Friday, March 18, 2011

17. අපි නොදන්න නළ මුදු සුවඳ | The Nala Mudu Thing

Anger

ඔන්න මේක යාන් හෑල්ලක්... ඊයේ රාත්‍රියේ ඇසගැ‍ටුණු සිදුවීමක් හදිසියේම මගේ හිතට අතීත මතකයක් කැන්දන් ආවා, සභාවක කතාකරන්න නොසුදුසු දෙයක් නිසා සංයමයකින් ලියන්න බලන්නම්... ලැජ්ජා බයට හැදෙන ගැනු ළමයෙක් එහෙම මේක කියවනවනම් දැන්මම අතෑරලා දැම්මත් අවුලක් නෑ...

ඊයේ රාත්‍රියේ අපි සතිඅන්තයේ රස්තියාදුවක යද්දී, පාර හරහා වාහන දෙකක් එකකට එකක් ගෑවෙන මට්ටමට නවත්තාගෙන හරි කලබලයක්... වාහනේ පදවපු කාගේ හරි අත්වැ‍රැද්දක් නිසා දැන් කට්ටිය ඇවිළෙන්න යන්නේ කියලා තේරුම් ගන්න මට අපහසු වුණේ නෑ... මගේ දහසකුත් එකක් නරක පුරුදු අතරේ හදාගන්න බැරිවුණ තවත් එකක් තමයි වලි බැලිල්ල... මොන ලෝකේ හරි වලියක් ඇහැ ගැ‍ටුනොත් මම කරන්නේ යන්න ගිය ගමන පැත්තක තියලා වලිය බලන එකයි... 

මේක මානසික රෝගයක් තරමටම කොච්චර වර්ධනය වුණාද කිව්වොත් යු ටියුබ් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වුණ දවස් වල මම කලේ යූ ටියුබ් එකේ වලි සර්ච් කර කර බලන එකයි... ඉතිං මෙතනත් පාරේ වීදි ලාම්පුව පිච්චිලාද කොහෙද ඒ තරම් එළියකුත් නැති තැනක්... මම කලේ වාහනේ හෙඩ් ලයිට් එක එතනට අල්ලලා වලිය පිළිවෙළකට කරගෙන යන්න ආලෝකය එහෙම ලබා දීලා, මගේ ආදරවන්තියගේ බලවත් අප්‍රසාදයත් නොසලකාහැරලා වලිය බලන්න සෙට්වුණ එකයි...

චිරාත් කාලයක් වලි බලලම, ගොඩක් වලි වල ඇත්තටම කේන්තියෙන් ඉන්නේ කව්ද, බොරුවට රඟපාන්නේ කව්ද, ඉස්සෙල්ලාම ගහන්නේ කව්ද, ගුටි කන්න වෙන්නේ කාටද වගේ පොඩි පොඩි දේවල් ගැන කලින්ම මට කියන්න පුළුවන් ගතියක් තියෙනවා... ඉතිං වැඩි වෙලාවක් යන්න කලින් මේක දුර දිග යන්න විදියක් නැහැ කියලා මටම අවබෝධ වුණා... මගේ අනාවැකිය සැබෑ කරමින් බැන අඬගසාගැනීමක් අවසානයේ ගහ මරා ගැනීමකින් තොරව කට්ටිය සතුටින් විසිර ගියා... 

කතාව පටන් ගන්නේ මෙතන ඉඳන්... මේ සිද්ධියේ මාර ඇග්‍රෙසිව්ම විදියට හැසිරුණේ යුරෝපීය රටක කියලා සැක කරන්න පිළිවන් යුවතියක්... යන්න මොහොතකට කලින් එයා තමන්ගේ ප්‍රතිවාදීන්ට මැද ඇඟිල්ලෙන් ආචාර කරලා යන්න අමතක කලෙත් නෑ...

"අම්මෝ මාර කෙල්ලෙක් නේ... ඔයාට එහෙම ඔහොම කෙනෙක් මැරි කරන්න වුනානම් මොකද කරන්නේ..?"

අපි එතනින් යන්න පිටත් වුණාට පස්සේ ඇය අහපු මේ ප්‍රශ්ණය හින්දා එක පාරටම මට මතක් වුණේ මීට අවුරුදු දහයකට දොළහකට කලින් සිදුවීමක්... [මේ කතාව උපරිමයටම රස විඳින කෙනෙක් අවශ්‍යය නම් දැන් මගේ සමීප රූපයක් ගල් වෙලා, බොඳ වෙලා, අතීතයේ සිදුවීමක් ලෝඩ් වෙන හැටි හිතින් මවා ගන්න...]

ඒ අපි සේරම පළවෙනි ලැජ්ජාව* ඉවර කරලා, සමහර අය විශ්වවිද්‍යාල වලටත්, ලැජ්ජා නැති අය ආයේ ට්‍රයි කරන්නත්, ඉතිරි අය වෙන මොනවා හරි පුද්ගලික අධ්‍යාපනික ජොයින්ට් වලටත් සම්බන්ධ වුණ කාලේ... ඉතිං මේ සිද්ධිය වුණේ ඔය විදියට විශ්වවිද්‍යාලයට ගිය මගේ අතිජාත මිත්‍රයෙකුට... වැඩි ලේසියට අපි මෙයාට නඳුන් කියමු...

කට්ටිය එහේ මෙහේ විසිර ගියා වුණත් සති කිහිපයකට සැරයක්වත් සෙනසුරාදා රාත්‍රියක මුණ ගැහෙන්න අපි අමතක කළේ නෑ... ආගිය කතා අතරේ ප්‍රධාන මාතෘකාවක් වුණේ අලුත් ජොයින්ට් වල හිත ගිය ගෑනු ළමයි ගැන කතා කිරීම... කාලෙක ඉඳන්ම අපිට තේරිලා තිබුණු විදියට මල්සරා තමන්ගේ ඉලක්කේ ප්‍රැක්ටිස් කරන්නේ නඳුන්ගෙන්... උගේ හදවතේ එක්ස් රේ එකක් ගත්තොත් පෙනේරයක් වගේ වගේ පේන්න ඕනි මල්සරාගේ ඊතල වැදිලම... ඉතිං මේ කියන දවසෙත් මල්සරා ඊතලේකින් උගේ පපුව මැද්දටම බස්සලා තිබුණා...

"මාර අහිංසක කෙල්ලෙක් මචං... හා පැටියෙක් වගේ... බොරු සෝබන නෑ... පිටිසර කෙල්ලෙක් වෙන්න ඇති, මම මේක හරිගියොත් සීරියස් කරනවා, මම හොය හොය හිටියේ මේ වගේ තැලිලා පොඩිවෙලා නැති කෙල්ලෙක්... අපිට ගැලපෙන්නේ ඒ වගේ අය මචං…"

දැන් හිස් වෙන බෝතලේට සමානුපාතිකව මූ දොඩමළු වෙනවා...

"ඉතිං උඹ තාම වැඩේට එන්ටර් වුණේ නැද්ද? බල බල ඉන්න එපා වෙන එකෙක් පාර්ක් කරයි..."

කීප දෙනෙක් උපදෙස් දෙන්නේ අවංකවමයි...

"මම විස්තර ටිකකුත් හොයලා බැලුවා, කොස්සකට තියෙන්නේ අපිට වැඩිය අවුරුද්දක් සීනියර්... පොඩි වයස පරතරයක් තියෙයි, ඕවා ඉතිං ප්‍රශ්නද නේද බං...?"

මූ මෙහෙම කියද්දි මූත් එක්කම එකට ඒ විශ්වවිද්‍යාලෙටම යන අපේ අනිත් එකා ජනක, මැදට පැනලා කිව්වේ අමුතු කතාවක්...

"මට ආරංචි වුණේ නම් වෙන දෙයක්, ඔය කෙල්ල හෙන ජෙප්පියක් ලු... පොඩ්ඩක් තව හොයලා බලපන් උඹට ගොනා වගේ ඉන්න වේවි..."

ජෙප්පියක් කියන්නේ විප්ලව වලට බර අදහස් තියෙන දේශපාලන පක්සෙකට සම්බන්ධ කෙනෙක් කියන එක විශ්වවිද්‍යාල වලට ආවේණික වචන ගැන අවබෝධයක් නැතිව වුණත් මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ...

"හරි හරි බලමුකෝ... ඊළඟ පාර අපි සෙට් වෙද්දි මම අනිවා ගුඩ් නිව්ස් එකක් අරගෙන තමයි එන්නේ..."

නඳුන් කියන්නේ කණ සාක්කුවට වැටීගෙන එද්දී...

මේ සිද්ධියෙන් පස්සේ අපි හැමෝටම ආයෙත් එකට එකතුවෙන්න ලැබුනේ සති කිහිපයක පස්සෙයි... ගුඩ් නිවුස් එකක් අරන් එන්න පොරොන්දු වුණ නඳුන් එදා අපිත් එක්ක සෙට් වෙන්න ආවේ නෑ... උගේ ආදර ව්‍යාපෘතියේ අලුත්ම තත්වය ගැන අපිට දැනගන්න උනේ අපේ අනිත් මිතුරා ජනකගෙන්… මේක ඇත්තද බොරුද කියලා මට විශ්වාසයක් නැත්තේ ඌ ගැනත් පොඩි කාලේ ඉඳන්ම අපි දන්න නිසයි... මොනවා වුණත් බොරුවක් නෙමේ ඇත්තක් කියලා හතර අතේ දිවුරලා ඌ කිව්ව විස්තරේ මෙහෙමයි... 

දින කීපයකට කලින් විශ්වවිද්‍යාලේ මොකද්දෝ ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා... මට මතක හැටියට ඒකේ නම "නළ මුදු සුවඳ..." සාමාන්‍යයෙන් ඔය වගේ වැදගත් කටයුත්තකදී විශ්වවිද්‍යාල ළමයි දෙපිල බෙදිලා ගහගන්න සිස්ටම් එකකුත් තියෙනවලු... ඉතිං මෙදාත් ඔන්න ඔහොම වලියක්... දෙගොල්ල පේන දුරින් කල්ලි ගැහිලා එකිනෙකාට බැණ අඬගහගන්න අතරේ එතනින් යන්න ගිය අපේ මිත්‍රයෝ දෙන්නා දැකලා තියෙනවා ඇල් වතුරත් නිවලා බොන, නඳුන්ගේ අහිංසක ගැමි ලියත් එක කල්ලියක ඉන්නවා... වෙන්නේ මොකද්ද කියලා හරියටම අවබෝධයක් නැතත්, ගෑනු ළමයට කරදරයක් වේවිද කියන බයට මුන් දෙන්නත් තරමක් ඈතට වෙලා සිද්ධිය බලාගෙන ඉඳලා තියෙනවා... වැඩි වෙලා එහෙම ඉන්න වෙලා නෑ, එක එකා අසභ්‍යවචන වලින් කෑ ගහන අතරේ නඳුන්ගේ අහිංසක හා පැටියා පිරිස අතරෙන් ඉස්සරහට ඇවිල්ලා මොකද දන්නවද කරලා තියෙන්නෙ... 

කෙළින්ම කියන්න මට විලිලැජ්ජාවේ සන්තොසේ බෑ... ඒ නිසා මෙහෙම කියන්නම්... මේ ගෑනු ළමයා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මෙව්වා එක මෙව්වා කරලා... මෙව්වා එක පෙන්නලා... මෙන්න මෙහෙම කෑ ගැහුවලු....

" මේ තියෙන්නේ නළ මුදු සුවඳ....! බලාගනින්....!"

අපේ නඳුන්ගේ අවිහිංසක ප්‍රේමයේ සුන්දර හීන මාළිගා කඩා වැ‍ටුණේ එහෙමයි... මේ ගැන වචනයක්වත් ඌත් එක්ක කතා කරන්නේ නෑ කියලා අපි හැමෝම පොරොන්දු වුණාට පස්සේ, අපිත් එක්ක ඌ ආයෙත් සෙට් වෙන්න ආවා...

මේ වගේම තව සිද්ධියක් තියෙනවා කෑලි කඩන්නේ නැතිව ඒකත් මෙතනම ලියන්නම්... මේක කෙටියෙන්.... මමම මූණ දුන්නු අත්දැකීමක්... අපේ ගෙදරට ගෙවල් කිහිපයක් ඈතින් තියෙන ගෙවල් දෙකක අසල් වැසියෝ පැල ඉනි වැටට හැමදාම රංඩු... අපේ ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට යද්දී මේ ගෙවල් දෙක පහු කරගෙන යන්න ඕනේ... දවසක් මම උදේම කොහේ හරි යද්දී ගෙවල් දෙකේම කට්ටිය එළියට බැහැලා හිරිකිතයක් නැතිව බැණ අඬගහගන්නවා...බස් එකටත් වෙලාව තියෙන එකේ මමත් ප්‍රේක්ෂක ජනතාවට සෙට් වුණා... 

විස්තරකිරීමේ පහසුවට චරිත ටික අඳුනගමු, එක ගෙදරක කපල් එක රංජිත් සහ රංජනී කියමුකෝ, අනිත් ගෙදර ලලිත් සහ ලලිතා... දැන් මේ අයගෙන් රංජිතුත් ලලිතාත් පොඩි කාලේ ඉඳලාම ජීවත් වුණේ ඒ ගෙවල් වළමයි... ඒ කියන්නේ රංජිත් රංජනීව කැන්දන් ආවා... ලලිත් ලලිතා එක්ක බින්න බැස්සා... පැහැදිලියිනේ..? මේ පාර්ට් එක ඉතා වැදගත්, පැහැදිලි නැත්නම් ආයේ කියවන්න…

ඔන්න දැන් වලියේ හොඳම හරිය, හතර දෙනාම එක සීරුවට බැනගෙන බැනගෙන ගියා, මේ අතරේ මෙහා ගෙදර රංජිත් කරපු තර්ජනේකින් එහා ගෙදර ලලිතාට අසූහාරදාහකට තද වුණා... අර නදුන්ගේ ගෑනු ළමයා කළ විදියමයි, පටාස් ගාලා මෙව්වා එක මෙව්වා කලා... 

"කොරයි කියලා තමයි බය... මේ තියෙන්නේ..! මේක තමයි කොරන්නේ...!"

කියලා මහ හයියෙන් කෑ ගැහුවා...

නඳුන් ගේ ගෑනු ළමයා කැම්පස් එකේ නිසා අඩුගානේ පිළිවෙළකට ඇඳලාවත් ඉන්න ඇති... මෙතන ඇවිල්ලා එහෙම නෑ, නිවාඩු දවසේ උදේ… තමන්ගේ ගෙදර... ෆුල් කැෂුවල්... හදිසි දර්ශනයෙන් කට්ටිය තුෂ්ණිම්භූත වුන නිසාද කොහෙදෝ හැමදේම එකපාරම නිශ්ශබ්ද වුණා... ටික වෙලාවක් කලබලයක් නැතිව බලන් හිටපු රංජිත්ගේ කේන්තිය නිවිලා එක පාරටම මූණට ආරුඪ වුණේ හිනාවක්... තප්පර කීපයක් තනියම හිනා වෙවී හිටිය රංජිත් තාලයකට ඇදලා පැදලා මෙහෙම ගායනා කලා...

"පොඩිකාලේ මම දැක්කට පස්සේ, දැක්කේ අදයි නෝනේ...."

ඊට පස්සේ මම දැක්කේ විදිලියක් වගේ ලලිතා ගෙට දුවන හැටියි... එදා දවසට වලිය ඉවරයි...

ඉතිං මට දැන් විශේෂයෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි. මොනවා උනත් මෙච්චර එඩිතර අපේ ගෑනු අතරේ අර බොරුවට ඇඟිල්ලක් දික්කරපු පර සුද්දි මට නම් නතිං...

ප.ලි: මොනවා වුණත් මේවා එච්චර සීරියස් ඉෂූස් කරගන්න එපා, කියවලා හිනාවෙලා අමතක කරලා දාන්න…

* - පලවෙනි ලැජ්ජාව = A/L First attempt. (උපුටා ගැනීම තෙලැස්ත්‍රෝ අඩවියෙන් )

19 comments :

  1. අපි කාගෙත් හිත ඇතුලේ හොඳ මූණයි, වෙස් මුණයි තියෙනවා. වෙස් මූණ වෙලාවට එලියට එනවා.

    "නළ මුදු සුවඳ" ගැන කියවන කොට මට මතක් වුනේ -මගේ කතන්දරයක් නිසා ගිය පොඩි පහේ සයිබර් වලියක අවසානයේ පාඨකයෙක් දැමූ කමෙන්ට් එකක්.

    http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html?showComment=1294536750577#c5093225696769230457

    ReplyDelete
  2. අපි කැම්පස් යන කාලේදී අපේ බෝඩිමක් තිබුනා කොරියාවක ටැප් එකක ලඟ. හැමදාම හැපනින්ග්ස් තමයි. දවසක් එතන තිබුන ගෙදරක කපල් එක හොඳටම බැනගන්නවා. මෙන්න බොලේ ගෑනි වෙලාවක මිනිහට බැනපි පොන්නයා කියලා. මිනිහා කියනවා මම පොන්නයද කියලා තෝ දන්නේ නැද්ද කියලා. ගෑනි දන්න හින්දා තමයි කියන්න ඇත්තේ :)

    ReplyDelete
  3. කාගෙ කාගෙ කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග තියෙනව නෙ.

    ReplyDelete
  4. අහල නැද්ද අලි බැලිල්ලයි වලි බැලිල්ලයි එපා වෙන්නැ කියලා

    ReplyDelete
  5. මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්,මිනිහත් බෝඩිමක ඉද්දි,ඒ පැත්තෙ ගෙදරක කෑ ගැහිල්ලක් ඇහිලා කට්ටිය ගිහින් බලන්න.ගෙදර මිනිහා කොස් ගහකට නැගලා බෙල්ලේ වැල් දාගන්න හදනවලු.ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉද්දි මාට්ටු වෙලා.බිම ඉඳන් මිනිස්සු කෑ ගහනවා අනේ මාමේ,බාප්පේ,අයියේ බහින්න ගහෙන් කියලා.ගෑනි ආවලු කඩා බිඳගෙන.රෙද්ද උස්සලා මෙව්වා එක පෙන්නලා කිව්වලු "අරූ බුදිය ගත්තට මේක කෑවෙ නෑ බොල,මේ තියෙන්නේ තිබ්බා වගේම,බැහැපිය දැන් ගහෙන්."

    ReplyDelete
  6. @කතන්දර,
    කතාව ඇත්ත...
    ඔය වලියත් මම ආසාවෙන් බැලුවා... :)

    @දුගියා,
    ඒක තමයි, සමහර ගෑනු තමන්ගේ ළමයට බනින්නේත් වේ*ගේ පුතා කියලනේ... එතකොට අන්තිමට බලද්දී බනින්නේ තමන්ටමයි... එක අතකින් ඒකත් හරි... :)

    @නවම්,
    නැතුව නැතුව... :)

    @රොබින්,
    අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි, වලි බැලිල්ලයි... :)

    @සිතිවිළිමණ්ඩිය,
    ඇත්ත තමයි... එක අතකින් සමහර ගෑණු කොච්චර ප්‍රැක්ටිකල්ද... :)

    ReplyDelete
  7. එලකිරි මචං........ නල මුඳු සුවද නියමෙට තියෙන්න ඇති නේ හිහ් හිහ්..........

    ReplyDelete
  8. වලි නැරඹීමේ සහජ ආසාවක් මම හිතන්නෙ මිනිස්සුනට පිහිටල තියෙනවා, ටවුන් වල එහෙම දැකල ඇතිනෙ මිනිස්සු මෙලෝ සිහියක් නැතුව කඩාගෙන දුවනව, ඇයි කියල ඇහුවම කියන්නෙ "වලියක්, වලියක් " කියලනෙ,

    වලි නැරඹීම ගැන කියද්දි මගෙත් යාලුවෙක් කියාපු කතාවක් මතක් උනා,ඌ දවසක් හවසක යාලුවො එක්ක සෙට් වෙලා ගෙදර යන ගමන් දැක්ක උන්ගෙ ලේන් එකට හැරෙන තැන ගෙදර වැට දිගට සෙනඟ පිරිල ඉන්නවා,බලන කොට ඒ ගෙදර ජෝඩුව බැන ගන්නව අමු තිත්ත බාසාවෙන්,

    සාලෙ ලොකු වීදුරු දොරවල් නිසා වැට අයිනට පැහැදිලිව පෙනෙනව, හැබැයි රෑ නිසා ජෝඩුවට එලියෙ ප්‍රේක්ෂකයො පෙනෙන්නෙ නැහැ, ඒ නිසා දෙන්න වැඩේ කරගෙන යනව ගජරාමෙට, එක්කෙනෙක් වත් අරින්නෙ නැහැ,

    ඔන්න වලියෙ උච්චාවස්තාවෙ අර නඳුන්ගෙ කෙල්ලයි, ලලිතායි කරපු දේ මේ ගෑණු මනුස්සයත් කලා, ඒ කිව්වෙ මෙව්ව එක මෙව්ව කරල මෙව්ව එක පෙන්නුව මිනිහට,

    මේ මනුස්සය හැබැයි ලලිතා වගෙ නෙවෙයි අර නල මුදු සුවඳ ගෑණු ලමය වගෙ, පිළිවෙලකට සැරසිලා ඉඳල තියෙන්නෙ,

    අපේ යාලුවගෙ කටත් ඇරුනා මේ සීන් එකට," ඒ................බාං දැක්කැයි ඒක, රතුපාට රේන්දෙකුත් අල්ලල තිබ්බ නේද? " ලඟ හිටපු හාදයගෙන් ඇහුව, ඒත් ගමේම අඳුනන අයිය කෙනෙක්, මිනිහත් ගානට දාල ඉඳල තියෙන්නෙ,

    "පිස්සුද උඹට?,රතු නෙවෙයි රෝස පාටනෙ,"

    " නෑ, රතු,"

    " නෑ, රෝස,"

    වාදෙ උග්‍ර උනා,

    " හරි, ඉඳපන් මම උඹට රෝස කියල ඔප්පු කරන්ඩ " අයියට තද උනා,ගියා කෙලින්ම ගෙදර දොර ලඟට, තඩි බෑව දොරට,

    මනුස්සය ඇවිල්ල දොර ඇරියා,

    " ඇයි මොකද? " සෙනඟ දැකල ටිකක් ලැජ්ජත් වගේ,

    " මේ, තරහ නැතුව නෝනට කියනවද මෙව්ව එක මෙව්ව කරල , මෙව්ව එක පොඩ්ඩක් පෙන්නන්න කියල, රේන්දෙ රතුද රෝසද කියල අපිට බලා ගන්න " අයියා බොහොම කාරුණිකව ඉල්ලුවා,

    ReplyDelete
  9. @කල්හාර දිසානායක,
    ඒක තමයි... හැබැයි අපි වැඩිය විස්තර අහන්න ගියේ නෑ ඌ පව් නිසා...

    @Ravi,
    ඇති එතනත් වලියක් යන්නේ නැතිව ඔයින් ගියා... අතුරු කතාවට ගොඩක් ස්තූතියි රවි අයියා... මම ඉන්න ගෙදරත් රෑට ලයිට් දාලා කර්ට්න්ස් ඇරියොත් සේරම එළියට පේනව... ලොකු ඇලර්ට් එකකින් තමයි ඉන්නේ...

    ReplyDelete
  10. හෆොයි හෆොයි .... මෙහෙමත් කෙල්ලො මේ ලෝකේ ඉන්න වද? කොහොම වුනත් හොඳ ධෛර්ය්‍යක් තියෙන අය වෙන්නෑ. නැත්තම් ඉතින් එවුව මෙවුව පෙන්නල සණ්ඩු ක්ලෝස් කරාවියෑ.

    හැබැයි තිං අර ප්‍රසිද්ධ ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතේත් ඕක කියල තියනව නෙව. රවෘද්ධ පිරිමි සතාව ටිකක් විතර මෙල්ල කරන්න ඔරන් ඔටන්ල , බැබුන් ල හෙම ඔය වැඩේ කරනවලු....

    ඒක් ගැහැණු මිනිස්සු ඔහොම කරනව කියල මම මේ ඇහුවමයි ඕං ං ං

    ReplyDelete
  11. වලි නැරඹීමේ සහජ ආසාවක් කිව්වට මට නම් හිතෙන්නෙ ඔ්ප දූප සෙවීමට තියෙන කැමැත්ත :)

    ReplyDelete
  12. ෂහ් මරු පෝස්ටුවකි මරුය ආතල් ගොඩය..

    ReplyDelete
  13. පෝස්ට් එක වගේම කමෙන්ට් ටිකත් ආතල්....

    ගෑණු නම් ඉන්න පුලුවන් ඔය මුහුදුකරේ පැත්තෙ.ඒත් අහිංසක පාට ගැහැණු ලමයෙක් එහෙම කරා කිව්වාම...

    ReplyDelete
  14. කැම්පස් එකේ නල මුදු සුවඳ ආවමයි කියමුකෝ.... ඕනෙමනම් 23ක් 24ක් ඇතිනේ........ (අවුරුදූ

    බොලාගෙ ගමේ උන්ට දැනුනේ අහවල් සුවඳද?...... ( ඕන් පොල් අතු වලවල්.. මඩ පුවක් වලවල් එහෙම මතක් කරනව නෙවෙයි )

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා.......අදයි මෙහාට ගොඩ වැදුනේ ඈ......

      ජයම වේවා!!!

      Delete
  15. මෙව්වා එක මෙව්වා කලවිට ඔබේ ප්‍රතිචාරය කෙබදු වීද? :D

    ReplyDelete
  16. කෙළින්ම කියන්න මට විලිලැජ්ජාවේ සන්තොසේ බෑ... ඒ නිසා මෙහෙම කියන්නම්... මේ ගෑනු ළමයා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මෙව්වා එක මෙව්වා කරලා... මෙව්වා එක පෙන්නලා... මෙන්න මෙහෙම කෑ ගැහුවලු....

    හැබෑට ඔය කලාය කියන එක මට තේරූනේ නැහැනෙ :(

    ReplyDelete
  17. හැකිස්.. මේක නන් සිරා.....

    ReplyDelete
  18. ෂික් විතරක්..... මෙහෙමත් වලි....!

    නොදෝමකින්, මට කවදාවත් ඔහොම වලියක් බලන්න චෑන්ස් එක හම්බ වෙලා නෑනේ.....!

    ReplyDelete

Web Statistics