Saturday, May 14, 2011

25. සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් | About an interview, In brief




දවසේ පැය විසිහතර මදිවුණ කාල පරිච්ඡේදයක් අවසානයේ අස්වැසිල්ලක් ලැබුණේ පුංචි පහේ නිවාඩුවකුත් එක්කමයි... අර මොකද්ද එකාට මොකද්ද එක වගේ ඉස්පාසුවක් ලැබුණ ගමන් ඇදිලා යන්නේ සිංහල බ්ලොග්ස්පියරයට... අවසන්වරට සිංහල බ්ලොග් අවකාශයේ මගේ මැදිහත්වීම විදියට ඇති සාක්ෂිය මීට දින ගණනාවකට කලින් ටයිප් කර අතරමඟ නතර කර පරිගණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක සේව් කර ඇති කමෙන්‍ටුවක්... ඒ මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක් වන මගේ ලෝකය ලියන රංගගේ IQ නැමති පෝස්ට් එකක් වෙනුවෙන්... දැන් එහි ඇල් මැරී ඇති නිසාත් සඳහන් කරන්නට කරුණු රාශියක් ඇතැයි හැඟුණු නිසාත් ඒ කමෙන්‍ටුව වැඩිදියුණු කර මගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකක් ලෙස පළකරන්නට අදහස් කලා...

මම මීට පෙර සේවය කල ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා අදටත් මගේ හොඳ මිතුරෙක්...ඔහු මා හට සිදුකළ දීර්ඝ එහෙත් සිත්ගන්නා සුළු සම්මුඛ පරීක්ෂණය මට තවමත් මතකයි... එදින ඇරඹි මිත්‍රත්වය තහවුරු වුණේ මා එම ආයතනයට ‍තෝරාගැනීමෙන් අනතුරුවයි... සමහරක් දිනයක ඔහු විසින් පවත්වන සම්මුඛ පරීක්ෂණයකදී ඔහුට සහාය වීමට මා හට අවස්ථාව ලැබෙන්නේ තාක්ෂණික ඇගයීම සිදුකරන්නට ආයතනයෙන් යොදවා ඇති පුද්ගලයින්ගෙන් අයෙකු කිසියම් හේතුවක් නිසා සොයාගැනීමට ඔහුට නොහැකි වූ විටෙකදීයි...ඔහු විසින් ගෙනයන සම්මුඛපරීක්ෂණයකදී බොහෝ දුරට පරීක්ෂණයට ලක්වෙන්නාට එල්ල වේයැයි සැක සිතී හොඳින් පුහුණු වී පැමිණෙන ප්‍රශ්ණ ඔහු උවමනාවෙන්ම මඟහරින අයුරු මා නිරීක්ෂණය කළ දෙයක්... IQ වලදී එය විශේෂයි... අප බොහෝදෙනා පිළිතුරු හොඳින් දන්නා;

හොඳම මිතුරාත්, ආදරය පතන තරුණියත්, මහලු කාන්තාවත් යන අය බස් නැවතුමක ‍රැඳී සිටියදී  ‍රැගෙන යන්නේ කව්ද යන ගැටළුවත්,

උදෑසන දොළොස්වන තට්‍ටුවේ සිට බිම් මහලට විදුලි සෝපානයේ යන කාන්තාව, සවසට තවත් කිසිවෙකු සෝපානයේ ඇතිනම් පමණක් දොළොස්වන තට්‍ටුවට යන්නේත්, කිසිවෙකු නැතිනම් දහවෙනි තට්‍ටුවට ගොස් ඉතිරි තට්‍ටු දෙක පයින් යන්නේ ඇයිද යන ගැටළුවත්,

කිසියම් පුද්ගලයෙකු වැනිලා අයිස්ක්‍රීම් මිළදී ගැනීමට පැමිණි විට කාර්රථය පණගැන්වෙන්නෙත් චොකලට් අයිස්ක්‍රීම් මිළදීගත්විට එම රථයේම එන්ජිම ක්‍රියාවිරහිත වන්නේ ඇයිද යන ගැටළුවත්,

ඉදිරියෙන් ඇති මේසයේ හරි මැද පෙන්වන ලෙස අසන ගැටළුවත්,

දුම්රිය මාර්ග දෙකෙන් එකක ළමුන් දෙදෙනෙකුත්, අනෙකේ එක් ළමයෙකුත් ක්‍රීඩා කරන විටෙක ධාවනය වන දුම්රියක් කිනම් පාරට හැරවෙන ලෙස ලීවරය ඇදිය යුතුද යන ගැටළුවත්,

තම පියාගේ අවමඟුලට පැමිණි සුරූපී තරුණයෙකුට පෙම්බැඳි සොයුරියන් දෙදෙනාගෙන් කෙනෙකු ඉන් සති කිහිපයකට පසු අනෙක් සොයුරියව ඝාතනය කලේ ඇයිද යන ගැටළුවත්,

යනාදී මෙවැනි ජනප්‍රිය IQ ගැටළු කිසිවක් ඔහුගෙන් යොමුවෙනවා මා කිසිවිටෙකත් දැක නැහැ... එනමුත් නිවැරදි පිළිතුර නිශ්චිතවම මේ යැයි පැවසිය නොහැකි පිළිතුරු දෙන්නාගේ නිර්මාණශීලීත්වය විදහා දැක්වෙන ගැටළු අඩුම වශයෙන් එකක් හෝ ඔහුගේ දීර්ඝ ප්‍රශ්ණ මාලාවේ අඩංගු නොවන්නේ කලාතුරකින්...

"අපි හිතමු ඔබේ කණ්ඩායමේ සහෝදර සේවකයෙක් ඔබගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පටන් ගත්තායැයි කියලා...ඔබ ඊට මුහුණ දෙන්නේ කොහොමද..?"

අප ඉදිරියේ සිටිනා තරුණ ‍රැකියා අපේක්ෂකයා කිසිවිට බලාපොරොත්තු නොවන එවැනි ප්‍රශ්ණයකට ගොඩනැගෙන පිළිතුර බොහෝවිට ඔහුගේ ‍රැකියා අවස්ථාව සුරක්ෂිත වීම හෝ නොවීම තීරණය කරන්නක් විය හැකියි...

තවත් විටෙක තරුණ අවිවාහක ‍රැකියා අපේක්ෂිකාවක් නිරුත්තර වන්නේ;

"අපි හිතමු හෙට උදේ ඔබට ඇති වෙයිද්‍ය පරීක්ෂණයකදී ඔබ ගැබ්ගෙන ඇති බව දැනගන්නවා...ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද..?"

වැනි ගැටළුවක් ඉදිරියේ වන්නටත් පිළිවන්... තමා අවිවාහක බව අවස්ථානුකූලව අමතක කර;

"මම මගේ හස්බන්ඩ්ට කිස් එකක් දෙනවා..."

යන සරල පිළිතුර සිතට නැ‍ඟෙන්නේ දහයකින් එකකට පමණක් විය හැකියි...

‍කොටින්ම රැකියා අපේක්ෂකයෙකුගේ IQ මැන බලනවාට වඩා ඔහුගේ EI හෙවත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මැන බැලීම වඩා ප්‍රායෝගික බව මා ඔහුගෙන් උගත් පාඩම් වලින් එකක්...

********************

 මේ මීට වසර කිහිපයකට පෙර සිදුවීමක්... නිවාඩු වෙලාවක කල් මරන්නට ඔහුගේ කාමරයට රිංගූ මා දු‍ටුවේ ඔහු හිස අත් බදාගෙන බර කල්පනාවකට වැටී සිටින අයුරු...

"හෙඩ් ඔෆීස් එකේ මැනේජ්මන්ට් ට්‍රේනීස්ලාව රෙකෲට් කරන ප්‍රොජෙක්ට් එකක් මට එසයින් කලා... රෙකෲට්මන්ට් ටීම් එකක් හදාගන්න කට්ටිය නෑ... ඉන්න ටික දෙනාගෙත් බාගයක් විතර ඇනුවල් ලීව් යනවා... දවස් දෙක තුනකින් බුලට් වගේ තිස් දෙනෙක් රෙකෲට් කරන්නේ කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ..."

ඔහු තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කලා... එදින හවස්වරුවේ නැවතත් මා ඔහු හමුවීමට යන්නේ දවස පුරාවට කල්පනා කිරීමෙන් අනතුරුව සිත පිළිසිඳගත් පුංචි අදහසක් හිතේ දරාගෙනයි...

"ගතවෙන කාලයනේ දැන් මෙතන තියෙන ප්‍රශ්ණේ... අපි කරමුද ටිකක් වෙනස් විදියක ඉන්ටවීව් එකක්..?"

මගේ අදහස විස්තර කරද්දී ඔහුගේ ඇස් දිලිසෙන්නේ අලුත් අත්හදාබැලීම් කිරීමට නිරතුරුවම ඔහු තුළ ඇති උනන්දුව මට නොකියා කියමින්...

රාජකාරී වේලාව හමාරවී තවත් පැය කිහිපයක් ගතවෙන්නට ඇති... මගේ අදහස ඔහුගේ වෘත්තීය දැනුමෙන් වඩාත් ඔප මට්ටම් වී ප්‍රායෝගික සැලසුමක් ලෙස සැකසෙන්නේ මේ කාලය අතරතුරදීයි...

ලංකාවේ ඇති අංක එකේ සමාගම් ජාලයක ‍රැකියාවක් අපේක්ෂිතව සිටින නවක උපාධිධාරී තරුණ තරුණියන් සියළු දෙනාටම පාහේ ඊළඟ දින කිහිපයේදී ලැබෙන සම්මුඛපරීක්ෂණයට කැඳවීමේ ඇමතුම ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා තරමක වෙනස් එකක්...

"ලබන ඉරිදා උදේ අටට වෝටර්ස් එජ් හෝටලයට එන්න... ඩ්‍රෙස් කෝඩ් එක කැෂුවල්... සටි‍ෆිකේට්ස්, ඩොකියුමන්ට්ස් මොකුත් ගේන්න අවශ්‍යය නෑ..."

මා විසින් මීට පෙර සහභාගී වී තිබූ ක්‍රියාකාරකමක් වැඩිදියුණු කිරීමෙන් අප සකසාගත් එදින ක්‍රියාත්මක කළ සම්මුඛ පරීක්ෂණයේ සාරාංශය මෙසේයි...

සහභාගීවූ ‍රැකියා අපේක්ෂිතයින් සියළුදෙනා කැඳවාගෙන යන්නේ හෝටලයේ  ගොල්ෆ් පිටිය අසල ඇති එළිමහනට... ඔවුන් සියළුදෙනාම එක් කණ්ඩායමකට විස්ස බැගින් සිටින සේ අහඹු ලෙස කණ්ඩායම් ගතකිරීමෙන් අනතුරුව සෑම කණ්ඩායමකටම ලැබෙන්නේ අඩි පහළොවක් පමණ වූ කඹ කැබලි දෙකක් සහ තවත් සිහින් ලණු කැරළි රාශියක්... එම එක් එක් කණ්ඩායම ඉදිරියේ ඇත්තේ අඩි දහයක් පමණ අරයක් ඇති පොළවේ ඇඳි වෘත්තයක කේන්ද්‍රයේ තබා ඇති වතුර පිරවූ ඇතුලත නොපෙනෙන බෝතලයක් කෙලින් සි‍ටුවා ඒ මත සමබර කරන ලද ටෙනිස් බෝලයක්...

"ඔබ කණ්ඩායම බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක් යැයි උපකල්පනය කරන්න...සටහන් කර තිබෙන වෘත්තය මැද ඇත්තේ ක්‍රියාත්මක කරන ලද බෝම්බයක්... වෘත්තාකාර ප්‍රදේශය බෝම්බයේ ස්විචය සංවේදී ප්‍රදේශයයි... ඒ ප්‍රදේශයේ පොළව ස්පර්ෂ කලොත් බෝම්බයේ ස්විචය ක්‍රියාත්මක වී බෝම්බය පිපිරෙනවා... ඔබ කණ්ඩායම කල යුත්තේ කෙසේ හෝ පොළව ස්පර්ෂ නොකර බෝම්බය වෙත ළඟාවී බෝම්බය නිශ්ක්‍රීය කිරීමයි... බෝලය  බෝතලයයෙන් නොගිලිහෙන ලෙසින් පොළවෙන් ඉහලට එසවු සැනින් බෝම්බය නිශ්ක්‍රීය වෙනවා...ඔබට අප විසින් ලබා දී ඇති ලණු වලට අමතරව ඔබට අවශ්‍යය යැයි හැ‍ඟෙන නමුත් ඔබ විසින්ම සපයාගත යුතු ඕනෑම දෙයක් මේ සඳහා යොදා ගත හැකියි...ඔබ තනි තනිවම සහ කණ්ඩායමක් ලෙස මෙම ක්‍රියාකාරකමට සම්බන්ධ වෙන අයුරු අප ඉතා විමසිල්ලෙන් නිරීක්ෂණය කරනවා... ඒ මත ඔබගේ සම්මුඛපරීක්ෂණයේ ප්‍රථිපල තීරණය වේවි...ඔබට ලැබෙන කාලය පැය භාගයයි...කාලය මැනීම මේ දැන් ආරම්භ වෙනවා...සුභ පැතුම්...!"

මගේ මතකය නිවැරදි නම් කණ්ඩායම් හයකින් කණ්ඩායම් දෙකක් පමණක් සාර්ථකව අභියෝගය ජයගනිද්දී සහභාගීවූ සෑම කණ්ඩායමෙන්ම  කිහිප දෙනා බැගින් ‍තෝරා ගැනෙන්නේ අප සැලසුම් කලාටත් වඩා පහසුවෙන් පැයකටත් අඩු කාලයකදී සම්මුඛපරීක්ෂණය නිමාකරමින්...

ඉන් මාස කිහිපයකට පසු ‍රැකියාවක් සඳහා විදේශගත වීමට මා එම ආයතනයෙන් සමුගන්නා බව ඔහුට දැනුම් දෙද්දී අප හට එක්ව සිදුකිරීමට තිබුණායැයි ඔහු විසින් සැලසුම් කර තිබූ ව්‍යාපෘති කිහිපයක් විස්තරකරමින් ඔහු විස්සෝපවූ අයුරු අදටත් මට මතකයි...

මේ හා සමඟම සඳහන් කළහැකි කණ්ඩායමක කමියුනිකේෂන් සහ නෙගෝෂියේෂන් ස්කිල්ස් මැනබැලීමට යොදාගත හැකි අතිශය සිත්ගන්නා සුළු කතාවක් සිහියට පැමිණියත් මෙම වියමන මේ වනවිටත් කියවීමට එපාවන තරම් දිග්ගැසී ඇති නිසාම ඊළඟ පොස්ට් එක ලෙස දැමීමට සු‍රැකිව සිත්හි තබාගන්නම්...

Wednesday, April 20, 2011

24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්


26585_380367320889_501365889_3653836_373810_n

බ්ලොග්කරනයට මම තවමත් නවකයෙක්... නමුත් බ්ලොග් කියවීමට මා ඇබ්බැහි වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදීයි... එදාත්, අදත් තිබූ එකම වෙනස වූයේ සිංහල බ්ලොග් අවකාශය නම් දෙයක් නොදැන සිටීමත්, කියවීමට ඇති ආශාව නිසාම සමහරවිට වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසි බ්ලොග් කියවීමත් පමණයි... මා එසේ කියවන්නට පුරුදු වූ දුසිම් ගණනක් බ්ලොග් අතරේ සමහරක් බ්ලොග්කරුවන් තම ස්ථිර ‍රැකියාව අතහැර දමා පූර්ණකාලීනව බ්ලොග්කරනයට යොමුවෙන අයුරු මම බලා සිටියේ පුදුමයකින් සහ සතුටකින්... "සෙන් හැබිට්ස්" ලියනා ලියෝ බබූටාත්  “ඩිජිටල් ඉන්ස්පරේෂන්” ලියනා අමිත් අග්‍රවාලුත් මා කියවන බ්ලොග් අතරේ එසේ තම ‍රැකියාව අතහැර පසු කලෙක පූර්ණකාලීනව බ්ලොග්කරනයට  පිවිසුණු බ්ලොග් රචකයින් දෙදෙනෙක්…

නමුත් ඒ සියල්ලටම වඩා මා ප්‍රියකරන අයෙක් ඇත්නම් ඔහු විසි නව හැවිරිදි මැතිව් ඉන්මන්... තමා විසින්ම ආරම්භ කළ තොරතුරු තාක්ෂණ අංශයේ ආයතනයක CTO (චීෆ් ටෙක්නොලොජි ඔ‍ෆිසර්) වැනි අතිශය සාර්ථක ‍රැකියාවක් හැරදමා පූර්ණකාලීන බ්ලොග්කරනයට පිවිසුණු ඔහු ඊට අමතරව තම ප්‍රධාන ආදායම් මාර්ගයට ලෙස වයිරල් මාකටින්, වෙබ් ඩිසයිනින් වැනි අංශ සියල්ලම සමීපව ඇසුරු කරන දක්ෂ නිර්මාණ ශිල්පියෙක්... ඔහුගේ දිඟු කාලීන රසිකයෙක් වීම නිසාදෝ ඔහු සමඟ පුද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමට මා හට ලැබුණු දුර්ලභ අවස්ථාවකදී ඔහු කෙතරම් සොඳුරු හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙකුදැයි මට අවබෝධ වූණා...

(බ්ලොග් කියවීම හා සමීප තවත් යමක් ගැන මෙතැනදීම සඳහනක් කරන්නම්... කියවීම සම්බන්ධයෙන් ගත්තත් එක් එක් පුද්ගලයන්ට ඇත්තේ විවිධාකාර ආශාවන්... යමෙකුට එය බ්ලොග් කියවීම වෙද්දී තවකෙකුට එය නවකථා කියවීම විය හැකියි... තවත් අයෙකුට එය චිත්‍රකතා කියවීම වන්නටත් පිළිවන්... මේ ආකාරයෙන් සැලකුවහොත් කුඩා කල පටන්ම කොමික් ස්ට්‍රිප්ස් රසවිඳීමට මාගේ තිබෙන්නේ අසීමිත ආශාවක්... එය කැමිලස්ගේ ගජමෑන්ගේ සිට කැල්වින් ඇන්ඩ් හොබ්ස් දක්වා වෙනසක් නැහැ... අදටත් මා ‍රැකියා ස්ථානයේ දවස ආරම්භ කරනුයේ දුසිමකට ආසන්න වූ කොමික් ස්ට්‍රිප්ස් ප්‍රමාණයක් කියවීමෙන් පසුවයි... මතක ඇති කාලයක පටන්ම මා භාවිතා කරන අන්වර්ථ නාමය වන  බීට්ල් බේයිලි යනු මොට් වෝල්කර් විසින්  නිර්මිත අතිශය ජනප්‍රිය මාගේ ප්‍රියතම කාටූන් චරිතයක්...)

ඉතින් මා පෙර පැවසූ පරිදි එකකට එකක් නොදෙවෙනි මැතිව් ඉන්මන්ගේ ගේ නිර්මාණ ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ඇද ගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවා... ඔබ තොරතුරු තාක්ෂණ අංශයේ නියුතු අයෙක් නම් බොහෝදුරට ඔබ මේ වන විටත් ඔබ ඔහුගේ රසිකයෙක් විය හැකියි... මෙහි ඇති අනෙක් වැදගත් කම ඔහු මෙම ජනප්‍රියත්වය ළඟා කරගැනීමට ගත කල කාලය අතිශය සුළු කාලයක් වීමයි... ඉතා සරලව පටන් ගෙන ඔහු අද සිටිනා අති සාර්ථකත්වයට පත්වෙන අයුරු මා බලා සිටියේ අසීමිත සතුටකින්...

මේ දිගු හෑල්ල ලියූවේ මැතිව් ඉන්මන්ගේ ප්‍රධානම වෙබ් අඩවිය වන ද ඕට් මීල් නැමති විහිළු තීරය නරඹමින් සිටින අවස්ථාවක හදිසියේ සිතට නැඟුනු අදහසක් අනුව සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි වෙනසක් කිරීමට හැකි නිර්මාණශීලී බ්ලොග් කරුවන් දැනටමත් පහළ වී ඇත්දැයි විපරම් කරන අටියෙන්...
කලකට පෙර ඇසූ හුරුපුරුදු වැකියක් උපුටා දැක්වුවහොත්  “අද සිංහල බ්ලොග් අවකාශය මල්වර වීමට ආසන්නයි”... ඉතින් සැලකිය යුතු බ්ලොග්කරුවන් සංඛ්‍යාවක් අතරේ මැතිව් ඉන්මන් වැනි නිර්මාණශිල්පියෙක් සිංහල බ්ලොග් අවකාශයෙන් මතුවේයැයි මා සිහින දකිනවා... අප හැමට අළුත් අත්දැකීමක් එක්කල සිංහල බ්ලොග් අවකාශයේ පෙරළිකාර බුද්ධිගේ සිත්තරෙන් ඉදිරියට අඩියක් තැබීමට දැන් කාලය හරි නොවේද..?

මෑතකදී මැතිව් විසින් කල නිර්මාණයක් වන "How to fix any computer" මෙතැනින් රසවිඳින්න...

මේ මා සිත් ගත් තවත් නිර්මාණ කිහිපයක් ... ඔහුගේ වෙබ් අඩවිය පුරා එකින් එක සැරිසරන්නට වේලාව සොයාගත නොහැකි අයෙක් වෙනුවෙන්...

"If you do this in an email, I hate you"

"The crap we put up with when getting on and off an airplane"

"Why working from home is both awesome and horrible"

"What you email address says about your computer skills"

"How to suck at facebook"

"Why its better to pretend you don't know anything about computers"

"Why I'd rather be punched in the testicles than call customer service"

Tuesday, April 12, 2011

22. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... | Happy New Year


image
"ඒමිස් සීයේ..!"

"ඕ...."

"ඒමිස් සීයේ..!"

"මං මේ කුස්සියේ..."

"මොකද කරන්නේ..?"

"මං මේ ලුණු මිරිසක් කොටනවා.."

"ෂා... කිරිබත් හැදුවද..?"

"මොන කිරිබත්ද... මේ හීල් බත් ටිකක් ඉතුරු වෙලා තිවුණා..."

"ආ එහෙනම් මෙන්න..."

"මොනවද මේ..?"

"කිරිබත්..."

"ආහාර අනුභවේ ඉවරද..? වෙඩි සද්දයක් වත් ඇහුණේ නෑනේ..?"

"තාම නෑ... අනුභවේට කලින් හොරෙන් ගෙනාවේ..."

"අපෙ අප්පේ..."

"එහෙනම් වෙඩි සද්දේ ඇහෙද්දී කන්න...  ගෙදරින් හොයනවා ඇති මම යනෝ..."

"ඔය… ඔය... දුවන්ඩ එපා... හෙමින් යන්ඩ… "

"කොහෙද ළමයෝ අන්ත්‍රස්දාන වෙන්නේ... මෙතනට එන්න දැන් අනුභවේට වෙලාව ළඟයි..."

"මල්ලිට කවන්න... මම නැකතට රතිඤ්ඤා දාන්න යනවා..."

"මෙන්න මෙහේ එනවා... රතිඤ්ඤා දාගන්න පුළුවන්... වෙලාවට තාත්තට කියලා ඉසිස්සෙල්ලාම කිරිබත් කටක් කවාගන්න...අවුරුද්දෙම කෑම ලැබෙන්න.."

"අන්න... හරි හරි වෙලාව හරි..."


"සබ්බීතියෝ විවජ්ජන්තූ සබ්බ රෝගෝ විනස්සතූ... මාථේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ බව................"

"හා... කෝ ඉතින් දැන් අපිටත් කවන්න..."

"ඔන්න දුවනවා... කිරිබත් කෑල්ලක් පිඟානකට දාගෙන කාලා ඉන්නකෝ ළමයිනේ..."

"දැන් ඕවා පත්තු කර කර ඉඳලා හරියන්නේ නෑ... ඔය දෙක තුනක් දාලා  ඉක්මනට කාලා ලෑස්ති වෙන්න අත්තම්මලගේ ගෙදර යන්න..."

"මේ... යන්න කලින් පුතා අතේ අර වයසක මනුස්සයට කිරිබත් ටිකක් යවලා හිටියොත් හොඳයි නේද..?"

"අනේ ඔව්... මේ අවුරුද්දේ කිරිබතක්වත් හදාගන්න නැතුව ඇති... තව පොඩ්ඩෙන් අමතක වෙනවා..."

අවුරුදු ඇති අයට, අවුරුදු නැති අයව අමතක නොවෙන, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!

Sunday, April 10, 2011

21. සිඩ්නි ලුමැට් (1924–2011) | Sidney Lumet (1924–2011)


MV5BMTY4Mzk5Mzk4Ml5BMl5BanBnXkFtZTYwMTE2NDg0._V1._SY314_CR1,0,214,314_

අනෙක් බොහෝ බ්ලොග්  මිතුරන් සේම චිත්‍රපටි නැරඹීම මාගේ අල්ප වූ විනෝදාංශ වලින් එකක්... කෙසේ නමුත් එකදු බොක්ස් ඔෆීස් චිත්‍රපටියක් අතනොහැර නරඹන මාගේ සහෝදරයා හා සැසඳූ කළ මා අත දරුවෙක්... ඔහුගෙන් ලැබෙන ඔත්තුවකින් සති අන්තයේ අතට හසුවූ යමක් නරඹනවා හැරෙන්නට චිත්‍රපට ‍තෝරාබේරාගෙන නැරඹීමට තරම් ඒ ක්ෂේත්‍රයේ හසළ දැනුමක් මා සතුව නැහැ...ඒ නිසාම බොහෝ විට මා මසකට නරඹන චිත්‍රපට සංඛ්‍යාව හතරකට පහකට අඩු මිසක් වැඩි වන්නේ කලාතුරකින්... ඒ අතරිනුත් මෑතකදී එක්වරකට වඩා නැරඹූ චිත්‍රපටයක් මට මතකයට නඟා ගැනීමට අපහසුයි...

තත්වය එසේ වුවත්, නිතර නිතර නැරඹීමෙන් මා හට දෙබස් කටපාඩම් වූ චිත්‍රපටි කිහිපයක් නැතුවාම නෙවෙයි...  එසේ වැඩිම වාරයක් මා නරඹා ඇති චිත්‍රපට අතළොස්ස්සෙන් එකක් නම් “12 Angry Men” නැමති චිත්‍රපටයයි...සහෝදරයාගෙන් දායාද වුණු පුරුද්දක් වන චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඒ පිළිබඳව සටහන් තබාගැනීමේ පුරුද්දට පිං සිදුවන්නට flixster නැමති වෙබ් අඩවියේ ඇති මාගේ පුද්ගලික ගිණුමේ මා විසින් දළ වශයෙන් තබාගෙන ඇති සටහන් වලට අනුව එම චිත්‍රපටය මේ වන විට මා නරඹා ඇති වාර ගණන දාසයක් (16)...

මෙම චිත්‍රපටියට මා කෙතරම් ඇලුම් කළාද කියතොත් මෙම බ්ලොග් අඩවිය පටන් ගත්  අලුතම මා සිතේ පිළිසිඳගත් සිහිනයක් වූයේ මෙම චිත්‍රපටියේ ඇති කතා තේමාව අනුවර්තනය කරමින් කොටස් වශයෙන් මේ බ්ලොග් අඩවියේ පළ කරන්නටයි... එනමුත් එතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් අනුවර්තනය කිරීමට තරම් මා ලේඛන කලාවේ දක්ෂයෙකු නොවන බව වැටහුණු නිසා එය සිහිනයකටම සීමා වුණා...

ඉතින් මා විසින් කලින් සටහනේ පොරොන්දු වූ පෝස්ටයද පසෙක තබා කඩිමුඩියේ මෙම වියමන පළකරන්නට නිමිත්ත වූයේ මෙම චිත්‍රපටය සහ තවත් ඊට නොදෙවෙනි නිර්මාණ කිහිපයක්ම රසිකයන්ට තිළිණ කල අග්‍ර ගණයේ අධ්‍යක්ෂවරයෙක් වූ "Sidney Lumet" ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් බව අන්තර්ජාලයේදී ඇස ගැ‍ටුණු නිසයි...ඔහු පිළිබඳ විචාරයක් ලිවීමට තරම් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන මා දැනමුත්තෙකු නෙවෙයි... ඒ නිසාම ඔහුගේ නිර්මාණ වලට කතා කිරීමට ඉඩහැර මා නිහඬ වෙන්නම්...

ඔබට හොඳ චිත්‍රපටියක් මඟ හැරෙන්නේ කලාතුරකින් නම් මේ සියල්ල ඔබ මේ වන විට නරඹා ඇතුවාට සැකයක් නැහැ... මේ එසේ නරඹන්නට නොහැකි වූවන් වෙනුවෙන්... මේවායේ ඇති උසස් කලාත්මක වටිනාකම අදහස් පළකිරීමට මාගේ ඇති අල්ප හැකියාව නිසා වැඩි විස්තරයක් සඳහන් කිරීමට අපහසුයි... කෙසේ වුවත් ඔබ මෙම චිත්‍රපට එකක් හෝ නරඹනවානම් ඒ වෙනුවෙන් ඔබ වැයකරන කාලය ගැන අවසානයේ ඔබ දුක් නොවන බවට මම සහතික වෙන්නම්...

සිය අද්විතීය නිර්මාණ වලින් සිනමා ලෝකය එකලු කල "Sidney Lumet" ඔබට ස්තූතියි...!


Dog Day Afternoon (1975)

Twelve Angry Men (1957)

The Verdict (1982)

Network (1976)

Before the devil knows you’re dead (2007)

Wednesday, April 6, 2011

20. නියමුවෙකුගේ සමුගැනීම | Good Bye Mentor


SuperStock_1895-14176

දැනට මම සේවය කරන ආයතනය තමයි මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිම කාලයක් සේවය කල ආයතනය... එතැනත් මම වැඩිම කාලයක් සේවය කළ ආයතන ප්‍රධානියා සේවයෙන් සමුගන්න බව මීට සති කිහිපයකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නා... ඔහු හා මා හමුවෙන විට නිකම්ම නිකම් තවත් එක් සේවකයෙක් වුණු මට වෘත්තීය මට්ටමේ තරඟකාරී පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි ඉගෙන ගැනීමට ඔහු ලබාදුන් සහාය අති විශාලයි...

ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු එළැඹි පළමු රාජකාරී මීටිම මට තවමත් මතකයි...

"බොස්, පර්පස් ඔෆ් ද මීටින් ‍ටුඩේ ඉස් ‍ටු ඩිස්කස් සම් ප්‍රොබ්ලම්ස් ඉන් ද පෝස්ටල් ප්‍රොජෙක්ට්..."

ආචාරශීලී හමුවීමකින් පස්සේ මීටිමේ ප්‍රධාන අරමුණ මම ඔහුට සඳහන් කළේ ඔහුගේ කාලයෙන් සැලකිය යුතු වේලාවක් මට වෙන්කිරීමට සිදුවෙන බව ඇඟවීමටයි...

"ෆයින්...ඉන්ෆැක්ට් ලෙට්ස් නොට් ඩිස්කස් ද ප්‍රොබ්ලම්ස් බීට්ල්... බ්‍රින්ග් මී ද සොලුයුෂන්ස් ‍ටුමාරෝ... ලෙට්ස් ඩිස්කස් දෙම්..."

එසේ පැවසූ ඔහු තත්පර ගණනකින් මීටිම හමාර කරමින් නැගී සිටියේ, සාර්ථක පුද්ගලයෙකු වීමට පිළිපැදිය යුතු කරුණක් ගැන ප්‍රථම පාඩම මා හට කියා දෙමින්...

එතැන් පටන් අද දක්වා මා ඔහුගෙන් උකහා ගත් දෑ බොහෝයි... පුද්ගලික ආයතනයක ඇති තරඟකාරී වටාපිටාවට හැඩගැසෙමින් ආයතනයේ දියුණුවට දායක වෙන අතරේ එකතැන පල් නොවී තමාගේ පුද්ගලික දියුණුව සලසා ගන්නා අයුරු මා පියවරෙන් පියවර ඔහුගෙන ඉගෙන ගත්තා... විශේෂයෙන්ම ආයතනය තුළ ප්‍රධානියාගේ "ඈස් කිසර්" කෙනෙකු නොවී ඔහු හා කුළුපග සම්බන්ධයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් එහි ඇති වැදගත්කමත් ඔහු මට කියා දුන් වටිනා පාඩම් වලින් එකක්...

විටෙක මා අඩ නින්දේ සිටියදී හෝ නාන කාමරයේ ස්නානය කරමින් සිටියදී හදිසියේම සිත පිළිසිඳගන්නා අතිශය විකාරරූපී ව්‍යාපාරික අදහසක් බිය සැක නැතිව අතහැරිය හැකි හොඳම ස්ථානය වන්නේ ඔහුගේ කන්තෝරු කාමරයයි... විටෙක එය අසා තමා පි‍ටුපස ඇති සුවිසල් වීදුරුවෙන් එපිට පෙනෙන නිමක් නැති සාගරය දෙස බලා තනිවම සිනාසෙන ඔහු ඉන් ටික වේලාවකට පසු එම අදහස වඩාත් ඔප මට්ටම් කිරීමට උදව්දෙන්නේ කුඩා දරුවෙකු තමාට ලැබුණු අලුත් සෙල්ලම්බඩුවක් පිරික්සන්නාක් වැනි උනන්දුවකින්...

මේ මීට කලකට පෙර සිදුවීමක්… මාගේ කුඩා කළ පටන් ළබැඳි මිතුරෙකු වූ නමුත් කාලයත් සමඟ වෙනතක ඇදී ගිය හිතවතෙකු වසර ගණනාකවක පසු මා හමුවීමට ආයතනයට දිනක් පැමිණියේ අපගේ පැරණි මිතුදම අලුත් කරගැනීමේ අදහසින්...

මේ හමුවේදී ඔහු මට තිළිණ කළේ මනරම් සටහන් පොතක්... අතිශය සිත් ගන්නාසුලු අයුරින් අත්කම් නිර්මාණයක් ලෙස නිමවා තිබූ එය සාමන්‍ය කඩදාසියකට වඩා තරමක වෙනස් රළු කඩදාසියකින් සැකසූවක් … එහි ඝණකම් පිටකවරය මත සවිකර තිබූ කුඩා අගුලකින් පොත වසා අගුළු දැමිය හැකි සේ සකස්කර තිබුණා...

"උඹ ඉස්සර පොතේ අන්තිම පි‍ටු වල එක එක ඒව කුරු‍ටු ගානවනේ... ඒක මතක් වෙලා උඹට දෙන්න කියලා අග්‍රා වලදී මම ගත්තේ..."

එදා ඔහු දුන් ඒ පුංචි තිළිණය පසුව මගේ ජීවිතය හැඩගස්සවන මෙවලම වෙවි යැයි මම සිහිනෙකින් වත් සිතුවේ නෑ... එදිනම මා ප්‍රධානියා මට ලබාදුන් අවවාදයක් නිකමට මෙන් මා සටහන් කළේ අරමුණකින් තොරවයි... එතැන් පටන් අද දක්වා මා ජීවිතයේ හමුවූ ඔවදන්, විඳීම්, හැඬීම්, වැළපීම් රාශියක් අකුරු වලට පෙරළී ඒ රළු කඩදාසි පි‍ටු අතරේ මටත් නොදැනීම තැන්පත් වී තිබුණා...

පෙර දිනයේ ආයතන ප්‍රධානියා වෙනුවෙන් සමුදීමේ කතාවක් කිරීමට පැවරුණු හෙයින් නිකමට මෙන් මේ සටහන් පොත පෙරලීමේදී ඔහු මාහට දුන් අවවාද අනුශාසනා වලින් සටහන් පොත පිරී ඇති අයුරු දැක ඔහුගෙන් මා කෙතරම් දේ ඉගෙන ගත්තාදැයි සිහි වී මාගේ දෑස් තෙත් වූයේ නිරායාසයෙන්...
අප ආයතනයේ ප්‍රධාන සාකච්ඡා කාමරයේ බිත්ති අතර දෝංකාර දුන්... විටින් විට මා සටහන් පොතේ කුරු‍ටුගෑවී ඇති ඔහුගේ අවවාද ගොන්නක් අතරින් අතලොස්සක් කාටත් හොරෙන් මතකයෙන් මා සටහන් කරගෙන ඇති අයුරු වෙනස් කිරීමකින් තොරව මෙසේ සටහන් කරන්නම්...

We are not perfect… We don’t have to be… Let’s try to do our best…

Love your company… If you don’t like it, stop complaining and find a better place…

Whatever the work we do at the office… We have to make sure it’s useful at the end…

If you wanna say NO, pls say it…

We can’t please everyone here… Don’t even try…

Never wait until the last minute...!

Don’t ever let emotions overcome your intelligence whenever you are taking a decision… At least within the walls of this boardroom…

Let’s prepare for the worst…

You know what… Busy doesn’t mean productive…

Don’t just say it’s a good idea… good idea is nothing until you execute it…

ඔහුගේ සමුගැනීමේ සාදයේදී බෙදා හැරීම සඳහා මේවායින් සමහරක් වඩාත් විධිමත්ව සකසා පරිගණක ග්‍රැ‍ෆික් ශිල්පියා ලවා කාර්යාලීය මේසය අසල සවිකළ හැකි මනරම් පත්‍රිකාවක් ලෙස සකස් කිරීමට උත්සාහා කළත් කාර්ය බහුලත්වය නිසා එය අසාර්ථක වුණා...

ඉතින් මේ හෑල්ලක් ලියුවේ ඔහු වෙනුවෙන් වූ සමුගැනීමේ කතාවේදී මා සඳහන් කරන්නට යෙදුන කුඩා කතාවක අනුවර්තනයක් පළ කිරීමේ අදහසින්... පෙරවදනම පෝස්ට් එකක් තරම්ම දිඟු වූ නිසා කියවන්නාට නීරස නොවන ලෙස එය ඊළඟ පොස්ට් එකේ පළකරන්නම්...

අවසානයට යමක් සඳහන් කරනවා නම් ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත් වී පැමිණි අලුතම මාහට ලබා දුන් මූලික අවවාද වලින් එකක් මාගේ සටහන් පොතේ මුල් පි‍ටු අතරේ මෙසේ සටහන් වී තිබුණා...

Whether you like it or not… Right now I am your BOSS… You better accept it…

සැඩපහරේ යාත්‍රාව නොපෙරෙළී හසුරා ගන්නා අන්දමත්, නිසළ දියේදී නැංගුරම් ලා බි‍ඳෙන දිය‍රැළි වල සුන්දරත්වය විඳින අන්දමත් යන දෙකම මට ඉගැන්වූ නියමුවාණෙනි, නොදන්නා දියඹක ත්‍රාසජනක අභියෝග හඹා යෑමට නොනිත් ආසාවෙන් ‍රැවල් දිගහරින ඔබට සුභ ගමන්...

Friday, April 1, 2011

19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor


42-21874867

මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි  ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…

නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ...ඒක වැ‍රැද්දක් හැටියට මටත් හිතෙනවා...

ඒත් මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්නේ නැති එක ගැන නම් මම හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් බවයි... උදාහරණයක් විදියට අපි වුණත් වෘත්තීය ජීවිතේදී හමුවෙන හැම කෙනාටම කරුණාවෙන් සලකන්නේ නැහැනේ නේද..? එහෙම කරන්න තියෙනවානම් හොඳයි ඒත් මට නම් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ... නොයෙක් හේතු නිසා සමහරවිට මට හැකි උපරිමය ලබා දෙන්න නොහැකි වෙන, මීටින් පෝස්ට්පොන්ඩ් කරන, මොබයිල් එකට ආන්ස්වර් නොකර ඉන්න අවස්ථා ඕනි තරම්... ඉතින් දොස්තරලාත් උඹලා අපි වගේම හොඳ නරක දෙකම එකතු වුණු මිනිස්සු නේද කියලා පැහැදිලි කරන්නත් එක්ක රසවත් කතාවක් කියන්නම්…

එක පාරක් මම නිවාඩුවකට ලංකාවට ආවම තදබල විදියට අසනීප වෙලා රෝහල් ගතවෙන්න වුණේ නොහිතපු විදියට... වෛද්‍යයවරුන්ගේ උදව්වෙන් යන්තම් සනීප වෙද්දී, නිවාඩුවත් ඉවර වෙලා ආපහු යන දවසුත් පහු වෙලායි තිබුණේ... ඉන් සති කීපයකට පස්සේ හොඳටම සනීප වුණත් මට ආපහු යන්න ලොකු චකිතයක් තිබුණේ එහේදී ආයෙත් අසනීප වුණොත් දෙමව්පිය වැඩිහිටියෝ කවුරුත් නැතිව යාළුවන්ගෙන් පමණක් උදව්වෙන් මූණ දෙන්නේ කොහොමද කියන බයට... දිනෙන් දින කල් දාන ආපහු ගමන ගැන කනගා‍ටු වුණ මව්පියන් මේ ප්‍රශ්ණය යොමු කළේ මාව සනීප කල වෛද්‍යවරයාට…

"හරි... මගේ යාළුවෙක් මේ දවස්වල එහේ හොස්පිට්ල් එකක ස්පෙෂල් ට්‍රේනින් එකකට ගිහින් ඉන්නවා... මම ලෙටර් එකක් දෙන්නම් ඔයා මිනිහාව මීට් වෙන්න... කිසි දේකට බය වෙන්න එපා, එයා සේරම බලා ගනී..."

මේ විදියට ක්ෂණිකව මගේ ප්‍රශ්ණෙට සතු‍ටුදායක විසඳුමක් ලබා දුන්න වෛද්‍යවරයා ලියලා දුන්නු ලියුං කරදහියත් පරිස්සමට අරගෙන මම ගුවන් ගත වුණා... දවස් දෙක තුනකින් හොස්පිටල් එකට කතා කල මට මේ කියපු වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න පුළුවන් වුණා...

"ෂා... මෙච්චර කාලයක් ලංකාවේ කවුරුත් නැතිව මට එපා වෙලා හිටියේ... මම ඒත් හිතුවා මෙහෙ ඉන්නේ මම විතරද කියලා... එහෙනම් පුතා හෙට උදේම එන්න..."

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘත්තීයමය ප්‍රතිචාරයක් වෙනුවට ගොඩක් සුහදව කතා කරපු වෛද්‍යවරයා ඊළඟ දවසේම ඔහුව මුණගැහෙන්න එන්න කිව්වේ ලොකු සතුටකින්...

පහුවදාම මමත් මිතුරෙකුත් ඔහුව මුණ ගැහෙන්න ගියා... රෝහලේ එළිමහන් ආපනශාලාවක හමුවුණු අපි ඔහුගේ තිබුණු මිත්‍රශීලී බව නිසාම පැයක් යන්නත් කලින් ගජමිතුරෝ වෙලා ඉවරයි...

"පුතාලා ස්මෝක් කරනවද..?"

මාල්බරෝ ලයිට් පැකැට්ටුකවක් සාක්කුවන් එළියට අදින ගමන් ඩොක්ට ඇහුවේ අපිව පුදුමට පත් කරමින්...

"ඔව්..."

"එහෙනම් කමක් නෑ..."

"හරි පුදුමයි... සිග‍රැට් බොන ඩොක්ට කෙනෙක් මම මේ දැක්කමයි..."

මගේ යාළුවා කිව්වේ ඩොක්ට දික් කරපු පැකට්ටුවෙන් සිග‍රැට්ටුවක් එළියට අදින ගමන්...

"මම සර්ජන් කෙනෙක්නේ, සමහර සර්ජන්ස්ලා බොනවා..."
 
ඩොක්ට කිව්වේ හිනාවෙවී...

"ලංකාවේ අය තව ඉන්නවද..? වීක්එන්ඩ් එකේ එහෙම මොනවද කරන්නේ..?"

ඩොක්ට මුට්ටිය දාන්නේ මොකටද කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුණේ නෑ

"තව සෑහෙන්න ඉන්නවා... වීකෙන්ඩ් වල එහෙම අපි සමහර අය සෙට් වෙනවා... ඩොක්ටත් එන්න…"

අපේ නිල ආරාධනාව ඩොක්ට පිළිගත්තේ සතු‍ටු සිතින්...
 
මාතෘකාවෙන් පිට ගිහින්, බොන සීන් එකේ විස්තර කරන්න තරම් දෙයක් නැති වුණත් මේ සීන් එක විස්තර කරන්නේ එතන සිදුවුණු රසවත් දේ බෙදා හදා ගන්න...

ඒ වෙනකොට අපි ශිෂ්‍යයෝ වුණත් උසස් වෘත්තීන් වල නියැලුණු වැඩිහිටි දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තිබුණා... හබැයි කවදාවත් අපි ඩොක්ට කෙනෙක් එක්ක නම් සෙට් වෙලා තිබුණේ නෑ නෑ මයි... ඒ නිසාම වෙනදාට අපි කන බොන වෙලාවට කතා කරන දේවල් වෙනුවට මෙදා තිබුණේ තනිකරම වටිනා වෛද්‍ය සාකච්ඡාවක මුහුණුවරක් කිව්වොත් වැ‍රැද්දක් නෑ...

"ඩොක්ට.. එක දිගට කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි..?"

සව්දිය පිරුවායින් පස්සේ මෙන්න මේ වගේ වැදගත් විදියට පටන් ගත්ත කතාව වීදුරු හිස් වේගෙන යද්දී වේගයෙන් ඇදී ගියේ අමුතුම පැත්තකට... "ඩොක්ට" නිකම්ම "ඩොකා" වෙද්දී තමන්ගේ හිතේ අවුරුදු ගණන් කැකෑරෙමින් තිබුණු ප්‍රශ්ණ වලට ඩොක්ටගෙන් විශේෂඥ උපදෙස් ගන්න කට්ටිය එකා පිට එකා ප්‍රශ්ණ අහපු හැටි මට අදටත් මතකයි...

ඒ ප්‍රශ්ණ බොහොමයක් වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිසා මේක කියවන ගෑණු ළමයෙක්, පොඩි දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒ අය අපහසුවට පත්වෙන එක වළක්වන අදහසින් කො‍ටු වරහන් ඇතුළේ හංගනවා... වැඩිහිටියෝ විතරක් කො‍ටු වරහන් ඇතුළේ හයිලයිට් කරලා බලන්න...

[
"ඩොකා... මාස්ටබේට් කරාම කෙට්ටු වෙනවද..?"
එකෙක් අහන්නේ ඩොක්ටගේ වීදුරුව සැන්ඩි කරන ගමන්...
"පිස්සුද මේ දවස් වල මමත් කරනවා..."
නවත්තන්න ඕනේ හරියෙදි අතින් සිග්නල් කරන ගමන් ඩොක්ට පිළිතුරු දෙනවා...
"ඩොකා.. වර්ජිනිටි එක නැති කරගන්නේ නැතුව ඇතුළේ කරන්න බැරිද..?"
එකෙක් අහද්දී ඒකට උත්තර දෙන්න කලින් අනිත් එවුන් තව ප්‍රශ්ණ දහයක් අහනවා...
"ඩොකා... වර්ජිනිටි එක ආයේ හදන්න බැරිද..?"
"ඩොකා.. තරුණ අය ව්‍යාග්‍රා බිව්වට කමක් නැද්ද..?"
"ඩොකා... ව්‍යාග්‍රා ටෑබ්ලට් වලින් ඇත්තටම මොකද්ද කරන්නේ..?"
"ඩොකා... ඇතුළේ කරලා ඒ එක්කම චූ කළොත් ප්‍රෙග්නන්ට් වෙන එක නවත්තන්න බැරිද..?"
"ඩොකා... ගෑනු ළමයිට යන්නේ නැද්ද..?"
"ඩොකා.. ඔර්ගස්ම් එකේදි ගෑනු ළමයෙක් බොරුවක් කරනවද, ඇත්තක් කරනවද කියලා හොයාගන්න විදියක් නැද්ද..?"
"ඩොකා.. ලව් ජූස් වලින් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද..?"
"ඩොකා.. පීරියඩ්ස් දවස්වලට ෆීලින්ග්ස් එන්නෙම නැද්ද..?"
“ඩොකා…..”
“ඩොකා….. ඩොකා…..”
]

මේ විදියට , හිරිමල් වයසේ හිටි අපි හැමෝගේම ආදර සම්බන්ධතා වල සීමිත ලිංගික අත්දැකීම් වලින් පැනනැගුණු කාගෙන්වත් අහලා දැනගන්න බැරි ප්‍රශ්ණ සේරම එකින් එක විස්තර ඇතුව විසඳන ඩොක්ට එදා අපිට හරියට පෙනුණේ සෘෂිවරයෙක් වගේ... ‍රැයක් එළිවෙද්දී අපි කොච්චර සමීප වෙලා හිටියද කිව්වොත් ඩොකා තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණ අපිත් එක්ක කිය කිය අඬද්දී අපි ඩොකාගේ හිත හැදුවේ හරියට ළමයි තාත්තා කෙනෙක්ගේ හිත හදනවා වගේ...

ඒ ගත කල කාලය සිතුවම් පටයක් වගේ හිතේ දිගෑරෙන නිසා ලියගෙන ගියාට ඇත්තට මම මේක ලියන්න පටන්ගත්තේ මේවා කියන්න නෙමෙයි... මේ සාකච්ඡාවෙම වෙරි වෙන්න කලින් මම අහපු ප්‍රශ්ණෙකට ඩොක්ට දුන්නු බය හිතෙන උත්තරයක් ලියන්නයි...

"ඩොක්ට සර්ජන් කෙනෙක් වුණාම හරි අපහසුයි නේද..? ඇක්සිඩන්ට් වෙලා එහෙම හදිසි ඔපරේෂන් වලට කතා කළාම ඇඳන් ඉන්න ඈඳුම් පිටින් දුවන්න එපැයි..."

ඇත්තවශයෙන්ම රෝහල් ජීවිතේ ගැන වැටහීමක් නැති මම ඩොක්ටගෙන් ඇහුවේ ER වගේ රූපවාහිනී වැඩසටහන් වල ලෙඩ්ඩු බේරාගන්න වෛද්‍යවරු දුවගෙන යන අයුරු මතක් කරගනිමින්...

"එහෙම ඇඳන් ඉන්න ඇඳුම් පිටින් දුවන්නේ නෑ... කොච්චර හදිසි වුණත් අපි රෙස්පොන්ඩ් කරන ටයිම් එකක් තියෙනවා... එහෙම දුවන්න ගියොත් ඉතින් අපිට හැමදාම රෑට දුව දුව තමයි ඉන්න වෙන්නේ..."

"ඒ වුණාට ඩොක්ට ඉතින් කාගේ හරි ජීවිතයක්නේ..."

"කාගේ හරි ජීවිත තමයි පුතා හැමදාම අපිට හම්බවෙන්නේ..."

මෙහෙම කියපු ඩොක්ට ඊළඟට කියපු කතාවට මගේ ඇඟ හිරිවැ‍ටුණා...

"මට මතකයි එක පාරක් අපි ඩියුටි හිටියා පලාලි වල, ෆ්‍රන්ට් එකේ කැෂුවල්ටීස් ගේනවා එක දිගට... අපි දවස් තුනක් එක දිගට තියටර් එකේ නින්දක් නැතුව... අන්තිම හරියෙදී හිටගෙන ඉන්න පණ නෑ... තුන්වෙනි දවසේ ආපු අයගෙන් ගොඩදාන්න අමරුයි කියලා හිතන අය අපි ට්‍රයි කළේවත් නෑ... ඇත්තටම අපි ඒ තරම් හෙම්බත් වෙලා..."

"එතකොට ඒගොල්ලන්ට මොකද වුණේ..?"

අපි කාටවත් එදා ඒ ප්‍රශ්ණේ අහන්න ශක්තියක් තිබුණේ නෑ...

අද අපි රු.1000 රිෆන්ඩ් කළේ නැති ඩොක්ට කෙනෙක් ගැන ගැන කතා කරනවා සමහර විට එදා මේ ඩොක්ට රිෆන්ඩ් කළේ නැත්තේ අතපය හතර නැතිව හරි තමන්ගේ දරුවන්ට තාත්තා කියන්න පණ තියෙන මනුස්සයෙක් ගෙදර එනකල් දෙවියන්ට කන්නලව් කරමින් හිටපු අම්මා කෙනෙක්ගේ බලාපොරොත්තු පිරුණු මුළු ජීවිතයම වෙන්න ඇති...

මේ සිද්ධිය ගැන එක පැත්තකින් විතරක් බැලුවානම්, අපේ සල්ලි වලින් ඉගෙන ගෙන පෙනේද මුන් මිනිස් ජීවිත බල්ලට දාන හැටි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මට මේ ඩොක්ට ගැන එහෙම කේන්තියක් එන්නේ නෑ... කාගේ වුණත් ජීවිතයක්නෙ, අපි නම් හතුරෙකුටවත් එහෙම කරන්නෑ කියලා හිතුණත් ඇත්තටම ඒ තත්වෙට මූණ දුන්නොත් අපි වුණත් එහෙම හැසිරෙන එකක් නැද්ද..?

ඉතින් මට කියන්න ඕනේ වුණේ මම නම් වෛද්‍යවරු දිහා බලන්නේ, මිනිස් ජීවිත සුවපත් කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න දෙවිවරු පිරිසක් විදියට නෙමෙයි, රකින්න දරුපවුලක් පුද්ගලික ජීවිතයක් තියෙන, අපි බොහෝදෙනෙක් වගේ සාධාරණ විදියට රස්සාවක් කරගෙන තමන්ගේ දරු පවුල වෙනුවෙන් තවත් රුපියල් කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන ගමන්, තමන්ට පුළුවන් විදියට තව කෙනෙකුට පිහිටක් වෙන උඹලා අපි වගේම මිනිස්සු කොටසක් කියලයි...

පෝස්ට් එක ඉවර කරන්නම් යාළුවෙක් මට කාලෙකට ඉහත කියපු කතාවකින්

මගේ යාලුවත්, උගේ යාළුවෙක් වෙන ඩොක්ට කෙනෙකුත් දවසක් කාර් එකේ ගමනක් යනවලු... පාරේ ලොකු ට්‍රැ‍ෆික් එකක් මැද්දේ සෙනඟ පිරිලා ඉන්න තැනක් විපරම් කරලා බලද්දී දැකලා තියෙන්නේ, ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මෝටර්සයිකල් කරුවෙක් ට්‍රක්රථයක හැපිලා ඉන්න හැටි... කාර් එක එළවාගෙන යමින් හිටි ඩොක්ට වැඩි කතාබහක් නැතිවම ඉඩ තියෙන තැනකින් කාර් එක පන්නගෙන, දිගටම පදවගෙන යන්න ගත්තලු...

"යකෝ උඹ ඩොක්ට කෙනෙක් නේද අපි පොඩ්ඩක් බැහැලා බලමු..."

මගේ යාළුවා කිව්වම ඩොක්ට කියලා තියෙන්නෙ මෙහෙම දෙයක්...

"මම මොනවා බලන්නද බන්... ඒ මනුස්සයා දැනටමත් මැරිලා ඇති..."

~ ------------ ~


ප. ලි. : තව නොබෝ දිනකින් පැවැත්වෙන, සයිබරයේ සිහින උළෙලට බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියෙන්, උණුසුම් සුභ පැතුම්....!

Wednesday, March 30, 2011

18. සෙමි ෆයිනල් අතුරු කතාවක් | India vs Pakistan



ක්‍රිකට් උණුසුම ඉහවහා ගිය වෙලාවක මගේ සේවා ස්ථානයේ ආසියානුවන්ගෙන් ඉතිරිවෙලා හිටි කිහිප දෙනාත් රූපවාහිනියක් තියෙන තැනකට රොක් වෙලා...

"මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ...?"

කොහේදෝ යන සුද්දෙක් අහන්නේ හිස් වෙච්ච කියුබිකල් දිහා බලමින්...

"ඇයි අද වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් නේ.."


"මොන වර්ල්ඩ් කප් ද...?"

"ක්‍රිකට්..."

"මොනවා... ක්‍රිකට් වලට වර්ල්ඩ් කප් එකකුත් තියෙනවද..?"

එසේ කියමින් විශ්මයක් මුහුණට නඟාගෙන ඔහු ඇවිද යන්නේ මම ඊටත් වඩා විශ්මයෙන් ඔහු දෙස බලාගෙන ඉඳිද්දී...

අසාධ්‍ය මට්ටමේ පාපන්දු උන්මත්තකයෙක් වුණත්, මමත් ක්‍රිකට් තරඟයක් මුල ඉඳන් අගටම බැලූ දිනයක් මතක් කරගන්න අමාරුයි... ඉතින් මැච් බැලිල්ල පැත්තකින් තියලා මේ විවේකී අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හදිසියේ මතක් වුණු ආගිය කතාවකින් සතියක් විතර පල් වුණු බ්ලොග් එක අප්ඩේට් කලොත් හොඳයි කියලා හිතුවා...

එක්දින තරඟ ඉතිහාසයේ එදා මෙදා තුර තරඟ කොපමණ සංඛ්‍යාවක් පැවැත්වී ඇත්දැයි මට අදහසක් නැහැ... නමුත් ඒ සියල්ල අතරේ මිලියන ගනනකගේ අවිනිශ්චිත බලාපොරොත්තු කැටි වුණු තීරණාත්මක තරඟ අතලොස්ස අතරට අද පැවැත්වෙන තරඟයත් එකතු වෙනවා නො අනුමානයි... ඒ මෙය ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක් නිසා නෙවෙයි... මෙය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයක් වන නිසායි...

ඔබට වාසනාවකට හෝ අවාසනාවකට ඉන්දියානු ජාතිකයෙක්ව ළඟින් ඇසුරු කරන්නට ලැබුණා නම්, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ක්‍රිකට් වලටත් චිත්‍රපටි වලටත් දක්වන අසීමිත උන්මාදය ගැන නොදැන ඉන්න විදියක් නෑ... ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අතරතුරේ ඒ වගේ ක්‍රිකට් උන්මාදය ඇඟ පුරා ඔඩුදිවූ ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනෙක් තරඟ නරඹන තැනකට සෙට් වෙලා උන්ව බයිට් කිරීම අපි ඉන්දියාවේ සිටි කාලේ කල අතිශයින්ම විනෝද ජනක කටයුත්තක්... බොහොමයක් වෙලාවට අපි මේක කරන්නේ කොලීජියේ කැන්ටිමේ තියෙන ටීවී එක වටේට කට්ටිය සෙට් වෙලා මැච් එක බලද්දී... පැවැත්වෙන්නේ ඉන්දියා පකිස්තාන් තරඟයක් නම් දෙතුන් දෙනෙක් මේ විහිළු නිසා ඇස් රතු කර ගැනීම ස්වභාවයක්... මේකට හේතුව තමන්ගේ ක්‍රිකට් ෆෑන් ජීවිතේ ලබන්නට පුළුවන් ලොකුම අවමානය පකිස්තානයට තරඟයක් පැරදීම කියලා මේ බොහෝ දෙනෙක් විශ්වාස කිරීම...

මේ කියන දවස්වල ලංකාවත්, ඉන්දියාවත්, පකිස්තානයත්, නවසීලන්තයත් සහභාගී වුණ සිව්කොන් තරඟාවලියක් පැවැත්වෙමින් තිබුණා...දැන් තරඟාවලියේ අන්තිම හරිය...පකිස්තාන් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් තමන්ට නියමිත තරඟ සියල්ලම ක්‍රීඩාකර අවසන්... අවසාන මහා තරඟයට පෙර ඉතිරිව ඇති එකම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවත් නවසීලන්තයත් අතර... මෙයින් ඉන්දියාව ජය ගත්තොත් දල ලකුණු වේගය මත අවසාන මහා තරඟයට ඉන්දියාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා... නවසීලන්තය ජය ගත්තොත් අවසාන මහා තරඟයට ශ්‍රී ලංකාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ඉන්දියාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා...

ඉතින් පැහැදිලිවම මේ තරඟයේ ශ්‍රී ලාංකිකයන් වන සැමගේ ඒකායන බලාපොරොත්තුව විය යුත්තේ ඉන්දියානුවන්ට අත්වෙන අන්ත පරාජයක්... එදා කැන්ටිම බදු අරගෙන ටීවී එක වටකරගෙන කට්ටිය මැච් එක බලන අතරේ අපි හැමදෙනාගේම අප්‍රමාණ පිළිකුලට ලක්වුනු අශීෂ් නෙහෙරා විකට්‍ටුවක් දවා ගනිද්දී ඔල්වරසන් දෙමින් අපි සතු‍ටු වුනු හැටි දැකලා උන්ට පුදුමෙනුත් පුදුමයි...

"ඒයි උඹලා මොකද අපිට සපෝර්ට් කරන්නේ...?"

උන්ගෙන් එකෙක් අපි ඉන්න පැත්තට හැරිලා ඇහුවේ සිදුවෙන දෙය ගැන හරි වැටහීමක් නැතිවයි...

"ඇයි උඹට හිතාගන්න බැරිද..?"

"බෑ මොකද..?"

"මේකයි... උඹලා මේකෙන් පැරදිලා, පකිස්තානෙයි අපියි ෆයිනල් ඇවිල්ලා අපි කප් එක උස්සනවා බලනවටත් වැඩිය අපිට ආසයි, උඹලා මේකෙන් දිනලා උඹලයි පකිස්තානෙයි ෆයිනල් ඇවිල්ලා, උඹලා පකිස්තානෙන් කන හැටි බලන්න..."

අපි බඩ අල්ලන් හිනාවෙද්දී උන් මූණ කලුකරගෙන ආපහු ටීවී එක පැත්තට හැරෙන්නේ අපේ අසරණ මව්වරුන් සිහිකරමින්...


Friday, March 18, 2011

17. අපි නොදන්න නළ මුදු සුවඳ | The Nala Mudu Thing

Anger

ඔන්න මේක යාන් හෑල්ලක්... ඊයේ රාත්‍රියේ ඇසගැ‍ටුණු සිදුවීමක් හදිසියේම මගේ හිතට අතීත මතකයක් කැන්දන් ආවා, සභාවක කතාකරන්න නොසුදුසු දෙයක් නිසා සංයමයකින් ලියන්න බලන්නම්... ලැජ්ජා බයට හැදෙන ගැනු ළමයෙක් එහෙම මේක කියවනවනම් දැන්මම අතෑරලා දැම්මත් අවුලක් නෑ...

ඊයේ රාත්‍රියේ අපි සතිඅන්තයේ රස්තියාදුවක යද්දී, පාර හරහා වාහන දෙකක් එකකට එකක් ගෑවෙන මට්ටමට නවත්තාගෙන හරි කලබලයක්... වාහනේ පදවපු කාගේ හරි අත්වැ‍රැද්දක් නිසා දැන් කට්ටිය ඇවිළෙන්න යන්නේ කියලා තේරුම් ගන්න මට අපහසු වුණේ නෑ... මගේ දහසකුත් එකක් නරක පුරුදු අතරේ හදාගන්න බැරිවුණ තවත් එකක් තමයි වලි බැලිල්ල... මොන ලෝකේ හරි වලියක් ඇහැ ගැ‍ටුනොත් මම කරන්නේ යන්න ගිය ගමන පැත්තක තියලා වලිය බලන එකයි... 

මේක මානසික රෝගයක් තරමටම කොච්චර වර්ධනය වුණාද කිව්වොත් යු ටියුබ් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වුණ දවස් වල මම කලේ යූ ටියුබ් එකේ වලි සර්ච් කර කර බලන එකයි... ඉතිං මෙතනත් පාරේ වීදි ලාම්පුව පිච්චිලාද කොහෙද ඒ තරම් එළියකුත් නැති තැනක්... මම කලේ වාහනේ හෙඩ් ලයිට් එක එතනට අල්ලලා වලිය පිළිවෙළකට කරගෙන යන්න ආලෝකය එහෙම ලබා දීලා, මගේ ආදරවන්තියගේ බලවත් අප්‍රසාදයත් නොසලකාහැරලා වලිය බලන්න සෙට්වුණ එකයි...

චිරාත් කාලයක් වලි බලලම, ගොඩක් වලි වල ඇත්තටම කේන්තියෙන් ඉන්නේ කව්ද, බොරුවට රඟපාන්නේ කව්ද, ඉස්සෙල්ලාම ගහන්නේ කව්ද, ගුටි කන්න වෙන්නේ කාටද වගේ පොඩි පොඩි දේවල් ගැන කලින්ම මට කියන්න පුළුවන් ගතියක් තියෙනවා... ඉතිං වැඩි වෙලාවක් යන්න කලින් මේක දුර දිග යන්න විදියක් නැහැ කියලා මටම අවබෝධ වුණා... මගේ අනාවැකිය සැබෑ කරමින් බැන අඬගසාගැනීමක් අවසානයේ ගහ මරා ගැනීමකින් තොරව කට්ටිය සතුටින් විසිර ගියා... 

කතාව පටන් ගන්නේ මෙතන ඉඳන්... මේ සිද්ධියේ මාර ඇග්‍රෙසිව්ම විදියට හැසිරුණේ යුරෝපීය රටක කියලා සැක කරන්න පිළිවන් යුවතියක්... යන්න මොහොතකට කලින් එයා තමන්ගේ ප්‍රතිවාදීන්ට මැද ඇඟිල්ලෙන් ආචාර කරලා යන්න අමතක කලෙත් නෑ...

"අම්මෝ මාර කෙල්ලෙක් නේ... ඔයාට එහෙම ඔහොම කෙනෙක් මැරි කරන්න වුනානම් මොකද කරන්නේ..?"

අපි එතනින් යන්න පිටත් වුණාට පස්සේ ඇය අහපු මේ ප්‍රශ්ණය හින්දා එක පාරටම මට මතක් වුණේ මීට අවුරුදු දහයකට දොළහකට කලින් සිදුවීමක්... [මේ කතාව උපරිමයටම රස විඳින කෙනෙක් අවශ්‍යය නම් දැන් මගේ සමීප රූපයක් ගල් වෙලා, බොඳ වෙලා, අතීතයේ සිදුවීමක් ලෝඩ් වෙන හැටි හිතින් මවා ගන්න...]

ඒ අපි සේරම පළවෙනි ලැජ්ජාව* ඉවර කරලා, සමහර අය විශ්වවිද්‍යාල වලටත්, ලැජ්ජා නැති අය ආයේ ට්‍රයි කරන්නත්, ඉතිරි අය වෙන මොනවා හරි පුද්ගලික අධ්‍යාපනික ජොයින්ට් වලටත් සම්බන්ධ වුණ කාලේ... ඉතිං මේ සිද්ධිය වුණේ ඔය විදියට විශ්වවිද්‍යාලයට ගිය මගේ අතිජාත මිත්‍රයෙකුට... වැඩි ලේසියට අපි මෙයාට නඳුන් කියමු...

කට්ටිය එහේ මෙහේ විසිර ගියා වුණත් සති කිහිපයකට සැරයක්වත් සෙනසුරාදා රාත්‍රියක මුණ ගැහෙන්න අපි අමතක කළේ නෑ... ආගිය කතා අතරේ ප්‍රධාන මාතෘකාවක් වුණේ අලුත් ජොයින්ට් වල හිත ගිය ගෑනු ළමයි ගැන කතා කිරීම... කාලෙක ඉඳන්ම අපිට තේරිලා තිබුණු විදියට මල්සරා තමන්ගේ ඉලක්කේ ප්‍රැක්ටිස් කරන්නේ නඳුන්ගෙන්... උගේ හදවතේ එක්ස් රේ එකක් ගත්තොත් පෙනේරයක් වගේ වගේ පේන්න ඕනි මල්සරාගේ ඊතල වැදිලම... ඉතිං මේ කියන දවසෙත් මල්සරා ඊතලේකින් උගේ පපුව මැද්දටම බස්සලා තිබුණා...

"මාර අහිංසක කෙල්ලෙක් මචං... හා පැටියෙක් වගේ... බොරු සෝබන නෑ... පිටිසර කෙල්ලෙක් වෙන්න ඇති, මම මේක හරිගියොත් සීරියස් කරනවා, මම හොය හොය හිටියේ මේ වගේ තැලිලා පොඩිවෙලා නැති කෙල්ලෙක්... අපිට ගැලපෙන්නේ ඒ වගේ අය මචං…"

දැන් හිස් වෙන බෝතලේට සමානුපාතිකව මූ දොඩමළු වෙනවා...

"ඉතිං උඹ තාම වැඩේට එන්ටර් වුණේ නැද්ද? බල බල ඉන්න එපා වෙන එකෙක් පාර්ක් කරයි..."

කීප දෙනෙක් උපදෙස් දෙන්නේ අවංකවමයි...

"මම විස්තර ටිකකුත් හොයලා බැලුවා, කොස්සකට තියෙන්නේ අපිට වැඩිය අවුරුද්දක් සීනියර්... පොඩි වයස පරතරයක් තියෙයි, ඕවා ඉතිං ප්‍රශ්නද නේද බං...?"

මූ මෙහෙම කියද්දි මූත් එක්කම එකට ඒ විශ්වවිද්‍යාලෙටම යන අපේ අනිත් එකා ජනක, මැදට පැනලා කිව්වේ අමුතු කතාවක්...

"මට ආරංචි වුණේ නම් වෙන දෙයක්, ඔය කෙල්ල හෙන ජෙප්පියක් ලු... පොඩ්ඩක් තව හොයලා බලපන් උඹට ගොනා වගේ ඉන්න වේවි..."

ජෙප්පියක් කියන්නේ විප්ලව වලට බර අදහස් තියෙන දේශපාලන පක්සෙකට සම්බන්ධ කෙනෙක් කියන එක විශ්වවිද්‍යාල වලට ආවේණික වචන ගැන අවබෝධයක් නැතිව වුණත් මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ...

"හරි හරි බලමුකෝ... ඊළඟ පාර අපි සෙට් වෙද්දි මම අනිවා ගුඩ් නිව්ස් එකක් අරගෙන තමයි එන්නේ..."

නඳුන් කියන්නේ කණ සාක්කුවට වැටීගෙන එද්දී...

මේ සිද්ධියෙන් පස්සේ අපි හැමෝටම ආයෙත් එකට එකතුවෙන්න ලැබුනේ සති කිහිපයක පස්සෙයි... ගුඩ් නිවුස් එකක් අරන් එන්න පොරොන්දු වුණ නඳුන් එදා අපිත් එක්ක සෙට් වෙන්න ආවේ නෑ... උගේ ආදර ව්‍යාපෘතියේ අලුත්ම තත්වය ගැන අපිට දැනගන්න උනේ අපේ අනිත් මිතුරා ජනකගෙන්… මේක ඇත්තද බොරුද කියලා මට විශ්වාසයක් නැත්තේ ඌ ගැනත් පොඩි කාලේ ඉඳන්ම අපි දන්න නිසයි... මොනවා වුණත් බොරුවක් නෙමේ ඇත්තක් කියලා හතර අතේ දිවුරලා ඌ කිව්ව විස්තරේ මෙහෙමයි... 

දින කීපයකට කලින් විශ්වවිද්‍යාලේ මොකද්දෝ ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා... මට මතක හැටියට ඒකේ නම "නළ මුදු සුවඳ..." සාමාන්‍යයෙන් ඔය වගේ වැදගත් කටයුත්තකදී විශ්වවිද්‍යාල ළමයි දෙපිල බෙදිලා ගහගන්න සිස්ටම් එකකුත් තියෙනවලු... ඉතිං මෙදාත් ඔන්න ඔහොම වලියක්... දෙගොල්ල පේන දුරින් කල්ලි ගැහිලා එකිනෙකාට බැණ අඬගහගන්න අතරේ එතනින් යන්න ගිය අපේ මිත්‍රයෝ දෙන්නා දැකලා තියෙනවා ඇල් වතුරත් නිවලා බොන, නඳුන්ගේ අහිංසක ගැමි ලියත් එක කල්ලියක ඉන්නවා... වෙන්නේ මොකද්ද කියලා හරියටම අවබෝධයක් නැතත්, ගෑනු ළමයට කරදරයක් වේවිද කියන බයට මුන් දෙන්නත් තරමක් ඈතට වෙලා සිද්ධිය බලාගෙන ඉඳලා තියෙනවා... වැඩි වෙලා එහෙම ඉන්න වෙලා නෑ, එක එකා අසභ්‍යවචන වලින් කෑ ගහන අතරේ නඳුන්ගේ අහිංසක හා පැටියා පිරිස අතරෙන් ඉස්සරහට ඇවිල්ලා මොකද දන්නවද කරලා තියෙන්නෙ... 

කෙළින්ම කියන්න මට විලිලැජ්ජාවේ සන්තොසේ බෑ... ඒ නිසා මෙහෙම කියන්නම්... මේ ගෑනු ළමයා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මෙව්වා එක මෙව්වා කරලා... මෙව්වා එක පෙන්නලා... මෙන්න මෙහෙම කෑ ගැහුවලු....

" මේ තියෙන්නේ නළ මුදු සුවඳ....! බලාගනින්....!"

අපේ නඳුන්ගේ අවිහිංසක ප්‍රේමයේ සුන්දර හීන මාළිගා කඩා වැ‍ටුණේ එහෙමයි... මේ ගැන වචනයක්වත් ඌත් එක්ක කතා කරන්නේ නෑ කියලා අපි හැමෝම පොරොන්දු වුණාට පස්සේ, අපිත් එක්ක ඌ ආයෙත් සෙට් වෙන්න ආවා...

මේ වගේම තව සිද්ධියක් තියෙනවා කෑලි කඩන්නේ නැතිව ඒකත් මෙතනම ලියන්නම්... මේක කෙටියෙන්.... මමම මූණ දුන්නු අත්දැකීමක්... අපේ ගෙදරට ගෙවල් කිහිපයක් ඈතින් තියෙන ගෙවල් දෙකක අසල් වැසියෝ පැල ඉනි වැටට හැමදාම රංඩු... අපේ ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට යද්දී මේ ගෙවල් දෙක පහු කරගෙන යන්න ඕනේ... දවසක් මම උදේම කොහේ හරි යද්දී ගෙවල් දෙකේම කට්ටිය එළියට බැහැලා හිරිකිතයක් නැතිව බැණ අඬගහගන්නවා...බස් එකටත් වෙලාව තියෙන එකේ මමත් ප්‍රේක්ෂක ජනතාවට සෙට් වුණා... 

විස්තරකිරීමේ පහසුවට චරිත ටික අඳුනගමු, එක ගෙදරක කපල් එක රංජිත් සහ රංජනී කියමුකෝ, අනිත් ගෙදර ලලිත් සහ ලලිතා... දැන් මේ අයගෙන් රංජිතුත් ලලිතාත් පොඩි කාලේ ඉඳලාම ජීවත් වුණේ ඒ ගෙවල් වළමයි... ඒ කියන්නේ රංජිත් රංජනීව කැන්දන් ආවා... ලලිත් ලලිතා එක්ක බින්න බැස්සා... පැහැදිලියිනේ..? මේ පාර්ට් එක ඉතා වැදගත්, පැහැදිලි නැත්නම් ආයේ කියවන්න…

ඔන්න දැන් වලියේ හොඳම හරිය, හතර දෙනාම එක සීරුවට බැනගෙන බැනගෙන ගියා, මේ අතරේ මෙහා ගෙදර රංජිත් කරපු තර්ජනේකින් එහා ගෙදර ලලිතාට අසූහාරදාහකට තද වුණා... අර නදුන්ගේ ගෑනු ළමයා කළ විදියමයි, පටාස් ගාලා මෙව්වා එක මෙව්වා කලා... 

"කොරයි කියලා තමයි බය... මේ තියෙන්නේ..! මේක තමයි කොරන්නේ...!"

කියලා මහ හයියෙන් කෑ ගැහුවා...

නඳුන් ගේ ගෑනු ළමයා කැම්පස් එකේ නිසා අඩුගානේ පිළිවෙළකට ඇඳලාවත් ඉන්න ඇති... මෙතන ඇවිල්ලා එහෙම නෑ, නිවාඩු දවසේ උදේ… තමන්ගේ ගෙදර... ෆුල් කැෂුවල්... හදිසි දර්ශනයෙන් කට්ටිය තුෂ්ණිම්භූත වුන නිසාද කොහෙදෝ හැමදේම එකපාරම නිශ්ශබ්ද වුණා... ටික වෙලාවක් කලබලයක් නැතිව බලන් හිටපු රංජිත්ගේ කේන්තිය නිවිලා එක පාරටම මූණට ආරුඪ වුණේ හිනාවක්... තප්පර කීපයක් තනියම හිනා වෙවී හිටිය රංජිත් තාලයකට ඇදලා පැදලා මෙහෙම ගායනා කලා...

"පොඩිකාලේ මම දැක්කට පස්සේ, දැක්කේ අදයි නෝනේ...."

ඊට පස්සේ මම දැක්කේ විදිලියක් වගේ ලලිතා ගෙට දුවන හැටියි... එදා දවසට වලිය ඉවරයි...

ඉතිං මට දැන් විශේෂයෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි. මොනවා උනත් මෙච්චර එඩිතර අපේ ගෑනු අතරේ අර බොරුවට ඇඟිල්ලක් දික්කරපු පර සුද්දි මට නම් නතිං...

ප.ලි: මොනවා වුණත් මේවා එච්චර සීරියස් ඉෂූස් කරගන්න එපා, කියවලා හිනාවෙලා අමතක කරලා දාන්න…

* - පලවෙනි ලැජ්ජාව = A/L First attempt. (උපුටා ගැනීම තෙලැස්ත්‍රෝ අඩවියෙන් )

Sunday, March 13, 2011

16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story)

3308_mickey_mouse_cartoon_decal11__71875
ගම හාමිනේ පොළට ගිහින් එනකල් ඇහැ ගහගෙන හිටි මී පුංචා පොළෙන් ගෙනාපු බෑග් මලු එහා මෙහා වෙන සද්දෙට හෙමිහිට විපරම් කරලා බැලුවා... කඩදාසි කොළේක ඔතාපු යමක් ගම හාමිනේ මල්ලකින් එළියට ගනිද්දී මී පුංචා ඔළුව ගස්සමින් ඉවකලේ ඇතුළේ තියෙන කෑම ජාතිය මොකද්ද කියලා අනුමාන කරගන්න...

හුරුපුරුදු ඉව සුවඳක් අල්ලගන්න බැරිවුණ නිසාද කොහෙද ගුලෙන් පොඩ්ඩක් මෑත් වුණ මී පුංචා, ගමහාමිනේ කඩදාසිය දිග අරිනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කටත් පොඩ්ඩක් ඇරගෙන... කඩදාසිය අයින් කරපු ගමහාමිනේ ඇතුළේ තිබුණු දේ හෙමිහිට අරගෙන ටීපෝව උඩින් තිබ්බම තමයි ඒක මොකද්ද කියලා මී පුංචාට හරියටම අවබෝධ වුණේ...

"මී කතුරක්.................!!!!"

පිටදිගේ හිරිවැටීගෙන යනවත් එක්කම මුළු ඇඟම එක පාරටම වෙවුලන්න ගත්ත මී පුංචා කෑගහන්න හැදුවත් කටින් සද්දයක් පිටවුණේ නෑ....

තවත් තත්පරයක් වත් එතැන නො‍රැඳුණු මී පුංචා ඊයක වේගෙන් ගෙයින් එළියට දුවගෙන ගියේ කරන්න දෙයක් හිතාගන්න බැරිවයි... එහාටත් මෙහාටත් කලබලයෙන් දිව්ව මී පුංචා එකපාරම නැවතුණේ මිදුලේ කුණුගොඩ පහුරු ගාමින් උන්න කුකුළු හාමි ළඟයි...

"කුකුළු හාමි...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා...

කොස් කොළයක් යට හැංඟිලා උන්නු පණුවෙක් හොටට හිරකරගත්ත කුකුළු හාමි කතා කළේ පණුවාව ගිලදාලා දෙපාරක් විතර තලු මැරුවට පස්සෙයි... 

"මී කතුරක්...? හ්ම්... මම කියලා මොනවා කරන්නද පුංචි මී පැටියෝ... උඹේ කාලේ නරක් වෙලා වගේ... කරුමේ තමයි..." 

එහෙම කියපු කුකුළු හාමි ආයෙත් කුණුගොඩ පහුරු ගාන්න පටන්ගත්තේ මී පුංචා දිහා බලන්නේවත් නැතිවයි… 

නැට්ටත් කෙළින් කරගත්ත මී පුංචා විදිලියක් වගේ ඊළඟට දුවගෙන ගියේ වත්ත කෙළවරේ මඩ ගොඩේ ලැගලා හිටිය මඩයා ළඟටයි...

"මඩයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා…

"නෑ...? හොඳටම විශ්වාසද මී කතුරක් කියලා..." 

මඩයා ඇහැව්වේ මඩ වතුරෙන් උඩට ඉස්සෙන ගමන්... මඩයාගේ රවුම් නහය දෙකට බෙදාගෙන ඇඳිලා තිබුණු මඩපාර බඩ හරහා ගිහින් නැට්ට ගාවින් ඉවර වෙලා තිබුණේ හරියට මඩයව දෙකට මැදින් බෙදලා වගේ... 

"ඔව් මම දැක්කනේ... දැං අපි මොකද කරන්නේ...?" 

මී පුංචා කිව්වේ තමන්ගේ රවුම් ඇස්දෙක එළියට පනින්න තරම් ලොකු කරගෙන...

"මටනං ඉතින් කරන්න තියෙන්නේ උඹට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි... මම ඉතිං ජීවිතේට මී කතුරක් එක්ක ඔට්ටු  වෙලා තියෙනවයැ..? "

මෙහෙම කියපු මඩයා බොහොම සැහැල්ලුවෙන් ආපහු මඩවලේ කරවටක් ගිලුනේ හරියට තමන්ගේ විවේකයට බාදාකරන්න එපා කියලා කියන්න වගේ... 

මඩ කඩිත්ත ගාවින් දුවගෙන ගිය මී පුංචා කෙළින්ම නතරවුනේ මඩුව අයිනේ නිවාඩුව ඇනතියාගෙන තණකොළ කටක් වමාර වමාර කන හඳයා ළඟයි ... 

"හඳයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

හඳයාට කන් ඇහෙනව අඩුබව දන්න හින්දම මී පුංචා බෙරිහන් දීලා කිව්වා...

තණකොළ හපන එක නවත්තලා මී පුංචා දිහා ඕනෑවට එපාවට වගේ බලපු හඳයා කන්පට එකපාරක් ගස්සලා ආයෙත් තණකොළ හපන්න ගත්තේ මී පුංචාට වචනෙකින්වත් උදව්වක් කරන්නේ නැතිවයි... 

ගෙදර ඉන්න එක සතෙක්ටවත් ගෙදරට මී කතුරක් ගෙනාව එක ගැන පොඩ්ඩක්වත් ප්‍රශ්ණයක් වුණේ නැති බව පැහැදිලියි... දුකෙන් හිස බර කරගත්ත මී පුංචා හෙමින් හෙමින් ගුලට වැදුණේ කොච්චර බඩගිනි වුණත් රෑට නම් කෑම හොයාගෙන එළියට යන්නේ නෑ කියලා තමන්ටම පොරොන්දුවක් වෙමින්... 

හිතේ තිබුණ බයටම මීපුංචාට නින්ද අහලකටවත් ආවේ නෑ... 

"ටකස්...!" 

පාන්දර ජාමේ යන්තම් ඇහැ පියවීගෙන යද්දී ඇහුණ මී කතුරට මොකෙක් හරි අහුවෙන සද්දෙන් මී පුංචා උඩ ගිහින් ඇහැරුණා... ඒක හීනෙන් ඇහුණ සද්දයක් නෙමෙයි කියලා මී පුංචට තේරුම් ගියේ ගමහාමිනේත් කඩිමුඩියේ දුවගෙන එන සද්දේ මී පුංචට ඇහුණ නිසයි... මොකද්ද වෙන්නේ කියල බලන්න ගුලෙන් එළියට ඔළුව දාද්දිමයි මී පුංචට ඇහුණේ ගමහාමිනේ මරහඬ දීලා කෑ ගහනවා... තවටිකක් විපරම් කරද්දී මී පුංචා දැක්කේ මීපුංචා මී කතුර තරමටම බය, පහළ ඕවිටේ ඉන්න නයිහාමි ගොදුරු හොයාගෙන එද්දි මී කතුරට අහුවෙලා ඉන්න හැටි… කලබලේට කළුවරේම එතනට දුවපු ගමහාමිනේට නයි හාමි කෙන්තියටම දෂ්ට කරලා තමයි කියලා මී පුංචට තේරුණා... 

ගමරාළගේ කෑ ගිහිල්ලට අහල පහළ මිනිස්සු වටවෙලා ගමහාමිනේව වෙදගෙදර අරන් යනවා මී පුංචා ගුල ගාව ඉඳන් බලන් හිටියා... වෙදගෙදර ගෙනිච්ච ගමහාමිනේව ආපහු ගෙදර එක්කගෙන ආවේ පහුවදා එළියත් වැ‍ටුනට පස්සේ... ගමහාමිනේ අමාරුවෙන් කෙඳිරිගාන සද්දේ මී පුංචාට දවස තිස්සෙම ඇහුණා...

"උණ හැදිලා තියෙන්නේ, ඇඟ දුරුවල වෙන්න දෙන්න නරකයි... හොඳ කුකුල් මස් සුප් එකක් වගේ දුන්නොත් පනගහලා ඒවි.." 

හවස් ජාමේ කව්දෝ ගමරාලට උපදෙස් දෙනවා මී පුංචාට යන්තම් ඇහුණා... තවත් පැය කීපෙකට පස්සේ මන්නා පිහියත් අරගෙන ගමරාල කුකුල් කො‍ටුව පැත්තට යනවා දැකපු මී පුංචාට ඉතුරු හරිය හිතාගන්න අමාරු වුණේ නැහැ... 

කියන්න තරම් ගුණයක් නොපෙන්නපු ගම හාමිනේ එන්න එන්න දුර්වල වෙද්දි ගමගෙදරට යන එන අමුත්තො ගණනත් එන්න එන්න වැඩිවුණා... යන එන පිරිසට කෑම දීලා පිරිමහගන්න අමාරු වෙද්දී ගමරාල මඩයාගේ ඉරණම විසඳනවා මී පුංචා කනගා‍ටුවෙන් බලාගෙන හිටියා...

තවත් ටික දවසකින් ගමහාමිනේ ලෙඩ ඇඳේම අවසන් ගමන් ගියා... අම්මෝ ආපු සෙනඟ කන්දරාවක්... ඒ තරම් සෙනඟකට කන්න දෙන්න හඳයා ජීවිත දානය කළා කියලා මී පුංචා දැනගත්තේ මරණේ කටයුතුත් ඉවර වුණාට පස්සේ... 

ගමහාමිනේගේ අකල් මරණෙන් පස්සේ මී කතුරට වුණු දෙයක් හොයාගන්න බැරිවුණා... මීකතුර ඇහින්වත් දැක්කේ නැති තමන්ගේ යලුවෝ තුන්දෙනාට අන්තිමට තමන් පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති මීකතුර හින්දාම අවසන් ගමන් යන්න වුණ හැටි කල්පනාකරමින් මී පුංචා කනගා‍ටුවෙන් කල් ගෙව්වා...

ආදර්ශය : තවකෙකු අමාරුවේ වැටී ඇති විටෙක එය ඔහුගේ පුද්ගලික ප්‍රශ්ණයක් මිස තමන්ගේ ප්‍රශ්ණයක් නොවේ යැයි කිසිදින නොසිතන්න... අපගෙන් එකෙකු හට යම් අවදානමක් ඇත්නම්, බොහෝදුරට අවදානම ඇත්තේ අප හැමෝටමයි...

ප/ලි : පැරණි උපමා කතාවක් ලෝකලයිස් කරන්න ගත්ත උත්සාහය අන්තිම හරියෙදී චොර වේගෙන එනවා කියලා මටම තේරුණා... ඒත් ඔන්න ඔහේ දැම්මා... :) 

දිව හපාගෙන ලියපු සීරියස් එකක් කලින් පෝස්ට් එකේ තියෙනවා...

Friday, March 11, 2011

15. සුදුමැලි පුංචි තිත... | Pale Blue Dot


325px-Pale_Blue_Dot

පේනවද ඒ පුංචි තිත...
අර තියෙන්නේ...
සුදු පාට...

අන්න ඒක...
ඒ මොකද්ද කියලද අහන්නේ..?
ඒ මෙහේ...
ඔව්... අපි...
අපේ ලෝකේ...
අපේ හැම දේම...

අපි පණටත් වැඩියෙන් ආදරය කරන අය...
ඊටත් වැඩියෙන් වෛරකරන අය...
ගරුකරන, නොසලකන හැමෝමත්,
මිතුරනුත්… සතුරනුත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

අපි හැමෝගෙම...
හැම දුකක්ම... සතුටක්ම...
සිනහවක්ම... හැම කඳුලක්ම....
මෙතෙකුත්... මතුවටත්...
වින්දේත්, විඳින්නේත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

නිමක් නැති ඇදහිලි...
ආගම්... විශ්වාස...සංස්කෘති...
ආර්ථික මූලධර්ම...
දේශපාලන මතවාද...
මේ සේරමත්...
හැම දේශප්‍රේමියෙක්ම...
දේශද්‍රෝහියෙක්ම...
ජාතිවාදීන්... ජාතිකවාදීන්...
ත්‍රස්තවාදීන්... මාක්ස්වාදීන්...
අරුන් මුන් සේරමත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

ලෝකය ආදරයෙන් පුරවන මව්වරුන්...
රසායනික අවි නිපදවන විද්‍යාඥයින්...
දැනමුතුකම් දෙන ගුරුවරුන්...
වංචාකාර දේශපාලුවන්...
ආදරයේ නාමයෙන් දිවිපුදන පෙම්වතුන්...
රට ජාතිය වෙනුවෙන් සටන්වදින් සොල්දාදුවන්...
රජවරුන්... හිඟන්නන්...
බ්ලොග් රචකයින්... හැකරුන්....
මේ සේරමත්....
මේ පුංචි තිත ඇතුළෙමයි....

මෙතුවක් කාලයකට ගොඬනැඟුණු,
හැම ශිෂ්ටාචාරයක්ම…
ගොඩනැගුනේත්…විනාශවුණේත්…
හැම නව සොයාගැනීමක්ම…
සාර්ථකවුණේත්... අසාර්ථකවුණේත්...
හැම විප්ලවයක්ම...
ජයගත්තේත්... මැඩපැවැත්වුණේත්...

මෙතුවක් කලක් අප අසා ඇති,
හැම ආගමික ශාස්තෘවරයෙක්මත්...
හැම ත්‍රස්තවාදී නායකයෙක්මත්...
කොටින්ම;
මුළු මානව සංහතියේම...
ලොකුම ශුද්ධවන්තයාත්....
ලොකුම පව්කාරයාත්...
ඇතිවූයේත්...
පැවතුණේත්...
නැතිවන්නේත්...

හිරුකිරණ කදම්බයක පැටලුණු...
දුහුවිලි අංශුවක් වන් වූ...
මේ පුංචි තිත ඇතුළෙමයි...


නාසා ආයතනය මඟින් නිකුත් කළ ඉහත ඡායාරූපය මීට වසර විස්සකට පමණ ඉහතදී වොයේජර් 1 යානය විසින් සෞරග්‍රහමණ්ඩලයේ සීමාවෙන් ඔබ්බට යද්දී ගන්නා ලද්දක්... ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළහොත් හිරු කිරණ කදම්බයක සටහන් වුණු සුදු පැහැති කුඩා තිතක් වැනි යමක් ඔබට දකින්නට හැකි වේවි... ඡායාරූපයට සාපේක්ෂව නොසළකා හැරිය හැකි තරමේ අංශුවක් වැනි වූ මේ කුඩා තිත අන් කවරක්වත් නොව අවසානයක් නොමැති සංකීරණ ගැටළු ගොන්නක් තුරුළු කරගෙන එකිනෙකා හා පොරබදමින් අප සියළුදෙනා ජීවත්වන පෘතුවියයි...

ඉමක් කොනක් නොපෙනෙන විශ්වයක තනිවී ඇති මේ පුංචි තිත තුල දහසකුත් එකක් අයිතිවාසිකම් සළකුණු කරගෙන ඒවා බෙදාගැනීමට නොහැකිව ලේ ගංගා ගලායමින් සටන් වදින අප එකිනෙකා කෙතරම් දුරස් වුවත්, එය වැඩිම වුවොත් මේ කුඩා තිතේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා තරම් වියයුතු නොවේද...?

අන්තර්ජාලයේදී ඇසගැ‍ටුණු, ඇමෙරිකානු තාරකාවිද්‍යාඥ “Carl Edward Saganගේ “Pale Blue Dot” ඇසුරින්...
මේ ඡායාරූපය දැකීමෙන් ඔබේ සිතට ආ හැඟීම් සටහන් කර යන්නට ආරාධනාවක්ද සමඟිනි...

ප/ලි : නීල් ආම්ස්ට්‍රොන්ග් කාටත් නොකී සඳගමනේ රහසක් මෙතන තියෙනවා...

Wednesday, March 9, 2011

14. ටැබූ හමුවීමි... | I met Taboo


කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයන්ගෙන් කෙනෙක් වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ මිල්රෝයි අයියායි... ගමේ අනෙකෙකු යෑමට සිතන්නටත් බිය තැන්වල ඔහු පිණුම් ගැසුවේය... ඔහු විදුලිය ඇති ‍රැහැනක් විදුලිය විසන්ධි නොකරම අළුත්වැඩියා කරන අයුරු කට ඇරගෙන බලාසිටි මම පසුව එය වැඩිහිටියෙකුට විස්තර කල විට;

"ඕක වීරකමක්ද..? ඔය මෝඩයා කවදා හරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතර වෙන්නේ..." යැයි අවඥාවෙන් සිනාසෙද්දී මම සිතින් විස්සෝප වීමි...

දිනක් ගමෙහි අලියෙක් කුලප්පු වී ගැමියෝ හිස් ලූ ලූ අත දිව යද්දී අලියා සිටි පැත්තට තම බරවා කකුල අද්දමින් දිවගියේ මිල්රෝයි අයියා පමණි... අසුරු සැනින් ඔහු පස්සෙන් දුවන්නට වැ‍ටුණු මගේ කණ හරහා වැදුණු පහරක් සමඟින්;

"මෝඩයෝ..! මැරෙන්නද හදන්නේ... මෙන්න මෙහේ එනවා..." යැයි අයියා මා වළකද්දී රිදුම් දෙන කන අතගාමින් නතරවුනු මම  මිල්රෝයි අයියාට කරදරයක් වන්නට එපා යැයි සිතින් ප්‍රාර්ථනා කළෙමි...

කලක් ගතවී ඔහු හා කුළුපග වූ පසු මා වඩාත්ම ප්‍රිය කල දෙයක් වූයේ කලාතුරකින් ඔහු විස්තර කරන, තම කකුලට බරවා සෑදීමට පෙර ඔහු කල ක්‍රියාකාරකම් පිළිබඳව අසා සිටීමටයි... පොලිතීසියෙකු ලඟ වැඩ කරන සමයේ රාත්‍රියේ හරක් හොරකමේ යද්දී කිලෝ ගණනක් බ‍රැති හරකෙකු තත්පර කිහිපයකින් ලොරියට දමාගන්නා උපක්‍රමය ඔහු විස්තර කරද්දී ඔහු කෙතරම් පහත් මිනිසෙක්දැයි මට කිසිදින නොසිතුණි... එය මා මල්ලීට විස්තර කරන අයුරු අහම්බෙන් අසාසිටි අම්මා මිල්රෝයි අයියාට සාප කරමින් මා ඔහු හා සමාගමයට ඇති සියළු මං ඇවිරීමට නොගත් උත්සාහයක් නැති...
 
ගමේ ඉඳහිට හරකෙකු නැති වූ අවස්ථාවක මිල්රෝයි අයියා අතමිට හිඟ වූ විට හරක් හොරකම් කර විකුණනවා යැයි චෝදනා කරමින්, අයිතිකරුවා සිතේ වේදනාව නැතිවන තුරු තැන තැන ඔහුට බැන වදින අයුරු විටෙක මා කණගා‍ටුවෙන් බලාසිටිමි... සැබැවින්ම මිල්රෝයි අයියා එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...

දිනෙක මිල්රෝයි අයියා නො එන ගමන් ගියේය... ඒ සිදුවීම මා හද කෙතරම් සසළ කලේද යත් ජීවිතයේ කිසිදින පද හතරක් වත් ලියා නොතිබූ මා කෙටි කතාවක් ලිවීමට පෙළඹීය... සිතේ ඇති පාළුව මගහරවා ගැනීමටදෝ කුරු‍ටු ගෑ ඒ වියමන පළකරවා ගැනීමට මගේය කියා බ්ලොග් අඩවියක්වත්, තැනක්වත් නොතිබුණි...

ඒ සිංහල බ්ලොග් අවකාශයේ ටැබූ පිණුම් ගසමින් සිටි අවදියයි... වැඩිම පාඨක පිරිසක් අල්ලා ගැනීමේ ආත්මාර්ථකාමී අරමුණෙන් මා ඔහු හමුවීමි... 

"එච්චර සාර්ථක කතාවක් නෙමෙයි... ඒත් මම මේක දාන්නම්දවස් දෙක තුනක් දෙන්න..." ඔහුගේ කෙටි පිළිතුර විය... දින කීපයක ඇවෑමෙන් හද්දා පිටිසර ගම්මානයක ඉපිද මියගිය මිල්රෝයි අයියා ගැන ලෝකයේ ඈත කොනේ ජීවත්වන්නවුන්ද දැනගන්නා අයුරු මා සතුටින් බලා සිටියෙමි... 

ටැබූ විසින් නිදි නැති රාත්‍රීන් ගණනාවක් වෙහෙස වෙමින් ඔහු නෙලා ගත් පාඨක අස්වැන්න මාගේ අහිංසක බලාපොරොත්තුවක් වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඔහු තිළිණ කලේය..මා දන්නා පරිදි ටැබූ සබ්ජෙක්ට්ස් අඩවියේ පලමු වරට පාඨක නිර්මාණයකට පාර කැපුනේ එසේය...

එය පලවී තිබෙනු දැකීමෙන් ලද කියා නිමකල නොහැකි සතුටටත් පාඨක ප්‍රතිචාර වලිනුත් අමන්දාන්නදයට පත්වූ මා කිසිදා බලාපොරොත්තු නොවූ විනෝදාංශයකට නොදැනුවත්වම ඇදී යමින් සිටියෙමි... 

ඒ මා දෙවනි නිර්මාණය නිමා කල දිනයයි... 

"ස්විම් (ටැබූ යනු එක් අයෙක් නොවේ යැයි විශ්වාසකල නිසාදෝ මා ඔහු ඇමතුවේ මේ නමිනි) මෙන්න මම ලියපු දෙවෙනි කතාව... මට ආසයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න..."
මා සිත පිළිසිඳගත් ආසාව මා ඔහුට පැවසීමි... 

"කතාව හොඳයි... මට මේක දාන එක ප්‍රශ්ණයක් නෙමෙයි... ඒත් තනියම බ්ලොග් එකක් කරන්න තීරණය කළානම් මම සුභ පතනවා..." පිටට තට්‍ටුවක් දමමින් ඔහු මට සමුදුනි...

මේ මිල්රෝයි අයියා සහ ටැබූ නිසා මා බ්ලොග් කරුවෙකු වූ අයුරුයි...
 
දැන් මිල්රෝයි අයියා සේම ටැබූ ද නොකියාම යන්නට ගොසිනි... ඉඩක් ලද ඇසිල්ලේ අලුත් ලිපියක් ඇත්දැයි බැලීමට ගොඩවැදුණු අඩවිය අද එහි නැත... ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය හැක් කර ඇතැයි තැනෙක කියවීමි... තවත් පිරිසක් පවසනුයේ එය ඔහු විසින්ම හැක් කරගෙන ඇති බවයි... එකිනෙකා හඳුනාගත නොහැකි තරමටම මඩ තවරාගත් පිරිසක් අතර මම ඔහු සොයාගෙන සත්‍ය විමසීමට  නොවෙහෙසෙමි... සැබැවින්ම  ඔහු එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...

එදා රිදුම් දෙන කන අතගාමින් මිල්රෝයි අයියාට කරදරයක් වෙන්නට එපා යැයි මා ප්‍රාර්ථනා කල ලෙසින්ම, රිදුම් දෙන හදවතකින් ටැබූ ට කරදරයක් වෙන්නට එපා යැයි ප්‍රාර්ථනා කරමි...

~ නිමි ~

ප/ලි : මේ නිර්මාණය සයිබර් අවකාශයේ මා හට උදව් කළ කිසිදා නොදු‍ටු මිතුරෙකු අසරණ වූ අවස්ථාවක ඔහුට පෙරලා උදව් කිරීමට ක්‍රමයක් සොයාගත නොහැකි වේදනාවක්ද සමඟිනි ...

Sunday, March 6, 2011

13. කන් පීතර ජිල් මාට්‍ටුව... | Computer Jilmart

310344750_3d77edb7b8


මේක පුංචි සරල සිදුවීමක්... බ්ලොග් අඩවියක දාන්න තරම් ලොකු දෙයක් නෙවෙයි... ඒත් ඒ සිදුවීම පිටිපස්සෙන් ගලාගෙන ගිය ලොකු කතාවක් තියෙන නිසාම, අකුරු කරන්නම් කියලා හිතුවා...

මතකය දිගේ ආපස්සට ගියොත් මේ සිදුවීම වෙනකොට මම උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත් අවදිය... වාහනයක් මිදුලේ නවත්තන සද්දය ඇහිලා විපරම් කරනකොට මම දැක්කේ තාත්තාගේ මිතුරෙක් වෙන රණේ හෙවත් අපි අමතන විදියට රණවීර අංකල් ගෙදරට ගොඩවෙන අයුරු... අපේ ගෙදරට සෑහෙන ඈතින් කොළඹ හරියට ළං වෙන්න පදිංචි වෙලා හිටි නිසා රණවීර අන්කල විශේෂ කාරණාවකට හැරෙන්න නිතර දෙවෙලේ අපේ ගෙදරට ගොඩ වදින කෙනෙක් නෙවෙයි... 

"කෝ මේ දස්සයා...?" කවදාවත් නැති ගරු සම්මානයකුත් එක්ක රණවීර අංකල් මාව හොයද්දී එනපොට හොඳ නැති බව මට අවබෝධ වෙමින් තිබ්බා...

තාත්තාගේ ආමන්ත්‍රණයෙන් විසිත්ත කාමරයට ගිය මට රණවීර අංකල් කියාගෙන ගියේ දුක් ගැනවිල්ලක්... සිද්ධිය සැකෙවින් මෙහෙමයි... රණවීර අංකල්  ‍රැකියාව කරන්නේ ලෝක ප්‍රසිද්ධ විදුලි ජනක යන්ත්‍ර ගෙන්වා බෙදා හරින ශ්‍රී ලාංකික නියෝජිතායතනයක කළමණාකාරවරයෙක් විදියට... ලංකාවේ ඇති ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා, ගොඩනැගිලි වල විදුලි ජනක යන්ත්‍ර සවිකිරීම සහ පවත්වාගෙන යෑම මේ ආයතනයේ කාර්යයන්ගෙන් එකක්... මේ ආයතනයට අළුතින් පත්වෙලා එන අංශ ප්‍රධානියාව පිළිගැනීමට නියමිතව තිබුණේ එලැඹෙන පළමු රාජකාරී දිනයේදීයි... ආයතනය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට රණවීර අංකල් සූදානම් කරලා තිබුණත් ආයතනයේ තාක්ෂණික අංශයේ හදවත බඳු වූ ප්‍රධානම මෙවලම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් රණවීර අංකල් මුහුණ දී තිබුනේ උභ‍තෝකෝටික ප්‍රශ්ණයකට... ඒ තමයි මේ විදුලි ජනක යන්ත්‍ර වල ඇතිවෙන දෝෂ හඳුනාගන්න තාක්ෂණික ශිල්පීන් භාවිතා කල ඇමෙරිකාවේ මව් ආයතනයෙන් ලබාදී තිබුණු පරිගණක වැඩසටහන බාරව සිටි ඉන්දියානු ජාතිකයාට හදිසි අවශ්‍යතාවක් නිසා තමන්ගේ මව් රටට යන්නට වීම...

ඔහු හැරෙන්න මේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති අයෙක් ආයතනයේ නොමැති වීමත්, පරිගණකය අරුමයක් වූ කාලයක තමන් පාවිච්චි කරණ අධි තාක්ෂණික මෙවලම් පෙන්නා අංශ ප්‍රධානියාව අමන්දානන්දයට පත්කිරීමට ඇති අනඟි අවස්ථාව කල් දැමීමට ඇති අකමැත්තත් නිසා රණවීර අංකල් වෙනත් විසඳුමක් හොයමින් සිටි අවස්ථාවකම වාගේ මාගේ පැරණි කර්මයක් පටිසන්දීමට හේතු කාරණා සකස් වුන නිසායි ඔහුට මේ ගමන එන්නට සිතක් පහල වුනේ...

මට පැවරෙන රාජකාරියේ හැටියට මට කරන්නට තියෙන්නේ මේ පිළිබඳව තරමක් හෝ දැන සිටි තවත් අයෙකුගේ උදව්වෙන් සති අන්තයේ මේ පරිගණක වැඩසටහන අධ්‍යනය කරලා ඊළඟ දිනයේ අංශ ප්‍රධානියාට ඇට්ටි හැලෙන්නට විස්තර කිරීමයි...

"ඇයි දෙයියනේ මාවම...?" 

මේ භාරදූර කර්තව්‍යයට මාවම පැටලීමට හේතුව කල්පනා කරද්දී මට මතක් වුණේ කලකට ඉහත දිනයකදී මම පරිගණක අංශයෙන් ඉදිරියට යන්නට කැමති බව රණවීර අංකල්ට පුරසාරම් දෙඩූ බවයි... ඒ හැරෙන්නට මට තබා මගේ හත්මුතු පරම්පාරාවේ කිසිවෙකුටවත් ඒ වනවිට පරිගණක දැනුමක් තිබුණේ නැහැ... පාසලේ තිබූ පරණ ලඩිය අතපතගා නොසිටින්නට මමත් හිටියේ අපේ ආදරණීය අත්තම්මාගේ බෝට්‍ටුවේමයි...

"මේක තමයි ට්‍රබ්ල් ශූටින් වලට පාවිච්චි කරන්නේ... මේන් පාර්ට් එක තියෙන්නේ ඔ‍ෆිස් එකේ... හෙට සංජය එක්ක ගියාම පුතාට ඒක බලන්න පුළුවන්..."

තමන්ගේ කාර් රථයෙන් එළියට ගත්ත ලැප් ටොප් එක ක්‍රියාත්මක කරන ගමන් රණවීර අංකල් කියද්දී මින් පෙර කවදාවත් දැක නැති මේ උපකරණය දෙසත් ඒ ගැන සියල්ල දන්නා තමන්ගේ පුතා ගැනත් මගේ අහිංසක අම්මාත් තාත්තාත් බලාගෙන හිටියේ පුදුමයෙන් සහ ආඩම්බරයකින්...

"අංකල් මේ මොකද්ද එස්ඕඑස් කියලා ඒගොල්ලන්ගෙම ඔපරේටින් සිස්ටම් එකක්ද කොහෙද... මම දන්නේ වින්ඩොස් කියලා එකක්නේ..." 

මින් පෙර කිසිදා දැක නැති පරිගණක තිරයක ඔබ මොබ යෑමට තතනමින් සිටි මම කියද්දී රණවීර අංකල් දුන් පිළිතුරෙන් මම වැටී ඇති අගාධයේ ගැඹුර ගැන තරමක අවබෝධයක් මට ලැබුණා...

" එස්ඕඑස්, වින්ඩෝස්, ඩොස් ඔය සේරම එකයිනේ පුතා... සේරම කම්පියුටර් තමයි... ඔයාට අල්ලගන්න පුළුවන් බලන්නකෝ..."

රණවීර අංකල් එහෙම කියද්දී තාත්තා හිස වනමින් ඒ කතාව අනුමත කලා... තවදුරටත් මේ ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් බව තේරුම් ගත්ත මම නිහඬ වුණේ හැකි උත්සාහයක් දරා මෙහි අගක් මුලක් අවබෝධකරගැනීමට හිත හදාගනිමින්…

පසු දින තමන් විසින් කල්තියාම බාරගත් ළමා නිවාසයකට දානයක් දීම පැවරී ඇති නිසා අපිත් සමඟ සම්බන්ධවීමට නොහැකි වීම ගැන කීප පාරක්ම සමාව ඉල්ලාසිටි රණවීර අංකල් පසු දින මාව ‍රැගෙන යෑමට සංජය නැමති සේවකයා එක්ක වාහනයක් එවන පොරොන්දුවක් සමඟින් සමුගත්තේ මගේ හැකියාවන් සහ අනාගතය ගැන අතිශෝක්තියකින් වර්ණනා කර අම්මාත් තාත්තාත් සිහින සාගරයක ගිල්වමින්...

තරමක් වෙලා ගත් උත්සාහයකින් පස්සේ යන්තම් මේ අටම්පහුර මොකද්ද යන්න ගැන තරමක අවබෝධයක් ලබාගන්න මට පුළුවන් වුණා… කෙටියෙන් පැහැදිලි කලොත් මගේ සීමිත දැනුමට වැටහුණු විදියට මේ වැඩසටහන සහිත ජංගම පරිගණකය විදුලි ජනක යන්ත්‍රයේ විශේෂිත පරිපථයකට සවිකල විට විදුලිජනක යන්ත්‍රයේ ඇති දෝෂ, අඩුපාඩු සහ වර්තමාන තත්වය පිළිබඳව බුද්ධිමත් දත්ත වාර්තාවක් ලබා දෙන්නට සමත් බව තැන්පත් වී තිබූ දත්ත වලින් මට තේරුම් ගියා... වෘත්තීය මට්ටමේ තාක්ෂණික ශිල්පියෙකුට තමන්ගේ කාර්යය මෙයින් ඉතාමත්ම පහසුවෙන බව ඒගැන දැනුමක් නැතිව වුණත් අවබෝධකරගන්න මට අපහසු වුණේ නැහැ... ගැටළුව වුණේ ඉන් එහාට තවකෙනෙකුට මේක උඩින් පල්ලෙන් හෝ විස්තර කරන්න තරම් විධිමත් අවබෝධයක් ලබාගන්න ක්‍රමයක් නැතිවීමයි... තැන් කිහිපයකම වැඩි විස්තර සඳහා අත් පොත බලන්න කියලා සඳහන් වුණත් මේ කියනා අත් පොතක් නම් මට හොයාගන්නට හැකිවුණේ නැහැ... හෙට දිනයේ උදෑසනින්ම මේ කියනා මහානර්ඝ අත් පොත සොයාගැනීම තමයි මගේ ප්‍රධාන ඉලක්කයක් වුණේ...

මේ සියල්ලටම වැඩියෙන් මගේ හිතට වද දුන්නු තවත් ගැටළුවක් තිබුණා... ඒ මම මිතුරන් දෙදෙනක් එක්ක 
හෙට දිනයේ තවත් බැරෑරුම් රාජකාරියක් යොදාගෙන තිබීම... අපේ කළණ මිතුරෙක් තමන්ට වඩා අවුරුදු  විස්සක් පමණ වැඩිමල් කාන්තාවක් එක්ක ඇතිකරගෙන තිබූ සීරියස් සම්බන්ධයක් නතර කිරීමට ඒ කාන්තාව හොඳින් හෝ නරකින් පෙළඹවීමට අපි මිතුරන් කීප දෙනෙක් යොදාගෙන තිබුණේත් මේ සති අන්තයමයි... එන්නට පොරොන්දු වූ මිතුරන් කීප දෙනෙක්ම අනුන්ගේ කුණුගොඩවල් වලට අත දැමීමට ඇති අකමැත්ත නිසාමදෝ අන්තිම මොහොතේ බොරු හේතු දක්වමින් මඟ ඇරීම නිසා අපි තිදෙනාම හිටියේ තරමක කේන්තියකින්... ඉතින් දැන් හෙට දිනයේ ඉතිරි දෙදෙනා තනිකරමින් මම මේ දෙන්නට යන නිදහසට කාරණයෙන් මමත් අනිත් එවුන්ගේ ගොඩට වැටෙන බව පැහැදිලි වුණ නිසා මට දැනුනේ ලොකු කණගා‍ටුවක්...

නිදි වර්ජිත රාත්‍රියක අපහසුවත් තුරුළු කරගෙන උදෑසනින්ම මම සංජය කියන සේවකයා එක්ක පිටත් වුණා...ආයතනයේ තවත් පැය කිහිපයක උත්සාහයකට පස්සේ හිතූ තරම් ප්‍රථිපලයක් ලබා ගන්නට බැරිව අපහසුවට පත්වෙලා හිටිය මම රණවීර අංකල් ඇමතුවේ මොන ලෝකයෙන් හෝ මේ අත්පොත සොයාගත යුතු බව පැහැදිලි වුණ නිසයි...

"අංකල් මේකේ ටෙක්නිකල් මැනුවල් එකක් තියෙනවා, අපිට ඒක හොයාගන්න බෑ... මේ මනුස්සයට කතාකරලා ඒක තියෙන තැන අහගන්න බැරිද...?"

මගේ ඉල්ලීමට එකඟ වුණු ඔහු දුරකථනය විසන්ධි කළේ මට සතු‍ටුදායක පිළිතුරක් දෙන පොරොන්දුව පිටයි... තවත් පැය දෙකකින් විතර අපි හමුවට දහදිය පෙරමින් රණවීර අංකල් දුවගෙන ආවේ සංයුක්ත තැටියකුත් අතින් අරගෙන...

"මේකද බලන්න පුතා... මේක මිනිහගේ බෝඩිමට ගෙනිහිල්ලා, මම දඟලලා දඟලලා තැන හොයාගෙන කොහොම හරි අරගත්තා..."

රණවීර අංකල් පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙන්... සංයුක්ත තැටි ජනප්‍රිය නැති ඒ කාලයේ නැවත සොයාගැනීමට ඇති අපහසුව නිසාම ඔහු ඒක වැඩි ආරක්ෂාවට නවාතැනට ගෙනයෑම තේරුම් ගත හැකියි...

රණවීර අංකල් ඉන්පසුව විස්තර කළ විදියට ඒ සඳහා ඔහුට ගෙවන්නට වුණු වන්දිය තරමක් විශාලයි... අන්තර්ජාතික දුරකථන ගාස්තු අද තරම් ලාභ දායී නොවූ ඒ කාලයේ කිහිපවරක්ම තම ඉන්දියානු සගයා ඇමතීම සඳහා සැලකිය යුතු තරම් මුදලකුත් දානය වේලාවේ අවශ්‍යම අවස්ථාවේදී ඉන් පිටවන්නට සිදු වීමත් ඒ අතරින් ප්‍රධානයි...

ඉන් අනතුරුව අපි තිදෙනාම ගත කරපු වෙහෙසකර නමුත් ඵලදායි පැය ගනණකින් පසු සතු‍ටුදායක මට්ටමකින් තත්වය පාලනය කරගැනීමට හැකි බවට මම සෑහීමකට පත්වුණා... 

පසු දිනයේ අපි බලාපොරොත්තු වුනු මොහොත උදාවුණා, අංශ ප්‍රධානියාව පසෙකින් වාඩි කරගත්ත මම මේ වැඩසටහන ගැන හැඳින්වීමක් සහ එහි ප්‍රයෝජනය ගැන කෙටියෙන් සඳහන් කිරීමෙන් පස්සේ එකින් එක තිරය ගෙන විස්තර කරන්නට පටන් ගත්තා... සියල්ල සතු‍ටුදායකව සිදුවෙන බව වටහාගත් රණවීට අංකල් අපි දෙදෙනාව පරිගණක කාමරයේ තනිකරලා එළියට ගියේ මහපට ඇඟිල්ල ඔසවලා මට සතුට ප්‍රකාශ කරමින්...

කතාවේ හොඳම හරිය එන්නේ ඉන් පසුවයි... පුරා පැයකට අධික කාලයක් මට හැකි උපරිම අයුරින් මෙය විස්තර කරන අතරේ මම උත්සාහාකලේ අංශ ප්‍රධානියාගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්නට...ඔහු මුහුණෙන් කිසිම හැඟීමක් ප්‍රකාශ නොකලා පමණක් නෙවෙයි මේ කාලය පුරාවටම අතරින් පතර හිස සලනවා ඇරෙන්නට මගෙන් එකම ප්‍රශ්ණයක් වත් ඇසුවේ නැහැ... මින් මම තේරුම් ගත්තේ එක්කෝ ඔහු මේ සියල්ල දන්නා බව හෝ ඔහුට කිසිත් වැටහෙන්නේ නැති බවයි... අවසානයේ මෙතෙක් වෙලා මම පැහැදිලි කළ සියල්ල විනාඩි කිහිපයින් සමාලෝචනය කිරීමෙන් පස්සේ මම ඒ භාරදූර කාර්යය අවසන් කලේ සැනසුම් සුසුමක් හෙලමින්...

"සර් එහෙනම් පොඩ්ඩක් එස්ප්ලොර් කරලා බලන්න..." 

ඔහුට අසුන භාර දුන්න මම මඳක් ඔබ්බෙන් පිහිටි පරිගණකයක් අසලට ගියේ ඔහුට කැමති දෙයක් කිරීමට ඉඩ හරිමින්...

මගේ ඉල්ලීමට අවනත වුණ ඔහු නිහඬවම පරිගණකය ඉදිරියේ වාඩි වුණා... ඔහුගේ තිබුණු මේ අද්භූත නිහැඬියාව මට ගෙනදුන්නේ තරමක අපහසුවක්... මම අත්පොත කටපාඩම් කරගෙන කියෙව්වා මිසක් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව ඔහුට වැටහෙන්නට ඇතිද යන්න දිගටම මගේ හිතට වද දුන්නා... ඔහුට හොරෙන් ඔහු පරිගණකයේ කරන්නේ මොකද්ද කියලා මම නිරීක්ෂණය කලේ මේ ඇති වුණු කුකුස නිසාමයි...

තරමක් වෙලා පරිගණක තිරයේ ඔබ මොබ නෙත යවමින් හිටි ඔහු ඉන්පසු කලේ මා හීනෙන්වත් නොසිතූ දෙයක්...

මූසිකපෑඩය මත ඇති මූසිකය තම දබර ඇඟිල්ලෙන් බියෙන් මෙන් සෙමින් තල්ලු කරපු ඔහු, ඒ චලනයට අනුරූපීව තිරයේ ඇති ඊතළය සෙලවෙන අයුරු උනන්දුවෙන් නීර්ක්ෂණය කලේ මහත් පුදුමයකින් ..!

~නිමි~

ප/ලි : 

මේ සිද්ධියේ කොතැන හරි ලොකු වැ‍රැද්දක් වෙලා තියෙන බව මට හිතෙනවා... තේරුමක් නැති වැඩක් වෙනුවෙන් අපි කීප දෙනෙක්ගෙම කාලය නාස්ති වුණෙත්, මගේ හොඳම මිතුරන් දෙන්නෙකුව අවශ්‍යයම වෙලාවක තනිකරන්න සිදු වුණෙත් රණවීර අංකල්ට දානේට ඉන්න බැරි වුනෙත් ඒ වැ‍රැද්ද නිසායි... ඒත් වැ‍රැද්ද කාගෙද කියන එක මට තාමත් පැහැදිලි නැහැ...

කෙටියෙන් ලියන්නම් කියලා හිතාගෙන ඉඳ ගත්තත් දන්නෙම නැතිව ගොඩක් ලියලා... වැරදුණු ගුරුකම කතාවෙන් පස්සේ කතාව කෑලි කඩන්නේ නෑ කියලා හිතාගත්ත නිසා දිගටම ලිව්වා... දෙබස් එහෙම ගොඩක් නැති නිසා දිගටම කියවන්න කම්මැලිද කියලත් බයක් හිතෙනවා... තාක්ෂණික කරුණු මොනවත් ලියන්නේ නැතිව කතාව කියන්න මම උත්සාහා කලෙත් මේ බය හින්දමයි...

රණවීර අංකල්ගේ ප්‍රධානියා විස්තර කරන විදියට මේ කතාවම ලියන්න මට ආසයි... ඒත් තවම ගොඩ පීනන නිසාද කොහෙද  පුද්ගලික අත්දැකීමක් කලවම් නොවුණු දෙයක් ලියන්න අපහසුයි... කියවූ ඔබට ස්තූතියි... නැවත මුණගැසෙන තුරු සුභ දවසක්...!

Tuesday, March 1, 2011

12. මහළු සොල්දාදුවා | The Old Soldier


Muammar al-Gaddafi,, during an interview yesterday... when he was asked whether he would run away from Libya...


ලේ වැකුණු රන් කාසි ආකර
දෙවියනුත් යට කර උනද්දී...
කල නොකල පව් එකින් එක
පෙලගැසී වන්දිය මිල කරද්දී...
සදාකාලික සිහින කිරුළක
මුතු පබළු ගිලිහී වැටෙද්දී...
ලෙයින් කඳුලින් පොඟවමින්
ගොඩනැගූ විජිතය සසල වෙද්දී...

මධුබඳුන් දෝතින් අරා
සව්දිය පිරූ උන් මඟ හරිද්දී...
පණ ගසා ආ සතුරු බලමුළු
එක් කඳවුරක රොද බඳිද්දී...
මරණයේ පණිවුඩ ‍රැගත්
දූතයන් නුදුරක අත වනද්දී...
සිනාසෙන්නට දෙතොල අවනත
මහළු නුඹ මට අරුමයක් මැයි..!
Web Statistics