Thursday, October 30, 2014

97. පතිනි

 

“අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ..? හැඩයක් හිටින්න කපන්න..!”

“හැඩයක්..!?”

“ඔව්..මෙහෙම මෙහෙම…”

මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය…

“කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ…?”

හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි… 

“ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…”

තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය…

“වැඩේමයි…! බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”

සෞම්‍යාද ලේසියන් පරාජය භාරගන්නට සූදානම් වගක් පෙනෙන්නට නැත…

“බෝරිං ගෝරිං නෙමේ ළමයෝ… හතරටත් ළඟයි… අර වැහි කළුවරකුත් එනවා… දැන්ම ගියොත් සංජේනගර් වලින් පහේ කෝච්චිය අල්ලගන්න පුළුවනි…”

නිත්‍යාට පිළිතුරක් දීමට ඉඩක් නොතබා, පිඟාන සූරා ගත් අන්තිම උප්පමා හැන්දද ඇගේ මුවෙහි වූ කෑම කට උඩටම එබූ මව පැවසූයේ සාලයේ එල්ලුණු පෞරාණික බිත්ති ඔරලෝසුව දෙස බලමිනි…

පියා රාජකාරී අවසන් වී නිවසට ළඟාවීමට පෙර තමාව පිටත් කිරීමට අම්මාට ඇති උනන්දුව නිත්‍යාට වටහාගැනිමට අපහසු නැත… අලුත විවාහ වූ කාන්තාවක තනිවම තම නිවසට පැමිණිම අසල් වැසියන්ගේ විමසිලිමත් දෑස් වලට වසන් කළහැක්කක් නොවේ… මව තම කනස්සල්ල පළකිරීමෙන් පමණක් නැවතුනද පියාණන් පැමිණෙන තුරු රැඳුනොත් මෙසේ තනිවම පැමිණිම ගැන ඔහු බැන අඬගසන බවද ඇය දනී…නමුත් ගංඉවුරක නිදහසේ වැවෙන තෘණ ආදී ශාකයෝ ගඟ ගලන අතටම නැවී වැඩෙන්නේ යම්සේද, නිත්‍යාගේ සිතද තම මහගෙදරටම නැමේ…

“අද ඉඳලා මම හෙට යන්න බැලුවේ…”

නිත්‍යා පවසද්දී…

“චිහ්…චිහ්…”

බලාපොරොත්තු කඩවූ හඬක් නැඟූ අම්මා හිස් පිඟානද රැගෙන නැඟී සිටියාය…

“ගනපති පූජාවට ශංකර් පුතත් එක්කම එන්න… එක දවසට දවස් දෙක තුනක්ම ඉඳලා යන්න බැරුවායෑ…”

අනතුරුව මුළුතැන්ගෙයි ජලකරාමයේ හඬ අතරින් මවගේ හඬ නිත්‍යාට යන්තමින් ඇසුණි

ශංකර් යනු නිත්‍යාගේ පළමු සැමියා නමුත් ඇගේ දෙවැනි විවාහයයි… බැලූ බැල්මටම විහිළුවක් සේ හැඟෙන මෙම ප්‍රකාශයට අඩිතාලම වැටුණේ මීට අවුරුදු ගණනකට පෙර සිදුවීමකිනි...

++++++++++++++++++++++++++

ජ්‍යෝතිෂ්‍ය ගුරුකම් වැඩ ගැන දැනුමක් ඇතැයි නෑ පරපුර අතර පරසිදු ලාලාජී සීයා දිනක් හිමිදිරියේම නිත්‍යාගේ නිවසට ගොඩවෙද්දී ඇය සිටියේ නංගී සමඟ රංගෝලියක් ඇඳීම සඳහා දොරකඩ සෝදමිනි… රකින්නට පවුලක්ද, රැකෙන්නට රැකියාවක්ද නොවූ ලාලාජී සීයා විටෙක  සායිබාබා ආරාමයේද, තවත් විටෙක උතුර බලායන නොයෙක් වන්දනා නඩ වලට දැනමුතුකම් සපයමින්ද දවස ගෙවන බව පියා වරක් පැවසීය… ඉඳහිට එම කටයුතු වලින් වෙහෙසට හෝ කලකිරීමට පත්වෙන ඔහු තම නෑදෑයෙකුගේ ගෙදරකට ගාටයි… නමුත් ඒ දිගුකලකට නොවේ… ටික දිනක් නිවසේ වැඩිහිටි සත්කාරයෙන් සැළකුම් ලබන ලාලාජී සීයා දිනෙක හිමිදිරියේම පැදුරටත් නොකියා පලායන්නේ නිවැසියන් ඔහුගේ ගුණමකුකම ගැන අවලාද නගද්දීය…  ලාලාජී සීයා පියාට නෑදෑයෙකු වන්නේ කෙසේදැයි අම්මාද හරිහැටි දැන නොසිටි බව ඇය පවසනු නිත්‍යාට මතක තිබේ…

කලකට පසු  නෑගම් පැමිණි ලාලාජී සීයාගේ ආගමනය ගැන මෙවර නිත්‍යාගේ අම්මාටද සතුටුවන්නට හේතුවක් තිබුණි… ඒ මීට මාස කිහිපයකට පෙර නිත්‍යා වැඩිවියට පැමිණීමයි… චාරිත්‍රානුකූලව සියලු පූජාවන් කෙරුනද ඔසප් නිමිති අනුව දරුවාගේ විවාහ ජීවිතය ගැන ලාලාජී සීයාගෙන් අනාවැකියක්  දැනගැනීමට ඇයට අවශ්‍යයතාවයක් තිබුණි… නිත්‍යාගේ පියාගේ වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දිනය අවසානයේ ඇය තම අදහස සැමියා හරහා ලාලාජී සීයාට දැන්වූවාය..

ගෙපිළද, මඳවශයෙන් මැද මිදුලද එළිය කල ලාම්පුව යටට වී එදින රාත්‍රියේ ලාලාජී සීයා, පියාගේ පරණ බිල්පොතක පිටපැත්තේ කුරුටුගාමින් ඇගේ අනාගතය විසඳනු නිත්‍යාට මේ දැනුදු මතකයට නඟාගත හැක…බැරෑරුම් මුහුණක් මවාගෙන විටෙක හේ තනිවම මොනවාදෝ මතුරයි, තවත් විටෙක සුළැඟිල්ලෙන් පටන් ගෙන දබරැඟිල්ලටද, පෙරළා දැබරැඟිල්ලෙන් පටන් ගෙන සුළැඟිල්ලටද ඇඟිලි උරුවමින් ගණනය කරයි…ඒ හා සැණින් යමක් වැරදුණ අයුරින් තම සටහනේ ඇති යමක් කපා දමයි…ඊට ඔබ්බෙන් අලුත් යමක් ලියැවෙයි… නැවත කට ඇදකරගෙන හිස දෙපසට වනයි… මවද පියාද දේව වාක්‍යයක් ඇසීමට මෙන් සැදී පැහැදී එකත්පස්ව වාඩිවී සිටිති…

“මේ දවස එහෙම වැරදුණේ නෑ කියලා විශ්වාසයි නොවෙද…?”

ලාලාජී සීයා අසන්නේ නළල රැළිකරගෙන එක් ඇසක් අනෙකට වඩා විශාල කරගෙනය… දෙමාපියන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන ඔහු නැවත ගණනය පටන් ගනී… ශ්ලෝකයක් මුමුණයි… තම ගණනය කිරීම් අවසන් බව පෙන්නන්නට මෙන් කටු පැන්සල බිල් පොත උඩට විසිකළ ඔහු ආසනයේ පසුපසට දිගාවූයේ මෙසේ සෑහෙන වේලාවක් ගතවූ පසුවයි…

මෙතෙක් වේලා නැගණිය සමඟ මැද මිදුලේ චිර්පි පනිමින් සිටි නිත්‍යා තම වටය පරාජය වූයෙන්  අම්මා අසලින් වාඩිවූවාය,,,

“නැකත නම් පාප නැකතක්… කොහොම ගැටගැහුවත් පරහක් හිටිනවා…”

බාගෙට හැපූ අම්රිති වළල්ලක් මෙන් කට ඇද කරගෙන ලාලාජී සීයා පැවසීය,,,

“කොහොම පරහක්ද ලාලාජී…?”

“පළමු විවාහෙන් වැන්දඹුවක් වෙන එක නවත්තන්න නම් බෑ ඕං…”

“අරේ බාප්රේ….!!!”

ඇස්ගෙඩි ලොකුකරගත් අම්මා එක අතකින් මුව වසාගෙන නිත්‍යා දෙස බැලුවාය…නමුත් නිත්‍යා බලාසිටියේ චිර්පි පෙතේ අවසානයට ළඟාවූ නංගී අනෙක්පස හැරී දෑසම වසාගෙන පෙත්තා පසුපසට විසිකිරීමට සූදානම්වෙන අකාරයයි...

“බැරිද ලාලාජී මේකෙන් ගැලවෙන්න…?”

නිත්‍යාගේ පියා ඇසුවේ බඩ හරහා වැටී තිබුණු ජනෙව්නූල අතගාමිනි…

“නැකතයි ක්‍රමෙයි දන්නවානම් කල්ප විනාශෙනුත් ගැලවෙන්න ක්‍රම තියෙනවා…හෙහ්…හෙහ්…”

ලාලාජී සීයා පවසද්දී නිත්‍යාගේ දෙමාපියන්ගේ දෑත් ඉබේම එසවී පපුව අබියස රැඳුනි…

“දරුවෝ මෙහේ එන්න බලන්න…”

ඉන්පසු ලලාජී සීයාගේ කැඳවුමෙන් අකමැත්තෙන් මෙන් නැඟී සිටි නිත්‍යා, මව විසින් පොළඹවනු ලදුව ඔහු අසලට ඇදුනාය…

“කීයද දරුවෝ උඹගේ වයස…?  දාහතරයි නේද…?”

ඇගේ හිස සෙමින් අතගාමින් ලාලාජී සීයා ඇසීය…

“ඔව්…”

“කළවයස හොඳයි… එහෙනම් අපි හෙට දිහාට කසාදයකුත් බඳිමු…”

“කසාදයක්… කාවද…?” නිත්‍යා ඇසුවේ පුදුමයෙනි…

ටික වේලාවක් වටපිට බැලූ ලාලාජී සීයා අවසානයේ තීරණයකට එළඹියාක් මෙන් මුළුතැන්ගෙය ඔබ්බෙහි වූ නාඹර  කෙසෙල් ගසක් පෙන්වීය…

“අරයව…”

“කෙහෙල් ගහක්..!!!” බකස් ගා එළියට පැන්න හිනහව නංගී ක්ෂණිකව නවතාගත්තේ මෙය විහිළුවක්ද නැත්ද යන්න ඇයට හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවුණ බැවිනි…

“ඔව් කෙහෙල්ගහක්…  දූගේ පළවෙනි විවාහය වෙන්නේ කෙහෙල්ගහක් එක්ක… ඊට පස්සේ බැරුවයෑ ඕනෑ කෙනෙක් බඳින්න…”

නැකතද ක්‍රමයද දන්නා ලාලාජී සීයා  නිත්‍යාව  ලෝක විනාශයෙන් ගලවාගත්තේ එසේය… පෙරදිනයේ කෙළිදෙලෙන් බට්ටා පනිමින් සිටි නිත්‍යා පසුදින ලාලාජී සීයාගේ වතාවත් මැද කෙසෙල් ගසක් සමඟ යුගදිවියට එළඹුනි…පතිනියක වුවද ඉන් ඇගේ ජීවිතයට අබමල් රේණුවක්වත් වෙනසක් ඇතිවූයේ නැති… එක්තරා හිමිදිරියක සුපුරුදු පරිදි ලාලාජී සීයා  කාටත් නොදන්වාම නික්මගොස් තිබුණි… ඉන් දින කිහිපයක් ගතවෙද්දී නිවසේ සියල්ලන්ටම නිත්‍යාගේ විවාහය අමතකව ගියේය… පියාණන් පමණක් විටින් විට කෙසෙල් ගස මියයාදැයි පරීක්ෂා කළ අතර, එය පෙරටත් වඩා සාරවත්ව පඳුරුදමමින් වැඩෙන්නට වූ විට කෙල්ලගේ වාසනාව යැයි පවසා සිත සනසාගත්තේය… ඉන් වසර ගණනකට පසු දෙමාපියන්ගේ යෝජනාවකට අනුව ශංකර් සමඟ යුගදිවියට එළඹෙන තෙක් ඇය විවාහය යනු කුමක්දැයි නොදැන සිටියාය…

++++++++++++++++++++++++++++

නිත්‍යා පියවි සිහියට පැමිණියේ නිවස සිසාරා පැතිරුණු ගොරහැඩි ඝණ්ටා නාදයකිනි … සාලයෙහි ප්‍රධාන බිත්තියේ එල්ලීගෙන  නිවසේ පෞරාණික ඔරලෝසුව කෑගසයි… නිත්‍යාට වඩා වයසැති මෙම ඔරලෝසුව ඇයට මතක ඇති කාලයේ පටන් මහගෙදර තිබෙන්නකි… ඒ හා සමානවම ඇය මතක ඇති කාලයේ පටන් දකින තවත් දෙයක් ඇත්නම්,  ඒ තම පියා සතියකට හෝ දෙකකට වරක් ඔරලෝසුව ඉදිරියෙන් තැබූ කුඩා ටීපෝවකට නැඟී  විටින් විට එය වයින් කරන ආකාරයයි…  දේවකාරියක් ඉටුකරන්නාක් වැනි ගෞරවයකින් පියා නොවරදවා එය ඉටුකරන නිසාමදෝ ඔරලෝසුව නැවතී තිබූ දිනයක් ඇයට මතකයට නඟාගත නොහේ… එහි පැයකටුව කැරකෙන අයුරු කුඩා සංදියේදී ඇයට මහත් අරුමයක් විය… ඔරලෝසුව ඉදිරියට වී කොතෙක් ඇස් දල්වාගෙන සිටියද  පැයකටුව සෙලවෙන අවස්ථාවක් ඇයට දැකගැනීමට නොහැකි විය… එහෙත් මඳකට අවධානය ගිලිහීමෙන් පසුව බැලූවොත් මැජික් එකකින් මෙන් එය ඉලක්කම් කිහිපයක්ම පසුකර ගමන් කොට තිබේ…

නිත්‍යාගේ අලුත් නවාතැන වූ ශංකර්ගේ නිවසේ තිබුණෙ බැටරියෙන් ක්‍රියාකරන ඔරලෝසුවකි… එහෙයින් එය වයින් කිරීමට කිසිවෙකු අවශ්‍යය නොවූ අතර පැයකටුව සැබැවින්ම සෙලවෙන අයුරු ඇය මුලින්ම දුටුවේ එහිදීය…පැයකටුව හතරේ ඉලක්කමට වන් සැණින් මැලවුණු ගතින් අවදිවන ඇය දවසේ වැඩකටයුතු අරඹයි… පාතරසය ගෙන ශංකර් නික්ම ගියපසු ඔහුගේ මහලු දෙමාපියන්ගේ වතාවත් අවසන් කරන ඇයට, පැයකටුව අටේ ඉලක්කම ආසන්නයේ ගිමන් හරින අතරේදී මඳ  විවේකයක් ලැබේ… අනතුරුව ඩාබාවල්ලා ගේ බයිසිකල් සීනු නාදයට පෙර ශංකර්ගේ දිවාඅහාරය සකසා අඩුක්කරන ඇය, ඔහු පිටව ගිය පසු වෙද්‍ය උපදෙස්වලට අනුකූලව දෙමාපියන්ගේ දිවා ආහාරය වෙනම පිළියෙල කිරීම අරඹයි… මේ මුළු කාලය පුරාවට තමා හා තරඟයට මෙන් කරකැවෙන පැයකටුවට ඇය විටින් විට විරිත්තයි… තරඟයේ ඇය පරදින්නේ හවස්වරුවේ ශංකර් නිවසට පැමිණෙන කණිසමේදීය… ඉන්පසු ඔරලෝසුව දෙස බලන්නට ඇයට ඉස්පාසුවක් නොවේ… මූසල විලාපයකින් පැයකටුව රාත්‍රී දහයේ කණිසම සටහන් කරද්දී රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ශංකර් කාමරයට ඇතුළුවෙයි… ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය කැටිකරගන්නා ඇය, තම නිදන ගවුම මුදාහැර ඔහුගෙන් ඉවතට නැඹුරුවී තදින් දෙනෙත් පියාගනියි…

දීර්ඝ සුසුමක් හෙලූ නිත්‍යා නංගී දෙස බැලුවාය…ඇය තවමත් දිව උරුක්කරගෙන සැරසිල්ල සමඟ ඔට්ටු වෙයි… අම්මාගෙන් සද්දයක් නැත්තේ ඇය මුළුතැන්ගෙටවී පියාගේ සවස තේපානයට රසකැවිලි සකසනවා විය යුතුය… දැන්ම පිටත් නොවූවොත් පහේ කෝච්චිය ඇයට මඟහැරෙනු ඇතැයි නිත්‍යාට සිතුණි… ඊට පෙර දහස්වරක් තම සිත සමඟ තර්ක කර පැමිණි මේ ගමනේ අරමුණ ඉටුකරගෙන යෑම මැනවැයි ඇය කල්පනා කලාය…හොර ගල් අහුලන පූසියක මෙන් ඇය සෙමෙන් හඬ අවදි කළාය…

“සම්මු….”

“හ්ම්…”

“ඔයා අර කෙහෙල් ගහ අඳුනනවද…?”

“හ්ම්…” ගතත් සිතත් දෙකම තම කාරියට යොමුකරගෙන සෞම්‍යා හිස නොඔසවාම පිළිතුරු දෙයි…

“මොන කෙහෙල් ගහද…?” නිත්‍යා ඇසීය…

එවර කැටයම් පිහිය සැරසිල්ල මත තබාගෙන හිස එසැවූ සෞම්‍යා වික්ෂිප්තව ඇය දෙස බලා සිටියාය…

“අර ලාලාජී එකපාරක් මාව කසාද බැන්දුව කෙහෙල් ගහ…”

නිත්‍යා පවසද්දී සෞම්‍යාගේ මුවඟට සිනාවක් නැඟිනි…

“අර තියෙන්නේ පිටිපස්සේ, කොත්තමල්ලි ගහ ගාව…අම්මා කිව්වා එක උදුරලා දාලා එතන කොම්පෝස්ට් පෝර මැෂින් එක හයිකරන්න ඕනේ කියලා…”

අනතුරුව නංගී ප්‍රශ්න වැලක් අසාවියැයි නිත්‍යා බියවුවද ඇය නැවත සැරසිල්ලට හිස ඔබාගත්තාය…නැඟී සිටි නිත්‍යා මුළුතැන්ගෙයි පිටත දොරින් මිදුලට පිවිස කොත්තමල්ලි ගස ඇති පැත්තට ඇවිද ගියාය…. මනරම් පත්‍රයෙන්ද, සහපිරිවරින් එකට බැඳුනු නේක කඳින්ද සුසැදි එය දැන් සාරවත් කෙසෙල් පඳුරකි… සුළඟට ඉරුනු කෙසෙල් පත් හරහා පෙරීඑන සැඳෑ හිරුරැස් වලින් මුවාවීමට අතක් නළලටද අනෙක් අත ඉනට තබාගෙන ඇය තම ජීවිතයේ පළමුවරට ඒ දෙස බලා සිටියාය…

“ළමයෝ කෝ අක්කා …දැන් ගියේ නැතිනම් පරක්කු වෙයි… “ ටික වේලාවකට පසු අම්මා හඬගානවා නිත්‍යාට  ඇසුණි…

“අන්න අම්මා කතාකරනවා…”

පිටුපසින් පැමිණි නංගී පැවසුවේ නිත්‍යාගේ බඳවටා දෑත්යවා ඇය බදාගනිමිනි…

කිසිත් නොකියා ආපසු හැරුණු ඇය සෞම්‍යා දෙස බලා සැහැල්ලුවෙන් සිනාසුනි…ඉන්පසු ඇගේ අත අල්ලාගෙන පෙරමුණ ගත්තාය…

“නෑ…!!!”

එකවරම නිත්‍යා පැවසුවේ නංගී සමඟ අත්වැල් අල්ලාගෙන ආපසු නිවස දෙසට පැමිණෙන අතරේය…

“මොකද්ද…?”

“ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ…”

තමා අක්කාගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්දැයි  සෞම්‍යා කල්පනාකරන අතරේ මුළුතැන්ගෙට පිවිසුණු නිත්‍යා දණක් නවා තමාගේ දකුණතින් අම්මාගෙ දෙපා ස්පර්ශ කර ආචාරකළේ පිටවයෑමට සූදානමිනි… අම්මා මෘදුව නිත්‍යාගේ හිස අතගෑවාය…

“මොකද්ද මම අහපු ප්‍රශ්නේ..?”

පිටවයාමට පෙර හාදුවක් දෙන අතරේදී සෞම්‍යා නැවත ඇසූවද පිළිතුරක් දුන්නේ නිත්‍යා නොවේ… තම අත් බෑගය කරට දමාගත් ඈ ඔරලෝසුව දෙස බැලීය… පහේ කෝච්චිය අල්ලගන්න පුළුවන් වේවි… ඇයට සිතුණි… අම්මාද, නංගීද දොරකඩට වී බලාසිටියදී ඇවිද ගිය ඇය, ගේට්ටුවෙන්  පිටවීමට මොහොතකට පෙර හදිසියේ යමක් සිහිවූවා සේ ආපසු හැරී බැලුවාය…

“කෙහෙල් පඳුර ගැලෙව්වොත්, මම නෑ කියලා හිතාගන්න…!”

ඇය පැවසුයේ ඔවුන් දෙදෙනාටම ඇසෙන පරිදිය…

~නිමි~

චිත්‍රය ඇන්දේ : sanjay14

Web Statistics