Tuesday, December 23, 2014

100. ආදිල්

හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා…

“මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා…

“පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…”

තමන් කරමින් සිටි වැඩය මඳකට නවතා, තෙත බේරෙන රෙදි කැබැල්ල වමතට මාරු කල ඔහු දකුණතේ ඇඟිලි පහ අභිනයෙන් දක්වමින් සිනාසුනා… මුහුණ පුරා වැඩුනු රැවුළත්…. අපිළිවෙල ඇඳුමත් ඔහුගේ මරුමුස් පෙනුමට කදිමට ගැලපුනත්, බුහුටි දරුවෙකුගේ වන් සිනාව ඒ සියල්ල පරදා සැරසිල්ලක් මෙන් ඔහුගේ මුහුණ අලංකාර කලා… ඒ මීට වසර කිහිපයකට පෙර, ආදිල්ව මා දුටු මුල් දිනය… ඔහුව සිතුවමකට නඟන්නැයි දැන් මට කිසිවෙකු පැවසූවොත් අදත් මා සිතුවම් කරණුයේ එදා ඔහු වතුර බාල්දියක් අබියස සිනහාවෙමින් මාදෙස බලාගෙන සිටි දර්ශනය මිස වෙනෙකක් නෙවෙයි…

ජීවිතය ඇත්තේ හුස්ම ගන්නට බවත්, අන් සියල්ලට ඒ වෙනුවෙන් පමාවිය හැකි බවටත් අමතකවීම ගැන මටම සාපකරගත් මම, දුරකතන ඇමතුමකින් හමුවීම කල්දමා මෝටර් රථයට වැදී සැහැල්ලුවෙන් අසුනේ දිගෑදුනේ ආදිල්ට ඕනෑතරම් වේලාගන්නට ඉඩදෙමින්..

ඒ අයුරින් අහම්බෙන් එකිනෙකාගේ ජීවතවලට හැප්පුන අපි, දවස් කෙටිවෙද්දී, කතාබහ දික්වෙද්දී, කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා… සුවඳ ගහන ෂැම්පු ස්නානයකිනුත්, අනතුරුව දිස්නේ දෙන වැක්ස් සාත්තුවකිනුත් මෝටර් රථය පිරිසිදුකරගන්න තිබුණු අවස්තාව උවමනාවෙන්ම මඟහැරිය මම ඒ වෙනුවට ආදිල්ට මගේ මෝටර් රථයේ කුණු දුහුවිලි සෝදා අරින්න ඉඩදුන්නේ, ඉන් ඔහු තම ජීවිතයේ ගැටළු රැසකුත් සෝදා හරින බව වැටහුණු හින්දා… අපහසුවෙන් ගැටගහන ඉංග්‍රීසියෙනුත්, ඒ ගැට බුරුල් තැන්වල හින්දියෙනුත්, බැරිම අවස්තාවක අතින් පයිනුත්, ආදිල් මට ඔහුගේ ප්ලාස්ටික් බාල්දියේ අරන් තියාගෙන හිටි සිනා කඳුලු පරිස්සමින් අරගෙන විස්තර කලා…

එලෙස මම යන්තමින් දුටු ඔහුගේ ලෝකය සාරාංශ කලොත් මෙවැන්නක්… සුරලොව ඇත්තේ දරුවෙකුගේ සිනහවකත්, යුවතියකගේ කෝල බැල්මකත් බව නොදත් අසංවේදී මෘගයන් රැසක්, සදාකාලික පාරාදීසයක සිහිනය දකිමින් වනසන අවාසනාවන්ත දේශයක් වූ පාකිස්ථානය ඔහුගේ නිජබිම… අඩුවශයෙන් තම දරුවන්ට වත් ඒ අපායෙන්  මිදෙන්නට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පහසුවෙනු වස් ආදිල් මැදපෙරදිග කාන්තාරයට ගාටනවා… නමුත් ඔහුගේ දෙවියන්ට ඇත්තේ වෙනත් සැලසුමක්… ආගමනයෙන් කෙටි කලකට පස්සේ, දිනක් තම ආයතනයේදී සිහිසුන්ව ඇදවැටී ගිලන් රථයකින්  රෝහලට යැවෙන ඔහු මාස ගනනකට පසු ඉන් එළියට එන්නේ හදවත් රෝගියෙකු ලෙසින්… ඔහුගේ පැහැදිලිකිරීම මා හරියට තේරුම් ගත්තානම්  විටින් විට නිකුත්වෙන විද්‍යුත් ධාරාවක් හරහා ඔහුගේ හදගැස්ම නොනවත්වා පවත්වා ගැනීමට දැන් සහාය වෙන්නේ හදවතේ සවිවී ඇති කෘතීම යන්ත්‍රයක්… මිනිස් සබඳතා ආදායම් සහ වියදම් වලින් පමණක් දකින පාලනාධිකාරිය ඔහුව ආපසු ඔහුගේ මව්රටට යවන්නට තීරණය කරනවා… නැවත පාකිස්තානයට යෑම තම දරුපවුල කබලෙන් ලිපට ඇද දමන්නක් බව විශ්වාස කරන ආදිල් තම ගමන්බලපත් ඇතුළු ලියකියවිලි සියල්ල අහිමිකරගෙන ආයතනයෙන්ද, තම නවාතැනින්ද පලායනවා… ඉන්පස්සේ ආයතනයෙන් ඔහුගේ වීසා අවලංගු කරන්නේ නොරටක ඔහු රැකියාවක් අහිමි නීතිවිරෝධී පුරවැසියෙකු  බවට පත්කරමින්…

තම හදවත් යන්ත්‍රයේ බැටරිය වසර හතරකට පසු මාරු කලයුතු බව ඔහුට මතකයි… නමුත් හැදුනුම්පතක් නැති ඔහු රෝහලකට යෑම කල නොහැක්කක්… හැදුනුම්පතක් නැතිව සුදුසු රැකියාවක්ද සොයාගත නොහැකි ඔහු ජීවිකාව වෙනුවෙන් තෝරාගන්නේ තවත් නීතිවිරෝධී දෙයක්… ඒ මහාමාර්ගයේ වාහන සේදීම… කවදා නවතීදැයි නොදන්න යන්ත්‍රයකින් පණ ගැසෙමින්, නොරටක අනවසරයෙන් දිවිගෙවමින්, පොලිස් සංඥා නාදයක් ගැන විමසිල්ලෙන් අනවසර රැකියාවක යෙදෙන ආදිල්, ඔහු වෙහෙසවී උපයන මුදල සම්පූර්ණයෙන්ම පාහේ පාකිස්ථානයට යවන්නේ තම පවුලේ සුභසිද්ධිය වෙනුවෙන්… තම සැමියා මහමඟ දහදිය හෙලන බව ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ… හැඳුනුම්පතක් නැති නිසාම කළුසල්ලි යවන නියෝජිතයන් හරහා මුදල් යැවීමේදී ගෙවන්නට වන සැලකියයුතු කොමිස් මුදලද ඔහු මෙම අවිනිශ්චිත රැකියාවෙන් උපයාගත යුතුයි… එසේ දුක් මහන්සියෙන් යැවූ මුදල් වියදම්කර, තම වැඩිමල් දරුවා බලවත් ඥාතියෙකු හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කලබව මා සමඟ පවසන්නේ මුවපුරා සිනාසෙමින්…

“අලුත් ඉස්කෝලේ හොඳයිද ආදිල්…”

“හොඳයි… පරණ ඉස්කෝලෙ හරි දුෂ්කරයි… අපි ඉන්නේ ගොඩක් කඳු තියෙන පලාතක… දවසට කිලෝමිටර් ගානක් කොටළුවා පිටේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ එන්නේ…”

“වස කරදරයක්නේ…!”

“හහ්….! කොටළුවා ලැබෙන්නෙත් මම රට ඉඳලා සල්ලි යවන හින්දා… අනිත් ළමයි ඒ මුළු දුරම යන්නේ පයින්….. ඔය වීදුරු උස්සගන්න මුදීර්…”

ඔහු කියන්නේ වින්ඩ්ස්ක්‍රීනය හරහා වේගයෙන් වතුර පහරක් ගසමින් … රබර් තලයකින් වීදුරුව පිසදැමෙද්දී ඉන් ඔබ්බෙහි බොඳවී පෙනුනු ආදිල්ගේ රුව පැහැදිලිව පේන්නට පටන්ගන්නවා…

“මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත  විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” හියුගෝ චිත්‍රපටියේ හියුගෝ කියන්නේ එහෙමයි… ඒ විදියට විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ මගේ රාජකාරි වලින් එකක් වුනේ අවසර ලද විටෙක ආදිල්ට සවන්දීම වෙන්නැති.. මම ඒ කලේ උදව්වක්නම්, හිලව්වට ආදිල් මටත් ප්‍රතිඋපකාර නොකර හිටියා නෙමෙයි… ඔව්… සමහරවිට ඔහුටත් නොදැනීම…

මේ එහෙම දවසක්… අපි යොමුකරන්නට යන ව්‍යාපෘති යෝජනාවක, තුන්වෙනි පාර්ශවයක සහයෝගය ලබාගන්නා කොටසක පැහැදිලි කිරීමේ පුංචි අඩුපාඩුවක් නිසා, අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අවශ්‍යය අවසන් අනුමැතිය ලබානොදෙන්න තීරණය කලා…

“කණගාටුයි බීට්ල්… අපිට මේ රිස්ක් එක ගන්න බෑ…” ඔහුගේ පිළිතුරු කවදත් කෙටියි…

පිටපතේ හැටියට ඇත්තේ බලාපොරොත්තු කඩවුණු මම නැඟිට ඒම වුනත්, කඩඉම් දිනයට පෙර වෙහෙසවී වාර්තාව සැකසූ කණ්ඩායම් සගයන්ගේ මැලවුණු මුහුණුත්, කාමරයේ ජනෙල් වීදුරුවෙන් දිස්වුනු ඈත කෙලවරක වාහනයක් හෝදන ආදිල්ගේ දසුනත්, පෙර මා නොකළ ස්ටන්ට් එකක් උත්සාහා කරන්නට මට බල කලා…

“බොස්… උඹට පේනවද අර ඈත වාහනය හෝදන හාදයා…?”

තරමක් ව්‍යාකූලව ප්‍රධානියා ඒ දෙස නෙත් යොමුකල පසු, මා ආදිල් ගැන දන්නා කරුණු සියල්ලම පාහේ සීරුවෙන් ඔහුට පැහැදිලි කලා… වචනයකින්වත් බාධාකලේ ඔහු නොවෙයි…

“දැන් බොස්…! අන්න ඌ නම් ගන්නේ රිස්ක් එකක්… මේක..? මේක ඇත්තටම රිස්ක් එකක් නෙවෙයි… බිස්නස් තීරණයක්…!”

“උඹ කවුද යකෝ මට බිස්නස් උගන්නන්න..!?”

අඩුම වශයෙන් ඒ ආසන්නයට එන පිළිතුරක්වත් මම බලාපොරොත්තු නොවුනාම නෙමෙයි… නමුත් සමච්චල් සහගත සිනාවකින් මුවසරසාගත් ඔහු තම මේසයේ රඳවා ඇති පෑන වෙත අතගෙන ගියා… ඉදිරියට පිනු මට තිබුනේ “සයින් හියර්” ස්ටිකරය සහිත පිටු පෙන්වාදීම පමණයි… ඒ ආදිල් මට මිළකල නොහැකි උදව්වක් කල එක් අවස්ථාවක්…

අවසන්වරට ආදිල් මට හමුවූයේ මීට සති කිහිපයකට කලින්…විසල් අහසට නෙත් යොමාගෙන බැරෑරුම් කල්පනාවක යෙදී ඔහු හිටියේ මෙරටේ ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන්යානා සංදර්ශනයක පුහුණුවීම් කෙරෙන අයුරු ඔහේ නරඹමින්…

“ජාතික දිනේට වීසා නැති අයට එමිර්ගෙන් සමා කාලයක් ලැබෙනවාලු… පොලිසියෙ පැමිණීලි නැතිනම් අපිට පුළුවන් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න…”

“එහෙම වුනොත් ආදිල් යනවද..?”

මම අහද්දී ඔහුගෙ ඇස් දිළිසුනා…

“යන්න ආසයි… ඒත් මගේ ළමයින්ව ඒ අපායෙන් ගලවගන්න නම් තව කාලයක් මට මෙහේ ඉන්න වෙනවා…”

අවදානමට බය නැති ඔහු සමාවට පයින් ගහන්නේ, ඉන්පස්සේ අහුවුනොත් හිරේ ලගින්න වෙන බව නොදැන නෙමෙයි…

“අලුතින් ප්ලේන් හයක් මේපාර ෂෝ එකට එමීර් වෙනම ගෙනල්ලා තියෙනවා…”

මම සමුගෙන ඉවතට ඇවිදගෙන යද්දී, ඔහු කෑගහලා කියන්නේ කොහෙන්දෝ අහුලගත්ත ඕපාදූපයක්…

“කවුද එමීර්ද උඹට කිව්වේ…?”

මම අහන්නේ සරදමට…

“චැහ්…! මේ අලුත් කෙනා මගේ යාලුවෙක් නෙමෙයි,… පරණ කෙනා නම් මගේ යාලුවා…”

ආදිල් උත්තර දෙන්නේ පොඩි ළමයෙක් වගේ හිනාවෙවී … ඒ මම ඔහුගේ අහිංසක හිනාව අවසන් වරට දැක්ක දවස…

දිනගනනකින් ඔහුව නොදැක්ක නිසා ඔහු සාමාන්‍යයෙන් දිවා අහාරය ගන්නවායැයි පැවසූ පාකිස්ථාන භෝජන ශාලාවට මම ගොඩවැදුනේ සුලෙයිමානියක් රසබලන්න විතරක් නෙමෙයි…

“ආදිල් ගෙදර ගියා…”

ගෙදර..!?”

ඔව්…පාකිස්ථාන්…”

මගේ විපරමට මට ලැබුනේ බලාපොරොත්තු නොවූ පිළිතුරක්…

“අර වාහන හෝදන ආදිල්…?”

“ඔව් ඉස්කෝලේ ඇටෑක් එකට  එයාගේ පුතෙක් අහුවෙලා…”

භෝජනාගාර සේවකයා පිළිතුරු දුන්නේ හැඟීමක් නැතුව… හදවත හිරිවැටුනු මම එතැනින් නික්මුනේ, වසර ගණනාවක් තිස්සේ ප්‍රවේසෙමන් එකතුකරපු ඒ අසරණ හදවත් රෝගියාගේ බලාපොරොත්තු ගොන්න එක මොහොතකින් සුණුවිසුනු කරලා දාපු මෘගයින් දවා අළුකරන තරම් කේන්තියකින්… සද්දන්ත ආදිල්ගේ හඬ පුංචි දරුවෙකුගේ ඉකිබිඳුමක් වගේ මගේ හදවතේ දෝංකාර දුන්නා…

“අපේ රට ඉවරයි මුදීර්… ඉවරෙටම ඉවරයි…! දෙවියෝ මේ අපායෙන් මගෙ දරුවන්ව ගලවගන්න ඕනේ…”

 

ප.ලි. : ලියවුනේ අකුරු බ්ලොග් අඩවියේ සියවෙනි ලිපිය…සියයට කෙටිකතාවක් ලියනවා කියලා කාලෙක ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියත් ඒක ගිලිහුනා…මේ ලිපි සියය පුරාවට, මෙම බ්ලොග් අඩවිය කියවන්නට ඔබ වැයකල සෑම තත්පරයක්ම සැබැවින්ම මට ගෞරවයක්… ඔබ සැමට නොවක් තුති…!!!

පිංතූරයේ ඉන්නේ පෙෂාවර්හි කනත්තක භාරකරුවෙක්…

50 comments :

  1. ආදිල් වගේ තවත් සියදහස් ගණනකගේ පැතුම් බොඳවෙලා බීටලේ.. ඒක අසාර්ථක දේශයක්.. නැවත් නැවතත් ඔප්පු කල විදියට ඒක අසාර්ථක දේශයක්.. එක අන්තවාදී බලලෝභී අදූරදර්ශී නායකයකුගේ මනෝරාජ්‍යය මැවීම වෙනුවෙන් බිහිවුන අසාර්ථක දේශයක්.. ඒත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ කිසිත් නොදන්නා අහිංසක මිනිස්සු.. ඒකයි වඩාමත් කණගාටු..

    ReplyDelete
    Replies
    1. ඔව් බුරා... මිනිස්සුන්ට යහපත් හෙටක් දිවිහිමියෙන් පොරොන්දුවෙන දේශපාලනයයි, ආගමයි, ඒ මිනිස්සුන්ගෙම අද දවස විනාශ කරලා දාන හැටි අප්‍රසන්නයි...

      Delete
  2. හිතට තදින්ම කා වැදුන කතාවක්.දෙමව්පියෝ කොහොමත් ඔහම තමයි.තම සැප දරුවන් වෙනුවෙන් කැප කරනවා.ඒකට ජාතියක් ජන්මයක් බලපාන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි කියලත් කියනවානේ...

      Delete
  3. ආදිල්ලා බොහොමයක් මේ රටෙත් ජීවත් වෙනවා අතීතය බලෙන් වගේ අමතක කරලා. ත්‍රස්තවාදය ලෝකයටම ශාපයක්. කතාව ගැන සංවේගයත් එක්කම
    බීට්ල්ට සුබ පැතුම් සියවෙනි ලිපියට . බීට්ල් කියන්නේ බ්ලොග් ලොක්ගේ මගේ ප්‍රියතම ලේඛකයෙක්. මේ රටාවට විශේෂයෙන්ම බීට්ල්ගේ මේ සංවේදී ලිවීම් රටාවට මම බොහොම කැමතියි . ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තූතියි ඉවාන්...ඔහොම යන් කියලා උබ කැලේ පනිනවානේ... :) ඉඳහිට හරි ලියනවානම් අපිත් සතුටුයි....

      Delete
  4. මිත්‍යා දෘෂ්ඨියෙ අවසාන ප්‍රතිඵලයන් ඕවා තමා බීටල්.. මොකද කරන්නෙ..! පැහැදිලි ප්‍රතිරෝධයක් නොදැක්කුවොත් මේ ලෝකෙ කොහාට අරගෙන යයිද දන්නෑ ඔය ඊනියා ආගම් කාරයන්...

    මම ලයිසන් ගන්න ඩ්‍රයිවින් ට්‍රයල් ගියේ ඔය වගේ පකිස්තානුවෙක් ළඟට. මිනිහගෙ කතාවත් අඩු වැඩි වශයෙන් ඔයිට සමානයි.. කිව්වට විශ්වාස කරහන් දවසකට පැය විස්සක් විතර වැඩ කරණවා ඒ මනුස්සයා.. මිනිහා අකමැතිම මාසය පෙබරවාරිලු.. මම ඇහුවා ඇයි කියලා.. මොකද දවස් 28යිලු වැඩ කරන්න තියෙන්නෙ ඒත් මාසෙට වාහනේට ගෙවන්න ඕනා ගාන එකයි...මට කවදාවත් ප්‍රශණයක් නොවුන දෙයක් ඒ මනුස්සයට ප්‍රශ්නයක් වෙලා තියන විදිහ ගැන මම ඒක අහපු වෙලේ පුදුම වුනා...

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නේ සෙන්නා, ශිෂ්ට විදියට ප්‍රතිරෝධය දක්වන්න පුළුවන් සීමාවල් තියෙනවානේ... ඒවා වැඩකරන බවක් පේන්නේ නෑනේ... නමුත් එතනින් එහාට ගියාම අපිත් ඒ මට්ටමට වැටෙනවානේ... ඉතිං පැහැදිලි ප්‍රතිරෝධය කියන එක සමහර තැන්වල මාර අපැහැදිලියි මටනම්...

      Delete
    2. ඔව් උඹ හරි. ඔය වෙලාවට වෙන්න ඕනා විසෙන් විස නසන තියරිය බලාත්මක වෙන්නෙ.

      Delete
    3. පිස්සු බල්ලෙක් පාර දිගේ මිනිස්සුන්ව හප හපා දුවන්ට පටන් ගත්තොත් ඌට වෙඩි තියලා දානවා ඇර වෙන මොකක්ද තියෙන විකල්පය.. :-D

      Delete
    4. @බුරා
      ඒ පිස්සු බල්ලාට නම් ඔය දෙන්නේ මදි නොකියන්න... මම අදහස් කලේ ඒ ආසන්නයට යන අය ගැන...

      Delete
  5. What a sad, yet thought-provoking story


    What a sad ,yet thought-provoking story!


    ReplyDelete
  6. නියමයි බීටල් ... ඔෆිස් එකේ වැඩ කරන අතරේ බීටල්ගේ බ්ලොග් එක කියවන තමයි මගේ එකම පුරුද්ද ...මට ඔනෑ කරන අයිඩියා සෑහෙන ගානක් මම බීටල් ලියාපු ලිපි ඇතුලේ තිබිලා හොයාගත්තා ... ඒත් සිංහල ටයිප් කරන්න බැරි නිසාම කමෙන්ට් එකකින්වත් ස්තූතියි කියන්ඩ බැරි වුණා ... නිවාඩුවට ගෙදර ආවට පස්සේ බීටල්ගේ බ්ලොග් එකේ දැක්ක අලුත්ම ලිපිය කියවලා කමෙන්ට් එකක් දාන්න ආවේ ඒකයි ...

    කතාව කියෙවුවා ... නොසෑහෙන්න සංවේදියි .... ඒත් ඒ කතාව වෙනස් කරන්න අපිට කරන්න පුලුවන් දෙයක් නම් නෑ .ඔය වගේ කතා තව ගොඩක් ලියැවේවි බීටල්.. දෙවියෝ පටන් ගත්ත මේ සීන් ඉවර කර ගන්නත් වෙන්නේ දෙවියන් එක්කම තමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් සංතෝසයි මචෝ... කතාව වෙනස් කරන්න අපිට කරන්න පුළුවෙන් දෙයක් මටත් හිතාගන්න බෑ... මට හිතෙන්නේ මේකේ උපරිමයකට ගිහිල්ලා කවදාහරි උන්ගෙන්ම මේක නසන දේත් බිහිවේවි...

      Delete
  7. //“මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” // ඔව් ආදිල් ත්, ඔබත්, මමත්- මේ ගමනේදී මුණගැහෙන දහසක් දෙනාත්.

    great writing buddy, saying lots with very little.

    ReplyDelete
    Replies
    1. සියවැන්නටත් සුපැතුම්, තවත් දහසක් ලියන්නට දිරි! :)

      Delete
    2. ගොඩක් ස්තූතියි මලිති, විශ්වය කියන විසල් යන්ත්‍රයේ ලඟපාතින් කැරකෙන දැති රෝදයක් වුන එකට :D

      Delete
  8. බීටල්ගෙ කතා අතර යෙදුම් සමහර විට කොහෙන්වත් නොදකින නොඅසන වෙලාවකට දුර්ලබ යෙදුම්. //කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා// වගේ.

    සියක් වැනි ලියවුමට සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නන්ඳු ඉස්සර ඉඳන්ම කියවනවාටත්...

      Delete
  9. මේ වගේ දාස් ගානකගේ කතා මම ගාවත් තියෙනවා. එකම ප්‍රශ්නේ බීටලේට වගේ මට ඒවා ලියන්න බැරිකමයි...
    සුභ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ලියන එක හරි පුංචි දෙයක්... රංගි මහපොළවේ ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්න විසඳගන්න උදව්කරනවානේ... හැමදාම උදේට අප්‍රමාණ සතුටකින් දවස පටන්ගන්න ඒකම ඇති...

      Delete
  10. ඇත්තම කතාවක් නේද බීටලේ?හරිම ශෝකජනකයි.මිනිහෙකුගෙ බලාපොරොත්තුව වෙච්චි දරුවා.කාටද වාවගන්න පුළුවන්.
    ආ සියවෙනි පෝස්ටුවට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. මම නාකිවෙනකල් ජීවත් වෙලා, මේ රස්සාවෙනුත් විශ්‍රාම ගිහිල්ලා, ඒ අතර කාලයේ ලියන එක පුරුදු වෙලා, කවදාහරි ලේඛකයෙක් වුනොත් මගෙන් ඇහුවට උත්තර දෙන්නේ නැති ප්‍රශ්න දහයක ලිස්ට් එකක් හදන්න ඉන්නේ... ඒකෙන් දෙකක් දැනටමත් තියෙනවා... එකක් තමයි "මේක ඇත්ත කතාවක්ද?" තව එකක් තමයි "මේවගේ අයිඩියාවක් ආවේ කොහොමද?"... ඒත් තාම එහෙම වෙලා නැති හින්දා හැලපෙගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවා... :D ඔව්, නම් සහ දෙබස් විතරක් වෙනස් කරපු මේක ඇත්ත කතාවක්...

      සුභ පැතුමට ස්තූතියි හැලපේ....

      Delete
  11. Replies
    1. ස්තූතියි නිමෝ...

      Delete
  12. ජීවිතයත් බිස්නස් තීරණ වගේ තීරණවලින් සකසා ගන්න පුළුවනි නම් මොනවා කරන්න බැරිද? ඒත් එකම ප්‍රශ්ණය ඒ තීරණ ගන්නේ වෙනත් අය වීමයි!

    සීයේ කනුව ගැන සතුටුයි! ටිකයි හොඳයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික... ලාබ, පාඩු මිළ කරන්න බැරි ජීවිතය තමයි අමාරුම බිස්නස් එක...

      Delete
  13. බීටලේගෙ කතා තියෙන්නෙ රස විඳින්නම විතරක් නෙමෙයි, බොහෝ වෙලාවට මට නං ඒවායින් අමතක නොවෙන පාඩම් කියලා දෙනවා. සීයට සුභ පැතුම් වගේම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බස්සා... රසවිඳිමට වඩා යමක් ලැබෙනවා නම් මට ඊට වඩා සතුටක් නෑ...

      Delete
  14. පමා වෙලා හරි කියවන්න ආව.
    කතාව ගැනනං කියන්න දෙයක් නෑ හරිම සංවේදී හැඟීමක් ඇතිවෙන්නෙ. අර සිද්ධියගැන ඇහුවට පස්සෙ ආදිල්ගෙ අවුරුදු ගානක බලාපොරොත්තු මොහොතකින් සුන් වෙලා යන්න ඇති.

    සියවෙනි කඩඉමට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රසන්න... පරක්කු වෙලා ආවට අවුලක් නෑ ලියවෙන්නේ හෙමීට හින්දා...

      Delete
  15. මේ ලිපියෙ අවසානය බොහොම ලොකු කම්පනයක් මා තුල ඇතිකලා....මගේ රැකියා වටපිටාව තුලත් පාකිස්ථානුවන් තමන්ගෙ රට තුල විඳින ගැහැට ඔවුන්ගේම වචන වලින් මා අසා තිබීමත්...පාකිස්ථානය තුල ඉතා හොඳ රැකියා කල පුද්ගලයන් මා වෙසෙනා රටේ එයට වඩා බොහොම අඩු තනතුරු වල සේවය කිරීමත් මම නිතරම දැක තිබෙනවා. මේ කථාවේ කියවෙන ආදිල්ගෙ චරිතය තුලට කිඳා බැස්සම ඒ හිතට මේ වෙලාවෙ දැනෙන හැගීම කොයි වගේ එකක් වෙන්න ඇතිද කියලයි මම කල්පනා කලේ...ඒක හිතාගන්න බෑ...ඒ තරම් සංකීර්ණයි...නිසැකවම හොඳ ලියවිල්ලක් බීට්ල්...100 කඩඉමට මගේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ජීවිත මාර දුක්ඛිතයි තමයි... ඒගොල්ලෝ දවස පුරා දෙවියන් යදිමින් නොපෙනෙන දිව්‍යලෝකයක් ගැන ප්‍රාර්ථනා කරන්නේත් ඒ නිසා වෙන්නැති... සුභපැතුමට ස්තූතියි සිරා...

      Delete
  16. මේ ශතකය ඉතාම සුපරීක්ෂාකාරීව ලබා ගත්තු එකක්. ඒ නිසයි වටින්නේ. ශතකයට සුබ පැතුම් !!!!

    මේ කතාව ඉංග්‍රීසියෙන් ලියලා රීඩර්ස් ඩයිජෙස්ට් හරි ටයිම් එකට හරි යැව්වොත් අනිවාර්යයෙන් ඵල කරාවි. බීටල් කියන්නේ අලියෙක් වගේ කෙනෙක්. තමන්ගේ ශක්තිය අවුබෝධ නොවුණු.

    ReplyDelete
    Replies
    1. හහ් හා.. ඒ කියන්නේ සංගක්කාරගේ ශතකයක් වගේද... :D අගයකිරීමට ගොඩක් ස්තූතියි සුදීක... ශක්තිය කියන්නේ මෙහෙමයි... හොඳ නිර්මාණ කියෙව්වාම අපිටත් ඒවගේ ලියන්න ට්‍රයි එකක් හරි දෙන්න හිතෙනවානේ... ඒ උත්සාහය මම කවදාවත් අතාරින්නේ නෑ...

      Delete
  17. විශිෂ්ඨ ලියවිල්ලක්....

    මෙහෙම චරිත මට මුණගැහිලා තියෙනවා. ලියන්න හිතෙන්නෙම නැහැ ඒ දුක පපුව ඇතුලේ මිරිකෙන හින්ද. ලියවිල්ලත් , මෙහි අන්තර්ගතයත් සංවේදියි. 100ට සුබපතන්න ඕනෙද?? හි.. හි... වටිනා පොස්ට් 100ක් ලැබුනට හරි සන්තෝසයි. ඕකේ කවුන්ට් එක මොකක් උනත්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපේක්ෂා... සමහරවිට සංවේදී වැඩි වුනාමත් ලියන්න අමාරු වෙනවා ඇති...

      ඔන්න ඔහේ සුභපතන්න... මම පළවෙනි පොස්ට් එක ලියද්දී දෙවනි පොස්ට් එකක් ලියන්න දෙයක් තියේවි යැයි මට හිතුනේ නෑ... ඒ හින්දායි 100ක් ලියවුන දවසේ සෑහෙන්න බොන්න ඕනේ... :D

      Delete
  18. බිටලුත් කරන වැඩ. ඉඳල ඉඳල බ්ලොග් එකක් කියවන්න ආවා. ප්ලේන් එකක යද්දී තඩි එයා පොකට් එකකට වැටුන වගේ.

    ReplyDelete
  19. Congratulations for your anniversary.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි... ඒක නෙමෙයි වැඩේ... නෙළුම් විලේ කැලෑව වැවෙන්න ඇරලා තියෙන තරමට තව ටික කාලෙකින් ගෝටාභයටත් බැරිවෙයි හමුදාව දමලා සුද්ධ කරලා ආයෙත් ඒක නෙළුම් විලක් කරන්න :P

      Delete
  20. ආදිල්ලා හැම තැනකම ඉන්නවා ලස්සන හින,බලාපොරොත්තු පුරෝගත්තු, එත් හිත් පිත් නැති මිනිස් වෙස් ගත්තු නරුමයෝ ඒ හින,බලාපොරොත්තු එක තප්පරෙන් සුණු,විසුණු කරලා දානවා.

    සංවේගත්මක සටහනක්.සියට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් මේ එක කතාවක් විතරයි... කොයි පැත්තෙන් වුනත්, පත්තුවෙන උණ්ඩයක් ගානේ මැරෙන්නේ කාගේ හරි බලාපොරොත්තු...

      Delete
  21. Congrats Beetle. Always loved your work. Keep writing! :)

    ReplyDelete
  22. වැදුනා බං බොක්කට එල ද බ්‍රා

    ReplyDelete
  23. සංවේදී කතාවක් බීට්ල් .. අර ප්‍රොජෙක්ට් වලදී පොඩි පොඩි දේවල් මහා ලොකු කරගෙන දගලලා .. හෙන රිස්ක් වැඩ කියල හිතන ලොක්කෙක් එක්ක මමත් වැඩ කරලා තියෙනවා .. හෙහ් හෙහ් හිනා යනවා ඒ මනුස්සය හිතන දුර සහ බය වෙන දේවල් දැක්කම .. හැමදාම වලි ඉතින් ..

    ආදිල් වගේ මිනිස්සු ගන්න රිස්ක් වලට වටිනාකමක් තියෙන්නේ කෙටි කතා, නව කතා , චිත්‍ර පටි වලදී විතරයි ..

    ReplyDelete
  24. "මචං" ෆිල්ම් එකේ ඉන්නවා මැදිවයසත් පහු කරපු මිනිහෙක්.පොරත් රට පනින්න සෙට් වෙනවා.එයාර්පෝට් එකේදි මිනිහා තමං ගෙ වයිෆ් 'ජෙස්මින්' ගෙ මූනෙ දකින ලස්සන හිනාවක් දිහා ආදරෙන් බලන් ඉඳලා කියනවා "මට අන්තිමට එයා කැමති මිනිහෙක් වෙන්න පුලුවන් උනා.ලොකු ආදරයක් දැනෙනවා.ඒත් එයා දන්නෙ නෑ අපි ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ කියලා"
    මිනිහ කියන සතා ජීවත් වෙන්නෙ අනුන් වෙනුවෙන්.. මම දැක්කෙ ඒක.

    ReplyDelete

Web Statistics