සෙනසුරාදාට දාන්නම් කියලා හිතාගෙන පුංචි කතාවක් ලියන්න පටන් ගත්තත් රාජකාරි ස්ථානයේ වැඩ හින්දා ඉවර කරගන්න බැරිවුණා... ඒත් සති අන්තය වෙද්දි මොනවා හරි දාන්න ඕනේ කියලා හිතෙන්නේ මේකට මම ඇබ්බැහි වේගන එන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා...
මම කලින් කිව්වා වගේ වෘත්තීමය පැත්තෙන් හුස්මක් ගන්න ඉස්පාසුවක් නැති දවස් කීපයක්... අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් හදන්න බැරිද වගේ ප්‍රශ්ණයක් වුණත් අහන්න බැරි නැති ප්‍රධානියෙක් යටතේ තාවකාලිකව හරි වැඩ කරන්න ලැබීම එක අතකින් අවාසනාවක්...
දින කීපයක් ඉඳන්ම දිග්ගැස්සෙන මානසික පීඩනයක් එක්ක ඊයේ දවස ගෙවිලා ගියේත් වැඩි වෙනසකින් තොරවයි… හිතාගන්නත් බැරි වේගයෙන් වෙනස් වෙන පරිගණක තාක්ෂණික ක්ශේත්‍රය වගේ ක්ශේත්‍රයක්දී අවුරුදු දහයක් ඉස්සරහා ව්‍යාපෘතියක ඉතා සියුම් දේ පවා දැන්ම තියාම සැලසුම් කිරීම මෝඩකමක් කියලා පිරිසකට අවබෝධ කරවන්න අපි දෙන්නෙක් ගත්තේ පුදුමාකර මහන්සියක්... කොහොමින් හරි දවස අවසානයේ ජයග්‍රාහී මනසකින් මගේ වෘත්තීය සගයත් එක්ක ආපහු එන ගමනේදී අවන්හලකට ගොඩවැදුනාම මේ වගේම පාඩමක් පිටකොටුවේ පදික වෙලෙන්දෙක් මීට ගොඩක් කාලෙකට කලින් මට කියා දුන්නා නේද කියලා මට මතක් වුණේ නිරායාසයෙන්... සති අන්තයේ ලියන්න දෙයක් නැති එකේ ඒ ගැන ලියලා දාන්න ඕනේ කියලා හිතාගෙන ඉඳගත්තේ...
අනුමානය හරි නම් ඒ මීට අවුරුදු දොලහකට විතර කලින්... ගතවෙමින් තිබුණේ බස් එකේ කෝච්චියේ දකින දකින කෙල්ලට මගේ හදවත වුණත් ගලවලා දෙන්න තරම් ආදරේ හිතෙන මගේ හිරිමල් වයස... ඉබිකට්ටක් විතර සයිස් එකේ ඉලක්කම් නිවි නිවී පත්තුවෙන ජී-ශොක්, අර-ශොක් මේ-ශොක් කියලා ගහපු අතේ බඳින ස්පොර්ට් ඔරලෝසු විලාසිතා රැල්ලක් හමාගෙන ගියෙත් මේ දවස් වලමයි... පංති යද්දී බැඳගෙන යන්න මේ වගේ ඔරලෝසුවක් නැත්නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නෑ වගේ තමයි ඒ දවස් වල හිතුණේ... එක ඔර්ලෝසුවක් තියෙන මට තව ඔර්ලෝසුවක් ගන්න තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ගියේ නැත්තේ තාත්තාගේ උත්තරේ මම කල්තියාම දන්න නිසයි...
"මොකටද ඔරලෝසුවක්..? ඇයි තියෙන එකට මක් වෙලාද...? අපිටනම් ඔහොම ඔරලෝසු අරන්දෙන්න තාත්තලට වත්කමක් තිබුනේ නෑ... මම ඉස්සෙල්ලාම ඔරලෝසුවක් බැන්දේ පලවෙනි රස්සාවට ගියාටත් පස්සේ..."
ඔය පිළිතුරෙන් පස්සේ බොහෝ දුරට තාත්තා ඉස්සෙල්ලාම ඩික්ෂනරියක් ගන්න සල්ලි හොයාගන්න කොප්පරාමඩුවක කොප්පරා ඇදපු කතාවත් සඳහන් වෙන්න පුළුවන්... ඉතින් ඉතුරුවෙලා තියෙන එකම විකල්පය මගේ ආදරණීය අම්මා...
තරුණ වයසේ අහිංසක ආසවල් තේරුම් ගන්න ඇති හැකියාව නිසාද, නැත්නම් මගේ හිත රිද්දන්න බැරි අසීමිත සෙනහස නිසාද දන්නේ නැතත්, අම්මා මිටමොලවපු පන්සීයේ කොලය හංඟාගෙන මම තාත්තා ගාවට යන්නේ කොළඹ යන්න රුපියල් සීයක් ඉල්ලගන්න...
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිගරැට් එකකුත් බොනවා..." කමිස සාක්කුවෙන් රුපියල් සීයක් අදින තාත්තා කියන්නේ බැරෑරුම් මූණක් මවාගෙන...
"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා තෝසෙ කාල ප්ලේන්ටි බීල සිගරැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..." මගේ කට වරදිද්දී....
"ඈ යකෝ උඹ සිගරැට් බොනවද..?" කියලා අහන්නේ නැතුව තාත්තා හිනාවෙන්නේ මගේ ගැන ඇති අසීමිත විශ්වාසය නිසා වෙන්න ඇති...
කලින් කතාකරගත්ත මිතුරෙක් එක්ක මම කොටුවේ මල්වත්ත වීදියට ඉගිලුනේ මිටින් හල කුරුල්ලෙක් වගේ...
කඩ ගානක ඇවිදලා හෙට්‍ටු කරලා කරලා ගන්න පුළුවන් ගානකට අඩුකරගත්ත ජී-ශොක් ඔරලෝසුවේ කොල පාටට එලිය වෙන ලයිට් එකේ ඉඳන් පටිය හිරකරන ගාංචුවේ ස්ප්‍රින් එක දක්වා පරීක්ෂා කරපු මම ඔරලෝසුවේ මුහුණතේ ඉංග්‍රීසි අකුරෙන් ගහලා තිබුණ වාක්‍යය තුන් හතර පාරක්ම කියෙව්වේ ගෞරවයෙන්…
"10 YEARS BATTERY LIFE"
"අයියේ ඇත්තටම මේකේ බැටරි එක අවුරුදු දහයක් තියෙනවද...?"
පදික වෙළෙන්දාගෙන් මම ඇහුවේ අවුරුදු දහයකින් මෙහා මේකට බැටරියක් දාන්න අවශ්‍යය වෙන එකක් නැද්ද කියලා සැක හැරලා දැනගන්නයි...
අව්වට කලු ගැහුණු ඒ පදික වෙළෙන්දාගේ මූණ අදටත් මට තරමක ආයාසයෙන් මතක්කරගන්න පුළුවන්... සිගරැට් කහට ගැහුණු දසන් පෙන්නලා හිනාවුනු ඔහු මට කියා දුන්නේ ජීවිතේට අමතක නොවන පාඩමක්...
"මල්ලී තව අවුරුදු දහයකින් ඔයත් නෑ, මමත් නෑ, මේ කඩෙත් නෑ... පිස්සු කෙලින්නැතුව ඔන්න ඕක අරන් ගිහින් කැඩෙනකල් බඳින්න..."
මේ සිදුවීමෙන් අද අවුරුදු දහයක් ගෙවිලා අවසන්... ඒ කඩේ තාම තියෙනවද කියලා මම දන්නේ නැත්තේ මම අවුරුදු ගානකින් මල්වත්ත වීදියට ගිහින් නැති නිසයි... පදික වෙළෙන්දන් ඉවත් කරනවා කියලා අන්තර්ජාලයේ තිබූ සඳහනක් හැඟීමකින් තොරව කියවාගෙන ගියා මතකයි...මගෙත් එක්ක ගිය යාළුවත් එක්ක දැන් අවුරුදු ගානකින් මම කතා කරලා නෑ... අද මම මගේ ආදරණීය තාත්තාගෙනුයි අම්මාගෙනුයි කිලෝමීටර් දහස් ගණනක් ඈත... වයර් දිගේ එන මගේ කටහඬ අහන්න ඉර බහිනකල් ඒගොල්ලෝ බලන් ඉන්නවා...
මම ආසාවෙන් ගත්ත ඒ ඔරලෝසුවේ බැටරිය තාම වැඩද කියලා කියලා බලන්න, ඒ ඔරලෝසුවට වුන දෙයක් වත් අද මට මතක නෑ...
තව අවුරුදු දහයකින් වෙන දේවල් ගැන කෝපි කෝප්ප හිස්කරමින් වාදකරන ටයි කෝට් හැඳගත්ත මේ උගත් මහත්තුරු ඉදිරියේ මට ඒ පදික වෙළෙන්දා පේන්නේ යෝධයෙක් වගේ...
යමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට හැකිවීම දක්ෂතාවකි. සමාජ දේශපාලන අවබෝධයක් සහිතව නිර්මාණකරණයේ යෙදීම ඊටත් වඩා දක්ෂතාවකි.
ReplyDeleteමගේ සුභ පැතුම්
ශාන් - බුමුතුරුණු
බොහොම හිතට දැනුන කතාවක්. ඒ මමත් ඔය ක්ෂේත්‍රයේම වැඩකරන හින්දා වෙන්න ඇති සමහර වෙලාවට. අනේ මේ වගේ සටහනක් අර වගේ එකෙක්ට පෙන්නන්න තිබුණානම් කියලා හිතෙනවා....
ReplyDeleteප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි ශාන් සහ දක්ශින... :)
ReplyDeleteනියමයි. ඉතාම රසවත් සහ අර්ථාන්විත ලිපියක්.
ReplyDeleteහ්ම් මගේ හිත ගිය කතාවක්
ReplyDeleteඉබි කටු නොවුණත් මාත් ඔය සුදුපාට ලොකු ඩයල් තියෙන මහත පටි ඔරලෝසුවලට ආසයි කැම්පස් කාලෙ ඉඳන්,දෙවෙනි අවුරුද්දේ දි ගත්ත එහෙම ඔරලෝසුවක් මගේ තුන්වෙනි රස්සාවට යනකොටත් පාවිච්චිකලා .මට ඔය පටි හීන් සිල්වර්, ගෝල්ඩ් වගේ තියෙන ,හිච්චි මූනත් තියෙන විච්චූරණ ඔරලෝසු පාවිච්චිකොරන්න බෑ තාමත් .මගේ පෙනීම එහෙමත් දුර්වල නිසා ඉලක්කම් හොඳටම පේන ඔරලෝසු තමයි පාවිච්චිය .
ලඟදී තෑග්ගක් දෙන්න ඔරලෝසුවක් අරගෙන ගෙදර ආවටත් පස්සේ දැක්කේ ඒකේ ඉලක්කම් නෑ නේද කියලා... :D
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි TG , විකී ...
"අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් හදන්න බැරිද" හේ හේ.. මෙ වගේ PMලා තමයි අපිටත් ඉන්නේ.. උබේ ලිවිල්ල නම් සිරා මචන්.. එලම කිරි..
ReplyDeleteසිරා කතාව බං.එක හුස්මට කියෝගෙන ගියා...
ReplyDeleteඋඹ හරි සහෝදරයා... ඉස්සර ජී ෂොක් එකක් අපිට කොච්චර වටිනවද? විශ්වාද කරලන් මගේ අතේ තාම තියෙන්නේ මීට අවුරැදු 12 නට විතර කලින් බැන්ඳ ඒ ජී ෂොක් එකම තමයි... හැබැයි ඔය ජී ෂොක් කථාවට යටින් තියෙන සමාජ තත්ව විග්‍රහයත් අපුරැයි...
ReplyDeleteඋඹට ජය !!!!
වර්තමාන කථාවෙන් අතීත කථාව පාදාගෙන, ඒ තුළින් හාස්‍යය මුසු කර ලොකු පණිවිඩයක් දෙන සොඳුරු ලිපියක්.
ReplyDeleteඅයියා කියන ඔරලෝසුව මොකක්ද කියලා මට තාම නිච්චියක් නැහැනේ. ඒත් වෙළෙන්දා කිව්ව කතාව ඇත්ත. පේමන්ට් එකෙන් ගත්තු දේවල් හොඳම වෙන්නත් පුලුවන් අප්සට් යන්න පුලුවන්. වගකීම අපේ අතේ :)
ReplyDelete