Friday, April 1, 2011

19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor


42-21874867

මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි  ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…

නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ...ඒක වැ‍රැද්දක් හැටියට මටත් හිතෙනවා...

ඒත් මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්නේ නැති එක ගැන නම් මම හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් බවයි... උදාහරණයක් විදියට අපි වුණත් වෘත්තීය ජීවිතේදී හමුවෙන හැම කෙනාටම කරුණාවෙන් සලකන්නේ නැහැනේ නේද..? එහෙම කරන්න තියෙනවානම් හොඳයි ඒත් මට නම් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ... නොයෙක් හේතු නිසා සමහරවිට මට හැකි උපරිමය ලබා දෙන්න නොහැකි වෙන, මීටින් පෝස්ට්පොන්ඩ් කරන, මොබයිල් එකට ආන්ස්වර් නොකර ඉන්න අවස්ථා ඕනි තරම්... ඉතින් දොස්තරලාත් උඹලා අපි වගේම හොඳ නරක දෙකම එකතු වුණු මිනිස්සු නේද කියලා පැහැදිලි කරන්නත් එක්ක රසවත් කතාවක් කියන්නම්…

එක පාරක් මම නිවාඩුවකට ලංකාවට ආවම තදබල විදියට අසනීප වෙලා රෝහල් ගතවෙන්න වුණේ නොහිතපු විදියට... වෛද්‍යයවරුන්ගේ උදව්වෙන් යන්තම් සනීප වෙද්දී, නිවාඩුවත් ඉවර වෙලා ආපහු යන දවසුත් පහු වෙලායි තිබුණේ... ඉන් සති කීපයකට පස්සේ හොඳටම සනීප වුණත් මට ආපහු යන්න ලොකු චකිතයක් තිබුණේ එහේදී ආයෙත් අසනීප වුණොත් දෙමව්පිය වැඩිහිටියෝ කවුරුත් නැතිව යාළුවන්ගෙන් පමණක් උදව්වෙන් මූණ දෙන්නේ කොහොමද කියන බයට... දිනෙන් දින කල් දාන ආපහු ගමන ගැන කනගා‍ටු වුණ මව්පියන් මේ ප්‍රශ්ණය යොමු කළේ මාව සනීප කල වෛද්‍යවරයාට…

"හරි... මගේ යාළුවෙක් මේ දවස්වල එහේ හොස්පිට්ල් එකක ස්පෙෂල් ට්‍රේනින් එකකට ගිහින් ඉන්නවා... මම ලෙටර් එකක් දෙන්නම් ඔයා මිනිහාව මීට් වෙන්න... කිසි දේකට බය වෙන්න එපා, එයා සේරම බලා ගනී..."

මේ විදියට ක්ෂණිකව මගේ ප්‍රශ්ණෙට සතු‍ටුදායක විසඳුමක් ලබා දුන්න වෛද්‍යවරයා ලියලා දුන්නු ලියුං කරදහියත් පරිස්සමට අරගෙන මම ගුවන් ගත වුණා... දවස් දෙක තුනකින් හොස්පිටල් එකට කතා කල මට මේ කියපු වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න පුළුවන් වුණා...

"ෂා... මෙච්චර කාලයක් ලංකාවේ කවුරුත් නැතිව මට එපා වෙලා හිටියේ... මම ඒත් හිතුවා මෙහෙ ඉන්නේ මම විතරද කියලා... එහෙනම් පුතා හෙට උදේම එන්න..."

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘත්තීයමය ප්‍රතිචාරයක් වෙනුවට ගොඩක් සුහදව කතා කරපු වෛද්‍යවරයා ඊළඟ දවසේම ඔහුව මුණගැහෙන්න එන්න කිව්වේ ලොකු සතුටකින්...

පහුවදාම මමත් මිතුරෙකුත් ඔහුව මුණ ගැහෙන්න ගියා... රෝහලේ එළිමහන් ආපනශාලාවක හමුවුණු අපි ඔහුගේ තිබුණු මිත්‍රශීලී බව නිසාම පැයක් යන්නත් කලින් ගජමිතුරෝ වෙලා ඉවරයි...

"පුතාලා ස්මෝක් කරනවද..?"

මාල්බරෝ ලයිට් පැකැට්ටුකවක් සාක්කුවන් එළියට අදින ගමන් ඩොක්ට ඇහුවේ අපිව පුදුමට පත් කරමින්...

"ඔව්..."

"එහෙනම් කමක් නෑ..."

"හරි පුදුමයි... සිග‍රැට් බොන ඩොක්ට කෙනෙක් මම මේ දැක්කමයි..."

මගේ යාළුවා කිව්වේ ඩොක්ට දික් කරපු පැකට්ටුවෙන් සිග‍රැට්ටුවක් එළියට අදින ගමන්...

"මම සර්ජන් කෙනෙක්නේ, සමහර සර්ජන්ස්ලා බොනවා..."
 
ඩොක්ට කිව්වේ හිනාවෙවී...

"ලංකාවේ අය තව ඉන්නවද..? වීක්එන්ඩ් එකේ එහෙම මොනවද කරන්නේ..?"

ඩොක්ට මුට්ටිය දාන්නේ මොකටද කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුණේ නෑ

"තව සෑහෙන්න ඉන්නවා... වීකෙන්ඩ් වල එහෙම අපි සමහර අය සෙට් වෙනවා... ඩොක්ටත් එන්න…"

අපේ නිල ආරාධනාව ඩොක්ට පිළිගත්තේ සතු‍ටු සිතින්...
 
මාතෘකාවෙන් පිට ගිහින්, බොන සීන් එකේ විස්තර කරන්න තරම් දෙයක් නැති වුණත් මේ සීන් එක විස්තර කරන්නේ එතන සිදුවුණු රසවත් දේ බෙදා හදා ගන්න...

ඒ වෙනකොට අපි ශිෂ්‍යයෝ වුණත් උසස් වෘත්තීන් වල නියැලුණු වැඩිහිටි දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තිබුණා... හබැයි කවදාවත් අපි ඩොක්ට කෙනෙක් එක්ක නම් සෙට් වෙලා තිබුණේ නෑ නෑ මයි... ඒ නිසාම වෙනදාට අපි කන බොන වෙලාවට කතා කරන දේවල් වෙනුවට මෙදා තිබුණේ තනිකරම වටිනා වෛද්‍ය සාකච්ඡාවක මුහුණුවරක් කිව්වොත් වැ‍රැද්දක් නෑ...

"ඩොක්ට.. එක දිගට කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි..?"

සව්දිය පිරුවායින් පස්සේ මෙන්න මේ වගේ වැදගත් විදියට පටන් ගත්ත කතාව වීදුරු හිස් වේගෙන යද්දී වේගයෙන් ඇදී ගියේ අමුතුම පැත්තකට... "ඩොක්ට" නිකම්ම "ඩොකා" වෙද්දී තමන්ගේ හිතේ අවුරුදු ගණන් කැකෑරෙමින් තිබුණු ප්‍රශ්ණ වලට ඩොක්ටගෙන් විශේෂඥ උපදෙස් ගන්න කට්ටිය එකා පිට එකා ප්‍රශ්ණ අහපු හැටි මට අදටත් මතකයි...

ඒ ප්‍රශ්ණ බොහොමයක් වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිසා මේක කියවන ගෑණු ළමයෙක්, පොඩි දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒ අය අපහසුවට පත්වෙන එක වළක්වන අදහසින් කො‍ටු වරහන් ඇතුළේ හංගනවා... වැඩිහිටියෝ විතරක් කො‍ටු වරහන් ඇතුළේ හයිලයිට් කරලා බලන්න...

[
"ඩොකා... මාස්ටබේට් කරාම කෙට්ටු වෙනවද..?"
එකෙක් අහන්නේ ඩොක්ටගේ වීදුරුව සැන්ඩි කරන ගමන්...
"පිස්සුද මේ දවස් වල මමත් කරනවා..."
නවත්තන්න ඕනේ හරියෙදි අතින් සිග්නල් කරන ගමන් ඩොක්ට පිළිතුරු දෙනවා...
"ඩොකා.. වර්ජිනිටි එක නැති කරගන්නේ නැතුව ඇතුළේ කරන්න බැරිද..?"
එකෙක් අහද්දී ඒකට උත්තර දෙන්න කලින් අනිත් එවුන් තව ප්‍රශ්ණ දහයක් අහනවා...
"ඩොකා... වර්ජිනිටි එක ආයේ හදන්න බැරිද..?"
"ඩොකා.. තරුණ අය ව්‍යාග්‍රා බිව්වට කමක් නැද්ද..?"
"ඩොකා... ව්‍යාග්‍රා ටෑබ්ලට් වලින් ඇත්තටම මොකද්ද කරන්නේ..?"
"ඩොකා... ඇතුළේ කරලා ඒ එක්කම චූ කළොත් ප්‍රෙග්නන්ට් වෙන එක නවත්තන්න බැරිද..?"
"ඩොකා... ගෑනු ළමයිට යන්නේ නැද්ද..?"
"ඩොකා.. ඔර්ගස්ම් එකේදි ගෑනු ළමයෙක් බොරුවක් කරනවද, ඇත්තක් කරනවද කියලා හොයාගන්න විදියක් නැද්ද..?"
"ඩොකා.. ලව් ජූස් වලින් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද..?"
"ඩොකා.. පීරියඩ්ස් දවස්වලට ෆීලින්ග්ස් එන්නෙම නැද්ද..?"
“ඩොකා…..”
“ඩොකා….. ඩොකා…..”
]

මේ විදියට , හිරිමල් වයසේ හිටි අපි හැමෝගේම ආදර සම්බන්ධතා වල සීමිත ලිංගික අත්දැකීම් වලින් පැනනැගුණු කාගෙන්වත් අහලා දැනගන්න බැරි ප්‍රශ්ණ සේරම එකින් එක විස්තර ඇතුව විසඳන ඩොක්ට එදා අපිට හරියට පෙනුණේ සෘෂිවරයෙක් වගේ... ‍රැයක් එළිවෙද්දී අපි කොච්චර සමීප වෙලා හිටියද කිව්වොත් ඩොකා තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණ අපිත් එක්ක කිය කිය අඬද්දී අපි ඩොකාගේ හිත හැදුවේ හරියට ළමයි තාත්තා කෙනෙක්ගේ හිත හදනවා වගේ...

ඒ ගත කල කාලය සිතුවම් පටයක් වගේ හිතේ දිගෑරෙන නිසා ලියගෙන ගියාට ඇත්තට මම මේක ලියන්න පටන්ගත්තේ මේවා කියන්න නෙමෙයි... මේ සාකච්ඡාවෙම වෙරි වෙන්න කලින් මම අහපු ප්‍රශ්ණෙකට ඩොක්ට දුන්නු බය හිතෙන උත්තරයක් ලියන්නයි...

"ඩොක්ට සර්ජන් කෙනෙක් වුණාම හරි අපහසුයි නේද..? ඇක්සිඩන්ට් වෙලා එහෙම හදිසි ඔපරේෂන් වලට කතා කළාම ඇඳන් ඉන්න ඈඳුම් පිටින් දුවන්න එපැයි..."

ඇත්තවශයෙන්ම රෝහල් ජීවිතේ ගැන වැටහීමක් නැති මම ඩොක්ටගෙන් ඇහුවේ ER වගේ රූපවාහිනී වැඩසටහන් වල ලෙඩ්ඩු බේරාගන්න වෛද්‍යවරු දුවගෙන යන අයුරු මතක් කරගනිමින්...

"එහෙම ඇඳන් ඉන්න ඇඳුම් පිටින් දුවන්නේ නෑ... කොච්චර හදිසි වුණත් අපි රෙස්පොන්ඩ් කරන ටයිම් එකක් තියෙනවා... එහෙම දුවන්න ගියොත් ඉතින් අපිට හැමදාම රෑට දුව දුව තමයි ඉන්න වෙන්නේ..."

"ඒ වුණාට ඩොක්ට ඉතින් කාගේ හරි ජීවිතයක්නේ..."

"කාගේ හරි ජීවිත තමයි පුතා හැමදාම අපිට හම්බවෙන්නේ..."

මෙහෙම කියපු ඩොක්ට ඊළඟට කියපු කතාවට මගේ ඇඟ හිරිවැ‍ටුණා...

"මට මතකයි එක පාරක් අපි ඩියුටි හිටියා පලාලි වල, ෆ්‍රන්ට් එකේ කැෂුවල්ටීස් ගේනවා එක දිගට... අපි දවස් තුනක් එක දිගට තියටර් එකේ නින්දක් නැතුව... අන්තිම හරියෙදී හිටගෙන ඉන්න පණ නෑ... තුන්වෙනි දවසේ ආපු අයගෙන් ගොඩදාන්න අමරුයි කියලා හිතන අය අපි ට්‍රයි කළේවත් නෑ... ඇත්තටම අපි ඒ තරම් හෙම්බත් වෙලා..."

"එතකොට ඒගොල්ලන්ට මොකද වුණේ..?"

අපි කාටවත් එදා ඒ ප්‍රශ්ණේ අහන්න ශක්තියක් තිබුණේ නෑ...

අද අපි රු.1000 රිෆන්ඩ් කළේ නැති ඩොක්ට කෙනෙක් ගැන ගැන කතා කරනවා සමහර විට එදා මේ ඩොක්ට රිෆන්ඩ් කළේ නැත්තේ අතපය හතර නැතිව හරි තමන්ගේ දරුවන්ට තාත්තා කියන්න පණ තියෙන මනුස්සයෙක් ගෙදර එනකල් දෙවියන්ට කන්නලව් කරමින් හිටපු අම්මා කෙනෙක්ගේ බලාපොරොත්තු පිරුණු මුළු ජීවිතයම වෙන්න ඇති...

මේ සිද්ධිය ගැන එක පැත්තකින් විතරක් බැලුවානම්, අපේ සල්ලි වලින් ඉගෙන ගෙන පෙනේද මුන් මිනිස් ජීවිත බල්ලට දාන හැටි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මට මේ ඩොක්ට ගැන එහෙම කේන්තියක් එන්නේ නෑ... කාගේ වුණත් ජීවිතයක්නෙ, අපි නම් හතුරෙකුටවත් එහෙම කරන්නෑ කියලා හිතුණත් ඇත්තටම ඒ තත්වෙට මූණ දුන්නොත් අපි වුණත් එහෙම හැසිරෙන එකක් නැද්ද..?

ඉතින් මට කියන්න ඕනේ වුණේ මම නම් වෛද්‍යවරු දිහා බලන්නේ, මිනිස් ජීවිත සුවපත් කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න දෙවිවරු පිරිසක් විදියට නෙමෙයි, රකින්න දරුපවුලක් පුද්ගලික ජීවිතයක් තියෙන, අපි බොහෝදෙනෙක් වගේ සාධාරණ විදියට රස්සාවක් කරගෙන තමන්ගේ දරු පවුල වෙනුවෙන් තවත් රුපියල් කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන ගමන්, තමන්ට පුළුවන් විදියට තව කෙනෙකුට පිහිටක් වෙන උඹලා අපි වගේම මිනිස්සු කොටසක් කියලයි...

පෝස්ට් එක ඉවර කරන්නම් යාළුවෙක් මට කාලෙකට ඉහත කියපු කතාවකින්

මගේ යාලුවත්, උගේ යාළුවෙක් වෙන ඩොක්ට කෙනෙකුත් දවසක් කාර් එකේ ගමනක් යනවලු... පාරේ ලොකු ට්‍රැ‍ෆික් එකක් මැද්දේ සෙනඟ පිරිලා ඉන්න තැනක් විපරම් කරලා බලද්දී දැකලා තියෙන්නේ, ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මෝටර්සයිකල් කරුවෙක් ට්‍රක්රථයක හැපිලා ඉන්න හැටි... කාර් එක එළවාගෙන යමින් හිටි ඩොක්ට වැඩි කතාබහක් නැතිවම ඉඩ තියෙන තැනකින් කාර් එක පන්නගෙන, දිගටම පදවගෙන යන්න ගත්තලු...

"යකෝ උඹ ඩොක්ට කෙනෙක් නේද අපි පොඩ්ඩක් බැහැලා බලමු..."

මගේ යාළුවා කිව්වම ඩොක්ට කියලා තියෙන්නෙ මෙහෙම දෙයක්...

"මම මොනවා බලන්නද බන්... ඒ මනුස්සයා දැනටමත් මැරිලා ඇති..."

~ ------------ ~


ප. ලි. : තව නොබෝ දිනකින් පැවැත්වෙන, සයිබරයේ සිහින උළෙලට බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියෙන්, උණුසුම් සුභ පැතුම්....!

9 comments :

  1. එහෙමම කියන්නත් බෑ. නමුත් බහුතරය ගැන එය සත්‍යයි

    ReplyDelete
  2. ඔව් මෙ කතාව ඇත්ත. අපි හැමෝම ජීවිතය දිහා බලන්නෙ විවිධ අත්දැකීම් මත පදනම් වෙච්ච දැක්මක් එක්ක. හැම සිද්දියකටම අපි හැමෝටම අපේම වර්ශන් වලින් කතා තියෙනව. මොකද අපි කැමතියි හැම දෙයක්ම තේරුම් ගන්න. [ඒ තේරුම් ගැනීම අත්දැකීම් කො‍ටුව ඇතුලෙ] සමහර විට මම ලියාපු ලිපිය අදාල වෛද්‍යවරයා කියෙව්වනම් ඒ ක්‍රියාව සාදාරණීයකරණය කරන්න හේතු ඉදිරිපත් කරයි. ඒක ඒ තරමටම සාධාරණනම් බහුතරයක් පිළිගනී

    ReplyDelete
  3. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි රොබින්...

    ReplyDelete
  4. @නවම්,
    ඒක තමයි මටත් කියන්න ඕනේ වුනේ මචං...සමහරවිට එකම මනුස්සයාගේ දෙපැත්ත දැකපු දෙන්නෙක් හිතන්නේ දෙවිදියකට... ඒත් ඇත්ත නම් ඒ මනුස්සයා අපි හිතන තරම් හොඳත් නෑ... නරකත් නෑ...

    ReplyDelete
  5. ඇත්ත,හිරගෙදර ඉස්සරහ ලොකුවට ගහල තියෙන්නේ "සිරකරුවොත් මනුෂ්‍යයෝය" කියල. එක දොස්තර වරුන්ටත් පොදුය්.

    ReplyDelete
  6. මගේ ඇන්ටි කෙනෙක් කිව්වා -අනේ මට නං මගුල් ගෙදරක ගියත් වෙන්නේ අනුංගේ ලෙඩ අහ අහ ඉන්න තමයි කියලා.

    අනේ මේ පොරට උඹලා බොන්න දීලත් නෑනේ!

    ReplyDelete
  7. @Observer
    ඔබතුමාව මගේ පුංචි බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා... වෙන තැන්වල හම්බවෙලා කතා කරලා තිබුණට ගෙදර ආවේ අදනේ... :)

    ReplyDelete
  8. @Kathandara

    බොන්න දුන්නා, පොර කොච්චර බිව්වත් ඇස් රතු වෙනවා විතරයි වෙරි වෙන්නේ නෑ... එහෙම වෙන්න හේතුවත් එක්ස්ප්ලේන් කලා ඒත් මට දැන් මතක නෑ... දැන් පොර ලංකාවේ ප්‍රධානම රෝහල් වලින් එකක ශල්‍ය වෛද්‍යය අංශයේ ප්‍රධානියා...

    ඇන්ටි ගැන කිව්වම මතක් වුණේ, ඔය වගේම සීන් වෙනවා අයි ටී ෆීල්ඩ් එකේ ජොබ් කරන උන්ටත්... මගුල් ගෙදරක මළ ගෙදරක වගේ තැනක ජොබ් එක කිව්ව ගමන් වෙන්නේ,

    "ආ.. අනේ අපේ කම්පියුටර් එක කැඩිලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද..?"

    හිත යටින් බැන බැන හරි කම්පියුටරේ ගාවට ගිහිල්ලා මොකද්ද අවුල කියලා ඇහුවම කියන්නේ...

    "බලන්නකො අනේ මේක හරි ස්ලෝ... "

    හදපංකෝ ඉතින්...

    ReplyDelete

Web Statistics