Sunday, September 6, 2015

110. දරු නැලැවිලි…


රන් කිරි කටගෑ දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව් ලිට්ල් ඩක්ස් නම් තාරාවුන් පස් දෙනෙකුට වුන ඇබැද්දියක් ගැන කියාදුන් ජොයිස් මම්මාද ඒ අතර විය… මේ සුමිහිරි ගී සියල්ල අසමින් තොටිල්ලේ තාලයට නැලවෙමින් මා සැනහුනද, අම්මා ගැයූ එක් නැළවිළි ගීයක් මේ සියල්ලටම වඩා මට අතිශයින්ම සුවිශේෂී වූයේය… ඒ මෙවැන්නකි…

අම්මා හඳමාමාගෙන් අසාදැනගත් පරිදි, කොහේදෝ කැලයක පුංචි කූඩුවක සැළලිහිණි ජෝඩුවක් පැටවා සමඟ ගී ගයමින් සතුටින් ජීවත් වූයේලු,  හදිසියේම දවසක නොනවත්වා ඇදහැළුණු මොර සූරන වැස්සක් හේතුවෙන් ගස් ගල් උදුරාගෙන සැඩ ගංවතුරක් ගලන්නට වූයේලු…වෙන්නට යන විපත්තිය දුටු සැළලිහිණි අම්මා තම දරුවා බදාගෙන හඬනු දුටු සොබාදහම කම්පාවී වැහිබිඳු ආපසු අහසට ඇදගත්තේලු…

දිව මතුරක් වන් වූ ඒ මිහිරි නැලවිලි ගී තාලයට නැලවෙමින් නින්දට වැටුනා විනා, එකල මේ කතාවේ අරුතක් මට වැටහෙන්නට කොහෙත්ම ඉඩක් නොතිබුණු බව නිසැකය…එහෙත් ඉන් වසර ගණනකට පසු අම්මා එම ගීතයම ගයා මල්ලී නලවද්දී, පසෙකින් සතර පොත් කියවමින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි මම මේ කතාව ඉවසිල්ලේ විමසන්නට තරම් මෝරා හිටි වග නොකිව මනාය… හඳමාමාගේ අසාගත් බව අතිශෝක්තියක් බව තේරුම් ගත්තද, එහි දෙවැනි කොටසේ පැවසෙන සිදුවීම නම් මට මහත් විස්මයක්ම විය… මොහොතකුදු පමා නොවුණු මම වැහි බිඳු එහෙම අහසට ඇදගන්නා හැටි ගැන අම්මාගෙන් ප්‍රශ්න කලෙමි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…”

අම්මාගේ සරල පිළිතුර එය විය… එය එකහෙලා පිළිගත් පැටිවියෙහි උන් මම, දිගින් දිගටම ඒ ආශ්චර්යය ගැන සිතමින් උදම් වීමී… එය සත්‍යයක්ම මිස බොරුවක් නොවන වගට විශ්වාස කළෙමි…

එහෙත් කාලයත් සමඟ මෝරද්දී වෙනස් වුන සිතුම් පැතුම් අතර වැහි බිඳු අහසට ඇදගත් ආශ්චර්යයද ඇතුළත් වීම නොවැලැක්විය හැකි වූයේ නැති… දේව වාක්‍යය මෙන් මා විශ්වාස කල අම්මා පැවසූ බොහෝ දේ ගැන මම උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වීමි… ඇය අවලංගු කරමින් මා පරිණාමය කෙරෙමින් ලෝකය නොනැවතී කැරකෙන්නට විය…

එපමණක් නොවේ; මෙසේ ගතවූ කාලය මුළුල්ලේ පියවරුන්ගේ දින කීයක් ගතවුනාදැයි මට නිනව්වක් තිබුණේ නැති… මහපොළව සමඟ ඔට්ටු වී කාසි අහුලා මා උගතෙකු කරන්නට තාත්තා ගත් වෙහෙස පියවරුන්ගේ දිනයක තබා ආත්ම හතකින්වත් ගෙවා ඉවර කල හැක්කක් නොවේ… ඉතින් කිමද මට පියවරුන්ගේ දිනයක විශේෂයක්…

එහෙත් ජීවිතයේ පළමු වතාවට මට පියවරුන්ගේ දිනයක් සුවිශේෂී කල අද පුදුම හැන්දෑවකි… ලොවක් දිනූ වග අදහාගත නොහැකිව මම තෙත දෑස් පිස දමමි…

තවමත් පෙකිණිය පවා නොවියළුනු කිරිකැටියන් දෙදෙනෙකුගේ සිඟිති පා සටහන් වලින් හැඩවුන සුභපැතුම් පතක් දික් කරගත් හෙදිය සතුටින් සුභ පතයි…

විවාහ වී වසර අටකටත් වැඩි කාලයක්  ආත්මයම දවා අලුකරන තරම්වූ කටුක පරාජයන් හමුවේ, මව් සෙනෙහස නැමති ආශ්චර්යය ගැන විශ්වාසය තබා, පැරදුනු හැමවිට පෙරටත් වඩා ශක්තියෙන් නැඟීසිට නොනවත්වා සටන් වැදුනු ඒ පුදුම ළිහිණි මව නිල්මි පසෙකින් සුවෙන් සිනාසෙයි…

“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…” අම්මාගේ හඬ සිහිනෙන් මෙන් මා සවනත රැව්දෙයි…

වෙනදා මෙන් ඇය නිවැරදි කරන්නට හදිසියක් මට නැත...


ගීතය ගයන්නේ සුජාතා අත්තනායක
ලිව්වේ කරුණාරත්න අබේසේකර
සංගීතය P.L.A. සෝමපාල
(ස්තූතිය අරූට)

69 comments :

  1. යමක් සිදු වී ඇති වගක් පේනවා..
    නිමක් නැති සතුටක් වින්ද බව දැනෙනවා..
    තෙරක් නැති අහස තරු දෙකක් පායා තියෙනවා
    ජයක් පැරදුමක් ලග දි එන හදවත් ගොඩක්
    ඔබේ සතුට ලග
    සැනසුම් සුසුම් හෙලනවා..

    ReplyDelete
    Replies
    1. යමක් නම් සිදුවුනා ඇත්තයි
      නිමක් නැති සතුටකුත් වින්දයි
      ජයක් පැරදුම පහසු වෙන්නේ
      එවන් හදවත් ගොඩක් හින්දයි

      Delete
  2. සුබ අනාගතයක් බීටලේ!!!

    ReplyDelete
  3. Cherish the moment. Congratulations.

    ReplyDelete
    Replies
    1. Looks like we aren't going to see much of your writing in the days to come. They say it takes a lot of nails to make a crib and one screw to fill it.
      You know I was just kidding and was trying to bring on a smile to your lips.

      Delete
  4. ගොඩක් සතුටුයි මචෝ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිලා...

      Delete
  5. Speechless buddy.. :) I will just say congratulations! It is going to be a lovely journey ahead!

    ReplyDelete
  6. කතාව කියවලා අන්තිමට චූටි කකුල් දැක්කම කියන්න වචන නෑ කඳුලු ආවා. මීට වඩා මොනවද !!!!!!!!! සුභ ම සුභ වාසනාවන්ත අනාගතයක් හතර දෙනාටම !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජු...

      Delete
  7. ඉහවහා යන සතුටක් බව, කෑ ගහල උඩ පනින්න ඕන සතුටක් බව මට දැනෙනවා.. උමට ජය බීටලේ..

    ReplyDelete
  8. අකුරු වල තියෙන්නෙ දෝරෙ යන සතුටක් වගෙ හැගීමක් දැනෙන්නෙ...
    කියන්න ලොකු දෙයක් නං නෑ
    ජයෙන් ජයම වේවා බීටලේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...

      Delete
  9. සුභ පැතුම්......

    ReplyDelete
  10. ඔව්; ආදරය සොබාදහමටත් උඩින්. මාත් එකඟයි. සම්මතයෙන් තමන්ගේ නොවන එකෙකු සඳහා ආදරයක් දක්වා ඒක පැතිරෙනවානම් උත්තරීතරයි.http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...ලින්ක් එකටත්... බ්ලොග් කියවන එක මඟඇරිලා හින්දා අලුත් බ්ලොග් බොහොමයක් මට අලුත්...

      Delete
  11. බීට්ල්ගෙ හිතේ උතුරන සතුට, අකුරු අස්සෙන් අපේ හිත්වලටත් කාන්දු වෙනවා. ඉතින් අපිත්, බීට්ල්ගේ පිටට තට්ටුවක් දාලා සුභපතමින් බීට්ල් එක්කම හිනාවෙනවා.

    උණුසුම් සුභපැතුම් බීටලේ!!

    අර කාර්ඩ් එක අපූරුයි! මිල කල නොහැකි සමරු සටහනක්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සී... පුංචි අදහසකටත් කලහැකිදේ බොහොමයි...

      Delete
  12. උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්

      Delete
  13. සුබ පැතුම් බීටලේ !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ

      Delete
  14. බීටලේ අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි...

      Delete
  15. සුබ පැතුම් බීටලේ !සිඟිත්තියෝ දෙන්නෙක් ගැන තමයි මගේ බලාපොරෝත්තුවත් දැන් ඉඳන්ම ....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්... ඒ පැතුම ඒ විදියටම ඉටුවේවා..! :)

      Delete
  16. සුබ පැතුම් බීටලේ.......... ජය.

    ReplyDelete
  17. හද පිරි සුබ පැතුම් බීට්ල්! උත්තරීතර සෙනෙහසත්, ඉහවහා ගිය සතුටත් ගැබ් වුන ඔබේ සොඳුරු සටහන මගේ ඇසටත් කඳුළු ගෙනාවා. එය මින් වසර දෙකකට ආසන්න කාලයකට පෙර අතීතයකට මාව කැඳවාගෙන ගියා - මමත් සිත්තරාත් මව්-පිය පදවි ලැබූ ඒ සොඳුරු නිමේශයට. දරු සිඟිත්තන් දෙදෙනාටත්, ඔවුන්ගේ මවටත්, ඔබටත් සතුටු සැනසුම සපිරුණු සුන්දර අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් ගොඩක්...

      Delete
  18. ඔබේ අපරිමිත සතුට අකුරු අතරින් අපි බොහොම අපූරුවට දැක්කා... උණුසුම් සුබ පැතුම් බීට්ල්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි..

      Delete
  19. බීටලේ .............
    සතුට උතුරා යන බව දැනෙනවා හැම අකුරකම ....
    හදවතින්ම සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචෝ...

      Delete
  20. හදවතින්ම සුබ පැතුම්....
    කොහොමද ඔය නම් දෙක pronounce වෙන්නෙ (සිංහලෙන්)?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...පුතා අවියාන් සෙත්...දුව අර්යානා නෙත්... අවියාන් ඔය කාඩ් එකේ ලියලා තියෙන්නේ නම් නිවැරදි spelling නෙමෙයි...

      Delete
  21. සුබපැතුම් බීටලේ ! පොඩි උන් දෙන්නගෙ නම් දෙකට මම මාර ආසයි... !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචෝ... උඹ ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් දෙකේම ටෙස්ට් කලා නේද..? :D

      Delete
  22. මට නම් ඉතින් නැලවිලි ගීත ඇහුනේ නෑ..
    ඒත් බීටලේට සුභ පැතුම් කිව්වා!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද... සුභපැතුමට ස්තූතියි අඟහරුවා...

      Delete
  23. සංතෝසයි බීටලේ. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පරිකල්පන...

      Delete
  24. වසර කීපයකට උඩදි මේ අවස්ථාවට මුහුණ දෙනකොට දැනෙන දේ කියාගන්න බැරි තරම් හිරිවැටීමකට ලක්වෙලයි මම හිටියේ. මට කියන්න ඕනේ දේ ලියාගන්න අවශ්‍ය හරිම වචන ටික හමු නොවෙයි කියලා මම ඒකට උත්සාහයක් ගත්තේ නෑ...

    මේ සටහන ඇතුලේ එදා මට දැනුණ හැඟීම පරිපූර්ණව ඇතුලත් කියලා මට දැනෙනවා. ඒ කියන්නේ උඹ විශිෂ්ට ලෙස ඒ හැඟීම අකුරු කරලා තියනවා. ඉතිං අම්මාටයි, දරු දෙදෙනාටයි.... මේ තාත්තාටයි මගේ උණුසුම් සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං... ඇත්ත ඒ වගේ සිතුවිලි අකුරු කරන්න බැහැ තමයි... කාර්ඩ් එක නොලැබෙන්න මේක ලියවෙන්නෙත් නෑ...

      Delete
  25. බීටලේ ,
    ඔබ ඇතුලු පවුලේ සැමට, සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බස්සා...

      Delete
  26. සුභ පැතුම් බීට්ල්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පැතුම්...

      Delete
  27. ඉස්කෝලේ යනකාලේ හොඳටම දැනගෙන හිටියේ දෙවරක් චක්කරේ විතරද?

    ReplyDelete
    Replies
    1. දෙවරක් චක්කරේ හරි දැනගෙන හිටි එක හොඳට හිටියා විචාරක...

      Delete
  28. ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගෙ පිහිටයි...
    ඔය සිංදුව කියලා පොඩි මෙන්ඩව නිදිකරලා ඇති දසදහස් වාරයක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මෙන්ඩා...

      Delete
  29. මෙවන් පුවත් අසන්න ලැබීමද මෙවන් බ්ලොග් සටහන් කියවන්න ලැබීමද වාසනාවකි . මගෙන් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ...

      Delete
  30. සුබ පැතුම් බීට්ල් මහතා !

    ලොකු ගමනක ආරම්භය. ටිකක් වැඩිපුර ඕටී කලාට නරකක් වෙන එකක් නැතිවෙයි..

    ReplyDelete
  31. සුබ පැතුම්....! ඉදිරි කාලය කාර්‍යබහුල වගේම සුවබර හා තෘප්තිමත් එකක් වෙනවා.... ඒකට ලෑස්ති වෙන්න...... දැන් තව ඉතිරි වෙලා තියෙන්නේ ගහක් හිටවන්නයි, පොතක් ලියන්නයි විතරයි.... :D

    ReplyDelete
  32. අනුවේදනීයයි!

    මා හිතන්නේ මාද කවියෙක් වූයේ අම්මා කියූ නැලවිලි ගී මා තුල නිදන්ව ඇති නිසා කියලයි. අම්මාගේගේ ජීවිතයේ කටුක බව ඒ නැලවිලි ගී හඬේ තැන්පත්ව තිබුනා. තවමත් ඒවා ඇහෙනව වාගේ. ඒවගේම තාත්තාත් ඔබ කියනා ලෙස. වැඩ ඇරී ගෙදර විත් මාන්සියට ඇලවෙන ඔහුගේ පිට උඩ නගිනා කලක් අප කාටත් තිබුනා. මගේ පියා වෙහෙස නිවා ගත්තේ කේයස් ආදීන්ගේ කවි පොත් වල කවි ගායනා කිරීමෙන්. ඒ ස්වරයේද දුක්බර හඬක් තිබුනා.

    එකවරම දෙදෙරූ පියා බවට පත් ඔබටත් ශුභ පැතුම් !

    ReplyDelete
  33. wow!!! Twins....... gosh.. I love twins :)
    Congratulation to u n ur beautiful wife... may triple gem bless all of U!!!

    ReplyDelete
  34. සුබ පැතුම් බීට්ල්. ජීවිතය යලි පෙර වගේ නොවේවි!

    ReplyDelete
  35. ප්‍රතිචාර, සුභපැතුම් සියල්ලටම ගොඩක් ස්තූතියි...!!!

    ReplyDelete

Web Statistics