“අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ..? හැඩයක් හිටින්න කපන්න..!”
“හැඩයක්..!?”
“ඔව්..මෙහෙම මෙහෙම…”
මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය…
“කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ…?”
හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි…
“ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…”
තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය…
“වැඩේමයි…! බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”
සෞම්‍යාද ලේසියන් පරාජය භාරගන්නට සූදානම් වගක් පෙනෙන්නට නැත…
“බෝරිං ගෝරිං නෙමේ ළමයෝ… හතරටත් ළඟයි… අර වැහි කළුවරකුත් එනවා… දැන්ම ගියොත් සංජේනගර් වලින් පහේ කෝච්චිය අල්ලගන්න පුළුවනි…”
නිත්‍යාට පිළිතුරක් දීමට ඉඩක් නොතබා, පිඟාන සූරා ගත් අන්තිම උප්පමා හැන්දද ඇගේ මුවෙහි වූ කෑම කට උඩටම එබූ මව පැවසූයේ සාලයේ එල්ලුණු පෞරාණික බිත්ති ඔරලෝසුව දෙස බලමිනි…
පියා රාජකාරී අවසන් වී නිවසට ළඟාවීමට පෙර තමාව පිටත් කිරීමට අම්මාට ඇති උනන්දුව නිත්‍යාට වටහාගැනිමට අපහසු නැත… අලුත විවාහ වූ කාන්තාවක තනිවම තම නිවසට පැමිණිම අසල් වැසියන්ගේ විමසිලිමත් දෑස් වලට වසන් කළහැක්කක් නොවේ… මව තම කනස්සල්ල පළකිරීමෙන් පමණක් නැවතුනද පියාණන් පැමිණෙන තුරු රැඳුනොත් මෙසේ තනිවම පැමිණිම ගැන ඔහු බැන අඬගසන බවද ඇය දනී…නමුත් ගංඉවුරක නිදහසේ වැවෙන තෘණ ආදී ශාකයෝ ගඟ ගලන අතටම නැවී වැඩෙන්නේ යම්සේද, නිත්‍යාගේ සිතද තම මහගෙදරටම නැමේ…
“අද ඉඳලා මම හෙට යන්න බැලුවේ…”
නිත්‍යා පවසද්දී…
“චිහ්…චිහ්…”
බලාපොරොත්තු කඩවූ හඬක් නැඟූ අම්මා හිස් පිඟානද රැගෙන නැඟී සිටියාය…
“ගනපති පූජාවට ශංකර් පුතත් එක්කම එන්න… එක දවසට දවස් දෙක තුනක්ම ඉඳලා යන්න බැරුවායෑ…”
අනතුරුව මුළුතැන්ගෙයි ජලකරාමයේ හඬ අතරින් මවගේ හඬ නිත්‍යාට යන්තමින් ඇසුණි
ශංකර් යනු නිත්‍යාගේ පළමු සැමියා නමුත් ඇගේ දෙවැනි විවාහයයි… බැලූ බැල්මටම විහිළුවක් සේ හැඟෙන මෙම ප්‍රකාශයට අඩිතාලම වැටුණේ මීට අවුරුදු ගණනකට පෙර සිදුවීමකිනි...
++++++++++++++++++++++++++
ජ්‍යෝතිෂ්‍ය ගුරුකම් වැඩ ගැන දැනුමක් ඇතැයි නෑ පරපුර අතර පරසිදු ලාලාජී සීයා දිනක් හිමිදිරියේම නිත්‍යාගේ නිවසට ගොඩවෙද්දී ඇය සිටියේ නංගී සමඟ රංගෝලියක් ඇඳීම සඳහා දොරකඩ සෝදමිනි… රකින්නට පවුලක්ද, රැකෙන්නට රැකියාවක්ද නොවූ ලාලාජී සීයා විටෙක සායිබාබා ආරාමයේද, තවත් විටෙක උතුර බලායන නොයෙක් වන්දනා නඩ වලට දැනමුතුකම් සපයමින්ද දවස ගෙවන බව පියා වරක් පැවසීය… ඉඳහිට එම කටයුතු වලින් වෙහෙසට හෝ කලකිරීමට පත්වෙන ඔහු තම නෑදෑයෙකුගේ ගෙදරකට ගාටයි… නමුත් ඒ දිගුකලකට නොවේ… ටික දිනක් නිවසේ වැඩිහිටි සත්කාරයෙන් සැළකුම් ලබන ලාලාජී සීයා දිනෙක හිමිදිරියේම පැදුරටත් නොකියා පලායන්නේ නිවැසියන් ඔහුගේ ගුණමකුකම ගැන අවලාද නගද්දීය… ලාලාජී සීයා පියාට නෑදෑයෙකු වන්නේ කෙසේදැයි අම්මාද හරිහැටි දැන නොසිටි බව ඇය පවසනු නිත්‍යාට මතක තිබේ…
කලකට පසු නෑගම් පැමිණි ලාලාජී සීයාගේ ආගමනය ගැන මෙවර නිත්‍යාගේ අම්මාටද සතුටුවන්නට හේතුවක් තිබුණි… ඒ මීට මාස කිහිපයකට පෙර නිත්‍යා වැඩිවියට පැමිණීමයි… චාරිත්‍රානුකූලව සියලු පූජාවන් කෙරුනද ඔසප් නිමිති අනුව දරුවාගේ විවාහ ජීවිතය ගැන ලාලාජී සීයාගෙන් අනාවැකියක් දැනගැනීමට ඇයට අවශ්‍යයතාවයක් තිබුණි… නිත්‍යාගේ පියාගේ වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දිනය අවසානයේ ඇය තම අදහස සැමියා හරහා ලාලාජී සීයාට දැන්වූවාය..
ගෙපිළද, මඳවශයෙන් මැද මිදුලද එළිය කල ලාම්පුව යටට වී එදින රාත්‍රියේ ලාලාජී සීයා, පියාගේ පරණ බිල්පොතක පිටපැත්තේ කුරුටුගාමින් ඇගේ අනාගතය විසඳනු නිත්‍යාට මේ දැනුදු මතකයට නඟාගත හැක…බැරෑරුම් මුහුණක් මවාගෙන විටෙක හේ තනිවම මොනවාදෝ මතුරයි, තවත් විටෙක සුළැඟිල්ලෙන් පටන් ගෙන දබරැඟිල්ලටද, පෙරළා දැබරැඟිල්ලෙන් පටන් ගෙන සුළැඟිල්ලටද ඇඟිලි උරුවමින් ගණනය කරයි…ඒ හා සැණින් යමක් වැරදුණ අයුරින් තම සටහනේ ඇති යමක් කපා දමයි…ඊට ඔබ්බෙන් අලුත් යමක් ලියැවෙයි… නැවත කට ඇදකරගෙන හිස දෙපසට වනයි… මවද පියාද දේව වාක්‍යයක් ඇසීමට මෙන් සැදී පැහැදී එකත්පස්ව වාඩිවී සිටිති…
“මේ දවස එහෙම වැරදුණේ නෑ කියලා විශ්වාසයි නොවෙද…?”
ලාලාජී සීයා අසන්නේ නළල රැළිකරගෙන එක් ඇසක් අනෙකට වඩා විශාල කරගෙනය… දෙමාපියන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන ඔහු නැවත ගණනය පටන් ගනී… ශ්ලෝකයක් මුමුණයි… තම ගණනය කිරීම් අවසන් බව පෙන්නන්නට මෙන් කටු පැන්සල බිල් පොත උඩට විසිකළ ඔහු ආසනයේ පසුපසට දිගාවූයේ මෙසේ සෑහෙන වේලාවක් ගතවූ පසුවයි…
මෙතෙක් වේලා නැගණිය සමඟ මැද මිදුලේ චිර්පි පනිමින් සිටි නිත්‍යා තම වටය පරාජය වූයෙන් අම්මා අසලින් වාඩිවූවාය,,,
“නැකත නම් පාප නැකතක්… කොහොම ගැටගැහුවත් පරහක් හිටිනවා…”
බාගෙට හැපූ අම්රිති වළල්ලක් මෙන් කට ඇද කරගෙන ලාලාජී සීයා පැවසීය,,,
“කොහොම පරහක්ද ලාලාජී…?”
“පළමු විවාහෙන් වැන්දඹුවක් වෙන එක නවත්තන්න නම් බෑ ඕං…”
“අරේ බාප්රේ….!!!”
ඇස්ගෙඩි ලොකුකරගත් අම්මා එක අතකින් මුව වසාගෙන නිත්‍යා දෙස බැලුවාය…නමුත් නිත්‍යා බලාසිටියේ චිර්පි පෙතේ අවසානයට ළඟාවූ නංගී අනෙක්පස හැරී දෑසම වසාගෙන පෙත්තා පසුපසට විසිකිරීමට සූදානම්වෙන අකාරයයි...
“බැරිද ලාලාජී මේකෙන් ගැලවෙන්න…?”
නිත්‍යාගේ පියා ඇසුවේ බඩ හරහා වැටී තිබුණු ජනෙව්නූල අතගාමිනි…
“නැකතයි ක්‍රමෙයි දන්නවානම් කල්ප විනාශෙනුත් ගැලවෙන්න ක්‍රම තියෙනවා…හෙහ්…හෙහ්…”
ලාලාජී සීයා පවසද්දී නිත්‍යාගේ දෙමාපියන්ගේ දෑත් ඉබේම එසවී පපුව අබියස රැඳුනි…
“දරුවෝ මෙහේ එන්න බලන්න…”
ඉන්පසු ලලාජී සීයාගේ කැඳවුමෙන් අකමැත්තෙන් මෙන් නැඟී සිටි නිත්‍යා, මව විසින් පොළඹවනු ලදුව ඔහු අසලට ඇදුනාය…
“කීයද දරුවෝ උඹගේ වයස…? දාහතරයි නේද…?”
ඇගේ හිස සෙමින් අතගාමින් ලාලාජී සීයා ඇසීය…
“ඔව්…”
“කළවයස හොඳයි… එහෙනම් අපි හෙට දිහාට කසාදයකුත් බඳිමු…”
“කසාදයක්… කාවද…?” නිත්‍යා ඇසුවේ පුදුමයෙනි…
ටික වේලාවක් වටපිට බැලූ ලාලාජී සීයා අවසානයේ තීරණයකට එළඹියාක් මෙන් මුළුතැන්ගෙය ඔබ්බෙහි වූ නාඹර කෙසෙල් ගසක් පෙන්වීය…
“අරයව…”
“කෙහෙල් ගහක්..!!!” බකස් ගා එළියට පැන්න හිනහව නංගී ක්ෂණිකව නවතාගත්තේ මෙය විහිළුවක්ද නැත්ද යන්න ඇයට හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවුණ බැවිනි…
“ඔව් කෙහෙල්ගහක්… දූගේ පළවෙනි විවාහය වෙන්නේ කෙහෙල්ගහක් එක්ක… ඊට පස්සේ බැරුවයෑ ඕනෑ කෙනෙක් බඳින්න…”
නැකතද ක්‍රමයද දන්නා ලාලාජී සීයා නිත්‍යාව ලෝක විනාශයෙන් ගලවාගත්තේ එසේය… පෙරදිනයේ කෙළිදෙලෙන් බට්ටා පනිමින් සිටි නිත්‍යා පසුදින ලාලාජී සීයාගේ වතාවත් මැද කෙසෙල් ගසක් සමඟ යුගදිවියට එළඹුනි…පතිනියක වුවද ඉන් ඇගේ ජීවිතයට අබමල් රේණුවක්වත් වෙනසක් ඇතිවූයේ නැති… එක්තරා හිමිදිරියක සුපුරුදු පරිදි ලාලාජී සීයා කාටත් නොදන්වාම නික්මගොස් තිබුණි… ඉන් දින කිහිපයක් ගතවෙද්දී නිවසේ සියල්ලන්ටම නිත්‍යාගේ විවාහය අමතකව ගියේය… පියාණන් පමණක් විටින් විට කෙසෙල් ගස මියයාදැයි පරීක්ෂා කළ අතර, එය පෙරටත් වඩා සාරවත්ව පඳුරුදමමින් වැඩෙන්නට වූ විට කෙල්ලගේ වාසනාව යැයි පවසා සිත සනසාගත්තේය… ඉන් වසර ගණනකට පසු දෙමාපියන්ගේ යෝජනාවකට අනුව ශංකර් සමඟ යුගදිවියට එළඹෙන තෙක් ඇය විවාහය යනු කුමක්දැයි නොදැන සිටියාය…
++++++++++++++++++++++++++++
නිත්‍යා පියවි සිහියට පැමිණියේ නිවස සිසාරා පැතිරුණු ගොරහැඩි ඝණ්ටා නාදයකිනි … සාලයෙහි ප්‍රධාන බිත්තියේ එල්ලීගෙන නිවසේ පෞරාණික ඔරලෝසුව කෑගසයි… නිත්‍යාට වඩා වයසැති මෙම ඔරලෝසුව ඇයට මතක ඇති කාලයේ පටන් මහගෙදර තිබෙන්නකි… ඒ හා සමානවම ඇය මතක ඇති කාලයේ පටන් දකින තවත් දෙයක් ඇත්නම්, ඒ තම පියා සතියකට හෝ දෙකකට වරක් ඔරලෝසුව ඉදිරියෙන් තැබූ කුඩා ටීපෝවකට නැඟී විටින් විට එය වයින් කරන ආකාරයයි… දේවකාරියක් ඉටුකරන්නාක් වැනි ගෞරවයකින් පියා නොවරදවා එය ඉටුකරන නිසාමදෝ ඔරලෝසුව නැවතී තිබූ දිනයක් ඇයට මතකයට නඟාගත නොහේ… එහි පැයකටුව කැරකෙන අයුරු කුඩා සංදියේදී ඇයට මහත් අරුමයක් විය… ඔරලෝසුව ඉදිරියට වී කොතෙක් ඇස් දල්වාගෙන සිටියද පැයකටුව සෙලවෙන අවස්ථාවක් ඇයට දැකගැනීමට නොහැකි විය… එහෙත් මඳකට අවධානය ගිලිහීමෙන් පසුව බැලූවොත් මැජික් එකකින් මෙන් එය ඉලක්කම් කිහිපයක්ම පසුකර ගමන් කොට තිබේ…
නිත්‍යාගේ අලුත් නවාතැන වූ ශංකර්ගේ නිවසේ තිබුණෙ බැටරියෙන් ක්‍රියාකරන ඔරලෝසුවකි… එහෙයින් එය වයින් කිරීමට කිසිවෙකු අවශ්‍යය නොවූ අතර පැයකටුව සැබැවින්ම සෙලවෙන අයුරු ඇය මුලින්ම දුටුවේ එහිදීය…පැයකටුව හතරේ ඉලක්කමට වන් සැණින් මැලවුණු ගතින් අවදිවන ඇය දවසේ වැඩකටයුතු අරඹයි… පාතරසය ගෙන ශංකර් නික්ම ගියපසු ඔහුගේ මහලු දෙමාපියන්ගේ වතාවත් අවසන් කරන ඇයට, පැයකටුව අටේ ඉලක්කම ආසන්නයේ ගිමන් හරින අතරේදී මඳ විවේකයක් ලැබේ… අනතුරුව ඩාබාවල්ලා ගේ බයිසිකල් සීනු නාදයට පෙර ශංකර්ගේ දිවාඅහාරය සකසා අඩුක්කරන ඇය, ඔහු පිටව ගිය පසු වෙද්‍ය උපදෙස්වලට අනුකූලව දෙමාපියන්ගේ දිවා ආහාරය වෙනම පිළියෙල කිරීම අරඹයි… මේ මුළු කාලය පුරාවට තමා හා තරඟයට මෙන් කරකැවෙන පැයකටුවට ඇය විටින් විට විරිත්තයි… තරඟයේ ඇය පරදින්නේ හවස්වරුවේ ශංකර් නිවසට පැමිණෙන කණිසමේදීය… ඉන්පසු ඔරලෝසුව දෙස බලන්නට ඇයට ඉස්පාසුවක් නොවේ… මූසල විලාපයකින් පැයකටුව රාත්‍රී දහයේ කණිසම සටහන් කරද්දී රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ශංකර් කාමරයට ඇතුළුවෙයි… ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය කැටිකරගන්නා ඇය, තම නිදන ගවුම මුදාහැර ඔහුගෙන් ඉවතට නැඹුරුවී තදින් දෙනෙත් පියාගනියි…
දීර්ඝ සුසුමක් හෙලූ නිත්‍යා නංගී දෙස බැලුවාය…ඇය තවමත් දිව උරුක්කරගෙන සැරසිල්ල සමඟ ඔට්ටු වෙයි… අම්මාගෙන් සද්දයක් නැත්තේ ඇය මුළුතැන්ගෙටවී පියාගේ සවස තේපානයට රසකැවිලි සකසනවා විය යුතුය… දැන්ම පිටත් නොවූවොත් පහේ කෝච්චිය ඇයට මඟහැරෙනු ඇතැයි නිත්‍යාට සිතුණි… ඊට පෙර දහස්වරක් තම සිත සමඟ තර්ක කර පැමිණි මේ ගමනේ අරමුණ ඉටුකරගෙන යෑම මැනවැයි ඇය කල්පනා කලාය…හොර ගල් අහුලන පූසියක මෙන් ඇය සෙමෙන් හඬ අවදි කළාය…
“සම්මු….”
“හ්ම්…”
“ඔයා අර කෙහෙල් ගහ අඳුනනවද…?”
“හ්ම්…” ගතත් සිතත් දෙකම තම කාරියට යොමුකරගෙන සෞම්‍යා හිස නොඔසවාම පිළිතුරු දෙයි…
“මොන කෙහෙල් ගහද…?” නිත්‍යා ඇසීය…
එවර කැටයම් පිහිය සැරසිල්ල මත තබාගෙන හිස එසැවූ සෞම්‍යා වික්ෂිප්තව ඇය දෙස බලා සිටියාය…
“අර ලාලාජී එකපාරක් මාව කසාද බැන්දුව කෙහෙල් ගහ…”
නිත්‍යා පවසද්දී සෞම්‍යාගේ මුවඟට සිනාවක් නැඟිනි…
“අර තියෙන්නේ පිටිපස්සේ, කොත්තමල්ලි ගහ ගාව…අම්මා කිව්වා එක උදුරලා දාලා එතන කොම්පෝස්ට් පෝර මැෂින් එක හයිකරන්න ඕනේ කියලා…”
අනතුරුව නංගී ප්‍රශ්න වැලක් අසාවියැයි නිත්‍යා බියවුවද ඇය නැවත සැරසිල්ලට හිස ඔබාගත්තාය…නැඟී සිටි නිත්‍යා මුළුතැන්ගෙයි පිටත දොරින් මිදුලට පිවිස කොත්තමල්ලි ගස ඇති පැත්තට ඇවිද ගියාය…. මනරම් පත්‍රයෙන්ද, සහපිරිවරින් එකට බැඳුනු නේක කඳින්ද සුසැදි එය දැන් සාරවත් කෙසෙල් පඳුරකි… සුළඟට ඉරුනු කෙසෙල් පත් හරහා පෙරීඑන සැඳෑ හිරුරැස් වලින් මුවාවීමට අතක් නළලටද අනෙක් අත ඉනට තබාගෙන ඇය තම ජීවිතයේ පළමුවරට ඒ දෙස බලා සිටියාය…
“ළමයෝ කෝ අක්කා …දැන් ගියේ නැතිනම් පරක්කු වෙයි… “ ටික වේලාවකට පසු අම්මා හඬගානවා නිත්‍යාට ඇසුණි…
“අන්න අම්මා කතාකරනවා…”
පිටුපසින් පැමිණි නංගී පැවසුවේ නිත්‍යාගේ බඳවටා දෑත්යවා ඇය බදාගනිමිනි…
කිසිත් නොකියා ආපසු හැරුණු ඇය සෞම්‍යා දෙස බලා සැහැල්ලුවෙන් සිනාසුනි…ඉන්පසු ඇගේ අත අල්ලාගෙන පෙරමුණ ගත්තාය…
“නෑ…!!!”
එකවරම නිත්‍යා පැවසුවේ නංගී සමඟ අත්වැල් අල්ලාගෙන ආපසු නිවස දෙසට පැමිණෙන අතරේය…
“මොකද්ද…?”
“ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ…”
තමා අක්කාගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්දැයි සෞම්‍යා කල්පනාකරන අතරේ මුළුතැන්ගෙට පිවිසුණු නිත්‍යා දණක් නවා තමාගේ දකුණතින් අම්මාගෙ දෙපා ස්පර්ශ කර ආචාරකළේ පිටවයෑමට සූදානමිනි… අම්මා මෘදුව නිත්‍යාගේ හිස අතගෑවාය…
“මොකද්ද මම අහපු ප්‍රශ්නේ..?”
පිටවයාමට පෙර හාදුවක් දෙන අතරේදී සෞම්‍යා නැවත ඇසූවද පිළිතුරක් දුන්නේ නිත්‍යා නොවේ… තම අත් බෑගය කරට දමාගත් ඈ ඔරලෝසුව දෙස බැලීය… පහේ කෝච්චිය අල්ලගන්න පුළුවන් වේවි… ඇයට සිතුණි… අම්මාද, නංගීද දොරකඩට වී බලාසිටියදී ඇවිද ගිය ඇය, ගේට්ටුවෙන් පිටවීමට මොහොතකට පෙර හදිසියේ යමක් සිහිවූවා සේ ආපසු හැරී බැලුවාය…
“කෙහෙල් පඳුර ගැලෙව්වොත්, මම නෑ කියලා හිතාගන්න…!”
ඇය පැවසුයේ ඔවුන් දෙදෙනාටම ඇසෙන පරිදිය…
~නිමි~
අර කෙහෙල් පඳුරේ කතාව! at last! මල්ගුඩි කතාවක් මතක් වුණා. නියමයි ඈ :)
ReplyDeleteස්තූතියි... පාඩම කියෙව්වානම් මෙන්න ටෙස්ට් එක...
Deleteසෞම්‍යා ඇසූ ප්‍රශ්නය කුමක්ද..? :)
අර කෙහෙල් පඳුර ඇම්බුං ද නැත්තං පූවාළු ද.?
Deleteකෙහෙල් පඳුරේ වර්ගය හරියටම දන්නෙ නැතුව ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ට බෑ.. :-P
කෙහෙල් පඳුරේ වර්ගය කර්තකොලොම්බ... :D
Delete//සෞම්‍යා ඇසූ ප්‍රශ්නය කුමක්ද..? :)//
Deleteඔයාට බබෙක් හම්බ වෙන්ටද?
බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”
DeleteThis comment has been removed by the author.
Delete//////බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”/////
Deleteදෙවනි පාර වෙනස්කම් එක්ක කියවනකොට අරට වඩා ටිකක් පැහැදිලියි. :D
ReplyDeleteහිතේ තියෙන අදහසක් සම්පූර්ණයෙන්ම කතාවකින් කියන්න ගියාම ගොඩක් වෙලාවට මම මාර කට්ටක් කනවා... මේ ඒවායිනුත් ලොකුම කට්ටක්... :D
Deleteයකෝ එතකොට නිත්‍ය කෙල්ලඇත්තටම කෙහෙල් ගහට ලව් කලාද...
ReplyDeleteමගුලයි...
ඔව් ඉතිං අර මි හරකෙක් එක්ක අතන නැහෙනවට වඩා කෙහෙල් කැනක් හරි දෙක කෙහෙල් ගහකට ලෙව් කරනෙක කොච්චර ආතල්ද...
සැක්කේ
ඕනේ පැත්තකට ගන්න පුළුවන් නේද මහේශ්...
Deleteමෙන්න කෙහෙල් ගහ නිත්‍යාට කියූ සිංදුව නිමල් ගුණසේකරගේ මියුරු හඬින්...හඬින්..හඬින්... :)
http://www.youtube.com/watch?v=9PkbI3262xc
ඇරෝ ස්ටාර් සමඟ..සමඟ..සමඟ...
කටු පෑන නම් දන්නවා.. කටු පැන්සල කියන්නෙ මොකක්ද බීටලේ.?
ReplyDeleteඇත්තටම එහෙම පැන්සලක් නෑ නේද... ඒ කියන්නේ නිකං මේ පරණ පැන්සලක් කටුවට ලියවෙන... :)
Deleteතේරුම් ගන්න මාර කට්ටක් කනවා මමත්.හැබෑටම බීටලේ කෙහෙල් ගහේ ජාතිය මොකක්ද?මට නං කෙහෙල් ගහක් කියපු වෙලාවෙ ඉඳලම හිතේ මැවුනේ සීනි කෙහෙල් ගහක්.
ReplyDeleteකන්න කැමති කෙසෙල් ජාතියද ඒ කියන්නේ හිතේ මැවෙන්නේ... කෙහෙල් කැන දකින්නෙත් නැතුව ගහ දිහා බලලා වර්ගය කියන අය ඉන්නවා නේද...? මටනම් කරන්න බැරි වැඩක්...
Deleteශංකර් වගේ සැමියෙකුට වඩා කෙහෙල් ගහක් හොඳයි කියලා අනිවාර්යෙන් නිත්‍යාට හිතෙන්ට ඇති. :P
ReplyDeleteඅපල තියෙන අයව මේ අන්දමින් කෙහෙල් ගස්වලට බන්දලා දෙන ක්‍රමේ තාමත් ඉන්දියාවේ තියෙනවා. හොඳම නිදසුන ඓයිශ්වර්යා රායි.
මම නම් කැමති මාව කෝලිකුට්ටු ගහකට බන්දලා දුන්නා නම්...:D
ඓයිශ්වර්යාව බන්දපු කෙහෙල් ගහ තාම තියෙනවද දන්නේ නෑ නේද ?
Deleteකෝලිකුට්ටු මහතයි කොටයි.
Deleteආනමාළු ඇම්බුම් හීනියි දිගයි.
පොඩ්ඩි හරි... ඇත්තටම එහෙම හිතෙන්න ස්වාමිපුරුෂයෙක් කොච්චර අසාර්ථක වෙන්න ඕනේද...?
Delete
ReplyDeleteනිත්‍යාට සාම්ප්‍රදායික විවාහ ජිවිතයට වැඩිය පොඩි කාලේ කෙසෙල් ගසත් සමග සිද්ද වෙච්ච විවාහය තුල ඇති විහිළු ගතියට සහ එහි ඇති නිර්මාණශීලි ස්භාවය නිසා කෙසෙල් ගස කෙරෙහි බැඳීමක් ඇති කියල හිතෙනවා .. ඇයගේ චරිත ස්භාවය ගැන "බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?” මෙන්න මේ ටිකෙන් මම හිතා ගත්තේ ඔහොම ..
කෙසෙල් ගස තම ස්වාමියා යැයි සිතා ෆැන්ටසියක් සිතින් මවාගෙන ජිවත් වෙන්න ඇය කැමති ඇති ..
මල්ගුඩි කතාවල තියෙන සරල අපුර්වත්වය මේ කතාවෙත් දැක්ක .. එල
ස්තූතියි පැතුම්, ඩූඩ්ට මම දුන්න දිග උත්තරෙන් මේ කතාව කියවද්දී පැතුම්ට ගැටළුවක් ආවානම් ඒවා විසඳේවි කියලා හිතෙනවා...
Deleteබෝරිංය කියලා හැමදේම අනිත් අය කරනවට වඩා වෙනස් විදියට කරන එකෙක් ලියපු කතාවක් මේක. නැතිනම් ඇයි උඹට මෙහෙම කතාවක් ලියන්න හිතෙන්නේ?
ReplyDeleteමේක ටිකක් වෙනස් තමයි... හැමෝටම වෙනම උත්තර දෙනකල් මම මෙතන පසුවදනක් ලියන්න ට්‍රයි කරන්නම්... ඇයි මට මෙහෙම කතාවක් ලියන්න හිතෙන්නේ..?
Deleteමේ කතාවට අදහස ආවේ, එක්තරා ඉන්දියානු ගැහැණියක් එයාගේ මිතුරියකට තමන්ගේ විවාහක සැමියාගේ ගැටළු විස්තර කරනවා මට අහම්බෙන් අහන් ඉන්න අවස්තාවක් ලැබුණ නිසයි... සැමියාගේ වැරදි පිට අය එක්ක කතා නොකර සැමියා එක්කම කතාකරන එක තමයි සුදුසු කියලා අර අනිත් මිතුරිය කියනවා මම අහගෙන... ඒ කිව්ව විදියට සැමියා එක්ක ඇය කතාකලානම් ඔහු තමන්ගේ ප්‍රශ්නය තේරුම්ගනීවි... එහෙම නැතිනම් තමන් කෙහෙල්ගහකටත් වඩා අසාර්ථක ස්වාමිපුරුෂයෙක් බව නොදැනම මැරිලා යාවි...
ඊලඟට, අපි හැමෝම දකිනවා සමහර කාන්තාවෝ දාසියන් වගේ විවාහ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමාගේ බොහෝදේ කැපකරමින් විවාහ ජීවිතය ගෙනියනවා... නමුත් සමහරවිට අපිට පෙනෙන්නේ අයිස් කුට්ටියේ අග කොටස විතරක් වෙන්න පුළුවන්... අපි විමසිල්ලෙන් ඔවුන්ගේ ජීවිතය දිහා බැලුවත් අපිට මගෑරෙන ඔවුන් කවුරුත් සමඟ බෙදා නොගන්න අමිහිරි අත්දැකීම් බොහෝයි... විමසිල්ලෙන් කියෙව්වොත් මේ කතාවේ නිත්‍යා මුහුණදෙන අස්වාභිකයැයි බොහෝදෙනා පිළිගන්නා ලිංගික අත්දැකීමක් සැඟවී ඇති බව පෙනේවි... ලංකාව ඉන්දියාව වගේ පෙරදිග රටවල කාන්තාවන්ට මේවා විවෘතව තවකෙනෙක් එක්ක කතාකිරීමත් අසීරු දෙයක්... ඉතින් ඔවුන් විවාහ ජීවිතය වෙනුවෙන් එවැනි බොහෝ අමිහිරි අත්දැකීම් විඳගෙන ජීවත් වී මියෙන බව අපි දන්නේවත් නෑ... එය නිත්‍යාගේ පවුලටත්, කියවන ඔබටත් ලේසියෙන් මඟහැරෙන්න පුළුවන් බව මට කියන්න අවශ්‍යය වුනා...
ප්‍රශ්නය ගැන කිව්වොත් උඩ පැතුම් කියලා තියෙන දේ හරි... "හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?” මේ ප්‍රශ්නයට ඇය දෙන උත්තරයේ තේරුම දැන් වඩාත් පැහැදිලි ඇති... මේ විදියට ප්‍රශ්නය හංගපු පිළිතුරක් දීලා කතාවේ මම තව දෙයක් කියන්න ට්‍රයි කලා...අසාර්තක විවාහ ජීවිතයකදී බොහෝවිට අපි උත්තරය දන්නවා... ඒත් අපි නොදන්න දේ තමයි ප්‍රශ්නය මොකද්ද කියන එක... මේ කතාව කියවූ මිතුරෙක් මගෙන් ඇහුවේ නිත්‍යාට ඒ ලිංගික චර්යාවට "ඇජස්ට්" වෙන්න බැරිද කියලා... ඒ අකුරු හතරේ පුංචි වචනය තුළ ඇගේ සම්පූර්ණ අනාගතය ගැනම කොච්චර භයානක නොසලකාහැරීමක් සැඟවී තියෙනවාද...? ඉතින් තවදුරටත් මේ ප්‍රබන්ධයක් නෙමෙයි...
තව මිතුරෙක් අහලා තිබුනා ඔරලෝසුව ගැන ගොඩක් දේ ලියලා තියෙන්නේ ඇයි කියලා... ඒකෙනුත් මම ට්‍රයි කලේ පුංචි දෙයක් කියන්න... මම අහලා තියෙනවා මරණයට කැපවුනු සිරකරුවෙකුට මරණදඬුවම දෙන දවසේ ඔරලෝසුවක් ඇස ගැටෙන්න දෙන්නේ නෑ කියලා... ඒ කොතරම් අමතක කරන්න හැදුවත් ඔහුට හැම තත්පරයකම මතක්වෙන්නේ ඔහු මරණයට ලංවෙන බව... තමන් අකමැති ලිංගික අත්දැකීමක් කෙතරම් අමිහිරිද දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ... නිත්‍යා සෑම රාත්‍රියකම මැරි මැරී ඉපදෙන කෙනෙක්.. සෑම දිනකම ඒ මරණයට ඇති කාලය සිහිකරදෙන ඔරලෝසුව ඇයට කෙතරම් තීරණාත්මකද කියලා දැන් වැටහෙනවා ඇති...
මේ දැනට මතක් වෙන දේ... කෙසෙල්ගහක් එච්චර කල් තියෙන්න පුළුවන්ද..? ඇයට කෙසෙල් පඳුර දැකගන්න අවශ්‍යවුනේ ඇයි? වගේ දේවල් වලට පිළිතුරු හිතාගැනීම ඔබටම ඉතුරුකරන්නම්...
මේ කතාව ලියන්න මම පෙළඹූ කරුනු ඕවායි... කතාවේදී අසාර්ථක වුනත් මේ පසුවදනෙන් මම ඒ අදහස ප්‍රකාශ කලා කියලා හිතනවා... මේ කතාවේ සඟවා ඇති, නිත්‍යා සෑම රාත්‍රියකම කරන ඒ කැපකිරීම ඔබට මඟනොහැරුනා නම් සමහරවිට ඔබ කතාව වෙනස් විදියට කියවාවි... මගේ හිතේ ඇඳෙන විකාර කියවන්න කාලය වැයකරනවාට ස්තූතියි... :)
මාරයිනේ බං. මට හිතුනේ නැති පැති හුඟක් උඹ විස්තර කරලා. හා හා මට තේරුනා උඹ කියපු දේ කියලා උඹ රවට්ටන්න මට ඕනේ නෑ. උඹ මට ලියපු පසු වදන කියවලා ඊට පස්සෙ ආපහු කතාව කියෙව්වාමයි මට උඹ මුලින් කියන්න අදහස් කරපු නමුත් මගේ ඔලුවට නොගිය සමහර දේවල් ඇත්තටම තෙරුම් ගියේ. මම හිතන්නේ බං මට මුලින්ම වුනේ මේකයි. මම උඹේ කතාව මුලින්ම කියෙව්වේ තරහෙන්, කලකිරීමෙන්. අර ගෑණියෙක් කෙහෙල් ගහකට බන්දලා දෙන්න තරම් අමනයො ඉන්න අමන සමාජය ගැන තරහෙන් තමයි මම මුලින් කතාව කියෙව්වේ. ඒ නිසාම මට බොහෝ දේ මග ඇරුනා.
Deleteඒත් ඇයි බං උඹටම මෙහෙම දේ හිතෙන්නේ. මම අදහස් කලේ, මගේ අතින් නම් කවදාවත් මෙහෙම කතාවක් ලියවෙයිද කියලා මට හිතන්න බෑ.
උඹ අහපු ප්‍රශ්නෙන් කොච්චර හොඳදෙයක් වුනාද ඒ කියන්නේ...
Delete//ඒත් ඇයි බං උඹටම මෙහෙම දේ හිතෙන්නේ. මම අදහස් කලේ, මගේ අතින් නම් කවදාවත් මෙහෙම කතාවක් ලියවෙයිද කියලා මට හිතන්න බෑ.//
උඹ මෙහෙම හිතෙන්න අවශ්යනෑ... මොකද මට හිතෙන්නේ නැති ගොඩක් දේ උඹට හිතන්න තියෙන හින්දා... :D
කතාව කියවගෙන යද්දී ඉස්සෙල්ලම මතක් වුනේ මල්ගුඩි දවස කතාවක්, මොකද වටාපිටාව විස්තර කරලා තියෙන ආකාරය , වගේම ලලාජි සීයාගේ හැසිරීම මේ වගේ මිනිස්සු ගොඩක් මල්ගුඩියෙදී මුණ ගැහුණු නිසා, අන්තිමට කතාවට ලැබුණු අවසානයත් මල්ගුඩියේ අවසානයක්මයි .
ReplyDeleteඇත්තටම ආර්.කේ . නාරායන් කියන්නේ බීට්ල්ද ?
ඇත්තටම සාම්ප්‍රදායික ඉන්දියානු රාමුව තුල කාන්තාවකගේ ජීවිතය ගතවන හැටි ඔරලෝසුවේ පය කට්ටත් එක්ක ගැලපීම තමයි කතාවේ මගේ සිත්ගත්තම කොටස .
//"ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය කැටිකරගන්නා ඇය, තම නිදන ගවුම මුදාහැර ඔහුගෙන් ඉවතට නැඹුරුවී තදින් දෙනෙත් පියාගනියි…"// ඇත්තටම කෙහෙල් ගහ හොඳයි නේද ?
හහ් හා..ආර්.කේ. නාරයන් වගේ වුනානම් අද මේ බ්ලොග් එකත් නෑ... ස්තූතියි මචෝ... හැබැයි මට එක වාසියක් ලැබිලා තියේ... ඉන්දියාවේ මම අවුරුදු හතරක් විතර ජීවත්වෙලා තියෙනවා... එ හින්දා කතාවකට අවශ්ය දේ හිතාගන්න ලොකු අපහසුවක් නෑ... කියවන්න වෙලාව ඇතිනම් මෙන්න මේ බ්ලොග් එකේ මීට කලින් මම ඉන්දියන් ජීවිතය සම්බන්ද කරගෙන ලියන්න ට්‍රයි කරපු කතා...
Deleteනික්මයෑම…
අඳුරේ පව් කරන දනා
කොචින් දුම්රියේ සාත්තරකාරයා
සිතුවිලි අතරේ රඟන්නී
අර කකා හුනියමක් කරපු කතාව ඇත්ත වගේ.
ReplyDeleteකකා එක්ක නැවතුනු බීටලයා මෙන්න කකා එනකොටම ඇවිත්
මේක හුනියම කපාගෙනම ඇවිත් ද කොහෙද
මම ගියේ නෑ මචෝ... :) අන්තර්ජාලෙට එන සීමිත වෙලාවේ ලියනවාට වඩා කියවන්න තමයි වෙලාව වැයකරන්න මම කැමති... ඉතිං ලියවෙන්නේ අඩුවෙන්...
Delete"බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද..?”
ReplyDeleteබීට්ල් බීට්ල් බීට්ල් මේ නිර්මාණය නම් අති විශිෂ්ඨයි. සැඟවුනු අහුකොන් ගැටගහගන්න කතාව මුල සිට අගට තුන් පාරක් කියවලා, ඔයාගෙ පසුවදනත් කියවලා ආයෙම සැරයක් කතාව කියෙවුවත් ඒත් පාඩුවක් නෑ. ඒ තරම් හැම වචනයක්ම හැම අකුරක්ම ලියලා තියෙන්නෙ වගකීමෙන් සහ සංහිඳියාවකින්. බ්ලොග් අවකාශයේ මම දැකපු විශිෂ්ඨම කෙටිකතා කරුවෙක් ඔබ. සමහරවිට මේ ඔයාගෙ අත්දැකීම් අනුසාරයෙන්ම, කල්වෙලා අරගෙන ඇඟෙන්ම ලියවෙන කතා නිසා වෙන්න ඇති.
මම කාලෙකට කලින් මැග් එකක මෙහෙම කතාවක් කියෙවුවා. ඒ ආර්ටිකල් එක ලියපු ලියුම්කාරිනිය වතුකරයේ පවුල් වලට උපත්පාලන ක්‍රම ගැන දැනුවත් කරන්න විසිට් එකක් ගියාලු. ඒ වෙලාවෙදි උපත් පාලන කොපු එහෙම නොමිලේ බෙදා දුන්නලු ගෙවල් වලටම ගිහින්. පාවිච්චි කරන හැටිත් කියා දීලා.
Deleteදවස් කීපෙකින් ඔවුන් ආයෙත් ඒ දැනුවත් කිරීමෙ වැඩසටහනේ තව අදියරකට අර ගෙවල් විසිට් කරද්දි, ගෙවල් කිහිපයකම හමුවුනාලු ඒවා කොසු මිටවල් වගේ අමුතු ගෘහභාණ්ඩ වලට පලඳලා තියෙන විදිය. ඒ ගැන ඇහුවාම දීල තියෙන පිලිතුර කියන්න ඕන නැහැනෙ.
:(
ගොඩක් දෙනෙක් කතා කරන්න මැලි වෙන මේ වගේ ප්‍රස්තුතයක් තෝරා ගැනීමම සුවිශේෂයි!
මම ඔයවගේ කතාවක් අහලා තියෙනවා විහිළු කතාවක් විදියට... ඒත් දැන් බලාගෙන යද්දී ඒක විහිළුවක්ම නෙමෙයි...
Deleteඅගයකිරීම ගැන ගොඩක් ස්තූතියි බස්සි... බ්ලොග් අවකාශයේ කෙටිකතා ගැන කියපු නිසා මේ පුංචි දේත් කියන්නම්... චිත්‍රපටි බලනවා ඇරෙන්න මම පොත් කියවන්නේ ගොඩක් අඩුවෙන්... කියවන්නෙම නෑ කිව්වත් වැරැද්දක් නෑ... ඉතින් මම කියවන්නේ බ්ලොග් තමයි... මේ අකුරු බ්ලොග් එකේ ලියවී තියෙන හැම කෙටිකතාවකටම ආභාෂය ගන්නේ ඔයාගේ බ්ලොග් එකත් ඇතුළුව එදා මෙදා තුර මම මේ කියවන බ්ලොග් වලින්ම තමයි...
බීට්ල් ..කෙටි කතාව නම් අති විශිෂ්ඨ යි..
ReplyDeleteකතාව කියෝගෙන යනකොට සීන් ටික චිත්තර පටියක් වගේ පෙනී නොපෙනී යන විදියට ලියල තියෙනවා...
---------------
ඔය කෙහෙල් ගස් එක්ක කසාද බඳින සීන් එක තියෙන්නේ ඉන්දියාවේ විතරද කොහෙද..මම වැරදි ද දන්නේ නැහැ.
එක එක සංස්කෘති වල ලක්ෂණ නොවැ ..
ස්තූතියි විභීෂණ... මමත් අහලා තියෙන්නේ ඉන්දියාවේ විතරයි... කෙහෙල් ගහට අමතරව බල්ලෝ බළල්ලුන්ටත් විවාහ කරනවානේ... ජ්‍යෝතිෂ්‍ය බොක්කෙන්ම අදහන තැන්වල තියෙන දෙයක් මම හිතන්නේ...
Deleteබළල්ලු නම් දන්නේ නැහැ. බල්ලොන්ට නනම් දැන් පොලීසියේදී කසාද බඳින්න පුළුවන් නෙව..
Deleteමෙන්න මෙතන බලහන්කො
මේ අර ප්‍රසිද්ද වෙඩින් එක නේ... ඒගොල්ලන්ගේ ෆස්ට් ඉයර් ඇනිවසරි එකටත් පොඩි පාටියක්වත් දාන්න ඇතිනේ...
Deleteඅපායට යතත් ඉස්සර වෙලා පල කිව්වට මොකද.. භූටලයගේ බ්ලොග් බලන්න පහු වෙලා පල කියලා තමා කියන්න තියෙන්නේ.. :D
ReplyDeleteහොද වෙලාවට මං පහු උනේ.. අටුවා ටිකා ටිප්පණි ගැට පද අරවා මේවා ඔක්කෝම ලෙහුනට පස්සේ.. :D
පහුවෙලා හරි එනවානං එච්චරයි... බුකිය පුරා නාය ගිහින් හින්දාද කොහෙදෝ මූ බ්ලොග් වල කරක් ගහනවා...
Delete///////රකින්නට පවුලක්ද, රැකෙන්නට රැකියාවක්ද නොවූ ලාලාජී/////
ReplyDelete////ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය////
බීටා.......මට තදින් හිතට ඇල්ලුව යෙදුම් කිහිපයක් මේ කතාවේ ලියවිලා තියෙනවා. බීටා නොකඩවා ගලායන විදිහට ලියලා තියෙන විදිහට කියන්න තියෙන්නේ උඹ පොරක් කියලා සහ ගති වැඩක් කියලා තමයි. උඹේ පැහදිලි කිරීමෙන් පසු නැවත කියෙව්වා. උඹ ඒ පැහැදිලි කිරීම නොකරානම් තව දුරටත් නිත්‍යා ගැන හිත හිත ඉන්න තිබුනා. කෙසෙල් ගසකට නොබැන්ඳුවත් ....එවන් නිත්‍යලා තව බොහෝ ඉන්නවා. ඒවා ඉතින් කියලා වැඩක් නැහැ.
ස්තූතියි අරූ... පැහැදිලි කිරීම ගැන අපි ඩූඩාට පින් අනුමෝදන් කරමු... :D
Deleteහද සසල කරවන කතාවක්. මට ආපු අතෝරක් නැති ප්‍රශ්ණ, ටිකක් හරි විසඳුනා පරක්කු වෙලා ආ හින්ද කියවපු කමෙන්ට් නිසා.අර දාලා තියෙන පිංතූරෙත් නියමෙට ගැලපෙනවා, හරිම ලස්සනයි
ReplyDeleteබීටලේ දෙන කන්ට්‍රි මිසික් වීඩියෝ ලින්ක් පට්ට. ඒත් මට අර කලින් පෝස්ට් එකේ සෙන්නා කියන All I want එක හොයා ගන්න බෑනේ :(
ස්තූතියි බස්සා... චිත්‍රයට මටත් හරි ආසා හිතුනා ...
Deleteසෙන්න කියන ඒ සිංදුව කන්ට්‍රි එකක් නෙමෙයි... ඒකයි හොයාගන්න බැරිවෙන්න ඇත්තේ... මේ කියන්නේ Kodaline කියන බෑන්ඩ් එකේ එක... සොෆ්ට් රොක් ජෙනේරියේ වෙන්නැති... මම ඒක ෂෙයාර් කලේ මියුසික් වීඩියෝවට ආසා හිතුන හින්දා... පාර්ට්ස් දෙකක් තියේ... මේ තියෙන්නේ...
Kodaline - All I Want (Part 1)
Kodaline - All I Want (Part 2)
පහුගිය ටිකේ කියවීම මගහැරුණා... උඹේ පැහැදිලි කිරීම නැතුව කතාව විතරක් කියෙව්වා නම්, උඹ කතාවට යොදලා තියන බර නොදැනෙන්න වැඩි ඉඩක් තියනවා කියලා හිතුණා.
ReplyDeleteස්තූතියි මචෝ... ඒක තමයි පැහැදිලිකිරීම අවශ්‍යය වුනා කියන්නේ ඉතිං කතාව ලිවීමේ අඩුපාඩුවක් තමයි...
Deleteමේ ලිවීම් රටාව නම් මසුරං...
ReplyDeleteඔරලෝසුවේ පැය කටුවේ විස්තරෙන් ගොඩක් දේවල් කියවෙනවා. මම ඒ යෙදුමටත් ඊට සම්බන්ධ විස්තරෙටත් බොහොම කැමතියි. අත්දැකීමක් මේ විදියට ඔතල දෙන එක වටිනවා.
ඉන්දියාවේ විතරක් නෙවෙයි, මම දන්නා අය ඉන්නවා කෙසෙල් ගහකටම නොබැන්දත් මේ කියන ජිවිත ගෙවන ගැහැනුන්... ගෙයි ගින්දර පිටට දෙන්න බැරි හින්දා අනේක හිත්තැවුල් වලින් ගතකරන. මේ කතාවේ එක තැනක, එක වාක්‍යකින් තමයි කතාවේ ප්‍රස්තුතය කියවෙන්නේ. ඒක අපූරුයි... පච කියන්න ඕනේ නැහැ.. ඔබේ පසුවදන වෙනකොට මට තේරුනා මේ කියන්නේ මොකද්ද කියල..... දුක කියන්නේ, ඉන්දියාවේ මේ වගේ දේවල් සුලබ වගේම, ලංකාවෙත් සුලබයි. ඒත් කතාකරන්න අපහසුයි
සාර්ථක කතාවක්....
ස්තූතියි උපේක්ශා...සමස්තයක් විදියට ගත්තොත් ඉන්දියාවේ ලංකාවට වඩා පීඩනය වැඩියි මම හිතන්නේ... ගොඩක් කාන්තාවන්ගේ ජීවිතේ ලොකුම සහ එකම ඇචීව්මන්ට් එකත් විවාහ වෙලා පළමු දරුවා හදන එක...
Deleteඅයියෝ කෝ මගේ කමෙන්ට් එක ...
ReplyDeleteබලන්නකෝ මේක වැටිලා මුල එක වැටුනේ නැති හැටි.
Deleteමම ආයෙත් කොටන්නම්
ඊයේ උදේ කියවන්න ගත්තට වෙලා මදි වුණා. ඊයේ දවල් ඔෆිස් එකේදී බලන්න හැදුවට, මෙතැන බෙලිකටු මල්ල හොලවන උන්දෑ නිසා මේක කියවන්න අවශ්‍ය නිදහස් බව නෑ. අද හවස කවුරුත් නැති වෙලාවේ බලන්න ගත්තා. කියවන්න පහු වුණු එක හොඳද නරකද ?
මේක කියවලා මට හිතුන දේවල් සහ ගැටළු
ගෙදර ඔරලෝසුවේ පැය කටුව සෙලවෙන්නේ නැත. නමුත් නොපෙනී හිඳිමින් වෙලාව දක්වයි
ශාන්කර්ගේ නිවසේ ඔරලෝසුවේ පැය කටුව සෙලවෙන බව පෙනෙන්නට තිබේ.
කෙහෙල් ගස අජීවී වස්තුවකි
කෙසෙල් ගසේ අළුත් මොටෙයියන් දැක ඇගේ පියා සතුටු වේ
ඇය ඇඳුම උනා පසෙකට වුවාද, අනෙක් පස හරුනාද ?
කොණ්ඩය කැපීමේ ඒකාකාරී බවට ඇය විරුද්ධ වීමෙන් පැහැදිලි වන්නේ ඇය විවිධත්වය දකින්නට කැමති බවද ?
ඇය නිවසේ නවතින්නට උවමනා වන්නේ, මානසික නිදහසක් ලබන්නද, ශාරීරික නිදසහසක් ලබන්නද ?
ඔරලෝසුවේ කටු කරකැවීම මගින් පෙන්වන්නේද එකාකාරීත්වයමද ?
ඇය දරු සම්පතට ආශා කලද ? ප්‍රතිඵල නැතිද ?
ස්තූතියි සුදීක... මෙතන ප්‍රශ්න විදියට අහලා තියෙන දේවල් සේරටම වගේ උත්තර නම් කතාවේම තියෙනවා... දරුසම්පත ගැන මම හිතන්නේ සුදීක ඇරෙන්න කවුරුත් කතාකලේ නෑ... කෙහෙල් ගහක් දිග කාලයක් තියෙන්නේ සාමාන්යෙන් වඳ පිදුනාම නෙද...? :)
Deleteසුදීකගේ ප්‍රශ්න වලට උත්තර සියල්ල තිබුනා. සැඟවිලා..... මම ආසයි ඒ සැඟවුණු අර්ථයන්ට.... සියුම් හැඟීම්....
Deleteකෙහෙල් ගහද ? පඳුරද ? කෙහෙල් ගහක්නම් එච්චර කල් තියෙන්නෙ නෑනෙ... ඒ කියන්නේ වැන්දඹුවක් වුනාට පස්සෙ තමා ආයෙ බදින්න ඇත්තෙ.. නැත්නම් ඉතින් පතිනි පතිවත කෙලසගෙන නේද ? සන්සන්දනයක් තියනකොට හැම තිස්සෙම ජීවිතේ අමාරුයි තමා...ඔය මට හිතිච්ච විකාර.. ඔවා උඹ කියන්න හදන කතාවට කොච්චර අදාලද මංදා...
ReplyDeleteඋප්පමාද, උප්පුමාද ?
පාතරසයද, පාතරාසයද ?
(දැනගැනීමට පිණිස මිස වැරදි පෙන්වා ලොකුපොරක් වීමට නොවේ)
සෙන්නා හිටපු ගමන් පෙන්නා යන්නා සේය.
Deleteකරදරයක් නැතුව ඉන්නවා ඇතැයි හිතනවා.
පහු වෙලා ඇවිත් හරි කියවල ගියපු එක පාඩු නෑ බං. බොට ස්තුතියි ජය..
ReplyDelete