Wednesday, April 20, 2011

24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්


26585_380367320889_501365889_3653836_373810_n

බ්ලොග්කරනයට මම තවමත් නවකයෙක්... නමුත් බ්ලොග් කියවීමට මා ඇබ්බැහි වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදීයි... එදාත්, අදත් තිබූ එකම වෙනස වූයේ සිංහල බ්ලොග් අවකාශය නම් දෙයක් නොදැන සිටීමත්, කියවීමට ඇති ආශාව නිසාම සමහරවිට වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසි බ්ලොග් කියවීමත් පමණයි... මා එසේ කියවන්නට පුරුදු වූ දුසිම් ගණනක් බ්ලොග් අතරේ සමහරක් බ්ලොග්කරුවන් තම ස්ථිර ‍රැකියාව අතහැර දමා පූර්ණකාලීනව බ්ලොග්කරනයට යොමුවෙන අයුරු මම බලා සිටියේ පුදුමයකින් සහ සතුටකින්... "සෙන් හැබිට්ස්" ලියනා ලියෝ බබූටාත්  “ඩිජිටල් ඉන්ස්පරේෂන්” ලියනා අමිත් අග්‍රවාලුත් මා කියවන බ්ලොග් අතරේ එසේ තම ‍රැකියාව අතහැර පසු කලෙක පූර්ණකාලීනව බ්ලොග්කරනයට  පිවිසුණු බ්ලොග් රචකයින් දෙදෙනෙක්…

නමුත් ඒ සියල්ලටම වඩා මා ප්‍රියකරන අයෙක් ඇත්නම් ඔහු විසි නව හැවිරිදි මැතිව් ඉන්මන්... තමා විසින්ම ආරම්භ කළ තොරතුරු තාක්ෂණ අංශයේ ආයතනයක CTO (චීෆ් ටෙක්නොලොජි ඔ‍ෆිසර්) වැනි අතිශය සාර්ථක ‍රැකියාවක් හැරදමා පූර්ණකාලීන බ්ලොග්කරනයට පිවිසුණු ඔහු ඊට අමතරව තම ප්‍රධාන ආදායම් මාර්ගයට ලෙස වයිරල් මාකටින්, වෙබ් ඩිසයිනින් වැනි අංශ සියල්ලම සමීපව ඇසුරු කරන දක්ෂ නිර්මාණ ශිල්පියෙක්... ඔහුගේ දිඟු කාලීන රසිකයෙක් වීම නිසාදෝ ඔහු සමඟ පුද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමට මා හට ලැබුණු දුර්ලභ අවස්ථාවකදී ඔහු කෙතරම් සොඳුරු හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙකුදැයි මට අවබෝධ වූණා...

(බ්ලොග් කියවීම හා සමීප තවත් යමක් ගැන මෙතැනදීම සඳහනක් කරන්නම්... කියවීම සම්බන්ධයෙන් ගත්තත් එක් එක් පුද්ගලයන්ට ඇත්තේ විවිධාකාර ආශාවන්... යමෙකුට එය බ්ලොග් කියවීම වෙද්දී තවකෙකුට එය නවකථා කියවීම විය හැකියි... තවත් අයෙකුට එය චිත්‍රකතා කියවීම වන්නටත් පිළිවන්... මේ ආකාරයෙන් සැලකුවහොත් කුඩා කල පටන්ම කොමික් ස්ට්‍රිප්ස් රසවිඳීමට මාගේ තිබෙන්නේ අසීමිත ආශාවක්... එය කැමිලස්ගේ ගජමෑන්ගේ සිට කැල්වින් ඇන්ඩ් හොබ්ස් දක්වා වෙනසක් නැහැ... අදටත් මා ‍රැකියා ස්ථානයේ දවස ආරම්භ කරනුයේ දුසිමකට ආසන්න වූ කොමික් ස්ට්‍රිප්ස් ප්‍රමාණයක් කියවීමෙන් පසුවයි... මතක ඇති කාලයක පටන්ම මා භාවිතා කරන අන්වර්ථ නාමය වන  බීට්ල් බේයිලි යනු මොට් වෝල්කර් විසින්  නිර්මිත අතිශය ජනප්‍රිය මාගේ ප්‍රියතම කාටූන් චරිතයක්...)

ඉතින් මා පෙර පැවසූ පරිදි එකකට එකක් නොදෙවෙනි මැතිව් ඉන්මන්ගේ ගේ නිර්මාණ ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ඇද ගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවා... ඔබ තොරතුරු තාක්ෂණ අංශයේ නියුතු අයෙක් නම් බොහෝදුරට ඔබ මේ වන විටත් ඔබ ඔහුගේ රසිකයෙක් විය හැකියි... මෙහි ඇති අනෙක් වැදගත් කම ඔහු මෙම ජනප්‍රියත්වය ළඟා කරගැනීමට ගත කල කාලය අතිශය සුළු කාලයක් වීමයි... ඉතා සරලව පටන් ගෙන ඔහු අද සිටිනා අති සාර්ථකත්වයට පත්වෙන අයුරු මා බලා සිටියේ අසීමිත සතුටකින්...

මේ දිගු හෑල්ල ලියූවේ මැතිව් ඉන්මන්ගේ ප්‍රධානම වෙබ් අඩවිය වන ද ඕට් මීල් නැමති විහිළු තීරය නරඹමින් සිටින අවස්ථාවක හදිසියේ සිතට නැඟුනු අදහසක් අනුව සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි වෙනසක් කිරීමට හැකි නිර්මාණශීලී බ්ලොග් කරුවන් දැනටමත් පහළ වී ඇත්දැයි විපරම් කරන අටියෙන්...
කලකට පෙර ඇසූ හුරුපුරුදු වැකියක් උපුටා දැක්වුවහොත්  “අද සිංහල බ්ලොග් අවකාශය මල්වර වීමට ආසන්නයි”... ඉතින් සැලකිය යුතු බ්ලොග්කරුවන් සංඛ්‍යාවක් අතරේ මැතිව් ඉන්මන් වැනි නිර්මාණශිල්පියෙක් සිංහල බ්ලොග් අවකාශයෙන් මතුවේයැයි මා සිහින දකිනවා... අප හැමට අළුත් අත්දැකීමක් එක්කල සිංහල බ්ලොග් අවකාශයේ පෙරළිකාර බුද්ධිගේ සිත්තරෙන් ඉදිරියට අඩියක් තැබීමට දැන් කාලය හරි නොවේද..?

මෑතකදී මැතිව් විසින් කල නිර්මාණයක් වන "How to fix any computer" මෙතැනින් රසවිඳින්න...

මේ මා සිත් ගත් තවත් නිර්මාණ කිහිපයක් ... ඔහුගේ වෙබ් අඩවිය පුරා එකින් එක සැරිසරන්නට වේලාව සොයාගත නොහැකි අයෙක් වෙනුවෙන්...

"If you do this in an email, I hate you"

"The crap we put up with when getting on and off an airplane"

"Why working from home is both awesome and horrible"

"What you email address says about your computer skills"

"How to suck at facebook"

"Why its better to pretend you don't know anything about computers"

"Why I'd rather be punched in the testicles than call customer service"

Tuesday, April 12, 2011

22. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... | Happy New Year


image
"ඒමිස් සීයේ..!"

"ඕ...."

"ඒමිස් සීයේ..!"

"මං මේ කුස්සියේ..."

"මොකද කරන්නේ..?"

"මං මේ ලුණු මිරිසක් කොටනවා.."

"ෂා... කිරිබත් හැදුවද..?"

"මොන කිරිබත්ද... මේ හීල් බත් ටිකක් ඉතුරු වෙලා තිවුණා..."

"ආ එහෙනම් මෙන්න..."

"මොනවද මේ..?"

"කිරිබත්..."

"ආහාර අනුභවේ ඉවරද..? වෙඩි සද්දයක් වත් ඇහුණේ නෑනේ..?"

"තාම නෑ... අනුභවේට කලින් හොරෙන් ගෙනාවේ..."

"අපෙ අප්පේ..."

"එහෙනම් වෙඩි සද්දේ ඇහෙද්දී කන්න...  ගෙදරින් හොයනවා ඇති මම යනෝ..."

"ඔය… ඔය... දුවන්ඩ එපා... හෙමින් යන්ඩ… "

"කොහෙද ළමයෝ අන්ත්‍රස්දාන වෙන්නේ... මෙතනට එන්න දැන් අනුභවේට වෙලාව ළඟයි..."

"මල්ලිට කවන්න... මම නැකතට රතිඤ්ඤා දාන්න යනවා..."

"මෙන්න මෙහේ එනවා... රතිඤ්ඤා දාගන්න පුළුවන්... වෙලාවට තාත්තට කියලා ඉසිස්සෙල්ලාම කිරිබත් කටක් කවාගන්න...අවුරුද්දෙම කෑම ලැබෙන්න.."

"අන්න... හරි හරි වෙලාව හරි..."


"සබ්බීතියෝ විවජ්ජන්තූ සබ්බ රෝගෝ විනස්සතූ... මාථේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ බව................"

"හා... කෝ ඉතින් දැන් අපිටත් කවන්න..."

"ඔන්න දුවනවා... කිරිබත් කෑල්ලක් පිඟානකට දාගෙන කාලා ඉන්නකෝ ළමයිනේ..."

"දැන් ඕවා පත්තු කර කර ඉඳලා හරියන්නේ නෑ... ඔය දෙක තුනක් දාලා  ඉක්මනට කාලා ලෑස්ති වෙන්න අත්තම්මලගේ ගෙදර යන්න..."

"මේ... යන්න කලින් පුතා අතේ අර වයසක මනුස්සයට කිරිබත් ටිකක් යවලා හිටියොත් හොඳයි නේද..?"

"අනේ ඔව්... මේ අවුරුද්දේ කිරිබතක්වත් හදාගන්න නැතුව ඇති... තව පොඩ්ඩෙන් අමතක වෙනවා..."

අවුරුදු ඇති අයට, අවුරුදු නැති අයව අමතක නොවෙන, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!

Sunday, April 10, 2011

21. සිඩ්නි ලුමැට් (1924–2011) | Sidney Lumet (1924–2011)


MV5BMTY4Mzk5Mzk4Ml5BMl5BanBnXkFtZTYwMTE2NDg0._V1._SY314_CR1,0,214,314_

අනෙක් බොහෝ බ්ලොග්  මිතුරන් සේම චිත්‍රපටි නැරඹීම මාගේ අල්ප වූ විනෝදාංශ වලින් එකක්... කෙසේ නමුත් එකදු බොක්ස් ඔෆීස් චිත්‍රපටියක් අතනොහැර නරඹන මාගේ සහෝදරයා හා සැසඳූ කළ මා අත දරුවෙක්... ඔහුගෙන් ලැබෙන ඔත්තුවකින් සති අන්තයේ අතට හසුවූ යමක් නරඹනවා හැරෙන්නට චිත්‍රපට ‍තෝරාබේරාගෙන නැරඹීමට තරම් ඒ ක්ෂේත්‍රයේ හසළ දැනුමක් මා සතුව නැහැ...ඒ නිසාම බොහෝ විට මා මසකට නරඹන චිත්‍රපට සංඛ්‍යාව හතරකට පහකට අඩු මිසක් වැඩි වන්නේ කලාතුරකින්... ඒ අතරිනුත් මෑතකදී එක්වරකට වඩා නැරඹූ චිත්‍රපටයක් මට මතකයට නඟා ගැනීමට අපහසුයි...

තත්වය එසේ වුවත්, නිතර නිතර නැරඹීමෙන් මා හට දෙබස් කටපාඩම් වූ චිත්‍රපටි කිහිපයක් නැතුවාම නෙවෙයි...  එසේ වැඩිම වාරයක් මා නරඹා ඇති චිත්‍රපට අතළොස්ස්සෙන් එකක් නම් “12 Angry Men” නැමති චිත්‍රපටයයි...සහෝදරයාගෙන් දායාද වුණු පුරුද්දක් වන චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඒ පිළිබඳව සටහන් තබාගැනීමේ පුරුද්දට පිං සිදුවන්නට flixster නැමති වෙබ් අඩවියේ ඇති මාගේ පුද්ගලික ගිණුමේ මා විසින් දළ වශයෙන් තබාගෙන ඇති සටහන් වලට අනුව එම චිත්‍රපටය මේ වන විට මා නරඹා ඇති වාර ගණන දාසයක් (16)...

මෙම චිත්‍රපටියට මා කෙතරම් ඇලුම් කළාද කියතොත් මෙම බ්ලොග් අඩවිය පටන් ගත්  අලුතම මා සිතේ පිළිසිඳගත් සිහිනයක් වූයේ මෙම චිත්‍රපටියේ ඇති කතා තේමාව අනුවර්තනය කරමින් කොටස් වශයෙන් මේ බ්ලොග් අඩවියේ පළ කරන්නටයි... එනමුත් එතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් අනුවර්තනය කිරීමට තරම් මා ලේඛන කලාවේ දක්ෂයෙකු නොවන බව වැටහුණු නිසා එය සිහිනයකටම සීමා වුණා...

ඉතින් මා විසින් කලින් සටහනේ පොරොන්දු වූ පෝස්ටයද පසෙක තබා කඩිමුඩියේ මෙම වියමන පළකරන්නට නිමිත්ත වූයේ මෙම චිත්‍රපටය සහ තවත් ඊට නොදෙවෙනි නිර්මාණ කිහිපයක්ම රසිකයන්ට තිළිණ කල අග්‍ර ගණයේ අධ්‍යක්ෂවරයෙක් වූ "Sidney Lumet" ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් බව අන්තර්ජාලයේදී ඇස ගැ‍ටුණු නිසයි...ඔහු පිළිබඳ විචාරයක් ලිවීමට තරම් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන මා දැනමුත්තෙකු නෙවෙයි... ඒ නිසාම ඔහුගේ නිර්මාණ වලට කතා කිරීමට ඉඩහැර මා නිහඬ වෙන්නම්...

ඔබට හොඳ චිත්‍රපටියක් මඟ හැරෙන්නේ කලාතුරකින් නම් මේ සියල්ල ඔබ මේ වන විට නරඹා ඇතුවාට සැකයක් නැහැ... මේ එසේ නරඹන්නට නොහැකි වූවන් වෙනුවෙන්... මේවායේ ඇති උසස් කලාත්මක වටිනාකම අදහස් පළකිරීමට මාගේ ඇති අල්ප හැකියාව නිසා වැඩි විස්තරයක් සඳහන් කිරීමට අපහසුයි... කෙසේ වුවත් ඔබ මෙම චිත්‍රපට එකක් හෝ නරඹනවානම් ඒ වෙනුවෙන් ඔබ වැයකරන කාලය ගැන අවසානයේ ඔබ දුක් නොවන බවට මම සහතික වෙන්නම්...

සිය අද්විතීය නිර්මාණ වලින් සිනමා ලෝකය එකලු කල "Sidney Lumet" ඔබට ස්තූතියි...!


Dog Day Afternoon (1975)

Twelve Angry Men (1957)

The Verdict (1982)

Network (1976)

Before the devil knows you’re dead (2007)

Wednesday, April 6, 2011

20. නියමුවෙකුගේ සමුගැනීම | Good Bye Mentor


SuperStock_1895-14176

දැනට මම සේවය කරන ආයතනය තමයි මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිම කාලයක් සේවය කල ආයතනය... එතැනත් මම වැඩිම කාලයක් සේවය කළ ආයතන ප්‍රධානියා සේවයෙන් සමුගන්න බව මීට සති කිහිපයකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නා... ඔහු හා මා හමුවෙන විට නිකම්ම නිකම් තවත් එක් සේවකයෙක් වුණු මට වෘත්තීය මට්ටමේ තරඟකාරී පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි ඉගෙන ගැනීමට ඔහු ලබාදුන් සහාය අති විශාලයි...

ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු එළැඹි පළමු රාජකාරී මීටිම මට තවමත් මතකයි...

"බොස්, පර්පස් ඔෆ් ද මීටින් ‍ටුඩේ ඉස් ‍ටු ඩිස්කස් සම් ප්‍රොබ්ලම්ස් ඉන් ද පෝස්ටල් ප්‍රොජෙක්ට්..."

ආචාරශීලී හමුවීමකින් පස්සේ මීටිමේ ප්‍රධාන අරමුණ මම ඔහුට සඳහන් කළේ ඔහුගේ කාලයෙන් සැලකිය යුතු වේලාවක් මට වෙන්කිරීමට සිදුවෙන බව ඇඟවීමටයි...

"ෆයින්...ඉන්ෆැක්ට් ලෙට්ස් නොට් ඩිස්කස් ද ප්‍රොබ්ලම්ස් බීට්ල්... බ්‍රින්ග් මී ද සොලුයුෂන්ස් ‍ටුමාරෝ... ලෙට්ස් ඩිස්කස් දෙම්..."

එසේ පැවසූ ඔහු තත්පර ගණනකින් මීටිම හමාර කරමින් නැගී සිටියේ, සාර්ථක පුද්ගලයෙකු වීමට පිළිපැදිය යුතු කරුණක් ගැන ප්‍රථම පාඩම මා හට කියා දෙමින්...

එතැන් පටන් අද දක්වා මා ඔහුගෙන් උකහා ගත් දෑ බොහෝයි... පුද්ගලික ආයතනයක ඇති තරඟකාරී වටාපිටාවට හැඩගැසෙමින් ආයතනයේ දියුණුවට දායක වෙන අතරේ එකතැන පල් නොවී තමාගේ පුද්ගලික දියුණුව සලසා ගන්නා අයුරු මා පියවරෙන් පියවර ඔහුගෙන ඉගෙන ගත්තා... විශේෂයෙන්ම ආයතනය තුළ ප්‍රධානියාගේ "ඈස් කිසර්" කෙනෙකු නොවී ඔහු හා කුළුපග සම්බන්ධයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් එහි ඇති වැදගත්කමත් ඔහු මට කියා දුන් වටිනා පාඩම් වලින් එකක්...

විටෙක මා අඩ නින්දේ සිටියදී හෝ නාන කාමරයේ ස්නානය කරමින් සිටියදී හදිසියේම සිත පිළිසිඳගන්නා අතිශය විකාරරූපී ව්‍යාපාරික අදහසක් බිය සැක නැතිව අතහැරිය හැකි හොඳම ස්ථානය වන්නේ ඔහුගේ කන්තෝරු කාමරයයි... විටෙක එය අසා තමා පි‍ටුපස ඇති සුවිසල් වීදුරුවෙන් එපිට පෙනෙන නිමක් නැති සාගරය දෙස බලා තනිවම සිනාසෙන ඔහු ඉන් ටික වේලාවකට පසු එම අදහස වඩාත් ඔප මට්ටම් කිරීමට උදව්දෙන්නේ කුඩා දරුවෙකු තමාට ලැබුණු අලුත් සෙල්ලම්බඩුවක් පිරික්සන්නාක් වැනි උනන්දුවකින්...

මේ මීට කලකට පෙර සිදුවීමක්… මාගේ කුඩා කළ පටන් ළබැඳි මිතුරෙකු වූ නමුත් කාලයත් සමඟ වෙනතක ඇදී ගිය හිතවතෙකු වසර ගණනාකවක පසු මා හමුවීමට ආයතනයට දිනක් පැමිණියේ අපගේ පැරණි මිතුදම අලුත් කරගැනීමේ අදහසින්...

මේ හමුවේදී ඔහු මට තිළිණ කළේ මනරම් සටහන් පොතක්... අතිශය සිත් ගන්නාසුලු අයුරින් අත්කම් නිර්මාණයක් ලෙස නිමවා තිබූ එය සාමන්‍ය කඩදාසියකට වඩා තරමක වෙනස් රළු කඩදාසියකින් සැකසූවක් … එහි ඝණකම් පිටකවරය මත සවිකර තිබූ කුඩා අගුලකින් පොත වසා අගුළු දැමිය හැකි සේ සකස්කර තිබුණා...

"උඹ ඉස්සර පොතේ අන්තිම පි‍ටු වල එක එක ඒව කුරු‍ටු ගානවනේ... ඒක මතක් වෙලා උඹට දෙන්න කියලා අග්‍රා වලදී මම ගත්තේ..."

එදා ඔහු දුන් ඒ පුංචි තිළිණය පසුව මගේ ජීවිතය හැඩගස්සවන මෙවලම වෙවි යැයි මම සිහිනෙකින් වත් සිතුවේ නෑ... එදිනම මා ප්‍රධානියා මට ලබාදුන් අවවාදයක් නිකමට මෙන් මා සටහන් කළේ අරමුණකින් තොරවයි... එතැන් පටන් අද දක්වා මා ජීවිතයේ හමුවූ ඔවදන්, විඳීම්, හැඬීම්, වැළපීම් රාශියක් අකුරු වලට පෙරළී ඒ රළු කඩදාසි පි‍ටු අතරේ මටත් නොදැනීම තැන්පත් වී තිබුණා...

පෙර දිනයේ ආයතන ප්‍රධානියා වෙනුවෙන් සමුදීමේ කතාවක් කිරීමට පැවරුණු හෙයින් නිකමට මෙන් මේ සටහන් පොත පෙරලීමේදී ඔහු මාහට දුන් අවවාද අනුශාසනා වලින් සටහන් පොත පිරී ඇති අයුරු දැක ඔහුගෙන් මා කෙතරම් දේ ඉගෙන ගත්තාදැයි සිහි වී මාගේ දෑස් තෙත් වූයේ නිරායාසයෙන්...
අප ආයතනයේ ප්‍රධාන සාකච්ඡා කාමරයේ බිත්ති අතර දෝංකාර දුන්... විටින් විට මා සටහන් පොතේ කුරු‍ටුගෑවී ඇති ඔහුගේ අවවාද ගොන්නක් අතරින් අතලොස්සක් කාටත් හොරෙන් මතකයෙන් මා සටහන් කරගෙන ඇති අයුරු වෙනස් කිරීමකින් තොරව මෙසේ සටහන් කරන්නම්...

We are not perfect… We don’t have to be… Let’s try to do our best…

Love your company… If you don’t like it, stop complaining and find a better place…

Whatever the work we do at the office… We have to make sure it’s useful at the end…

If you wanna say NO, pls say it…

We can’t please everyone here… Don’t even try…

Never wait until the last minute...!

Don’t ever let emotions overcome your intelligence whenever you are taking a decision… At least within the walls of this boardroom…

Let’s prepare for the worst…

You know what… Busy doesn’t mean productive…

Don’t just say it’s a good idea… good idea is nothing until you execute it…

ඔහුගේ සමුගැනීමේ සාදයේදී බෙදා හැරීම සඳහා මේවායින් සමහරක් වඩාත් විධිමත්ව සකසා පරිගණක ග්‍රැ‍ෆික් ශිල්පියා ලවා කාර්යාලීය මේසය අසල සවිකළ හැකි මනරම් පත්‍රිකාවක් ලෙස සකස් කිරීමට උත්සාහා කළත් කාර්ය බහුලත්වය නිසා එය අසාර්ථක වුණා...

ඉතින් මේ හෑල්ලක් ලියුවේ ඔහු වෙනුවෙන් වූ සමුගැනීමේ කතාවේදී මා සඳහන් කරන්නට යෙදුන කුඩා කතාවක අනුවර්තනයක් පළ කිරීමේ අදහසින්... පෙරවදනම පෝස්ට් එකක් තරම්ම දිඟු වූ නිසා කියවන්නාට නීරස නොවන ලෙස එය ඊළඟ පොස්ට් එකේ පළකරන්නම්...

අවසානයට යමක් සඳහන් කරනවා නම් ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත් වී පැමිණි අලුතම මාහට ලබා දුන් මූලික අවවාද වලින් එකක් මාගේ සටහන් පොතේ මුල් පි‍ටු අතරේ මෙසේ සටහන් වී තිබුණා...

Whether you like it or not… Right now I am your BOSS… You better accept it…

සැඩපහරේ යාත්‍රාව නොපෙරෙළී හසුරා ගන්නා අන්දමත්, නිසළ දියේදී නැංගුරම් ලා බි‍ඳෙන දිය‍රැළි වල සුන්දරත්වය විඳින අන්දමත් යන දෙකම මට ඉගැන්වූ නියමුවාණෙනි, නොදන්නා දියඹක ත්‍රාසජනක අභියෝග හඹා යෑමට නොනිත් ආසාවෙන් ‍රැවල් දිගහරින ඔබට සුභ ගමන්...

Friday, April 1, 2011

19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor


42-21874867

මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි  ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…

නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ...ඒක වැ‍රැද්දක් හැටියට මටත් හිතෙනවා...

ඒත් මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්නේ නැති එක ගැන නම් මම හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් බවයි... උදාහරණයක් විදියට අපි වුණත් වෘත්තීය ජීවිතේදී හමුවෙන හැම කෙනාටම කරුණාවෙන් සලකන්නේ නැහැනේ නේද..? එහෙම කරන්න තියෙනවානම් හොඳයි ඒත් මට නම් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ... නොයෙක් හේතු නිසා සමහරවිට මට හැකි උපරිමය ලබා දෙන්න නොහැකි වෙන, මීටින් පෝස්ට්පොන්ඩ් කරන, මොබයිල් එකට ආන්ස්වර් නොකර ඉන්න අවස්ථා ඕනි තරම්... ඉතින් දොස්තරලාත් උඹලා අපි වගේම හොඳ නරක දෙකම එකතු වුණු මිනිස්සු නේද කියලා පැහැදිලි කරන්නත් එක්ක රසවත් කතාවක් කියන්නම්…

එක පාරක් මම නිවාඩුවකට ලංකාවට ආවම තදබල විදියට අසනීප වෙලා රෝහල් ගතවෙන්න වුණේ නොහිතපු විදියට... වෛද්‍යයවරුන්ගේ උදව්වෙන් යන්තම් සනීප වෙද්දී, නිවාඩුවත් ඉවර වෙලා ආපහු යන දවසුත් පහු වෙලායි තිබුණේ... ඉන් සති කීපයකට පස්සේ හොඳටම සනීප වුණත් මට ආපහු යන්න ලොකු චකිතයක් තිබුණේ එහේදී ආයෙත් අසනීප වුණොත් දෙමව්පිය වැඩිහිටියෝ කවුරුත් නැතිව යාළුවන්ගෙන් පමණක් උදව්වෙන් මූණ දෙන්නේ කොහොමද කියන බයට... දිනෙන් දින කල් දාන ආපහු ගමන ගැන කනගා‍ටු වුණ මව්පියන් මේ ප්‍රශ්ණය යොමු කළේ මාව සනීප කල වෛද්‍යවරයාට…

"හරි... මගේ යාළුවෙක් මේ දවස්වල එහේ හොස්පිට්ල් එකක ස්පෙෂල් ට්‍රේනින් එකකට ගිහින් ඉන්නවා... මම ලෙටර් එකක් දෙන්නම් ඔයා මිනිහාව මීට් වෙන්න... කිසි දේකට බය වෙන්න එපා, එයා සේරම බලා ගනී..."

මේ විදියට ක්ෂණිකව මගේ ප්‍රශ්ණෙට සතු‍ටුදායක විසඳුමක් ලබා දුන්න වෛද්‍යවරයා ලියලා දුන්නු ලියුං කරදහියත් පරිස්සමට අරගෙන මම ගුවන් ගත වුණා... දවස් දෙක තුනකින් හොස්පිටල් එකට කතා කල මට මේ කියපු වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න පුළුවන් වුණා...

"ෂා... මෙච්චර කාලයක් ලංකාවේ කවුරුත් නැතිව මට එපා වෙලා හිටියේ... මම ඒත් හිතුවා මෙහෙ ඉන්නේ මම විතරද කියලා... එහෙනම් පුතා හෙට උදේම එන්න..."

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘත්තීයමය ප්‍රතිචාරයක් වෙනුවට ගොඩක් සුහදව කතා කරපු වෛද්‍යවරයා ඊළඟ දවසේම ඔහුව මුණගැහෙන්න එන්න කිව්වේ ලොකු සතුටකින්...

පහුවදාම මමත් මිතුරෙකුත් ඔහුව මුණ ගැහෙන්න ගියා... රෝහලේ එළිමහන් ආපනශාලාවක හමුවුණු අපි ඔහුගේ තිබුණු මිත්‍රශීලී බව නිසාම පැයක් යන්නත් කලින් ගජමිතුරෝ වෙලා ඉවරයි...

"පුතාලා ස්මෝක් කරනවද..?"

මාල්බරෝ ලයිට් පැකැට්ටුකවක් සාක්කුවන් එළියට අදින ගමන් ඩොක්ට ඇහුවේ අපිව පුදුමට පත් කරමින්...

"ඔව්..."

"එහෙනම් කමක් නෑ..."

"හරි පුදුමයි... සිග‍රැට් බොන ඩොක්ට කෙනෙක් මම මේ දැක්කමයි..."

මගේ යාළුවා කිව්වේ ඩොක්ට දික් කරපු පැකට්ටුවෙන් සිග‍රැට්ටුවක් එළියට අදින ගමන්...

"මම සර්ජන් කෙනෙක්නේ, සමහර සර්ජන්ස්ලා බොනවා..."
 
ඩොක්ට කිව්වේ හිනාවෙවී...

"ලංකාවේ අය තව ඉන්නවද..? වීක්එන්ඩ් එකේ එහෙම මොනවද කරන්නේ..?"

ඩොක්ට මුට්ටිය දාන්නේ මොකටද කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුණේ නෑ

"තව සෑහෙන්න ඉන්නවා... වීකෙන්ඩ් වල එහෙම අපි සමහර අය සෙට් වෙනවා... ඩොක්ටත් එන්න…"

අපේ නිල ආරාධනාව ඩොක්ට පිළිගත්තේ සතු‍ටු සිතින්...
 
මාතෘකාවෙන් පිට ගිහින්, බොන සීන් එකේ විස්තර කරන්න තරම් දෙයක් නැති වුණත් මේ සීන් එක විස්තර කරන්නේ එතන සිදුවුණු රසවත් දේ බෙදා හදා ගන්න...

ඒ වෙනකොට අපි ශිෂ්‍යයෝ වුණත් උසස් වෘත්තීන් වල නියැලුණු වැඩිහිටි දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තිබුණා... හබැයි කවදාවත් අපි ඩොක්ට කෙනෙක් එක්ක නම් සෙට් වෙලා තිබුණේ නෑ නෑ මයි... ඒ නිසාම වෙනදාට අපි කන බොන වෙලාවට කතා කරන දේවල් වෙනුවට මෙදා තිබුණේ තනිකරම වටිනා වෛද්‍ය සාකච්ඡාවක මුහුණුවරක් කිව්වොත් වැ‍රැද්දක් නෑ...

"ඩොක්ට.. එක දිගට කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි..?"

සව්දිය පිරුවායින් පස්සේ මෙන්න මේ වගේ වැදගත් විදියට පටන් ගත්ත කතාව වීදුරු හිස් වේගෙන යද්දී වේගයෙන් ඇදී ගියේ අමුතුම පැත්තකට... "ඩොක්ට" නිකම්ම "ඩොකා" වෙද්දී තමන්ගේ හිතේ අවුරුදු ගණන් කැකෑරෙමින් තිබුණු ප්‍රශ්ණ වලට ඩොක්ටගෙන් විශේෂඥ උපදෙස් ගන්න කට්ටිය එකා පිට එකා ප්‍රශ්ණ අහපු හැටි මට අදටත් මතකයි...

ඒ ප්‍රශ්ණ බොහොමයක් වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිසා මේක කියවන ගෑණු ළමයෙක්, පොඩි දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒ අය අපහසුවට පත්වෙන එක වළක්වන අදහසින් කො‍ටු වරහන් ඇතුළේ හංගනවා... වැඩිහිටියෝ විතරක් කො‍ටු වරහන් ඇතුළේ හයිලයිට් කරලා බලන්න...

[
"ඩොකා... මාස්ටබේට් කරාම කෙට්ටු වෙනවද..?"
එකෙක් අහන්නේ ඩොක්ටගේ වීදුරුව සැන්ඩි කරන ගමන්...
"පිස්සුද මේ දවස් වල මමත් කරනවා..."
නවත්තන්න ඕනේ හරියෙදි අතින් සිග්නල් කරන ගමන් ඩොක්ට පිළිතුරු දෙනවා...
"ඩොකා.. වර්ජිනිටි එක නැති කරගන්නේ නැතුව ඇතුළේ කරන්න බැරිද..?"
එකෙක් අහද්දී ඒකට උත්තර දෙන්න කලින් අනිත් එවුන් තව ප්‍රශ්ණ දහයක් අහනවා...
"ඩොකා... වර්ජිනිටි එක ආයේ හදන්න බැරිද..?"
"ඩොකා.. තරුණ අය ව්‍යාග්‍රා බිව්වට කමක් නැද්ද..?"
"ඩොකා... ව්‍යාග්‍රා ටෑබ්ලට් වලින් ඇත්තටම මොකද්ද කරන්නේ..?"
"ඩොකා... ඇතුළේ කරලා ඒ එක්කම චූ කළොත් ප්‍රෙග්නන්ට් වෙන එක නවත්තන්න බැරිද..?"
"ඩොකා... ගෑනු ළමයිට යන්නේ නැද්ද..?"
"ඩොකා.. ඔර්ගස්ම් එකේදි ගෑනු ළමයෙක් බොරුවක් කරනවද, ඇත්තක් කරනවද කියලා හොයාගන්න විදියක් නැද්ද..?"
"ඩොකා.. ලව් ජූස් වලින් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද..?"
"ඩොකා.. පීරියඩ්ස් දවස්වලට ෆීලින්ග්ස් එන්නෙම නැද්ද..?"
“ඩොකා…..”
“ඩොකා….. ඩොකා…..”
]

මේ විදියට , හිරිමල් වයසේ හිටි අපි හැමෝගේම ආදර සම්බන්ධතා වල සීමිත ලිංගික අත්දැකීම් වලින් පැනනැගුණු කාගෙන්වත් අහලා දැනගන්න බැරි ප්‍රශ්ණ සේරම එකින් එක විස්තර ඇතුව විසඳන ඩොක්ට එදා අපිට හරියට පෙනුණේ සෘෂිවරයෙක් වගේ... ‍රැයක් එළිවෙද්දී අපි කොච්චර සමීප වෙලා හිටියද කිව්වොත් ඩොකා තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණ අපිත් එක්ක කිය කිය අඬද්දී අපි ඩොකාගේ හිත හැදුවේ හරියට ළමයි තාත්තා කෙනෙක්ගේ හිත හදනවා වගේ...

ඒ ගත කල කාලය සිතුවම් පටයක් වගේ හිතේ දිගෑරෙන නිසා ලියගෙන ගියාට ඇත්තට මම මේක ලියන්න පටන්ගත්තේ මේවා කියන්න නෙමෙයි... මේ සාකච්ඡාවෙම වෙරි වෙන්න කලින් මම අහපු ප්‍රශ්ණෙකට ඩොක්ට දුන්නු බය හිතෙන උත්තරයක් ලියන්නයි...

"ඩොක්ට සර්ජන් කෙනෙක් වුණාම හරි අපහසුයි නේද..? ඇක්සිඩන්ට් වෙලා එහෙම හදිසි ඔපරේෂන් වලට කතා කළාම ඇඳන් ඉන්න ඈඳුම් පිටින් දුවන්න එපැයි..."

ඇත්තවශයෙන්ම රෝහල් ජීවිතේ ගැන වැටහීමක් නැති මම ඩොක්ටගෙන් ඇහුවේ ER වගේ රූපවාහිනී වැඩසටහන් වල ලෙඩ්ඩු බේරාගන්න වෛද්‍යවරු දුවගෙන යන අයුරු මතක් කරගනිමින්...

"එහෙම ඇඳන් ඉන්න ඇඳුම් පිටින් දුවන්නේ නෑ... කොච්චර හදිසි වුණත් අපි රෙස්පොන්ඩ් කරන ටයිම් එකක් තියෙනවා... එහෙම දුවන්න ගියොත් ඉතින් අපිට හැමදාම රෑට දුව දුව තමයි ඉන්න වෙන්නේ..."

"ඒ වුණාට ඩොක්ට ඉතින් කාගේ හරි ජීවිතයක්නේ..."

"කාගේ හරි ජීවිත තමයි පුතා හැමදාම අපිට හම්බවෙන්නේ..."

මෙහෙම කියපු ඩොක්ට ඊළඟට කියපු කතාවට මගේ ඇඟ හිරිවැ‍ටුණා...

"මට මතකයි එක පාරක් අපි ඩියුටි හිටියා පලාලි වල, ෆ්‍රන්ට් එකේ කැෂුවල්ටීස් ගේනවා එක දිගට... අපි දවස් තුනක් එක දිගට තියටර් එකේ නින්දක් නැතුව... අන්තිම හරියෙදී හිටගෙන ඉන්න පණ නෑ... තුන්වෙනි දවසේ ආපු අයගෙන් ගොඩදාන්න අමරුයි කියලා හිතන අය අපි ට්‍රයි කළේවත් නෑ... ඇත්තටම අපි ඒ තරම් හෙම්බත් වෙලා..."

"එතකොට ඒගොල්ලන්ට මොකද වුණේ..?"

අපි කාටවත් එදා ඒ ප්‍රශ්ණේ අහන්න ශක්තියක් තිබුණේ නෑ...

අද අපි රු.1000 රිෆන්ඩ් කළේ නැති ඩොක්ට කෙනෙක් ගැන ගැන කතා කරනවා සමහර විට එදා මේ ඩොක්ට රිෆන්ඩ් කළේ නැත්තේ අතපය හතර නැතිව හරි තමන්ගේ දරුවන්ට තාත්තා කියන්න පණ තියෙන මනුස්සයෙක් ගෙදර එනකල් දෙවියන්ට කන්නලව් කරමින් හිටපු අම්මා කෙනෙක්ගේ බලාපොරොත්තු පිරුණු මුළු ජීවිතයම වෙන්න ඇති...

මේ සිද්ධිය ගැන එක පැත්තකින් විතරක් බැලුවානම්, අපේ සල්ලි වලින් ඉගෙන ගෙන පෙනේද මුන් මිනිස් ජීවිත බල්ලට දාන හැටි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මට මේ ඩොක්ට ගැන එහෙම කේන්තියක් එන්නේ නෑ... කාගේ වුණත් ජීවිතයක්නෙ, අපි නම් හතුරෙකුටවත් එහෙම කරන්නෑ කියලා හිතුණත් ඇත්තටම ඒ තත්වෙට මූණ දුන්නොත් අපි වුණත් එහෙම හැසිරෙන එකක් නැද්ද..?

ඉතින් මට කියන්න ඕනේ වුණේ මම නම් වෛද්‍යවරු දිහා බලන්නේ, මිනිස් ජීවිත සුවපත් කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න දෙවිවරු පිරිසක් විදියට නෙමෙයි, රකින්න දරුපවුලක් පුද්ගලික ජීවිතයක් තියෙන, අපි බොහෝදෙනෙක් වගේ සාධාරණ විදියට රස්සාවක් කරගෙන තමන්ගේ දරු පවුල වෙනුවෙන් තවත් රුපියල් කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන ගමන්, තමන්ට පුළුවන් විදියට තව කෙනෙකුට පිහිටක් වෙන උඹලා අපි වගේම මිනිස්සු කොටසක් කියලයි...

පෝස්ට් එක ඉවර කරන්නම් යාළුවෙක් මට කාලෙකට ඉහත කියපු කතාවකින්

මගේ යාලුවත්, උගේ යාළුවෙක් වෙන ඩොක්ට කෙනෙකුත් දවසක් කාර් එකේ ගමනක් යනවලු... පාරේ ලොකු ට්‍රැ‍ෆික් එකක් මැද්දේ සෙනඟ පිරිලා ඉන්න තැනක් විපරම් කරලා බලද්දී දැකලා තියෙන්නේ, ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මෝටර්සයිකල් කරුවෙක් ට්‍රක්රථයක හැපිලා ඉන්න හැටි... කාර් එක එළවාගෙන යමින් හිටි ඩොක්ට වැඩි කතාබහක් නැතිවම ඉඩ තියෙන තැනකින් කාර් එක පන්නගෙන, දිගටම පදවගෙන යන්න ගත්තලු...

"යකෝ උඹ ඩොක්ට කෙනෙක් නේද අපි පොඩ්ඩක් බැහැලා බලමු..."

මගේ යාළුවා කිව්වම ඩොක්ට කියලා තියෙන්නෙ මෙහෙම දෙයක්...

"මම මොනවා බලන්නද බන්... ඒ මනුස්සයා දැනටමත් මැරිලා ඇති..."

~ ------------ ~


ප. ලි. : තව නොබෝ දිනකින් පැවැත්වෙන, සයිබරයේ සිහින උළෙලට බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියෙන්, උණුසුම් සුභ පැතුම්....!
Web Statistics