Friday, December 31, 2010

2. අඳුරේ පව් කරන දනා | Sinners in the Darkness


"කීයක් විතර යනවද වැඩේට...?"

මම ඇහුවෙ මෙතෙක් වේලා ජැක්කාගේ ඇඟිලි අතර සිරවී දැවෙමින් තිබුනු සිග‍රැට්‍ටුව මගේ ඇඟිලි අතරට රුවා ගනිමින්...

"ඌ දාහක් කියල කිව්වෙ.. තව පොඩි ටිප් එකකුත් දෙන්න වෙයි… ඒක මම දෙන්නම්…උඹට පන්සීයක් දෙන්න පුළුවන්ද කියපන්කෝ..?"

ජැක්කා ගේ උද්යෝගීමත් දෙනෙත් මඟහරින්නට මම ඉදිරියෙන් ඇති යායට පිපුණු සූරියකාන්ත මල් වගාව දෙසට නෙත් යොමු කළා... වීවේකී හැන්දෑවක් ගත කිරීමට අප දෙදෙනා බොහෝ විට ‍තෝරා ගත්තේ අප නවාතැන්පලට පෙනෙන දුරින් පිහිටි මෙම ගොවිපල...

“…ඒ මලට සූරියකාන්ත කියන්නේ මොකද දන්නවද පුතේ......... ඒක පිපෙන්නේ ඉර එලියට... ඊට පස්සේ ඉර හැරෙන හැරෙන පැත්තට මලත් හැරෙනවා...”

මටත් හොරා මා සිත අතීතයට දිවගියා...පැටි වියේ උන් මා එක පිට එක නඟනා දහසකුත් එකක් ගැටළු වලින් වෙහෙසට පත් නොවූ මා ආදරණීය අම්මා ලෝකය පිළිබඳ වූ තම සීමිත දැනුමෙන් මා පෝෂණය කරන්නට ගත් උත්සාහය මට සිහිවුණා...

සූරියකාන්ත මල ඉර හැරෙන පැත්තට හැරෙන්නේ නෑ...පොහොට්‍ටුව තමයි එහෙම හැරෙන්නේ...මල පිපුනම එකම පැත්තට හැරිලා තියෙනවා...නිවාඩුවට ගෙදර ගියාම අම්මට කියලා දෙන්න ඕනි...මට හිතුනා...

"මොකද කියන්නේ..?"

මේ වන විටත් කිහිප වරක්ම ජැක්කා විසින් පුනරුච්චාරනය කර තිබූ ප්‍රශ්නය මා නැවතත් පියවි ලෝකයට ගෙන ආවා...

" දාහක් කියන්නෙ ලංකාවේ සල්ලි වල්ලින් දෙදාහක් නෙ... තාත්තා දුක් මහන්සියෙන් එවන සල්ලි නෙ මචං... දන්නවනම් මොනව හිතෙයිද..?"

"එතකොට උඹ ලෝර්ඩ් වගෙ බට ගහන්නෙ... හැම සෙනසුරාදම කන පැලෙන්න බොන්නෙ..? ඒවට යන්නෙ තාත්තා දුක්මහන්සියෙන් එවන සල්ලි නෙමෙයිද.? අනේ උඹලගෙ එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රතිපත්ති..!"

ජැක්කා එක්ක තර්ක කරන්න මම උත්සාහ කලේ නැහැ...

ඒ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මා ඉන්දියාවට පැමින ගෙවෙමින් තිබු පලමු අවුරුද්දේ තුන්වන කාර්තුව... ජැක්කා යනු මෙතෙක් කල් මා හා දුක සැප බෙදා ගත් මාගේ කාමර සගයා...දෙමව්පිය වැඩිහිටියන්ගෙන් වෙන්ව අතිශය ලිහිල් නීති රීති යටතේ අප ඇතුලු හැම විදේශ සිසු සිසුවියක්ම පාහේ අසීමාන්තික නිදහසක් බුක්ති වින්දා... සමහරක් විදේශ සිසුන් තම තාවකාලික පෙම්වතියන් සමඟින් විඳිනා රස මිහිරට ඊරිසියා කරනවා වෙනුවට වඩාත් ප්‍රායෝගික යමක් කිරීමට ජැක්කා ගෙන ආ යෝජනාවයි මා විසින් ස්ථිර කළයුතුව තිබුනේ...

ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල කෙසේ වෙතත් ඉන්දියානු උසස් අධ්‍යාපන ආයතනයක නම් බොහෝදුරට ආදරය යනු එකිනෙකාට ලැබෙන ලාබය මත තීරණය වෙන තරමක සංකීරණ ගනුදෙනුවක්...සදාතනික බැඳීමකට වඩා එකිනෙකට වෙනස් වූ අවශ්‍යතා කිහිපයක් සපුරා ගැනීම සඳහා ගොඩනැ‍ඟෙන එවැනි සබඳතා මත පාරේ ගෙනයා හැකි තත්වයේ පෙම්වතියක් හිමිකරගැනීම යනු මරුති කට්ටක් තබා අඩු වශයෙන් ස්කූටරයක් වත් නැති අප වැනි පුඟුලන්ට තරමක අභියෝගයක්...

කලාතුරකින් හෝ ඒ අභියෝගය ජයගත් අයෙක් වේ නම් ඒ සම්බන්ධය සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා කළයුතු කැපකිරීම් ඉතා විශාලයි... ඉතින් මට මෙන්ම ජැක්කාටත් එවැනි සොඳුරු සිතැත්තියකගේ අවශ්‍යතාවයක් දැනුනේ නැති තරම්…ඉඳ හිට දකින තෙත් සිහිනයක් සැබෑ කරගැනීමට ජැක්කා මෙවර ගන්නා උත්සාහය අවශ්‍යතාවයකටත් වඩා අලුත් අත්දැකීමක් සඳහා යැයි මා හිතුවා...

"දැන් කොහෙටද උඹ ඕක ගේන්නේ...?"

"මම නෙමෙයි අපි... නිගා ගේ රූම් මේට් වැකේශන් ගිහිල්ලා... ඌ තනියම ඉන්නේ..."

නිගා යන සුරතල් නාමයෙන් අපි හැඳින්වූයේ සූඩාන් ජාතික සිසුවෙක්... කා සමගත් වැඩි කතාවක් බහක් නැති ඔහු ඉඳහිට හෝ කතා කරනවා මා දැක ඇත්තේ ජැක්කා සමඟ පමණයි...

“ඉතින් ඌ කැමති වුනාද...?”

"ඌට බෑ කියන්න බැරි උදව්වක් මම ඌට කරලා තියෙන්නේ..."

"හරි බං... ඒ වුණාට උඹ උගෙන් ඇහුවද...?"

"ඔව්... දිගටම ඇණයක් වෙන්නේ නැත්නම් ඌට අවුලක් නැහැ..."

ජැක්කා විසින් කළ යුතු සියල්ල සිදුකර තිබුණා... මට කළ යුතුව තිබුණේ එකඟ වීම පමණයි... කෙටි නිහඬතාවයකින් පසු මා කටහඬ අවදි කලා...

"හ්ම්... කරනවනම් කරමු..." මාගේ සුපුරුදු පිළිතුර ජැක්කාගේ මුහුණට ගෙන ආවේ ජයග්‍රාහී සිනාවක්...

----
මේ සිදුවීමෙන් පසු අතිශය සාමාන්‍ය අයුරින් ගතවූ දින කිහිපයකින් අනතුරුව සති අන්තය ලඟා වෙමින් තිබුණා... වෙනසක් තිබුණා නම් ඒ වෙනදා නොතිබූ මොකද්දෝ නුහුරු හැඟීමක් විටින් විට හිත ඇතුලේ පෙරළි කිරීම පමණයි...පාසැල් කාලේ මුරණ්ඩුකමට සම්භාහන මධ්‍යස්ථානයකට යන්න මිතුරෙක් කථා කල අයුරුත්, පිළිකුලෙන් මම ඒක ප්‍රතික්ෂේප කළ අයුරුත් මතක් වී මගේ මුවගට සිනහවක් නැඟුනා...

"ෂුවර් එකටම හිත හිත ඉන්නේ ලංකාවෙ ඉන්න කෙල්ල ගැන..."


ආපනශාලාව දෙසට වැටී ඇති ගල් ඇතිරූ මාවත දිගේ හිනාවෙමින් මා වෙත ඇවිද එන ලාංකික මිතුරියන් දෙදෙනා මම දැක්කේ එවිට...

"නැතුව…මෙහෙ ඉන්නවද හිත හිත ඉන්න තරම් වටින අය..." මම කිව්වේ කට කොණකින් සිනා වෙමින්...

"හිතල බලන්න එපැයි වටිනවද නැද්ද කියලා..."


එසේ කියමින් ඇය මා වාඩිවී සිටි උස් සිමෙන්ති බැම්මට නඟිනවාත් සමඟම මම එයින් බිමට පැන්නේ මා එතැන ගත කල කාලය අවසන් බව ඔවුන්ට නොකියා කියමින්...

"ඔය යනවද...?"

නෝක්කාඩු ස්වරයෙන් ඇය නැඟූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, මා එනතුරු පාර කෙළවරේ සිටි ජැක්කා බලා සිටින බව ඔවුනට අතින් සන් කරමින් මා ඇවිද ගියේ ආපසු හැරෙන්නේවත් නැතිව...

දුර සිටම ඇවිද එන මා දෙස නොනවත්වා බලා සිටි ජැක්කා, මා සමීප වන විට මුවඟට නගා ගත්තේ කපටි සිනහවක්...

"රූම් එකට නේද යන්නේ..?"

මම ජැක්කාගේ සිනාව නොදැක්කා මෙන් කතාවක් අරඹන්න උත්සාහා කලා...

" උඹ දැන් ඒ ළමයා එක්කමයි නේද...?"

එයට පිළිතුරක් නොදීම අප නවාතැන දෙසට වැටී ඇති පාරට හැරුණු ඔහු පෙරළා මගෙන් ප්‍රශ්ණ කළා...

"එක්කමයි කියන්නේ...? උඹ මීට කලින් අපිව එකට දැකලා තියෙනවද...?"

ජැක්කා දෙස නොබලාම මම පිළිතුරු දුන්නා...

"මම දැක්කා ලඟදී ලයිබ්‍රරි එකෙත් ඩබල් ටේබල් එකක වාඩි වෙලා ඉන්නවා..."

" මගෙන් ලින්ක්ඩ් ලිස්ට්ස් ගැන අහගත්තා..."

"ඔච්චර වෙලා...? ලංකාවේ කොහෙද..? බර කෑල්ලක්ද...?"

"කව්ද දන්නේ..."

"ඇයි උඹ විස්තර ඇහුවේ නැද්ද..?"

"තේරුමක් ඇති දෙයක් කතා කරපන් බං..." මම කිව්වේ නොරිස්සුමකින්...

මඳ සිනහාවක් පෑ ජැක්කා කතාව වෙනතකට යොමු කිරීමට මා හට ඇති අවශ්‍යතාවය තේරුම් ගත්තා...

"අරූ මට කතා කලා... හෙට මම ඌව මීට් වෙන්න යනවා... උඹ එනවනම් වරෙං...."

"මීට් වෙන්න... ඇයි ඒ...?"

"මම කිව්වා ඉස්සෙල්ලා මට බලන්න ඕනි කියලා..."

"ඇයි ඒ....?"

"ඇයි ඒ… ඇයි ඒ… ගාන්නේ යකෝ... ඌ මොකෙක් අරන් එයිද කවුද දන්නේ...? කැන්ටිමේ ආන්ටි වගේ වුනොත් මොකද කරන්නේ...? ඒත් උඹට අවුලක් නැද්ද..?"

ඇත්ත තමයි... මට ජැක්කා ගැන ඇතිවුණේ පැහැදීමක්... මට ඒක කල්පනාවට ආවේ නැහැනේ...

"මට හෙට දවසම ප්‍රැක්ටිකල්... උඹ ගිහින් බලපන්... උඹට හොඳනම් මටත් හොඳයි..." අන්තිම වාක්‍යය මම කිව්වේ ඇත්තටමයි...

"හා..."

"මට හොඳ හැම එකම උඹටත් හොඳයිද...?"

තරමක නිහැඬියාවකින් පසු අප නවාතැන පෙනෙන මානයේදී ජැක්කා නැවතත් කටහඬ අවදි කලා...

"හ්ම්..."

"එහෙනම් මම දෙයක් කියන්නද...?"

"කියපන්..."

"අර කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ... උබට ඔයිට වැඩිය හොඳ කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් මචං..."

මා දෙස එක එල්ලේ බලමින් ජැක්කා කිව්වා...

"මම දන්නවා..."

"දැනගෙනත් අමාරුවේ වැටෙයි කියලා කිව්වෙ..." අප නවාතැනේ ගේට්‍ටුවේ අගුල හරිමින් ජැක්කා කිව්වා...
----
පසුදින උදෑසන මා පිටත් වුනේ තනිවම...දේශන මඟහැර ජැක්කා සමඟ යාමට ආ ආසාව මම මැඩගත්තේ මට මුදල් එවන්නට ‍රැකියාවත් සමඟ ඔට්‍ටු වෙන තාත්තා සිහිවීමෙන්...

"මොන පිස්සුව නැ‍ටුවත් ක්ලාස් එකක් අරන් තමයි ගෙදර යන්නේ..." චෝදනා කරන යටි හිතට මම පිලිතුරු බැන්ඳා... වචනයෙන් විස්තර කිරීමට අපහසු මොකද්දෝ නුහුරු හැගීමක් හිතට වද දුන්නත් වෙනදා විදියට දවස ගෙවන්න මම උත්සාහා කලා... "මොන පිස්සුව නැ‍ටුවත් ක්ලාස් එකක් අරන් තමයි ගෙදර යන්නේ..." කීපාරක් මටම එහෙම කියාගත්තාද මම දන්නේ නැහැ...එතරම් උනන්දුවකින් මම දේශන වලට සහභාගී වුනේ ජීවිතේ පලමු වරට වෙන්නට ඇති...වෙනකක් තබා දේශන අතරතුර සිසුන්ව නොනිඳා තබගැනීමට උත්සාහා ගන්නා වියපත් මහාචාර්යවරයාගේ දෙපිට කැපෙන නීරස විහිළු වලටත් කවදාවත් නැතිව මම හිනා වුනා...

දැන්නම් ජැක්කා ගිහිල්ලත් ඇති...දැනටමත් බලලද දන්නෙත් නැහැ...අප්සෙට් නම්..? එක අතකින් එහෙම වුනොත් හොඳයි... නොනවත්වා ගලාගෙන එන සිතිවිලි වලින් මිදෙන්නට මම මඟක් හෙව්වා...

විද්‍යාගාරයෙන් පුස්ථකාලයටත් පුස්ථකාලයෙන් ක්‍රීඩාගාරයටත් ක්‍රීඩාගාරයෙන් ආපනශාලාවටත් ලෙස ජැක්කා එනතුරු දවස පුරා හතර අතේ ඇවිදිමින් සිටි මම මේ වන විට හිටියේ පිරිමි වැසිකිළියේ... මා කරමින් සිටි කර්තව්‍යය හමාර වනතුරු බිත්තියේ කුරු‍ටු ගා ඇති අසභ්‍ය රූපයක් දෙස මා බලා සිටියේ වෙනදා නැති උනන්දුවකින්... අපේ වැඩේ හොඳට කෙරුනොත් ඒක මතක් වෙන්න මමත් මේ බිත්තියේ මොනවා හරි ලියනවා...මම තනියම හිතාගත්තා...

"මොනවද බං උඩ බලාගෙන කල්පනා කරන්නේ..." මා ඉන්නා තැන හොයා ගැනීමට ජැක්කාට ඇත්තේ පුදුම ඉවක්...

"උඹ ගියාද..?"

මා තුල වූ උනන්දුව සඟවන්නට මම උත්සාහ කලේ නැහැ...

"ඔව්... බැලුවා..."

"ඉතිං කොහොමද..?"

මා ඇසුවේ ජැක්කාගේ මුහුණේ ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින්... හැඟීම් වලින් තොර ඔහුගේ මුහුණෙන් වැඩි යමක් නොකියවුනත් වැසිකිලියේ බිත්තියෙන් එලියට නෙරා ආ පෝසිලේන් බැම්මට ඔබ්බෙන් ඔහුගේ දෑස් දිලිසුනා...

"මගෙත් එක්ක හිනාත්වුණා... දත් ටිකනම් මුතු ඇට වගේ..."

"එතකොට අනිත්වා...?" මම ඇහුවේ දෙගිඩියාවෙන්...

"අවුලක් නෑ...හැබැයි පාට ටිකක් කලුයි..."

"කවුරු වගේද...? "

"එහෙම හරියටම කියන්න බෑ බං..."

"කැන්ටිමේ ඇන්ටි වගේ නැහැනේ..."

"හා... හා... හා..." ජැක්කා මහ හඬින් හිනාවුනා පමණයි...

“හෙට උදේ නමයට...? උඹට වෙන වැඩක් නෑනේ..?”

"නෑ..."

“එහෙනම් මම නිගා එක්ක චෙක් කරලා කන්ෆර්ම් කරනවා..?”

"හා..."

මා හට තවත් සිතන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැහැ...

“අද උඹට කීයටද ඉවර වෙන්නේ...?”

“හතරට...”

“ඕකේ හතරට සමර් හට් එක ගාවට වරෙන්...”

දේශන නිමවී ඔහුත් සමඟ නවාතැනට යන නිහඬ පොරොන්දුව සමඟින් මම ජැක්කාට සමුදුන්නා...
තම ජංගම දුරකථනයත් කනෙහි රුවාගෙන මා වෙතින් ඉවතට ඇවිද ගිය ජැක්කා කොරිඩෝව අවසානයේ නොපෙනී ගියේ ආපසු හැරී මා වෙත මහපටඟිල්ල ඔසවා සියල්ල සතු‍ටුදායක බව සංඥා කිරීමෙන් අනතුරුවයි...
----
"මට ගෙදරට කෝල් එකක් දෙන්න ඕනි... " එදින සවස ගේට්‍ටුව අසලදී අප නවාතැනට දෙසට හැරුණු මා වළකාලමින් ජැක්කා කීවා...

"උඹ ගිහින් වරෙන්…"

කලින් ඇතිකරගත් එකඟතාවක් නොවුණත් මෙතෙක් කල් අප දෙදෙනාම නිවෙස් වලට දුරකතන ඇමතුම් දුන්නේ එක විට...කාලයක් කරගෙන ආ මේ පුරුද්ද හිටිහැටියේම වෙනස් වීම ගැන ඔහු පුදුම වෙන්නට ඇති...

"ඇයි උඹ ගෙදරට කෝල් කරන්නැද්ද..?"

"මේ සතියේ කෝල් කරන්නෑ... උඹ ගිහින් වරෙන්..."

ජැක්කා තනිකර මම නවතැන දෙසට පියමැන්නා...ගේට්‍ටුව වසද්දී මා දු‍ටුවේ පාරේ සිටිවනම මා දෙසම තවමත් බලා සිටින ජැක්කා...දිගු කතාවකට මුලපිරූ නවාතැන්පලේ ඇන්ටීට වචන කිහිපයකින් සමුදුන් මා උඩුමහලට දිවගියා...

වීජ ගණිතය ගැටලු කිහිපයක් විසඳාගැනීමට පැමිනි නවාතැන්පලේ ඇන්ටීගේ දියණිය විසින් මාගේත් මෑතකදී නිකුත් වූවා යැයි සිතිය හැකි පරිගණක ක්‍රීඩාවක් විසින් ජැක්කාගේත් රාත්‍රියෙන් වැඩි කොටසක් සොරා ගත්තා... තම පසුම්බියෙන් ගත් හත‍රැස් කාර්ඩ්බොර්ඩ් පැකට්‍ටුවක් මා වෙත විසිකිරීම හැරෙන්නට හෙට දිනයගැන රාත්‍රියේදී අප අතර සංවාදයක් ඇතිවූයේ නැති තරම්...
-----
තවත් එක් සෙනසුරාදාවකට හිරු උදා වුණා... "සියලු සත්වයෝ නිදුක් වෙත්වා..." දවසක උදාවේ නිදි යහනින් බසිද්දී මුමුනන්නට අත්තම්මාගෙන් පුරුදු වූ සිතිවිල්ල සුපුරුදු ලෙස අදත් දෙතොලග ‍රැව් දුන්නා... මේසය උඩ වසා තිබූ වතුර වීදුරුවත් ‍රැගෙන මම බැල්කනියට ගියා... කණා‍ටු ගැසුන කිරි එළදෙන සමග පැමිනි කිරිකරුවා ආන්ටි දුන් සුපුරුදු බෙලෙක් බඳුනට ගේට්‍ටුව ඉදිරිපස ඇනතියාගෙන කිරි දොවනවා... ප්ලාස්ටික් බඳුනක් අතකින් එල්ලාගත් අයෙක් සූරියකාන්ත වගාව දෙසින් එලියට එන්නේ දෙකට පැලූ ලුංගියත් කැසපොට ගසාගෙන... ආන්ටිගේ පරන කැසට් ප්ලේයරයෙන් වාදනය වෙන කාලයක් තිස්සේ ශ්‍රවණය වීමෙන් කනට පුරුදු වූ ගනේශා දෙවියන් වෙනුවෙන් ගැයන බැති ගීයක හඬ මැකෙන්නේ සැරදමා අතුරු මාර්ගයේ ඉඳහිට ඇදීයන ආටා රථයකින්…"ජය ගනේශ...ජය ගනේශ...ජය ගනේශ දේවා...මාතා ජාති පාර්වතී පිතා මහා දේවා..." ජැක්කා තවමත් නිදි... මුලු ලෝකයටම හැමදෙයක්ම වෙනදා වගේම සාමාන්‍යයි... එත් මට අද වෙනස් දවසක්...

අතුරු පාරවල් කිහිපයක් දිගේ ජැක්කා ඇවිදගිය අයුරින් ඔහු නිගාගේ නවාතැනට යන ප්‍රථමවතාව නොවන බව මා හට පසක් වූයෙන් මා නිහඬව ඔහු පසුපස ඇදුනා... තරමක් ජරාජීර්ණ වූ බිල්ඩිමක අපිරිසිදු තරප්පු පෙලක් නැඟීමෙන් අනතුරව හමුවූ කොරිඩෝවක් දිගේ දොරවල් කිහිපයක් පසුකර ගිය ජැක්කා "NO BULLSHIT PLEASE!" නම් වූ වැකියක් සහිත බිත්ති පෝස්ටරයක් අලවා තිබූ දොරක් ඉදිරිපිට නතරවුනා... කිහිපවරක් තට්‍ටු කලපසු විවෘත වු දොර පි‍ටුපසින් කාල වර්ණ කයකින් යුතුව යට ඇන්දුමකට සමාන කලිසමකින් පමණක් සැරසී නිගා අප ඉදිරියේ සිටගෙන සිටියා... මුවග සිනාවක් නොතිබුනත් අප සාදරයෙන් පිලිගන්නා බව ඔහුගේ ඉරියව් වලින් දිස්වුනා...අප නිවසට ඇතුලු වී සුලු මොහොතකින් වෙනත් ඇන්දුමකට මාරු වී සිටි ඔහු යතුරු කැ‍රැල්ලකින් තම වාහනයේ යතුර යැයි සිතියහැකි යතුර වෙන්කරගෙන ඉතිරි යතුරු කිහිපය ජැක්කා අත තැබුවේ නිහඬ මුවින්...

“Aren’t you gonna join with us…?”

ඔහු බැහැරට යන බව පෙනි පෙනීත් මම එසේ ඇසුවේ මෙතරම් උදව්වක් කරනා ඔහු සමඟ වචනයක් හෝ කථා නොකර සිටීම නොමනා යැයි සිතුණු නිසා...

“I never pay for Sex…”

ගැඹුරු හඬින් එසේ පැවසූ ඔහු ජීවිතේ පළමු වරට තම කිරිසුදු දසන් පෙන්වා මා හා සිනාසුනා …කඩිනමින් පඩිපෙල බැසයන ඔහුගේ පා හඬ මට නෑසී ගියේ ජැක්කා විසින් ක්‍රියාත්මක කළ රූපවාහිනියේ ශබ්ධයෙන්...
නිගාගේ සැපපහසු සෝපාවක දිග ඇදුනු මා ඔර්ලෝසුවට නෙත් යොමුකළා... "නවයට දහයයි" කෙතරම් වෙලා අප එසේ සිටියා දැයි මට කල්පනාවක් නැහැ...

"ඊයේ උඹට දුන්නු එක ගෙනාවනේ...?" ඉඳහිට වචනයකින් දෙකකින් ජැක්කා නිහඬතාවය බින්දා... මා හිස වැනුවා පමණයි...

ජැක්කාගේ කලබලකාරී ඇඟිලි වලට සිරවුනු දුරස්ථපාලකය නොනවත්වා ක්‍රියාත්මක වෙමින් තිබුණා... අරමුණක් නැතිව විටින්විට වෙනස්වන රූපවාහිනී නාලිකා දෙස බලා සිටි මාගේ දැහැන බිඳුනේ ජැක්කාගේ ජංගම දුරකථනය නාදවෙන හඬින්...රූපවාහිනියේ ශබ්දය නැවතූ ඔහු අනිත් අන්තයේ සිටින්නෙකුට නිගාගේ නවාතැනට එන මං සලකුණු විස්තර කරන්නට වුණා...

“සේරම හරිවගේ...”සැනසුම් සුසුමක් හෙලූ මා නානකාමරයට පියමැන්නේ අවශ්‍යතාවයකට නෙවෙයි...
සිසිල් වතුරින් මුහුණ තෙමාගත් මා නානකාමරයේ කණ්නාඩියේ සිටින මා දෙස බලා සිටියා... “මිනිහෙක් මිනිහෙක් වෙන්න ගෑනියෙක් එක්ක හිටියට පස්සේ” කලකට පෙර මාගේ ඥාති සොයුරෙක් තමාගේ විවාහ මංගල්ලයට දින කීපයකට පෙර ආඩම්බරයෙන් මා හා පැවසූ අයුරු මට සිහිවුණා... එතකොට මමත් මිනිහෙක් වෙන්නද යන්නේ...

“මචං…මචං… ආවා...” නානකාමරයේ දොර අසලින් ඇසුණු ජැක්කාගේ හඬේ තිබුණේ මොකද්දෝ නුහුරු ගතියක්...

“උඹ ඉස්සෙල්ලා පලයන්...”මම එලියට නෑවිත්ම පිළිතුරු දුන්නා... ඇය අප දෙදෙනාවම එකවිට දැකීම මගහැරීමට මට අවශ්‍යය වුණා විය යුතුයි...

තරමක නිහඬතාවයකින් පසු මා නානකාමරයෙන් ඉවතට එනවිට විසිත්තකාමරයේ කිසිවෙක් සිටියේ නැහැ... සෝෆාවේ දිගෑදුනු මා රූපවාහිනියේ ශබ්දය වැඩි කලා...
----
සිග‍රැට්‍ටුවක් දෙකක් දැල්වී නිවී යන්නට ඇති...අගුල හැරෙන හඬත් සමඟ විවෘත වූ දොර පියන් අතරින් ජැක්කා මතුවූවා... නැඟීසිටි මා ඔහු පිළිගැනීමට මෙන් පෙරමඟට ගමන් කළේ ජැක්කාගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්නට උත්සාහා කරමින් ... ස්වභාවයෙන්ම හැඟීමෙන් තොර ඔහුගේ මුහුණෙන් වෙනදා මෙන්ම අදහසක් ප්‍රකාශ වූයේ නැහැ... කෙසේ නමුත් මා බලාපොරොත්තු වූ පරිදි සියල්ල සතුටින් නිමාවූ තෘප්තිමත් සිනහවක් නම් එහි සටහන් වී නැතුවා වාගේයි...නිහඬතාවයෙන් යුතු තවත් තත්පර කිහිපයක් ගතවුණා... මා යමක් අසන්නට උත්සාහා කලත් එය ගිලගත්තේ ඇතුළට යන ලෙස ඔහු හිසින් සන් කළ නිසාවෙන්...ඔහුගේ විධානය පිළිගත් මා සෙමින් සෙමින් දොර වෙත පියනැගුවා...මඳක් විවෘතව තිබූ දොර හිඩැසින් එහා තිබුණේ තරමක අන්ධකාරයක්...ගැඹුරු හුස්මක් ගත් මා යුධබිමට පා තබනා සොල්දාදුවෙකු මෙන් සෙමින් දොර පියන විවර කළා...

ඔබ්බෙන් වූ ඇඳක් මත වාඩිවී ඇය සිටියේ මා වෙත යොමාගත් නෙතින්... කවුරුන් හෝ විසින් මුදාහල තිරරෙදි අතරින් ආ දුබල ආලෝකය නිසා කාමරය තුල තිබුනේ තරමක අඳුරක්... නමුත් ඇය ආයාසයෙන් මාවෙත හෙලූ ලෙංගතු සිනහව හඳුනාගැනීමට ඒ දුබල ආලෝකය ප්‍රමාණවත් වුනා...

හැකි සෑම විටම දුර්වලයා තලා පෙලා දමන ඉන්දියානු සමාජයේ ක‍ටුකත්වය විසින් අනුකම්පා විරහිතව ඇයගේ රූ සපුවට හානිකර තිබුණද උපතින් උරුම වූ සිත්ගන්නා සුලු බවක නටබුන් තවමත් ඒ තුළ ශේෂ වී තිබුණා...දුප්පත්කම සහ බොහෝවිට අධික ලෙස කය වෙහෙසීමත් නිසාදෝ පමණට වඩා කෙසඟ වූ ඇයගේ ශරීරයේ හැඩය මට සිහිගැන්වූයේ බටහිර විලාසිතා චැනලයක නිරූපිකාවක්...

තවදුරටත් මා හට ඇය නිරීක්ශනය කිරීමට ඉඩ නොදී මා වෙත නැඹුරු වූ ඇය, මාව ඇය වෙත ඇද ගත්තේ, මම දවසම ඇය දෙස එසේ බලා සිටිතැයි හැඟුනු නිසා විය යුතුයි...වයසින් පලපුරුද්දෙන් සහ කඩිනමින් මෙය හමාර කිරීමේ උනන්දුවෙන්ද ඇය සිටියේ මට වඩා ඉදිරියෙන්...මට තිබුණේ සහාය වීම පමණයි...පළපුරුදු කෝකියෙකු පියවරෙන් පියවර ආහාරයක් සකස් කරන්නාක් මෙන් මාගේ ජීවිතයේ අලුත්ම අත්දැකීමක් ඇය කඩිසරව පියවරෙන් පියවර ලබා දෙමින් සිටියා...සියල්ල සතුටින් ආරම්භ වෙමින් තිබුණා...මා වික්ශිප්ත කළ ඒ සිදුවීම නොවන්නට සියල්ල සතුටින් නිමාවීමටත් ඉඩ තිබුණා...

නිගාගේ කාමරය දෙදෙනෙකුට වාසය කළ හැකිවනයුරින් එකිනෙකට වෙන්ව තැබූ ඇඳන් දෙකකින් යුක්තව සකසා තිබූවක්...මේ මොහොතේ එතුළ සිටිය යුතු වන්නේ ඇයත් මමත් පමණක් බැවින් අනෙක් ඇඳ ගැන මා හට අවධානයක් යොමුකිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ...

නමුත් අනපේක්ෂිතව ඒ දෙසින් ඇසුණු ශබ්ධයක් නිසා ඒ දෙස නෙත් යොමුකළ මා හට දකින්නට ලැබුනේ නෙත් අදහාගත නොහැකි දර්ශනයක්...ඇඳ මත එළා ඇති කුඩා රෙදි කැබැල්ලක් මත උඩුකුරුව හොවා ඇති කිරිකැටි බිළි‍ඳෙක් තම නිල්වන් දෙනෙත් අප දෙදෙනා දෙස යොමාගෙන සිටියා...

කිසිවක් වටහාගත් නොහැකි වූ මා ඇය පසෙකට තල්ලු කොට ඇ‍ඳෙන් බිමට පැන ඒ දෙසට ලං වූයේ මා දකින්නේ මායාවක් නොවන බව පසක් කරගැනීමට...

තම හුරුබුහුටි දෙ අත් මිට මොළවා ගෙන බකල ගසා ගත් කකුළින් යුතුව උඩුකුරුව වැතිරී උන් බිළිඳා තමා වෙත කිට්‍ටු වූ අමුත්තා දෙස පෙරටත් වඩා උනන්දුවෙන් බලා සිටියා...

"බ්...බච්චා.....?" ආයාසයෙන් මුවඟට නඟා ගත් හිංදි වචනයක් පිටකරගැනීමට මට හැකිවූවා...

"මුශ්කිල් නහී...." මාගේ බලාපොරොත්තු නොවූ හැසීරීමෙන් අපහසුවට පත්ව සිටි ඇය අයාසයෙන් නඟාගත් වරදකාරී සිනහවකින් යුතුව පිළිතුරු දුන්නා...

අසුරු සැනින් ඇඳ වෙත දිව ගිය මා කලබලයෙන් ඇන්දුම් පටලවා ගන්නා අතර ඇය තවත් මොනවාදෝ පැවසීමට උත්සාහා කළත් දෙතොල් සෙලවුණා මිස වචන පිටවූයේ නැහැ...

තවත් මොහොතක් වත් එතැන නො‍රැඳුනු මා කාමරයෙන් ඉවතට දිව ආවා...මාගේ අනපේක්ශිත දර්ශනයෙන් කලබල වූ ජැක්කා සෝෆාවෙන් නැඟී සිටියා...

"ඇයි මොකද....?"

"යකෝ පොඩි එකෙක් ඇතුළේ........!"

"ඔව් මචං... මේ ගෑනි පොඩි එකෙකුත් එල්ලගෙනනේ ආවේ... උඹත් බාත් රූම් එකේ හිටියේ... "

ජැක්කාගේ අසරණ හඬ ඉදිරියේ මා නිහඬ වුණා...

"අවුලක් නෑ... උඹ ෂේප් එකේ............." ජැක්කා කියන්නට යන්නේ කුමක්දැයි අනුමානයෙන් දැනගත් මා, ඌට වාක්‍ය ඉවර කරන්නට ඉඩ නොදී ඌවත් පසෙකට තල්ලු කර නිවසින් එලියට පැන ගත්තා...

"I never pay for Sex…"

නිගා ගේ හඬ විසල් යෝධයෙකුගේ හඬක් ලෙසින් තරප්පුපෙල බැසයන මා සවනත ‍රැව් පිළි‍රැව් දුන්නා...

13 comments :

  1. යන්තම් ඇති බලමු ....

    මේ කතාව කියවන කොට මට දැනුන හැඟීමම දැනුන කතාවක් තමයි ටැබූ ලීව " ශිෂ්‍යාව " කියන කතාව.

    මිනිස්සු විදිහට කොහෙ ගියත් සංවේදි මිනිසුන් ඉන්නව කියල හිත හදා ගමු...

    ReplyDelete
  2. ඇත්තටම මේ කතාවෙත් සමහර තැන් 'inspired by' ඒ කතාව තමයි :)

    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  3. මචන්, අපි අපිව මරාන්න කොච්චර හැදුවත්, අපිට අපිව මරන්න බැ.. එක තමයි ඇත්ත.. කොහේ කවද කොතනදි උනත්...! අපිට අපිව මරන්න බැ.. උබේ අත්දැකීමක් කියලා හිතනවා.. උබ හොද එකේක්.. හොදට ලියන්න පුලුවන්.. එල කිරී..!

    ReplyDelete
  4. මචං,අපි කොච්චර ලස්සනයි කිව්වත් වෙලාවකට ජීවිතේ හරිම කැතයි බං. ඔයිට වඩා කියන්න කිසිම දෙයක් ඉතුරු උනේ නෑ කියෙව්වට පස්සෙ

    ReplyDelete
  5. Malli, නවම්,
    ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  6. අලුත් පෝස්ට් එකට වත් දාලා තිබුනු ලිංක් එක හරහා ආවා. හයියෝ, කලින් දැකලා තිබ්බා නං කොච්චර හොඳයිද? අවසානයේ තිබුණු බෝම්බය නිෂ්ක්‍රීය වෙලා තිබුනේ මං කථාවේ කෙලවරට එද්දී, ඇයි ඉතිං අළුත්ම පෝස්ට් එකේ මේ සිද්ධියම කවියෙන්නේ තියෙන්නේ.

    ReplyDelete
  7. මරු මචං..... අලුත් පෝස්ට් එකේ ලින්ක් එක දිගේ ආවෙ...
    හිතන්ඩ ගොඩක් දේවල් එකතුකරගත්තා..... ජය!

    ReplyDelete
  8. සෑහෙන පරණ පෝස්ට් එකක්... අද තමයි මේ බ්ලොග් එක හම්බුවුනේ... ඒකත් චාමි බුකියෙ දාපු ලින්ක් එකෙන්...

    "I never pay for Sex…" සෑහෙන්න වටින කතාවක්..

    ReplyDelete
  9. Beetle;

    Even you may never believe, but I had very much the same experience. Don't want to name the places, but it was also outside Sri Lanka and I was doing my higher studies. After talking over the phone, this young woman turned up later with her toddler. Enough to say it killed my urges. Had a long conversation in which she described her dire situation,and gave some money when she was leaving. Once told, my friends were sure that I was scammed. 'It should be her trick. But I was not so sure.

    After a few weeks, they found the child fallen from a 11th floor room window of a near by hostel. The death was recorded as 'an accident'.

    This incident changed my perception of world drastically. even today I can remember the adorable, smiling child and his mother's voice. I have never shared this story with any sri Lankan until now. After reading your post thought this is a worthy place to do so, after 18 years.

    KPIT

    ReplyDelete
  10. "why we pay for the sex ?"
    මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  11. නියමයි..තනි ඇහැට ඇඩේනවා..

    ReplyDelete
  12. අනායාසයෙන් කියැවිය හැකි ඔබේ ලියැවිලි ව්‍යාජත්වයෙන් තොරයි. බිලොග් අවකායේ පිරී ඇති එකම අච්චුවේ බසින් ලියැවුණ එකම වට්වටෝරුවේ කතන්දර දැක වෙහෙසට පත් අයට සිහිල් පැනකි. ව්‍යාකරණයත් අත්ෂර වින්‍යාසයත් ගැන ඇති ඔබේ අවධානය ද අගය කරමි.ඔබට සුබ පැතුම්.

    ReplyDelete

Web Statistics