Thursday, April 7, 2016

116. නිකිණි මේඝයට සනෙහසිනි



කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි...

නිකිණි මේඝයට සනෙහසිනි,

සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්, බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි...

ඒ අප බාහිර ලෝකයෙන් වසන්ව එකිනෙකාගේ ඇස් කාච තුළට අනායාසයෙන් රිංගාගෙන ආයාසයෙන් ජීවත් වූ සමයයි... හරි හැටි නමක් නොදන්නා අඩුවක් ගැන මම නිතර මැසිවිලි කීවා නුඹට මතක ඇතැයි සිතමි...

ජනේරු වැහි හතරක වැහි කැටයක් ගානේත්, ගිනිගෙන දැවුනු ගිම්හාන තුනක අව් රැල්ලක් ගානේත් අප සෙවූ ඒ අඩුව අනෙකක් නොව වචන අකුරු නම් ආශ්චර්යය යැයි එදා නුඹ හොඳින්ම දැනසිටි බව මම දැන් අදහමි...

සිතුවිලි නිද්‍රාවෙන් ගල්වෙන තරම් මා පෙලූ ඒ නිහඬතාවය වචන අකුරු වලින් සමනය කලහැකි බව සාහසික ලෙස නුඹ මගෙන්  වසන් කලා පමණක් නොව, නෙතු පියන් වසනා සඳ අපට හොරෙන් අප හදවත් එකිනෙකාට කොඳුරන රිද්මය පවා නුඹට ඇසෙන බව පවසමින් මා මුලා කරන්නටද එඩිතර වූ අයුරු පුදුමාකාරය...

හුදෙක් නුඹේ  හැඟීම් මාත්‍රයක දැවටුනු මුරණ්ඩුකම ගැන විශ්වාසය තැබූ මම නෑසෙන හදවත් රිද්මයක් ගැන සිගරැට් දුම හා ඔට්ටු තබා පැරදුනු රාත්‍රීන් ගනන කොපමණදැයි නුඹ කවදා දැනගනීද...

මගේ සල්ලාලකම ගැන චෝදනා කරන නුඹ විරාගී කවියෙකුගේ උපයෝගීතාවය ගැන ප්‍රශ්න කල අයුරු අමතකද..? ඉන් අධෛයිරයට පත්ව මා ලියූ කවි සියල්ල කීතු වලට ඉරනා විට කවි ඉතිරි කර ඒවායින් විරාගය සූරා ඉවත් කරන්නට නුඹට තුබූ සංයමය ගැන අද මම පුදුම නොවෙමි... ඉරුණු  කවිපද සියල්ල එක යොතක් කොට අඹරා මල පුඩුවක් සාදාගත් මම වෙහෙසකර ලිංගික තිගැස්මක සුරතාන්තයෙන් ආරූඬව නුඹේ දෑස් පියවෙද්දී නුඹේ සිලිටි ගෙල සිරකිරීමට නොයෙක්වර මාන බැලූ බව නුඹ නොදන්නවා ඇති.. එහෙත් ඒ කිසිවිටෙක නුඹේ දෑස් නොපියවීම අහම්බයක් නොවන බව මම දැන් දනිමි...

බක්මහ ගිනියම් පාරජම්බුල උනුසුම කොළඹ පාරක් ගානේ වහින සමයක සිහිකැඳවීම පිනිස අතැරගිය ධවල කානේශන් මල් සුවඳ දිගේ නුඹ ආපසු පැමිනේයැයි සැකයෙන් මම ඒවා ආදරයෙන් රක්ශා කලෙමි... සුලගේ පිපී නැටූ ඒ මල් "ඇද්ද තොට...ඇද්ද තොට..." යන විසුළු රැඟුමෙන් රඟන්නට ගත් පසු ඒ සියල්ල මුලින්ම උදුරා විනාශ කර දමනවා හැර මට වෙනත් විකල්පයක් නොවීය...ඒවා නැවත දළුලා නොවැඩෙන තරමට තලා පොඩිකර දමන්නට මා සමත් වුවද, අදත් මද්දහනේ කොළඹ යද්දී මගේ දිවට තියුනු මලකඩ රසයක් දැනෙනු වළක්වා ගත නොහේ.. එය පහව යනතුරු මම කොළඹ අසංවර අහස උරා බී කට සෝදා කෙල ගසමි...

නුඹව ගිනි උදුනට විසිකිරීමට තරම් මම මෝඩ නොවෙමි...ඒ වහා ගිනි ඇවිලෙන සුළු නුඹේ දහනය ගැන ඇති සැකයකින් නොවේ... අප වෙන්වූ දින පටන් දැවෙමින්ද තැවෙමින්ද දැවී දැවී තැවෙමින්ද ඇවිලෙන නුඹේ ආත්මය නුදුරේම අඟුරු වන බව දන්නා හෙයිනි...

නුඹේ මලගමදා සොහොන් කොතේ නුඹ වෙනුවෙන් මා යමක් ලියූබව නුඹ  නොදන්නවා ඇතැයි සිතමි... නුඹ මියගිය ආදරවන්තයින්ගේ දිනයට පසුදින නුඹේ සැම්සුන් ගැලැක්සි සොහොන් කොතේ මිස්ඩ් කෝල්ස් විසිහතරක් නුඹ වෙනුවෙන් මම ලියා තැබුවෙමි... 

නුඹ එය දුටුවාද මම නොදනිමි...නොදැක්කානම් කියන්න..නෑ...නොකියාම සිටියත් කම් නැත...

මීට 
අගතියට පත්,
කවි නොලියූ කවියා.


ප.ලි. : සිංහල බ්ලොග් අවකාශයේ කලකට පසු කියවූ අපූරු නිර්මාණයක් වන කවි නොලියු කවියාට ලියා තබමි ලිපිය කියවීමෙන් ආතුර වුනු හදවත යථාතත්වයට පත්කරගනු වස් ලියැවුනකි...

සිංහල බ්ලොග් ලොව දිග්විජය කල බස්සීගෙන් පසු එහි නිර්මාණාත්මක ෂානරයට වැදුන සොදුරුතම හෙණ පහර අමාගේ හීන සාප්පුව යැයි හඟිමි...පරිගණක තිරයේ ඉහල සිට පහලට දෑස් ගෙනයන පමාවට නොදනිත් දරුවන් ඇකයෙන් වැටෙන විසල්ගේ අරුම ලිවිල්ලට බ්ලොග් ලොව බොහෝ විසිතුරු සිත්තම් මවන්නට හැකිවේවායි පතමි...


37 comments :

  1. නියම පිළිතුර

    ReplyDelete
  2. ලිපි දෙකම කියවා, මගේ මොකක් හෝ අවුලක් ඇති බව වටහා ගතිමි. එය වටහා දුන් තොපි දෙදෙනාටම පින්ය. මට මෙලෝ දෙයක් නොතෙරුණු බව කණගා‍ටුවෙන් යුතුව දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. උඹ පොඩ්ඩක්වත් කණගාටුවෙන්න එපා... මට හිතෙන්නේ තේරෙනවනම් තමයි අවුලක් තියෙන්නේ... :D

      Delete
    2. සෙන්නයියාට පමණක් නොව ලිපි දෙකම කියවූ නමුදු මටද මෙලෝ හසරක් නොතේරුණු බැවින් මමද මා ගැන කණගාටුවෙමි.
      ලිපි දෙකම විවේකිව නැවත කියවා වටහා ගන්නට උත්සහා කරමි.

      Delete
    3. කණගාටු නොවී ඕනේ දෙයක් කරන්න... :)

      Delete
  3. මම ලියපු දේ තව කෙනෙක්ගේ හිතේ මෙච්චර ලස්සන අදහසක් උපද්දවන්න තරම් වෙයි කියලා ලියන වෙලාවේ කවදාවත්ම හිතුවේ නෑ...මට ඇත්තටම සතුටුයි..මේ නිර්මාණේ හරිම ලස්සනයි...බාගදා මගේ එකටත් වඩා ලස්සන හැඩතල වලින් හැඩ වෙලා...

    ඒ වගේම හීන සාප්පුවට ගොඩ වෙන්නය කියලා හැමෝටම ආරාධනා කලාටත් ගොඩක් ස්තුතියි...
    හැමදාම හොඳ නිර්මාණ කරන්න ලැබෙන්නය කියලා පතනවා.. :)

    ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ අගයකිරීමට... තමන්ගේ නිර්මාණ සමඟ සෙල්ලම් කරන එක ඉවසන්න තරම් නිහතමානී වෙන අය අඩුයි.. ඒ අතිනුත් ඔබ ඉදිරියෙන්...

      Delete
  4. බීටා....එළකිරි රිටන් එකක්. ඒත් අර සැම්සුන් ගැලක්සිය මගේ සුරාන්තයට පාර වැහුවා. අමාටත් වඩා හුරුබුහුටිව වචන සහ අදහස් ගොඩ නගාගෙන ඇවිත් එක පාරටම ඇයි එහෙම කරේ? වෙන කරන්න කිසිම දෙයක් තිබුනේම නැද්ද? මගේ තන්හාවට අහපු ප්‍රශ්නයක් මේක.Aru

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ...එතැන හම්ප් එකක් තියෙනවා තමයි... දැන් වෙනසක් කරන්න පරක්කුයි, වෙහෙසයි...

      Delete
    2. මටත් මේක තේරුණා, හැබැයි අමාගේ ලිපියෙත් අවසානයේ ටෝන් එක පොඩ්ඩක් මීට සමානයි නේද? මට හිතුණා ඒ නිසා වෙන්න ඇති බීට්ල් මෙහෙම ලියන්න ඇත්තේ කියලා....

      Delete
    3. ඔව් මමත් දැක්කා... අන්තිම නිකං ලියුම ලියන කෙනාගේ සිතුවිලි අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිය විදියට ලියලා තියෙනවා

      Delete
  5. මේක මාරයි බීට්ල්!
    බීට්ල්ගෙ කතාවක් නිසා ආයෙ වෙන මොනව කියන්නද. සුපිරියි!

    විසල් කියන්නෙ මාරම ශක්‍යතාවක් තියෙන එකෙක්. තවම වයසින් පොඩියි. අගෝස්තුවේ එක්සෑමුත් තියාගෙනයි ඔය කුරුටුගෑවිල්ලේ යෙදෙන්නෙ. මූට ආදරේට කියන්නෙ සුවිසල් කියලා.

    මගෙ නමත් සඳහන් කලාම පුදුම සතුටක් දැනුනා.ඒ ඇගයීම පට්ට වටිනවා. තැන්කූ වේවා ගොඩාරියක්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුවිසල් හැකියාවක්... ඉගෙනගන්න දේ ගොඩයි...

      Delete
  6. බීටල් බීටල් ඒකනම් මාරම හොයා ගැනීමක් . ඒකයි මේකයි දෙකම. වචනවල මෙච්චර මැජික් තියෙනවද? පුදුමයි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිලකේ.. පිස්සුවෙන් වගේ කියවන්න කැමති අපි වගේ අයට ඒවගේ හොයාගැනීම් මාර වටිනවා...

      Delete
  7. මම කොච්චර දුප්පතෙක්ද කියල තේරුම් කරලා දුන්නට ස්තුතියි...

    අමාගේ එක පෝස්ට් එකක් ගානෙම මම දොර මුල්ලට දුවනවා. බිටලේ හරි බස්සි හරි තමයි ඌට කැපෙන උත්තරයක් ලියාගන්න පුළුවන් නම්.... එලම කිරි... මමත් හිතන්නේ ඉතාම සුන්දර සොයාගැනීමක් අමා කියන්නේ.

    අන්න දැක්කද... ඊතලේ දැක්කහම දුනුවායෙක් දන්නවා කරන්න ඕනේ ඉතුරුටික. නියමයි බීටල්. මම මේ බලාගෙන බලාගෙන ඉන්නේ මේ වගේ ඝට්ටන වැඩි වැඩියෙන් වෙනකල්. අපිටත් බැරිය ඉතිං කැකුණ කන්න.. නේද?

    ReplyDelete
    Replies
    1. අදහස් අතින්නම් උපේක්ෂාගේ දුප්පත්කමක් මම දැකලා නෑ... මේ කියනවා ඇත්තේ සල්ලි අතින් දුප්පත් කියලා වෙන්නැති :D

      Delete
  8. නියම ලියවිල්ලකට නියම පිළිතුරක් .....
    උඹ නිතර නොලියන එක ගැන දුකයි .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... සේරම බැලන්ස් කරගෙන යන මේ විදිය හොඳයි කියලා හිතෙනවා...

      Delete
  9. ඔබේ ලිපිය කියවා පිළිතුරු ලිපියක් ලිවීමට උත්සාහයක් ගතිමි, ඇවිත් බලන්න ඇරයුම් කරමි.

    http://nimnyakatanivi.blogspot.com.au/2016/04/blog-post_45.html

    ඔබ වගේ link කරන්න නම් දන්නේ නැහැ.....

    ReplyDelete
  10. මගේ සැම්සුන් ගැලක්සි-3 කබලත් දැන් සොහොනට යවන්න කාලේ හරි. මේකට පස්සේ දැන් අළුත් රිලීසස් හතරක්ම ඇවිත්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් S7ක්ම බස්සන්න...ලෙඩා මලත් බඩ සුද්දයි...

      Delete
  11. ලිපි දෙකම එක හුස්මෙට කියවා හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...

      Delete
  12. ඔන්න තව වචන වලින් මැජික් කරන මැජික්කාරයො දෙන්නෙක් හොයාගත්ත, බස්සි ඇරුණම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...අකුරු අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  13. මෙතනට ඇවිත් හීන සාප්පුවට ගියා , ආපහු මෙතනට ආවා , දන අතරමන් වෙලා , පාර සොයාදෙන්න ,බීටල් හෝ සුවිසල්

    ReplyDelete
    Replies
    1. බීට්ල්ටද පාරක් ඇති නැති ගානය... :)

      Delete
  14. කවි නොලියූ කවියාට මීට වඩා දෙයක් කියන්න තියෙයිද? මට හිතුනේ එහෙම

    ReplyDelete
    Replies
    1. මේ එක වර්ෂන් එකක් විතරයි... තව බොහෝ කවියන්ට කියන්න බොහෝ දේ තියේවි...

      Delete

Web Statistics