Wednesday, April 6, 2011

20. නියමුවෙකුගේ සමුගැනීම | Good Bye Mentor


SuperStock_1895-14176

දැනට මම සේවය කරන ආයතනය තමයි මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිම කාලයක් සේවය කල ආයතනය... එතැනත් මම වැඩිම කාලයක් සේවය කළ ආයතන ප්‍රධානියා සේවයෙන් සමුගන්න බව මීට සති කිහිපයකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නා... ඔහු හා මා හමුවෙන විට නිකම්ම නිකම් තවත් එක් සේවකයෙක් වුණු මට වෘත්තීය මට්ටමේ තරඟකාරී පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි ඉගෙන ගැනීමට ඔහු ලබාදුන් සහාය අති විශාලයි...

ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු එළැඹි පළමු රාජකාරී මීටිම මට තවමත් මතකයි...

"බොස්, පර්පස් ඔෆ් ද මීටින් ‍ටුඩේ ඉස් ‍ටු ඩිස්කස් සම් ප්‍රොබ්ලම්ස් ඉන් ද පෝස්ටල් ප්‍රොජෙක්ට්..."

ආචාරශීලී හමුවීමකින් පස්සේ මීටිමේ ප්‍රධාන අරමුණ මම ඔහුට සඳහන් කළේ ඔහුගේ කාලයෙන් සැලකිය යුතු වේලාවක් මට වෙන්කිරීමට සිදුවෙන බව ඇඟවීමටයි...

"ෆයින්...ඉන්ෆැක්ට් ලෙට්ස් නොට් ඩිස්කස් ද ප්‍රොබ්ලම්ස් බීට්ල්... බ්‍රින්ග් මී ද සොලුයුෂන්ස් ‍ටුමාරෝ... ලෙට්ස් ඩිස්කස් දෙම්..."

එසේ පැවසූ ඔහු තත්පර ගණනකින් මීටිම හමාර කරමින් නැගී සිටියේ, සාර්ථක පුද්ගලයෙකු වීමට පිළිපැදිය යුතු කරුණක් ගැන ප්‍රථම පාඩම මා හට කියා දෙමින්...

එතැන් පටන් අද දක්වා මා ඔහුගෙන් උකහා ගත් දෑ බොහෝයි... පුද්ගලික ආයතනයක ඇති තරඟකාරී වටාපිටාවට හැඩගැසෙමින් ආයතනයේ දියුණුවට දායක වෙන අතරේ එකතැන පල් නොවී තමාගේ පුද්ගලික දියුණුව සලසා ගන්නා අයුරු මා පියවරෙන් පියවර ඔහුගෙන ඉගෙන ගත්තා... විශේෂයෙන්ම ආයතනය තුළ ප්‍රධානියාගේ "ඈස් කිසර්" කෙනෙකු නොවී ඔහු හා කුළුපග සම්බන්ධයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් එහි ඇති වැදගත්කමත් ඔහු මට කියා දුන් වටිනා පාඩම් වලින් එකක්...

විටෙක මා අඩ නින්දේ සිටියදී හෝ නාන කාමරයේ ස්නානය කරමින් සිටියදී හදිසියේම සිත පිළිසිඳගන්නා අතිශය විකාරරූපී ව්‍යාපාරික අදහසක් බිය සැක නැතිව අතහැරිය හැකි හොඳම ස්ථානය වන්නේ ඔහුගේ කන්තෝරු කාමරයයි... විටෙක එය අසා තමා පි‍ටුපස ඇති සුවිසල් වීදුරුවෙන් එපිට පෙනෙන නිමක් නැති සාගරය දෙස බලා තනිවම සිනාසෙන ඔහු ඉන් ටික වේලාවකට පසු එම අදහස වඩාත් ඔප මට්ටම් කිරීමට උදව්දෙන්නේ කුඩා දරුවෙකු තමාට ලැබුණු අලුත් සෙල්ලම්බඩුවක් පිරික්සන්නාක් වැනි උනන්දුවකින්...

මේ මීට කලකට පෙර සිදුවීමක්… මාගේ කුඩා කළ පටන් ළබැඳි මිතුරෙකු වූ නමුත් කාලයත් සමඟ වෙනතක ඇදී ගිය හිතවතෙකු වසර ගණනාකවක පසු මා හමුවීමට ආයතනයට දිනක් පැමිණියේ අපගේ පැරණි මිතුදම අලුත් කරගැනීමේ අදහසින්...

මේ හමුවේදී ඔහු මට තිළිණ කළේ මනරම් සටහන් පොතක්... අතිශය සිත් ගන්නාසුලු අයුරින් අත්කම් නිර්මාණයක් ලෙස නිමවා තිබූ එය සාමන්‍ය කඩදාසියකට වඩා තරමක වෙනස් රළු කඩදාසියකින් සැකසූවක් … එහි ඝණකම් පිටකවරය මත සවිකර තිබූ කුඩා අගුලකින් පොත වසා අගුළු දැමිය හැකි සේ සකස්කර තිබුණා...

"උඹ ඉස්සර පොතේ අන්තිම පි‍ටු වල එක එක ඒව කුරු‍ටු ගානවනේ... ඒක මතක් වෙලා උඹට දෙන්න කියලා අග්‍රා වලදී මම ගත්තේ..."

එදා ඔහු දුන් ඒ පුංචි තිළිණය පසුව මගේ ජීවිතය හැඩගස්සවන මෙවලම වෙවි යැයි මම සිහිනෙකින් වත් සිතුවේ නෑ... එදිනම මා ප්‍රධානියා මට ලබාදුන් අවවාදයක් නිකමට මෙන් මා සටහන් කළේ අරමුණකින් තොරවයි... එතැන් පටන් අද දක්වා මා ජීවිතයේ හමුවූ ඔවදන්, විඳීම්, හැඬීම්, වැළපීම් රාශියක් අකුරු වලට පෙරළී ඒ රළු කඩදාසි පි‍ටු අතරේ මටත් නොදැනීම තැන්පත් වී තිබුණා...

පෙර දිනයේ ආයතන ප්‍රධානියා වෙනුවෙන් සමුදීමේ කතාවක් කිරීමට පැවරුණු හෙයින් නිකමට මෙන් මේ සටහන් පොත පෙරලීමේදී ඔහු මාහට දුන් අවවාද අනුශාසනා වලින් සටහන් පොත පිරී ඇති අයුරු දැක ඔහුගෙන් මා කෙතරම් දේ ඉගෙන ගත්තාදැයි සිහි වී මාගේ දෑස් තෙත් වූයේ නිරායාසයෙන්...
අප ආයතනයේ ප්‍රධාන සාකච්ඡා කාමරයේ බිත්ති අතර දෝංකාර දුන්... විටින් විට මා සටහන් පොතේ කුරු‍ටුගෑවී ඇති ඔහුගේ අවවාද ගොන්නක් අතරින් අතලොස්සක් කාටත් හොරෙන් මතකයෙන් මා සටහන් කරගෙන ඇති අයුරු වෙනස් කිරීමකින් තොරව මෙසේ සටහන් කරන්නම්...

We are not perfect… We don’t have to be… Let’s try to do our best…

Love your company… If you don’t like it, stop complaining and find a better place…

Whatever the work we do at the office… We have to make sure it’s useful at the end…

If you wanna say NO, pls say it…

We can’t please everyone here… Don’t even try…

Never wait until the last minute...!

Don’t ever let emotions overcome your intelligence whenever you are taking a decision… At least within the walls of this boardroom…

Let’s prepare for the worst…

You know what… Busy doesn’t mean productive…

Don’t just say it’s a good idea… good idea is nothing until you execute it…

ඔහුගේ සමුගැනීමේ සාදයේදී බෙදා හැරීම සඳහා මේවායින් සමහරක් වඩාත් විධිමත්ව සකසා පරිගණක ග්‍රැ‍ෆික් ශිල්පියා ලවා කාර්යාලීය මේසය අසල සවිකළ හැකි මනරම් පත්‍රිකාවක් ලෙස සකස් කිරීමට උත්සාහා කළත් කාර්ය බහුලත්වය නිසා එය අසාර්ථක වුණා...

ඉතින් මේ හෑල්ලක් ලියුවේ ඔහු වෙනුවෙන් වූ සමුගැනීමේ කතාවේදී මා සඳහන් කරන්නට යෙදුන කුඩා කතාවක අනුවර්තනයක් පළ කිරීමේ අදහසින්... පෙරවදනම පෝස්ට් එකක් තරම්ම දිඟු වූ නිසා කියවන්නාට නීරස නොවන ලෙස එය ඊළඟ පොස්ට් එකේ පළකරන්නම්...

අවසානයට යමක් සඳහන් කරනවා නම් ඔහු මාගේ ප්‍රධානියා ලෙස පත් වී පැමිණි අලුතම මාහට ලබා දුන් මූලික අවවාද වලින් එකක් මාගේ සටහන් පොතේ මුල් පි‍ටු අතරේ මෙසේ සටහන් වී තිබුණා...

Whether you like it or not… Right now I am your BOSS… You better accept it…

සැඩපහරේ යාත්‍රාව නොපෙරෙළී හසුරා ගන්නා අන්දමත්, නිසළ දියේදී නැංගුරම් ලා බි‍ඳෙන දිය‍රැළි වල සුන්දරත්වය විඳින අන්දමත් යන දෙකම මට ඉගැන්වූ නියමුවාණෙනි, නොදන්නා දියඹක ත්‍රාසජනක අභියෝග හඹා යෑමට නොනිත් ආසාවෙන් ‍රැවල් දිගහරින ඔබට සුභ ගමන්...

9 comments :

  1. කවද හරි ඔබත් හොඳ බොස් කෙනෙක් වෙන්න හිතාගන්න.

    ReplyDelete
  2. /*
    විටෙක මා අඩ නින්දේ සිටියදී හෝ නාන කාමරයේ ස්නානය කරමින් සිටියදී හදිසියේම සිත පිළිසිඳගන්නා අතිශය විකාරරූපී ව්‍යාපාරික අදහසක්
    */

    ඔය ලෙඩේ මටත් තියෙනවා. හි, හි.

    ReplyDelete
  3. I want to tell you "Thank you,"
    But it doesn't seem enough.
    Words don't seem sufficient--
    "Blah, blah" and all that stuff.

    Please know I have deep feelings
    About your generous act.
    I really appreciate you;
    You're special, and that's

    ReplyDelete
  4. - By Joanna Fuchs

    ReplyDelete
  5. ෂහ්... හොඳ ලොක්කෙක් නෙව ඉඳල තියෙන්නේ.... නියම ඔවදන් ටික...

    ReplyDelete
  6. @Kathandara
    සීරියස්ලි හා... :)

    ඇත්තට මේ ලෙඩේ තියෙන තව දෙතුන්දෙනෙක්ම මටත් හමු වෙලා තියෙනවා...

    @සොඳුරු සිත
    කවියක් ලියාගන්න බැරි නිසාම කතාවකින් සමුදුන්නා...

    @hare :-)
    ඔව් ඇත්තටම, එයත් එක්ක අපි ඉර හඳ අල්ලන්න යන්න වුණත් බය වුණේ නෑ...

    ReplyDelete
  7. නියම බොස් කෙනෙක් ... මගේ බොසාට මේක ඊමේල් කරන්න ඕන

    නියම ලිවිල්ලක් බිට්ටල්

    ReplyDelete
  8. හිස් අහස,
    ඊමේල් කලාට මදි.. අපිත් එහෙම වෙන්න බලමු... :D

    buwa
    යා යා :)

    ReplyDelete

Web Statistics