මෙම බ්ලොග් අඩවියේ දැනටමත් සඳහන් කර ඇති පරිදි මා ලියූ පළමු ලිපිය පලවූයේ Taboo Subjects නම් ජනප්‍රිය බ්ලොග් අඩවියේයි...
ඉතින් මා වෙනුවෙන් ලබාදුන් ඒ අනුග්‍රහයට සහ අදහස් දැක්වූ සැමට කෘතගුණ සැලකීමක් ලෙස එම ලිපිය නැවත මෙහි පලකරනවා වෙනුවට එහි මුල් පිටපතට සබැඳියක් මෙසේ පළකරමි...
වෙනස (පාඨක නිර්මාණයක්) | The Change (A short story by a reader)
ගොඩක් ප/ලි/ : [21-06-2011]
ඉහතින් සඳහන් වී ඇති සබැඳිය තවදුරත් වලංගු නොවන්නේ ඇයිද යන්නට දිය හැකි පැහැදිලි පිළිතුරක් මා සතුව නැහැ... එම අභිරහස විසඳීම පසෙක තබා, කලක් මට අහිමව තිබී මිතුරෙකුගේ උදව්වෙන් සොයා ගත් ඒ කතාව සම්පූර්ණයෙන්ම මෙසේ පළකරන්නම්...
********************************************************************
"අම්මේ මම ටිකක් සෙල්ලම් කරලා එන්නම්..." ඇහෙන නෑහෙන හඬින් අවසර ගත්තු මම ඉගිලුනේ මම කියපු දේ බැරිවෙලා හරි අම්මට ඇහුණොත් කියලා...
කළාතුරකින් එන කෙටි නියං සමය ගමේ කොල්ලන්ව ගොඩින් මඩට ගෙනල්ලා... පොල්වත්තේ ක්‍රිකට් ගහද්දී කොණ්වුන හැමෝම වගේ එල්ලේ ගහන්න පෙරමුණ අරගෙන...
එල්ලේ පිත්ත තරම්වත් උස නැති අන්තිම කුරුට්ටත් බෙදුවට පස්සේ තේරුනේ එක පැත්තකට එකෙක් අඩුයි කියලා...කටිටියම මහ නියර උඩ බයිසිකලයකට වාරු වෙලා අපි දිහා බලාගෙන ඉන්න අමුත්තාව දැක්කේ තව කවුරු හරි හොයාගන්න වට පිට බල්දියි...
"අහලා බලපං එනවද කියලා..." දුසිමකට ටිකක් විතර වැඩි පිරිස අතරේ පණිවිඩය ගෙනියන්න සුදුසුම පුද්ගලයා විදියට මාව ඇසිල්ලකින් තීරණය වෙලා...
"කව්ද මචං ඒ...?" ඒ පැත්තට අඩිය තියන ගමන් නිකමට වගේ මම ඇහුවේ කාගෙන්වත් උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙමේ...
"හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා..." ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ඇච්චෙක්ට තමන්ගේ ඕපදූප හොයන අම්මාගෙන් දායාද ලැබිලා...
"එයාට මොකුත් කරගන්න බැහැලු...එයාට බරවා..." ඒ උගේ අය්යාගේ හඬ වෙන්න ඕනේ......
"මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද..." වැඩුනු එකෙකුගේ විධානයෙන් පොඩිඋන් දෙන්නගේ අදහස් වලට වාරණය වැටෙනවා මට යන්ත්මින් ඇහෙද්දිත් මම අමුත්තා හා කතා කරන්න පුලුවන් කිට්‍ටුවට ඇවිත් හමාරයි...
"එල්ලේ ගහන්න එනවද...?" ඔහුගේ මුහුනේ තිබුනු ප්‍රසන්න හිනාව අපි අතරේ තිබුන ආගන්තුක හැඟීම නැති කලා...
"එන්නම් හැබැයි මට දුවන්න කෙනෙක් ඕනේ.."
"අපෝ ඔනේ තරම් ඉන්නවා..."
ඔහු මගේ ආරාධනාව කොච්චර බලාපොරොත්තුවෙන් හිටියාද කිව්වොත් බයිසිකලයෙන් බැස්සා නෙමෙයි පැන්නා...
එදායින් පස්සේ කොලු රංචුවේ ඔනෑම ක්‍රීඩාවක නායකයා වුනේ මිල්රෝයි අයියා... ඒ විතරක් නෙමෙයි ටික දවසකින් ගමේ හැම දේකදීම වගේ අනායාසයෙන්ම මූලිකත්වය ලැබුණේ ඔහුට … ඕනෙම පොදු වැඩකදී ඔහු යෝධයෙක් වගේ හයියක් වෙනවා මම බලාගෙන හිටියේ පුදුමයෙන්...
ඔහු ඇත්තටම බරවා රෝගියෙක්...නමුත් ගතින් පමණයි...බෙර කොටයක් වගේ ඉදිමුන කකුල පැය විසිහතරේම අඳිනු ලැබූ දිග කළිසම විසින් ලෝකයෙන් වසන් කලා...කිසිවෙකුට නොදෙවෙනි ගතේ සවියත්, තැනට සුදුසු නුවණත්, එඩිතරකමත් ඒ සියල්ලටම වැඩි අප්‍රමාණ චිත්ත ධෛරයත් ඔහු රෝගියෙකු බව අපි හැමදෙනාටම අමතක කළා...
කාලය කාටත් හොරෙන් ගෙවී ගියා...ගමේ කොලු කුරුට්ටන් සමඟ මගේ තිබූ සම්බන්ධයට වැට බැඳිමට ගත් අම්මාගේ උත්සාහය සාර්ථක වුණා...නගරයේ කොල්ලන් ආශ්‍රයෙන් මාතුළ ඇතිවූ විපර්යාස වල ප්‍රථිඵලය වූයේ නගරයේ කෙල්ලක් විවාහ කරගත් මා අම්මාගෙන්ද වෙන්වී විදේශ ගත වීම...
*************************************************************************************
කාලයත් සමග ජීවිතයට එක්වූ අලුත් අලුත් වෙනස්වීම් හමුවේ මා හැදුනු වැඩුනු ගම්මානයත් එහි ජීවිත්වූ මගේම මිනිසුනුත් මගේ සිතින් ඈත් වී ගියා... නානාප්‍රකාර වැඩකටයුතු අතරේ දෙමාපියන් සමඟ අන්තර්ජාලයෙන් දොඩමලු වන ඉසිඹුවේ ඕපාදුප ගැන කතා කරන්නට ඉස්පාසුවක් නැති තරම්....
අවසන්වරට මිල්රෝයි අය්යා ගැන මා ඇසුයේ මාගේ පියාගෙන්... ඒ මාගේ මහ ගෙදර විදුලිය සපයන රැහන්වල අලුත්වැඩියවක් කිරීමට සිදුවී ඒ සඳහා විදුලි බල මණ්ඩලයට දැන්වූ විට මාර්ගයේම විදුලිය අත්හිටවිය යුතු බැවින් ඔවුන් එය කල් දමමින් සිටිනවිට, මිල්රෝයි අය්යා පැමිණ රැහැන් වල විදුලිය තිබියදීම ඔහු ඒවා අලුත් වැඩියා කර දුන් බවයි... පැරණි මතකය අලුත් වෙමින් ඔහුගේ එඩිතර කම පිලිබඳ මා තුළ ඇති ගෞරවය ආස්වාදනය කරමින් ඔහු එය සිදු කළ අහුරු හාර හාරා තාත්තාගෙන් අසා දැනගත්තේ මහත් ආසාවෙන්... බරවා රෝගියෙකු තබා පලපුරුද්දක් නොමැති නිරෝගී මිනිසෙකුටත් රැඳී සිටීමට අපහසු විදුලි කණුවක එල්ලී විදුලිය සහිත රැහැන් සමඟ ඔට්ටු වෙමින් ඔහු කරන වික්රමය සුරංගනා කතාවක් රසවිඳින ළදරුවෙකු සේ සිතින් මවා ගනිමින් මා රස වින්දා…
මේ සිදුවීම සිදුවූයේ බොහෝ කාලයකට කලින්...එයින් පසු නැවතත් ඔහු පිළිබඳ මතකය යටපත් වුණා...
*************************************************************************************
කළකට පසු ලැබුණු නිවාඩුව කාර්යබහුලත්වය මඳක් අඩුකළෙන් ලද ඉස්පාසුවේ මව් රට බලා ඉගිලුනේ ආයෙත් කවදා යන්න ලැබෙයිද නොදන්නා නිසා...
කාලයත් එක්ක වෙනස් වෙලා තිබුණේ මම විතරක් නෙවෙයි... මටත් වැඩියෙන් මගේ ගම වෙනස්වෙලාද කියලා මට හිතුණා...
අපි විස්කිරින්නා, හුලං විස්කෝතු හොරකම් කරපු සාමෙල් මුදලාලිගේ කෝකටත් කඩේ අත්තිවාරම උඩින් අලුත්ම අලුත් පොඩි පහේ වෙළඳ සංකීරණයක් ඉදිවෙලා...පොල්වත්ත කෑලි වලට කැඩිලා...වෙල්යාය ගොඩවෙලා තාප්පෙකින් වටවුණු ගාමන්ට් ෆැක්ටරියක් ඉදිවෙලා... එදා අපි ගෑනු ළමයෙක් එක්ක හිනාවුනත් නොරොක් මූනෙන් හැරිලා බලපු වැඩිහිටියෝ ගාර්මන්ට් එක අවට අහුමුළු වල ඉන්න කුරුළු ජෝඩු ගැන වගේ වගක් නැති ගානයි... වෙන එකක් තියා, එදා කිසිම ලැජ්ජාවක් නැතිව පස්සපැත්ත එලිය දාගෙන අමුඩේ පිටින් ගමේ එහා කෙරවලේ ඉඳන් මෙහා කෙරවලට වුනත් පයින් ඇවිදගෙන ගිය විලියොං සීයත් ගාර්මන්ට් ෆැක්ටරියේ තරුණියන් මඟ ගැවසෙන නිසාදෝ සරම් කෙටියකට මාරු වෙලා...
*************************************************************************************
"පුතේ තේ බොන්න එන්න..." පිටුපසින් පැමිණි අම්මා මගේ දැහැන බින්ඳා...
ආපසු නිවසට පා නඟන ගමන් කොහෙන්දෝ පැමිණි කෂණික සිතිවිල්ලකින් මට ඔහු පිළිබඳ සිහියට නැඟුනා...
"අම්මේ මිල්රෝයි අයියා කොහෙද දැන්...?"
"අයියෝ එයා නැති වුණානේ..." අම්මාගේ එ පිලිතුරින් මම ගල් ගැසුණා...
"ඒ කොහොමද...?"
"එයාගේ අර කකුලක බරවා තිබුණානේ... ඒක ගොඩක් වැඩි වෙලා කකුල කපන්න වුණා... ඒකෙන් එයා ගොඩක් මානසිකව වැටිලා මම හිතන්නේ... දැන් ටික කාලයක් වෙනවා...කෝච්ච්යට පැනලා... දිවි නසාගෙන...”
තව මොනවාදෝ අම්මා කිව්වත් මට ඒ කිසිවක් ඇසුනේ නැහැ... ජීවිතය ගැන දරාගන්න බැරි කලකිරීමකින් මගේ මුලු ගතම වසාගෙන යනවා මට දැනුනා...
ඇත්ත තමයි...මටත් වැඩියෙන් ගම වෙනස් වෙලා....
ටැබූ බ්ලොග් එක තියෙදී මම මේක කිවුවා මතකයි හැබැයි එතන අදහස් දැම්මේ නෑ මොකද ඔතන අදහස් දාන්න ගොයොත් ගුටිත් කාගෙන තමයි එන්න වෙන්නේ .
ReplyDeleteමම මේ කතාව බැලුවා මම කියෝපු සංවේදීම කතාව නොවුනත් . හිතට දැනිචිච කතාවක්..
ඇත්තම කථාවක්යයි හිතෙන තරමට පුංචි පුංචි විස්තරයන්ගෙන් ගොඩ නැගෙන කථාව හුඟක් රසවත්.
ReplyDeleteඅවසර නොලැබේයයි හිතන සෙල්ලමට "ඇහෙන නෑහෙන හඬින්" නමට පමණක් අවසර ගැනීම...
ක්‍රිකට් ගහද්දී කොන් වුණු හැමෝම එල්ලේ ගහන්න පෙරමුණ ගැනීම...
ඊටත් වඩා කොන් වුණු චරිතයක් කොලු රෑනට එක් වීමත් සමගම වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සමාජගත වීම...
අවසන ඔහුගේ ජීවිතයේ කඩා වැටීම...
කෝකටත් කඩේ සිට විලියොං සීයගෙ අමුඩය දක්වා ගමෙහි වූ වෙනස් වීම්...
මේ හැම දෙයක්ම වෙහෙසකින් තොරව හිතට කා වදින අයුරින් ලියැවී ඇති අපූරුව පෙන්වන්නෙ ඔබගෙ උපන් දක්ෂතාවය.
විශිෂ්ටයි
දුක්බර මතකයක් එක්ක එකතු වුන පැහැබර අනාගයක්... සුබ පැතුම් බීටල්.
ReplyDelete