Wednesday, August 29, 2012

65. සඳ ගමනේ අභිරහස–අවසන් කොටස (විද්‍යා ප්‍රබන්ධයකි)

මෙතෙක් කතාව…
නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස්  මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… පසුව ඔවුන්ගේ කාර්යාලයෙන් ස්ක්වයිරස් මහතා අදාල ලිපිය ලබාගන්නා අතර එහි සඳහන් වන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් තමාට අයිති රහස් සේප්පුවක සඟවා ඇති බ්‍රීෆ්කේසයක් පිළිබඳවයි… [සම්පූර්ණ කොටස කියවන්න මෙතැනින්…]



රියදුරා විසින් තම ජී. පී. එස්.  තිරයේ සටහන් කල ගමනාන්තය වන බෑන්ක් ඔෆ් ඇමෙරිකා ශාඛාව කරා නිල රථය ඉගිලෙන අතරේ මෙතෙක් වූ සිදුවීම් සියල්ල මා ඉවසිල්ලෙන් සමාලෝචනය කරන්නට පටන්ගත්තා… රාජකාරීමය පීඩනය යනු මාගේ වෘත්තීය දිවියට කිසිසේත්ම නුපුරුදු දෙයක් නොවෙයි… නමුත් මෙවර..??

“මානව සංහතියේම විශාලතම රහස මෙයයි… සමහරවිට එය විශ්වයේම විශාලතම රහස වන්නටද පුළුවන්…”

නීල්ගේ වදන් මා හදවතේ රැව් පිලිරැව් දුන්නා… සැලසුමකට වැඩ කිරීම කුඩා කල පටන්ම මා පුරුදු වූ දෙයක්… මෙතරම් භාරදූර කාර්යයකට මා නිවැරදි සැලසුමක් සහිතවද මේ අතගසන්නේ..? අවදානම කෙතරම්ද…? බැකප් ප්ලෑන් මොනවාද..? නාසාහි ප්‍රධාන විධායක ලෙස ඇමෙරිකන් ධජයට වගකියන්නට මා දිවි හිමියෙන් බැදී සිටිනවා නොවෙද..? වගකිවයුතු කිසිවෙකු දැනුවත් නොකර මේ තබන්නට යන පියවර කෙතරම් නිවැරදිද..? එක පිට එක මා සිත තුල නැගෙන මේ ගැටළු සියල්ල තව තවත් මා පෙළන්නට වුනා… මේ කිසිවකට පිළිතුරු මා සතුව තිබුණේ නැහැ…

මා දරනා වගකීම් තුල කුඩා හෝ වැරැද්දකට ඉඩක් නැති බව මා හොඳින් දන්නා දෙයක්… මේ ආකාරයෙන්ම නොවුනත් මෙවැනි සංවේදී අවස්ථාවන් කල්තබා අනුමාන කරගෙන එහිදී අනුගමන කළයුතු ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න අප බොහෝ වාරයක් පුහුණුවී තිබෙනවා… ඇමෙරිකානු රජයට මෙහි ඇති බලපෑමේ සංවේදීතාවය කිරා මැන බැලූ මා එය කෝඩ් රෙඩ් හෙවත් අතිශය සංවේදී කාරනාවක් බව තීරණය කලා… මෙවැනි අවස්ථාවක  තම හිතුමතයට වැඩකිරීමෙන් විය හැකි හානිය කෙතරම්ද යන්න ගැන මා හට අමුතුවෙන් කියාදියුතු නැහැ… ඉතින් වගකිවයුතු සිවිල් පුරවැසියෙකු ලෙසත්… වෘත්තීය අත්දැකීම් වලින් පිරිපුන් ජේශ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ලෙසත්  මා තීරණයක් ගත්තා… ප්‍රොටෝකෝල්ස් ෆලෝ කරපන් ස්ටීව්…


“රාජේශ්… මට බොන්න මොනවා හරි අවශ්‍යයි…”

මා එසේ පවසනුයේ කාර්යාලයට යනතුරු පමා විය නොහැකි සංවේදී දුරකථන ඇමතුමක් ලබාගන්නට අවශ්‍යය වූ විටෙක බව ඔහු දන්නවා… නුදුරක වූ ඉන්ධනපිරවුම් හලකට රථය ඇතුළුකල ඔහු එන්ජිම ධාවනය වෙන්නට ඉඩහැර අසල පිහිටි අවන්හල වෙත පියනැඟුවේ එය වටහාගත් පරිද්දෙන්…

ජනපති සම්බන්ධීකරන අංශයේ නාසා ආයතනය භාරව සිටින නියෝජිතවරිය මොහොතකින් මා සම්බන්ධ කරගත්තා…

“ග්‍රේස්… මගේ ප්‍රියාවියේ ඔයා හොඳින්ද…?”

“චාටු කතා වෙන දවසකට ඉතිරිකරගන්න ආචාර්යතුමා… ජනාධිපතිතුමා උදේ අහාරයට කලින් පිළිතුරුදෙන අන්තිම දුරකථන ඇමතුම මේ දැන් අවසන් උනා…”

“කොච්චර අවාසනාවක්ද..? ඒ කියන්නේ කෝටි ගානක් මිනිස්සු මරලා දාන්නද ග්‍රේස් ඔබ හදන්නේ..?”

“මිනිස්සු හරි වැඩියි මේ ලෝකේ කොහොමත්… ඉතින් ඒක හොදයි… එහෙම නේද..?”

“හහ්… හා… මට ඔහුව දෙන්න පුළුවන් වෙලාව කියන්න එහෙනම්…”

“ම්ම්ම්.. ඉන්න බලමු… පෙරවරු හතයි පනස් පහේ සිට අටයි විස්ස දක්වා කොලරාඩෝ රැළියකට යන අතරවාරයේ අපිට විනාඩි විසිපහක් තිබෙනවා… ඇමතුම් හතරක් දැනට පෝලිමේ… ඔබට පස්වෙනි ඇමතුම දෙන්න හැකියි, නමුත් ස්ටේටස් එකනම් එන්නේ ඕවර් බුක්ඩ්…“

“ආචාර්ය ස්ක්වයිරස්ට කවදාවත් ජනාධිපතිතුමාව ඕවර් බුක්ඩ් වෙන්න විදියක් නැහැනේ ග්‍රේස්...?”

“එහෙනම් ජනපතිතුමාගේ උදෑසන කෑමවේලට බාධාකරන්න තරම් මම නිර්භීත වෙන්නේ ඕනේ ඇයි කියලා ඉස්සෙල්ලාම මට තහවුරු කරන්න ආචාර්යතුමා…”

“මේ මියගිය නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා සම්බන්ධයෙන්…  කෝඩ් රෙඩ්…”

“ඔහොම රැඳී ඉන්න ආචාර්යතුමා…”

“අයි ලව් යූ…”

“ස්තූතියි… ඔබ අද උදෑසන සිට මට ආදරය ප්‍රකාශකල විසිවෙනියා… රැඳී ඉන්න…”

ඇයගේ උත්සාහය සාර්ථකවනු ඇතිදැයි සැකයෙන් මා ගතකල ඒ මිනිත්තු කිහිපය මට දැනුනේ පැයක් මෙන්…

“ගරු ජනපතිතුමා සම්බන්ධ වීමට නියමිතයි… ”  සුපුරුදු ස්වයංක්‍රීය පණිවුඩය ගලා ආවේ මා බලාපොරොත්තු ඉටුකරමින්… මෙම පණිවුඩයෙන් පසු ඔහුව සම්බන්ධ නොවීමට ඇත්තේ සියයට පණහකට වඩා අඩු සම්භාවිතාවක් බව අප අතර ප්‍රකට තියරියක්…

“මේ අතේ හදපුවද..? ස්ටීවන් කියන්න… අයිස් එපා…”

සුළු වේලාවකට පසු ඇමතුම සම්බන්ධ වූයෙන් ජනපතිතුමා මට සවන්දෙමින් සිටිනා බව ආයාසයකින් තේරුම් ගත් මා කෙසේ හෝ  මට හැකිතරම් පැහැදිලිවත් කෙටියෙනුත් ඔහුට උදෑසන සිට සිදුවූ සියල්ල පවසා සිටියා… සාවධානව සියල්ල අසා සිටි ජනපතිතුමා මට බාධා කලේ වරක් හෝ දෙවරක් පමණයි… අනතුරුව ඔහු කතාකරන්නට වුනා…

“ස්ටීව් ඔබ දැන් එතැනට යන්න… සාමාන්‍ය විදියට එය ලබාගන්න… නමුත් විවෘත කරන්නට එපා… ඔබට නැවත පැමිනෙන්නට පහසුකම් සහ ආරක්ශාව සපයන්න මම ආරක්ශක ලේකම්තුමාට දැන්ම කියන්නම්… පෙන්ටගනයට පැමිණ ඔබ එය ආරක්ශක ලේකම්තුමාට භාර දෙන්න… දැනට එපමණයි… ඔබට ස්තූතියි… ගුඩ් ලක්…”

“ස්තූතියි ජනපතිතුමා…”

ඇමතුම හමාරකල මට දැනුනේ ලොකු සැහැල්ලුවක්… සියල්ල දැන් වඩාත් සංවිධානාත්මකයි… මාගේ ඇමතුමෙන් පසු නැවත වාහනයට පැමිණි රියදුරු ලබාදුන් සීතල වතුර බෝතලය විවෘත නොකරම ශීතකරණයට දැමූ මා ඉදිරි පියවර කිහිපය සැලසුම් කරන්නට පටන්ගත්තා… මේ අතරේ සෙක්ඩෙෆ් හි ප්‍රධානී ලියොන් පුද්ගලිකවම මා අමතා පෙන්ටගන් වෙත යෑමට අවශ්‍ය පහසුකම් පැය භාගයක් ඇතුළත සැපයෙන බව තහවුරු කලෙන් සැනසුම් සුසුමක් හෙලූ මා මින්පසුව නැවතත් සිතන්නට පටන් ගත්තේ මෙම බ්‍රීෆ්කේසයේ ඇති වටිනා රහස කුමක්ද යන්නයි… මා මිතුරා නීල් ඒ අද්විතීය පා සලකුණ තබනායුරු එවකට වසර දහතුනක කොලුගැටයෙව සිටි මා රූපවාහිනියෙන් ආශාවෙන් නැරඹූ අයුරු මට සිහිවූවා… එයින් වසර ගණනාවකට පසුව එදාසිට අද දක්වාම සුරැකුනු මේ රහසේ භාරකාරයා වීමට මටම සිදුවීමම කෙතරම් නම් පුදුමක්ද..?

සැබවින්ම එදා සඳමතදී සිදුවූයේ කුමක්ද? මාහට සිහිවූයේ එහිදී සිදුවූවා යැයි පැවසුනු එක් සුවිශේෂ සිදුවීමක්… පසුකාලීනව සමහරක් මාධ්‍ය මඟින් මේ ගැන කතාකරන්නට උත්සාහාකලත් අප ආයතනය මඟින් ඒවා හුදෙක් කටකතා පමණක් බව පවසා සිටියෙන් ඒ සඳහා ලැබුනේ උදාසීන ප්‍රතිචාරයක්… ඉතින් චිත්‍රපටයකදී හෝ ප්‍රබන්ධ කතාවකදී ඉදහිට සඳහන් වනවා හැරෙන්නට මේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් විමසීමක් ඇතිවූයේ නැහැ… මේ සුවිශේෂී සිදුවීම නම් නීල් සඳමත පා තැබූ විගසින් ඔහු හා ඊගල් සඳ යානයත්, හූස්ටන් පාලක මැදිරියත්  අතර  මිනිත්තු 26ක රේඩියෝ බ්ලැකවුට් හෙවත් සබඳතා බිඳවැටීමක් සිදුවූ බවයි… මා මිතුරු බස් ඇල්ඩ්‍රින් ඊගල් යානයෙන් පීටවූයේ  ඊටත් මිනිත්තු 19කට පසු සබඳතා සියල්ල යථා තත්වයට පැමිණි බව සැක හැර දැනගැනීමෙන් අනතුරුව බැවින් ඔහු යානයේ නතරවී සිටි මේ සම්පූර්ණ කාලය තුළ  සඳ යානයෙන් එලියේ සිදුවූ යමක් ඇත්නම් එය දැනසිටියේ නීල් පමණයි… මේ සුළු කාලය අතරේ ඔහු සොයාගත් වටිනා රහසක් මෙසේ සඟවා තැබුවාද..? මා සිතන්නට වුනා…

ඒ සමඟම කවුළුවෙන් එලියේ මා දුටුවේ බෑන්ක් ඔෆ් ඇමෙරිකා ගොඩනැඟිල්ල… සියල්ල සිදුවෙමින් තිබුණේ ඉතා කඩිනමින්… මා අත පත්වනුයේ නීල්ට අනුව මානව සංහතියේ ලොකුම රහස වුවද බැංකු සේවකයන්ට එය තවත් පාර්සලයක් පමණයි… ස්වල්ප පමාවකින් අනතුරුව බැංකු සේවකයෙකු සමඟ මා සිටියේ අදාල සේප්පුව ඉදිරියේ… සේප්පුව විවෘත කිරීමට අදාල උපදෙස් දීමෙන් අනතුරුව ඔහුද නික්ම ගියෙන් ඉතිරි වූයේ මා පමණයි... වෙවුලන ඇඟිලි තුඩුවලින් යුක්තව නීල්ගේ ප්‍රියතම තරුවේ නම මා සෙමින් සේප්පුවේ යතුරු පුවරුව හරහා ඇතුළු කලා… දෙවෙනි උත්සාහයේදී ඇරුණු සේප්පුව ඇතුලෙන් මා දුටුවේ ඔහු පවසා තිබූ පරිදිම කළුපැහැ බ්‍රීෆ්කේසයක්… මා හුස්ම මොහොතකට නැවතුනා කීවොත් නිවැරදියි… සුරැකිව එය ඉවතට ගත් මම කලබලයක් නැතිවම සාමාන්‍ය පරිදි බැංකුවෙන් පිටවුනා…

බැංකුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටම නවතාගෙන සිටින කලුපැහැ කැඩිලැක් වර්ගයේ එස් යූ වී රථ තුන මා රැගෙන යෑමට පැමිණි සෙක්ඩෙෆ් නිලඬාරීන්ගේ බව විශ්වාස කල මා ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ මැද තිබූ වාහනයේ අසුන්ගත්තා… සාමාන්‍යයෙන් සිදුනොවෙන පරිදි පිටත දර්ශනද අපැහැදිලි වෙන තරම් අඳුරු කර ඇති වාහනයේ පැති වීදුරු වලින් ඉවත නැරඹූ මා හට වැටහුනේ අප පෙන්ටගන් බලා ගමන් කරමින් තිබූ බවයි… කිලෝමීටර පහක පමණ මේ ගමනට එතරම් වේලා ගත නොවන බව නිසැකයි… බ්‍රීෆ්කේස්ය සුරැකිව ඇතිබව නැවතත් තහවුරු කරගත් මාහට සියල්ල හොඳින් සිදුවීම පිළිබඳව තිබුණේ නොමඳ සතුටක්…

මේ වනවිට මා ගතකරමින් සිටියේ දිනයේ අසීරුම අවස්ථාව… බුද්ධිය පරයා නැගෙන හැගීම් පාලනය කරගන්නට මාහට මහත් උත්සාහයක් ගන්නට සිදුවුනා… මා ඇකයේ සුවසේ පසුවෙන්නේ වසර හතලිස් තුනක් පුරා මුළු ලෝකයෙන්ම සුරැකිව රැකි රහසක්… මානව සංහතියේම සුවිශේෂ රහස මේ යැයි නීල් පැවසුවේ මන්ද..? මෙය විශ්වයේම ලොකුම රහස වියහැකි බවටද ඔහු සැක පහල කර තිබුණා… එසේනම් ඔහු මෙතරම් කලක් මෙය සඟවාගෙන සිටියේ ඇයි..? මෙහි සැබැවින්ම ඇත්තේ කුමක්ද..?  බ්‍රීෆ්කේසයේ යතුරු පුවරුවේ ඇති අංක කිහිපයක් සුසර කරනා පරක්කුවෙන් මේ සියල්ලට විසඳුම් ලබාගත හැකිබව මා දැන සිටියා… විවෘත නොකරම මෙය ලියොන්ට ලබාදුනහොත් සමහරවිටෙක දිවි ඇති තුරාවට මෙහි ඇති රහස මට දැනගැනීමට නොහැකිවෙන්නත් පිළිවන්… අනෙක නීල් ගෞරවනීය සිවිල් පුරවැසියෙක්… ඔහු මෙය රජයෙන් වසන් කිරීමට තීරණය කෙරුවේ ඇයි..? ඔහු මියයෑමෙන් පසුවත් එය දැනගතයුතු පුද්ගලයා බවට මා තෝරාගත්තේ ඇයි..? නිසැකවම ඒ මාගේ තනතුර නිසා නොව ඔහු හා මා අතර තිබූ මිත්‍ර සම්බන්ඬය නිසා බව මට වැටහෙන්නට වූවා…

ඉතින් මා මැදිව සිටියේ මහත් උභතෝකෝටික ගැටළුවකට… සුපිරිසිදු වෘත්තීය ජීවිතයක් හිමිව සිටි මා ජීවිතයේ පළමු වතාවට ඉතාමත්ම අසීරු සහ අවදානම් තීරණයක් ක්‍රියාත්මක කරන්නට පෙළඹුනා… ඒ ආරක්ශක ලේකම්තුමාට භාරදීමට ප්‍රථම  බ්‍රීෆ්කේසයේ ඇත්තේ කුමක්දැයි පරීක්ශා කිරීම…  වැඩි කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… මේ දැන්ම නොවේනම් ආයේ කවදාවත්ම නොවෙයි… ඉදිරිපස ඇති කළු ආවරණය නිසා රියදුරා මාහට නොපෙනුනත් ඔහුටත් එසේමදැයි මා දැන සිටියේ නැහැ…

“ගමනාන්තයට තව කොපමණ වෙලාවක් යනවාද..?”

මා සද්ද නඟා ඇසුවේ ඔහුට මා කරනා දේ පෙනෙනවාදැයි අදහසක් ලබාගන්නා අටියෙන්… ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන දෙවනිවරටද මා එකම ප්‍රශ්ණය ඇසූවද ලැබුණු පිළිතුර නිහඬතාවය පමණයි… අපහසුවෙන් ඉදිරිපස කවුළුවක් හැරගත් මා රියදුරු අසුන වෙත නෙත් යොමුකල විට දුටුවේ නෙත් අදහාගත නොහැකි දර්ශණයක්… එහි රියැදුරෙක් වූයේ නෑ… දුරස්ථ පාලකයකින් ධාවනය වනවා යැයි සිතිය හැකි මෙම වාහනයේ සිටි එකම මිනිසා මා පමණයි… මා හනික උත්සාහා කලේ අනෙක් වාහන දෙක කොහිදැයි බැලීමටයි… අඳුරු පැහැ වීදුරු අතරින් අපහසුවෙන් එලිය බැලූ මා දුටුවේ  ඒවායේ හෝඩුවාවක්වත් සොයාගත නොහැකි බවයි… ඒ සමගම මා දැන් සිටින්නේ  ආර්ලින්ග්ටන් බලා දිවෙන ජනාකීර්ණ  කොන්ස්ටිටුෂන් ඇව්න්‍යු මාර්ගයේ නොවන බවටත් මේ අතහැර දමා ඇති පාළු ගුවන් යානා පථයක් වැනි ස්ථානයක් බවත් දුටු මාහට කොතැනක හෝ ලොකු වැරදීමක් සිදුවී ඇති බව පසක් වන්නට වුනා… වාහනය නැවතී තිබුණෙන් මා උත්සාහා කලේ බ්‍රීෆ්කේසයද රැගෙන ඉන් ඉවතට පැනගැනීමටයි… බලාපොරොත්තු වූ පරිදිම දොරවල් විවෘත නොවන පරිදි අගුලු වැටී තිබුණු අතර වෙඩි නොවදින වීදුරු කඩා දැමීමට මා උත්සාහයක්වත් ගත්තේ නැත්තේ එය නිශ්පල බව දන්නා නිසයි… තවත් සුළු මොහොතකින් මා වාඩිවී සිටි අසුන යටින් ඇසෙන්නට පටන්ගත් ශබ්ධය ස්වයංක්‍රීයව පණගැන්වුන නවීන කාලබෝම්බයක ටයිමරයේ හඬ බව හමුදා පුහුණුවීම් කිහිපයකටම සහභාගී වී සිටි මාහට හඳුනාගැනීමට අපහසු වූයේ නැහැ…

අපහසුවෙන් ආසනයේ කුෂන් ආවරනය ඉවත් කරගත් මා ආසනය යටට නැඹුරු වූයේ මාහට ජිවත් වීමට තවත් කොපමණ කාලයක් ඉතිරිව ඇතිදැයි අනුමාන කරගන්නා අටියෙන්… රතු පැහැ ඉලක්කම් සහිත ඩිජිටල් තිරයක අංක 008 සිට තත්පරයක් පාසා අවසන් ඉලක්කම අඩුවෙමින් තිබෙනා අයුරු දුටු මාගේ තොල කට වියලී ගියා…

හදිසියේම මට සිහිවූයේ මොහොතකින් මා සමඟම විනාශ වී යන්නට නියමිත බ්‍රීෆ්කේසයේ රැඳි රහසයි… කලබලයෙන් ඒ අසලට දනගා ගිය මා කඩිනමින් රහස් අංකය ඇතුළු කරන්නට වුනා… අංක තුනක් ඇතුළු කලයුතු යතුරු පුවරුවේ දෙවනි අංකය ඇතුළු කර හමාර වනවිටම මා දුටුවේ අසුන යට වූ ඩිජිටල් පුවරුව 000 ලෙස තෙවරක් නිවී දැල්වෙන අයුරු…

-නිමි-

ප.ලි. : ඉතින් ඔන්න ඔහොමලු වුනා කියන්නේ… ඇමෙරිකා එක්සත් ජනපදයේ මංතොටවල් ගැන තොරතුරු සැපයූ ඇල්කෙමියාටත්… චැට් එකෙන් නිරතුරුව ලඟින් රැදී සිටිමින් මෙම කථාවට ඇති උනන්දුව පලකල මිතුරු මිතුරියන්ටත්, කියවූ, කමෙන්ට් කල ඔබ සැමටත් නොවක් තුති…

84 comments :

  1. කෝඩ් රෙඩ්!! අයියෝ!!!!!!

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්. ඇත්තටම සිදුවූ දෙයක් වගේ. කතාව අවසානයේ, විනාඩි ගණනාවක් කල්පනා කරගත නොහී තිරය දෙස බලා සිටියා කීවොත් වැරදි නෑ. ලියලා තියෙන්නේ, හරියටම ඔබ එතන හිටියා වගේ. ඇමරිකානු ජනාධිපතිතුමා හා නිතර කතාබහ කරන කෙනෙක් වගේ. ඇමෙරිකාවේ පාරවල්වල නිතර ගමන් කරන කෙනෙක් වගේ.

    සිංහල හා ඉංග්‍රීසි පොත්පත් බොහොමයක් කියවා තිබෙනවා. ඒත් ඒ හැම එකක් අතර, මේ කතාවට හිමිවෙන්නේ උසස් තැනක් බව අනිවාර්යයෙන් කිවයුතුයි.

    මගේ සුබ පැතුම් ඔබට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පොඩ්ඩි... ඇමරිකානු ජනාධිපතිතුමා හා නිතර කතාබහ නොකලාට. ඇමෙරිකාවේ පාරවල්වල නිතර ගමන් නොකලාට සතිඅන්තේ බලන චිත්‍රපටි වලින් ඒ දෙකම නොඅඩුව කරනවා... :D

      Delete
  3. @$#$ %$^ &%&^* $^%$^%&% %&^*&(& #%#&%*^*(&(& ^#

    මේ කතාව හොඳට ලියලා තියෙනවා.. හැබැයි මොන කෙහෙල්මලකටද මන්දා මට හිතුනා මේ රහස නම් එළිවෙන්නේ නෑ කියලා... මාත් පහුසිය ටිකේ ඔයම ටයිප් කතාවක් ලිව්ව නිසාද මන්දා?

    ReplyDelete
    Replies
    1. මම කියවපු හොදම විද්‍ය ප්‍රබන්දයද මන්දා මේක , සුපිරිම ,සුපිරියි බං

      Delete
    2. හරී... අටම් ගොඩක් ස්තූතියි...

      Delete
  4. උඹවනම් කෑවත් මදි ගර්..ර්..ර්..ර්

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ උඹ වෙජිටේරියන් කියලා :)

      Delete
  5. භුතයෙක් ලියයි................... :D

    ReplyDelete
  6. අවසානය පාඨකයාගේ පැත්තෙන් අසාධාරණයි. ප්‍රබන්ධකරුවකුට රචකයා නොමඟ හැරීමේ අයිතිය තියෙනවා. නමුත් (වෙනත් සාධාරණ හේතුවකින් තොරව) පාඨකයා අසංතෘප්තියට පත් කිරීමට අයිතියක් නෑ.

    සරත්මධු එක කතාවකදී තම වීරයෙක් (මතක හැටියට යුනිකෝ) යවනවා ලෝකයේ ලස්සනම ගැහැණිය හොයා ගෙන. නමුත් ඔහු කවදාවත් ලෝකයේ ලස්ස්නම ගැහැණිය කතාවේ පෙන්නන්නේ නැහැ. එතැන පෙනෙන්නේ ඔහුගේ අසාර්ථකත්වය. ඔහුට පිළිගන්නවා ඔහුට බැරි බව ලෝකයේ ලස්ස්නම ගැහැණිය අඳින්න. මේකත් ඒ වගේ.

    පාඨකයා සමඟ සෙල්ලම් කරන්න එපා. නිර්මාණකරුවකු විසින් කළ හැකි දරුණුම වරද ඒ.

    ReplyDelete
    Replies
    1. ‍\\ප්‍රබන්ධකරුවකුට රචකයා නොමඟ හැරීමේ අයිතිය තියෙනවා.//

      වැරදිලා නේද? :)

      හ්ම්.......... හරිම අප්සට් තමයි මෙහෙම ඉවර වුනහම........ ඒත් මේ වගේ ඉවර කරපු කථා සාහිත්‍යයට ලොකු සේවයක් කරපු රචකයොත් ලියලා තියෙන නිසා මට හිතුනේ ඒකත් එක ක්‍රමයක් කියලායි.‍...

      Delete


    2. මේ කතාවයි කමෙන්ට් ටිකයි කියවලා බලන්නකො...

      ලින්ක් දැමීම ගැන බීටල් ඇත්තෝ ගැත්තාට සමාවෙන සේක්වා..

      Delete
    3. @RanDil

      ඔහු අදහස් කරන්නේ

      "ප්‍රබන්ධකරුවකුට පාඨකයා නොමඟ හැරීමේ අයිතිය තියෙනවා. නමුත් (වෙනත් සාධාරණ හේතුවකින් තොරව) පාඨකයා අසංතෘප්තියට පත් කිරීමට අයිතියක් නෑ."

      බවට සැකයක් නෑ...

      @ලේඛකයා

      ඇත්තටම මේ කතාවේ අවසානයට රහස එළිකලයුතු යැයි ඔබ අදහස් කරනවාද..? එසේත් නැතිනම් රහස හෙළිනොකර පාඨකයා තෘප්තියට පත්කල හැකි වෙනත් ක්‍ර්මයක් මට සිතාගැනීමට අපහසුයි...

      රහස හෙළිකරනවානම් ලොවෙත් නැති පුදුම රහසක් මා නිර්මාණය කරගත යුතුයි... ඔබ කතාව සාර්ථකයි කියන්නේ ඒ රහස නිර්මාණය කරගැනීමට ඇති හැකියාව මත විය හැකියි... phew... එය අතිශයින්ම අපහසු කාර්යයක්.. :(

      ස්තූතියි ඔබේ ප්‍රතිචාරය ගොඩක් වටිනවා...

      ස්තූතියි හරී ලින්ක් එකට සහ ප්‍රතිචාරවලට...

      Delete
    4. වැරදිලා නැහැ. රචකයකුට පාඨකයා නොමඟ ඇරීමේ අයිතිය තියෙනවා. ඒක සුලබ දෙයක්. The Day of The Jackal වල අවසාන වනතුරුම පාඨකයා හිතන්නේ වෙන්ට ඝාතකයා Charles Calhtrop කියලා. නමුත් ඝාතකයා මළාට පස්සේ Charles Calhtrop ගෙදර එනවා! එතකොට වෙන්ට ඝාතකයා Charles Calhtrop නෙවෙයි නම් කවුද? පාඨකයා කවදාවත් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නෙ නෑ. මේක සාධාරණයි. මොකද කෘතියේ අරමුණ ඒක නෙවෙයි.

      පාඨකයාට අසාධාරණයක් කළ කෘතියක් හැටියට මා ගන්නා දර්ශීය උදාහරණය ෆෝසයිත් ගේම The Veteran පොතේ එන The Citizen කතාව. මේ කතාවේ 'දුෂ්ඨයා' වන්නේ පාඨකයා විසින් හොඳ මිනිසකු හැටියට හඳුනා ගන්නා චරිතය. නමුත් ඒ චරිතය රචකයා විසින්මයි හොඳ මිනිහෙක් කරන්නේ. ඒක ඔට්ටු නෑ. වැට උඩ තියලා පස්සේ එක පැත්තකට තල්ලු කරලා දාන එක වෙනම දෙයක්. නමුත් රචකයකුට තමන්ගේ එකම කෘතියක් තුළ පරස්පරයන් ඉදිරිපත් කරන්න බැහැ. එසේම කෘතිය නිමා වෙන කොට පාඨකයාගේ ප්‍රධාන ගැටළු විසඳා තිබිය යුතුයි. ෂර්ලොක් හෝම්ස් කතාවක් කියවන පාඨකයාට මිනීමරුවා/සොරා සඟවා කතාව අවසන් කිරීම වැරදියි.

      Delete
    5. /ඇත්තටම මේ කතාවේ අවසානයට රහස එළිකලයුතු යැයි ඔබ අදහස් කරනවාද..?/

      නැහැ. අනිවාර්යයෙන්ම එසේ විය යුතු නැහැ. නමුත් ඔබ දක්ෂයෙක් නම් අඩු තරමින් ඒ ගැන ඉඟියක් වත් දෙන්න ඕනැ. (ඉඟියක් කියන්නේ සම්පූර්ණ රහස නෙවෙයි.) බලන්න The Mist. එහිද රහස මොකද්ද හරියටම කියන්නේ නැහැ. ඉඟි කිහිපයක් දෙනවා.

      ඇත්තටම නීල් ආම්ස්ට්‍රෝංට කියන්න තිබුණු මේ වගේ 'රහසක්' ගැන සිතුවම්පටයක් නිර්මාණය වුණා. බලන්න Apollo 18.

      Delete
    6. හා හා මේක ඇදන් යන්න හිතුවේ නැහැ. මං කිව්වේ ‍\\ප්‍රබන්ධකරුවකුට රචකයා නොමඟ හැරීමේ අයිතිය තියෙනවා.// හී රචකයා නෙමෙයි පාඨකයා වෙන්න ඕනෑ කියන එකයි.

      ඇත්තටම ලේඛකයාගේ දැනුම පරාසය ගැන හිතා ගන්න බැරුව මං ඉන්නේ සමනල විප්ලවය කියවලා....... :)

      Delete
    7. මෙතනදි බීටලේට විකල්ප දෙකයි තිබුනෙ.. එක තමා ඔහුම කියනවා වගේ ලොවෙත් නැති රහසක් ඉදිරිපත් කොට පාඨකයාව සංතෘප්තියට පත් කිරීම.. අනික තමා ඔහු මේ ඉවර කරපු විදිහ.. මම නම් මුලින්ම උපකල්පනය කලා මේක තවත් "යකාගෙ ලියුමක්" වෙයි කියලා.. හැබැයි බීටලේ මම මේකතාව ලියුවනම්.. අනිවා ලොවෙත් නැති පචයක් ගහනවා.. ඒ අයිතිය ලේඛකයාට තියනවා...

      Delete
    8. @ලේඛකයා

      ඔව් ඔබ කියන විදිය වඩාත් සාර්ථකයි... ස්තූතියි චිත්‍රපටි දෙකම නරඹා නැහැ... වොච් ලිස්ට් එකට දාගත්තා...

      නිදහසට කාරණා නෙමෙයි පොඩි පැහැදිලි කිරීමක්... ඇත්තටම මෙවැනි දෙයක් කරන්න මම උත්සාහා නොකලා නෙමෙයි... රේඩියෝ බ්ලැකවුට් වෙන සිද්ධිය හරහා ඒලියන්ස්ලා වත් සම්බන්ඬ කරලා ඉදිරියට යමක් ගොඩනඟන්න පුළුවන් බව මම හිතුවා... ඒත් පළවෙනි කොටසේ "“මානව සංහතියේම විශාලතම රහස මෙයයි… සමහරවිට එය විශ්වයේම විශාලතම රහස වන්නටද පුළුවන්…”කිව්ව නිසා මම ගොඩක් හිරවුනා... මානව සංහතියේ විශාලම රහස හෙන සීරියස් මෙව්වා එකක්නේ :D

      Delete
    9. @සෙන්නා

      පච නම් ඕනේ තරම් කල්පනා උනා ඒත් ලොවෙත් නැති පචයක් මට සෙට් වුනේ නෑ... :D මට අවශ්‍ය වුනේ අඩුමගානේ හීනයක්වත් නොවී ඉවරකරන්නයි...

      Delete
    10. අනේ උඹේ මෙච්චර වටිනා කමෙන්ට් එක ස්පෑම් වලයි තිබ්බේ... පමාවට සමාවෙයන්...

      මෙන්න දැන් ආයෙත් මුලට ආවා... මෙතන ඉඳන් පාඨකයා මමයි... උඹ රහස ලියපන් මෙතන ඉඳන්... බීටලයා වගේ බොරුවෙන් පැනලා යන්න හිතන්නවත් එපා... :)

      Delete
    11. සෙන්නා,

      පළවෙනි කොටස කියවලා අවසන් වෙලා මම දෙවියන්ගෙන් ඉල්ලුවෙ, දෙවෙනි කොටසෙදී බීටල්ගෙන් ස්ටීවන් මහත්තයගේ ජීවිතේ බේරලා දෙන්න කියලයි. එහෙම ජීවිතේ බේරෙන්න නම් ලෝකයට මෙතෙක් එලි නොවුනු රහසක් බීටල් විසින් එලි කලයුතුව තිබුනා. ඒ රහස ඇත්තයි කියලා පිලිගන්න පුලුවන් විදිහෙ සාධාරණ හේතු කාරණාත් එක්කලා.

      බීටල්ට ඒක කරන්න පුලුවන්. මොකෝ "පිසා හී ඇලවෙන කුලුණ ඇදට තියෙන්නෙ ලෝකෙ කෙලින් කරන්න ගත්තු උත්සහය මතක හිටින්න වෙච්චි කොට" මේකට සාධාරණ හේතු හොයන්න මිනිහට අමාරු වෙන්න බෑ.

      ඉතින් මම ඒක මතික තීරණයක් ගත්තා ස්ටීවන් මහත්තයව මේ කාල බෝම්බයෙන් ගලවා ගන්න. මේ තියෙන්නෙ ඒ උත්සාහය. සෙන්නා කැමතිනං ලොවෙත් නැති රහසක් හොයන්න, අපි එකතු වෙලා මේක ගොඩදාමු. (බීටලේ කැමති ඇතැයි අනුමාන කරමි.)

      ......................

      බලාපොරොත්තු වූ පරිදිම දොරවල් විවෘත නොවන පරිදි අගුලු වැටී තිබුණු අතර වෙඩි නොවදින වීදුරු කඩා දැමීමට මා උත්සාහයක්වත් ගත්තේ නැත්තේ එය නිශ්පල බව දන්නා නිසයි.

      නමුත් ලොවට රහසක් හෙලි විය යුතුව තිබේ නම් එය ඇමරිකානු ධජයට වගකිව යුතු කිසිවෙකුට සඟවා තබා ගත හැකි යයි ඔබ සිතනවාද?

      මා අදහන පරිදි ලෝකයේ සියලු සිදුවීම් මේ වන විටත් ඉතා සාධාරණ ලෙස තීරණය වී අවසන්. මම ද එහි කොටස් කරුවෙක් යන නිගමනයට පැමිණිය හොත් මා කල යුත්තෙ තීරණය වී ඇති සිදුවීමක ඉදිරියට ගමන් කිරීම පමණයි. සියල්ලට තත්පර 6 කට අඩුකාලයක් ඉතිරිව තිබිය දී මගේ පුද්ගලික ආරක්ෂාවට ලබා දී ඇති රිවෝල්වරයට මා ඉදිරිය භාර කලා. මා ක්ෂණිකව රිවෝල්වරය වෙඩි නොවදින වීරුදුරුවට තබා අනුමානයෙන් එය සෙන්ටිමීටර් තුනක් පමණ පසුපසට ගෙන වෙඩි තැබුවා.

      "ඔබ විස්වාස නොකරනු ඇති! ලෝකයේ කිසිම වීදුරුවක් නැ උණ්ඩයකින් පසාරු කළ නොහැකි. ඒ ගැනයි අද මා ඔබට පහදන්න යන්නේ...." එකල මා විශේෂ යුධ පුහුණුවක් ලබමින් සිටිය දී දේශණය ආරම්භ කරමින් අපේ දේශකයා පවසා තිබුනේ අසත්‍යක් නොවන බව මට පසක් කරමින් අඳුරු වීදුරුව විනිවිදිමින් උණ්ඩ නිදහස් වුවා. ඊලග මොහොතේ දී බ්‍රිෆ්කේසයෙන් වේගයෙන් වීදුරුවට පහර දුන් මා එයින් පිටවී, හැකි තරම් ඇතට දුව ගොස් බිම දිගා වුවා.

      මොහොතකින් සියල්ල විසුනුව ගියේ ඇමරිකානු ධජයට මාගේ ඇති පක්ෂපාතීත්වයට පෙරලා එයින් ලැබුනු ප්‍රතිචාරයත් ඇස්පනාපිටම පෙන්වමින්. බාග දා එහි වරදක් නෑ. එය විය යුතු දෙයක් බව මුලින් මා උගෙන තිබුනා.

      තත්පර අටක් තුල සිදුවු සියල්ල ආවර්ජනය කිරීමට ඉඩක් නැති බව මා සක්සුදක් සේ දන්නවා. මා බිම දිගා වී සිටියදීම අංක සුසර කර බ්‍රීෆ්කේසය විවෘත කලා.

      "දෙවියන්ට ඔප්පු වෙච්චාවේ!" මගේ හිත මොරදුන්නා.

      එහි ඇත්තෙ තවත් එක් කඩදාසි කැබැල්ලක් විතරයි.

      "හිතවත් ස්ටීවන්,
      ඔබ මේ ලිපිය දකින මොහොත වන විට, ඔබ අප‍ගේ අභිමානවත් ඇමරිකානු ධජයට ද්‍රෝහියෙකු වී අවසන් විය යුතු යැයි මා අනුමාන කරනවා. ඔබගේ රාජපාක්ෂික සේවය එසේ සිතීමට මා පෙළඔවුවා. එයට මා වගකිව යුතු නොවේ යැයි කිසි විටෙකත් මා පවසන්නෙ නෑ. ඔබව මේ කටයුත්තට ඈදා ගත්තාට මම මුලින්ම ඔබෙන් සමාව ඉල්ලනවා. දැන් මා ඔබට එලි කිරීමට නියමිත රහස මීට වසර හතලිස් ගණනකට කලින් හෙලි විය යුතුව තිබූ දෙයක්. නමුත් රාජපාක්ෂික භාවය සහ හෘද සාක්ෂිය අතර ගැටුමෙන් එදින මාගේ හෘද සාක්ෂිය පරාජය වූවා. එදින පැරදී අනාගතයට පලාගිය මාගේ හෘද සාක්ෂිය දැන් තිබෙන්නෙ ඔබ අත මතයි."

      ලිපියේ වැඩිදුරටත් පවසා තිබූ පරිදි, මා තව එක් දෙයක් සොයා ගත යුතුව තිබුනා.
      ............................

      [මේ කමෙන්ට් එක සීඅයිඒ කාරයෝ ඉස්සුවා. මේ දෙවෙනි පාර දාන්නෙ. උන් ගැන දන්න හින්දා මම කොපියක් තියාගෙනයි පබ්ලිෂ් කලේ:)]

      Delete
    12. මෙන්න මාගල් දෙකම වැටිලා. සීඅයිඒ කාරයෝ බිය වෙලා මයෙ හිතෙ.

      Delete
    13. එකක් මැකුවා... ලියපන් ඉතුරුටික බුල නොගහා... :D

      Delete
    14. බුද්ධි,

      මේක හරි පුදුම ජනකයි ! මටත් ඕකම හිතුනනෙ.. මම මේ ඒ ගැන යෝජනව කරන්ඩ එනකොට උඹ වැඩේට මුල පුරලා... ඔන්න එහෙනම් මම ඒ මානව සංහතියේ අතිශය රහසිගත සිද්ධිය ලොවට හෙළි කරන්ඩයි යන්නෙ.. :-) බීටලේ සමා අවසර !


      ----------------------------------------------

      ලිපියේ වැඩිදුරටත් පවසා තිබූ පරිදි, මා තව එක් දෙයක් සොයා ගත යුතුව තිබුණා. කුමක්ද ඒ ? ඒ සම්බන්ධයෙන් ලිපියේම සඳහන් වූ විස්තරය මෙසේය..

      හිතවත් ස්ටීවන්,

      වැඩි ආරක්ෂාව සඳහා මේ සමඟ වෙනම ලිපියක් ලෙස අමුණා ඇති ඒ අතිශය රහස දැනට මා පමණක් දන්නා රහස් කේතයකින් ලියා තැබීමට සිතුවා. ඒ යම් හෙයකින් ඔබ හැර වෙන කෙනෙකුගේ අතට මේ ලිපිය පත් වුවහොත් ඔවුන්ට තේරුම් ගත නොහැකි වන ආකාරයටයි. ඔබ කළ යුත්තේ එක් දෙයයි.. ඒ "අඳුරු දවස" ට ගොස් මා එහි තැන්පත් කොට ඇති තවත් ලිපියල් ඉල්ලා සිටීම පමණයි.. මා එම ලිපියේ කිසිම විස්තරයක් සඳහන් කොට නොමැත. එහි ඇත්තේ මෙම රහස් කේත භාෂාව අපේ භාෂාවට පෙරළා ගන්නා ආකාරය පමණයි.

      "අඳුරු දවස" යනු නීල් සහ මා විවේක වේලාවන්හී මධු විතක් තොල ගෑමට යන්නා නීල්ගේ හිතවතකු විසින් පවත්වාගන යනු ලබන අවන්හලකි. එහි හිමිකරු වූ නීල්ගේ හිතවතා විශ්වාසය රැකීම සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රසිද්ධිය නිසාම නීල් විසින් මේ සඳහා එම ස්ථානය තෝරා ගන්නට ඇතැයි මට සිතුණි. මා එහි ගොස් එම ලිපිය ඉල්ලා සිටි විගස එය ලැබෙන බව මා හට සහතිකය. එහෙත් !! මා ඉදිරියේ තවත් පැනයකි.

      මා දැන් ඇවිදින මල මිනියකි.. ලෝකයාට මිය ගිය පුද්ගලයෙකි. එහෙයින් මා එහි යන්නෙ කෙසේද..? දැඩි රාජපාක්ෂික භාවය මා ජීවත්ව සිටියදීම මලමිනිසකු කොට ඇත. ඒ සම්බන්ධයෙන් මාගේ හිතේ දැන් ඇත්තේ වෛරයකි. එම නිසාම මා කෙසේ හෝ මේ රහස ලෝකයාට හෙළි කළ යුතුමය.

      ලිපිය ලබා ගැනීම සඳහා මා සතුවූ පාතාල සබඳතා යම් යම් ක්‍රම ඔස්සේ මෙහෙයවීමට සිදු විය. කතාව දිග්ගැස්සෙන බැවින් ඒවා විස්තර කෙරීමෙන් වැළකෙන අතර කෙටියෙන් පැවසිය යුත්තේ අවසානයේදී මා එම රහස් කේත පත්‍රිකාව මා සතු කොට ගත් බව පමණකි.

      එය අධ්‍යනය කොට ලිපිය ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කර ගැනීමට මාහට සති තුනකටත් වඩා වෙහෙසෙන්නට සිදු විණි. අකුරින් අකුර ලිපිය තේරුම් ගන්නා විට මාගේ නේත්‍රා විස්මයෙන් එසවීම මාහට පාලනය කොට ගත නොහැකි විය.

      ලිපියේ සංක්ෂිප්තය මෙසේය.

      Delete


    15. හිතවත් ස්ටීවන්,

      ඔබ මේ ලිපිය කියවනවා යනු ඔබ මානව ඉතිහාසයේ අතිශය රහසක් නිරාවරණය කොට ගැනීම සඳහා අධික වෙහෙසට පත්වූ බවට සහතිකයකි. මෙය එක් රහසක් නොව රහස් කිහිපයක එකතුවක් බවද නොකියාම බැරිය.

      අප සැම දන්නා පරිදි ඒ දිනයේදී අප සඳ මත ගොඩ බැස්ස බව පරම වූ සත්‍යයකි. සමහර අඳබාලයන් විකාර දෙඩවූවද සඳ ජය ගැනීමට අප සමත් වූ බව කියන්නේ නිහතමානී ආඩම්බරයකනි. එහෙත් මේ දක්වාම මාගේ හෘදය සාක්ෂිය විසින් මාහට දොස් නැගූ දෙයක් ඇත. එනම් ලෝකයා විසින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා මා ලෙස හඳුන්වන විට සත්‍යය හෙලිනොකොට කටපියාගන සිටීමයි. ඇත්තෙන්ම මහා උදාන වාක්‍යයක් කියමින් මා සඳ මත පා තැබුවද ඊට ටික වේලවකට පසු මා පළමු වෙනියා නොවන බව මාගේ දෑසින්ම දැක ගතිමි. ඔබ දන්නා පරිදි ඒ සබඳතා බිඳ වැටීම නිසා ඇල්ඩ්‍රින් මාවෙතට පැමිණියේ සැලකිය යුතු පමාවකින් පසුවයි.. ඒ අතරතුර කාලය ඇතුළත යානයෙන් තරමක් එපිටට ගොස් අවට ගවේෂණයේ යෙදුණු මා හට දකින්න ලැබුණේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දසුනක්.

      " ස්ටීවන් ඔබ අනුමාන කරනවාද ඒ කුමක්ද කියා ? නැහැ මිත්‍රයා ඔබ කවදාවත් එය අනුමාන කරන්නේ නෑ.. ඒ තමයි සෝවියට් ගගන යානයක සුන්බුන්. "

      වඩාත් ලඟට ගොස් පරික්ෂා කළ මා දුටු දෙයින් මට මාවම අදහ ගත නොහැකි විය. ඒ අසල වැටී තිබුණේ සෝවියට් ගගනගාමියකුගේ සිරුරකි. මුලු යානයම කිසියම් වූ ප්‍රහාරයකට ලක්වූ බවක් තමා පෙනෙනට තිබුණේ. අනෙත් විස්මය දනවන කරුණ තමා මා කිසිදා නොදුටු ජීවියකුගේ මල සිරුරක්ද ඊට මදක් ඔබ්බෙන් තිබීමයි. මේ දසුනෙන් පසු මා හිතේ ඇතිවූ කැළබීම කිනම් ආකාරයේ එකක්දැයි ඔබට වටහා ගත හැකිද ? මුලින්ම මා කල්පනා කළේ මෙම රහස ක්ෂණිකවම පෘතුවිය වෙත වාර්තා කිරීමට. ඒත් ඒ සමඟම මාගේ ආත්මාර්ථකාමය නැමති යක්ෂයා අවදි වූවා..

      "නීල් පොඩ්ඩක් හිතපන් මෝඩයෝ.. උඹ දැන් මේ කතාව කිව්වම මීට මොහොතකට කලින් හඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස උඹට ලැබුණ කීර්තියට මොකද වෙන්නෙ.. මුලින්ම මිනිසකුව හඳට යැව්ව රට ලෙස උඹේ රටට ලැබෙන කීර්තියට මොකද වෙන්නෙ ? ඒක හින්දා කටවගන හිටපන්. අඩුම ගානෙ ඇල්ඩ්‍රින්ටවත් මේක කියන්ඩ එපා. " ඔහොම තමයි මම ඒ වෙලාවෙ හිතුවෙ.. ඕක කීර්තියෙන් මත්වෙන සාමාන්‍ය මිනිසකු ක්‍රියා කරන සාමාන්‍ය ආකරය වෙන්ඩ ඇති.. එතනින් එහාට අද මේ ලිපිය ලියන මොහොත දක්වාම මම ක්‍රියාත්මක වුණේ ඒ සිතුවිලි ඔස්සේයි. ඇල්ඩ්‍රින්ව සඳෙහි මෙම පෙදසට ගමන් කිරීම වලක්වා ගැනීමටත් මට සැළකිය යුතු වෙහෙසක් දරන්ඩ නොවුනා නොවේ..

      හිතවත් ස්ටීවන්, අදටත් හෙළි නොවුන මේ අභිරහස කුමක් විය හැකිද ? මට හැඟෙන විදිහට අපට කලින් හඳ ජයගත් රුසියානුවන්ට ඒ ඓතිහාසික දිනයේදී සඳ මතුපිටදී වෙනත් දියුණු පිටසක්වල ජීවීන් කොටසක් මුණ ගැසීමේ භයානක අත් දැකීමට මුහුණ දෙන්ඩ වෙලා තියනවා. එතනදී ඇති වූ සටනක ප්‍රතිඵලයට තමා මා සාක්ෂි කාරයකු වූයේ...මට ඇති විශාලම ගැටලුවනම් ඇයි රුසියානුවන් මේ බව ලෝකයට හෙලි නොකලේ කියන එකයි.

      ඔබට පැවසීමට තවත් රහස් දෙකක් ඇත. එයින් පළමු එක තමා මේ භයානක රහස අපගේ රුසියානු මිත්‍රයා වූ යූරි ගගාරින් දැන සිටි බව හෝ ඔහු එය අනුමාන කළ බව. ඔහුගේ අකල් මරණය හුදු අහබුවක් විය හැකිද ?

      දෙවැන්න තමා Area 51 හිදී හමුවූ පිට සක්වලයන්ගේ මළ සිරුරු හා මා සඳිදී දුටු පිටසක්වලයාගේ සිරුරෙහි තිබූ සමාන කම ? ස්ටීවන්, ඔවුන් පෘතුවිය ආක්‍රමණය කිරීම සඳහා චන්ද්‍රයා නැවතුම් පලක් කරගෙන්යැයි අපට අනුමාන කල හැකිද ? මට හැඟෙන විදිහට මානව වර්ගයා නුදුරේදීම අති භයානක ආක්‍රමණයක ගොදුරක් වීම නොවැලැක්විය හැකියි.. මායාවරුන් කී අවසානය එයද ?

      හිටවත් ස්ටීවන්, මා දැන සිටි සියල්ල දැන් ඔබත් දන්නේය. මින් ඉදිරියට ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි තීරණය කිරීම ඔබට භාරය.

      මෙයට ඔබෙන් සදහටම සමුගත් නීල්.

      Delete
    16. නියමයි... :)

      ලොකු වෙලාවක් අරන් පෝස්ට් එකට මෙච්චර වටිනාකමක් ලබාදුන් බුද්ධි, සෙන්නා උඹලා දෙන්නාටම ගොඩක් ස්තූතියි... :)

      දැන් මම නිදහස් :)

      Delete
    17. හැහ් හැක්.. ඒවුනාට මම හෙන බුලක් ගහල බන්.. යූරි ගගාරින් මැරෙන්නෙ නීල් ආම්ස්ට්‍රෝන්ග්ලා හඳට යන්ඩ කලින්..( 1968 මාර්තු 27 ) හපොයි.. යූරි ගගාරින් ගැන ලිපියකුත් ලියපු මම ගහපු බුලක්... :-)

      Delete
    18. නියමයි සෙන්නා.!

      යුරි ගගාරින් මැරුනු දිනේ අවුලක් නෑ. රුසියන් කාරයෝ ගියා. යුරි ගගාරින් ඒක දැනගෙන හිටියා. ඇමරිකානු යානය යන්න කලින් ලෝකයට ඇපලෝ 11 හේ මුසාවට පසුබිම සකස් කිරිම උදෙසායි යුරි ගගාරින් අභිරහස් ලෙස මියගියේ. ඒක ඇමරිකාවේ සැලැස්මක්.!

      Delete
    19. @ බුද්ධි

      හෙහ් හේ.. මගෙ බොරු වලට මමම රැවටිලා බන්... යූරි ගගාරින් මේ සිද්ධිය දැනගැනීමයි, ඇමෙරිකානු සඳ ගමන අතරයි සම්බන්ධයක් නෑ නේන්නම්..මම ලියද්දි එහෙම තමා හිතුවෙ.. පස්සෙ මාවම මඥ්ඥන් වුනා.. :-)

      අර උඹ කියපු දැන ගත යුතු තවත් දේයි, මම කියපු එකයි.. එකක්ද නැත්නම් උඹ හිතුවෙ වෙන දෙයක්ද ?

      Delete
    20. හෙහ් හේ.. මගෙ බොරු වලට මමම රැවටිලා බන්... යූරි ගගාරින් මේ සිද්ධිය දැනගැනීමයි, ඇමෙරිකානු සඳ ගමන අතරයි සම්බන්ධයක් නෑ නේන්නම්..මම ලියද්දි එහෙම තමා හිතුවෙ.. පස්සෙ මාවම මඥ්ඥන් වුනා.. :-)//// :D:D:D

      අර උඹ කියපු දැන ගත යුතු තවත් දේයි, මම කියපු එකයි.. එකක්ද නැත්නම් උඹ හිතුවෙ වෙන දෙයක්ද ?//

      ඇත්තටම අනික් ‍දේ මොකද්ද කියලා මම දන්නෙත් නෑ. ඇපලෝ 11 හඳට ගියේ නෑ කියලා සාක්ෂි බොහොමයක් එක්ක විස්තර කරපු පොත් පත් ගණනාවක් කියවලා තියෙන නිසා හා හිරු එෆ්.එම්. එක කාලෙකට කලින් "නීල් අපව රැවටු හැටි" වගේ නමක් දාලා කරපු වැඩසටහනට නාසා එකෙන් උත්තර නොදී කට්ටි පැනපු හැටි වගේ සිද්ධි නිසා මමත් දෙගිඩියාවෙන් ඉන්නෙ තාම. අනිත් අතට නීල් දැක්කයි කියන පිටසක්වල යානය හා සක්වල මිනිස්සු ගැන පාලක මැදිරියට නීල් ප්‍රකාශ කරන කොටස නාසා එකෙන් කපලා දැම්මලුනේ. ඔය හේතු සලකලා බලද්දි - රහස මොකද්ද කියලා මට හිතා ගන්න බැරි උනා. ඒකනෙ ඒ වැඩේ උඔට දිලා මම බලාගෙන හිටියේ!:)

      Delete
    21. නීල් අපව රැවටූ හැටි මොකේද ගියේ චුටි මහත්තයා බැලුම්ගලේදේ..?

      Delete
    22. නෑ! හිරු FM ඩීජේ අරා කලා විශේෂ වැඩසටහනක් මීට අවුරුදු ගානකට කලින්. එකේ දී නාසා එකට මෙයලා කෝල් කරනවා විස්තර අහන්න. උන් ෆෝන් එක අතින් අතට යවලා කට් කරලා දානවා. නැතිනම් අදාල කෙනා මම නෙමේ කියලා ෂේප් වෙනවා. ඔය වැඩසටහන ගියේ, හඳට ගියේ නැ කියන මතය ලංකාවේ ටිකක් ප්‍රචලිත වේගෙන ආපු කාලේ......!

      Delete
  7. සැහ් ඇමරිකන් කාරය ලෝකට කරන වැඩේ මේයා අපෙට කරලා.....

    ReplyDelete
  8. හපොයි!!! මෙතනදිත් මේ ලේඛකයා පාඨකයාව අසංතෘප්තියට පත් කරනවානේ සමහර පාඨකයන්ට විතරක් පිලිතුරු දීලා.

    අසාධාරණයි.:)))

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න :) උදේම ඔෆීසියෙන් එලියට යන්න වුන නිසා එක කමෙන්ට් එකකට විතරයි රිප්ලයි කරන්න වුනේ... දැන් හරි..

      Delete
  9. මීට වැඩිය නිර්මාණශීලී විදියට මේක ඉවර කරන්න තිබ්බ කියල මට හිතුණා.. ඔයා මුලු කතාවම හරිම ලස්සනට ගොතාගෙන ඇවිත්..(ඉංග්‍රිසී ෆිල්ම් වල අපි දකින සීන් එහෙම්පිටින් ම මැවෙන විදියට) අන්තිම ටික නිකන් ගෙදර යන්න කලබලෙන් ඉවර කරල දාල වගේ.. ඔබගේ නිර්මාණශීලිත්වය මීටවඩා දුර යයි කියලයි මම හිතාගෙන හිටියේ.. නමුත් ආසාවෙන් කියෙව්වා.. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් ගොඩක් ස්තූතියි... :) මීළඟ පාර වඩා හොඳට කරන්න උත්සාහා කරන්නම්...

      Delete
  10. perfect end. an unexpected one though.

    ReplyDelete
  11. Iron Sky? en.wikipedia.org/wiki/Iron_Sky

    ReplyDelete
  12. කතාවේ විශ්වාසය බිදී ඇත්තේ, රහස හෙලි නොකිරීම නිසා නොවෙයි. මෙහි කතාව ඉදිරිපත් කරන්නේ “මම“ යි. අවසාන ජවනිකාවට අනුව‍, කාල බෝම්බය පිපිරී කාතානායකයා (මම) මරුමුවට පත්විය යුතුයි! එසේනම් මේ කතාව කියන්නේ කවුද? ඔහු දිවිගලවා ගත්තා නම්, කතාවේ අවසානය මෙසේ නොවිය යුතුයි.

    ඔබේ රචනාව ඉතා නිර්මාණශීලියි. නමුත්, අභ්‍යව ආකාරයෙන් කතාව නිමකිරීම නිසා කාල බෝම්බයට හසුවුයේ පාඨක අපයැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙතන තමයි මටත් හෙනම අවුල තියෙන්නේ... ඒක උනේ මෙහෙමයි... මට කතාවක් ලියද්දී ඒකේ ප්‍රධාන චරිතයක් වෙන්න තියෙනවානම් ප්‍රබන්ධයක් වගේ කතාව ගොතාගෙන යන්න අදහස් ගොඩක් එනවා... මේ බ්ලොග් අඩවියේ ගොඩක් නිර්මාණ ලියවී ඇත්තේ එහෙම...

      විශ්වාසකරන්න මුලදිම මට හිතුනා මේක ලියවෙන්න ඕනේ ඔබ කියන විදියට කියලා... ඒත් මට ඒක ගොඩක් අමාරුයි... ඊට පස්සේ මම හිතාගත්තා කතාව ලියලා අවසානයේ "මම" ටික "ඔහු" වලට මාරු කරලා බලමු කියලා... ඒත් අවානාවකට ඒක කරන්න ඉස්පාසුවක් ලැබුනේ නෑ... වැරැද්ද වැටහෙනකොට ප්‍රමාද වැඩියි... ගොඩක් ස්තූතියි ඔබට...

      Delete
    2. තව පුංචි දෙයක්... කතාවේ බෝම්බේ පිපිරුවානම් මේ අවුල තවත් ලොකුවට දැනේවියයි මට හිතුනා... ඒ නිසයි කතාව කියන මම ජීවත්ව සිටිද්දීම කතාව ඉවර වුනේ... 000 තෙවරක් නිවී දැල්වූ ක්ෂණයකින් වෙන්නේ බෝම්බය පිපිරෙන එකයි... හැබැයි මෙතන තාම පිපුරුනේ නෑ... :) ඊට කලින් කතාව ඉවරයි... :)

      Delete
  13. සික් මූව කොටියම කාපිය රහස නෑ

    ReplyDelete
  14. මං මේ කතාව මුල ඉදලා තාම කියවනවා..

    ReplyDelete
  15. බීටල් : මම පලවෙනි කොටසේ නාසා ප්‍රධානියාගේ වාහනය කුමන ආකාරයකින් විය යුතුදැයි පෙන්වා දීමට ප්‍රථම ඔබ දෙවෙනි කොටසෙන් එම අඩුව නිවැරදි කර තිබෙනවා.

    ඇත්තටම හොඳටම කුතුහලය රඳවාගෙන ලියූ නියම ප්‍රබන්ධයක් මේක. ඔබට එය අවසන් කරන්නට හැකි ආකාර කිහිපයක් තිබෙනවා. නමුත් ඔබ එය පාටකයාට සිතා ගන්නට ඉඩ හැර තිබෙනවා. නමුත් එය මෙවැනි දෙයක් විය හැකියි.

    ඔහු විසින් ගන්නා ලද රහස් චායාරුප කිහිපයක්.( සමහරවිට සඳෙහි හෝ පෘතුවිය තුල වෙන යම් තැනක. එයින් නොකියා කියවෙනවා හඳට නොගිය බව)

    එම චායාරුපයන්ගේ තිබුනේ පිටසක්වල ජීවීන් සහ නීල් එකට සිට ගන්නා ලද චායාරුප.

    පිට සක්වල ජීවියකුගේ යයි සිතිය හැකි හිස් කබලක්.

    තවම මෙලොව සොයාගෙන නොමැති ඉතා වටිනා පාෂාණ කොටසක් හෝ මැණිකක්(යෝධ).

    නීල්ගේ අකුරින්ම ලියවුනු කුඩා පත්‍රිකාවක්. එහි මෙවැනි දෙයක් සටහන් වෙනවා.

    "මිතුර ඔබට තව ජීවත් වීමට ඇත්තේ තත්පර කිහිපයයි. මෙය ජනාධිපති තුමාගේ නියෝගයක්. සාමයේ සැතපෙවා !!!" වගේ කියමනක්. එයින් කියවෙනවා නීල්ගේ මරණය සමග ස්ටීව් ඩ වලපල්ලට යා යුතු බව. එය ජනාධිපති හෝ සී.අයි.ඒ. යන දෙකෙන් කුමක් හෝ විය හැකයි.

    මොනවා වුනත් ඔබගේ ප්‍රබන්ධය විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදීක... හැකි විදියට පිළිතුරුදෙන්නම්...

      නීල්ගේ අකුරින්ම ලියවුනු කුඩා පත්‍රිකාවක්. එහි මෙවැනි දෙයක් සටහන් වෙනවා.
      "මිතුර ඔබට තව ජීවත් වීමට ඇත්තේ තත්පර කිහිපයයි. මෙය ජනාධිපති තුමාගේ නියෝගයක්. සාමයේ සැතපෙවා !!!"

      ඔහු විසින් ගන්නා ලද රහස් චායාරුප කිහිපයක්.( සමහරවිට සඳෙහි හෝ පෘතුවිය තුල වෙන යම් තැනක. එයින් නොකියා කියවෙනවා හඳට නොගිය බව)

      මම රහස එලිකරමින් කතාව ඉවර කරන්න නොයෙක් විධි කල්පනා කලත් ඉහත දෙක සලකා බැලුවේ නැහැ... ඒකට හේතුව තමයි මේ කතාව ලියන්න ගත්තේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මියගිය දිනයේ... ඔහුකෙරෙහි උපන් කිසියම් ගෞරවයකිනුත් යුක්තවයි... හඳට නොගියා කියන එක මම මුලදිම අතහැරියා... අනෙක කල්පනා නොවූයේත් ඒ නිසාම වෙන්න ඇති...

      එම චායාරුපයන්ගේ තිබුනේ පිටසක්වල ජීවීන් සහ නීල් එකට සිට ගන්නා ලද චායාරුප.

      පිට සක්වල ජීවියකුගේ යයි සිතිය හැකි හිස් කබලක්.

      තවම මෙලොව සොයාගෙන නොමැති ඉතා වටිනා පාෂාණ කොටසක් හෝ මැණිකක්(යෝධ).

      මේ විදියටම නොවුනත් ඒලියන්ලා සම්බන්ධ කරන්න මම කල්පනාකලා... එහෙත් ඉන්පසුව එය විශ්වයේ ලොකුම රහස බවට පත්කල යුතුයි... එවැනි යමක් මට කල්පනා වූයේ නැහැ... අනෙක එය කොටස් එකකින් හෝ දෙකකින් කලහැකි දෙයක් නොවෙයි...

      ස්ටීව් සැබෑ චරිතයක්... ඔහුගේ වාහනය කුමක්දැයි මම ආරම්භයේදීම ගූගල් කලත් සොයාගන්න ලැබුනේ නැහැ,,,

      Delete
  16. අසාධාරණයි...
    ඒත් කතාව විශිෂ්ඨයි...
    තව මොන කතාද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තරියා...

      Delete
  17. ස්ටීව් මහත්තයව මරා දාන්නෙ නැතුව මේ කතාව ඉවර කරන්න මමත් පොඩි උත්සායක් ගත්තා. හෙන මහන්සියි!

    මොක වුනත් අන්තිම ඡේදය අල්ලා දැම්මොත් බීට්ල්ගෙ ලියවිල්ල ඇගේ හිරිගඩු පිපෙන්න සැලැස්වූවා. ගොඩ දෙනෙක් මේ අවසානය ගැන තෘප්තිමත් නැත්තෙ, මුලින් කතාව ගොඩනගලා තියෙන විශිෂ්ඨත්වය නිසා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  18. හැමදේම අපි හිතන විදියට වෙන්නේ නෑ කියලා මට ආපහු මතක් උනේ, කතාව ඇතුලේ ගොඩ නගාගත්තු මනෝලෝකේ අස්සේ තියෙන චින්තන වටපිටාවේ එකපාරටම පත්තු වුනු උඹේ බෝම්බට යටින් නිමි කියලා යටින් වැටිලා තිබ්බ විදියටයි.
    හොඳ හුස්මක් අරන් හිත සැහැල්ලු කරගත්තා,
    අපරාදේ මම අරන් තියපු නෝබල් තෑග්ගයි, ඇමෙරිකන් ආණ්ඩුවේ පදක්කම් ටිකයි..!

    ප.ලි ► මේ නිර්මාණශීලීභාවය සදාකල් පවතීවා..!

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩක් ස්තූතියි ලිශා...

      නොබෙල් තෑග්ග රිජෙක්ට් කලාම හෙන ගැම්මක් එනවලු නේද :) මම රිජෙක්ට් කරනවා :)

      Delete
  19. මෙන්න රහස!

    http://video.google.com/videoplay?docid=2304895215368202642


    :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූති dawkinssdodo මිතුරා... ගොඩක් රසවත් වගේ මේක බලන්නම්...

      කාලෙකට කලින් වීකෙන්ඩ් එකක මම රෑ එලිවෙනකල් කලේ Moon landing conspiracy theories කියලා යූටියුබේ සර්ච් කරමින් වීඩියෝ බලන එකයි... පිස්සුවෙන් වගේ :D

      Delete
  20. බම්බුව...
    ඒ කොළ කෑල්ලෙ තිබුණෙ හඳේ කඩයක් දාගෙන හිටපු ඉන්දියන් කාරයෙක්ගෙ ගැනයි, එතැනම හිටපු චීනෙක් ගැනයි...
    ඒකයි ආම්ස්ට්‍රෝං ට කියන්න ඕන වුනේ....
    සමහරු නං කියන්නේ පොර හඳට ගියේ නෑ කියලා... එහෙමත් කතාවක් තිබුණා...
    මම නං හිතන්නෙ ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්...
    මම කළේ වචන දෙක තුනක උදව්වක් විතරයි... බොහොම ස්තූතියි ලිංකුව දැම්මට
    නියම කතාව.... හරියට ගෑණු ළමයෙක් ගොඩා.........ක් වර්ණනා කරලා කරලා... ඔයාට වඩා හොඳ ළමයි ගොඩාක් මට හම්බ වෙලා තියෙනවා කිවුවා වගේ වැඩක්...
    නියම අවසානයක්.... ටෙලි නාටිටියක් ලියන්න හිතලා නැද්ද බීට්ල් ?

    ReplyDelete
    Replies
    1. හේ හේ ස්තූතියි... මම ටෙලිනාට්ටි ලිව්වොත් මාසෙකට එක කොටසයි විකාශය කරන්න වෙන්නේ... :)

      Delete
  21. ඕවට තමා කියන්නේ ඉල්ලගෙන කනවා කියලා .....
    කතාව සුපිරි (ඒ උනාට උබට බෝම්බේ නොතිය ඉන්න තිබුනේ චාටර් සීන් එක ආ )

    ReplyDelete
  22. චිත්‍රපටියක් බැලුවා වගේ.මේ අවසානයට මම අකමැති වුණත් ඒකෙ මාර ගතියකුත් තියනවා. මේ ලිවීමේ හැකියාව ඇත්තමයි, නියමයි.........

    ReplyDelete
  23. කම්පන රසය කියලා කතා රසයක් තියෙනවාද! ඇති මගේ හිතේ. මේ කතාව කිවලා ඉවර වෙද්දී දැණුනා එහෙම රහක්. කතාව ලස්සනයි. අවසානෙත් හොදයි. මොකක් හරි වෙන අවසානයක් තිබ්බා නම් කතාව මේ තරම් ලස්සන නොවෙන්න තිබ්බා.
    සුබ පතනවා ඔබට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රොබින්, සිඳු, පියුමී ඔබ තිදෙනාටම...

      Delete
  24. විද්‍යා ප්‍රබන්ධය අගනේය.
    නමුත් රාජ්‍ය පාලනය හා ඉතාම සංවේදී දේශපාලනික කාරණාවන් සහ දේශපාලනික චරිත එම විද්‍යා ප්‍රබන්ධ තුළට එබීමේදී ඔබ පළකරන්නේ ඔබට හිමි නියම නිර්මාණශීලී පරිනතභාවය නොවේ. දේශපාලනික චරිත සම්බන්ධව මීට වඩා හැදෑරීමක් කර එම චරිත නිර්මාණයන් තුළට දැමීම තුළින් මීට වඩා එළියක් නිර්මාණයට දිය හැකිව තිබුණි. ඔබ හිරවුණේද එතනමය.

    රටක ජනාධිපතිවරයා නොව අදාළ විශය භාර ඇමතිවරයා හෝ ඊටත් පහළින් සිටිනා අදාළ අමාත්‍යංශයේ සංස්ථාවක සභාපතිවරයෙකුවත්/අධ්‍යක්ෂකවරයෙකුවත් (උදා:- CIA ප්‍රධාන විධායක නිලධාරී) "කෝඩ් රෙඩ්" රහසක් නොව සාමාන්‍ය ඕපදූපයක්වත් හරියටම දැනගන්නේ නැතිව ඊට අදාළ සාක්ෂි විනාශ නොකරයි. මන්ද, ඔවුන්ගේ දේශපාලන අනාගතය සඳහා එවන් "සංවේදී" කරුණු අතිශය වැදගත් භූමිකාවක් ඉටුකරන අවස්ථා සුලභ බැවිනි.

    එමෙන්ම රහසක් දැනගැනීමට ඇති ආශාව මිනිසා තුළ ස්වභාවයෙන්ම පවතී. විශාල රහසක්නම් එය දැනගැනීමේ ආශාව තවත් ඉහළය. එය මිනිස් චින්ත සන්තානය ක්‍රියාකරන අයුරුයි. මෙතනදී ඔබ සිදුකර ඇති වරද නම්, එම මූලික සත්‍යය අමතක කිරීමයි. අඩුමගානේ ආරක්ෂක ලේකම්තුමාට එම බ්‍රීෆ්කේසය දෙනතැනට වෙනකම්වත් ගෙන ගියානම්, මීට වඩා සාර්ථක "අවසානයක්" ලබා දිය හැකිව තිබුණා නොවේද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. රනා, මෙතනදි අපිට හිතන්ඩ තියෙන්නෙ ඔය කියන රහස ඇමෙරිකානු ජනාධිපතිට රහසක් නොවන වග විතරයි. ඒකයි ඔහු අදාල පුද්ගලයව නිහඩ කිරීමෙන් රහස රකින්ඩ හදන්නෙ..

      Delete
    2. ගොඩක් ස්තූතියි රනා දේශපාලන චරිත ගැන ඔබට දුර්වලතා පෙනෙන එක ගැන පුදුමයක් නෑ... :)

      නමුත් මේ ඔබ සඳහන් කල කාරණා කිහිපය ඒ විදියට උනේ නැහැ කියලා අවශ්‍යනම් කෙනෙකුට තර්ක කරන්න අවශ්‍යය පරිසරයත් උවමනාවෙන්ම කතාවේ ඉතිරිකර ඇතිබව බව ඔබට පෙනේවි...

      ජනපති හා ආරක්ශක ලේකම් මෙය සිදුකල බවත්... ඔවුන් මෙහි ඇත්තේ කුමක්දැයි දැනගෙන සිටියේ නැති බවත්... යන මේ දෙකම උපකල්පන පමණයි... :)

      Delete
  25. හිත බිඳුණ වුණාට වැඩේ සුපිරි. මේක ඉන්දියාවෙදි බ්ලොග්කාරවන්ට එහෙම ලිව්වනං උඹේ බ්ලොග් එකයි වෙබ් අයිඩෙන්ට්ටි සේරමයි හැක් කරනවා. වීරයා මැරෙන්න බෑනෙ උන්ට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... නැත්තම් රජිනිකාන්ත් ඇවිල්ලා වැඩේ ක්ලෝස් කරලා දානවා... :) ස්තූතියි හරේ...

      Delete
  26. හැමෝම වගේ උනන්දුවෙන් කියවන ලිපියක් නිසා මම ව්ශ්වාස කරන පොඩි දෙයක් ලියල දාන්න හිතුණා.. බීට්ල්ගේ කතාවට අදාල නැති වුණත් මේක දාන එක වරදක් නෙවෙයි කියල හිතනවා.. අපි හැමෝම විශ්වාස කරන්න කැමතියි මේ හඳ ගමනෙදි මොකක් හරි අමුතු දෙයක් වෙන්න ඇති අපි නොදන්න දේවල් ඇමරිකන් කාරයෝ වසන් කරනව ඇති... නැත්නම් මේක තනිකරම ප්‍රෝඩාවක් ඔන්න ඔය වගේ දේවල්.. කාලයක් මගෙත් හිත ඕව නිසා කැලඹිලා තිබ්බා..

    හැබැයි පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමා.. මේ අපි අද දකින ලෝකේ මෙච්චර ඉක්මනට ගොඩ නැඟෙන්න ප්‍රධානම හේතුවලින් එකක් තමයි ඇමරිකාව ඇතුළු පොහොසත් රටවල් ඔය අභ්‍යචකාශ චාරිකා සඳහා කරන පරීක්ෂණ වල අතුරු ඵල විදියට ගොඩක් දේවල් මේ ලෝකෙට හිමිවෙලා තියෙනව කියන එක..

    මේ අපි හැමෝම සද්ද බද්ද දාන කොම්පුටරේ මෙහෙම දියුණු වෙන්න හේතුව මොකක් කියලද හිතන්නේ..අපි වගේ ළපයි සිපයින්ට පොරටෝක් දදා ඉන්න මේවගේ බලසම්පන්න දේවල් හැදිල තියෙන්නේ ඒ මිනිස්සු කාලයක් තිස්සේ තමන්ගේ බලය,ආරක්ශාව,හැකියාවල් දියුණු කරගන්න කරපු පරයේෂණ නිසා නෙවෙයි ද?

    සඳ ගමන ප්‍රෝඩාවක් නම් මම හිතන්නෙ නෑ මේ ඊයේ පෙරේදා අඟහරුට ගියා කියන යානෙත් ඇත්තටම යන්න ඇති කියල.. හැබැයි ඒක ගියෙ නෑ කියල කවුරුවත් තර්ක දාන්නෙ නෑ නේ..

    අනිත් එක ඕනෙම දෙයක් නැත යන අර්තයෙන් දකින්න පටන් ගත්තම ඒකට අදාල සාක්ෂි,සාධක ඕනෙ තරම් හම්බවෙනව. ඒ වගේම තමා ඇත යන පොසිටිව් අර්තයෙන් බලනකොටත් ඕනෙ තරම් මේක වුණා කියන්න සාධක පෙන්නන්න පුළුවන්..

    ඔන්නම් නිකමට ගූගලයගෙන් facts to prove moon landing real වගේ එකක් ගහල හොයල බලන්න ඕනෙතරම් දේවල් තියෙයි..

    අනිත් අපි ආසම සීන් එකක්(මම ආසම) තමයි ඒලියන් සම්බන්ධයක් හඳත් එක්ක ඇතියි කියල විශ්වාස කරන්න.. මට හිතෙන්නේ ඉස්සර හිටපු අපිට වඩා ක්‍රියේටිව් විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ඔය දේවල් අපිට කලින් හිතල කරපු නිර්මාණ තාමත් අපි ඇතුළේ හොල්මන් කරන නිසා මොනව හරි සාධක මතින් ඒව සැබෑවක් වෙනවට අපි ආස නිසා අපිත් මේ දේවල් පසුපස යනව කියල..

    කොහොම හරි මට කියන්න ඕනේ වුණේ ඕනෙම දෙයක් දිහා අපි බලන විදිය අනුව අපිට ලැබෙන ප්‍රතිඵල තීරණය වෙන නිසා ආතල් එකට මේවගේ දේවල් කියවල ෆන් එකක් ගන්න ගමන් ටිකක් තර්කානුකූලව හිතන්න පුරුදු වෙමු කියල..

    මම මේක ලිව්වනම් ඉවර කරන විදියත් දාන්නම් ද? බීටලේ අවුලක් ගන්නෙ නැත්නම්..


    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දාපන් මචන්...

      අනෙක් සැමට පිළිතුරු රෑට...

      Delete
    2. මචන් මම ලියුම විතරක් දාන්නම්.. වටේට දලා ලස්සන කරන්න ඕනෙ ටික මට වැඩිය හොඳට ඔයාට ලියන්න පුළුවන්.. හැමෝගෙම අදහස් අරගෙන් මේක ආයෙ පොඩ්ඩක් මොඩිෆයි කරල සම්පූර්ණ කතාවක් විදියට ආයේ දාන්න.. මෙන්න මට හිතිච්ච ටික..


      හිතවත් ස්ටීව්,
      මෙය කියවාගෙන යන විට ඔබට සමහරවිට මා සිහිවිකල්ලෙන් මෙය ලීවාදැයි සිතෙනු ඇත. ඔබ මෙය කියවා තේරුම් ගත් පසු ඔබටත් බොහෝ දේ දැනෙනු ඇත. මා මෙය ඔබට කියන්නට තීරණය කළේ.. මා ඇසුරු කළ බොහෝ පුද්ගලයින් අතර ඔබ තුළ මා දුටු යම් විශේෂී දෙයක් නිසාවෙනි...දිගටම කියවන්න මිත්‍රයා...

      හඳ ගමන ප්‍රෝඩාවක් නෙවෙයි. අපි ඒක කළා අපි හඳට ගියා. මම දන්නවා ඔබ කිසිදිනෙක ඒක සැක නොකරන්න ඇති නමුත් ඒ කාලේ හැටියට අපි එහෙම දෙයක් කලාද කියන දේ පිළිගන්න මැලිවෙච්ච බොහෝ අය කියපු කරපු දේ නිසා ඔබේ සිතේ කිසියම් හෝ සැකයක් තිබුණානම් මේ අවසන් හුස්ම හෙලන්න ඔන්න මෙන්න ඉන්න මගේ වචනය ඔබේ සිත ඒ ගැටළුවෙන් නිදහස් කරතැයි මම සිතමි.

      ඊළඟට ඔබේ සිතේ ඇති ගැටළුව මම හඳේදි මොනවද දැක්කේ කියන එක.. ඇත්ත.. මම දැක්ක හැමදේම පෘථිවියට වාර්තා කළේ නෑ.. මම අදටත් ඒ ගැන හිතනවා නමුත් මම හරි දේ කළා යන සැනසීම තාමත් මා තුළ තියෙනවා..

      ලූනා යානය හඳට පහත් කරන්න පටන් අරන් අප භූමියේ සිට කි.මී 10 පමණ දුර සිට අපි ගොඩ බසින නියමිත තැනට යානය පහත් කරන්න මහන්සිවෙමින් සිටියේ… බස් තමයි යානය පාලනය කළේ.. මම අනෙකුත් සියළු කටයුතු නිවැරදිව තියෙනවද යන්න පරික්ෂා කරමින් අප ගොඩබසින්න සූදානම් වූ ස්තානය මනාව නිරීක්ෂණය කරමින් හිටියේ...

      ඈතදි හරියටම නොපෙනුනාට අපි යානය පහත් කරන්න සැලසුම් කරගෙන හිටිය තැනට මීටර් 10-15ක් එහා තිබුණු පුංචි සුදුපාට බෝලයක් වැනි ආලෝක ලපයක් ගැන මගේ අවධානය යොමු වෙලා තිබුනේ.. ඒක හරියට ෆුට් බෝලයක් තරම් ඇති.. ටිකෙන් ටික යානය පහත් වෙනකොට තිබුණු කලබල කාරී ගතිය නිසා මගේ අවධානය ඒකෙන් ඈත් වුණා.. දෙයියනේ එහෙම පීඩනයක්.. එක පුංචි වැරදීමකටවත් ඉඩ නොදී අපි දෙන්න යානය පහත් කරන්න දරපු වෑයම දන්නේ අපි දෙන්න විතරයි..

      ඔක්කොම හරි ගිහින් යානය මතුපිටට ගොඩබාලා සියල්ල නිවැරදියැයි පරික්ෂාවෙන් පස්සේ මම එළියට ආවා.. මම අඩිය තියල විනාඩි කිහිපයකින් බස් ඕල්ඩ්රින් මාත් එක්ක එකතු වෙන්න සැලසුම් කරගෙන හිටියත් හදිසියේම යානයේ පනිවිඩ හුවමාරු පද්ධතියේ දැල්වෙච්ච රතු එලිය නිසා බස් එළියට එන එක පරක්කු වුණා..

      ඔය අතරේ මට තිබුණේ පියවර කිහිපයක් ඇවිදල අපේ කටයුතු ටික කරන්න සුදුසු තැන් පරීක්ෂා කරන්න. ඔන්න ඔය වෙලාවෙදි මට අර සුදු ආලෝකය මතක් වුණා.. ඒක තිබුණේ යානයේ වා අගුළට දකුනු පැත්තෙන්.. යානයේ කැමරාවලට ඒක පෙනුනෙ නෑ..

      නමුත් ඉබේම වගේ දකුණට හැරුණු මට ….

      මේ ටික හොඳට තේරුම් ගන්න ස්ටීව්… මේක මට ඔප්පු කරන්න බෑ.. හැබැයි අපි තනිවෙලා නෑ.. අපි තනිවෙලා නෑ..ස්ටීව්..

      Delete
    3. මේ ඉතිරි ටික....

      ඒ ආලෝකය දිහා මම බලපු මොහොතේ මුළු විශ්වයම මා දැක්කා ස්ටීව්.. මමයි විශ්වයයි කියන්නේ දෙකක් නොවෙයි එකක් කියන දේ ඒ ක්ෂණයෙදි මට වැටහුණා… අපි ආපු තැන… අප අවසානයේදි යන තැනත් ඒ ආලෝකය මට පෙන්නුවා.. ඒක හරියට චිත්‍රපටියක් වගේ නමුත් මම ඇහින් දකිනවට වඩා දැක්කේ මනසින්.. දැනුමට වඩා මට දැනුනේ ප්‍රත්යක්ෂයෙන් දැනෙන අවබෝධයක්… එහි නිර්මාපකයෝ දෙවියන් නොවෙයි.. දෙවියන් යැයි අප පිළිගන්නා සංකල්පය ඒ මහා නිර්මාණයේ එක පුංචි කොටසක් විතරයි.. ඔබත් මමත් ඒ නිර්මාණයේ පුංචිම පුංචි කොටස් විතරයි ස්ටීව්…

      ඔබ හෝ මා යැයි කියා ගත යුතු දෙයක් නෑ කියන අවබෝධය මට ලැබෙන කොටම ඒ ආලෝකය ටිකෙන් ටික පාවෙන්න පටන් ගත්ත.. හරියට ආපූ කාරනේ ඉවර කරල ආපහු යන්න හදන යානයක් වගේ.. ඒ එක්කම මම ආයෙත් යානය දිහා බැලුවා මම කරන්න ආපු දේ ගැන මට මතක් වුණේ එතකොට.. සිද්ධ වෙච්ච දේ ගැන මගේ හිතෙන් විශ්ලේෂණය කරල බලන්න මට වෙලාවක් තිබුණ නෑ.. මගේ ඔලුවෙ තිබුනේ මම මේ කරනන ආපු දේ ඉවර කරන්න ඕනෙ කියල විතරයි...

      ඊට පස්සේ මම අපේ කොඩිය අරගෙන ඒක හිටවන්න ගියා.. ඒ වෙලාව වෙනකොට බස් එලියට ඇවිල්ලා හිටියේ..ඔහුට ඒ සුදු ආලෝකය ගැන මතකයක් හෝ ඒ ගැන අවධානයක් එච්චර තිබුනෙ නෑ.. ඔහු කැමරාව අරගෙන ෆොටෝ ගන්න සූදානම් වෙලා හිටියේ.. මම ඇමරිකන් කොඩිය හිටවන්න යනකොටම මට දැනුනා මා සමීපයෙන් යමක් ගමන් කරන බව..ඔබට මතක නම් ඔය රුසියන් කාරයොයි,සමහර මීඩියා කාරයොයි අපේ ගමන ස්ටූඩියෝ එකක් ඇතුලේ රූගත් කරපු එකක් කියල කියන්න ගෙනාපු ප්‍රධානම තර්කයක් වුණේ වායුගෝලයක් නැති සඳේ කොහොමද කොඩිය සෙලවුණේ කියන එක.. ඒක සෙලවුණේ සුළඟට නෙවෙයි ස්ටීව්.. ඒ මොහොතෙදි මා සමීපයෙන් ඇත්තටම කිව්වොත් මගේ ශරීරය හරහා එය ගමන් කරමින් පුංචි ලෙලදීමක් අපේ කොඩියටත් ලබා දීල ඒක ඈතට ගමන් කරනව මට දැනුනා.. ඔබට මතක් කර ගත හැකිනම් බස් ගත්ත ෆොටෝ වල එකක් තිබුණා පසුබිමෙන් පෙනුන කළුපාට අභ්‍යවකාශේ සුදු ආලෝක ලපයක් ඇති වෙලා තිබ්බ ෆොටෝ එක.. අපි කාටවත් ඒ මොකක් දැයි පැහැදිලි කරගන්න බැරිව හිටියේ.. රුසියන් කාරයෝ කිව්වේ අපි මේ සම්පූරණ ගමන රූගත කරපු ස්ටූඩියෝ එකේ තිබුණ ලයිට් එකක් කියල.. ඒ මොකක් ද කියන එක මටත් හරියට කියන්න බෑ.. නමුත් ඒ ඔවුන් අපට ලබා දී ගිය සලකුණ විදියටයි මම ඒක දකින්නේ...

      මම දන්නවා ඔබට මේක විකාරයක් වගේ පේනව ඇති.. අපි හැමෝම වගේ ඔබත් බලාපොරොත්තු වෙන්න ඇති අමුතු යානයක කොටස්, නැත්නම් මැරුණු ජීවියෙක් හඳේ ඉන්න ඇති කියල.. නැත්නම් අපිට කලින් ගිය කාගේ හරි සළකුණක් එහි තියෙන්නෙ ඇති කියල.. ඇත්තටම ඔවුන් එහි සිටියා…. මනුෂ්‍ය වර්ගයා කෙදිනක හෝ සිය අභියෝග ජයගෙන එහි එන තෙක් ඔවුන් එහි රැඳී සිටියා… විශ්ව ජීවනයේ සැබෑ පණිවුඩය අපට දෙන්න ඔවුන් අප එනතෙක් බලා හිටියා ස්ටීව්…

      මම සිහිවිකල්ලෙන් මෙය ලියා ඇතැයි ඔබට දැන් දැනෙනව ඇති.. ඒක සාධාරණයි.. නමුත් ඔබ තුළ මේ ජීවිතකාලය පුරාවටම දැනුන යම් අසම්පූර්ණ කමක් ගැන ඔබ මට කියූ දිනය මතක් කරගන්න.. අපි ජීවත් වෙන්නේ මීට වඩා උසස් දෙයක් කරන්න කියන හැඟීම ඔබට දැනෙනව කියල ඔබ මට කිව්ව මතකද? දේශපාලනය,තාක්ෂණය,විද්‍යාව තුළින් ලබා ගත නොහැකි දෙයක් ගැන ඔබට දැනෙන හැඟීම ගැන එදා විස්කි බිබී ඔබ මට විස්තර කළා මතකද? ඒ වෙලාවෙදි මට ඔබට මේක කියන්න තිබුණා.. නමුත් ඒ අවස්තාව සුදුසු නැති නිසයි ඔබට මා මෙය එදා නොකිව්වේ.

      මා මෙය ලියන මේ මොහොත දක්වාම පියවි සිහියෙන් සිටින බවටත් සඳ ගමනෙන් පසුව මගේ ජීවිතයේ මහා පෙරළියක් සිදුවූ බවටත් ඔබට පසු ගිය වසර 43 දී මා ගත කළ සරල සැහැල්ලු දිවි පෙවෙත ගැන කල්පනා කිරීමෙන් තේරුම් ගත හැක… එම සැහැල්ලුව හැමදාම අපි තුළ තියෙනවා මිත්‍රයා අපි ඒක නොදකින එකයි අපේ වරද… ඒක දකින්න හඳට යන්නම ඕනෙ නෑ…

      ඔවුන් ඒ දැකුම අපට ලබා දෙන්න විවිධාකාරයෙන් මිනිස් ඉතිහාසය පුරාම උත්සාහ කරල තියෙනවා.. එක එක අය ඒ දේ විවිද ආකාරයෙන් මිනිස්සුන්ට පැහැදිලි කරන්න උත්සාහ කළා.. තේරුම් ගත්ත අයත් ඉන්නවා.. තේරුම් නොගෙන තම විශ්වාසයේ නාමයෙන් ගහ මරාගන්න අයත් ඉන්නවා..

      දැන් ඔබට සමහරවිට වැටහෙනව ඇති මම කියන දේ… ඇයි මම මේක මෙච්චර කාලයක් හංඟගෙන හිටියේ කියන එකත් ඔබට පැහැදිලි ඇති.. මම දන්නවා ඔබටත් කවදාවත් මේක ලෝකයට කියන්න පුළුවන් කමක් නෑ… ඔබට කළහැකි හොඳම දෙය මේ ලිපිය විනාශ කර දැමීමයි…

      කිසිවෙක් තිබුණ දේ ගැන විමසීමක් කළොත් මේකේ තියෙන අනිත් කවරයේ ඇති පොඩි තාක්ෂණික ලිපි වගයක්.. ඒකෙ ඇති අර මගේ ප්‍රියතම තරුව ගැන ලියවෙච්ච සටහනක්.. මම එදා ඒ ආලෝකය තුළින් විශ්වය දකිද්දි ඔය තරුවත් මම දැක්කා.. එහි යම්කිසි වැදගත් දෙයක් ඇති.. සමහරවිට එය දෙවියන්ගේ ලෝකය වෙන්න ඇති.. මා දන්නෙ නෑ…අවශ්ය වුනොත් පමණක් ඔබ එය ලෝකයට ඉදිරිපත් කරන්න… එවිට හැමෝගෙම සිත්වල තිබූ ගැටළුවට පිළිතුරක් දුන්න වෙනවනේ…

      මගේ සදාකාලික හිතවතෙක් සහෝදරයෙක් ලෙස සිටි ඔබෙන් මා ඉල්ලන්නේ එකම දෙයයි.. ඔබ, ඔබව හඳුනාගන්න එවිට ඔබටත් ඔවුන් හා එක්විය හැක..

      සමුගනිමි..

      නීල්

      Delete
    4. ගොඩක් ස්තූතියි පැතුම්... පසුව හෝ මේක කියවන්න එන කෙනෙක් මේ හැම අවසානයක්ම කියවලා ගොඩක් සතුටුවෙයි... වෙලාව තියෙන විදියට පැතුම්ගෙත් සෙන්නාගෙත් අවසානයන් එක්ක අලුත් කතාවක් ගොඬනගන්න උත්සාහ කරන්නම්... ඒ නැතත් මේ විදියත් මරු...

      Delete
    5. Pathum ayya kohomath vidya prabanda liyanna dakshayekne, Beetle ge supiri kathawata, e awasane godak hoday wage.

      Delete
  27. බීටලේ උඹ කුරුමිණියෙක් නිසා අදට යන්න අරිනවා.
    හරි. මට මේක කියන්න ඕනෙ.
    උඹේ ලිවීමේ හැකියාව උසස් එකක්. ඒ ගැන උඹට සුබ පතන අතරම මේ දිත් කියන්නම ඕනෙ.
    ඒ තමයි උඹ පළවෙනි කොටස ලියනකොට දෙවෙනි කොටස ගැනවත් කතාවෙ අවසානය ගැනවත් හරි තීරණයක් නොගෙන තිබ්බ බව පේනවා. ඒක තමයි අඩුපාඩුව. ඒ කියන්නෙ සැලසුමේ අවුල. ටීවී එකේ පෙන්නන කොටස් වශයෙන් පෙන්නන නාට්‍ය ලියන්නෙත් ඔය ක්‍රමයට.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මේ කුරුමිණි Beetle නෙමෙයි :) අහිංසක සොල්දාදුවා Private Beetle Bailey

      පළවෙනි කොටස ලියද්දී අවසානය ගැන හරි තීරණයක් නොතිබුණු බව ඇත්ත... නමුත් අවසානයට ලස්සන රහසක් ගොතාගැනීමට බැරිවුනොත් රහස එළිනොකරම වීරයා මරන බවට කතාව ලියන්න පටන්ගන්නත් කලින් අදහස් කරගෙන හිටියා...

      Delete
    2. කුරුමිණියා කිව්වෙ විහිලුවට බොලේ. උඹ බීට්ල් බේලි බව මම දන්නවා. ඒක මමත් බලපු කාටූන් එකක්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  28. ගොඩක් කාලෙකින් කියවපු අපූරු විද්‍යාප්‍රබන්දයක්.. අවසානය වෙනකම්ම ගොඩක් කුතුහලෙන් ආසාවෙන් කියෙවුවේ බීට්ල් අයියේ..

    ReplyDelete
  29. ඔහේට ඕනේ උනාට අරක ඇතුලේ මොනවා තිබුනද කියලා නොකියන්න,
    මට ඕනේ දැනගන්න මොනවද ඒක ඇතුලේ තිබුනේ කියලා කියන්න..
    නැත්නම් දන්නවනේ... මම "නෙළුවේ සුදා..."
    කතාව නම් හොඳා
    තව එකක් ලිව්වොත් ඊටත් වඩා හොඳා

    ReplyDelete
  30. කතාවත් කියවල කමෙන්ට් ටිකත් කියවල නිකම් යන්න හිතුනෙ නැති නිසා කමෙන්ට් එකකුත් දාල යන්න හිතුන. ලස්සනට ගොතපු, හොඳ කතාවක්. මම ඉතින් රසවින්දනය ගැන, කතා රසය ගැන මහලොකුවට දන්න කෙනෙක් නම් නෙමෙයි, නමුත් විද්‍යා ප්‍රබන්ධ වලට කැමතියි. සමහරක් ඒව මම හිතේ චිත්ත රූප මවාගෙන කියවනව. මේකෙත් හුඟක් ප්‍රභල චිත්ත රූප මවාගන්න මට පුළුවන් උනා.
    කමෙන්ට් ටික කියවගෙන යනකොට මතක් උනේ මම කියවල තිබෙන "වීරයා ඔබයි" කතන්දර පොත්. ඒකෙදි අපි ගන්නා තීරණ එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ. අපි ගන්නා තීරණ අනුව කතාව විවිධ පැති වලට යනව.
    සුභ පතනවා ජයෙන් පිරි අනාගතේකට. :)

    ReplyDelete
  31. මේ බ්ලොග බුක්මාක් කරගත්තෙම මේ කථාව කියවන්නයි... නියමයි...

    ReplyDelete
  32. නියමයි බීටලේ. අර හැමෝම කිව්වා වගේ අන්තිම ටික ලොකු කලබලේකින්, නිශ්චිත අරමුණක් නැතිව ඉවර කරලා තියෙන්නෙ. කතාවෙ අන්තිමට බලාපොරොත්තු උනදේ නොලැබුණු නිසා පොඩ්ඩක් අප්සෙට් ගියත් ඔයා කතාවට කරන්න පුළුවන් උපරිම සාධාරණත්වය කරලා තියෙනවා. බොරු බේගල් ඇදලා නෝන්ඩි වෙනවට වඩා. ඒත් බුද්ධි, සෙන්නා, පැතුම් වගේ අයත් කතාව ලස්සන පැත්තකට අරන් ගිහින් තියෙනවා.

    අන්තිමට කියන්න තියෙන්නෙත් පාඨකයා ගොනෙක් සේ සලකලා කෙසේ හෝ අවසානයක් දක්වන්නැතුව මේ අවසන් කරපු විදිය අති විශිෂ්ඨයි.

    ReplyDelete
  33. අද තමා මුල ඉඳන්ම කියෙව්වේ . හොලිවුඩ් චිත්‍රපටියක් වගේ . මට නම් අවසානයේ අවුලක් නැහැ . ඇයි අපි පොඩි කාලෙත් ඔය වගේ රචනා ලිව්වේ . '' මට මතක එපමණකි '' කියල . මේක නිර්මාණයක් නිසා රහස එලි කිරීම අවශ්‍යම නැහැ . ඒ වුනාට බිටලේ මාත් කැමතියි කතාවක් දෙකින් එකක් වෙලාම ඉවර වෙනවනම් .

    ReplyDelete
  34. නියමයි හරියට ලෝකාන්තයට ගෙනිහින් පහලට විසි කලාවගේ දෙයක් අපිට කලේ..

    ReplyDelete

Web Statistics