Sunday, March 6, 2011

13. කන් පීතර ජිල් මාට්‍ටුව... | Computer Jilmart

310344750_3d77edb7b8


මේක පුංචි සරල සිදුවීමක්... බ්ලොග් අඩවියක දාන්න තරම් ලොකු දෙයක් නෙවෙයි... ඒත් ඒ සිදුවීම පිටිපස්සෙන් ගලාගෙන ගිය ලොකු කතාවක් තියෙන නිසාම, අකුරු කරන්නම් කියලා හිතුවා...

මතකය දිගේ ආපස්සට ගියොත් මේ සිදුවීම වෙනකොට මම උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත් අවදිය... වාහනයක් මිදුලේ නවත්තන සද්දය ඇහිලා විපරම් කරනකොට මම දැක්කේ තාත්තාගේ මිතුරෙක් වෙන රණේ හෙවත් අපි අමතන විදියට රණවීර අංකල් ගෙදරට ගොඩවෙන අයුරු... අපේ ගෙදරට සෑහෙන ඈතින් කොළඹ හරියට ළං වෙන්න පදිංචි වෙලා හිටි නිසා රණවීර අන්කල විශේෂ කාරණාවකට හැරෙන්න නිතර දෙවෙලේ අපේ ගෙදරට ගොඩ වදින කෙනෙක් නෙවෙයි... 

"කෝ මේ දස්සයා...?" කවදාවත් නැති ගරු සම්මානයකුත් එක්ක රණවීර අංකල් මාව හොයද්දී එනපොට හොඳ නැති බව මට අවබෝධ වෙමින් තිබ්බා...

තාත්තාගේ ආමන්ත්‍රණයෙන් විසිත්ත කාමරයට ගිය මට රණවීර අංකල් කියාගෙන ගියේ දුක් ගැනවිල්ලක්... සිද්ධිය සැකෙවින් මෙහෙමයි... රණවීර අංකල්  ‍රැකියාව කරන්නේ ලෝක ප්‍රසිද්ධ විදුලි ජනක යන්ත්‍ර ගෙන්වා බෙදා හරින ශ්‍රී ලාංකික නියෝජිතායතනයක කළමණාකාරවරයෙක් විදියට... ලංකාවේ ඇති ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා, ගොඩනැගිලි වල විදුලි ජනක යන්ත්‍ර සවිකිරීම සහ පවත්වාගෙන යෑම මේ ආයතනයේ කාර්යයන්ගෙන් එකක්... මේ ආයතනයට අළුතින් පත්වෙලා එන අංශ ප්‍රධානියාව පිළිගැනීමට නියමිතව තිබුණේ එලැඹෙන පළමු රාජකාරී දිනයේදීයි... ආයතනය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට රණවීර අංකල් සූදානම් කරලා තිබුණත් ආයතනයේ තාක්ෂණික අංශයේ හදවත බඳු වූ ප්‍රධානම මෙවලම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් රණවීර අංකල් මුහුණ දී තිබුනේ උභ‍තෝකෝටික ප්‍රශ්ණයකට... ඒ තමයි මේ විදුලි ජනක යන්ත්‍ර වල ඇතිවෙන දෝෂ හඳුනාගන්න තාක්ෂණික ශිල්පීන් භාවිතා කල ඇමෙරිකාවේ මව් ආයතනයෙන් ලබාදී තිබුණු පරිගණක වැඩසටහන බාරව සිටි ඉන්දියානු ජාතිකයාට හදිසි අවශ්‍යතාවක් නිසා තමන්ගේ මව් රටට යන්නට වීම...

ඔහු හැරෙන්න මේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති අයෙක් ආයතනයේ නොමැති වීමත්, පරිගණකය අරුමයක් වූ කාලයක තමන් පාවිච්චි කරණ අධි තාක්ෂණික මෙවලම් පෙන්නා අංශ ප්‍රධානියාව අමන්දානන්දයට පත්කිරීමට ඇති අනඟි අවස්ථාව කල් දැමීමට ඇති අකමැත්තත් නිසා රණවීර අංකල් වෙනත් විසඳුමක් හොයමින් සිටි අවස්ථාවකම වාගේ මාගේ පැරණි කර්මයක් පටිසන්දීමට හේතු කාරණා සකස් වුන නිසායි ඔහුට මේ ගමන එන්නට සිතක් පහල වුනේ...

මට පැවරෙන රාජකාරියේ හැටියට මට කරන්නට තියෙන්නේ මේ පිළිබඳව තරමක් හෝ දැන සිටි තවත් අයෙකුගේ උදව්වෙන් සති අන්තයේ මේ පරිගණක වැඩසටහන අධ්‍යනය කරලා ඊළඟ දිනයේ අංශ ප්‍රධානියාට ඇට්ටි හැලෙන්නට විස්තර කිරීමයි...

"ඇයි දෙයියනේ මාවම...?" 

මේ භාරදූර කර්තව්‍යයට මාවම පැටලීමට හේතුව කල්පනා කරද්දී මට මතක් වුණේ කලකට ඉහත දිනයකදී මම පරිගණක අංශයෙන් ඉදිරියට යන්නට කැමති බව රණවීර අංකල්ට පුරසාරම් දෙඩූ බවයි... ඒ හැරෙන්නට මට තබා මගේ හත්මුතු පරම්පාරාවේ කිසිවෙකුටවත් ඒ වනවිට පරිගණක දැනුමක් තිබුණේ නැහැ... පාසලේ තිබූ පරණ ලඩිය අතපතගා නොසිටින්නට මමත් හිටියේ අපේ ආදරණීය අත්තම්මාගේ බෝට්‍ටුවේමයි...

"මේක තමයි ට්‍රබ්ල් ශූටින් වලට පාවිච්චි කරන්නේ... මේන් පාර්ට් එක තියෙන්නේ ඔ‍ෆිස් එකේ... හෙට සංජය එක්ක ගියාම පුතාට ඒක බලන්න පුළුවන්..."

තමන්ගේ කාර් රථයෙන් එළියට ගත්ත ලැප් ටොප් එක ක්‍රියාත්මක කරන ගමන් රණවීර අංකල් කියද්දී මින් පෙර කවදාවත් දැක නැති මේ උපකරණය දෙසත් ඒ ගැන සියල්ල දන්නා තමන්ගේ පුතා ගැනත් මගේ අහිංසක අම්මාත් තාත්තාත් බලාගෙන හිටියේ පුදුමයෙන් සහ ආඩම්බරයකින්...

"අංකල් මේ මොකද්ද එස්ඕඑස් කියලා ඒගොල්ලන්ගෙම ඔපරේටින් සිස්ටම් එකක්ද කොහෙද... මම දන්නේ වින්ඩොස් කියලා එකක්නේ..." 

මින් පෙර කිසිදා දැක නැති පරිගණක තිරයක ඔබ මොබ යෑමට තතනමින් සිටි මම කියද්දී රණවීර අංකල් දුන් පිළිතුරෙන් මම වැටී ඇති අගාධයේ ගැඹුර ගැන තරමක අවබෝධයක් මට ලැබුණා...

" එස්ඕඑස්, වින්ඩෝස්, ඩොස් ඔය සේරම එකයිනේ පුතා... සේරම කම්පියුටර් තමයි... ඔයාට අල්ලගන්න පුළුවන් බලන්නකෝ..."

රණවීර අංකල් එහෙම කියද්දී තාත්තා හිස වනමින් ඒ කතාව අනුමත කලා... තවදුරටත් මේ ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් බව තේරුම් ගත්ත මම නිහඬ වුණේ හැකි උත්සාහයක් දරා මෙහි අගක් මුලක් අවබෝධකරගැනීමට හිත හදාගනිමින්…

පසු දින තමන් විසින් කල්තියාම බාරගත් ළමා නිවාසයකට දානයක් දීම පැවරී ඇති නිසා අපිත් සමඟ සම්බන්ධවීමට නොහැකි වීම ගැන කීප පාරක්ම සමාව ඉල්ලාසිටි රණවීර අංකල් පසු දින මාව ‍රැගෙන යෑමට සංජය නැමති සේවකයා එක්ක වාහනයක් එවන පොරොන්දුවක් සමඟින් සමුගත්තේ මගේ හැකියාවන් සහ අනාගතය ගැන අතිශෝක්තියකින් වර්ණනා කර අම්මාත් තාත්තාත් සිහින සාගරයක ගිල්වමින්...

තරමක් වෙලා ගත් උත්සාහයකින් පස්සේ යන්තම් මේ අටම්පහුර මොකද්ද යන්න ගැන තරමක අවබෝධයක් ලබාගන්න මට පුළුවන් වුණා… කෙටියෙන් පැහැදිලි කලොත් මගේ සීමිත දැනුමට වැටහුණු විදියට මේ වැඩසටහන සහිත ජංගම පරිගණකය විදුලි ජනක යන්ත්‍රයේ විශේෂිත පරිපථයකට සවිකල විට විදුලිජනක යන්ත්‍රයේ ඇති දෝෂ, අඩුපාඩු සහ වර්තමාන තත්වය පිළිබඳව බුද්ධිමත් දත්ත වාර්තාවක් ලබා දෙන්නට සමත් බව තැන්පත් වී තිබූ දත්ත වලින් මට තේරුම් ගියා... වෘත්තීය මට්ටමේ තාක්ෂණික ශිල්පියෙකුට තමන්ගේ කාර්යය මෙයින් ඉතාමත්ම පහසුවෙන බව ඒගැන දැනුමක් නැතිව වුණත් අවබෝධකරගන්න මට අපහසු වුණේ නැහැ... ගැටළුව වුණේ ඉන් එහාට තවකෙනෙකුට මේක උඩින් පල්ලෙන් හෝ විස්තර කරන්න තරම් විධිමත් අවබෝධයක් ලබාගන්න ක්‍රමයක් නැතිවීමයි... තැන් කිහිපයකම වැඩි විස්තර සඳහා අත් පොත බලන්න කියලා සඳහන් වුණත් මේ කියනා අත් පොතක් නම් මට හොයාගන්නට හැකිවුණේ නැහැ... හෙට දිනයේ උදෑසනින්ම මේ කියනා මහානර්ඝ අත් පොත සොයාගැනීම තමයි මගේ ප්‍රධාන ඉලක්කයක් වුණේ...

මේ සියල්ලටම වැඩියෙන් මගේ හිතට වද දුන්නු තවත් ගැටළුවක් තිබුණා... ඒ මම මිතුරන් දෙදෙනක් එක්ක 
හෙට දිනයේ තවත් බැරෑරුම් රාජකාරියක් යොදාගෙන තිබීම... අපේ කළණ මිතුරෙක් තමන්ට වඩා අවුරුදු  විස්සක් පමණ වැඩිමල් කාන්තාවක් එක්ක ඇතිකරගෙන තිබූ සීරියස් සම්බන්ධයක් නතර කිරීමට ඒ කාන්තාව හොඳින් හෝ නරකින් පෙළඹවීමට අපි මිතුරන් කීප දෙනෙක් යොදාගෙන තිබුණේත් මේ සති අන්තයමයි... එන්නට පොරොන්දු වූ මිතුරන් කීප දෙනෙක්ම අනුන්ගේ කුණුගොඩවල් වලට අත දැමීමට ඇති අකමැත්ත නිසාමදෝ අන්තිම මොහොතේ බොරු හේතු දක්වමින් මඟ ඇරීම නිසා අපි තිදෙනාම හිටියේ තරමක කේන්තියකින්... ඉතින් දැන් හෙට දිනයේ ඉතිරි දෙදෙනා තනිකරමින් මම මේ දෙන්නට යන නිදහසට කාරණයෙන් මමත් අනිත් එවුන්ගේ ගොඩට වැටෙන බව පැහැදිලි වුණ නිසා මට දැනුනේ ලොකු කණගා‍ටුවක්...

නිදි වර්ජිත රාත්‍රියක අපහසුවත් තුරුළු කරගෙන උදෑසනින්ම මම සංජය කියන සේවකයා එක්ක පිටත් වුණා...ආයතනයේ තවත් පැය කිහිපයක උත්සාහයකට පස්සේ හිතූ තරම් ප්‍රථිපලයක් ලබා ගන්නට බැරිව අපහසුවට පත්වෙලා හිටිය මම රණවීර අංකල් ඇමතුවේ මොන ලෝකයෙන් හෝ මේ අත්පොත සොයාගත යුතු බව පැහැදිලි වුණ නිසයි...

"අංකල් මේකේ ටෙක්නිකල් මැනුවල් එකක් තියෙනවා, අපිට ඒක හොයාගන්න බෑ... මේ මනුස්සයට කතාකරලා ඒක තියෙන තැන අහගන්න බැරිද...?"

මගේ ඉල්ලීමට එකඟ වුණු ඔහු දුරකථනය විසන්ධි කළේ මට සතු‍ටුදායක පිළිතුරක් දෙන පොරොන්දුව පිටයි... තවත් පැය දෙකකින් විතර අපි හමුවට දහදිය පෙරමින් රණවීර අංකල් දුවගෙන ආවේ සංයුක්ත තැටියකුත් අතින් අරගෙන...

"මේකද බලන්න පුතා... මේක මිනිහගේ බෝඩිමට ගෙනිහිල්ලා, මම දඟලලා දඟලලා තැන හොයාගෙන කොහොම හරි අරගත්තා..."

රණවීර අංකල් පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙන්... සංයුක්ත තැටි ජනප්‍රිය නැති ඒ කාලයේ නැවත සොයාගැනීමට ඇති අපහසුව නිසාම ඔහු ඒක වැඩි ආරක්ෂාවට නවාතැනට ගෙනයෑම තේරුම් ගත හැකියි...

රණවීර අංකල් ඉන්පසුව විස්තර කළ විදියට ඒ සඳහා ඔහුට ගෙවන්නට වුණු වන්දිය තරමක් විශාලයි... අන්තර්ජාතික දුරකථන ගාස්තු අද තරම් ලාභ දායී නොවූ ඒ කාලයේ කිහිපවරක්ම තම ඉන්දියානු සගයා ඇමතීම සඳහා සැලකිය යුතු තරම් මුදලකුත් දානය වේලාවේ අවශ්‍යම අවස්ථාවේදී ඉන් පිටවන්නට සිදු වීමත් ඒ අතරින් ප්‍රධානයි...

ඉන් අනතුරුව අපි තිදෙනාම ගත කරපු වෙහෙසකර නමුත් ඵලදායි පැය ගනණකින් පසු සතු‍ටුදායක මට්ටමකින් තත්වය පාලනය කරගැනීමට හැකි බවට මම සෑහීමකට පත්වුණා... 

පසු දිනයේ අපි බලාපොරොත්තු වුනු මොහොත උදාවුණා, අංශ ප්‍රධානියාව පසෙකින් වාඩි කරගත්ත මම මේ වැඩසටහන ගැන හැඳින්වීමක් සහ එහි ප්‍රයෝජනය ගැන කෙටියෙන් සඳහන් කිරීමෙන් පස්සේ එකින් එක තිරය ගෙන විස්තර කරන්නට පටන් ගත්තා... සියල්ල සතු‍ටුදායකව සිදුවෙන බව වටහාගත් රණවීට අංකල් අපි දෙදෙනාව පරිගණක කාමරයේ තනිකරලා එළියට ගියේ මහපට ඇඟිල්ල ඔසවලා මට සතුට ප්‍රකාශ කරමින්...

කතාවේ හොඳම හරිය එන්නේ ඉන් පසුවයි... පුරා පැයකට අධික කාලයක් මට හැකි උපරිම අයුරින් මෙය විස්තර කරන අතරේ මම උත්සාහාකලේ අංශ ප්‍රධානියාගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්නට...ඔහු මුහුණෙන් කිසිම හැඟීමක් ප්‍රකාශ නොකලා පමණක් නෙවෙයි මේ කාලය පුරාවටම අතරින් පතර හිස සලනවා ඇරෙන්නට මගෙන් එකම ප්‍රශ්ණයක් වත් ඇසුවේ නැහැ... මින් මම තේරුම් ගත්තේ එක්කෝ ඔහු මේ සියල්ල දන්නා බව හෝ ඔහුට කිසිත් වැටහෙන්නේ නැති බවයි... අවසානයේ මෙතෙක් වෙලා මම පැහැදිලි කළ සියල්ල විනාඩි කිහිපයින් සමාලෝචනය කිරීමෙන් පස්සේ මම ඒ භාරදූර කාර්යය අවසන් කලේ සැනසුම් සුසුමක් හෙලමින්...

"සර් එහෙනම් පොඩ්ඩක් එස්ප්ලොර් කරලා බලන්න..." 

ඔහුට අසුන භාර දුන්න මම මඳක් ඔබ්බෙන් පිහිටි පරිගණකයක් අසලට ගියේ ඔහුට කැමති දෙයක් කිරීමට ඉඩ හරිමින්...

මගේ ඉල්ලීමට අවනත වුණ ඔහු නිහඬවම පරිගණකය ඉදිරියේ වාඩි වුණා... ඔහුගේ තිබුණු මේ අද්භූත නිහැඬියාව මට ගෙනදුන්නේ තරමක අපහසුවක්... මම අත්පොත කටපාඩම් කරගෙන කියෙව්වා මිසක් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව ඔහුට වැටහෙන්නට ඇතිද යන්න දිගටම මගේ හිතට වද දුන්නා... ඔහුට හොරෙන් ඔහු පරිගණකයේ කරන්නේ මොකද්ද කියලා මම නිරීක්ෂණය කලේ මේ ඇති වුණු කුකුස නිසාමයි...

තරමක් වෙලා පරිගණක තිරයේ ඔබ මොබ නෙත යවමින් හිටි ඔහු ඉන්පසු කලේ මා හීනෙන්වත් නොසිතූ දෙයක්...

මූසිකපෑඩය මත ඇති මූසිකය තම දබර ඇඟිල්ලෙන් බියෙන් මෙන් සෙමින් තල්ලු කරපු ඔහු, ඒ චලනයට අනුරූපීව තිරයේ ඇති ඊතළය සෙලවෙන අයුරු උනන්දුවෙන් නීර්ක්ෂණය කලේ මහත් පුදුමයකින් ..!

~නිමි~

ප/ලි : 

මේ සිද්ධියේ කොතැන හරි ලොකු වැ‍රැද්දක් වෙලා තියෙන බව මට හිතෙනවා... තේරුමක් නැති වැඩක් වෙනුවෙන් අපි කීප දෙනෙක්ගෙම කාලය නාස්ති වුණෙත්, මගේ හොඳම මිතුරන් දෙන්නෙකුව අවශ්‍යයම වෙලාවක තනිකරන්න සිදු වුණෙත් රණවීර අංකල්ට දානේට ඉන්න බැරි වුනෙත් ඒ වැ‍රැද්ද නිසායි... ඒත් වැ‍රැද්ද කාගෙද කියන එක මට තාමත් පැහැදිලි නැහැ...

කෙටියෙන් ලියන්නම් කියලා හිතාගෙන ඉඳ ගත්තත් දන්නෙම නැතිව ගොඩක් ලියලා... වැරදුණු ගුරුකම කතාවෙන් පස්සේ කතාව කෑලි කඩන්නේ නෑ කියලා හිතාගත්ත නිසා දිගටම ලිව්වා... දෙබස් එහෙම ගොඩක් නැති නිසා දිගටම කියවන්න කම්මැලිද කියලත් බයක් හිතෙනවා... තාක්ෂණික කරුණු මොනවත් ලියන්නේ නැතිව කතාව කියන්න මම උත්සාහා කලෙත් මේ බය හින්දමයි...

රණවීර අංකල්ගේ ප්‍රධානියා විස්තර කරන විදියට මේ කතාවම ලියන්න මට ආසයි... ඒත් තවම ගොඩ පීනන නිසාද කොහෙද  පුද්ගලික අත්දැකීමක් කලවම් නොවුණු දෙයක් ලියන්න අපහසුයි... කියවූ ඔබට ස්තූතියි... නැවත මුණගැසෙන තුරු සුභ දවසක්...!

14 comments :

  1. එ කියන්නේ මේ මනුස්සයා මුකුත් දන්නේ නැද්ද ඔය විශය සම්බන්දව...

    ReplyDelete
  2. සරලව බැළුවාම විහිළුවක් වගේ පෙනුනත්..ඕක ඉතිං තාක්ෂණයේ වේගවත් පෙරළිය යුග දෙකක් අතර දෝලනය වෙන අවධියක ඒ වෙනසට සූදානම් වෙන්න බැරි උන අහිංසකයෙකුගේ කතාවක්..

    ඔතන තියෙන දේම තමයි රණවීර අංකල් උනත් ඒගොඩේම තමයි..ඔවුන් එයට හුරුවීමට වඩා ඉතිරව ඇතැයි කියි හිතන දින කිහිපය ඔබ වැනිම කාගෙන් හෝ උදව් මත ෂේප් එකේ කරගෙන ගොස් ඉක්මනට විශ්‍රාම යෑම වගේ විකල්පයක් තෝරා ගැනීම..එහෙම නැතිව මේක ඉගෙන ගන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ බොහෝම අඩුවෙන්..
    ඇත්තටම සමහර විට පුළුවන් වෙන්නත් පුළුවන් බැරිවෙන්නත් පුළුවන්..ඒත් උත්සහයක්වත් ගැනීමට හිත හදා ගන්නත් අමාරුයි ඒ වගේ අයට වෙලාවකට...

    එක පාරක් ‍ලංකාවේ ප්‍රධානම බැංකුවක ශාඛාවකදී ඔය වැනි නිලධාරිනියක් සෑහෙන අමාරුවක වැටුනා මං බැංකුවට ගිය අවස්ථාවක පස්සේ මම උදව් කරන්නද කියලා අහලා පරිගණකයෙන් කරන්න තිබුනු දේ කරලා දීලා ඒ ගැටළුව මට තේරෙන තරමට විසදාගන්න හැටිත් කියා දීලා ආවා..
    ඇත්තටම ඇය ඒ දේ ආසාවෙන් ඉගෙන ගත්තා මං කියා දීපු විදියට..නමුත් මට තේරුන දෙයක් තමා ඇය ආයතනයේ පහල මට්ටමේ සේවකයින්ගෙන් ඒ පාඩම ඉගෙන ගන්න ලෑස්ති නැහැ කියලා..මං පිටස්තරයෙක් උන හින්දා සහ ඇයගේ තනතුර පිළිබඳව මගේ අමුතු ගෞරවයක් නැති බව ඇය දන්නා නිසාම එයට එකග උනා...
    ඔය දේ අද වෙනවා රාජ්‍ය අංශය තුලත්..මොන තරම් පුහුණු වැඩ සටහන් තිබ්බා උනත්...
    ඒවායේදී හෑල්ලුවට ලක්වෙන්න වෙයි කියන කාරණාවට බොහෝ නිලධාරීන් කැමති නැහැ.
    මං කියාපු දේ මාතෘකාවෙන් පිට ගියාද මංදා..ඒත් මොකෝ..නැද්ද?

    ReplyDelete
  3. මුල සිට අගටම මුළු ලිපියම එක හුස්මට කියවගෙන ගියා. වර්ථමානයේදීත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනවා. බොහෝ විට උසස් නිළධාරීන්ට පරිඝණකයෙන් හෝ වෙන යම් තාක්ෂණයක් මගින් ලබා ගත හැකි ඵල ප්‍රයෝජන ගැන නිසි අවබෝධයක් නැහැ වගේම තමන් නොදන්නා බව හැගවීමටත් ඔවුන් සූදානම් නැහැ. මාරයාගේ කමෙන්ට් එකෙනුත් තවත් එක් පැති කඩක් මනාව පෙන්නුම් කරලා තිබෙනවා. මමත් පෞද්ගලිකව ඔවැනි සිද්දීන් වලට මුහුණ පාලා තිබෙනවා. ගොඩක් හොද ලිපියක්.

    ReplyDelete
  4. අපූරු සටහනක්. මමත් මේ වගේම නොවුණත් රාජකාරි ජීවිතේදි මෙහෙම අවස්ථා ගොඩකට මුහුණ දීල තියෙනව. කොම්පියුටරයක් අල්ලන්නත් බය කට්ටියට ඔෆිස් පැකේජ් ගැන කියල දෙන්න සිදුවීම වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. මෑතකදි මම සහභාගි වුණ පුහුණු වැඩමුළුවකදි එක යන්ත්‍රයක අදාල මෘදුකාංගයෙන් දුන්න පණිවුඩය නියමාකාරයෙන් තේරුම්ගන්න බැරිවීම නිසා උගන්වපු ගුරුවරය දුන්න උපදේසෙ තමයි "ඔය පෙට්ටිය වගේ එකේ බල්බ් පත්තු වෙන තැන තියෙන බොත්තම ඔබාගෙන හිටියම ආයෙ මුළට යනවා" කියන එක!

    ReplyDelete
  5. මචන් උබේ අලුත් ලිපියක් බලන්න මම බ්‍රහස්පතින්දා ඉදන් උබේ බ්ලොග් එකට ආව. මාර අවුලකින් තමා බලාපොරුත්තු කඩ කරගනිමින් පිව ගියේ. හැබැයි කොල්ලා මේ කතාවෙ නම් මට අරුමයක් නෑ. තරහ වෙන්න එප. මට රසවිදින්න බැරි කමද මන්දා?

    ශාන් - බුමුතුරුනු

    ReplyDelete
  6. අපි මේකට නම දාමු 'පරිගණක භීතිකාව' කියලා. මේක ගොඩක් රජයේ කාර්යාලවල තියෙනවා.

    සමහරවිට පරිගණකය යම් අයෙකුට බාර දෙන්නේ ගොඩක් බැදීම් ඇති කරලා. 'මේකේ සම්පූර්ණ වගකීම තමුන්ට' කියලා .ලියුමකුත් ගහලා.

    එතකොට ඒක තවත් එක විසිතුරු භාණ්ඩයක් වගේ මේසේ උඩ තියෙනවා. මොකෝ කැඩුනොත් භාරගතුතු මිනිහා ගස්. එයා ඒ නිසා කවුරු හරි වැඩ කරන්ට පරිගණකය ගත්තම කියන්නේ 'මොනව හරි වුනොත් මම එහෙම නෙවේ' කියලා.

    ඔය කීව ලොක්කටත් පරිගණකය මෙවලමක් නෙවෙයි. භීතිකාවක්

    ReplyDelete
  7. @නිම්ශා,

    සමහරවිට GUI තියෙන කම්පියුටර් එකක් දැක්ක පලවෙනි වතාව වෙන්නත් ඇති, ඒක විතරක් නෙවෙයි මට කියන්න ඔනේ වුණේ සමහරවිට අපි ලොකු කැපකීරිමක් කරන දේවල් අන්තිමට පුස්සක් වෙලා යන්නේ බලාපොරොත්තු නොවුන විදියට...


    @මාරයා,

    වෙනදා වගේම ලස්සන පසු වදනට ස්තූතියි, ඇත්තටම තාක්ෂණයේ ක්ෂණික දියුණුව හින්දා ගොඩ ගිය අය වගේම නන්නතාර වුන අයත් එමටයි... වෙනස්වෙන්න බැරිකෙනාව තනිකරලා අනිත් අය ඉස්සරහට යනවා...

    ReplyDelete
  8. @Kenny,
    අදහස් වලට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  9. @ශාන්
    උඹගේ අවංක අදහසට ස්තූතියි... කොහෙන්දෝ මතුවුණ ලියන්න තියෙන ආසාව හින්දත් මිනිස්සු ඒක කියවලා දෙන ප්‍රතිචාර වලට ලෝබකම හින්දත් ලියනවා මිසක්, බ්ලොග් එකක් කරන්න තරම් ඉස්පාසුවක් නෑ මචං... සමාන්‍යයෙන් මම පෝස්ට් එකක් ලියන්නේ සති අන්තේ, හැම සෙනසුරාදාම බ්ලොග් එක අප්ඩේට් කරනවා කියලා හිතාගෙන ඉන්නේ... ගෙදර සෙට් වෙන වැඩ අනුව සමහරවිට දවස් එහේ මෙහේ වෙන වෙලාවල් තියෙනවා... බලාපොරොත්තු කඩකලාට සමාවෙන්න මචං... ඊළඟ පෝස්ට් එක උඹ බලාපොරොත්තු වෙන කොලිටි එකෙන් ලියන්න ලැබේවා කියලා අපි දෙන්නම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු...

    @විකී
    ඇත්ත තමයි, සමහර ගෙවල් වලත් වටින බඩු එහෙම රෙදි දාලා වහලා තියෙන්නේ... මේ අදහස අදම ලස්සනටම ලියලා තියෙනවා කතන්දර, මෙතනින් කියවන්න පුළුවන්...

    ReplyDelete
  10. @hare :-)
    අදහස් වලට ගොඩාක් ස්තූතියි...

    ඔන්න පුහුණු වැඩමුළුවක් කියද්දී මතක් වුණේ, මම සහභාගී වුණ පරිගණක පුහුණු වැඩමුළුවක ගුරුවරයාට යොමුවුණ ප්‍රශ්ණ දෙකක් තමයි මේ ;

    1. ස්ක්‍රීන් සේවර් එකට ඒ නම කියන්නේ ඇයි...? එකෙන් කොහොමද ස්ක්‍රීන් එක සේව් වෙන්නේ..?

    2. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති "වින්ඩෝස්" කියලා නම් කරන්න විශේෂ හේතුවක් තියෙනවද...?

    ඔන්න අලුතෙන් මේක කියවන "ගීක්" කෙනෙක් උත්තර දාන්න බලන්න...

    ReplyDelete
  11. ඔය පරිඝනක භීතිකාව අපේ තාත්තටත් තියනව. මුල්ම පරිගනක පාඩම දුන්න දවසෙ වරුවක්ම මඩුස් මූව්මන්ට් තේරුම්ගන්න ගියා. ඒ අයගෙ මනස හුරුවෙලා තිබුනෙ කඩදාසි පෑන් එක්ක හරඹ කරන්න නිසා පරිගනකයට හුරු වෙන්න හරිම අපහසු කටයුත්තක්. අනික ඇතැම් විටෙක තමන්ට බෑ කියනදේ පිළිගන්න තියන අකමැත්තත් ඔතනදි හරස් වෙනව. ඒත් වර්තමානයේ අවුරුද්දක් වත් වයස නැති පොඩි වුන් පරිගනකයත් එක්ක සුහද සම්භන්දකම් පවත්වනව.

    ReplyDelete
  12. මටනම් පේන්නෙ මේක කොම්පූටර් ජිල්මාර්ට් නිසා අල වෙච්ච පොරකගෙ සීන් එකක් විදියට නෙවේ..එක්තරා විදියක මම තමා පොර කියල හිතන විධායක මහත්තයෙක් ගෙ නිරුවත හෙලිවීමක් කියල...මොකද මේ වගේ අය තාම ඉන්නව..

    ReplyDelete
  13. @ Beetle :
    ස්ක්‍රීන් සේවර් කියන්නේ තිර සුරැකුම. ඒ කියන්නේ පරිණකයේ තිරය ආරක්ෂා කරනවයි කියලා නොවැ. වර්තමානයට ඔය සේවර් කථාව අදාල නෑ තමයි. මොකද දැන් තියෙන LCD වල පිච්චෙන්න ෆොස්පරස් නෑ නොවැ.

    වින්ඩෝස් කියන්නේ කව්ළුව. GUI ආපු දවස්වලම ආපු යෙදුමක් මම හිතන්නේ. කොරන කොරන හැම වැඩකටම කවුළු විවෘත වෙන නිසා OS එකත් වින්ඩෝස් වෙන්නැති.

    ඔය ඉතින් මම දන්න විදිය තමයි.

    ReplyDelete
  14. මම දන්න විදියට ඔයා දන්න විදිය හරි තමයි.. :)

    ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි..

    ReplyDelete

Web Statistics