පිංතූරය ගත්තේ duniamagda
“ෂ්..ෂ්.. මේ… ඔව් ඔයාට තමයි කතාකලේ… කියන්නම් මම කතාවක්… අහන් ඉන්නවද ඉවර වෙනකල්…? “
“හැබැයි ඔයා එක උදව්වක් කරන්න ඕනේ ඔන්න… කතාව කියද්දි මට හුස්ම ගන්න අමතක උනොත් ඔයා මට මතක් කරන්න ඕනේ හොඳද..? මොකද මම හදවත් රෝගියෙක්… නෑ රෝගියෙක්ම නෙමෙයි… හදවත් සැත්කමකට මූණ දුන්න කෙනෙක් කියමුකෝ… ඉතින් මට අවවාද කරලා තියෙන්නේ හුස්ම නොගෙන ඉන්න හොඳ නෑ කියලා… හදවත් සැත්කමක් කළ කෙනෙකුට වෙන්න පුළුවන් නරකම වැරැද්ද මොකක් කියලද හිතන්නේ..? ඔව් හුස්ම නොගෙන ඉන්න එක තමයි… ඔය හින්දම මම දැන් හාදු දෙද්දී ඇස් පියවෙන්න දෙන්නෙත් නෑ… ඇස් පියවෙද්දී තමයි හිත හාදුවට ඇදිලා යන්නේ… අන්න එතකොට තමයි හුස්ම ගන්න අමතක වෙන්නෙත්…”
“මේ කතාව පටන් ගත්තේ දැන් ටික කාලෙකට කලින්… දින වකවානු නම් හරියටම මතක නෑ… ආ… මතකද පහුගිය දවසක මුලු ලෝකෙම තත්පර ගානකට නැවතුනා..? හරියටම අන්න එදා… “
“මේ ලෝකේ ආදරය සම්බන්ධයෙන් වැඩියම කියවිලා ඇති දේ මොකද්ද කියන්න පුළුවන්ද..? අයි ලව් යූ..? හ්ම්ම්... වෙන්න ඇති…
හොඳයි එතකොට ඊළඟට වැඩියම කියවිලා ඇත්තේ මොකද්ද..? අයි ලව් යූ ටූ…? වැරදී නේ..? ඊළඟට වැඩියම කියවිලා ඇත්තේ ඔයාවගේ කෙනෙක් ලබන්න මම පින් කරලා නෑ… ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බවෙයි කියන එක වෙන්න ඇති… “
“අපි හිටියේ කොෆී ස්ටුඩියෝ එකේ අපි හැමදාම වාඩිවෙන වතුර මල ගාව මේසේ… අපි කිව්වට මම… මොකද අරයා ඒ වෙනකොටත් නැගිටලා ගිහිල්ලා… ඒ විදියට කොච්චර කාලයක් මම වාඩිවෙලා හිටියද මට මතක නෑ.. පැයක්… දෙකක්.. දවසක්… සති… මාස ගානක්… “
“මෙයා මාව දැකලා තියෙන්නේ එහෙම ඉඳිද්දී… මගෙත් එක්ක කතාකරන්න හදද්දී මගෙන් ප්‍රතිචාරයක් නැති නිසා විමසිල්ලෙන් බලද්දී තමයි ඔන්න එයා දැනගෙන තියෙන්නේ… මට හදවතක් තිබිලා නෑ… “
“අනේ... ඒක කෑලි වලට කැඩිලා… මම එහෙම කිව්වම එයා කලබල උනේ නැහැ පොඩ්ඩක්වත්… අපි කෑලි ටික ආයෙත් අමුණමු… ඔහොම කියද්දී මම මුලින් හිතුවේ විහිළුවට කියලා… ඒත් මගේ හදවතේ බිඳිලා ඉහිරුණු කෑලි හොයන්න එයා මහන්සි වෙන හැටි දැක්කම මේක විහිළුවක් නෙමේ කියලා මට තේරුණා…”
“කොෆී ස්ටුඩියෝ එකේ වතුර මල ළඟ මේසේ යට තිබිලා තමයි කෑලි ගොඩක් හම්බවුනේ… ගංගාරාමේ පන්සලේ මනුස්සයෙක් වැලි මලුව අමදිද්දි හම්බුන තව කෑලි ටිකක් අරන් තියලා තිබ්බා… බේරේ වැව මැද්දේ තියෙන පුංචි දූපතේ බංකුවක් යට තිබුණා තව ලොකු කෑල්ලක්… තව එකක් හොයාගත්තේ වැව හරහා තියෙන රිදීපාට පාලමේ ඇන්දේ පැටලිලා තිබිලා… කොටුව ස්ටේෂමේ… පංචිකාවත්තේ… ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකේ…බත්තරමුල්ලේ පාක් එකේ… ෆ්‍රෙශ් ඉන්ක් ටැටූ පාලර් එකේ… ලාවා ක්ලබ් එකේ… වොක් ඔෆ් ෆේම් අවන්හලේ… බොඩි ඇන්ඩ් මයින්ඩ් සැලෝන් එකේ… තව කොච්චරක්ද… ඔය හැමතැනින්ම මගේ හදවතේ කෑලි අපි හොයාගත්තා…”
“ඊට පස්සේ තමයි අමාරුම හරිය තිබුණේ… එයා හරියට දක්ෂ කැටයම් ශිල්පියෙක් වගේ… බොහොම සියුම් විදියට ඒ කෑලි නූලටම ගැලපෙන විදියට අමුණන හැටි දැකලා මම පුදුම උනා… කොහෙන්ද ඒවා ඉගෙනගත්තේ කියලා ඇහුවාම ඔය කවුදෝ එයාටත් කියලා දුන්නා කිව්වේ…”
“අන්තිම කෑල්ලත් අමුණලා ඉවර වුනාට පස්සේ තමයි අපි දැක්කේ… අනේ තව එකම එක කෑල්ලක් අඩුයි… අම්මෝ අපි ඒක හෙව්ව තරමක්… හොයලා හොයලා බැරිම තැන අතඇරලා දාන්න හදද්දී තමයි එයා පිස්සු අදහසක් ගෙනාවේ… එයාගේ හදවතේ කෑල්ලක් අරගෙන අමුණමු කියලා… දෙවියනේ මම වාද කරපු තරමක්… එයා එක්ක වාද කරලා දිනන්න බැරිබව මට වැටහුනේ එදා… ඉතින් එයා බලෙන්ම වගේ ඒක අමුණලා පොඩි ළමයෙක් වගේ හිනා වුණා… “
“හරියටම ඒ එයා නිවාඩුවට ගෙදර යන දවස… මම එයාට සමුදිලා ගෙදර ආවේ එයාගේ හදවතේ කෑල්ලකුත් එක්ක මගේ පිරුණ හදවත අරගෙන… ඊටත් දවසකට පස්සේ එයාගෙන් කෝල් එකක් නැත්තේ මොකද කියලා ෆෝන් එක අත පත ග ගා ඉද්දී තමයි මම පුදුම දෙයක් දැක්කේ… අර අපිට හොයාගන්න බැරිවුණ මගෙ හදවතේ අන්තිම කෑල්ල… මෙන්න ඒක පැටලිලා තියෙනවා සිම් කාර්ඩ් එකේ… ”
“ඉතිං මම හනිකට එයාට කතා කලා… නිවාඩුව ඉවරවුන ගමන්ම දුවගෙන එන්න කියන්න… මගේ හදවතේ ඒ ඉතුරුවුන කෑල්ල එයාගේ හදවතට අමුණගන්නකල් මම බලාගෙන ඉන්නවා කියන්න…”
“කෝ ඉතිං ඔය හුස්ම ගන්න මතක් කලාද…?”
~~~~~~~~~~~~~~~~
ලියන්නට ටිකකුත්, හිතන්නට හුඟකුත් සිංහල බ්ලොග් අවකාශයේ ඉතිරිකර ඉලංදාරියා, පින්තු සර්, ඔබා මාමා ඇසුරට නික්ම යන ආදරණීය විචාට සුභ ගමන් පතමි...
+++++
ReplyDeleteආයෙ ඉතින් වෙන කොහෙන් හොයන්නද මේ ජාතියෙ කතා.. බීට්ල්ගෙන් පමණයි !!
ReplyDeleteවිචා අද යන්නම යන්න ඇති !
හ්ම්ම්
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteහුස්ම ගන්න මතක් කරනවා තියා අපිටත් හුස්ම ගන්න අමතක වුනා...
ReplyDeleteකෝ ඉතින් උඹ හුස්ම ගන්න අමතක කරනවානෙ
ReplyDeleteජයවේවා..!!
නියම කතාව. එක හුස්මට කියෙව්වා..
ReplyDeleteඅමුණගත්තු හදවතක් හුස්ම ගන්න අමතක කරන්නේ කොහොමද?
ReplyDeleteසුපිරිම සුපිරියි.. මාව පිස්සු වැටුනා...
ReplyDeleteඉයන්, සෙන්නා, ඉවාන්, තුශානි, ගස් ලබ්බ, අඟහරුවා, Manoj , අරු.... ස්තුතියි ප්‍රතිචාර වලට උඹලා සේරටම...
ReplyDeleteහුස්ම ගන්න අමතක උනා , පට්ට
ReplyDelete