Monday, May 20, 2013

77. පිසීන් මොලිටෝර් පටෙල් නම් කතන්දරකාරයා | Life of PI

ජනෙල් තිරය මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව අහන්න…

ඔහු තවමත් හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…

“මේ මැරෙන්න වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?” 

බර  හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….

“හැමදෙයක්ම…! යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි මට නර්ස් කිව්වේ…”

“හෙහ්… හොඳම කතාව…! හොදයි ඉස්සෙල්ලා කියන්න බලන්න එහෙනම්… කිසිම විශේෂ හේතුවක් නැතිව, ඔහේගේ ජීවිතේ විශ්වාස කරන්නත් අමාරු දෙයක් උනොත්.. ඔහේ හිතන්නේ ඒක එහෙම වෙන්නේ ඇයි..? කර්මයද? වාසනාවද…? දේව හාස්කමක්ද..? එහෙමත් නැතිනම් නිකම්ම නිකම් අහම්බයක්ද…?”

“මට නම් ගොඩක්දුරට ඒක අහම්බයක්… ඒත් යුද්දේ කියන්නේ එදිනෙදා ජීවත් වෙනවට වැඩිය ගොඩක් වෙනස් අත්දැකීමක්නේ… සමහරවිට එතෙන්දී අහම්බයට තියෙන්නේ බොහොම බාල පිළිගැනීමක් වෙන්නත් පුළුවන්…”

“එදිනෙදා ජීවිතයත් එක්තරා යුද්ධයක් තමයි…” 

එහෙම කියපු ඔහු පසෙක තිබුණු කැබිනෙට්ටුවෙන් තමන්ගේ මුදල් පසුම්බිය ගත්තා… ඒ ඇතුළේ තිබිලා අරගෙන ඔහු මට දිගු කලේ ජායාරූපයක්… පසුම්බියේ රුවාගත හැකි පරිද්දෙන් කතුරකින් කපා සකස්කර තිබූ එහි හිටියේ කාන්තාවක් සහ පිරිමියෙක්…

“මේ කවුද…?” 

එහි සිටි කාන්තාව ඔහුගේ බිරිඳ වියහැකි වුණත් හමුදා නිල ඇඳුමක් හැඳ සිටි අනෙක් පිරිමියා ඔහු නොවන හෙයින් මම ඇසුවේ අවුල් වූ මනසකින් යුතුවයි…

“ඔය මගේ වයිෆ්…”

“එතකොට මේ අනිත් කෙනා…?”

“ඒ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්… මගේ හොඳම යාලුවා…”

මගේ මුවඟට මදහසක් නැඟුණත්, මෙය ඔහුට සංවේදී කාරණාවක් විය හැකි බැවින් එය මා පාලනය කරගත්තා… නර්ස් කියූ අනාවැකිය වැරදි නැති බව මට වටහාගන්න අපහසු වුණේ නැහැ…  කාකි නිල ඇඳුමකින් තම සංවේදී හදවත ආවරණය කරගත් ඔහු සුන්දර කතන්දරකාරයෙක්…ලිපියකින් දෙකකින් අවසන් කල නොහැකි ඒ කතාව මම වෙනත් දිනෙක කියන්නම්… හදිසියේම මේ සුන්දර කතන්දරකාරයාව මට සිහිවුනේ ඊයේ නරඹන්නට යෙදුනු, මෙම ලිපියේ මැයෙහි නම සඳහන් චිත්‍රපටිය නිසයි… චිත්‍රපටය මා සතුවී දිඟු කලක් වුවත් එය නැරඹිමට අතපසුවීම ගැන මම මා හටම දෙස් දුන්නේ පිට පිටම එය දෙවනිවරටත් අද නැරඹීමෙන් පසුවයි…

ජීවිතයම කතන්දර ගොඩක්… එසේ කියන්නේ, කියන්නට කතන්දරගොඩක් ඇති තවත් කතන්දරකාරයෙක් වෙන බ්ලොග් අවකාශයේ කතන්දරකාරයායි… ඔහු කියන්නේ ඔහු කැමති රියල් කතන්දර පමණක්  බවයි සඳහන් වෙන්නේ… නමුත් කතන්දරකාරයෙක් සතුව ඇති රියල් නොවන හීන කතන්දර, සුරංගනා කතා කොතෙක්නම් වෙයිද…? එලෙස නිමක් නැති හීන කතන්දර අතර ඉඩක් ලද වහා අතරමං වෙන්නට කැමති ඕනෑම කෙනෙකු පිසීන් මොලිටෝර් පටෙල් නම් වූ මේ අපූරු කතන්දරකාරයාව මා මෙන්  ආදරයෙන් වැළඳගන්නවාට කිසිදු සැකයක් නැහැ…

නිවාඩු පාඩුවේ ගෙවෙන සති අන්තයක චිත්‍රපටය නැවත නරඹන අතරේ මේ අපූරු කතන්දරකාරයා මනසින් මුණගැසෙන්නට මා කැමති, ඔහුගෙන් අසන්නට බොහෝ දේ ඇති නිසයි…

රිචඩ් පාකර් එක් වරක්වත් හැරි නොබැලුවේ ඇයි?
නැව ගිලෙන්නට හේතුව වූයේ කුමක්ද?
පළමු කතාවේ බෙංගාලි ව්‍යාග්‍රයා යනු පයි නම්, එහිම පයි යනු දෙවියන්ද?
පයි වැනි ඉරැශනල් සංක්‍යාවක් ඔහුගේ නම ලෙස තෝරාගත්තේ ඇයි?
පයි හි අගය 22/7 වෙද්දී දින 227ක් ඔහු මුහුදේ සිටීම අහම්බයක්ද?
රිචඩ් පාකර් කැලයට ඇතුළුවීමට පෙර ඔහු ඉදිරියේ පයිගේ දර්ශනය මැවී පෙනෙන්නේ ඇයි?
රිචඩ් පාකර් කැලයට ඇතුළුවූ පසු කොල පැහැය කෙමෙන් අඩුවී යන්නේ ඇයි?
මුහුදු අනතුරකින් දිවිගලවා ගන්නා උපදෙස් පොතේ වයාග්‍රයෙකු පාලනය කරගන්නා උපදෙස් තිබෙන්නේ ඇයි?
රිචඩ් පාකර්ගේ පළමු නම “Thirsty” වීමත් වතුර වීදුරුව දෙන පල්ලියේ පියතුමා “‍You must be Thirsty” යැයි කීමත් අහම්බයක්ද?
පාවෙන දූපතින් අදහස් කෙරෙන්නේ කුමක්ද?
ආනන්දි නැටුම අවසානයේ කල නෙලුම් මල් මුද්‍රාවෙන් අදහස් කලේ කුමක්ද?

යන මේ සියලු ප්‍රශ්න විමසුවද, එක් ප්‍රශ්ණයක් පමනක් මා ඔහුගෙන් නොවිමසන බව මට විශ්වාසයි… ඒ අන් කිසිවක් නොව, ඔහු පැවසූ කතන්දර දෙකෙන් සත්‍ය කතන්දරය කුමක්ද යන්නයි…

ලොව පුරා මෙතෙක් බිහිවූ සියලු ආගම්, නිරාගමික,  දර්ශන, මතවාද, විශ්වාසයන් යනාදී මේ සියලු කතන්දර අතරින් තමාව වඩාත් සතුටු කරවන කතන්දරය තෝරාගන්න… තවකෙකු තෝරාගන්නා කතන්දරය ඔහුට අනුව හොඳම කතන්දරයයැයි ඔහු  විශ්වාසකරන  බවත් වටහාගන්න… ඔබ කෙතරම් හොඳ මිනිසෙකු වුවත් ලෝකයේ වියහැකි නරකම ආපදාව ඔබට සිදුවිය හැකි අතර, මේ කිනම් කතන්දරය සත්‍යයැයි විශ්වාස කලද අවසානයේ ඔබත් මමත් අප ආදරය කරන සියලුදෙනාමත්  එකිනෙකාගෙන් වෙන්ව යායුතු බව සිහි තබාගන්න… ලයිෆ් ඔෆ් පයි නම් වූ ඒ සුන්දර ටෙලි සිත්තම මට සිහිකැඳවූ‍ පණිවුඩය  එයයි…

Director: Ang Lee
Writers: Yann Martel (novel), David Magee (screenplay)
Stars: Suraj Sharma, Irrfan Khan, Adil Hussain 



26 comments :

  1. ඉස්සල්ලාම ෆිල්ම් එක ගැන:

    ෆිල්ම් එක බැලුවේ බීට්ල් දාපු ලිස්ට් එකෙන්. ස්තූතිය බීට්ල්ට. :)

    The Schindler's list, The English patient, Life of Pi කියන ෆිල්ම්ස් තුනේම මට පෙනුනේ සමානකම්. තුනටම Man Booker prize කියන සම්මානය හිමි උණා. ඒ වගේම තුනෙන්ම ෆිල්ම්ස් හැදුවා. විශේෂ වෙනස්කමකට තියෙන්නේ මේ චිත්‍රපටිය ළමයින්ට බැලිය හැකි එකක්වීම.

    කතාවෙන් අපිට දෙවියන් ගැන තියන විශ්වාසය 100% වැඩි වෙනවා කියන්ට නම් නෑ. හැබැයි අපිව තිරේ මතුපිටින්, අපූරු, හිතාගන්ට බැරි තරම් ලස්සන හීනලෝකෙකට අරගෙන ගියා කියලා හිතුවොත් නම් ඒක නිවැරදී. ඒත් මුහුද මතු පිට ගිය ගමන දිග වැඩී , වෙහෙසකරයි කියලා කියලා හිතුනු අවස්ථාවක් , දෙකකුත් තිබුණා.

    ප්‍රශ්න:

    මේ වගේ ප්‍රශ්න ගොඩක් මගේ නම් ඔලුවට එන්නේ මුල් වරට ෆිල්ම් එක බලන වෙලාවට නම් නෙමේ. හැබැයි රිචඩ් පාකර් ආපහු හැරිලා නොබැලුවේ ඇයි කියන එක ඒ වෙලාවේ හිතට ආවා. ඒ එයා ආපහු එක් වතාවක් හරි හැරිලා බලයි කියන විශ්වාසය හිතේ තිබුනු හන්දා.
    රිචඩ් පාකර් ආපහු නොහැරීමෙන් දුන්නු පාඩම තමා ආදරෙන් ඉන්න කෙනෙක් උණත් ඉවත්ව යනකොට සියලු බැඳීම අත් හැර දමා යායුතු බව. කුඩා බැඳීමක් තිබුණත් එතනදි දැනෙන්නේ දුකක්.

    බලාපොරොත්තුවක් නැතුව කෙනෙකුට ජීවත් වෙන්ට බෑ. පයිට බලාපොරොත්තුව දුන්නේ රිචඩ් පාකර්. ඔහුට ආහාර සැපයීමෙන්, ආඅහාර සෙවීමෙන් පයි ජීවිතයේ යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගත්තා වගේම ඔහුට එය ජීවත්වීමේ අයිතියත් හිමි කර දුනා. නැව විනාශ උනේ ඒ පාඩම අපිට දෙන්ට වෙන්ට ඇති.

    කතන්දරයක් අහගෙන ඉන්නකොට කතන්දරේ ජීවත්වෙනවා නම් ප්‍රශ්න ඔලුවට එන්නේ නෑ කියන එක තමා අන්තිමට මට හිතුනේ. ප්‍රශ්න එන්නේ, කතාව විග්‍රහ කරන්ට ගියාමයි. :D

    ඒ වගේම සත්‍ය කතන්දර කොහෙවත් නෑ. සත්‍යය කියන්නෙත් සාපේක්ෂ දෙයක් නිසා.

    ෆිල්ම් එක වගේම පෝස්ටුවත් හිතන්ට යමක් ඉතුරු කරලා. :)

    ReplyDelete
    Replies
    1. මේ පොඩ්ඩිගේ කතන්දරය... :D සමහරුන්ට රිචඩ් පාකර් නැවත හැරී නොබැලුවේ පයිගේ පියා කී පරිදිම ඌ තිරිසනෙක් නිසයි... තවත් සමහරෙකුට පයි යනු දෙවියන් සහ රිචඩ් පාකර් යනු මිනිසා, අපි සමහරෙක් දෙවියන්ගෙන් ලැබුනු ලාභයන්ට කෘතඥ වන්නට ඔහු දෙස වරක් වත් හැරී නොබලන්නේ යම්සේද රිචඩ් පාකරුත් එසේමයි... තවත් සමහරෙකුට අනුව පයි සහ රිචඩ් පාකර් යනු මිනිසා සහ මරණය සංකේතවත් කරන්නක්... ඇත්ත මේ ප්‍රශ්න සේරම කතාව විග්‍රහ කරන්න යෑම නිසයි... ස්තූතියි පොඩ්ඩි දිග කමෙන්ටුවට...

      Delete
    2. මට නම් හිතුනේ රිචඩ් පාකර් කියන්නේ පයි ට මයි කියලා. පයි ගේ ජීවිතේ දුෂ්කරම කාලේදී රිචඩ් තමයි එයාව සවයිව් කරේ. නමුත් පයි දන්නවා එයා ඇත්තටම රිචඩ් කෙනෙක් නෙවෙයි කියලා. රිචඩ් හරියට ආයුධයක් වගේ. නැත්නම් ගින්දර වගේ.
      ඉතින් වර්තමානයේ ජීවත්වෙන්න පයි එයාගේ අතීතය හෙවත් රිචඩ් ට සමු දුන්නා.

      //මේ ප්‍රශ්න සේරම කතාව විග්‍රහ කරන්න යෑම නිසයි//
      ඔව් ඒත් ගෙඩි පිටින් කතාවක් කියනවට වඩා විග්‍රහ කරන්න දෙයක් දෙන කතන්දර වලට මම නම් ආසයි :)

      Delete
  2. ලස්සන කතාවක් තියෙන මූවි එකක්... මාත් බැලුවා.

    ReplyDelete
  3. චිත්‍රපටිය බලන්න ඕනේ..... මේ කතාව කිසිදාක චිත්‍රපටියකට නගන්න බැරි බව කියලා තිබුනලු... කොහොම හරි හොඳම අධ්‍යක්ෂණයට, දෘෂ්‍ය ප්‍රයෝග වලට, සංගීතයට සහ සිනමාත්මකභාවයට (Cinematography) ඔස්කාර් සම්මාන ලැබුනා.

    ReplyDelete
  4. ප්‍රතිචාර වලට ස්තූතියි තිසරටත්, මාලුවාටත්...

    ReplyDelete
  5. පොත නම් බැලුවා... අවසාන ඡේදය බොහොම තදින් හිතට දැණුනා...

    ReplyDelete
  6. තාම බැලුවේ නම් නෑ. පොඩ්ඩිගේ කමෙන්ට් එක දැක්කාම මතක් වුනා මමThe Schindler's list, The English patient,දෙක නම් බලලා තියෙන බව.

    ReplyDelete
  7. මිනිසුන්ට හිතන්න යමක් ඉතුරු කල, එහෙම හිතන්න පුරුදුකරණ, අපි ඉන්න ලෝකය මොනතරම් වෙනස්ද කියලා පෙන්නන, කතාවක්. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. චිත්‍රපටියක් බලද්දි පෙරමත පසෙක ලා බැලීමේ පුරුද්දක් ඇති නිසා ඇත්තටම මේ ප්‍රශ්න එකක්වත් දැනුනේ නැහැ..

    අපි රිචඩ් පාකර් ආපහු හැරේවි කියලා බලාපොරොත්තු වෙන්නේ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්...

    ReplyDelete
  9. හීන කතන්දරේ, සුරංගනා කතන්දරේ හොඳයි.

    ඒත් මං වැඩියෙන්ම කැමති ඔහේ ලියපු අර උණ ගැණිච්චි ගෑල්ළමයා ගේ කතන්දරේටයි.

    ඒක සූරංගනාවක් ගැන කතාවක් වෙන්න ඇති. නමුත් රියල් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. කකාගේ ගම මාතරෙයි ?

      Delete
  10. ලයිෆ් ඔෆ් පයි ගැන මටත් කතන්දරයක් තියෙනවා කියන්න.

    නමුත් එක තවම කළල අවදියේ නිසා ලියන්න තව කල් යාවි.

    වෙනත් පොඩි කතාවක් කියන්නම්.

    මේ චිත්‍රපටිය මං බැලුවේ ජර්මනියේ සිට ගෙදර එද්දී එටිහාඩ් ප්ලේන් එකේ දී යි. මගේ දොලොස් වියැති පුතාත් මීට කලින් මෙය නරඹා තිබුණා.

    පොර මා එක්ක කිව්වා මෙහෙම.

    මට ලියන්න හිතෙනවා නවකතාවක් ස්ටෝරි ඔෆ් එ පයි කියලා. ඒ කියන්නේ පයි නම් වූ ආහාරය (පස්තෑල?) ගැන කතාවක්.

    ඒක අර ඉඟුරු විස්කෝත්ු මිනිහා වගේ සුරංගනා කතාවක් වේවි.

    ReplyDelete
    Replies
    1. OYA THAWA THIYENNE, PYE GENATH LIYANAWALU, METHUMA PYE KADAWAL KARA THABAGENATH YANAWALU.

      Delete
    2. කකෝ, කක්කා ගඳ ගහන බොරු කියන්න එපා. කෝ කලින් කසාදෙ සූරියාරච්චි පැටියා?

      Delete
    3. දැන් ඔයා එතිහාඩ් ප්ලේන් එකේ ආව කියන එක මේ කතාවට අදාල වෙන්නේ කොහොමද ?

      Delete
  11. OYA KIYANNE APE KAKKA BUWA NEDA? REAL KATHANDARA KARAYA. EYA LIANNE REAL KATHANDARA, JOKA IRILA PUKA PENENA HATI GENA, CHOO, PADA JEE, YANA HATI GENA, EKA PALIYATA ENA HATI GENA. SAHA THAWATH GODAK DEVAL GENA.

    ReplyDelete
  12. ලයිෆ් ඔෆ් පි මාත් බැලුවා ඒක ලස්සන කතාවක්!

    ReplyDelete
  13. මේක බලන්න ඕනේ. ඊට පස්සේ දිග කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  14. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
  15. ෆිල්ම් එක අන්තිමට තමයි මන් ආසම ...අන්තිම චුට්ට කමලි කමට නොබලා උන්න නම් සම්පුර්ණයෙන් වැරදි අදහසක් එන්නේ .. අපි පවුලම රස වින්දා හොඳටම.

    රිචඩ් පාකර් කියන්නේ ඔහුට එල්ලවන අභියෝග වලට කියලයි මට හිතෙන්නේ . මෙහෙම චිත්‍රපට හදන්න මිනිස්සුන්ගේ පරිකල්පන ශක්තිය කොච්චර ඉහල වෙන්න ඕනද කියලයි මට හිතුනේ .

    ReplyDelete
    Replies
    1. මම ෆිල්ම් එකනම් බැලුවෙ නෑ. තැනින් තැන බැලුව. පොතෙන් ගත්ත ආතල් එක කුඩු වෙයි කියල හිතුන.
      මටත් හිතුනේ රිචඩ් පාකර් කියන්නේ ඔහුට එන අභියෝග කියල තමයි.

      Delete
  16. ෆිල්ම් එකේ අන්තිමට අර දෙවැනි කතාවේ විදිහට සීබ්‍රා කියන්නේ සේලරුව ඔරන් ඔටන් කියන්නේ අම්ම සිංහයා කියන්නේ පයි හෙවත් කතානායකයා කියද්දී මට මතක් උනේ අපේ ජාතක කතා .කතන්දර කියන සිනමා කලාවක් අද හරිම අඩුයි.එහෙම බැලුවම මේක දුර්ලභ චිත්‍රපටියක් .

    ReplyDelete
  17. http://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf

    ReplyDelete
  18. THAWATH KATHA LIYANNAKO

    ReplyDelete

Web Statistics