Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Sunday, February 5, 2017

118. ජීවිතය නම් එහෙමයි




ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක 
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක

දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක

දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද 
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට

තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මිලිනව වැටේවී
පින්න දිලිසී මැරේවී

සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි

ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"දැන් මොකද්ද උඹේ පිකප් ලයින් එක..?"

ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්

"අතේ තියෙන පොත ගැන අහමු..?"

"නොදකින්...ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්...උඹ පෙරනවා කියලා අතේ මාට්ටු..."

"නෑ එහෙම වෙන එකක් නෑ..."

"නාගෙන වරෙන් එහෙනම්..."

ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට...

"එක්ස්කියුස් මී... ඔයාගේ අතේ තියෙන්නේ කවි පොතක්ද..?"

ගතවෙන්නේ කල්පයක්...ඇය නිහඬයි...

මගෙ ආත්ම ගෞරවය..? ෂික්..! ඒක නොතියා ඉන්න තිබුන ලන්සුවක්...මගේ යටි හිත කෑගහනවා...

හිනාව නවත්තගන්න දඟලන ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න...

පලවෙනි පාඩම..! ඇගේ කතාව හෙමින්...

"ඔව්...!"

ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්...

"දෙවියනේ...ඉතින් ඒලියන්ස්ලා මෙහෙට්ට එයිද..?"

ලෝකේ තියෙන ‍බාලම පිකප් ලයින් එකකින් කෙල්ලෙක් කතාවට අල්ලගන්න පුළුවන් තැනක ඉන්න වුනු එක ගැන සාපකරමින් ජිමා නැගිටලා වෙන සීට් එකකට යනවා...තනියම කියවන උගෙන්  ඉතින් කාට පලක් ඇතිද...?

අපි දෙන්නාගේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්...

"ඔයා ආසාම කවිය මොකද්ද..?"

මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක...

"Sic Vita"

ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව...

Sic Vita

කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...

එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්...

සිතුවිලි වලට හඬන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්...

මිතුරිය.., නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්...

Sic Vita

Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring's gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.

by Henry King

පිංතූරය ගත්තේ මෙතැනින්

Friday, February 3, 2017

117. සඳක් හොරෙන් අරන් ගියා



නෙතක් කඳුළු ඉතිර ගියා
සිතක් පිරුණු සුසුම් තියා
මිටක් සරින් හරින නියා
සඳක් හොරෙන් අරන් ගියා...

ඉඳුනිල් මිණි දෑස පියා
සුකුමල මුව කමල වසා
කෙළිලොල් කිරිකවඩි සිනා
සිතුවම් මතකයක් කළා...

ලොවක් නිවන ඇසිල්ලකින්
වසන්තයක් අරන් ඇවිත්
කවක් ලියන්නටත් කලින්
රැයක් පහන් වෙලා ගිහින්...

සහස් සුසුම් පවන් රැලී
නැලැවිලි ගී ගයනු ඇතී
සමනල් සිහිනෙක පේවී
සුවෙන් නිදන් සඳ සාවී...



ඉවරයක් නැතුව ආදරය කරන්න කොච්චර කාලයක් ගතවෙයිද? ඉවරයක් නැති කාලයක් ගතවෙයි කියලයි මම හිතාගෙන හිටියේ... ඒත් අසුරක් ගසන ඇසිල්ලකත් ඉවරයක් නැතුව ආදරය කරන්න පුළුවන් කියලා පෙන්නුවේ හේසල් ග්‍රේස්...

පායලා බැහැලා යන දේදුන්නක... එහෙම නැතිනම් පිපිරිලා කඩා හැලෙන මල් වෙඩිල්ලක... සමහරවිට ඇඟිලි අතරින් ලිහී දියවෙන හිම කිරමක...මේ හැමතැනම තියෙන චමත්කාරය පිටිපස්සේ සැගවිලා තියෙන්නේ ඇසිල්ලකින් නැතිවෙලා යන අතිර බව තමයි... ඒත් ඒ අසිරියට ඉවරයක් නැතුව ආදරය කරන්න, සදාකල් මතකයේ තියාගන්න විටෙක ඉසිඹුවකුත් පු‍ංචි වැඩි නැහැ...

හරියට... ණයට ගත්ත මේ හැමදෙයක්ම ආපහු බාරදෙනකල් ලැබෙන පමාවෙත්, අපේ ජීවිතේට ඇසිල්ලක් සතුට බෙදලා නික්මෙන ආදරණීයයෙකුට ඉවරයක් නැතුව ආදරය කරන්න බැරි නැහැ වගේ...

පරිස්සමෙන් හෙව්වොත් සදාකාලයම ඇසිල්ලක සැඟවිලා තියෙනවා...

පිංතූරය ගත්තේ මෙතැනින්

Tuesday, January 12, 2016

114. කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා

 

කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා…!



හලෝ කැප්ටන් කලමාරි… කොහොමද වාස දේසේ…
වස්තුවක් හොයනවැයි..? තියෙන්නෙ කොයි දේසේ…


දිලිසෙන මාලු නයිදෙගේ කොරල නම් ඉස්තරම්…
ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්…




මූහුදු ලිහිනියා සිංදු කිය කියා නටයි…
හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි…



තාරකා මාලුවාගේ නැටුමකුත් බලමු...
වස්තුවක් නෑ උගෙන් පාරවත් අහමු…


 
ඉර එලියේ දිලිසෙනා ඉබි නයිදෙගේ කටුව...
තේරුමක් නෑ අපි හොයන දේ නැතුව…



 
පී-ක-බූ බෙල්ලා ලඟත් වස්තුවක් නැද්ද..?
නෑ වගෙයි අපි යනවා නොකර වැඩි සද්ද…



 
බෙලි අප්පු ගාටනා කටුව පිට දරන්…
නොමැති වස්තුව අපි හොයන ඉස්තරන්…



 
අන්තිමේ හමුවුනා වටින දේ හොයපු…
පුතේ ඒ නුඹයි අපි ලෝකයක් දිනපු...


දරුවන්ට ලැබුණු තෑගී අතර තිවුන රෙදි වලින් මසා ඇති මේ නිර්මාණශීලී කතන්දර පොත් පිං‍ච පුතාටත් වැඩියෙන් මම රස වින්දා කිව්වොත් වැරදි නෑ… එහි ප්‍රථිපලය මේ පෝස්ට් එක…

මගේ සිඟිති ආතල් වලට ඔබේ බයිට් පුච්චනවාට සමාව දෙනු ඇතැයි සිතමි…

මුල් ඉංග්‍රීසි නිර්මාණයේ හිමිකරු : Chung Liang
ග්‍රැෆික් නිර්මාණය : Tetsuya Hirose
අදහස සහ අදියුරුවම : මුල් ළමාවිය සංවර්ධනවේදී Dorothy Singer Ed. D.
සිඟිත්තාගේ පිංතූරය අන්තර්ජාලයෙන් :

Sunday, September 6, 2015

110. දරු නැලැවිලි…


රන් කිරි කටගෑ දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව් ලිට්ල් ඩක්ස් නම් තාරාවුන් පස් දෙනෙකුට වුන ඇබැද්දියක් ගැන කියාදුන් ජොයිස් මම්මාද ඒ අතර විය… මේ සුමිහිරි ගී සියල්ල අසමින් තොටිල්ලේ තාලයට නැලවෙමින් මා සැනහුනද, අම්මා ගැයූ එක් නැළවිළි ගීයක් මේ සියල්ලටම වඩා මට අතිශයින්ම සුවිශේෂී වූයේය… ඒ මෙවැන්නකි…

අම්මා හඳමාමාගෙන් අසාදැනගත් පරිදි, කොහේදෝ කැලයක පුංචි කූඩුවක සැළලිහිණි ජෝඩුවක් පැටවා සමඟ ගී ගයමින් සතුටින් ජීවත් වූයේලු,  හදිසියේම දවසක නොනවත්වා ඇදහැළුණු මොර සූරන වැස්සක් හේතුවෙන් ගස් ගල් උදුරාගෙන සැඩ ගංවතුරක් ගලන්නට වූයේලු…වෙන්නට යන විපත්තිය දුටු සැළලිහිණි අම්මා තම දරුවා බදාගෙන හඬනු දුටු සොබාදහම කම්පාවී වැහිබිඳු ආපසු අහසට ඇදගත්තේලු…

දිව මතුරක් වන් වූ ඒ මිහිරි නැලවිලි ගී තාලයට නැලවෙමින් නින්දට වැටුනා විනා, එකල මේ කතාවේ අරුතක් මට වැටහෙන්නට කොහෙත්ම ඉඩක් නොතිබුණු බව නිසැකය…එහෙත් ඉන් වසර ගණනකට පසු අම්මා එම ගීතයම ගයා මල්ලී නලවද්දී, පසෙකින් සතර පොත් කියවමින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි මම මේ කතාව ඉවසිල්ලේ විමසන්නට තරම් මෝරා හිටි වග නොකිව මනාය… හඳමාමාගේ අසාගත් බව අතිශෝක්තියක් බව තේරුම් ගත්තද, එහි දෙවැනි කොටසේ පැවසෙන සිදුවීම නම් මට මහත් විස්මයක්ම විය… මොහොතකුදු පමා නොවුණු මම වැහි බිඳු එහෙම අහසට ඇදගන්නා හැටි ගැන අම්මාගෙන් ප්‍රශ්න කලෙමි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…”

අම්මාගේ සරල පිළිතුර එය විය… එය එකහෙලා පිළිගත් පැටිවියෙහි උන් මම, දිගින් දිගටම ඒ ආශ්චර්යය ගැන සිතමින් උදම් වීමී… එය සත්‍යයක්ම මිස බොරුවක් නොවන වගට විශ්වාස කළෙමි…

එහෙත් කාලයත් සමඟ මෝරද්දී වෙනස් වුන සිතුම් පැතුම් අතර වැහි බිඳු අහසට ඇදගත් ආශ්චර්යයද ඇතුළත් වීම නොවැලැක්විය හැකි වූයේ නැති… දේව වාක්‍යය මෙන් මා විශ්වාස කල අම්මා පැවසූ බොහෝ දේ ගැන මම උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වීමි… ඇය අවලංගු කරමින් මා පරිණාමය කෙරෙමින් ලෝකය නොනැවතී කැරකෙන්නට විය…

එපමණක් නොවේ; මෙසේ ගතවූ කාලය මුළුල්ලේ පියවරුන්ගේ දින කීයක් ගතවුනාදැයි මට නිනව්වක් තිබුණේ නැති… මහපොළව සමඟ ඔට්ටු වී කාසි අහුලා මා උගතෙකු කරන්නට තාත්තා ගත් වෙහෙස පියවරුන්ගේ දිනයක තබා ආත්ම හතකින්වත් ගෙවා ඉවර කල හැක්කක් නොවේ… ඉතින් කිමද මට පියවරුන්ගේ දිනයක විශේෂයක්…

එහෙත් ජීවිතයේ පළමු වතාවට මට පියවරුන්ගේ දිනයක් සුවිශේෂී කල අද පුදුම හැන්දෑවකි… ලොවක් දිනූ වග අදහාගත නොහැකිව මම තෙත දෑස් පිස දමමි…

තවමත් පෙකිණිය පවා නොවියළුනු කිරිකැටියන් දෙදෙනෙකුගේ සිඟිති පා සටහන් වලින් හැඩවුන සුභපැතුම් පතක් දික් කරගත් හෙදිය සතුටින් සුභ පතයි…

විවාහ වී වසර අටකටත් වැඩි කාලයක්  ආත්මයම දවා අලුකරන තරම්වූ කටුක පරාජයන් හමුවේ, මව් සෙනෙහස නැමති ආශ්චර්යය ගැන විශ්වාසය තබා, පැරදුනු හැමවිට පෙරටත් වඩා ශක්තියෙන් නැඟීසිට නොනවත්වා සටන් වැදුනු ඒ පුදුම ළිහිණි මව නිල්මි පසෙකින් සුවෙන් සිනාසෙයි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…” අම්මාගේ හඬ සිහිනෙන් මෙන් මා සවනත රැව්දෙයි…

වෙනදා මෙන් ඇය නිවැරදි කරන්නට හදිසියක් මට නැත...


ගීතය ගයන්නේ සුජාතා අත්තනායක
ලිව්වේ කරුණාරත්න අබේසේකර
සංගීතය P.L.A. සෝමපාල
(ස්තූතිය අරූට)

Monday, May 18, 2015

108. මතක සැමරුම්…



ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි... 

බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ මා සතු බඩු අඩුක් කරමින් සිටියෙමි... ඉඩ පාඩු ඇති කාමරයක් බැවින් තවකෙකු මෙහි පංදිචියට පැමිණීමේ අවදානමක් ඇතිබවට අපේ පහසුකම් සලසන්නා දුන් උපදෙස තවමත් මගේ සිතෙන් පහව ගොස් නොතිබුණි...

බෝල මූණා කාමරයට එබුනේ මේ අතරේදීය...

"අයියා මම කජන්... මටත් මේ කාමරේ ඉඩක් ඉල්ලගන්න කිව්වා..."

ඒ අපේ මුල්ම හමුවයි.. එතැන් පටන් ඌ මගේ රූමා විය... කිලෝමීටර ගනනක් එපිට මහ පොලව බෙදාගන්නට දෙමළු හා සිංහලයින් මරාගනිද්දී, අතේ ඇඟිලි වලින් ගැනිය හැකි වපසරියක ටයිල් පොලව අපි අපූරුවට බෙදාගනිමින් සිටියෙමු... 

“ජනතාවට ආතල් සපයන්නෝ.. කජන් සහ සහෝදරයෝ...” ඒ විලාවේ උන් අනෙකුන් ඌ හැඳින්වූ අයුරුයි...යාන්තම් දෙතොල මල් පැණියෙන් පෙඟවුනු සැනින් උගේ බ්‍රේක් නැති කටට පණ එයි... කජන් යනු ඔහුගේ මුල් නම නම්, විනෝදය යනු උගේ දෙවනි නම වූ සෙයකි... අදටත් මා උපරිම විහිළු තහළුවෙන් ගතකල කාල සමයක් වේද ඒ කජන් ඇතුළු ඒ අනෙකුත් මිතුරන් හා ඒ ගෙවුනු සමාගමයයැයි මම විශ්වාස කරමි...

අපි නොරට කහවනු හූරද්දී  ලංකාවේ පෙර නොවූ විරූ වෙනස්කම් සිදුවෙමින් තිබුණි..පාලකයෝ, නායකයෝ අලුත් විය.... කාලයක් තිස්සේ එතෙක් ප්‍රවෘත්ති වල අප නරඹන්නට, අසන්නට පුරුදුව සිටි පුවත් වෙනස් වෙන්නට වූයේ අසාමාන්‍යය ලෙසයි... මේ සිංහල දෙමල මුස්ලිම් බේදයක් නොමැතිව හැම ශ්‍රී ලාංකිකයාගේම සිතුවිලි හොඳට හෝ නරකට වෙනස් වුනු කාලයක් යැයි මම සිතමි... ආතතිය කෙමෙන් දැඩි වන්නට විය... ජාතිවාදයේ සුළං උඩු හුළඟටත් උඩින් හමායයි... දොරට අගුල් සියයක් දමා කාමරයේ සැඟවුනත් මටත් කජන්ටත් ඉන් ගැලවිය හැකි නොවේ...

පළමු සංඥාව ලැබුනේ මා බලාපොරොත්තු නොවුනු අවස්ථාවකයි...

" මචං මගේ සල්ලි ඉවරයි...පොඩ්ඩක් උඹේ ෆෝන් එක දීපං මට ලංකාවට කෝල් එකක් ගන්න..."

කජන් මට දුරකථනය විසිකරයි...හපා ගිල දැමුවාක් මෙන් යට භාගය නැති ඊලාම් සිතියම උගේ දුරකතනයේ  ස්ක්‍රීන් සේවරයේ ලෙලදෙයි...මම එය නොදැක්කා සේ සිටීමට උත්සාහ කරමි...

මේ අතර යුද්ධය ක්‍රීඩා තරඟයක් මෙන් කෙමෙන් උණුසුම් වෙද්දී ඉන් මිදෙන්නට හැකිවූවෙකු වේදැයි මට සැක සහිතය...

"අයියා අපි සල්ලි දාලා පී.සී. එකක් ගමුද...?" 

මට වඩා මාස කිහිපයක් වැඩිමල් බව පසුව දැනගත්තද ඌ දිගටම මට ආමන්ත්‍රනය කලේ අයියා නමිනි...

ලැප්ටොප් අදමෙන් සුලභ පාරිභෝගික භාණ්ඩයක් නොවුනු ඒ සමයේ කාගෙන්දෝ මිළදීගත් ඩෙස්ක්ටොප් පරිගනයක් අපේ පුංචි මේසය අරක්ගත්තේ එසේය... එකම බ්‍රවුසරයක එකිනෙකට  මුවා වෙමින් ඩිෆෙන්ස්.එල්කේ අඩවියද ටැමිල්නෙට් අඩවියද ඇමිණෙයි... අපි අදාල පිටුවට පමණක් පිවිසීමට ප්‍රවේසම් වෙමු...

දිනය හරියටම මතක නැතත් ඒ සති අන්තයක් බව මගේ මතකයේ තැන්පත්ව ඇත...ගුවන් හමුදා ප්‍රහාරයකින් තමිල් සෙල්වම් මියගිය පුවත අන්තර්ජාලයෙන් කියවූ මට උන්හිටිතැන් අමතක විය... මම කජන් සෙවූයෙමි.. ඌ ගොරවමින් නිදාසිටියි...

"අඩෝ මෙන්න තොපේ ලොක්කෙක් ඉවරයි... මහ එකාටත් හෙට අනිද්දම දෙනවා ඔන්න බලපන්..."

ඌ නිදාසිටිනා ඇඳට පයින් අනිමින් මම වියරුවෙන් කෑගැසීමි...

මඳ වේලාවකින් සිහි එලවාගත් ඌ පරිගණකයට දිවගියේය... ඒ මම කජන් හඬනවා දුටු මුල්ම සහ එකම දිනයයි...

එදින ඌ සතිඅන්ත පාටිය වර්ජනය කලේය... මම ඌත් සමඟ එලියට ගොස් මගේ ගනනේ රාත්‍රී ආහාරය අරන් දුනිමි..."තමිල් සෙල්වම් මැරුවට මගෙන් පාටියක්...!" මගේ වියරු මුවින් එදා එසේ පිටනොවීම ගැන අද මම අනේකවාරයක් සතුටු වෙමි...

ඉන් පසුව බොහෝදේ උඩු යටිකුරු වුනු බව ඔබත් මමත් හොඳින් දනී... නඟර අලංකරනය වෙනුවෙන් අප සිටි විලාවද ඇතුළු ඒ ප්‍රදේශයේම ගොඩනැඟිලි පස් වී උයනක් නිමැවුනි... තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියූ අපසැම විවාහ වී පවුල් ලෙස වෙන් වෙන් නවාතැන් කරා නික්ම ගියෙමු...උතුරට වසන්තය උදාවූ අතර කජන් එහි උගේ වාසනාව උරගා බලන්නට රැකියාවට ආයුබොවන් කියලා ලංකාවට නික්ම ගියේය...

කඳුළු බ්ලෝ-ඩ්‍රයි කරන ලද අතර…රණවිරුවන් මරා දැමුණි…

දින කීපයකට පෙර නුහුරු අංකයකින් හුරුපුරුදු කටහඬක් ඇසුනි...

"අයියා ෂොප් එක පාඩුයි...ණය වගේකටත් හිරවෙලා ඉන්නේ... මම ආයේ එනවා... ජූනි මාසේ මුල...සති දෙකක් විතර ඇකමඩේශන් හොයාගන්න ඕනේ..."

"උඹ වරෙන්...අපි මොනවා හරි කරමු..."

මම පවසමි... සැබැවින්ම මම මොනවා හරි කලයුතු බව මම හොඳින්ම දනිමි... 

මේ ලොව පුරා ඒ අසිරිමත් ජයග්‍රහණය සමරන මොහොතයි... මටද සමරන්නට යමක් ඉතිරිව තිබේ… අහස ගිනිගෙන දැවෙන තරම් ෂෙල් වෙඩි පිට වෙඩි පුපුරාගියත්, පොළව කැබලි වෙනතරම් මරාගෙන මැරෙන බෝම්බ පුපුරාගියත් විනාශ නොවුණු අප මිත්‍රත්වය සමරන්නට කජන් එනතුරු මම බලාසිටිමි...

Tuesday, April 14, 2015

105. ගොළු ළමයා…

 image

ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ…

ඒ විතරක් නෙමෙයි කවුරුහරි මට එහෙම දෙයක් ගැන කිව්වත්, මම ඒ කතාව විශ්වාස නොකර ඉන්න ලොකු ඉඩක් තිබුණා… විශේෂයෙන්ම අපේ කොම්පැණිය ඉස්සරහා “මම ගොළු ළමයෙක්මි.” කියලා අඟුරු කෑල්ලකින් ලියපු කාඩ්බෝර්ඩ් දැන්වීමක් ඇඟේ එල්ලාගෙන ඉන්න ගොළු ළමයා ගැන…

ව්‍යයාකරණ ටක්කෙටම ගලපලා කවුදෝ ලියලා දුන්න බෝඩ් එක හැරෙන්න, ගැලපෙන වෙනදෙයක් ගොළු ළමයාගේ ජීවිතේ තිබුණාද මට සැකයි… “ළමයෙක්මි” කිව්වට ළමයෙකුට නොගැලපෙන ඇඳුම, ඒ ඇදුමට නොගැලපුන බාහිර පෙනුම,  ඒ පෙනුමට නොගැලපුන මරුමුස් මුහුණ, ඒ මුහුණට නොගැලපුන අපි යමක් දිගුකරන සැනින් එලිය වෙන හිනාව… මේ හැමදෙයකම තිබුනේ එකකට එකක් පැටලිලි සහගත බවක්… එහෙම වුනත් ඉඳහිට කෑම පාර්සලයක්, සිල්ලර නෝට්ටුවක් දික්කරනවා ඇරෙන්න ඒ පැටලිලි ලිහන්න අපි කාටවත් කොහෙන්ද ඉස්පාසුවක්…

මිනිහෙකුට අනුකම්පා කරනවානම් ඔහුගේ දුක් වේදනා අහන්නත් අපි වගකීමකින් බැඳිලා ඉන්නවා කියලා මට හිතෙන්නේ … අවාසනාවකට ගොළු ළමයා පහුකරගෙන ගිය අපි කාටවත් එහෙම වගකීමක් ගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැතුවා වෙන්නැති… නගරයේ කලබලය මැද්දේ අපි කඩි කුලප්පුවෙන් දුවද්දී නගරය නොගැලපුන ගොළු ළමයා අපේ නොසැලකිල්ල ගැන තරහා නොවී, අපිත් එක්කම ජීවත් වුනා…

දින දෙකක් පුරා පැවති මොකද්දෝ ප්‍රදර්ශනයකට මම වැඩකල ආයතනයෙන් ප්‍රදර්ශන කුටියක් එකතුකලේ ඔය අතරෙදි… ඒ එන ජනකායට බෙදලා  දෙන්න සූදානම් කරපු පත්‍රිකා තොගයකුත් අරගෙන මගේ ප්‍රධානියා මගේ ගාවට ආවා…

“දුවලා ගිහින් කවුරුහරි හොයාගෙන වරෙන්, එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා මේ ටික බෙදන්න කියපන් …”

“උබට පිස්සුද..? මේ හදිසියේ මිනිස්සු කොහෙන් හොයන්නද..?”

“කොහෙන් හොයන්නද කියලා මම දන්නවනම් උබට කියනවද…?”

ප්‍රධානියාගේ නියමයෙන් මම ආයතනය පැත්තට ඉගිල්ලුනේ කවුරුන් හෝ සේවකයෙක් හොයාගන්න අටියෙන්… මිනිහෙකුගේ හීන  සැබෑකරන්න විශ්වයම කුමන්ත්‍රණ කරන්නේ සමහර දවස්වලට විතරයි… ආයතනයේ තේ හදන කාන්තාවගෙනුත්, සෙකියුරිටි අන්කල්ගෙනුත්, ත්‍රීවීල් පාක් එකේ තරුණයින්ගෙනුත්, අසල හෝටලයක මුදලාලිගෙනුත්, වචන මිසක් මිනිස්සු නොලැබුණු මම හිස් අතින් ආපහු කාර් එකට නඟිද්දී, මට වචනෙකින්වත් උදව්වක් දෙන්න බැරි ගොළු ළමයා පදික වේදිකාවේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන හිටියා…

“මේ වැඩේට එන කෙනාට කියක් දෙනවා කියන්නද..?’

“දවසට එක්දාස් පන්සීයයි, දවස් දෙකට තුන්දාහක් දෙනවා කියපන්…”

ප්‍රධානියාගේ ගනන් හිලව් මතක්වුන මට, පුංචි ස්ටන්ට් එකක් කරලා බලන්න හිත බලකලා… ආපහු වාහනේ දොර වහලා ගොළු ළමයා ගාවට ඇවිදගෙන යද්දී මට තිබුනේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් විතරයි…සමහරවෙලාවට බලාපොරොත්තුවක් වැඩිත් එක්ක…

කලින් සාත්තු සේවකයෙක් විදියට වැඩ කරලා තිබෙන සෙකියුරිටි අන්කල්ගේ අත්දැකීම් වලටත්, අපිට ක්‍රීඩා සපත්තු දෙකක් දෙන්න කාරුණික වුන පහළ ජිම් එකක වැඩකල ලපටි ගෑනු ළමයෙකුටත්, හවස්වරුවේ ක්ලබ් යන්න ආයතනයේ ඇඳුම් තබාගන්න සේල්ස් මිතුරෙකුගේ ත්‍යාගශීලී බවටත් පින්සිද්ද වෙන්න, ඉන් පැයකට විතර පස්සේ නාලා, රැවුළ කපලා, කළුපාට කමිසයකිනුත්, කලිසමකිනුත් ලස්සනට සැරසුන ගොළු ළමයා හිටියේ BMICH එකට පිම්මේ ඉගිල්ලෙන කාර් එකක ඉස්සරහා අසුනේ…

හැමදාම උදේ හවස පහුකරගෙන යන ආයතනයේ සේවකයෝ කිසිවෙකුට අඳුනගන්න බැරිවුන ගොළු ළමයා, තමන්ට පැවරුන රාජකාරිය අකුරටම ඉටුකරන හැටි මම බලාගෙන හිටියේ හරි සතුටින්… මේ වෙනකල් හැමදාම තව කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගන්න පුරුදුවෙලා හිටි ගොළු ළමයාට එදා නම් මිනිස්සු මහා හුඟකට දෙන්න දෙයක් තිබුණා… වෙනදාටත් වැඩියෙන් ගොළු ළමයාගේ මුහුන එලිය වැටුනේ ඒ නිසා වෙන්නැති… එයා ඒක කොච්චර සතුටින් කලාද කිව්වොත් දවස ඉවරවෙද්දී, දවස් දෙකේම බෙදන්න තිබුණ පත්‍රිකා තොගය බෙදලා ඉවරකරපු ගොළු ළමයා ස්ටෝල් එක වහද්දී අපි ඉස්සරහා හිනාවේවී හිටගෙන හිටියා… ඔහු කවුද කියලා අඳුන්වලා දුන්නට පස්සේ සතුටින් පුදුම වුන හැමෝම ඔහුව කලින් අඳුනගත්ත නැති එකගැන තමන්ටම දොස් කියාගත්තා…  දවස් දෙකේම සල්ලි ගොළු ළමයාට දීලා මම ඔහුව ආයතනය ගාවින් බැස්සුවේ ඉතින් එයාගේ රාජකාරිය ඉවරබව අතින් පයින් පැහැදිලි කරලා දීලා… රුපියල් තුන්දාහක්, ඒ කාලේ හැටියට ගොළු ළමයාට සති කීපයක්ම රසට කන්න පුළුවන් වේවි.. මට හිතුණා…

ප්‍රබන්ධයක් මෙතැනින් ඉවරවුනත් ඇත්ත කතා වල තව ටිකක් තියෙනවා… පහුවදා හිමිදිරියෙම මම ආයතනයට එද්දී ගේට් එක ගාව හිනාවෙවී හිටගෙන හිටියේ ගොළු ළමයා… අර දුන්න මුළු මුදලම වියදම් කරලා අලුත් ඇඳුමකින් පිළිවෙලට සැරසිලා..! අපි දුන්න ඇඳුම් සපත්තු ආපහු බාරදෙන්න බෑග් එකකට දාගෙන…!! අද දවසේ තමන්ට කරන්න පැවරෙන වැදගත් රාජකාරිය මොකද්ද කියලා ආශාවෙන් බලාපොරොත්තු දල්වාගෙන…!!! 

තමන්ට අවශ්‍යය කෑමට සල්ලි නෙමෙයි, අනිත් අය වගේම සමාජයේ වැදගත් පිළිගැනීමක් ලබන්නයි කියලා වචනයක්වත් මුවින් පිටනොකර මුළු නඟරයටම ඇහෙන තරම් හයියෙන් ගොළු ළමයා එදා මට කිව්වා…
ඒ මම ගොළු ළමයෙක් කතාකරනවා දැකපු පළවෙනි වතාව…

~~~~~~~~~

ප.ලි. : බ්ලොග් ලියනවා තබා කියවීමටත් කාලය සමඟ සටන් කරන්න වෙන දින කිහිපයක් ගතවුනත්, මේ සටහන හේතු දෙකක් වෙනුවෙන්;

1. වැසූ බඳුනක පියන අරිනවාක් මෙන් පහසුවෙන් මිනිසුන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩවල් විවෘතකර පෙන්වන අපූරු නිර්මාණකරුවෙකු වෙන ඉවාන්ගේ පෙර පිං කතාවෙන් මතුකරන අදහසට තවත් මානයක් එක්කරන්න මට තිබුන අවශ්‍යයතාවය…

2. බ්ලොග් වසන්තයේ නියමුවකු වන දුමීගේ වැඩක් නුදුටුවා සේ නොඉන්නට බලකරන, එක්තරා කලබල රැයක ඩුබායිහි කෙටි හමුවකදී උතුරාගිය හිතවත්කම…

බ්ලොග් වසන්තයට ජයවේවා..! සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක වේවා…!

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා…! 

අවාසනාවකට පිළිතුරු කමෙන්ට් වලටත්, බ්ලොග් වසන්තයේ කමෙන්ට් වලත්, අලුත් අවුරුද්දේ බ්ලොග් නෑගම් යෑමටත් යනාදී මේ කිසිවකට ඉසිඹුවක් නොලැබෙන පශ්චාත්තාපය තුනීකරගනුවස් කමෙන්ට් වසමි… සහෘද ඔබගේ කියවා යෑමම මට සතුටකි…
පිංතූරය මෙතැනින්

Thursday, April 2, 2015

104. සමනළ පියාපත්…

 

මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්‍රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි…

මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන, සහභාගීවෙන්නන් අතරින් ස්වේචාවෙන් ඉදිරිපත් වෙන අයෙකු විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීමයි… අවාසනාවකට අප කණ්ඩායමේ හැමදෙනාම පාහේ හොඳින් කතාකල හැකිවුන් නිසා, කිසිවෙකු  ඉදිරිපත් නොවෙන වාතාවරණයක් තුළ, ප්‍රායෝගිකව සිදුවූයේ අහඹු ලෙස ශ්‍රාවක සමූහයෙන් තෝරාගන්නා පුද්ගලයින් සභාව ඉදිරියට බලෙන් ගෙන්වා ගැනීමයි… තවකෙකුට මුවාවෙමින් සැඟවීමට උත්සාහාකරන, ලැජ්ජාශීලී පුද්ගලයින් මෙහිදී බොහෝවිට ඉලක්ක වෙනබව  මා ඒ වනවිට දැන සිටියේ නැත…

ජලාශයකින් එතෙරෙ වෙන  ගවරැලකට කඩාවදින දඩයම් රිසි කිඹුලෙක් ඉන් දුර්වල අවාසනාවන්තයෙකු අහඹු ලෙස ඩැහැගනියි… සෙස්සෝ ඌ බිල්ලට දී ගැලවෙති. ගවයාගේ දිවිතොර වුවද, ඌ මතු එළඹෙන ගැහැටින්ද මිදුනේ වෙයි… වාසනාවකට හෝ අවාසනාවකට මම එදින දඩයම් වුනු ගවයා වීමි…මූලාසනයේ කැඳවීමට අනුව වෙවුලන දෙපා වලින් යුතුව ඒ දෙසට ඇවිද යන මට වදවීමට අතිරේක හේතුවක්ද නිර්මාණය වී තිබුණි… ඒ එදින වැඩසටහනට සහභාගී වී සිටි ප්‍රධාන අමුත්තායි…

සමාගමට අයිති ආයතන සමූහයේම කුඩා සේවක කණ්ඩායම් වල එකතුවකින් නිර්මාණය වූ මෙම වැඩසටහනේ සෑම දිනකම එක් ආයතනයක කණිෂ්ඨ විධායකයෙකු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සිරිතක් විය… අවාසනාවට එදින ප්‍රධාන අමුත්තාද සහභාගීව සිටියේ අප ආයතනයෙනි… උදෑසන සුභපැතුමකට පෙරළා ආචාර නොකරන, දවස පුරා තම පරිඝණකයට ඔළුව ඔබාගෙන සිටන, නිහඬ ගුප්ත චරිතයක් වූ එම කළමණාකාරවරයා ඉදිරියේම මගේද, අප ආයතනයේද සායම හෝදාගන්නට වීම මට ලැබුණු නරකම අහම්බයක් බව මම දැන උන්නෙමි…

“විනාඩි තුනයිනේ… මෙහෙම කරද්දී ඉවරවෙයි… මෙහෙම කරද්දී…” අත්පොලසන් හා මිතුරන්ගේ විහිළු සිනා මධ්‍යයේ ඉදිරියට යද්දී මම මැතිරුවෙමි… ලෝකය සෙමින් කැරකීම ඇරඹුනි…මම කතාව පටන්ගත්තෙමි…

[පරණ බැකප් දත්ත අවුස්සා සොයාගත්, ඒ කතාවේ ‘අහන් ඉන්න පුළුවන්’ පරිවර්තනය මෙසේ අකුරු කරමි…]

“සුභ සැන්දෑවක් මා ප්‍රිය මිතුරු මිතුරියනි… මට මේ අවස්ථාව ලබා දුන්නාට මූලාසනයට ස්තූතියි…[සභාවේ සිනා]… හොඳයි, තිරයේ දිස්වෙන අද මාතෘකා අතරින් මම කතාකරන්නට කැමති මාතෘකාව ‘ඇස්ටරොයිඩයක ගැටීමෙන් ලෝකය තව දින හතකින් විනාශ වෙන බව දන්නවා නම් ඔබ ඒ දින හත ගතකරන්නේ කෙසේද?’ යන්නයි…

දින හතක් කියන්නේ කෙටි කාලයක් තමයි… නමුත් සතුටින් මියෙන්නට ඒ ප්‍රමාණවත් කාලයක් යැයි මට හිතෙනවා… මම ප්‍රථමයෙන්ම කරන්නේ  මේ කතාව ඇත්තක්දැයි නැවත වරක් සැකහැර දැනගැනීමයි… දෙවනුව මම කරන ප්‍රධාන දෙය ආයතනයේ මගේ  ඉතිරිව ඇති නිවාඩු සියල්ල එකවර ලබා ගැනීමයි…[සභාවේ සිනා]

මියෙන්නට පෙර මා වෙනුවෙන් පැය විසිහතරම කැප කල හැකි දින හතක් ඔන්න මට දැන් තිබෙනවා… එතැන් පටන් දින ගෙවෙන හැටි ගැන මෙසේ හිටිහැටියේ  පැහැදිලිකිරීම තරමක් අසීරු කර්තව‍යයක්… බොහෝදුරට ඒ දින හත ගෙවෙන හැටි ගැන මම සුපුරුදු විදියට ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සකසාවි…[සභාවේ සිනා]… එහි අඩංගුවන දේ ගැන දැන්ම අනාවැකි කීම අපහසු වුනත් අනිවාර්යෙන්ම එහි තිබියහැකියැයි මට හිතෙන සමහර දේ මෙසේයි… බොහෝ දුරට ඉන් ලොකුම කාලය මගේ ප්‍රියාවිය වෙනුවෙන් වෙන්වේවි… ඇය මා නිසා ඇඬූ අවස්ථා බොහොමයි… මේ දින හතේදී ඇයව කිසිවිට නොහඬවා සිටීමට මම මටම පොරොන්දු වෙනවා… ඊට අමතරව මගේ දෙමව්පියන්ට, මගේ නැණැස පෑදූ ගුරුවරයින්ට සහ මගේ හිත මිතුරන්ට ඔවුන් මා වෙනුවෙන් ලබාදුන් සියලු දේ වෙනුවෙන් ඔවුන්ට ස්තුති කිරීමට මම උත්සාහාකරනු ඇති… මගෙන් වරදක් වූ අයෙක් ඇත්නම් ඔවුන්ගෙන් ඒ වෙනුවෙන් සමාව අයදින්නටත් කිසියම් කාලයක් වෙන්වේවි…මේ දේවල් සමඟින් දවස් හත අවසන් වී යනු ඇතැයි මට සිතෙනවා…

[ලෝකය සෙමෙන් කැරකෙන්නට ගත්තා ඔබට මතක ඇති… කතාව අවසන්වූවත්  මට වෙන්වූ වේලාව අවසන් නොවූයෙන් තවත් විනාඩි කිහිපයක්  ඇදිය යුතුව තිබේ…මම මනසේ අදහස් සූරමි…]

අහ්ම්… හොඳයි… මට තවත් කරුණක් සඳහන් කරන්න හිතුනා… මේ මාතෘකාව අපේ මූලාසනයේ මිතුරාගේ හිතේ ඇඳුනු අහඹු සිතුවිල්ලක් පමණයි… නමුත් අඩුම වශයෙන් මෙහිදී දින හතක් ඉතිරිව ඇති බව අපි දන්නවා…සත්‍යය තත්වය ගැන පොඩ්ඩක් කල්පනාකර බැලුවොත් අපි මේ තරම්වත් වාසනාවන්ත නැති බව ඔබට වැටහේවි… ජීවිතය කියන්නේ ඉහළගත් හුස්ම පහළ දමන්නට පෙර අහිමිවිය හැකි දෙයක්… සමහරවිට මෙතන ඉන්න අපි කාට හෝ දින හතක්වත් ජීවත් වෙන්නට ඉතිරිව ඇතිදැයි අපි දන්නේ නැහැ… ඉතින් ප්‍රියාවිය නොහඬවා සිටින්නට, දෙමාපිය සෙවනේ මොහොතක් ගෙවන්නට, උදව්කල අයෙක්ට ස්තූතියි කියන්නට හෝ වරදකට සමාව යදින්නට ඇස්ටරොයිඩයක් පැමිණ ලෝක විනාශයක්ම එනකල් ඉන්නට අවශ්‍යද..? නැහැ… මට හිතෙන්නේ මියෙන්නට පෙර ඉටුකරගන්නා අටියෙන් අපි කල්දමන  බොහෝ සිහින සැබෑ කරගැනීමට සුදුසුම දවස අද දවසයි… මොකද අද යනු ඇත්තටම ඔබ මියෙන දිනයට පෙර දිනය වන්නටත් පුළුවන්…

[කාලය අවසන් බව හැඟවෙන අර මිහිරි සීනු නාදය, මගේ සිරුරම ලිහිල් කරයි…කල්පය ගතවී ඇත… ]

මතක තබාගන්න ජීවිතය කෙටියි තමයි… නමුත් සතුටින් ජීවත් වී සතුටින් මියෙන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්… ස්තූතියි…!

කතාව පුරාවට මා මනසින් ඇස් ඉදිරියේ නිර්මාණය කරගෙන සිටි දැවැන්ත තාප්පය අත්පොළසන් හඬින් සුණුවිසුනු වෙයි… කැමරා කාචයකින් ග්‍රහනය කරගත් නිසල ඡායාරූපයක් සේ එදා මා දෑස් ඉදිරියේ තිබූ දර්ශනය මා මනසේ ඇඳී තිබේ… එහි හරිමැද, ශ්‍රාවක සමූහය පසුබිමේ, අත්පොළසන් තබා මස්පිඩුවකදු නොසෙල්වා මාදෙස පිළිමයෙක් මෙන් බලාසිටි ප්‍රධාන අමුත්තාව මේ ලියන මොහොතේද මට සිතට නඟාගත හැකියි…

සිකුරාදා පැවැත්වුන මෙම වැඩසටහන අවසානයේ මම නිවසට ගියෙමි… සති අන්තය විශේෂ කරදරයකින් තොරව ගෙවී ගියේය… සඳුදා උදෑසන ආයතනයේ වැඩ අරඹා සුළු මොහොතකින් මගේ ප්‍රධානියාගෙන් ඔහු හමුවට පැමිණෙන ලෙස ඇමතුමක් ලද්දෙමි… දෙවරක් තට්ටුකොට ඔහුගේ කාමරයට ඇතුළුවෙද්දී ප්‍රධානියාට අමතරව තවත් අමුත්තෙකු එහිඇති බව මම දුටුවෙමි… පසෙක වූ සාකච්ඡා මේසය උඩ වාඩිවී සිටියේ පෙරදිනයේ මගේ ආරධිත අමුත්තායි…

“මූද මිනිහා…?”

“මූ තමයි…!”

මොන විනැම්බෑසියක්ද මම මොහොතකට වික්ෂිප්ත වීමි… අමුත්තා කතා කරන්ට විය…

“උඹ ගිය සතියේ කල කතාව මාරයි… උඹ දන්නවද මම වීක්එන්ඩ් එකේ ෆැමිලි එකත් එක්ක ගමේ ගියා… දරුවෝ තේරෙන වයසට ආවට පස්සේ මම උන්ට අපේ මහගෙදර පෙන්නලා තිබුනේ නෑ… ආපහු එනගමන් බෙන්තොට බීච් හෝටලේත් දවසක් ඉඳලා අපි ආවේ… උඹට ස්තූතියි…”

“යු ආ වෙල්කම්…” මම විරිත්තීමි…

ඉන්පසු මම ආයතනයෙන් අස්වෙන තුරුම ආයතන සාදයක හෝ කොරිඩොවක හමුවූ විට දුකසැප විචාරා යන්නට ඔහු පුරුදුව සිටියේය…

සියල්ල මෙතැනින් අහවර වන්නට තිබුණි…නමුත් ජීවිතය සොඳුරු කතා රචකයෙකි…  ඇස්ටරොයිඩ ගනනක් පෘථිවියේ නොගැටී අප පසුකර  ගිය අතර, අඩි සළකුණු ගැන වද නොවුනු මම නොනැවතී ඉරවටා දුවමින් සිටියෙමි… එහෙත් ඉඳහිට දිනෙක මේ දිවිගමනේ පෙර අප තැබූ අඩි සලකුණුද වැදගත් වේ… එළැඹුනේ එවැනි දිනයකි…

ජීවිතයේ තවත් එක් වෙනසක් වෙනුවෙන් යටකී ආයතනයෙන් මම සමුගනිද්දී ලබාගත් රෙකමදාරු ලිපිය ප්‍රමාණවත් නොවෙන හෙයින් අලුත් ලිපියක අවශ්‍යයතාවයක් පැණනැඟුනි. මානව සම්පත් අංශය හරහා නිලවශයෙන් ඔවුන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුනේ මගේ රෙකමදාරු ලිපිය වසර ගනනාවකට පෙර මා ඉවත්වෙද්දීම ලබාදී ඇති බවත්, අවශ්‍යයනම් එහි කොපියක් මිස අලුත් ලිපියක් ලබා දීමේ සම්ප්‍රදායක් නොමැති බවත්ය… ඉන්පසු දුරකථනයෙන් කෙරුන නොනිල ඉල්ලමට පිළිතුර වූයේ සම්ප්‍රදායට පිටින් එවැන්නක් කිරීමට ආයතනයේ අහවල් විධායකගෙන් කෝඳුරු තෙල් හත්පට්ටයක පෙඟවූ විශේෂ අවසරයක් අවශ්‍යය බවයි… කෝඳුරු තෙල් හත්පට්ටය සොයාගත්තද, විශේෂ අවසරයක් කොහෙන් හොයන්නද…...?

දැන සිටි මිතුරන් සියල්ල ජීවිතයේ අලුත් අභියෝග සොයා ආයතනයෙන් නික්ම ගොස් සිටි හෙයින් මම අසරණ වීමි… නිකමට මෙන් අහවල් විධායක කවුදැයි විමසා බැලුවෙමි… දේව කරුණාවයි… මගේ ඇස්ටරොයිඩ ආරාධිත අමුත්තා තම වෘත්තීය ජීවිතය ජයගෙන ඇත…!!! :)

ඉතා කෙටි හඳුන්වාදීමකින් අවුරුදු ගණනක් ආපස්සට දුවන්නට ඔහුට ඉස්පාසුවක් තිබුනෙන්, අවශ්‍ය ලිපිය මටම කියා ඩ්‍රාෆ්ට් කරවාගෙන තම අත්සන යෙදූ කොපියක් කඩිනමින් මට ලැබෙන්නට සලස්වා, මුල් පිටපත තැපැල් කරන්නට තරම් ඔහු නිහතමානීවිය,.. අපේ අතීත හැඳුනුම්කම නොවන්නට මේ ලිපිය මට නොලැබෙනු නොඅනුමානය… නොසිතූ, නොපැතූ අහඹු සමනළ පියාපතක සෙලවුම ජීවිතයේ විසල් වෙනස්කම් සිදුකරන්නේ එලෙසිනි…

Inspired by : “දිනේශ්ගේ වර්ණ” සහ “පැතුම්ගේ බිත්තිය

පිංතූරය : http://cdn.inquisitr.com/wp-content/uploads/2014/04/asteroid2.jpg

Wednesday, January 7, 2015

101. කෝපි මතක…

image

කැෆේ කොෆී ඩේ කියන්නේ කෝපි එකක් හිස්වෙන පමාවට, දෙන්නෙක්ගේ අනාගතය අලුතෙන් ලියන්න පුළුවන් මායාකාරී කෝපි හලක්… ඇය හිටියේ බීන් බෑග් සෝෆාවක ගිලිලා, මගේ පැත්තට නැඹුරුවෙලා…ඇපල් සෝඩා වීදුරුවේ බිත්තියෙන් ගිලිහිලා ඉහළට ඇදෙන මුරණ්ඩු පෙන බුබුළු දිහා බලාගෙන… මම, ඒ පසෙකින් බිත්තියටම සවිකරපු සිමෙන්ති ආසනයක සැහැල්ලුවෙන් දිගෑදිලා…

“නොගැලපෙන දේ ගොඩයි…!”

ඇය කියන්නේ විවෘතව, මගේ ඇස් දිහා බලාගෙන…

“මොනවද ඒ..?”

මම අහන්නේ මගේ කෝපි කෝප්පෙට මුවාවෙන්න උත්සාහා කරමින්…

“අපි රටවල් දෙකක…සංස්කෘති දෙකක්… අපේ දෙමව්පියෝ, පවුල් පසුබිම, ආගම්, කුල මල, කෑම බීම… ඒ සේරටම වැඩියෙන් අපි දෙන්නගේ සිතුම් පැතුම් ගැලපෙනවා කියලා මට හිතෙන්නේ නෑ… ටීවී එකේ බලන්නේ මොන චැනල් එකද කියන තැන ඉඳන්, දරුවන්ට දාන නම් මොනවද කියන තැන වෙනකල් අපි දෙන්නා රණ්ඩු වේවි… ”

“අපේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නෑ කියලා ඔයා කොහොමද හරියටම කියන්නේ…?”

“වෙන දෙයක් ඕනේ නෑ… දැන් මෙතනම බලන්න, ඔයා ආසාම කෝපි වලට… මට පේන්න බැරි දේවල් වලින් එකක් ඇත්නම් කෝපි…!”

ඇය කියන්නේ ඇඟිලි වලින් හිසකෙස් හදමින්… වසර ගනනක් මම හඹාගිය ඒ සුන්දර හිනාව ඇය මේ වෙලාවෙත් ලෝබ නැතුව බෙදද්දී, ඒක මගේම කරගන්න අන්තිම සටනත් සටන් වදින්න මම සූදානම්…

“කෝපි ගැන කතාවක් කියන්නද…?”

“හා…!”

කොෆී ඩේ කැෆේ එකේ තියෙන්නේ ඉවසිල්ලේ දියවෙන සීනි…

“කෝපි මෙච්චර රස වෙන්න කලින්, දිව්‍යලෝකේ හිටියා කුමාරයෙකුයි කුමාරියෙකුයි… මේ දෙන්නාට දෙන්නාව පේන්න බැහැ…”

ඇගේ උනන්දුව ඇස් වලින් උතුරද්දී, මම මනසේ සිතිවිලි අවුස්සන්නේ ඇය සතුටු කළහැකි කතාවක් නිර්මාණය කරගන්නා අටියෙන්…

“මේ කුමාරි හැමවෙලේම හිනාවෙලා ඉන්න කැමති, දුක අඳුනන්නේ නැති… ගතවෙන හැම මොහොතක්ම යාළුවෝ පිරිවරාගෙන සතුටින් ඉන්න කෙනෙක්… ඒත් කුමාරයා හැමවෙලේම දුකින් ඉන්න, සතුට කියලා දෙයක් දන්නෙවත් නැති, ගතවෙන හැම මොහොතකම තනිකමෙන්, පාළුවෙන් ගතකරන්න කැමති කෙනෙක්…”

“ඉතිං…”

“ඉතිං දිව්‍යය ලෝකේ අධිපති දෙවියාට අවශ්‍යය වුනා මේ දෙන්නා විවාහ වෙනවා දකින්න… ඒත් මේ දෙන්නා කිව්වේ එයාලාගේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැති හින්දා එහෙම සම්බන්ධයක් ඇතිවෙන්න බැරි බවයි… අවුරුදු ගානක් මේ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිකරන්න උත්සාහා කරලා බැරිවුන තැන කේන්ති ගිය අධිපති දෙවියා, මේ දෙන්නාට සාප කලා… මේ දෙන්නාම අපායට යන්න ඕනේ කියලා… “

“අනේ..!”

“කියන්න අමතක වුනා, දිව්‍යලෝකේ අය අපාය කියන්නේ අපේ මේ මනුස්ස ලෝකයට… දිව්‍යය අධිපතිට කේන්ති ගිහින් කරපු මේ සාපය ගැන පස්සේ එයා පසුතැවිලි වුනා වුනත්,  සාපයක් කියන්නේ සාපයක්… දෙවියන්ටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ… ඉතිං මේ කුමාරයයි, කුමාරියි අපේ මනුස්ස ලෝකෙට ආවා… සාපයේ තිබුණෙ සදාකල්ම මේ දෙන්නා එකට ඉන්න ඕනේ කියලා… හැබැයි හැම සාපයකටම තියෙනවා එක පොදු ලක්ෂණයක්…..ඒ මොකද්ද..?”

“ඒ සාපයෙන් මිදෙන විදියක්…?”

“හරියට හරි…!ඉතින් මේ සාපයෙන් මිදෙන්න නම් කුමාරයා මේ ලෝකයේ ආදරය, සිනහව පිරුණු සතුටුම මොහොතත්, කුමාරි මේ ලෝකේ පාළුව, තනිකම පිරුණු දුකම මොහොතත් අත්විඳලා තියෙන්න ඕනේ… ඒ අත්දැකීම් වලින් පස්සේ ඒ දෙන්නා අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම අතින් පරිපූර්ණ වෙනවා කියලයි අධිපතිතුමා හිතුවේ…”

“ඉතිං…”

“ඉතිං… සදාකාලිකව දෙන්නත් එක්ක එකට ඉන්නත්, මිනිස්සුන්ගේ හිනා, කඳුළු අතර ගැවසෙන්නත් තියෙන හොඳම විදිය ඒගොල්ලෝ තෝරගත්තා… ඒ මොකක් කියලාද හිතන්නේ…?”

“කෝපි…!?”

“හරියට හරි…! බලන්න කෝපි ගෙඩි හැම එකකම, පියලි දෙකක් තියෙනවා.. ඇත්තටම ඒ ඉන්නේ කුමාරයයි… කුමාරියි… ඒ දෙන්නම එකතුවෙලා තමයි කෝපි වලට රස දෙන්නේ… අපි ගතකරන ආදරයෙන් පිරුණු මොහොතවල් සමරන්න කෝපි වලට උණුහුමට ජීවය දෙන්නේ කුමාරි…  පාළුවෙන් තනිකමෙන් පිරුණු සීතල රාත්‍රීන්  ගෙවාගන්න, කෝපි වලට තිත්ත කළුපාට දෙන්නෙ කුමාරයා…”

ඇගේ හූමිටි වෙනුවෙන් නොනවතින මම කියවාගෙන යනවා…

“ඉතිං එයාලාට තවම සාපයෙන් මිදෙන්න බැරිවුනාද…?”

“ම්හු… මම දන්න විදියට පාළුව තනිකම පිරුණු ලෝකේ දුකම තැන් මහ ගොඩක් කුමාරිනම් අත්වින්දා… ඒත් ආදරයෙන් පිරුණු ලෝකේ සතුටුම මොහොතක් අත්විඳින්න කුමාරයාට තාම බැරිවෙලා තියෙනවා… ඒ හින්දායි ඒගොල්ලන්ට සාපයෙන් තාම මිදෙන්න බැරි… හැබැයි ඔයාට පුළුවන් ඒගොල්ලන්ව සාපයෙන් මුදව ගන්න…”

“හහ්…! මම…!?”

“ඔව්… දැන් මේ කෝපි කෝප්පේ ඉස්සරහදිම ඔයා මගේ යෝජනාවට කැමති වුනොත්… ඒක මේ ලෝකෙ කෙනෙක් විඳින ආදරයෙන් පිරුණු සතුටුම මොහොත වේවි…! කුමාරයායි, කුමාරියි ආපහු දිව්‍යලෝකෙට යාවි…”

ඇයට නොදැන්න ඇගේ හැම ඉරියව්වක්ම මම වරු ගනන් බලාගෙන ඉඳලා තියෙනවා… ඒත් අද ඇය මා දෙස බලාසිටින මේ ඉරියව්ව මම මීට පෙර දැක නැතිබව මට මට දිවුරා පොරොන්දු විය හැකියි…

“මට දැන් යන්න ඕනේ…”

මොහොතක් නිහැඬියාවකින් පස්සේ ඇය පවසන්නේ කලබලයෙන්…

“ඉන්න මම ඩ්‍රොප් කරන්නම්…”

“එපා… මම ඔටෝ එකක යනවා…”

“ඇයි ඒ…?”

“තව හිටියොත් මේ ලෝකේ මිනිස්සුන්ට කෝපි රස නැතිවෙයි කියලා මට බයයි…”

කෝපිහලේ දොර ඇරගෙන ඇය දුවයද්දී ඒ අද්දරින් එල්ලා ඇති දොර චයිමයේ සීනු කලබලයෙන් කෑගහනවා…

ඉන්පස්සේ…

හැම දෙයක්ම සන්සුන්…

 

ප.ලි. :

වසර ගනනාවකට පස්සේ ඊයේ මුම්බායේදී කැෆේ කොෆී ඩේ කෝපිහලකට ගොඩවැදුනා… ආදරය බොළඳයි තමයි, නමුත් තාරුණ්‍යය සදාකාලිකයි… කැෆේ කොෆී ඩේ තවමත් කෝපි සුවඳයි…

Tuesday, December 23, 2014

100. ආදිල්

හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා…

“මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා…

“පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…”

තමන් කරමින් සිටි වැඩය මඳකට නවතා, තෙත බේරෙන රෙදි කැබැල්ල වමතට මාරු කල ඔහු දකුණතේ ඇඟිලි පහ අභිනයෙන් දක්වමින් සිනාසුනා… මුහුණ පුරා වැඩුනු රැවුළත්…. අපිළිවෙල ඇඳුමත් ඔහුගේ මරුමුස් පෙනුමට කදිමට ගැලපුනත්, බුහුටි දරුවෙකුගේ වන් සිනාව ඒ සියල්ල පරදා සැරසිල්ලක් මෙන් ඔහුගේ මුහුණ අලංකාර කලා… ඒ මීට වසර කිහිපයකට පෙර, ආදිල්ව මා දුටු මුල් දිනය… ඔහුව සිතුවමකට නඟන්නැයි දැන් මට කිසිවෙකු පැවසූවොත් අදත් මා සිතුවම් කරණුයේ එදා ඔහු වතුර බාල්දියක් අබියස සිනහාවෙමින් මාදෙස බලාගෙන සිටි දර්ශනය මිස වෙනෙකක් නෙවෙයි…

ජීවිතය ඇත්තේ හුස්ම ගන්නට බවත්, අන් සියල්ලට ඒ වෙනුවෙන් පමාවිය හැකි බවටත් අමතකවීම ගැන මටම සාපකරගත් මම, දුරකතන ඇමතුමකින් හමුවීම කල්දමා මෝටර් රථයට වැදී සැහැල්ලුවෙන් අසුනේ දිගෑදුනේ ආදිල්ට ඕනෑතරම් වේලාගන්නට ඉඩදෙමින්..

ඒ අයුරින් අහම්බෙන් එකිනෙකාගේ ජීවතවලට හැප්පුන අපි, දවස් කෙටිවෙද්දී, කතාබහ දික්වෙද්දී, කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා… සුවඳ ගහන ෂැම්පු ස්නානයකිනුත්, අනතුරුව දිස්නේ දෙන වැක්ස් සාත්තුවකිනුත් මෝටර් රථය පිරිසිදුකරගන්න තිබුණු අවස්තාව උවමනාවෙන්ම මඟහැරිය මම ඒ වෙනුවට ආදිල්ට මගේ මෝටර් රථයේ කුණු දුහුවිලි සෝදා අරින්න ඉඩදුන්නේ, ඉන් ඔහු තම ජීවිතයේ ගැටළු රැසකුත් සෝදා හරින බව වැටහුණු හින්දා… අපහසුවෙන් ගැටගහන ඉංග්‍රීසියෙනුත්, ඒ ගැට බුරුල් තැන්වල හින්දියෙනුත්, බැරිම අවස්තාවක අතින් පයිනුත්, ආදිල් මට ඔහුගේ ප්ලාස්ටික් බාල්දියේ අරන් තියාගෙන හිටි සිනා කඳුලු පරිස්සමින් අරගෙන විස්තර කලා…

එලෙස මම යන්තමින් දුටු ඔහුගේ ලෝකය සාරාංශ කලොත් මෙවැන්නක්… සුරලොව ඇත්තේ දරුවෙකුගේ සිනහවකත්, යුවතියකගේ කෝල බැල්මකත් බව නොදත් අසංවේදී මෘගයන් රැසක්, සදාකාලික පාරාදීසයක සිහිනය දකිමින් වනසන අවාසනාවන්ත දේශයක් වූ පාකිස්ථානය ඔහුගේ නිජබිම… අඩුවශයෙන් තම දරුවන්ට වත් ඒ අපායෙන්  මිදෙන්නට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පහසුවෙනු වස් ආදිල් මැදපෙරදිග කාන්තාරයට ගාටනවා… නමුත් ඔහුගේ දෙවියන්ට ඇත්තේ වෙනත් සැලසුමක්… ආගමනයෙන් කෙටි කලකට පස්සේ, දිනක් තම ආයතනයේදී සිහිසුන්ව ඇදවැටී ගිලන් රථයකින්  රෝහලට යැවෙන ඔහු මාස ගනනකට පසු ඉන් එළියට එන්නේ හදවත් රෝගියෙකු ලෙසින්… ඔහුගේ පැහැදිලිකිරීම මා හරියට තේරුම් ගත්තානම්  විටින් විට නිකුත්වෙන විද්‍යුත් ධාරාවක් හරහා ඔහුගේ හදගැස්ම නොනවත්වා පවත්වා ගැනීමට දැන් සහාය වෙන්නේ හදවතේ සවිවී ඇති කෘතීම යන්ත්‍රයක්… මිනිස් සබඳතා ආදායම් සහ වියදම් වලින් පමණක් දකින පාලනාධිකාරිය ඔහුව ආපසු ඔහුගේ මව්රටට යවන්නට තීරණය කරනවා… නැවත පාකිස්තානයට යෑම තම දරුපවුල කබලෙන් ලිපට ඇද දමන්නක් බව විශ්වාස කරන ආදිල් තම ගමන්බලපත් ඇතුළු ලියකියවිලි සියල්ල අහිමිකරගෙන ආයතනයෙන්ද, තම නවාතැනින්ද පලායනවා… ඉන්පස්සේ ආයතනයෙන් ඔහුගේ වීසා අවලංගු කරන්නේ නොරටක ඔහු රැකියාවක් අහිමි නීතිවිරෝධී පුරවැසියෙකු  බවට පත්කරමින්…

තම හදවත් යන්ත්‍රයේ බැටරිය වසර හතරකට පසු මාරු කලයුතු බව ඔහුට මතකයි… නමුත් හැදුනුම්පතක් නැති ඔහු රෝහලකට යෑම කල නොහැක්කක්… හැදුනුම්පතක් නැතිව සුදුසු රැකියාවක්ද සොයාගත නොහැකි ඔහු ජීවිකාව වෙනුවෙන් තෝරාගන්නේ තවත් නීතිවිරෝධී දෙයක්… ඒ මහාමාර්ගයේ වාහන සේදීම… කවදා නවතීදැයි නොදන්න යන්ත්‍රයකින් පණ ගැසෙමින්, නොරටක අනවසරයෙන් දිවිගෙවමින්, පොලිස් සංඥා නාදයක් ගැන විමසිල්ලෙන් අනවසර රැකියාවක යෙදෙන ආදිල්, ඔහු වෙහෙසවී උපයන මුදල සම්පූර්ණයෙන්ම පාහේ පාකිස්ථානයට යවන්නේ තම පවුලේ සුභසිද්ධිය වෙනුවෙන්… තම සැමියා මහමඟ දහදිය හෙලන බව ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ… හැඳුනුම්පතක් නැති නිසාම කළුසල්ලි යවන නියෝජිතයන් හරහා මුදල් යැවීමේදී ගෙවන්නට වන සැලකියයුතු කොමිස් මුදලද ඔහු මෙම අවිනිශ්චිත රැකියාවෙන් උපයාගත යුතුයි… එසේ දුක් මහන්සියෙන් යැවූ මුදල් වියදම්කර, තම වැඩිමල් දරුවා බලවත් ඥාතියෙකු හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කලබව මා සමඟ පවසන්නේ මුවපුරා සිනාසෙමින්…

“අලුත් ඉස්කෝලේ හොඳයිද ආදිල්…”

“හොඳයි… පරණ ඉස්කෝලෙ හරි දුෂ්කරයි… අපි ඉන්නේ ගොඩක් කඳු තියෙන පලාතක… දවසට කිලෝමිටර් ගානක් කොටළුවා පිටේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ එන්නේ…”

“වස කරදරයක්නේ…!”

“හහ්….! කොටළුවා ලැබෙන්නෙත් මම රට ඉඳලා සල්ලි යවන හින්දා… අනිත් ළමයි ඒ මුළු දුරම යන්නේ පයින්….. ඔය වීදුරු උස්සගන්න මුදීර්…”

ඔහු කියන්නේ වින්ඩ්ස්ක්‍රීනය හරහා වේගයෙන් වතුර පහරක් ගසමින් … රබර් තලයකින් වීදුරුව පිසදැමෙද්දී ඉන් ඔබ්බෙහි බොඳවී පෙනුනු ආදිල්ගේ රුව පැහැදිලිව පේන්නට පටන්ගන්නවා…

“මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත  විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” හියුගෝ චිත්‍රපටියේ හියුගෝ කියන්නේ එහෙමයි… ඒ විදියට විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ මගේ රාජකාරි වලින් එකක් වුනේ අවසර ලද විටෙක ආදිල්ට සවන්දීම වෙන්නැති.. මම ඒ කලේ උදව්වක්නම්, හිලව්වට ආදිල් මටත් ප්‍රතිඋපකාර නොකර හිටියා නෙමෙයි… ඔව්… සමහරවිට ඔහුටත් නොදැනීම…

මේ එහෙම දවසක්… අපි යොමුකරන්නට යන ව්‍යාපෘති යෝජනාවක, තුන්වෙනි පාර්ශවයක සහයෝගය ලබාගන්නා කොටසක පැහැදිලි කිරීමේ පුංචි අඩුපාඩුවක් නිසා, අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අවශ්‍යය අවසන් අනුමැතිය ලබානොදෙන්න තීරණය කලා…

“කණගාටුයි බීට්ල්… අපිට මේ රිස්ක් එක ගන්න බෑ…” ඔහුගේ පිළිතුරු කවදත් කෙටියි…

පිටපතේ හැටියට ඇත්තේ බලාපොරොත්තු කඩවුණු මම නැඟිට ඒම වුනත්, කඩඉම් දිනයට පෙර වෙහෙසවී වාර්තාව සැකසූ කණ්ඩායම් සගයන්ගේ මැලවුණු මුහුණුත්, කාමරයේ ජනෙල් වීදුරුවෙන් දිස්වුනු ඈත කෙලවරක වාහනයක් හෝදන ආදිල්ගේ දසුනත්, පෙර මා නොකළ ස්ටන්ට් එකක් උත්සාහා කරන්නට මට බල කලා…

“බොස්… උඹට පේනවද අර ඈත වාහනය හෝදන හාදයා…?”

තරමක් ව්‍යාකූලව ප්‍රධානියා ඒ දෙස නෙත් යොමුකල පසු, මා ආදිල් ගැන දන්නා කරුණු සියල්ලම පාහේ සීරුවෙන් ඔහුට පැහැදිලි කලා… වචනයකින්වත් බාධාකලේ ඔහු නොවෙයි…

“දැන් බොස්…! අන්න ඌ නම් ගන්නේ රිස්ක් එකක්… මේක..? මේක ඇත්තටම රිස්ක් එකක් නෙවෙයි… බිස්නස් තීරණයක්…!”

“උඹ කවුද යකෝ මට බිස්නස් උගන්නන්න..!?”

අඩුම වශයෙන් ඒ ආසන්නයට එන පිළිතුරක්වත් මම බලාපොරොත්තු නොවුනාම නෙමෙයි… නමුත් සමච්චල් සහගත සිනාවකින් මුවසරසාගත් ඔහු තම මේසයේ රඳවා ඇති පෑන වෙත අතගෙන ගියා… ඉදිරියට පිනු මට තිබුනේ “සයින් හියර්” ස්ටිකරය සහිත පිටු පෙන්වාදීම පමණයි… ඒ ආදිල් මට මිළකල නොහැකි උදව්වක් කල එක් අවස්ථාවක්…

අවසන්වරට ආදිල් මට හමුවූයේ මීට සති කිහිපයකට කලින්…විසල් අහසට නෙත් යොමාගෙන බැරෑරුම් කල්පනාවක යෙදී ඔහු හිටියේ මෙරටේ ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන්යානා සංදර්ශනයක පුහුණුවීම් කෙරෙන අයුරු ඔහේ නරඹමින්…

“ජාතික දිනේට වීසා නැති අයට එමිර්ගෙන් සමා කාලයක් ලැබෙනවාලු… පොලිසියෙ පැමිණීලි නැතිනම් අපිට පුළුවන් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න…”

“එහෙම වුනොත් ආදිල් යනවද..?”

මම අහද්දී ඔහුගෙ ඇස් දිළිසුනා…

“යන්න ආසයි… ඒත් මගේ ළමයින්ව ඒ අපායෙන් ගලවගන්න නම් තව කාලයක් මට මෙහේ ඉන්න වෙනවා…”

අවදානමට බය නැති ඔහු සමාවට පයින් ගහන්නේ, ඉන්පස්සේ අහුවුනොත් හිරේ ලගින්න වෙන බව නොදැන නෙමෙයි…

“අලුතින් ප්ලේන් හයක් මේපාර ෂෝ එකට එමීර් වෙනම ගෙනල්ලා තියෙනවා…”

මම සමුගෙන ඉවතට ඇවිදගෙන යද්දී, ඔහු කෑගහලා කියන්නේ කොහෙන්දෝ අහුලගත්ත ඕපාදූපයක්…

“කවුද එමීර්ද උඹට කිව්වේ…?”

මම අහන්නේ සරදමට…

“චැහ්…! මේ අලුත් කෙනා මගේ යාලුවෙක් නෙමෙයි,… පරණ කෙනා නම් මගේ යාලුවා…”

ආදිල් උත්තර දෙන්නේ පොඩි ළමයෙක් වගේ හිනාවෙවී … ඒ මම ඔහුගේ අහිංසක හිනාව අවසන් වරට දැක්ක දවස…

දිනගනනකින් ඔහුව නොදැක්ක නිසා ඔහු සාමාන්‍යයෙන් දිවා අහාරය ගන්නවායැයි පැවසූ පාකිස්ථාන භෝජන ශාලාවට මම ගොඩවැදුනේ සුලෙයිමානියක් රසබලන්න විතරක් නෙමෙයි…

“ආදිල් ගෙදර ගියා…”

ගෙදර..!?”

ඔව්…පාකිස්ථාන්…”

මගේ විපරමට මට ලැබුනේ බලාපොරොත්තු නොවූ පිළිතුරක්…

“අර වාහන හෝදන ආදිල්…?”

“ඔව් ඉස්කෝලේ ඇටෑක් එකට  එයාගේ පුතෙක් අහුවෙලා…”

භෝජනාගාර සේවකයා පිළිතුරු දුන්නේ හැඟීමක් නැතුව… හදවත හිරිවැටුනු මම එතැනින් නික්මුනේ, වසර ගණනාවක් තිස්සේ ප්‍රවේසෙමන් එකතුකරපු ඒ අසරණ හදවත් රෝගියාගේ බලාපොරොත්තු ගොන්න එක මොහොතකින් සුණුවිසුනු කරලා දාපු මෘගයින් දවා අළුකරන තරම් කේන්තියකින්… සද්දන්ත ආදිල්ගේ හඬ පුංචි දරුවෙකුගේ ඉකිබිඳුමක් වගේ මගේ හදවතේ දෝංකාර දුන්නා…

“අපේ රට ඉවරයි මුදීර්… ඉවරෙටම ඉවරයි…! දෙවියෝ මේ අපායෙන් මගෙ දරුවන්ව ගලවගන්න ඕනේ…”

 

ප.ලි. : ලියවුනේ අකුරු බ්ලොග් අඩවියේ සියවෙනි ලිපිය…සියයට කෙටිකතාවක් ලියනවා කියලා කාලෙක ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියත් ඒක ගිලිහුනා…මේ ලිපි සියය පුරාවට, මෙම බ්ලොග් අඩවිය කියවන්නට ඔබ වැයකල සෑම තත්පරයක්ම සැබැවින්ම මට ගෞරවයක්… ඔබ සැමට නොවක් තුති…!!!

පිංතූරයේ ඉන්නේ පෙෂාවර්හි කනත්තක භාරකරුවෙක්…

Monday, August 11, 2014

95. දූවිලි…



“ආ මෙන්න…”

තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්පය ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා…

හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා උගේ අතේ තියන බියර් බෝතලය කඩනවා…


“මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…”

මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්…

“කට වහගෙන ඕක බීපන්…”

ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ…

“උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…”

නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්…

“සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…”

එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම…

විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි….

“උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…”

ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන…

“හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“

අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න…

ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්…

++++++++++++++++++++++++++++++++++++++

“බොකා කියන ඩයල් එක උඹ දන්නවද..? ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…”

බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්…

“දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…”

කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… 

අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ…

“මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…”

උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි…

චටාස්…!!!

“අත පාතට දාලා කතා කරපන් කැ……!”

ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… 

තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි…

මුගේ අම්… චට…පටාස්…

මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි…

හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්…

රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි…

ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්…

“Congrats nigga… f*king awesome…”

++++++++++++++++++++++++++++++++++++++

“ආ මෙයා කවදද ගොඩබැස්සේ…”

මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්…

“ආ මෙන්න…”

තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා…

“සේරම හරියට ෆිල් කළා නේද..?”

ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්…

“ඔව්…”

මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්…

“උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද..? බෑ කියලාද..?”

කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස…

“මම කොහොමද බන් දන්නේ…”

“නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…”

ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ…

ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි…

“ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…”


“එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…”

“හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…”

“හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද..?”

“ඒක තියාගන්න…”

“එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “

“බායි…”

“බායි බීට්ල්…”

සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි…

“පොඩ්ඩක් ඉන්න…”

මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට…

“ඇයි…?”

ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි…

“එච්චරද..?”

“එච්චරද කියන්නේ…?” මෙවර අසන්නේ ඉබ්බා…

“දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…? අනේ මට තේරෙන්නෑ බන්…”

මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්…

“ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද..?”

කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්…

“නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…”

“එහෙනම්…?”

ඒ ඉබ්බා…

“නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද..? මම යන්නම්… බායි…එච්චරද…? දෙයියනේ උඹලට දුක නැද්ද…? ”

මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි…

“සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…”

මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්…

කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි…

නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…

Gotye - Eyes Wide Open
With our eyes wide open, we
With our eyes wide open, we
So this is the end of the story,
Everything we had, everything we did,
Is buried in dust,
And this dust is all that's left of us.
But only a few ever worried.
Well the signs were clear, they had no idea.
You just get used to living in fear,
Or give up when you can't even picture your future.
We walk the plank with our eyes wide open.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah, we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
Some people offered up answers.
We made out like we heard, they were only words.
They didn't add up to a change in the way we were living,
And the saddest thing is all of it could have been avoided.
But it was like to stop consuming is to stop being human,
You'll want to make a change if you won't.
We're all in the same boat, staying afloat for the moment.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open, we
With our eyes wide open, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank.
That was the end of the story.

Wednesday, June 12, 2013

79. ආතල් කුඩුවීමේ සතුට…

මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත්  ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු දෙයක් වෙන්නත් ඇති… මම කාලෙක ඉඳන් තේරුම් ගන්න උත්සාහාකරන දෙයක් තමයි සොල්දාදුවෙකුගේ මනස වැඩ කරන හැටි… රූපවාහිනී තිර වලින් විතරක් යුද්ධ දැකලා තියෙන අඩුම ගානේ බිග්මැච් වලියකදිවත් සතුරාට මුහුණදීලා නැති මම වගේ පුඟුලෙකුට තරම් වෙන දේවල්ද කතාකරන්නේ කියලා ඇත්තටම යුද්ධ කරලා තියෙන මාරයා හරි විචාරක හරි මේ පොස්ට් එක දැක්කොත් කියාවි… ඒත් ඔන්න ඔහේ ලියනවා….

යුද්දෙට ගියාම මිනිස්සු මරන්න වෙනවා…. මිනිස්සු කිව්වට ඇත්තටම ඒ සතුරන්… රට ජාතිය බේරගන්න, සතුරන් මරන එක තේරුම් ගන්න අපහසු නැහැ… ඒ පිළිබඳ කැක්කුම අවම කෙනෙකුට උනත් තමන්ගේ අඹුදරුවන්ගේ අනාගතය ගැන හිතලා, එහෙමත් නැතිනම් තමන් එක්ක එකට ඉන්න අනෙක් සොල්දාදුවන් මියයන අයුරු දකිද්දී සතුරෙකුට වෙඩි තියන්න හිත හදාගන්න අපහසු නැතුව ඇති… ඒත් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්නයක් සොල්දාදු ජීවිතේ කිසිම වෙලාවක, සටන යන අතරතුරේදි (හෝ ඊට පස්සේ)  තමන්ගේ සතුරා ගැන ගෞරවයක්, අනුකම්පාවක් ආදරයක් වගේ දෙයක් හිතෙන්නෙම නැද්ද…?

මේ පරණ ප්‍රශ්න සිහිවුනේ දැන් බලපු ඔය පහල තියෙන වීඩියෝවේ අන්තිමහරියේ තියෙන පුංචි වාක්‍යයක් ඇහෙද්දී… කෙටියෙන් විස්තර කලොත් ඔය තියෙන්නේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් නියමුවෙක් බොස්නියානු අහසෙදි මිසයිල ප්‍රහාරෙකට ගොදුරුවෙලා යානයෙන් එජෙක්ට් වෙලා සතුරු අඩවිට ගොඩ බැස්සම ඔහුව මුදවාගන්නා සුප්‍රසිද්ද මෙහෙයුම… Behind Enemy Lines චිත්‍රපටියට පාදක වෙන්නෙත් මේකම තමයි මම හිතන්නේ… ඉතින් ඔය වීඩියෝවේ අන්තිම හරියේ කතා කරන,  ඒ ගුවන්නියමුවා බේරීයන්නට පෙර මරාදමන්නට වෙහෙසුනු ගරිල්ලා කණ්ඩායමේ අණ දෙන්නා කියනවා මෙහෙම පුංචි දෙයක්…

“As a man I’m glad in a way that he was rescued… But as a professional I think it was a failure on my part…”

“ඌ බේරිලා ගිය එක ගැන මනුස්සයෙක් විදියට මට සතුටුයි… !”

ඔය  වාක්‍යය තමයි මේ පෝස්ට් එකට හේතුව… ඇත්තටම ඌ මේ කියන්නේ මොකද්ද..? මොකද්ද ඒ සතුට… ඒක මෙන්න මේ විදියයි කියලා විස්තර කරන්න පුළුවන්ද..? මම මොහොතකට ඒ සොල්දාදුවා වෙලා හිතින් මවාගත්තා මගේ සතුරා මගෙන් බේරිලා පැනලා යන හැටි මම සතුටින් බලාගෙන ඉන්නවා… උත්සාහාකරලා බලන්න ඇත්තටම ඒක මහා පුදුමාකාර හැඟීමක් නෙමේද..? :)

 

සම්පුර්ණ එපිසෝඩ් එක යූටියුබේ තියෙනවා

Web Statistics