Sunday, March 13, 2011

16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story)

3308_mickey_mouse_cartoon_decal11__71875
ගම හාමිනේ පොළට ගිහින් එනකල් ඇහැ ගහගෙන හිටි මී පුංචා පොළෙන් ගෙනාපු බෑග් මලු එහා මෙහා වෙන සද්දෙට හෙමිහිට විපරම් කරලා බැලුවා... කඩදාසි කොළේක ඔතාපු යමක් ගම හාමිනේ මල්ලකින් එළියට ගනිද්දී මී පුංචා ඔළුව ගස්සමින් ඉවකලේ ඇතුළේ තියෙන කෑම ජාතිය මොකද්ද කියලා අනුමාන කරගන්න...

හුරුපුරුදු ඉව සුවඳක් අල්ලගන්න බැරිවුණ නිසාද කොහෙද ගුලෙන් පොඩ්ඩක් මෑත් වුණ මී පුංචා, ගමහාමිනේ කඩදාසිය දිග අරිනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කටත් පොඩ්ඩක් ඇරගෙන... කඩදාසිය අයින් කරපු ගමහාමිනේ ඇතුළේ තිබුණු දේ හෙමිහිට අරගෙන ටීපෝව උඩින් තිබ්බම තමයි ඒක මොකද්ද කියලා මී පුංචාට හරියටම අවබෝධ වුණේ...

"මී කතුරක්.................!!!!"

පිටදිගේ හිරිවැටීගෙන යනවත් එක්කම මුළු ඇඟම එක පාරටම වෙවුලන්න ගත්ත මී පුංචා කෑගහන්න හැදුවත් කටින් සද්දයක් පිටවුණේ නෑ....

තවත් තත්පරයක් වත් එතැන නො‍රැඳුණු මී පුංචා ඊයක වේගෙන් ගෙයින් එළියට දුවගෙන ගියේ කරන්න දෙයක් හිතාගන්න බැරිවයි... එහාටත් මෙහාටත් කලබලයෙන් දිව්ව මී පුංචා එකපාරම නැවතුණේ මිදුලේ කුණුගොඩ පහුරු ගාමින් උන්න කුකුළු හාමි ළඟයි...

"කුකුළු හාමි...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා...

කොස් කොළයක් යට හැංඟිලා උන්නු පණුවෙක් හොටට හිරකරගත්ත කුකුළු හාමි කතා කළේ පණුවාව ගිලදාලා දෙපාරක් විතර තලු මැරුවට පස්සෙයි... 

"මී කතුරක්...? හ්ම්... මම කියලා මොනවා කරන්නද පුංචි මී පැටියෝ... උඹේ කාලේ නරක් වෙලා වගේ... කරුමේ තමයි..." 

එහෙම කියපු කුකුළු හාමි ආයෙත් කුණුගොඩ පහුරු ගාන්න පටන්ගත්තේ මී පුංචා දිහා බලන්නේවත් නැතිවයි… 

නැට්ටත් කෙළින් කරගත්ත මී පුංචා විදිලියක් වගේ ඊළඟට දුවගෙන ගියේ වත්ත කෙළවරේ මඩ ගොඩේ ලැගලා හිටිය මඩයා ළඟටයි...

"මඩයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා…

"නෑ...? හොඳටම විශ්වාසද මී කතුරක් කියලා..." 

මඩයා ඇහැව්වේ මඩ වතුරෙන් උඩට ඉස්සෙන ගමන්... මඩයාගේ රවුම් නහය දෙකට බෙදාගෙන ඇඳිලා තිබුණු මඩපාර බඩ හරහා ගිහින් නැට්ට ගාවින් ඉවර වෙලා තිබුණේ හරියට මඩයව දෙකට මැදින් බෙදලා වගේ... 

"ඔව් මම දැක්කනේ... දැං අපි මොකද කරන්නේ...?" 

මී පුංචා කිව්වේ තමන්ගේ රවුම් ඇස්දෙක එළියට පනින්න තරම් ලොකු කරගෙන...

"මටනං ඉතින් කරන්න තියෙන්නේ උඹට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි... මම ඉතිං ජීවිතේට මී කතුරක් එක්ක ඔට්ටු  වෙලා තියෙනවයැ..? "

මෙහෙම කියපු මඩයා බොහොම සැහැල්ලුවෙන් ආපහු මඩවලේ කරවටක් ගිලුනේ හරියට තමන්ගේ විවේකයට බාදාකරන්න එපා කියලා කියන්න වගේ... 

මඩ කඩිත්ත ගාවින් දුවගෙන ගිය මී පුංචා කෙළින්ම නතරවුනේ මඩුව අයිනේ නිවාඩුව ඇනතියාගෙන තණකොළ කටක් වමාර වමාර කන හඳයා ළඟයි ... 

"හඳයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

හඳයාට කන් ඇහෙනව අඩුබව දන්න හින්දම මී පුංචා බෙරිහන් දීලා කිව්වා...

තණකොළ හපන එක නවත්තලා මී පුංචා දිහා ඕනෑවට එපාවට වගේ බලපු හඳයා කන්පට එකපාරක් ගස්සලා ආයෙත් තණකොළ හපන්න ගත්තේ මී පුංචාට වචනෙකින්වත් උදව්වක් කරන්නේ නැතිවයි... 

ගෙදර ඉන්න එක සතෙක්ටවත් ගෙදරට මී කතුරක් ගෙනාව එක ගැන පොඩ්ඩක්වත් ප්‍රශ්ණයක් වුණේ නැති බව පැහැදිලියි... දුකෙන් හිස බර කරගත්ත මී පුංචා හෙමින් හෙමින් ගුලට වැදුණේ කොච්චර බඩගිනි වුණත් රෑට නම් කෑම හොයාගෙන එළියට යන්නේ නෑ කියලා තමන්ටම පොරොන්දුවක් වෙමින්... 

හිතේ තිබුණ බයටම මීපුංචාට නින්ද අහලකටවත් ආවේ නෑ... 

"ටකස්...!" 

පාන්දර ජාමේ යන්තම් ඇහැ පියවීගෙන යද්දී ඇහුණ මී කතුරට මොකෙක් හරි අහුවෙන සද්දෙන් මී පුංචා උඩ ගිහින් ඇහැරුණා... ඒක හීනෙන් ඇහුණ සද්දයක් නෙමෙයි කියලා මී පුංචට තේරුම් ගියේ ගමහාමිනේත් කඩිමුඩියේ දුවගෙන එන සද්දේ මී පුංචට ඇහුණ නිසයි... මොකද්ද වෙන්නේ කියල බලන්න ගුලෙන් එළියට ඔළුව දාද්දිමයි මී පුංචට ඇහුණේ ගමහාමිනේ මරහඬ දීලා කෑ ගහනවා... තවටිකක් විපරම් කරද්දී මී පුංචා දැක්කේ මීපුංචා මී කතුර තරමටම බය, පහළ ඕවිටේ ඉන්න නයිහාමි ගොදුරු හොයාගෙන එද්දි මී කතුරට අහුවෙලා ඉන්න හැටි… කලබලේට කළුවරේම එතනට දුවපු ගමහාමිනේට නයි හාමි කෙන්තියටම දෂ්ට කරලා තමයි කියලා මී පුංචට තේරුණා... 

ගමරාළගේ කෑ ගිහිල්ලට අහල පහළ මිනිස්සු වටවෙලා ගමහාමිනේව වෙදගෙදර අරන් යනවා මී පුංචා ගුල ගාව ඉඳන් බලන් හිටියා... වෙදගෙදර ගෙනිච්ච ගමහාමිනේව ආපහු ගෙදර එක්කගෙන ආවේ පහුවදා එළියත් වැ‍ටුනට පස්සේ... ගමහාමිනේ අමාරුවෙන් කෙඳිරිගාන සද්දේ මී පුංචාට දවස තිස්සෙම ඇහුණා...

"උණ හැදිලා තියෙන්නේ, ඇඟ දුරුවල වෙන්න දෙන්න නරකයි... හොඳ කුකුල් මස් සුප් එකක් වගේ දුන්නොත් පනගහලා ඒවි.." 

හවස් ජාමේ කව්දෝ ගමරාලට උපදෙස් දෙනවා මී පුංචාට යන්තම් ඇහුණා... තවත් පැය කීපෙකට පස්සේ මන්නා පිහියත් අරගෙන ගමරාල කුකුල් කො‍ටුව පැත්තට යනවා දැකපු මී පුංචාට ඉතුරු හරිය හිතාගන්න අමාරු වුණේ නැහැ... 

කියන්න තරම් ගුණයක් නොපෙන්නපු ගම හාමිනේ එන්න එන්න දුර්වල වෙද්දි ගමගෙදරට යන එන අමුත්තො ගණනත් එන්න එන්න වැඩිවුණා... යන එන පිරිසට කෑම දීලා පිරිමහගන්න අමාරු වෙද්දී ගමරාල මඩයාගේ ඉරණම විසඳනවා මී පුංචා කනගා‍ටුවෙන් බලාගෙන හිටියා...

තවත් ටික දවසකින් ගමහාමිනේ ලෙඩ ඇඳේම අවසන් ගමන් ගියා... අම්මෝ ආපු සෙනඟ කන්දරාවක්... ඒ තරම් සෙනඟකට කන්න දෙන්න හඳයා ජීවිත දානය කළා කියලා මී පුංචා දැනගත්තේ මරණේ කටයුතුත් ඉවර වුණාට පස්සේ... 

ගමහාමිනේගේ අකල් මරණෙන් පස්සේ මී කතුරට වුණු දෙයක් හොයාගන්න බැරිවුණා... මීකතුර ඇහින්වත් දැක්කේ නැති තමන්ගේ යලුවෝ තුන්දෙනාට අන්තිමට තමන් පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති මීකතුර හින්දාම අවසන් ගමන් යන්න වුණ හැටි කල්පනාකරමින් මී පුංචා කනගා‍ටුවෙන් කල් ගෙව්වා...

ආදර්ශය : තවකෙකු අමාරුවේ වැටී ඇති විටෙක එය ඔහුගේ පුද්ගලික ප්‍රශ්ණයක් මිස තමන්ගේ ප්‍රශ්ණයක් නොවේ යැයි කිසිදින නොසිතන්න... අපගෙන් එකෙකු හට යම් අවදානමක් ඇත්නම්, බොහෝදුරට අවදානම ඇත්තේ අප හැමෝටමයි...

ප/ලි : පැරණි උපමා කතාවක් ලෝකලයිස් කරන්න ගත්ත උත්සාහය අන්තිම හරියෙදී චොර වේගෙන එනවා කියලා මටම තේරුණා... ඒත් ඔන්න ඔහේ දැම්මා... :) 

දිව හපාගෙන ලියපු සීරියස් එකක් කලින් පෝස්ට් එකේ තියෙනවා...

10 comments :

  1. හොද කතාවක්............ බොහෝම ස්තූතියි යාලුවා.

    ReplyDelete
  2. නෑ නෑ එහෙම අවුලක් නෑ, අන්තිම හරියත් හොඳා :D

    ReplyDelete
  3. අන්තිම ටික සුටුස් ගාල ඉවර කරන්න ගිහින් කියල හිතුණ. ඒත් ආයෙම කියවද්දි ඒක එහෙම නෑ කියල හිතුණ... නියමයි තමයි! ආයෙම පුංචි කාලෙ කියවපුව මතක් වුණා... :D

    ReplyDelete
  4. @Blog Walk on Dew
    මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි යාලුවා...

    @nawam
    එහෙනම් කමක් නෑ... තැන්කූ වේවා...

    @hare :-)
    ඔව්... චිකන් සුප් හදන තැනට එද්දි ගැලපෙන්නේ නෑ වගේ හිතුණා ඒකයි... ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  5. ඇත්තටම ලස්සන කතාවක් මගේ පොඩි එකාටත් කියලා දෙන්න ඕන.........

    ReplyDelete
  6. මම මගේ දූට මේ කතාව කියලා දුන්නා....... එයා කියනවා කුකුලට තිබුනෙ හැංගෙන්න තැනක් හරි කියන්න තිබුනෙ කියලා....... හරිම ලස්සනයි තව ලියන්න....... මේ වගේ පොඩි අයට හරියන කතා...... මම බලාගෙන ඉන්නවා.....

    ReplyDelete
  7. ගොඩාක් සතු‍ටුයි...

    අනේ බලාපොරොත්තු කඩකරන්න වෙනවා, සමාවෙන්න මේක මම ලියපු කතාවක් නෙමෙයි... උපමා කතාවක් මට හිතෙන විදියට ලිව්වා විතරයි...ඇරත් මට ළමා කතා ලියන්න තරම් දක්ෂතාවයකුත් ආදර්ශමත් චරිතයකුත් නැහැ...

    හැබැයි සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂතම ළමා කතා රචකයා මම හඳුන්වලා දෙන්නම්... ඒ තමයි ලක්ඛණ බුද්ධි ප්‍රසාද්... මෙතනින් එයාගේ සයිබර් යායට ගොඩවෙන්න...

    ReplyDelete
  8. ඒ කොහොම උනත් ඔයාගේ කතාව නම් එල මගේ පොඩි එකාට හොඳයි කියන්නෙ ඉතිං මට වෙන මොනාද...........

    ReplyDelete
  9. හොඳයි හොඳයි!
    දිගටම අල්ලගෙන යන්න

    ReplyDelete
  10. ඉතා අපූරු කතාවක්.. බොහොම ස්තුතියි.. මගේ පැටවු දෙන්නටත් කියලා දෙන්න ඕන..

    ReplyDelete

Web Statistics