කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයන්ගෙන් කෙනෙක් වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ මිල්රෝයි අයියායි... ගමේ අනෙකෙකු යෑමට සිතන්නටත් බිය තැන්වල ඔහු පිණුම් ගැසුවේය... ඔහු විදුලිය ඇති රැහැනක් විදුලිය විසන්ධි නොකරම අළුත්වැඩියා කරන අයුරු කට ඇරගෙන බලාසිටි මම පසුව එය වැඩිහිටියෙකුට විස්තර කල විට;
"ඕක වීරකමක්ද..? ඔය මෝඩයා කවදා හරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතර වෙන්නේ..." යැයි අවඥාවෙන් සිනාසෙද්දී මම සිතින් විස්සෝප වීමි...
දිනක් ගමෙහි අලියෙක් කුලප්පු වී ගැමියෝ හිස් ලූ ලූ අත දිව යද්දී අලියා සිටි පැත්තට තම බරවා කකුල අද්දමින් දිවගියේ මිල්රෝයි අයියා පමණි... අසුරු සැනින් ඔහු පස්සෙන් දුවන්නට වැටුණු මගේ කණ හරහා වැදුණු පහරක් සමඟින්;
"මෝඩයෝ..! මැරෙන්නද හදන්නේ... මෙන්න මෙහේ එනවා..." යැයි අයියා මා වළකද්දී රිදුම් දෙන කන අතගාමින් නතරවුනු මම මිල්රෝයි අයියාට කරදරයක් වන්නට එපා යැයි සිතින් ප්‍රාර්ථනා කළෙමි...
කලක් ගතවී ඔහු හා කුළුපග වූ පසු මා වඩාත්ම ප්‍රිය කල දෙයක් වූයේ කලාතුරකින් ඔහු විස්තර කරන, තම කකුලට බරවා සෑදීමට පෙර ඔහු කල ක්‍රියාකාරකම් පිළිබඳව අසා සිටීමටයි... පොලිතීසියෙකු ලඟ වැඩ කරන සමයේ රාත්‍රියේ හරක් හොරකමේ යද්දී කිලෝ ගණනක් බරැති හරකෙකු තත්පර කිහිපයකින් ලොරියට දමාගන්නා උපක්‍රමය ඔහු විස්තර කරද්දී ඔහු කෙතරම් පහත් මිනිසෙක්දැයි මට කිසිදින නොසිතුණි... එය මා මල්ලීට විස්තර කරන අයුරු අහම්බෙන් අසාසිටි අම්මා මිල්රෝයි අයියාට සාප කරමින් මා ඔහු හා සමාගමයට ඇති සියළු මං ඇවිරීමට නොගත් උත්සාහයක් නැති...
ගමේ ඉඳහිට හරකෙකු නැති වූ අවස්ථාවක මිල්රෝයි අයියා අතමිට හිඟ වූ විට හරක් හොරකම් කර විකුණනවා යැයි චෝදනා කරමින්, අයිතිකරුවා සිතේ වේදනාව නැතිවන තුරු තැන තැන ඔහුට බැන වදින අයුරු විටෙක මා කණගාටුවෙන් බලාසිටිමි... සැබැවින්ම මිල්රෝයි අයියා එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...
දිනෙක මිල්රෝයි අයියා නො එන ගමන් ගියේය... ඒ සිදුවීම මා හද කෙතරම් සසළ කලේද යත් ජීවිතයේ කිසිදින පද හතරක් වත් ලියා නොතිබූ මා කෙටි කතාවක් ලිවීමට පෙළඹීය... සිතේ ඇති පාළුව මගහරවා ගැනීමටදෝ කුරුටු ගෑ ඒ වියමන පළකරවා ගැනීමට මගේය කියා බ්ලොග් අඩවියක්වත්, තැනක්වත් නොතිබුණි...
ඒ සිංහල බ්ලොග් අවකාශයේ ටැබූ පිණුම් ගසමින් සිටි අවදියයි... වැඩිම පාඨක පිරිසක් අල්ලා ගැනීමේ ආත්මාර්ථකාමී අරමුණෙන් මා ඔහු හමුවීමි...
"එච්චර සාර්ථක කතාවක් නෙමෙයි... ඒත් මම මේක දාන්නම්… දවස් දෙක තුනක් දෙන්න..." ඔහුගේ කෙටි පිළිතුර විය... දින කීපයක ඇවෑමෙන් හද්දා පිටිසර ගම්මානයක ඉපිද මියගිය මිල්රෝයි අයියා ගැන ලෝකයේ ඈත කොනේ ජීවත්වන්නවුන්ද දැනගන්නා අයුරු මා සතුටින් බලා සිටියෙමි...
ටැබූ විසින් නිදි නැති රාත්‍රීන් ගණනාවක් වෙහෙස වෙමින් ඔහු නෙලා ගත් පාඨක අස්වැන්න මාගේ අහිංසක බලාපොරොත්තුවක් වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඔහු තිළිණ කලේය..මා දන්නා පරිදි ටැබූ සබ්ජෙක්ට්ස් අඩවියේ පලමු වරට පාඨක නිර්මාණයකට පාර කැපුනේ එසේය...
ටැබූ විසින් නිදි නැති රාත්‍රීන් ගණනාවක් වෙහෙස වෙමින් ඔහු නෙලා ගත් පාඨක අස්වැන්න මාගේ අහිංසක බලාපොරොත්තුවක් වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඔහු තිළිණ කලේය..මා දන්නා පරිදි ටැබූ සබ්ජෙක්ට්ස් අඩවියේ පලමු වරට පාඨක නිර්මාණයකට පාර කැපුනේ එසේය...
එය පලවී තිබෙනු දැකීමෙන් ලද කියා නිමකල නොහැකි සතුටටත් පාඨක ප්‍රතිචාර වලිනුත් අමන්දාන්නදයට පත්වූ මා කිසිදා බලාපොරොත්තු නොවූ විනෝදාංශයකට නොදැනුවත්වම ඇදී යමින් සිටියෙමි...
ඒ මා දෙවනි නිර්මාණය නිමා කල දිනයයි...
"ස්විම් (ටැබූ යනු එක් අයෙක් නොවේ යැයි විශ්වාසකල නිසාදෝ මා ඔහු ඇමතුවේ මේ නමිනි) මෙන්න මම ලියපු දෙවෙනි කතාව... මට ආසයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න..."
මා සිත පිළිසිඳගත් ආසාව මා ඔහුට පැවසීමි...
"කතාව හොඳයි... මට මේක දාන එක ප්‍රශ්ණයක් නෙමෙයි... ඒත් තනියම බ්ලොග් එකක් කරන්න තීරණය කළානම් මම සුභ පතනවා..." පිටට තට්‍ටුවක් දමමින් ඔහු මට සමුදුනි...
මේ මිල්රෝයි අයියා සහ ටැබූ නිසා මා බ්ලොග් කරුවෙකු වූ අයුරුයි...
දැන් මිල්රෝයි අයියා සේම ටැබූ ද නොකියාම යන්නට ගොසිනි... ඉඩක් ලද ඇසිල්ලේ අලුත් ලිපියක් ඇත්දැයි බැලීමට ගොඩවැදුණු අඩවිය අද එහි නැත... ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය හැක් කර ඇතැයි තැනෙක කියවීමි... තවත් පිරිසක් පවසනුයේ එය ඔහු විසින්ම හැක් කරගෙන ඇති බවයි... එකිනෙකා හඳුනාගත නොහැකි තරමටම මඩ තවරාගත් පිරිසක් අතර මම ඔහු සොයාගෙන සත්‍ය විමසීමට නොවෙහෙසෙමි... සැබැවින්ම ඔහු එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...
එදා රිදුම් දෙන කන අතගාමින් මිල්රෝයි අයියාට කරදරයක් වෙන්නට එපා යැයි මා ප්‍රාර්ථනා කල ලෙසින්ම, රිදුම් දෙන හදවතකින් ටැබූ ට කරදරයක් වෙන්නට එපා යැයි ප්‍රාර්ථනා කරමි...
~ නිමි ~
ප/ලි : මේ නිර්මාණය සයිබර් අවකාශයේ මා හට උදව් කළ කිසිදා නොදුටු මිතුරෙකු අසරණ වූ අවස්ථාවක ඔහුට පෙරලා උදව් කිරීමට ක්‍රමයක් සොයාගත නොහැකි වේදනාවක්ද සමඟිනි ...
ඔය කෙටි කතාව කියවා මාත් ප්‍රතිචාර දැක්වූවා මට මතකයි.
ReplyDeleteබ්ලොග් නිසා අපිට ලියන්න, ලියන ඒවා අනිත් අයට දෙන්න පුළුවන් වුණා. මේ සියබර් ලොකේ අපි ලියපු ඒවා මැකුවත් මැකෙන්නේ බයිනරි ඉලක්කං පේලි විතරයි. ඒවා නැවත පෙල ගස්සන්න පුළුවන්.
එනිසාම, ටැබූ ට ආයේ එන්නත් පුළුවන්.
මට නම් පේන්නේ අපි නොදන්නා නමුත් සැක කළ හැකි ප්‍රශ්ණයක් තියෙනවා වගේ!
"ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය හැක් කර ඇතැයි තැනෙක කියවීමි... තවත් පිරිසක් පවසනුයේ එය ඔහු විසින්ම හැක් කරගෙන ඇති බවයි"
ReplyDeleteKind of reminds me of Prageeth Eknaligoda incident.
@ කතන්දර
ReplyDeleteමට නම් පේන්නේ අපි නොදන්නා නමුත් සැක කළ හැකි ප්‍රශ්ණයක් තියෙනවා වගේ!
???????????
මා ටැබූගේ ලිපි නිතර කියවූ අයෙක්.ඔහු ඔහුගේ අඩවියට එන්නනගේ හිත් නරක් නොකිරීමට වග බලා ගත්තා.තමන් නොපිළිගන්නා මත ඇති අයව විවේචනය කළේද අන්වර්ත නාම අනුව තමන්ම කමෙන්ට් කරමින්.රටේ ප්‍රසිද්ධ අය(ජනාධිපති,මැති ඇමතිවරු) හෑල්ලු අගෞරව කිරීම හා ගරු කල යුතු අයට එසේ නොකරමින්(ගංගොඩවිල සෝම හිමිට ගංගොඩවිල සෝමේ ලෙස ඇමතීම වැනි) ලිපි ලිවීම නිසා ඔහුගේ අනන්‍යතාව හෙළි වීම ඔහුට ඉතා අනතුරුදායකයි.ඔහු කළ කී දෑ වලට ප්‍රතිවිපාක ලැබෙන්නේ ඔහුටමයි.ඔහුගේ එම ලිපි වලට හුරේ දැමූ අය දැන් හොයා ගන්නවත් නැහැ.සමහර විට රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්ණ කරන්නත් පුළුවන්.
ReplyDelete"එදා රිදුම් දෙන කන අතගාමින් මිල්රෝයි අයියාට කරදරයක් වෙන්නට එපා යැයි මා ප්‍රාර්ථනා කල ලෙසින්ම, රිදුම් දෙන හදවතකින් ටැබූ ට කරදරයක් වෙන්නට එපා යැයි ප්‍රාර්ථනා කරමි.."
මේ වදන් පෙළේ ඔබගේ මිනිස්කම තියෙනවා.ඇත්තටම ටැබූ අමුතු විදියේ ලිපි ලිව්වට ඔහුගෙන් බ්ලාග් කරුවන් වන අපිට හානියක් සිදුවී නැහැ.ඉලන්දාරියාගේ සැත්කම වෙනුවෙන් ටැබූලා කරපු මෙහෙවර විශිෂ්ඨයි.
@කතන්දර,
ReplyDeleteවෙන්න පුළුවන්, එහෙම දෙයක් තිබුණත් ඒක ගොඩක් දුරට රහසක්ම වේවි...
මොනවා වුණත් තමන් ලියන බයිනරි ඉලක්කං පේලි දිගේ බයිනරි නොවෙන කරදර එන්න ගත්තදාට ලියන එක නවත්තන එක තමයි හොඳම දේ...
රට හදන්න බ්ලොග් ලියන කවුරුත් සිංහල බ්ලොග් අවකාශයේ නැහැනේ..
@Rakhitha
මම අහලා තියෙනවා ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම මීට කලින් එක පාරක් හරි ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා කියලා...
@සොඳුරු සිත
ඔයා විදියට මටත්, මම විදියට ඔයාටත් පෙනී හිටින්න පුළුවන් තැනක සැකය හැර වෙන මොනා තියෙන්නද...
@JHOTHISHALANKA
ඔබේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි... ඔහු අන්වර්ථ නාම වලින් කමෙන්ට් කරනවාදැයි සෙවීමට මම නම් කාලය වැය කලේම නැහැ...
@ Beetle:
ReplyDelete"රට හදන්න බ්ලොග් ලියන කවුරුත් සිංහල බ්ලොග් අවකාශයේ නැහැනේ.."
ඒක නම් සහතික ඈත්ත. අනිත් අතට බ්ලොග් ලිව්ව කියල රට හදන්නත් බැහැනේ.
ටැබූ හදන් හිටිය ප්‍රතිරූපයට මම හරි කැමතී. ටැබූ කවුරු උනත් හොද මනුස්සයේක්.
ReplyDelete"මොනවා වුණත් තමන් ලියන බයිනරි ඉලක්කං පේලි දිගේ බයිනරි නොවෙන කරදර එන්න ගත්තදාට ලියන එක නවත්තන එක තමයි හොඳම දේ.."
මට හිතෙන්නේ,මේක තමයි උනේ. හිතේ කොනක පොඩි දුකක් තියනවා..!
yep, sad to say.. but he is gone..!
බොහෝ දෙනා ටැබූ සර්පයෙකැයි පවසයි. එනමුත් සර්පයා වුවද මා දෂ්ඨ නොකරනතාක් කල් මට තවත් අපූර්වතම ජීවියෙකි. එම සත්‍ය මට මෙන්ම අනෙකුත් සියළුම දෙනාටම පොදුයැයි මට සිතේ. වැරදීමකින් හෝ සර්පයා මා දෂ්ඨ කලේනම් එතැන් සිට මා ඌ මරණු වස් දඬු මුගුරු සොයන්නෙමි. එහෙත් කිසි දිනෙක ටැබූ මා සපාකා නැත. අඩුම තරමේ කණක් හෝ මිරිකා නැත. මගේ ලිපි කිහිපයකට ප්‍රතිචාර දක්වා ඇත. ඒ සෑම එකනින්ම මා සතුටට පත් විය. එහෙයින් මට ටැබූගේ නික්මීම කණගාටුවට කාරණාවකි. ඒ ටැබූ ගැනම සිතා ඇති වූවක් නොවේ.
ReplyDeleteටැබූ, කතන්දර, දුකා යනු මා ප්‍රථමයෙන් බ්ලොග් කියවීමට ඇද දමා පසුව බ්ලොග් ලියන්නෙකු බවට පත්කල වුන්ය. මා ඔවුන්ගෙන් ආභාශයක් ගතිමි. එහෙයින් හෙට කතන්දර හෝ දුකා මෙලෙස සමුගත්තද මේවන් කණගාටුවක් ඇතිවනු ඇත.
කෙසේවුවද බ්ලොග් කරණයෙහි හා තාක්ෂණයෙහි කෙළ පැමිණියන් පවසනා ලෙස හැක් කිරීමක්, හැංගීමක්, ස්වයං ඝාතනයක් හෝ කුමක් වේවා, ටැබූ නැවත එන්නේනම් නවම් මනාපය.
මා ටැබූව දන්නේ නැත....... ඒත් ඔබගේ ලිපිය ඉතාමත් සංවේදී ලිපියකි........
ReplyDeleteසයිබර් යායට අලුත් කට්ටියකට එන්න පාර කැපුනේ මුලින්ම ටැබු දුන්නු සම්මානය.
ReplyDeleteඊටත් කලින් වැප්ගෙ පෝස්ට් එකකට ටැබූ දැමු කමෙන්ටුවක තිබුනා ඔහු සයිබර් යාය කියවන කෙනෙක් කියලා. එදා මම හරිම සතුටට පත් උනා.
මේ තියෙන්නෙ මුලින්ම ටැබූ මට දුන් කමෙන්ටුව
taboosubjects said...
ආසාවෙන් කියවිය හැකි බ්ලොග් එකක් වෙමින් පවතී. ගුණාත්මක භාවය නොසුන්කොටගෙන චිරාත් කාලයක් අප හා රැඳී ඉන්න. (කවුදෝ කීවාක් මෙන් ටැබූ කෙනෙකුගේ හොඳක් දකින්නේ කලාතුරෙකිනි!)
- Taboo
චිරාත් කාලයක් රැදී සිටින්න කිව්වට අන්තිමේ ටැබූ ගියා.