Monday, January 31, 2011

8. ඇහෙනවද ඒ සද්දේ? සද්දයක් නැතුවම? | Do you hear the silence?



ඇහෙනවද...? 
වැහිබීරිමට කළු වුන අහස කෑගහල අඬන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
කහපාට විදුලි එලි වියරුවෙන් දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මොරගෙඩි වගේ වැහි බිඳු එක පිට එක වැටෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ගල් වැලි බොරළු කැට මඩ වතුරේ හෝදගෙන යන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
වලකුලේ හිඩැස් දිගේ ඉර එලිය බේරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ඉර එලියට හෙමිහිට පොහොට්‍ටුවක් දිගෑරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
නැවුම් මල්පෙති වල තැවරුණු පිණිකැට දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
පිණිකැටයක් විතර කඳුලක් ඇහිපිහා‍ටුවෙන් ගිලිහෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
බලාපොරොත්තුවේ හදවත් එකිනෙකාට කොඳුරන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
සහෝදරත්වයේ ඇඟිලි කිටි කිටියේ තදවෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
අතුරුදන් වෙලා හිටි මනුස්සකම කතාකරන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මචං ඉලන්දාරියා...උඹට ඇහෙනවද ඒ සද්දේ...
සද්දයක් නැතුවම...?


කිසිදා නොදු‍ටු සොයුරා ඉලන්දාරියා වෙනුවෙන් නිර්මාණයකට වඩා යමක් කිරීමේ නිහඬ පොරොන්දුවක්ද සිතෙහි දරාගෙන...සයිබර් සැණකෙලියේ සඳහන් ඉල්ලීමට සහයෝගයක් ලෙස, බැරි මරගාතේ කොටපු කුළුඳුල් කවි නිර්මාණයකි....

Saturday, January 29, 2011

7. වැරදුණු ගුරුකම | A Black Magic Went Wrong

"පුතේ ඔයා ලොකු වැඩක්ද...?"

මෙතරම් වැඩ කන්දරාවක් තියෙන තැනක, මොකුත් නොකර මිදුලේ තියෙන පු‍ටුවක වාඩි වෙලා ඉන්නවා මදිවට, වැඩක් කරන මිනිහෙකුටත් වැඩක් කරන්න දෙන්නේ නැති මහප්පා ගැන මට ආවේ කේන්තියක්... ඊයේ රාත්‍රීයේ මහප්පා අප නිවසට පැමිණෙද්දී, උත්සවයේ වැඩකටයුතු වලට උරදීමට ඔහු පැමිණෙනවායැයි මම සිතුවත් ඔහු පැමිණ තිබුනේ සෑමදේටම කල්ඇතුව සූදානම් වීමට ඔහුගේ ඇති පුරුද්ද නිසා මිස අපට උදව්වීමට නොවන බව ඒ වනවිටත් මට වැටහී තිබුණා... 

"ඇයි මොකද..?" යන්න ගිය ගමන මඳකට නවත්තපු මම ඇහුවා...

"නෑ එහෙනම් කමක් නෑ වැඩේ ඉවර කරලා ඉන්නකෝ..."

මාගේ ප්‍රතිචාරය සුහදශීලී නොවූ බැවින්දෝ මහප්පා පැකිලෙමින් කියන්නට ආ දෙය ගිලගත්තා...
ඒ ගෙවෙමින් තිබුණේ  මා ජීවිතයේ විඳි කාර්යබහුලම දිනයක්...අප ආදරණීය ලොකු අයියා තම කිරිල්ලියත් කැන්දාගෙන අලුත් කැදැල්ලක නව දිවියක් අරඹන්නට පැමිණීමට තිබුණේ හරියටම දිනයකටත් අඩු කාලයක්... ඔවුන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයේ නිමාකල යුතු කටයුතු රාශියක හිරවී මමත්, මල්ලීත්, චූටි අයියාත් එහේ මෙහේ දුවමින් සිටියේ සිහි විකල් වූවන් ලෙසින්... නගරයෙහි වූ උත්සවශාලාවක මෙය සිදුකිරීමට බොහෝ දෙනෙකු ගෙන ආ යෝජනාවට අප තිදෙනා විරුද්ධ වූයේ ලොකු අය්යාගේ මූල්‍යමය හැකියාව ගැන අප හොඳ අවබෝධයකින් සිටි නිසයි... අවසානයේ මෙම උත්සවය අප මහගෙදර පැවැත්වීමට  අප තනි කැමැත්තට මෙන් තීරණය වූ අවස්ථාවක එය සාර්ථක කර ගැනීම සඳහා වැඩි දෙනෙකුගේ සහයෝගයක් නැතිවම අප වෙහෙස වෙමින් සිටියේ අධික පීඩනයකින් යුක්තවයි...

නෑනෑකියන්න..."

එක් වැඩක් නිම වීමට පෙර තවත් වැඩකටත්  එය නිම වීමට පෙර තවත් එකකටත් වශයෙන් නිමක් නැති වැඩ කන්දරාවක මේ වන විටත් හිරවී සිටි මාහට මහප්පාගේ අවශ්‍යතාවය අමුතු අපහසුවක් ගෙන නො එන බව දැන සිටියෙන් මා පැවසූවා

පුතේ අඟල් එක හමාරක දෙකක යකඩ ඇණයක් ගේනවද..?"

වටපිට බලමින් රහසක් පවසනවාක් වැනි සිහින් හඬකින් ඔහු පැවසූවා...

"ඒ මොකටද..?"

මහප්පාට මේ හදිසියේ යකඩ ඇණයක අවශ්‍යතාවයක් ඇතිවූයේ මන්දැයි වටහාගත නොහැකිවූයෙන් මා ප්‍රශ්ණ කලා...

"මේපොඩි ගුරුකමකට..."

" ගුරුකමකට...?"

ඔව් අලුත බැඳපු ජෝඩුවක් ගෙදරට එනකොට කරන්න ඕනෙ සෙත් ශාන්තියක් වගේ දෙයක් දෙයක් මේක... ජෝඩුවට හොඳටම හිතවත් දෙන්නෙක් එකතු වෙලා පිරිසිදු හිතකින් කරන්න ඕනේ... අපි දෙන්නා කරමු...

මහප්පා බැරෑරුම් ලෙස විස්තර කලා...

මහප්පා ලෙස අප ඔහු ඇමතූවද සත්‍යලෙසින්ම ඔහු අප අම්මාගේ වැඩිමහළු සොයුරියගේ ස්වාමිපුරුෂයායි... කොළඹ ප්‍රදේශයේ සිට සංක්‍රමනය වී ඇති මහප්පා මාගේ මහම්මා විවාහ කරගැනීමෙන් පසුව එහිම බින්න බැස්සා... කොළඹ ගතිපුරුදු නිසාදෝ කැපී පෙනෙන ලෙස පිළිවෙලකට හැඳීමට පැලඳීමට ඔහු පුරුදු වී සිටියා... නිවසින් බැහැරට යන සෑම විටකම නීට් එකට ‍රැවුල කපා සිහින් උඩු‍රැවුලක් තබා සිටි ඔහු කබා සාක්කුවේ ‍රැඳි දැති පනාවකින් පැය කිහිපයකට වරක් තම හිසකෙස් පිළිවෙලකට පීරීමට අමතක කලෙ නැහැ...

වයසින් තම බිරිඳට වඩා තම නැන්දම්මාට සමීප වුවද නොවැරදීම සායම් ගල්වන කොණ්ඩයත් උඩු ‍රැවුලත්, කපුරු සුවඳ හමන අලුත්ම ඇඳුමකින් සැරසී හැමවිටම මුවඟ රඳවා සිටි සිහින් සිනාවත් මහප්පාට එක්කලේ මහම්මාටත් වඩා තරුණ බවක්... එකල මා ආදරණීය අම්මා ඇතුළු සහෝදරියන් සියළු දෙනාම ඔහුට ඇළුම් කළ බවත් නමුත් ඔහු සිත් ගත්තේ ලොකු මහම්මා බවත් අම්මා පවසනවා මට මතකයි...

ඔහු කියනා දෙය එකවරම විශ්වාස කිරීමට මා හට අපහසු වූයේ ඔහු මන්තර ගුරුකම් දන්නා බවක් මේ වනතෙක් මා දැන සිටියේ නැති නිසයි... ඇරත් මහප්පා මා කුඩා අවදියේදී මා හට කළ වංචාවක් නිසා ඔහු පිළිබඳව කලක පටන්ම මා තුළ තිබුනේ අවිශ්වාසය මුසු  කලකිරීමක්... මා කුඩා කාලයේ අවුරුදු කාලයට ගමේ ගිය පසු මා මහම්මාගේ නිවසට වදින්නේ පොඩි අය්යා ඇඳ යට ගොඩගසා ඇති චිත්‍රකතා පත්තර කියවීමටයි... මෙසේ යන බොහෝ දිනක මහප්පාගේ රූපලාවන්‍ය කටයුතු සඳහා බලෙන්ම වාගේ මා සම්බන්ධ කරගැනීම ඔහුගේ සිරිතක්... බොහෝ විට මා හට සිදුවන්නේ ඔහුගේ පපුවෙහි හා පිටෙහි ඇති ඉදුණු රෝම ගස් කුඩා කතුරක් වැනි උපකරණයකින් උගුල්ලා දැමීමටයි... ඉතා නීරස සහ වෙහෙසකර කටයුත්තක් වන මෙය උඩින් පල්ලෙන් ගසා දමා යන මා ලවා වඩාත් හොඳින් සිදුකර ගැනීමට ඔහු වරක් භාවිතා කළේ අපූරු උපක්‍රමයක්... එය නම් මා ගලවන සෑම සුදු රෝම ගසකටම සත පනහ බැගින් ගෙවීමට මහප්පා ගෙන ආ යෝජනාවයි... එයට එකඟ වූ මා ඉන්පසු රෝම උගුල්ලනවා පමණක් නොව ඒවා එකතු කර ඔහු ඉදිරියේම ගනන් කර පෙන්නුවේත් මහත් උනන්දුවෙන්... මෙය මහප්පාගේ පැත්තෙන් කෙතරම් සාර්ථක වූවාද කියතොත් ඉන්පසු පෙර නොවූ උනන්දුවකින් සහ කාර්යක්ෂමව මා ලවා එය ඉ‍ටුකර ගත්තා පමණක් නොවෙයි ගැලවූ රෝම ගස් සංඛ්‍යාව පිළිබඳව සංගනනයක් ලබා ගැනීමටත් ඔහුට හැකිවූවා... ඉක්මණින්ම සල්ලි ලබාදෙන පොරොන්දුව පිට කිහිපවරක්ම මාගේ සේවය ලබාගැනීමට ඔහුට හැකිවුනත්, ටික දිනක් ගතවන විට ඔහුගේ වංචාවකට හසු වූ බව තේරුම්ගත් මා ඉන්පසු ඔහුගේ ඉදුනු රෝම ගස් ගැලවීමේ රූපලාවන්‍ය සේවාව අත්හිටවූවා පමණක් නෙවෙයි ඔවුන්ගේ නිවසට යෑමද අකමැත්තෙන් හෝ බෙහෙවින් අඩු කලා... කෙසේ වුවද මහප්පා විසින් මා කුඩා කල මාහට කල ඒ ‍ ‍රැවටීමෙන් ඔහු කෙරෙහි සිතෙහි වූ අප්‍රසන්නතාවය ගලෙහි කෙටූ අකුරක් මෙන් මා සිතට වද දෙමින් මතකයේ තැන්පත් වී තිබුණා...

ඔයා ගුරුකම් දන්නවද..?”

ඔහුගෙන් මා පෙරළා ප්‍රශ්ණ කලේ මෙම සැක සහිත සිතිවිල්ලෙන්

"ඔව්... විනාඩි දෙකයි යන්නේ වැඩේට...විගහට අරන් එන්නකෝ එහෙනම්..?”

මහප්පාගේ ඉල්ලීම ඉ‍ටුකිරීමටත් වඩා මෙම චාරිත්‍රයෙන් ලොකු අයියාට යම් යහපතක් සිදුවෙනවානම් එය නොවැළකිය යුතුය යන අදහසින් යන්නට ගිය ගමන මඳකට නැවතූ මම ඔහුට ඇණයක් සොයාගෙන ඒම සඳහා පිටත් වුණා...

ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"

අප කරන්නට යන ගුරුකමේ එක් කොන්දේසියක් මහප්පා එසේ සඳහන් කලා...

"ඇණයක් විතරද ඕනේ..?" මඳ දුරක් ගිය මා ඇසුවේ ඒ වනවිටත් මා කාලය සමඟ සටනක් කරමින් සිටි නිසායි...

"ඒක ගහන්න මිටියක් වගේ බර දෙයකුත් ගේන්න..."

සුළු වේලාවකට පසු  යකඩක් ඇණයක් සහ මිටියක් ඔහු අතට පත් කල මා නිහඬව ඔහු පසුපස පැමීන ලෙස කල විධානයට අවනත වුණා... නිවසේ පසුපසට වන්නට සවිකර තිබූ ජල කරාමයක් දෙසට පියනැගූ මහප්පා ඉන් අනතුරුව එහි සිට පියවර කිහිපයක් නිවස දෙසට ගමන්කර පි‍ටුපස බිත්තිය අසලට පැමිණියා...එහි අඩි පහක් හයක් පමණ උසකින් ඇණය බිත්තියට තබා සීරුවෙන් එයට මිටියෙන් පහර දුන් ඔහු අවසානයේ එය අතින් සෙලවීමට උත්සාහාකර හොඳින් සවිවී ඇතිබව පසක් කරගෙන මා දෙස බලා හිස වැනුවේ  ජයග්‍රාහී සිනහවකින් යුක්තවයි...

"හරි... සියළු දෝස නිවාරණයි..." 

මිටිය මා අතට දෙමින් ඔහු සැහැල්ලුවෙන් පැවසූවා...

"ඕක ගලවන්න හොඳ නැද්ද...?"  

මහප්පා පි‍ටුපසින් නැවතත් මිදුල දෙසට පියනගමින් සිටි මා ඇසුවේ ඔහුගේ මේ ගුරුකම ගැන මා හට කිසිත් අවබෝධයක් නොතිබූ නිසායි...

"උත්සවේ ඉවර වෙනකල් තියන්න ඕනේ... ඊට පස්සේ බලේ ඉවරයි... එතකොට ඉතින් ගැලෙව්වත් එකයි නැතත් එකයි..." 

පසුපස නොබලාම පිළිතුරු දුන් මහප්පා ඉන් එහාට ඒ පිළිබඳව කතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ...

කෙළවරක් නැති වැඩ රාජකාරි අතරේ ඒ පිළිබඳ මතකය ඉක්මණින්ම මා කෙරෙන් ගිලිහී ගියා... පසුදිනට පහන්වූයේ නිදි නොලැබූ මා ගත මෙන්ම සිතද වෙහෙසට පත් කරමින්... හිමිදිරියේම අයෙක් කිසියම් කාරණයක් සඳහා ලී කැබැල්ලක් ඉල්ලූ හෙයින් නිවස පි‍ටුපස ඇති දරමඬුවෙහි සුදුසු යමක් ඇත්දැයි සොයනා අදහසින් මා ඒ දෙසට පියමැන්නා...

ලී කැබැල්ලක් සොයාගත් මා ආපසු පිය නැඟීමට පෙර මහප්පා විසින් ඊයේ සවිකල ඇණය සහිත බිත්තිය දෙස නෙත් යොමුකලේ නිරායාසයෙන්... එහිදී මා දු‍ටු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ දර්ශණයෙන් මා ගල් ගැසී ගියා... 

-->
හිතාදර පාඨකය...
මම මේ බ්ලොග් අඩවිය පටන් ගෙන තවම මසක් වත් සම්පූර්ණ වූයේ නැහැ... ඉතින්  බොහෝ දුරට මේ ඔබගේ පළමු පැමිණීම විය හැකියි... ඔබව මේ බ්ලොග් අඩවියේ නිරන්තර පාඨකයෙකු කර ගැනීමට මා තුළ ඇත්තේ මහත් ආසාවක්... ඉතින් ඒ සඳහා යොදන උත්සාහයක් වශයෙනුත්, මෙම ත්‍රාසජනක තාවේ උත්ප්‍රාසය පාඨකයාට ලබා දීමේ උපක්‍රමයක් වශයෙනුත්,  කතාවේ ක්ලයිමැක්සුව ලිවීම හෙටට කල් දමන්නම්...
හෙට රාත්‍රියේදී නැවත හමුවනතෙක් ඔබට සුභ දවසක්...
මා ඔබගේ බීට්ල්

එතෙක් ඔබට මඟහැරුණු පහත කතා රස විඳින්න....

අද එතැන් සිට...


ලී කැබැල්ලක් සොයාගත් මා ආපසු පිය නැඟීමට පෙර මහප්පා විසින් ඊයේ සවිකල ඇණය සහිත බිත්තිය දෙස නෙත් යොමුකලේ නිරායාසයෙන්... එහිදී මා දු‍ටු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ දර්ශණයෙන් මා ගල් ගැසී ගියා...

මා විශ්මයට පත් කරමින් ඊයේ දිනයේ අප සවිකල ඇණයේ මුහුණ බලන කණ්නාඩියක් එල්ලාගෙන ඒ තුළට එබීගෙන සිටි මහප්පා  මුහුණේ ඇති ‍රැවුල් ගසක් ගානේ පරික්ෂා කරමින් ප්‍රවේශමෙන්  තම ‍රැවුල බාමින් සිටියා... මංගල උත්සවයක් ඇති තැනක නාන කාමරයක ඇති කලබලකාරී බව කලින් අත්විඳ ඇති බැවින්දෝ විශේෂ අවස්ථාවකදී වෙනදාටත් වඩා සැලකිල්ලෙන් හැඩවැඩ වන මහප්පා තම අවශ්‍යතා සපුරාගන්නා ආකාරය පෙරදිනයේ සිටම සැලසුම් කර ඇති අයුරු වටහා ගැනීමට මා හට අපහසු වූයේ නැහැ... මුවින් නොබැන හීන් සීරුවේ මා එතැනින් ඉවත්වූයේ කණ්නාඩියක් සපයා ගැනීමට ඔහු කිනම් උප්පරවැට්ටියක් යොදාගන්නට ඇත්දැයි කල්පනා කරමින්...

Saturday, January 22, 2011

6. අමුතු සෙල්ලම | A Nice Funny Trick

කතා ලියන්න කම්මැලි, පරණ මතකයක් කොටලා දාන්නම්...




එදාත් අද වගේම සෙනසුරාදා දවසක්... කාල වකවානු අනුමානයෙන් කිව්වොත් වසර පහකට වැඩි මිසක් අඩු නැහැ... අම්මාගේ ආදරයත් දාලා හැඳිගාපු තේ එකකුත් තොල ගාන ගමන් වැ‍රැන්ඩාවේ ඇති ඇඳි පු‍ටුවක හාන්සි වෙලා ඉරිදා පුවත් පත දිග ඇරගෙන ගත කරන මේ වගේ විවේකී හැන්දෑවක් කියන්නේ මට හැම සතියෙම ලැබෙන අවස්ථාවක් නෙවෙයි...
"කොහෙ යන්නද...?"
නිවසින් බැහැරට යන්න සැරසී විටින් විට පාර දෙස බලමින් තේ කෝප්පය තොල ගාන මල්ලීගෙන් මම ඇසුවේ පුවත් පත මඳක් මෑත් කරමින්
"යාළුවෙක් කම්පියුටර් එකක් අරන්... සොෆ්ට්වෙයාර්  ටිකක් දාන්න යනවා ප්‍රසන්න එනකල් ඉන්නේ..."
මල්ලීගේ පිළිතුරේ සැබෑ අර්ථය ඔවුන් දෙදෙනා මිතුරෙකුගේ පරිගණකයට, බොහෝ දුරට පරිගණක ක්‍රීඩා ඇතුළු කිරීමට යන බව යැයි වටහාගන්නට මට අපහසු වූයේ නැහැ...
"කව්ද ප්‍රසන්න කියන්නේ අර බක පණ්ඩිත ඩයල් එකද...?"
දිනක් බසයක් එනතුරු බස්නැවතුමේ ‍රැඳී සිටිද්දී අහම්බෙන් මෙන් කථාවට වැ‍ටුණු ප්‍රසන්න තම පරිගණක දැනුම පිළිබඳව අතිශෝක්තියෙන් කල ඒ නීරස කථාව මට සිහිවූයේ නිතැතින්...
"හා..හා.. ඔව්... ඔයා කොහොමද දන්නේ..." මල්ලි කිව්වේ හිනාව නිසා ඉස්මොල්ලේ යන්න ගිය තේ උගුර අපහසුවෙන් ගිලිමින්...
එක දවසක් මෙගෙත් එක්ක බස් හෝල්ට් එකේ කතා කර කර හිටියා... මට එපා වුණා...
"ඒ උගේ හැටි... අදත් ඉතින් දවසම උගේ කම්පියුටර් කෙරුවාව ගැන කියවයි... කන්දෙකේ ඇඟිලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ..." 
මල්ලී නැවතත් පාර දෙස බලමින් පැවසූවා...
"කව්ද පුතේ...?"
සුදුපාට ලේස් රෙද්දකින් මහපු හැට්ටයකුත් මල් මල් චීත්තයකුත් හැඳ  අපට මඳක් ඔබ්බෙන් බුලත් විටක් ඒදමින් සිටි අත්තම්මා එසේ ඇසුවේ ප්‍රසන්න යනු කව්දැයි දැනගැනීමේ අවශ්‍යතාවයකටත් වඩා අප කථාවට සම්බන්ධ වීමේ අරමුණින් විය යුතුයි...
"මේ මල්ලිගේ යාලුවෙක් අත්තම්මේ..."
නිවාඩු පාඩුවේ බුලත් කොළයක හුනු පොඩියක් තවරන අත්තම්මාට මම පිළිතුරු දුන්නා...
ලොකු තත්තාගේ වියෝවෙන් පසු අත්තම්මාට උරුම වූ පැන්සොන් පඩියෙන් සැලකිය යුතු මුදලක් පන්සලටත්, ඉතිරියෙන් සෑහෙන කොටසක් බෙහෙත් වලටත් වියදම් කල පසු ඉතිරිවන සොච්චමෙන් මටත් මල්ලීටත් රසකැවිලි වර්ග කිහිපයක් ඔතාගෙන මසකට වරක් අප නිවසට පැමිණ සතියක් හමාරක් නැවතී සිටීම අත්තම්මා පුරුද්දක් කොට ගත්තක්... මේ ගතවෙමින් තිබුණේ එවැනි දිනයක්...
"අත්තම්මේ පොඩි සෙල්ලමක් කරමුද...?" ටික වේලාවක් කල්පනාවක ගැලී සිටි මල්ලී අත්තම්මාගෙන් ඇසුවා...
"හා..."
අප කියනා කිසි දෙයකට නෑ බෑ නොකියන ආදරණීය අත්තම්මා ඊට එකඟ වුණේ  මල්ලීගේ මේ පොඩි සෙල්ලම කුමක්දැයි කිසිදු අදහසකින් තොරවයිපුවත්පත කියවීම මඳකට නැවතූ මා මේ දෙදෙනාගේ අමුතු සෙල්ලම දෙස අවධානය යොමු කලා…
" මෙහෙමයිමම දැන් යන්න එළියට බැහැලා අත්තම්මට මොනවා හරි කියනවා... මම මොනවා කිව්වත් අත්තම්මට කියන්න තියෙන්නේ මෙච්චරයි... ංහා පුතේ..."
" අත්තම්මට  තේරුණාද...?"
"ඔව්.."
"මොකද්ද කියන්නේ...?"
"ංහා පුතේ..."
බුලත් කහට නිසා කහ ගැසුණු තම දසන් පෙන්වා සිනාසෙමින් අත්තම්මා කිව්වා...
" අන්න හරි... දැන් අපි පොඩ්ඩක් පුරුදු වෙමු..."
මල්ලි ගෙදර එළිපත්ත ගාවට යමින් එසේ පවසද්දී  මොකුත් නොදන්න අහිංසක අත්තම්මා බුලත් හෙප්පුව පසෙකින් තබා මේ අමුතු සෙල්ලමට සූදානම් වුණා...
"අත්තම්මේ.., චින් කොරස් පට්ට චං ජින්ගල කූරි හුචස් පචස් කරනවද...?"
මල්ලී සෙල්ලම ආරම්භ කළා...
"මොකද්ද පුතේ...?" මල්ලී ඇසූ අපභ්‍රංසය නොතේරුණු අත්තම්මා පෙරළා ප්‍රශ්ණ කළේ අසරණව සිනා සෙමින්...
"අයියෝ... මොකද්ද කියලා අත්තම්මට වැඩක් නෑ... මම මොනවා කිව්වත් අත්තම්මා ංහා පුතේ කියන්න..තේරුණාද...? "
බලාපොරොත්තු සුන් වූ මල්ලී කෑ ගැසුවේ හිස දෙපසට වනමින්...
"ංආ ඔව්..."
"හරි ඔන්න තව පාරක් කරමු..."
"අත්තම්මේ.., ජිං බරස් කට්ට චල බල සාකිලි බූටි කුරු ජිස් බිරස් පරස් කරනවද...? "
"ංහා පුතේ..."
අප දෙදෙනාගේම මුවඟට සිනාවක් කැන්දමින් අත්තම්මා නිවැරදිව පිළිතුරු දුන්නා...
"අන්න හරි... හිනා වෙන්න එපා බැරෑරුම් විදියට කියන්න ඕනි... ආයේ කරමු..."
නැවත නැවතත් උත්සාහාකිරීමෙන් පසු අත්තම්මා සතු‍ටුදායක මට්ටමට පැමිණියත් මොවුන් දෙදෙනාගේ මේ විකාර සෙල්ලමේ අරුතක් නොතේරුණු මා කට කොනකින් සිනා වෙමින් නැවතත් පුවත්පත වෙත නෙත් යොමු කලා... සුළු වේලාවකින් නිවස දෙසට එන බයිසිකල් හඬකින් හිස ඔසවා බැළු මා දු‍ටුවේ මල්ලී බලාපොරොත්තුවෙන් සිටි ප්‍රසන්න පැමිනෙන අයුරුයි...
"යමු...!" 
පැමිණි වේගයෙන්ම මිදුල හරහා වටයක් කරකවා බයිසිකලය ආපසු හරවා ගත් ඔහු මල්ලීට පැවසූවා...
මා දෙස බලා හිස මඳක් සෙලවීමෙන් ඔහු මා හට ආචාර කලෙන්, හිස මඳක් සොලවා මා ද ඔහුට ප්‍රතිචාර දැක්වූවා...
"හෙල්මට් දෙකක් නැද්ද..." මල්ලී ඇසුවේ බයිසිකලයේ පසු පස අසුනට නඟින ගමන්...
"ඕනි නෑ... අද සෙනසුරාදානේ ගම්පහට යනකල්  පොලිසියෙන් නෑ..."
බයිසිකලයේ සැර දමමින් ප්‍රසන්න පවසද්දී  ඔහුගේ විධානයට අවනත වූ මල්ලී පසුපස අසුනට නැග්ගේ මඟදී අවශ්‍යය වුවහොත් මඳ දුරක් පයින් ගෑටීමට හිත හදාගෙන විය යුතුයි...
ඇසුරු සැනින් බයිසිකලය අඩි කිහිපයක් ඉදිරියට ඇදී යද්දී ප්‍රසන්නගේ පිටට තට්‍ටුවක් දැමූ මල්ලී ගමන නැවතූයේ හදිසියේ යමක් අමතක වූ සෙයින්... බරාස් යන හඬින් බොරළු පොළවේ සටහනක් ඇඳී යන පරිදි ඔහු තම බයිසිකලය නැවතූ පසු අත්තම්මා දෙසට හැරුණු මල්ලී මෙසේ  පැවසූවා...
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"
මල්ලීගේත්, මගේත් අප දෙදෙනාටම වඩා ප්‍රසන්නගේත් අයාගත් ඇස් හයක් තමා වෙත එල්ල වී තිබියදී ඒ කිසිවකින් කලබල නොවූ අත්තම්මා තත්පරයක නිහඬතාවයකින් පසු තම කටහඬ අවදි කලා...
"ංහා... ංහා.. පුතේ ංහා...!"
මා දත්කූරු කමින් නැ‍ඟෙන්නට ආ සිනාව තදකරගත්තේ පුවත්පතින් මුහුණ මුවා කරගනිමින්... කිසිවක් සිදු නොවූ ලෙසින් මල්ලී ප්‍රසන්නට නැවත ගමන් ආරම්භ කරන ලෙස සන් කළත් පියවි සිහියට පැමිණීමට ඔහුට ටික වේලාවක් ගත වූයේ අත්තම්මාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා කිහිප වරක්ම බැලීමට ඔහුට සිදුවූ නිසා විය යුතුයි...

Saturday, January 15, 2011

5. පච්චා කොටපු ඉලන්දාරියා | My Daughter's Tattoo Boy



"හෙට ඔයා ගෙදර ඉන්නව නේද...?"
රූපා ගේ ප්‍රශ්ණය විතාන මහත්තයාගේ සිතට ගෙන ආවේ කුහුලක්...
"ඇයි...?"
එහෙම ඇහුවෙ නැතත් රූපා දිගටම කතා කරන බව විතාන මහත්තයා දන්නවා...
"ලොකු දුවගේ යාළුවෙක් එනවලු...අපි දෙන්නව හම්බ වෙන්නත් එක්ක..."
රූපා ගේ ඒ පිළිතුරත් එක්ක පහුගිය සති දෙකක විතර ඉඳන් ගෙදර සිද්ද වෙමින් තිබුණු නමුත් මේ වනතෙක් විතාන මහත්තයාට ගැටළුවක් වුණු හුදකලා සිද්ධි කිහිපයක් එකිනෙකට අමුණගන්න පුළුවන් වුණා...
"අපි දෙන්නව හම්බ වෙන්න යාළුවෙක්…? ඒ කව්ද ..?"
තමන්ගේ අනුමානය හරියටම හරිද කියලා දැනගන්නත් එක්ක විතාන මහත්තයා ඇහුවා...
"යාළුවෙක් කියන්නේ මේ... ලොකු දුව එක්ක සම්බන්දයක් තියෙන කෙනෙක් කියන්නේ..."
රූපා වෙනදා නැති පරිස්සමකින් වචන හසුරනවා... කියවමින් සිටි සමිති වාර්තාවෙන් දෙනෙත් ඉවතට ගත් විතානමහත්තයා ඇස් කන්නාඩියට උඩින් රූපා දිහා බැලුවා...
"සම්බන්දයක්...? කව්ද ඔය...? මොනවා කරන කෙනෙක්ද...? "
විතාන මහත්තයාට කේන්තියකටත් වඩා ආවේ කලකිරීමක්... තමන්ට මේක අලුත් ආරංචියක් වුණාට ගෙදර අනිත් අයට ටික එහෙම නොවෙන බව විතාන මහත්තයාට පැහැදිලියි... මෙය පමණක් නොව තමන්ට මතක ඇති කාලයක පටන් පවුලේ වැදගත් තීරණ සියල්ලම පාහේ තමන් දැනගන්නා විට එය ඒ වන විටත් සාකච්ඡා වී අවසන් තීරණයද ගෙන දින කිහිපයක් ගතවී ඇති බව විතාන මහත්තයාට සිහිවුණා...
"ඒවා හෙට ආවාමම බලාගමුකෝ..."
විතාන මහත්තය තවත් යමක් කියන්නට මත්තෙන් සාකච්චාව නිමකල රූපා ඉස්තොප්පුවෙන් ගෙතුළට නික්ම ගියා...කොහොමත් විතාන මහත්තයාට කියන්න කියලා විශේෂ දෙයක් තිබුණෙත් නැහැ... කියවමින් හිටි සමිති වාර්තාව ඔඩොක්කුවෙම තියෙන්න හැරි විතාන මහත්තයා කල්පනා ලෝකයේ තනිවුණා...

පලවෙනි දරුවා හින්දාද කොහෙද ලොකු දුව ලැබෙන්න යද්දි රූපා ට ගොඩක් අමාරු වුණා... සෙනෙවිරත්න දොස්තර මහත්තයා නොහිටින්න දෙකෙන් එකක් සිද්ධ වෙන්න උනත් තිබුණා කියලයි විතාන හිතුවේ... දරුවව ලැබුණගමන් ඔපරේෂන් කාමරේ ඉඳලා නර්ස් නෝනලා දරුවව කොහෙටදෝ අරගෙන දිව්වේ කඩි ගුලක් ඇවිස්සුණා වගේ...
"බබා හුස්ම ගන්නේ නැහැ... බේබි රූම් එකට ගෙනිච්චා..." කව්දෝ කියනවා විතානට හීනෙන් වගේ මතකයි...
විතානගේ හිත කලබල වෙලා තිබුණු තරමට රූපා ට කොහොමද කියලා බලාගන්නවත් ඒ වෙලාවේ නිනව්වක් තිබුනේ නෑ...
ටිකක් කලබලය අඩුවුණාට පස්සේ නර්ස් නෝනා කෙනෙක් ලොකු දොරක තිබුණු රවුම් වීදුරුවකින් පෙන්නපු ප්ලාස්ටික් බට ගොඩකින් වටවෙලා උන් දරුවව දකිද්දි විතානගේ පපුව හෝස් ගාලා ගියා...
"මගේ දරුවා නැති වෙයිද මිසී...?"
කඳුලු පුරෝගෙන විතාන ඇහුවා...
"බය වෙන්න එපා...අපි උපරිම උත්සාහා කරනවා..."
නර්ස් නෝනා එහෙම කිව්වා මිසක් නැති වෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ...
එවෙලෙ ඉඳන් විතාන නෙමෙයි ඒ වීදුරුව ගාවින් හෙල්ලුනේ... ඔහු වෙවුලන හඬින් රතන සූත්‍රය මුමුණන්න ගත්තේ දරුවට සිහිය එනකල් නවත්තන්නේ නෑ කියලා අධිෂ්ඨාන කරගෙන...ගැහෙන හඩින් පිරිත් මුමුණන විතානගේ කම්මුල් දිගේ කඳුලු වැල්  ගලාගෙන ගියේ වීදුරුවත් තෙමාගෙන...පැය ගානකට පස්සේ දොස්තර මහත්තයා විතාන ලඟට එනකොටත් ඔහු හිටියේ වීදුරුවට මූණ ඔබාගෙන පිරිත් කියමින්...
"අනේ මහත්තයෝ..." ඉකි ගහමින් විතානට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි...
"Don’t worry... බබා අමාරු ස්ටේජ් එක පහු කරලා ඉවරයි... දැන් බය වෙන්න දෙයක්  නැහැ... ගිහිල්ලා වයිෆ් ට කතා කරන්න..."
එහෙම කියපු දොස්තර මහත්තයා සැහැල්ලුවෙන් විතානගේ පිටට තට්‍ටු කලා... අත් දෙක එකට එකතු කරලා වඳිනවා ඇරෙන්න දොස්තර මහත්තයාට වෙන ස්තුති කරන්න පුළුවන් ක්‍රමයක් ඔහුගේ හිතට ආවේ නෑ...
"දරුවා කෝ...?"
අමාරුවෙන් ඇස් ඇරපු රූපා කෙඳිරිලි හඬින් විතානගෙන් ඇහුවා...
"බේබි රූම් එකේ... බය වෙන්න දෙයක් නෑ කියලා දොස්තර මහත්තයා කිව්වා..." විතාන කිව්වේ එක අතකින් රූපා ගේ අත අල්ලාගෙන අනිත් අතින් හිස පිරිමදින ගමන්...
"ලඟ හිටියට කමක් නැහැ කතා කරන්න එපා... මෙයාට නින්ද යන්න දැන් බෙහෙත් දුන්නා... ඔහොම නිදාගන්න දෙන්න..."
 නර්ස් නෝනා කෙනෙකුගේ අවවාදයට අවනත වුණු විතාන ඉන් එහා මොකුත් කතා කලේ නැහැ... විඩාබර මුහුණින් නින්දට වැටිලා ඉන්න රූපා ගේ හිස පිරිමදිමින් ඔහු තම හිතේ හිරවී තිබුණු පීඩනය දියකරගෙන ගලා හැලෙන සතු‍ටු කඳුලු වැල් වලට නොනවත්වා ගලාගෙන යන්න ඉඩ දුන්නා...
පහු පහු වෙනකොට ලොකු දුව කැමති නැති වුණත් රතන සූත්‍රයෙන් නැවත උපන්නී කියන ලස්සන තේරුම තියෙන නම දුවට තියන්න ඕනි කියලා විතාන තීරණය කලෙත් ඉස්පිරිතාලෙදිමයි...
-----

හිමිදිරියේ සැරදමා පණගැන්වූ විතාන මහත්තයාගේ වොක්ස්වැගන් කාරයේ ශබ්දයෙන් අවදිවූ බල්ලා ඇඟමැලි කඩමින්  කාරය යටින් එලියට  ආවේ කලාතුරකින් බාධා වන තම නින්ද කැඩීම ගැන නොකැමැත්තෙන්...
"මොකද බොබයියේ...? අපි එක්ක ටවුන් යන්න එනවද...?"
විතාන මහත්තයා සමඟ එලියට යෑමට සූදානම් වී පැමිණි දියණියන් දෙදෙනාගෙන් කෙනෙකු පවසද්දී ඒ කතා කරන්නේ තමා සමඟද නැතිනම් බල්ලා සමඟ දැයි විතාන මහත්තයාට හරි හැටි නො ඇසුනේ කාරයේ ශබ්දයටත් වඩා  ඔහු ඒ වනවිටත් වැ‍රැන්ඩාවට සමීපව ඇති කණුවේ නොවැදී කාරය මිදුලට දමාගැනීමට ඔට්‍ටු වෙමින් සිටි නිසයි...
දියණියන් දෙදෙනා ගේ තොර‍තෝංචියක් නැති කතාවට බාධා නොකළ විතාන මහත්තයා වාහනය පැදවූයේ නිහඬ මුවින්...... රූපා ගෙන් දැන ගැනීමට නොහැකි වූ දෙය ලොකු දුවගෙන් ඇසීමට කිහිප විටක්ම සිත් වුවත් පොඩි දුව ඉදිරියේ එය ඇසීම නොමනායැයි ඔහුට හැඟුන හෙයින් විතානමහත්තයා කටට ආ පැණය අපහසුවෙන් ගිලගත්තා...
"තාත්තේ අපිව ඔය ඉස්සරහින් දාන්න..." ලොකු දුව ගේ හඬට කීකරු වූ විතාන මහත්තයා සෙමින් වාහනය පසෙකට ගත්තා...
"තාත්තට කලින් අපිට එන්න පුළුවන් වේවි... ඔයා කාර්ගිල්ස් එක ඉස්සරහා ඉන්න... අපි දෙන්නා එතනට එන්නම්..." ඉදිරියට නැමූ ආසනය අල්ලාගෙන කාරයේ පසුපස සිට අපහසුවෙන් එළියට පැනගත්පොඩි දුවගේ උපදෙසට විතාන මහත්තයා නිහඬව එකඟ වුණා...
කවුන්ටරයේ සිටි තරුණියගේ ආචාරශීලී ස්තුතියට සිනහවකින් පිළිතුරු දී ඉවතට පැමිණි විතාන මහත්තයා අත්දෙකෙන්ම එල්ලා ගත් පොලිතීන් බෑග් වල බර නිසා වට පිට බැලුවේ ඒ ටික දමාගන්නට ට්‍රොලිය ගන්නට අමතක වූ බව සිහිවූ නිසයි...
"විතාන මහත්තයා මොනවද මේ බරටම..? මොකද ගෙදර පාටියක්ද..?"
ඒත් එක්කම කොහෙන්දෝ එතනට මතුවුණු සිල්වා ඇහුවේ එක ඇහැක් පුංචි කරගෙන...
"නෑ මේ දුවගේ යාලුවෙක් එනවලු..."
සිල්වාට කවදාවත් පුද්ගලික දේවල් කියන්න එපා කියලා රූපා කට කැඩෙනකල් කියලා තිබුණත් පොඩි කාලේ ඉඳන්ම බොරුවක් කියන්න නොනැමෙන දිව මේ පාරත් විතාන මහත්තයාගේ හිතට අවනත වුණේ නැහැ...
"යාළුවෙක්..? ංහා ංහා... හොඳයි හොඳයි...."
හිස පැත්තකට ඇල කරගෙන සිල්වා එහෙම කියද්දි විතාන මහත්තයා ට්‍රොලියක් සොයා ගැනීමේ අදහස අතහැර  ඔහුගෙන් සමුගත්තේ වෙන යමක් නොකිව්වත් උවමනාවටත් වඩා දෙයක් සිල්වා මේ වනවිටත් අනුමාන කරගන්නට ඇතිබව නොදැනම නෙවෙයි...
අතින් කටින් පොලිතීන් මලු එල්ලාගත් විතාන මහත්තයා තරමක් දුරින් නැවැත්වූ වාහනය දෙසට ඇවිදගෙන එද්දී මඳක් ඔබ්බෙන් වූ සෙවනක තවත් මලු කිහිපයක් ඔසවාගත් දියණියන් දෙදෙනා සිටගෙන සිටිනවා ඈත තියාම ඔහු දැක්කා...
"ඇයි වාහනේට නඟින්න තිබුණනේ..." තමන් වෙත ඇවිද එන දියණියන් දෙදෙනාට ඔහු කිව්වේ බොනට්‍ටුව හැර පොලීතීන් මලු අසුරන ගමන්...
"ඇයි ලොක් කරලා නැද්ද...?" පොඩි දුව ඇහුවේ විශ්මයෙන්...
"ලොක් එක කැඩිලා දැන් කොච්චර කල්ද..." විතාන මහත්තයා එහෙම කියද්දි සෑහෙන දවසකින් තුන්දෙනාම එකට කාර් එකේ ගමනක් ගිහින් නෑ නේද කියලා විතාන මහත්තයට සිහිවුණා...
සුපුරුදු ලෙස දියණියන්ගේ කතාවෙනුත් විතාන මහත්තයාගේ නිහඬතාවයෙනුත් යුක්තව  ගෙවුණු ආපසු ගමන අද දිනයේ පැමිනෙණ අමුත්තා ගැන දහසක් ගැටළු ඔහුගේ සිත තුළ ඉතිරි කරමින් නිමා වුණා...
ගෙතුළින් විටින් විට ඇතිවී නැතිවී ගිය කෑම වර්ග වල සුවඳ තුනී වී මෙතෙක් වේලා ගැ‍ටුණු වළං පිඟන් වල හඬ නෑසී ගියේ අමුත්තා පිළිගැනීමට සියල්ල සූදානම් බව නොකියා කියමින්... ඉස්‍තෝප්පුවේ ඇති ඇඳි පු‍ටුවේ වාඩි වී වරක් කියවූ සමිති වාර්තාව උඩින් පල්ලෙන් නැවත කියවමින් සිටි විතාන මහත්තයාට තනි ‍රැකීමට හිටියේ ඔහුගේ රිද්මයකට සෙලවෙන පා ඇඟිලි උඩින් තම නිකට තබාගෙන අසල බිම දිගා වී සිටි බොබී පමණයි... ඇත්තටම බොබී විතාන මහත්තයාට තනි රකිනවාද විතාන මහත්තයා බොබීට තනි රකිනවාද යන්න දෙදෙනාම දැන සිටියේ නැහැ...
ගෙවත්තට හරවන වාහනයක හඬින් තිගැස්සී බොබී හිස ඔසවා බැලුවේත්, විතාන මහත්තයාගේ කකුල් සෙලවීම නතර වූයේත් එකවිට...ගෙමිදුලෙහි නතර වූ වාහනයෙන් සුළුවේලාවකට පසු සිනාමුසු මුහුණින් ඉවතට බැස්සේ කඩවසම් තරුණයෙක්...කාර් රථයකට මඳක් විශාල නමුත් වෑන් රථයකට වඩා කුඩා මෙම වාහනය කුමක්දැයි අනුමානයෙන් හඳුනාගැනීමට උත්සාහා කරමින් සිටි විතාන මහත්තයා එම උත්සාහය අතහැර දමා තරුණයාගේ සිනහවට පිළිතුරු දුන්නේ සමිති වාර්තාව පසෙක තබා නැඟී සිටීමෙන්... ඒ සමඟම කොහේදෝ සිට දුව ආ ලොකු දුව තරුණයා පිළිගන්නට පෙරමුණ ගැනීම විතාන මහත්තයාට අස්වැසිල්ලක් එක්කලා...
"තාත්තේ මේ රුවින්ද...මේ අපේ තාත්තා.." මාරුවෙන් මාරුවට දෙදෙනා දිහා බලමින් ලොකුදුව එකිනෙකාව හඳුන්වාදුන්නා...
"හෙලෝ අංකල්" තරුණයා පැවසූයේ හිස මඳක් සොලවමින්...
"එන්න ඇතුලට..." විතාන මහත්තයා පිළිතුරු දුන්නා...
විසිත්ත කාමරයේ තිබූ සෝෆාව උඩින් විතාන මහත්තයා වාඩි වූයේ කලකට පස්සේ... ඔහු පසුපසින් පැමිණි අනිත් දෙදෙනාත් ඉන්පසු ලොකුදුවගේ අඬගෑමෙන් එතැනට පැමිණිත් රූපාත් ඒ අසලින් වාඩි වුණා...
"ඉතිං අහන්න..." නිහඬතාවය බිඳිමින් ලොකු දුව පැවසූයෙන් විතාන මහත්තයාට දැනුනේ තරමක අපහසුවක්...
"අන්කල්.. ඇන්ටි... අපි දෙන්නා දැන් ටික කාලෙක ඉඳන් අඳුනනවා... මම කැමතියි මෙයාව විවාහ කරගන්න..." ලොකු දුවගේ පිටි අල්ල මතින් තම සුරත තබාගත් තරුණයා නොපැකිලී පැවසුවා...
ඉන්පසු රූපාත්, ලොකු දුවත්, තරුණයාත් තිදෙනාම විතාන මහත්තයා දෙස බලා සිටියේ හරියට මෙය නාට්‍යයක් නම් එහි ඊළඟ දෙබස පැවසිය යුතුව තිබුනේ ඔහුට මෙන්...
"ඔය ළමයාගේ නම මොකද්ද..?" තරමක් වේලා නිහඬව සිටි විතාන මහත්තයා සෙමින් කටහඬ අවදි කළා...
"මාපා අරච්චිලාගේ රුවින්ද සඳකැළුම් මාපා" කාටත් පෙර ලොකු දුව පිළිතුරු දුන්නේ විතාන මහත්තයා ඒ ප්‍රශ්නය ඇහුවේ ඇයිදැයි හරියටම දන්නා බැවින්...
"අම්මලා තාත්තලා එහෙම කොහෙද...? මොනවද කරන්නේ...?"
"තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදියට වැඩ කළේ දැන් රිටායර්ඩ්...අම්මා නම් ජොබ් එකක් කලේ නෑ...මමයි නංගියි පවුලේ... නංගි මට වැඩිය ගොඩක් බාලයි...එයා තාම ඒ ලෙවල් කරනවා...දැන් අපි පදිංචි වෙලා ඉන්නේ කඩවත..." තරුණයා නොකඩවා කියාගෙන යද්දී…
"මෙයා ගේ හදාගෙන යනවා මාලබේ..." ලොකු දුව එකතු කලා...
" එතකොට මොකද්ද ඔය ළමයගේ ‍රැකියාව...? " මෙතෙක් වෙලා ලැබුණු තරමක සතු‍ටුදායක පිළිතුරු වලින් සෑහීමකට පත්වුණු විතාන මහත්තයා වැදගත්ම ප්‍රශ්ණය යොමුකලා...
අපි ඉන්ඩියන් කම්පණි එකකට ඇෆ්ලියේටඩ් ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පණි එකක් දාලා තියෙනවා ෆන් ෆැක්ට්‍රි කියලා... මම එකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරණවා...සවුත් ඒශියා වල මේජ ඉවෙන්ට්ස් ගොඩක්  අවුට්සෝස් වෙන්නේ අපිට තමයි..." තරුණයා එක හුස්මට කියාගෙන ගියා
ඉංග්‍රීසි ප්‍රවෘත්ති යන වෙලාවට රූපවාහිනිය වෙන චැනල් එකකට මාරු කලාට විතාන මහත්තයට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි කමක් තිබුණේ නැහැ... ඒත් මේ වෙලාවේ පිටවුණු වචනයක් වචනයක් ගානේ අල්ලගන්න උත්සාහා කලත් මේ කිව්වේ මේකයැයි ඉන්තේරුවටම තේරුම් ගන්න නම් විතාන මහත්තයට බැරි වුණා...
රාජකාරිය මොකද්ද කියලා තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න හදනකොටම තමයි රූපා මැදට පැන්නේ...
"අපි එහෙනම් ඉතින් පුතාගේ දෙමව්පියෝ එහෙමත් මුණගැහිලා  සාකච්ඡා කරලා එහෙම තීරණයක් ගනිමුකො ..."
"ඔව් එහෙම හොඳයි ඇන්ටි..." තරුණයා කිව්වේ විතාන මහත්තයා දිහාත් බලමින්...
"යමු උඩට, නංගියි මල්ලියි බලාන ඉන්නවා..." ලොකු දුව සාකච්ඡාව නිමා කලේ වෙනදා වගේම කතා කරපු දේට වඩා කතා නොකරපු දේවල් විතාන මහත්තයා හිතේ හිර කරගනිද්දී...
දරුවන්ගේ කෙළි කවට සිනා වලින් නිවසේ උඩු මහල පිරී යද්දී, විතාන මහත්තයා නිහඬව කුස්සිය දෙසට ඇදුනේ තනිවම කුස්සියේ ඔට්‍ටුවන රූපා සිහිවීමෙන්... විවාහ වූ අළුත කුස්සියේ වැඩ වලින් අඩක් පමණ විතාන මහත්තයා අතින් සිදු වුණත් ඒ එකින් එක අඩුවී අන්තිමට පොල් ගෑමට පමණක් සීමා වූ අයුරුත් පොඩි පුතා තරමක් ලොකු වූ පසු එම රාජකාරියත් නොදැනීම තමාගෙන් පොඩි පුතාට මාරුවූ අයුරුත් විතාන මහත්තයාට සිහිවුණා...
"අනේ පොල් ටික ගාලා දෙනවද..?" කලකින් කුස්සියට පැමිණි විතාන මහත්තයාට රූපා පැවසූයෙන් ඔහු නිහඬව පොල් අඩලය සුරතට ගත්තා...
"ඒ ළමයාගේ රස්සාව මොකද්ද කිව්වේ..?" හිරමන තලය පොල්බෑය සූරාගෙන යන සද්දය අතරින් විතාන මහත්තයා ඇහුවා...
ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක...
ඒ පිළිබඳව ඉන් එහාට යමක් රූපා සොයා නැතිබව විතාන මහත්තයාට විශ්වාසයි...
"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..." විතාන මහත්තයා පැවසූයේ අවංකවමයි...
"අනේ අම්මාපල්ල සහගන්නේ නැද්ද මේ මිනිහගේ කතා වලට..."  කරමින් සිටි දෙය නවතා රූපා පැවසූයේ තම අත නිකටේ තබා ගනිමින්...
ඒ ළමයා අරක්කු සිග‍රැට් කටේ තියන්නේ නැතිලු, වෙන මොකුත් දුරාචාරයකුත් නැහැ... ස්ථිර ආදායම් මාර්ගෙකුත් එක්ක ගේකුයි වාහනේකුයි තියෙනවා...කුල ගොත් පවුල් පසුබිමත් ගැලපෙන පාටයි... අපේ දරුවව රවට්ටන්නේ නැතිව ගෙදරටම ඇවිල්ලා කෙලින්ම ඇහුවා...මොනවද ඔහේ තවත් බලාපොරොත්තු වෙන්නේ..?”
විතාන මහත්තයා නිහඬව රූපා දෙස බලා සිටියේ රූපා කතාකර අවසන් නැතිබව ඉවෙන් මෙන් දන්නා නිසායි...
" දැක්ක ගමන්ම මටනම් තේරෙනවා ගුණයහපත් දරුවෙක්... ඒ විතරක් නෙමෙයි  පොඩි දුවයි පුතායිත් කියනවා හොඳයි කියලා..."
"ඒගොල්ලෝ කොහොමද මෙයාව දන්නේ...?" විතාන මහත්තයා ඇහුවේ පොල්බෑයේ නොගෑවුණු හරිය පිරික්සමින්...
"ඉන්ටනෙට් එකේ මොකද්දෝ එකකින් කිව්වේ..." රූපා කරමින් සිටි දෙය නැවත ආරම්භ කරමින් පැවසූවා...
"ඉන්ටනෙට් එකෙන් කොහොමද ඒවා දැනගන්නේ..." අහන්න විතාන මහත්තයාට හිතුණත් ඔහු නිහඬ වුණා...
"මම දන්නවා ඔහේ කැමති රජයේ ‍රැකියාවක් කරන කෙනෙක් බෑනා කරගන්න... ඒ දේවල් දැං කාලෙට ගැලපෙන්නේ නෑ විතාන... ලොකුදුව විශ්වවිද්‍යාලේ යන්න බෑ කිව්වම ඔහේ පොලවේ පස් කාපු නැති ටික විතරයි... දැං ඔය අපූරුවට ඒ ළමයා රස්සාවක් කරගෙන ඉන්නේ... ඒ ගොල්ලෝ දැනුම් තේරුම් තියෙන ළමයි...හොඳ නරක තේරුම් ගන්න එයාලට පුළුවන්..."
විතාන මහත්තයා  නිහඬව පොල් පිඟානෙහි ඇති රොඩු ඉවත් කරමින් අසා සිටියා...ඔහුට සිහිවුනේ මින් ටික දිනකට පෙර සමිතිය අවසන් වී නිවසට එද්දී ඉස්කෝලේ මහත්තයා කී දෙයක්...
"දැං තනිකරම කොම්පියුටර් යුගේ නේ විතාන මහත්තයා... අපේ කාලේ හැම දේම අද කාලේට ගැලපෙන්නෙත් නෑ..."
තම දියණිය පිටරටකට පදිංචියට ගිය බව  සඳහන් කරමින් ඔහු කියූ අයුරු විතාන මහත්තයාට සිහි වුණා.
දරුවන්ගේ සිනා හඬින් පිරි හෝරාවක් හමාරක් ගෙවී යන්නට ඇති... ගෙවත්ත පුරා ඇවිදින තරුණයා නිවසට තවදුරටත් අමුත්තෙක් නොවන බව විතාන මහත්තයාට පසක් කලා...
"අරගොල්ලන්ට කන්න එන්න කියන්න..."
රූපාගේ පණිවුඩයත් සමඟින් විතාන මහත්තයා මිදුලට යන විට තරුණයා සිටියේ ගෙමිදුලෙහි ඇති අඹ ගසේ අතු අගිස්සක පැහුණු අඹ ගෙඩියක් කඩාගැනීමට ඔට්‍ටු වෙමින්...
"දරුවනේ අම්මා කන්න කතා කරනවා ..."
විතාන මහත්තයාගේ හඬට අවනත වූ තරුණයා ගසින් බිමට බැස්සේ කඩාගත් අඹ ගෙඩිය අල්ලා ගැනීමට සීරුවෙන් පොඩිපුතා වෙත විසිකිරීමෙන් පසුවයි...
ගසට නැගීමට නිසාදෝ හැඳ සිටි ටීශර්ටය උනා සිටි නිසා උඩුකය බැනියමකින් පමණක් ආවරණය කරගෙන  සිටි   තරුණයාගේ දකුණු බාහුව පුරා පැතිරි ගිය කාල වර්ණ ලපයක් වැනි යමක් විතාන මහත්තයා දු‍ටුවේ එවිටයි... මඳක් විමසිල්ලෙන් බැලූ කල එය හැඩතල බෙදෙන ලෙස නිර්මාණය කළ තරමක් විශාල වූ සිරුරේ කොටන ලද පච්චයක් බව වටහා ගන්නට විතාන මහත්තයට අපහසු වුණේ නැහැ.
" පච්චා කාරයෙක්...???"
විතාන මහත්තයාගේ හදවතින් පැන නැඟුනු ඒ වචන ටික එළියට එන්නේ නැතිව කියාගන්න බැරි මොකද්දෝ අපහසුවකුත් එක්කම උගුරේ හිරවෙනවා වගේ ඔහුට දැනුනා...
තමා ගේ ගැටවර වියේදී ඒ වනවිටත් අවිවාහකව සිටි පොඩි බාප්පා කොහේදෝ රස්තියාදුවක ගොස් එනවිට කුරුළු රූපයක් තම යටි බාහුවේ කොටාගෙන පැමිණි අයුරුත්, එය දු‍ටු අත්තම්මා හඬා වැළපුණු අයුරුත් විතාන මහත්තයාට සිහිවුණා... අත්තම්මා පොඩි බාප්පාව කොහේදෝ ගොඩ වෙදෙකු වෙත ‍රැගෙන ගොස්  එය මැකෙන්නට යැයි තලගොයි දිවක් පච්චය උඩ බැඳ තැබූ අයුරුත් එය අසාර්ථක වීමෙන් පසු තවත් උත්සාහයන් රාශියකින් පසු පච්චය මකා දැමීමේ අදහස අත්හරිමින් අත්තම්මා පොඩි බාප්පාට පැවසූ වදන් විතාන මහත්තයාට අද වගේ මතකයි...
"උඹට මේ කරපු වැ‍රැද්දේ බරපතල කම තේරේවි හිරයක් ගන්න ගියාම... පච්චා කාරයෙකුට කව්ද බං වැදගත් පවුලකින් හිරයක් දෙන්නේ..."
අත්තම්මා කී දෙය තරමක් දුරට සැබෑවක් කරමින්දෝ පොඩි බාප්පා අකාලයේ මිය යන විටද අවිවාහකයෙකුව සිටිබව විතාන මහත්තයාට සිහිවුණා...
තම ලය තුල ඇති බරක් සැහැල්ලු කිරීමට මෙන් ගැඹුරු සුසුමක් හෙලූ විතාන මහත්තයා, තමන්ට පි‍ටුපා ගෙතුළට ඇවිදයන දරුවන් දෙස ආපසු හැරී බැලූ විට ඔහු දු‍ටුවේ සිනා මුසු මුහුණින් ඔවුන් එනතුරු දොරකඩ ‍රැඳී සිටින රූපා...
"රූපා දන්නවදඔය පච්චා කාරයෙක්...!"
විතාන මහත්තයාට හඬනඟා එහෙම කියන්න හිතුනත් ඒ වන විටත් ඔවුන් සියල්ලම නිවස තුළට නොපෙනී ගොස් තිබුණා... තරුණයාගේ වාහනයේ සෙවණට වී බිම දිගාවී සිටි බොබී පමණක් ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටියා

Saturday, January 8, 2011

4. නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස | The Neil Armstrong Mystery of Moon Landing


හා හාපුරා කියලා අටවගත්ත මගේ බ්ලොග් අඩවිය ගැන ලබුණු සතු‍ටුදායක ප්‍රතිචාර කිහිපයකුත් මිට මොලවාගෙන ඊළඟ කතාවත් ලියන්න පටන් ගත්තත් රාජකාරී ස්ථානයේ සිදුවූ අකරතැබ්බ කිහිපයක් නිසා කබලෙන් ලිපට වැටිලා, කබලත් ඔලුව උඩට වැ‍ටුණ වගේ තත්වයක් උද්ගත වුණු නිසා නිසා ඒක ඉවර කරගන්න බැරිවුණා...


ඒත් හැම සෙනසුරාදාම බ්ලොග් එක අප්ඩේට් කරනවා කියලා මේක පටන් ගද්දී මටම වුනු පොරොන්දුව ඊළඟ සතියෙම කඩ කරන එක හොඳ නැති නිසා පරණ කතාවක් ටිකක් ඔප මට්ටම් කරලා දාන්නයි මේ හදන්නේ...

අපි හැමෝම වගේ අහලා හරි, දැකලා හරි තියෙන විදියට, වර්ෂ එකදාස් නවසිය හැට නවයේ ජූලි විසි එක් වෙනිදා ... ඒ කියන්නේ මම ඉපදෙන්නත් සෑහෙන කාලෙකට කලින්... ඇමෙරිකානු ජාතික අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන්ග් මහතා සඳ මත පා තැබුවා...[ඇත්තටම මම එදා හිටියනම් මගේ ඇස් වලින් කඳුළු පනීවි... ]

ඉතින් ඔය සඳ ගමන කියන්නේ සති අන්තයක රෑ එලිවෙනකල් වුණත් වැය කරන්න තරම් ආසා හිතෙන දේවල් අන්තර්ජාලයේ පිරුණු සිද්ධියක්... වෙලාවක් තියෙන කෙනෙකුට නම් ‘Conspiracy Theory Moon landing’ , ‘Moon landing Hoax’ වගේ වචන වලින් අන්තර්ජාලය පීරුවොත් බලන්න දේවල් ගොඩයි... සමහරු ඇමෙරිකාවෙන් හඳට ගියේ නැහැ කියලා ඔප්පු කරනවා... සමහරු නෑ හඳට ගියාමයි කියලා ආයෙත් ඔප්පු කරනවා... කතන්දර ලෝකයයි...

ඉතිං අද කතාව හඳට ගියාද නැද්ද කියන එක නෙමෙයි... සඳ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රොන්ග් අජටාකාශගාමියා සිදුකල ඒ ඓතිහාසික කතාවේ තිබුණු කාගේවත් අවධානයට ලක් නොවුණු එක් අභිරහසක් ගැනයි...බටහිර මාධ්‍ය වලත් අඩුවෙන් කතාවුණ මේක ලංකාවේ සිංහල මාධ්‍යයක නම් සඳහන් වෙලා තියෙනවා මම දැක්කේම නැහැ...

සමහරවිට අන්තර්ජාලයේ නිතර සැරිසරන කෙනෙකුට නම් මේක අළුත් දෙයක් වෙන්න විදියකුත් නැහැ...ඒත් මේ ලියන්නේ කලින් කියවා නැති අය වෙනුවෙන්…

නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තැබුවායින් පසු ඉතා හැඟීම්බර කතාවක් කලා...අපි හැමෝම වගේ දන්න "මෙය මිනිසෙකු තැබූ කුඩා පියවරක් විය හැකියි, නමුත් මුළු මනුෂ්‍යසංහතියටම මෙය යෝධ පියවරක්..." කියන සුප්‍රසිද්ධ කියමන ඔහුගේ ඒ කථාවේ අඩංගු වූවක්...තවත් සාමාන්‍යය කරුණු දැක්වීම් කිහිපයකින් පසු ඔහු කතාව අවසන් කළා...නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් නම් සියලු කටයුතු අවසානයේ සඳ යානයට නගින්නට මොහොතකට පෙර ඔහු "ඔබට මගේ සුභ පැතුම් ගෝස්කි මහත්තයා..." යැයි ඇසෙන නෑසෙන හඬින් පවසන්නටත් අමතක කලේ නැහැ...

ඒ වන විටත් නාසා මෙහෙයුම් මූලස්ථානයේ තිබූ සතුට පිරුණු කලබලකාරී පරිසරය මත ඒ කියූ දේ ගැන කාගේවත් අවධානයක් යොමු වූයේ නැහැ... බොහෝ දෙනෙකු සිතුවේ ඒ තමන්ට අභියෝග කළ රුසියානු ජාතික අජටාකාශගාමියෙකුට හෝ විද්‍යාඥයෙකුට කළ සියුම් උපහාසයක් බවයි...

නමුත් සඳ ගමනේ උණුසුම පහවී කලක් ගත වන විට මේ සඳහන් කල කාරණාව ගැන සොයා බලන්නට කිහිප දෙනෙක් උනන්දු වුණා... පුදුමයකට මෙන් රුසියානු අජටාකාශ ක්ෂේත්‍රයේ " ගෝස්කි" නම් වූ අයෙක් සොයා ගැනීමට හිටියේ නැහැ...ඉතින් මේ අභිරහස විසඳාගැනීමට සියලුදෙනාම නීල් ආම්ස්ට්‍රොන්ග් වෙත හැරීම ස්වභාවිකයි... නමුත් ඔහු නෙවෙයි ඉන්පසු මේ ගැන කටේ කෙළ පොදක් හෙලුවේ...

ඉතින් කාලාන්තරයක් තිස්සේ ඔහු සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡා වල ඔහුට නිරන්තරයෙන්ම යොමු වූ  ගැටළුවක් වූයේ මේ ගෝස්කි කියන්නේ කව්ද..? එදා සඳ මතදී කල එම ප්‍රකාශයේ තේරුම කුමක්ද යන්නයි...ඒ හැම අවස්ථාවකම නීල් ආම්ස්ට්‍රොන්ග් සිදු කළේ සිනාමුසු මුහුණින් ඊළඟ ගැටළුව වෙත යොමු වීමයි...

කාලයාගේ ඇවෑමෙන් සඳ ගමනින් වසර විසි හයකට පමණ පසු එක්දාස් නවසිය අනූ පහේ ජූලි පස් වෙනි දින “ෆ්ලොරිඩා” ප්‍රාන්තයේ “ටම්පා බේ” හිදී නීල් ආම්ස්ට්‍රොන්ග් දේශනයක් පැවැත්වූවා… අනතුරුව තිබූ සාකච්ඡා වාරයේදී සහභාගී වූ අයෙක් වසර ගනණක් පැරණි මෙම පිළිතුරක් නැති ගැටළුව නැවතත් ඔහු වෙත යොමු කළා.

මඳ වේලාවක් නිහඬව සිටි ආම්ස්ට්‍රොන්ග් මහතා ගැටළුව මඟහරිනවා වෙනුවට මෙවර තම කටහඬ අවදි කළේ සියල්ලන්ම පුදුමයට පත්කරමින්...

" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."

මීයට පිම්බාක් මෙන් නිහඬ ප්‍රේක්ෂකාගාරය සිසාරා නෙත් හෙලමින් මහළු ආම්ස්ට්‍රොන්ග් මහතා එසේ පවසද්දී ඔහුගේ මුවින් ගිලිහෙන එක් වචනයක් හෝ මඟහැරෙතැයි බියෙන් ඉහල ගත් හුස්ම පහල නොදමා ප්‍රේක්ෂකාගාරයේ උන් සියලු දෙනා දෑස් දල්වාගෙන සිටියේ අයාගත් මුවින්...

"මේ සිද්ධිය වෙනකොට මම කුඩා දරුවෙක්... එදා මම මගේ කුඩා කාලේ යාළුවෙක් එක්ක මිඩ් වෙස්ට් ටවුන් වල තිබුණු අපේ මහ ගෙදර ආසන්නයේ බේස් බෝල් සෙල්ලම් කරමින් හිටියේ..."

පසුවෙන් හුස්ම ගැනීම සඳහා විටින් විට නවත්වමින්, ආම්ස්ට්‍රොන්ග් මහතා අතීත කතාවකට මුල පිරුවා...

" ගෝස්කි පවුල තමයි අපේ අසල්වැසියෝ... ඉතිං එදා යාළුවා ගහපු පාරකින් බෝලේ කෙලින්ම ගිහිලා වැ‍ටුනේ ගෝස්කි මහත්තයාලගේ ගෙවත්තේ...බෝලේ අහුලගන්න දුවපු මට, ගොස්කි මහත්තයාලගේ නිදන කාමරේ ඇතුළින් උස් හඬින් කරන කථාවක් ඇහුණා...කලබලයක්ද බලන්නත් එක්ක මම පොඩ්ඩක් නැවතිලා අහගෙන හිටියා...ඒ වෙලාවේ මට ඇහුණේ ගෝස්කි මහත්මිය, ගෝස්කි මහත්තයාට සැරෙන් කිව්ව මෙන්න මේ වචන ටිකයි..."

කතාව මොහොතකට නවත්තපු නීල් ආම්ස්ට්‍රොන්ග් වතුර බෝතලයකින් තම වියලුනු දෙතොල් තෙමා ගත්තා...

දැන් මෙතන ඉඳන් නීල් ආම්ස්ට්‍රොන්ග් ට නෙමේ කතාව කියන මේ මට, බීට්ල් ට ගැටළුවක් තියෙනවා... ගැටළුව තමයි ගෝස්කි මහත්මිය මොකද්ද කිව්වේ කියලා දැනගන්න ඔබ පුල පුලා බලා සිටියත් අවාසනාවකට ඇය කියපු දේ පොඩිහිටියන්ට නුසුදුසු වීම...

ඉතින් ඒක මම කෙලින්ම නොදා පහලින් හංගල තියෙනවා... කියවන්න අවශ්‍යම කෙනෙකුට ඔය කො‍ටු වරහන් දෙක ඇතුළේ හයිලයිට් කලොත් ගෝස්කි මහත්මියගේ වචන වලින්ම ඒක දැනගන්න පුළුවන්... වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් කියවන්න කැමති නැති කෙනෙකුට අපෝ අපිට ඕවා දැනගන්න ඕනි නැහැ කියලා මෙතනින් කතාව නවත්තන්නත් පුළුවන්...


[නීල් ආම්ස්ට්‍රොන්ග් ට ඇසුණු විදියට ගෝස්කි මහත්මිය ගෝස්කි මහත්තයාට කෑ ගැහුවේ මෙහෙමයි...... “Oral sex..! Oral sex you want?! You’ll get oral sex when the kid next door walks on the moon..!”]


මගේම නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු...

ප/ලි : මේක සිරා ගන්න කවුරු හරි හිටියොත් කියලා... ඇත්තටම මේක සත්‍ය කථාවක් නෙවෙයි...දැනගන්න තියෙන විදියට " Buddy Hackett " කියන විකට ශිල්පියාගේ නිර්මාණයක්...තවමත් විශ්වාස නැති කෙනෙකුට නීල් ආම්ස්ට්‍රොන්ග් සඳ මතදී කල සත්‍ය කථාව මෙතැන තියෙනවා....

Saturday, January 1, 2011

3. හැඳින්වීම | Introduction



කලක පටන් සිංහල බ්ලොග් අවකාශයේ නිරන්තර පාඨකයෙකු වූ මා එයින්ම ලද ආභාෂයෙන්දෝ මැතකදී මා සිත සසළ කළ සිදුවීමක් මුල්කරගෙන කෙටිකතානුසාරයෙන් අකුරු ඇමිණුවේ එය පලකරනායුරු ගැන නිශ්චිත අරමුණකින් තොරවයි...


සාර්ථක නිර්මාණයක් නොවුනත් එම කාරණාව පසෙක ලා මාගේ කුළුඳුල් කෙටිකථාවම සැලකිය යුතු පාඨක පිරිසක් වෙත එය ගෙනයෑමට එක් අපූරු මිනිසෙක් මට උදව් වූවා...

එය පළවී තිබෙනු දැකීමන් ඇතිවූ කියා නිමකල නොහැකි සතුටටත් එය කියවීමට සහ අදහස් පළකිරීමට කාලය වැයකල පාඨකයන්ගේ මහන්සියට කෘතඤතාවය පළකිරීමටත් මා දෙවෙනි නිර්මාණයටත් අකුරු ඇමිණුවා...

ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස මාගේ කුළුඳුල් බ්ලොග් අඩවිය 'අකුරු' නමින් මෙසේ දිගහැරෙනවා...

කෙටිකථා හෝ ගද්‍යරචනය පිළිබඳ අන්දෝසංසාරයක් නොදත් මා එහි මූලික සිද්ධාන්ත පවා අනුගමනය කර නැතිවා වෙන්නට පිළිවන්... ඉතින් අඩුපාඩු වලට කමාවී ඉඳහිට අහම්බෙන් හෝ මෙහි ගොඩවදින යමෙක් මෙම වියමන් රසවිඳ යම් සතුටක් ලබනවා නම් මාගේ උත්සාහයේ අරමුණත් එයමයි....

Friday, December 31, 2010

2. අඳුරේ පව් කරන දනා | Sinners in the Darkness


"කීයක් විතර යනවද වැඩේට...?"

මම ඇහුවෙ මෙතෙක් වේලා ජැක්කාගේ ඇඟිලි අතර සිරවී දැවෙමින් තිබුනු සිග‍රැට්‍ටුව මගේ ඇඟිලි අතරට රුවා ගනිමින්...

"ඌ දාහක් කියල කිව්වෙ.. තව පොඩි ටිප් එකකුත් දෙන්න වෙයි… ඒක මම දෙන්නම්…උඹට පන්සීයක් දෙන්න පුළුවන්ද කියපන්කෝ..?"

ජැක්කා ගේ උද්යෝගීමත් දෙනෙත් මඟහරින්නට මම ඉදිරියෙන් ඇති යායට පිපුණු සූරියකාන්ත මල් වගාව දෙසට නෙත් යොමු කළා... වීවේකී හැන්දෑවක් ගත කිරීමට අප දෙදෙනා බොහෝ විට ‍තෝරා ගත්තේ අප නවාතැන්පලට පෙනෙන දුරින් පිහිටි මෙම ගොවිපල...

“…ඒ මලට සූරියකාන්ත කියන්නේ මොකද දන්නවද පුතේ......... ඒක පිපෙන්නේ ඉර එලියට... ඊට පස්සේ ඉර හැරෙන හැරෙන පැත්තට මලත් හැරෙනවා...”

මටත් හොරා මා සිත අතීතයට දිවගියා...පැටි වියේ උන් මා එක පිට එක නඟනා දහසකුත් එකක් ගැටළු වලින් වෙහෙසට පත් නොවූ මා ආදරණීය අම්මා ලෝකය පිළිබඳ වූ තම සීමිත දැනුමෙන් මා පෝෂණය කරන්නට ගත් උත්සාහය මට සිහිවුණා...

සූරියකාන්ත මල ඉර හැරෙන පැත්තට හැරෙන්නේ නෑ...පොහොට්‍ටුව තමයි එහෙම හැරෙන්නේ...මල පිපුනම එකම පැත්තට හැරිලා තියෙනවා...නිවාඩුවට ගෙදර ගියාම අම්මට කියලා දෙන්න ඕනි...මට හිතුනා...

"මොකද කියන්නේ..?"

මේ වන විටත් කිහිප වරක්ම ජැක්කා විසින් පුනරුච්චාරනය කර තිබූ ප්‍රශ්නය මා නැවතත් පියවි ලෝකයට ගෙන ආවා...

" දාහක් කියන්නෙ ලංකාවේ සල්ලි වල්ලින් දෙදාහක් නෙ... තාත්තා දුක් මහන්සියෙන් එවන සල්ලි නෙ මචං... දන්නවනම් මොනව හිතෙයිද..?"

"එතකොට උඹ ලෝර්ඩ් වගෙ බට ගහන්නෙ... හැම සෙනසුරාදම කන පැලෙන්න බොන්නෙ..? ඒවට යන්නෙ තාත්තා දුක්මහන්සියෙන් එවන සල්ලි නෙමෙයිද.? අනේ උඹලගෙ එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රතිපත්ති..!"

ජැක්කා එක්ක තර්ක කරන්න මම උත්සාහ කලේ නැහැ...

ඒ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මා ඉන්දියාවට පැමින ගෙවෙමින් තිබු පලමු අවුරුද්දේ තුන්වන කාර්තුව... ජැක්කා යනු මෙතෙක් කල් මා හා දුක සැප බෙදා ගත් මාගේ කාමර සගයා...දෙමව්පිය වැඩිහිටියන්ගෙන් වෙන්ව අතිශය ලිහිල් නීති රීති යටතේ අප ඇතුලු හැම විදේශ සිසු සිසුවියක්ම පාහේ අසීමාන්තික නිදහසක් බුක්ති වින්දා... සමහරක් විදේශ සිසුන් තම තාවකාලික පෙම්වතියන් සමඟින් විඳිනා රස මිහිරට ඊරිසියා කරනවා වෙනුවට වඩාත් ප්‍රායෝගික යමක් කිරීමට ජැක්කා ගෙන ආ යෝජනාවයි මා විසින් ස්ථිර කළයුතුව තිබුනේ...

ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල කෙසේ වෙතත් ඉන්දියානු උසස් අධ්‍යාපන ආයතනයක නම් බොහෝදුරට ආදරය යනු එකිනෙකාට ලැබෙන ලාබය මත තීරණය වෙන තරමක සංකීරණ ගනුදෙනුවක්...සදාතනික බැඳීමකට වඩා එකිනෙකට වෙනස් වූ අවශ්‍යතා කිහිපයක් සපුරා ගැනීම සඳහා ගොඩනැ‍ඟෙන එවැනි සබඳතා මත පාරේ ගෙනයා හැකි තත්වයේ පෙම්වතියක් හිමිකරගැනීම යනු මරුති කට්ටක් තබා අඩු වශයෙන් ස්කූටරයක් වත් නැති අප වැනි පුඟුලන්ට තරමක අභියෝගයක්...

කලාතුරකින් හෝ ඒ අභියෝගය ජයගත් අයෙක් වේ නම් ඒ සම්බන්ධය සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා කළයුතු කැපකිරීම් ඉතා විශාලයි... ඉතින් මට මෙන්ම ජැක්කාටත් එවැනි සොඳුරු සිතැත්තියකගේ අවශ්‍යතාවයක් දැනුනේ නැති තරම්…ඉඳ හිට දකින තෙත් සිහිනයක් සැබෑ කරගැනීමට ජැක්කා මෙවර ගන්නා උත්සාහය අවශ්‍යතාවයකටත් වඩා අලුත් අත්දැකීමක් සඳහා යැයි මා හිතුවා...

"දැන් කොහෙටද උඹ ඕක ගේන්නේ...?"

"මම නෙමෙයි අපි... නිගා ගේ රූම් මේට් වැකේශන් ගිහිල්ලා... ඌ තනියම ඉන්නේ..."

නිගා යන සුරතල් නාමයෙන් අපි හැඳින්වූයේ සූඩාන් ජාතික සිසුවෙක්... කා සමගත් වැඩි කතාවක් බහක් නැති ඔහු ඉඳහිට හෝ කතා කරනවා මා දැක ඇත්තේ ජැක්කා සමඟ පමණයි...

“ඉතින් ඌ කැමති වුනාද...?”

"ඌට බෑ කියන්න බැරි උදව්වක් මම ඌට කරලා තියෙන්නේ..."

"හරි බං... ඒ වුණාට උඹ උගෙන් ඇහුවද...?"

"ඔව්... දිගටම ඇණයක් වෙන්නේ නැත්නම් ඌට අවුලක් නැහැ..."

ජැක්කා විසින් කළ යුතු සියල්ල සිදුකර තිබුණා... මට කළ යුතුව තිබුණේ එකඟ වීම පමණයි... කෙටි නිහඬතාවයකින් පසු මා කටහඬ අවදි කලා...

"හ්ම්... කරනවනම් කරමු..." මාගේ සුපුරුදු පිළිතුර ජැක්කාගේ මුහුණට ගෙන ආවේ ජයග්‍රාහී සිනාවක්...

----
මේ සිදුවීමෙන් පසු අතිශය සාමාන්‍ය අයුරින් ගතවූ දින කිහිපයකින් අනතුරුව සති අන්තය ලඟා වෙමින් තිබුණා... වෙනසක් තිබුණා නම් ඒ වෙනදා නොතිබූ මොකද්දෝ නුහුරු හැඟීමක් විටින් විට හිත ඇතුලේ පෙරළි කිරීම පමණයි...පාසැල් කාලේ මුරණ්ඩුකමට සම්භාහන මධ්‍යස්ථානයකට යන්න මිතුරෙක් කථා කල අයුරුත්, පිළිකුලෙන් මම ඒක ප්‍රතික්ෂේප කළ අයුරුත් මතක් වී මගේ මුවගට සිනහවක් නැඟුනා...

"ෂුවර් එකටම හිත හිත ඉන්නේ ලංකාවෙ ඉන්න කෙල්ල ගැන..."


ආපනශාලාව දෙසට වැටී ඇති ගල් ඇතිරූ මාවත දිගේ හිනාවෙමින් මා වෙත ඇවිද එන ලාංකික මිතුරියන් දෙදෙනා මම දැක්කේ එවිට...

"නැතුව…මෙහෙ ඉන්නවද හිත හිත ඉන්න තරම් වටින අය..." මම කිව්වේ කට කොණකින් සිනා වෙමින්...

"හිතල බලන්න එපැයි වටිනවද නැද්ද කියලා..."


එසේ කියමින් ඇය මා වාඩිවී සිටි උස් සිමෙන්ති බැම්මට නඟිනවාත් සමඟම මම එයින් බිමට පැන්නේ මා එතැන ගත කල කාලය අවසන් බව ඔවුන්ට නොකියා කියමින්...

"ඔය යනවද...?"

නෝක්කාඩු ස්වරයෙන් ඇය නැඟූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, මා එනතුරු පාර කෙළවරේ සිටි ජැක්කා බලා සිටින බව ඔවුනට අතින් සන් කරමින් මා ඇවිද ගියේ ආපසු හැරෙන්නේවත් නැතිව...

දුර සිටම ඇවිද එන මා දෙස නොනවත්වා බලා සිටි ජැක්කා, මා සමීප වන විට මුවඟට නගා ගත්තේ කපටි සිනහවක්...

"රූම් එකට නේද යන්නේ..?"

මම ජැක්කාගේ සිනාව නොදැක්කා මෙන් කතාවක් අරඹන්න උත්සාහා කලා...

" උඹ දැන් ඒ ළමයා එක්කමයි නේද...?"

එයට පිළිතුරක් නොදීම අප නවාතැන දෙසට වැටී ඇති පාරට හැරුණු ඔහු පෙරළා මගෙන් ප්‍රශ්ණ කළා...

"එක්කමයි කියන්නේ...? උඹ මීට කලින් අපිව එකට දැකලා තියෙනවද...?"

ජැක්කා දෙස නොබලාම මම පිළිතුරු දුන්නා...

"මම දැක්කා ලඟදී ලයිබ්‍රරි එකෙත් ඩබල් ටේබල් එකක වාඩි වෙලා ඉන්නවා..."

" මගෙන් ලින්ක්ඩ් ලිස්ට්ස් ගැන අහගත්තා..."

"ඔච්චර වෙලා...? ලංකාවේ කොහෙද..? බර කෑල්ලක්ද...?"

"කව්ද දන්නේ..."

"ඇයි උඹ විස්තර ඇහුවේ නැද්ද..?"

"තේරුමක් ඇති දෙයක් කතා කරපන් බං..." මම කිව්වේ නොරිස්සුමකින්...

මඳ සිනහාවක් පෑ ජැක්කා කතාව වෙනතකට යොමු කිරීමට මා හට ඇති අවශ්‍යතාවය තේරුම් ගත්තා...

"අරූ මට කතා කලා... හෙට මම ඌව මීට් වෙන්න යනවා... උඹ එනවනම් වරෙං...."

"මීට් වෙන්න... ඇයි ඒ...?"

"මම කිව්වා ඉස්සෙල්ලා මට බලන්න ඕනි කියලා..."

"ඇයි ඒ....?"

"ඇයි ඒ… ඇයි ඒ… ගාන්නේ යකෝ... ඌ මොකෙක් අරන් එයිද කවුද දන්නේ...? කැන්ටිමේ ආන්ටි වගේ වුනොත් මොකද කරන්නේ...? ඒත් උඹට අවුලක් නැද්ද..?"

ඇත්ත තමයි... මට ජැක්කා ගැන ඇතිවුණේ පැහැදීමක්... මට ඒක කල්පනාවට ආවේ නැහැනේ...

"මට හෙට දවසම ප්‍රැක්ටිකල්... උඹ ගිහින් බලපන්... උඹට හොඳනම් මටත් හොඳයි..." අන්තිම වාක්‍යය මම කිව්වේ ඇත්තටමයි...

"හා..."

"මට හොඳ හැම එකම උඹටත් හොඳයිද...?"

තරමක නිහැඬියාවකින් පසු අප නවාතැන පෙනෙන මානයේදී ජැක්කා නැවතත් කටහඬ අවදි කලා...

"හ්ම්..."

"එහෙනම් මම දෙයක් කියන්නද...?"

"කියපන්..."

"අර කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ... උබට ඔයිට වැඩිය හොඳ කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් මචං..."

මා දෙස එක එල්ලේ බලමින් ජැක්කා කිව්වා...

"මම දන්නවා..."

"දැනගෙනත් අමාරුවේ වැටෙයි කියලා කිව්වෙ..." අප නවාතැනේ ගේට්‍ටුවේ අගුල හරිමින් ජැක්කා කිව්වා...
----
පසුදින උදෑසන මා පිටත් වුනේ තනිවම...දේශන මඟහැර ජැක්කා සමඟ යාමට ආ ආසාව මම මැඩගත්තේ මට මුදල් එවන්නට ‍රැකියාවත් සමඟ ඔට්‍ටු වෙන තාත්තා සිහිවීමෙන්...

"මොන පිස්සුව නැ‍ටුවත් ක්ලාස් එකක් අරන් තමයි ගෙදර යන්නේ..." චෝදනා කරන යටි හිතට මම පිලිතුරු බැන්ඳා... වචනයෙන් විස්තර කිරීමට අපහසු මොකද්දෝ නුහුරු හැගීමක් හිතට වද දුන්නත් වෙනදා විදියට දවස ගෙවන්න මම උත්සාහා කලා... "මොන පිස්සුව නැ‍ටුවත් ක්ලාස් එකක් අරන් තමයි ගෙදර යන්නේ..." කීපාරක් මටම එහෙම කියාගත්තාද මම දන්නේ නැහැ...එතරම් උනන්දුවකින් මම දේශන වලට සහභාගී වුනේ ජීවිතේ පලමු වරට වෙන්නට ඇති...වෙනකක් තබා දේශන අතරතුර සිසුන්ව නොනිඳා තබගැනීමට උත්සාහා ගන්නා වියපත් මහාචාර්යවරයාගේ දෙපිට කැපෙන නීරස විහිළු වලටත් කවදාවත් නැතිව මම හිනා වුනා...

දැන්නම් ජැක්කා ගිහිල්ලත් ඇති...දැනටමත් බලලද දන්නෙත් නැහැ...අප්සෙට් නම්..? එක අතකින් එහෙම වුනොත් හොඳයි... නොනවත්වා ගලාගෙන එන සිතිවිලි වලින් මිදෙන්නට මම මඟක් හෙව්වා...

විද්‍යාගාරයෙන් පුස්ථකාලයටත් පුස්ථකාලයෙන් ක්‍රීඩාගාරයටත් ක්‍රීඩාගාරයෙන් ආපනශාලාවටත් ලෙස ජැක්කා එනතුරු දවස පුරා හතර අතේ ඇවිදිමින් සිටි මම මේ වන විට හිටියේ පිරිමි වැසිකිළියේ... මා කරමින් සිටි කර්තව්‍යය හමාර වනතුරු බිත්තියේ කුරු‍ටු ගා ඇති අසභ්‍ය රූපයක් දෙස මා බලා සිටියේ වෙනදා නැති උනන්දුවකින්... අපේ වැඩේ හොඳට කෙරුනොත් ඒක මතක් වෙන්න මමත් මේ බිත්තියේ මොනවා හරි ලියනවා...මම තනියම හිතාගත්තා...

"මොනවද බං උඩ බලාගෙන කල්පනා කරන්නේ..." මා ඉන්නා තැන හොයා ගැනීමට ජැක්කාට ඇත්තේ පුදුම ඉවක්...

"උඹ ගියාද..?"

මා තුල වූ උනන්දුව සඟවන්නට මම උත්සාහ කලේ නැහැ...

"ඔව්... බැලුවා..."

"ඉතිං කොහොමද..?"

මා ඇසුවේ ජැක්කාගේ මුහුණේ ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින්... හැඟීම් වලින් තොර ඔහුගේ මුහුණෙන් වැඩි යමක් නොකියවුනත් වැසිකිලියේ බිත්තියෙන් එලියට නෙරා ආ පෝසිලේන් බැම්මට ඔබ්බෙන් ඔහුගේ දෑස් දිලිසුනා...

"මගෙත් එක්ක හිනාත්වුණා... දත් ටිකනම් මුතු ඇට වගේ..."

"එතකොට අනිත්වා...?" මම ඇහුවේ දෙගිඩියාවෙන්...

"අවුලක් නෑ...හැබැයි පාට ටිකක් කලුයි..."

"කවුරු වගේද...? "

"එහෙම හරියටම කියන්න බෑ බං..."

"කැන්ටිමේ ඇන්ටි වගේ නැහැනේ..."

"හා... හා... හා..." ජැක්කා මහ හඬින් හිනාවුනා පමණයි...

“හෙට උදේ නමයට...? උඹට වෙන වැඩක් නෑනේ..?”

"නෑ..."

“එහෙනම් මම නිගා එක්ක චෙක් කරලා කන්ෆර්ම් කරනවා..?”

"හා..."

මා හට තවත් සිතන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැහැ...

“අද උඹට කීයටද ඉවර වෙන්නේ...?”

“හතරට...”

“ඕකේ හතරට සමර් හට් එක ගාවට වරෙන්...”

දේශන නිමවී ඔහුත් සමඟ නවාතැනට යන නිහඬ පොරොන්දුව සමඟින් මම ජැක්කාට සමුදුන්නා...
තම ජංගම දුරකථනයත් කනෙහි රුවාගෙන මා වෙතින් ඉවතට ඇවිද ගිය ජැක්කා කොරිඩෝව අවසානයේ නොපෙනී ගියේ ආපසු හැරී මා වෙත මහපටඟිල්ල ඔසවා සියල්ල සතු‍ටුදායක බව සංඥා කිරීමෙන් අනතුරුවයි...
----
"මට ගෙදරට කෝල් එකක් දෙන්න ඕනි... " එදින සවස ගේට්‍ටුව අසලදී අප නවාතැනට දෙසට හැරුණු මා වළකාලමින් ජැක්කා කීවා...

"උඹ ගිහින් වරෙන්…"

කලින් ඇතිකරගත් එකඟතාවක් නොවුණත් මෙතෙක් කල් අප දෙදෙනාම නිවෙස් වලට දුරකතන ඇමතුම් දුන්නේ එක විට...කාලයක් කරගෙන ආ මේ පුරුද්ද හිටිහැටියේම වෙනස් වීම ගැන ඔහු පුදුම වෙන්නට ඇති...

"ඇයි උඹ ගෙදරට කෝල් කරන්නැද්ද..?"

"මේ සතියේ කෝල් කරන්නෑ... උඹ ගිහින් වරෙන්..."

ජැක්කා තනිකර මම නවතැන දෙසට පියමැන්නා...ගේට්‍ටුව වසද්දී මා දු‍ටුවේ පාරේ සිටිවනම මා දෙසම තවමත් බලා සිටින ජැක්කා...දිගු කතාවකට මුලපිරූ නවාතැන්පලේ ඇන්ටීට වචන කිහිපයකින් සමුදුන් මා උඩුමහලට දිවගියා...

වීජ ගණිතය ගැටලු කිහිපයක් විසඳාගැනීමට පැමිනි නවාතැන්පලේ ඇන්ටීගේ දියණිය විසින් මාගේත් මෑතකදී නිකුත් වූවා යැයි සිතිය හැකි පරිගණක ක්‍රීඩාවක් විසින් ජැක්කාගේත් රාත්‍රියෙන් වැඩි කොටසක් සොරා ගත්තා... තම පසුම්බියෙන් ගත් හත‍රැස් කාර්ඩ්බොර්ඩ් පැකට්‍ටුවක් මා වෙත විසිකිරීම හැරෙන්නට හෙට දිනයගැන රාත්‍රියේදී අප අතර සංවාදයක් ඇතිවූයේ නැති තරම්...
-----
තවත් එක් සෙනසුරාදාවකට හිරු උදා වුණා... "සියලු සත්වයෝ නිදුක් වෙත්වා..." දවසක උදාවේ නිදි යහනින් බසිද්දී මුමුනන්නට අත්තම්මාගෙන් පුරුදු වූ සිතිවිල්ල සුපුරුදු ලෙස අදත් දෙතොලග ‍රැව් දුන්නා... මේසය උඩ වසා තිබූ වතුර වීදුරුවත් ‍රැගෙන මම බැල්කනියට ගියා... කණා‍ටු ගැසුන කිරි එළදෙන සමග පැමිනි කිරිකරුවා ආන්ටි දුන් සුපුරුදු බෙලෙක් බඳුනට ගේට්‍ටුව ඉදිරිපස ඇනතියාගෙන කිරි දොවනවා... ප්ලාස්ටික් බඳුනක් අතකින් එල්ලාගත් අයෙක් සූරියකාන්ත වගාව දෙසින් එලියට එන්නේ දෙකට පැලූ ලුංගියත් කැසපොට ගසාගෙන... ආන්ටිගේ පරන කැසට් ප්ලේයරයෙන් වාදනය වෙන කාලයක් තිස්සේ ශ්‍රවණය වීමෙන් කනට පුරුදු වූ ගනේශා දෙවියන් වෙනුවෙන් ගැයන බැති ගීයක හඬ මැකෙන්නේ සැරදමා අතුරු මාර්ගයේ ඉඳහිට ඇදීයන ආටා රථයකින්…"ජය ගනේශ...ජය ගනේශ...ජය ගනේශ දේවා...මාතා ජාති පාර්වතී පිතා මහා දේවා..." ජැක්කා තවමත් නිදි... මුලු ලෝකයටම හැමදෙයක්ම වෙනදා වගේම සාමාන්‍යයි... එත් මට අද වෙනස් දවසක්...

අතුරු පාරවල් කිහිපයක් දිගේ ජැක්කා ඇවිදගිය අයුරින් ඔහු නිගාගේ නවාතැනට යන ප්‍රථමවතාව නොවන බව මා හට පසක් වූයෙන් මා නිහඬව ඔහු පසුපස ඇදුනා... තරමක් ජරාජීර්ණ වූ බිල්ඩිමක අපිරිසිදු තරප්පු පෙලක් නැඟීමෙන් අනතුරව හමුවූ කොරිඩෝවක් දිගේ දොරවල් කිහිපයක් පසුකර ගිය ජැක්කා "NO BULLSHIT PLEASE!" නම් වූ වැකියක් සහිත බිත්ති පෝස්ටරයක් අලවා තිබූ දොරක් ඉදිරිපිට නතරවුනා... කිහිපවරක් තට්‍ටු කලපසු විවෘත වු දොර පි‍ටුපසින් කාල වර්ණ කයකින් යුතුව යට ඇන්දුමකට සමාන කලිසමකින් පමණක් සැරසී නිගා අප ඉදිරියේ සිටගෙන සිටියා... මුවග සිනාවක් නොතිබුනත් අප සාදරයෙන් පිලිගන්නා බව ඔහුගේ ඉරියව් වලින් දිස්වුනා...අප නිවසට ඇතුලු වී සුලු මොහොතකින් වෙනත් ඇන්දුමකට මාරු වී සිටි ඔහු යතුරු කැ‍රැල්ලකින් තම වාහනයේ යතුර යැයි සිතියහැකි යතුර වෙන්කරගෙන ඉතිරි යතුරු කිහිපය ජැක්කා අත තැබුවේ නිහඬ මුවින්...

“Aren’t you gonna join with us…?”

ඔහු බැහැරට යන බව පෙනි පෙනීත් මම එසේ ඇසුවේ මෙතරම් උදව්වක් කරනා ඔහු සමඟ වචනයක් හෝ කථා නොකර සිටීම නොමනා යැයි සිතුණු නිසා...

“I never pay for Sex…”

ගැඹුරු හඬින් එසේ පැවසූ ඔහු ජීවිතේ පළමු වරට තම කිරිසුදු දසන් පෙන්වා මා හා සිනාසුනා …කඩිනමින් පඩිපෙල බැසයන ඔහුගේ පා හඬ මට නෑසී ගියේ ජැක්කා විසින් ක්‍රියාත්මක කළ රූපවාහිනියේ ශබ්ධයෙන්...
නිගාගේ සැපපහසු සෝපාවක දිග ඇදුනු මා ඔර්ලෝසුවට නෙත් යොමුකළා... "නවයට දහයයි" කෙතරම් වෙලා අප එසේ සිටියා දැයි මට කල්පනාවක් නැහැ...

"ඊයේ උඹට දුන්නු එක ගෙනාවනේ...?" ඉඳහිට වචනයකින් දෙකකින් ජැක්කා නිහඬතාවය බින්දා... මා හිස වැනුවා පමණයි...

ජැක්කාගේ කලබලකාරී ඇඟිලි වලට සිරවුනු දුරස්ථපාලකය නොනවත්වා ක්‍රියාත්මක වෙමින් තිබුණා... අරමුණක් නැතිව විටින්විට වෙනස්වන රූපවාහිනී නාලිකා දෙස බලා සිටි මාගේ දැහැන බිඳුනේ ජැක්කාගේ ජංගම දුරකථනය නාදවෙන හඬින්...රූපවාහිනියේ ශබ්දය නැවතූ ඔහු අනිත් අන්තයේ සිටින්නෙකුට නිගාගේ නවාතැනට එන මං සලකුණු විස්තර කරන්නට වුණා...

“සේරම හරිවගේ...”සැනසුම් සුසුමක් හෙලූ මා නානකාමරයට පියමැන්නේ අවශ්‍යතාවයකට නෙවෙයි...
සිසිල් වතුරින් මුහුණ තෙමාගත් මා නානකාමරයේ කණ්නාඩියේ සිටින මා දෙස බලා සිටියා... “මිනිහෙක් මිනිහෙක් වෙන්න ගෑනියෙක් එක්ක හිටියට පස්සේ” කලකට පෙර මාගේ ඥාති සොයුරෙක් තමාගේ විවාහ මංගල්ලයට දින කීපයකට පෙර ආඩම්බරයෙන් මා හා පැවසූ අයුරු මට සිහිවුණා... එතකොට මමත් මිනිහෙක් වෙන්නද යන්නේ...

“මචං…මචං… ආවා...” නානකාමරයේ දොර අසලින් ඇසුණු ජැක්කාගේ හඬේ තිබුණේ මොකද්දෝ නුහුරු ගතියක්...

“උඹ ඉස්සෙල්ලා පලයන්...”මම එලියට නෑවිත්ම පිළිතුරු දුන්නා... ඇය අප දෙදෙනාවම එකවිට දැකීම මගහැරීමට මට අවශ්‍යය වුණා විය යුතුයි...

තරමක නිහඬතාවයකින් පසු මා නානකාමරයෙන් ඉවතට එනවිට විසිත්තකාමරයේ කිසිවෙක් සිටියේ නැහැ... සෝෆාවේ දිගෑදුනු මා රූපවාහිනියේ ශබ්දය වැඩි කලා...
----
සිග‍රැට්‍ටුවක් දෙකක් දැල්වී නිවී යන්නට ඇති...අගුල හැරෙන හඬත් සමඟ විවෘත වූ දොර පියන් අතරින් ජැක්කා මතුවූවා... නැඟීසිටි මා ඔහු පිළිගැනීමට මෙන් පෙරමඟට ගමන් කළේ ජැක්කාගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්නට උත්සාහා කරමින් ... ස්වභාවයෙන්ම හැඟීමෙන් තොර ඔහුගේ මුහුණෙන් වෙනදා මෙන්ම අදහසක් ප්‍රකාශ වූයේ නැහැ... කෙසේ නමුත් මා බලාපොරොත්තු වූ පරිදි සියල්ල සතුටින් නිමාවූ තෘප්තිමත් සිනහවක් නම් එහි සටහන් වී නැතුවා වාගේයි...නිහඬතාවයෙන් යුතු තවත් තත්පර කිහිපයක් ගතවුණා... මා යමක් අසන්නට උත්සාහා කලත් එය ගිලගත්තේ ඇතුළට යන ලෙස ඔහු හිසින් සන් කළ නිසාවෙන්...ඔහුගේ විධානය පිළිගත් මා සෙමින් සෙමින් දොර වෙත පියනැගුවා...මඳක් විවෘතව තිබූ දොර හිඩැසින් එහා තිබුණේ තරමක අන්ධකාරයක්...ගැඹුරු හුස්මක් ගත් මා යුධබිමට පා තබනා සොල්දාදුවෙකු මෙන් සෙමින් දොර පියන විවර කළා...

ඔබ්බෙන් වූ ඇඳක් මත වාඩිවී ඇය සිටියේ මා වෙත යොමාගත් නෙතින්... කවුරුන් හෝ විසින් මුදාහල තිරරෙදි අතරින් ආ දුබල ආලෝකය නිසා කාමරය තුල තිබුනේ තරමක අඳුරක්... නමුත් ඇය ආයාසයෙන් මාවෙත හෙලූ ලෙංගතු සිනහව හඳුනාගැනීමට ඒ දුබල ආලෝකය ප්‍රමාණවත් වුනා...

හැකි සෑම විටම දුර්වලයා තලා පෙලා දමන ඉන්දියානු සමාජයේ ක‍ටුකත්වය විසින් අනුකම්පා විරහිතව ඇයගේ රූ සපුවට හානිකර තිබුණද උපතින් උරුම වූ සිත්ගන්නා සුලු බවක නටබුන් තවමත් ඒ තුළ ශේෂ වී තිබුණා...දුප්පත්කම සහ බොහෝවිට අධික ලෙස කය වෙහෙසීමත් නිසාදෝ පමණට වඩා කෙසඟ වූ ඇයගේ ශරීරයේ හැඩය මට සිහිගැන්වූයේ බටහිර විලාසිතා චැනලයක නිරූපිකාවක්...

තවදුරටත් මා හට ඇය නිරීක්ශනය කිරීමට ඉඩ නොදී මා වෙත නැඹුරු වූ ඇය, මාව ඇය වෙත ඇද ගත්තේ, මම දවසම ඇය දෙස එසේ බලා සිටිතැයි හැඟුනු නිසා විය යුතුයි...වයසින් පලපුරුද්දෙන් සහ කඩිනමින් මෙය හමාර කිරීමේ උනන්දුවෙන්ද ඇය සිටියේ මට වඩා ඉදිරියෙන්...මට තිබුණේ සහාය වීම පමණයි...පළපුරුදු කෝකියෙකු පියවරෙන් පියවර ආහාරයක් සකස් කරන්නාක් මෙන් මාගේ ජීවිතයේ අලුත්ම අත්දැකීමක් ඇය කඩිසරව පියවරෙන් පියවර ලබා දෙමින් සිටියා...සියල්ල සතුටින් ආරම්භ වෙමින් තිබුණා...මා වික්ශිප්ත කළ ඒ සිදුවීම නොවන්නට සියල්ල සතුටින් නිමාවීමටත් ඉඩ තිබුණා...

නිගාගේ කාමරය දෙදෙනෙකුට වාසය කළ හැකිවනයුරින් එකිනෙකට වෙන්ව තැබූ ඇඳන් දෙකකින් යුක්තව සකසා තිබූවක්...මේ මොහොතේ එතුළ සිටිය යුතු වන්නේ ඇයත් මමත් පමණක් බැවින් අනෙක් ඇඳ ගැන මා හට අවධානයක් යොමුකිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ...

නමුත් අනපේක්ෂිතව ඒ දෙසින් ඇසුණු ශබ්ධයක් නිසා ඒ දෙස නෙත් යොමුකළ මා හට දකින්නට ලැබුනේ නෙත් අදහාගත නොහැකි දර්ශනයක්...ඇඳ මත එළා ඇති කුඩා රෙදි කැබැල්ලක් මත උඩුකුරුව හොවා ඇති කිරිකැටි බිළි‍ඳෙක් තම නිල්වන් දෙනෙත් අප දෙදෙනා දෙස යොමාගෙන සිටියා...

කිසිවක් වටහාගත් නොහැකි වූ මා ඇය පසෙකට තල්ලු කොට ඇ‍ඳෙන් බිමට පැන ඒ දෙසට ලං වූයේ මා දකින්නේ මායාවක් නොවන බව පසක් කරගැනීමට...

තම හුරුබුහුටි දෙ අත් මිට මොළවා ගෙන බකල ගසා ගත් කකුළින් යුතුව උඩුකුරුව වැතිරී උන් බිළිඳා තමා වෙත කිට්‍ටු වූ අමුත්තා දෙස පෙරටත් වඩා උනන්දුවෙන් බලා සිටියා...

"බ්...බච්චා.....?" ආයාසයෙන් මුවඟට නඟා ගත් හිංදි වචනයක් පිටකරගැනීමට මට හැකිවූවා...

"මුශ්කිල් නහී...." මාගේ බලාපොරොත්තු නොවූ හැසීරීමෙන් අපහසුවට පත්ව සිටි ඇය අයාසයෙන් නඟාගත් වරදකාරී සිනහවකින් යුතුව පිළිතුරු දුන්නා...

අසුරු සැනින් ඇඳ වෙත දිව ගිය මා කලබලයෙන් ඇන්දුම් පටලවා ගන්නා අතර ඇය තවත් මොනවාදෝ පැවසීමට උත්සාහා කළත් දෙතොල් සෙලවුණා මිස වචන පිටවූයේ නැහැ...

තවත් මොහොතක් වත් එතැන නො‍රැඳුනු මා කාමරයෙන් ඉවතට දිව ආවා...මාගේ අනපේක්ශිත දර්ශනයෙන් කලබල වූ ජැක්කා සෝෆාවෙන් නැඟී සිටියා...

"ඇයි මොකද....?"

"යකෝ පොඩි එකෙක් ඇතුළේ........!"

"ඔව් මචං... මේ ගෑනි පොඩි එකෙකුත් එල්ලගෙනනේ ආවේ... උඹත් බාත් රූම් එකේ හිටියේ... "

ජැක්කාගේ අසරණ හඬ ඉදිරියේ මා නිහඬ වුණා...

"අවුලක් නෑ... උඹ ෂේප් එකේ............." ජැක්කා කියන්නට යන්නේ කුමක්දැයි අනුමානයෙන් දැනගත් මා, ඌට වාක්‍ය ඉවර කරන්නට ඉඩ නොදී ඌවත් පසෙකට තල්ලු කර නිවසින් එලියට පැන ගත්තා...

"I never pay for Sex…"

නිගා ගේ හඬ විසල් යෝධයෙකුගේ හඬක් ලෙසින් තරප්පුපෙල බැසයන මා සවනත ‍රැව් පිළි‍රැව් දුන්නා...
Web Statistics