Saturday, January 15, 2011

5. පච්චා කොටපු ඉලන්දාරියා | My Daughter's Tattoo Boy



"හෙට ඔයා ගෙදර ඉන්නව නේද...?"
රූපා ගේ ප්‍රශ්ණය විතාන මහත්තයාගේ සිතට ගෙන ආවේ කුහුලක්...
"ඇයි...?"
එහෙම ඇහුවෙ නැතත් රූපා දිගටම කතා කරන බව විතාන මහත්තයා දන්නවා...
"ලොකු දුවගේ යාළුවෙක් එනවලු...අපි දෙන්නව හම්බ වෙන්නත් එක්ක..."
රූපා ගේ ඒ පිළිතුරත් එක්ක පහුගිය සති දෙකක විතර ඉඳන් ගෙදර සිද්ද වෙමින් තිබුණු නමුත් මේ වනතෙක් විතාන මහත්තයාට ගැටළුවක් වුණු හුදකලා සිද්ධි කිහිපයක් එකිනෙකට අමුණගන්න පුළුවන් වුණා...
"අපි දෙන්නව හම්බ වෙන්න යාළුවෙක්…? ඒ කව්ද ..?"
තමන්ගේ අනුමානය හරියටම හරිද කියලා දැනගන්නත් එක්ක විතාන මහත්තයා ඇහුවා...
"යාළුවෙක් කියන්නේ මේ... ලොකු දුව එක්ක සම්බන්දයක් තියෙන කෙනෙක් කියන්නේ..."
රූපා වෙනදා නැති පරිස්සමකින් වචන හසුරනවා... කියවමින් සිටි සමිති වාර්තාවෙන් දෙනෙත් ඉවතට ගත් විතානමහත්තයා ඇස් කන්නාඩියට උඩින් රූපා දිහා බැලුවා...
"සම්බන්දයක්...? කව්ද ඔය...? මොනවා කරන කෙනෙක්ද...? "
විතාන මහත්තයාට කේන්තියකටත් වඩා ආවේ කලකිරීමක්... තමන්ට මේක අලුත් ආරංචියක් වුණාට ගෙදර අනිත් අයට ටික එහෙම නොවෙන බව විතාන මහත්තයාට පැහැදිලියි... මෙය පමණක් නොව තමන්ට මතක ඇති කාලයක පටන් පවුලේ වැදගත් තීරණ සියල්ලම පාහේ තමන් දැනගන්නා විට එය ඒ වන විටත් සාකච්ඡා වී අවසන් තීරණයද ගෙන දින කිහිපයක් ගතවී ඇති බව විතාන මහත්තයාට සිහිවුණා...
"ඒවා හෙට ආවාමම බලාගමුකෝ..."
විතාන මහත්තය තවත් යමක් කියන්නට මත්තෙන් සාකච්චාව නිමකල රූපා ඉස්තොප්පුවෙන් ගෙතුළට නික්ම ගියා...කොහොමත් විතාන මහත්තයාට කියන්න කියලා විශේෂ දෙයක් තිබුණෙත් නැහැ... කියවමින් හිටි සමිති වාර්තාව ඔඩොක්කුවෙම තියෙන්න හැරි විතාන මහත්තයා කල්පනා ලෝකයේ තනිවුණා...

පලවෙනි දරුවා හින්දාද කොහෙද ලොකු දුව ලැබෙන්න යද්දි රූපා ට ගොඩක් අමාරු වුණා... සෙනෙවිරත්න දොස්තර මහත්තයා නොහිටින්න දෙකෙන් එකක් සිද්ධ වෙන්න උනත් තිබුණා කියලයි විතාන හිතුවේ... දරුවව ලැබුණගමන් ඔපරේෂන් කාමරේ ඉඳලා නර්ස් නෝනලා දරුවව කොහෙටදෝ අරගෙන දිව්වේ කඩි ගුලක් ඇවිස්සුණා වගේ...
"බබා හුස්ම ගන්නේ නැහැ... බේබි රූම් එකට ගෙනිච්චා..." කව්දෝ කියනවා විතානට හීනෙන් වගේ මතකයි...
විතානගේ හිත කලබල වෙලා තිබුණු තරමට රූපා ට කොහොමද කියලා බලාගන්නවත් ඒ වෙලාවේ නිනව්වක් තිබුනේ නෑ...
ටිකක් කලබලය අඩුවුණාට පස්සේ නර්ස් නෝනා කෙනෙක් ලොකු දොරක තිබුණු රවුම් වීදුරුවකින් පෙන්නපු ප්ලාස්ටික් බට ගොඩකින් වටවෙලා උන් දරුවව දකිද්දි විතානගේ පපුව හෝස් ගාලා ගියා...
"මගේ දරුවා නැති වෙයිද මිසී...?"
කඳුලු පුරෝගෙන විතාන ඇහුවා...
"බය වෙන්න එපා...අපි උපරිම උත්සාහා කරනවා..."
නර්ස් නෝනා එහෙම කිව්වා මිසක් නැති වෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ...
එවෙලෙ ඉඳන් විතාන නෙමෙයි ඒ වීදුරුව ගාවින් හෙල්ලුනේ... ඔහු වෙවුලන හඬින් රතන සූත්‍රය මුමුණන්න ගත්තේ දරුවට සිහිය එනකල් නවත්තන්නේ නෑ කියලා අධිෂ්ඨාන කරගෙන...ගැහෙන හඩින් පිරිත් මුමුණන විතානගේ කම්මුල් දිගේ කඳුලු වැල්  ගලාගෙන ගියේ වීදුරුවත් තෙමාගෙන...පැය ගානකට පස්සේ දොස්තර මහත්තයා විතාන ලඟට එනකොටත් ඔහු හිටියේ වීදුරුවට මූණ ඔබාගෙන පිරිත් කියමින්...
"අනේ මහත්තයෝ..." ඉකි ගහමින් විතානට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි...
"Don’t worry... බබා අමාරු ස්ටේජ් එක පහු කරලා ඉවරයි... දැන් බය වෙන්න දෙයක්  නැහැ... ගිහිල්ලා වයිෆ් ට කතා කරන්න..."
එහෙම කියපු දොස්තර මහත්තයා සැහැල්ලුවෙන් විතානගේ පිටට තට්‍ටු කලා... අත් දෙක එකට එකතු කරලා වඳිනවා ඇරෙන්න දොස්තර මහත්තයාට වෙන ස්තුති කරන්න පුළුවන් ක්‍රමයක් ඔහුගේ හිතට ආවේ නෑ...
"දරුවා කෝ...?"
අමාරුවෙන් ඇස් ඇරපු රූපා කෙඳිරිලි හඬින් විතානගෙන් ඇහුවා...
"බේබි රූම් එකේ... බය වෙන්න දෙයක් නෑ කියලා දොස්තර මහත්තයා කිව්වා..." විතාන කිව්වේ එක අතකින් රූපා ගේ අත අල්ලාගෙන අනිත් අතින් හිස පිරිමදින ගමන්...
"ලඟ හිටියට කමක් නැහැ කතා කරන්න එපා... මෙයාට නින්ද යන්න දැන් බෙහෙත් දුන්නා... ඔහොම නිදාගන්න දෙන්න..."
 නර්ස් නෝනා කෙනෙකුගේ අවවාදයට අවනත වුණු විතාන ඉන් එහා මොකුත් කතා කලේ නැහැ... විඩාබර මුහුණින් නින්දට වැටිලා ඉන්න රූපා ගේ හිස පිරිමදිමින් ඔහු තම හිතේ හිරවී තිබුණු පීඩනය දියකරගෙන ගලා හැලෙන සතු‍ටු කඳුලු වැල් වලට නොනවත්වා ගලාගෙන යන්න ඉඩ දුන්නා...
පහු පහු වෙනකොට ලොකු දුව කැමති නැති වුණත් රතන සූත්‍රයෙන් නැවත උපන්නී කියන ලස්සන තේරුම තියෙන නම දුවට තියන්න ඕනි කියලා විතාන තීරණය කලෙත් ඉස්පිරිතාලෙදිමයි...
-----

හිමිදිරියේ සැරදමා පණගැන්වූ විතාන මහත්තයාගේ වොක්ස්වැගන් කාරයේ ශබ්දයෙන් අවදිවූ බල්ලා ඇඟමැලි කඩමින්  කාරය යටින් එලියට  ආවේ කලාතුරකින් බාධා වන තම නින්ද කැඩීම ගැන නොකැමැත්තෙන්...
"මොකද බොබයියේ...? අපි එක්ක ටවුන් යන්න එනවද...?"
විතාන මහත්තයා සමඟ එලියට යෑමට සූදානම් වී පැමිණි දියණියන් දෙදෙනාගෙන් කෙනෙකු පවසද්දී ඒ කතා කරන්නේ තමා සමඟද නැතිනම් බල්ලා සමඟ දැයි විතාන මහත්තයාට හරි හැටි නො ඇසුනේ කාරයේ ශබ්දයටත් වඩා  ඔහු ඒ වනවිටත් වැ‍රැන්ඩාවට සමීපව ඇති කණුවේ නොවැදී කාරය මිදුලට දමාගැනීමට ඔට්‍ටු වෙමින් සිටි නිසයි...
දියණියන් දෙදෙනා ගේ තොර‍තෝංචියක් නැති කතාවට බාධා නොකළ විතාන මහත්තයා වාහනය පැදවූයේ නිහඬ මුවින්...... රූපා ගෙන් දැන ගැනීමට නොහැකි වූ දෙය ලොකු දුවගෙන් ඇසීමට කිහිප විටක්ම සිත් වුවත් පොඩි දුව ඉදිරියේ එය ඇසීම නොමනායැයි ඔහුට හැඟුන හෙයින් විතානමහත්තයා කටට ආ පැණය අපහසුවෙන් ගිලගත්තා...
"තාත්තේ අපිව ඔය ඉස්සරහින් දාන්න..." ලොකු දුව ගේ හඬට කීකරු වූ විතාන මහත්තයා සෙමින් වාහනය පසෙකට ගත්තා...
"තාත්තට කලින් අපිට එන්න පුළුවන් වේවි... ඔයා කාර්ගිල්ස් එක ඉස්සරහා ඉන්න... අපි දෙන්නා එතනට එන්නම්..." ඉදිරියට නැමූ ආසනය අල්ලාගෙන කාරයේ පසුපස සිට අපහසුවෙන් එළියට පැනගත්පොඩි දුවගේ උපදෙසට විතාන මහත්තයා නිහඬව එකඟ වුණා...
කවුන්ටරයේ සිටි තරුණියගේ ආචාරශීලී ස්තුතියට සිනහවකින් පිළිතුරු දී ඉවතට පැමිණි විතාන මහත්තයා අත්දෙකෙන්ම එල්ලා ගත් පොලිතීන් බෑග් වල බර නිසා වට පිට බැලුවේ ඒ ටික දමාගන්නට ට්‍රොලිය ගන්නට අමතක වූ බව සිහිවූ නිසයි...
"විතාන මහත්තයා මොනවද මේ බරටම..? මොකද ගෙදර පාටියක්ද..?"
ඒත් එක්කම කොහෙන්දෝ එතනට මතුවුණු සිල්වා ඇහුවේ එක ඇහැක් පුංචි කරගෙන...
"නෑ මේ දුවගේ යාලුවෙක් එනවලු..."
සිල්වාට කවදාවත් පුද්ගලික දේවල් කියන්න එපා කියලා රූපා කට කැඩෙනකල් කියලා තිබුණත් පොඩි කාලේ ඉඳන්ම බොරුවක් කියන්න නොනැමෙන දිව මේ පාරත් විතාන මහත්තයාගේ හිතට අවනත වුණේ නැහැ...
"යාළුවෙක්..? ංහා ංහා... හොඳයි හොඳයි...."
හිස පැත්තකට ඇල කරගෙන සිල්වා එහෙම කියද්දි විතාන මහත්තයා ට්‍රොලියක් සොයා ගැනීමේ අදහස අතහැර  ඔහුගෙන් සමුගත්තේ වෙන යමක් නොකිව්වත් උවමනාවටත් වඩා දෙයක් සිල්වා මේ වනවිටත් අනුමාන කරගන්නට ඇතිබව නොදැනම නෙවෙයි...
අතින් කටින් පොලිතීන් මලු එල්ලාගත් විතාන මහත්තයා තරමක් දුරින් නැවැත්වූ වාහනය දෙසට ඇවිදගෙන එද්දී මඳක් ඔබ්බෙන් වූ සෙවනක තවත් මලු කිහිපයක් ඔසවාගත් දියණියන් දෙදෙනා සිටගෙන සිටිනවා ඈත තියාම ඔහු දැක්කා...
"ඇයි වාහනේට නඟින්න තිබුණනේ..." තමන් වෙත ඇවිද එන දියණියන් දෙදෙනාට ඔහු කිව්වේ බොනට්‍ටුව හැර පොලීතීන් මලු අසුරන ගමන්...
"ඇයි ලොක් කරලා නැද්ද...?" පොඩි දුව ඇහුවේ විශ්මයෙන්...
"ලොක් එක කැඩිලා දැන් කොච්චර කල්ද..." විතාන මහත්තයා එහෙම කියද්දි සෑහෙන දවසකින් තුන්දෙනාම එකට කාර් එකේ ගමනක් ගිහින් නෑ නේද කියලා විතාන මහත්තයට සිහිවුණා...
සුපුරුදු ලෙස දියණියන්ගේ කතාවෙනුත් විතාන මහත්තයාගේ නිහඬතාවයෙනුත් යුක්තව  ගෙවුණු ආපසු ගමන අද දිනයේ පැමිනෙණ අමුත්තා ගැන දහසක් ගැටළු ඔහුගේ සිත තුළ ඉතිරි කරමින් නිමා වුණා...
ගෙතුළින් විටින් විට ඇතිවී නැතිවී ගිය කෑම වර්ග වල සුවඳ තුනී වී මෙතෙක් වේලා ගැ‍ටුණු වළං පිඟන් වල හඬ නෑසී ගියේ අමුත්තා පිළිගැනීමට සියල්ල සූදානම් බව නොකියා කියමින්... ඉස්‍තෝප්පුවේ ඇති ඇඳි පු‍ටුවේ වාඩි වී වරක් කියවූ සමිති වාර්තාව උඩින් පල්ලෙන් නැවත කියවමින් සිටි විතාන මහත්තයාට තනි ‍රැකීමට හිටියේ ඔහුගේ රිද්මයකට සෙලවෙන පා ඇඟිලි උඩින් තම නිකට තබාගෙන අසල බිම දිගා වී සිටි බොබී පමණයි... ඇත්තටම බොබී විතාන මහත්තයාට තනි රකිනවාද විතාන මහත්තයා බොබීට තනි රකිනවාද යන්න දෙදෙනාම දැන සිටියේ නැහැ...
ගෙවත්තට හරවන වාහනයක හඬින් තිගැස්සී බොබී හිස ඔසවා බැලුවේත්, විතාන මහත්තයාගේ කකුල් සෙලවීම නතර වූයේත් එකවිට...ගෙමිදුලෙහි නතර වූ වාහනයෙන් සුළුවේලාවකට පසු සිනාමුසු මුහුණින් ඉවතට බැස්සේ කඩවසම් තරුණයෙක්...කාර් රථයකට මඳක් විශාල නමුත් වෑන් රථයකට වඩා කුඩා මෙම වාහනය කුමක්දැයි අනුමානයෙන් හඳුනාගැනීමට උත්සාහා කරමින් සිටි විතාන මහත්තයා එම උත්සාහය අතහැර දමා තරුණයාගේ සිනහවට පිළිතුරු දුන්නේ සමිති වාර්තාව පසෙක තබා නැඟී සිටීමෙන්... ඒ සමඟම කොහේදෝ සිට දුව ආ ලොකු දුව තරුණයා පිළිගන්නට පෙරමුණ ගැනීම විතාන මහත්තයාට අස්වැසිල්ලක් එක්කලා...
"තාත්තේ මේ රුවින්ද...මේ අපේ තාත්තා.." මාරුවෙන් මාරුවට දෙදෙනා දිහා බලමින් ලොකුදුව එකිනෙකාව හඳුන්වාදුන්නා...
"හෙලෝ අංකල්" තරුණයා පැවසූයේ හිස මඳක් සොලවමින්...
"එන්න ඇතුලට..." විතාන මහත්තයා පිළිතුරු දුන්නා...
විසිත්ත කාමරයේ තිබූ සෝෆාව උඩින් විතාන මහත්තයා වාඩි වූයේ කලකට පස්සේ... ඔහු පසුපසින් පැමිණි අනිත් දෙදෙනාත් ඉන්පසු ලොකුදුවගේ අඬගෑමෙන් එතැනට පැමිණිත් රූපාත් ඒ අසලින් වාඩි වුණා...
"ඉතිං අහන්න..." නිහඬතාවය බිඳිමින් ලොකු දුව පැවසූයෙන් විතාන මහත්තයාට දැනුනේ තරමක අපහසුවක්...
"අන්කල්.. ඇන්ටි... අපි දෙන්නා දැන් ටික කාලෙක ඉඳන් අඳුනනවා... මම කැමතියි මෙයාව විවාහ කරගන්න..." ලොකු දුවගේ පිටි අල්ල මතින් තම සුරත තබාගත් තරුණයා නොපැකිලී පැවසුවා...
ඉන්පසු රූපාත්, ලොකු දුවත්, තරුණයාත් තිදෙනාම විතාන මහත්තයා දෙස බලා සිටියේ හරියට මෙය නාට්‍යයක් නම් එහි ඊළඟ දෙබස පැවසිය යුතුව තිබුනේ ඔහුට මෙන්...
"ඔය ළමයාගේ නම මොකද්ද..?" තරමක් වේලා නිහඬව සිටි විතාන මහත්තයා සෙමින් කටහඬ අවදි කළා...
"මාපා අරච්චිලාගේ රුවින්ද සඳකැළුම් මාපා" කාටත් පෙර ලොකු දුව පිළිතුරු දුන්නේ විතාන මහත්තයා ඒ ප්‍රශ්නය ඇහුවේ ඇයිදැයි හරියටම දන්නා බැවින්...
"අම්මලා තාත්තලා එහෙම කොහෙද...? මොනවද කරන්නේ...?"
"තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදියට වැඩ කළේ දැන් රිටායර්ඩ්...අම්මා නම් ජොබ් එකක් කලේ නෑ...මමයි නංගියි පවුලේ... නංගි මට වැඩිය ගොඩක් බාලයි...එයා තාම ඒ ලෙවල් කරනවා...දැන් අපි පදිංචි වෙලා ඉන්නේ කඩවත..." තරුණයා නොකඩවා කියාගෙන යද්දී…
"මෙයා ගේ හදාගෙන යනවා මාලබේ..." ලොකු දුව එකතු කලා...
" එතකොට මොකද්ද ඔය ළමයගේ ‍රැකියාව...? " මෙතෙක් වෙලා ලැබුණු තරමක සතු‍ටුදායක පිළිතුරු වලින් සෑහීමකට පත්වුණු විතාන මහත්තයා වැදගත්ම ප්‍රශ්ණය යොමුකලා...
අපි ඉන්ඩියන් කම්පණි එකකට ඇෆ්ලියේටඩ් ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පණි එකක් දාලා තියෙනවා ෆන් ෆැක්ට්‍රි කියලා... මම එකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරණවා...සවුත් ඒශියා වල මේජ ඉවෙන්ට්ස් ගොඩක්  අවුට්සෝස් වෙන්නේ අපිට තමයි..." තරුණයා එක හුස්මට කියාගෙන ගියා
ඉංග්‍රීසි ප්‍රවෘත්ති යන වෙලාවට රූපවාහිනිය වෙන චැනල් එකකට මාරු කලාට විතාන මහත්තයට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි කමක් තිබුණේ නැහැ... ඒත් මේ වෙලාවේ පිටවුණු වචනයක් වචනයක් ගානේ අල්ලගන්න උත්සාහා කලත් මේ කිව්වේ මේකයැයි ඉන්තේරුවටම තේරුම් ගන්න නම් විතාන මහත්තයට බැරි වුණා...
රාජකාරිය මොකද්ද කියලා තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න හදනකොටම තමයි රූපා මැදට පැන්නේ...
"අපි එහෙනම් ඉතින් පුතාගේ දෙමව්පියෝ එහෙමත් මුණගැහිලා  සාකච්ඡා කරලා එහෙම තීරණයක් ගනිමුකො ..."
"ඔව් එහෙම හොඳයි ඇන්ටි..." තරුණයා කිව්වේ විතාන මහත්තයා දිහාත් බලමින්...
"යමු උඩට, නංගියි මල්ලියි බලාන ඉන්නවා..." ලොකු දුව සාකච්ඡාව නිමා කලේ වෙනදා වගේම කතා කරපු දේට වඩා කතා නොකරපු දේවල් විතාන මහත්තයා හිතේ හිර කරගනිද්දී...
දරුවන්ගේ කෙළි කවට සිනා වලින් නිවසේ උඩු මහල පිරී යද්දී, විතාන මහත්තයා නිහඬව කුස්සිය දෙසට ඇදුනේ තනිවම කුස්සියේ ඔට්‍ටුවන රූපා සිහිවීමෙන්... විවාහ වූ අළුත කුස්සියේ වැඩ වලින් අඩක් පමණ විතාන මහත්තයා අතින් සිදු වුණත් ඒ එකින් එක අඩුවී අන්තිමට පොල් ගෑමට පමණක් සීමා වූ අයුරුත් පොඩි පුතා තරමක් ලොකු වූ පසු එම රාජකාරියත් නොදැනීම තමාගෙන් පොඩි පුතාට මාරුවූ අයුරුත් විතාන මහත්තයාට සිහිවුණා...
"අනේ පොල් ටික ගාලා දෙනවද..?" කලකින් කුස්සියට පැමිණි විතාන මහත්තයාට රූපා පැවසූයෙන් ඔහු නිහඬව පොල් අඩලය සුරතට ගත්තා...
"ඒ ළමයාගේ රස්සාව මොකද්ද කිව්වේ..?" හිරමන තලය පොල්බෑය සූරාගෙන යන සද්දය අතරින් විතාන මහත්තයා ඇහුවා...
ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක...
ඒ පිළිබඳව ඉන් එහාට යමක් රූපා සොයා නැතිබව විතාන මහත්තයාට විශ්වාසයි...
"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..." විතාන මහත්තයා පැවසූයේ අවංකවමයි...
"අනේ අම්මාපල්ල සහගන්නේ නැද්ද මේ මිනිහගේ කතා වලට..."  කරමින් සිටි දෙය නවතා රූපා පැවසූයේ තම අත නිකටේ තබා ගනිමින්...
ඒ ළමයා අරක්කු සිග‍රැට් කටේ තියන්නේ නැතිලු, වෙන මොකුත් දුරාචාරයකුත් නැහැ... ස්ථිර ආදායම් මාර්ගෙකුත් එක්ක ගේකුයි වාහනේකුයි තියෙනවා...කුල ගොත් පවුල් පසුබිමත් ගැලපෙන පාටයි... අපේ දරුවව රවට්ටන්නේ නැතිව ගෙදරටම ඇවිල්ලා කෙලින්ම ඇහුවා...මොනවද ඔහේ තවත් බලාපොරොත්තු වෙන්නේ..?”
විතාන මහත්තයා නිහඬව රූපා දෙස බලා සිටියේ රූපා කතාකර අවසන් නැතිබව ඉවෙන් මෙන් දන්නා නිසායි...
" දැක්ක ගමන්ම මටනම් තේරෙනවා ගුණයහපත් දරුවෙක්... ඒ විතරක් නෙමෙයි  පොඩි දුවයි පුතායිත් කියනවා හොඳයි කියලා..."
"ඒගොල්ලෝ කොහොමද මෙයාව දන්නේ...?" විතාන මහත්තයා ඇහුවේ පොල්බෑයේ නොගෑවුණු හරිය පිරික්සමින්...
"ඉන්ටනෙට් එකේ මොකද්දෝ එකකින් කිව්වේ..." රූපා කරමින් සිටි දෙය නැවත ආරම්භ කරමින් පැවසූවා...
"ඉන්ටනෙට් එකෙන් කොහොමද ඒවා දැනගන්නේ..." අහන්න විතාන මහත්තයාට හිතුණත් ඔහු නිහඬ වුණා...
"මම දන්නවා ඔහේ කැමති රජයේ ‍රැකියාවක් කරන කෙනෙක් බෑනා කරගන්න... ඒ දේවල් දැං කාලෙට ගැලපෙන්නේ නෑ විතාන... ලොකුදුව විශ්වවිද්‍යාලේ යන්න බෑ කිව්වම ඔහේ පොලවේ පස් කාපු නැති ටික විතරයි... දැං ඔය අපූරුවට ඒ ළමයා රස්සාවක් කරගෙන ඉන්නේ... ඒ ගොල්ලෝ දැනුම් තේරුම් තියෙන ළමයි...හොඳ නරක තේරුම් ගන්න එයාලට පුළුවන්..."
විතාන මහත්තයා  නිහඬව පොල් පිඟානෙහි ඇති රොඩු ඉවත් කරමින් අසා සිටියා...ඔහුට සිහිවුනේ මින් ටික දිනකට පෙර සමිතිය අවසන් වී නිවසට එද්දී ඉස්කෝලේ මහත්තයා කී දෙයක්...
"දැං තනිකරම කොම්පියුටර් යුගේ නේ විතාන මහත්තයා... අපේ කාලේ හැම දේම අද කාලේට ගැලපෙන්නෙත් නෑ..."
තම දියණිය පිටරටකට පදිංචියට ගිය බව  සඳහන් කරමින් ඔහු කියූ අයුරු විතාන මහත්තයාට සිහි වුණා.
දරුවන්ගේ සිනා හඬින් පිරි හෝරාවක් හමාරක් ගෙවී යන්නට ඇති... ගෙවත්ත පුරා ඇවිදින තරුණයා නිවසට තවදුරටත් අමුත්තෙක් නොවන බව විතාන මහත්තයාට පසක් කලා...
"අරගොල්ලන්ට කන්න එන්න කියන්න..."
රූපාගේ පණිවුඩයත් සමඟින් විතාන මහත්තයා මිදුලට යන විට තරුණයා සිටියේ ගෙමිදුලෙහි ඇති අඹ ගසේ අතු අගිස්සක පැහුණු අඹ ගෙඩියක් කඩාගැනීමට ඔට්‍ටු වෙමින්...
"දරුවනේ අම්මා කන්න කතා කරනවා ..."
විතාන මහත්තයාගේ හඬට අවනත වූ තරුණයා ගසින් බිමට බැස්සේ කඩාගත් අඹ ගෙඩිය අල්ලා ගැනීමට සීරුවෙන් පොඩිපුතා වෙත විසිකිරීමෙන් පසුවයි...
ගසට නැගීමට නිසාදෝ හැඳ සිටි ටීශර්ටය උනා සිටි නිසා උඩුකය බැනියමකින් පමණක් ආවරණය කරගෙන  සිටි   තරුණයාගේ දකුණු බාහුව පුරා පැතිරි ගිය කාල වර්ණ ලපයක් වැනි යමක් විතාන මහත්තයා දු‍ටුවේ එවිටයි... මඳක් විමසිල්ලෙන් බැලූ කල එය හැඩතල බෙදෙන ලෙස නිර්මාණය කළ තරමක් විශාල වූ සිරුරේ කොටන ලද පච්චයක් බව වටහා ගන්නට විතාන මහත්තයට අපහසු වුණේ නැහැ.
" පච්චා කාරයෙක්...???"
විතාන මහත්තයාගේ හදවතින් පැන නැඟුනු ඒ වචන ටික එළියට එන්නේ නැතිව කියාගන්න බැරි මොකද්දෝ අපහසුවකුත් එක්කම උගුරේ හිරවෙනවා වගේ ඔහුට දැනුනා...
තමා ගේ ගැටවර වියේදී ඒ වනවිටත් අවිවාහකව සිටි පොඩි බාප්පා කොහේදෝ රස්තියාදුවක ගොස් එනවිට කුරුළු රූපයක් තම යටි බාහුවේ කොටාගෙන පැමිණි අයුරුත්, එය දු‍ටු අත්තම්මා හඬා වැළපුණු අයුරුත් විතාන මහත්තයාට සිහිවුණා... අත්තම්මා පොඩි බාප්පාව කොහේදෝ ගොඩ වෙදෙකු වෙත ‍රැගෙන ගොස්  එය මැකෙන්නට යැයි තලගොයි දිවක් පච්චය උඩ බැඳ තැබූ අයුරුත් එය අසාර්ථක වීමෙන් පසු තවත් උත්සාහයන් රාශියකින් පසු පච්චය මකා දැමීමේ අදහස අත්හරිමින් අත්තම්මා පොඩි බාප්පාට පැවසූ වදන් විතාන මහත්තයාට අද වගේ මතකයි...
"උඹට මේ කරපු වැ‍රැද්දේ බරපතල කම තේරේවි හිරයක් ගන්න ගියාම... පච්චා කාරයෙකුට කව්ද බං වැදගත් පවුලකින් හිරයක් දෙන්නේ..."
අත්තම්මා කී දෙය තරමක් දුරට සැබෑවක් කරමින්දෝ පොඩි බාප්පා අකාලයේ මිය යන විටද අවිවාහකයෙකුව සිටිබව විතාන මහත්තයාට සිහිවුණා...
තම ලය තුල ඇති බරක් සැහැල්ලු කිරීමට මෙන් ගැඹුරු සුසුමක් හෙලූ විතාන මහත්තයා, තමන්ට පි‍ටුපා ගෙතුළට ඇවිදයන දරුවන් දෙස ආපසු හැරී බැලූ විට ඔහු දු‍ටුවේ සිනා මුසු මුහුණින් ඔවුන් එනතුරු දොරකඩ ‍රැඳී සිටින රූපා...
"රූපා දන්නවදඔය පච්චා කාරයෙක්...!"
විතාන මහත්තයාට හඬනඟා එහෙම කියන්න හිතුනත් ඒ වන විටත් ඔවුන් සියල්ලම නිවස තුළට නොපෙනී ගොස් තිබුණා... තරුණයාගේ වාහනයේ සෙවණට වී බිම දිගාවී සිටි බොබී පමණක් ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටියා

21 comments :

  1. හ්ම් ..දැන් කාලේ දෙමාපියනට මුහුණ දෙන්න වෙන ගැටළු... හැබැයි මුලදිම පච්චය ගැන ඉඟි නොකර හිටියනම් මීට වඩා හොදයි වගේ...

    ReplyDelete
  2. ස්තූතියි සොඳුරු සිත... ඒක ඇත්ත තමයි... මම ලියලා ඉවරවෙලා මාතෘකාව දැම්මේ...ඒ ගැන පොඩ්ඩක්වත් හිතුණේ නෑනේ...

    ඊළඟ පාර ඒ වැ‍රැද්ද කරනැතුව ඉන්නම්...

    ReplyDelete
  3. ඔතන කාගෙවත් වරදක් තියෙනවද කියලා මම කල්පනා කලේ..?
    පරම්පරා ගැටුම හැමදාමත් තිබුණා.හෙටත් තියේවි.
    ඒත් කාලෙන් කාලෙට ඒ ඒ පරම්පරාව නියෝජනය කරන්නේ ඊට ටික කාලයකට කළින් එම මතයටම විරුද්ධව ගිය අයම තමයි.

    මම මගේ තාත්තත් එක්ක ගැටුණ කාලයක් තියෙනවා..
    අද මම මැද්දෙන් ඉන්නවා..ඒත් තව ටික කාලයකින් මම තාත්තාගේ මතයට අනගත වෙලා ඊ ළග පරම්පරාව එක්ක ගැටෙවි.

    ඔක අවසානයක් ඇති දෙයක් නෙවෙයි.
    ගැටළුවකට කියලා තියෙන්නේ ගෘහමූලිකයා නාමික වීම ඔහුට දරාගත නොහැකි වීම නොවෙයිද..?
    ඊට වඩා මහා වෙනසක් ඔතන නැහැනේ..
    මිනිස්සු කාලා බලලා තේරුම් ගන්න බැහැනේ..
    පච්චය කතා කරපු කාලයක් තිබ්බා..ඒත් අද වෙන කොට පච්චය බොහෝම සුලභ භාවිතාවක් වෙලා තියෙන කාලයක්.
    තව දුරටත් පච්චය කතා කරලා කියන්නේ නැහැ මම බජාර් එකේ කකුලක් කියලා.

    කොහොමටත් දරුවන් අති ධාවනකාරී වීම දෙමව්පියන්ට උහුලන්නට බැරි කාලයක් එනවා.
    ඒත් ඒ අති ධාවනයට පාර මුළින්ම කපලා දුන්නේ තමුන්ය කියන එක දෙමාපියන් අමතක කලේ ඇයි..?

    ReplyDelete
  4. හැම දෙයක්ම සාපේක්ෂයි නෙව,අද අපි මහා ලොකු දේවල්ය කියල හිතන ඒව හෙට සාමාන්‍ය දේවල්, හෙට වැදගත් වෙන දේ අනිද්දා දිහාට බොහොම සුලු දේවල්,එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමම වෙයි,

    ලස්සන කතාව,

    ReplyDelete
  5. මාරයාට සහ රවි අයියාට අදහස් වලට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  6. බීට්ල්, මේක නම් උපරිමයි... නියමෙටම ලියලා තියෙනවා. මම හොඳට රස වින්දා.........

    ReplyDelete
  7. අදමයි මේ පැත්තෙ ආවේ.
    මගේ යාලුවෙක් ඉන්නවා පච්චයක් ගහගෙන. මිනිහ ඔය වැඩේ කරේ බැන්දට පස්සෙ. පොරගෙ වයිෆ්ට කිසිම අවුලක් නැහැ. ඒත් මිනිහගෙ අම්ම ඒකට තරහවෙලා කතානොකරත් හිටිය ටිකකාලයක්... :)
    කොහොම උනත් කතාව නම් නියමෙටම ලියල තියනවා!!!

    ReplyDelete
  8. අදයි දැක්කකේ මේ කතාව . ඇත්තටම මේ කතාව මට නම් නියමෙටම දැනුනා බං . මටත් මෙහෙම වේවිද මමනම් පච්ච පෙන්වන්නේ හනි මුන් එකේදී විතරමයි . මට හොඳටම බය හිතුනා බං මේ කෙටි කතාව කියවලා . මේක මගේ අම්මා දැක්කනම් මම ඉවරයි ..

    ඒ වුනාට කතාව සුපිරි .මගේ හිතත් එහෙම කියනවා .

    ReplyDelete
  9. හිස් අහසේ ලින්ක් එක දැකල මේ පැත්තේ ආවේ..මං මේ බැලුවේ කොහොමද මෙච්චර කාලයක් මට මේ බ්ලොග් එක මග ඇරුනේ කියල.මොනවා උනත් සිරා...
    ඔන්න අද ඉඳන් මාත් පස්සෙන් පන්නනවා.. Feed එකට දාගෙන හිමීට කතා ටික ඔක්කොම කියවන්න ඕනේ.. ජය !!

    ReplyDelete
  10. බය වෙන්න එපා සඳරු මල්ලී අවශ්‍යය වෙලාවක කවර් කරගන්න පුළුවන්නම් කිසි අවුලක් නෑ...

    මාරයා කියලා තියෙනවා වගේ ඉස්සර පච්ච කතා කල විදියට නෙමෙයි දැන් ටැටූ කතා කරන්නේ...

    තිශ් තැන්කූ මචන්...

    දුමී ටත් චමිලටත් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  11. හෙහ්... සුපිරි කතාවක් නෙව.. මටත් මගේ ජීවිතේ යම් යම් සිද්ධි මතක් වුණා. පච්ච නැතත් මගේ ඩයල් එක කුඩු ටයිප් කියල කිව්වනෙ පැත්තක හිටපු පොරක් නැන්දම්මටයි මාමණ්ඩිටයි... හොඳ වෙලාවට ඒ දෙන්න ගොඩක් පුළුල්ව හිතන්න පුළුවන් මිනිස්සු.... නැත්තං මටත් මියගිය ප්‍රේමය ගැන හොටු ස්ටෝරි තමයි ලියන්න වෙන්නේ.

    ReplyDelete
  12. හරිම අපුරුයි.

    ReplyDelete
  13. මේකේ ඉතුරු ටිකත් දාන්නකෝ

    ReplyDelete
  14. කාලයත් සමග මුහුණුවර පමණක් වෙනස් වෙන පරම්පරා ගැටුමක්, නිරූපනය කළ අයුරු බෙහෙවින් සිත් ගත්තා. විශේෂයෙන්ම, සිතුවිලි හිතේම සඟවාගෙන සිටින විතානගෙ චරිතය ගොඩ නැගෙන හැටි අපූරුයි.

    ReplyDelete
  15. සිරාවටම නියමයි බන් . .

    සඳරුගේ පච්ච පෝස්ට් එක කියවද්දී මේක අහුවුනේ . .

    එතකොටයි මට හිතුනේ උඹේ බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් මට මිස් වෙලා කියලා . ..

    අපූරුයි බන් . . .

    කියාගන්න බැරි මොකද්දෝ දුකක් වගේ හැඟීමක් ආවා හිතට . . .
    තාත්තා කෙනෙකුගේ නිහඬ ආදරේට ලැබෙන ත්‍යාගය හොඳටෝම මදි මන් . . .

    ReplyDelete
  16. උඹේ බ්ලොග් එකත් මගේ බ්ලොග් රෝල් එකට දාගන්නවා ඈ

    ReplyDelete
  17. //"බබා හුස්ම ගන්නේ නැහැ... බේබි රූම් එකට ගෙනිච්චා..." කව්දෝ කියනවා විතානට හීනෙන් වගේ මතකයි...//

    මෙන්න මීට සමාන ඇත්දැකීමක් මට තිබෙන නිසා මොහොතකට මාව ගල් ගැසුනා.

    බබාවත් අරං නර්ස් කෙනෙක් " Quickly, come with me.. " කියද්දීත් මට හිතාගන්න බැරි වුනා මොකක් කරන්නද කියලා. ඒ තරම් බරපතල නොවුනත් තත්වය අවබෝධ කර නොගත් නිසාම වෙන්න ඇති ඒ සියල්ලත් විඩියෝ පටයක සටහන් ව සුරැකිව ඇත්තෙ.

    කාලෙකට පස්සෙ එක හුස්මට කියවා නිම කල කතාවක්.

    ReplyDelete
  18. මට ආර් ආඅර් සමරකෝන් මහත්තයගෙ හේ කුරුල්ලෝ කතව මතක් උනා. විතාන මහත්තයෙගෙ චරිතෙ විතරක් නෙවෙයි අනිත් චරිතත් ඔයා අපූරුවට විවරණය කරනවා. (මටත් බය හිතෙන තරමට.. ඔය කතාවෙ වගෙ ඉතින් අපිත් යල් පනිනවානෙ,)

    ReplyDelete
  19. thaththa kiyanne ape jeewitheta amma wagema watina kenek. mona de karannath kalin e dennawama danuwath karanawa nam thama hoda

    ReplyDelete

Web Statistics