Showing posts with label සිත්ගත් ගීත. Show all posts
Showing posts with label සිත්ගත් ගීත. Show all posts

Thursday, September 11, 2014

96. ඇමතුමක දුරින් මම...

Cole Swindell...Love him

තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...
බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...
ඇතොත්  ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..
පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම...

පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...
ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...
වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...
හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි...

කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...
වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...
අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..
’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි...

හුදකලා රැකියාවන් කරන බොහෝ දෙනෙක්ගේ වගේ මගේත් රාජකාරී කාලය බොහෝදුරට ගෙවෙන්නේ සංගීතයට සවන්දෙන අතරේ... එහෙම වෙලාවක ජීවිතේ පළවෙනිපාරට අද ඇහුන මේ ගීතය ඉවරවෙන්නත් කලින් මගේ හිත පැහැරගත්තේ වැඩියක්ම ඒකේ තියෙන අසාමාන්‍යය පදමාලාව හින්දා වෙන්න ඕනේ...වැඩි ආයාසයක් නැතුවම උඩ තියෙන කවියත් ලියවුනේ මගේ හිතේත් මේ වගේ අදහසක් හොල්මන්  කරමින් තිවුන හින්දාද මන්දා…

(මට වැටහුණ විදිය වැරදි නැතිනම්) මේ ගීතයේ තියෙන්නේ සම්බන්ධය බිඳුන ප්‍රේමවන්තයෙක් තමන්ගේ හිටපු පෙම්වතියට, සුරාවෙන් මත්වෙලා එක රැයක් පහන් කරන්න කරන ආරාධනාවක්...  ඉතිං මට හිතුණේ ඒක ආදරයෙන් පැරදුන ජෝඩුවකට වෙන්න පුළුවන් හොඳම දෙයක් නෙමේද...? වාසනාවකට හෝ අවාසනාවකට එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන ගීතයේ සඳහනක් නෑ..

ඒ ගීතයේ කියවෙන කතානායකයා, අලුතින් සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව පරණ ගෑණුලමයාටම ආරාධනා කරන්නේ ඇයි...? ඊටත් කළින් ඒ දෙන්නාගේ සම්බන්ධය බිඳුනේ ඇයි..? එතකොට ඒ ගෑණුළමයාටත් එදා රෑ තනිකමක් දැනුනද..? තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද..? ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද..? නැතිනම් පරණ දේවල් ගැන එළිවෙනකල් රණ්ඩු වේවිද..? එහෙම නැතුව සතුටින් රාත්‍රිය ගතවුනානම් ඒ හැමදේම අමතක කරලා ආයෙත් උදේට වෙන්වෙලා යන්න පුලුවන් වේවිද..? තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද..? නැතිනම් සතුටක් ඉතිරිවෙයිද...? ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද? තුරුළු වෙලා නිදාගනියිද..? නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද..?

කරමින් හිටිය වැඩෙත් නවත්තලා, තවපාරක් උනන්දුවෙන් සිංදුව අහලා ඉවරවුනාට පස්සේ මගේ හිතට වද දුන්න ප්‍රශ්න ඔන්න ඔයවගේ...

 

ගී පද මෙහෙමයි…

"Hope You Get Lonely Tonight"

I could go for a tipsy tailgate kiss,
baby taste the moonshinin' off of your lips,
I want to see that want ya smile,
still got me hooked been hooked for awhile.
If you got a bottle you ain't opened yet,
and an empty spot beside ya in ya bed,
if you got some room for a little regret,
let me know girl I've already left

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

I don't care if you're spinnin' in the neon,
or burnin' up the sheets with my tee on,
either way the thought is turning me on,
and I can't shake it girl I'm wide awake, so

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Hope you get lonely,
Hope you get lonely,
Hope you get lonely tonight,
Girl

If you're feelin' what I'm feel in' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Writer(s): Michael Ray Carter, Cole Swindell
Copyright: Sony/ATV Tree Publishing

ප.ලි. එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා...

Monday, August 11, 2014

95. දූවිලි…



“ආ මෙන්න…”

තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්පය ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා…

හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා උගේ අතේ තියන බියර් බෝතලය කඩනවා…


“මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…”

මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්…

“කට වහගෙන ඕක බීපන්…”

ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ…

“උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…”

නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්…

“සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…”

එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම…

විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි….

“උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…”

ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන…

“හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“

අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න…

ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්…

++++++++++++++++++++++++++++++++++++++

“බොකා කියන ඩයල් එක උඹ දන්නවද..? ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…”

බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්…

“දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…”

කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… 

අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ…

“මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…”

උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි…

චටාස්…!!!

“අත පාතට දාලා කතා කරපන් කැ……!”

ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… 

තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි…

මුගේ අම්… චට…පටාස්…

මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි…

හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්…

රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි…

ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්…

“Congrats nigga… f*king awesome…”

++++++++++++++++++++++++++++++++++++++

“ආ මෙයා කවදද ගොඩබැස්සේ…”

මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්…

“ආ මෙන්න…”

තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා…

“සේරම හරියට ෆිල් කළා නේද..?”

ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්…

“ඔව්…”

මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්…

“උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද..? බෑ කියලාද..?”

කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස…

“මම කොහොමද බන් දන්නේ…”

“නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…”

ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ…

ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි…

“ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…”


“එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…”

“හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…”

“හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද..?”

“ඒක තියාගන්න…”

“එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “

“බායි…”

“බායි බීට්ල්…”

සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි…

“පොඩ්ඩක් ඉන්න…”

මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට…

“ඇයි…?”

ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි…

“එච්චරද..?”

“එච්චරද කියන්නේ…?” මෙවර අසන්නේ ඉබ්බා…

“දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…? අනේ මට තේරෙන්නෑ බන්…”

මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්…

“ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද..?”

කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්…

“නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…”

“එහෙනම්…?”

ඒ ඉබ්බා…

“නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද..? මම යන්නම්… බායි…එච්චරද…? දෙයියනේ උඹලට දුක නැද්ද…? ”

මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි…

“සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…”

මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්…

කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි…

නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…

Gotye - Eyes Wide Open
With our eyes wide open, we
With our eyes wide open, we
So this is the end of the story,
Everything we had, everything we did,
Is buried in dust,
And this dust is all that's left of us.
But only a few ever worried.
Well the signs were clear, they had no idea.
You just get used to living in fear,
Or give up when you can't even picture your future.
We walk the plank with our eyes wide open.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah, we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
Some people offered up answers.
We made out like we heard, they were only words.
They didn't add up to a change in the way we were living,
And the saddest thing is all of it could have been avoided.
But it was like to stop consuming is to stop being human,
You'll want to make a change if you won't.
We're all in the same boat, staying afloat for the moment.
We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open, we
With our eyes wide open, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank.
That was the end of the story.

Friday, September 21, 2012

67. ජීවිතේ ගැටගහන මන්තර…

එක අතකින් ජීවිතය කියන්නේ  ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන….

ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ  තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ජීවිතේ ගැටගහන්න සමත්… මෙවැනි දහසකුත් අභියෝග මධ්‍යයේ ඉපදී මියෙන මේ කෙටිකාලය සතුටින් ජීවත් වන්නේ කෙසේද..? කලාතුරකින් දිනෙක මේ සිතිවිල්ල මා සිතට නැඟෙන්නේ සිතන්නට අන්යමක් නොමැති නිසා වියයුතුයි… ජීවිතය සතුටින් ගෙවන මන්තරයක් නැද්ද..?

මේ මීට වසර දහයකට පෙර දිනයක්….

“මල්ලි අර ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තා… බලනවද..?”

“හා… බලන්නම් අයියේ…”

දුරකථනය විසන්ධිකරන මම දිව යන්නේ රූපවාහිනිය ඉදිරියට… අයියාගේ නම කපිල… මේ මට බලන්නයැයි මතක්කරන්නේ රූපවාහිනියේ විකාශය වෙන ධනාත්මක චින්තන වැඩසටහනක්… ඉපදුනාට වැනුන ජීවිතේ යම් ඉලක්කයකට හසුරාගන්නා අයුරු ගැන මට පළමු පාඩම කියාදුන්නේ ඔහු… මා විසින් ඉගෙනගත් ජීවිතේ ගැටගහන පළමු මන්තරේ කිව්වත් වැරැද්දක් නැහැ… තමාගේම ව‍යාපාරයක් අරඹා එය දියුණු කරගැනීමට උත්සාහාගනිමින් සිටි ඔහුගේ ජීවන දර්ශනය මම අනුගමනය කරන්නට පෙළඹුනේ සතුටින්…

ඒ දිනවල ජීවිතය ගෙවුනේ අභියෝග එලවාගොස් ජයගන්නා මානසිකත්වයකින්…. හිමිදිරියේ ඇඳෙන් බසිනවා වෙනුවට ඇඳෙන් පනින්නත්, ගතට දැනෙන ඕනෑම අසනීපයක් පැනඩෝල් පෙති දෙකකින් පලවා හරින්නටත්, ජීවත් වීමේ අරමුණ සාදාගන්නත්, වැදගත්කම සහ අවශ්‍යතාවය සලකා වැඩකයුතු සැලසුම්  කරන්නත්.., යටිසිත සමඟ කරන හරඹ වලින් අනවශ්‍ය සිතිවිලි ඉවත්කරන්නත් යහපත් සිතුවිලි සඳහා විධාන දෙන්නත් යනාදී මෙකී නොකී නොයෙකුත් දේ මා ඔහුගෙන් ඉගෙන ගත්තා…, බුදුදහමේ මූලික ඉගැන්වීම් හා නූලටම නොගැලපුනත්, ආගමෙන් පොඩ්ඩකුත් චින්තනයෙන් පොඩ්ඩකුත් ලෙස හැඩය එහාමෙහා කරගෙන එකක අනික බහාලන්න පුළුවන් විදියට ඒවා සකසා ගැනීමටත් ලොකු අපහසුවක් වූයේ නැහැ... දිනෙන් දින සාර්ථකව අරමුණු කරා ළඟාවෙමින් මා ගතකරමින් සිටියේ සතුටුදායක දිවි පෙවෙතක්… ඒවනවිට ජීවිතය මා ගැටගැසුවේ කපිල අයියා මට ඉගැන්වූ මේ ධනාත්මක චින්තන මන්ත‍ර වලින්…

“Let’s prepare for the worst..! “

ඕක මට ඇහුනේ මගේ දෙවැනි රාජකාරී ආයතනයෙදි… බොස්ගේ නම කෙවින්… ඔහු නිතර භාවිතා කලේ මේ පුදුම මන්තරය… “අපි වෙන්ඩ තියෙන නරකම දේට ලෑස්ති වෙලා ඉමු…” හරිම අපූරුයි… ඒ මම ඉගෙනගත් දෙවෙනි මන්තරය කීවොත් නිවැරදියි… පෙර මා දැන උන් මන්තර හා සීයට සීයක්ම නොගැලපුනත් මෙහි පුදුම සාර්ථකත්වයක් මම අත්දැක්කා… අභියෝග වල පැටලී ඒවා හඹායනවා වෙනුවට ඔහු ඒවායින් නිදහස් වුනා… යමක් සාර්ථක කරගැනීමට ඇති උත්සාහය පෙර තරම් නොතිබුණා වෙන්නට පිළිවන්… නමුත් ඒ අසාර්ථකත්වයට මූන දෙන්නට ඔහු සූදානම්… දෙවනි මන්තරය මට පෙරට වඩා ජීවිතයේ සතුට ගෙන ආවා කීවොත් එහි වැරැද්දක් නැහැ…

“Que… Sera, Sera…!”

ඇයගේ නම මලී… සුන්දර මිතුරියක්… වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යද්දි අහම්බෙන් මගේ ඇඟේ වැදුනේ… ඇගේ මන්තරය හරි පුදුමයි… “What ever will be… will be”… අප බොහෝදෙනෙක් කුඩාකලම ඉගෙන ගත්තත්, මා හට මෙය ඉගැන්වූයේ ඇය විසින්… සදානොමැකෙන ඒ සුන්දර සිනාව මුවඟ රඳවාගෙනමයි… සිද්ධාන්තය හරි සරලයි… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… ගෙවෙන ඒ මොහොතේ සතුට උපරිමයෙන් විඳිමු… “Que sera Sera…” ඒ මා ඉගෙන ගත් තුන්වෙනි මන්තරය… ගතවෙන සෑම මොහොතක්ම සතුටින් ගෙවන්නට මට කියාදුන්නේ ඇය…

මේ සියල්ල මට මතක් වුනේ අද සිදුවූ සිදුවීමක් නිසාවෙන්… ආයතනයට අළුතින් පැමිණි පිළිගැනීමේ නිලධාරිනිය හා මිතුරු කතාවකට ඉසිඹුවක් ලැබුනේ දිවා අහාර විවේකයෙදි… හඳුනාගැනීම් තොරතුරු වලින් ඔබ්බේ ඇයගේ පුද්ගලික කාරනා දක්වා කතාව ඇදී ගියේ ඇයගේ සුහදශීලී බව නිසාමයි…

“බොරු නෙමෙයි මේ බලන්න කට් එක… “

තම ගෙල පැළඳි විශාල පෙන්ඩනය මෑත් කරන ඇය මට පෙන්වන්නෙ සැත්කම් කැපුමක කැලලක්… ඇය පවසන පරිදි ඇය වයස දහනවයේදී හදවත් සැත්කමකට මුහුණ දුන් දරුණු හදවත් රෝගියෙක්… සතිපතා කෙරෙන වෙද්‍යය පරීක්ෂණයකුත්, දිනපතා ලබාගන්නා බෙහෙත් පෙති අහුරකුත් දිවි ඇති තුරාවට ඇයට උරුමයි… මේ හේතුවෙන්ම දරුවෙකු ලැබීම ඇයට තහනම් ක්‍රියාවක්… ඒ ප්‍රසූතියේදී ඇය හා දරුවා පත් වෙන අවදානම නිසා බවයි ඇය පැවසූයේ… තත්වය මෙසේ තිබියදී ඇය උතුම් මව්පදවිය වෙනුවෙන් අතිශය අවදානම් ක්‍රියාවකට පෙළඹෙනවා… ඒ වෙද්‍යය උපදෙස් නොතකා ගැබිණියක් වීමට හිතුවක්කාර ලෙස තීරණය කිරීමෙන්…

“හැමදේම හොඳින් සිද්ද වෙමින් තිබුණා… මට ගබ්සාවක් කරන්න කියලා උපදෙස් දුන්න හදවත් වෙද්‍යයවරයා අතෑරපු අපි වෙන වෙද්‍යයවරයෙක් හොයාගත්තා… ගිය මාර්තු මාසේ දවසක මට හිතුනා බබා වෙනදා වගේ දඟලන්නේ නෑ නේද කියලා… අපි ස්කෑන් එකක් කලා… දරුවගේ හදවත නතර වෙලා… මාස හතයි ඒ වෙනකොට… ලස්සන කෙලි පැටියෙක්..”

එලියට පනින කඳුළු සඟවන්නට ඇය අසමත්…

“දැන් ඉස්සරහට මොකක් කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ…?”

“මම තවම හිතනවා… ලබන සතියේ ටෙස්ට් එකට ගියාම මම ඩොක්ටගෙන් මේ ගැන අහනවා…”

මට මතක් උනේ කපිල අයියා…

“මල්ලී… කතාවක් තියෙන්නේ හීන හැබෑකරගන්නනම් කරන්න ඕනේ පලවෙනි දේ ඇදේන් නැගිටලා වැඩ පටන් ගන්න එකයි කියලා… සැලැස්මක් ඇතුව වැඩ කලොත් හැබෑ කරගන්න බැරි හීනයක් නෑ… ලඟාවෙන්න්න බැරි තැනකට යන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අවදානම ගන්න බය නොවෙන එකයි… අද වෙද්‍යය තාක්ෂනේ ගොඩක් දියුණුයි… එක ක්‍රමයක් නැතිනම් තව ක්‍රමයක්.. ඒ ක්‍රමේ නැත්තම් වෙන ක්‍රමයක්…” සමහරවිට ඔහු කියාවි…

කෙවින්..?

“වෙන්ඩ තියෙන නරකම දේ මොකද්ද..? ආයේ බබාලා හදන්න බැරිවෙන එකනේ..? ඒකට මූණ දෙන්න ලෑස්ති වුනානම් එතනින් එහාට ලැබෙන හැම දෙයක්ම අශීර්වාදයක් විදියට ගන්න පුළුවන්…” ඔහු කියාවි…

මලී…

“Que Sera Sera…!” ඩොක්ටව හමුවෙන්න… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… සැහැල්ලුවෙන් ඇය කියාවි…

 

“ඩොක්ට මොනවගේ උපදෙසක් දෙයිද මම හරියටම දන්නේ නෑ… හ්ම්ම්ම්… බලමු…”

සිතිවිලි අතර සරමින් සිටින මගේ දැහැන බිඳෙන්නේ ඇගේ සුසුම් හඬින්… පොතේ හැටියටනම් දැන් මාගෙන් වියයුත්තේ ඇයගේ සිත සුවපත්වෙන කරුණාබර අවවාදයක්… නමුත් මාගේ දක්ශතා අනුපිලිවෙලින් ලැයිස්තුගත කලොත් තවකෙකුට උපදෙස් දීමට ඇති හැකියාව වැටෙන්නේ එහි අවසන් පිටුවට බව සැකයක් නැහැ… ඇරත් මේ දීර්ඝ අවවාදයකට සුදුසු වේලාව නෙවෙයි…

“Que Sera Sera..! මගේ අලුත් මිතුරියේ…”

කෙටියෙන් මා ඇයට ඉගැන්වූ මලීගේ මන්තරය සම්පූර්ණයෙන්ම ඇයට වැටහුනාදැයි මට සැකයි… ගතවෙන මොහොත සතුටින් ගතකරන්නට හැකි වෙන මඟක් ඇයට කියාදෙන්නට මා දන්නේ නැහැ…

සමහරවිට ඇය සිංදුව ගූගල් කර බලාවි… මම සිතන්නේ භෝජනාගාරයෙන් නැගිට එන අතරතුරේදී…

 

Sunday, September 9, 2012

66. නැවත හමුවෙනතුරු…

බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි…

තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්…

snowsnowsnow

“කොලරාඩෝ වලට පටවන බඩු තොගයක්… කෙල්ලේ… මට හොයාගන්න ඕනෑවෙන්නේ එච්චරයි ආයෙත්… හවසක නොහිතූ වෙලාවක මගේ ට්‍රක් එකේ හෝන් සද්දේ ඇහෙයි ඔයාට… හෙට අනිද්දම දවසක… හරියටම කියනවනම් ඔයා ගබඩාවෙන් ගෙනාව බියර් පීප්පේ ඉවරවෙන්නත් කලින් ඔන්න…”

පෙරදින තමා නවාතැන්ගත් කබල් හෝටලයේ වූ ගිනි උඳුන සමීපයේ සිට ඇයට පොරොන්දු වෙද්දී ඇය නිහඬව උඳුනෙන් ගිනිදළු දෙස බලා සිටි අයුරු ඔහුට මතකයි… තම මහළු පියාද රැකබලා ගනිමින් හෝටලය නඩත්තුවට වෙහෙසන ඇයගේ රූ සපුව මැඩඟෙන මතුවෙමින් තුබූ වියපත් බවේ සෙවනැලි අවධානයෙන් බැලූවෙකුට නලියන ගිනිදැල් එලියෙන් පවා දැකගන්නට අපහසු වූයේ නැහැ…

“ඉස්සර අම්මා බේකන් හදද්දී මම බෝනික්කත් තුරුළු කරගෙන එයා වැඩකරන හැටි බලාගෙන ඉන්නවා… ටිකක් විතර දුරින් මොකද මගේ ගවුමට ජරාව විසිවෙද්දෝ කියන බයට… අපි කලා හරි අපූරු සෙල්ලමක්… හැම මිනිහෙකුම සොබාදහමේ නිර්මාණයක් කියලායි උන්දෑ කිව්වේ… මම කවුරුහරි ගැන අහුවොත් එයාව සොබාදහමේ මොනවාට හරි උපමාකලා හරි අපූරුවට… තාත්තා අපේ… තැනිතලාව කෙරවලේ තියෙන බළල් වලිග පඳුරු යාය වගේලු… මෙපල් මගේ මස්සිනා… හිමිදිරියේ තණපත් වල තැවරිලා තියෙන පින්නලු… මේපල්ගේ අම්මා නැන්සි, හරියට උවමනාවටත් කලින් ශීත සෘතුවට ලෑස්ති වෙලා ඉන්න ඉපල් වෙච්චි ගහක් වගේලු. …”

“හොඳයි, එතකොට හෝටලේට එන ට්‍රක් රියදුරෙක්..?”

ඔහුගේ දෙපා අසලින් බිම වාඩිවී ගිනිදැල් දිහා බලාගෙන සෙමින් මුමුනන ඇගේ තඹවන් හිසකෙස් අතරින් ඇඟිලි ගෙනියන ඔහු අහන්නේ මෘඳුව ඇගේ හිස පිරිමදිමින්….

“මම ඇහුවේ නෑ… ඇහුවනම් ට්‍රක් රියදුරෙක් කියන්නේ ශිත සෘතුවේ හදිසියේම වැටෙන අවුරැල්ලක් කියලා උන්දෑ කියාවි…”

snowsnowsnow

ලින්කන් ට්‍රක් රථ නැවතුම සිසාරා පැතිරී තිබූ අඳුර මකන්න මලානිකව දැල්වුණු විදුලි බල්බ දෙක තුනටත්, නලියන ගිනිමැලයටත් පුළුවන්කමක් තිබුණේ නැහැ… ඔහු සිටියේ හාත්පස තිබූ ඝන කලුවර තරම්ම කලු කෝපී කෝප්පයක් තොළඟාමින්… කිලෝ මීටර දහස් ගණක ඈත තමා තනිකර ආ ඒ සොඳුරු යුවතිය දවසක නිමාවේ තනිවම අවන්හල පිරිසිදුකරනායුරු සිතින් මවාගන්නට උත්සාහාකරමින්…

snowsnowsnow

“හැල්මේදුවන යෝධ ට්‍රක් එකක් නවත්තන්න පුළුවන් තරම් ආදරයක් මතුකරගන්න මම හරියට වෙහෙසෙනවා…” ඇය පවසන්නේ හිමිදිරියේ ඔහුට පිටවයන්නට දොර හරිනා අතරේදී…

“නැවත හමුවෙනතුරු...” ඔහු එසේ කොඳුරන්නේ දෑස් මඟහැර ඇයගේ මුවට නැඹුරුවන අතරේදීයි…

“සුභ ගමන්..!”

සීතල හිම කැටි මුසුවුන සුළගෙන් මිදෙන්නට ඔහු එලියට වන් සැනින් දොර වසන ඇය තව මොහොතකින් දකින්නේ හිම වැස්සේ කෙමෙන් බොඳවීයන ට්‍රක් රථයේ රතුපැහැති ලාම්පු එලිය…

snowsnowsnow

සැක් බ්‍රවුන් බෑන්ඩ් කියන සංගීත කණ්ඩායමේ කෝල්ඩර් වෙදර් කියන සිංදුවයි අහමින් හිටියේ… ඔය තියෙන්නේ පහල…

 

ZAC BROWN BAND - COLDER WEATHER

Friday, July 13, 2012

මියුසික් | Music

බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි…

මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ මොබ ගෙනයන ඇඟිලි තුඩුවලින් ඔහුට හැකියි ඔබගේ හෲද ස්පන්දනය නවතන්නට… මාව විශ්වාස නැතිනම් පහතින් ඇති ඔහුගේ නිර්මාණ කිහිපයක් රසවිඳින්න…

ලෝකයේ කොහේ හෝ කොනක ඔබට ඔහුගේ සංගීත ප්‍රසංගයක් ඇස ගැටුණහොත් එය නැරඹීමේ අවස්ථාව පැහැර හරින්නට නම් එපා…







මේ කෙලී ගමියාඕ…අතිශය ජනප්‍රිය සංගීත ශිල්පියෙක් නම් නෙවෙයි… නමුත් යුකලෙයිලී ගිටාර් විශේඥයෙක්… පුංචි නේම් ඩ්‍රොපින් පාරකුත් දානවානම් අන්තර්ජාලයේ මගේ මිතුරෙක් Smile… සෑම මොහොතක්ම පුදුමාකාර සතුටකින් ගතකරන සරල මිනිසෙක්…  මේ මීට මාස කිහිපයකට පෙර හයි-සෙශන්ස් නම් අන්තර්ජාල සංගීත වැඩසටහනේදී තන්තු හතරක පුංචි ගිටාරයකින් ඔහු දිඟු කතාවක් පැවසූ අයුරු…







ජෙස් ගේ ගීත ඇල්බම් මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ මේවායි
කෙලී ගේ ගීත ඇල්බම් තවම නම් එකයි… ඒක මෙතනින්

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Thursday, July 12, 2012

සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව…

පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me
හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල්

“දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් හොඳයි…”   තාත්තා පවසන්නේ ඇඳ අසලින් මෑත් වෙමින්…

මම ඇයගේ සුදුමැලි සුරත අල්ලා ගනිද්දී අපසුවෙන් ඇස් හරින ඇය නැවතත් එය අඩවන් කරගන්නේ මා සුරත තදින් මිරිකා ගන්නා අතරේයි… කය දවමින් නැඟෙන වේදනාව හා සටන් කිරීමෙන් වෙහෙස වු ඇයගේ සීතල අත්ලට දැනෙනා මා සුරතේ උණුසුම ඇයට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු උපදවනවා වෙන්නට ඇති… පවුලේ කෙනෙකු අසාඬ්ය රෝගයකින් පෙලෙන්නට පටන් ගත්විට මනසින් කඩා වැටෙන්නේ රෝගියා පමණක් නොවෙයි ඔහු හෝ ඇයට ආදරය කරන හැමදෙනාමයි…

මේ ගීතය ගැන නම් පෝස්ට් දහයක් ලියන්න තරම් දේවල තිබ්බත් මේ ඒ සඳහා වෙලාව නෙමෙයි… අදටත් මගේ සමීපතමයෙක් ලෙඩ ඇඳේ සිටිනා විට හඬන මා සිතට ශක්තියක් උපදවා දෙන්නට  භාවනාවක් වැනි මේ ගීතයට පුළුවන්…

ලොව පුරා පිලිකා රෝගය හා සටන් කරන රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් වෙනුවෙන් මේ ගයන්නේ “Martina McBride”

මියුසික් වීඩියෝව
Martina McBride - I'm Gonna Love You Through It

ගී පද
Martina McBride - I'm Gonna Love You Through It Lyrics

MP3 සිංදුව බාගන්න…
Martina McBride - I'm Gonna Love You Through It
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Wednesday, July 11, 2012

ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughter

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන හතරවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන් වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me

මා ප්‍රියකරන කන්ට්‍රි ගීත අතරින් මේ තවත් ගීතයක්… ගම්බද ගොවිපළක රැකියාවක් සොයා යන තරුණයෙක් ඉතා කෙටි කලකින්ම එයට සමුදීමට සැරසෙන්නේ තමාට පැවරුණු දුෂ්කර රාජකාරි වලින් හෙම්බත්වීම නිසයි... තමා කොතරම් මෝඩ තීරණයක් ගැනීමට සූදානම් වූයේද යන්න ඔහුට පසක් කරමින් ගොවිපල හිමිකරුවාගේ දියණිය හදිසියේම ඔහුට දකින්නට ලැබෙන්නේ මේ අතරේයි...
අද ගීතය "ෆාර්මර්ස් ඩෝටර්" ගයන්නේ රොඩ්නි  ඇට්කින්ස්...

මියුසික් වීඩියෝව
Rodney Atkins - Farmer's Daughter

ගී පද

Rodney Atkins - Farmer's Daughter Lyrics


තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Tuesday, July 10, 2012

මතකයන් ඔබේ… | Remind Me

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන තෙවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy

මේ ගීතයෙන් කියවෙන්නේ කලක් ආදරයෙන් සිටි පෙම්වතුන් යුවලක් වෙන්වීමෙන් කලකට පසු නැවත හමුවූ විටෙක ඇතිවෙන දෙබසක්… සවන්දුන් පළමුවරම මගේ හදවතේ හිට්වුණ මේ ගීතයට මම තවමත් ආසයි…
ඔවුන්ගේ ආදරයෙන් පිරුණු අතීතයේ ශෘංගාරාත්මක සිදුවීම් සිහිකරන මේ ගීතයේ එක තැනක තියෙනවා නිකං මේ වගේ කෑල්ලක්…

ගැ : ඔබට මතකද එදා ගුවන්තොටුපලේ….
ඔබ මා හැරලන්නට ආ දිනේ….
සමුගැනීමේ හාදුව අපේ… ගොඩක් දික් වුණා…
පි : ඔව්, ඔබට ගුවන්යානයත් එදා වැරදුනා…
ගැ : ඉතිං හොඳයිනේ… තව රැයක් අපි එකට ගතකලා…

Smile මට හිනාවෙන්නද අඬන්නද කියා හිතුනා ඒ කෑල්ල අහද්දී…

ගයන්නේ Brad Paisley සහ Carrie Underwood

මියුසික් වීඩියෝව
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

ගී පද
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood) Lyrics

MP3 සිංදුව බාගන්න…
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Sunday, July 8, 2012

හාදුවක්! සඳ එළියේ… | Just A Kiss

බස් රේඩියෝවෙන් මේ දින වල කෙරෙන ප්‍රමෝෂන් එක “බස් රේඩියෝ බ්ලොග් සතියට” සහයෝගය දක්වන්න අවශ්‍ය වුනත් හති ඇර ඇර බ්ලොග් ලියන මම වගේ පුඟුලෙකුට දවස් හතට පෝස්ට් හතක් කියන්නේ ලොකු අභියෝගයක්… ඒ නිසා මේකට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී අවා හරිම සිම්පල් ප්ලෑන් එකක්…

සිංහල බ්ලොග් අවකාශයේ සිංහල සිංදු වෙනුවෙන්ම වෙන්වුනු අඩවි කිහිපයක්ම තියෙනවා… තිස්ස අයියා, වැම්පා ඇතුලූ මෙකී නොකී කිහිපයක්ම… බ්ලොග් ඇඩ්‍රස් එක මතක නැති වුණත් ඉංග්‍රීසි ගීත හඳුන්වාදීම වෙනුවෙනුත් බ්ලොග් අඩවි එකක්, දෙකක් තිබුණා මතකයි…

ඉතින් “බස් රේඩියෝ බ්ලොග් සතිය” වෙනුවෙන් ලියවෙන මේ පෝස්ට් කිහිපයෙන් මම බෙදාගන්නට උත්සාහාකරන්නේ වැඩිපුර ඇහෙන්නේ නැති ඉංග්‍රීසි ගීත කිහිපයක්… ඉංග්‍රීසි ගීත ඇසීම මගේ විනෝදාංශයක් නම් නෙවෙයි… නමුත් මොකද්දෝ හේතුවකට මම අසාමාන්‍ය ලෙස කන්ට්‍රි සින්දු ප්‍රිය කරන්නෙක්… මීට පෙර මා අකුරු බ්ලොග් අඩවියේ එවැනි ගීත කිහිපයක් ගැනම පෝස්ට් පළකලා මතකයි…

ඉතින් මේ එවැනි ගීත කිහිපයක් බෙදාගැනීමේ උත්සාහයේ පළමු පියවර… අවසාන වශයෙන් මේ හැම ගීතයකටම වාගේ මම අසීමිත ලෙස කැමති සංගීතයටත් වඩා ඒවායේ ඇති මනබන්දනීය පදමාලා වලටයි… ඒ නිසා වෙලාව ඇතොත් පදමාලාව රසවිඳින්න අමතක කරන්නෙපා…

මියුසික් වීඩියෝව
Lady Antebellum - Just A Kiss

ගී පදමාලාව
Lady Antebellum-Just A Kiss LYRICS

MP3 සිංදුව බාගන්න…
Just A Kiss mp3
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Sunday, July 1, 2012

52. සිතුවිලි අතරේ රඟන්නී | Dancin' Away With My Heart



ගතවෙමින් තිබුණේ විශ්‍වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය… 

පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන  මතින් නටමින්… සමහරු  තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්…  හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්…

ඇය සිටියේ රාත්‍රී සාදයකට නොගැලපෙන නමුත් සමුගැනීමකට අතිශයින්ම සුදුසු, සුදෝ සුදු ගවුමකින් සැරසීගෙනයි… වෙනදා මෙන්ම නිමේෂයක් මා නෙතඟ පැටලී ඉවතට  ඇදගන්නා ඒ නිල් ඇස් වලින් මාගේ බැල්ම මඟහරිමින්… වැරෙන් බැඳුණු සංස්කෘතික යදම් ලිහා ගත නොහී පුරා වසර තුනක් ඇස් වලින් කතා කල අප දෙදෙනා අදින් පසු යළි මුණ නොගැසේවී… ඉන්දියාව විසල් රටක්… බැංගලෝරය විසල් නගරයක්… මා මව් රටට පියඹද්දී ඇය මේ නගරයේ මිලියනයක් මිනිසුන් අතරේ සදහටම සැඟවී යාවි… අපව එකිනෙකාට අහිමි කරවමින්…

වාදනය වෙන්නට පටන් ගත්තේ සතුටු සාදයේ අවසන් ගීතයයි… වසර තුනක් පුරාවට ගොළුවූ මා සිතට බීර මත අලුත් දිරියක් රැගෙන ඇවිත්… අද නොවේනම් ආයේ කවදාවත් නොවේ… එක් එල්ලේ ඇය වෙත ඇදුණු මම, මාගේ සුරත ඇය වෙත දිඟු කළේ දෙවරක් නොසිතාමයි…

“ශැල් වී…?”

ඇය පිළිතුරු දුන්නේ නැහැ… අඩුම ගණනේ හිස ඔසවා මා දෙස බැලුවේ වත් නැහැ… තම වෙවුලන ඇගිලි තුඩු වලින් මා දිගුකල සුරත අල්ලා ගත්තා පමණයි… උණුසුමට මට දැනුණේ ඇගේ සිහින් සියුමැලි ඇගිලි තුඩු වලට වේගයෙන් ලේ පිරෙනා අයුරු විය යුතුයි… සංගීත රටාවට පැද්දෙන මා උරහිසේ දැවටුණු ඇයගේ නිකටේ උණුසුම මේ දැනුත් මට විදින්නට හැකියි… නැවත දකින්නට නොලැබෙන ඒ නිල්වන් ඇස් සිත් සේ දැක ගන්නා අටියෙන් මුහුණට වැටුණු ඇගේ අකීකරු කෙස් රොදක් මා මෑත් කරද්දී ඇයගේ සියුමැලි කන්පෙති රත් පැහැ වූවා මට මතකයි… සංගීත හඬින් සහ මිතුරු මිතුරියන්ගේ කෝලාහලයෙන් පිරුණු පරිසරයේ මා පවසන යමක් අසා ගැනීමට තම මුහුණ මා වෙත ලංකරන ඇයගේ කම්මුල් මා දෙතොලෙහි ස්පර්ශ වෙද්දී එය ඉන් මුදවා ගැනීමට ඇයට කලබලයක් නැති ගානයි… සාදයේ මේ අවසන් ගීතය නොනැවතී සදහටම වාදනය වෙනවා නම්..?

සොඳුරු සිත්තමක් වැනි මතකයක් ඉතිරිකර කාලය බොහෝ දුරක් ඉගිල ගිහින්… අපි නැවතත් හමුනොවනා ලෙසින්ම… අහිමි වීම මා සමඟින් මෙතරම් දුරක් ඒවි යැයි මා කිසිදා දැන සිටියේ නැහැ… නිමා නොකළ රැගුමක මිහිරියාව පමණක් මාවෙත ඉතිරිකර නික්මුණු ඇයගේ සොඳුරු මතකය මෙතරම් කාලයකට පසුවත්, සිතුවිලි අතරේ දඟකරනායුරු විශ්මයජනකයි… 

සදාකාලික තාරුණ්‍යයක මා සිර කර නික්ම ගිය සුහදිනියේ, අසුරු සැණක් වන් මොහොතකට වුව හද ගැහෙනා තාලයට අප පාද තැබූ ඒ රංගනය ඉදහිට දිනෙක මට සිහියට නොඑනවාම නොවෙයි…
ලෝකයේ කොහේ හෝ කොනක ඉතින් ඔබ සුවෙන්ද..?

ලේඩි ඇන්ටබෙලම්… මියෙන සිතුවිලි වලට ඔබ ගීතයෙන් පණ පොවනා හැටි හරි පුදුමයි…


Lady Antebellum - Dancin' Away With My Heart
පිංතූරය : http://fineartamerica.com
Web Statistics