Saturday, January 29, 2011

7. වැරදුණු ගුරුකම | A Black Magic Went Wrong

"පුතේ ඔයා ලොකු වැඩක්ද...?"

මෙතරම් වැඩ කන්දරාවක් තියෙන තැනක, මොකුත් නොකර මිදුලේ තියෙන පු‍ටුවක වාඩි වෙලා ඉන්නවා මදිවට, වැඩක් කරන මිනිහෙකුටත් වැඩක් කරන්න දෙන්නේ නැති මහප්පා ගැන මට ආවේ කේන්තියක්... ඊයේ රාත්‍රීයේ මහප්පා අප නිවසට පැමිණෙද්දී, උත්සවයේ වැඩකටයුතු වලට උරදීමට ඔහු පැමිණෙනවායැයි මම සිතුවත් ඔහු පැමිණ තිබුනේ සෑමදේටම කල්ඇතුව සූදානම් වීමට ඔහුගේ ඇති පුරුද්ද නිසා මිස අපට උදව්වීමට නොවන බව ඒ වනවිටත් මට වැටහී තිබුණා... 

"ඇයි මොකද..?" යන්න ගිය ගමන මඳකට නවත්තපු මම ඇහුවා...

"නෑ එහෙනම් කමක් නෑ වැඩේ ඉවර කරලා ඉන්නකෝ..."

මාගේ ප්‍රතිචාරය සුහදශීලී නොවූ බැවින්දෝ මහප්පා පැකිලෙමින් කියන්නට ආ දෙය ගිලගත්තා...
ඒ ගෙවෙමින් තිබුණේ  මා ජීවිතයේ විඳි කාර්යබහුලම දිනයක්...අප ආදරණීය ලොකු අයියා තම කිරිල්ලියත් කැන්දාගෙන අලුත් කැදැල්ලක නව දිවියක් අරඹන්නට පැමිණීමට තිබුණේ හරියටම දිනයකටත් අඩු කාලයක්... ඔවුන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයේ නිමාකල යුතු කටයුතු රාශියක හිරවී මමත්, මල්ලීත්, චූටි අයියාත් එහේ මෙහේ දුවමින් සිටියේ සිහි විකල් වූවන් ලෙසින්... නගරයෙහි වූ උත්සවශාලාවක මෙය සිදුකිරීමට බොහෝ දෙනෙකු ගෙන ආ යෝජනාවට අප තිදෙනා විරුද්ධ වූයේ ලොකු අය්යාගේ මූල්‍යමය හැකියාව ගැන අප හොඳ අවබෝධයකින් සිටි නිසයි... අවසානයේ මෙම උත්සවය අප මහගෙදර පැවැත්වීමට  අප තනි කැමැත්තට මෙන් තීරණය වූ අවස්ථාවක එය සාර්ථක කර ගැනීම සඳහා වැඩි දෙනෙකුගේ සහයෝගයක් නැතිවම අප වෙහෙස වෙමින් සිටියේ අධික පීඩනයකින් යුක්තවයි...

නෑනෑකියන්න..."

එක් වැඩක් නිම වීමට පෙර තවත් වැඩකටත්  එය නිම වීමට පෙර තවත් එකකටත් වශයෙන් නිමක් නැති වැඩ කන්දරාවක මේ වන විටත් හිරවී සිටි මාහට මහප්පාගේ අවශ්‍යතාවය අමුතු අපහසුවක් ගෙන නො එන බව දැන සිටියෙන් මා පැවසූවා

පුතේ අඟල් එක හමාරක දෙකක යකඩ ඇණයක් ගේනවද..?"

වටපිට බලමින් රහසක් පවසනවාක් වැනි සිහින් හඬකින් ඔහු පැවසූවා...

"ඒ මොකටද..?"

මහප්පාට මේ හදිසියේ යකඩ ඇණයක අවශ්‍යතාවයක් ඇතිවූයේ මන්දැයි වටහාගත නොහැකිවූයෙන් මා ප්‍රශ්ණ කලා...

"මේපොඩි ගුරුකමකට..."

" ගුරුකමකට...?"

ඔව් අලුත බැඳපු ජෝඩුවක් ගෙදරට එනකොට කරන්න ඕනෙ සෙත් ශාන්තියක් වගේ දෙයක් දෙයක් මේක... ජෝඩුවට හොඳටම හිතවත් දෙන්නෙක් එකතු වෙලා පිරිසිදු හිතකින් කරන්න ඕනේ... අපි දෙන්නා කරමු...

මහප්පා බැරෑරුම් ලෙස විස්තර කලා...

මහප්පා ලෙස අප ඔහු ඇමතූවද සත්‍යලෙසින්ම ඔහු අප අම්මාගේ වැඩිමහළු සොයුරියගේ ස්වාමිපුරුෂයායි... කොළඹ ප්‍රදේශයේ සිට සංක්‍රමනය වී ඇති මහප්පා මාගේ මහම්මා විවාහ කරගැනීමෙන් පසුව එහිම බින්න බැස්සා... කොළඹ ගතිපුරුදු නිසාදෝ කැපී පෙනෙන ලෙස පිළිවෙලකට හැඳීමට පැලඳීමට ඔහු පුරුදු වී සිටියා... නිවසින් බැහැරට යන සෑම විටකම නීට් එකට ‍රැවුල කපා සිහින් උඩු‍රැවුලක් තබා සිටි ඔහු කබා සාක්කුවේ ‍රැඳි දැති පනාවකින් පැය කිහිපයකට වරක් තම හිසකෙස් පිළිවෙලකට පීරීමට අමතක කලෙ නැහැ...

වයසින් තම බිරිඳට වඩා තම නැන්දම්මාට සමීප වුවද නොවැරදීම සායම් ගල්වන කොණ්ඩයත් උඩු ‍රැවුලත්, කපුරු සුවඳ හමන අලුත්ම ඇඳුමකින් සැරසී හැමවිටම මුවඟ රඳවා සිටි සිහින් සිනාවත් මහප්පාට එක්කලේ මහම්මාටත් වඩා තරුණ බවක්... එකල මා ආදරණීය අම්මා ඇතුළු සහෝදරියන් සියළු දෙනාම ඔහුට ඇළුම් කළ බවත් නමුත් ඔහු සිත් ගත්තේ ලොකු මහම්මා බවත් අම්මා පවසනවා මට මතකයි...

ඔහු කියනා දෙය එකවරම විශ්වාස කිරීමට මා හට අපහසු වූයේ ඔහු මන්තර ගුරුකම් දන්නා බවක් මේ වනතෙක් මා දැන සිටියේ නැති නිසයි... ඇරත් මහප්පා මා කුඩා අවදියේදී මා හට කළ වංචාවක් නිසා ඔහු පිළිබඳව කලක පටන්ම මා තුළ තිබුනේ අවිශ්වාසය මුසු  කලකිරීමක්... මා කුඩා කාලයේ අවුරුදු කාලයට ගමේ ගිය පසු මා මහම්මාගේ නිවසට වදින්නේ පොඩි අය්යා ඇඳ යට ගොඩගසා ඇති චිත්‍රකතා පත්තර කියවීමටයි... මෙසේ යන බොහෝ දිනක මහප්පාගේ රූපලාවන්‍ය කටයුතු සඳහා බලෙන්ම වාගේ මා සම්බන්ධ කරගැනීම ඔහුගේ සිරිතක්... බොහෝ විට මා හට සිදුවන්නේ ඔහුගේ පපුවෙහි හා පිටෙහි ඇති ඉදුණු රෝම ගස් කුඩා කතුරක් වැනි උපකරණයකින් උගුල්ලා දැමීමටයි... ඉතා නීරස සහ වෙහෙසකර කටයුත්තක් වන මෙය උඩින් පල්ලෙන් ගසා දමා යන මා ලවා වඩාත් හොඳින් සිදුකර ගැනීමට ඔහු වරක් භාවිතා කළේ අපූරු උපක්‍රමයක්... එය නම් මා ගලවන සෑම සුදු රෝම ගසකටම සත පනහ බැගින් ගෙවීමට මහප්පා ගෙන ආ යෝජනාවයි... එයට එකඟ වූ මා ඉන්පසු රෝම උගුල්ලනවා පමණක් නොව ඒවා එකතු කර ඔහු ඉදිරියේම ගනන් කර පෙන්නුවේත් මහත් උනන්දුවෙන්... මෙය මහප්පාගේ පැත්තෙන් කෙතරම් සාර්ථක වූවාද කියතොත් ඉන්පසු පෙර නොවූ උනන්දුවකින් සහ කාර්යක්ෂමව මා ලවා එය ඉ‍ටුකර ගත්තා පමණක් නොවෙයි ගැලවූ රෝම ගස් සංඛ්‍යාව පිළිබඳව සංගනනයක් ලබා ගැනීමටත් ඔහුට හැකිවූවා... ඉක්මණින්ම සල්ලි ලබාදෙන පොරොන්දුව පිට කිහිපවරක්ම මාගේ සේවය ලබාගැනීමට ඔහුට හැකිවුනත්, ටික දිනක් ගතවන විට ඔහුගේ වංචාවකට හසු වූ බව තේරුම්ගත් මා ඉන්පසු ඔහුගේ ඉදුනු රෝම ගස් ගැලවීමේ රූපලාවන්‍ය සේවාව අත්හිටවූවා පමණක් නෙවෙයි ඔවුන්ගේ නිවසට යෑමද අකමැත්තෙන් හෝ බෙහෙවින් අඩු කලා... කෙසේ වුවද මහප්පා විසින් මා කුඩා කල මාහට කල ඒ ‍ ‍රැවටීමෙන් ඔහු කෙරෙහි සිතෙහි වූ අප්‍රසන්නතාවය ගලෙහි කෙටූ අකුරක් මෙන් මා සිතට වද දෙමින් මතකයේ තැන්පත් වී තිබුණා...

ඔයා ගුරුකම් දන්නවද..?”

ඔහුගෙන් මා පෙරළා ප්‍රශ්ණ කලේ මෙම සැක සහිත සිතිවිල්ලෙන්

"ඔව්... විනාඩි දෙකයි යන්නේ වැඩේට...විගහට අරන් එන්නකෝ එහෙනම්..?”

මහප්පාගේ ඉල්ලීම ඉ‍ටුකිරීමටත් වඩා මෙම චාරිත්‍රයෙන් ලොකු අයියාට යම් යහපතක් සිදුවෙනවානම් එය නොවැළකිය යුතුය යන අදහසින් යන්නට ගිය ගමන මඳකට නැවතූ මම ඔහුට ඇණයක් සොයාගෙන ඒම සඳහා පිටත් වුණා...

ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"

අප කරන්නට යන ගුරුකමේ එක් කොන්දේසියක් මහප්පා එසේ සඳහන් කලා...

"ඇණයක් විතරද ඕනේ..?" මඳ දුරක් ගිය මා ඇසුවේ ඒ වනවිටත් මා කාලය සමඟ සටනක් කරමින් සිටි නිසායි...

"ඒක ගහන්න මිටියක් වගේ බර දෙයකුත් ගේන්න..."

සුළු වේලාවකට පසු  යකඩක් ඇණයක් සහ මිටියක් ඔහු අතට පත් කල මා නිහඬව ඔහු පසුපස පැමීන ලෙස කල විධානයට අවනත වුණා... නිවසේ පසුපසට වන්නට සවිකර තිබූ ජල කරාමයක් දෙසට පියනැගූ මහප්පා ඉන් අනතුරුව එහි සිට පියවර කිහිපයක් නිවස දෙසට ගමන්කර පි‍ටුපස බිත්තිය අසලට පැමිණියා...එහි අඩි පහක් හයක් පමණ උසකින් ඇණය බිත්තියට තබා සීරුවෙන් එයට මිටියෙන් පහර දුන් ඔහු අවසානයේ එය අතින් සෙලවීමට උත්සාහාකර හොඳින් සවිවී ඇතිබව පසක් කරගෙන මා දෙස බලා හිස වැනුවේ  ජයග්‍රාහී සිනහවකින් යුක්තවයි...

"හරි... සියළු දෝස නිවාරණයි..." 

මිටිය මා අතට දෙමින් ඔහු සැහැල්ලුවෙන් පැවසූවා...

"ඕක ගලවන්න හොඳ නැද්ද...?"  

මහප්පා පි‍ටුපසින් නැවතත් මිදුල දෙසට පියනගමින් සිටි මා ඇසුවේ ඔහුගේ මේ ගුරුකම ගැන මා හට කිසිත් අවබෝධයක් නොතිබූ නිසායි...

"උත්සවේ ඉවර වෙනකල් තියන්න ඕනේ... ඊට පස්සේ බලේ ඉවරයි... එතකොට ඉතින් ගැලෙව්වත් එකයි නැතත් එකයි..." 

පසුපස නොබලාම පිළිතුරු දුන් මහප්පා ඉන් එහාට ඒ පිළිබඳව කතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ...

කෙළවරක් නැති වැඩ රාජකාරි අතරේ ඒ පිළිබඳ මතකය ඉක්මණින්ම මා කෙරෙන් ගිලිහී ගියා... පසුදිනට පහන්වූයේ නිදි නොලැබූ මා ගත මෙන්ම සිතද වෙහෙසට පත් කරමින්... හිමිදිරියේම අයෙක් කිසියම් කාරණයක් සඳහා ලී කැබැල්ලක් ඉල්ලූ හෙයින් නිවස පි‍ටුපස ඇති දරමඬුවෙහි සුදුසු යමක් ඇත්දැයි සොයනා අදහසින් මා ඒ දෙසට පියමැන්නා...

ලී කැබැල්ලක් සොයාගත් මා ආපසු පිය නැඟීමට පෙර මහප්පා විසින් ඊයේ සවිකල ඇණය සහිත බිත්තිය දෙස නෙත් යොමුකලේ නිරායාසයෙන්... එහිදී මා දු‍ටු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ දර්ශණයෙන් මා ගල් ගැසී ගියා... 

-->
හිතාදර පාඨකය...
මම මේ බ්ලොග් අඩවිය පටන් ගෙන තවම මසක් වත් සම්පූර්ණ වූයේ නැහැ... ඉතින්  බොහෝ දුරට මේ ඔබගේ පළමු පැමිණීම විය හැකියි... ඔබව මේ බ්ලොග් අඩවියේ නිරන්තර පාඨකයෙකු කර ගැනීමට මා තුළ ඇත්තේ මහත් ආසාවක්... ඉතින් ඒ සඳහා යොදන උත්සාහයක් වශයෙනුත්, මෙම ත්‍රාසජනක තාවේ උත්ප්‍රාසය පාඨකයාට ලබා දීමේ උපක්‍රමයක් වශයෙනුත්,  කතාවේ ක්ලයිමැක්සුව ලිවීම හෙටට කල් දමන්නම්...
හෙට රාත්‍රියේදී නැවත හමුවනතෙක් ඔබට සුභ දවසක්...
මා ඔබගේ බීට්ල්

එතෙක් ඔබට මඟහැරුණු පහත කතා රස විඳින්න....

අද එතැන් සිට...


ලී කැබැල්ලක් සොයාගත් මා ආපසු පිය නැඟීමට පෙර මහප්පා විසින් ඊයේ සවිකල ඇණය සහිත බිත්තිය දෙස නෙත් යොමුකලේ නිරායාසයෙන්... එහිදී මා දු‍ටු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ දර්ශණයෙන් මා ගල් ගැසී ගියා...

මා විශ්මයට පත් කරමින් ඊයේ දිනයේ අප සවිකල ඇණයේ මුහුණ බලන කණ්නාඩියක් එල්ලාගෙන ඒ තුළට එබීගෙන සිටි මහප්පා  මුහුණේ ඇති ‍රැවුල් ගසක් ගානේ පරික්ෂා කරමින් ප්‍රවේශමෙන්  තම ‍රැවුල බාමින් සිටියා... මංගල උත්සවයක් ඇති තැනක නාන කාමරයක ඇති කලබලකාරී බව කලින් අත්විඳ ඇති බැවින්දෝ විශේෂ අවස්ථාවකදී වෙනදාටත් වඩා සැලකිල්ලෙන් හැඩවැඩ වන මහප්පා තම අවශ්‍යතා සපුරාගන්නා ආකාරය පෙරදිනයේ සිටම සැලසුම් කර ඇති අයුරු වටහා ගැනීමට මා හට අපහසු වූයේ නැහැ... මුවින් නොබැන හීන් සීරුවේ මා එතැනින් ඉවත්වූයේ කණ්නාඩියක් සපයා ගැනීමට ඔහු කිනම් උප්පරවැට්ටියක් යොදාගන්නට ඇත්දැයි කල්පනා කරමින්...

6 comments :

  1. ප්‍රභාශ්වරී බලන එකත් දවසින් දවස කල් යනවා.. දැන් මෙයත් කතාව කල් දානව...

    ReplyDelete
  2. හහ්..හොඳයි වැඩේ...
    වැඩිය ගණන් උස්සන්න ලෑස්ති වෙන්න එපා.
    මේ වැඩේ පුරුද්දකට තියාගන්නත් එපා.

    ReplyDelete
  3. ආයේ එහෙම කරන්නැ‍තෝ............. :D

    ReplyDelete
  4. කොයි ඉතුරු ටික ලියපියෝ

    ReplyDelete
  5. ඔය වගේ ක්‍රම කුරුලු හමුදාවේ ඉන්න කාලේ බොහොම ප්‍රයෝජනවත් උනා. හිතන්නකෝ එකපාර 35ත්විතර බාත්රෑම් එකේ කණ්නාඩි ටික බදු ගත්තම කොහොමද කියලා. ඒවෙලාවට එතන මරා ගන්නවට වඩා ඔය වගේ කෙමක් මාර වටිනවා.

    ReplyDelete
  6. අපොයි, පොඩි කාලෙත් රැවටිල්ලට අහු වෙලා; ඉන් මට්ටු නොවී වැඩිහිටියෙක් වෙලත් රැවටිල්ලට අහු වෙලා.
    කොහොම වුණත් දිගටම කුතුහලය රඳවාගෙන, අනපේක්ෂිත අවසානයක් කරා පාඨකයා රැගෙන ගිය කතාවක්.

    ReplyDelete

Web Statistics