Wednesday, March 19, 2014

87. ගුවන් ගමනේ අභිරහස

Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand

කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර කපාගෙන හීයක් සේ එම මාර්ගයේ ඇදී යයි…  මේ අතර සහායක නියමු අබ්දුල් හමීඩ් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කපිතාන්ගේ නියෝගය ලැබෙනතුරුයි… තවත් සුළු මොහොතකින් යානය මැලේසියානු ගුවන් පාලන සීමාවෙන් ඔබ්බට ඇදී යන බව ඔහු දනී… ඉන් අනතුරුව වියට්නාම ගුවන් පාලන සීමාවට ඇතුළුවීමට පෙර ඇති බ්ලැකවුට් කාලය තුළදී ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කළයුතුව තිබේ…

කපිතාන් ෂා සෙමින් හිස සැලූයෙන් සහායක නියමු හමීඩ් මැලේසියානු පාලක මැදිරිය ඇමතීය…

“SZBTower…This is MH370………..requesting ATC switch to SGN…”

“MH370 maintain 35000…heading……. 30…”

“heading 30…”

“MH370 ATC switch approved………. Good night”

“All right… Good Night…” 

යැයි පැවසූ සහායක නියමු තම හිස පැලඳි රිසීවරය ගලවා දැමීය…

මෙතැන් පටන් සියල්ල අතිශය තීරණාත්මක බව කපිතාන් ෂා දනී… දකුණුපස ඇති FMC පරිඝනකයේ යතුරු අතර ඔහුගේ ඇඟිලි කඩිනමින් දිවයයි… රේඩාර් තිරයේ යානය ගමන් කල යුතු මඟ දම්පැහැයෙන් දිස්වෙද්දී තිරය මත අලුත් මාර්ගයක් සුදු පැහැති කඩ ඉරි වලින් ඇඳෙන්නේ “Are you sure you want to change the course?” යන පණිවුඩය සමඟිනි…

කපිතාන් ෂා තම සහායක නියමු යානයේ ට්‍රාන්ස්පොන්ඩර ක්‍රියා විරහිත කරන තුරු මොහොතක් පමාවිය… තමා මේ කරන්නේ නිවැරදි දේද..? තවත් වරක් සිතන්නට මේ තත්පර කිහිපය ඔහුට ඉසිඹුවක් ලබාදේ… තමා සියයට සියයක් නිවැරදි නැති බව ඔහු හොඳින් දනී… තමා පමණක් නොව තම සහායක නියමුවාත්, මෙම මෙහෙයුමට සම්බන්ධව සිටින අනෙක් සියල්ලෝත් නිවැරදි මිනිසුන් නොවන බව ඔහු දනී… එහෙත් මේ වැරදි මිනිසුන් පිරිසක් එක්ව කරන නිවැරදි වැඩක් බව ඔහුගේ සිත ඔහුට හඬගා පවසයි…

කපිතාන් ෂා ගේ දබරැඟිල්ල “YES” නම සඳහන් යතුර උඩ තෙරපෙද්දී MH370 යානය තම සැමියාට අවනතවන කීකරු බිරිඳක් සේ සෙමින් වම්පසට ඇලවී අලුත් මාර්ගයට අනුගත වෙන්නීය… කැබින් එක වෙත ගුවන් ගමන් සිතියමේ සජීවී දර්ශන නොලැබෙන බව කපිතාන් ෂා තහවුරු කරගනිද්දී තම ගමන් මල්ලෙන් අයි පෑඩයක් පිටතට ගන්නා හමීඩ් එය කපිතාන් ෂා අතට පත් කරයි… අඩි 33000 ඉහළ අහසේ මේ මොහොතේත් ලෝකගෝලය වටා විසිරෙන මැස්සන් රැළක් මෙන් ඔබ මොබ යන ගුවන් යානා සිය ගනනක් විය හැක… සැකයක් නැතුවම ඒ කිසිදු ගුවන් යානයක නියමුවෙකු නොකරන අසාමාන්‍ය කටයුත්තකට MH370 හි මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතගසා තිබේ… කපිතාන් ෂා අයිපෑඩයෙන් ForeFlight ජංගම ම්රුදුකාංගය විවෘත කරගන්නා අතරේදී සහායක නියමුවා  ඔබමොබ ගෙනයාහැකි ADS-B උපකරණයක් ක්‍රියාත්මක කරයි… අයිපෑඩය දෙස සුළු මොහොතක් නෙත් යොමාගෙන සිටන කපිතාන්වරයා ඉන්පසු තම මහපට ඇඟිල්ල ඔසවා සියල්ල සතුටුදායක බව සංඥා කරයි…

දැන් ආරම්භ වෙන්නේ ඉවසීමේ හෝරාවයි… යානයේ එන්ජින් වලින් නික්මෙන බර හඬ හැරෙන්නට සියල්ල සන්සුන්ය… ආලෝක ලාම්පු නිවාගත් යානය අඳුරේම ඉදිරියට ඇදෙයි… කාලය සෙමින් ගතවේ… අයිපෑඩය දෙස නෙත් යොමාගත් වනම සිටින නියමුවන් දෙදෙනාගේ මුහුණේ එක්වරම ඇඳෙන්නේ සිනහවකි…

“බිංගෝ…!” නොදැනුවත්වම කපිතාන් ෂා ගේ මුවින් පිටවේ…

-----------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 16:10 Local time | Place : Kenny Hills Towers, Kuala Lumpur

කාර්යාල කාමරයේ වූ සෝෆාවේ තමා කෙතරම් වේලා නිදාගත්තාදැයි ගුවන් යානා අනතුරු විශේෂඥ රසල්ට නිච්චියක් නොවීය… මේ ගෙවෙන්නේ ගුවන්යානය අතුරුදන්වී 14 වෙනි දිනයයි… හවස්වරුවේ අගමැතිතුමා හා කෙරෙන හමුවේදී ඔහුවෙත ලබාදෙන්නට සතුටුදායක මට්ටමේ තොරතුරක් තමා සතුව නැති බව සිහිවන විට රසල්ට දැනෙන්නේ මහත් අපහසුවකි… තමාව මෙම ගුවන් යානා අතුරුදන්වීමේ අභිරහස විසඳීමට සම්බන්ධ කරගත් මොහොතේ පටන් තම යටිසිතෙන් දිගින් දිගටම බලකල එකම කරුණක් ඔස්සේ පමණක් ලුහුබැඳීම නිසා තමා අතරමං වී ඇති බව ඔහුට දැන් වැටහේ… එහෙත් මෙතෙක් කල් ඔහු පරීක්ශන රාශියක් සාර්ථකව අවසන් කලේත් මෙම මුරණ්ඩු හිතලු ඔස්සේ හඹා යෑම නිසා බවද ඔහු දනී…

ගැටවර චීන පරිගණක ඉංජිනේරුවරයා පෙර දිනයේදී ඔහුට ලබා දුන් කපිතාන් ෂා ගේ ගුවන්යානා සිමියුලේටරයේ මකාදැමූ දත්ත වල මුද්‍රිත සටහන් අපිළිවෙලට ඔහුගේ කාර්යාල කාමරය පුරා විසිරී ඇත… මේ වනවිට දහස්වරකටත් වඩා පරීක්ශා කරන්නට ඇති යැයි සැක කෙරෙන ඉන් එක් සටහන් පිටුවක් නැවතත් ඔහු ඇහිඳගත්තේය… 

මෙහි ඇත්තේ මීට දින කිහිපයකට පෙර කපිතාන් ෂා විසින් තම සිමියුලේටරයෙන් පදවා ඇති පුහුණු ගුවන් ගමනක සිතියමකි… දැනට හෙලිවී ඇති තොරතුරු අනුව MH370 යානයේ ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත වූ තැන් පටන් මැලේසියානු හමුදා රේඩාර් වල යානය සටහන් වූ තැන් දක්වා MH370 යානය ගමන් කර ඇතැයි සැලකෙන මාර්ගය මේ පුහුණු ගුවන් ගමනේ මාර්ගය හා ටක්කෙටම ගැලපෙයි…

නමුත් මෙතැනින් එහාට ඒ ගැන ගලපා ගත හැකි සම්බන්ධය කුමක්ද..? පුහුණු ගුවන් ගමනේ පථයට අනුව බෙන්ගාල බොක්ක හරහා ගුවන් යානය ඉන්දියානු ගුවන් සීමාවට ඇතුළු වී එතැනින් පකිස්තාන් ඇෆ්ගනිස්තානය හරහා ස්පාඥ්ඥ්යේ බාර්සිලෝනා නුවරින් අවසන් වේ… මෙය ජනප්‍රිය ගුවන් ගමන් පථයකි… MH370 යානය මෙම මාර්ගයේ නොගිය බව සහතික කල හැක්කේ අතිශය සංවේදී ගුවන් කලාපයක් වන මෙහි ඉන්දියානු පාකිස්තාන රේඩාර් වල එවැනි ගුවන් යානයක් සටහන් නොවීමයි… මෙම රටවල් වල ස්ථාපිත කර ඇති අතිශය සංවේදී හමුදා රේඩාර් වලට හසු නොවී බෝයින් 777 යානයක් ගමන්ගත්තේයැයි සැලකීම විහිළුවකි…  එහෙත් MH370 හි අභිරහස විසඳාගැනීමට මෙම පුහුණු ගමනේ කිසියම් හෝඩුවාවක් ඇතැයි සිතන්නට රසල්ගේ යටිසිත දිගින් දිගටම ඔහුට බලකරයි…

වටයක් කැරකී නැවතත් පළමු කොටුවටම පැමිණි රසල් සුසුමක් හෙලා විදුලි කේතලය ක්‍රියාත්මක කලේ  දිගින් දිගටම තර්ක කිරීම නිසා ඔද්දල් වූ මනස ප්‍රබෝධමත් කරගනු වස් වූයේ කෝපි කෝප්පයක් පානය කිරීමේ අටියෙනි… වතුර රත්වෙනතුරු මහල් නිවාස සංකීර්ණයේ ඉහල මාලයක සිට එලිය බලාගෙන සිටි රසල්ට , සිරිපොද වැස්සේ තම මහල් නිවාසය දෙසට ඇදී එන රතු පැහැති කුඩය බිරිඳගේ බව හඳුනා ගැනීම අපහසු නොවීය… ඇය වෙනුවෙන් තවත් කෝපි කෝප්පයක් පිළියෙල කරගෙන විසිත්ත කාමරයට එන විට;

“ඔන්න අපි වැස්සත් අරගෙනම ආවා…”

යැයි පවසමින් රසල්ගේ බිරිඳ නිවසට ඇතුළුවිය…

“කවුද අපි…?”

රසල් අසද්දී

“කෝ මට කෝපි..?”

යැයි පවසමින් බිරිඳ පිටුපසින් නිවසට ඇතුළුවූයේ ඔවුන්ගේ සෙනෙහෙබර දියණියයි…

“කවුද දන්නේ දුවත් එනවා කියලා…මම දැක්කේ ඔයාගේ කුඩේ විතරනේ…”

“ඉතිං එක කුඩේ යටින් දෙන්නෙකුට එන්න බැරිද..?”

රසල්ගේ බිරිඳ අසද්දී එයට පිළිතුරු දුන්නේ ඔහු නොවේ… සුළුමොහොතක් ගල්ගැසී ඔවුන් දෙදෙනා දෙස තුශ්ණිම්භූතව බලාසිටි රසල් හනික තම කාර්යාල කාමරය දිවගියේය…

එහි වූ තම පරිඝනක යන්ත්‍රය විවෘත කරගත් ඔහු යුහුසුළුව MH370 ගුවන් යානය අතුරුදන් වූ දිනයේ ගුවනේ වූ අනෙකුත් යානා වල ගමන් මාර්ග පිරික්සන්නට විය…

“බිංගෝ….!” මොහොතකට පසු ඔහුගේ මුවින් පිටවූයේ නිතැතිනි…

--------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 18:40 Local time | Place : Unknown

අගමැතිවරයා මෙතරම් ආතතියකින් සිටිනු ඔහුගේ සේවකයින් කිසිවෙකු මින් පෙර දැක තිබුණේ නැත… පසෙකින් දිගින් දිගටම නැගෙන උද්ඝෝශනයි… ලොවම ඇස් කන් යොමාගෙන සිටින මෙම සිදුවීම දැන් කෙමෙන් රජය අස්ථාවර වීමක් දක්වා දුර දිග යන බව පෙනෙන්නට තිබේ… සියල්ලටම වැඩියෙන් කපුටන් මෙන් හැම කුණුගොඩම අවුස්සන ලෝක ජනමාධ්‍යවලින් රජයේ සුවිශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් පමණක් දන්නා සත්‍ය කරුණු තව කොතෙක් දුරට වසන් කරගත හැකිදැයි පවතින අවිනිශ්චිතතාවයි… අද දිනයේ යානය සඟවා ඇති තැන සොයා නොගතහොත් තවත් කල් මැරීම නොකල හැකි දෙයක් බව අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට පැහැදිලිය… මුහුද පීරමින් සිටීම දිගින් දිගටම කලහැකි ප්‍රෝඩාවක් නොවේ…

කොල්ලකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් හොරරහසේ ඔවුන් වෙත බාරදීම වෙතට තමන් ක්‍රමයෙන් තල්ලු වෙන බව අගමැතිවරයාට වැටහෙන්නට විය… රසල් ඔහු හමුවට පැමිණියේ මෙවැනි පසුබිමක් යටතේදීය… අතිශය රහසිගත ස්ථානයක කෙරෙන මෙම සංවාදයේදී රසල් විසින් විස්තර කරන කරුණ විශ්වාස කිරීමට අගමැතිවරයා මදක් පැකිළුනි…

“රසල් කියන්නේ තවත් බෝයින් 777 එකක් මාර්ගයෙන් MH370 එක රේඩාර් වලට අහු නොවී ෆ්ලයි කලා කියලද..?”

“ඔව් ඒකට කියන්නේ ෂැඩෝ ෆ්ලයින්ග්… සිමියුලේටර් එකක මේක කරලා බලලා තියෙනවා මිසක් ඇත්තට මේ අවදානම කවුරුත් අරගෙන නැහැ… අතිශය පළපුරුදු ගුවන් නියමුවෙකුට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි…”

“හොඳයි කොහොමද මේක කලා කියලා රසල් සැක කරන්නේ?”

“සැක කරනවා නෙමෙයි… කැප්ටන් ෂා කලේ මේකම තමයි මට විශ්වාසයි… හරියටම මේ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් වුන තැනට සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් SG58 කියන බෝයින් 777 එකට තිබිලා තියෙන්නේ විනාඩි 15ක දුරක්… MH370 එකට කරන්න තියෙන්නේ ඒ ෆ්ලයිට් එකට උඩින් හෝ යටින් ෆ්ලයි කරන ගමන් SG58 ෆ්ලයිට් එකට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ශන්ස් හැක් කරලා ඒ ඉන්ස්ට්‍රක්ශන්ස්ම ෆලෝ කරන එක… MH370 ට්‍රාන්ස්පොන්ඩර්ස් ඔෆ් කරලා නිසා SG58 වලට තමන් ළගින් තව ෆ්ලයිට් එකක් ෆ්ලයි කරන බව ඇලර්ට් වෙන්නේ නැහැ… ඉන්දියා, පකිස්තාන් ඇෆ්ගනිස්තාන් එයාර් ස්පේස් එක මේ විදියට SG58 එකට මුවාවෙලා රේඩාර් වල ට්‍රැක් නොවී පැනගත්ත ගමන් ඊට පස්සේ තියෙන ඕපන් ස්පේස් එකේදී SG58 ශැඩෝ එකෙන් මිදිලා තමන්ට අවශ්‍ය තැනට ලෑන්ඩ් කරන්න පුළුවන්… MH370 එකේ තිබුන ඉන්ධන එක්කත් සලකලා, ආරක්ශාව වගේ බාහිර කාරනාත් සලකද්දී මේවගේ හොස්ටේජ් මිෂන් එකකට ලෑන්ඩ් කරන්න හොඳම තැන විදියට මට හිතෙන්නේ මෙන්න මෙතන… සර්ට හිතෙන්නේ මොකද්ද…?”

මේසය මත දිගහැර ඇති සිතියමේ ටර්ක්මේනිස්තාන්හි එක්තරා ගුවන් පථයකට තම දබරැඟිල්ල තබමින් රසල් පැවසීය…

“මට හිතෙන්නේද? මට හිතෙන්නේ උබව ඉඹගෙන ඉඹගෙන යන්න…”

අගමැතිවරයා සතුටින් ඉපිලෙමින් පැවසීය…

---------------------------------------------------------------------------------

Date : 22nd March 2014 | Time : 02:10 Local time | Place : Somewhere in Turkmenistan

ප්‍රහාරය  සැලසුම් කෙරුනේ අදහාගත නොහැකිතරම් වේගයකිනි… සියළු මඟීන් නිදාසිටින රාත්‍රී කාලයේ ඔවුන් රඳවාගෙන සිටි අතහැරදැමූ ගුවන් යානා ගොඩනැඟිල්ල වෙත කඩාවැදීම ප්‍රහාරයේ සැලසුම විය… බිම නිදා සිටින මඟීන් ප්‍රහාරයට ලක්වීම අවම වීමත් සිටගෙන සිටින ත්‍රස්තවාදීන්ට පහසුවෙන් පහරදීමටත් හැකිවීම මීට පෙරද මෙවැනි බේරාගැනීමේ මෙහෙයුම් වල සාර්ථක වී ඇති සැලැස්මකි…

මානුශික මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව අසන්නට සූදානමින් ප්‍රහාරය අනුමත කල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පුල පුලා බලා සිටියහ… ආරංචිය නිවේදනය කලේ හමුදාපතිවරයායි…

“මඟීන් සහ කාර්ය මණ්ඩලය 237ක් නිරුපද්‍රිතයි… ත්‍රස්තවාදීන් 12ක් සහ මඟීන් දෙන්නෙක් මියගියා… ඔවුන් දෙන්නාගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට විනාශ වී තිබෙනවා… ”

“මඟීන් දෙන්නා කවුද..?”

“හොර පාස්පෝර්ට් වලින් ගිය දෙන්නා…”

හමුදාපතිවරයා පැවසූයේ ඇසක් ඉඟි මරමිනි…

~නිමි~

ප.ලි. : මේ ලොවක් මවිත කල MH370 යානය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියදී අන්තර්ජාලයේම නොයෙක් විට ඇසගැටුණු conspiracy theories වල අනුසාරයෙන් මැවුනු හිතළුවක් බව නොකිවමනාය… ජීවිතයටම ෆ්ලයිට් ඩෙක් එකකට ඇතුළුවීනැති මා විසින් මෙහි වැරදියට සඳහන්කර ඇති දේ බොහෝ විය හැක…

හදිසි අනතුරු යනු අප්‍රසන්නතම අත්දැකීමකි… එයිනුත් ගුවන් ගමන් අනතුරු අප්‍රසන්නතාවයෙන් ඉදිරියෙන්ම සිටිතැයි සිතමි… හදිසිඅනතුරකින් මියෙන්නෙකුට තමා මියෙන බව දැනෙන්නේ මිලි තත්පර කිහිපයක් විය හැක.. නමුත් ගුවන් අනතුරකදී ඒ කාලය ඉතා වැඩියැයි සිතමි… වරක් low visibility යැයි පවසමින් මා ගමන්ගත් ගුවන් යානය ගොඩබාගැනීමට තැනක් සොයමින් නියමුවන් තතනද්දී එය අතිශය සුළු හදිසි අවස්ථාවක් වුවද මා යහමින් බිය වූ බව පැවසූවොත් එය වැරදි නොවේ… නියත අනතුරකදී මෙම මරබිය සිය දහස් ගුණයකින්  වැඩි ඇතැයි සිතමි…

ඉතින් අතුරුදන්ව ඇත්තේ 239 ක් හීන පිරුනු ජීවිතයි… ඔබට මට මෙන්ම ඔවුන් එනතුරු කඳුලු බොමින් බලා සිටින පවුල්වල හිතවතුන් සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි…

ශැඩෝ ෆ්ලයින් නැමති මේ සිත් ඇදගන්නා සුළු සංකල්පය මා දුටුවේ Keith Ledgerwood නැමැත්තෙකුගේ ලිපියකිනි… එය කියවන්න මෙතැනින්

102 comments :

  1. අපූරුයි ! මේ ලෝකේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන එකතමා මගේත් පිළිගැනීම. සමහර විට මේ තියරිය හරි වෙන්න පුළුවන්. බලන් ඉදිමු.

    උඹට ස්තූතියි මේක ලස්සනට එළියට දැම්මට.

    එක එක වර්ශන් වලින් එන මත්තල තියරියනම් දැන් අහන් ඉන්න බැරි තරමට තිත්ත වෙලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා මට උබවත් මතක් වුනා ඊයේ මේක ලියද්දී... ඇත්තම කියන්නම්, මට කරන්න ඕනේ වුනේ මෙහෙමයි... මේ කතාව කොටස් තුනකට කඩලා උඹෙත් ඩූඩ්ගේත් මගේත් බ්ලොග් වල පෝස්ට් තුනක් විදියට පළකරමුද කියලා අහන්න මට උවමනාව තිබුණේ... අර අන්තිම රෙස්කිවු මිෂන් එක එහෙම උඹ පණ පිහිටුවලා ලියාවි කියලා මට හිතුණා... ඒත් ඒක කෝඩිනේට් කරගන්න කාලයක් යනවා... මට මේ පෝස්ට් එක ඊයේම පළකරන්න අවශ්‍යතාවය තිබුණා... ඉදිරි දින කිහිපය ඇතුළත මෙම අභිරහස විසඳේවි යැයි මට තිබුණ හැඟීම දැන් වැරදි නැහැ කියලා හිතෙනවා... ඔස්ට්‍රේලියාව අවට මුහුදේ ගුවන් යානයේයැයි සැකකල හැකි කොටස් හමුවෙමින් තිබෙණවා... අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳෙන බවයි පෙනෙන්නේ...

      Delete
    2. ඒකනම් මරු අයිඩියා එකක්. ඒත් උඹ මෙහෙම පළකරපු එක හොඳා. රහස විසඳුනානම් මේකෙ උපයෝගීතාවය නැතුව යනවා තමා.

      අයියෝ එහෙමද ? මමත් ප්‍රාර්තනා කළේ පැහැරගැනීමකට ලක්වෙලාහරි ඔවුන්ට ජීවත් වෙන්න ලැබේවා යන්නයි. ඒත් හයිජැක් කළාය කියන එක ගැන එච්චර ප්‍රායෝගික තර්කයක් නෙමේ කියන එක දවස් තුනකට විතර පස්සේ මට තේරුනා. මොකද කවුරුවත් ආසාවට ප්ලේන් හයිජැක් නොකරන නිසා.

      Delete
    3. ඔව්... ඒ නිවුස් එකටත් අනුව වුනත් කතාව පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් දැන් උනත්...

      අද දිනයේ යානය සඟවා ඇති තැන සොයා නොගතහොත් තවත් කල් මැරීම නොකල හැකි දෙයක් බව අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට පැහැදිලිය… මුහුද පීරමින් සිටීම දිගින් දිගටම කලහැකි ප්‍රෝඩාවක් නොවේ… නැතිනම් අලුත් සැලසුමකට අනුව, වෙනත් බෝයිං යානයක කොටස් හොර රහසේ මුහුදට මුදාහැරිය යුතුව තිබේ...//

      කියලා දාන්න තිබුනා.. වෙලාවකට මේ සේරම තෙරුමක් නෑ බන් අර චාර්මි කිව්වා වගේ මිනිහෙක් කුඩුවෙන්න යන්නේ තප්පර ගානයි... අර ලංකාවේ ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකක් වෙල තිබුනේ... සංසාරේ එපාවෙනවා ඒ ෆොටෝ දකිද්දී...

      Delete
  2. කතාව එක හුස්මට කියවගෙන ගියා. ඒත් හිතට වැදුනේ මෙන්න මේ කොටසනේ.

    //කපිතාන් ෂා ගේ දබරැඟිල්ල “YES” නම සඳහන් යතුර උඩ තෙරපෙද්දී MH370 යානය තම සැමියාට අවනතවන කීකරු බිරිඳක් සේ සෙමින් වම්පසට ඇලවී අලුත් මාර්ගයට අනුගත වෙන්නීය…//

    කිසිසේත් එකඟ විය නොහැකිලු....:D:D

    වෙන කමෙන්ට් එකක් පස්සේ දාන්නම්...:)

    ReplyDelete
    Replies
    1. මේ කෑල්ල ලිව්ව ගමන් මම ස්ත්‍රී පිඩක මෙව්වා එකෙක් විදියට උද්ගෝෂන කරන බවත් ඔයා ඒකේ පෙරමුන ගන්න බවත් මම දැනගෙන හිටියා :) ඒ බයටම මම වෙන වෙන උදාහරණ දෙක තුනක්ම ට්‍රයි කලා... ඒත් මේක වගේ හැඩට ආවේ නෑ.. :)

      Delete
    2. ඇත්තටම ඒක හරි හැඩයි බීටලේ 
      ඉන්දරේ

      Delete
    3. ලස්සන උදාහරණයක්නේද පොඩ්ඩි , කතාවත් ලස්සනට ගොතලා තියෙනවා.හැබැයි මේ විදිහට ප්ලේන් එකකට නගින්නත් බයයි .

      Delete
    4. ස්තූතියි ඉන්දරේ, සෝන්යා

      Delete
  3. ''ශැඩෝ ෆ්ලයින්'' කියන්නෙ සංකල්පයක් විතරද , ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. මමත් හරියට දන්නේ නෑ මචං... මේවගේ ලොකු ෆ්ලයිට් වල කරන්න බැරුව ඇති...

      Delete
    2. අද BBC එකේ දාලා තිබ්බ වියහැකි සිදුවීම් දහයක්. මේකත් සඳහන් කරලා තිබුණා. කවුද දන්නේ ඔවුන් එය උත්සාහ කලාද කියලා. හැබැයි යන තැනක බාන්න තැනක් තියෙන්න ඕනේ.

      Delete
    3. කියන්න අමතක වුණා. ජපන්නු පර්ල් හාබර් එකට පහර දීලා තියෙන්නේ ඇමරිකානු ෆ්ලයිට් එකක සැඟවිලා ගිහින්. නමුත් රේඩාර් යන්ත්‍ර කිහිපයක් ක්‍රියාත්මක වන නගරයක මෙය අපහසු වන්නට පුළුවන්.

      Delete
  4. ෂැඩෝ ෆලයින්ග් ගැන මාත් අහල තියෙනවා ඒක හුගක් දුරට යුධ ගුවන් උපක්‍රමයක්.. කුඩේ යටින් දෙන්නෙක් යන සීන් එක වැදුන හැටි නං මරු.. කතාවක් විදියට උපරිම විදියට තියෙනවා බං කතාව.. හරිම සාර්ථක කතාවක්.. මේ කතාව උනත් බොක්ස් ඔෆිස් වාර්තා තියන පිලුම් එකක් කරන්න පුළුවන් අගේට. ඊට වඩා වටින්නේ උඹේ තියෙන මන්ෂ්‍යත්වයයි.. උඹ මේ සිද්ධිය දිහා සෑහෙන ඇහැ ගහගෙන ඉදල තියෙන අතරේ මගීන් හා පිරිස් ගැන තාමත් බලාපොරොත්තු අත හැරල නැති බවත් ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙන බවත් හොරපාස්පෝට් දෙන්නා ගේ මරණෙන් මට තහවුරු උනා.. ජය වේවා බීටෝ.. කාලෙකින් මේ වගේ රසවත් එකක් කියෙව්වෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං...

      Delete
  5. ඉතාම ලස්සන විද්‍යා ප්‍රබන්ධයක්. මෙවැනි නිර්මාණයක් කරන්න සෑහෙන ශක්තිමත් සහ තාර්කික උපකල්පනයක් අවශ්‍යයි. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක... හඳුනාගන්න බැරිවෙන්න තුවාල වුනු මලසිරුරු ගැන සඳහන් කරද්දී භාවිතාවෙන විශේෂ හමුදා වචනයක් එහෙම තියේද කියලා හැකිනම් කියලා යන්න... මම එහෙම වචනයක් හෙව්වා නමුත් හොයාගන්න බැරිවුනා...

      Delete
    2. මමත් එහෙම විශේෂ වචනයක් නම් දන්නේ නැහැ. හමුදාවේදී කියන්නේ මෙහෙමයි

      KIA = Killed in Action

      MIA = Missing in Action

      WIA = Wounded in Action

      un identified bodies

      Delete
    3. ස්තූතියි විචාරක... එහෙනම් ඒවාත් un identified bodies වෙන්නැති...

      Delete
  6. දැනට තියන තොරතුරු අනුව බීටල් ගේ කතාව සෑහෙන සිද්ධවෙන්න පුළුවන් එකක්. මට තියන අවුල තමයි මේකට ග්‍රවුන්ඩ් සපොර්ට් එකක් තිබ්බා නම් එහෙම, කොහෙන් හරි ලීක් වෙලා මේ වෙනකොට මේක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ෂැඩෝ ෆ්ලයිං සාමාන්‍යයෙන් කියවෙන්නේ ප්‍රහාරක යානා සම්බන්ධවනේ... ප්‍රායෝගිකව බෝයිං 777 එකක් එහෙම ෆ්ලයි කරන්න පුලුවන් ද දන්නේ නෑ. හැබැ‍යි SQ68 එකේ පාත් එකයි, MH370 සැටලයිට් පින්ග්ස් ගලපලා පින්ග්ස් ආපු හැමවෙලේම SQ68 එකත් එක්ක පොසිෂන් එක මැච් කරලා බලන්න පුළුවන් නේද? මම තව කල්පනා කරන දෙයක් තමයි උදේ 8ටත් පින්ග්ස් ආවා නම්, සැටලයිට් ෆොටෝ එකකින් මේක හොයන්න බැරිද කියන එක... සැටලයිට් වලින් ෆොටෝ ගන්නෙ කොයි වගේ වෙලාවටද කියලා නම් දන්නෙ නෑ.

    මමත් හැමදාම උදේ ඇහැරුන ගමන් බලන්නේ මොනවා හරි අප්ඩේට් එකක් තියනවද කියලා. මැලේසියාවෙන් මේක හැන්ඩ්ල් කරන හැටි නම් අන්තිමයි. අර මිලිටරි රේඩාර් කතාව මතු උණහම ඒක ප්‍රතික්ෂේප කලා, සැටලයිට් පින්ග්ස් ප්‍රතික්ෂේප කලා. නමුත් ඒ ඔක්කොම දැන් ෆැක්ට්ස්. දැන් අර මාල දිවයිනේ කතාව ප්‍රතික්ෂේප කරලා... ඕස්ට්‍රේලියාවේ තියන සැටලයිට් එකක මේක ගැන සඳහන් වෙන්න ඕනේ කියලා රිපෝර්ට් එකක් ඊයේ දැක්කා. ඒවා මිලිටරි ඒවා නිස හෙලි නොකරන කතාවක් කියන්නේ..

    //මේසය මත දිගහැර ඇති සිතියමේ ටර්කෙමිස්තාන් හි//
    ටර්ක්මේනිස්තාන්
    // සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් 58 කියන බෝයින් 777 එකට//
    SQ68

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි මචං වැරදි දෙකම හැදුවා...

      උඹ ඉන්න තිබුණේ ඔතන නෙමේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ... (එහෙම එකක් තියෙනවානං :D ) උබ කියලා තියෙන විදියට සැටලයිට් ෆොටෝ වලින් ඔස්ට්‍රේලියාව අවට මුහුදේ ගුවන්යානා සුන්බුන් හඳුනාගනිමින් ඉන්නබව නිවුස් වල දැක්කා...

      Delete
    2. අර මගීන් දෙන්න ගැන උඹ මොකද්ද කියන්න හදන්නේ කියලා මම සෑහෙන කල්පනා කලා... මගීන් සහ ත්‍රස්තවාදීන් කියන දෙපිරිස අතර ලින්ක් එක තමයි පයිලට්ලා දෙන්නා... ඒ නිසයි එහෙම හිතුණේ.

      ඔස්ට්‍රේලියාවෙන් යානයේ යැයි සිතිය හැකි සුන්බුන් හොයාගෙන කියලා මම දැක්කා... ඔක්කොම කොමියුනිකේෂන් සිස්ටම්ස් ඩිසේබල් කරලා තියන එකේ, ෆ්ලයිට් ඩාටා රෙකෝඩර් එකයි කොක්පිට් වොයිස් රෙකෝඩර් එකයි දෙකමත් ඩිසේබල් කරලා ඇති. එහෙම කරලා තිබ්බා SilkAir 185. ඒ හින්දා මේකෙ අගමුල කවදාවත් අපිට දැනගන්න නොලැබෙන්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා...

      Delete
    3. මෙතන මට අපැහැදිලි තව තැනක් තමා ඔක්කොම කොමියුනිකේෂන්ස් ඩිසේබ්ල් කරලා තියෙද්දි ඇයි උදේ 8 වෙනකං සැටලයිට් පින්ග්ස් දුන්නෙ කියන එක.! මේක automatic hourly handshake එකක් නං ඒකත් ඩිසේබ්ල් කරන්ට පුළුවන්නෙ.. මෙච්චර පළපුරුදු නියමුවෙක් මෙහෙම කොමියුනිකේෂන් එකක් වෙනවා කියලා නොදැන ඉන්ටත් බැහැ නේ.. මේක හිතාමතාම ‍නොමග යැවීමේ අරමුනෙන් කරපු වැඩක්ද.?

      Delete
    4. " මැලේසියාවෙන් මේක හැන්ඩ්ල් කරන හැටි නම් අන්තිමයි"
      මේකත් ඇත්තමද එහෙම නැත්නම් මෙහෙම පේන්න අරිනවද?

      Delete
    5. බුරා
      මම අන්තර්ජාලයේ කියවපු විදියට ACARS කමියුනිකේශන් එක සහ මේ සැටලයිට් pings යවන ඩිවයිස් එක ලේයර්ස් දෙකක්... ACARS එක පහසුවෙන් ස්විච් ඕෆ් කලත් මේ ping එක නවත්තන්න ඒ සම්බන්ද කාර්මික දැනුමක් අවශ්‍යයි කියලයි මට වැටහුනේ... ඒක ACARS එක ඕෆ් කරනවා වගේ ස්ට්‍රේට් ෆෝවඩ් නැති බවයි පේන්නේ... ඒක නිකම් කනෙක්ශන් එක ස්ටේබල් තියාගන්න ඉබේම යන ඩිජිටල් හෑන්ඩ් ශේක් එකක්නේ... කොච්චර පළපුරුදු පයිලට් කෙනෙක්ට උනත් inner layer එකක තියෙන මේ කමියුනිකේශන් එක මඟඇරෙන එක ලොකු පුදුමයක් නෙමේ නේද..? ඒක කවුරුහරි deliberately එහෙම වෙන්න ඇරියා කියන එකනං සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්... එක්කෝ උන් ගල් ආඳෝ නැත්තං උඹ උන්ටත් වඩා ගල් ආඳෙක්... :D

      මේ තියරි සේරම වෙනස් වෙනවා කමියුනිකේශන් ඩිසේබල් වෙන්න හේතුව ගින්නක් වගේ දෙයක් නම්...

      Delete
    6. තිස්ස අයියා
      මොකක් හරි කවුරු හරි හොයාගත්තාම උන් ඒක ප්‍රතික්ශේප කරන්න තියෙන හදිස්සියත්, උන්ට යමක් තනියම හොයාගන්න ගියාම තියෙන පමාවත් නම් අහසට පොළව වගේ...

      Delete
    7. බීටා,

      උඹේ comment එකෙන් පස්සෙ මාත් අන්තර්ජාලෙ පොඩ්ඩක් හෙවුවා.. උඹ හරි, ACARS එක disable කලා කියලා ඒ system එක සම්පූර්ණයෙන්ම down යන්නෙ නෑ, standalone වෙලා තියෙනවා.. හරියට අපි computer එකක් sleep mode එකේ තියෙනවා වගේ.. පයිලට්ට ඕනකමක් තිබුනත් ping එක නවත්තන්ට බෑ.. එහෙම කරන්ට ඕනම නං සිස්ටම් එකට physically හානි කරන්ට ඕන..

      Delete
    8. මම දැනට සැක කරණ දේ කියන්නම්. නිදාගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්න පුළුවන්, ඒත් නිදි වගේ ඉන්න කෙනෙක් ඇහැරවන්න බෑ. මැලේසියානු රජයේ හැසිරීම අනුව මේක නිදි වගේ ඉඳීමක්. ඒ නිසා මේක හොයන්න පහසු නෑ. හිතන්න ගොඩබිමේ සහයක් නැතිව මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා. අර මගීන් දෙන්නත් දාලා සැකයක් ඇති වෙන විදියට වැඩේ දීලා කියලයි හිතෙන්නේ.

      Delete
  7. මේක ඇත්තක් වෙනවා නම් මොන තරම් හොඳද?
    බර්ටෝල් බ්‍රෙෂ්ට් කියලා කියෙනවාලු එක තැනක කතාවක් පටන් ගනිද්දී බිත්තියකට තුවක්කු දෙකක් හේත්තු කර ඇත්නම් කතාව අවසාන වන විට අඩුගානේ ඉන් එක තුවක්කුවත් පත්තු විය යුතුයි කියලා.., මේ කතාවේ මට පේන පත්තු වෙච්චි නැති තුවක්කුව තමා පයිලට් අහමඩ් ෂා චරිතය.. අර මැරුණ ත්‍රස්ථවාදීන් 12 ඇතුලේ එයාත් ඉන්නවාද නැද්ද කියන එක මතු කලා නම් කතාව සංවෘත වෙනවා නියමෙටම.!
    අවුල් ගන්න එපා මේකේ තියෙන තාක්ෂණික කාරණා කල්පනා කරලා මෙහෙම කතාවක් පබඳන්න තියා මට හිතාගන්නවත් බෑ.., ඒත් මම මතුකල කාරණාවට බීටා මා එක්කලා තරහා නොවෙයි කියලා හිතනවා..!
    ස්තූතියි උදේම ලස්සන කතාවක් කියවන්නට දුන්නට..
    ජය! :)

    ReplyDelete
    Replies
    1. පයිලට්ලාට වුණේ මොකද කියලා කතාවේ ඉඟි කෙරෙනවා කියලා මට හිතෙන්නේ...

      Delete
    2. ලිශා උඹේ කතාව හරි... ඒක පත්තු වෙලා නෑ තමයි... ඒ තුවක්කුව පත්තු වේවිද කියලා තමයි අපි හැමෝම බලාගෙන ඉන්නේ... කතාවේ ඔහු ත්‍රස්තවාදියෙක් කරන්න මම ගොඩක් පසුබට වුනා... එකක් ඔහු ඇත්ත චරිතයක්... අනෙක කිසියම් අනතුරකින් සැබෑවටම තම ගුවන් යානය බේරාගන්නට අවසාන මොහොත වනතෙක් සටන් කල වීරයෙක් වෙන්නත් පුළුවන්... මේ කතාවට ඇත්ත නම් යොදා නොගන්නත් මම හිතුවා... ඒත් ඉතිං මේ හුදකලා බ්ලොග් පෝස්ට් එකෙ ඇත්ත නම් තිබුණා කියලා ඇති ගැටළුවක් නැති නිසා ඒවා වෙනස් කලේ නැහැ...

      @තිසර,
      කවුදෝ කිව්වා වගේ උඹ හිතන විදියට මම ආසයි.. ඒත් මෙතනදි ඒ අවසාන සිද්ධියෙන් මම අදහස් කළදේ මම එලි කරන්නම්... ඒ දෙදෙනා දැනටමත් අනවසර විගමන මෙව්වා එකෙන් වැරදිකරුවන්... ඉතිං මම අදහස්කලේ රෙස්කිව් මිෂන් එකේ හමුදා නිලධාරියා ඔවුන් දෙදෙනාට පැනයන්න උවමනාවෙන්ම සිදුරක් හදාදුන් බවයි... හඳුනානොගත් ලෙස තුවාල වී ඇති මල සිරුරු දෙක ත්‍රස්තවාදීන්ගේම විය හැකියි... පයිලට්ලා මරන්න මම පැකිලුනා...

      Delete
  8. ගුවන් යානා අබිරහස ගැන මම දැක්ක හොඳම කතාව. නොතේරුණු කෑලි බෑලි ගොඩයි. ඒත් ඒකෙන් ඉගෙන ගන්න තිබ්බ දේවලුත් ගොඩයි :)

    ReplyDelete
  9. හොඳට ගලපල තියෙනවා. සමහර විට ඇත්ත මේකද කියන්නත් බැහැ.

    ReplyDelete
  10. maxxxxaaaa..... harima aasaawen kiyewwaa.... keep it up ...

    ReplyDelete
  11. නියම කතාවක්.මටනබ් ඇත්ත කියලමයි හිතෙන්නෙ.අනික මම ආසම කැටගරියෙ කතාවක්.

    ReplyDelete
  12. කතා රසය උපරිමයි.... මේ සිදුවීම ගැන පළ වුණු තොරතුරු අරගෙන මෙවැනි කතාවක් ගොඩනගන්නට හැකි වීම කොයි තරම් අපූරුද? මට වඩාත් හිතට දැණුනා මේ කොටස..

    ''.......ඉතින් අතුරුදන්ව ඇත්තේ 239 ක් හීන පිරුනු ජීවිතයි… ඔබට මට මෙන්ම ඔවුන් එනතුරු කඳුලු බොමින් බලා සිටින පවුල්වල හිතවතුන් සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි…''

    අපිත් බලා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත, ලන්කාවිත්ති, බඩී, දමිත්, තරුරසී ඔයාලා හැමෝගෙම ප්‍රතිචාර වලට...

      Delete
  13. මට මේක කියවනකොට මතක් උනේ අර flightradar24.com එකේ එකම ට්‍රැක් එකේ එකකට එකක් උඩිං ප්ලේන් යද්දි උඩ එකේ ඉන්ෆොමේෂන් පෙන්නුවට යට තියෙන එකේ පෙන්නන්නෙ නැතුව තිබ්බ එක.

    මේ කතාව නියමෙට ගලපල ලියල තියෙනව. ඇත්තටම විශිෂ්ටයි.

    හැබැයි ඉතිං ප්‍රහාරක යානාවලට ඕක කරන්න පුලුවං උනත් ඔයතරං බරසාර ප්ලේන් දෙකකට ඔය වැඩේ කරන්නනං සෑහෙන්න දක්ෂ පයිලට්ල ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව්..සමහර විට කරන්න බැරුවම ඇති නේ..? නැතිනම් මේවිදියේ දෙයක් වුනාද කියන එක ගැන මීට වඩා පරීක්ශණ වෙන්න එපැයි...

      Delete
  14. ගුවන් යානය අතුරුදහන් වීම ගැන මාත් ලියන්න හිතුව එකක්. ඒක ටිකක් කොමඩි පැත්තට බර එකක් නිසා මේ වෙලාවෙ ලිවිීම හොඳ නෑ කියල හිතුන නිසා අත්හැරල දැම්ම. ඒ වෙලාවෙ මට මතක් උනේ මේක ලියන්න හොඳම කෙනා බීට්ල් කියල. පුදුමයකට වගේ උඹ ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක සංවේදී සිදුවීමක් හින්දා එක එක විදියට බලන්න තියෙන විදි වැඩියි... විශේෂයෙන් කොමඩි පැත්තට බර වෙද්දී...හැබැයි බටහිර කොමඩි වැඩසටහන් වලනම් මේක විහිළුවට ගන්නවා මම දැක්කා...අපි ටිකක් වෙනස් විදියට හිතන නිසා තමයි මේ ගැන සංවේදී මම හිතන්නේ... මේ කතාවෙත් ඊයේ මම පළවෙනි ජේද කිහිපය ලියලා ඔන්ලයින් හිටි මිතුරන් කිහිපදෙනෙකුගෙන් ඇහුවා මේක මෝඩ ජෝක් එකක් වෙයිද නැතිනම් ලියන්නද කියලා... ඒ සේරම ධනාත්මක ප්‍රතිචාරයක් දුන්නේ නැතිනම් මමත් අතෑරලා දාන්න තිබ්බා...

      Delete
  15. නියම කල්පිතයක්. හොඳටම වැඩේ කරලා තියනවා. ඔහොම යං

    ReplyDelete
  16. very nice work keep it up. i'm also aware of this MH 370 incident, will see what is going on. god bless to those 239 passengers. this story is highly attractive & most logical one. again well done.

    ReplyDelete
  17. මම අර රස දේවල් පිඟානේ ඉතුරු කරගෙන ඉඳලා කන්නේ අන්තිමට වගේ ක්‍රමවේදයක් තමයි අනුගමනය කලේ. මම මේ පේජ් එක කලින් ඇරියට නිවි සැනසිල්ලේ කියවන්න ඉතුරු කරලා තිබ්බා මොකද ලේඛකයයි, ගුවන් යානා සබ්ජෙක්ට් එකයි මගේ ප්‍රියතම හන්දා.

    සමහර conspiracy theories හරිම නිර්මාණාත්මයි. සමහර ඇත්තත් ඕවායින් එකක් වෙන්න සෑහෙන ඉඩක් තියෙනවා.

    කොහොමත් උඹ මේක ලියලා තියෙන විදිය මරු. ඒ වගේම කමෙන්ට්ස් ටිකත් මරු. දැන් මම කරන්න යන්නේ අර ෆ්ලයිට් රේඩාර් වැඩසටහනක් දෙක ඇරලා ඔය ෆ්ලයිට් එකේ එදා ගමන ප්ලේබැක් කරලා බලන එකයි.

    මොකුත් හම්බවුනොත් කියන්නම්. කමෙන්ට්ස් බලන්න ආයෙම එනවා.

    මම ලියපු Panic Attack කතාවෙයි. Flight Beyond All Hope කතාවයි උඹලට මතකද. ඒකත් 777 එකක්. Panic Attack කතාවේ දුවගේ ෆ්ලයිට් එක අතුරු දහන් වුනාම මට ඇතිවුනේ මොනවගේ හැඟීමක්ද කියලා වටහාගන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. බෝයින් යානා එයාර් බස් වලට සපේක්ෂව අනතුරුවාට ලක්වෙනවා වැඩියි කියලා ඩූඩ් නිරීක්ෂණය කරලා නැද්ද ? මම බලපු හුඟක් කේසස් වල යානය බෝයින් එකක්. ඔය හින්දම මම රට ඉන්න දවස් වල ෆ්ලියිට් එක මොකක්ද කියලා චෙක් කරලා ටිකට් බුක් කරපු අවස්ථාත් තිබුනා.

      Delete
    2. සිරවටම මට මෙක කියවද්දි ඩුඩ් ගෙ දුවගෙ සිදුවිම මතක් වුනා

      Delete
    3. ඩූඩ් ඇත්තටම මට ඕනේ උනේ මේ පෝස්ට් එක ලියන්න කලින් උඹත් එක්ක කතාකරන්න... ඒත් කාලයත් එක්ක සටන් කලේ සර්ච් ඇන්ඩ් රෙස්කිවු ටීම් එකේ උන් විතරක් නෙමේ... මටත් ඕනේ උනා මේක ඉක්මට ලියන්න... ඒ ඉක්මන් වෙන්න හේතුවුන තව දෙයක් කියන්නම්... කයියට කියනවා කියලා හිතන්න එපා... මේක මට මෙතන ඔප්පු කරන්න විදියක් නෑ... :) කොහොම හරි මේ කතාවෙත් තියෙන, පොලිසිය ෆ්ලයිට් සිමියුලේටර් එකෙන් ඩිලීට් කරපු ඩේටා රිකවර් කරන්න ඕනේ කියන එක මම අපේ ගෙදර අය එක්ක කිව්වේ පයිලට්ගේ ගෙදර ෆ්ලයිට් සිමියුලේටර් එකක් තියෙනවා කියලා ප්‍රවෘත්ති වලට කිව්ව දවසේමයි... ඒ මම හිතන්නේ ක්‍රෑශෙකෙන් දෙවනි දවස... පයිලට් ගැන හඳුන්වා දෙනකොට තමයි ඔය සිමියුලේටර් කතාව කිව්වේ... මම එතකොටම කිව්වා ඒ සිමියුලේටර් එකේ මූ අන්තිමට ෆ්ලයි කරපු ඩේටා බැලුවනම් හරි කියලා... ඒත් මම හිතපු විදියට සිමියුලේටර් එකේ ඩේටා චෙක් කරන්න investigation team එකෙන් තීරණය කලා කියලා ප්‍රවෘත්ති වලට කිව්වේ ඊයේ හෝ පෙරේදා... ඒ කියන්නේ මට ඒක හිතිලා දවස් ගානකට පස්සේ... මගේ හිතේ ඒ වෙනකොටත් මේ ඩේටා රිකවර් කරලා රහස හොයාගන්න කතාව හැදෙමින් තිබුනේ... දැන් මම ගොතන්න හිතපු කතාව ඇත්තට වෙන්න යද්දී මට සිද්දවුනා කතාව ඉක්මනට ලියන්න... දිව හපාගෙන ඊයේ ලිව්වේ ඒකයි... :)


      උඹ ෆ්ලයිට් රේඩාර් එකේ චෙක් කරනවානම් ඔය SIA flight no එක හරි එක නෙමෙයි... තිසර දාලා තියෙන්නේ හරි එක.. ඒ නොම්මරේ වැරදි කියලා තිසර කිව්වට මට වැටහුනේ පස්සේ... සේරම ආයේ එඩිට් කරන්න කම්මැලි නිසා එහෙමම තියෙන්න ඇරියා

      Delete
    4. සෙන්නා
      කාලයක් තිබුණා.. Air Chash Investigation පිස්සුවෙන් වගේ බලන දවස් වල මම ගුවන් ගමනක් යද්දී seatguru කියන වෙබ්සයිට් එකට ගිහින් අදාල ෆ්ලයිට් එකේ එක්සිට් දොරවල් තියෙන්නේ කොහෙද කියලා කලින් චෙක් කරලා බලලා සීට් එක වෙන්කරගන්න :D:D

      Delete
    5. මමත් ඔය Air Crash Investigation වදවටහන NGC එකේ බැලුවා කීප වතාවක්. මම අන්තිමට කමෙන්ට් කරන්න හිටි එක දැන් කියන්නම්. ලා උස කියන්නේ දාහේ ගණන් වලින් නෙවේ. පහළොස් දාහට Fifteen Hundred කියලා කියන්නේ මගේ මතකය නිවැරදි නම්. එහෙම කරන්නේ ඇයි කියන එකට හේතුවක් තියෙන්නත් පුළුවන් සමහරවිට. අර කසාක්ස්තාන් ෆ්ලයිට් එකයි ඉතාලි (හරියට මතක නෑ) එකයි නවදිලිල්ලියේ ගැටුනේ මේ තොරතුරැ වැරදිලා.

      Delete
  18. මම මේ බ්ලොග් එකට අද තමයි මුලින්ම අවේ.නියමයි මචන් කතාව නියෙමෙට ලියලා තියෙනවා.ඒ වගේම මම හිතන්නේ අපි හැමෝගේම පැතුම තමයි මේ ප්ලේන් එක කොහේ හරි තිබිලා හමබවේවි කියලා.මම ඇත්තටම නිව්ස් බලන්නෙත් ඒ බලපොරෝතුවෙන්.ඒ සිතුවිල්ලත් එක්ක මේක නියෙමෙට ගැලපෙනවා.ඒ වගේම අලුත් දෙයක් ඉගෙනගත්තා මේක බලලා.
    ඉස්තුතියි ඔබගේ මහන්සියට .

    ReplyDelete
  19. මම මේ බ්ලොග් ස්පියර් එකේ දැකපු දක්ෂතම පරිකල්පන ශිල්පියා ඔබයි බීට්ල්..සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුශ්...

      Delete
    2. ඒ කථාවට මමත් එකඟයි.

      Delete
  20. අනර්ඝයි ...මේ සිද්ධියේ දී ,අනවශ්‍ය ලෙස කොමඩි ස්වරූපයට බරවීම අවස්ථාවේ හැටියට හානිකර නිසා බොහෝ දෙනක් මේ සම්බන්ධයෙන් ලිවීම නොකර සිටිනවා. නමුත් මේ ලිවීම ඉතාම් සිත්ගන්නසුලුයි , කොහොම වුනත් මේ වෙනකොට මෙය ලෝකයම කතාවෙන ඉතාම සංවේදී සිද්ධියක් නිසා , මෙහි දක්වා ඇති සංයමය අගය කරනවා '

    ReplyDelete
    Replies
    1. ඉවාන් එකපාරක් මතකද බුද්ධි කිව්වා විහිළුවක් උනත් කරන්න පුළුවන් අන්තිමට සේරම තේරිලා ඇඬෙන්න කියලා... මෙතෙන්දිත් අන්න එහෙම කොමඩි කතාවක් ලියනන් පුළුවන්නම් ඒක තමයි නියම හැකියාව මම හිතන්නේ...

      Delete
  21. කුෂාන්ගෙ මූණු පොතේ සටහනක් දැකල ආවේ.

    ඉංග්‍රීසියත් සිංහලයත් අතැඹුලක් වෙලා 'බීටල් පරිකල්පනය' ඊටම එක්කහු වුණහම සටහනක් කියෙව්ව නෙමේ චිත්‍රපටියක් බැලුවා වාගෙයි "දැනුනේ"

    සමහර පරිවර්තකයෝ අසාර්ථක වෙන්නෙත් මේව්වා හරි පමණින් මුහුනොවන හින්ද වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එළකිරි තිස්ස අයියේ... යන එන ගමන් හරි මෙහෙම දැකගන්න එක සතුටක් :D

      Delete
    2. තිස්ස අයියගෙන් කමෙන්ට් එකක් ගන්න එක හරියට ඉබ්බගෙන් පිහාටුවක් ගන්නවා වගේ අමාරු වැඩක්. සුපිරි තරුවක් වෙන්න කියන සිංදුවක් අහලා මයිල් කෙලින් වුනාම ඉබේම SMS එකක් යවන්න හිත හැදෙනවා වගේ (කියලා මම තේරුම් අරගෙන ඉන්නේ...:D)

      Delete
    3. ඊටත් වැඩිය අමාරුයි තිස්ස අයියාව බ්ලොගේට ගෙන්න ගන්න එක :)

      Delete
  22. බ්ලොග් කියවිල්ල නවත්තල කල් උනත් අමතක කරන්න බැරි බ්ලොග් කිහිපයක් තාමත් කියවනවා අකුරු තමයි ඒ අතරිනුත් උඩින්ම ඉන්නේ ....

    මේ සුපිරි ලේඛන හැකියාව බ්ලොග් එකකට කොටුකරන එක ගැන මගේ හිතේ තියෙන්නෙනම් අමනාපයක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවිල්ල නැවැත්තුවා? ඒ මොන අපරාදයක්ද? :) ස්තූතියි මචං හැමදාම එනවාට...

      Delete
    2. මී ගොඩයා, මම මේ අහන්නම හිත හිතා හිටියේ.. මචං ඇයි ලියන්නේ නැත්තේ

      Delete
  23. එහෙමනං මෙන්න මේ ටික අහ ගං බීටලේ... මට බලයක් තිබුන නම් මං උඹට වෙඩි තියලා මරලා දානවා හම්බ වෙන පළවෙනි තත්පරයේදීම...

    ඇයි???

    ඇයි කියලා අහන්න එපා.. උඹලා වගේ උන් අති භයංකර පුද්ගලයෝ... ලෝකෙම ගිනි තියන්න උඹල වගේ උන්ට ඕන වෙන්නේ පැය තුන හතරක් කල්පනා කර කර ඉඳිල්ල විතරයි.

    ආන්න ඒ හින්දා උඹට වෙඩි තියලා මං ලෝකය බේරගන්නවා... මිනිස්සු මට බනී... ඒත් මිනිස්සු කවදාවත් තේරුං ගන්න එකක් නැහැ මමයි උන්ව බේරගත්තේ කියලා...

    :D
    (අවංකවම ඔය ඩී එක දාන්න වීම ගැන මං කණගාටු වෙනවා... ඕක නොදැම්මොත් මේක ලොකු අවුලක් වෙනවා.. ඕක දැම්මහම අර උඩින් ලියාපු කොමෙන්ටුවෙන් ගත යුත්තක් නැතිව යනවා.. ඒත් මොනවා කරන්නද.. මං හිතන්නේ උඹ තේරුං ගනී.. )

    ReplyDelete
    Replies
    1. එලකිරි මට තේරෙනවා... :) ඩී හලලා මේක කියන්න පුළුවන් තත්වයක් තිබ්බා නම් තමයි තවත් සතුටු... :)

      Delete
  24. කාලෙකින් පස්සෙ බ්ලොග් ලිපියක් කියෙව්වෙ හිතාගන්න බැරි තරම් හොඳට ලියලා තියෙනවා තැනින් තැන මාරුවන විදිය වගේම සිද්ධි ගැලපුව හැටි නියමයි.

    අති විශිෂ්ටයි නොකියා බෑ.... ජය වේවා...

    ReplyDelete
  25. ප්‍රබන්ධයක් වුනත් ඇත්තක් වුනොත්...

    ReplyDelete
  26. ඇත්තටම කතාව ලස්සනයි. තවත් කතා ලියන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ, තිලින, රොශාන්, අමිල

      Delete
  27. බොහොම අපුරුයි ඔබේ පරිකල්පන ශක්තිය ..

    බිටල් තාම තනිකඩ බවත් දැන ගත්තා :D

    ReplyDelete
    Replies
    1. හහ් හා දවසේ කමෙන්ටුව :D කියනකොට මෙහෙමයි, කරනකොට අරෙහමයි... :D

      Delete
  28. අනේ අර අහින්සක පයිලට් ..... ඇයි ඌවම මරන් කන්ඩ හදන්නෙ හබැටම ....
    පට්ට කතාව හොදේ ....
    මට හිතෙන විදිහට මෙතන ජන මාද්ය වටේ යවනවා වගේ ....මේ ගොල්ල දැනටම දන්නවා ෆ්ල්යිට් එකට මොක්ද උනේ කියලා ...

    ReplyDelete
    Replies
    1. දැන්නං මෙහෙම හිතන්නත් කල් ගියා වැඩි වගේ නේද...

      Delete
  29. මගේ කලින් කමෙන්ට් “අතුරුදහන්“ වෙලා. කමක් නෑ.... මට හිත හදා ගන්න පුලුවන්!

    මගෙත් එකම පැතුම “සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි“ තමයි.

    මමත් ඒක තැනක කිව්වා. හැබැයි මෙච්චර බැරෑරුම් විදිහට නෙමෙයි. මේ තියෙන්නේ,

    Buddhi Prasadh - කොහොමහරි මේක කවදාහරි ජනප්‍රිය චිත්‍රපටියක් වෙන්න නම් මේ අතුරුදන්වීම සදාකාලික එකක් නොවෙන්නම ඕනේ!
    March 16 at 8:29pm

    තව සෑහෙන්න දේවල් කියන්න හිතාගෙන ආවත් පර්ත් අවට මුහුද ගැන ඔත්තුව දැක්කේ මේ ලිපිය කියවද්දි, ඒක කියවද්දි සේරම බලාපොරොත්තු නැති වෙලා යනවා වගේ දැනුනා... ඒ කෑලි ඒ කෑලි නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම මේ අතුරුදන්වීම එක්ක බ්ලොග් අවකාශය සම්බන්ධ කරද්දි මට මතක් වුනේ - ඉෂාර ගුණවර්ධන, ඩූඩ්, සෙන්නා කියන තුන් දෙනාව. මම හිතුවේ නෑ උඔ මේ වගේ දෙයක් ලියයි කියලා. නීල් ආම්ට්‍රෝන් ගැන කඩිමුඩියේ ලියපු ලියුම කිපවතාවක් කියවලා තිබුනා වුනත්.

    උඔගේ ලිවීම හෝ සිතීම ගැන කියන්න මේක වෙලාව නෙමෙයි. එහෙම වුනත් ඒ හැකියාව නියමයි කියලා නොකියා ඉන්නත් බෑ.

    ReplyDelete
    Replies

    1. ඒගොල්ලෝ මූදේ ප්ලේන් එකේ කෑලි හොයනවට වැඩිය අමාරුවෙන් උබේ කමෙන්ට් එක කොහෙද කියලා හෙව්වා... අර වගේම තමයි තාම හම්බුනේ නෑ... මොනා උනත් උඹ මෙතන අඩි සටහන් තියලා ගිය එක අනාගතේට හෙන වටිනවා... ස්තූතියි...

      Delete
  30. බීටා මේ ඕට්ටේලියා කතාව නිසා මට මෙහෙම හිතෙනවා,කොක්පිට් එකේ මොකක හරි අවුලක් වෙලා පයිලට්ලා දෙන්නට කරදරයක් වෙලා,ප්ලයිට් එක අයාලේ ඔටෝපයිලට් ගිහින් තෙල් ඉවර වෙලා කඩන් වැටුනා කියලා...
    උබේ ලිවිල්ල ගැන නම් කියන්න දෙයක් නෑ,අති සාර්තක නිර්මානයක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට එහෙම වෙන්න ඇති නේ මචං... දැන් යන විදියටනම් හරියට හේතුවක් හොයාගන්න බැරිවෙයිද මන්දා සදාකාලිකවම...

      Delete
  31. චිත්‍රපටියකට නියමයි!
    ඒත් ඇත්තටම මිනිසුන් ප්‍රාන ඇපයට අරගෙන ගියානම් ඇයි මෙච්චර කල් ඔවුන් ඒ බව ප්‍රසිද්ධ නොකරන්නෙ? එය රහසක් ලෙස තබා ගැනීමේ අවාසිය ත්‍රස්තවාදීන්ටම නේද? මේ කතාවෙ විධියට ප්‍රාණ ඇපකරුවන් හොරරහසෙම බේරා ගැනීමට ඉඩකඩක් ඇත්තේ එය රහසක් වශයෙන් තබාගත් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට එහෙම එලි කරන එක ඒගොල්ලන්ට අවාසියි නේද කලිකාල... දැනගන්න රටවල් ගාන අඩුවෙන ගානට ඒගොල්ලන්ට වාසියි කියලා මට හිතෙන්නේ... මොනවා උනත් මේවා චිත්‍රපටි කතන්දර වල තමයි ඉතින් මේ විදියටම වෙන්නේ නේද...

      Delete
  32. බීටල් අයියා - Mayday Documentary එක බලන්න(බලනවා නම් අවුලක් නෑ). මෙච්චර ලස්සනට මේක ලියලා තියෙන එකේ ඔය වැඩසටහනෙන් තව ගොඩක් දේවල් අරගන්න පුළුවන් වෙයි.... සුපිරි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම ගොඩක් ඒවා බැලුවා මගේ ගාව සීසන්ස් දහයක් විතර තියේ...

      Delete
  33. අගනා නිර්මාණයක්.. හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන...

      Delete
  34. ස්ටීවන් සිගාල් ද රඟපෑ ඩොක්ටර් රයන් කතාවකත් මේ වගේ එක ප්ලේන් එකකට යටින් තව එකක් යන කෑල්ලක් තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. මම බලලා නෑ කකා... එකත් ඉතින් කතාවක්නේ.. ඇත්තට කරන්න බැරුව ඇති...

      Delete
  35. මම හිතන්නේ දැනටම හොලිවුඩ් වල මේ සිද්දියෙන් ෆිල්ම් එකක් හදන අදහස වැඩ කරනවා ඇති... හෙහ් හෙහ්.. ෆිල්ම් එකක් බැලුව වගේ හැඟීමක් දැනෙන විදියට ලියල තියෙනවා.. නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්... මේ වගේ පොස්ට් පැතුම් මඟනොඇර කියවන බවත් දන්නවා :)

      Delete
  36. lankawe moda pathara kaarayekta wada hodai sulu waradi tikak tiyanawa awlak na uba pilot kenek nowana nisa

    ReplyDelete
  37. ඉස්සර විදුසර පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධයක් කියව්වා වගේ දැනුනා. විශිෂ්ඨයි.

    ReplyDelete
  38. පළමුවෙන්ම සුභ පතනවා ඔබේ පරිකල්පන ශක්තියට. අද මට කියවන්න ලැබුණා මේ ගැන සැක කරන්න පුළුවන් අවස්ථා දහයක් තියෙන ලියවිල්ලක්. එකක කියලා තියෙනවා මේක ඇමරිකාවේ වැඩක් කියලා. මගේ සිත් ගත් කාරණයත් එයමයි. නමුත් එහි මේ ගැනත් කියවී තියෙනබව. පර්ත් අසල මුහුදේ කතාව විහිළුවක් වෙයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ඉන්දියාවේ රාම් ගුරු ජී කියලා කෙනෙක් රූපවාහිනී චැනල් එකකට ඇවිත් දෙදෙනෙක්ව ඒ යානයේ හිටි මගීන් දෙදෙනෙකුගේ ආත්ම වලට යවා එහි සිදුවීම් විස්තර කරනවා. ඒ අනුව නම් හයිජැක් එකක්. නමුත් යානයේ පාළනය ගත් කෙනාට යානය හසුරුවන්න බැරිව යානය කඩා වැටෙනවා මුහුදට. ඒ වෙලාවේ එහි සිටි කාන්තාව මොර දෙන ආකාරයෙන් හඬ නගපු එක ඇහිලා මගේ දියණිය බය වුණා. බොරු කියන්න ඕනේ නෑ මටත් ටිකක් බය හිතුණා. මොකද ඒක වියරු ස්වභාවයේ එකක්. මේක බලන කිසිවෙක් එය විශ්වාස කරයි කියලා මට හිතෙන්නේ නෑ. නමුත් එය ප්‍රබන්ධයක් නම් එහි පිටපතත් චිත්‍රප්‍රටයකට සුදුසුයි.
    මෙන්න ලින්ක් එක - වීඩියෝ එක බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක... ඒ වීඩියෝව ඉවර වෙනකල් බලන්න තවම බැරිවුනා...

      ස්තූතියි දූපත් වැසියා, funfrme

      Delete
  39. බීට්ල්, මෙන්න උඹව මතක් කරපු තැනක්. ඒ වගේම ආරාධනාවක්. පොඩ්ඩක් හොට දාලා බලාපං.
    http://awanhala.blogspot.com/2014/03/blog-post_24.html

    ReplyDelete
  40. නියම ප්‍රබන්ධයක් බීටලේ... මේ යන විදියට යානය විනාශ උනා කියලා පිළිගත්තට ඒක උනේ කොහොමද කියන එක නම් අනුමාන කරනවා හැරෙන්න සෑහෙන කාලෙකට සොයාගන්න ලැබෙන එකක් නැති පාටයි...
    ලිපිය කියෙව්වෙ බොහොම කලින් උනාට කමෙන්ට් එකක් දාන්න ලැබුනෙ අද... ලිපිය කියවපු දවසෙ නම් පර්ත් අහසෙ මහ කලබගෑනියක් තිබුණා... ඒ ඔය කෑලි දැක්කා කියලා සොයන්න ගිය පළවෙනි දවස... ඒත් පහුවදා ඉඳන් සාමාන්‍යයි... ඊයෙ ඉඳන්ම අහස අඳුරුයි වළාකුළු වලින් පිරිලා... එන සිකුරාදා නම් පැහැදිලි අහසක් තියෙයි කියනවා... ඒකෙනුත් වෙන්නෙ සොයා ගන්න යමක් තියෙනවා නම් තවත් පහුවෙන එකයි... හෙටත් ප්ලේන් යවනවා කිව්වෙ අයහපත් කාළගුණය යටතේ උනත්...

    ReplyDelete
  41. විශිෂ්ඨ ප්‍රබන්දයක්. ගොඩක් මහන්සිවෙලා තියෙනවා.ෆිල්ම් එකක් බැලුවා වගේ

    ReplyDelete

Web Statistics