරුංගල් වලින් පටන්ගත්ත මෙයා අන්තිමට සමනල්ලු, කුරුල්ලෝ, මාළු වගේ අමුතු අමුතු සරුංගල් හදන්න පටන් ගත්තා… සරුංගල් විද්‍යාඥයා අනිත් අයට වැඩිය කොච්චර වෙනස් විදියට හිතුවද කිව්වොත් අන්තිමට එයා හදපු සරුංගල් දැකලා මිනිස්සු පුදුමෙනුත් පුදුමෙට පත්වුණා… සැලියුට් ගහන පොලිස් කාරයෙක්… තමන්ගෙම නැට්ට හපන්න රවුමට දුවන බල්ලෙක්… ඉස්සරහටයි පිටිපස්සටයි පිනුම් ගහන ජිම්නාස්ටික් කාරයෙක්… මේ වගේ අරුම පුදුම සරුංගල් ඔහු හැදුවා…

“මේ සරුංගල් හරිම ඒකාකාරීයි…” සරුංගල් විද්‍යාඥයාට දවසක් එහෙම හිතුණා…

“මොකක් හරි වෙනස් දෙයක් කරන්න ඕනේ” ඔහු තමන්ටම කියාගත්තා…

ඔන්න ඔයපාර තමයි සරුංගල් විද්‍යාඥයාට පිස්සු අදහසක් ආවේ…

“සරුංගලයක් හදන්න ඕනේ ඒකේ නැගලා අහසේ පාවෙලා යන්න පුළුවන් විදියේ…”

මීට කලිනුත් මේ අදහස සරුංගල් විද්‍යාඥයාට ඇවිත් තිබුණත් වෙන වෙන සරුංගල් හදන්න මහන්සි වෙමින් හිටි නිසා ඔය අදහස යට ගිහින් තිබුණේ… ඔන්න එදා ඉඳන් සරුංගල් විද්‍යාඥයා නිදිවරාගෙන අහසේ යන්න පුළුවන් සරුංගලයක් හදන්න මහන්සි වුණා…වෙනකක් තියා ඔහු හවසට සරුංගල් අරින්න මුහුදු වෙරළට ගියෙත් නැහැ… වෙනදට සරුංගලයක් එක්ක මූදුවෙරළේ හැමදාම ඉන්න සරුංගල් විද්‍යාඥයා දකින්න නැති එක ගැන මිනිස්සුන්ට කල්පනා වුණත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… ඒ සරුංගල් විද්‍යාඥයා ගැන අහන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

මේ අතරේ සරුංගල් විද්‍යාඥයා තමන්ගේ උත්සාහය දිගටම කරගෙන ගියා… ඔන්න එක දවසක් උදෑසන ඔහු තමන්ගේ නිර්මාණය අත්හදා බලන්න ලෑස්ති වුණා… අහසින් යන සරුංගලේ ඔහු කැමතිම නිල්පාටයි, සුදුපාටයි මෝස්තර දාලා ලස්සන කලා… සරුංගලේ ඉහළ පහළ යන එක පාලනය කළේ සරුංගල් විද්‍යාඥයාගේ ආසනේට ඉහළින් එල්ලුණු නූලකින්… මේකේ අනිත් කොන සරුංගලේ සේරියාවට සම්බන්ධ කරලා තිබුණා… සරුංගලේ හැරෙව්වේ දෙපැත්තේ දාලා තියෙන රැළි වලින්… එක පැත්තකට හරවන්න ඕනි නම් ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කඩලා විසිකළ යුතුව තිබුණා… අනිත් පැත්තට හරවන්න ඕනි නම් ඉතින් නැවත ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කැඩිය යුතුබව කියන්නට ඕනේ නැහැනේ… කඩලා විසිකරන නිසා මේ රැළි බාල කඩදාසි වලින් කපලා තිබුණේ…

පළමු ගමනින්ම නගරේ කෙළවරේ තිබුණ උසම කන්දටත් උඩින් යන්නට සරුංගල් විද්‍යාඥයාට පුළුවන් වුණා… එදායින් පස්සේ ඔහුගේ දිනචරියාව වුණේ සරුංගලේ නැගිලා අහසේ ඉහළට ඉහළට යන එක… මෙහෙම කාලයක් යද්දි ඔහු කොච්චර ඉහළට යන්න පටන් ගත්තද කිව්වොත් ලෝකේ බෝලයක් විදියට පේන තරමටම යන්න පුළුවන් වුණා… මේ විදියට ගිය දවසක ආපහු එන්න ලෑස්ති වෙලා ලෝකේ දිහා බැලුවාම තමයි සරුංගල් විද්‍යාඥයා පුදුම දෙයක් දැක්කේ…

“ලෝක බෝලේ අංශක ගාණක් ඇදයි….!!!!!!”

කලබල වුණු සරුංගල් විද්‍යාඥයා ඇස් එහෙම පිහදාලා ආයෙත් බැළුවා… ඔව් ඇදයි තමයි… හරියටම අංශක විසිතුනක් ඇදයි… තමන්ගේ මිනුම් උපකරණ වළින් මැනලා සරුංගල් විද්‍යාඥයා හොයාගත්තා… ඉන්පස්සේ කලබලෙන් සරුගලේ හසුරුවාගෙන ඔහු ආපහු පොළොවට ආවේ මේ ආරංචිය මුළු ලෝකෙටම කියන්න… ඉස්සෙල්ලාම ඔහු ඒක ඔහුගේ අසල්වැසියා වුණු තැපැල්කාරයාට කිව්වා…

“දන්නවද අපි ඉන්න ලෝකේ ඇදයි… අපි ඉන්නේ ඇදේට…”

“ඇදේට…? “ තැපැල්කාරයා පුදුමයෙන් ඇහුවා…

“ඔව් මේ සේරම ඇදයි… ගස් කොළන්… ගොඩනැගිලි මේ සේරම ඇදේටයි මේ හදලා තියෙන්නේ…” 
සරුංගල් විද්‍යාඥයා විස්තරකලා…

“අනේ සරුංගෝලේ මට ලියුම් බෙදන්න පරක්කු වෙනවා…මම යන්න ඕනේ… ඔහේ මේ බවක් මට කියපු එකට ගොඩක් ස්තූතියි…” මෙහෙම කියපු තැපැල්කාරයා එතැනින් කඩිමුඩියෙන් පිටවුණා…

තැපැල්කාරයා සරුංගල් විද්‍යාඥයා කිව්ව කිසිදෙයක් විශ්වාස කළේ නැහැ… ඒ නිසාම ඔහු ඒ ආරංචිය මගදි හමුවුණු කිරිකාරයාට කිව්වා… මිනිස්සු එක්කෙනෙක් ගෙන් දෙදෙනෙකුටත්, දෙදෙනෙකුගෙන් හතරදෙනෙකුටත්, හතරදෙනෙකුගෙන් අටදෙනෙකුටත් යන මේ විදියට යම් ආරංචියක් කියාගෙන ගියොත් මුළු ලෝකෙම ඒක දැනගන්න ලොකු කාලයක් යන්නේ නෑ… මිනිස්සු මේ ආරංචිය බොරුවක් බව විශ්වාසකළ නිසා මේක ඊටත් වැඩිය වේගෙන් පැතිරුණා… ටික දිනකින් හැමෝම දැනගත්තා ලෝකේ ඇද බව…ඒත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… එහෙම වුණේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

කාලෙකට පස්සේ ලෝකේ බලවත්ම රාජ්‍යයේ නායකයාට දූෂණ චෝදනාවක් එල්ල වුණා… ඒ ගැන ඔහු ප්‍රසිද්ධියේ උත්තර බැඳිය යුතුයැයි ලෝකේ සේරම මිනිස්සු බලකර හිටියා… මේ උද්ගෝෂණ කොතරම් බලවත් වුණාද කිව්වොත් ඒ බලවත් රාජ්‍ය නායකයාට උත්තර බදින්න දිනයක් නිවේදනය නොකර ඉන්න බැරි තරමටම බලවත් වුණා…

ඉතින් රාජ්‍ය නායකයා උත්තර බඳින්න පොරොන්දු වුණු දිනය උදා වුණා.. හැමෝම තම තමන්ගේ වැඩ රාජකාරී නවත්වලා රාජ්‍ය නායකයා කතාකරනකල් බලන් හිටියා… පොරොන්දු වුණ වෙලාවටම ඔහු තම නිල නිවාසයේ විශේෂ පීඨිකාවක් ඉදිරියට ඇවිල්ලා ගාම්භීර විදියට මෙහෙම කිව්වා…

“ඔව් මේ චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්… මේවා ඇත්තද බොරුද කියන එක නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ… මෙහෙම දූෂණ වෙන්න ඉඩ තියෙනවානම්, එහෙම වෙන්න හේතුව මොකද්ද කියන එකයි…”

රාජ්‍ය නායකයා එහෙම කියද්දී කිහිපදෙනෙක් හිස වනා ඒක අනුමතකලා… අනිත් අයත් ඒ එක්කම හිස වනන්න ගත්තේ තමන් හිස නොවැනුවොත් මෝඩයෙක් ලෙස හිස වනාපු අය හිතාවි යැයි බයට…

“ඉතින් ඒ මූලික හේතුව අපි සොයාගත්තා…මේ ප්‍රශ්නය විතරක් නෙවෙයි… අපි මූණදෙන හැම ප්‍රශ්නෙටම හේතුව ඒකයි… ඒ මොකද්ද..? අපි මේ ජීවත් වන පොළව ඇදයි…!”

හැමෝම දැනසිටි ඒ රහස රා‍ජ්‍ය නායකයා හෙළිකලා… තමන් මේ ගැන දැනසිටියත් ඔහු කියන තෙක් කල්පනා නොවීම ගැන හැමදෙනාම පුදුම වුණා…ඉන්පසු ඔවුන් ගැනම ලැජ්ජා වුණා…සමහරෙක් තම නායකයා ගැන ආඩම්බරවුණා…

එතැන් පටන් ලෝකයේ මිනිස්සුන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ ලෝකය ඇද වීමයි… වැඩිදෙනා රාජ්‍ය නායකයා වාගේම තමන්ගෙන් සිදුවෙන වැරදි වලට නිදහසට කාරණාවක් ලෙස මෙය ඉදිරිපත් කරන්නට වුණා… උදාහරණයක් ලෙස, අයෙක් තමන්ගේ කොණ්ඩය කපා ගැනීමෙන් පසු ඒ ගැන අසතුටට පත්ව

“ඔහේ මගේ කොණ්ඩේ විනාශ කරලා නොවැ…!” යැයි පැවසූවොත්, බාබර්වරයා කිව්වේ

“ඉතින් ඔහේට අමතක වුණාද මම කොණ්ඩය කැපුවේ ඇදයට ඉඳගෙනයි කියලා..? මේ තරමින් වත් කැපූ එක ගැන කෘතඥ වනවා වෙනුවට බැණ අඬගහන ඔහේ අපූරු මිනිහෙක් නොවැ..!” කියලායි…

මෙය පාලනය කළනොහැකි තරමට වර්ධනය වූ පසු රාජ්‍ය නායකයා නැවතත් විශේෂ කතාවක් කලා…

“මේ ප්‍රශ්න සියල්ලටම විසඳුමක් ගෙනෙන්නට අප තීරණය කලා… අපි ලෝකය කෙළින් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කරනවා…”

එසේ පැවසූ ඔහු ඉන්පසු ලෝකය කෙළින් කිරීමේ ව‍යාපෘතිය ගැන දිගින් දිගටම විස්තරකලා… බොහෝ දෙනෙකුට ඒ සැලැස්ම නොතේරුණ නිසා තේරුණ අය නොතේරුණ අයට විස්තරකර දෙන්න පටන්ගත්තා… මෙය කොතරම් පැතිරුණාද කිව්වොත් අන්තිමට හැමදෙනාම වාගේ නොතේරුණ අයට විස්තර කරදෙන අය වී තිබුණා… ඔවුන්ට නොතේරුණ අය සොයාගැනීමට හුගක් වෙහෙසෙන්න සිදු වුණා…

ව‍යාපෘතියේ හැටියට ලෝකය කෙළින් කිරීමට නම් ඒ වටා කඹයක් බැඳිය යුතුව තිබුණා… ඒ සඳහා හැමදෙනාම තමන්ට අයත් ඉඩමේ හරහට කඹයක් දමා දෙකොන තම අසල්වැසියන්ගේ කඹ වලට ගැටගැසුවා… මුළු ලෝකයේම මිනිස්සු මේ වැඩේට මූලිකත්වය දුන් නිසා ලෝකය හරහා කඹයක් බැඳීමට එතරම් ලොකු කාලයක් ගතවුණේ නැහැ…

ඉන්පසු කතාකරගත් වේලාවකදී ලෝකයේ උතුරු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් ඉහලටත්, දකුණු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් පහළටත් ඇදිය යුතුව තිබුණා… ඉතින් සැලසුම් කල විදියට එකම වේලාවකදී සියලුදෙනාම කඹයෙන් ඇද්දා… සමහර කම්මැලි මිනිසුන් කඹය අල්ලාගෙන අදිනවා වගේ බොරුවට රගපෑවා වුණත් කෙළින් ජීවත් වීමට කැමති මිනිස්සු කැපවීමෙන් ඇද්ද නිසා ලෝක බෝලය කෙළින් වුණා… දැන් හැමදෙයක්ම කෙළින්… හැමදෙනාම ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වුණා…

නමුත් මේ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ… මෙතෙක් සාදා තිබුණු ගොඩනැගිලි සේරම සාදා ඇත්තේ ඇදට බව පෙනෙන්නට වුණා… තත්වය බැරෑරුම් වුණේ අලුත් ගොඩනැගිලි හැදුවාමයි… අලුත් ගොඩනැගිලි කෙළින් ඇති විට පරණ ගොඩනැගිලි වල ඇදය වඩාත් කැතට පෙනෙන්නට වුණා…

ලෝකය කෙළින් වූ පසු මිනිස්සු මූණ දුන් බරපතලම ගැටලුව ඒකත් නෙවෙයි… කලක් තිස්සේ ඇදවුණු ලෝකයේ ජීවත් වී සිටි මිනිසුන්ට තම ගුරුත්ව කේන්ද්‍රය නිවැරදිව තබාගෙන නොවැටී සමබරව ඇවිදීමට නම් පසු පසට ඇලවී ඇවිදින්නට සිදුවුණා… අනෙක් අර්ධ ගෝලයේ සිටි මිනිසුන්ට ඇවිදින්නට වුණේ ඉදිරියට ඇලවීගෙනයි… එක් අර්ධගෝලයක සිට අනිත් අර්ධගෝලයට ගමන්කරන සංචාරකයින්ට තත්වය තවත් බැරෑරුම් වුණා… ගමන ආරම්භයේදී පසුපසට ඇලවීගෙන ගමන් කළයුතුව තිබුණු ඔවන් ගමන අවසාන කළ යුතුව තිබුණේ ඉදිරියට ඇලවීගෙනයි… වයසට යෑම නිසා කුදුවූ සිටි නමුත් දැන් කෙළින් ඇවිදිය හැකි මහල්ලන් කිහිපදෙනෙක් හැරෙන්නට අනෙක් සියල්ලන්ටම මෙය මහත් අපහසුවක් වුණා…

මිනිසුන් කරන හැම ක්‍රියාවක්ම වඩාත් ප්‍රවේසමෙන් කළයුතුව තිබුණා… උදාහරණයක් ලෙස තේ කෝප්පයක තේ බොනවිට පවා තේ නොඉහිරීම සඳහා තේ කෝප්පය ඇල කර අල්ලාගෙන සිටිය යුතු වූවා… තරුණයින් මෙය පහසුවෙන් ඉගෙනගත්තත් සුන්දර තරුණියන්ට මෙය පහසු වූයේ නැහැ…

“මේ මොන විකාරයක්ද…?!!!”

තම වටිනා ඇඳුම් වල තේ ඉහිරවාගත් ඔවුන් පසුපසට ඇලවීගෙන එසේ කෑ ගසමින් සිටියා…

මෙයින් අපහසුවට පත්වූයේ මිනිසුන් පමණක් නෙවෙයි… බටහිට අර්ධ ගෝලයේ සිටි සිව්පා සතුන් තම සමබරතාවය රැක ගැනීම සඳහා පසුපස ගාත් වලින් හිටගෙන ඇවිදින්නට පටන්ගත්තා… නැගෙනහිර අර්ධගෝලයේ සිටි ඒ වර්ගයේම සතුන් පත්වුණේ ඊටත් වඩා අකරතැබ්බයකට… උන් ඉදිරිපස ගාත්වලින් ඇවිදිය යුතුව තිබුණා… අධික උසින් යුතු ජිරාෆ් වැනි සතුන්ට මෙසේ කිරීමට හැකියාවක් ලැබුණේ නෑ… උන් “බ්‍රොවෑක්… බ්‍රොවෑක්…” යන ලෙසින් හඬනගමින් ඇවිදීමට නොහැකිව තැන් තැන් වල වැටී සිටියා…

මේ හැමදෙයින්ම පීඩාවට පත්වුණු මිනිස්සු මොනවා කරන්නද කියලා දැනගෙන හිටියේ නෑ… ඇලවී ඇවිදිමින් එකිනෙකාට බැනඅඬගසා ගනිමින් සිටියා හැරෙන්නට… අපි ආයෙත් උද්ගෝෂණය කරමු… නැවත ලෝකය ඇද කරන්න කියලා උද්ගෝෂණය කරමු… මිනිස්සු අන්තිමට කතාවුණා… මේ උද්ගෝෂණ වලට නායකත්වය දුන්නේ ඒ රාජ්‍යයේ විපක්ෂ නායකයා…

“පාලකයා ගෙදර යවමු… ලෝකය යළි ඇද කරමු..!” විපක්ෂ නායකයා කෑගැහුවා…

“යවමු, යවමු..! කරමු, කරමු..!” ඇදවෙච්ච මිනිස්සුත් කෑගැසුවා…

බෝඩ් අල්ලාගෙන මිනිස්සු ඇදයට ඇවිදින මෙහෙම පෙළපාලියක් ලෝකේ කලින් තිබුණේ නැති වුණාට කාටවත් ඒකේ වෙනසක් පෙණුනේ නෑ… මේ උද්ගෝෂණ කෙතරම් සාර්ථක වුණාද කියතොත් නොබෝ දිනකින්ම පාලකයා බලයෙන් පහකරලා විපක්ෂ නායකයාට බලයට එන්නට පිළිවන් වුණා…

ලෝකය නැවතත් ඇදකරන්නට කරන්න තිබුණේ පහසු දෙයක්… නැවතත් පෙර පරිදිම කඹයක් බැඳලා ලෝකය කරකවන්නයි… නමුත් අලුත් පාලකයා ඒකට එකග වුණේ නැහැ… අපි අලුත් පාලනයක්.. පරණ සැලසුම් කිසිවක් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ… වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි අලුත් කමිටුවක් පත්කරනවා… අලුත් පාලකයා එහෙම නිවේදනය කලා…

ටික කලකින් ලෝකයේ දක්ෂම විද්‍යාඥයන්ගෙන් ගෙන් සෑදුණු මේ කමිටුවෙන් ලෝකය ඇලකරන්න ඔවුන්ගේ අළුත් යෝජනාව ඉදිරිපත් කළා… ලෝකයේ දකුණු  අර්ධගෝලය කෙලවරේ එක්තැනක් සටහන් කල ඔවුන් මෙහෙම කිව්වා…

“මුළු ලෝකයේම මිනිසුන් මෙතැනට එක් රැස් විය යුතුයි…එවිට ඔවුන් සියලුදෙනාගේම බර එකතැනකට එකතුවීම නිසා යෙදෙන පීඩනයෙන් ලෝකය ඇල වෙන්නට පටන්ගනීවි…”

ඇදවී ජීවත් වීමෙන් හෙම්බත්ව සිටි මිනිසුන් සියලු දෙනා මේ ඉල්ලීමට එකග වී පවුල් පිටින් මෙතැනට යන්නට පිටත් වුණා… ඇරත් ලෝකයේම මිනිසුන් එකතැනකට එකතු වීම බලන්න වටින දෙයක් බවයි ඔවුන් හිතුවේ… තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්වතිය වුණත් දැකගන්න පුළුවන් වෙයි… සමහරු එහෙමත් හිතුවා…

දිනගණනක ඇවෑමෙන් ලෝකයේම මිනිස්සු මෙතැනට එක් රැස් වුණත් ලෝකය ඇලවුණේ නැහැ… විද්‍යාඥයන් යුහුසුළුව ගනන් හැදුවා… ඉන්පසු ඔවුන් එකට එකතු වී වාද කලා… අවසානයේ සියළුදෙනාම එක මතයකට පැමිණියාක් සේ මෙසේ නිවේදනය කලා…

“අපගේ ගණනය කිරීම් වලට අනුව ලෝකය ඇලවෙන තරමේ පීඩනයක් යොදන්නට නම් මෙතැන ඉන්න ජනගහනය දෙගුණ විය යුතුයි…”

මෙසේ කියූ වහාම එතැන හිටි ගැහැනුන් එකිනෙකාගේ මුහුණට මුහුණ බැළුවා… පිරිමින් ඔවුන් දෙස කෑදර ලෙස බලා සිටියා… අපගේ කතානායකයා සරුංගල් විද්‍යාඥයා ඉදිරියට ආවේ මෙන්න මේ වෙලාවේයි… ඇරත් ලෝකයේම මිනිසුන් ඉන්නා තැනනම් ඔහුත් එතැන ඉන්න එපායෑ…

“මම කියන්නම් උපායක්...!” හැමෝටම ඇහෙන්න සරුංගල් විද්‍යාඥයා ඔහුගේ සුදු දිගැටි රැවුල අතගාමින් පැවසුවා…

“උඹලා දන්නේ නැතිද වර්ගඵලය අඩු වෙද්දී පීඩනය වැඩි වෙන වග..? ඉති අපේ යටිපතුල් වල වර්ගඵලය බාගෙකින් අඩු කරගත්තානම් පීඩනය දෙගුණ කරගන්න පුළුවන් නොවැ…අපි හැමෝම තනිකකුලෙන් හිටගන්නයි තියෙන්නේ… එතකොට ජනගහනය දෙගුණ කරගන්නේ නැතුවම පීඩනය දෙගුණ කරගත හැකියි…”

මෙය ඇසූ අනෙක් විද්‍යාඥයන් සියළුදෙනාම තම අසුන් වලින් නැගිට අත්පොළසන් දෙන්නට වුණා… එය දුටු අනෙක් ජනතාවත් අත්පොළසන් දෙන්නට වුණා… මුළු ලෝකයේම සියලුම දෙනා අත්පොළසන් දෙනවිට ඇහෙන ශබ්දය ඝෝෂාවක් වී ඇසුණේ හරියට අහස පෙරළෙනවා වාගේයි…

එතැන් පටන් මේ වයාපෘතියේ මූලිකත්වය සරුංගල් විද්‍යාඥයාට ඉබේම ලැබුණා…

“අපි සේරම තනිකකුලෙන් හිට ගත්තාම ලෝකය ඇලවෙන්නට පටන් ගනී… හරියටම අංශක විසි තුනකින් අපි නවත්තා ගතයුතුයි… මේක කරන්නේ කොහොමද…?”

කවුරුත් ඔහුට උත්තර දෙනවා වෙනුවට ඔහුම උත්තර දෙනකල් බලා සිටියා…

“හරි… මම සරුංගලයෙන් ඉහළට ගිහින් ලෝකය ඇලවෙන හැටි බලා හිටින්නම්… හරියටම අංශක විසිතුනක් ඇලවුණු තැන මම රතු කොඩියක් වනනවා… එතකොට හැමෝම කකුල් දෙකෙන් හිටගන්න ඕනේ…”

සරුංගල් විද්‍යාඥයාගේ සැලැස්ම වරදින්නට කිසිම විදියක් තිබුණේ නැහැ… දිගට දිගේ රතු කොඩියකුත් අරන් ඔහු ඉහළ අහසට පාවෙලා ගියා… පොළවේ සිටියෙකුගේ විධානයෙන් හැමදෙනාම තනිකකුලෙන් හිටගත්තා… ඔන්න ලෝකය ටිකින් ටික නැවතත් ඇල වෙන්නට පටන් ගත්තා…හරියටම අංශක විසිතුනක් ගිය තැන සරුංගල් විද්‍යාඥයා රතු කොඩිය වනන්නට වුණා… 

ලෝකයේම මිනිසුන් එක්රැස් වූ තැනක හැමෝම එකවිදියටම යමක් අනුගමනය කරාවියැයි පිළිගන්නට ඔබට අමාරු ඇති… ඔව් මෙතැනදීත් සමහරෙක් කකුල බිම තියන්න තරමක් ප්‍රමාද වුණා… මේනිසාම හරියටම අංශක විසිතුනේදී ලෝකය ඇලවෙන එක නවත්වාගන්නට ඔවුන්ට පිළිවන් වුණේ  නැහැ…

සරුංගල් විද්‍යාඥයා නැවතත් ආනතිය මැන බැලුවා…

“අංශක විසිතුන හමාරයි…” ඔහු තමන්ටම කියාගත්තා…

ආපසු එන්න පිටත් වුණු සරුංගල් විද්‍යාඥයාට ජීවිතයේ ප්‍රථම වරට තමාට වැරදීමක් සිදුවී ඇති බව වැටහුණා… ඔහු සරුංගලයට රැලි කැපුවේ ලෝකය කෙලින් තිබියදී ඇති මිම්මටයි… නමුත් දැන් ලෝකය නැවතත් ඇද නිසා ආපසු ගමන නිමාකිරීමට ප්‍රථම ඔහුගේ සරුංගලයේ රැල් අවසන් වුණා… හරිහැටි හසුරුවා ගැනීමට නොහැකි නිසා  ලෝකයෙන් ඉවතට ඇදී යන්නට වුණු සරුංගලය, සරුංගල් විද්‍යාඥයාත් රැගෙන ඈතින් ඈතට පාවී ගියා…

මේ අතර නැවත කෙළින් ඇවිදීමට හැකි වීම නිසා මිනිසුන් අධික ලෙස සතුටත් පත් වුණා… ලෝකය කෙළින් කළාට පසුව සෑදූ ගොඩනැගිලි නැවතත් ඇදයට පෙනෙන්නට පටන් ගත් නිසා එම අළුත් ගොඩනැගිලි කඩාදැමීමට යෝජනා වුණා… නමුත් ඉතාලියේ එක ගොඩනැගිල්ලක් පමණක් නොකඩා ඉතිරි කිරීමට තීරණය කළේ මෙවැනි සිදුවීමක් සිදුවූ බවට සාක්ෂියක් වශයෙනුයි…

ටික දිනකින් හැම දෙයක්ම නැවතත් සාමාන්‍ය තත්වයට පත්වුණා… ලෝකයේ මිනිස්සු නැවතත් කෙළින් ජීවත් වන්නට පටන් ගත්තා… කෙළින් කීවාට ඉතින් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළොත් ඕනෑම කෙළින් මිනිසෙකුගේ අංශක භාගෙක පුංචි ඇදයක් ඔබට පෙනේවි… මේ හැමදේටම මූලික වූ සරුංගල් විද්‍යාඥයා නැවත නොපැමිණියේ ඇයිදැයි හැමෝටම ගැටළුවක් වුණත් එකිනෙකාගෙන් ඒ ගැන කවුරුවත් ඇහුවේ නැහැ… එහෙම වුනේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

ඉතින් මෙය කියවන ඔබ කවදා හෝ ඒ ඇදට සාදාඇති ගොඩනැගිල්ල අසලට ගියහොත් සරුංගල් විද්‍යාඥයා ගැන සිහිකර ඔහුට කෘතඥ වෙන්නට අමතක කරන්න එපා…

~ නිමි ~

ප.ලි. – ඉන්ස්පයර්ඩ් බයි: දන්න අය දන්නවා..... – සිත් ආර
Smile
Web Statistics