Monday, November 7, 2011

38. සරුංගල් විද්‍යඥයා | The Kite Master


Exterior of the Leaning tower of Pisa 1173-1350 Pisa, Italy


වෙනස් විදියට හිතන මිනිස්සු හින්දයි ලෝකේ අලුත් වෙන්නේ කියලා කිව්වට මොකද වෙනස් විදියට හිතන්න ගිහින් හැමදේම අවුල් කරපු මිනිස්සුත් ඉන්නවා… සරුංගල්  විද්‍යාඥයා එහෙම කෙනෙක්…

සරුංගල් විද්‍යාඥයාගේ විනෝදාංශය වුනේ සරුංගල් හදන එක… අනිත් මිනිස්සු වගේම කොටු, ත්‍රිකෝණ සරුංගල් වලින් පටන්ගත්ත මෙයා අන්තිමට සමනල්ලු, කුරුල්ලෝ, මාළු වගේ අමුතු අමුතු සරුංගල් හදන්න පටන් ගත්තා… සරුංගල් විද්‍යාඥයා අනිත් අයට වැඩිය කොච්චර වෙනස් විදියට හිතුවද කිව්වොත් අන්තිමට එයා හදපු සරුංගල් දැකලා මිනිස්සු පුදුමෙනුත් පුදුමෙට පත්වුණා… සැලියුට් ගහන පොලිස් කාරයෙක්… තමන්ගෙම නැට්ට හපන්න රවුමට දුවන බල්ලෙක්… ඉස්සරහටයි පිටිපස්සටයි පිනුම් ගහන ජිම්නාස්ටික් කාරයෙක්… මේ වගේ අරුම පුදුම සරුංගල් ඔහු හැදුවා…

“මේ සරුංගල් හරිම ඒකාකාරීයි…” සරුංගල් විද්‍යාඥයාට දවසක් එහෙම හිතුණා…

“මොකක් හරි වෙනස් දෙයක් කරන්න ඕනේ” ඔහු තමන්ටම කියාගත්තා…

ඔන්න ඔයපාර තමයි සරුංගල් විද්‍යාඥයාට පිස්සු අදහසක් ආවේ…

“සරුංගලයක් හදන්න ඕනේ ඒකේ නැගලා අහසේ පාවෙලා යන්න පුළුවන් විදියේ…”

මීට කලිනුත් මේ අදහස සරුංගල් විද්‍යාඥයාට ඇවිත් තිබුණත් වෙන වෙන සරුංගල් හදන්න මහන්සි වෙමින් හිටි නිසා ඔය අදහස යට ගිහින් තිබුණේ… ඔන්න එදා ඉඳන් සරුංගල් විද්‍යාඥයා නිදිවරාගෙන අහසේ යන්න පුළුවන් සරුංගලයක් හදන්න මහන්සි වුණා…වෙනකක් තියා ඔහු හවසට සරුංගල් අරින්න මුහුදු වෙරළට ගියෙත් නැහැ… වෙනදට සරුංගලයක් එක්ක මූදුවෙරළේ හැමදාම ඉන්න සරුංගල් විද්‍යාඥයා දකින්න නැති එක ගැන මිනිස්සුන්ට කල්පනා වුණත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… ඒ සරුංගල් විද්‍යාඥයා ගැන අහන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

මේ අතරේ සරුංගල් විද්‍යාඥයා තමන්ගේ උත්සාහය දිගටම කරගෙන ගියා… ඔන්න එක දවසක් උදෑසන ඔහු තමන්ගේ නිර්මාණය අත්හදා බලන්න ලෑස්ති වුණා… අහසින් යන සරුංගලේ ඔහු කැමතිම නිල්පාටයි, සුදුපාටයි මෝස්තර දාලා ලස්සන කලා… සරුංගලේ ඉහළ පහළ යන එක පාලනය කළේ සරුංගල් විද්‍යාඥයාගේ ආසනේට ඉහළින් එල්ලුණු නූලකින්… මේකේ අනිත් කොන සරුංගලේ සේරියාවට සම්බන්ධ කරලා තිබුණා… සරුංගලේ හැරෙව්වේ දෙපැත්තේ දාලා තියෙන රැළි වලින්… එක පැත්තකට හරවන්න ඕනි නම් ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කඩලා විසිකළ යුතුව තිබුණා… අනිත් පැත්තට හරවන්න ඕනි නම් ඉතින් නැවත ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කැඩිය යුතුබව කියන්නට ඕනේ නැහැනේ… කඩලා විසිකරන නිසා මේ රැළි බාල කඩදාසි වලින් කපලා තිබුණේ…

පළමු ගමනින්ම නගරේ කෙළවරේ තිබුණ උසම කන්දටත් උඩින් යන්නට සරුංගල් විද්‍යාඥයාට පුළුවන් වුණා… එදායින් පස්සේ ඔහුගේ දිනචරියාව වුණේ සරුංගලේ නැගිලා අහසේ ඉහළට ඉහළට යන එක… මෙහෙම කාලයක් යද්දි ඔහු කොච්චර ඉහළට යන්න පටන් ගත්තද කිව්වොත් ලෝකේ බෝලයක් විදියට පේන තරමටම යන්න පුළුවන් වුණා… මේ විදියට ගිය දවසක ආපහු එන්න ලෑස්ති වෙලා ලෝකේ දිහා බැලුවාම තමයි සරුංගල් විද්‍යාඥයා පුදුම දෙයක් දැක්කේ…

“ලෝක බෝලේ අංශක ගාණක් ඇදයි….!!!!!!”

කලබල වුණු සරුංගල් විද්‍යාඥයා ඇස් එහෙම පිහදාලා ආයෙත් බැළුවා… ඔව් ඇදයි තමයි… හරියටම අංශක විසිතුනක් ඇදයි… තමන්ගේ මිනුම් උපකරණ වළින් මැනලා සරුංගල් විද්‍යාඥයා හොයාගත්තා… ඉන්පස්සේ කලබලෙන් සරුගලේ හසුරුවාගෙන ඔහු ආපහු පොළොවට ආවේ මේ ආරංචිය මුළු ලෝකෙටම කියන්න… ඉස්සෙල්ලාම ඔහු ඒක ඔහුගේ අසල්වැසියා වුණු තැපැල්කාරයාට කිව්වා…

“දන්නවද අපි ඉන්න ලෝකේ ඇදයි… අපි ඉන්නේ ඇදේට…”

“ඇදේට…? “ තැපැල්කාරයා පුදුමයෙන් ඇහුවා…

“ඔව් මේ සේරම ඇදයි… ගස් කොළන්… ගොඩනැගිලි මේ සේරම ඇදේටයි මේ හදලා තියෙන්නේ…” 
සරුංගල් විද්‍යාඥයා විස්තරකලා…

“අනේ සරුංගෝලේ මට ලියුම් බෙදන්න පරක්කු වෙනවා…මම යන්න ඕනේ… ඔහේ මේ බවක් මට කියපු එකට ගොඩක් ස්තූතියි…” මෙහෙම කියපු තැපැල්කාරයා එතැනින් කඩිමුඩියෙන් පිටවුණා…

තැපැල්කාරයා සරුංගල් විද්‍යාඥයා කිව්ව කිසිදෙයක් විශ්වාස කළේ නැහැ… ඒ නිසාම ඔහු ඒ ආරංචිය මගදි හමුවුණු කිරිකාරයාට කිව්වා… මිනිස්සු එක්කෙනෙක් ගෙන් දෙදෙනෙකුටත්, දෙදෙනෙකුගෙන් හතරදෙනෙකුටත්, හතරදෙනෙකුගෙන් අටදෙනෙකුටත් යන මේ විදියට යම් ආරංචියක් කියාගෙන ගියොත් මුළු ලෝකෙම ඒක දැනගන්න ලොකු කාලයක් යන්නේ නෑ… මිනිස්සු මේ ආරංචිය බොරුවක් බව විශ්වාසකළ නිසා මේක ඊටත් වැඩිය වේගෙන් පැතිරුණා… ටික දිනකින් හැමෝම දැනගත්තා ලෝකේ ඇද බව…ඒත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… එහෙම වුණේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

කාලෙකට පස්සේ ලෝකේ බලවත්ම රාජ්‍යයේ නායකයාට දූෂණ චෝදනාවක් එල්ල වුණා… ඒ ගැන ඔහු ප්‍රසිද්ධියේ උත්තර බැඳිය යුතුයැයි ලෝකේ සේරම මිනිස්සු බලකර හිටියා… මේ උද්ගෝෂණ කොතරම් බලවත් වුණාද කිව්වොත් ඒ බලවත් රාජ්‍ය නායකයාට උත්තර බදින්න දිනයක් නිවේදනය නොකර ඉන්න බැරි තරමටම බලවත් වුණා…

ඉතින් රාජ්‍ය නායකයා උත්තර බඳින්න පොරොන්දු වුණු දිනය උදා වුණා.. හැමෝම තම තමන්ගේ වැඩ රාජකාරී නවත්වලා රාජ්‍ය නායකයා කතාකරනකල් බලන් හිටියා… පොරොන්දු වුණ වෙලාවටම ඔහු තම නිල නිවාසයේ විශේෂ පීඨිකාවක් ඉදිරියට ඇවිල්ලා ගාම්භීර විදියට මෙහෙම කිව්වා…

“ඔව් මේ චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්… මේවා ඇත්තද බොරුද කියන එක නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ… මෙහෙම දූෂණ වෙන්න ඉඩ තියෙනවානම්, එහෙම වෙන්න හේතුව මොකද්ද කියන එකයි…”

රාජ්‍ය නායකයා එහෙම කියද්දී කිහිපදෙනෙක් හිස වනා ඒක අනුමතකලා… අනිත් අයත් ඒ එක්කම හිස වනන්න ගත්තේ තමන් හිස නොවැනුවොත් මෝඩයෙක් ලෙස හිස වනාපු අය හිතාවි යැයි බයට…

“ඉතින් ඒ මූලික හේතුව අපි සොයාගත්තා…මේ ප්‍රශ්නය විතරක් නෙවෙයි… අපි මූණදෙන හැම ප්‍රශ්නෙටම හේතුව ඒකයි… ඒ මොකද්ද..? අපි මේ ජීවත් වන පොළව ඇදයි…!”

හැමෝම දැනසිටි ඒ රහස රා‍ජ්‍ය නායකයා හෙළිකලා… තමන් මේ ගැන දැනසිටියත් ඔහු කියන තෙක් කල්පනා නොවීම ගැන හැමදෙනාම පුදුම වුණා…ඉන්පසු ඔවුන් ගැනම ලැජ්ජා වුණා…සමහරෙක් තම නායකයා ගැන ආඩම්බරවුණා…

එතැන් පටන් ලෝකයේ මිනිස්සුන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ ලෝකය ඇද වීමයි… වැඩිදෙනා රාජ්‍ය නායකයා වාගේම තමන්ගෙන් සිදුවෙන වැරදි වලට නිදහසට කාරණාවක් ලෙස මෙය ඉදිරිපත් කරන්නට වුණා… උදාහරණයක් ලෙස, අයෙක් තමන්ගේ කොණ්ඩය කපා ගැනීමෙන් පසු ඒ ගැන අසතුටට පත්ව

“ඔහේ මගේ කොණ්ඩේ විනාශ කරලා නොවැ…!” යැයි පැවසූවොත්, බාබර්වරයා කිව්වේ

“ඉතින් ඔහේට අමතක වුණාද මම කොණ්ඩය කැපුවේ ඇදයට ඉඳගෙනයි කියලා..? මේ තරමින් වත් කැපූ එක ගැන කෘතඥ වනවා වෙනුවට බැණ අඬගහන ඔහේ අපූරු මිනිහෙක් නොවැ..!” කියලායි…

මෙය පාලනය කළනොහැකි තරමට වර්ධනය වූ පසු රාජ්‍ය නායකයා නැවතත් විශේෂ කතාවක් කලා…

“මේ ප්‍රශ්න සියල්ලටම විසඳුමක් ගෙනෙන්නට අප තීරණය කලා… අපි ලෝකය කෙළින් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කරනවා…”

එසේ පැවසූ ඔහු ඉන්පසු ලෝකය කෙළින් කිරීමේ ව‍යාපෘතිය ගැන දිගින් දිගටම විස්තරකලා… බොහෝ දෙනෙකුට ඒ සැලැස්ම නොතේරුණ නිසා තේරුණ අය නොතේරුණ අයට විස්තරකර දෙන්න පටන්ගත්තා… මෙය කොතරම් පැතිරුණාද කිව්වොත් අන්තිමට හැමදෙනාම වාගේ නොතේරුණ අයට විස්තර කරදෙන අය වී තිබුණා… ඔවුන්ට නොතේරුණ අය සොයාගැනීමට හුගක් වෙහෙසෙන්න සිදු වුණා…

ව‍යාපෘතියේ හැටියට ලෝකය කෙළින් කිරීමට නම් ඒ වටා කඹයක් බැඳිය යුතුව තිබුණා… ඒ සඳහා හැමදෙනාම තමන්ට අයත් ඉඩමේ හරහට කඹයක් දමා දෙකොන තම අසල්වැසියන්ගේ කඹ වලට ගැටගැසුවා… මුළු ලෝකයේම මිනිස්සු මේ වැඩේට මූලිකත්වය දුන් නිසා ලෝකය හරහා කඹයක් බැඳීමට එතරම් ලොකු කාලයක් ගතවුණේ නැහැ…

ඉන්පසු කතාකරගත් වේලාවකදී ලෝකයේ උතුරු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් ඉහලටත්, දකුණු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් පහළටත් ඇදිය යුතුව තිබුණා… ඉතින් සැලසුම් කල විදියට එකම වේලාවකදී සියලුදෙනාම කඹයෙන් ඇද්දා… සමහර කම්මැලි මිනිසුන් කඹය අල්ලාගෙන අදිනවා වගේ බොරුවට රගපෑවා වුණත් කෙළින් ජීවත් වීමට කැමති මිනිස්සු කැපවීමෙන් ඇද්ද නිසා ලෝක බෝලය කෙළින් වුණා… දැන් හැමදෙයක්ම කෙළින්… හැමදෙනාම ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වුණා…

නමුත් මේ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ… මෙතෙක් සාදා තිබුණු ගොඩනැගිලි සේරම සාදා ඇත්තේ ඇදට බව පෙනෙන්නට වුණා… තත්වය බැරෑරුම් වුණේ අලුත් ගොඩනැගිලි හැදුවාමයි… අලුත් ගොඩනැගිලි කෙළින් ඇති විට පරණ ගොඩනැගිලි වල ඇදය වඩාත් කැතට පෙනෙන්නට වුණා…

ලෝකය කෙළින් වූ පසු මිනිස්සු මූණ දුන් බරපතලම ගැටලුව ඒකත් නෙවෙයි… කලක් තිස්සේ ඇදවුණු ලෝකයේ ජීවත් වී සිටි මිනිසුන්ට තම ගුරුත්ව කේන්ද්‍රය නිවැරදිව තබාගෙන නොවැටී සමබරව ඇවිදීමට නම් පසු පසට ඇලවී ඇවිදින්නට සිදුවුණා… අනෙක් අර්ධ ගෝලයේ සිටි මිනිසුන්ට ඇවිදින්නට වුණේ ඉදිරියට ඇලවීගෙනයි… එක් අර්ධගෝලයක සිට අනිත් අර්ධගෝලයට ගමන්කරන සංචාරකයින්ට තත්වය තවත් බැරෑරුම් වුණා… ගමන ආරම්භයේදී පසුපසට ඇලවීගෙන ගමන් කළයුතුව තිබුණු ඔවන් ගමන අවසාන කළ යුතුව තිබුණේ ඉදිරියට ඇලවීගෙනයි… වයසට යෑම නිසා කුදුවූ සිටි නමුත් දැන් කෙළින් ඇවිදිය හැකි මහල්ලන් කිහිපදෙනෙක් හැරෙන්නට අනෙක් සියල්ලන්ටම මෙය මහත් අපහසුවක් වුණා…

මිනිසුන් කරන හැම ක්‍රියාවක්ම වඩාත් ප්‍රවේසමෙන් කළයුතුව තිබුණා… උදාහරණයක් ලෙස තේ කෝප්පයක තේ බොනවිට පවා තේ නොඉහිරීම සඳහා තේ කෝප්පය ඇල කර අල්ලාගෙන සිටිය යුතු වූවා… තරුණයින් මෙය පහසුවෙන් ඉගෙනගත්තත් සුන්දර තරුණියන්ට මෙය පහසු වූයේ නැහැ…

“මේ මොන විකාරයක්ද…?!!!”

තම වටිනා ඇඳුම් වල තේ ඉහිරවාගත් ඔවුන් පසුපසට ඇලවීගෙන එසේ කෑ ගසමින් සිටියා…

මෙයින් අපහසුවට පත්වූයේ මිනිසුන් පමණක් නෙවෙයි… බටහිට අර්ධ ගෝලයේ සිටි සිව්පා සතුන් තම සමබරතාවය රැක ගැනීම සඳහා පසුපස ගාත් වලින් හිටගෙන ඇවිදින්නට පටන්ගත්තා… නැගෙනහිර අර්ධගෝලයේ සිටි ඒ වර්ගයේම සතුන් පත්වුණේ ඊටත් වඩා අකරතැබ්බයකට… උන් ඉදිරිපස ගාත්වලින් ඇවිදිය යුතුව තිබුණා… අධික උසින් යුතු ජිරාෆ් වැනි සතුන්ට මෙසේ කිරීමට හැකියාවක් ලැබුණේ නෑ… උන් “බ්‍රොවෑක්… බ්‍රොවෑක්…” යන ලෙසින් හඬනගමින් ඇවිදීමට නොහැකිව තැන් තැන් වල වැටී සිටියා…

මේ හැමදෙයින්ම පීඩාවට පත්වුණු මිනිස්සු මොනවා කරන්නද කියලා දැනගෙන හිටියේ නෑ… ඇලවී ඇවිදිමින් එකිනෙකාට බැනඅඬගසා ගනිමින් සිටියා හැරෙන්නට… අපි ආයෙත් උද්ගෝෂණය කරමු… නැවත ලෝකය ඇද කරන්න කියලා උද්ගෝෂණය කරමු… මිනිස්සු අන්තිමට කතාවුණා… මේ උද්ගෝෂණ වලට නායකත්වය දුන්නේ ඒ රාජ්‍යයේ විපක්ෂ නායකයා…

“පාලකයා ගෙදර යවමු… ලෝකය යළි ඇද කරමු..!” විපක්ෂ නායකයා කෑගැහුවා…

“යවමු, යවමු..! කරමු, කරමු..!” ඇදවෙච්ච මිනිස්සුත් කෑගැසුවා…

බෝඩ් අල්ලාගෙන මිනිස්සු ඇදයට ඇවිදින මෙහෙම පෙළපාලියක් ලෝකේ කලින් තිබුණේ නැති වුණාට කාටවත් ඒකේ වෙනසක් පෙණුනේ නෑ… මේ උද්ගෝෂණ කෙතරම් සාර්ථක වුණාද කියතොත් නොබෝ දිනකින්ම පාලකයා බලයෙන් පහකරලා විපක්ෂ නායකයාට බලයට එන්නට පිළිවන් වුණා…

ලෝකය නැවතත් ඇදකරන්නට කරන්න තිබුණේ පහසු දෙයක්… නැවතත් පෙර පරිදිම කඹයක් බැඳලා ලෝකය කරකවන්නයි… නමුත් අලුත් පාලකයා ඒකට එකග වුණේ නැහැ… අපි අලුත් පාලනයක්.. පරණ සැලසුම් කිසිවක් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ… වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි අලුත් කමිටුවක් පත්කරනවා… අලුත් පාලකයා එහෙම නිවේදනය කලා…

ටික කලකින් ලෝකයේ දක්ෂම විද්‍යාඥයන්ගෙන් ගෙන් සෑදුණු මේ කමිටුවෙන් ලෝකය ඇලකරන්න ඔවුන්ගේ අළුත් යෝජනාව ඉදිරිපත් කළා… ලෝකයේ දකුණු  අර්ධගෝලය කෙලවරේ එක්තැනක් සටහන් කල ඔවුන් මෙහෙම කිව්වා…

“මුළු ලෝකයේම මිනිසුන් මෙතැනට එක් රැස් විය යුතුයි…එවිට ඔවුන් සියලුදෙනාගේම බර එකතැනකට එකතුවීම නිසා යෙදෙන පීඩනයෙන් ලෝකය ඇල වෙන්නට පටන්ගනීවි…”

ඇදවී ජීවත් වීමෙන් හෙම්බත්ව සිටි මිනිසුන් සියලු දෙනා මේ ඉල්ලීමට එකග වී පවුල් පිටින් මෙතැනට යන්නට පිටත් වුණා… ඇරත් ලෝකයේම මිනිසුන් එකතැනකට එකතු වීම බලන්න වටින දෙයක් බවයි ඔවුන් හිතුවේ… තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්වතිය වුණත් දැකගන්න පුළුවන් වෙයි… සමහරු එහෙමත් හිතුවා…

දිනගණනක ඇවෑමෙන් ලෝකයේම මිනිස්සු මෙතැනට එක් රැස් වුණත් ලෝකය ඇලවුණේ නැහැ… විද්‍යාඥයන් යුහුසුළුව ගනන් හැදුවා… ඉන්පසු ඔවුන් එකට එකතු වී වාද කලා… අවසානයේ සියළුදෙනාම එක මතයකට පැමිණියාක් සේ මෙසේ නිවේදනය කලා…

“අපගේ ගණනය කිරීම් වලට අනුව ලෝකය ඇලවෙන තරමේ පීඩනයක් යොදන්නට නම් මෙතැන ඉන්න ජනගහනය දෙගුණ විය යුතුයි…”

මෙසේ කියූ වහාම එතැන හිටි ගැහැනුන් එකිනෙකාගේ මුහුණට මුහුණ බැළුවා… පිරිමින් ඔවුන් දෙස කෑදර ලෙස බලා සිටියා… අපගේ කතානායකයා සරුංගල් විද්‍යාඥයා ඉදිරියට ආවේ මෙන්න මේ වෙලාවේයි… ඇරත් ලෝකයේම මිනිසුන් ඉන්නා තැනනම් ඔහුත් එතැන ඉන්න එපායෑ…

“මම කියන්නම් උපායක්...!” හැමෝටම ඇහෙන්න සරුංගල් විද්‍යාඥයා ඔහුගේ සුදු දිගැටි රැවුල අතගාමින් පැවසුවා…

“උඹලා දන්නේ නැතිද වර්ගඵලය අඩු වෙද්දී පීඩනය වැඩි වෙන වග..? ඉති අපේ යටිපතුල් වල වර්ගඵලය බාගෙකින් අඩු කරගත්තානම් පීඩනය දෙගුණ කරගන්න පුළුවන් නොවැ…අපි හැමෝම තනිකකුලෙන් හිටගන්නයි තියෙන්නේ… එතකොට ජනගහනය දෙගුණ කරගන්නේ නැතුවම පීඩනය දෙගුණ කරගත හැකියි…”

මෙය ඇසූ අනෙක් විද්‍යාඥයන් සියළුදෙනාම තම අසුන් වලින් නැගිට අත්පොළසන් දෙන්නට වුණා… එය දුටු අනෙක් ජනතාවත් අත්පොළසන් දෙන්නට වුණා… මුළු ලෝකයේම සියලුම දෙනා අත්පොළසන් දෙනවිට ඇහෙන ශබ්දය ඝෝෂාවක් වී ඇසුණේ හරියට අහස පෙරළෙනවා වාගේයි…

එතැන් පටන් මේ වයාපෘතියේ මූලිකත්වය සරුංගල් විද්‍යාඥයාට ඉබේම ලැබුණා…

“අපි සේරම තනිකකුලෙන් හිට ගත්තාම ලෝකය ඇලවෙන්නට පටන් ගනී… හරියටම අංශක විසි තුනකින් අපි නවත්තා ගතයුතුයි… මේක කරන්නේ කොහොමද…?”

කවුරුත් ඔහුට උත්තර දෙනවා වෙනුවට ඔහුම උත්තර දෙනකල් බලා සිටියා…

“හරි… මම සරුංගලයෙන් ඉහළට ගිහින් ලෝකය ඇලවෙන හැටි බලා හිටින්නම්… හරියටම අංශක විසිතුනක් ඇලවුණු තැන මම රතු කොඩියක් වනනවා… එතකොට හැමෝම කකුල් දෙකෙන් හිටගන්න ඕනේ…”

සරුංගල් විද්‍යාඥයාගේ සැලැස්ම වරදින්නට කිසිම විදියක් තිබුණේ නැහැ… දිගට දිගේ රතු කොඩියකුත් අරන් ඔහු ඉහළ අහසට පාවෙලා ගියා… පොළවේ සිටියෙකුගේ විධානයෙන් හැමදෙනාම තනිකකුලෙන් හිටගත්තා… ඔන්න ලෝකය ටිකින් ටික නැවතත් ඇල වෙන්නට පටන් ගත්තා…හරියටම අංශක විසිතුනක් ගිය තැන සරුංගල් විද්‍යාඥයා රතු කොඩිය වනන්නට වුණා… 

ලෝකයේම මිනිසුන් එක්රැස් වූ තැනක හැමෝම එකවිදියටම යමක් අනුගමනය කරාවියැයි පිළිගන්නට ඔබට අමාරු ඇති… ඔව් මෙතැනදීත් සමහරෙක් කකුල බිම තියන්න තරමක් ප්‍රමාද වුණා… මේනිසාම හරියටම අංශක විසිතුනේදී ලෝකය ඇලවෙන එක නවත්වාගන්නට ඔවුන්ට පිළිවන් වුණේ  නැහැ…

සරුංගල් විද්‍යාඥයා නැවතත් ආනතිය මැන බැලුවා…

“අංශක විසිතුන හමාරයි…” ඔහු තමන්ටම කියාගත්තා…

ආපසු එන්න පිටත් වුණු සරුංගල් විද්‍යාඥයාට ජීවිතයේ ප්‍රථම වරට තමාට වැරදීමක් සිදුවී ඇති බව වැටහුණා… ඔහු සරුංගලයට රැලි කැපුවේ ලෝකය කෙලින් තිබියදී ඇති මිම්මටයි… නමුත් දැන් ලෝකය නැවතත් ඇද නිසා ආපසු ගමන නිමාකිරීමට ප්‍රථම ඔහුගේ සරුංගලයේ රැල් අවසන් වුණා… හරිහැටි හසුරුවා ගැනීමට නොහැකි නිසා  ලෝකයෙන් ඉවතට ඇදී යන්නට වුණු සරුංගලය, සරුංගල් විද්‍යාඥයාත් රැගෙන ඈතින් ඈතට පාවී ගියා…

මේ අතර නැවත කෙළින් ඇවිදීමට හැකි වීම නිසා මිනිසුන් අධික ලෙස සතුටත් පත් වුණා… ලෝකය කෙළින් කළාට පසුව සෑදූ ගොඩනැගිලි නැවතත් ඇදයට පෙනෙන්නට පටන් ගත් නිසා එම අළුත් ගොඩනැගිලි කඩාදැමීමට යෝජනා වුණා… නමුත් ඉතාලියේ එක ගොඩනැගිල්ලක් පමණක් නොකඩා ඉතිරි කිරීමට තීරණය කළේ මෙවැනි සිදුවීමක් සිදුවූ බවට සාක්ෂියක් වශයෙනුයි…

ටික දිනකින් හැම දෙයක්ම නැවතත් සාමාන්‍ය තත්වයට පත්වුණා… ලෝකයේ මිනිස්සු නැවතත් කෙළින් ජීවත් වන්නට පටන් ගත්තා… කෙළින් කීවාට ඉතින් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළොත් ඕනෑම කෙළින් මිනිසෙකුගේ අංශක භාගෙක පුංචි ඇදයක් ඔබට පෙනේවි… මේ හැමදේටම මූලික වූ සරුංගල් විද්‍යාඥයා නැවත නොපැමිණියේ ඇයිදැයි හැමෝටම ගැටළුවක් වුණත් එකිනෙකාගෙන් ඒ ගැන කවුරුවත් ඇහුවේ නැහැ… එහෙම වුනේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

ඉතින් මෙය කියවන ඔබ කවදා හෝ ඒ ඇදට සාදාඇති ගොඩනැගිල්ල අසලට ගියහොත් සරුංගල් විද්‍යාඥයා ගැන සිහිකර ඔහුට කෘතඥ වෙන්නට අමතක කරන්න එපා…

~ නිමි ~

ප.ලි. – ඉන්ස්පයර්ඩ් බයි: දන්න අය දන්නවා..... – සිත් ආර
Smile

53 comments :

  1. ලස්සන පාට පින්තූර , දිගම දිග සරුංගල් , දිග ගවුම් ඇදි සුන්දර ගැහැණු , පින්තූරත් හිතේ මැවිල කියවපු ලස්සන කතන්දරයක් බීටල්.....

    ReplyDelete
    Replies
    1. matath ekamane hithune.. hariyata Perfume Film eke wage ;)

      Delete
  2. මැක්සා කියන්නේ මචන්, මැක්සාම මැක්සා.
    ආයේ පාරක් කියවන්න ඕනේ හිමීට.

    ReplyDelete
  3. දෙවරක් කියෙවුවා.... ආයෙත් කියවන්න ඉඩ ඇති වෙලාවක එනවා..

    ReplyDelete
  4. සොසි, මාලන්... ගොඩක් ස්තූතියි :)

    ReplyDelete
  5. නලිනි අක්කාගේ පෝස්ට් එක වගේමයි. හැබැයි මේකෙන් කියවෙන්නේ සමාජයේ වෙනින් පැත්තක් ගැන. නියමයි බීටලයියේ!

    ReplyDelete
  6. ඔය එක එක එව්වා කීස් මීස් ගගා කොම්පිටරෙ ඇඳ ඇඳ ඉන්නෙ නැතුව කරුනාකර , මෙහෙට විත් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වෙයන් , නුඹෙ අනාගතෙ ගැන නොහිතා රටේ ලේඛන කලාව වෙනුවෙන් :-)

    නෑ එහෙම වනලත් මදි.. .. කොටින්ම... මල් 7*7=49 යි..

    මෙහෙවු හැකියාවක් නිකම් බ්ලොගෙකට සීමා නොකර මොකක් හරි කරනවකො බීටලයෝ...පොතක් වගෙ මෙව්ව එකක්.. :)

    ReplyDelete
  7. ඇත්තටම ගැඹුරෙන් සිතා බැලිය යුතු කතාවක්.

    ReplyDelete
  8. නලිනි ගේ නොන්සෙන්ස් ජෙන්රියේ කතා කලාව ඉස්සරහට යන බවක් පෙනේ.

    හැමෝගෙම හිත ඇතුලේ විශ්මලන්තය දුටු ඇලිස් යම පමණකට හෝ ජීවත් වන වගට මේකත් සාක්කි. එ වගේම රුසියානු කතා කලාව, විශේෂයෙන් ම සෝවියට් දේශය සඟරාවේ අන්තිම හරියේ කෙටි කතා. එ අතරින් "පිස්සු කතාවක්" යන නමින් ගිය කතාවක් විශේෂයෙන් මතක් වෙනවා. ඒක පටන් ගන්නේ මේ වගේ කෑල්ලකින්.

    "අපේ තාත්තා පුංචිකාලේ මහා දඟයා. පස්සේ ලොකුවෙලා මගේ තාත්ත උනාට මට වඩා එයා පොඩියි."

    මැද මේ වගේ කෑලි.

    "මං මඩ වගුරේ යටටම එරුණා. මී මැස්සට කරන්න දේකුත් නැහැ. බකමුනත් ඉඳගෙන ... [මේ බකමුණ කිව්ව එක මතක නැහැ]. අන්තිමේදී වෙන බේරෙන්න විදිහක් නැති නිසා මං ගෙදර ගිහින් උදැල්ල ගෙනත් මඩ ටික අයින් කරලා මාව මුදා ගත්තා. ඊට පස්සෙයි මට මඩ වලෙන් එන්න හැකි උනේ."

    මේ නලිනිගේ මීට කලින් කතාව කියවූ පසු මා ලියු එකක්. මේක නම් නොන්සෙන්ස් ජෙන්රියේ නොවේ. ඇත්ත කතාවක්.
    පිස්සු කතාවක් නොවේ

    ලේඛනයේ නව රීති හොයා යන අංකුර ලේඛකයින්ට මෙන්න සැලියුට් පාරක්.

    ReplyDelete
  9. නියම පෝස්ට් එක යාළුවා.. හිතන්න දෙයක් ඉතුරු කරලා..

    ReplyDelete
  10. @පූසා
    ස්තූතියි මචං

    @දිල්ශරා
    මෙව්ව එක තමයි ඉතින් මේ බ්ලොග් එක :) සිරාවටම අගය කිරීමට අනේක වාරයක් ස්තූතියි...

    @සුජීව
    ස්තූතියි ඔබේ දිරිමත් කිරීමට, විශේෂයෙන්ම ලින්ක් එකට... Short කතා බ්ලොග් එක සම්පූර්ණයෙන්ම කියවලා, මගේ ප්‍රියතම බ්ලොග් ලිස්ට් එකෙත් එල්ලගෙන දැන් සේරම හරි කියා හිතාගෙන ඉන්නකොට තමයි මේ සතියකට විතර කලින් නල් ඩිවයිස් ඇසගැටුනේ...

    @Dinesh, kumaraya
    ඔබ සියළුදෙනාටත් ස්තූතියි...!

    ReplyDelete
  11. බීටලයෝ මරු කතාව බන්,,,ඔන්න බිග් බෙන් ඔරලෝසු කනුවත් පොඩ්ඩක් ඇද වෙලා කියන්නේ

    ReplyDelete
  12. නියමම කතාව.... ආසාවෙන් කියෙව්වා.හැබෑට නරකද පොතක් ලිව්වොත්...?

    ReplyDelete
  13. හැමෝම හොඳයි කියන එකේ දුටු වැරදි ටිකක් කියන්නම්
    1.එක පැත්තකට හරවන්න ඕනි නම් ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කඩලා විසිකළ යුතුව තිබුණා…

    මෙතනදි හරවන්නේ නැතුව කෙලින් යනවා නම් තව රැලක් කඩලා සමබර කරගෙන ඊට පස්සේ තමයි අනික් පැත්තට හරවන රැල කඩන්න වෙන්නේ

    2. සත්තු දැන ගැනිම
    මිනිස්සු දැන ගත්ත දෙයක් සත්තු දැන ගත්තේ කොහොමද?

    3.ගුරුත්වාකර්ෂනය හා පිඩනය
    මේ ගැන දැනගත්ත ජනතාව ලෝකය ඇලයි කියලා නොදැන ගෙන ඉන්න විදිහක් නැහැ


    හොඳ නිර්මාණයක්

    මා කවුදැයි ඔබ දන්නවා ඇතැයි මම සිතමි

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අපි හැමෝම කලෙකදී ලෝකේ ඇද අරින්න හිතනවා . ටිකක් කල් යද්දී මහන්සි හන්දා ඔන්න ඔහේ අපිත්ඇදේට ඉමු කියල තීරණය කරනවා . කතාව මල් හතයි .. ..

    ReplyDelete
  16. සුපිරියි! අදහස් ගොඩක් තියෙනවා ලියන්න. කාලා ඇවිල්ලා ආය කියෝලම ලියන්නයි හිතාගෙන ඉන්නෙ.....

    ReplyDelete
  17. @Dilan
    බිග් බෙන් නෙවෙයි මචෝ, ගෙවල් එහාපැත්තේ තියෙන එක උබට කට්ට කරුවලේත් අදුනගන්න පුළුවන් වෙන්න එපැයි:)

    @නිසුපා
    ස්තූතියි, පොත් ලිව්වට ඉතින් මෙහෙම උදේට ලොග් වෙලා කමෙන්ට් බලන්න බෑනේ...

    @Anonymous

    1. පුංචි කාලේ සරුංගල් අරිද්දි සරුංගලේ එක පැත්තකට කූරියා ගහනවා නම් අනිත් පැත්තෙන් රැල් දෙක තුනක් කඩන්න අපි පුරුදු වෙලා හිටියා... ඕක ඔළුවට එන්න ඇති මම ඒ කෑල්ල ලියද්දී... ඒත් වඩාත් නිවැරදිව ලියනවා නම් ඔබ් කිවූ විදිය තමයි හරි...

    2. සත්තු ලෝකය කෙලින් වූ බව දැනගත්තා කියා මම අදහස් කලේ නෑ... සාමාන්‍ය විදියට ඇවිදීමට නොහැකි නිසා සත්තු අවිඥානිකව ගාත් දෙකකින් ඇවිද්දින්න පටන් ගත්තා කියන එකයි මම අදහස් කලේ...

    3.ලෝකය ඇලයි කියා හොයා ගත්තේ කොයි කාලෙද කියලා මම දැනගෙන හිටියේ නෑ... දැන් ගූගල් කලාම දැක්කේ 1600 බව... නිවිටන් මහතා ගුරුත්වාකර්ශනය ගැන කියා ඇත්තේ 1650 ලු... ඉතින් මගේ කතාවේ එතන ලොකු වැරැද්දක් නෑ වගෙයි... මොනවා උනත් අනිත් දේවල් විද්යාත්මකව නිවැරැදි නැති නොන්සන්ස් නිසා මේක නිවැරදි වුණත් තේරුමක් නෑනේ... :)

    ඇනෝ කෙනෙක්ව ගෙස් කරන්නට යෑම බ්ලොග් රචකයෙක් නොකළයුතු භයානක වැරැද්දක්... ඒ නිසා කමෙන්ට් එකට ස්තූතියි කියා පමණක් කියන්නම්...

    @වැප්,
    කමෙන්ට් එක මඥ්ඥන් වී වැටිලා... ආයේ දාපන්කෝ

    ReplyDelete
  18. මචෝ . . . මේක මෙහෙම කියවලා වැඩක් නෑ .. . මේක කියවන්න ඕනෙ සිහින්ව ලියාගත් අරවායිං කොල ටිකක් කඩදාසි කැබැල්ලක ක්‍රමවත්ව ඔතාගෙන කෙලවරක් පත්තු කරගෙන. . . . එතකොට තමයි මේ කතාවෙ නියම රසය විඳින්න පුලුවං . . .

    ReplyDelete
  19. අර වැපාට තාම ගුරුත්ව මෙව්වා එකේ අනිටු පල විපාක වලින් ගැලවෙන්ට බැරි වෙලා වගේ..... මොකද්ද අර ලියලා තියෙන්නෙ....

    ReplyDelete
  20. සුපිරි..ඇත්තටම අපුරුයි

    ReplyDelete
  21. ලොකු බොරුවකට ඇත්ත ටිකක් වටේ තවරලා දුන්නම කව්රුත් බොරුව දකින්නැලුනෙ. මෙකෙත් අංශක විසිතුනහමාරයි, ඇලෙවෙන කුලුණයි කරන්නෙ ඒක. ඊට අමතරව කතාවේ අන්තිමට තහවුරු කරන්න ඕන කාරණා ඒත්තු ගන්වන්න මුලින් දීලා තියෙන සාක්ෂි ටික නියමයි.

    ReplyDelete
  22. සරුංගල් විද්‍යාඥයා කාටත් අමතක වෙලා කියල හිතන්න බැහැ. මොකද කාටත් අමතක වෙලා යන සමහර අයව , සමහරුන්ට හරි හොඳට මතකයි.

    අහස දිහා බලල හැමදාමත් සරුංගල් විද්‍යාඥයා මතක් කරල සුසුම් හෙලන අය නැත්තෙ නැහැ.සරුංගලයක් පාවුන් , අනේ ඒ සරුංගල් විද්‍යාඥයා නේද කියල බෙල්ල කැඩෙනකම් බලා ඉන්න මේ ලෝකේ ඉන්නකම් , මේ ලෝකේ තියන ඔය පුංචි ඇදය , වාසනාවක් .

    ReplyDelete
  23. කීමට වදන් නැත! :D

    මම ඉවසිල්ලක් නැතුව කියවගෙන ඇවිත් එක පාරටම හය්යෙන් හිනාවක් ගියා 'පුදුම දෙයක් දැකලා': “ලෝක බෝලේ අංශක ගාණක් ඇදයි….!!!!!!”

    "එහෙම වුණේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…" කතාවෙ මුලත් අගත් යෙදී ඇති මේ කියමන නිකං කණෙන් අල්ලලා හොලවනවා වගෙයි. :D

    "අනිත් අයත් ඒ එක්කම හිස වනන්න ගත්තේ තමන් හිස නොවැනුවොත් මෝඩයෙක් ලෙස හිස වනාපු අය හිතාවි යැයි බයට…" :D අප්පේ, දැන් ඉතින් මොකකටවත් ඔලුව වනනකොට මේක මතක් නොවී තියෙයිද? :D

    "අන්තිමට හැමදෙනාම වාගේ නොතේරුණ අයට විස්තර කරදෙන අය වී තිබුණා…" මේක කොයි තරම් අපට අදාලද? කට්ටියක් එකතු වෙලා කතා කරන තැනකදි තියෙන්නෙම මේ තත්වය තමා. වැඩිය ඕනෙ නෑ, ආගම ගත්තොතින්, දැන් හැමෝටම අවබෝධ වෙලා ඉන්නෙ; ඒකනෙ කට අරින වාරයක් පාසා අනික් අයට අවබෝධ කරවන්නම දෙසන්නෙ. :D

    "සමහර කම්මැලි මිනිසුන් කඹය අල්ලාගෙන අදිනවා වගේ බොරුවට රගපෑවා වුණත් කෙළින් ජීවත් වීමට කැමති මිනිස්සු කැපවීමෙන් ඇද්ද නිසා......." අපිට මේවට හිනා යන්නෙ, එදිනෙදා මේ දේවල් අපි කොච්චරවත් අත්විඳින නිසාම නේද? :D ඇයි, "යවමු යවමු; කරමු කරමු." ඇද වෙච්ච මිනිස්සුන්ගෙ කෑ ගැහිල්ල? :D

    වැදගත්ම පණිවුඩය: "කෙළින් කීවාට ඉතින් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළොත් ඕනෑම කෙළින් මිනිසෙකුගේ අංශක භාගෙක පුංචි ඇදයක් ඔබට පෙනේවි."


    නියමයි බීට්ල්. අපේ සමාජයේම හැසිරීම් දිහා ද්වේෂයකින් තොරව බලලා, හිනා වෙන්නට ඉඩ හැරිය ලස්සන කතාවක්, එක හුස්මට කියවගෙන යා හැකි අපූරු බස් වහරකින් ලියවිලා.

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  24. වාවු බීටල් අයියා මරේ මරු කතාව . හෙන දිග කතාවක් වුණාට මාරම ආසාවෙන් තමා මම ඒක කියෙවුවේ . උඹට මේ අදහස් කොහෙන් එනවාද ම්න්දා .

    හැමෝගෙම මොකක් හරි ඇදයක් තියනවා නම් තමයි ..ඒත් ඒක හොයන්න බලන්න යන එක නම් ඒතරම් හොඳ දෙයක් නෙවේ

    ReplyDelete
  25. මොනවද බං මෙව්වට කියන්නේ..?
    මං නොකිව්වට ඔය කට්ටිය කියලා තියෙන්නේ අඩු නැතිවම.. ඒ හින්දා මං ඕනයට දෙයක් කියන්නං...

    මචං ඔනේ... උඹ අර දේ කිරියාත්මක කරන වෙලාවට මටත් කියහං.. ආයේ දෙකක් නැහැ බීටලයා මේක ලියලා තියෙන්නෙත් උඹ ඔය කිව්ව ත්‍රෛයිලෝක විජය පත්‍ර පූජාවක් අස්සේ වෙච්ච කොට අපි කොහොමද එහෙම පූජාවකින් තොරව මේක තේරුං ගන්නේ..? ඒ හින්දා අනිවා හම්බු වෙච්ච වෙලාවක මතක ඇතිව ඒ ක්‍රමයට අපි මේක ගැන හිතමු.. ඊට පස්සෙ අපිට මේකට කොමෙන්ටුවක් දාමු...

    ReplyDelete
  26. මරු ඈ.. පට්ට..!:)

    ReplyDelete
  27. නියම කතාවක් මිත්‍රයා.....

    ජය වේවා....

    ReplyDelete
  28. @ඕනයා
    මේක කියවන එක කෙසේ වෙතත් නිකමට හරි සෙට් වෙමු... උඹ හීනියට ලියාගත් ඒවා අරන් වරෙන්, මම ඔය සුවීට් මොනවා හරි ගේන්නම්...
    හක හක ජස්ට් කිඩින් ඈ...? උඹ ඕවා පාවිච්චියක් නැති බව මම දන්නවා :D

    @බුද්ධි
    වැපා මොකද්දෝ කෝලමක් කරන්න ගිහින්... සබ්ස්ක්‍රයිබ් සීන් එක අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියා කියලයි කිව්වේ...

    @නිම්ශා
    ස්තූතියි නිම්ශා

    @සොසි
    සරුංගල් කාරයා තමන්ගේ කාර්යය කරලා ගියා... බෙල්ල කැඩෙනකල් බලන් ඉන්න එක තේරුමක් නැහැ...
    ඒක නෙමෙයි මම හිතුවේ, ගහකින් කොළයක් වැටෙනවා දැක්කත් ඒකෙන් දුක් සීන් එකක් ගලපාගන්න ඔයාටත් මාර හැකියාවක් තියෙන්නේ

    @නලිනි
    තැන්කූ වේවා වැඩ රාජකාරී හිරවී ඇති වෙලාවක විස්තර ඇතුව කමෙන්ට් එකක් දාලා දිරිමත් කරන්න ගත්ත මහන්සියට...

    ඉස්සරහට ගිහින් අවුලක් නෑ මෙහෙන් එන්ඩ කිව්වම අපි බය නැතුව එනවා... :D

    @සදරු
    ස්තූති මචං... අංශක බාගයයි නේ ඇදේ... ගනන් ගන්න තරම් දෙයක් නෙමෙයි මමත් හිතන්නේ...

    @මාරයා
    මොනවද කොල ජාතියක් හීනියට ලියාගෙන ඌ ගේනවාළු, උබ ලූණු අමු මිරිස් එහෙම කපාගෙන ඉඳපන්...

    @හසී,
    ස්තූතියි නංගි

    රනා උබටත් ස්තූතියි මචං

    ReplyDelete
  29. @Bindi
    ස්තූති අදහස්වලට ඔබටත්...

    ReplyDelete
  30. පිස්සු කොර කතාවක් නේ..! මට ආපු ඊමේල් එකක් ගූගලේ කොටලයි මේ බ්ලොගට ආවේ.. හැකියාව උපරිමයි.. ජය..!

    ReplyDelete
  31. දිල්ශාරා තමයි ඊයේ මේ ලිංක් එක දුන්නේ. හප්පුච්චියේ මේ බීට්ල් හිතලා තියෙන එව්වා...... ඇත්තමයි තුන් හතර පාරක් කියවන්න හිතෙන කථාවක් අනේ.... ආයේ ගෙදර ගිහිනුත් වෙලාවක් ලැබුනහම කියවන්නම්.

    අර ඇනෝ නං මට හිතා ගත හැකියි. අර ලංකාවට ආවාහම බීට්ල්ව ගිලිනවා කිව්ව කෙනා තමයි ඔය......... වස කම්මැලියා ලොග් වෙන්න :D

    ReplyDelete
  32. හරි ලස්සනයි.මෙච්චර කල් ඇවිත් කියවලා ගියාට අද නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා.ඇත්තටම ඇලිස්ගෙ විස්මලන්තෙට ගියා වගෙයි.

    ReplyDelete
  33. මේක කියවල දවස් දෙක තිනක්ම කල්පනා කලේ ඇයි මේකට පස්ටයි කියා ඇරෙන්න වෙන මොකුත් කොමෙන්ටුවක් දාන්න හිතෙන්නෙ නැත්තෙ කියල.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හික්z ලෝකෙ ඇදයිනෙ. ඒකයි මට වෙන මොකුත්ම කියන්න හිතිල නැත්තෙ

    ReplyDelete
  34. මාරම ලස්සන කතාවක්. හරියට රුසියන් සුරංගනා කතාවක් වගේ දැනුනෙ. එක හුස්මට කියවන් ගියා.
    මේ වගේ කතා ටිකක් එකතු කරල පොතක් ගහන්න තිබුන තමා.

    ReplyDelete
  35. කෙලපිය තාප්පෙටම, අද දවසෙ විනාඩි විස්සක් විතර ඇතුලත ඕනයගේ කොමෙන්ට් එකම තමයි කියල කියන්න වුනා, දෙවෙනි වතාවටත් කොමෙන්ට් දාන්න ගිහිල්ල. ෂුවර් ඕක කියපු ජාතියෙ එකක් ඇදල ඇත්තෙ, තාම අලුත් ජොබ් එකේ පඩි හම්බු වුනේ නැහැ කියල නාහෙන් අඬ අඬ හිටියෙ, කරෝල වාඩියේ මල් මිටි විකුණන එකෙක් හම්බෙන්න ඇති , අඩු මුදලට වැඩි සොමියක් දාගන්න.

    ReplyDelete
  36. සිරා !! නියම කතන්දරේ.
    කැමතිම කොටස "මිනිස්සු මේ ආරංචිය බොරුවක් බව විශ්වාසකළ නිසා මේක ඊටත් වැඩිය වේගෙන් පැතිරුණා"

    ReplyDelete
  37. @sudheera
    ස්තූතියි, මේක ෂෙයාර්වෙන බව අහන්න ලැබීම සතුටක් :)

    RanDil
    කියවන්න ආ රන්දිල්ටත් ඔත්තුව දුන් දිල්ශරාටත් දෙන්නටම තෑන්ක්ස් අ ලොට්…

    @සුන්දරී
    ස්තූතියි ඔබටත් ගොඩක්, හැමදාම එන බව දැනගන්න ලැබුණු එකත් සතුටක්…

    @මකරා
    හා හා… මට උත්තර බඳින්න පමා වුණෙත් ඔය ඇදේ හින්දම තමයි ඉතින් :D

    @Madhawa Habarakada
    පොතක් ගහන එක ටිකක් බැරෑරුම් වැඩක්නේ… :) මොනවා උනත් ඔබේ ඒ ඉල්ලීම මට ලොකු සතුටක්…

    @Observer
    ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්න ඇත්තේ ඔය යටිතල පහසුකම් ටික හදාගන්න එක තමයි මමත් හිතන්නේ…

    @Rasika Kariyawasam
    ස්තූතියි රසික :D :D

    ReplyDelete
  38. මං කැමතිම කෑලි.

    1. තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්වතිය වුණත් දැකගන්න පුළුවන් වෙයි…

    2. තරුණයින් මෙය පහසුවෙන් ඉගෙනගත්තත් සුන්දර තරුණියන්ට මෙය පහසු වූයේ නැහැ…

    3. උන් “බ්‍රොවෑක්… බ්‍රොවෑක්…” යන ලෙසින් හඬනගමින් ඇවිදීමට නොහැකිව තැන් තැන් වල වැටී සිටියා…

    අපූරුයි., බීට්ල් ළමයා!

    ReplyDelete
  39. මේක කියවන කොටමතක් වුණේ:ලෝක ගෝලය, ගුරුත්වාකර්ෂණය ගැන මුලින් ම ඉගෙන ගන්න කාලේ පංතියෙ ලමයෙක් ඇහුව "මැඩම් ඒ කියන්නේ අපි වෙලාවකට ඉන්නේ ඔලුවෙන් හිටගෙන නේද?" කියල.ඒකට ලැබුණ උත්තරේ නම් මතක නෑ.
    ඔබේ බ්ලොගයට අද තමයි මුලින් ම ආවේ(කතන්දර හරහා).හොදින් ම රසවින්දා.මගේ සුභපැතුම් සහෝදරයා!

    ReplyDelete
  40. ෂික්... මං වගේ.... මෙව්වා දැනුයි කියවන්නේ බං....

    ReplyDelete
  41. මේකනම් පට්ටයි ඈ...... මට මතක් උනේ අර ග්‍රීම් සුරංගනා කතා වල එන හඳ ජනසතු කිරීම කියන කතාව.

    ReplyDelete
  42. I don't have enough " AKURU " to comment on this post. Simply superb...
    +++++++++++++++++++1

    ReplyDelete
  43. යකෝ මේක මම කලින් දැක්කෙ නෑනෙ. පට්ට ලියවිල්ල. මරු මරු

    ReplyDelete
  44. මම මේක කියවලා කල්පනා කලේ ඇයි මම බීට්ල්ගේ මේ අගනා ලියවිලි කලින් කියවලා තිබුනේ නැත්තේ කියලයි. ඔයාගේ මොලේ නම් කොහොම වැඩ කරනවද කියලා හිතාගන්ටත් බෑ. අර සරුංගල් විද්‍යඥයාගේම වගේ තමා.:)

    අගනා ලියවිල්ලක්. සුපිරි. අර ඇද ගොඩනැගිල්ල ගාවට ගිය දවසක ඔයාව මතක් කරන්නම්...:D

    ReplyDelete
    Replies
    1. මෙතෙක් කලක් බ්ලොග් අවකාශයේ පල වු ලිපි වලින් නැවත නැවත වැඩිම වාරයක් කියවූ මගේ ප්‍රියතම ලිපිය මේ.

      Delete
  45. කියූ කතාවට වැඩිය නොකියු කතාව බර වැඩියි... කාට නැති උණත් සරුංගල් විද්යා ඥය‍ගෙ හෘද සාක්ෂිය වැඩ කරනවා වගේ.. ඒ නිසයි මනුස්සය ආපහු එන්නැතුවම ගියේ...

    ReplyDelete
  46. මේකට වැටෙන අවසාන කමෙන්ට් එක නොවන බව සිකුරුයි. කියමනක් තියෙනවනේ "Better Late than Never" කියලා. මී ගොඩයා මල්ලි දුන්න ලින්ක් එකෙන් ආවේ. මේක කොයි තරම් නිර්මාණශීලීද කියලා කියන්නත් පුදුමයි. මම මේක ලියන කාලේ කිසිම සිංහල බ්ලොග් එකක් බලලා නෑ. මමත් මේකෙන් දාහෙන් පංගුවක් විතර මේ වගේ එකක් ලිව්වා ටික කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. අර ඩෝස් ගේම් එකද සුදීක සෑර්? ඔයා ලිව්වේ?

      Delete
  47. රැසියන් සුරංගනා කතාවක් ව‍ෙ‍ග් වුනත් ඇතුලෙ තියෙන්නෙ අපි කවුරැත් දන්න නමුත් ඒදේ කතාකරන්න කලින් කතාකරන්න ගොඩක් දේ තියන යථාර්තය !

    ReplyDelete
  48. බීටල් කතාව ලියලා කතාවෙ අන්තර්ගතය ගැන කමෙන්ට් කරන කොට ඒවට රිප්ලයිත් කරනවා. ඒක බ්ලොග් වලට හොද පුරුද්දක් වෙන්න ඇති. ඒත් බීටල කතාව කියවලා ඔයා " අනේ මට මෙහෙම ලියන්න තිබුනා නම් හොදයි. ආන් එතන වැරැද්දක් තියෙනවා " ආදී දේ කියනොකාට පාඨකයා එතෙක් සිටිය සිහින ලෝකෙන් දඩාස් ගාල ඇප රහිතවම ඇදන් වැටෙනවා. මම නම් කතාවක් කියෙව්වම ගොඩාරියක් වෙලා යනකල් ඒක ඇත්තමයි කියලා පිලිගන්නවා. ඒක බොරු කියලා පිලිගන්න නිකං මනස ඉඩ දෙන් නෑ නෑ වගේ..

    ReplyDelete

Web Statistics