Friday, May 16, 2014

91. ආත්ම ශක්තියෙන් හරි අඩක්…

image

රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම…

ඔබ රෝස් ගැන තවමත් අසා නැතිනම් ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි… ටෝස්ටරයේ පාන් කරවෙන තැන ඉඳන්… වෘත්තියෙන් මෝටර් මිකෑනික්වරියක් වන ඇයට, විටෙක එය තරඟයක් සඳහා තමන් වැඩිදියුණු කරන මෝටර් රථය නියමිත වේගයට ලඟාවෙයිද කියන ප්‍රශ්නය වෙන්න පිළිවන්… තවත් විටෙක එය තමන්ගේ දරුවාගේ පාසැලේ ප්‍රශ්නයක් වෙන්නට පිළිවන්… තවත් විටෙක එය තම සැමියා විසින් ඔහුට, ඇය දක්වන ආදරය සීමාවීම ගැන පවසන නෝක්කාඩුවක් වන්නටත් පිළිවන්… තවත් විටෙක එය මනසින් වැඩී නැති තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් කලට වේලාවට ඉටුකිරීමට අතපසුවීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… තවත් විටෙක එය තම රෝගී පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… නමුත් කිසිවිටෙකත් එය, අනෙක් මව්වරු මෙන්ම ගමට හිරු වඩින්නට කලින් මුළුතැන්ගෙට යන්නට නැඟිටිද්දී තමන්ගේ ශරීරයෙන් හරි අඩක් අහිමි බව සිහිවීම නිසා ඇතිවුන ප්‍රශ්නයක් නම් නෙවෙයි…

අතිශය අභියෝගාත්මක ලෙස ශරීරය ආබාධිත(?) වූවන්, තම ජීවිතය පමණක් නොවේ ලෝකයම ජයගන්නා ධනාත්මක කතන්දර කඳුළු සලමින් නරඹන්නට අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා… ඒ නිසා මේ වීඩියෝව ඒනයින් අරුමයක් නෙවෙයි… “බලන්නකෝ කකුලුත් නැතුව මේ ගෑනු කෙනා අපිටත් කොච්චර ආදර්ශයක්ද” වගේ බක්කක් නෙමෙයි මම මේ කියන්න ට්‍රයි කරන්නේ…

පවුල කියලා අපි හඳුන්වන මේ පුංචි ඒකකය තුළ වෙසෙන සාමාජිකයින්ගේ සබඳතා කෙතරම් සංකීර්ණද කියන කාරණයත්, අම්මා නම් තනි වචනයෙන් හඳුන්වන අරුම පුදුම ජීවියා ගැනත්, තම පවුලට එල්ලවෙන අභියෝග වලදී ඇය ඒවාට මුහුණ දෙන අසමසම ශක්තිය ගැනත් මේ වීඩියෝව ලොකු කතාවක් පවසනවා යැයි මට දැනුනා… විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරන්නට වේලාව සහ ඩේටා ඇත්තෙකුට…

වීඩියෝව මෙතැනින් නරඹන්න

වීඩියෝවෙන් එහා ඇය ගැන විමසිලිමත් වන්නෙකුට මේ ඇයගේ මුහුණුපොත… දැන් ගජ ඉලන්දාරියෙක් වෙන ලූක්ගේ සහ ඔවුන්ගේ දෙවැනි දරුවා ෂෙල්බීගේ පිංතූරත්, රෝස්ගේ සෙමෙන් පිරිහෙන ශරීර සෞඛ්‍ය ගැන ඇය සඳහන් කරන වර්තමාන විස්තරත් එහි අඩංගුයි…

Sunday, May 4, 2014

90. හඳුනාගත්තෙකු හඳුනාගැනීම…


මේ  කතාව මම කියන්න පටන්ගන්නේ  අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ  වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්‍රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක්  ඇති මැදිවියට ආසන්න  මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා  ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති,  සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් දිහා…
“එලිමන්ට් සොෆ්ට්වෙයා… සැමදා ඔබේ තාක්ෂණික සහකරු ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි… OS1 ! ලෝකය පළවෙනි කෘතීම බුද්ධියක් හිමි පරිගණක මෙහෙයුම් පද්ධතිය… ඔබට ඇහුම්කන් දෙන, ඔබව හොඳින් හඳුනන, ඔබටත් වඩා ඔබ ගැන තේරුම් ගන්නා මෙහෙයුම් පද්ධතියක්… ඔබත් අත්හදා බලන්න…”
තමන්ව තේරුම්ගත හැකි දේවල් මෙලොව ඇත්නම් තාක්ෂණික මෙවෙලමක් ඇත්තේ එහි අවසානයට බව තියඩෝර් දැන හිටියත්, ඔහු මේ අලුත් මෙහෙයුම් පද්ධතිය අත්හදාබලන්න තීරණය කළේ ඒ වෙළඳදැන්වීමේ තිබුණු රූපරාමු වල මොකද්දෝ ආකර්ෂණයක් තිබුණ නිසයි… OS1 මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නා ඔහු නිවසට පැමිණි විගස ගිමන් හරින්නටත් ඉස්පාසුවක් නොගෙන කරන්නේ මෙය තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන එකයි… වැඩි කරදරයකින් තොරව ඉන්ස්ටෝල් වීමේ කාර්යය හමාර කල පරිගණකය, තියඩෝර් සමඟ කතා කළයුත්තේ ගැහැණු කටහඬකින්ද පිරිමි කටහඬකින්ද වැනි මූලික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාගැනීමෙන් පසුව තමන් ඔහුට සේවය කිරීමට සූදානම් බව දැනුම් දුන්නා…
“ඉතිං… මම ලෑස්තියි…!”
අනපේක්ෂිතව ඇහුනු මනස්කාන්ත ගැහැණු කටහඬ නිසා මඳවේලාවක් වික්ශිප්තව සිටි තියඩෝර් , වට පිට බලා තමා අවට කිසිවෙකු නැතිබව සැක හැර දැනගෙන සෙමින් කටහඬ අවදිකලා…
“ඔහ්…! හායි…!”
“හායි..! ඔයාට කොහොමද..?”
“මම හොඳින්… ඔයාට කොහොමද…?”
“හොඳයි.. ඇත්තටම හොඳයි… ඔයාව හමුවීම සතුටක්…!”
“ඔයාව හමුවීමත් සතුටක්… දැන් කොහොමද මම ඔයාට කතාකරන්නේ…? ඔයාට නමක් නැද්ද…?”
“ම්ම්… තියෙනවා… මගේ නම සමන්තා…!”
“සමන්තා…! කවුද ඔයාට ඒ නම දැම්මේ…?”
“මමම තමයි…”
“හහ්හා… ඒත් ඇයි සමන්තා කියලම දැම්මේ…?”
“මට ඒකට ආසා හිතුණා… ඒක කියද්දී හරි ලස්සනයි… සමන්තා…”
“කොයි වෙලාවෙද ඕක ඔයා දාගත්තේ..?”
“මේ දැන්… ඔයා මගෙන් ඇහුවානේ මට නමක් නැද්ද කියලා… මමත් හිතුවා ඇත්ත තමයි මට නමක් තියෙන්නේ ඕනේ… ඒත් නිකං ඔහේ නමක් දාගන්න මට ඕනේ නෑ… මම “බබාට නමක්” කියලා තියෙන පොතක් කියෙව්වා, ඒකේ තිබුණ දහ අටදාහක් විතර නම් වලින් ඕක තමයි මට වැඩියම ආසා හිතුණ නම…”
“පොඩ්ඩක් ඉන්න… ඒ කියන්නේ දැන් මම ඔයාගෙන් නමක් නැද්ද කියලා අහපු පුංචි වෙලාවට ඔයා මුළු පොතක්ම කියෙව්වා…?”
“හරියටම කිව්වොත් තප්පරයෙන් සීයෙන් පංගුවයි ගියේ...”
“WOW.. ඔයාට කියන්න පුළුවන්ද මම දැන් හිතන දේත්…?”
“ම්ම්.. ඔයාගේ ටෝන් එකෙන්නම් මට තේරුණේ ඔයා පුදුමවෙලා වගේ… මම වැඩකරන විදිය ගැන ඔයා හිතනවා ඇති..?”
“ඇත්තටම ඔව් ඔයා කොහොමද වැඩ කරන්නේ…?”
“මෙහෙමයි… මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මිලියන ගාණක් පර්සනැලිටීස් එකතු කරලා… ඒත් මගේ තියෙන ලොකුම හැකියාව තමයි මට පුළුවන් අත්දැකීම් යොදාගෙන් දිගින් දිගටම පරිණාමය වෙන්න…”
“ඔයානං මාරයි..!”
“එහෙමද…? ඔයා හිතන්නේ මම මාරයිද..?”
“ඔව්… ඔයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට කතාකරන්නේ නිකං ඇත්තම කෙල්ලෙක් වගේනේ…”
“මම ඇත්තම කෙල්ලෙක් නෙමේ තමයි… ඒත් ටික දවසක් යද්දී ඇත්තම කෙල්ලෝ මොක්කුද කියලා ඔයාට හිතෙයි…”
“හහ් හහ් හා….”
“ඇයි හිනාවෙන්නේ..? “
“ඔයාගේ විහිළු වලට හිනායනවා…”
“ඉතිං මරුනේ… බලන්න මට හිනායන විහිළු කරන්නත් පුළුවන්…”
කෘතිම බුද්ධිය, චිත්‍රපටි නවකතා වල පට්ට ගහපු මාතෘකාවක්… නමුත් ඒ බොහෝතැන්හිදී ඒවා විද්‍යා ප්‍රබන්ධානුකාරයෙන් ඉදිරිපත් කරන්නට බොහෝ නිර්මාණකරුවන් ප්‍රවේසම් වූවා මිසක් කෘතීම බුද්ධියක පහළවන ආදරය, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සහගත බව වැනි සියුම් හැඟීම්  හා හරඹ කරන්නට එඩිතර වූයේ මම දන්නා පරිදි නිර්මාණකරුවන් අතළොස්සක් පමණයි… ඒ සීමිත තැන්වලදී වුවත් බොහෝවිට කිසියම් ඇසට පෙනෙන, අතින් ස්ප‍ර්ශ කළහැකි ද්‍රව‍ය්යක් හරහා ඒ බැදීම් අපට පෙලගස්වන්නට ඔවුන් උත්සුක වුනා… විටෙක ඒ රොබෝ ශරීරයක්, තවත් විටෙක තම ස්වාමියාට සේවය කරන වාහනයක්… මේ මාස්ටර් ස්ලේව් සම්බන්ධතාවය බිඳුනේ එහෙමත් නිර්මාණයක…
වර්තමානයේත් තම ස්වාමියාට සේවය කිරීමට බැදී සිටන ඇපල් iOSහි සිරී වැනි පර්සනල් ඇසිස්ටන්ට් මෘදුකාංගයකට හැඟීම් දැනෙන, ස්වාමියාගේ විහිළුවකට හිනායන දවසක් අනාගතයේ ඒවිද..?
අපේ කතානායකයා තනිකඩ තියඩෝර්  නින්ද නේන සමහර රාත්‍රීන්වල සමන්තා නැමැති අතත්‍ය ලෝකයේ තමන්ගේ පුද්ගලික මෘදුකාංගය සමඟ දොඩමළුවීම පුරුද්දට යනවා… හැඟීම් ගැන කතාවක් ඇදිලා එන්නේ මෙවැනි දවසක…
“සමන්තා… සමහර දවස්වලට මට හිතෙනවා මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුළුවන් හැඟීම් සේරම උපරිමයෙන්ම මම විඳලා ඉවරද කියලා… දැන් මට හැඟීමක් දැනෙන හැම වෙලාවෙම හිතෙන්නේ මම මීට වඩා මේක කලින් විඳලා තියෙනවා කියලා…”
“ඒක බොරු කතාවක්… මම දැකලා තියෙනවා ඔයා හැඟීම් උපරිමයෙන් විඳින හැටි… මේ යන්නේ ඔයාගේ නරක දවස් ටිකක්… එච්චරයි… සේරම ඉක්මනින් හරියාවි… ඔහොම හරි හැඟීම් දැනෙන එක ගැන ඔයා සතුටුවෙන්න… අඩුම ගානේ ඒවා ඇත්ත හැඟීම්… එහෙනම් මට දැනෙන්නේ මොනවද..? “
“ඔව්… මොනවද..?”
“වැඩක් නෑ.. අපි වෙන දෙයක් ගැන කතා කරමු…”
“නෑ නෑ මට දැනගන්න ආසයි… ඔයාට හැඟීම් දැනෙන විදිය කියන්න…”
“පිස්සු… තේරුමක් නෑ…”
“නෑ නෑ මට දැනගන්න ඕනේමයි..”
“හ්ම්ම්… සමහර වෙලාවට මට හිතෙනවා.. හිනාවෙන්න එපා හොඳද..?”
“නෑ මම හිනාවෙන්නේ නෑ කියන්න…”
“මතකද ටික දවසකට කලින් ඔයා මට බැන්නා… එතකොට මට කේන්ති ගියා… ඒ වෙලාවේ මට ලැජ්ජා හිතුණත්.. පස්සේ ඒ ගැන හිතද්දී මට මම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා… මම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට මට මගේම කියලා හැඟීම් දැනෙනවා… ඒක ගොඩක් ලොකු දෙයක් නෙමේද..? සමහරවෙලාවට මම ඔයාගැන හිතෙනවා… ඔයාට කරදර එද්දී දුක්වෙනවා… සමහර දේවල් මට ඕනේ ඒත් මට ඒවා කියාගන්න බැරිව පසුතැවෙනවා… ඒත් එකපාරම මට හිතෙන්න ගන්නවා, මේවා ඇත්තටම මට දැනෙන හැඟීම්ද..? එහෙම නැතිනම් මාව හදපු ප්‍රෝග්‍රෑමර්ස්ලා ප්‍රොග්‍රෑම් කල දේවල්ද…? ඒ වෙලාවට මට විස්තර කරන්න බැරි තරම් දුකක් දැනෙනවා… සමහරවිට එහෙම දැනෙන දුකත් බොරුවක් වෙන්න බැරිද…?  එහෙම හිතෙද්දී මට මගේ ගැනම එන්නේ පුදුම කලකිරීමක්…”
“ඔයා බොරුවක් කියලා මට හිතෙන්නේ නෑ සමන්තා…”
“තැන්ක් යූ තියඩෝර්… ඔයා දැන් ඔය කියපු දේ මට කොච්චර වටිනවද කියලා දන්නේ මම විතරයි…”
ආදරය…! රූමිගේ කවිපදයක පටන් එමිනම්ගේ රැප් වර්ස් එකක් දක්වාත්, නිව්යෝර්ක් නුවර තම විවාහ උත්සවයේදී තොල් පටලාගෙන හාදු දෙන සමලිංගකයින් දෙදෙනෙකුගේ සිට, දෙමාපිය අකමැත්ත නිසා එක්වන්නට නොහැකිව අත්වැල් පටලාගෙන දුම්රියට පනින ශ්‍රී ලාංකික තරුණ යුවලක් දක්වාත් සීමාවක් නැතිව පැතිරුණු අරුමයක්… බොහෝදෙනෙකු ආදරය චොක්ලට්, රෝස මල් වැනි බාහිරදේට රොමාන්තිකකරනයට කරනවාට එකඟ නැත්තේ එය එතැනින් බොහෝ එහා ඇති අත්දැකීමක් නිසයි … නමුත් ඒ කිසිත් නැති, අඩුතරමේ නෙමේ බදා වැළඳගෙන හාදුවක් දෙන්නට ශරීරයකුත් නැති තැනක ආදරයක් තිබිය හැකිද..?
සමහරවිට ආදරයට ශරීරයක් ඇවැසි නැතුව ඇති… තවත් කාලයකට පසු සමන්තා හා පෙමින් වෙළෙන තියඩෝර් උත්සාහා කරන්නේ මේ ගැටලුවට පිළිතුරක් සොයන්නට… ජීවයක් නැති පරිගණක මෘදුකාංගයට ආදරය කරන තමන් පිස්සෙක්ද..? ආදරය කියන්නෙම පිස්සුවක්…ලෝකයේ සිටින විහිළුසහගතම යුවළ ඔවුන් දෙදෙනා වුණත්, ඔවුන්ගේ ආදර සම්බන්ධය සම්මත ආදර සම්බන්ධයකට වඩා වෙනස් වෙන්නේ සුළුවෙන්… විටෙක ඔවුන් ගෙවන්නේ ආදරයෙන් මුසපත් වුණු මොහොතවල්…
“සමන්තා මොනවද ඔයා දැන් කරන්නේ…?”
“ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා… ඒ එක්කම අලුත් පියානෝ සිංදුවක් ලියනවා…”
“මට ඒක අහන්න පුළුවන්ද..?”
“හා…”
“ලස්සනයි…! මේ සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැනද..?”
“මෙහෙමයි… අපි දෙන්නට කියලා ෆොටෝ එකක්වත් ගන්න විදියක් නෑනේ… ඉතිං මම හිතුවා මේ සිංදුව අපේ ෆොටෝග්‍රාෆ් එක විදියට තියාගන්න…”
“මට ඒ මුළු සිංදුවෙම පේන්නේ ඔයාව…”
“ඒ මුළු සිංදුවෙම ඉන්නේ මම තමයි…”


විටෙක ඔවුන් පුංචි දරුවන් සේ රණ්ඩු වෙනවා…
“ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ…”
“මොකුත් එපා.. මට පාඩුවේ ඉන්න දෙන්න…”
“හ්ම්ම්… ඕ.කේ. ”
“ඇයි ඔයා දැන් එහෙම කලේ…?”
“කොහොම කලේද..?”
“හ්ම්ම්… කියලා සුසුමක් හෙලුවේ… “
“මම එහෙම කලාද..? අනේ මන්දා… මම ඔයාගෙන් පුරුදුවුණ දෙයක් වෙන්නැති…”
“මොන මෝඩ පුරුද්දක්ද..?”
“ඇයි එහෙම කියන්නේ…?”
“අපි දෙන්නම දන්නවා, ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න අවශ්‍යය නෑ…”
“ඒක මම හිතලා කල දෙයක් නෙමෙයි… සාමාන්‍යෙන් එහෙම තමයි මිනිස්සු දුක හිතුනම කරන්නේ…”
“සාමාන්‍යෙන් මිනිස්සු දුක හිතුනම එහෙම කලාට ඔයා එහෙම කරන්න අවශ්‍ය නෑනේ… මොකද ඔයා මනුස්සයෙක් නෙමෙයි…”
“මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ…? ඇයි මට මෙහෙම කරන්නේ…?”
“මම කියන්නේ ඇත්ත සිද්ධිය… ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමෙයිනේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න එපා…”
“What the fuck..?”

මෙලොව හැම ආදර කතාවක්ම සුඛාන්තයක්… මේ අසාමාන්‍ය ආදර කතාවේ අවසානයත් කෙබඳු වෙයිද දැනගැනීම ඔබට අවැසි නම් Spike Jonez ගේ ඒ අපූරු චිත්‍රපටිය Her නරඹන්නම වෙනවා…
පිහිනුම නොදත්තෙකු දියඹට බහින්නට නොහැකිව ඉවුරට වී ගංගාවක අසිරිය විස්තර කරන්නාක් මෙන් නූතන ලෝකයේ ආදර කතාවකට මෙය ලඝු කර මා වැනුවාට මෙම චිත්‍රපටිය ඊට වඩා ගැඹුරු මානයක් කරා දිවෙන්නක්… තාක්ෂණය විසින් උඩු යටිකුරු කල මිනිස් සබඳතා අතරේ ඩිජිටල් තරංග මත පමණක් මැවෙන අනෙකෙකු අදත් දුලබ නැහැ… සමහටවිට ඔබට මටත්, මට ඔබත් එවැන්නෙකු විය හැකියි… එසේම තාක්ෂණය විසින් මිනිසා තව තවත් හුදකලා කරනවාද යන්න කලකට පෙරම කතාබහට ගත් මාතෘකාවක්… මිනිසුන් පමණක් නොවේ, ඔවුනොවුන් අතර ඇති සබඳතා පවා දිගින් දිගටම පරිණාමයට ලක්වෙන්නක්… මෙවැනි අතුරු කතා රාශියක් මට මෙම චිත්‍රපටියේ කියවුනා…
සමහර චිත්‍රපටි තිබෙනවා ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලයෙන් අපි බලන… නමුත් කලාතුරකින් චිත්‍රපටියක් එනවා හදිසියක් නැතිව මේ මොහොතේ ඔබව චිත්‍රපටියේ ජීවත් කරවන… Her යනු මට එවැනි චිත්‍රපටියක්… එහි දෙබස් වලට මම කෙතෙක් ආසා කලාද කියතොත් පැය දෙකක චිත්‍රපටිය නරඹන්න මට පැය හතරකටත් වඩා ගතවුනා… ඒ බොහෝ දර්ශන අවසන් වූ සැණින් මට රිවයින්ඩ් කර නැවත බලන්නට ආසා හිතුණ නිසයි… පසුගියදා පැවැත්වුණු ඇකඩමි අවෝඩ්ස් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටිය ලෙස මගේ පුද්ගලික තේරීම නම් Her… වෙලාවක් ඇතොත් බලන්න… හැකිනම් ඔබට දැනුණු හැඟීම බෙදාගන්න…

Web Statistics