Tuesday, April 14, 2015

105. ගොළු ළමයා…

 image

ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ…

ඒ විතරක් නෙමෙයි කවුරුහරි මට එහෙම දෙයක් ගැන කිව්වත්, මම ඒ කතාව විශ්වාස නොකර ඉන්න ලොකු ඉඩක් තිබුණා… විශේෂයෙන්ම අපේ කොම්පැණිය ඉස්සරහා “මම ගොළු ළමයෙක්මි.” කියලා අඟුරු කෑල්ලකින් ලියපු කාඩ්බෝර්ඩ් දැන්වීමක් ඇඟේ එල්ලාගෙන ඉන්න ගොළු ළමයා ගැන…

ව්‍යයාකරණ ටක්කෙටම ගලපලා කවුදෝ ලියලා දුන්න බෝඩ් එක හැරෙන්න, ගැලපෙන වෙනදෙයක් ගොළු ළමයාගේ ජීවිතේ තිබුණාද මට සැකයි… “ළමයෙක්මි” කිව්වට ළමයෙකුට නොගැලපෙන ඇඳුම, ඒ ඇදුමට නොගැලපුන බාහිර පෙනුම,  ඒ පෙනුමට නොගැලපුන මරුමුස් මුහුණ, ඒ මුහුණට නොගැලපුන අපි යමක් දිගුකරන සැනින් එලිය වෙන හිනාව… මේ හැමදෙයකම තිබුනේ එකකට එකක් පැටලිලි සහගත බවක්… එහෙම වුනත් ඉඳහිට කෑම පාර්සලයක්, සිල්ලර නෝට්ටුවක් දික්කරනවා ඇරෙන්න ඒ පැටලිලි ලිහන්න අපි කාටවත් කොහෙන්ද ඉස්පාසුවක්…

මිනිහෙකුට අනුකම්පා කරනවානම් ඔහුගේ දුක් වේදනා අහන්නත් අපි වගකීමකින් බැඳිලා ඉන්නවා කියලා මට හිතෙන්නේ … අවාසනාවකට ගොළු ළමයා පහුකරගෙන ගිය අපි කාටවත් එහෙම වගකීමක් ගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැතුවා වෙන්නැති… නගරයේ කලබලය මැද්දේ අපි කඩි කුලප්පුවෙන් දුවද්දී නගරය නොගැලපුන ගොළු ළමයා අපේ නොසැලකිල්ල ගැන තරහා නොවී, අපිත් එක්කම ජීවත් වුනා…

දින දෙකක් පුරා පැවති මොකද්දෝ ප්‍රදර්ශනයකට මම වැඩකල ආයතනයෙන් ප්‍රදර්ශන කුටියක් එකතුකලේ ඔය අතරෙදි… ඒ එන ජනකායට බෙදලා  දෙන්න සූදානම් කරපු පත්‍රිකා තොගයකුත් අරගෙන මගේ ප්‍රධානියා මගේ ගාවට ආවා…

“දුවලා ගිහින් කවුරුහරි හොයාගෙන වරෙන්, එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා මේ ටික බෙදන්න කියපන් …”

“උබට පිස්සුද..? මේ හදිසියේ මිනිස්සු කොහෙන් හොයන්නද..?”

“කොහෙන් හොයන්නද කියලා මම දන්නවනම් උබට කියනවද…?”

ප්‍රධානියාගේ නියමයෙන් මම ආයතනය පැත්තට ඉගිල්ලුනේ කවුරුන් හෝ සේවකයෙක් හොයාගන්න අටියෙන්… මිනිහෙකුගේ හීන  සැබෑකරන්න විශ්වයම කුමන්ත්‍රණ කරන්නේ සමහර දවස්වලට විතරයි… ආයතනයේ තේ හදන කාන්තාවගෙනුත්, සෙකියුරිටි අන්කල්ගෙනුත්, ත්‍රීවීල් පාක් එකේ තරුණයින්ගෙනුත්, අසල හෝටලයක මුදලාලිගෙනුත්, වචන මිසක් මිනිස්සු නොලැබුණු මම හිස් අතින් ආපහු කාර් එකට නඟිද්දී, මට වචනෙකින්වත් උදව්වක් දෙන්න බැරි ගොළු ළමයා පදික වේදිකාවේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන හිටියා…

“මේ වැඩේට එන කෙනාට කියක් දෙනවා කියන්නද..?’

“දවසට එක්දාස් පන්සීයයි, දවස් දෙකට තුන්දාහක් දෙනවා කියපන්…”

ප්‍රධානියාගේ ගනන් හිලව් මතක්වුන මට, පුංචි ස්ටන්ට් එකක් කරලා බලන්න හිත බලකලා… ආපහු වාහනේ දොර වහලා ගොළු ළමයා ගාවට ඇවිදගෙන යද්දී මට තිබුනේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් විතරයි…සමහරවෙලාවට බලාපොරොත්තුවක් වැඩිත් එක්ක…

කලින් සාත්තු සේවකයෙක් විදියට වැඩ කරලා තිබෙන සෙකියුරිටි අන්කල්ගේ අත්දැකීම් වලටත්, අපිට ක්‍රීඩා සපත්තු දෙකක් දෙන්න කාරුණික වුන පහළ ජිම් එකක වැඩකල ලපටි ගෑනු ළමයෙකුටත්, හවස්වරුවේ ක්ලබ් යන්න ආයතනයේ ඇඳුම් තබාගන්න සේල්ස් මිතුරෙකුගේ ත්‍යාගශීලී බවටත් පින්සිද්ද වෙන්න, ඉන් පැයකට විතර පස්සේ නාලා, රැවුළ කපලා, කළුපාට කමිසයකිනුත්, කලිසමකිනුත් ලස්සනට සැරසුන ගොළු ළමයා හිටියේ BMICH එකට පිම්මේ ඉගිල්ලෙන කාර් එකක ඉස්සරහා අසුනේ…

හැමදාම උදේ හවස පහුකරගෙන යන ආයතනයේ සේවකයෝ කිසිවෙකුට අඳුනගන්න බැරිවුන ගොළු ළමයා, තමන්ට පැවරුන රාජකාරිය අකුරටම ඉටුකරන හැටි මම බලාගෙන හිටියේ හරි සතුටින්… මේ වෙනකල් හැමදාම තව කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගන්න පුරුදුවෙලා හිටි ගොළු ළමයාට එදා නම් මිනිස්සු මහා හුඟකට දෙන්න දෙයක් තිබුණා… වෙනදාටත් වැඩියෙන් ගොළු ළමයාගේ මුහුන එලිය වැටුනේ ඒ නිසා වෙන්නැති… එයා ඒක කොච්චර සතුටින් කලාද කිව්වොත් දවස ඉවරවෙද්දී, දවස් දෙකේම බෙදන්න තිබුණ පත්‍රිකා තොගය බෙදලා ඉවරකරපු ගොළු ළමයා ස්ටෝල් එක වහද්දී අපි ඉස්සරහා හිනාවේවී හිටගෙන හිටියා… ඔහු කවුද කියලා අඳුන්වලා දුන්නට පස්සේ සතුටින් පුදුම වුන හැමෝම ඔහුව කලින් අඳුනගත්ත නැති එකගැන තමන්ටම දොස් කියාගත්තා…  දවස් දෙකේම සල්ලි ගොළු ළමයාට දීලා මම ඔහුව ආයතනය ගාවින් බැස්සුවේ ඉතින් එයාගේ රාජකාරිය ඉවරබව අතින් පයින් පැහැදිලි කරලා දීලා… රුපියල් තුන්දාහක්, ඒ කාලේ හැටියට ගොළු ළමයාට සති කීපයක්ම රසට කන්න පුළුවන් වේවි.. මට හිතුණා…

ප්‍රබන්ධයක් මෙතැනින් ඉවරවුනත් ඇත්ත කතා වල තව ටිකක් තියෙනවා… පහුවදා හිමිදිරියෙම මම ආයතනයට එද්දී ගේට් එක ගාව හිනාවෙවී හිටගෙන හිටියේ ගොළු ළමයා… අර දුන්න මුළු මුදලම වියදම් කරලා අලුත් ඇඳුමකින් පිළිවෙලට සැරසිලා..! අපි දුන්න ඇඳුම් සපත්තු ආපහු බාරදෙන්න බෑග් එකකට දාගෙන…!! අද දවසේ තමන්ට කරන්න පැවරෙන වැදගත් රාජකාරිය මොකද්ද කියලා ආශාවෙන් බලාපොරොත්තු දල්වාගෙන…!!! 

තමන්ට අවශ්‍යය කෑමට සල්ලි නෙමෙයි, අනිත් අය වගේම සමාජයේ වැදගත් පිළිගැනීමක් ලබන්නයි කියලා වචනයක්වත් මුවින් පිටනොකර මුළු නඟරයටම ඇහෙන තරම් හයියෙන් ගොළු ළමයා එදා මට කිව්වා…
ඒ මම ගොළු ළමයෙක් කතාකරනවා දැකපු පළවෙනි වතාව…

~~~~~~~~~

ප.ලි. : බ්ලොග් ලියනවා තබා කියවීමටත් කාලය සමඟ සටන් කරන්න වෙන දින කිහිපයක් ගතවුනත්, මේ සටහන හේතු දෙකක් වෙනුවෙන්;

1. වැසූ බඳුනක පියන අරිනවාක් මෙන් පහසුවෙන් මිනිසුන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩවල් විවෘතකර පෙන්වන අපූරු නිර්මාණකරුවෙකු වෙන ඉවාන්ගේ පෙර පිං කතාවෙන් මතුකරන අදහසට තවත් මානයක් එක්කරන්න මට තිබුන අවශ්‍යයතාවය…

2. බ්ලොග් වසන්තයේ නියමුවකු වන දුමීගේ වැඩක් නුදුටුවා සේ නොඉන්නට බලකරන, එක්තරා කලබල රැයක ඩුබායිහි කෙටි හමුවකදී උතුරාගිය හිතවත්කම…

බ්ලොග් වසන්තයට ජයවේවා..! සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක වේවා…!

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා…! 

අවාසනාවකට පිළිතුරු කමෙන්ට් වලටත්, බ්ලොග් වසන්තයේ කමෙන්ට් වලත්, අලුත් අවුරුද්දේ බ්ලොග් නෑගම් යෑමටත් යනාදී මේ කිසිවකට ඉසිඹුවක් නොලැබෙන පශ්චාත්තාපය තුනීකරගනුවස් කමෙන්ට් වසමි… සහෘද ඔබගේ කියවා යෑමම මට සතුටකි…
පිංතූරය මෙතැනින්
Web Statistics