Friday, April 1, 2011

19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor


42-21874867

මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි  ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…

නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ...ඒක වැ‍රැද්දක් හැටියට මටත් හිතෙනවා...

ඒත් මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්නේ නැති එක ගැන නම් මම හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් බවයි... උදාහරණයක් විදියට අපි වුණත් වෘත්තීය ජීවිතේදී හමුවෙන හැම කෙනාටම කරුණාවෙන් සලකන්නේ නැහැනේ නේද..? එහෙම කරන්න තියෙනවානම් හොඳයි ඒත් මට නම් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ... නොයෙක් හේතු නිසා සමහරවිට මට හැකි උපරිමය ලබා දෙන්න නොහැකි වෙන, මීටින් පෝස්ට්පොන්ඩ් කරන, මොබයිල් එකට ආන්ස්වර් නොකර ඉන්න අවස්ථා ඕනි තරම්... ඉතින් දොස්තරලාත් උඹලා අපි වගේම හොඳ නරක දෙකම එකතු වුණු මිනිස්සු නේද කියලා පැහැදිලි කරන්නත් එක්ක රසවත් කතාවක් කියන්නම්…

එක පාරක් මම නිවාඩුවකට ලංකාවට ආවම තදබල විදියට අසනීප වෙලා රෝහල් ගතවෙන්න වුණේ නොහිතපු විදියට... වෛද්‍යයවරුන්ගේ උදව්වෙන් යන්තම් සනීප වෙද්දී, නිවාඩුවත් ඉවර වෙලා ආපහු යන දවසුත් පහු වෙලායි තිබුණේ... ඉන් සති කීපයකට පස්සේ හොඳටම සනීප වුණත් මට ආපහු යන්න ලොකු චකිතයක් තිබුණේ එහේදී ආයෙත් අසනීප වුණොත් දෙමව්පිය වැඩිහිටියෝ කවුරුත් නැතිව යාළුවන්ගෙන් පමණක් උදව්වෙන් මූණ දෙන්නේ කොහොමද කියන බයට... දිනෙන් දින කල් දාන ආපහු ගමන ගැන කනගා‍ටු වුණ මව්පියන් මේ ප්‍රශ්ණය යොමු කළේ මාව සනීප කල වෛද්‍යවරයාට…

"හරි... මගේ යාළුවෙක් මේ දවස්වල එහේ හොස්පිට්ල් එකක ස්පෙෂල් ට්‍රේනින් එකකට ගිහින් ඉන්නවා... මම ලෙටර් එකක් දෙන්නම් ඔයා මිනිහාව මීට් වෙන්න... කිසි දේකට බය වෙන්න එපා, එයා සේරම බලා ගනී..."

මේ විදියට ක්ෂණිකව මගේ ප්‍රශ්ණෙට සතු‍ටුදායක විසඳුමක් ලබා දුන්න වෛද්‍යවරයා ලියලා දුන්නු ලියුං කරදහියත් පරිස්සමට අරගෙන මම ගුවන් ගත වුණා... දවස් දෙක තුනකින් හොස්පිටල් එකට කතා කල මට මේ කියපු වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න පුළුවන් වුණා...

"ෂා... මෙච්චර කාලයක් ලංකාවේ කවුරුත් නැතිව මට එපා වෙලා හිටියේ... මම ඒත් හිතුවා මෙහෙ ඉන්නේ මම විතරද කියලා... එහෙනම් පුතා හෙට උදේම එන්න..."

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘත්තීයමය ප්‍රතිචාරයක් වෙනුවට ගොඩක් සුහදව කතා කරපු වෛද්‍යවරයා ඊළඟ දවසේම ඔහුව මුණගැහෙන්න එන්න කිව්වේ ලොකු සතුටකින්...

පහුවදාම මමත් මිතුරෙකුත් ඔහුව මුණ ගැහෙන්න ගියා... රෝහලේ එළිමහන් ආපනශාලාවක හමුවුණු අපි ඔහුගේ තිබුණු මිත්‍රශීලී බව නිසාම පැයක් යන්නත් කලින් ගජමිතුරෝ වෙලා ඉවරයි...

"පුතාලා ස්මෝක් කරනවද..?"

මාල්බරෝ ලයිට් පැකැට්ටුකවක් සාක්කුවන් එළියට අදින ගමන් ඩොක්ට ඇහුවේ අපිව පුදුමට පත් කරමින්...

"ඔව්..."

"එහෙනම් කමක් නෑ..."

"හරි පුදුමයි... සිග‍රැට් බොන ඩොක්ට කෙනෙක් මම මේ දැක්කමයි..."

මගේ යාළුවා කිව්වේ ඩොක්ට දික් කරපු පැකට්ටුවෙන් සිග‍රැට්ටුවක් එළියට අදින ගමන්...

"මම සර්ජන් කෙනෙක්නේ, සමහර සර්ජන්ස්ලා බොනවා..."
 
ඩොක්ට කිව්වේ හිනාවෙවී...

"ලංකාවේ අය තව ඉන්නවද..? වීක්එන්ඩ් එකේ එහෙම මොනවද කරන්නේ..?"

ඩොක්ට මුට්ටිය දාන්නේ මොකටද කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුණේ නෑ

"තව සෑහෙන්න ඉන්නවා... වීකෙන්ඩ් වල එහෙම අපි සමහර අය සෙට් වෙනවා... ඩොක්ටත් එන්න…"

අපේ නිල ආරාධනාව ඩොක්ට පිළිගත්තේ සතු‍ටු සිතින්...
 
මාතෘකාවෙන් පිට ගිහින්, බොන සීන් එකේ විස්තර කරන්න තරම් දෙයක් නැති වුණත් මේ සීන් එක විස්තර කරන්නේ එතන සිදුවුණු රසවත් දේ බෙදා හදා ගන්න...

ඒ වෙනකොට අපි ශිෂ්‍යයෝ වුණත් උසස් වෘත්තීන් වල නියැලුණු වැඩිහිටි දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙන්න අවස්ථාවක් දෙකක් ලැබිලා තිබුණා... හබැයි කවදාවත් අපි ඩොක්ට කෙනෙක් එක්ක නම් සෙට් වෙලා තිබුණේ නෑ නෑ මයි... ඒ නිසාම වෙනදාට අපි කන බොන වෙලාවට කතා කරන දේවල් වෙනුවට මෙදා තිබුණේ තනිකරම වටිනා වෛද්‍ය සාකච්ඡාවක මුහුණුවරක් කිව්වොත් වැ‍රැද්දක් නෑ...

"ඩොක්ට.. එක දිගට කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි..?"

සව්දිය පිරුවායින් පස්සේ මෙන්න මේ වගේ වැදගත් විදියට පටන් ගත්ත කතාව වීදුරු හිස් වේගෙන යද්දී වේගයෙන් ඇදී ගියේ අමුතුම පැත්තකට... "ඩොක්ට" නිකම්ම "ඩොකා" වෙද්දී තමන්ගේ හිතේ අවුරුදු ගණන් කැකෑරෙමින් තිබුණු ප්‍රශ්ණ වලට ඩොක්ටගෙන් විශේෂඥ උපදෙස් ගන්න කට්ටිය එකා පිට එකා ප්‍රශ්ණ අහපු හැටි මට අදටත් මතකයි...

ඒ ප්‍රශ්ණ බොහොමයක් වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිසා මේක කියවන ගෑණු ළමයෙක්, පොඩි දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒ අය අපහසුවට පත්වෙන එක වළක්වන අදහසින් කො‍ටු වරහන් ඇතුළේ හංගනවා... වැඩිහිටියෝ විතරක් කො‍ටු වරහන් ඇතුළේ හයිලයිට් කරලා බලන්න...

[
"ඩොකා... මාස්ටබේට් කරාම කෙට්ටු වෙනවද..?"
එකෙක් අහන්නේ ඩොක්ටගේ වීදුරුව සැන්ඩි කරන ගමන්...
"පිස්සුද මේ දවස් වල මමත් කරනවා..."
නවත්තන්න ඕනේ හරියෙදි අතින් සිග්නල් කරන ගමන් ඩොක්ට පිළිතුරු දෙනවා...
"ඩොකා.. වර්ජිනිටි එක නැති කරගන්නේ නැතුව ඇතුළේ කරන්න බැරිද..?"
එකෙක් අහද්දී ඒකට උත්තර දෙන්න කලින් අනිත් එවුන් තව ප්‍රශ්ණ දහයක් අහනවා...
"ඩොකා... වර්ජිනිටි එක ආයේ හදන්න බැරිද..?"
"ඩොකා.. තරුණ අය ව්‍යාග්‍රා බිව්වට කමක් නැද්ද..?"
"ඩොකා... ව්‍යාග්‍රා ටෑබ්ලට් වලින් ඇත්තටම මොකද්ද කරන්නේ..?"
"ඩොකා... ඇතුළේ කරලා ඒ එක්කම චූ කළොත් ප්‍රෙග්නන්ට් වෙන එක නවත්තන්න බැරිද..?"
"ඩොකා... ගෑනු ළමයිට යන්නේ නැද්ද..?"
"ඩොකා.. ඔර්ගස්ම් එකේදි ගෑනු ළමයෙක් බොරුවක් කරනවද, ඇත්තක් කරනවද කියලා හොයාගන්න විදියක් නැද්ද..?"
"ඩොකා.. ලව් ජූස් වලින් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද..?"
"ඩොකා.. පීරියඩ්ස් දවස්වලට ෆීලින්ග්ස් එන්නෙම නැද්ද..?"
“ඩොකා…..”
“ඩොකා….. ඩොකා…..”
]

මේ විදියට , හිරිමල් වයසේ හිටි අපි හැමෝගේම ආදර සම්බන්ධතා වල සීමිත ලිංගික අත්දැකීම් වලින් පැනනැගුණු කාගෙන්වත් අහලා දැනගන්න බැරි ප්‍රශ්ණ සේරම එකින් එක විස්තර ඇතුව විසඳන ඩොක්ට එදා අපිට හරියට පෙනුණේ සෘෂිවරයෙක් වගේ... ‍රැයක් එළිවෙද්දී අපි කොච්චර සමීප වෙලා හිටියද කිව්වොත් ඩොකා තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණ අපිත් එක්ක කිය කිය අඬද්දී අපි ඩොකාගේ හිත හැදුවේ හරියට ළමයි තාත්තා කෙනෙක්ගේ හිත හදනවා වගේ...

ඒ ගත කල කාලය සිතුවම් පටයක් වගේ හිතේ දිගෑරෙන නිසා ලියගෙන ගියාට ඇත්තට මම මේක ලියන්න පටන්ගත්තේ මේවා කියන්න නෙමෙයි... මේ සාකච්ඡාවෙම වෙරි වෙන්න කලින් මම අහපු ප්‍රශ්ණෙකට ඩොක්ට දුන්නු බය හිතෙන උත්තරයක් ලියන්නයි...

"ඩොක්ට සර්ජන් කෙනෙක් වුණාම හරි අපහසුයි නේද..? ඇක්සිඩන්ට් වෙලා එහෙම හදිසි ඔපරේෂන් වලට කතා කළාම ඇඳන් ඉන්න ඈඳුම් පිටින් දුවන්න එපැයි..."

ඇත්තවශයෙන්ම රෝහල් ජීවිතේ ගැන වැටහීමක් නැති මම ඩොක්ටගෙන් ඇහුවේ ER වගේ රූපවාහිනී වැඩසටහන් වල ලෙඩ්ඩු බේරාගන්න වෛද්‍යවරු දුවගෙන යන අයුරු මතක් කරගනිමින්...

"එහෙම ඇඳන් ඉන්න ඇඳුම් පිටින් දුවන්නේ නෑ... කොච්චර හදිසි වුණත් අපි රෙස්පොන්ඩ් කරන ටයිම් එකක් තියෙනවා... එහෙම දුවන්න ගියොත් ඉතින් අපිට හැමදාම රෑට දුව දුව තමයි ඉන්න වෙන්නේ..."

"ඒ වුණාට ඩොක්ට ඉතින් කාගේ හරි ජීවිතයක්නේ..."

"කාගේ හරි ජීවිත තමයි පුතා හැමදාම අපිට හම්බවෙන්නේ..."

මෙහෙම කියපු ඩොක්ට ඊළඟට කියපු කතාවට මගේ ඇඟ හිරිවැ‍ටුණා...

"මට මතකයි එක පාරක් අපි ඩියුටි හිටියා පලාලි වල, ෆ්‍රන්ට් එකේ කැෂුවල්ටීස් ගේනවා එක දිගට... අපි දවස් තුනක් එක දිගට තියටර් එකේ නින්දක් නැතුව... අන්තිම හරියෙදී හිටගෙන ඉන්න පණ නෑ... තුන්වෙනි දවසේ ආපු අයගෙන් ගොඩදාන්න අමරුයි කියලා හිතන අය අපි ට්‍රයි කළේවත් නෑ... ඇත්තටම අපි ඒ තරම් හෙම්බත් වෙලා..."

"එතකොට ඒගොල්ලන්ට මොකද වුණේ..?"

අපි කාටවත් එදා ඒ ප්‍රශ්ණේ අහන්න ශක්තියක් තිබුණේ නෑ...

අද අපි රු.1000 රිෆන්ඩ් කළේ නැති ඩොක්ට කෙනෙක් ගැන ගැන කතා කරනවා සමහර විට එදා මේ ඩොක්ට රිෆන්ඩ් කළේ නැත්තේ අතපය හතර නැතිව හරි තමන්ගේ දරුවන්ට තාත්තා කියන්න පණ තියෙන මනුස්සයෙක් ගෙදර එනකල් දෙවියන්ට කන්නලව් කරමින් හිටපු අම්මා කෙනෙක්ගේ බලාපොරොත්තු පිරුණු මුළු ජීවිතයම වෙන්න ඇති...

මේ සිද්ධිය ගැන එක පැත්තකින් විතරක් බැලුවානම්, අපේ සල්ලි වලින් ඉගෙන ගෙන පෙනේද මුන් මිනිස් ජීවිත බල්ලට දාන හැටි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් මට මේ ඩොක්ට ගැන එහෙම කේන්තියක් එන්නේ නෑ... කාගේ වුණත් ජීවිතයක්නෙ, අපි නම් හතුරෙකුටවත් එහෙම කරන්නෑ කියලා හිතුණත් ඇත්තටම ඒ තත්වෙට මූණ දුන්නොත් අපි වුණත් එහෙම හැසිරෙන එකක් නැද්ද..?

ඉතින් මට කියන්න ඕනේ වුණේ මම නම් වෛද්‍යවරු දිහා බලන්නේ, මිනිස් ජීවිත සුවපත් කරන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න දෙවිවරු පිරිසක් විදියට නෙමෙයි, රකින්න දරුපවුලක් පුද්ගලික ජීවිතයක් තියෙන, අපි බොහෝදෙනෙක් වගේ සාධාරණ විදියට රස්සාවක් කරගෙන තමන්ගේ දරු පවුල වෙනුවෙන් තවත් රුපියල් කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන ගමන්, තමන්ට පුළුවන් විදියට තව කෙනෙකුට පිහිටක් වෙන උඹලා අපි වගේම මිනිස්සු කොටසක් කියලයි...

පෝස්ට් එක ඉවර කරන්නම් යාළුවෙක් මට කාලෙකට ඉහත කියපු කතාවකින්

මගේ යාලුවත්, උගේ යාළුවෙක් වෙන ඩොක්ට කෙනෙකුත් දවසක් කාර් එකේ ගමනක් යනවලු... පාරේ ලොකු ට්‍රැ‍ෆික් එකක් මැද්දේ සෙනඟ පිරිලා ඉන්න තැනක් විපරම් කරලා බලද්දී දැකලා තියෙන්නේ, ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මෝටර්සයිකල් කරුවෙක් ට්‍රක්රථයක හැපිලා ඉන්න හැටි... කාර් එක එළවාගෙන යමින් හිටි ඩොක්ට වැඩි කතාබහක් නැතිවම ඉඩ තියෙන තැනකින් කාර් එක පන්නගෙන, දිගටම පදවගෙන යන්න ගත්තලු...

"යකෝ උඹ ඩොක්ට කෙනෙක් නේද අපි පොඩ්ඩක් බැහැලා බලමු..."

මගේ යාළුවා කිව්වම ඩොක්ට කියලා තියෙන්නෙ මෙහෙම දෙයක්...

"මම මොනවා බලන්නද බන්... ඒ මනුස්සයා දැනටමත් මැරිලා ඇති..."

~ ------------ ~


ප. ලි. : තව නොබෝ දිනකින් පැවැත්වෙන, සයිබරයේ සිහින උළෙලට බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියෙන්, උණුසුම් සුභ පැතුම්....!

Wednesday, March 30, 2011

18. සෙමි ෆයිනල් අතුරු කතාවක් | India vs Pakistan



ක්‍රිකට් උණුසුම ඉහවහා ගිය වෙලාවක මගේ සේවා ස්ථානයේ ආසියානුවන්ගෙන් ඉතිරිවෙලා හිටි කිහිප දෙනාත් රූපවාහිනියක් තියෙන තැනකට රොක් වෙලා...

"මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ...?"

කොහේදෝ යන සුද්දෙක් අහන්නේ හිස් වෙච්ච කියුබිකල් දිහා බලමින්...

"ඇයි අද වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් නේ.."


"මොන වර්ල්ඩ් කප් ද...?"

"ක්‍රිකට්..."

"මොනවා... ක්‍රිකට් වලට වර්ල්ඩ් කප් එකකුත් තියෙනවද..?"

එසේ කියමින් විශ්මයක් මුහුණට නඟාගෙන ඔහු ඇවිද යන්නේ මම ඊටත් වඩා විශ්මයෙන් ඔහු දෙස බලාගෙන ඉඳිද්දී...

අසාධ්‍ය මට්ටමේ පාපන්දු උන්මත්තකයෙක් වුණත්, මමත් ක්‍රිකට් තරඟයක් මුල ඉඳන් අගටම බැලූ දිනයක් මතක් කරගන්න අමාරුයි... ඉතින් මැච් බැලිල්ල පැත්තකින් තියලා මේ විවේකී අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හදිසියේ මතක් වුණු ආගිය කතාවකින් සතියක් විතර පල් වුණු බ්ලොග් එක අප්ඩේට් කලොත් හොඳයි කියලා හිතුවා...

එක්දින තරඟ ඉතිහාසයේ එදා මෙදා තුර තරඟ කොපමණ සංඛ්‍යාවක් පැවැත්වී ඇත්දැයි මට අදහසක් නැහැ... නමුත් ඒ සියල්ල අතරේ මිලියන ගනනකගේ අවිනිශ්චිත බලාපොරොත්තු කැටි වුණු තීරණාත්මක තරඟ අතලොස්ස අතරට අද පැවැත්වෙන තරඟයත් එකතු වෙනවා නො අනුමානයි... ඒ මෙය ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක් නිසා නෙවෙයි... මෙය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයක් වන නිසායි...

ඔබට වාසනාවකට හෝ අවාසනාවකට ඉන්දියානු ජාතිකයෙක්ව ළඟින් ඇසුරු කරන්නට ලැබුණා නම්, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ක්‍රිකට් වලටත් චිත්‍රපටි වලටත් දක්වන අසීමිත උන්මාදය ගැන නොදැන ඉන්න විදියක් නෑ... ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අතරතුරේ ඒ වගේ ක්‍රිකට් උන්මාදය ඇඟ පුරා ඔඩුදිවූ ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනෙක් තරඟ නරඹන තැනකට සෙට් වෙලා උන්ව බයිට් කිරීම අපි ඉන්දියාවේ සිටි කාලේ කල අතිශයින්ම විනෝද ජනක කටයුත්තක්... බොහොමයක් වෙලාවට අපි මේක කරන්නේ කොලීජියේ කැන්ටිමේ තියෙන ටීවී එක වටේට කට්ටිය සෙට් වෙලා මැච් එක බලද්දී... පැවැත්වෙන්නේ ඉන්දියා පකිස්තාන් තරඟයක් නම් දෙතුන් දෙනෙක් මේ විහිළු නිසා ඇස් රතු කර ගැනීම ස්වභාවයක්... මේකට හේතුව තමන්ගේ ක්‍රිකට් ෆෑන් ජීවිතේ ලබන්නට පුළුවන් ලොකුම අවමානය පකිස්තානයට තරඟයක් පැරදීම කියලා මේ බොහෝ දෙනෙක් විශ්වාස කිරීම...

මේ කියන දවස්වල ලංකාවත්, ඉන්දියාවත්, පකිස්තානයත්, නවසීලන්තයත් සහභාගී වුණ සිව්කොන් තරඟාවලියක් පැවැත්වෙමින් තිබුණා...දැන් තරඟාවලියේ අන්තිම හරිය...පකිස්තාන් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් තමන්ට නියමිත තරඟ සියල්ලම ක්‍රීඩාකර අවසන්... අවසාන මහා තරඟයට පෙර ඉතිරිව ඇති එකම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවත් නවසීලන්තයත් අතර... මෙයින් ඉන්දියාව ජය ගත්තොත් දල ලකුණු වේගය මත අවසාන මහා තරඟයට ඉන්දියාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා... නවසීලන්තය ජය ගත්තොත් අවසාන මහා තරඟයට ශ්‍රී ලංකාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ඉන්දියාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා...

ඉතින් පැහැදිලිවම මේ තරඟයේ ශ්‍රී ලාංකිකයන් වන සැමගේ ඒකායන බලාපොරොත්තුව විය යුත්තේ ඉන්දියානුවන්ට අත්වෙන අන්ත පරාජයක්... එදා කැන්ටිම බදු අරගෙන ටීවී එක වටකරගෙන කට්ටිය මැච් එක බලන අතරේ අපි හැමදෙනාගේම අප්‍රමාණ පිළිකුලට ලක්වුනු අශීෂ් නෙහෙරා විකට්‍ටුවක් දවා ගනිද්දී ඔල්වරසන් දෙමින් අපි සතු‍ටු වුනු හැටි දැකලා උන්ට පුදුමෙනුත් පුදුමයි...

"ඒයි උඹලා මොකද අපිට සපෝර්ට් කරන්නේ...?"

උන්ගෙන් එකෙක් අපි ඉන්න පැත්තට හැරිලා ඇහුවේ සිදුවෙන දෙය ගැන හරි වැටහීමක් නැතිවයි...

"ඇයි උඹට හිතාගන්න බැරිද..?"

"බෑ මොකද..?"

"මේකයි... උඹලා මේකෙන් පැරදිලා, පකිස්තානෙයි අපියි ෆයිනල් ඇවිල්ලා අපි කප් එක උස්සනවා බලනවටත් වැඩිය අපිට ආසයි, උඹලා මේකෙන් දිනලා උඹලයි පකිස්තානෙයි ෆයිනල් ඇවිල්ලා, උඹලා පකිස්තානෙන් කන හැටි බලන්න..."

අපි බඩ අල්ලන් හිනාවෙද්දී උන් මූණ කලුකරගෙන ආපහු ටීවී එක පැත්තට හැරෙන්නේ අපේ අසරණ මව්වරුන් සිහිකරමින්...


Friday, March 18, 2011

17. අපි නොදන්න නළ මුදු සුවඳ | The Nala Mudu Thing

Anger

ඔන්න මේක යාන් හෑල්ලක්... ඊයේ රාත්‍රියේ ඇසගැ‍ටුණු සිදුවීමක් හදිසියේම මගේ හිතට අතීත මතකයක් කැන්දන් ආවා, සභාවක කතාකරන්න නොසුදුසු දෙයක් නිසා සංයමයකින් ලියන්න බලන්නම්... ලැජ්ජා බයට හැදෙන ගැනු ළමයෙක් එහෙම මේක කියවනවනම් දැන්මම අතෑරලා දැම්මත් අවුලක් නෑ...

ඊයේ රාත්‍රියේ අපි සතිඅන්තයේ රස්තියාදුවක යද්දී, පාර හරහා වාහන දෙකක් එකකට එකක් ගෑවෙන මට්ටමට නවත්තාගෙන හරි කලබලයක්... වාහනේ පදවපු කාගේ හරි අත්වැ‍රැද්දක් නිසා දැන් කට්ටිය ඇවිළෙන්න යන්නේ කියලා තේරුම් ගන්න මට අපහසු වුණේ නෑ... මගේ දහසකුත් එකක් නරක පුරුදු අතරේ හදාගන්න බැරිවුණ තවත් එකක් තමයි වලි බැලිල්ල... මොන ලෝකේ හරි වලියක් ඇහැ ගැ‍ටුනොත් මම කරන්නේ යන්න ගිය ගමන පැත්තක තියලා වලිය බලන එකයි... 

මේක මානසික රෝගයක් තරමටම කොච්චර වර්ධනය වුණාද කිව්වොත් යු ටියුබ් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වුණ දවස් වල මම කලේ යූ ටියුබ් එකේ වලි සර්ච් කර කර බලන එකයි... ඉතිං මෙතනත් පාරේ වීදි ලාම්පුව පිච්චිලාද කොහෙද ඒ තරම් එළියකුත් නැති තැනක්... මම කලේ වාහනේ හෙඩ් ලයිට් එක එතනට අල්ලලා වලිය පිළිවෙළකට කරගෙන යන්න ආලෝකය එහෙම ලබා දීලා, මගේ ආදරවන්තියගේ බලවත් අප්‍රසාදයත් නොසලකාහැරලා වලිය බලන්න සෙට්වුණ එකයි...

චිරාත් කාලයක් වලි බලලම, ගොඩක් වලි වල ඇත්තටම කේන්තියෙන් ඉන්නේ කව්ද, බොරුවට රඟපාන්නේ කව්ද, ඉස්සෙල්ලාම ගහන්නේ කව්ද, ගුටි කන්න වෙන්නේ කාටද වගේ පොඩි පොඩි දේවල් ගැන කලින්ම මට කියන්න පුළුවන් ගතියක් තියෙනවා... ඉතිං වැඩි වෙලාවක් යන්න කලින් මේක දුර දිග යන්න විදියක් නැහැ කියලා මටම අවබෝධ වුණා... මගේ අනාවැකිය සැබෑ කරමින් බැන අඬගසාගැනීමක් අවසානයේ ගහ මරා ගැනීමකින් තොරව කට්ටිය සතුටින් විසිර ගියා... 

කතාව පටන් ගන්නේ මෙතන ඉඳන්... මේ සිද්ධියේ මාර ඇග්‍රෙසිව්ම විදියට හැසිරුණේ යුරෝපීය රටක කියලා සැක කරන්න පිළිවන් යුවතියක්... යන්න මොහොතකට කලින් එයා තමන්ගේ ප්‍රතිවාදීන්ට මැද ඇඟිල්ලෙන් ආචාර කරලා යන්න අමතක කලෙත් නෑ...

"අම්මෝ මාර කෙල්ලෙක් නේ... ඔයාට එහෙම ඔහොම කෙනෙක් මැරි කරන්න වුනානම් මොකද කරන්නේ..?"

අපි එතනින් යන්න පිටත් වුණාට පස්සේ ඇය අහපු මේ ප්‍රශ්ණය හින්දා එක පාරටම මට මතක් වුණේ මීට අවුරුදු දහයකට දොළහකට කලින් සිදුවීමක්... [මේ කතාව උපරිමයටම රස විඳින කෙනෙක් අවශ්‍යය නම් දැන් මගේ සමීප රූපයක් ගල් වෙලා, බොඳ වෙලා, අතීතයේ සිදුවීමක් ලෝඩ් වෙන හැටි හිතින් මවා ගන්න...]

ඒ අපි සේරම පළවෙනි ලැජ්ජාව* ඉවර කරලා, සමහර අය විශ්වවිද්‍යාල වලටත්, ලැජ්ජා නැති අය ආයේ ට්‍රයි කරන්නත්, ඉතිරි අය වෙන මොනවා හරි පුද්ගලික අධ්‍යාපනික ජොයින්ට් වලටත් සම්බන්ධ වුණ කාලේ... ඉතිං මේ සිද්ධිය වුණේ ඔය විදියට විශ්වවිද්‍යාලයට ගිය මගේ අතිජාත මිත්‍රයෙකුට... වැඩි ලේසියට අපි මෙයාට නඳුන් කියමු...

කට්ටිය එහේ මෙහේ විසිර ගියා වුණත් සති කිහිපයකට සැරයක්වත් සෙනසුරාදා රාත්‍රියක මුණ ගැහෙන්න අපි අමතක කළේ නෑ... ආගිය කතා අතරේ ප්‍රධාන මාතෘකාවක් වුණේ අලුත් ජොයින්ට් වල හිත ගිය ගෑනු ළමයි ගැන කතා කිරීම... කාලෙක ඉඳන්ම අපිට තේරිලා තිබුණු විදියට මල්සරා තමන්ගේ ඉලක්කේ ප්‍රැක්ටිස් කරන්නේ නඳුන්ගෙන්... උගේ හදවතේ එක්ස් රේ එකක් ගත්තොත් පෙනේරයක් වගේ වගේ පේන්න ඕනි මල්සරාගේ ඊතල වැදිලම... ඉතිං මේ කියන දවසෙත් මල්සරා ඊතලේකින් උගේ පපුව මැද්දටම බස්සලා තිබුණා...

"මාර අහිංසක කෙල්ලෙක් මචං... හා පැටියෙක් වගේ... බොරු සෝබන නෑ... පිටිසර කෙල්ලෙක් වෙන්න ඇති, මම මේක හරිගියොත් සීරියස් කරනවා, මම හොය හොය හිටියේ මේ වගේ තැලිලා පොඩිවෙලා නැති කෙල්ලෙක්... අපිට ගැලපෙන්නේ ඒ වගේ අය මචං…"

දැන් හිස් වෙන බෝතලේට සමානුපාතිකව මූ දොඩමළු වෙනවා...

"ඉතිං උඹ තාම වැඩේට එන්ටර් වුණේ නැද්ද? බල බල ඉන්න එපා වෙන එකෙක් පාර්ක් කරයි..."

කීප දෙනෙක් උපදෙස් දෙන්නේ අවංකවමයි...

"මම විස්තර ටිකකුත් හොයලා බැලුවා, කොස්සකට තියෙන්නේ අපිට වැඩිය අවුරුද්දක් සීනියර්... පොඩි වයස පරතරයක් තියෙයි, ඕවා ඉතිං ප්‍රශ්නද නේද බං...?"

මූ මෙහෙම කියද්දි මූත් එක්කම එකට ඒ විශ්වවිද්‍යාලෙටම යන අපේ අනිත් එකා ජනක, මැදට පැනලා කිව්වේ අමුතු කතාවක්...

"මට ආරංචි වුණේ නම් වෙන දෙයක්, ඔය කෙල්ල හෙන ජෙප්පියක් ලු... පොඩ්ඩක් තව හොයලා බලපන් උඹට ගොනා වගේ ඉන්න වේවි..."

ජෙප්පියක් කියන්නේ විප්ලව වලට බර අදහස් තියෙන දේශපාලන පක්සෙකට සම්බන්ධ කෙනෙක් කියන එක විශ්වවිද්‍යාල වලට ආවේණික වචන ගැන අවබෝධයක් නැතිව වුණත් මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ...

"හරි හරි බලමුකෝ... ඊළඟ පාර අපි සෙට් වෙද්දි මම අනිවා ගුඩ් නිව්ස් එකක් අරගෙන තමයි එන්නේ..."

නඳුන් කියන්නේ කණ සාක්කුවට වැටීගෙන එද්දී...

මේ සිද්ධියෙන් පස්සේ අපි හැමෝටම ආයෙත් එකට එකතුවෙන්න ලැබුනේ සති කිහිපයක පස්සෙයි... ගුඩ් නිවුස් එකක් අරන් එන්න පොරොන්දු වුණ නඳුන් එදා අපිත් එක්ක සෙට් වෙන්න ආවේ නෑ... උගේ ආදර ව්‍යාපෘතියේ අලුත්ම තත්වය ගැන අපිට දැනගන්න උනේ අපේ අනිත් මිතුරා ජනකගෙන්… මේක ඇත්තද බොරුද කියලා මට විශ්වාසයක් නැත්තේ ඌ ගැනත් පොඩි කාලේ ඉඳන්ම අපි දන්න නිසයි... මොනවා වුණත් බොරුවක් නෙමේ ඇත්තක් කියලා හතර අතේ දිවුරලා ඌ කිව්ව විස්තරේ මෙහෙමයි... 

දින කීපයකට කලින් විශ්වවිද්‍යාලේ මොකද්දෝ ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා... මට මතක හැටියට ඒකේ නම "නළ මුදු සුවඳ..." සාමාන්‍යයෙන් ඔය වගේ වැදගත් කටයුත්තකදී විශ්වවිද්‍යාල ළමයි දෙපිල බෙදිලා ගහගන්න සිස්ටම් එකකුත් තියෙනවලු... ඉතිං මෙදාත් ඔන්න ඔහොම වලියක්... දෙගොල්ල පේන දුරින් කල්ලි ගැහිලා එකිනෙකාට බැණ අඬගහගන්න අතරේ එතනින් යන්න ගිය අපේ මිත්‍රයෝ දෙන්නා දැකලා තියෙනවා ඇල් වතුරත් නිවලා බොන, නඳුන්ගේ අහිංසක ගැමි ලියත් එක කල්ලියක ඉන්නවා... වෙන්නේ මොකද්ද කියලා හරියටම අවබෝධයක් නැතත්, ගෑනු ළමයට කරදරයක් වේවිද කියන බයට මුන් දෙන්නත් තරමක් ඈතට වෙලා සිද්ධිය බලාගෙන ඉඳලා තියෙනවා... වැඩි වෙලා එහෙම ඉන්න වෙලා නෑ, එක එකා අසභ්‍යවචන වලින් කෑ ගහන අතරේ නඳුන්ගේ අහිංසක හා පැටියා පිරිස අතරෙන් ඉස්සරහට ඇවිල්ලා මොකද දන්නවද කරලා තියෙන්නෙ... 

කෙළින්ම කියන්න මට විලිලැජ්ජාවේ සන්තොසේ බෑ... ඒ නිසා මෙහෙම කියන්නම්... මේ ගෑනු ළමයා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මෙව්වා එක මෙව්වා කරලා... මෙව්වා එක පෙන්නලා... මෙන්න මෙහෙම කෑ ගැහුවලු....

" මේ තියෙන්නේ නළ මුදු සුවඳ....! බලාගනින්....!"

අපේ නඳුන්ගේ අවිහිංසක ප්‍රේමයේ සුන්දර හීන මාළිගා කඩා වැ‍ටුණේ එහෙමයි... මේ ගැන වචනයක්වත් ඌත් එක්ක කතා කරන්නේ නෑ කියලා අපි හැමෝම පොරොන්දු වුණාට පස්සේ, අපිත් එක්ක ඌ ආයෙත් සෙට් වෙන්න ආවා...

මේ වගේම තව සිද්ධියක් තියෙනවා කෑලි කඩන්නේ නැතිව ඒකත් මෙතනම ලියන්නම්... මේක කෙටියෙන්.... මමම මූණ දුන්නු අත්දැකීමක්... අපේ ගෙදරට ගෙවල් කිහිපයක් ඈතින් තියෙන ගෙවල් දෙකක අසල් වැසියෝ පැල ඉනි වැටට හැමදාම රංඩු... අපේ ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට යද්දී මේ ගෙවල් දෙක පහු කරගෙන යන්න ඕනේ... දවසක් මම උදේම කොහේ හරි යද්දී ගෙවල් දෙකේම කට්ටිය එළියට බැහැලා හිරිකිතයක් නැතිව බැණ අඬගහගන්නවා...බස් එකටත් වෙලාව තියෙන එකේ මමත් ප්‍රේක්ෂක ජනතාවට සෙට් වුණා... 

විස්තරකිරීමේ පහසුවට චරිත ටික අඳුනගමු, එක ගෙදරක කපල් එක රංජිත් සහ රංජනී කියමුකෝ, අනිත් ගෙදර ලලිත් සහ ලලිතා... දැන් මේ අයගෙන් රංජිතුත් ලලිතාත් පොඩි කාලේ ඉඳලාම ජීවත් වුණේ ඒ ගෙවල් වළමයි... ඒ කියන්නේ රංජිත් රංජනීව කැන්දන් ආවා... ලලිත් ලලිතා එක්ක බින්න බැස්සා... පැහැදිලියිනේ..? මේ පාර්ට් එක ඉතා වැදගත්, පැහැදිලි නැත්නම් ආයේ කියවන්න…

ඔන්න දැන් වලියේ හොඳම හරිය, හතර දෙනාම එක සීරුවට බැනගෙන බැනගෙන ගියා, මේ අතරේ මෙහා ගෙදර රංජිත් කරපු තර්ජනේකින් එහා ගෙදර ලලිතාට අසූහාරදාහකට තද වුණා... අර නදුන්ගේ ගෑනු ළමයා කළ විදියමයි, පටාස් ගාලා මෙව්වා එක මෙව්වා කලා... 

"කොරයි කියලා තමයි බය... මේ තියෙන්නේ..! මේක තමයි කොරන්නේ...!"

කියලා මහ හයියෙන් කෑ ගැහුවා...

නඳුන් ගේ ගෑනු ළමයා කැම්පස් එකේ නිසා අඩුගානේ පිළිවෙළකට ඇඳලාවත් ඉන්න ඇති... මෙතන ඇවිල්ලා එහෙම නෑ, නිවාඩු දවසේ උදේ… තමන්ගේ ගෙදර... ෆුල් කැෂුවල්... හදිසි දර්ශනයෙන් කට්ටිය තුෂ්ණිම්භූත වුන නිසාද කොහෙදෝ හැමදේම එකපාරම නිශ්ශබ්ද වුණා... ටික වෙලාවක් කලබලයක් නැතිව බලන් හිටපු රංජිත්ගේ කේන්තිය නිවිලා එක පාරටම මූණට ආරුඪ වුණේ හිනාවක්... තප්පර කීපයක් තනියම හිනා වෙවී හිටිය රංජිත් තාලයකට ඇදලා පැදලා මෙහෙම ගායනා කලා...

"පොඩිකාලේ මම දැක්කට පස්සේ, දැක්කේ අදයි නෝනේ...."

ඊට පස්සේ මම දැක්කේ විදිලියක් වගේ ලලිතා ගෙට දුවන හැටියි... එදා දවසට වලිය ඉවරයි...

ඉතිං මට දැන් විශේෂයෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි. මොනවා උනත් මෙච්චර එඩිතර අපේ ගෑනු අතරේ අර බොරුවට ඇඟිල්ලක් දික්කරපු පර සුද්දි මට නම් නතිං...

ප.ලි: මොනවා වුණත් මේවා එච්චර සීරියස් ඉෂූස් කරගන්න එපා, කියවලා හිනාවෙලා අමතක කරලා දාන්න…

* - පලවෙනි ලැජ්ජාව = A/L First attempt. (උපුටා ගැනීම තෙලැස්ත්‍රෝ අඩවියෙන් )

Sunday, March 13, 2011

16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story)

3308_mickey_mouse_cartoon_decal11__71875
ගම හාමිනේ පොළට ගිහින් එනකල් ඇහැ ගහගෙන හිටි මී පුංචා පොළෙන් ගෙනාපු බෑග් මලු එහා මෙහා වෙන සද්දෙට හෙමිහිට විපරම් කරලා බැලුවා... කඩදාසි කොළේක ඔතාපු යමක් ගම හාමිනේ මල්ලකින් එළියට ගනිද්දී මී පුංචා ඔළුව ගස්සමින් ඉවකලේ ඇතුළේ තියෙන කෑම ජාතිය මොකද්ද කියලා අනුමාන කරගන්න...

හුරුපුරුදු ඉව සුවඳක් අල්ලගන්න බැරිවුණ නිසාද කොහෙද ගුලෙන් පොඩ්ඩක් මෑත් වුණ මී පුංචා, ගමහාමිනේ කඩදාසිය දිග අරිනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කටත් පොඩ්ඩක් ඇරගෙන... කඩදාසිය අයින් කරපු ගමහාමිනේ ඇතුළේ තිබුණු දේ හෙමිහිට අරගෙන ටීපෝව උඩින් තිබ්බම තමයි ඒක මොකද්ද කියලා මී පුංචාට හරියටම අවබෝධ වුණේ...

"මී කතුරක්.................!!!!"

පිටදිගේ හිරිවැටීගෙන යනවත් එක්කම මුළු ඇඟම එක පාරටම වෙවුලන්න ගත්ත මී පුංචා කෑගහන්න හැදුවත් කටින් සද්දයක් පිටවුණේ නෑ....

තවත් තත්පරයක් වත් එතැන නො‍රැඳුණු මී පුංචා ඊයක වේගෙන් ගෙයින් එළියට දුවගෙන ගියේ කරන්න දෙයක් හිතාගන්න බැරිවයි... එහාටත් මෙහාටත් කලබලයෙන් දිව්ව මී පුංචා එකපාරම නැවතුණේ මිදුලේ කුණුගොඩ පහුරු ගාමින් උන්න කුකුළු හාමි ළඟයි...

"කුකුළු හාමි...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා...

කොස් කොළයක් යට හැංඟිලා උන්නු පණුවෙක් හොටට හිරකරගත්ත කුකුළු හාමි කතා කළේ පණුවාව ගිලදාලා දෙපාරක් විතර තලු මැරුවට පස්සෙයි... 

"මී කතුරක්...? හ්ම්... මම කියලා මොනවා කරන්නද පුංචි මී පැටියෝ... උඹේ කාලේ නරක් වෙලා වගේ... කරුමේ තමයි..." 

එහෙම කියපු කුකුළු හාමි ආයෙත් කුණුගොඩ පහුරු ගාන්න පටන්ගත්තේ මී පුංචා දිහා බලන්නේවත් නැතිවයි… 

නැට්ටත් කෙළින් කරගත්ත මී පුංචා විදිලියක් වගේ ඊළඟට දුවගෙන ගියේ වත්ත කෙළවරේ මඩ ගොඩේ ලැගලා හිටිය මඩයා ළඟටයි...

"මඩයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

මී පුංචා හති හලමින් කෑගැහුවා…

"නෑ...? හොඳටම විශ්වාසද මී කතුරක් කියලා..." 

මඩයා ඇහැව්වේ මඩ වතුරෙන් උඩට ඉස්සෙන ගමන්... මඩයාගේ රවුම් නහය දෙකට බෙදාගෙන ඇඳිලා තිබුණු මඩපාර බඩ හරහා ගිහින් නැට්ට ගාවින් ඉවර වෙලා තිබුණේ හරියට මඩයව දෙකට මැදින් බෙදලා වගේ... 

"ඔව් මම දැක්කනේ... දැං අපි මොකද කරන්නේ...?" 

මී පුංචා කිව්වේ තමන්ගේ රවුම් ඇස්දෙක එළියට පනින්න තරම් ලොකු කරගෙන...

"මටනං ඉතින් කරන්න තියෙන්නේ උඹට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි... මම ඉතිං ජීවිතේට මී කතුරක් එක්ක ඔට්ටු  වෙලා තියෙනවයැ..? "

මෙහෙම කියපු මඩයා බොහොම සැහැල්ලුවෙන් ආපහු මඩවලේ කරවටක් ගිලුනේ හරියට තමන්ගේ විවේකයට බාදාකරන්න එපා කියලා කියන්න වගේ... 

මඩ කඩිත්ත ගාවින් දුවගෙන ගිය මී පුංචා කෙළින්ම නතරවුනේ මඩුව අයිනේ නිවාඩුව ඇනතියාගෙන තණකොළ කටක් වමාර වමාර කන හඳයා ළඟයි ... 

"හඳයෝ...! මී කතුරක් ගෙනාවා ගෙදරට...! මී කතුරක් ගෙනාවා ගෙදරට...!" 

හඳයාට කන් ඇහෙනව අඩුබව දන්න හින්දම මී පුංචා බෙරිහන් දීලා කිව්වා...

තණකොළ හපන එක නවත්තලා මී පුංචා දිහා ඕනෑවට එපාවට වගේ බලපු හඳයා කන්පට එකපාරක් ගස්සලා ආයෙත් තණකොළ හපන්න ගත්තේ මී පුංචාට වචනෙකින්වත් උදව්වක් කරන්නේ නැතිවයි... 

ගෙදර ඉන්න එක සතෙක්ටවත් ගෙදරට මී කතුරක් ගෙනාව එක ගැන පොඩ්ඩක්වත් ප්‍රශ්ණයක් වුණේ නැති බව පැහැදිලියි... දුකෙන් හිස බර කරගත්ත මී පුංචා හෙමින් හෙමින් ගුලට වැදුණේ කොච්චර බඩගිනි වුණත් රෑට නම් කෑම හොයාගෙන එළියට යන්නේ නෑ කියලා තමන්ටම පොරොන්දුවක් වෙමින්... 

හිතේ තිබුණ බයටම මීපුංචාට නින්ද අහලකටවත් ආවේ නෑ... 

"ටකස්...!" 

පාන්දර ජාමේ යන්තම් ඇහැ පියවීගෙන යද්දී ඇහුණ මී කතුරට මොකෙක් හරි අහුවෙන සද්දෙන් මී පුංචා උඩ ගිහින් ඇහැරුණා... ඒක හීනෙන් ඇහුණ සද්දයක් නෙමෙයි කියලා මී පුංචට තේරුම් ගියේ ගමහාමිනේත් කඩිමුඩියේ දුවගෙන එන සද්දේ මී පුංචට ඇහුණ නිසයි... මොකද්ද වෙන්නේ කියල බලන්න ගුලෙන් එළියට ඔළුව දාද්දිමයි මී පුංචට ඇහුණේ ගමහාමිනේ මරහඬ දීලා කෑ ගහනවා... තවටිකක් විපරම් කරද්දී මී පුංචා දැක්කේ මීපුංචා මී කතුර තරමටම බය, පහළ ඕවිටේ ඉන්න නයිහාමි ගොදුරු හොයාගෙන එද්දි මී කතුරට අහුවෙලා ඉන්න හැටි… කලබලේට කළුවරේම එතනට දුවපු ගමහාමිනේට නයි හාමි කෙන්තියටම දෂ්ට කරලා තමයි කියලා මී පුංචට තේරුණා... 

ගමරාළගේ කෑ ගිහිල්ලට අහල පහළ මිනිස්සු වටවෙලා ගමහාමිනේව වෙදගෙදර අරන් යනවා මී පුංචා ගුල ගාව ඉඳන් බලන් හිටියා... වෙදගෙදර ගෙනිච්ච ගමහාමිනේව ආපහු ගෙදර එක්කගෙන ආවේ පහුවදා එළියත් වැ‍ටුනට පස්සේ... ගමහාමිනේ අමාරුවෙන් කෙඳිරිගාන සද්දේ මී පුංචාට දවස තිස්සෙම ඇහුණා...

"උණ හැදිලා තියෙන්නේ, ඇඟ දුරුවල වෙන්න දෙන්න නරකයි... හොඳ කුකුල් මස් සුප් එකක් වගේ දුන්නොත් පනගහලා ඒවි.." 

හවස් ජාමේ කව්දෝ ගමරාලට උපදෙස් දෙනවා මී පුංචාට යන්තම් ඇහුණා... තවත් පැය කීපෙකට පස්සේ මන්නා පිහියත් අරගෙන ගමරාල කුකුල් කො‍ටුව පැත්තට යනවා දැකපු මී පුංචාට ඉතුරු හරිය හිතාගන්න අමාරු වුණේ නැහැ... 

කියන්න තරම් ගුණයක් නොපෙන්නපු ගම හාමිනේ එන්න එන්න දුර්වල වෙද්දි ගමගෙදරට යන එන අමුත්තො ගණනත් එන්න එන්න වැඩිවුණා... යන එන පිරිසට කෑම දීලා පිරිමහගන්න අමාරු වෙද්දී ගමරාල මඩයාගේ ඉරණම විසඳනවා මී පුංචා කනගා‍ටුවෙන් බලාගෙන හිටියා...

තවත් ටික දවසකින් ගමහාමිනේ ලෙඩ ඇඳේම අවසන් ගමන් ගියා... අම්මෝ ආපු සෙනඟ කන්දරාවක්... ඒ තරම් සෙනඟකට කන්න දෙන්න හඳයා ජීවිත දානය කළා කියලා මී පුංචා දැනගත්තේ මරණේ කටයුතුත් ඉවර වුණාට පස්සේ... 

ගමහාමිනේගේ අකල් මරණෙන් පස්සේ මී කතුරට වුණු දෙයක් හොයාගන්න බැරිවුණා... මීකතුර ඇහින්වත් දැක්කේ නැති තමන්ගේ යලුවෝ තුන්දෙනාට අන්තිමට තමන් පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති මීකතුර හින්දාම අවසන් ගමන් යන්න වුණ හැටි කල්පනාකරමින් මී පුංචා කනගා‍ටුවෙන් කල් ගෙව්වා...

ආදර්ශය : තවකෙකු අමාරුවේ වැටී ඇති විටෙක එය ඔහුගේ පුද්ගලික ප්‍රශ්ණයක් මිස තමන්ගේ ප්‍රශ්ණයක් නොවේ යැයි කිසිදින නොසිතන්න... අපගෙන් එකෙකු හට යම් අවදානමක් ඇත්නම්, බොහෝදුරට අවදානම ඇත්තේ අප හැමෝටමයි...

ප/ලි : පැරණි උපමා කතාවක් ලෝකලයිස් කරන්න ගත්ත උත්සාහය අන්තිම හරියෙදී චොර වේගෙන එනවා කියලා මටම තේරුණා... ඒත් ඔන්න ඔහේ දැම්මා... :) 

දිව හපාගෙන ලියපු සීරියස් එකක් කලින් පෝස්ට් එකේ තියෙනවා...

Friday, March 11, 2011

15. සුදුමැලි පුංචි තිත... | Pale Blue Dot


325px-Pale_Blue_Dot

පේනවද ඒ පුංචි තිත...
අර තියෙන්නේ...
සුදු පාට...

අන්න ඒක...
ඒ මොකද්ද කියලද අහන්නේ..?
ඒ මෙහේ...
ඔව්... අපි...
අපේ ලෝකේ...
අපේ හැම දේම...

අපි පණටත් වැඩියෙන් ආදරය කරන අය...
ඊටත් වැඩියෙන් වෛරකරන අය...
ගරුකරන, නොසලකන හැමෝමත්,
මිතුරනුත්… සතුරනුත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

අපි හැමෝගෙම...
හැම දුකක්ම... සතුටක්ම...
සිනහවක්ම... හැම කඳුලක්ම....
මෙතෙකුත්... මතුවටත්...
වින්දේත්, විඳින්නේත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

නිමක් නැති ඇදහිලි...
ආගම්... විශ්වාස...සංස්කෘති...
ආර්ථික මූලධර්ම...
දේශපාලන මතවාද...
මේ සේරමත්...
හැම දේශප්‍රේමියෙක්ම...
දේශද්‍රෝහියෙක්ම...
ජාතිවාදීන්... ජාතිකවාදීන්...
ත්‍රස්තවාදීන්... මාක්ස්වාදීන්...
අරුන් මුන් සේරමත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

ලෝකය ආදරයෙන් පුරවන මව්වරුන්...
රසායනික අවි නිපදවන විද්‍යාඥයින්...
දැනමුතුකම් දෙන ගුරුවරුන්...
වංචාකාර දේශපාලුවන්...
ආදරයේ නාමයෙන් දිවිපුදන පෙම්වතුන්...
රට ජාතිය වෙනුවෙන් සටන්වදින් සොල්දාදුවන්...
රජවරුන්... හිඟන්නන්...
බ්ලොග් රචකයින්... හැකරුන්....
මේ සේරමත්....
මේ පුංචි තිත ඇතුළෙමයි....

මෙතුවක් කාලයකට ගොඬනැඟුණු,
හැම ශිෂ්ටාචාරයක්ම…
ගොඩනැගුනේත්…විනාශවුණේත්…
හැම නව සොයාගැනීමක්ම…
සාර්ථකවුණේත්... අසාර්ථකවුණේත්...
හැම විප්ලවයක්ම...
ජයගත්තේත්... මැඩපැවැත්වුණේත්...

මෙතුවක් කලක් අප අසා ඇති,
හැම ආගමික ශාස්තෘවරයෙක්මත්...
හැම ත්‍රස්තවාදී නායකයෙක්මත්...
කොටින්ම;
මුළු මානව සංහතියේම...
ලොකුම ශුද්ධවන්තයාත්....
ලොකුම පව්කාරයාත්...
ඇතිවූයේත්...
පැවතුණේත්...
නැතිවන්නේත්...

හිරුකිරණ කදම්බයක පැටලුණු...
දුහුවිලි අංශුවක් වන් වූ...
මේ පුංචි තිත ඇතුළෙමයි...


නාසා ආයතනය මඟින් නිකුත් කළ ඉහත ඡායාරූපය මීට වසර විස්සකට පමණ ඉහතදී වොයේජර් 1 යානය විසින් සෞරග්‍රහමණ්ඩලයේ සීමාවෙන් ඔබ්බට යද්දී ගන්නා ලද්දක්... ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළහොත් හිරු කිරණ කදම්බයක සටහන් වුණු සුදු පැහැති කුඩා තිතක් වැනි යමක් ඔබට දකින්නට හැකි වේවි... ඡායාරූපයට සාපේක්ෂව නොසළකා හැරිය හැකි තරමේ අංශුවක් වැනි වූ මේ කුඩා තිත අන් කවරක්වත් නොව අවසානයක් නොමැති සංකීරණ ගැටළු ගොන්නක් තුරුළු කරගෙන එකිනෙකා හා පොරබදමින් අප සියළුදෙනා ජීවත්වන පෘතුවියයි...

ඉමක් කොනක් නොපෙනෙන විශ්වයක තනිවී ඇති මේ පුංචි තිත තුල දහසකුත් එකක් අයිතිවාසිකම් සළකුණු කරගෙන ඒවා බෙදාගැනීමට නොහැකිව ලේ ගංගා ගලායමින් සටන් වදින අප එකිනෙකා කෙතරම් දුරස් වුවත්, එය වැඩිම වුවොත් මේ කුඩා තිතේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා තරම් වියයුතු නොවේද...?

අන්තර්ජාලයේදී ඇසගැ‍ටුණු, ඇමෙරිකානු තාරකාවිද්‍යාඥ “Carl Edward Saganගේ “Pale Blue Dot” ඇසුරින්...
මේ ඡායාරූපය දැකීමෙන් ඔබේ සිතට ආ හැඟීම් සටහන් කර යන්නට ආරාධනාවක්ද සමඟිනි...

ප/ලි : නීල් ආම්ස්ට්‍රොන්ග් කාටත් නොකී සඳගමනේ රහසක් මෙතන තියෙනවා...

Wednesday, March 9, 2011

14. ටැබූ හමුවීමි... | I met Taboo


කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයන්ගෙන් කෙනෙක් වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ මිල්රෝයි අයියායි... ගමේ අනෙකෙකු යෑමට සිතන්නටත් බිය තැන්වල ඔහු පිණුම් ගැසුවේය... ඔහු විදුලිය ඇති ‍රැහැනක් විදුලිය විසන්ධි නොකරම අළුත්වැඩියා කරන අයුරු කට ඇරගෙන බලාසිටි මම පසුව එය වැඩිහිටියෙකුට විස්තර කල විට;

"ඕක වීරකමක්ද..? ඔය මෝඩයා කවදා හරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතර වෙන්නේ..." යැයි අවඥාවෙන් සිනාසෙද්දී මම සිතින් විස්සෝප වීමි...

දිනක් ගමෙහි අලියෙක් කුලප්පු වී ගැමියෝ හිස් ලූ ලූ අත දිව යද්දී අලියා සිටි පැත්තට තම බරවා කකුල අද්දමින් දිවගියේ මිල්රෝයි අයියා පමණි... අසුරු සැනින් ඔහු පස්සෙන් දුවන්නට වැ‍ටුණු මගේ කණ හරහා වැදුණු පහරක් සමඟින්;

"මෝඩයෝ..! මැරෙන්නද හදන්නේ... මෙන්න මෙහේ එනවා..." යැයි අයියා මා වළකද්දී රිදුම් දෙන කන අතගාමින් නතරවුනු මම  මිල්රෝයි අයියාට කරදරයක් වන්නට එපා යැයි සිතින් ප්‍රාර්ථනා කළෙමි...

කලක් ගතවී ඔහු හා කුළුපග වූ පසු මා වඩාත්ම ප්‍රිය කල දෙයක් වූයේ කලාතුරකින් ඔහු විස්තර කරන, තම කකුලට බරවා සෑදීමට පෙර ඔහු කල ක්‍රියාකාරකම් පිළිබඳව අසා සිටීමටයි... පොලිතීසියෙකු ලඟ වැඩ කරන සමයේ රාත්‍රියේ හරක් හොරකමේ යද්දී කිලෝ ගණනක් බ‍රැති හරකෙකු තත්පර කිහිපයකින් ලොරියට දමාගන්නා උපක්‍රමය ඔහු විස්තර කරද්දී ඔහු කෙතරම් පහත් මිනිසෙක්දැයි මට කිසිදින නොසිතුණි... එය මා මල්ලීට විස්තර කරන අයුරු අහම්බෙන් අසාසිටි අම්මා මිල්රෝයි අයියාට සාප කරමින් මා ඔහු හා සමාගමයට ඇති සියළු මං ඇවිරීමට නොගත් උත්සාහයක් නැති...
 
ගමේ ඉඳහිට හරකෙකු නැති වූ අවස්ථාවක මිල්රෝයි අයියා අතමිට හිඟ වූ විට හරක් හොරකම් කර විකුණනවා යැයි චෝදනා කරමින්, අයිතිකරුවා සිතේ වේදනාව නැතිවන තුරු තැන තැන ඔහුට බැන වදින අයුරු විටෙක මා කණගා‍ටුවෙන් බලාසිටිමි... සැබැවින්ම මිල්රෝයි අයියා එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...

දිනෙක මිල්රෝයි අයියා නො එන ගමන් ගියේය... ඒ සිදුවීම මා හද කෙතරම් සසළ කලේද යත් ජීවිතයේ කිසිදින පද හතරක් වත් ලියා නොතිබූ මා කෙටි කතාවක් ලිවීමට පෙළඹීය... සිතේ ඇති පාළුව මගහරවා ගැනීමටදෝ කුරු‍ටු ගෑ ඒ වියමන පළකරවා ගැනීමට මගේය කියා බ්ලොග් අඩවියක්වත්, තැනක්වත් නොතිබුණි...

ඒ සිංහල බ්ලොග් අවකාශයේ ටැබූ පිණුම් ගසමින් සිටි අවදියයි... වැඩිම පාඨක පිරිසක් අල්ලා ගැනීමේ ආත්මාර්ථකාමී අරමුණෙන් මා ඔහු හමුවීමි... 

"එච්චර සාර්ථක කතාවක් නෙමෙයි... ඒත් මම මේක දාන්නම්දවස් දෙක තුනක් දෙන්න..." ඔහුගේ කෙටි පිළිතුර විය... දින කීපයක ඇවෑමෙන් හද්දා පිටිසර ගම්මානයක ඉපිද මියගිය මිල්රෝයි අයියා ගැන ලෝකයේ ඈත කොනේ ජීවත්වන්නවුන්ද දැනගන්නා අයුරු මා සතුටින් බලා සිටියෙමි... 

ටැබූ විසින් නිදි නැති රාත්‍රීන් ගණනාවක් වෙහෙස වෙමින් ඔහු නෙලා ගත් පාඨක අස්වැන්න මාගේ අහිංසක බලාපොරොත්තුවක් වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඔහු තිළිණ කලේය..මා දන්නා පරිදි ටැබූ සබ්ජෙක්ට්ස් අඩවියේ පලමු වරට පාඨක නිර්මාණයකට පාර කැපුනේ එසේය...

එය පලවී තිබෙනු දැකීමෙන් ලද කියා නිමකල නොහැකි සතුටටත් පාඨක ප්‍රතිචාර වලිනුත් අමන්දාන්නදයට පත්වූ මා කිසිදා බලාපොරොත්තු නොවූ විනෝදාංශයකට නොදැනුවත්වම ඇදී යමින් සිටියෙමි... 

ඒ මා දෙවනි නිර්මාණය නිමා කල දිනයයි... 

"ස්විම් (ටැබූ යනු එක් අයෙක් නොවේ යැයි විශ්වාසකල නිසාදෝ මා ඔහු ඇමතුවේ මේ නමිනි) මෙන්න මම ලියපු දෙවෙනි කතාව... මට ආසයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න..."
මා සිත පිළිසිඳගත් ආසාව මා ඔහුට පැවසීමි... 

"කතාව හොඳයි... මට මේක දාන එක ප්‍රශ්ණයක් නෙමෙයි... ඒත් තනියම බ්ලොග් එකක් කරන්න තීරණය කළානම් මම සුභ පතනවා..." පිටට තට්‍ටුවක් දමමින් ඔහු මට සමුදුනි...

මේ මිල්රෝයි අයියා සහ ටැබූ නිසා මා බ්ලොග් කරුවෙකු වූ අයුරුයි...
 
දැන් මිල්රෝයි අයියා සේම ටැබූ ද නොකියාම යන්නට ගොසිනි... ඉඩක් ලද ඇසිල්ලේ අලුත් ලිපියක් ඇත්දැයි බැලීමට ගොඩවැදුණු අඩවිය අද එහි නැත... ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය හැක් කර ඇතැයි තැනෙක කියවීමි... තවත් පිරිසක් පවසනුයේ එය ඔහු විසින්ම හැක් කරගෙන ඇති බවයි... එකිනෙකා හඳුනාගත නොහැකි තරමටම මඩ තවරාගත් පිරිසක් අතර මම ඔහු සොයාගෙන සත්‍ය විමසීමට  නොවෙහෙසෙමි... සැබැවින්ම  ඔහු එසේ කලාදැයි මා නොදනිමි... නමුත් ඔහු එසේ නොකල බව සිතීමට මා කැමතිය...

එදා රිදුම් දෙන කන අතගාමින් මිල්රෝයි අයියාට කරදරයක් වෙන්නට එපා යැයි මා ප්‍රාර්ථනා කල ලෙසින්ම, රිදුම් දෙන හදවතකින් ටැබූ ට කරදරයක් වෙන්නට එපා යැයි ප්‍රාර්ථනා කරමි...

~ නිමි ~

ප/ලි : මේ නිර්මාණය සයිබර් අවකාශයේ මා හට උදව් කළ කිසිදා නොදු‍ටු මිතුරෙකු අසරණ වූ අවස්ථාවක ඔහුට පෙරලා උදව් කිරීමට ක්‍රමයක් සොයාගත නොහැකි වේදනාවක්ද සමඟිනි ...

Sunday, March 6, 2011

13. කන් පීතර ජිල් මාට්‍ටුව... | Computer Jilmart

310344750_3d77edb7b8


මේක පුංචි සරල සිදුවීමක්... බ්ලොග් අඩවියක දාන්න තරම් ලොකු දෙයක් නෙවෙයි... ඒත් ඒ සිදුවීම පිටිපස්සෙන් ගලාගෙන ගිය ලොකු කතාවක් තියෙන නිසාම, අකුරු කරන්නම් කියලා හිතුවා...

මතකය දිගේ ආපස්සට ගියොත් මේ සිදුවීම වෙනකොට මම උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත් අවදිය... වාහනයක් මිදුලේ නවත්තන සද්දය ඇහිලා විපරම් කරනකොට මම දැක්කේ තාත්තාගේ මිතුරෙක් වෙන රණේ හෙවත් අපි අමතන විදියට රණවීර අංකල් ගෙදරට ගොඩවෙන අයුරු... අපේ ගෙදරට සෑහෙන ඈතින් කොළඹ හරියට ළං වෙන්න පදිංචි වෙලා හිටි නිසා රණවීර අන්කල විශේෂ කාරණාවකට හැරෙන්න නිතර දෙවෙලේ අපේ ගෙදරට ගොඩ වදින කෙනෙක් නෙවෙයි... 

"කෝ මේ දස්සයා...?" කවදාවත් නැති ගරු සම්මානයකුත් එක්ක රණවීර අංකල් මාව හොයද්දී එනපොට හොඳ නැති බව මට අවබෝධ වෙමින් තිබ්බා...

තාත්තාගේ ආමන්ත්‍රණයෙන් විසිත්ත කාමරයට ගිය මට රණවීර අංකල් කියාගෙන ගියේ දුක් ගැනවිල්ලක්... සිද්ධිය සැකෙවින් මෙහෙමයි... රණවීර අංකල්  ‍රැකියාව කරන්නේ ලෝක ප්‍රසිද්ධ විදුලි ජනක යන්ත්‍ර ගෙන්වා බෙදා හරින ශ්‍රී ලාංකික නියෝජිතායතනයක කළමණාකාරවරයෙක් විදියට... ලංකාවේ ඇති ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා, ගොඩනැගිලි වල විදුලි ජනක යන්ත්‍ර සවිකිරීම සහ පවත්වාගෙන යෑම මේ ආයතනයේ කාර්යයන්ගෙන් එකක්... මේ ආයතනයට අළුතින් පත්වෙලා එන අංශ ප්‍රධානියාව පිළිගැනීමට නියමිතව තිබුණේ එලැඹෙන පළමු රාජකාරී දිනයේදීයි... ආයතනය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට රණවීර අංකල් සූදානම් කරලා තිබුණත් ආයතනයේ තාක්ෂණික අංශයේ හදවත බඳු වූ ප්‍රධානම මෙවලම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් රණවීර අංකල් මුහුණ දී තිබුනේ උභ‍තෝකෝටික ප්‍රශ්ණයකට... ඒ තමයි මේ විදුලි ජනක යන්ත්‍ර වල ඇතිවෙන දෝෂ හඳුනාගන්න තාක්ෂණික ශිල්පීන් භාවිතා කල ඇමෙරිකාවේ මව් ආයතනයෙන් ලබාදී තිබුණු පරිගණක වැඩසටහන බාරව සිටි ඉන්දියානු ජාතිකයාට හදිසි අවශ්‍යතාවක් නිසා තමන්ගේ මව් රටට යන්නට වීම...

ඔහු හැරෙන්න මේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති අයෙක් ආයතනයේ නොමැති වීමත්, පරිගණකය අරුමයක් වූ කාලයක තමන් පාවිච්චි කරණ අධි තාක්ෂණික මෙවලම් පෙන්නා අංශ ප්‍රධානියාව අමන්දානන්දයට පත්කිරීමට ඇති අනඟි අවස්ථාව කල් දැමීමට ඇති අකමැත්තත් නිසා රණවීර අංකල් වෙනත් විසඳුමක් හොයමින් සිටි අවස්ථාවකම වාගේ මාගේ පැරණි කර්මයක් පටිසන්දීමට හේතු කාරණා සකස් වුන නිසායි ඔහුට මේ ගමන එන්නට සිතක් පහල වුනේ...

මට පැවරෙන රාජකාරියේ හැටියට මට කරන්නට තියෙන්නේ මේ පිළිබඳව තරමක් හෝ දැන සිටි තවත් අයෙකුගේ උදව්වෙන් සති අන්තයේ මේ පරිගණක වැඩසටහන අධ්‍යනය කරලා ඊළඟ දිනයේ අංශ ප්‍රධානියාට ඇට්ටි හැලෙන්නට විස්තර කිරීමයි...

"ඇයි දෙයියනේ මාවම...?" 

මේ භාරදූර කර්තව්‍යයට මාවම පැටලීමට හේතුව කල්පනා කරද්දී මට මතක් වුණේ කලකට ඉහත දිනයකදී මම පරිගණක අංශයෙන් ඉදිරියට යන්නට කැමති බව රණවීර අංකල්ට පුරසාරම් දෙඩූ බවයි... ඒ හැරෙන්නට මට තබා මගේ හත්මුතු පරම්පාරාවේ කිසිවෙකුටවත් ඒ වනවිට පරිගණක දැනුමක් තිබුණේ නැහැ... පාසලේ තිබූ පරණ ලඩිය අතපතගා නොසිටින්නට මමත් හිටියේ අපේ ආදරණීය අත්තම්මාගේ බෝට්‍ටුවේමයි...

"මේක තමයි ට්‍රබ්ල් ශූටින් වලට පාවිච්චි කරන්නේ... මේන් පාර්ට් එක තියෙන්නේ ඔ‍ෆිස් එකේ... හෙට සංජය එක්ක ගියාම පුතාට ඒක බලන්න පුළුවන්..."

තමන්ගේ කාර් රථයෙන් එළියට ගත්ත ලැප් ටොප් එක ක්‍රියාත්මක කරන ගමන් රණවීර අංකල් කියද්දී මින් පෙර කවදාවත් දැක නැති මේ උපකරණය දෙසත් ඒ ගැන සියල්ල දන්නා තමන්ගේ පුතා ගැනත් මගේ අහිංසක අම්මාත් තාත්තාත් බලාගෙන හිටියේ පුදුමයෙන් සහ ආඩම්බරයකින්...

"අංකල් මේ මොකද්ද එස්ඕඑස් කියලා ඒගොල්ලන්ගෙම ඔපරේටින් සිස්ටම් එකක්ද කොහෙද... මම දන්නේ වින්ඩොස් කියලා එකක්නේ..." 

මින් පෙර කිසිදා දැක නැති පරිගණක තිරයක ඔබ මොබ යෑමට තතනමින් සිටි මම කියද්දී රණවීර අංකල් දුන් පිළිතුරෙන් මම වැටී ඇති අගාධයේ ගැඹුර ගැන තරමක අවබෝධයක් මට ලැබුණා...

" එස්ඕඑස්, වින්ඩෝස්, ඩොස් ඔය සේරම එකයිනේ පුතා... සේරම කම්පියුටර් තමයි... ඔයාට අල්ලගන්න පුළුවන් බලන්නකෝ..."

රණවීර අංකල් එහෙම කියද්දී තාත්තා හිස වනමින් ඒ කතාව අනුමත කලා... තවදුරටත් මේ ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් බව තේරුම් ගත්ත මම නිහඬ වුණේ හැකි උත්සාහයක් දරා මෙහි අගක් මුලක් අවබෝධකරගැනීමට හිත හදාගනිමින්…

පසු දින තමන් විසින් කල්තියාම බාරගත් ළමා නිවාසයකට දානයක් දීම පැවරී ඇති නිසා අපිත් සමඟ සම්බන්ධවීමට නොහැකි වීම ගැන කීප පාරක්ම සමාව ඉල්ලාසිටි රණවීර අංකල් පසු දින මාව ‍රැගෙන යෑමට සංජය නැමති සේවකයා එක්ක වාහනයක් එවන පොරොන්දුවක් සමඟින් සමුගත්තේ මගේ හැකියාවන් සහ අනාගතය ගැන අතිශෝක්තියකින් වර්ණනා කර අම්මාත් තාත්තාත් සිහින සාගරයක ගිල්වමින්...

තරමක් වෙලා ගත් උත්සාහයකින් පස්සේ යන්තම් මේ අටම්පහුර මොකද්ද යන්න ගැන තරමක අවබෝධයක් ලබාගන්න මට පුළුවන් වුණා… කෙටියෙන් පැහැදිලි කලොත් මගේ සීමිත දැනුමට වැටහුණු විදියට මේ වැඩසටහන සහිත ජංගම පරිගණකය විදුලි ජනක යන්ත්‍රයේ විශේෂිත පරිපථයකට සවිකල විට විදුලිජනක යන්ත්‍රයේ ඇති දෝෂ, අඩුපාඩු සහ වර්තමාන තත්වය පිළිබඳව බුද්ධිමත් දත්ත වාර්තාවක් ලබා දෙන්නට සමත් බව තැන්පත් වී තිබූ දත්ත වලින් මට තේරුම් ගියා... වෘත්තීය මට්ටමේ තාක්ෂණික ශිල්පියෙකුට තමන්ගේ කාර්යය මෙයින් ඉතාමත්ම පහසුවෙන බව ඒගැන දැනුමක් නැතිව වුණත් අවබෝධකරගන්න මට අපහසු වුණේ නැහැ... ගැටළුව වුණේ ඉන් එහාට තවකෙනෙකුට මේක උඩින් පල්ලෙන් හෝ විස්තර කරන්න තරම් විධිමත් අවබෝධයක් ලබාගන්න ක්‍රමයක් නැතිවීමයි... තැන් කිහිපයකම වැඩි විස්තර සඳහා අත් පොත බලන්න කියලා සඳහන් වුණත් මේ කියනා අත් පොතක් නම් මට හොයාගන්නට හැකිවුණේ නැහැ... හෙට දිනයේ උදෑසනින්ම මේ කියනා මහානර්ඝ අත් පොත සොයාගැනීම තමයි මගේ ප්‍රධාන ඉලක්කයක් වුණේ...

මේ සියල්ලටම වැඩියෙන් මගේ හිතට වද දුන්නු තවත් ගැටළුවක් තිබුණා... ඒ මම මිතුරන් දෙදෙනක් එක්ක 
හෙට දිනයේ තවත් බැරෑරුම් රාජකාරියක් යොදාගෙන තිබීම... අපේ කළණ මිතුරෙක් තමන්ට වඩා අවුරුදු  විස්සක් පමණ වැඩිමල් කාන්තාවක් එක්ක ඇතිකරගෙන තිබූ සීරියස් සම්බන්ධයක් නතර කිරීමට ඒ කාන්තාව හොඳින් හෝ නරකින් පෙළඹවීමට අපි මිතුරන් කීප දෙනෙක් යොදාගෙන තිබුණේත් මේ සති අන්තයමයි... එන්නට පොරොන්දු වූ මිතුරන් කීප දෙනෙක්ම අනුන්ගේ කුණුගොඩවල් වලට අත දැමීමට ඇති අකමැත්ත නිසාමදෝ අන්තිම මොහොතේ බොරු හේතු දක්වමින් මඟ ඇරීම නිසා අපි තිදෙනාම හිටියේ තරමක කේන්තියකින්... ඉතින් දැන් හෙට දිනයේ ඉතිරි දෙදෙනා තනිකරමින් මම මේ දෙන්නට යන නිදහසට කාරණයෙන් මමත් අනිත් එවුන්ගේ ගොඩට වැටෙන බව පැහැදිලි වුණ නිසා මට දැනුනේ ලොකු කණගා‍ටුවක්...

නිදි වර්ජිත රාත්‍රියක අපහසුවත් තුරුළු කරගෙන උදෑසනින්ම මම සංජය කියන සේවකයා එක්ක පිටත් වුණා...ආයතනයේ තවත් පැය කිහිපයක උත්සාහයකට පස්සේ හිතූ තරම් ප්‍රථිපලයක් ලබා ගන්නට බැරිව අපහසුවට පත්වෙලා හිටිය මම රණවීර අංකල් ඇමතුවේ මොන ලෝකයෙන් හෝ මේ අත්පොත සොයාගත යුතු බව පැහැදිලි වුණ නිසයි...

"අංකල් මේකේ ටෙක්නිකල් මැනුවල් එකක් තියෙනවා, අපිට ඒක හොයාගන්න බෑ... මේ මනුස්සයට කතාකරලා ඒක තියෙන තැන අහගන්න බැරිද...?"

මගේ ඉල්ලීමට එකඟ වුණු ඔහු දුරකථනය විසන්ධි කළේ මට සතු‍ටුදායක පිළිතුරක් දෙන පොරොන්දුව පිටයි... තවත් පැය දෙකකින් විතර අපි හමුවට දහදිය පෙරමින් රණවීර අංකල් දුවගෙන ආවේ සංයුක්ත තැටියකුත් අතින් අරගෙන...

"මේකද බලන්න පුතා... මේක මිනිහගේ බෝඩිමට ගෙනිහිල්ලා, මම දඟලලා දඟලලා තැන හොයාගෙන කොහොම හරි අරගත්තා..."

රණවීර අංකල් පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙන්... සංයුක්ත තැටි ජනප්‍රිය නැති ඒ කාලයේ නැවත සොයාගැනීමට ඇති අපහසුව නිසාම ඔහු ඒක වැඩි ආරක්ෂාවට නවාතැනට ගෙනයෑම තේරුම් ගත හැකියි...

රණවීර අංකල් ඉන්පසුව විස්තර කළ විදියට ඒ සඳහා ඔහුට ගෙවන්නට වුණු වන්දිය තරමක් විශාලයි... අන්තර්ජාතික දුරකථන ගාස්තු අද තරම් ලාභ දායී නොවූ ඒ කාලයේ කිහිපවරක්ම තම ඉන්දියානු සගයා ඇමතීම සඳහා සැලකිය යුතු තරම් මුදලකුත් දානය වේලාවේ අවශ්‍යම අවස්ථාවේදී ඉන් පිටවන්නට සිදු වීමත් ඒ අතරින් ප්‍රධානයි...

ඉන් අනතුරුව අපි තිදෙනාම ගත කරපු වෙහෙසකර නමුත් ඵලදායි පැය ගනණකින් පසු සතු‍ටුදායක මට්ටමකින් තත්වය පාලනය කරගැනීමට හැකි බවට මම සෑහීමකට පත්වුණා... 

පසු දිනයේ අපි බලාපොරොත්තු වුනු මොහොත උදාවුණා, අංශ ප්‍රධානියාව පසෙකින් වාඩි කරගත්ත මම මේ වැඩසටහන ගැන හැඳින්වීමක් සහ එහි ප්‍රයෝජනය ගැන කෙටියෙන් සඳහන් කිරීමෙන් පස්සේ එකින් එක තිරය ගෙන විස්තර කරන්නට පටන් ගත්තා... සියල්ල සතු‍ටුදායකව සිදුවෙන බව වටහාගත් රණවීට අංකල් අපි දෙදෙනාව පරිගණක කාමරයේ තනිකරලා එළියට ගියේ මහපට ඇඟිල්ල ඔසවලා මට සතුට ප්‍රකාශ කරමින්...

කතාවේ හොඳම හරිය එන්නේ ඉන් පසුවයි... පුරා පැයකට අධික කාලයක් මට හැකි උපරිම අයුරින් මෙය විස්තර කරන අතරේ මම උත්සාහාකලේ අංශ ප්‍රධානියාගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්නට...ඔහු මුහුණෙන් කිසිම හැඟීමක් ප්‍රකාශ නොකලා පමණක් නෙවෙයි මේ කාලය පුරාවටම අතරින් පතර හිස සලනවා ඇරෙන්නට මගෙන් එකම ප්‍රශ්ණයක් වත් ඇසුවේ නැහැ... මින් මම තේරුම් ගත්තේ එක්කෝ ඔහු මේ සියල්ල දන්නා බව හෝ ඔහුට කිසිත් වැටහෙන්නේ නැති බවයි... අවසානයේ මෙතෙක් වෙලා මම පැහැදිලි කළ සියල්ල විනාඩි කිහිපයින් සමාලෝචනය කිරීමෙන් පස්සේ මම ඒ භාරදූර කාර්යය අවසන් කලේ සැනසුම් සුසුමක් හෙලමින්...

"සර් එහෙනම් පොඩ්ඩක් එස්ප්ලොර් කරලා බලන්න..." 

ඔහුට අසුන භාර දුන්න මම මඳක් ඔබ්බෙන් පිහිටි පරිගණකයක් අසලට ගියේ ඔහුට කැමති දෙයක් කිරීමට ඉඩ හරිමින්...

මගේ ඉල්ලීමට අවනත වුණ ඔහු නිහඬවම පරිගණකය ඉදිරියේ වාඩි වුණා... ඔහුගේ තිබුණු මේ අද්භූත නිහැඬියාව මට ගෙනදුන්නේ තරමක අපහසුවක්... මම අත්පොත කටපාඩම් කරගෙන කියෙව්වා මිසක් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව ඔහුට වැටහෙන්නට ඇතිද යන්න දිගටම මගේ හිතට වද දුන්නා... ඔහුට හොරෙන් ඔහු පරිගණකයේ කරන්නේ මොකද්ද කියලා මම නිරීක්ෂණය කලේ මේ ඇති වුණු කුකුස නිසාමයි...

තරමක් වෙලා පරිගණක තිරයේ ඔබ මොබ නෙත යවමින් හිටි ඔහු ඉන්පසු කලේ මා හීනෙන්වත් නොසිතූ දෙයක්...

මූසිකපෑඩය මත ඇති මූසිකය තම දබර ඇඟිල්ලෙන් බියෙන් මෙන් සෙමින් තල්ලු කරපු ඔහු, ඒ චලනයට අනුරූපීව තිරයේ ඇති ඊතළය සෙලවෙන අයුරු උනන්දුවෙන් නීර්ක්ෂණය කලේ මහත් පුදුමයකින් ..!

~නිමි~

ප/ලි : 

මේ සිද්ධියේ කොතැන හරි ලොකු වැ‍රැද්දක් වෙලා තියෙන බව මට හිතෙනවා... තේරුමක් නැති වැඩක් වෙනුවෙන් අපි කීප දෙනෙක්ගෙම කාලය නාස්ති වුණෙත්, මගේ හොඳම මිතුරන් දෙන්නෙකුව අවශ්‍යයම වෙලාවක තනිකරන්න සිදු වුණෙත් රණවීර අංකල්ට දානේට ඉන්න බැරි වුනෙත් ඒ වැ‍රැද්ද නිසායි... ඒත් වැ‍රැද්ද කාගෙද කියන එක මට තාමත් පැහැදිලි නැහැ...

කෙටියෙන් ලියන්නම් කියලා හිතාගෙන ඉඳ ගත්තත් දන්නෙම නැතිව ගොඩක් ලියලා... වැරදුණු ගුරුකම කතාවෙන් පස්සේ කතාව කෑලි කඩන්නේ නෑ කියලා හිතාගත්ත නිසා දිගටම ලිව්වා... දෙබස් එහෙම ගොඩක් නැති නිසා දිගටම කියවන්න කම්මැලිද කියලත් බයක් හිතෙනවා... තාක්ෂණික කරුණු මොනවත් ලියන්නේ නැතිව කතාව කියන්න මම උත්සාහා කලෙත් මේ බය හින්දමයි...

රණවීර අංකල්ගේ ප්‍රධානියා විස්තර කරන විදියට මේ කතාවම ලියන්න මට ආසයි... ඒත් තවම ගොඩ පීනන නිසාද කොහෙද  පුද්ගලික අත්දැකීමක් කලවම් නොවුණු දෙයක් ලියන්න අපහසුයි... කියවූ ඔබට ස්තූතියි... නැවත මුණගැසෙන තුරු සුභ දවසක්...!

Tuesday, March 1, 2011

12. මහළු සොල්දාදුවා | The Old Soldier


Muammar al-Gaddafi,, during an interview yesterday... when he was asked whether he would run away from Libya...


ලේ වැකුණු රන් කාසි ආකර
දෙවියනුත් යට කර උනද්දී...
කල නොකල පව් එකින් එක
පෙලගැසී වන්දිය මිල කරද්දී...
සදාකාලික සිහින කිරුළක
මුතු පබළු ගිලිහී වැටෙද්දී...
ලෙයින් කඳුලින් පොඟවමින්
ගොඩනැගූ විජිතය සසල වෙද්දී...

මධුබඳුන් දෝතින් අරා
සව්දිය පිරූ උන් මඟ හරිද්දී...
පණ ගසා ආ සතුරු බලමුළු
එක් කඳවුරක රොද බඳිද්දී...
මරණයේ පණිවුඩ ‍රැගත්
දූතයන් නුදුරක අත වනද්දී...
සිනාසෙන්නට දෙතොල අවනත
මහළු නුඹ මට අරුමයක් මැයි..!

Friday, February 25, 2011

11. කොචින් දුම්රියේ සාත්තරකාරයා | Fortune Teller in the Cochin Express


david_blaine_rising_card

"ඔන්න ඉන්දියන්කාරයෙකුයි පකිස්ථාන්කරයෙකුයි අසල්වැසියෝ..."

කථා මැසිමක් වන අරූන් එකක් ඉවරවන විට තව එකක් ලෙස කථාවක් පටන්ගන්නේ දුම්රියේ එකිනෙකට මුහුණලා ඇති ආසන දෙකෙහිම වාඩිවී සිටිනා මගීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින්...

"දවසක් ඉන්දියන් එකාගේ කිකිළි ගිහිල්ලා පකිස්තාන් එකාගේ වත්තේ බිත්තරයක් දැම්මා... දැන් දෙන්නම බිත්තරේ අයිති කරගන්න රංඩු වෙනවා...”

කියන්නට යන කතාවෙන් සුපුරුදු පරිදිම තමන්ට අපහාසයක් වෙන බව දන්න වස්ති හූමිටි නොතියාම අහගෙන ඉන්නවා...

"ඉන්දියන් එකා පකිස්ථාන් එකාට කිව්වා...හරි මේවගේ ප්‍රශ්ණ විසඳන්න අපේ පරණ ක්‍රමයක් තියෙනවා... මම උඹට වැටෙන්න හයියෙන් උඹේ ටෙස්ටිකල්ස් වලට පාරක් දෙනවා... ඊට පස්සේ උඹත් මට එහෙමම කරපං... අඩුම වෙලාවකින් නැගිටපු එකාට බිත්තරේ ලැබෙනවා කියලා... ඉතින් පකිස්ථාන් එකා කැමති වුණා හරිද...?"

බරක් පතලක් නොමැතිව අරූන් හඬනගා පවසද්දී මගේ ඇස් හාත්පස සිසාරා දිව යන්නේ කුඩා දරුවෙකු මේ සංවාදයට සවන්දෙනවාදැයි බියෙන්... ඉදිරි අසුනේ සිටි මැදි වියට ආසන්න යුවතිය තම සැමියාගේ මුහුණ බලමින් මදහසපාද්දී මා ඉදිරියේම අසුනේ එරමිණියා ගොතාගෙන වාඩිවී සිටින තරුණිය ජනේලයෙන් ඈත ක්ෂිතජය දෙස නෙත් යොමාගෙන ඉන්නේ මුහුණේ කිසිඳු හැඟීමකින් තොරවයි...

"ඉතින් අපේ එකා උඹලගේ එකාට කැරකිලා වැටෙන්න අතෙන්ට පාරක් දුන්නා... විනාඩි දහයක් විතර සිහිය නැතුව ඉඳලා කොහොමහරි මූ අමාරුවෙන් නැගිට්ටා..."

"ඒක නෙමෙයි මොකද්ද මේ පහුවෙන ඉස්ටේෂම...?"

කතාවේ හොඳම හරියෙදි අරූන් විරාමයක් ගන්නේ අසන්නන්ගේ අවධානය වැඩි කරගැනීමට විය යුතුයි... ඕනැවට එපාවට ජනේලයෙන් එලිය බලන කීපදෙනෙක් පිළිතුරක් නොදීම ආයෙත් අරූන් දෙසට හැරෙන්නේ කතාවේ ඉතුරු ටික අසාගන්නට ඇති උනන්දුවෙන්...

"හරි උඹලගේ එකා කියනවා කෝ දැන් මගේ වාරේ කියලා... ටික වෙලාවක් කල්පනා කරලා මෙන්න අපේ එකා කියනවා, නෑ එක්කෝ උඹ බිත්තරේ තියා ගනින් කියලා...හහ් හහ් හා...!!!"

කතාව නිම කරන අරූන් මහ හඬින් සිනාසෙමින් වස්තිගේ පිටට තට්‍ටු කරද්දී, තරුණියගේ මුහුණේ හැරෙන්නට කතාව අසා සිටි හැමදෙනාගෙම වාගේ මුහුණට නැගෙන්නේ හිනාවක්... තරම ඈතින් සිටි අයෙක් අවශ්‍යය ප්‍රමාණයටත් වඩා හඬනගා සිනාසෙන්නේ වස්ති දෙස එක එල්ලේ බලමින්... සිනාමුසු මුහුණින් අරූන්ගේ උපහාසය විඳගන්නා වස්ති අත ඇති ජංගම දුරකථනයේ බොත්තම් ඔබන්නේ අරමුණකින් තොරවයි...

ඒ මම ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි දෙවෙනි හෝ තෙවනි වසර… මමත්, මාගේ ඉන්දියානු ජාතික මිතුරෙකු වෙන අරූනුත්, පාකිස්තානු ජාතික මිතුරෙකු වන වස්තිත්, අරූන්ගේ වැඩිමහලු සහෝදරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා බැංගලෝර් සිට කොචින් බලා පිටත් වූයේ දුම්රියෙන්... අප තිදෙනා බඩ බැඳගත් මිතුරන් නොවූවත් මේ ගමනට අප තිදෙනාම එකතුවීමට අඩිතාලම වැ‍ටුනේ , විනෝදාංශය ලෙස ඡායාරූප ශිල්පයේ නියැළුණු වස්තිට මංගල උත්සවය ආවරණය කර දෙන ලැබුණු ඉල්ලීමත් ඒ සඳහා ඔහුට සහය වීමට මා හට ලැබුණු ඉල්ලීමත් නිසයි...

මේ දක්වා සියල්ල සාමාන්‍යය ලෙස සිදුවෙමින් තිබුණත් ඉදිරි අසුනේ සිටි හැඩකාර තරුණියත් සමඟ කුලුපග වීමට අප ගත් සෑම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ත වුණේ පුදුම සහගත ලෙසයි... චිත්‍රපටි, සංගීතය, විලාසිතා, කෑම බීම, ඉවුම් පිහිම්, සාහිත්‍ය, විද්‍යාව, ක්‍රීඩා, විහිළු යනාදී මෙකී නොකී සෑම ක්ශේත්‍රයක් තුළින්ම ඇය කතාවට අල්ලාගැනීමට පැය කිහිපයක් තිස්සේම අප ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වීම නිසා අප තිදෙනාම සිටියේ කේන්තියකටත් වඩා අප ගැනම උපන් කලකිරීමකින්... අභියෝගය අතැර දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී මා කාටත් හොරෙන් තවත් තුරුම්පුවක් අත්හදා බැලුවා... ඒ දීර්ඝ ගමනේ කාංසිය මඟහරවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙතැයි අදහස් කර දුම්රියට නැඟීමට ප්‍රථම අප මිළදී ගෙන තිබූ කඩදාසි කුට්ටමක් භාවිතා කරමින් ආදර සම්බන්ධතා පිළිබඳ සාස්තර අනාවැකි කිවීමට පටන් ගැනීමෙන්...

වසර කිහිපයක් තිස්සේ දැන සිටි මා මිතුරන් දෙදෙනා ගැන සාස්තර කීමට නොහැකිනම් මා උපන් ගෙයි මෝඩයෙක් විය යුතුයි... එසේම තවත් වසර කිහිපයකින් සිදුවන දේ ගැන දැන්ම අනාවැකි කීම තරම් පහසු දෙයක් ලොවේ තවත් නැහැ... ඔවුන් දෙදෙනාවම මන්මත් කරවන සාස්තර දෙකකින් පසු අපි හැරුණේ ඉදිරියෙන් සිටි මැදිවියේ යුවල වෙත...ඔවුන් අප ඉදිරියේ හැසිරුන පැය කිහිපය සාස්තරයකට ඇති තරම් අමුද්‍රව්‍ය සැපයූවා...

සැමියාට සහ බිරිඳට වෙන වෙනම කියූ සාස්තර දෙකම නිවැරදි බවට ඔවුන්ගෙන් අතිශෝක්තියෙන් ලබාගත් සහතික දෙකත් සමඟ අප හැරුණේ ඇය වෙත... තම පෙම් පළහිලව්වේ අනාගතය ගැන දැනගැනීමේ කුකුස තම ආඩම්බරයට වඩා වැඩි වූ හෙයින් දෝ මා ලබාදුන් කඩදාසි කුට්ටම සුරතට ගත් ඇය සිනාමුසු මුහුණින් යුතුව එය කළවම් කිරීමට පටන් ගත්තා...මේවා මොන බොරුද යන හැඟීමක් ඇය මුහුණින් දිස් වුවත් කඩදාසි කුට්ටම කළවම් කරන විට ඇයගේ සිහින කුමරා ගැන සිතමින් කළවම් කරන්න යැයි යැයි මා දුන් උපදෙස ඇය අවංක හැඟීමකින් පිළිපැදි බවට අදටත් මට විශ්වාසයි...

ඇය කළවම් කර නැවත ලබා දුන් කඩදාසි කුට්ටමේ මට අවශ්‍යය කාඩ්පත් ඉතිරි වෙන ලෙස අනිත්වා පිළිවෙලකට ඉවත් කළ මම ඉතිරි කාඩ්පත් කිහිපය දිගහරිද්දී, මින් සුළු වේලාවකට පෙර අප තිදෙනාව තඹයකටවත් මායිම් නොකළ ඇය තම සම්පූර්ණ අවධානයම අප වෙත යොමුකරගෙන සාස්තරය දැන ගැනීමට හරි බරි ගැසෙන අයුරු දැක මා සිතේ ඇතිවුනේ ජයග්‍රාහී සතුටක්...

"මෙන්න බලන්න... මේ හාර්ට්ස් කුවීන් පේනවා නේද..? මේ තමයි ඔයා... මෙන්න ඉන්නවා ස්පේඩ් කින්ග්... මේ තමයි ඔයා හිතාගත්ත එක්කෙනා... ඔයාල දෙන්නා මැදින් තියෙන මේ කාඩ්ස් ටික පේනවා නෙද..? මේ තමයි ඔයාගේ ආදර ජීවිතයට එල්ල වෙන බාධක... මේ හාර්ට්ස් ඒස් පේනවද..? මේ තමයි ඔයාගේ හාර්ට් එක, එතකොට මේ ස්පේඩ් ඒස් තමයි එයාගේ හාර්ට් එක... බලන්න ස්පේඩ් ඒස් හාර්ට්ස් ඒස් එක ක්‍රොස් කරලා පිහිටලා තියෙන හැටි... ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ... හැබැයි බලන්න ඒක ඩයමන්ඩ් ඒස් වත් ක්‍රොස් කරලා තියෙනවා..."

“ඒකේ තේරුම මොකද්ද..?” 

ඇස් ලොකු කරගෙන ඇය එසේ විමසද්දී මා අත ඇති කාඩ්පත් දෙස එබීගෙන සිටින අරූනුත් වස්තිත් එකවරම මා දෙස ඇස් යොමු කරන්නේ පිළිතුර දැනගැනීමට ඈ හා සමානම උනන්දුවකින්...

“ඒකේ තේරුම තමයි එයාව දිනාගන්න තව කෙනෙක් උත්සාහාකරනවා... බලන්න ඒ දෙක අතරේ තියෙන කාඩ්ස් ගාන ඔයාගේ කාඩ්ස් ගානට වඩා අඩුයි... ඒ කියන්නේ එයාගේ බාධක ඔයාගේ බාධක වලට වැඩිය අඩුයි... ඉතින් ඔයාට මහන්සි වෙන්න වෙනවා... පේනවද මේ ඔයාගේ හාර්ට් එක ක්‍රොස් කරලා තියෙන ඩයමන්ඩ් ඒස්...? ඒ කියන්නේ ඔයාට ට්‍රයි කරන තව බෝයි කෙනෙක්... ඒ වුණාට ඔයා කැමති නෑ මොකද හාර්ට්ස් කුවීන් ක්ලබ්ස් කින්ග් පැත්ත පලාතේ නෑ...”

අත ඇති කඩදාසි කොල ගලපමින් කටට එන දේ අතහරින මා සුරතේ ඉතිරිව ඇති කඩදාසි දෙස ඔවුන් තිදෙනා ඇසිපිය නොහෙලා බලා සිටින්නේ නිධානයක සිතියමක් අවබෝධ කරගැනීමට උත්සාහාගන්නාවුන් තිදෙනෙක් මෙන්...

"දැන් එතකොට අනාගතේ මොකද වෙන්නේ…? මට එයාව ලැබෙන එකක් නැද්ද...?" 

මා කෙරෙහි උපන් අපමණ විශ්වාසයකින් ඇය ප්‍රශ්ණ කරන්නේ වෙව්ලන ස්වරයකින්...

“ඒක තීරණය කරන්නේ කාඩ්ස් නෙවෙයි... මේ කාඩ්ස් වලටවත් මටවත් බැහැ ඔයාගේ අනාගතේ වෙනස් කරන්න... ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරමයි...ඔයා හිතුවොත් ඔයාට එයාව දිනාගන්න පුළුවන් කියලා ලබන අවුරුද්දේ ඔයා එක්ක ඉන්නේ එයා... “

මා එසේ පවසමින් අත ඉතිරිව ඇති කාඩ්පත් අතරින් ඇයව සහ ඔහුව නියෝජනය වනවායැයි පැවසූ කාඩ්පත් දෙක ඉවතට ගෙන බැරෑරුම් මුහුණක් මවාගෙන ඇයගේ උකුල උඩ ඇති අත් බෑගය මතින් තබද්දී ඇය ඒ දෙස බලා සිටින්නේ බලාපොරොත්තු සහගත නෙතින්...

“හැබැයි ඔයා හිතුවොත් ඒක කරන්න බැහැ කියලා... සැකයන් නෑ ඒක ඒ විදියටම වේවි..." 

ඉස්කෝප්ප ආසියා, හාරත රැජින අසලින් ගිලිහී යන ලෙස දබ‍රැඟිල්ලෙන් පහරක් ගසමින් මම ඔහේ දොඩවද්දී අරූන් හිස වනා එය අනුමත කරන්නේ හරියට මා දේව වාක්‍යයක් පැවසූ නියාවෙන්...

" මෙහෙමයි ඔයා තීරණය කරගෙන ඉන්න ඇයි ඔයාට එයාව ඕනේ කියලා... ඒ හේතුව ටික කාලෙකින් වෙනස් වෙලා යන දෙයක් නම් ඔයාට පස්සේ කණගා‍ටුවෙන්න වේවි..."

" මේ කාඩ් පිහිටලා තියෙන විදියට මට තේරෙන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඇහුම්කන් දෙන ගෑනු කෙනෙක්, තමන්ව පාලනය කරන කෙනෙක් නෙවෙයි... ඉතින් ඔයා ඒවගේ කෙනෙක් කියලා එයාට දැනෙන්න ඉඩ ඇරලා නෑ නේද...? "

මේ කණාව වරදින්නේ කලාතුරකිනි...

"නෑ..."

"ඒකනේ... එයාගේ සිතුම් පැතුම් මීට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාලා දෙන්නා කොච්චර ගැලපෙනවද කියලා කලබල නැතිව පරිස්සමෙන් අවබෝධකරගන්න..."

ඇය හිස වනා පිළිගනියි... පිළිගන්න එපැයි... මම වැරදි දෙයක් කිව්වායෑ...

"ඔයා දන්නෙත් නැතිව, ඔයා එයා ඉස්සරහා මවාගත්ත සීරියස් ගතියකින් නේද හැසිරෙන්න ට්‍රයි කරන්නේ... එහෙම කරන්න එපා... නැචුරල් විදියට හැසිරෙන්න,... බයවෙන්න එපා... මේ කාඩ්ස් වලින් කියවෙන දේ ඇත්තනම් එයාට දැනටමත් ඔයාව ගොඩක් වටිනවා... ඒක එයාට හරියටම ඔප්පු කරලා දෙන්න විතරයි ඔයාට තියෙන්නේ... "

ඇයගේ සිත්ගත් සිහින කුමරා දිනාගත යුතු ආකාරය ගැන ඕනෑම තැනක සාර්ථකව අලෙවිකර හැකි ධනාත්මක උපදෙස් කිහිපකුත් සමඟින් කඩදාසි කුට්ටම හකුලා මා සාස්තරය අවසන් කරන විට ඇය අපට අවශ්‍යය වූවාටත් වඩා මහපොළවට පා තබා සිටියා... ඉන් අනතුරුව ගමනාන්තය දක්වාම මිතුරන් තිදෙනෙකුගේ සිනා හඬට වෙනුවට දුම්රිය ජනේලයෙන් එළියට විහිදුනේ මිතුරු මිතුරියන් හතර දෙනෙකුගේ සිනා හඬයි...

මීළඟට සිදුවූ සිදුවීම් එකින් එක මා විස්තර කරන්නට නොයන්නේ ඒවා මෙම කතාවට සෘජුව අදාළ නොවන නිසායි... කතාවේ මීළඟ කොටස ඇරඹෙන්නේ උත්සවයේ කටයුතු සාර්ථකව නිමකර, තවත් දිනකිහිපයක් තම නිවසේ නතරවීමට තීරණය කල අරූන්ගෙන් සමුගෙන අප දෙදෙනා නැවත බැංගලෝරයට පැමිණි පසුවයි...

නැවත බැංගලෝරයට පැමිණ එලැඹුණු පලවෙනි සති අන්තයේම උදෑසන මා අවදි වූයේ නවාතැනේ ඇන්ටී මා අමතන හඬින්...

"යු හෑව් ගොට් සම් විසිටර්ස් හියර්...!"

ඇයගේ දැනුම්දීමෙන් පසු කඩිණමින් මුහුණ කට දොවාගත් මා පහත මාලයට පියමැන්නේ උදෑසනම පැමිණ සිටින මේ වදකාරයින් කවුරුන්දැයි දැනගන්නා අටියෙන්... මා පුදුමයට පත්කරමින් සෝෆාවේ වාඩිවී සිටියේ මා හිතවත් අරූන් සහ ඔහුගේම වයසේ යැයි සිතිය හැකි ලජ්ජාශීලී තරුණයන් දෙදෙනෙක්... 

"උඩට එන්න... " මාගේ ආරාධනාවෙන් අප නිදන කාමරයට ඔවුන් තිදෙනා ඇතුලු වූ පසු අරූන් එකිනෙකාව හඳුන්වා දුන්නා...

"මේ සාගර්, දුරින් මගේ සහෝදරයෙකුත් වෙනවා... මේ මගේ තව යාළුවෙක් රෙඩ්ඩි..."

අතිනත දී මා ඔවුන්ට ආචාර කළේ මොවුන් තිදෙනා මා හමුවට පැමිණියේ මන්දැයි තේරුම් ගැනීමට උත්සාහාකරමින්... තවත් සුළු මොහොතකින් මා පුදුමයට පත් කරමින් සාගර් තම කළිසම් සාක්කුවෙන් ඉවතට ගත්තේ අළුතින්ම මිළදී ගත් කඩදාසි කුට්ටමක්...

"මේ දෙන්නගෙම පොඩි ආදර හුටපට දෙකක් තියෙනවා... මේ ඒගැන දැනගන්න මම එක්කන් ආවේ..."

අරූන් එසෙ පවසද්දී බිම පෙරෙලෙමින් සිනාසෙන්නට මා හට ආ හැඟීම මා පලනය කරගත්තේ ඉතා අසීරුවෙන්… ඉන් අනතුරුව කිලෝමීටර පන්සියයකටත් අධික දුරක් ගෙවාගෙන මහත් බලාපොරොත්තුවකින් මා වෙත පැමිණි මේ අහිංසකයන් දෙදෙනා ගැන මා හට ඇති වුයේ දරාගත නොහැකි කණගා‍ටුවක්... අරූන් වත් ඇදගෙන බැල්කනියට ගිය මා, මා දන්නා සාස්තරයක් නැති බවත් එදින ඒ තරුණිය කතාවට අල්ලා ගැනීම සඳහා මා කටට ආ ගජබින්න අතහැරි බවත් ඔහුට පැහැදිලි කලා... මා පුදුමයට පත් කරමින් ඔහු මා කියනා දෙය විශ්වාස කිරීමට මැලි වූයේ එදින මා ඔහුහට පැවසූ සෑම දෙයක්ම සහතික ඇත්ත බව සපථ කරමින්... කියනා කිසිදෙයකින් ඔහුව නම්මා ගත නොහැකි වූ පසු මා ඇඳ උඩ වාඩි වී ඔවුන් දෙදෙනාගේ අනාගතය කීමට කඩදාසි කුට්ටම අතට ගත්තේ ගැහෙන හදින්...

අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ මාගේ කාමර සගයා වූ ආදරණීය ජැක්කා නිදි යහනෙන් අවදිව තම කාමරයේ සිටිනා මේ අමුත්තන් දෙදෙනාගෙන් ඔවුන් පැමිණි කාරනය දැනගෙන, කොචින් සිට පවා සාස්තර ඇසීම සඳහා ජනතාව පැමිනෙන එහෙත් තමා නොදැන සිට මේ අරුමපුදුම සාස්තරකරුවා අනාගත වාක්‍යය දෙසනා අයුරු අයාගත් මුවින් බලාසිටි ආකාරය අදටත් මාහට මතකයි...

යන්තම් ගුටි නොකා සාස්තරය අවසන් කරගැනීමට හැකිවූ මා අරූන්ට සමුදුන්නේ නැවත කිසිදා සාස්තර ඇසීමට කිසිවෙකු ‍රැගෙන නො එන බවට දිවුරා සපථකළ පොරොන්දුවක් ඔහුගෙන් ලබා ගනිමින්...

Saturday, February 19, 2011

10. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love Story

image

"හත්වන වේදිකාවට පැමිණියේ මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි..."

යකඩ කටේ සද්දෙට වැඩි සද්දෙකින් මගේ හදවත ගැහෙද්දී, වක්කඩ කැඩුවා වගේ පිටවීමේ දොර‍ටුවෙන් ගලාගෙන එන ජන සන්නිපාතය අතරේ ඇයව හොයමින් මගේ ඇස් දිවගියේ විදුලි වේගයෙන්...

අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෙංගතුව දොඩමලු වුණ ඒ සොඳුරු කටහඬට රූපයක් ලැබෙන මේ මොහොත එනකල් මාස ගනනක ඉඳන් මම පෙරුම් පිරුවා...

ඒ සේරම පටන් ගත්තේ අහම්බෙන් කිව්වොත් වැ‍රැද්දක් නැහැ... හරියටම මීට අවුරුදු දෙකකට විතර කලින් මේ දුම්රිය නැවතුමෙන්ම මම දුම්රියකට නැඟ ගත්තේ හිස ගිනිගත්තෙකු වාගේයි... වෘත්තීයමය පාඨමාලාවක් හැදෑරීම සඳහා සේවය කරන ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණු මට ඒ සඳහා නික්මයෑමට තිබුණේ තව දිනක පමණ කාලයක් පමණයි... සුපුරුදු පරිදි විදේශ ගමනක් යෙදී ඇති විටකදී අන්තිම මොහොත තෙක් සූදානම් නොවීමේ හදාගන්න බැරිවූ නරක පුරුද්ද නිසා එහේ මෙහේ දුව පැන ඇවිද කලබලයෙන් මිලදී ගත් අඩුමකුඩුම සහිත ප්ලාස්ටික් බෑග් කිහිපයක් අතින් කටින් එල්ලාගෙන සිටි මම දුම්රියේ අසුනක් අල්ලා ගැනීමට පොරකන මඟීන් සමඟ පොරබදා හිස්ව තිබූ අසුනක වාඩිවූයේ අධික වෙහෙසකින්...

දුම්රිය පිටත් වී සුළුවේලාවකින් ගමන් මහන්සිය නිසාමදෝ පියවෙන ඇසිපිය වලට ඉඩදීමට අසුනේ හරිබරි ගැසුණු මම අහම්බෙන් මෙන් දැක්කේ වාඩිවී සිටි අසුනෙහි හිදැසක සිරවී තිබූ සටහන් පොතක්… ආයාසයකින් එය ඉවතට ගත් මට එය මින් පෙර මෙහි වාඩිවී සිටි යමෙකුගෙන් අතපසුවීමකින් වැටී ඇති බව වටහා ගැනීමට අපහසු වූයේ නැහැ... අන්සතු දේ කියැවීම නරක පුරුද්දක් වුවත් මෙය අයිතිකාරයාට ලබා දීම සඳහා යම් හෝඩුවාවක් ඇත්දැයි බැලීමේ අරමුණින් පි‍ටු පෙරලා බැලූ මා දු‍ටුවේ පිළිවෙලකට ලියූ සටහන් සහ ඒ අතරේ ඉඩ ඇති සෑම තැනකම පාහේ කුරු‍ටු ගා ඇති නිසඳැස් රාශියක්... අතිශය සිත් ගන්නා අයුරින් පදවැල් අමුණා ඇති එම නිසඳැස් එකිනෙක රසවිඳිමින් සිටි මට ගමනාන්තයට ලඟා වෙනවාවත් නොදැනුනේ ඒ නිර්මාණ වල සුන්දරත්වයෙන් මම මුසපත් වී සිටි නිසායි...... එම සටහන් පොතේ අයිතිකාරිය යැයි සැක කල හැකි නමක් සඳහන් වූයේ සටහන් පොත පුරාවටම එක් තැනක පමණයි...

~ මලිති ~

මුතුඇට වන් අකුරින් ලියා ඇති ඒ නමට යටින් ඇයගේ විද්‍යුත් ලිපිනය සඳහන් වී තිබුණා...

ඇය විසින්ම නිර්මාණය කරන්නට ඇති යැයි සැක කල හැකි සටහන් පොතටම අමුණා තිබූ බුක් මාර්ක් එකකින් කියවමින් සිටි පි‍ටුව සලකුණු කල මම පොත වසා එය සු‍රැකිව තබාගෙන දුම්රියෙන් බැසගත්තේ කෙසේ හෝ ඇය සොයාගෙන මෙම සටහන් පොත ඇයට ලබා දීමට අදිටන් කරගනිමින්... පසුදින රාත්‍රියේම මා සමඟින් ගුවන්ගතවූ ඇයගේ සටහන් පොත නැවත පෙරලා බැලීමට මා හට ඉස්පාසුවක් ලැබුනේ ඉන් දින කීපයකට පසුවයි...

ඇයගේ සටහන් පොත මා අහුලා ගත් බව සඳහන් කරමින් මා යැවූ විද්‍යුත් තැපෑලට දින කිහිපයක ඇවෑමෙන් ලැබුණු පිළිතුරෙන් ඇරඹි අප හිතවත් කම දිනෙන් දින දළු ළා වැඩුනේ හිතාගන්නටවත් බැරි තරම් වේගයකින්… මගේ පාඨමාලාව නිමා වීමට ආසන්න කාලය වෙද්දී කිසිදා මුණගැසී නොතිබුණු අප දෙදෙනා එකිනෙකාට දුරකතනයෙන් අමතන්නේ නැති දිනයක් නොමැති තරමට අප සම්බන්ධය නොදැනීම වර්ධනය වී තිබුණා... ඇයගේ සරල විනෝදාත්මක ගතිපැවතුම් වලට යටින් දිවෙන ජිවිතාබෝධය මා සිත දිනෙන් දින ඇද ගත්තේ මටත් නොදැනී මා ඇය හා පෙමින් වෙළී ඇති බව එක්තරා දිනයක මා හට පසක් කරමින්...

සිතුම් පැතුම් හා එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය තුළින් අප දෙදෙනා දෙදෙනෙකු නොව එකෙකු බව ඒ වන විටත් අප දැන සිටියත් එය එකිනෙකාට ප්‍රකාශ නොකර සිටීමට මොකද්දෝ හේතුවක් නිසා අප දෙදෙනාම ප්‍රවේසම් වී සිටියා... ප්‍රථම ප්‍රේමයේ ගිණිපෙනෙල්ලෙන් බැට කා ඇය සිටියේ කණා මැදිරි එළියටත් බයෙන්… ඇයගේ ආදරය දිනා ගැනීමටත් වඩා මා හටද අවැසි වුනේ ඇයගේ ගිලන් හිත සුවපත් වනවා දැකීමටයි... ආදරයේ සුන්දරත්වය ගැන පැය ගනන් දොඩමළු වන අප දෙදෙනා, කිය යුතු යමක් හදවතෙහි සිරකරගෙන දුරකථන විසන්ධි කරනුයේ හෙට දිනයේ නැවත කතාකරනා පොරොන්දුව සමඟින්... පෙම්වතුන් වන එහෙත් පෙම්වතුන් නොවන මේ අසාමාන්‍ය හැඟීම අවසන් කර ඇය සදහටම මා සතු කරගැනීමේ අදහස ඇය හමුවී පවසනවා යැයි නැවත මව්බිමට පැමිණීමට දින වකවානු ලං වෙද්දී මම තීරණය කලා...

කාලය ඉගිලුනේ හිතුවාට වඩා වේගයෙන්... සති මාස ගනන් ගෙවිලා මම නැවතත් ලංකාවට පය තබන දවස උදාවුණේ මගේ ජීවිතේ කවදාවත් නැති තරම් බලපොරොත්තු ගොන්නක් හිතේ උතුරද්දී...

"Welcome to Bandaranayake International Airport… The local time is…"

බිම දිගේ ඇදී යන ගුවන් යානය නතර වීමටත් කලින් ක්‍රියාත්මක වූ මගේ ජංගම දුරකථනයෙන් පලමු ඇමතුමම ඇයටයි…

"ලෑන්ඩ් කලෝ..."

"පරිස්සමෙන් ගෙදර යන්න... හෙට මම නුගේගොඩ පුංචිලාගේ ගෙදර එනවා... හෙටම මීට් වෙමුද..? "

“නියමයි... කෙහෙදිද මීට් වෙන්නේ...?”

“ම්ම්ම්.. මම මෙහෙන් උදේ හය හමාරට තියෙන ඉන්ටසිටි ට්‍රේන් එකේ එන්නේ... කො‍ටුව ස්ටේෂමේදී මීට් වෙමු...”

"හා... ඊට පස්සේ අපි කොෆී ඩේ එකට යමු... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා..."

"හා..."

"කොහොමද මම ඔයාව අඳුන ගන්නේ... ඔයා ඇඳගෙන එන ඇඳුම කියන්න..."

"අනේ ඇඳුමක් කියන්න බෑ... දැනටමත් ඇඳුම් පහක් විතර ඇඳලා හරි නෑ කියලා හිතලා අයින් කලා.."

"මෙන්ටල් නේ..."

"මම ඔඩෙල් කියලා ගහපු බෑග් එකක් කරේ දාගෙන එන්නේ... එකෙන් හොයා ගන්න පුළුවන්... ඔයා මගේ නෝට් බූක් එක අතේ තියාගෙන ඉන්න..."

"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා... “

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."

ඇය දඟකාර සිනාවෙන් ඇමතුම විසන්ධි කරද්දි මම තනියම හිනා වෙවී අසුනින් නැඟිටලා අනිත් ගුවන් මඟීන්ට එකතු වුණේ හිතුවාටත් වඩා ඉක්මණින් සැබෑ වන්නට යන ඒ හීනය ගැන දහසක් බලාපොරොත්තු හිතේ තදකරගෙන...


***************

"තුන් වෙනි වේදිකාවට පැමිණි දුම්රිය…"

යකඩ කටේ සද්දය මාව පියවි ලෝකෙට ගෙනාවා...

පිටවීමේ දොර‍ටුව අසල පොදිකන සෙනෙඟ අතරේ එක එල්ලේම මගේ දෙසට එල්ල වුණු තරුකැට දෙකක් වගේ දිලිසෙන ඇස් දෙකක් එක පාරටම මම දැක්කේ එතකොටයි…

ඇහිපිල්ලමක් වත් ගහන්නේ නැතිව සිනා මුසු කෝල බැල්මකින් මා දෙස බලාගෙන පුංචි සුරංගනාවියක් වැනි හුරුබුහුටි යෞවනියක් ලතාවකට පාද තියමින් මා දෙසට ඇවිදෙගෙන එන හැටි මම උඩට ගත්ත හුස්ම පහලට නොදා බලාගෙන හිටියා...කොහෙන්දෝ ආපු දඟකාර සුලං ‍රැල්ලකින් මුහුණට වැටෙන අකීකරු කෙස් රොදක් ඇය දකුණතේ ඇඟිලි වලින් මෑත් කරන්න්නේ මගේ ඇස් වලින් තම ඇස් මොහොතක් වත් ඉවතට ගන්නේ නැතිවයි...

ලස්සන හදවතක හිමිකාරියක් කියලා විතරක් දැනගෙන හිටි ඇය මෙතරම් සුන්දර රූ සපුවක් හිමි කෙනෙක් බව මම සිහිනෙකින් වත් සිතුවේ නැහැ... පළමු හමුවේදීම ඇයට ඇමතිය යුතු ආකාරය ගැන නිවසේ සිට කොළඹ පැමිණිනෙන තෙක්ම පුරුදු වුන මට හදිසියේම ඒ සියල්ල මතකයෙන් ගිලිහී ගොස් ඇති වගක් දැනුනා…ඇය හා මා අතර පරතරය අඩි කිහිපයකට නොවැඩි වෙන්නට ඇති...වචනයක් පිට කරගත නොහැකි වුනු මම ඇයගේ සටහන් පොත ඇය දෙසට දිඟු කෙළේ වෙව්ලන සුරත පාලනය කර ගැනීමට අසාර්ථක උත්සායයක යෙදෙමින්...

මා දෙසත් සටහන් පොත දෙසත් මාරුවෙන් මාරුවට කිහිප වරක් බැලූ ඇය මුහුනට නඟාගත්තේ විශ්මයක්...

"එක්ස්කියුස් මී...!?"

එක ඇහැක් පුංචි කර ඇය එසේ අසද්දී, මා එකවරම නෙත් යොමු කළේ ඇයගේ බෑග් එක දෙසයි...

දෙයියනේ කෝ ඔඩෙල් බෑග් එක...?

"ස් සොරි… පොඩි වැරදීමක්...!"

සමාව අයදිමින් මම සටහන් පොත විදිලිවේගයන් ආපසු ඇද ගනිද්දී කට කොනකින් සිනාවුණු ඇය මා පසු කර ඇවිද ගියේ තවත් එක් වරක් සිනාමුසු මුහුණින් මා දෙස හැරී බලමින්... කෙදිනක හෝ දැක පුරුදු ඇති ඒ කතා කරන ඇස්දෙක... ජීවිතයක් සුවපත් කරන්නට සමත් ඒ සුන්දර සිනහව... පෙර බොහෝ කාලයක පටන් මා දැන සිටියා යැයි මා සිතට දැනුනේ ඇයිදැයි මා දැන සිටියේ නැහැ...

“එතකොට ඒ එයා නෙමෙයි...” සුසුමක් හෙලූ මම සටහන් පොත තද කරගෙන ආපසු හැරුනේ පැටලිලි සහගත මනසින්...

මා වසරකටත් වැඩි කාලයක් දකින්නට පෙරුම් පිරූ ඒ සුන්දර කවි සිතේ හිමිකාරිය, මා එනතුරු තරමක් දුරින් ඔබ මොබ යන සෙනඟ දෙස නෙත් යොමු කරමින් සිටිනවා මා දු‍ටුවේ එවිටයි... බලාපොරොත්තු කඩවූ දෑසින් උන් තැනම නතර වුනු මම සටහන් පොත එකවරම් පි‍ටුපසට කරගත්තේ ඇය මා දකීවි යන චකිතය නිසා...

පොරොන්දු වූ විදියටම ඇය උරහිසෙහි එල්ලී තිබුණේ ඔඩෙල් බෑගයක්... යෞවනයේ සුන්දරත්වය කවි පද වල ඇමිණූ ඇයගේ සුන්දර කවි සිතිවිලි කෙතරම් තරුණ වුවත් මඳක් ඔබ්බෙන් මා එනතුරු බලා සිටියේ තරුණියකට වඩා මැදිවියේ පෙනුමක් තිබූ කාන්තාවක්... තරමක තරබාරු සිරුරේ තරබාරු ගති වඩාත් ඉස්මතු වන ලෙස කුරුතාවක් වැනි ඇඳුමකින් සහ කලු දිග කලිසමකින් සැරසී සිටි ඇය තම සුරතේ ‍රැඳි ලේන්සුවකින් නළලට නැඟුණු දහදිය පිසගත්තේ කලබලයෙන්…

දැන් මම මොකද කරන්නේ... සදහටම මා සමඟ ජීවත් වෙන්න යැයි ඉල්ලීමට සූදානම්ව පැමිණි මම ඇය හා කතා කිරීමටත් කලින් සිත වෙනස්වීම ගැන මට මගේ ගැනම ඇති වුනේ කේන්තියක්…

"තේරුමක් නෑ.. මේක වෙන වැඩක් නෙමෙයි... කතා නොකරම ආපහු පලයන්... කතා කලොත් මොකද්ද කියන්න තියනවා කිව්වේ කියලා අහයි... උඹ මොකද්ද කියන්නේ... ?"

නොනැවතී ගලා එන සිතිවිලි වලට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ... කොහෙන්දෝ ආපු බලාපොරොත්තු කඩවුණු කාලකන්නි හැඟීමක් මගේ හිත පුරාවට අරක් ගත්තා... එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් මම හිරකරගත්තේ අමාරුවෙන්...

"අවුරුදු දෙකක් තිස්සේ උඹේ ජීවිතේට බලාපොරොත්තු එක්කලේ මේ ඉන්න කෙනා නෙමෙයිද...? කාත්කවුරුත් නැති රටක තනි වෙලා ඉද්දී, අනාගතයක් ගොඩනගන්න තියෙනවා ඒක නිසා මහන්සි වෙන්න කියලා බෙලහීන වුණු උඹේ හිත හදන ගමන් උඹ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ කැපවුනේ මේ අහිංසක කෙල්ල නෙමෙයිද...? අවුරුදු කීපෙකින් වෙනස්වෙලා යන ලස්සනක් ගැන හිතලා කතා කරන්නත් කලින් හිත වෙනස් කරගන්න උඹ මහලොකු ආදරවන්තයෙක්ද...? ලක්ෂ ගනන් බිල් ගෙවාගෙන පැය ගනන් දොඩවපු උඹේ පරමාදර්ශී කතා වලට මොකද වුනේ...? බල්ලෙක් වෙන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන්... ආදරේ තියෙන්නේ එලිසමය ගැලපුණු පද හතරක විතරක් නෙමෙයි, මැරෙණකන් ගතවෙන හැම තත්පරයකම ආදරේ තියෙනවා කියලා ඒ කෙල්ල උඹට කියලා දේවි..."

මුළු කො‍ටුවටම ඇහෙන තරම් සද්දෙකින් මගේ යටි හිත කෑගැහුවා… තවත් ටික වෙලාවක් කල්පනා කරමින් සිටි මම තීරණයක් ගත්තේ එක හිතින්… සටහන් පොත නොගිලිහෙන ලෙසින් සුරතට තදකරගත්ත මම සෙමින් ඇය අසලටම පියනැඟුවා... නොඉවසිලිමත් ඇගේ ඇස් ඉදිරියෙන් ඇදෙන හැම මිනිසා දෙසම යොමු වුනත් ඇය අසලටම පැමිණි මාව ඇය දු‍ටුවේ නැහැ...

"මලිති..."

මා ඇය ඇමතූ හඬින් කලබල වී මා දෙස බැලූ ඇයගේ මුවඟට නැගුනේ ලෙංගතු සිනාවක්...

පෙරලා සිනහවකින් පිළිතුරු දුන් මම දිඟු කල සටහන් පොත ස්තුතියක් වත් නොකරමින් අතට ගත් ඇය එය තම ගමන් මල්ල තුළට රුවා ගත්තා...

" කෙහෙට හරි යනවද...?"

අප අතර තිබූ ඒ අසාමාන්‍යය නිහැඬියාවෙන් මම අපහසුවට පත්වෙද්දී, ඇසෙන නෑසෙන හඬින් ඇය ඇහුවේ බලාපොරොත්තු සහගත නෙතින්...

" ඔව්… කතාකරගත්ත විදියට... කොෆී ඩේ යමු..."

එසේ පවසමින් මා ඇය වෙත පෑ සුරත අල්ලා ගන්නවා වෙනුවට සිනාමුසු මුහුණින් ඔඩෙල් බෑගයට අත දැමූ ඇය ඉවතට ගත්තේ දෙකට තුනට නැමූ කොල කැබැල්ලක්...

"මම මලිති නෙමෙයි... ඔයා මගෙත් එක්ක කතා කරලා කෝපි බොන්න යන්න කතා කලොත් මේක ඔයාට දෙන්න කියලා මලිති කිව්වා..."

කිසිවක් තේරුම් ගත නොහැකිව අසරණ බැල්මෙන් බලා සිටි මා වෙත ඇය ඇය දිඟු කල ලිපිය මම දිග හැරියේ ගැහෙන හදින්... වසරක් තිස්සේ මා ආදරයෙන් කියවූ මුතු ඇටවන් ඒ අත් අකුරු හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැහැ

"hey you fool... leave my punchi alone… am waiting for you at Coffee Day… :)"

සුපුරුදු අත් අකුරින් කුරු‍ටු ගා තිබූ ඒ ලිපියේ තැවරී තිබුනේ, සුළු මොහොතකට පෙර මා සමඟ ඇස් වලින් කතාකර නික්ම ගිය ඒ සුරංගනාවියගේ ගතින් නික්මුණු විලවුන් සුවඳමයි...

~ නිමි ~


ප/ලි : කලකට පෙර අන්තර්ජාලයේ සැරි සරද්දී ඇස ගැ‍ටුණු රසවත් සිදුවීමක මතකය අලුත් කරමින් අකුරු වලට ඇමිණීමට ගත් මේ උත්සාහය වැලන්ටයින් දිනය වෙනුවෙන්... ඔබ සැමට සුභ ආදරවන්තයන්ගේ දිනයක් වේවා..!

Friday, February 11, 2011

9. දස වසක් ඇවෑමෙන්..? | Ten Years Since Then...

image

සෙනසුරාදාට දාන්නම් කියලා හිතාගෙන පුංචි කතාවක් ලියන්න පටන් ගත්තත් රාජකාරි ස්ථානයේ වැඩ හින්දා ඉවර කරගන්න බැරිවුණා... ඒත් සති අන්තය වෙද්දි මොනවා හරි දාන්න ඕනේ කියලා හිතෙන්නේ මේකට මම ඇබ්බැහි වේගන එන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා...

මම කලින් කිව්වා වගේ වෘත්තීමය පැත්තෙන් හුස්මක් ගන්න ඉස්පාසුවක් නැති දවස් කීපයක්... අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් හදන්න බැරිද වගේ ප්‍රශ්ණයක් වුණත් අහන්න බැරි නැති ප්‍රධානියෙක් යටතේ තාවකාලිකව හරි වැඩ කරන්න ලැබීම එක අතකින් අවාසනාවක්...

දින කීපයක් ඉඳන්ම දිග්ගැස්සෙන මානසික පීඩනයක් එක්ක ඊයේ දවස ගෙවිලා ගියේත් වැඩි වෙනසකින් තොරවයි… හිතාගන්නත් බැරි වේගයෙන් වෙනස් වෙන පරිගණක තාක්ෂණික ක්ශේත්‍රය වගේ ක්ශේත්‍රයක්දී අවුරුදු දහයක් ඉස්සරහා ව්‍යාපෘතියක ඉතා සියුම් දේ පවා දැන්ම තියාම සැලසුම් කිරීම මෝඩකමක් කියලා පිරිසකට අවබෝධ කරවන්න අපි දෙන්නෙක් ගත්තේ පුදුමාකර මහන්සියක්... කොහොමින් හරි දවස අවසානයේ ජයග්‍රාහී මනසකින් මගේ වෘත්තීය සගයත් එක්ක ආපහු එන ගමනේදී අවන්හලකට ගොඩවැදුනාම මේ වගේම පාඩමක් පිටකො‍ටුවේ පදික වෙලෙන්දෙක් මීට ගොඩක් කාලෙකට කලින් මට කියා දුන්නා නේද කියලා මට මතක් වුණේ නිරායාසයෙන්... සති අන්තයේ ලියන්න දෙයක් නැති එකේ ඒ ගැන ලියලා දාන්න ඕනේ කියලා හිතාගෙන ඉඳගත්තේ...

අනුමානය හරි නම් ඒ මීට අවුරුදු දොලහකට විතර කලින්... ගතවෙමින් තිබුණේ බස් එකේ කෝච්චියේ දකින දකින කෙල්ලට මගේ හදවත වුණත් ගලවලා දෙන්න තරම් ආදරේ හිතෙන මගේ හිරිමල් වයස... ඉබිකට්ටක් විතර සයිස් එකේ ඉලක්කම් නිවි නිවී පත්තුවෙන ජී-ශොක්, අර-ශොක් මේ-ශොක් කියලා ගහපු අතේ බඳින ස්පොර්ට් ඔරලෝසු විලාසිතා‍ රැල්ලක් හමාගෙන ගියෙත් මේ දවස් වලමයි... පංති යද්දී බැඳගෙන යන්න මේ වගේ ඔරලෝසුවක් නැත්නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නෑ වගේ තමයි ඒ දවස් වල හිතුණේ... එක ඔර්ලෝසුවක් තියෙන මට තව ඔර්ලෝසුවක් ගන්න තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ගියේ නැත්තේ තාත්තාගේ උත්තරේ මම කල්තියාම දන්න නිසයි...

"මොකටද ඔරලෝසුවක්..? ඇයි තියෙන එකට මක් වෙලාද...? අපිටනම් ඔහොම ඔරලෝසු අරන්දෙන්න තාත්තලට වත්කමක් තිබුනේ නෑ... මම ඉස්සෙල්ලාම ඔරලෝසුවක් බැන්දේ පලවෙනි රස්සාවට ගියාටත් පස්සේ..."

ඔය පිළිතුරෙන් පස්සේ බොහෝ දුරට තාත්තා ඉස්සෙල්ලාම ඩික්ෂනරියක් ගන්න සල්ලි හොයාගන්න කොප්පරාමඩුවක කොප්පරා ඇදපු කතාවත් සඳහන් වෙන්න පුළුවන්... ඉතින් ඉතුරුවෙලා තියෙන එකම විකල්පය මගේ ආදරණීය අම්මා...

තරුණ වයසේ අහිංසක ආසවල් තේරුම් ගන්න ඇති හැකියාව නිසාද, නැත්නම් මගේ හිත රිද්දන්න බැරි අසීමිත සෙනහස නිසාද දන්නේ නැතත්, අම්මා මිටමොලවපු පන්සීයේ කොලය හංඟාගෙන මම තාත්තා ගාවට යන්නේ කොළඹ යන්න රුපියල් සීයක් ඉල්ලගන්න...

"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..." කමිස සාක්කුවෙන් රුපියල් සීයක් අදින තාත්තා කියන්නේ බැරෑරුම් මූණක් මවාගෙන...

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..." මගේ කට වරදිද්දී....

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?" කියලා අහන්නේ නැතුව තාත්තා හිනාවෙන්නේ මගේ ගැන ඇති අසීමිත විශ්වාසය නිසා වෙන්න ඇති...

කලින් කතාකරගත්ත මිතුරෙක් එක්ක මම කො‍ටුවේ මල්වත්ත වීදියට ඉගිලුනේ මිටින් හල කුරුල්ලෙක් වගේ...

කඩ ගානක ඇවිදලා හෙට්‍ටු කරලා කරලා ගන්න පුළුවන් ගානකට අඩුකරගත්ත ජී-ශොක් ඔරලෝසුවේ කොල පාටට එලිය වෙන ලයිට් එකේ ඉඳන් පටිය හිරකරන ගාංචුවේ ස්ප්‍රින් එක දක්වා පරීක්ෂා කරපු මම ඔරලෝසුවේ මුහුණතේ ඉංග්‍රීසි අකුරෙන් ගහලා තිබුණ වාක්‍යය තුන් හතර පාරක්ම කියෙව්වේ ගෞරවයෙන්…

"10 YEARS BATTERY LIFE"

"අයියේ ඇත්තටම මේකේ බැටරි එක අවුරුදු දහයක් තියෙනවද...?"

පදික වෙළෙන්දාගෙන් මම ඇහුවේ අවුරුදු දහයකින් මෙහා මේකට බැටරියක් දාන්න අවශ්‍යය වෙන එකක් නැද්ද කියලා සැක හැරලා දැනගන්නයි...

අව්වට කලු ගැහුණු ඒ පදික වෙළෙන්දාගේ මූණ අදටත් මට තරමක ආයාසයෙන් මතක්කරගන්න පුළුවන්... සිග‍රැට් කහට ගැහුණු දසන් පෙන්නලා හිනාවුනු ඔහු මට කියා දුන්නේ ජීවිතේට අමතක නොවන පාඩමක්...

"මල්ලී තව අවුරුදු දහයකින් ඔයත් නෑ, මමත් නෑ, මේ කඩෙත් නෑ... පිස්සු කෙලින්නැතුව ඔන්න ඕක අරන් ගිහින් කැඩෙනකල් බඳින්න..."

මේ සිදුවීමෙන් අද අවුරුදු දහයක් ගෙවිලා අවසන්... ඒ කඩේ තාම තියෙනවද කියලා මම දන්නේ නැත්තේ මම අවුරුදු ගානකින් මල්වත්ත වීදියට ගිහින් නැති නිසයි... පදික වෙළෙන්දන් ඉවත් කරනවා කියලා අන්තර්ජාලයේ තිබූ සඳහනක් හැඟීමකින් තොරව කියවාගෙන ගියා මතකයි...මගෙත් එක්ක ගිය යාළුවත් එක්ක දැන් අවුරුදු ගානකින් මම කතා කරලා නෑ... අද මම මගේ ආදරණීය තාත්තාගෙනුයි අම්මාගෙනුයි කිලෝමීටර් දහස් ගණනක් ඈත... වයර් දිගේ එන මගේ කටහඬ අහන්න ඉර බහිනකල් ඒගොල්ලෝ බලන් ඉන්නවා...

මම ආසාවෙන් ගත්ත ඒ ඔරලෝසුවේ බැටරිය තාම වැඩද කියලා කියලා බලන්න, ඒ ඔරලෝසුවට වුන දෙයක් වත් අද මට මතක නෑ...

තව අවුරුදු දහයකින් වෙන දේවල් ගැන කෝපි කෝප්ප හිස්කරමින් වාදකරන ටයි කෝට් හැඳගත්ත මේ උගත් මහත්තුරු ඉදිරියේ මට ඒ පදික වෙළෙන්දා පේන්නේ යෝධයෙක් වගේ...
Web Statistics