Thursday, April 7, 2016

116. නිකිණි මේඝයට සනෙහසිනි

Rorykurtz 020092

කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි...

නිකිණි මේඝයට සනෙහසිනි,

සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්, බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි...

ඒ අප බාහිර ලෝකයෙන් වසන්ව එකිනෙකාගේ ඇස් කාච තුළට අනායාසයෙන් රිංගාගෙන ආයාසයෙන් ජීවත් වූ සමයයි... හරි හැටි නමක් නොදන්නා අඩුවක් ගැන මම නිතර මැසිවිලි කීවා නුඹට මතක ඇතැයි සිතමි...

ජනේරු වැහි හතරක වැහි කැටයක් ගානේත්, ගිනිගෙන දැවුනු ගිම්හාන තුනක අව් රැල්ලක් ගානේත් අප සෙවූ ඒ අඩුව අනෙකක් නොව වචන අකුරු නම් ආශ්චර්යය යැයි එදා නුඹ හොඳින්ම දැනසිටි බව මම දැන් අදහමි...

සිතුවිලි නිද්‍රාවෙන් ගල්වෙන තරම් මා පෙලූ ඒ නිහඬතාවය වචන අකුරු වලින් සමනය කලහැකි බව සාහසික ලෙස නුඹ මගෙන්  වසන් කලා පමණක් නොව, නෙතු පියන් වසනා සඳ අපට හොරෙන් අප හදවත් එකිනෙකාට කොඳුරන රිද්මය පවා නුඹට ඇසෙන බව පවසමින් මා මුලා කරන්නටද එඩිතර වූ අයුරු පුදුමාකාරය...

හුදෙක් නුඹේ  හැඟීම් මාත්‍රයක දැවටුනු මුරණ්ඩුකම ගැන විශ්වාසය තැබූ මම නෑසෙන හදවත් රිද්මයක් ගැන සිගරැට් දුම හා ඔට්ටු තබා පැරදුනු රාත්‍රීන් ගනන කොපමණදැයි නුඹ කවදා දැනගනීද...

මගේ සල්ලාලකම ගැන චෝදනා කරන නුඹ විරාගී කවියෙකුගේ උපයෝගීතාවය ගැන ප්‍රශ්න කල අයුරු අමතකද..? ඉන් අධෛයිරයට පත්ව මා ලියූ කවි සියල්ල කීතු වලට ඉරනා විට කවි ඉතිරි කර ඒවායින් විරාගය සූරා ඉවත් කරන්නට නුඹට තුබූ සංයමය ගැන අද මම පුදුම නොවෙමි... ඉරුණු  කවිපද සියල්ල එක යොතක් කොට අඹරා මල පුඩුවක් සාදාගත් මම වෙහෙසකර ලිංගික තිගැස්මක සුරතාන්තයෙන් ආරූඬව නුඹේ දෑස් පියවෙද්දී නුඹේ සිලිටි ගෙල සිරකිරීමට නොයෙක්වර මාන බැලූ බව නුඹ නොදන්නවා ඇති.. එහෙත් ඒ කිසිවිටෙක නුඹේ දෑස් නොපියවීම අහම්බයක් නොවන බව මම දැන් දනිමි...

බක්මහ ගිනියම් පාරජම්බුල උනුසුම කොළඹ පාරක් ගානේ වහින සමයක සිහිකැඳවීම පිනිස අතැරගිය ධවල කානේශන් මල් සුවඳ දිගේ නුඹ ආපසු පැමිනේයැයි සැකයෙන් මම ඒවා ආදරයෙන් රක්ශා කලෙමි... සුලගේ පිපී නැටූ ඒ මල් "ඇද්ද තොට...ඇද්ද තොට..." යන විසුළු රැඟුමෙන් රඟන්නට ගත් පසු ඒ සියල්ල මුලින්ම උදුරා විනාශ කර දමනවා හැර මට වෙනත් විකල්පයක් නොවීය...ඒවා නැවත දළුලා නොවැඩෙන තරමට තලා පොඩිකර දමන්නට මා සමත් වුවද, අදත් මද්දහනේ කොළඹ යද්දී මගේ දිවට තියුනු මලකඩ රසයක් දැනෙනු වළක්වා ගත නොහේ.. එය පහව යනතුරු මම කොළඹ අසංවර අහස උරා බී කට සෝදා කෙල ගසමි...

නුඹව ගිනි උදුනට විසිකිරීමට තරම් මම මෝඩ නොවෙමි...ඒ වහා ගිනි ඇවිලෙන සුළු නුඹේ දහනය ගැන ඇති සැකයකින් නොවේ... අප වෙන්වූ දින පටන් දැවෙමින්ද තැවෙමින්ද දැවී දැවී තැවෙමින්ද ඇවිලෙන නුඹේ ආත්මය නුදුරේම අඟුරු වන බව දන්නා හෙයිනි...

නුඹේ මලගමදා සොහොන් කොතේ නුඹ වෙනුවෙන් මා යමක් ලියූබව නුඹ  නොදන්නවා ඇතැයි සිතමි... නුඹ මියගිය ආදරවන්තයින්ගේ දිනයට පසුදින නුඹේ සැම්සුන් ගැලැක්සි සොහොන් කොතේ මිස්ඩ් කෝල්ස් විසිහතරක් නුඹ වෙනුවෙන් මම ලියා තැබුවෙමි... 

නුඹ එය දුටුවාද මම නොදනිමි...නොදැක්කානම් කියන්න..නෑ...නොකියාම සිටියත් කම් නැත...

මීට 
අගතියට පත්,
කවි නොලියූ කවියා.


ප.ලි. : සිංහල බ්ලොග් අවකාශයේ කලකට පසු කියවූ අපූරු නිර්මාණයක් වන කවි නොලියු කවියාට ලියා තබමි ලිපිය කියවීමෙන් ආතුර වුනු හදවත යථාතත්වයට පත්කරගනු වස් ලියැවුනකි...

සිංහල බ්ලොග් ලොව දිග්විජය කල බස්සීගෙන් පසු එහි නිර්මාණාත්මක ෂානරයට වැදුන සොදුරුතම හෙණ පහර අමාගේ හීන සාප්පුව යැයි හඟිමි...පරිගණක තිරයේ ඉහල සිට පහලට දෑස් ගෙනයන පමාවට නොදනිත් දරුවන් ඇකයෙන් වැටෙන විසල්ගේ අරුම ලිවිල්ලට බ්ලොග් ලොව බොහෝ විසිතුරු සිත්තම් මවන්නට හැකිවේවායි පතමි...


Thursday, March 10, 2016

115. හාදුවක්...



ඉසා උන්තැනම ගල් ගැහුණා... දෙපා ප්‍රාණික වෙද්දී  කොසු මිටට වාරුවුණු ඇය බිමට නැඹුරුවෙලා ආයෙත් ඒක දිහා බැලුවා... මේ පාර හොඳ කල්පනාවෙන්... ඇයට වැරදිලා තිවුනේ නැහැ...

"දෙවියනේ හාදුවක්...!"

ඒත් එක්කම ඇය අතින් කට තදකරගෙන වටපිට බැලුවේ තමන් කියපු දේ අවට කාට හෝ ඇහුනදෝ කියන බියෙන්... 

නිදහස් ස්මාරකයේ රටාවකට හිටවුනු කොන්ක්‍රීට් කණු එකිනෙකාට මුවා වුනේ අනේ අපි ඕවට නෑ කියන්න වගේ... ඒවායේ කොටලා තියෙන මල් ලියකම් බොරු උවමනාවල් මවාගෙන වක ගැහුණු රටා අතරේ තව හැංඟුනා..

හාදුවක් තමයි... ගිනි සැරේට පායාගෙන එන ඉර රස්නේට තවමත් හේබාලා නොගිය, නැවුම්, පිරිසිදු හාදුවක්... කාටදෝ අමතකවෙලා ගිහින්...

"මොන අපරාදයක්ද.. ?"

ඉසා තමන්ටම කියාගත්තා... යූසී එකේ ජොබ්බෙක පටන්ගත්ත දා ඉඳන් හැමදාම උදේට ඇය ස්මාරකේ අතුගානවා වුනත් මේ බැරිවෙලා ගිය හාදුවක් ඇහැගැටුණු පළවෙනි වතාව...

කොස්ස අල්ලගන්න කණුවකට බාරකරපු ඉසා හරිබරි ගැහිලා හාදුව දෝතට ගත්තා... ‍‍‍‍මලක් නෙලාගන්න තරම් සීරුවට...

"අනුන්ගේ හාදුවක්නම් මට ඕනී නෑ කොහොමත්ම..." ඇය කෙඳිරුවා...

"මම මේක අයිතිකාරයට දෙනවා...!"

"අතුගානවද උඹ භාවනා කරනවද...?"

තමන්ගේ පිටිපස්සෙන් ඇහුණු ආරක්ෂක රැකවලුන්ගේ සද්දෙන් කලබල වුන ඉසා හාදුව පිටිපස්සට කරගත්තා.. ඇයට අයිති නැති දෙයක් තමයි...ඒත් හොරකම් කරන අදහසක් නොතිබුණු තමන් මොනවා කියලා හංගන්නද...

"මොකද්ද හංගගත්තේ... පෙන්නපන් බලන්න..?"

ආරක්ෂක රැකවලාගේ විධානයෙන් ඇය මිට මොලවපු අත හෙමින් ලිහිල් කලා...මලක් පූජාකරන තරම් සීරුවට...

ඉස්තරම් හාදුවකට තියෙන්න ඕනේ හැම ලක්ෂනයක්ම නොඅඩුව තිවුණා වුනත්, රැකවලුන් දෙන්නා දිහා බලාගෙන හිටියේ ලෝකේ තියෙන අප්‍රසන්නම දේ දැක්කා වගේ...

"විසිකරපන් ඒක...!"

දෙන්නගෙන් වැඩිහිටි ආරක්ෂක රැකවලා කිව්වා...

"අර මොකටද..?"

මුරණ්ඩු ඉසා ‍‍‍‍පරාජය භාරගන්න සූදානම් වුනේ නැහැ...

"කොහෙන් මේක මෙතෙන්ට ආවද..?"

තරුණ රැකවලා කිව්වා... ප්‍රශ්ණයක් අහනවට වඩා එතැන තිබ්බේ තමන්ටම අඟවගත්ත පසුතැවීමක්...

"තේ වෙලාවේ මම පොඩ්ඩක් උගුර තෙමාගන්න ගිය ටිකට ඕක වෙන්න ඇත්තේ...උඹට මම නැතුව මොකුත් කරගන්න බෑ..."

වැඩිහිටි ආරක්ෂක රැකවලා තරුණයාට බැණ අඬගහන්න තියාගත්තා...

"නෑ වෙලාවේ නෙමෙයි...මේක ඊයේ රෑ දුන්න හාදුවක්... කාටහරි බැරිවෙලා ගිහින්..."

ඉසා කිව්වේ ඔළුව ඇලකරගෙන එක අතකින් හාදුව ආදරෙන් පිරිමදින ගමන්...

"උඹ කොහොමද එහෙම කියන්නේ..?" 

තරුණ රැකවලාට එහෙම අහන්න අවශ්‍යය වුනත් ඊට කලින් අනෙකා කටහඬ අවදිකලා...

"කොහොම වුනත් දැන් ඕක විසිකරපන්..."

"මොන අපරාදයක්ද..?"

ඉසා ආයෙත් කිව්වා...

"මොකද්ද අපරාදේ...? මේක නිදහස් ස්මාරකයක්... අරන් පලයන් මේ හතර මායිමෙන් එහාට ඔය මල ජරාව.."

"මල ජරාව...! ඔහේ දන්නවද හාදුවක් කොච්චර වටිනවද කියලා...?" 

ඉසා කියවාගෙන ගියා,..

"මේ ලෝකේ තියෙන දේවල් සේරම කැත අඩුවෙන පිළිවෙලට එක පෙළට තිව්වොත් ඒකේ මුල් කෙලවරේ ඔහේගේ මොළ ගෙඩියත් අන්තිම කෙළවරේ මේ හාදුවත් තියෙන බව මට විශ්වාසයි ...ඔහේ නොදන්නවා වුනාට මේ පුංචි හාදුවට පුළුවන් ගිනි ගන් ආත්මයක් සීතලෙන් ගල් කරන්නත්, හිම මිදෙන තරම් සීතල හදවතක් ලාවා වගේ දියකරන්නත්...කොටින්ම මේ හාදුව ඔහේට අයිති වුනානම්, ලේ කඳුලක් නැති තමුසෙගේ මරුමුස් මූනට  කවදාවත් නැති තරම් එළියක් වැටෙන්න වුනත් ඉඩ තිවුනා කියලා මට හිතෙනවා..."

අව්වට පිච්චුනු  රැකවලාගේ මූණ කතාවෙන් තවත් කළුවුනා...ඒත් තමන්ගේ කන්පෙති වලට ලේ පිරෙන හැටි ඔහුට දැනුනා...බලාපොරොත්තුවෙන් දිලිසෙන තමන්ගේ ඇස්දෙක හංගාගන්න ඔහුට ලොකු වෙහෙසක් දරන්න වුනා...

"මගේ බල්ලටවත් එපා..." ඔහු කිව්වේ ඇතුළතින් කෑලි වලට කඩාවැටෙන ගමන්...

තවත් එතැන කාලය කන්න ඉසාට ඕනේ වුනේ නෑ... හාදුවත් අරගෙන ඇය ආපහු නොබලා එතැනින් පිටවුනා... පිළුණුවුන හාදුවක් අයිතිකාරයාට බාරකරන්න ඇයට අවශ්‍යය වුනේ නැහැ කොහොමටත්...

"ඉසා....!!!"

ඇයට වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ... තරුණ ආරක්ෂක රැකවලාගේ හඬින් ඇය නැවතුනා...

"මෙන්න උඹ කොස්ස දාලා ගිහින්... මම හනික අරගෙන ආවා..."

"මේ හාදුවක් හින්දා ඒකත් අමතක වුනා..."

 ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙන්...

"ඉතින් උඹ ඔච්චර ඔය හාදුවට කැමතිනම් උඹ තියාගන්න එකයි ඇත්තේ..."

"අර මොකටද මට අනුන්ගෙ හාදුවක්...මගේම කියලා මට හාදුවක් ලැබුණ දාට මම ඒක ආසාවෙන් තියාගන්නවා...මේක මට එපා..."

"උඹ හාදු ගැන මහා හුඟක් දේ දන්න හැඩයි..."

"සමහරවිට... උඹට වැඩිය දන්නවා ඇති..."

ඉසාගේ කලබල ඇස් ආරක්ෂක රැකවලාගේ ඇස් වල පැටලුනා...

"උඹ කැමති නැද්ද ඒවා ගැන මට කියලා දෙන්න...?"

"උඹේ අකමැත්තක් නැද්ද ඒවා ගැන අහගෙන ඉන්න...?"

"හාදු ගැන අහන එක... මම ආසම දේවල් වලින් එකක්...!"

"හාදු ගැන කියන එක...මමත් ආසම දේවල් වලින් එකක්..."

ඉසා කිව්වේ ආරක්ෂක රැකවලාගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන...

"කවදද..?"

"අද රෑට...! කොතනද...?"

"ස්මාරකේ ගාව...?"

" ඒක නිදහස් ස්මාරකයක්...!"

ඉසා කිව්වේ ඇස් ලොකු කරගෙන...

"මේක හාදුවක් ගැන පොරොන්දුවක්..!"

රැකවලා පිළිතුරු දෙද්දී ඔහුගේ මුහුණ ආදරයෙන් එළිය වෙලා තිබුණා...හාදුව තුරුළු කරගත්ත ඉසා එතැනින් ඉගිලුනා...

ආපහු ස්මාරකයට එද්දී තමන්ගේ සගයා හිස බිමට නැඹුරු කරගෙන ස්මාරකයේ කොන්ක්‍රීට් කණු අතරේ මොනවාදෝ හොයනවා තරුණ රැකවලා දැක්කා...

  පිංතූරය :  අන්තර්ජාලයෙන්...

Web Statistics