Monday, August 11, 2014

95. දූවිලි…



“ආ මෙන්න…”

තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්පය ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා…

හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා උගේ අතේ තියන බියර් බෝතලය කඩනවා…


“මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…”

මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්…

“කට වහගෙන ඕක බීපන්…”

ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ…

“උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…”

නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්…

“සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…”

එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම…

විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි….

“උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…”

ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන…

“හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“

අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න…

ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්…

++++++++++++++++++++++++++++++++++++++

“බොකා කියන ඩයල් එක උඹ දන්නවද..? ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…”

බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්…

“දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…”

කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… 

අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ…

“මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…”

උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි…

චටාස්…!!!

“අත පාතට දාලා කතා කරපන් කැ……!”

ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… 

තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි…

මුගේ අම්… චට…පටාස්…

මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි…

හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්…

රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි…

ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්…

“Congrats nigga… f*king awesome…”

++++++++++++++++++++++++++++++++++++++

“ආ මෙයා කවදද ගොඩබැස්සේ…”

මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්…

“ආ මෙන්න…”

තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා…

“සේරම හරියට ෆිල් කළා නේද..?”

ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්…

“ඔව්…”

මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්…

“උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද..? බෑ කියලාද..?”

කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස…

“මම කොහොමද බන් දන්නේ…”

“නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…”

ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ…

ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි…

“ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…”


“එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…”

“හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…”

“හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද..?”

“ඒක තියාගන්න…”

“එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “

“බායි…”

“බායි බීට්ල්…”

සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි…

“පොඩ්ඩක් ඉන්න…”

මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට…

“ඇයි…?”

ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි…

“එච්චරද..?”

“එච්චරද කියන්නේ…?” මෙවර අසන්නේ ඉබ්බා…

“දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…? අනේ මට තේරෙන්නෑ බන්…”

මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්…

“ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද..?”

කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්…

“නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…”

“එහෙනම්…?”

ඒ ඉබ්බා…

“නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද..? මම යන්නම්… බායි…එච්චරද…? දෙයියනේ උඹලට දුක නැද්ද…? ”

මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි…

“සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…”

මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්…

කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි…

නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…

Gotye - Eyes Wide Open
With our eyes wide open, we
With our eyes wide open, we
So this is the end of the story,
Everything we had, everything we did,
Is buried in dust,
And this dust is all that's left of us.
But only a few ever worried.
Well the signs were clear, they had no idea.
You just get used to living in fear,
Or give up when you can't even picture your future.
We walk the plank with our eyes wide open.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah, we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
Some people offered up answers.
We made out like we heard, they were only words.
They didn't add up to a change in the way we were living,
And the saddest thing is all of it could have been avoided.
But it was like to stop consuming is to stop being human,
You'll want to make a change if you won't.
We're all in the same boat, staying afloat for the moment.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open, we
With our eyes wide open, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank.
That was the end of the story.

75 comments :

  1. කැපිටලිසම් වලදි කැපෙන මිනිස්සු හිතනවා කැපිටලිසම් වල ඉහලින් ඉන්න වඩාත් ප්‍රතිලාභ ලබන ජනතාව විශාලතර විනෝදයක් ලබනවා කියලා. නමුත් ඒක මායාවක්..
    මට මතක් වෙන්න අපේ ගමට ලයිට් වතුර ආවට පස්සෙ ගම වෙනස්වුන හැටි.. වතුර එන්න කලිං වතුර ගේන්න යන්න කට්ටිය පෝලිමේ යන්නෙ..එකිනෙකා නිතර ගැටෙනවා..මගුලක් මරණයක් වුනාම ඔක්කොම එකතුවෙනවා..ලයිට් නැති නිසා විනෝද වැඩ වලට කස්ටිය රොක් වෙනවා.. ඒ වගේ පවුලක බැඳීම එන්න එන්න වැඩිවෙනවා. මොකද සම්පත් හිඟ නිසා අනිවාර්යෙන් එකිනෙකාට උදව් කරගන්න වෙනවා..උදාහරණ විදියට අපෙ ගමේ ගෙවල්වල ඉස්සර ගැඩොල් කපද්දි මුලු පවුලම මැටි වලේ... සමාර විට පොඩි උන් පවා.. නමුත් සම්පත් ගොඩාරියක් තියෙන කොට කිසිම දෙයක් බෙදා නොගෙන ලිංගික අවයව දෙක විතරක් අවශ්‍ය වෙලාවට විතරක් බෙදා කියාගෙන ජීවත් වෙන්න හැකියාවක් එනවා..

    ReplyDelete
    Replies
    1. උඹට උත්තරයක් දෙන්න තිබ්බා විනෝදය කියන එකවත් මම හරියට දැනගෙන හිටියා නම්...

      Delete
  2. උණුසුම්ය කියල හිතෙන සමහර දේ ගල් ගැහෙන සීතලයි !

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම සීතලට බය...

      Delete
  3. // “සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…” //

    සමහරවිට ඒ සම්බන්ධෙ ඉවරවුනේ ඒ දෙන්නා බැන්ද දාම වෙන්ටැති. එහෙමත් නැත්තං බඳින්ටත් කලින් ඉඳන්ම!? හිත් තේරුම් ගන්න එක හරි අමාරු දෙයක් බං.

    මොනාවුනත් මම කැමැතියි ඒ දෙන්නා යතාර්ථය තේරුම් අරන් එච්චර සුහදව වෙන් වෙච්ච එක ගැන. ප්‍රායෝගික දෙන්නෙක්!

    ReplyDelete
    Replies
    1. හිත් තේරුම් ගන්න එක අමාරු දෙයක් විතරක් නෙමේ ඇබ්බැහිත් වෙන දෙයක් නේද...? :)

      Delete
    2. මේ කියන්නෙ මාතෘකාවෙන් පිට: අනේ තරහා නැතුව අර blog archive එක උඩට ගෙනෙන්. බලහං ඒක හොයන්ට රුපියල් 50/-ක දුර ත්‍රීවීලර් එකක ගිහිල්ලා, හන්දියෙ කඩෙන් පාර අහගෙන තව චුට්ට දුරක් පයින් යන්ටත් තියෙනවා.

      Delete
    3. ස්තූතියි යෝජනාවට බුරා.. උඩට ගත්තා...

      Delete
  4. අනේ මන්දා මොනවා කියන්නද කියලා.. එක අතකට ඒක ඔවුන් කැමති විදිහ වෙන්න ඇති.. අපි කොච්චර අකමැති වුනත්.. හැබැයි හුඟ දෙනෙක්ට ඒ විදිහට සුහදව වෙන් වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් ඒක ඒ දෙන්නම කැමති විදිය ඒ ගැන මටත් සැකයක් නෑ...

      Delete
  5. ඔන්න ඔහෙ ගහ මරා නොගෙන අපුරුවට වෙන් වෙන එක හොදා

    ReplyDelete
    Replies
    1. වෙන්වෙන දේකත් අපූරුවක් දකින උඹ හරි හපනෙක් නොවැ... :D... ඔව් බන් හරියට ආදරේ කල නිසා වෙන්නැති ගහමරාගන්නැත්තේ...

      Delete
  6. මතකයන් විතරක් ඉතුරු කරලා , හිතේ දුකක් නැතිව මෙහෙම වෙන්වෙන්ට පුලුවන්වීම කොච්චර දෙයක්ද?

    මේ වගේ කතා අහලා තිබුණට , ලියවිල්ලක් කියවද්දි මෙච්චර දුක හිතෙයි කියලා හිතුණේ නෑ.

    ලියවිල්ලට දීලා තියෙන මාර්තෘකාව අපූරුයි. 'දූවිලි'.... හැමදේම දූවිල්ලක් වගේ නැතිවෙනවා කියන එකද? පයට පෑගෙන දුවිල්ලක්වත් තරම්වත් කිසිදෙයක් නොවටිනා බවද?

    'සම්බන්ධේ ඉවර වුණේ දැන් නෙමේ බීට්ල්' මට හිතෙන්නේ මුලු කතාවම තියෙන්නේ මෙතන.

    ReplyDelete
    Replies
    1. මතකයන් ඉතුරුවෙන හැම තැනකම හිතේ දුකත් ඉතුරු වෙනවා කියලා මම හිතාගෙන ඉන්නේ...

      දූවිලි කියන එක දැම්මේ සිංදුවේ ලිරික්ස් වලින්... වෙන්වීම ගැන මාතෘකාව දාලා ඒක හිතේ තියාගෙන කියවන්න පටන්ගන්න එක මට නවත්තන්න ඕනේ වුනා...

      Delete
  7. Happy ending.

    නැට්ට නැතුව අලි මැරෙති!

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ කතා තියෙද්දී බ්ලොග් වැහෙන්නේ... :)

      Delete
    2. වෙන්ඩ කතා තියෙද්දී බ්ලොග් වැහෙන්නේ... :)


      ++++++++++++++++++++

      Delete
  8. සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ
    මුමුණන්න වදනක් පෙර සේම ළං වී
    මිය ඇදෙන මතකය වගේ //

    තුරු සෙවනේ මල් අතරේ
    වැළපෙන කතාවක්
    මද සුළඟේ පාවී ගියේ
    සුසුමකට ළංවෙන්න
    කඳුලක රිදුම් දෙන්න
    ඇයි ආදරෙන් හමුවුණේ
    ඇයි ආදරෙන් හමුවුණේ

    සමුගන්න මොහොතකට පෙර එකවතාවක්...

    අවසන්ව යන මතක
    හද වේදනාවෙන්ම
    සතපන්න ළය මත මගේ
    දිවි මං තලාවේ
    මා පරදවාලන්න
    ඔබ කිමද මට පෙම් කලේ
    ඔබ කිමද මට පෙම් කලේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්... ඇත්තටම එතන මට අවුල වුනේ මේ සිංදුවෙ අහන ප්‍රශ්න දෙකම අහපු නැති එක...

      Delete
  9. හරියට නිකන් චෙකොස්ලෝවැකියාව වෙන් වුනා වගේ නේද ? එපා වුනාට පස්සෙ, එපාම වෙන්ඩැති.. ඒක හින්දා පිටින් දකින අනිත් අයට පේන සංවේදීකම වෙන් වෙන අයට තේරෙන්නැතුව ඇති නේද ?

    ලිවිල්ලනම් අපූරුයි... බීට්ල් වනාහී චන්ඪියෙක් කියලත් දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. නිකං චන්ඩියෙකුත් නෙවී නෙව බඩේ චංඩියෙක්...
      හෙක් හෙක්...

      Delete
    2. චණ්ඩියෙක් වෙන්න කාටහරි ගහන්නම ඕනේ නෑ... ඇත්තටම කාණුවේ බැහැගෙන ගුටිකන එකෙකුත් නිකං නමට හරි චණ්ඩියෙක් වෙනවා කියලා ඇත්තටම මට තේරුණා...

      ඒ කෑල්ල ඇමිණුවේ නිකං කඩුපයිට් තියෙද්දී බෝරිං ගතිය යනවනේ... :)

      Delete
    3. @ මහේශ්

      බණ්ඩි චන්ඩියෙක් :D

      Delete
  10. සංවේද ීවුනත් එක හුස්මට කියවන් යන්න පුලුවං සටහනක්...
    සමහර අයට සම්බන්ධතාවක් ඇතිකරගන්නව කියන්නෙ මහමෙරක් වගේ..එයාලට ඒක කැඩුනොත් ඒ තරං වේදනාවක් නෑ..
    ඒත් සමහර අයට එක්වීම වෙන්වීම නිකං පොරි කනව වගේ...
    නොකෑවෙත් නෑ ඒත් කාපු දේකුත් නෑ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අදාල නැති කතාවක්... වෙන්වීමත් එක්ක පොරි නියමෙට මැච් වෙනවා නේ...? වී ඇටේට පීඩනේ දරාගන්න බැරුව ගියාමනේ පොරි මලක් හැදෙන්නේ...

      Delete
  11. ඒක එහෙම වෙච්චි එක හොදයි නේ.. විදවනවට වඩා..

    ReplyDelete
    Replies
    1. ඔව් උන් විඳවන්න ඉපදුන උන් නෙමේ... හැම වෙලාවෙම සතුටින් ඉන්න කැමති උන්...

      Delete
  12. වංචාකරමින් ජීවත් වෙනවට වඩා මෙහෙම වෙච්ච එක හොඳයි කියල මටෙ හිතෙන්නේ
    -මොළය.

    ඒ වුනාට අච්චර ගුටිකාලා ‍රැකගත්ත, අච්චර ලස්සන අතීතයක් තිබ්බ ප්‍රේමයට මෙහෙම වෙච්ච එක මට නම් මාර දුකයි.
    -හදවත

    ReplyDelete
    Replies
    1. ලොවට හොරා විලි ලා බිහි කරගත්..
      වසන්තයේ සඳ මියැදුනු දවසක..
      බෙදා හදාගත් දුක වත් අද නැත..
      ඒ දුක කෙතරම්...... මිහිරි ද සොඳුරිය......

      Delete
    2. බුරා ට හරියටම හරියන සිංදුව අහුවෙලා....කතාවේ කොහෙඩි හරි මට අමරසිරි පීරිස්ව මතක් වුණා... මේ කොමෙන්ට් එක දැක්කහම තමයි ඇයි කියලා තේරුණේ... එකම වෙනස, මේ කතාවෙදි එහෙම වෙන්න කාලයක් ගිහින් නැති එක.

      Delete
    3. buraa . . menna magenuth ++++++++++++++

      Delete
    4. @හෙන්රි
      මේ ලෝකේ තියෙන අමාරුම සටන ඒක කියලා කියනවා නේද...? අර කෝට් එකක් තියෙන්නේ "The worst battle you have to fight is between what you know and what you feel." කියලා...

      @බුරා
      මේ තමයි හරියන සිංදුව මම හිතන්නේ... කාලයවත් වැරදිකාරයෙක් කරන්න උන්ට අවශ්‍යය නෑ හැබැයි...

      Delete
  13. මෙන්න මේක පට්ටපල් බොරු
    //We walk the plank with our eyes wide open//

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒ වාක්‍යයේ වචන තේරුම මිසක් අදහස තේරුනේ නෑ ජීවන

      Delete
  14. මට හිතුනේ ඔය වගේ දෙයක් උනාට පස්සේ දෙන්න ඕනා පාටියක්ද?? දානයක්ද ??

    ReplyDelete
    Replies
    1. දවසේ කථාව.
      ගල් අනිවාරයයි

      Delete
    2. @ sanjeewa mendis

      දානෙකදිත්, පාටියකදිත් ගල් කොහොමත් අනිවාර්යයි බං.

      Delete
    3. නැත්තම් දානයක් දීලම පාටියක් දාමුද..? :)

      Delete
  15. අන්න එහෙම එමු.

    - TS

    ReplyDelete
    Replies
    1. කොහොම එන්නද මට හරියට තේරුනේ නෑ... :)

      Delete
  16. බීට්ල් මටත් තියනවා සමාන අත්දැකීමක්... අපේ බෝඩිමේ හිටිය මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක් කෙල්ලෙක් එක්ක යාළු වුණා. ඒ කාලෙ යවන එවන ලියුම් පොදු භාණ්ඩනේ. ඒවගෙන් මට තේරුණ දෙයක් තමයි මේ කෙල්ල, බොහොම හොඳ, කෙලින් කතා කරන, විච්චූරණ නැති බුද්ධිමත් කෙල්ලෙක්ය කියන එක...

    අවුරුදු බර ගාණකට පස්සෙ, මම අර මල්ලිගෙ වෙඩිං ෆොටෝ එක දකිනවා... ඉන්නේ වෙන කෙනෙක්... මට එහෙම වුණේ කොහොමද කියලා ඒ මල්ලිගෙන් අහන්න හිතෙන්නේ නෑ. ඒ කාලෙ හිටපු තව යාළුවෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ඇහුවට කවුරුත් දන්නේ නෑ අර කෙල්ල ගැන. මූණු පොතේ ගහලා බැලුවත් හොයාගන්න බැහැ... ඒ ගැන කල්පනා කරද්දි මට දැනෙන හැඟීමම තමයි, උඹටත් කාර් එකේ ඉන්නකොට දැනෙන්න ඇත්තේ කියලා මට හිතුණා.

    ReplyDelete
    Replies
    1. මට තිබුණේ නිකං කේන්තියක් වගේ එකක්... බැඳීම් වලට වටිනාකමක් දෙන්නේ නැද්දෝ කියන එක... බුද්ධිය දිනනකොට හැඟීම් නොකවුට් වෙන්නම කාලා හතරගාතෙන් වැටෙන හැටි බලාගෙන ඉන්න බැරිකමක්... ඒ වුනාට ඒක මෝඩ හැඟීමක් වෙන්නත් ඇති...

      Delete
  17. ඒ වුනාට ඒ වෙන්විම සැහෙන කාලයක් යනතුරැ හිත රිදවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සම්පුර්ණයෙන් නැතිවෙන එකක් නැහැ...

      Delete
  18. මේ විදියට සමු දෙන්නත් සමු ගන්නත් හැකිනම් කෙතරම් හොදයිද? හදවත කම්පනයකට ලක් කළ ලියැවිල්ලක් බීට්ල්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්... සැකයක් නෑ ඒගොල්ලෝ කලයුතුම දේ තමයි කරන්න ඇත්තේ...

      Delete
  19. හ්ම් වෙන් වීම්!
    කොහෙන් පටන්ගන්නද?
    නිල වශයෙන් අවසානයි කියල කතා කරල ඉවර කරපු සහ කිසිම හේතු සාධක ඉදිරිපත් කිරීමක් අතීතාවර්ජනයක් නැතිව එකපාරටම ඉවරවෙච්ච දීර්ඝ සම්බන්ධකම් මට තිබුණ.
    ඒ නිසා මම මං අස්සෙන්ම අරගෙන මේ කතාව ගැන යමක් කියන්නම්.

    ඇතැම් සම්බන්ධකම් පොල්ලෙන් ගැහුව වගේ අහවර වුණාම පීඩන බෝම්බයක් පිපිරුණා වගේ දැනිල උන්න හිටිය තැන් අමතක වුණා. ඒ වෙලාවෙ දැණුනෙ මෙන්න මෙච්චරයි. අනේ තව වචනයක් කතා කරන්න තිබුණ නම් කියල. එයාගෙන් අහන්න තිබුණ නං ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි මාව දාල යන්න තීරණය කලේ කියල?
    අපි ඔය හැම ප්රයශ්නයක්ම හිතේ ඇඳගන්නෙ කාරණා කීපයක් නිසා.
    අපිට ආද‍රේ කරපු, අපි එක්ක විශේෂ බැඳීමක් තිබුණ කෙනෙන් අතින් හදිසියේ ප්ර තික්ෂේප වීම දරාගන්න බැරිකම
    ආදරේ හෝ මොකක් හෝ කාරණාවක් හන්ද ඒ පුද්ගලයව අත්පත්කරගැනීමේ, පුලුවන් තරම් කාලයක් ලඟ රඳවාගැනීමේ දැඩි අවශ්යාතාව සහ ඒ නිසා ඒ පුද්ගලයව වෙන කෙනෙක්ට අයිති වෙයි කියල ඇති වෙන දැඩි මාත්සර්යය.
    ඒත් ඇත්තටම කම්පනය සමනය වෙලා සිදුවීම දිහා විවෘතව බලන්න පුලුවන් තරම් පියවි සිහියට ඇවිල්ල කල්පනා කළාම හිතෙන්න ගත්ත ඒ සම්බන්ධකම් එහෙම කිසිම වචනයක් නොදොඩා, නිලවශයෙන් කතාබහ කරල ඔන්න ඉවරයි කියල කතා කරල කරන්න ගියානම් ‍ඒක ලොවෙත් කරන්න වෙන්නෙ නෑ කියල.
    අනිත් අතට ජීවිතේ ඇතැම් සම්බන්ධකම් තිබුණ "හරි මේ දැන් ඉඳල ඉවරයි", "අන්තිම වතාවට හෙට මුණ ගැහෙමු, අන්තිම වතාවට හෙට කතා කරමු" කියල සියලුම මතක සැමරුම් පෙරළා භාර දීල ඇවිල්ල අනිත් අතට පරිස්සමෙන් ගෙදර ගියාද කියල කතා කරල අහල බලපු.
    ඒක ‍‍නිසා එදා ඒක එතනින් ඉවර කරන්න කතා කරපු අපි ආයෙමත් ‍ආදරේද නොවන, නොවන්නේද නොවන සම්බන්ධයක් අරන් ගියා තවත් අවුරුදු දෙකක්!
    ඒක මට දැණුන විදියට දෙපාර්ශවයටම දරුණු පීඩාවක්. බිඳිල අලවපු වීදුරුවක් වගේ. වීදුරුව ආපහු තියෙනව. ඒත් බිඳිල. වතුර වාහිනව.
    ඒක පලක් ඇති දෙයක් නෙවෙයි කියල දැන දැනත්, පරණ තැනට යන්න ආයෙමත් බෑ කියල දැන දැනත් කරන උමතු ක්රිතයාවක්. ඒක ආදරේ හෝ ආරක්ෂාව සැලසීම හෝ නෙවෙයි මාත්සර්යය නිසා දෙපැත්තෙන්ම කෙරෙන රඳවාගැනීමක් තියල දැනෙන්න ගත්තාම තමයි තේරෙන්නෙ අපි නාස්ති කරන්නෙ දෙන්නගෙම කාලය කියල.
    එහෙම ඒවගෙ අවසානය අතිශය කටුක වුණා. ආදරේ කියල හිතාගෙන කරපු දේවල් නිසා දෙපාර්ශවයටම බලවත් සේ හිත රිදුණ. කෙසේ හෝ අත්පත් කරගන්න අදහසින් ක්රි යාත්මක වුණ වෙලාවල්වල කරපු කියපු දේවල් හන්ද දෙපාර්ශවයට නැවත කවදාවත් ඒ සම්බන්ධය ගැන සුහදව කතා කරල ඇසුරු කරන තැනකට එන්න බැරි විදියටම කටයුතු යෙදුන.
    මේ හැම ‍‍දේම එක්ක මම කියන්න උත්සාහ කරන දේ තමයි හිටිය ගමන් බෝම්බ පිපිරුම් සමුගැනීම් වුණාම මොන තරම් තැවුල් හිතට දැණුනත් ඒ අය එක්ක පසුකාලීනව ඒ සියල්ල පසෙක ලා බොහොම සුහදව විවෘතව කතා කරන්න පුලුවන් වුණ බව.
    ඒ සමුගැනීම හදිසි වුණත්, හිත රිදුණ වුණත්, ඒකෙන් ඇති වුණ හොඳ ප්රොතිඵලයක් ලැබුණ බව සහ ඒ ගැන දෙපාර්ශවයටම සුභවාදීව දකින්න පුලුවන් කමක් තියෙන බව.
    මේක මගේ පැත්තෙන් මට හිතෙන දේ විතරයි
    ඒත් බීට්ල්, මේ අපි කතා කරන්නෙ අතිශය සංවේදී, පුද්ගලබද්ධ කාරණා. එකිනෙකා දකින විදිය, දකින්න අවශ්යග විදිය බොහෝ පරාසයක් ඇතුව වෙනස් වෙන කාරණා.
    ඇත්ත, මේක ලියල තියෙන උඹට වගේම කතාව කියවල එකපාරටම හැඟීම්බර වුණ මටත් හිතුණ තමයි මෙච්චර කාලයක් ආදරේ කරල වෙන් වෙන්න යන වෙලාවෙ ඇයි හත් දෙයියනේ මුන්ට මීට වඩා වචනයක් කියාගන්න බැරිද කියල.

    ඒත් එතනින් මිදිල, අතීත අද්දැකීම් ගැන සිහිපත් වෙලා, යථාර්ථවාදී සිතුවිලි පහල වුණාම හිතුණ මුන් මෙහෙම හොඳ අවබෝධයකින් වෙන් වුණ එක හොඳයි කියල.

    // “සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…” //
    ඇත්තම කියනවා නම් මේ වචන දැක්කාම මට අනුකම්පා හිතුණෙ ඉබ්බවත් කලනිවත් ගැන නෙවෙයි. කාලයක් තිස්සෙ ක්ෂය වෙලා ක්ෂය වෙලා ගිය, වෛවාහික බන්ධනයක පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්න යන බීට්ල් ගැනයි.

    හැමදාමත් වගේ සුන්දර ලියවිල්ලක් බීට්ල් ගෙන්. ඔහොමම යමන්!

    ReplyDelete
    Replies
    1. අර බිඳිලා අලවපු වීදුරුව වගේ සම්බන්ධය ගැන විස්තර කරලා තියෙන දේ මාරයි... උබ මේ කියලා තියෙන උදාහරණ වල විදියට අතීතාවර්ජනයක් ඇතත් නැතත් අන්තිමට වේදනාව කියන ප්‍රථිපලයේ ලොකු වෙනසක් නෑ නේද... ඉතිං ඒවායේ මරණ පරීක්ෂණය තේරුමක් නැති දෙයක් තමයි... ගොඩක් ස්තූතියි උඹේ වෙන්වීම් ගැන අත්දැකීම් බෙදාගත්තාට...

      Delete
    2. ඔබ කිව්වා හරි, එක පාර නතර කරන එක තමා කරන්න ඕනි. "තව එකපාරක්" සම්බන්දය හිතට වදයක්

      Delete
  20. සින්දුව ඇහුවෙ නෑ
    නිකං උගුර හිරවෙනව වගේ ගතියක් ආවනෙ බීටලේ
    දෙන්නම හොඳ මිනිස්සු - පව් බං!

    ReplyDelete
    Replies
    1. ///දෙන්නම හොඳ මිනිස්සු - පව් බං!///
      ඇයි තුන්වෙනියා මම... එල කොල්ලෙක් තමයි... :D

      Delete
    2. ගිය පාර පෝස්ට් එක මගින් නැවැත්තුවා වයස වැඩියි, දැන් බෑ කියලා.. දැන් කියනවා එළ කොල්ලෙක්ලු.. හැබෑටම අවුරුදු කීයකට විතර උඩදිද ඈ... :D

      Delete
    3. නෑ සෙන්නා මේ තිස්ස අයියලා එක්ක සෙට් වෙන තැන්වල අපි කොල්ලෝ තමා... හක් හක් හා... :D

      Delete
  21. ඇත්තටම මෙච්චර සරල සැහැල්ලු විදියට වෙන් වෙන්න පුලුවනිද?අවුරුදු ගානක ආදරේට දෙන වටිනාකම මෙපමණ ද? මට ඇතිවුණු ප්‍රශ්න ඔන්න ඕවයි.

    ReplyDelete
    Replies
    1. මට ඇතිවුණු ප්‍රශ්නත් ඔන්න ඕවම තමයි හැලපේ... ඒත් උන් අහාවි ඕවත් ප්‍රශ්නද කියලා...

      Delete
  22. අපිට මොනව පෙනුනත් අපි දකින ලස්සන එ සම්බන්ධෙ ඇතුලෙ එදෙන්නට නැත්තම් වෙන මොනව කරන්නද.

    ReplyDelete
    Replies
    1. ලස්සන සම්බන්ධය කෙසේ වෙතත් ලස්සන වෙන් වීමක්... මේ කතාව කියවපු මගේ යාලුවෙක් කිව්වා ඌ මේ දෙන්නාගෙන් කෙනෙක් වුනානම් ඉස්සෙල්ලාම මගේ හොම්බට අනිනවා කියලා... :)

      Delete
  23. සුන්දර හමුවීමක්
    සුන්දර වෙන්වීමක්

    තුහින වැස්ස, දුම් දාන කෝපි එක , ඒකක් සුන්දරයි
    බීටලේගෙ ලිවිල්ලත් සුන්දරයි, හැබැයි යථාර්තය සීතලයි.

    නයා මැරිච්ච අහිකුණ්ටිකය වගේ හිටි මගේ මූඩ් එක වෙනස් කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා අයන්වුඩ් ගහට යනගමන් මේ පැත්තෙන් පියෑඹුවාට :) මූඩ් එක වෙනස් වුනේ හොඳ විදියට නම් මට සතුටුයි...

      Delete
  24. මේ වගේ කතාවක් මගේ ජීවිතේත් තියෙනවා.
    කලණි දීපු උත්තරේ මාත් බොහෝ අයට දීලා තියෙනවා.
    කවදාවත් සම්බන්දයක් ඉවර වෙන්නේ එක පැත්තකින්වත්වත් එක මොහොතකින්වත් නෙමෙයි. ඒක එක පාරට තේරුම් ගන්න අමාරුයි අපි හැමෝටම. ඒත් තේරුම් ගත්තම ජීවිතේ හරිම පහසුයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී වෙන්වීම් කියන්නේ අපි හැමෝම රස බලලා තියෙන තිත්ත කෝපි කෝප්පයක් නේද..

      Delete
  25. අහින්සක බීටල්, උඹ දන්නෙ මුල සහ අග විතරයි, මැද අපි කාටවත් (උන්දෙන්නටවත්) දිරවගන්න බැරි කුණුකන්දල් වලින් පිරිල ඇති. 
    හොඳ ලියවිල්ලක් බීට්ල්. තව ලියාපන්
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දරේ... හේතුවක් මේ කතාවේ නොලීවාට මම ඒගැන හැමදෙයක්ම දන්නවා... උන්ගේ වෙන්වීම මමත් අනුමත කරනවා...

      Delete
  26. හැම හමුවීමක් අවසානේම වෙන්වීමක් තියෙනවා තමයි.නමුත් ඒ හමුවීම් තුලින් ඇතිවෙන බැඳීම් නිසා අපේ ජිවිත කොයි තරම් වෙනස් වෙනවාද?අපේ ජිවිත කොයි තරම් අපි වෙනස් කරගන්නවාද?ඒ අර බැඳීම් අපේ ජිවිත වලට ලංකර ගන්න අපි ගන්න උත්සාහයන් නිසා.එහෙම උත්සාහ දරලා ලංවෙන,එක්වෙන අය ඔවුන්ට නොදැනීම වෙන්වෙන එක අපේ ජිවිත වලට අරුමයක් කියලා හිතුනත් අපි නොදන්නා කොයි තරම් දේවල් ඒ අයගේ ජිවිත වල ඇතිද?
    ප්‍රශ්නේ එක පැත්තක් විතර දකින බීටලේට,අපිට.ලෝකෙට ඒ වෙන්වීම් දරා ගන්න අමාරු,අදහාගන්න බැරි දෙයක් වුණත් කලණිටවත්,ඉබ්බාට වත් එක ඒ තරම් අරුමයක් නොවන්නේ එක නිසා වෙන්න ඇති.
    තුවාල කැලළ තිබ්බත් තුවාලේ හොඳයි නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මම ප්‍රශ්නේ ලොන්තම පැත්ත බලලා නිකං හැඟීම්බර වීමක් තමයි තියෙන්නේ... ඒ එහෙම වෙන්න මම මාර ආසා නිසයි... හරියට බැලුවොත් උන්ට මගෙන් වචනෙකවත් උදව්වක් වුනේ නෑ... තුවාලේ තරම දන්නේ උන් දෙන්නා තමයි.. කැලල ඉතුරුවුනත් තුවාලේ සනීප වේවි ඉක්මනින්ම.. උන්ගේ ඉමියුනිටි මාර හොඳයි...

      Delete
  27. පිස්සු හැදෙනවා බන් .. බොක්කටම වැදුනා ලියවිල්ල . . මගේත් යාලුවෝ දෙන්නෙක්ගේ වෙන්වීමකට එක්වීමට සපොර්ට් කරපු අපිටම කතා කරපු වෙලාවේ දැනිච්ච ශොක් එක මතක් උනා බන් . . මගේ බ්ලොග් එකේ ඒක ලිව්වා මතකයි "දික්කසාදය" කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා... මම ඒ පෝස්ට් එක කියවන්නම් මචෝ...

      Delete
  28. මදහස පෑ දෑස සිත හඬවා
    යන්න යාවි නම් ..
    කඳුළේ රිදුමින් සොයමි රස හැඟුම්
    කුමට සුභ පැතුම්....

    උඹේ කතාව ගැන මීට වඩා යමක් ලියන්නෙ නෑ නෙමෙයි, ලියාගන්න බෑ !!



    ReplyDelete
  29. අඩුම තරමේ උන් දෙන්න බායි කියල යන්න හරි පිළිවෙලකට ඇවිල්ල වැඩේ ඉවරයක් කරලා දැම්ම නේ.. නොගැලපීම ගැන හොඳ අවබෝධයක් තිබිච්ච දෙන්නෙක්. බොරුවට සංවේදී වේවි ලෝකෙට පේන්න තමන් දුක් විඳිනවට වඩා කෙලින් තීරණේ අරන් පිළිවෙලකට වෙන් වීම හොඳ වැඩක් නේ..

    ReplyDelete
  30. අවුරුදු ගානක් ආදරය කලත් , බැඳල කාලයක් හිටියත් , දෙන්නට දෙන්න නොගැලපෙනව නම් වෙන් වෙන එකම තමා කරන්න තියෙන්නෙ.....

    ReplyDelete
  31. @පැතුම් , සෝන්යා

    ඔව් උන් වෙන්වුන එක ගැන මමත් එකඟයි... මට අවුලක් වගේ දැනුනේ දෙදෙනෙක් අතර ඇතිවෙන සම්බන්ධතාවය එච්චර සරලව ඉවරකරන්න පුළුවන්ද කියන එක විතරයි...

    ReplyDelete

Web Statistics