Thursday, April 2, 2015

104. සමනළ පියාපත්…

 

මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්‍රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි…

මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන, සහභාගීවෙන්නන් අතරින් ස්වේචාවෙන් ඉදිරිපත් වෙන අයෙකු විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීමයි… අවාසනාවකට අප කණ්ඩායමේ හැමදෙනාම පාහේ හොඳින් කතාකල හැකිවුන් නිසා, කිසිවෙකු  ඉදිරිපත් නොවෙන වාතාවරණයක් තුළ, ප්‍රායෝගිකව සිදුවූයේ අහඹු ලෙස ශ්‍රාවක සමූහයෙන් තෝරාගන්නා පුද්ගලයින් සභාව ඉදිරියට බලෙන් ගෙන්වා ගැනීමයි… තවකෙකුට මුවාවෙමින් සැඟවීමට උත්සාහාකරන, ලැජ්ජාශීලී පුද්ගලයින් මෙහිදී බොහෝවිට ඉලක්ක වෙනබව  මා ඒ වනවිට දැන සිටියේ නැත…

ජලාශයකින් එතෙරෙ වෙන  ගවරැලකට කඩාවදින දඩයම් රිසි කිඹුලෙක් ඉන් දුර්වල අවාසනාවන්තයෙකු අහඹු ලෙස ඩැහැගනියි… සෙස්සෝ ඌ බිල්ලට දී ගැලවෙති. ගවයාගේ දිවිතොර වුවද, ඌ මතු එළඹෙන ගැහැටින්ද මිදුනේ වෙයි… වාසනාවකට හෝ අවාසනාවකට මම එදින දඩයම් වුනු ගවයා වීමි…මූලාසනයේ කැඳවීමට අනුව වෙවුලන දෙපා වලින් යුතුව ඒ දෙසට ඇවිද යන මට වදවීමට අතිරේක හේතුවක්ද නිර්මාණය වී තිබුණි… ඒ එදින වැඩසටහනට සහභාගී වී සිටි ප්‍රධාන අමුත්තායි…

සමාගමට අයිති ආයතන සමූහයේම කුඩා සේවක කණ්ඩායම් වල එකතුවකින් නිර්මාණය වූ මෙම වැඩසටහනේ සෑම දිනකම එක් ආයතනයක කණිෂ්ඨ විධායකයෙකු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සිරිතක් විය… අවාසනාවට එදින ප්‍රධාන අමුත්තාද සහභාගීව සිටියේ අප ආයතනයෙනි… උදෑසන සුභපැතුමකට පෙරළා ආචාර නොකරන, දවස පුරා තම පරිඝණකයට ඔළුව ඔබාගෙන සිටන, නිහඬ ගුප්ත චරිතයක් වූ එම කළමණාකාරවරයා ඉදිරියේම මගේද, අප ආයතනයේද සායම හෝදාගන්නට වීම මට ලැබුණු නරකම අහම්බයක් බව මම දැන උන්නෙමි…

“විනාඩි තුනයිනේ… මෙහෙම කරද්දී ඉවරවෙයි… මෙහෙම කරද්දී…” අත්පොලසන් හා මිතුරන්ගේ විහිළු සිනා මධ්‍යයේ ඉදිරියට යද්දී මම මැතිරුවෙමි… ලෝකය සෙමින් කැරකීම ඇරඹුනි…මම කතාව පටන්ගත්තෙමි…

[පරණ බැකප් දත්ත අවුස්සා සොයාගත්, ඒ කතාවේ ‘අහන් ඉන්න පුළුවන්’ පරිවර්තනය මෙසේ අකුරු කරමි…]

“සුභ සැන්දෑවක් මා ප්‍රිය මිතුරු මිතුරියනි… මට මේ අවස්ථාව ලබා දුන්නාට මූලාසනයට ස්තූතියි…[සභාවේ සිනා]… හොඳයි, තිරයේ දිස්වෙන අද මාතෘකා අතරින් මම කතාකරන්නට කැමති මාතෘකාව ‘ඇස්ටරොයිඩයක ගැටීමෙන් ලෝකය තව දින හතකින් විනාශ වෙන බව දන්නවා නම් ඔබ ඒ දින හත ගතකරන්නේ කෙසේද?’ යන්නයි…

දින හතක් කියන්නේ කෙටි කාලයක් තමයි… නමුත් සතුටින් මියෙන්නට ඒ ප්‍රමාණවත් කාලයක් යැයි මට හිතෙනවා… මම ප්‍රථමයෙන්ම කරන්නේ  මේ කතාව ඇත්තක්දැයි නැවත වරක් සැකහැර දැනගැනීමයි… දෙවනුව මම කරන ප්‍රධාන දෙය ආයතනයේ මගේ  ඉතිරිව ඇති නිවාඩු සියල්ල එකවර ලබා ගැනීමයි…[සභාවේ සිනා]

මියෙන්නට පෙර මා වෙනුවෙන් පැය විසිහතරම කැප කල හැකි දින හතක් ඔන්න මට දැන් තිබෙනවා… එතැන් පටන් දින ගෙවෙන හැටි ගැන මෙසේ හිටිහැටියේ  පැහැදිලිකිරීම තරමක් අසීරු කර්තව‍යයක්… බොහෝදුරට ඒ දින හත ගෙවෙන හැටි ගැන මම සුපුරුදු විදියට ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සකසාවි…[සභාවේ සිනා]… එහි අඩංගුවන දේ ගැන දැන්ම අනාවැකි කීම අපහසු වුනත් අනිවාර්යෙන්ම එහි තිබියහැකියැයි මට හිතෙන සමහර දේ මෙසේයි… බොහෝ දුරට ඉන් ලොකුම කාලය මගේ ප්‍රියාවිය වෙනුවෙන් වෙන්වේවි… ඇය මා නිසා ඇඬූ අවස්ථා බොහොමයි… මේ දින හතේදී ඇයව කිසිවිට නොහඬවා සිටීමට මම මටම පොරොන්දු වෙනවා… ඊට අමතරව මගේ දෙමව්පියන්ට, මගේ නැණැස පෑදූ ගුරුවරයින්ට සහ මගේ හිත මිතුරන්ට ඔවුන් මා වෙනුවෙන් ලබාදුන් සියලු දේ වෙනුවෙන් ඔවුන්ට ස්තුති කිරීමට මම උත්සාහාකරනු ඇති… මගෙන් වරදක් වූ අයෙක් ඇත්නම් ඔවුන්ගෙන් ඒ වෙනුවෙන් සමාව අයදින්නටත් කිසියම් කාලයක් වෙන්වේවි…මේ දේවල් සමඟින් දවස් හත අවසන් වී යනු ඇතැයි මට සිතෙනවා…

[ලෝකය සෙමෙන් කැරකෙන්නට ගත්තා ඔබට මතක ඇති… කතාව අවසන්වූවත්  මට වෙන්වූ වේලාව අවසන් නොවූයෙන් තවත් විනාඩි කිහිපයක්  ඇදිය යුතුව තිබේ…මම මනසේ අදහස් සූරමි…]

අහ්ම්… හොඳයි… මට තවත් කරුණක් සඳහන් කරන්න හිතුනා… මේ මාතෘකාව අපේ මූලාසනයේ මිතුරාගේ හිතේ ඇඳුනු අහඹු සිතුවිල්ලක් පමණයි… නමුත් අඩුම වශයෙන් මෙහිදී දින හතක් ඉතිරිව ඇති බව අපි දන්නවා…සත්‍යය තත්වය ගැන පොඩ්ඩක් කල්පනාකර බැලුවොත් අපි මේ තරම්වත් වාසනාවන්ත නැති බව ඔබට වැටහේවි… ජීවිතය කියන්නේ ඉහළගත් හුස්ම පහළ දමන්නට පෙර අහිමිවිය හැකි දෙයක්… සමහරවිට මෙතන ඉන්න අපි කාට හෝ දින හතක්වත් ජීවත් වෙන්නට ඉතිරිව ඇතිදැයි අපි දන්නේ නැහැ… ඉතින් ප්‍රියාවිය නොහඬවා සිටින්නට, දෙමාපිය සෙවනේ මොහොතක් ගෙවන්නට, උදව්කල අයෙක්ට ස්තූතියි කියන්නට හෝ වරදකට සමාව යදින්නට ඇස්ටරොයිඩයක් පැමිණ ලෝක විනාශයක්ම එනකල් ඉන්නට අවශ්‍යද..? නැහැ… මට හිතෙන්නේ මියෙන්නට පෙර ඉටුකරගන්නා අටියෙන් අපි කල්දමන  බොහෝ සිහින සැබෑ කරගැනීමට සුදුසුම දවස අද දවසයි… මොකද අද යනු ඇත්තටම ඔබ මියෙන දිනයට පෙර දිනය වන්නටත් පුළුවන්…

[කාලය අවසන් බව හැඟවෙන අර මිහිරි සීනු නාදය, මගේ සිරුරම ලිහිල් කරයි…කල්පය ගතවී ඇත… ]

මතක තබාගන්න ජීවිතය කෙටියි තමයි… නමුත් සතුටින් ජීවත් වී සතුටින් මියෙන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්… ස්තූතියි…!

කතාව පුරාවට මා මනසින් ඇස් ඉදිරියේ නිර්මාණය කරගෙන සිටි දැවැන්ත තාප්පය අත්පොළසන් හඬින් සුණුවිසුනු වෙයි… කැමරා කාචයකින් ග්‍රහනය කරගත් නිසල ඡායාරූපයක් සේ එදා මා දෑස් ඉදිරියේ තිබූ දර්ශනය මා මනසේ ඇඳී තිබේ… එහි හරිමැද, ශ්‍රාවක සමූහය පසුබිමේ, අත්පොළසන් තබා මස්පිඩුවකදු නොසෙල්වා මාදෙස පිළිමයෙක් මෙන් බලාසිටි ප්‍රධාන අමුත්තාව මේ ලියන මොහොතේද මට සිතට නඟාගත හැකියි…

සිකුරාදා පැවැත්වුන මෙම වැඩසටහන අවසානයේ මම නිවසට ගියෙමි… සති අන්තය විශේෂ කරදරයකින් තොරව ගෙවී ගියේය… සඳුදා උදෑසන ආයතනයේ වැඩ අරඹා සුළු මොහොතකින් මගේ ප්‍රධානියාගෙන් ඔහු හමුවට පැමිණෙන ලෙස ඇමතුමක් ලද්දෙමි… දෙවරක් තට්ටුකොට ඔහුගේ කාමරයට ඇතුළුවෙද්දී ප්‍රධානියාට අමතරව තවත් අමුත්තෙකු එහිඇති බව මම දුටුවෙමි… පසෙක වූ සාකච්ඡා මේසය උඩ වාඩිවී සිටියේ පෙරදිනයේ මගේ ආරධිත අමුත්තායි…

“මූද මිනිහා…?”

“මූ තමයි…!”

මොන විනැම්බෑසියක්ද මම මොහොතකට වික්ෂිප්ත වීමි… අමුත්තා කතා කරන්ට විය…

“උඹ ගිය සතියේ කල කතාව මාරයි… උඹ දන්නවද මම වීක්එන්ඩ් එකේ ෆැමිලි එකත් එක්ක ගමේ ගියා… දරුවෝ තේරෙන වයසට ආවට පස්සේ මම උන්ට අපේ මහගෙදර පෙන්නලා තිබුනේ නෑ… ආපහු එනගමන් බෙන්තොට බීච් හෝටලේත් දවසක් ඉඳලා අපි ආවේ… උඹට ස්තූතියි…”

“යු ආ වෙල්කම්…” මම විරිත්තීමි…

ඉන්පසු මම ආයතනයෙන් අස්වෙන තුරුම ආයතන සාදයක හෝ කොරිඩොවක හමුවූ විට දුකසැප විචාරා යන්නට ඔහු පුරුදුව සිටියේය…

සියල්ල මෙතැනින් අහවර වන්නට තිබුණි…නමුත් ජීවිතය සොඳුරු කතා රචකයෙකි…  ඇස්ටරොයිඩ ගනනක් පෘථිවියේ නොගැටී අප පසුකර  ගිය අතර, අඩි සළකුණු ගැන වද නොවුනු මම නොනැවතී ඉරවටා දුවමින් සිටියෙමි… එහෙත් ඉඳහිට දිනෙක මේ දිවිගමනේ පෙර අප තැබූ අඩි සලකුණුද වැදගත් වේ… එළැඹුනේ එවැනි දිනයකි…

ජීවිතයේ තවත් එක් වෙනසක් වෙනුවෙන් යටකී ආයතනයෙන් මම සමුගනිද්දී ලබාගත් රෙකමදාරු ලිපිය ප්‍රමාණවත් නොවෙන හෙයින් අලුත් ලිපියක අවශ්‍යයතාවයක් පැණනැඟුනි. මානව සම්පත් අංශය හරහා නිලවශයෙන් ඔවුන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුනේ මගේ රෙකමදාරු ලිපිය වසර ගනනාවකට පෙර මා ඉවත්වෙද්දීම ලබාදී ඇති බවත්, අවශ්‍යයනම් එහි කොපියක් මිස අලුත් ලිපියක් ලබා දීමේ සම්ප්‍රදායක් නොමැති බවත්ය… ඉන්පසු දුරකථනයෙන් කෙරුන නොනිල ඉල්ලමට පිළිතුර වූයේ සම්ප්‍රදායට පිටින් එවැන්නක් කිරීමට ආයතනයේ අහවල් විධායකගෙන් කෝඳුරු තෙල් හත්පට්ටයක පෙඟවූ විශේෂ අවසරයක් අවශ්‍යය බවයි… කෝඳුරු තෙල් හත්පට්ටය සොයාගත්තද, විශේෂ අවසරයක් කොහෙන් හොයන්නද…...?

දැන සිටි මිතුරන් සියල්ල ජීවිතයේ අලුත් අභියෝග සොයා ආයතනයෙන් නික්ම ගොස් සිටි හෙයින් මම අසරණ වීමි… නිකමට මෙන් අහවල් විධායක කවුදැයි විමසා බැලුවෙමි… දේව කරුණාවයි… මගේ ඇස්ටරොයිඩ ආරාධිත අමුත්තා තම වෘත්තීය ජීවිතය ජයගෙන ඇත…!!! :)

ඉතා කෙටි හඳුන්වාදීමකින් අවුරුදු ගණනක් ආපස්සට දුවන්නට ඔහුට ඉස්පාසුවක් තිබුනෙන්, අවශ්‍ය ලිපිය මටම කියා ඩ්‍රාෆ්ට් කරවාගෙන තම අත්සන යෙදූ කොපියක් කඩිනමින් මට ලැබෙන්නට සලස්වා, මුල් පිටපත තැපැල් කරන්නට තරම් ඔහු නිහතමානීවිය,.. අපේ අතීත හැඳුනුම්කම නොවන්නට මේ ලිපිය මට නොලැබෙනු නොඅනුමානය… නොසිතූ, නොපැතූ අහඹු සමනළ පියාපතක සෙලවුම ජීවිතයේ විසල් වෙනස්කම් සිදුකරන්නේ එලෙසිනි…

Inspired by : “දිනේශ්ගේ වර්ණ” සහ “පැතුම්ගේ බිත්තිය

පිංතූරය : http://cdn.inquisitr.com/wp-content/uploads/2014/04/asteroid2.jpg

46 comments :

  1. ///නමුත් ජීවිතය සොඳුරු කතා රචකයෙකි… ඇස්ටරොයිඩ ගනනක් පෘථිවියේ නොගැටී අප පසුකර ගිය අතර, අඩි සළකුණු ගැන වද නොවුනු මම නොනැවතී ඉරවටා දුවමින් සිටියෙමි… එහෙත් ඉඳහිට දිනෙක මේ දිවිගමනේ පෙර අප තැබූ අඩි සලකුණුද වැදගත් වේ…///

    ඔයා ගේ කතා ලියන රටාවට දැන් මාත් ඇබ්බැහි වෙලා...

    // ඇවිද යන මට වදවීමට අතිරේක හේතුවක්ද නිර්මාණය වී තිබුණි… ඒ එදින වැඩසටහනට සහභාගී වී සිටි ප්‍රධාන අමුත්තායි…//// මටත් මේ වගේ දේවල් ම තමයි උනොත් වෙන්නේ.

    දිනේෂ් ගේ පෝස්ට් එකේ කමෙන්ට් එක දැක්ක ගමන් ඇවිත් බැලුවේ ඒ වගේම ලියලා.. අපි හැමෝටම ස්ටේජ් නගින එක හෙනටම භයානක සීන් එකක්,, දේශපාලකයෝ නම් මාර ස්ටෝර්න්ග් කට්ටිය නේද ,,මුළු රටටම පේන්න කතා කරන හැටි ( කියන දේවල් මෙලෝ වැඩකට නැති වුණත් )

    ReplyDelete
    Replies
    1. අර කතාවකුත් තියෙන්නේ දේශපාලකයෝ දෙන්නෙක්ගේ බිරින්දෑවරු දෙන්නෙක් ගැන... එක්කෙනෙක් කිව්වාලු අපේ මහත්තයාට ඕනේ මාතෘකාවක් ගැන ඕනේ තරම් වෙලා කතාකරන්න පුළුවන් කියලා... සෙකන්ඩ් වෙන්න බැරිකමට අනිත් කෙනා කිව්වාලු අපේ මහත්තයාට මාතෘකාවක් නැතුව වුනත් ඕනේ තරම් වෙලා කතාකරන්න පුළුවන් කියලා :D

      Delete
  2. මරු. මරු කියල කියනවට වැඩිය දෙයක් කියන්න බැරිවිම ගැන කණගාටුයි.
    මේක ඇත්තම සිද්ධියක්ද? ඇත්ත-ප්‍රබන්ධ වෙන් කරන සීමාව බොඳවෙලා :-)

    ReplyDelete
    Replies
    1. සීමාව බොඳවෙන්නේ මම හිතන්නේ ආල වට්ටම් දාන්න ගිහින්... ඒ වුනාට මේකේ හැම සිදුවීමක්ම ඇත්ත... අත්දැකීම් ලේබලේ විතරක් ඒ නිසායි.... ප්‍රබන්ධ කෑලී දානවානම් මම ඒ වගේ ලිපි වලට අත්දැකීම්, කෙටි කතා කියන ලේබල් දෙකම අමුණනවා.. :)

      Delete
  3. මට හිතුනෙ බීට‍ලේ, අපි නොහිතන කොයිතරම් opportunities ජීවිතේ අපේ දෝතට පුදනවද.. අපි කීයෙන් කී දෙනාද ඒ opportunities දැකලා ඒවයින් වැඩක් ගන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අර ගංවතුරකට හිරවෙලා වහලෙකට නැඟලා දෙවියන්ට යාඥා කර කර හිටිය මිනිහෙක් ගැන ලස්සන කතාවකුත් තියෙන්නේ...

      Delete
  4. පට්ටයි..............

    ReplyDelete
  5. අපූරුයි, කතාව ඇත්ත නිසා තවත් අපූරුයි! ජීවතේ මේ වගේ කොයි තරම් සමනල තටු + කුණාටු තියෙනවාද අපි දැන හෝ නොදැන?

    ReplyDelete
    Replies
    1. නොදැන නම් කරන්න දෙයක් නෑ... දැනගෙන පටන් ගන්න කුනාටුවක් චෙස් කරන්න කොච්චර එඩිතර කමක් ඕනෙද,.. :)

      Delete
  6. බීටල්,
    දැං දැං මේ කතා ලස්සන හින්දි සිංදුවක් වගේ. මේ අහවල් සංගීත භාණ්ඩයයි කියලා හොයාගන්න බැරි හැඟීම විතරක් දැනෙන. මේවයෙත් වචන නෑ, නැවුම් හැඟීම් පමණයි.

    ReplyDelete
    Replies
    1. එල එල... උඹ මේ කිව්ව දේ ඇගයීමක් වෙන්න ඕනේ.. :D

      Delete
  7. ලස්සනට ලියපු ලස්සන කතාවක් ... Toastmasters clubs වල බොහොම අපුරු කතා තියෙනවා ... වරක් අපේ club එකේ කෙනෙක් ඔහොම කරපු කතාවක් මට හැමවෙලේම මතක් වෙනවා . ඔහුගේ කතාවේ මාතෘකාව "1" "0" ("එක" "බින්දුව" ) ඔහු කතාව අවසන් කලේ

    "මගේ අල්ලපු ගෙදර මනුස්සය ෆේස්බුක් එකේ හිටියනම් මට ඔහුව මිට වඩා අඳුර ගන්න තිබුන"

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... මම කෙටිකාලෙකට ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකකත් ඉදලා තියෙනවා...හැබැයි මේක ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක්ම නෙමෙයි... ඒකේ කොපියක්... :D

      Delete
  8. තමන් ගැනම රෙකමදාරු ලිපියක් තමන්ම ලියන කොට පොඩ්ඩක් අවුල් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. භයානක පරිවර්තන වැරැද්දක් :D රෙකමදාරු ලිපියක් නෙමෙයි සේවා සහතිකයක්... මගේ ගාව තිවුන සේවා සහතිකයේ මම ඉටුකරපු වගකීම් විස්තර ඇතුව සඳහන් වෙලා නැති බවයි මම ඒ ලිපිය බාරදුන්න තැනින් කිව්වේ... ඉතින් මට අවශ්‍යය වුනේ වගකීම් වඩාත් විස්තර කෙරෙන ලිපියක්... ඉතින් ඒ අලුත් ලිපියේ මම කල දෙවල් පැහැදිලිව විස්තර කරන්න වුනෙත් මටම තමයි...

      Delete
  9. ජීවිතයේ අවස්ථා එනවා, එත් අපි නොදැනුවත්වම ඒ අවස්ථා මගහැර ගන්නවා. මට මටක් වුනේ අර ජීවිතේ බේරාගන්න දෙවියන් එනතුරු බල සිටි භක්තිමතා ගේ කතාව .

    බීට්ල් ස්ටයිල් .. ඇත්තටම නියමයි. මම දැන් කල්පනා කරන්නේ ඇත්තටම තව දවස් හතක විතරක් මම ජීවත් වෙනවානම් මොකක්ද කරන්න ඕන කියලා :D

    ReplyDelete
    Replies
    1. ඊලඟ දවස් හතත් මේ ඉන්න විදියටම ඉන්නවා කියලා කෙනෙක්ට කියන්න පුලුවන්නම් එයා දිනුම්... මම එහෙම කෙනෙක් නෙමෙයි :D අවංකව මේ සභාවක කල කතාවක් විතරයි... හැබැයි මට බැරිවුන දේ අහන් හිටි කෙනෙක් දවසකට හරි පිළිපැදලා තියෙනවා...

      Delete
  10. කිරි අප්පට බස්සො කොටපි!

    මේං මේකා ඒ වංගියෙ ලියනවා එකසිය ගාණට. ආමේන් ! :)

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් දෙකම කනා වැදුන දෙකක් :D

      Delete
  11. හම්මේ සෑහෙන්න දරුණු කතාවක්නේ කරලා තියෙන්නේ.. හැබැයි ඉතින් ජීවිතේ ගෙනව ඊලග මොහොතත් එක අතකට විශ්වාස නැති එකේ දවස් හතක් ගැන හිතද්දී ඒක හරි ලොකු වැඩියි..

    කතාවක් කරද්දී වෙලාවට කලින් ලෑස්ති කරන් යන කතාව ඉවර වෙන එක මටත් වෙලා තියෙනවා කීප සැරයක්ම.. හිතට එන මොනා හරි දාලා ඒ වෙලාවට ශේප් වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපි වගේ කොහොමහරි ෂේප් කරගන්න අය නෙමෙයි, සමහරු ඉන්නවානේ උපන්ගෙයි කථිකයෝ...

      ඔහොම කියද්දී මතක්වුනේ මම ඉගෙන ගත්ත ගුරුවරයෙක් හිටියා මොකක් හරි පාඩමක් කිව්වාම ඒක එයාට පැයෙන් උගන්නලා ඉවර කරන්නත් පුලුවන්... පැය හතරෙන් උගන්නලා ඉවරකරන්නත් පුලුවන්... :D

      Delete
  12. ඔහොම කාගේ හරි කතාවක් අහලා වෙනස් වෙන මිනිස්සු ගැන ‍ෆිල්ම් වලින් අහලා තිබුනට ඇත්තට එහෙම වෙනවා කියලා ඔය ඇහුවමයි...

    උඹේ කතාවත් එළ, කතාව ලියලා තියන විදිහත් එළ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා... හැමදාටම වෙනස් වෙන්න නැතිව ඇති බන්... හැබැයි එක සති අන්තයක් වෙනස් වෙලා තිවුනා...

      Delete
  13. අර පහුගිය කාලෙ ලෝක විනාසෙ වෙනවයි කියනකොටත් කට්ටිය ඔය වගේ අදහස් පලකරල තිබුණ.
    බීටලේගෙ ඇස්ටරොයිඩෙ කඩා වැටිල තියෙන්නෙ ප්‍රධාන ආරාධිතයගෙ ඔළුවට වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර වෙලාවල් එනවානේ ජීවිතේ උපරිම බිසිවෙලා ඉද්දී ඇස්ට්‍රොයිඩයක් ඔලුවේ හැප්පිලා මම මේ මොනවද කරන්නේ කියලා හිතෙන... පොරටත් එහෙම වෙන්නැති...

      Delete
  14. ආසාවෙන් කියවීමි. තමන්ගේ "මෙතෙක් කතාව" ගැන සතුටට පත් වන්න හැකි කොපමණ දෙනෙකු මේ සමාජයේ හොයා ගන්න පුළුවන් වේවිද බිට්ල්?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රයිගම්... මෙතෙක් කතාව ගැන සතුටට පත්වීම කෙසේවෙතත් තමන්ගේ මෙතෙක් කතාව එකපාරක් හරි කියවලා තියෙන අයවත් සමාජයේ ගොඩක් නැතිව ඇති...

      Delete
  15. බීටලේගෙ කථාව කියෙව්වාම මම ගියේ මගේ මළල ක්‍රීඩා අතීතයට...අදින් වසර 14 කට එහාට. මම ඒ කාලෙ ශරීර සෞඛ්‍ය පවත්වාගන්න දැඩිව ව්‍යායාම කරපු කෙනෙක්. පාසලේ තූර්යවාදක ඛන්ඩය පමණයි මම නියෝජනය කලේ. ඒත් අපේ නිවාසෙ මීටර් 5000 සහ 1500 දුවන්න හිටිය එකා නැතුව ක්‍රීඩා නායකයා මට හදිසියේ පංගරාර්තු කලා මේ දිවිල්ල. නම් දරාපු ක්‍රීඩකයො අස්සෙ තරග ආරම්භක ස්ථානයේ මමත් ඉන්නවා දැන්. බඩ ඇතුලෙ සමනල්ලු පියාඹනවා. මට ‍හිතෙන්නෙම මට තෙවන තැනවත් ගන්න නොහැකි වෙයි කියලා. පළමු වට කීපය ඉතාම උද්වේගකරයි. මම අවසාන ස්ථානයේ දැන් දුවන්නෙ. නම් දරාපු අය ඉදිරියෙන්ම යනවා. වට කීපයක් නිමා වෙද්දි මුලින් ගිය අයට මහන්සියි. මට හිතේ හයිය ටික ටික වැඩිවෙනවා. අපේ නිවාසය ලගින් යද්දි ලැබෙන ප්‍රතිචාර වලට මලත් කමක් නෑ මේ තරගය දිනලා කියලා හිතෙනවා. කොහොම හරි බොහොම උද්වේගකර තරගයක් දීලා මම එදා දිනනවා. මීටර් 1500 දිත් මම දිනනවා. හිතේ තිබුන පීඩනය අහවර වෙච්ච ගමන් දැනෙන සැහැල්ලුව මාරයි බීටලේ...මතක් කලත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා... අපරාදේ මේක මයිල් ඉස්මයිල් වෙන කතාවක් කරන්න තිබුනා සිරාගේ කාමරේ...

      Delete
    2. උඹ ජාතික පාසල් එහෙම ආවද සිරා....

      Delete
    3. නෑ බුද්ධි. මම දිවිල්ල කලේ පාසල තුල විතරයි. එතනින් එහාට දුවන්න මගේ ආශාවක් තිබුනෙ නෑ. ක්‍රීඩා පාසලකට ගිහින් නිසි පුහුණුකරුවෙක් යටතෙ පුහුණු උනා නම් ගොඩාක් දුර යන්න පුලුවන් කියලා ගොඩාක් අය කිව්වා ඒ කාලෙ. නමුත් මම ඒවා කනකට ගත්තෙ නෑ.

      Delete
  16. බීට්ල්ගේ ලියපු කතාවට වඩා කරපු කතාවට මම කැමතියි. ගොඩක් වෙලාවට කෙනෙක් ලියන දේවලින් රචනයට වඩා රචකයා ගැන මගේ ඔලුවේ චිත්‍රයක් ඇඳෙනවා. ඒ චිත්‍රේ හැටියට බීට්ල් වෙලාවකට සීමා නොසලකා, ඒ හැම දෙයක්ම බිඳගෙන යන කෙනෙක්. තවත් වෙලාවකට තමන් ඇඳගත්තු රාමුවකට මැදිවෙලා තමන් 'හරි' කියන දේ හරියටම කරන කෙනෙක්. කොහොම වුනත් එයාගේ කතා රටාව වෙනස්. ඒ වෙනස තමා මේ කතාවත් ලස්සණ කරලා තියෙන්නේ.

    දැන් දවස් හතට. පොඩ්ඩිගේ මොළේ පැති දෙකයි. ප්‍රායෝගික හා රොමැන්ටික්. ප්‍රායෝගික පැත්ත කියන්නේ හාවර්ඩ් හරි දැන් ඉතින් ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරිත් යාගත්තා නම් හොඳයි කියලා මැරෙන්ට කලින්. ඒත් අර ඕනි නැති රොමැන්ටික් පැත්ත කියන්නේ වෙන දෙයක්.

    කාලෙකට ඉහත පොඩ්ඩිට හොඳම හොඳ යාලුවෙක් හිටියා. මොකක් හරි තේරුම්ගන්ට බැරි හේතුවක් හන්දා එයා පොඩ්ඩිගෙන් ඈත් වුනා. එයා මේ ලෝකේ කොහේ හිටියත් ඔය වගේ දවස් හතක් තිබ්බොත් පොඩ්ඩි එයා හොයාගෙන ගිහින් කෝපි එකක් බොන්ට ගෙනියනවා. ගෙනිහින් නොදැන කල වරදක් තියෙනවා නම් එයාගෙන් සමාව අරගෙන, සමුගන්නවා. ඔය ගමනටත්, කෝපි බොන්ටත් දවස් තුන හතරක් වත් යයි. ඊලඟට කරන්නේ පොඩ්ඩි මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා ලඟට ගිහින් එයාට තුරුල් වෙලා අනෙක් දවස් ටික ගෙවන එක. දාලා යන්ට බැරි වෙන කිසිම දෙයක් පොඩ්ඩිට නෑ.:D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පොඩ්ඩි...

      Delete
  17. මේක ඉන්ස්පිරේෂනල් පෝස්ට් එකක් බීටල්. ජීවත් වෙන්න ඕනි මෙහෙම තමයි කියල හිතුන වගේම ලස්සනට ලියන්න ඕනි මෙන්න මෙහෙමයි කියලත් හිතුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ...

      Delete
  18. හ්ම්,එක මොහොතක කරදරයක් කියලා හිතපු දේ ආයෙමත් දවසක ආශීර්වාදයක් වෙන්ට පුළුවන් එහෙනම්.

    ReplyDelete
  19. ලෝක විනාසෙකදි අන්තිම මොහොතෙ කරන දේ, මෝටසයිකලේ සීට් එකේ තියාගෙනයන්න තෝරගන්නෙ කාවද වගේ ප්‍රශ්ණ ඔය වගේ අවස්ථාවලදි නිතර ඇහෙන දේවල්නෙ.

    ජීවිතෙ ලැබෙන අවස්ථා කියන්නෙ ගන්න ඕන තැන් වේතරක් නෙමෙයි දෙන්න ඕන තැනුත්. එත් කී දෙනාද මේව හරියට හඳුන ගන්නෙ?

    උඹෙ ලියැවිල්ල ගැන ඉතින් අමුතුවෙන් මොනා කියන්නෙයි!

    ReplyDelete
    Replies
    1. //ජීවිතෙ ලැබෙන අවස්ථා කියන්නෙ ගන්න ඕන තැන් වේතරක් නෙමෙයි දෙන්න ඕන තැනුත්.//

      මේ වාක්‍යයත් එක්ක මේ පෝස්ට් එක සම්පුර්ණ වුනා කියලා මට හිතෙනවා... ගොඩක් ස්තූතියි මචෝ...

      Delete
  20. Reminds me the film "bluffmaster". How many truly memorable days have we had?
    I would make that seven days truly memorable.

    ReplyDelete
  21. බීට්ල් ලියන අකුරු කියවපු පලවෙනි වතාව. මේකත් "තිලක සිත" Google + එකේ share කරලා තිබුන නිසයි දැක්කෙ.

    හරි අපූරු ලියවිල්ලක් සහ ජිවිතය ගැන හිතන්නට සුපිරි කතාවක්.

    ReplyDelete
  22. උඹේ ස්පීච් එකනම් පට්ටයි. මම එතන හිටියා නම් අනිවාර්‍යයෙන්ම කඳුළු එනවා....!

    ජීවිතේ අපි ගොඩ නගාගන්න සම්බන්ධ කම් අපිට පිහිටට එන්නේ අපි නොහිතන වේඅවක. මගේ ප්‍රථිපත්තියත් පාරෙ ඉන්න හිඟන්නා එක්ක වුවත් හිතවත් කම් ගොඩ නගාගත යුතුයි.....!

    ReplyDelete
  23. බීටල්,
    මම ගොඩ කාලෙකින්ද මන්ද උඹව බලන්න ආවේ, මට මතක නැහැ...

    උඹ ඒ කරපු කතාව සිරා කතාවක් මචං. අපේ උන් අර රටේ මේ පුද්ගලයා මෙහෙම කියල තියෙනවා, මේ රටේ අර පුද්ගලයා අරෙහෙම කියල තියෙනවා කිය කිය පාරම් බානවා.
    නමුත් අපේ උන් කියන සිරා කතා කණකට ගන්නේ නැහැ...

    ජිවිතේ තව තියෙන්නේ දවස් 7 නම්, මම ඒ දවස් 7 ම බොන්නේ නැතුව ඉන්නවා
    ගෙදර උන් දන්න කියන ඔක්කොම උන් ලොකු බස් එකක දාගෙන රට වටේ යනවා
    හොඳ හොඳ තැන්වල නතරවෙලා කළින් උන්ට දෙන්න බැරිවෙච්ච සැප තියෙන ඒවා අරගෙන දෙනවා
    අන්තිම දවසේ හොඳ මලක් ගහල ෆුල් ආතල් එකේ දවස ගෙවනවා...

    හැබැයි කරුමෙට හරි ලෝකේ විනාස නොවුනොත් මම ලොකු ඉජ්ජා භංගත්වයකට පත්වෙයි...
    ඉදිරි ජීවිත කාලේ සතුටට වඩා දුකක් ඉතුරු වෙයි...
    එහෙම නැත්නම් මරණයට ලෑස්තිවෙලා උන්නු නිසා ආපහු හැරෙන එක තේරුමක් නැහැ කියල හිතිලා මම මැරෙන්නත් ඉඩ තියෙනවා...

    ReplyDelete
  24. Hey Beetle, I notice that you have closed the comments for your new posts. First I thought it was a mistake. Now I realize it is something more than that. Did you finally get tired of our comments? My email is henry_jayawardene@yahoo.com. Please write.

    ReplyDelete

Web Statistics