Friday, May 18, 2012

51. හීන කතන්දර…



ඒක පැතලි කලු ගල් වගේ ජාතියක් පොළවට අල්ලපු පටු පාරක්… පොළවේ තෙතමනයක් නැතිවුනත් ගල් වල සීතලට මගේ නිරුවත් යටිපතුල් හිරිවැටීගෙන ගියා… දෙපැත්තෙන් ගානට කපපු මල් වැට… මීදුමක් වගේ දෙයකින් බොඳවුණු වටාපිටාව හින්දා අඩිගානකට වඩා ඉදිරියට පැහැදිලිව යමක් පෙණුනේ නම් නැහැ… මම මේ ඉන්නේ කොහෙද කියලා දැනගතයුතුව තිබුණත් ඊට වැඩිය මට උවමනා වුනේ ඔහේ ඉදිරියට ඇවිදගෙන යන්න…

හදිසියෙම මගේ ගමන නතර වුණේ ඉස්සරහා හරියටම පාර මැද්දේ හිටිය පුළුන් ගුලියක් වගේ සුදු හා පැටියෙක් නිසයි… මාව දැකලා කලබල වුණු ඌ මල් වැටෙන් පැනලා දුවන්න තියා ගත්තා… ඌ පස්සෙන් ටික දුරක් එළවගෙන ගිය මම නතර වුණේ ලොකු, පොඩි හාවෝ ගොඩාක් පිරිවරාගෙන ඉන්න වයසක මනුස්සයෙක් ඉස්සරහා…

“හෙහ් හේ… පොඩි වුණාට මූ චණ්ඩියා… අනිත් අය වගේ නෙමෙයි ඈතට යන්න බය නෑ…”

ඔහු කිව්වේ තමන් ගාවට දුවගෙන ආව හා පැටියා තුරුළට ගන්න ගමන්…

“වාඩි වෙන්න…”

ඔහුට තිබුණු මෘදු නමුත් තියුණු හඬක්… සේද වගේ සිනිදු රෙදි වලින් හැදුනු  සුදෝ සුදු ලෝගුවක් වගේ ඇඳුම මුළු ඇඟම වසාගෙන තිබුණා… දිගට වැවුණු  සුදෝ සුදු රැවුලත් කොණ්ඩයත් ඔහුගේ මහළු පෙනුම වැඩි කළත් ඒ මැදි කරගෙන තිබුණ ඇස් වල නම් තිබුණේ අසාමාන්‍යය තරුණ ගතියක්… එහෙමට කියලා අව් රස්නයක් තිබුනේ නැතත් හොඳට වැඩුණු ආගන්තුක තල්ගහක් සෙවනේ තිබුණු ගල් බංකුවක් මත ඔහු වාඩිවෙලා හිටියා…

“මම මේ කොහෙද ඉන්නේ…?”

මම ඇහුවේ ඔහු පෙන්නපු ගල් බංකුවේ වාඩිවෙන ගමන්… රළු වුනත් ඒ ආසනේ තිබුණේ හරි සුවයක්…

“ඔයා ඉන්නේ මෙතන…”

“මෙතන…??”

“ඔව්… මීට මොහොතකට කලින් ඔයා හිටියෙ මෙතන නෙමෙයි… මින් ටික වෙලාවකට පස්සෙත් ඔයා ඉන්නේ මෙතන නෙමෙයි… හැබැයි මේ මොහොතේ නම් ඉන්නේ මෙතන…”

“ඒක හරි අපූරු උත්තරයක්…එහෙම නෙමෙයි… ඇත්තටම් මේ කොහෙද..? දිව්‍යලෝකේද..?”

“හෙහ් හේ… කැමති දෙයක් හිතාගන්නකෝ…තිබහද..?”

ඔහු කිව්වේ ඔලගුවක් වගේ මල්ලකින් දම්පාට දියරයක් පිරුණු පුංචි බෝතලයක් එලියට ගන්න ගමන්… මට එහෙමට තිබහක් තිබුණේ නැතත් ඒ බීම ජාතිය බොන්න ආසාවක් ඇතිවුණා..

“ටිකක්…”

මම කිව්වා…

ඒ ඔලගුවෙන්ම විශාල කෝප්ප දෙකක් ගත්ත ඔහු ඉන් එකක් අර බීම ජාතියෙන් පිරෙව්වා… අර තරම් පොඩි බෝතලයකින් එච්චර ලොකු කෝප්පයක් පුරවලත් බෝතලෙන් තුන්කාලකට වඩා ඉවර නොවුණු එක ගැන මට දැණුනේ පුදුමයක්… ඉන්පස්සේ අනිත් කෝප්පයත් ඉතිරි බීම ටිකත් ඔහු මට දික්කලා… මම කෝප්පයට  බීම ටික පුරවන්න ගත්තත් කෝප්පයෙන් කාලක්වත් පිරෙන්න කලින් බෝතලේ  ඉවර වුණා…

“ඉවරයි…”

මම කිව්වේ අසරණව…

“කොහොමද ඉවර වුණේ…?”

ඔහු පුදුමයෙන් ඇහුවා…

“ඔයා දෙනකොටත් බෝතලෙන් බාගෙකටත් වඩා ඉවර වෙලානේ තිබුණේ…”

“ඒක තමයි ප්‍රශ්නේ… ඉවරවුණු ප්‍රමාණය ගැන දුක් වෙන්න එපා ඉතිරි ප්‍රමාණය ගැන සතුටුවෙන්න… එතකොට කවදාවත් ඉවර වෙන්නේ නෑ… ”

“ඉතින් එහෙනං මේ ඉවරවුණේ..?” මම කිව්වේ නොරිස්සුමකින්…

ඔහු බලාපොරොත්තු කඩවුණ විලාසයකින් ඔළුව දෙපැත්තට වැනුවේ හරියට තමන් කියලා දුන්න දෙයක් තේරුම්ගත්තේ නැති සිසුවෙක් දිහා බලන ගුරුවරයෙක් වාගේයි…

“සොරි සොරි වැරදුනා… යාන්තම් බින්දු දෙකතුනක් අඩියේ ඉතුරු වෙලා තියෙනවා තමයි ඉතින්…” මම එහෙම කිව්වම ඔහු සතුටින් හිනාවුණා…

“එහෙනම් ඉතින් ඒක වක්කරන්න…”

ඔහු කියද්දී මම බෝතලය කෝප්පෙට ඇල කලා… කෝප්පය පිරෙන්නම ඒ දියරය ගලාගෙන එන හැටි මම බලාගෙන හිටියේ පුදුමයෙන්… ඒ පානයේ තිබුණේ මම මීට පෙර කවදාවත් නොවිඳි රසයක්… හරියට ලෝකාස්වාදයෙන් මිදුණු රසයක් වාගේ…

“මේක හරි රසයිනේ… මේ අමෘතයවත්ද..?” මම ඇහුවේ දෙගිඩියාවෙන්…

“හෙහ් හේ… කැමති දෙයක් හිතාගන්නකෝ…”

“මේ නම් අමෘතය තමයි වගේ… මම දැන් අමරණීය වෙයිද..?” මට දැනුනේ ලොකු සතුටක්…

“හෙහ් හේ… අමෘතය බොන්නේ නැතුවත් අමරණීය වෙන මිනිස්සු ඉන්නවා…” ඔහු කිව්වේ හිනා වෙවී…

ඒ අමුතු පානය බිබී මම වට පිට බැලුවේ මේ අපූරු මනුස්සයා ගැන පුදුමයෙන්… ඔහු වටා තිබුණේ පුදුමාකාර දිව්‍යමය ජීවයක්…  ඔන්න එකපාරම සිදුවුණේ හරි අපූරු දෙයක්… ඔහුගේ කොප්පයෙන් දුන් දියර ස්වල්පය පානය කරමින් හිටි හාවෙක් ඔහුගේ ඇකයෙන් මිදී දිවගොස් පසෙකින් සිටි හාවියක් හා රමණය කරන්නට වුණා… මට හිනාවක් ගියා…

“ඇයි..?”

ඔහුටත් හිනා…

“මට ප්ලේබෝයී මතක් වුණා… ඒකේ ඉන්නෙත් සුදු හාවෙක්…”

මම එහෙම කියද්දී ප්ලේබෝයි කියන්නේ මොකද්ද කියලා ඔහු අහාවියැයි මට සිතුනත් ඔහු මහ හඬින් හිනා වුණා පමණයි…

“හෙහ් හේ… ඒකත් හැබෑව…”

“කොහෙන්ද මෙච්චර හාවෝ..?”

මම ඇහුවේ ඔහු වටේ දුව පැන ඇවිදින හාවෝ කීදෙනෙක් ඉන්නවාදැයි ගනින්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින්…

“එක එකා එකතු වුණා… මටත් නොදැනිම… ඒක නෙමෙයි මොකද්ද ඔයාගේ නම කිව්වේ..?”

“මම නම කිව්වේ නෑ…”

“එහෙනම් ඉතින් දැන් කියන්නකෝ…”

“මම බීට්ල්… ඔයා කවුද..?”

“මම බීට්ල් නෙමෙයි… හෙහ් හෙහ් හේ…”

ආයෙත් අර හිනාව…

“ඉතින් බීට්ල් මොකද කරන්නේ…” ඔහුගේ ඊළග ප්‍රශ්නය…

“මම ඇවිදගෙන යනවා…”

“කොහෙටද..?”

“හරියට දන්නේ නෑ…ම්..ම් ..ඉස්සරහට… ඔයා මොකද කරන්නේ…”

“මම නැවතිලා ඉන්නවා…”

“මටත් ආසයි නවතින්න… මට පුළුවන්ද මෙතන නවතින්න…?”

“ඇයි ඒ මෙතනම..?”

“මෙතන හරි ලස්සනයි…”

“ලස්සන තැන් වල නවතින්න යන්න එපා… නවතින හැමතැනම ලස්සන කරන්න උත්සාහකරන්න…”

ඔහු කිව්වේ එක එල්ලේම මගේ ඇස් දෙක දිහා බලාගෙන… මම ඔහුට එකඟ බව පෙන්නන්න ඔලුව වැනුවා… මුළු පරිසරයෙම තිබුණ මීදුම ඒ වෙනකොට තුනී වෙලා ගිහින් තිබුණ නිසා වඩාත් පැහැදිලිව අවට පෙනෙන්නට තිබුණා… අපි ඇත්තටම හිටියේ මුහුදු වෙරළක් සමීපයේ…

“අර බලන්න අර අරහේ… මොකද්ද පේන්නේ..?”

ඔහු කිව්වේ ඈත ක්ෂිතජයට ඇඟිල්ල  දික්කරන ගමන්…

“නැවක්…”

මම කිව්වා…

“ඒ නැව දැක්කම ඔයාට මොනාද හිතෙන්නේ..?”

“ගොඩක් දේවල් හිතෙනවා… ඒකේ යනවා ඇති ආදරයෙන් වෙළුනු ප්‍රේමවන්තයෝ… සමහරවිට ඒ ප්‍රේමවන්තයන්ටත් වැඩියෙන් ආදරේ කරන  අනියම් පෙම්වතුන්… සමහරු  බොරුවට ආදරේ බව පෙන්නනවා ඇති… එතකොට දරුපවුල වෙනුවෙන් වෙන රටක රස්සාවක් හොයාගෙන යන මිනිස්සු ඒකේ ඇති… අවිනිශ්චිත බලාපොරොත්තු පිරුණු මූණු… ඒකේ යනවා ඇති සොල්දාදුවෝ… හොරු… පොකට් කාරයෝ… එකිනෙකාට ඊරිසියා කරගන්න නෝනාවරු… හොර සිල් මවාපාන පූජකයෝ… උඩතට්ටුවේ යනවා ඇති දේශපාලකයොත්… ලයිට් ඕෆ් කරලා තියෙන්නේ උන් නැවේදි හිතගත්ත තරුණියෝ හොයාගෙන නිදියනවා ඇති… හොර යක්කු… අනිවාර්යෙන්ම මියුසික් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා ඇති… මිනිස්සු  නටමින් ප්‍රීතිවෙනවා ඇති… පිස්සුවෙන්… මාන්නක්කාර මහත්තුරු දිස්නේ දෙන ඇඳුම් ඇඳගෙන…  සංගීත තාලෙට පාද තියමින් රූමත් තරුණියොත් එක්ක නටනවා ඇති… රාගයෙන් පිරුණු ඇස්වලින් එකිනෙකාගේ කැමැත්ත විමසනවා ඇති… ඔය වගේ ගොඩක් දේවල් හිතෙනවා…. තව ඕනිනම් කවියකුත්…”

“මොකද්ද කවිය…”

“නැඟෙන යළි බිඳෙන කඳුලු රළ මතින…
පැතුම් සුභ සිහින සුළං රුවල කර…
එකින් නික්ම තව නැවතුම්පලකට…
සසර සයුර මත ඇදෙමු බෝ දුරක…“

“හෙහ් හෙහ්… මම කවි වලට එච්චර ආසා නෑ… හැබැයි මේ කවියට නම් ආසයි…”

ඔහු සැහැල්ලුවෙන් කිව්වා…

“හොඳයි ඔයාට  මොනාද හිතෙන්නේ ඒ නැව දැක්කාම..?”

මම ඇහුවේ ඔහු දෙස විමසිල්ලෙන් බලන ගමන්...

“මට හිතෙන්නේ එකම එක දෙයයි…”

“ඒ මොකද්ද..?”

“තව ටිකක් ඔහොම ඉස්සරහට ඇදීගෙන යද්දී අර පසුබිමේ බැහැගෙන යන ඉරත් එක්ක ඒ නැව හරි ලස්සනට පෙනෙයි…”

“හැබෑව තමයි මම ගොඩක් දේවල් හිතුවා… ඒත් ඒක ගැන හිතුවේ නෑනේ… ‘ලස්සන’…”

මම කිව්වේ කණගාටුවෙන්…

“ඔව්… ‘ලස්සන’… ඒක ගැන විතරක් හිතුවත් ඇති…”

ඔහු ස්ථිර හඬකින් එහෙම කියද්දී මම මොහොතින් මොහොත අලුත් වෙන  ප්‍රසාදයකින් ඔහු දෙස බලාගෙන හිටියා… ඔහු තවමත් තමන්ගේ තියුණු ඇස් පුංචි කරගෙන දියඹ දෙස නෙත් යොමාගෙන…

“ඔයා ජීවිතේ ගැන මොනවද දන්නේ…?”

ඒ ප්‍රශ්ණය මගෙන්…

ඔහු ටික වෙලාවක් නිහඬව ක්ශිතිජය දිහා බලාගෙන හිටියේ හරියට මගේ ප්‍රශ්ණය නෑහුණා වාගෙයි… ඒත් ඉන් ටික වෙලාවකට පස්සේ මට පිළිතුරු දෙනවා වෙනුවට , ඔහු මගෙන් නැවතත් ප්‍රශ්ණයක් ඇහුවා…

“ඔයා මොනවද ජීවිතේ ගැන දන්නේ...?”

“ගොඩක් දේවල් දන්නවා…”

“ගොඩක් කියන්නේ? කොච්චරක් විතරද?”

“ගොඩක් කියන්නේ හරි ගොඩක්… ඒත් ඔයා මට වැඩිය දේවල් ජීවිතේ  ගැන දන්නවා ඇති..?”

මම එහෙම කිව්වේ ඔහුගේ වයස ගැන හිතලා…

“මම එහෙම ගොඩක් දන්නේ නෑ…”

“ගොඩක් දන්නේ නෑ..?”

“නෑ…. හරියටම කිව්වොත් මම දන්නේ දේවල් දෙකයි…”

“දෙකයි…????”

මට පුදුම හිතුණා… මෙච්චර වයසට ගිය මනුස්සයෙක්… දන්නේ දේවල් දෙකයි කියන්නේ…

“ඔව් දෙකෝම දෙකයි…”

“මොනවද ඒ දෙක..?”

“මම දන්නවා ජීවත් වෙනකොට ජීවත් වෙන්න ඕනේ විදිය… ඒක එකක්… දෙවනි එක තමයි මම දන්නවා කවදාහරි මැරෙනෙකොට මැරෙන්න ඕනේ විදිය… එච්චරයි…”

“හරි අපූරුයිනේ… මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ…”

“දැනගෙන හිටියේ නෑ නෙමෙයි… දන්න බව දැනගෙන හිටියේ නෑ…. එහෙම නේද..?”

“ඔව්… හරියට හරි…”

ඔහු සමඟ ගතකරන හැම මොහොතක්ම අලුත් අත්දැකීමක්… හරියට ලස්සන පොතක් කියවනවා වාගෙයි මට හිතුණා… දිගින් දිගටම කතාකරමින් ඉන්න ආසා වුණත් මොකද්දෝ නොපෙනෙන බලවේගයකින් මට පිටත් වෙන්න විධානය කරනවා වාගෙයි මට දැනුනේ… මම ඒ විධානයට අවනත වුණා…

“මම දැන් යන්න ඕනේ…”

මම කිව්වේ අඩියේ ටිකක් පිරුණු අර අමෘතය වගේ බීම කෝප්පය ඔහුට ආපහු දෙන ගමන්…

“හොඳයි…නවතිනකල් යන්න…”

මේ අපූරු මනුස්සයව මට නැවත හමුවෙන එකක් නැද්ද? මම හිතුවා… ගතවුණු සුළු කාලය අපිව සමීප කලේ හරි පුදුම විදියට… එකිනෙකා ගැන පුද්ගලික දේවල් දන්නේ නැති වුණත් අපි ගොඩක් දේ කතාකරලා තිබුණා… ජීවිතය වගේ සංකීර්ණ දේවල් පවා… ඔහු ජීවත් වුණේ අසාමාන්‍ය සතුටකින්… හරියට දුක කියා දෙයක් අහලාවත් නෑ වාගෙයි… සමුගන්න පෙර මම අවසන් ප්‍රශ්ණය ඔහුගෙන් ඇසුවා…

“යන්න කලින් මට එක දෙයක් කියන්වද..?”

“මොකද්ද…?”

“ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නේ..?”

මම එහෙම ඇහුවම ඔහුගේ මුවඟ නිරන්තයෙන්ම නැගී තිබු සිනහව තවත් ඔප වැටුනා…

“ඒක හරි සිම්පල්… මම දුකින් ඉන්නේ නෑ…”

“මොනවා…?”

“ඔව් සතුටින් ඉන්න රහස ඒකයි… දුකින් ඉන්නේ නෑ…”

“ඒත්… එහෙම කරන්න පුළුවන්ද..?”

“ඇයි බැරි…? මීට කලින් කරලා බලලා තියෙනවද..?”

“නැහැ…”

“එහෙනං මං කියනවට කරලා බලන්න… මතකනේ… දුකින් ඉන්න එපා… හැම මොහොතක්ම සතුටින් හිනාවෙලා ඉන්න…”

ඔහු හිනාවෙන්ම මට සමුදුන්නා… හිටිහැටියෙම අර මීදුම ආයෙත් පරිසරය පුරාවට අරක්ගෙන… ඉදිරිය පැහැදිලි නැතත් මම පිටත් වෙන්න තීරණය කලා… ඔහු මට කෑගහලා කතාකලේ මම ටික දුරක් ඉදිරියට ගියායින් අනතුරුවයි…

“බීටලේ…!”

සාමාන්‍යෙන් මට එහෙම කතා කරන්න පුරුදුවෙලා හිටියේ මගේ හොඳම යාලුවෝ… මම ගැස්සිලා ඔහු දිහා හැරිලා බැලුවා…

“බලාගෙන යන්න… ඊළඟ වංගුවේ චාරුලතා..!… හෙහ් හෙහ්…”

එහෙම කියපු ඔහු මහ හඩින් හිනාවුනා…

කිහිප වතාවක් අහලා තිබුණු ඒ වාක්‍ය මට ආගන්තුක නැහැ… මීට කලින් ඔහොම කියනවා මට ඇහිලා තිබුණේ එක්කෙනයි…  ඒක අහපු ගමන් මට බකස් ගාලා හිනා ගියා… ඉතින්  අපි දෙන්නම නොනවත්වා හිනාවෙන්න ගත්තා… ඇස්වලින් කඳුලු එනකල්…

ඒ හිනාව අතරින්ම තමන් බොමින් හිටි කෝප්ප්ය ඔසවා ඔහු මට සමුදුන්නේ හරියට චියර්ස් කියන්නා වාගේයි…

“චියර්ස්…”

මගේ කටින් එහෙම පිට නොවුණේ උගුරේ මොනවා හෝ හිරවී ඇත්තාක් මෙන් දැනුන නිසයි… මම කොට්ටය ඇඳවිට්ටමට තබා ඉහළට එසවුණා… ඔහුවත් ඒ පරිසරයවත් තවත් මා අවට තිබුණේ නැහැ… නමුත් එක දෙයක් ඉතා පැහැදිලිව මගේ දෙසවන් පුරා දෝංකාරය දෙමින් තිබුණා…

“මතකනේ… දුකින් ඉන්න එපා… හැම මොහොතක්ම සතුටින් හිනාවෙලා ඉන්න…”

මතකයි… කවදාවත් අමතක වෙන එකකුත් නෑ… මම මටම කියාගත්තා…

පිංතූරය : http://tinyurl.com/bt8k7zp
Web Statistics