Saturday, October 26, 2013

84. අපේ නොවෙන අපේම දේවල්…

 

විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ඕසම්…” යැයි මුහුණුපොතට බෑඟිරි ගැසූයෙමි… දැන් ඉතින් ෆිල්ම් එක බැලුවේ නැතත් මොකද…? මට සිතුණි…

“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා…” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගයයි… මටද මගේ නොවන කුමක් හෝ දෙයක් ඇතිදැයි මම සිතන්නට වීමි… කොටින්ම මේ මොහොතේ අනෙක් පුටුවේ වාඩිවී පුටු ඇඳි දෙකම අයිති කරගෙන චිත්‍රපටිය නරඹන සද්දන්තයා මට අහිමි කර ඇති, මගේ නමුත් මගේම නොවන පුටු ඇන්දේ පටන් ජීවිතය පුරාම වැඩියෙන්ම මට තිබී ඇත්තේ එවැනි දේ බව මට පසක් විය… ගායනයේ තාලයට සෙමින් මාගේ දෑස පියවෙන්නට වූයෙන් මටත් නොදැනීම මා නිදිලොවට පිවිසෙන්නට ඇතැයි සිතමි… සුලු මොහොතකින් මා සිටියේ නිවසේ හාන්සි පුටුවේ වැතිරීගෙනයි… මට මෙන්ම ලෝකයේ අනිත් අයටත් ඔවුන්ගේ නොවෙන ඔවුන්ගේ දේවල් ඇතිදැයි සෙවීමට මට ආශාවක් ඇතිවූයෙන් මම හනික නිවසින් එළියට පියමැන්නෙමි…

මුලින්ම මට හමුවූයේ එහා ගෙදර සිල්වා අංකල්වයි…

“අංකල් කඩේ ගියාද…?” මම ඇසුවෙමි…

“ඔව් පුතා මේ එක්සර්සයිස් එකටත් එක්ක පොඩ්ඩක් ඇවිදගෙන ගියා…” තුංමුණින් දහදිය පෙරාගෙන අංකල් පවසයි…

“අංකල් මම මේ අහන්නම කියලා හිටියේ… මෙහෙම ඇහුවා කියලා මං ගැන වැරදියට හිතන්න එපා…”

“පිස්සුද පුතා… අහන්න ඕනේ දෙයක්…”

“අංකල්ට අංකල්ගෙ නොවෙන අංකල්ගේම මොනවා හරි තියෙනවද…?”

සිල්වා අංකල් ටික වේලාවක් කල්පනා කරන්නට විය…

“හරි තියෙනවනේ පුතා…”

“මොකද්ද අංකල්…?”

“ඇයි ළමයෝ මගේ පඩි පැකට් එක…!”

සිල්වා ඇන්ටි ගේට්ටුව අසල හිඳ උගුර පාදද්දී සිල්වා අංකල්ගේ මුහුණ ශෝචනීය වූයෙන් ඔහුට සමුදුන් මම හන්දිය බලා පිටත් වීමී… කෑගසාගෙන පැමිණි ප්‍රයිවෙට් බසයක් මා අසල නැවැත්වූ අතර පසෙකට පැනගැනීමටත් ප්‍රථම කොන්දොස්තරවරයා මාගේ කොන්දෙන් අල්ලා අසුරු සැණින් බස්රථයට පටවා ගන්නා ලදී… ඔහු කාරුණිකව මඟීන් අමතන අයුරු දැකීමෙන් පිනාගිය මා පමා නොවී මාගේ පැනය ඔහුටද යොමු කළෙමි…

“මල්ලි මේ අහන්ඩකෝ…”

“මට ඇහුන්නෑ…”

රියැදුරු අසුනට ඉහළින් එල්ලුණු එල්.සී.ඩී. තිරයක මහ හඬින් වැයෙන සංගීත සාජ්ජයකි… මඳක් ඔහුට ළංවුණු මම ඒ හඬ පරයා කෑගැසුවෙමි…

“මල්ලිට මල්ලිගේ නොවෙන මල්ලිගෙම මොනවා හරි තියෙනවද..?”

ඔහු කල්පනා කරද්දී අසළවූ මඟියෙක් අපට බාධා කළේය…

“තියෙනවා නේන්නං… මගේ ඉතුරු රුපියල් දෙක..! දැන් ඉතින් ඒක මුගේ නොවෙන මුගේම දෙයක් තමයි… ”

මා පසෙකට තල්ලු කර මඟියාගේ කොලරයෙන් අල්ලාගත් කොන්දොස්තරවරයා ඔහුට ආදරයෙන් ඇමතීය…

“මේ මහත්තයා අරූ මූ කියන්න එපා හරිද…? මහපාරේ රස්සාව කළාට අපිත් ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු…”

“ආත්ම ගෞරවයක් තියෙනවනං මගේ රුපියල් දෙකට කෙලියිද…?”

එන පොට හොඳනැති බව වැටහුණු හෙයින් මා බස් රියෙන් බැසගන්නා අටියෙන් හීන්සීරුවේ ඉදිරිපස දොර වෙත ඇදුනි… ඉදිරි නැවතුමෙන් බැසගන්නා බව රියදුරාට දැනුම්දුන් මා නිකමට මෙන් මාගේ දැවෙන ප්‍රශ්නය ඔහුටත් යොමු කළෙමි…

“අයියාට අයියාගේ නොවෙන අයියාගේම මොනවා හරි නැද්ද…?”

මඳක් කල්පනා කළ රියැදුරු මහතා යමක් සිහිවූ සෙයින් සිනාසුනි…

“තියෙනවා නේන්නං…”

“ඒ මොකද්ද..?”

“ඇයි මේ පාර…! මේක ඉතින් මගේ නොවුනට මගේම පාර වගේ තමයි…”

පදික වේදීකාවේ ගමන්කළ මඟියෙකු කාණුවට විසිකරමින් වැරදි පැත්තෙන් තවත් බස් රථයකට ඉස්සර කළ ඔහු, බස්නැවතුම පසුවී මීටර් සියයක් පමණ ගියපසු බරාස් ගා බ්‍රේක් පාරක් ගසමින්, පාර මැදම බස් රථය නවතා මට පැවසීය… මම හනික ඒ අවසරයෙන් බිමට පැනගතිමි…

“මැරෙන්ඩද ඕයි යන්නේ…” පුෂ් බයිසිකල්කරුවෙක් මට ආචාර කරමින් උගේ වුණත් උගේ නොවෙන හයිවේ එක මඟහැර මට වෙට්ටුවක් දමාගෙන යන්නට ගියේය…

වටපිට බැලූ මා දුටුවේ මැදිවියේ මිනිසෙකු අසල ඇන තබාගෙන දුකින් හඬාවැටෙන අයුරුයි…

“මොනවා මේ අමරසිරි පීරිස් මහත්තයා නේද…!?”

අමරසිරි පීරිස්ව හඳුනාගැනීම මට අපහසු නොවීය…

“මම මේ ඔයාගේ සිංදුව ගැන හිත හිතමයි හිටියේ…?”

“මතක් කරන්න එපා ඔය සිංදුව… ඒක මගේ වුනාට දැන් මගේම සිංදුවක් නෙමෙයි…”

“ඔයාගේ වුනාට ඔයාගෙම සිංදුවක් නෙමෙයි…?”

මේ අපභ්‍රංශය තේරුම්ගත නොහැකිව මම ඇසුවෙමි…

“ඔව්… අර තිරිසන් රිගින් ටෝන්කාරයෝ සිංදුව ලිව්ව කෙනයි මියුසික් දාපු කෙනයි අල්ලගෙන ඒ සිංදුව මගෙන් හොරකං කළා ඕයි..!”

මම කට ඇරගෙන අසා සිටිද්දී ඔහු පැවසීය…

“ඉතිං ඕකට ඔහොම ඉඳලා හරියන්නේ නෑ.. දැම්මේ නැද්ද කම්ප්ලේන් එකක්…”

“කාට කියලා කම්ප්ලේන් කරන්නද…?”

“අපි ජනාධිපතිතුමාට කියමු…”

“මෙච්චර පොඩි කේස් වලට ජනාධිපතිතුමා අතදායිද…?”

“මොකද නැත්තේ… ඔය පොල් හොරකම් වලටත් අතදාන්නේ…”

මම පැවසූයෙන් අමරසිරි පීරිස් ජනාධිපතිතුමා හමුවීමට යෑමට එකඟ විය… අපි හනික අරලියගහ මන්දිරය බලා පිටත්වීමු… මට අධික සතුටක් දැනුනි… දැන් ජනාධිපතිතුමාගෙනුත් මේ ප්‍රශ්නය අසන්නට පිළිවන… එතුමාගෙන් අසන එකේ විපක්ෂ නායකතුමාගෙනුත් අසන්නට හැකිනම් සියල්ල සම්පූර්ණයැයි මට සිතුනි… අමරසිරි පීරිස්ගේ ජංගම දුරකථනයෙන් මම විපක්ෂ නායකතුමා ඇමතීමී…

“මේ ඔබතුමාගෙන් පොඩි කාරණාවක් දැනගන්න අපි කතාකලේ…”

“ඔව් මොකද්ද…?”

“ඔබතුමාට ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද…?”

“මගේ නොවෙන ඒත් මගේම දෙයක්… ඔව් තියෙනවා…”

මඳවේලාවක පසු එතුමා පිළිතුරු දුනි…

“ඒ මොකද්ද…?”

“ඇයි මේ විපක්ෂ නායකකම…!”

එතුමා පවසද්දී පසුබිමින් තවත් කවුදෝ දුරකථනයට කෑගසනු මට ඇසුණි…

“ඉතිං මටත් තියෙන්නේ ඒකමනේ….!”

ඒ කවුදැයි හරිහැටි අසාගත නොහැකිවූයේ විපක්ෂ නායකතුමා ඒ සැනින්ම දුරකථනය විසන්ධි කල බැවිනි… ඒ සජිත් මන්ත්‍රීතුමාගේ කටහඬදෝයි මට මොහොතකට සිතුනි….තවත් කිහිපදෙනෙකුටම කතාකිරීමට මට අවශ්‍යය වුවත් ඒ වනවිට අපි අරලියගහ මැදුරට ළඟාවී සිටි නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි… එදින අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා නිලධාරියා අමරසිරි පීරිස්ගේ හොඳ රසිකයෙකු වීම නිසා වැඩි කරදරයක් නැතිවම අපිට ජනාධිපතිතුමා මුණගැසීමට ඇතුළුවීමට හැකිවුනි… එතුමා සැපත්වනතුරු සුවපහසු අසුන් දෙකකට බරවී බිත්ති වල එල්ලා ඇති නොයෙක් විසිතුරු සැරසිලි, කඩු කස්තාන නරඹමින් අපි විවේකීව සිටියෙමු…එතැනින් අප පසුකර යන හුරුපුරුදු තරුණයෙකු මා ඇසගැටුණේ එවිටයි…

“මේ රෝහිත මහත්තයා නේද…?”

මම හනික ඇසීමි…

“ඔව් ඔව්…”

ඔහු පිළිතුරු දුන්නේය…

“අනේ ඉතිං ගොසිප් සයිට් වල දැකලා තියෙනවා මිසක් ඇත්තට දැක්කේ අදනේ…”

මම පවසද්දී අමරසිරි පීරිස්ද ඔළුව වැනීය…

“ඉතිං මොකද මේ පැත්තේ…?”

රෝහිත ඇසීය… මම ලද අවසරයෙන් මගේ දාර්ශනික ප්‍රශ්නය ඉදිරිපත් කලෙමි…

“අපි මේ අපේ නොවෙන අපේම දේවල් මොනවද කියලා හොය හොයා යනවා… ඔබතුමාටත් එහෙම මොනවා හරි කල්පනාවට එනවද…?”

“අපේ නොවෙන අපේ දෙයක්…. හරි..! තියෙනවනේ…”

“ඒ මොකද්ද..?”

“ඇයි සැටලයිට් එක…! ඒක ඉතිං අපේ නොවෙන අපේ දෙයක් තමයි…”

මමත් අමරසිරි පීරිසුත් මුහුණට මුහුණ බලාගනිද්දී ඔහු පැවසීය… ඒ සමඟම ජනාධිපතිතුමා සැපත් වූයෙන් අපි දෙදෙනා එකත්පස්ව සිටගතිමු…

“දැන් මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ…?”

එතුමා පවසද්දී අමරසිරි පීරිස්ට පෙර මම ඉස්සර වීමි…

“ඉස්සෙල්ලාම අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද කියලා…?”

“ම්ම්ම්… එකක් නෙමේ දෙකක්ම තියනවා…”

එතුමා ඇඟිලි වලින් දෙකේ ඉලක්කම පෙන්නමින් පැවසීය…

“ඒ මොනවද ජනාධිපතිතුමා…”

“ඇයි ව‍යවස්ථාදායකයි, අධිකරණයයි… ඒ දෙකම මගේ නොවුනට දැන් ඉතින් මගේ වගේ තමයි…! හොක් හොක් හොක්…”

එතුමා මහ හඬින් සිනාවෙද්දී අපි දෙදෙනා ඔළුවේ අත්ගසා ගතිමු…

“ඇයි ඔහෙලට ඔහෙලගේ නොවෙන ඔහෙලගේම දේවල් නැද්ද…?”

සිනාව නතරකරගත් ජනාධිපතිතුමා පෙරළා ප්‍රශ්න කළේය… මට හදිසියේම සත්‍යය අවබෝධවිය…

“ඔහෙපලයන් තියෙනවා නේන්නං ජනාධිපතිතුමා…”

“ඒ මොකද්ද…?”

එතුමා ඇසීය…

“ඇයි අපේ නොවෙන අපේම ආණ්ඩුව…!”

මමත්, අමරසිරි පීරිසුත් දෙදෙනාම එකවිට පැවසූයෙමු…

 

පිංතූරය : http://www.films.lk/FilmDetails.php?id=2033

Monday, October 14, 2013

83. මැහැල්ල සහ බල්ලා…

image

මැහැල්ල,  මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය…

උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි…

ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි…

මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි…

තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය…

එහෙත් දැන් ආපසු හැරෙන්නට ගිය දුර වැඩිය…

බල්ලා බලා සිටී…

අවසන් මොහොතේ මස් කටුව ඌ වෙත විසිනොකිරීමට හේතුව වටහා ගැනීම ඌට අපහසු වියහැක…
මිනිස් සන්තානයේ පහළවෙන සංකීර්ණ සිතුවිලි බල්ලෙකුට වැටහෙනවායැ…!

උගේ බොර පැහැ නෙත්ද, නියවන උල් දත්ද අමතක කර සිත්ගන්නා සුළු කිසිවක් හෝ ඇත්දැයි දකින්නට ඇය උත්සාහා කලාය…

අඳුරු පසුබිමේ කළුපැහැ සිත්තමක් වැනි ඡායාවක් හැර කිසිත් ඇයට නොපෙනේ…

ඇය තරුණ වයසේදී ලෝම පිරුණු රට බල්ලෙකු තුරුළු කරගෙන හුරතල් කිරීමට සිහින දැකි අයුරු ඇගේ මනසේ හොල්මන් කරන්නට විය…

ඒ සිහින සියල්ල එකින් එක පහන් වී අවසානයේ ඈ අවදිවූයේ තම සැමියාගේ නිසල දෙණ අභියසදීය…
ඉන් ඉක්බිති නොනිදාම ඇය දකින තවමත් පහන් නොවූ එක් නපුරු සිහිනයකි…

මැහැල්ලට තම මන්දමානසික දියණියද ඇගේ සිඟිති දරුවාද සිහිවිය…

සිඟිත්තා තම දියණිය හා දිගු වේලාවක් තැබීම අනතුරකට අතවැනීමක් බව ඇය අත්දැකීමෙන් දනී…
බල්ලෙකු සුරතල් කරමින් නාස්ති කරන්නට කාලයක් ඇයට නොවේ…

තවත් බලා නොඉඳ ඇය මස්කටුව බල්ලා වෙත විසිකලාය…

මොහොතක පමාවකින් තොරවම එය අසල වූ කඩයක දොර පියනට හේත්තු කරගත් බල්ලා…
ඇය ළය පුරා වියරුවෙන් පහුරුගාන්නට විනි…

මුල් පිංතූරය : Nat Dickinson

Monday, September 16, 2013

82. බලාපොරොත්තුව…



හිතුමතේ ජීවිතේ,

ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්...
උඹ ගිය හැම සැරේකම...
ගියාටත් වඩා සතුටින්...
ආපහු දුවගෙන එන බව...
මම දැනගෙන හිටියා...
උඹ ඒ විදියටම ආවා...

ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය
උඹෙන් උන්ට ගන්න බැරිවුණ
එකම දේත් ඒක...
ජීවිතය...

අන්තිමේ උන් දින බලලා
හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි...
 
නඩුවක් අහන්නැතුවම....
මේ කූරු වලින් එහාපැත්තේ...
විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි...
දරුණු අපරාධකාරයොත් එක්ක...
 
පරිස්සමෙන්...!

ඉගෙනගනින් මුල ඉඳන් හැම දෙයක්ම...
මෙහෙ වගේ නෙමේ ඔහේ...
නෑ කිසි පිළිවෙළක් ...
පළවෙනි රෑ තමයි අමාරුම...
යකඩ කූරු නැති කාමරේක
නිදියන පළවෙනි දවසේ
අමුත්තක් දැනෙයි..ඉවසපං...!

මොනවා නැතත්...
එක දෙයක් නැති නොකර තියාගනින්...
බලාපොරොත්තුව...!
 
මෙහෙදි උඹව ජීවත් කරවපු...
එකම දේත් ඒක...
ඔහෙදි උඹට වැඩියම...
අවශ්‍යය වෙන දේත් ඒක...

මම,
උඹ නැති සොවින් තැවෙන,
උඹේ සෙල් එක.

image : gossip9

Saturday, August 24, 2013

81. Now You See ME

ගැටවර වයසේදී අපි බොහෝදෙනා ආශාකරන සමහර දේ කාලයත් සමඟ අප වියපත් වෙද්දී පහව යනවා… හරියට රැප් සංගීතය, WWE රෙස්ලින් වගේ දේවල්… ඒත් සමහරදේ කෙතරම් කාලයක් ගතවුණත් අපෙන් දුරස් වෙන්නේ නෑ… එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්… සැබෑ ජීවිතයේදී බැංකු මංකොල්ල පිළිබඳ ආශාව ඉටුකරගැනීමට යෑම භයානක නිසා එය මට ළඟාකරගන්නට සිදුවී තිබෙන්නේ චිත්‍රපටිවලින්… මැජික් නම්, අන්තර්ජාලයේ සැලකියයුතු තරම් සම්පත් ප්‍රමාණයක් ඇති නිසා උනන්දුව ඇතිනම් නිතර ඇසුරු කලහැකියි… ඊට අමතරව ළඟා වියහැකි දුරක ඇති මැජික් සංදර්ශනයක් මට මඟහැරෙන්නේ කළාතුරකින්…

ඉතින් මේ ගැන සදහන් කරන්නට හිතුවේ ඊයේ මම නැරඹූ චිත්‍රපටියක් මට ආසන්න වශයෙන් සුරතාන්තයක් ළඟා කරදෙන්නට තරම් වුන නිසයි… ඒ මම ඉහත සඳහන් කළ එකිනෙකට සම්බන්ධ නැති මගේ ෆැන්ටසි දෙක මෙම චිත්‍රපටියෙදි එකට එක්වීම නිසා…  මැජික් ශිල්පීන් විසින් කරන බැංකු මංකොල්ලයක්…! පුද්ගලිකව මටනම් ඊට වඩා ලස්සන වැඩක් මේ ලෝකේ තිබිය නොහැකියි…!

බොහෝ විචාරකයන් මේ චිත්‍රපටය ගැන සුබවාදීව බලන්නේ නැහැ… ඉන්සෙප්ෂන්, ෂටර් අයිලන්ඩ්  වැනි නැවත නැවත් සිතමින් රසවිඳිය හැකි ප්ලොට් එකක් නැතිවා වුනත්, පුද්ගලිකව මා නම් මෙම චිත්‍රපටිය ගොඩක් රසවිඳිබව කිවයුතුයි…

කතාව කෙටියෙන් කියනවා නම් Four Horseman කියන්නේ ස්ට්‍රීට් මැජික් ශිල්පීන් හතරදෙනෙකුගේ එකතුවක්… ඔවුන්ගේ පළවෙනි රියැලටි මැජික් ශෝ එක ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස් වල සංදර්ශන වේදීකාවේ සිට සජීවීව පැරිසියේ බැංකුවක් මංකොල්ල කා මුදල් රැගෙන ඒම… මේ ක්‍රියාදාමයෙන් අනතුරුව FBI හා Interpol ඒජන්තවරුන් දෙදෙනෙකු වන Dylan (Mark Ruffalo) සහ Alma (Mélanie Laurent) එක්ව ඔවුන්ව අත් අඩංගුවට ගත්තත් ඔවුන් බැංකුව කොල්ලකෑ මැජික් එක සාක්ෂි සහිතව උසාවියට පැහැදිලි කල නොහැකි නිසා ඔවුන් නිදහස් කෙරෙනවා… අනතුරුව මේ දෙදෙනා පිහිට පතන්නේ මැජික් ට්‍රික්ස් හෙළිකරන්නෙකු ලෙස තම ජීවිකාව ගෙනියන Thaddeus (Morgan Freeman) ගෙන්… ඔහු Four Horsemanලාගේ බැංකු මංකොල්ලය පිළිබඳ මැජික් ට්‍රික් එක පැහැදිලි කර පෙන්වනවා… මේ අතරේ Four Horsemanලා මීට නොදෙවෙනි තවත් මැජික් සංදර්ශන දෙකක් ඉදිරිපත් කරනවා… Thaddeus  ඔවුන් පසුපස හඹායන්නේ ඒ මැජික් උපායනුත් හෙළි කරගන්න අටියෙන්… මේ අතරේ Dylan සහ Alma මොවුන් කොටුකරගැනීමට මඟක් පාදාගැනීමට උත්සාහා කරනවා… Alma විශ්වාස කරන්නේ The Eye නම් සුපිරි රහස් මැජික් කවයකට සුදුසුකම් ලබාගැනීම සදහා මොවුන් මේ මැජික් සංදර්ශන පවත්වන බවයි… නමුත් Dylan ගේ අදහස මැජික් සංදර්ශන හරහා කෙරෙන මේ දැවැන්ත මංකොල්ල එකිනෙකට සම්බන්ධ බවත් මේ හරහා සුක්ෂම ලෙස කවරෙකු හෝ තමන්ගේ තරහාකාරයෙකුන් පළිගන්නා බවයි… Alma විශ්වාස කරන පරිදි Four Horseman  කණ්ඩායමට The Eye හි දොරටු විවරවේද..? නැතිනම් ඔවුන් පසුපස ක්‍රියාත්මක වෙන අදිසි මිනිසා කවුදැයි Dylan ට හෙළිකරගත හැකිවේද…? Thaddeus ට Four Hourseman ලාගේ රහස ලෝකයට හෙළිකරන්න හැකිවේවිද…? මේ සියල්ලට පිළිතුරු සොයාගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා…

වෙලාව ඇතිනම් නරඹන්න… මේ ඔබ නරඹන හොදම මිස්ට්‍රි ත්‍රිලර් චිත්‍රපටිය නොවෙන්නට පුළුවන්… නමුත් මෙය නරකම එක වෙන්නත් විදියක් නැහැ… විමසිල්ලෙන් නැරඹුවේ නැතිනම් කතාවේ ඇති සියුම් ඩීටේල්ස් මගැහැරෙන්නට පිළිවන්… මම බැලුවේ නම් ඉංග්‍රිසි උපසිරැසිත් එක්කයි…

මෙන්න ට්‍රෙලර් එක…

 

හොරෙන් බලන්න කැමති අයට…මේ ටොරන්ට් එක හොඳයි… (චිත්‍රපටිය අවසානයේ නම් දාලා ඉවරවුනාට පස්සේ පොඩි පෝස්ට් ක්‍රෙඩිට්ස් සීන් එකක් තියෙනවා… ඒක මේ ටොරන්ට් එකේ නෑ… යූ ටියුබ් එකේ තියෙනවා… )

https://kickass.to/now-you-see-me-2013-extended-rerip-720p-brrip-x264-yify-t7763734.html

 

ප.ලි. :

ඔබ මැජික් ප්‍රිය කරන, ඩුබායි අවට සිටින්නෙක්නම් ලෝකයේ දැනට ප්‍රදර්ශණය කෙරෙන දැවැන්තම මැජික් සංදර්ශනයක් අගොස්තු 28 වනදා සිට ඩුබායි පැවැත්වෙනවා… වැඩි විස්තර මෙතැනින්

 

 

Come in close…because the more you think you see…the easier it’ll be to fool you…look closely… because the closer you think you are…the less you’ll actually see…

Sunday, July 14, 2013

80. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ…

මිනිස්සු හැමෝටම හිතන්න පුළුවන්… ඒත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ හරි ටිකයි… ඒ හිතන්න පුළුවන් ටික දෙනාට පහලින් තියෙන වීඩියෝව පිස්සුවක් වගේ පෙනුනත්, මේ ඉන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන දෙමව්පියෝ වෙන්න ඇති…

විශ්වාසය රජකරන සමහර තැන්වල බුද්ධිය මැරිලා… ඒත් ආදරය පැටව් ගහනවා… ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙන තමන්ගේ ජීවිතේ ගෙවෙන ජීවිතේ අසීරුම තත්පර කීපය මේ දෙමව්පියෝ මෙතන ගෙවනවා ඇති කියලා මට හිතෙනවා… අන්තිමට බලද්දී ලෝකේ හැම දෙමව්පියෙක්ම හැමදෙයක්ම කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමයි… සමහරවිට තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ලෝකේ තියෙන අන්තිම මෝඩකම කරන්න උනත් දෙමව්පියෝ දෙපාරක් හිතන්නේ නෑ… :)

අවුරුදු පන්සියයක්දෝ කොහෙදෝ කාලයක පටන් ඉන්දියාවේ ප්‍රාදේශීය මුස්ලිම් කල්ට් එකක පැවතගෙන එන කියනවයි කියන මේ චාරිත්‍රය ඉටුකරලා ඒගොල්ලෝ විශ්වාසකරන්නේ එයින් දරුවට නිරෝගීකමත්, නිර්භීතබවත් වාසනාවත් උදාවෙනවා කියලාලු… වාසනාවනම් යම්තාක්දුරට ඒ දරුවන්ට තියෙන බව වීඩියෝවෙන්ම පැහැදිලියි…

මේ හිනාවෙලා බ්‍රවුසරේ ක්ලෝස් කරන සැනින් අමතක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ මෝඩකම් ගැන සාක්කියක් විතරද..? එහෙම නැතිනම් දෙමව්පිය සෙනෙහස ගැන වචනයෙන් තේරුම්කරලා දෙන්න බැරි ලොකු කතාවක්ද…? මම තාමත් හිතනවා…

 

Wednesday, June 12, 2013

79. ආතල් කුඩුවීමේ සතුට…

මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත්  ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු දෙයක් වෙන්නත් ඇති… මම කාලෙක ඉඳන් තේරුම් ගන්න උත්සාහාකරන දෙයක් තමයි සොල්දාදුවෙකුගේ මනස වැඩ කරන හැටි… රූපවාහිනී තිර වලින් විතරක් යුද්ධ දැකලා තියෙන අඩුම ගානේ බිග්මැච් වලියකදිවත් සතුරාට මුහුණදීලා නැති මම වගේ පුඟුලෙකුට තරම් වෙන දේවල්ද කතාකරන්නේ කියලා ඇත්තටම යුද්ධ කරලා තියෙන මාරයා හරි විචාරක හරි මේ පොස්ට් එක දැක්කොත් කියාවි… ඒත් ඔන්න ඔහේ ලියනවා….

යුද්දෙට ගියාම මිනිස්සු මරන්න වෙනවා…. මිනිස්සු කිව්වට ඇත්තටම ඒ සතුරන්… රට ජාතිය බේරගන්න, සතුරන් මරන එක තේරුම් ගන්න අපහසු නැහැ… ඒ පිළිබඳ කැක්කුම අවම කෙනෙකුට උනත් තමන්ගේ අඹුදරුවන්ගේ අනාගතය ගැන හිතලා, එහෙමත් නැතිනම් තමන් එක්ක එකට ඉන්න අනෙක් සොල්දාදුවන් මියයන අයුරු දකිද්දී සතුරෙකුට වෙඩි තියන්න හිත හදාගන්න අපහසු නැතුව ඇති… ඒත් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්නයක් සොල්දාදු ජීවිතේ කිසිම වෙලාවක, සටන යන අතරතුරේදි (හෝ ඊට පස්සේ)  තමන්ගේ සතුරා ගැන ගෞරවයක්, අනුකම්පාවක් ආදරයක් වගේ දෙයක් හිතෙන්නෙම නැද්ද…?

මේ පරණ ප්‍රශ්න සිහිවුනේ දැන් බලපු ඔය පහල තියෙන වීඩියෝවේ අන්තිමහරියේ තියෙන පුංචි වාක්‍යයක් ඇහෙද්දී… කෙටියෙන් විස්තර කලොත් ඔය තියෙන්නේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් නියමුවෙක් බොස්නියානු අහසෙදි මිසයිල ප්‍රහාරෙකට ගොදුරුවෙලා යානයෙන් එජෙක්ට් වෙලා සතුරු අඩවිට ගොඩ බැස්සම ඔහුව මුදවාගන්නා සුප්‍රසිද්ද මෙහෙයුම… Behind Enemy Lines චිත්‍රපටියට පාදක වෙන්නෙත් මේකම තමයි මම හිතන්නේ… ඉතින් ඔය වීඩියෝවේ අන්තිම හරියේ කතා කරන,  ඒ ගුවන්නියමුවා බේරීයන්නට පෙර මරාදමන්නට වෙහෙසුනු ගරිල්ලා කණ්ඩායමේ අණ දෙන්නා කියනවා මෙහෙම පුංචි දෙයක්…

“As a man I’m glad in a way that he was rescued… But as a professional I think it was a failure on my part…”

“ඌ බේරිලා ගිය එක ගැන මනුස්සයෙක් විදියට මට සතුටුයි… !”

ඔය  වාක්‍යය තමයි මේ පෝස්ට් එකට හේතුව… ඇත්තටම ඌ මේ කියන්නේ මොකද්ද..? මොකද්ද ඒ සතුට… ඒක මෙන්න මේ විදියයි කියලා විස්තර කරන්න පුළුවන්ද..? මම මොහොතකට ඒ සොල්දාදුවා වෙලා හිතින් මවාගත්තා මගේ සතුරා මගෙන් බේරිලා පැනලා යන හැටි මම සතුටින් බලාගෙන ඉන්නවා… උත්සාහාකරලා බලන්න ඇත්තටම ඒක මහා පුදුමාකාර හැඟීමක් නෙමේද..? :)

 

සම්පුර්ණ එපිසෝඩ් එක යූටියුබේ තියෙනවා

Wednesday, June 5, 2013

78. දාර්ශනික ප්‍රශ්න… | When we eat animals they die…

පසුගිය දිනෙක රාජකාරී ස්ථානයෙන් දීර්ඝ චාරිකාවක් යන්නට සිදුවුනා… යන එන මඟට කතාකරන්නට කෙනෙකු නොවූ නිසාම ඒ මුළු ගමනම මට ගත කරන්න වුණේ ඉයර්ෆෝන් එක කනේ රුවාගෙනයි… එහිදී මම සවන්දෙන්නට යෙදුන එක්තරා දීර්ඝ සාකච්ඡාවක ඔවුන් කතාකලේ දර්ශනය සහ දාර්ශනිකයින් ගැනයි… සංකීර්ණ වචන වලින් ගහන වුණු එහි අවසානයේ මම ලබාගත් එක් දළ අදහසක් වුණේ දාර්ශනික ගැටලු යනු, යම් ගැටලුවකදී එකිනෙකට පරස්පර විසඳුම් එකකට වඩා වැඩි ගනනක් ඇතිවිට ඒවා කෙතරම් එකිනෙකට පරස්පර වුවත් අවසන් ගැටළුවට ඒ සියල්ලම විසඳුම් ලෙස තර්ක කල හැකිනම් එය දාර්ශනික ගැටළුවක් ලෙස සැලකිය හැකි බවත්, ඒ මොහොතේදී දර්ශනයේ හෝ දාර්ශනිකයෙකුගේ මැදිහත් වීම අවශ්‍යයි වගේ මෙව්වා එකක්…

 

ඒ ඔස්සේ හිතද්දී මට හිතුණේ මිනිසෙකු නිර්මාංශ වියයුතුද නැද්ද යන්නත් මෙවැනි දාර්ශනික ගැටලුවක් බවයි… මේ දාර්ශනික ගැටලුව විසඳන්න ලියවුණු ලිපි, දේශන, සකච්ඡා අපමණයි… මේ ඊයේ පෙරේදා සිදුවුණු සිය දිවිනසාගැනීමේ (හෝ ජීවිත පූජාවේ) ප්‍රතිඵලයක් විදියටත් ඒ ගැන බ්ලොග් ලිපි ගණනාවක කතාවූ බොහෝදේ මමත් කියෙව්වා… නිර්මාංශ වීමේ නිවැරැද්ද, මාංශය ආහාරයට ගන්නා විට කොහොමත් සතා මියගොස් ඇති නිසා එහි ගැටලුවක් නොවන බව තාක්ෂණික පැත්තෙන්ද , ශාස්තෘවරයන්ගේ දේශනා වලට අනුව කැප ඇකැප, අනුමත කළ නොකළ යනාදී ලෙස ආගමික පැත්තෙන්ද, මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය අම්ල වර්ග ශාක ආහාර වලින් පමණක් ලඟාකරගත නොහැකිය යනාදී ලෙස වෙයිද්‍ය විද්‍යාත්මක පැත්තෙන්ද, සමහර සත්ව ගහන පාලනයකින් තොරව ඉහළ යන හැටි සමීකරණ මඟින් ගණිතමය පැත්තෙන්ද, මාංශ ආහාරයේදී පමණක් නොව ශාක ආහාර නිෂ්පාදනයේදීත් කෘමිනාශක යනාදියෙන් බොහෝ සත්ව ජීවිත අහිමි වන බැවින් මෙසේ සිතුවොත් මිනිසාට කෑමට කිසිත් ඉතිරි නොවෙන බව තාර්කික පැත්තෙන්ද යනාදී නොයෙක් ක්‍රම මඟින් පෙන්වා දුන්නා… ඒ සියල්ල මා පිළිගත්තේ එකඟ නොවිය හැකි කරුණු ඒවායේ නොතිබුණ තරම් බැවින් සහ මමත් පුද්ගලිකව නිර්මාංශකයෙක් නොවෙන බැවින්…

 

මේ සියලු පැහැදිලි කිරීම් සාධාරණ යැයි සිතාගෙන සිටින විටයි මට මේ වීඩියෝව දැන් ටිකකට කලින් බලන්න ලැබුනේ… හය හතර නොතේරෙන පුංචි පැංචෙක් ඒ සංකීර්ණ දාර්ශනික ගැටලුව අතිශය සරලව විසඳන හැටි මම බලාගෙන හිටියේ කටත් ඇරගෙන… මුළු ලෝකයම විරුද්ධ උනාවේ… ලුඊස් පුංචි දාර්ශනිකයෝ මම ඔයත් එක්ක එකඟයි…

 

 

Mom : Now eat your Octopus gnocchi

Luiz : OK mom… alright… This Octopus is not real right..?

Mom : No…

Luiz : Then alright… He doesn’t speak and he doesn’t have a head right?

Mom : He doesn’t have a head… These are only the chopped little legs of the Octopus…

Luiz : HUH… But is his head in the sea…?

Mom : It is at the Fish Market…

Luiz : The man chopped it..? Like this..?

Mom : Yes he did…

Luiz : Why..?

Mom : So we can eat it… otherwise we’d have to swallow it all…

Luiz : But… Why..?

Mom : So we can eat it love… Just like a cow is chopped… a chicken is chopped…

Luiz : Ah… the Chicken… No nobody eats chicken…

Mom : Nobody eats chicken…?

Luiz : No… Those are animals…!

Mom : So lets not eat the gnocchi…? Eat the potato then…?

Luiz : Just potato and just rice…

Mom : OK…

Luiz : Octopuses are animals…

Mom : Alright…

Luiz : All of them are animals… Fish are animals… Octopus are animals…Chicken are animals…Cows are animals… Pigs are animals…

Mom : Yeah…

Luiz : So when we eat animals they die…

Mom : Yeah…

Luiz : Why…?

Mom : So we can eat love…

Luiz : Why do they die..? I don’t like that they die… I like that they stay standing up…

Mom : OK…Alright… So we’re not gonna eat it anymore OK..?

Luiz : OK…

Luiz : These animals… you gotta take care of them… and not eat them..!

Mom : You are right Son… So eat the potato and rice…

Luiz: Alright...Why are you crying?

Mom: I'm not crying...I'm just touched by you.

Luiz: I'm doing something beautiful?

Mom: Eat. No need to eat the octopus, alright?

Luiz: Ok!

 

ප.ලි. – බිලියන ගණනක් මුදල් සහ ජීවිත හානි කරමින් රටවල් ජාතීන් අවුරුදු ගණන් මරාගන්නා බොහොමයක් ගැටලු වලට පිළිතුරුද මෙවැනි සරල තර්කයක තිබෙන්නට බැරිද…

 

වීඩියෝව ගත්තේ මෙතැනින්… ඔහු ලුඊස් ඇන්තෝනියෝ…අවුරුදු තුනක බ්‍රසීල ජාතික දරුවෙක් බවයි ගුගල් කියන්නේ…

Monday, May 20, 2013

77. පිසීන් මොලිටෝර් පටෙල් නම් කතන්දරකාරයා | Life of PI

ජනෙල් තිරය මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව අහන්න…

ඔහු තවමත් හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…

“මේ මැරෙන්න වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?” 

බර  හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….

“හැමදෙයක්ම…! යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි මට නර්ස් කිව්වේ…”

“හෙහ්… හොඳම කතාව…! හොදයි ඉස්සෙල්ලා කියන්න බලන්න එහෙනම්… කිසිම විශේෂ හේතුවක් නැතිව, ඔහේගේ ජීවිතේ විශ්වාස කරන්නත් අමාරු දෙයක් උනොත්.. ඔහේ හිතන්නේ ඒක එහෙම වෙන්නේ ඇයි..? කර්මයද? වාසනාවද…? දේව හාස්කමක්ද..? එහෙමත් නැතිනම් නිකම්ම නිකම් අහම්බයක්ද…?”

“මට නම් ගොඩක්දුරට ඒක අහම්බයක්… ඒත් යුද්දේ කියන්නේ එදිනෙදා ජීවත් වෙනවට වැඩිය ගොඩක් වෙනස් අත්දැකීමක්නේ… සමහරවිට එතෙන්දී අහම්බයට තියෙන්නේ බොහොම බාල පිළිගැනීමක් වෙන්නත් පුළුවන්…”

“එදිනෙදා ජීවිතයත් එක්තරා යුද්ධයක් තමයි…” 

එහෙම කියපු ඔහු පසෙක තිබුණු කැබිනෙට්ටුවෙන් තමන්ගේ මුදල් පසුම්බිය ගත්තා… ඒ ඇතුළේ තිබිලා අරගෙන ඔහු මට දිගු කලේ ජායාරූපයක්… පසුම්බියේ රුවාගත හැකි පරිද්දෙන් කතුරකින් කපා සකස්කර තිබූ එහි හිටියේ කාන්තාවක් සහ පිරිමියෙක්…

“මේ කවුද…?” 

එහි සිටි කාන්තාව ඔහුගේ බිරිඳ වියහැකි වුණත් හමුදා නිල ඇඳුමක් හැඳ සිටි අනෙක් පිරිමියා ඔහු නොවන හෙයින් මම ඇසුවේ අවුල් වූ මනසකින් යුතුවයි…

“ඔය මගේ වයිෆ්…”

“එතකොට මේ අනිත් කෙනා…?”

“ඒ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්… මගේ හොඳම යාලුවා…”

මගේ මුවඟට මදහසක් නැඟුණත්, මෙය ඔහුට සංවේදී කාරණාවක් විය හැකි බැවින් එය මා පාලනය කරගත්තා… නර්ස් කියූ අනාවැකිය වැරදි නැති බව මට වටහාගන්න අපහසු වුණේ නැහැ…  කාකි නිල ඇඳුමකින් තම සංවේදී හදවත ආවරණය කරගත් ඔහු සුන්දර කතන්දරකාරයෙක්…ලිපියකින් දෙකකින් අවසන් කල නොහැකි ඒ කතාව මම වෙනත් දිනෙක කියන්නම්… හදිසියේම මේ සුන්දර කතන්දරකාරයාව මට සිහිවුනේ ඊයේ නරඹන්නට යෙදුනු, මෙම ලිපියේ මැයෙහි නම සඳහන් චිත්‍රපටිය නිසයි… චිත්‍රපටය මා සතුවී දිඟු කලක් වුවත් එය නැරඹිමට අතපසුවීම ගැන මම මා හටම දෙස් දුන්නේ පිට පිටම එය දෙවනිවරටත් අද නැරඹීමෙන් පසුවයි…

ජීවිතයම කතන්දර ගොඩක්… එසේ කියන්නේ, කියන්නට කතන්දරගොඩක් ඇති තවත් කතන්දරකාරයෙක් වෙන බ්ලොග් අවකාශයේ කතන්දරකාරයායි… ඔහු කියන්නේ ඔහු කැමති රියල් කතන්දර පමණක්  බවයි සඳහන් වෙන්නේ… නමුත් කතන්දරකාරයෙක් සතුව ඇති රියල් නොවන හීන කතන්දර, සුරංගනා කතා කොතෙක්නම් වෙයිද…? එලෙස නිමක් නැති හීන කතන්දර අතර ඉඩක් ලද වහා අතරමං වෙන්නට කැමති ඕනෑම කෙනෙකු පිසීන් මොලිටෝර් පටෙල් නම් වූ මේ අපූරු කතන්දරකාරයාව මා මෙන්  ආදරයෙන් වැළඳගන්නවාට කිසිදු සැකයක් නැහැ…

නිවාඩු පාඩුවේ ගෙවෙන සති අන්තයක චිත්‍රපටය නැවත නරඹන අතරේ මේ අපූරු කතන්දරකාරයා මනසින් මුණගැසෙන්නට මා කැමති, ඔහුගෙන් අසන්නට බොහෝ දේ ඇති නිසයි…

රිචඩ් පාකර් එක් වරක්වත් හැරි නොබැලුවේ ඇයි?
නැව ගිලෙන්නට හේතුව වූයේ කුමක්ද?
පළමු කතාවේ බෙංගාලි ව්‍යාග්‍රයා යනු පයි නම්, එහිම පයි යනු දෙවියන්ද?
පයි වැනි ඉරැශනල් සංක්‍යාවක් ඔහුගේ නම ලෙස තෝරාගත්තේ ඇයි?
පයි හි අගය 22/7 වෙද්දී දින 227ක් ඔහු මුහුදේ සිටීම අහම්බයක්ද?
රිචඩ් පාකර් කැලයට ඇතුළුවීමට පෙර ඔහු ඉදිරියේ පයිගේ දර්ශනය මැවී පෙනෙන්නේ ඇයි?
රිචඩ් පාකර් කැලයට ඇතුළුවූ පසු කොල පැහැය කෙමෙන් අඩුවී යන්නේ ඇයි?
මුහුදු අනතුරකින් දිවිගලවා ගන්නා උපදෙස් පොතේ වයාග්‍රයෙකු පාලනය කරගන්නා උපදෙස් තිබෙන්නේ ඇයි?
රිචඩ් පාකර්ගේ පළමු නම “Thirsty” වීමත් වතුර වීදුරුව දෙන පල්ලියේ පියතුමා “‍You must be Thirsty” යැයි කීමත් අහම්බයක්ද?
පාවෙන දූපතින් අදහස් කෙරෙන්නේ කුමක්ද?
ආනන්දි නැටුම අවසානයේ කල නෙලුම් මල් මුද්‍රාවෙන් අදහස් කලේ කුමක්ද?

යන මේ සියලු ප්‍රශ්න විමසුවද, එක් ප්‍රශ්ණයක් පමනක් මා ඔහුගෙන් නොවිමසන බව මට විශ්වාසයි… ඒ අන් කිසිවක් නොව, ඔහු පැවසූ කතන්දර දෙකෙන් සත්‍ය කතන්දරය කුමක්ද යන්නයි…

ලොව පුරා මෙතෙක් බිහිවූ සියලු ආගම්, නිරාගමික,  දර්ශන, මතවාද, විශ්වාසයන් යනාදී මේ සියලු කතන්දර අතරින් තමාව වඩාත් සතුටු කරවන කතන්දරය තෝරාගන්න… තවකෙකු තෝරාගන්නා කතන්දරය ඔහුට අනුව හොඳම කතන්දරයයැයි ඔහු  විශ්වාසකරන  බවත් වටහාගන්න… ඔබ කෙතරම් හොඳ මිනිසෙකු වුවත් ලෝකයේ වියහැකි නරකම ආපදාව ඔබට සිදුවිය හැකි අතර, මේ කිනම් කතන්දරය සත්‍යයැයි විශ්වාස කලද අවසානයේ ඔබත් මමත් අප ආදරය කරන සියලුදෙනාමත්  එකිනෙකාගෙන් වෙන්ව යායුතු බව සිහි තබාගන්න… ලයිෆ් ඔෆ් පයි නම් වූ ඒ සුන්දර ටෙලි සිත්තම මට සිහිකැඳවූ‍ පණිවුඩය  එයයි…

Director: Ang Lee
Writers: Yann Martel (novel), David Magee (screenplay)
Stars: Suraj Sharma, Irrfan Khan, Adil Hussain 



Friday, April 5, 2013

76. ණය

 

අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ...

"මචං මම අමීර්..."

කාරණය දෙවැන්නයි...

"හලෝ මචං කොහොමද...?"

එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි...

"මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..."

ඌ ඉල්ලන්නේ සැලකිය යුතු මුදලකි... ඌ සිටිනා තත්වය අනුව එය නැවත මාහට නොලැබෙන බවද වටහා ගැනීම අපහසු නොවේ... මාසික ණයතුරුස් නම් පෙරණයෙන් පෙරා එන පඩිපතේ, අවසාන සතිය වනවිට මේ ගෙවෙන්නේ දුක්ඛදායකම පරිච්ඡේදයයි...  එහෙත් මගේ නිදහසට කරුණු වලින් මේ අසීරු අවස්ථාවේ ඌට පිහිටක් නොවන වග මම දනිමි...

"උඹේ ෆුල් නේම් එකයි, අයි ඩී කාඩ් නම්බර් එකයි ටෙක්ස්ට් කරපන් මචං..."

"තැන්කෝ තැන්කෝ මචං... ලොකු උදව්වක්..."

සතුට දෝරේ ගලන උගේ මුහුණ මා සිතේ ඇඳගනිමි...

----------------------------------------------------------------

මේ සිදුවීමෙන් සතියකට පමණ පසු ගණනින් හතර දෙනෙකු වූ අප එක්තරා ප්‍රදර්ශනයක් නරඹන අතරතුරේ  රාත්‍රී ආහාරය ලබාගැනීමට තැනක් සොයමින් සිටියෙමු... අධි සුඛෝපභෝගී හෝටල නියෝජනය කරමින්, තාවකාලිව ඉදිවුණු ප්‍රදර්ශන කුටි ඉදිරියේ දිස්වෙන ඉහළ මිලගණන් එහි ඇතුළුවීම ගැන දෙවරක් සිතන්නට බලකරයි... එහෙත් බඩගින්න ලොව ඇති ලොකුම ගින්නයි... එනිසා අප එහිවූ එක්තරා හෝටල ප්‍රදර්ශන කුටියකට ගොඩවැදුණු අතර ශ්‍රී ලාංකික සේවකයෙකු උනන්දුවෙන් අපේ ඕනෑ එපාකම් පිරිමැසීය...

අහර කිස අවසන මුදල් ගෙවීමට සැරසුණ විට ඔහු පැවසූ දෙයින් මම පුදුම වීමී...

"නෑ… නෑ...අවුලක් නෑ..."

“ඈ..?”

“අවුලක් නෑ…”

"ඇයි සල්ලි එපාද...?"

"පිස්සුද ලංකාවේ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද..."

මේ එපා කියන්නේද සැලකිය යුතු මුදලකි... ගණනින් මා අමීර්ට යැමූ මුදලට මඳක් අඩුවෙනි... ඔහු සැරසෙන්නේ තමා සේවය කරන ආයතනයට වංචා කර හෝ "ලංකාවේ උන්ට" හැකි විදියට සංග්‍රහ කිරීම විය යුතුයි ... ඒ හරි වැරැද්ද වටහා දෙමින් තර්ක විතර්ක කරන්නට සුදුසු වේලාවක් නොවේ... ඔහු අපි වෙනුවෙන් ඔට්ටු තියන්නේ ඔහුගේ රැකියාව විය හැකියි...

"තැන්ක් යූ මචං..."

දකුණත මිරිකද්දී මම ඔහුගේ කබායේ පැළදී ඇති නේම් ටැග් එක කියවමි... "රිෆාස්" කැපිටල් අකුරින් එහි සටහන් වී තිබේ... 

අමීර්, අර ගාන රිෆාස් සෙට්ල් කලා මචං..!

ප.ලි. නම් ගම් මනංකල්පිතයි…

Tuesday, April 2, 2013

75. ලේ... හුඟක් ලේ...

ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ජාතියක් ආගමක් තිබූ...
රකින්නට...දිවි හිමියෙන්
තිබූ ඉතිහාසයක් ...
කකියමින් ගතපුරා...
මොහොතකට පෙර දිවූ...
ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
තවකෙකුගෙ සුරතකින්...
ජාතියක් ආගමක් ඇති...
රකින්නට...දිවි හිමියෙන්
ඌටත් ඉතිහාසයක්...
ලේ...
හුඟක් ලේ...
හඬක් නොනඟා ගලයි...
රොඩු වැලිද හා මුසුව...
කුණු කාණුවට සෙමින්...
අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොතියාම...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ලේ...
හුඟක් ලේ...

අන්තර්ජාලයේ රස්තියාදුවෙද්දී ඇසගැටුණු, භාවනා කමටහනක් වන් මේ පිංතූරය අරන් තියෙන්නේ Scott Olson නම් ඡායාරූප ශිල්පියෙක්…

Wednesday, February 27, 2013

74. අපිට පිස්සු ඕයි !!!



මේල් එක ආවේ එකපාරම...
අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...
චේන් පොස්ට් දානවා ලියපන් කියලා...
මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...
මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..
මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...

මල පැනලා මූ කිව්වනේ...
මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...
කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...
මූ කියනවා...
තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...
මට කොච්චර හිනා ගියාද කිව්වොත්...
තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...
කස්තුරි මුවාගෙන් බිමට වැටෙනවා ඕයි...

මම ඌට කිව්වා මෙහෙම...
මේ ලෝකේ ඉස්සර පිස්සෝ හිටියේ ටිකයි ඕයි...
ඊට පස්සේ පිස්සෝ එන්න එන්න වැඩිවුනා ඕයි...
කොච්චර වැඩි උනාද කිව්වොත්...
අන්තිමට වැඩිපුර ඉන්නේ පිස්සෝ හින්දා...
උන්ට නෝමල් එවුන් කියන්න ගත්තා ඕයි...
නෝමල් එවුන් ටිකදෙනා ඉබේම පිස්සෝ උනා ඕයි...

ඉතින් මම පිස්සෙක් කියලා මම දන්නවා ඕයි...
නෝමල් එවුන් මට එහෙම කියන්නේ ඇයි කියලත් දන්නවා ඕයි...
ඒක හින්දා මෙතන කිසි අවුලක් නෑ ඕයි...
පිස්සෙක් තමන් පිස්සෙක් කියලා දන්නේ නැත්තම්...
ඒක තමයි පට්ට අවුල ඕයි...
ඊට පස්සේ මූ කියනවා...
මට සිරාවටම පිස්සුලු ඕයි...! වෙන්ඩැති ඕයි...

හැබැයි...
පිස්සු තිබුණ පලියට මිනිහෙක් වැරදි වෙන්නේ නෑ ඕයි...!

මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි…
හොඳටම පිස්සු ඕයි…!!!

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | සුදු පූසානචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

Friday, February 22, 2013

73. අමාවකට පසු...

image

මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… ඔහු පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු පොරකති… ශීතකරණයේ ඇති තරම් ටොෆි චොකලට් ඇතද මේ මොහොතේ ළමුන් හා සතුටින් පොරකමින් අප්පාගෙන් ඒවා උදුරාගන්නට බාලචන්ද්‍රන්ටද මහත් ආශාවක් ඇතිවුණි… එහෙත් තමාට ළමා නිවාසයට ඇතුළු වීමට අවසර නොමැති බව ඔහු දනී… රියදුරු අසුනේ හිඳින ඊලාම් සොල්දාදුවා ළමුන්ගේ ඉරියව් නරඹමින් අවඥාවෙන් සිනාසෙමින් පසුවෙයි… මොවුන්ගෙන් සමහරෙකු නොබෝ දිනකින් අවි දරා සටනට යන බව දැන් දැන් බාලචන්ද්‍රන්ද දනී… ටික කලක පටන් විටෙන් විට පැමිණ ක්ෂණිකව තමා වසාගන්නා ආගන්තුක කලකිරීම මේ මොහොතේද ඔහුට දැනෙන්නට පටන්ගති…

“අප්පා ඉක්මන්ට එනවනම් හොඳයි…ධර්මලිංගම් මාස්ටර් මෙලහට ඇවිල්ලත් ඇති…” බාලචන්ද්‍රන්ට සිතේ…
 
අප්පාගේ ඇසුර හැරෙන්නට බාලචන්ද්‍රන් ප්‍රිය කරන අනෙක් ඇසුරක් වේ නම් ඒ තම සංගීත ගුරුවරයා වූ ධර්මලිංගම් මාස්ටර්ගේ ඇසුරයි… අප්පා විමුක්ති සටනට කැඳවාගෙන එන්නට මුල් වූ පිරිස අතර ධර්මලිංගම් මාස්ටර්ද වූ බව බාලචන්ද්‍රන් අම්මාගෙන් අසා ඇත… එහෙත් අප්පා සන්නද්ධ අරගලයකට නැඹුරු වෙද්දී ධර්මලිංගම් මාස්ටර් කෙමෙන් ඔහුගෙන් ඈත් වූ බවද ඔහු දැනගත්තේ ඇයගෙනි… අම්මාගේ බලවත් පෙරැත්තයට අමතරව මේ පරණ සම්බන්ධයද බාලචන්ද්‍රන්ට ඔහුගෙන් සංගීතය උගැන්මට අප්පාගෙන් අවසරය ලැබීමට ඉවහල් වන්නට ඇති…

ඔහු සිතුවා නිවැරදිය… මෝටර් රථයෙන් බසිද්දී බාලචන්ද්‍රන් දුටුවේ මිදුලෙහි දිවුල් ගස යට වූ බංකුවේ වාඩිවී කෝපි කෝප්පය තොලගාමින් පසුවෙන ධර්මලිංගම් මාස්ටර්ය…

“ඉන්න මාස්ටර් මම විනාඩියෙන් එන්නම්…”

හනික ඇඟ සෝදාගෙන්නා බාලචන්ද්‍රන් වයලීනයද රැගෙන මිදුලට දිවයයි… එතැන් පටන් කාලය ගතවෙන අයුරු ඔහුට හැඟීමක් නැත… වයලීනයේ තත් අතර තම කඩිසර ඇඟිලි තුඩු ගෙනයන ධර්මලිංගම් මාස්ටර් බාලචන්ද්‍රන්ට කියාදෙන්නේ සංගීතය පමණක් නොවේ… ජීවිතය ගැන…මිනිස්සු ගැන… ආදරය ගැන අන් කිසිවෙකුගෙන් වත් අසා නැති අපූරු දේ ඔහුට ධර්මලිංගම් මාස්ටර් විස්තර කරදෙයි… අප්පා සමඟ චිත්‍රපට නරඹන අතරේදී හෝ චාල්ස් අයියාගේ ඇසුරේදී ඔහු මෙවැනි දේ කිසිවිටෙකත් අසා නැත…

“මාස්ටර්… නිජබිම කියන්නේ මොකද්ද…?”

ස්වර අභ්‍යාස රාශියක් පුහුණුවීමෙන් පසුව ධර්මලිංගම් මාස්ටර් හා නිදහසේ කෙරෙන මේ කතාබහ සංගීත පන්තියේ බාලචන්ද්‍රන් කැමතිම මොහොතයි… යමක් විමසූ විට එය විස්තර කරදෙන අපුරු ක්‍රමයක් ධර්මලිංගම් මාස්ටර් කෙරෙහි වෙයි… බාලචන්ද්‍රන් ඔහුගේ ගුරුහරුකම් වලට වඩාත් ආසා එහෙයිනි…

“කොහෙන්ද පුංචි මහත්තයා ඔය වචනේ ඉගෙන ගත්තේ…?”

“අප්පා දේශනයකදි කියනවා ඇහුණා…”

“ඉතින් අප්පා නිජබිම කියන්නේ මොකද්ද කියලා විස්තර කළේ නැද්ද..?”

“විස්තර කලා… මට හරියට තේරුණේ නෑ…”

“මොකද්ද පුංචි මහත්තයට තේරුණේ…?”

“ම්ම්ම්… මට තේරුණ හැටියට… මේ භූමිය…මේ ගස් වැල් කොළ… එතකොට මේ කලපුව..වතුර..මේ හැම දෙයක්ම… අපේ නිජබිම… අපිට අයිති දේ… සිංහල මිනිස්සු ඒක අපෙන් උදුරගෙන තියෙනවා…”

නිහඬව සිනාසුණ ධර්මලිංගම් මාස්ටර් ගෙමිදුලේ වැටී තිබූ වියලී ගිය දිවුල් පත්‍රයක් අහුලා ගත්තේය…

“එතකොට පුංචි මහත්තයා කියන්නේ මේ කොළෙත් පුංචි මහත්තයට අයිතියි කියලද..?”

“ම්ම්ම්… නිජබිමට ගස් වැල කොළ මේ සේරම අයිතියිනේ… එතකොට නිජබිම අයිති අපිට නිසා… ඔව් ඔය කොළෙත් අයිති අපිට…”

“අහලා බලන්න එහෙනම් කොළෙන්… එයා අයිති පුංචි මහත්තයටද කියලා…”

“හි..හි..හී… මාස්ටර්ට පිස්සු… කොළ වලට කතාකරන්න පුළුවනෑ….!”

“මොකද කොළවලට කතාකරන්න බැරි…ඉන්න මම පෙන්නන්න…”

සිමෙන්ති බංකුව පිටුපස සැඟවුණු ධර්මලිංගම් මාස්ටර් දිවුල්පත්‍රය බංකුවෙන් ඉහළට පෙනෙන සේ එසවීය… දැන් බාලචන්ද්‍රන්ට පෙනෙන්නේ දිවුල් පත්‍රය පමණි…

“හා දැන් අහන්න… හැබැයි මෙහෙම අහන්න ඕනේ හොදේ… කොලේ කොලේ.. දෙයක් අහන්නද..?”

මාස්ටර්ගේ හඬ පමණක් බංකුව පිටුපසින් ඇසේ…

“හි..හි..හී… කොලේ… කොලේ දෙයක් අහන්නද…?” බාලචන්ද්‍රන් සිනාසෙමින් අසයි… මෙවර බංකුව පිටුපසින් ඇසෙන්නේ වෙනස් කටහඩකි…

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා… ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ දිවුල් ගහට…”

බංකුව පිටුපසින් එළියට පනින ධර්මලිංගම් මාස්ටර් මෙවර සැඟවෙන්නේ දිවුල් ගහ පිටුපසයි…

“අහන්න බලන්න දිවුල් ගහෙන්…” ඔහු අසද්දී බාලචන්ද්‍රන් මේ අපූරු සෙල්ලම ගැන සතුටින් සිනාසේ…

“දිවුල් ගහ… දිවුල් ගහ… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ මහ පොළවට…”

බාලචන්ද්‍රන් සතුටින් සිනාසෙද්දී දිවුල් ගස පිටුපසින් මෑත්වන ධර්මලිංගම් මාස්ටර් දෑත් දෙපා දෙපසට විහිදාගෙන වැලි පොළවේ වැතිරෙයි… මීළඟ පියවර බාලචන්ද්‍රන්ට විස්තර කිරීමට අවශ්‍යය නොවේ…

“මහපොළව මහපොළව… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“මහපොළව… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති නං සොබාදහමට…”

මින්පසුව නැඟීසිටින ධර්මලිංගම් මාස්ටර් හනික දිවගොස් වැලේ වනා තිබූ සරමක් රැගෙන එයි… දෑත විහිදා එය සළුවක් මෙන් ඔසවා ගන්නා ඔහු බංකුව මතට නඟී… පිටුපසින් දෙපසට විහිදාගෙන අල්වාගෙන සිටින සරම කිලිනොච්චිය සිසාරා හමායන වියළි සුළඟට ලෙලදෙද්දී, පුංචි බාලචන්ද්‍රන්ට ඔහුව පෙනෙන්නේ යෝධයෙකු මෙනි…

“කෝ ඉතින් අහන්න..” මුහුණට වැටෙන හිරු එළියෙන් මිදීමට ඇස් පුංචි කරගෙන තමාදෙස බලා සිටිනා බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් කියයි…

“සොබා දහම… සොබා දහම… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“සොබාදහම… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“හැබැයි……………………!!!!”

“ඔව්වව්…………………..?”

“හැබැයි……………………!!!”

“ඔව්ව්ව්…………………..?”

“පුංචි මහත්තයානම් අයිති මටාආආආආයි…….!!!”

කෑගසාගෙන බිමට පනින ධර්මලිංගම් මාස්ටර් කුඩා බාලචන්ද්‍රන්ගේ ගතවටා සරම පටලවා ඔහුව වැරෙන් ඉහළටත් ඔසවද්දී එවැනි දෙයක් බලාපොරොත්තූ නොවූ බාලචන්ද්‍රන් සතුටින් කෑ ගසමින් ඔහුගෙන් මිදෙන්නට වෙරදරයි…

“හා හා හා…………….!!!!”

ඇස් වලින් කඳුළු පනින තුරු ඔහුව සිනාගැස්සීමට ධර්මලිංගම් මාස්ටර්ට හැකිවෙයි… සෑම දිනකම පාහේ සංගීත පාඩම අවසන් වෙන්නේ මෙවැනි සෙල්ලමකිනි…

“ඉතිං දැන් පුංචි මහත්තයට තේරුනාද…?” දවසේ සංගීත පාඩම නිමා කරමින් ධර්මලිංගම් මාස්ටර් අසයි...

“ඔව්…”

“මොකද්ද..?”

“මේ මොකුත් මට අයිති නෑ… සේරම අයිති සොබාදහමට… මාවත් අයිති සොබාදහමට…!”

***

හිමිදිරියේ හිරුරැස් තල් ගස් අතරින් බේරී විත් බාලචන්ද්‍රන් ගේ මුහුණ සිපගති… ඔහු සෙමෙන් දෑස් විවර කලේය… අළුයම වනතෙක්ම එකදිගට එල්ල වූ මෝටාර් ප්‍රහාර දැන් නතර වී ඇති සැටියකි… ගිනිගත් කරටි කඩා වැටීමෙන් ඉපල් වුණු තල්ගස් අහස අරා නැඟ සිටිනා භූතයන් වැන්න…

රැය පුරා පෙළනා බඩගින්න ඔහු කුස දවයි තමාට පසෙකින් ඉකි ගසනා හඬක් ඇසුණෙන් හිස හරවා බැලූ ඔහු දුටුවේ තම අම්මාගේ ගැහෙන දෙවුරයි… අක්කා ඇය උකුලේ හිස හොවාගෙන තවමත් නිඳයි…
පිරිසෙහි වූ තුවාල කරුවන්ට වෙද්‍යාධාර ලබාගනු වස් සිංහල හමුදාවට බාරවිය යුතු යැයි පිරිසක් තර්ක කරති… තවත් පිරිසක් ඊට එරෙහි වේ…

බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් සිහිවේ... තුවාල වුනු සිංහල හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුට සාත්තූ කරද්දී චාල්ස් අයියා ඇතුළු පිරිසකට ඔහු අතටම අසුවී ඇති බව කෙනෙකු අම්මා සමඟ කියනු බාලචන්ද්‍රන්ට ඇසුනේ සටනේ අමාරුම අදියරේදීය... ඔහුට කුමක් සිදුවෙන්නට ඇතිදැයි සිතට නැගෙන සිතුවිලි බාලචන්ද්‍රන් ආයාසයකින් එසැනින්ම මරාදමයි..

සිටිනා ඉසව්ව ගැන හරි නිනව්වක් නැතත් ඉර නැගෙන පැත්තට විරුද්ධ දෙසට ඇවිද ගියහොත් හමුදා කඳවුරක් වෙන බව බාලචන්ද්‍රන් දනී… ඔහු බිමදිගේ බඩගා ගොස් අම්මාට තුරුළු වෙයි…

***
කඳවුර පුරා පැතිර ඇත්තේ අසාමාන්‍ය නිහඬතාවයකි… කිලෝමීටර කිහිපයක් ඈතින් පෙරමුණෙන් ඉඳහිට නැගෙන්නේ අවසන් සටනේ ජයග්‍රහණයෙන් උදම්ව හමුදා සෙබළුන් විටින් විට අහසට තබනා වෙඩිවල දෝංකාරයයි…  යන්තමින් හෝ කඳවුරේ ඇති නිහඬතාවය බිඳුනානම් ඒ අණදෙන නිලධාරීතුමාගේ කාමරයෙන් ඇසුණු පහත් හඬින් කෙරෙන දුරකථන සංවාදයකිනි…

Sir please consider this as a personal request… Why don’t you ask them to revise the decision…?
මමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්… “

“කර්නල්… මේ තීරණය ගත්ත තැන ඉඳන්, තමුසෙට ඕඩර් එක දෙන මේ මම දක්වා හැමෝම දරුවෝ ඉන්න තාත්තලා… තමුසේ හිතන්නේ මේක මේ සෙල්ලමට ගත්ත decision එකක් කියලද..? අපි දෙන්නට මේ අහිංසක දරුවෙක් වුණාට, බාහිර ලෝකෙට…, ඩයස්පෝරාවට… ඉන්දියාවට…ඔය සේරටම උන්ගේ නායකයාගේ ජීවත් වෙලා ඉන්න එකම දරුවා…Things are much complicated than you think…
Probably they have revised all the options more than hundred times… and this must be the ‘best bad decision’ they have got…“

“ඒත් සර්…”

“අපි මේ සිස්ටම් එකේ දැති රෝද අයිසේ… මට උඩින් තියෙන රෝදේ කැරකෙනකොට මම කැරකෙනවා… මම කැරකෙනකොට තමුසේ කැරකෙනවා… අන්තිමට මොකක් නිසා මොකක් කැරකෙනවද කවුරුත් දන්නේ නෑ… ඒත් සිස්ටම් එක රන් වෙනවා… We have got to do this… Be a soldier and do your job…”

“This is not a soldier’s job Sir… This is a terrorist’s job… I hope you very well know that…”

“Be a *ucking terrorist and do it then… Don’t you ever try to test my patience… We have got orders and Those gonna be followed…That’s it…!!!:

“Yes Sir…!”

Good… තමුසෙට මේකට විශ්වාසවන්ත මිනිහෙක් ඉන්නවද..?”

“ඔව් සර්.. කෝප්‍රල් ශාන්ත… මිනිහාගේ තාත්තා බස් බෝම්බෙකට අහුවෙලා අබාධිතවෙලා ගොඩක් දුක් විඳලා කාලෙකට කලින් මැරුණා… ඒ වේදනාවට යුද්දෙට බැඳුණු හාදයෙක්… “

“OK…So you think he is not goanna regret this later..?”

“I’m sure he never will Sir… මිනිහට ටෙරාලාගේ හත් මුතු පරම්පරාව ගැනම බද්ධ වයිරයක් තියෙන්නේ…”

“Good… Let him do this then… and update me once it’s being done… අනිත් එක තමුසේ එක්සිකියුශන් එක වෙලාව එතන ඉන්න අවශ්‍යයයි… and Don’t let the kid to know what he is goanna get…”

“Yes sir…!”

“OK So…Let’s clean this mess up…”

“Yes sir…!”

****

බාලචන්ද්‍රන් වෙත පැමිනුණු කර්නල්වරයා ඔහුගේ හිස අතගෑවේය…

“පුතාට බඩගිනිද..?”

“නැහැ…”

“දැන් පුතාට මොනවද ඕනේ..?”

“මට අම්මයි අක්කයි ගාවට යන්න ඕනේ…”

“හා.. මම දැන් පුතාව අම්මලා ගාවට එක්කගෙන යනවා…හැබැයි පුතේ මේක සෙකියුරිටි බේස් එකක්නේ… ඒ නිසා අපි ජීප් එකේ ගිහිල්ලා… ඉතුරු ටික පුතාගේ ඇස් බැඳලා පයින් තමයි තමයි එක්කගෙන යන්නේ…කමක් නෑ නේද..?”

බාලචන්ද්‍රන්ට මෙය අළුත් දෙයක් නොවේ… අප්පා හමුවීමට පැමිණෙන විදේශික සුදු මහත්වරුද මෙසේ ඇස්බැඳ අප්පා ළඟට රැගෙන එනු ඔහු කිහිපවරක් දැක තිබේ…

“කමක් නෑ අංකල්…”

කර්නල්ගේ අත අල්ලාගත් ඔහු සතුටින් ඩිෆෙන්ඩර් රථය වෙත පියමනින්නට විය… අම්මා සහ අක්කා ඔහු එනතුරු බලාසිටින බව ඔහු දනී… ඔහුට ධර්මලිංගම් මාස්ටර් සිහිවෙයි…

“සිංහලයා… දෙමලා… කියලා මිනිස්සුන්ව මනින්න යන්න එපා පුංචි මහත්තයා… මේලෝකේ ඉන්නේ මිනිස්සු ජාති දෙකයි… එක්කෝ හොඳ මිනිස්සු… නැත්තම් නරක මිනිස්සු…”

බාලචන්ද්‍රන් කර්නල්වරයාගේ වාරුවෙන් සීරුවෙන් ඩිෆෙන්ඩර් රථයට නැඟගති…කෝප්‍රල් ශාන්ත රිය පණ ගැන්වීය… ඔවුන් තිදෙනා රැගත් ඩිෆෙන්ඩර් රථය අඳුරේම හමුදා කඳවුරෙන් ඉවතට ඇදුනි…

~නිමි~


ප.ලි. : හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

Wednesday, February 20, 2013

72. හුදකලාව | Loneliness

 

සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති


මතක අහුරක රුව
රේණු මැද ඉපදුන බව
සිනහ අමතක බව
අසන්නට කෙනෙකුත් නැති


හෙටක එක හීනෙක
සුවඳක් ව පැටලෙන බව
කඳුළු  අතුරන බව
දකින්නට කෙනෙකුත් නැති

~මලිති විජේසේකර

 

ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න කලින් පිංතූරයක් ගත්තට පස්සෙයි හිතුනේ කවියකුත් තිබුණනම් කියලා… අන්තර්ජාලයේ මගේ ප්‍රියතම ලියන්නියකගෙන් “දුක හිතෙන කවියක්” ලියලා දෙනවද කියලා කල ඉල්ලීමට ලැබුන පිළිතුරයි මේ කොපි පේස්ට් වුනේ පමාවක් නැතුවම…

Web Statistics