Friday, February 22, 2013

73. අමාවකට පසු...

image

මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… ඔහු පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු පොරකති… ශීතකරණයේ ඇති තරම් ටොෆි චොකලට් ඇතද මේ මොහොතේ ළමුන් හා සතුටින් පොරකමින් අප්පාගෙන් ඒවා උදුරාගන්නට බාලචන්ද්‍රන්ටද මහත් ආශාවක් ඇතිවුණි… එහෙත් තමාට ළමා නිවාසයට ඇතුළු වීමට අවසර නොමැති බව ඔහු දනී… රියදුරු අසුනේ හිඳින ඊලාම් සොල්දාදුවා ළමුන්ගේ ඉරියව් නරඹමින් අවඥාවෙන් සිනාසෙමින් පසුවෙයි… මොවුන්ගෙන් සමහරෙකු නොබෝ දිනකින් අවි දරා සටනට යන බව දැන් දැන් බාලචන්ද්‍රන්ද දනී… ටික කලක පටන් විටෙන් විට පැමිණ ක්ෂණිකව තමා වසාගන්නා ආගන්තුක කලකිරීම මේ මොහොතේද ඔහුට දැනෙන්නට පටන්ගති…

“අප්පා ඉක්මන්ට එනවනම් හොඳයි…ධර්මලිංගම් මාස්ටර් මෙලහට ඇවිල්ලත් ඇති…” බාලචන්ද්‍රන්ට සිතේ…
 
අප්පාගේ ඇසුර හැරෙන්නට බාලචන්ද්‍රන් ප්‍රිය කරන අනෙක් ඇසුරක් වේ නම් ඒ තම සංගීත ගුරුවරයා වූ ධර්මලිංගම් මාස්ටර්ගේ ඇසුරයි… අප්පා විමුක්ති සටනට කැඳවාගෙන එන්නට මුල් වූ පිරිස අතර ධර්මලිංගම් මාස්ටර්ද වූ බව බාලචන්ද්‍රන් අම්මාගෙන් අසා ඇත… එහෙත් අප්පා සන්නද්ධ අරගලයකට නැඹුරු වෙද්දී ධර්මලිංගම් මාස්ටර් කෙමෙන් ඔහුගෙන් ඈත් වූ බවද ඔහු දැනගත්තේ ඇයගෙනි… අම්මාගේ බලවත් පෙරැත්තයට අමතරව මේ පරණ සම්බන්ධයද බාලචන්ද්‍රන්ට ඔහුගෙන් සංගීතය උගැන්මට අප්පාගෙන් අවසරය ලැබීමට ඉවහල් වන්නට ඇති…

ඔහු සිතුවා නිවැරදිය… මෝටර් රථයෙන් බසිද්දී බාලචන්ද්‍රන් දුටුවේ මිදුලෙහි දිවුල් ගස යට වූ බංකුවේ වාඩිවී කෝපි කෝප්පය තොලගාමින් පසුවෙන ධර්මලිංගම් මාස්ටර්ය…

“ඉන්න මාස්ටර් මම විනාඩියෙන් එන්නම්…”

හනික ඇඟ සෝදාගෙන්නා බාලචන්ද්‍රන් වයලීනයද රැගෙන මිදුලට දිවයයි… එතැන් පටන් කාලය ගතවෙන අයුරු ඔහුට හැඟීමක් නැත… වයලීනයේ තත් අතර තම කඩිසර ඇඟිලි තුඩු ගෙනයන ධර්මලිංගම් මාස්ටර් බාලචන්ද්‍රන්ට කියාදෙන්නේ සංගීතය පමණක් නොවේ… ජීවිතය ගැන…මිනිස්සු ගැන… ආදරය ගැන අන් කිසිවෙකුගෙන් වත් අසා නැති අපූරු දේ ඔහුට ධර්මලිංගම් මාස්ටර් විස්තර කරදෙයි… අප්පා සමඟ චිත්‍රපට නරඹන අතරේදී හෝ චාල්ස් අයියාගේ ඇසුරේදී ඔහු මෙවැනි දේ කිසිවිටෙකත් අසා නැත…

“මාස්ටර්… නිජබිම කියන්නේ මොකද්ද…?”

ස්වර අභ්‍යාස රාශියක් පුහුණුවීමෙන් පසුව ධර්මලිංගම් මාස්ටර් හා නිදහසේ කෙරෙන මේ කතාබහ සංගීත පන්තියේ බාලචන්ද්‍රන් කැමතිම මොහොතයි… යමක් විමසූ විට එය විස්තර කරදෙන අපුරු ක්‍රමයක් ධර්මලිංගම් මාස්ටර් කෙරෙහි වෙයි… බාලචන්ද්‍රන් ඔහුගේ ගුරුහරුකම් වලට වඩාත් ආසා එහෙයිනි…

“කොහෙන්ද පුංචි මහත්තයා ඔය වචනේ ඉගෙන ගත්තේ…?”

“අප්පා දේශනයකදි කියනවා ඇහුණා…”

“ඉතින් අප්පා නිජබිම කියන්නේ මොකද්ද කියලා විස්තර කළේ නැද්ද..?”

“විස්තර කලා… මට හරියට තේරුණේ නෑ…”

“මොකද්ද පුංචි මහත්තයට තේරුණේ…?”

“ම්ම්ම්… මට තේරුණ හැටියට… මේ භූමිය…මේ ගස් වැල් කොළ… එතකොට මේ කලපුව..වතුර..මේ හැම දෙයක්ම… අපේ නිජබිම… අපිට අයිති දේ… සිංහල මිනිස්සු ඒක අපෙන් උදුරගෙන තියෙනවා…”

නිහඬව සිනාසුණ ධර්මලිංගම් මාස්ටර් ගෙමිදුලේ වැටී තිබූ වියලී ගිය දිවුල් පත්‍රයක් අහුලා ගත්තේය…

“එතකොට පුංචි මහත්තයා කියන්නේ මේ කොළෙත් පුංචි මහත්තයට අයිතියි කියලද..?”

“ම්ම්ම්… නිජබිමට ගස් වැල කොළ මේ සේරම අයිතියිනේ… එතකොට නිජබිම අයිති අපිට නිසා… ඔව් ඔය කොළෙත් අයිති අපිට…”

“අහලා බලන්න එහෙනම් කොළෙන්… එයා අයිති පුංචි මහත්තයටද කියලා…”

“හි..හි..හී… මාස්ටර්ට පිස්සු… කොළ වලට කතාකරන්න පුළුවනෑ….!”

“මොකද කොළවලට කතාකරන්න බැරි…ඉන්න මම පෙන්නන්න…”

සිමෙන්ති බංකුව පිටුපස සැඟවුණු ධර්මලිංගම් මාස්ටර් දිවුල්පත්‍රය බංකුවෙන් ඉහළට පෙනෙන සේ එසවීය… දැන් බාලචන්ද්‍රන්ට පෙනෙන්නේ දිවුල් පත්‍රය පමණි…

“හා දැන් අහන්න… හැබැයි මෙහෙම අහන්න ඕනේ හොදේ… කොලේ කොලේ.. දෙයක් අහන්නද..?”

මාස්ටර්ගේ හඬ පමණක් බංකුව පිටුපසින් ඇසේ…

“හි..හි..හී… කොලේ… කොලේ දෙයක් අහන්නද…?” බාලචන්ද්‍රන් සිනාසෙමින් අසයි… මෙවර බංකුව පිටුපසින් ඇසෙන්නේ වෙනස් කටහඩකි…

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා… ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ දිවුල් ගහට…”

බංකුව පිටුපසින් එළියට පනින ධර්මලිංගම් මාස්ටර් මෙවර සැඟවෙන්නේ දිවුල් ගහ පිටුපසයි…

“අහන්න බලන්න දිවුල් ගහෙන්…” ඔහු අසද්දී බාලචන්ද්‍රන් මේ අපූරු සෙල්ලම ගැන සතුටින් සිනාසේ…

“දිවුල් ගහ… දිවුල් ගහ… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ මහ පොළවට…”

බාලචන්ද්‍රන් සතුටින් සිනාසෙද්දී දිවුල් ගස පිටුපසින් මෑත්වන ධර්මලිංගම් මාස්ටර් දෑත් දෙපා දෙපසට විහිදාගෙන වැලි පොළවේ වැතිරෙයි… මීළඟ පියවර බාලචන්ද්‍රන්ට විස්තර කිරීමට අවශ්‍යය නොවේ…

“මහපොළව මහපොළව… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“මහපොළව… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති නං සොබාදහමට…”

මින්පසුව නැඟීසිටින ධර්මලිංගම් මාස්ටර් හනික දිවගොස් වැලේ වනා තිබූ සරමක් රැගෙන එයි… දෑත විහිදා එය සළුවක් මෙන් ඔසවා ගන්නා ඔහු බංකුව මතට නඟී… පිටුපසින් දෙපසට විහිදාගෙන අල්වාගෙන සිටින සරම කිලිනොච්චිය සිසාරා හමායන වියළි සුළඟට ලෙලදෙද්දී, පුංචි බාලචන්ද්‍රන්ට ඔහුව පෙනෙන්නේ යෝධයෙකු මෙනි…

“කෝ ඉතින් අහන්න..” මුහුණට වැටෙන හිරු එළියෙන් මිදීමට ඇස් පුංචි කරගෙන තමාදෙස බලා සිටිනා බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් කියයි…

“සොබා දහම… සොබා දහම… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“සොබාදහම… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“හැබැයි……………………!!!!”

“ඔව්වව්…………………..?”

“හැබැයි……………………!!!”

“ඔව්ව්ව්…………………..?”

“පුංචි මහත්තයානම් අයිති මටාආආආආයි…….!!!”

කෑගසාගෙන බිමට පනින ධර්මලිංගම් මාස්ටර් කුඩා බාලචන්ද්‍රන්ගේ ගතවටා සරම පටලවා ඔහුව වැරෙන් ඉහළටත් ඔසවද්දී එවැනි දෙයක් බලාපොරොත්තූ නොවූ බාලචන්ද්‍රන් සතුටින් කෑ ගසමින් ඔහුගෙන් මිදෙන්නට වෙරදරයි…

“හා හා හා…………….!!!!”

ඇස් වලින් කඳුළු පනින තුරු ඔහුව සිනාගැස්සීමට ධර්මලිංගම් මාස්ටර්ට හැකිවෙයි… සෑම දිනකම පාහේ සංගීත පාඩම අවසන් වෙන්නේ මෙවැනි සෙල්ලමකිනි…

“ඉතිං දැන් පුංචි මහත්තයට තේරුනාද…?” දවසේ සංගීත පාඩම නිමා කරමින් ධර්මලිංගම් මාස්ටර් අසයි...

“ඔව්…”

“මොකද්ද..?”

“මේ මොකුත් මට අයිති නෑ… සේරම අයිති සොබාදහමට… මාවත් අයිති සොබාදහමට…!”

***

හිමිදිරියේ හිරුරැස් තල් ගස් අතරින් බේරී විත් බාලචන්ද්‍රන් ගේ මුහුණ සිපගති… ඔහු සෙමෙන් දෑස් විවර කලේය… අළුයම වනතෙක්ම එකදිගට එල්ල වූ මෝටාර් ප්‍රහාර දැන් නතර වී ඇති සැටියකි… ගිනිගත් කරටි කඩා වැටීමෙන් ඉපල් වුණු තල්ගස් අහස අරා නැඟ සිටිනා භූතයන් වැන්න…

රැය පුරා පෙළනා බඩගින්න ඔහු කුස දවයි තමාට පසෙකින් ඉකි ගසනා හඬක් ඇසුණෙන් හිස හරවා බැලූ ඔහු දුටුවේ තම අම්මාගේ ගැහෙන දෙවුරයි… අක්කා ඇය උකුලේ හිස හොවාගෙන තවමත් නිඳයි…
පිරිසෙහි වූ තුවාල කරුවන්ට වෙද්‍යාධාර ලබාගනු වස් සිංහල හමුදාවට බාරවිය යුතු යැයි පිරිසක් තර්ක කරති… තවත් පිරිසක් ඊට එරෙහි වේ…

බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් සිහිවේ... තුවාල වුනු සිංහල හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුට සාත්තූ කරද්දී චාල්ස් අයියා ඇතුළු පිරිසකට ඔහු අතටම අසුවී ඇති බව කෙනෙකු අම්මා සමඟ කියනු බාලචන්ද්‍රන්ට ඇසුනේ සටනේ අමාරුම අදියරේදීය... ඔහුට කුමක් සිදුවෙන්නට ඇතිදැයි සිතට නැගෙන සිතුවිලි බාලචන්ද්‍රන් ආයාසයකින් එසැනින්ම මරාදමයි..

සිටිනා ඉසව්ව ගැන හරි නිනව්වක් නැතත් ඉර නැගෙන පැත්තට විරුද්ධ දෙසට ඇවිද ගියහොත් හමුදා කඳවුරක් වෙන බව බාලචන්ද්‍රන් දනී… ඔහු බිමදිගේ බඩගා ගොස් අම්මාට තුරුළු වෙයි…

***
කඳවුර පුරා පැතිර ඇත්තේ අසාමාන්‍ය නිහඬතාවයකි… කිලෝමීටර කිහිපයක් ඈතින් පෙරමුණෙන් ඉඳහිට නැගෙන්නේ අවසන් සටනේ ජයග්‍රහණයෙන් උදම්ව හමුදා සෙබළුන් විටින් විට අහසට තබනා වෙඩිවල දෝංකාරයයි…  යන්තමින් හෝ කඳවුරේ ඇති නිහඬතාවය බිඳුනානම් ඒ අණදෙන නිලධාරීතුමාගේ කාමරයෙන් ඇසුණු පහත් හඬින් කෙරෙන දුරකථන සංවාදයකිනි…

Sir please consider this as a personal request… Why don’t you ask them to revise the decision…?
මමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්… “

“කර්නල්… මේ තීරණය ගත්ත තැන ඉඳන්, තමුසෙට ඕඩර් එක දෙන මේ මම දක්වා හැමෝම දරුවෝ ඉන්න තාත්තලා… තමුසේ හිතන්නේ මේක මේ සෙල්ලමට ගත්ත decision එකක් කියලද..? අපි දෙන්නට මේ අහිංසක දරුවෙක් වුණාට, බාහිර ලෝකෙට…, ඩයස්පෝරාවට… ඉන්දියාවට…ඔය සේරටම උන්ගේ නායකයාගේ ජීවත් වෙලා ඉන්න එකම දරුවා…Things are much complicated than you think…
Probably they have revised all the options more than hundred times… and this must be the ‘best bad decision’ they have got…“

“ඒත් සර්…”

“අපි මේ සිස්ටම් එකේ දැති රෝද අයිසේ… මට උඩින් තියෙන රෝදේ කැරකෙනකොට මම කැරකෙනවා… මම කැරකෙනකොට තමුසේ කැරකෙනවා… අන්තිමට මොකක් නිසා මොකක් කැරකෙනවද කවුරුත් දන්නේ නෑ… ඒත් සිස්ටම් එක රන් වෙනවා… We have got to do this… Be a soldier and do your job…”

“This is not a soldier’s job Sir… This is a terrorist’s job… I hope you very well know that…”

“Be a *ucking terrorist and do it then… Don’t you ever try to test my patience… We have got orders and Those gonna be followed…That’s it…!!!:

“Yes Sir…!”

Good… තමුසෙට මේකට විශ්වාසවන්ත මිනිහෙක් ඉන්නවද..?”

“ඔව් සර්.. කෝප්‍රල් ශාන්ත… මිනිහාගේ තාත්තා බස් බෝම්බෙකට අහුවෙලා අබාධිතවෙලා ගොඩක් දුක් විඳලා කාලෙකට කලින් මැරුණා… ඒ වේදනාවට යුද්දෙට බැඳුණු හාදයෙක්… “

“OK…So you think he is not goanna regret this later..?”

“I’m sure he never will Sir… මිනිහට ටෙරාලාගේ හත් මුතු පරම්පරාව ගැනම බද්ධ වයිරයක් තියෙන්නේ…”

“Good… Let him do this then… and update me once it’s being done… අනිත් එක තමුසේ එක්සිකියුශන් එක වෙලාව එතන ඉන්න අවශ්‍යයයි… and Don’t let the kid to know what he is goanna get…”

“Yes sir…!”

“OK So…Let’s clean this mess up…”

“Yes sir…!”

****

බාලචන්ද්‍රන් වෙත පැමිනුණු කර්නල්වරයා ඔහුගේ හිස අතගෑවේය…

“පුතාට බඩගිනිද..?”

“නැහැ…”

“දැන් පුතාට මොනවද ඕනේ..?”

“මට අම්මයි අක්කයි ගාවට යන්න ඕනේ…”

“හා.. මම දැන් පුතාව අම්මලා ගාවට එක්කගෙන යනවා…හැබැයි පුතේ මේක සෙකියුරිටි බේස් එකක්නේ… ඒ නිසා අපි ජීප් එකේ ගිහිල්ලා… ඉතුරු ටික පුතාගේ ඇස් බැඳලා පයින් තමයි තමයි එක්කගෙන යන්නේ…කමක් නෑ නේද..?”

බාලචන්ද්‍රන්ට මෙය අළුත් දෙයක් නොවේ… අප්පා හමුවීමට පැමිණෙන විදේශික සුදු මහත්වරුද මෙසේ ඇස්බැඳ අප්පා ළඟට රැගෙන එනු ඔහු කිහිපවරක් දැක තිබේ…

“කමක් නෑ අංකල්…”

කර්නල්ගේ අත අල්ලාගත් ඔහු සතුටින් ඩිෆෙන්ඩර් රථය වෙත පියමනින්නට විය… අම්මා සහ අක්කා ඔහු එනතුරු බලාසිටින බව ඔහු දනී… ඔහුට ධර්මලිංගම් මාස්ටර් සිහිවෙයි…

“සිංහලයා… දෙමලා… කියලා මිනිස්සුන්ව මනින්න යන්න එපා පුංචි මහත්තයා… මේලෝකේ ඉන්නේ මිනිස්සු ජාති දෙකයි… එක්කෝ හොඳ මිනිස්සු… නැත්තම් නරක මිනිස්සු…”

බාලචන්ද්‍රන් කර්නල්වරයාගේ වාරුවෙන් සීරුවෙන් ඩිෆෙන්ඩර් රථයට නැඟගති…කෝප්‍රල් ශාන්ත රිය පණ ගැන්වීය… ඔවුන් තිදෙනා රැගත් ඩිෆෙන්ඩර් රථය අඳුරේම හමුදා කඳවුරෙන් ඉවතට ඇදුනි…

~නිමි~


ප.ලි. : හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

39 comments :

  1. ඔව් සමහරවිට නොමිනිසුන් අතර මිනිසුනුත් ඉන්න ඇති!

    ReplyDelete
  2. “This is not a soldier’s job Sir… This is a terrorist’s job…

    ReplyDelete
  3. ඊතැපෑලෙන් ලැබුණු අදහසක් :

    බොහෝම හොඳින් ලියවෙලා තියෙනවා... තව එක පරිච්ඡේදයක් ඇතුලත් උනානම් සම්පූර්ණයි... ඒක කොළඹදී කෙරෙන සාකච්ඡාවක්... මාණ්ඩලික නිලධාරීන් කිහිපයක්.. ඉහල තැනක්.. හිටපු කොටි නායකයෙක්... දේශපාලන ජ්‍යාත්‍යන්තර සම්බන්ධතා හා යුධ විශේෂඥයෙක් වගේ පිරිසකගේ... මේක අසීරු තීන්දුවක්...

    ReplyDelete
  4. ඇත්තටම හරිම සංවේදී තීරණයක් ගන්න ඕනා තැනක්.......
    "We have got to do this… Be a soldier and do your job…”

    ReplyDelete
  5. බීටල්.. මට හිතෙන්නේ මේක තමයි ලේසි තීරණය කියලා... අමාරු තීරණය තමයි මේ දරුවා සමාජයේ ලොකු මහත් වීමට ඉඩ දීම.

    ReplyDelete
  6. හොඳ නිර්මාණයක්!!!

    ඒ වගේම හොඳ ප්‍රබන්ධයක්!!!

    එක, එක්කෙනා මේ දිහා බලන්නේ තම, තමන්ගේ කෝණවලින්. එයාලට දැනෙන හැටියට. තමන්ගේ දරුවෙක් ත්‍රස්තවාදියෙක් අතින් මැරුම් කෑ පියෙක් මේ සිද්ධිය දිහා බලන විදියත්, වෙනත් කෙනෙක් මානුෂිකව මේ දිහා බලන අන්දමත් අතර තියන වෙනස්කම දකින්ට තරම් මානුෂිකත්වයක් අපි හැමදෙනාගෙම තිබුනා නම් තමා වඩා හොඳ.

    ඔය ඉතින් මට හිතෙන හැටි.

    ReplyDelete
  7. අර කැබිතිගොල්ලෑවෙ, අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ගාව එතකොට පිටකොටුවෙ බෝම්බෙ සහ තව සියගණනක් බෝම්බ පුපුරපු සිද්ධි ගැන එහෙම මෙහෙම කතා නොලියවුණේ ඇයි? ඒ මැරුණෙ මිනීමරුවොයි මිනීමරුවන්ගෙ උරුමය ඉදිරියට ගෙනයන්න උපන් අයයි නොවන නිසා වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියාට ආදරයෙනි...

      සිය ගානක් ඒ බෝම්බ සිදුවීම් වලදී වැහුණු ඇස් තිබුණේ නැත... ඔබත් මමත් ඇතුළුව මුළු ලෝකයම ඒ මෙලේච්ඡත්වය දැක්කෙමු... කොන්දේසි විරහිතව ප්‍රතික්ශේප කෙරුවෙමු...

      ඒත් ඒ මෙලේච්ඡත්වයම වෙනත් පාටකින් ඇඳෙන මේ මොහොතේ සමහර ඇස් වැහේ... මේ නිර්මාණය මෙතෙන්දී අවශ්‍යය වෙන්නේ ඒ වැහුණු ඇස් වෙනුවෙනි...

      බීටල මලයා...

      Delete
    2. සොරි වේවා..! මේ තිස්ස අයියා කියලයි හිතුවේ... :)

      Delete
    3. That is because we are Sinhalese. be proud of being a Sinhalese. we even write emotional poems about the people who killed our mother. but dont think we will stop by only writing poems.

      Delete
  8. එක්කෝ සමහරක් මීට අවුරුදු 10කට ඉපදිලා නෑ නෑ එක්කෝ උන් ඒ කාලේ ඉපදිලා හිටියත් ජීවත් වෙලා නෑ.

    කාට කාටත් සුරංගනා කතා ලියන්ඩ පුලුවන් බන් හැබැයි. කටුව ඇනිච්ච එකා විසේ තරම දන්නේ . කැබිතිගොල්ලෑවෙ , අනුරාධපුරේ බස් බෝම්බ වලට අහුවෙලා. කපලා කොටලා මැරුන එකෙක්ගේ පවුලේ ඉන්න එකෙක්ට බාලචන්දරන්ලා අද උනත් අතට අහු උනොත් වත්ත වටේ එක්ක ගිහින් සමනල්ලු පෙන්නයි කියලා මම හිතන් නෑ.

    මීට අවුරුදු ගානාකට කලින් මාතලේ නුවර පාරේ බස් එකක බෝම්බයක් පිපිරුවා. අපේ අම්මා වාසනාවට ආවෙ ඊට පස්සෙන් ආව බස් එකේ.මගේත් එක්ක එක බත් එක කාපු එකා ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියක් විදියට ඌ යුද්දෙට ගියේ ගෙදර කන්න බත් නැතුව නෙවෙ. එදා විතරක් නෙවෙ අද උනත් මට බාලචන්ද්‍රන් නෙවෙ උගේ රෙදි හෝදපු එකෙක් අහු උනත් මරන්න පුලුවන්. අමාරුව තියෙන්නෙ තුවාලෙ තියන එකාට.

    හැමෝටම අමතක උන ලොකු දෙයක් තියනවා. බාලචන්ද්‍රන්ට කලින් තවත් පොඩි එකෙක් ඔය පවුලේ හිටියා ඒ පොඩි එකා ලොකු උනා ඒත් ඌ දිවුල් ගස් අස්සෙ සමනල්ලු හෙව්වෙ නෑ චාල්ස් ඇන්තනී උගෙ අම්මට හම්බ උනේ බඩ ඇතුලෙ අවුරුදු 20න් ඉදලා නෙවෙ නේ උත් ආවෙ ඔය වයස පහු කරලා. ඌ සමනලයෙක් උනේ නෑ නේ .

    හැමදේම ඉවර උනාට පස්සෙ නිව්ස් බලලා සිහ කොඩි උස්සගෙන පාරක් පාරක් ගානෙ රතික්චා දාපු උන්ට අවුරුද්දක් දෙකක් යනකොට සමනල හීන පේන එක වැරැද්දක් නෑ බං. හැබෙයි කකුලක් අතක් පයක් නැතුව ජීවිතේ ඉතුරු හරිය ගෙවෙනකම් බලාගෙන ඉන්න උනුත් දැකපු හීන තිබ්බා. ඒවා ගැන ලියන්න එකෙක් වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං උඹගේ අවංක ප්‍රතිචාරයට... ලොකු උත්තරයක් දෙන්න දෙයක් නෑ... පුංචි දැනුවත් කිරීමක් විතරක්... මම නිවුස් නම් ගොඩක් බැලුවා... සිංහ කොඩි උස්සගෙන පාරක් පාරක් ගානේ රතිඥ්ඥා දැම්මේ නෑ... කිරිබත් කෑවේත් නෑ...

      Delete
    2. @උපේන්ද්‍ර
      ඇසට ඇසක් කියන පාතාල නීතියත්, ජීවිතයට ජීවිතයක් කියන ෂරියා නීතියත් හරියි කියලද ඔබ කියන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක අමතක කලත්, යමෙක්ගේ තාත්තා වගකිවයුතු දේයකට ළමයෙකුට දඬුවම් දීම හරි බවද ඔබ කියන්නේ.

      //චාල්ස් ඇන්තනී උගෙ අම්මට හම්බ උනේ බඩ ඇතුලෙ අවුරුදු 20න් ඉදලා නෙවෙ නේ උත් ආවෙ ඔය වයස පහු කරලා//

      සෑම අපරාධකාරයෙක්ම ළමා කාලයක් ගත කල උන්ය. වැඩිහිටි වී කරන අපරාධ වලට ළමා කාලයේදීම දඬුවම් කිරීමට තවම ක්‍රමයක් සොයාගෙන නොමැත. ළමයා වැරදි කලොත් ළමයින්ට අදාල දඬුවම් තිබේ. ළමයාගේ තාත්තා හෝ, අයියා වැරදි කල නිසා ළමයින්ට දඬුවම් කරන්නේ නැත.

      //හැබෙයි කකුලක් අතක් පයක් නැතුව ජීවිතේ ඉතුරු හරිය ගෙවෙනකම් බලාගෙන ඉන්න උනුත් දැකපු හීන තිබ්බා//

      අත් කකුල් නැති වෙච්ච අයගේ හීන ගැන මම ලියලා නෑ තමයි. ඔවුනට ඊට වඩා වෙනස් ආකාර වලින් උපකාර කරන එක වඩා සුදුසුයි කියලා හිතලා එහෙම කලේ.

      //එදා විතරක් නෙවෙ අද උනත් මට බාලචන්ද්‍රන් නෙවෙ උගේ රෙදි හෝදපු එකෙක් අහු උනත් මරන්න පුලුවන්//

      ඔබ ගැන ඔබම කර ඇති ප්‍රකාශය අගය කරමි. අවුල ඇති උනේ ඔබගේ මානව දයාව වැගිරෙන කවි කතා කියවා මා වැරදි තක්සේරුවක හිටි නිසාය.

      ඔයත් අනිත් දවසේ කවි කතා ලියනකොට මේ 'අද්දර ජීවිත' වගේ ඒවා ලියන්න එපා. එක්කෝ අත පය නැති අයගේ හීන ගැන ලියන්න. නැත්නම් ඔයාට තියන 'තුවාල' වලට වග කිවයුතු අයගේ ළමයින්ට, හත්මුතු පරම්පරාවටම වදින්න වස් කවි වගේ ඒවා ලියන්න.

      මගේ දෙපිටකාට්ටුකම මම පිළිගන්නවා... මම බස් වල බෝම්බ වලින් මැරුනු ළමයි, සොල්දාදුවෝ ගැන කිසිවක් ලියලා නෑ. ඒ වගේම ඔබේ දෙපිටකාට්ටුකමත් පිළිගන්න. පිළිඅරන් තේරුමක් නැති කවි ලියන එක නවත්තන්න.

      Delete
    3. මහත්තයෝ. මම මේ පෝස්ට් එක ලිව්වෙත් මගේ බ්ලොග් එකේ ඔය පෝස්ට් එක ලිව්වෙත් මගේම නමින් ඕන නම් මට මේ ටික ඇනෝ ඇවිත් ලියලා යන්න තිබ්බා. ඔයා මං ගැන මොන වගේ තක්සේරුවක් කලාද කියලා මම නම් දන් නෑ හැබෙයි. මම " අනේ එන්නකෝ අපෙනුත් මල් ගන්න්කෝ " ලෙවල් එකෙන් බ්ලොග් ලියන් නෑ. ඔයාට ඔයාගේ අදහ්ස් තියනවා වගේම මටත් මගේ අදහ්ස් තියනවා. මට පාරෙ අයිනක කන්ඩ නැති එකාට දැනෙන දුක වගෙම නිස්කාරනේ කපලා කොටලා මැරුන එකගෙත් දුකත් තේරෙනවා. ප්‍ර්ශ්නෙ තියෙන්නෙ එ දුක ඔයා තේරුම් ගන්න විදියේ

      අනික මම හිතන් නෑ ඔයා මම ලියපුවා ගැනවත් මගේ බ්ලොග් එකවත් හරියට බලපු කෙනෙක් කියලා. මම අන්තිමට ලියපු එක ලියලා ඇත්තෙත් මේ හේතුව ගැනම තමයි. අනික කාගෙවත් ත්ක්සේරුවකින් මට මහා ලොකු වාසියක් වත් මහා ලොකු පාඩුවක් වත් වෙන්නෙත් නෑ. මේ දැකපු දේ වැරදි කියලා මට හිතුන නිසා මම මේකට උත්ත්‍රයක් ලිව්වෙ. මම ලියන කියන දේ ගැන තීරණය කරන්න කොහේවත් ඉන්න කෙනෙක්ට බෑ . මම ලියන්නෙ මට හිතෙන දේ . එහෙම නැතුව කාගෙවත් තක්සේරු වාර්ථා නෙවෙ.

      Delete
    4. Riduna neda macahn

      Delete
    5. @උපේන්ද්‍ර
      // හැබෙයි කකුලක් අතක් පයක් නැතුව ජීවිතේ ඉතුරු හරිය ගෙවෙනකම් බලාගෙන ඉන්න උනුත් දැකපු හීන තිබ්බා. ඒවා ගැන ලියන්න එකෙක් වත් නෑ.//

      //මම ලියන කියන දේ ගැන තීරණය කරන්න කොහේවත් ඉන්න කෙනෙක්ට බෑ . මම ලියන්නෙ මට හිතෙන දේ . එහෙම නැතුව කාගෙවත් තක්සේරු වාර්ථා නෙවෙ.//

      ඇයි?

      Delete
    6. @උපේන්ද්‍ර
      සමාවන්න. ඔබ ලිවිය යුතු දේ තීරණය කිරීමේ අයිතිය ප්‍රශ්න කරන්න මට අයිතියක් නැති බව මම පිළිගන්නවා. එම නිසා එම අයිතිය ප්‍රශ්න කරමින් මා ලියූ කොටස මම ඉල්ලා අස්කරගන්නවා. අත් පා අහිමි වූවන්ගේ හීන ගැන නොලිවීම පිළිබඳ අන් අය ප්‍රශ්න කිරීම වැරදි බව ඔබට වැටහෙන්නට ඇති බව සිතනවා. ඉහත ඇනෝ මට වඩා පැහැදිලි එය දක්වා තිබෙනවා.

      @බීතළුවානෙණි,
      ඔබගේ බ්ලොගයේ මගේ ප්‍රශ්න ඇසීම පිළිබඳව බලවත් ලෙස සමාව අයැද සිටිනවා. ඔබ ඔබට අවැසි දෙය ලියනවා මිස, මෙවැනි වාද විවාද වලට පැටලෙන්නට අකමැති අයෙක් බව මට හැඟෙනවා. එවැනි තැනක් මා කැත කර දැමුවා යැයි මට සිතෙයි. මා මේ වැරැද්ද මින් පසුව නොකරන්නට වගබලාගමි.

      Delete
    7. ස්තූතියි තිසර, එහෙම කැතකිරීමක් කලා යැයි මම කොහෙත්ම සලකන්නේ නෑ...

      දිගු පැහැදිලි කිරීම් කිරීම අනවශ්‍යය හා වෙහෙසකර වුවත් මේ පෝස්ට් එක වැරදියට වටහා ගන්නා කෙනෙකු වෙනුවෙන් මේ පැහැදිලි කිරීම...

      මේ බාලචන්ද්‍රන් මියගිය සොවින් හඬා වැලපෙමින් ලියූවක් නොවේ... ඒ ජායාරූප දැකීමෙන් කණගාටුවක් ඇතිවුන බව සැබෑවක් නමුත් කුරුරු යුද්ධයෙන් මියගිය එකම දරුවා බාලචන්ද්‍රන් පමණක් නොවේ... මේ දිනවල නැවත ශෙයාර් වන කොටින් විසින් කපා කොටා මැරූ පොඩි දරුවන්ද, කොහේවත් ශෙයාර් නොවන අවසන් සටනේ මියගිය දෙමළ දරුවන්ද ඇතුළු සිය දහසක් අහිංසකයන්ගේ මරණ අතරේ බාලචන්ද්‍රන්ගේ මරණය වෙනම ගෙන දුක්විය යුතු කරුණක් ලෙස මම නොසලකමි...

      කාරණය මෙයයි...

      ජායාරූප සත්‍යයක් නම් බාලචන්ද්‍රන්ට වෙඩි තබා මරා ඇත... ඒවා දකින සියලුදෙනා අපි අර දරුවන්ට කීවාක් මෙන් "දැක්කද අර සීන් එක.. පව් නේද බන් පොඩි එකා මොනවද බන් දන්නේ..." කිව්වා නම් මේ පොස්ට් එක අද නැත...

      ඒ නිසා මේ බ්ලොග් අවකාශයේ තැනින් තැන පෝස්ට් වලින්ද, කමෙන්ට් වලින්ද කිසිදු පැකිලීමකින් තොරව වෙඩිතබා මරාදැමූ බාලචන්ද්‍රන් වෙනුවෙනි... (උදා. ඉහතින්: "අද උනත් මට බාලචන්ද්‍රන් නෙවෙ උගේ රෙදි හෝදපු එකෙක් අහු උනත් මරන්න පුලුවන්." ) ඔබ මේ කියවූයේ ඒ හිරිකිතය පලකර නොසිටිය නොහැකි තරමට දැනුනු නිසා කෙරුණු නිර්මාණයකි...

      "හැබෙයි කකුලක් අතක් පයක් නැතුව ජීවිතේ ඉතුරු හරිය ගෙවෙනකම් බලාගෙන ඉන්න උනුත් දැකපු හීන තිබ්බා. ඒවා ගැන ලියන්න එකෙක් වත් නෑ." යන ගැටළුවටද ඉහත පිළිතුරු දී ඇතැයි සිතමි...

      Delete
    8. ඒත් හිතට දුක එක කාරනයක් තියනවා. අපිට ගොඩක් දුක දැනෙන කාරන තියනවා නෙද, අපිට සමහරක් වෙලාවට බල්ලෙක්ට පූසෙක්ට ගහනවා මරන එක පොඩි දරුවෙක්ට ගහනවා වගේ දෙවල් බලන්න දරාගාන්න බෑ නෙද ඒ ව්ගේම සත්තුන්ගේ ජිවිත ගැන ගොඩක් සංවේදී මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා නේද. ඇයි අපිට හිතන්න බැරි ඒ සිවුර ඇතුලේ පිච්චිලා ගියේ ඒ ව්ගේ සංවේදී මනුස්සයෙක් කියන එක. මාලිගාව ඉස්සරහ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරුවෝ නෙවෙ. රහතුන් වහන්සේ කෙනෙක් නෙවෙ අඩුම ගානෙ සෝවන් උන කෙනෙක් වත් නෙවෙ.
      http://ctkumara.blogspot.com/2013/05/blog-post_26.html
      You should read his full coment.

      Delete
    9. Anonymous May 26 - ජාති ආලය ගැන ඔබ අසා නැද්ද?
      දෙමළනම් සංවේදී නැත
      සිංහල නම පමණක් සංවේදී වෙමු

      Delete
    10. @AnonymousMay 27
      :D.Ok sir.I got it.

      Delete
  9. ඔන්න බීටලේ චැලේන්ජ් එක!!!
    හැබෙයි කකුලක් අතක් පයක් නැතුව ජීවිතේ ඉතුරු හරිය ගෙවෙනකම් බලාගෙන ඉන්න උනුත් දැකපු හීන තිබ්බා. ඒවා ගැන ලියන්න එකෙක් වත් නෑ.

    භාරගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍යය නෑ මචං... :) ඊට වඩා ලොකු චැලේන්ජ් එකක් මම 2006 දෙහිවල බෝම්බෙන් පස්සේ අරගෙන අදටත් කරගෙන යනවා...

      Delete
  10. බොහෝ අයට පිළිතුරු කතන්දර බ්ලොගයේ දු‍ටු මේ කෙටි සටහනේ සැඟව ඇතැයි සිතේ...

    "මමත් අම්මාත් නංගීත් මගේ තාත්තා මැරූ කොටියාගේ පුතාගේ මරණයේ සේයාරූ දැක හැඬුවෙමු!!"

    (මේ පොලොව මත මිනිසත්කම නැත්තටම නැතිවී නැත...)

    ReplyDelete
  11. කව්රු වැරදිද කියලා හොයන්න බැහැ.නායකයාගේ පුතා වුනු නිසා අහිංසක මලක් වගේ පොඩි එකෙක් නිරපරාදේ මිය ගියා.

    ReplyDelete
  12. Rohana Wijeweera was arrested by a Major (then) and his team instructed by Ranjan Wijerathna and he later became the Chief of Staff of the Army, and while he was coming through Kandy he has seen DIG Udugmpola in Kandy, and thinking he may get the news and went back to Wijeeweera’s house masacare the Wijeweera family he dispatched Rohan’s wife and children to a safe location, and the news was passed to then President Premadsa. Premadsa is the one who saved the lives of Wijeweera’s family and kept them in a safe house in Trinco. The information is Wijerathna gave the orders to arrest Wijeweera without consulting Premadsa. The person who arrested RW was not aware till he reach the house he is going to arrest RW.The amount of Sinhalese youth killed in 1971/1972 and 1986/1989 exceed 120,000 and it is confirmed that the Christian Church/CIA was also with the killer squad and present Defense Secretary Gotabaya was one of the officer (Major) of the Ranjan Wijerathan’s death squad members, and two weeks after Rajanan got blasted Gotabaya was helped by the Christian Church to go to America in 1991.

    source : Wijeweera family vs. Prabakaran’s family

    http://www.colombotelegraph.com/index.php/killing-balachandran-and-saving-uvindu/

    ReplyDelete
  13. නිර්මානය අපූරුයි බීටා

    ReplyDelete
  14. ආදරයේදීත් යුද්ධයෙදීත් වෙන දේවල් වලට අටුවා ලියන එක පලක් නැති වැඩක් ............

    ReplyDelete
  15. superb! simply a superb piece of literature!

    ReplyDelete
  16. පෙරේදා රෑ අපි අජ්මාන්වල මගේ යාලුවෙක්ගේ ගෙදර සෙට් උනා.

    ඌ ඉස්සර ආර්මි එකේ කැපටන් කෙනෙක්.

    උගේ ආදරණීය අයියා යුද්ධෙදි මැරුන නිසා ඌ නිවාඩු ආපු වෙලාවක අම්මා කියලා උඹ ආයේ ගියොත් මම වහබොනවා. දරුවෝ දෙන්නෙක් නැතිකරගන්න මට බෑ කියලා.

    ඒ නිසා අයින් වෙච්චි එකෙක්.

    උගේත් ඇඟේ දෙතුන්පොලක වෙඩි වැදුනු සළකුනු තියෙනවා.

    උගේ ඇස් ඉදිරිපිට උගේ බඩීල හතර දෙනෙක් මැරිලා තියෙනවා. උගේ හොඳම යාලුවෝ මැරිලා තියෙනවා.

    මම උගෙන් ඇහුවා "මචන්, අර කොල්ලව යුද්දෙදි නොමැරී ඉතුරුවෙලා පස්සේ මරන්න කියලා උඹට දුන්නනම් උඹ මොකද කරන්නේ කියලා . . "

    "මම නම් කරන්නේ නෑ මචං" කිව්වා

    යුද්ධෙට නොගිහින් අයිටීන් එක ඉස්සරහා යුද්ද කරපු අපෙයි හෑබෑවට යුද්ධ කරපු උන්ගෙයි අතරේ වෛරයට එහා ගිය මනුස්සකමක් තියෙන බව මට දැනුනාම පුදුම සතුටක් දැනුනේ.

    ReplyDelete
  17. කතාව හරිම ලස්සනයි... ගළාගෙන යනවා අපූරුවට... ඒත් ඇත්ත කොයි තරම් බියකරු වෙන්න ඇතිද? කටුක වෙන්න ඇතිද?

    යුද්ධය නිසා මිය ගිය කිසිවෙකුට ආයම පණ දෙන්න බෑ... අහිමි වූ කිසිම දෙයක් නැවත ලබා ගන්න බෑ... ඒත් වපුරපු ම්ලේච්ඡත්වය නැති කරන්න, වළදාපු මනුස්සකම ගොඩ ගන්න යමක් කළ හැකි බව මම හැමදාමත් විශ්වාස කළා.. මේ සිද්ධියත් එක්ක මතු වුණ අමනුස්සකම්, දුෂ්ටකම් දකිද්දි තවත් ගිනි ගන්න ආසන්න දස දහසක් සීතල යුද්ධ මිසක, ඇත්ත සාමය සතුට කොයි තරම් දුරද කියල හිතෙනවා...

    සමස්තයක් ලෙස අද සියලුම දරුවන්ගේ ජීවිත තියෙන්නෙ අනතුරක... අවදානමක... ඒ අවදානම ඔබේ අපේ දරුවන් ඉදිරියේ නැහැ කියල හිතන්නෙ කොහොමද?

    ReplyDelete
  18. හැමදාම වගේ බීටා මේකත් නියම කතාවක්.......

    කොමෙන්ට් ගැන නම් කියන්න තියෙන්නෙ.

    මේ පිංතූර ඇත්තද බොරුද කියල හොයන්නෙ නැතුව
    දිවි පරදුවට තියලා යුද්ධ කරපු සොල්දාදුවන්ව වැරදි කරායො කරන කාලකන්නින්ට නම් කියන්න දෙයක් නෑ.

    පිංතූර දැක්කම මටත් දුක හිතුනා ඒත් ඒ දුක කිසිම වෙලාවක ඔය කියන පිංතූර නිසා මගේ රට පත්වෙන තත්වය ගැන දැනෙන දුකට වඩා ලොකු නම් නෑ.
    මම ලංකාවෙ ජීවත් වෙන ලාංකිකයෙක්. ට්‍රැෆික් වල නැවතිලා කොයි වෙලේ බෝම්බයක් පුපුරයිද කියලා පන බයේ හිටපු හැති මට නම් තාම මතකයි.
    ඔය ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ දේෂපාලන ප්‍රශ්නයක් මිසක දුකක් නෙමෙයි.

    බොරුවට ඒ ප්‍රශ්නෙ දුක කියන එකෙන් වහලා මහා මානව හිතවාදියො වෙන්න යනව.

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙන, අර මානුෂීය යුධ වෙලෙන්දෝ ටික උඹවත් කයි. පරිස්සමට.

      Delete
  19. පින්තූර දැක්කාම දුක හිතුණා. ඒත් කැබිතිගොල්ලෑවෙ බස් බෝම්බෙට අහුවෙලා මැරුණු පුංචි ලමයි , ගැබිණි මවුවරු දකිද්දී ඇතිවෙච්ච කම්පාවට එහා කම්පාවක් ඇති උණේ නෑ...

    යුද්ධයේදී තමාගේ අරමුණ සාක්ෂාත් කර ගන්න කරන ඕනෑම දෙයක් සාධාරණයි කියලයි මම නම් අහලා තියෙන්නේ. අනුකම්පාව යුද්ඬයේදී වීක් පොයින්ට් එකක්. එහෙම උනොත් යුද්ධය පරදිනවා කවදා හරි දවසක. යුද්ධය වෙනුවෙන් ජීවිත දුන්න, අත පය පරිත්‍යාග කරන්න උන රණ විරුවන්, යුද්දය නිසා තමන්ගෙ සැමියන් අහිමි කර ගත්තු බිරින්දෑවරු,දරුවො අහිමි උන මවුපියෝ කොයි තරම්ද?මේ හැමෝම කරලා තියෙන්නේ පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගයන් සුළු කොට තැකීම කල යුතු නෑ. අවසන් කල යුතු අවස්තාවෙ යුද්ධය අවසන් නොකලොත් ඒ පරිත්‍යාගයන් සේරම ගඟට ඉණි කැපීමක් වගේ වේවි.

    ReplyDelete
  20. බිට්ල් අවුරුදු 2500 ක් ගැන නිතරම මොර දුන්නත්, අපේ සමාජයේ නැත්තේ Empathy කියන දෙය. ඔය ගොඩක් අයියලා මේ සැබෑ බැට කාපු කට්ටියත් නොවේ. එහෙම අය මෙයට වෙනස්. මේ බටහිර සමාජ පවා ඔයිට වඩා වෙනස්. මේ රටවල් වල නොදියුණු කමටත් ප්‍රධාන හේතුවත් මේ empathy නැතිවීමම තමා. ඕවා ගැන මහා තර්ක දාගෙන එන වසු පැටවූ සමග වාද කරලත් වැඩක් නැහැ. මා මගේ සටහනේ ලියුවෙත් අන්න ඒක.

    ReplyDelete

Web Statistics