Thursday, February 23, 2017

119. සේතං මාමාගේ "ඩීප් ස්පේස් ඩිස්කවරීස්" ලොජික්


අපේ ගමේ කඩ තුන හතරක් තියෙනවා... ඒ වුනාට සනත් නන්දසිරි කියනවා වගේ "ගැටව් කතාබහට කඩ එළිපත්තේ ර‍ංචු ගැහෙන්නේ" ඔතනින් එක කඩේක විතරයි... ගැටව් කිව්වට හැට හැත්තෑව පැනපු උන්දෑලත් ඔතන ලගා ගහගෙන ඉන්නවා...

ගමේ කෙහෙල්කැනක් නැතිවුණ තැන ඉදන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ශක උපදේශක ඉල්ලා අස්වුණ එක වෙනකල් දේවල් ඔතන විශ්ලේෂණය වෙනවා... හදිසියකට යන එනගමන් ඔතන කවුරුහරි හම්බුවෙන්න වගේ ආවොත් ඇරෙන්න මම නම් බඩුවක් ගන්න ඕකට යන්නේ නෑ... 

අපේ වහලෙට බරවුන අඹ අත්තක් කපාගන්න අද ගස්කපන ගොත ලාල් හම්බුවෙන්න ගියාම කඩේට ගියා කියලා උන්දැගේ පවුල කියපු හින්දා මම ඔතෙන්ට ගියා... ගොත ලාල් ඇරුනම  ඔතන සේතනුයි, චාමරයිත් හිටියා.. . ඒ වෙලාවේ තමයි මොබයිල් ෆෝන් එකට ආව හිරු නිවුස් ඇලර්ට් එකක්ද කොහෙද චාමරයා කියවන්න ගත්තේ...

"තනි තරුවක් වටා..පරි....බ්‍ර.. පරිබ්‍රමනය වෙන...පූඋඌ...පුරුතුවිය.. පෘතුවියට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනෙයි..ඉන් තුනක් වත් ජීවය සහිත බව නාසා මද්යස්තානය කියයි..."

"කොහොමද වැඩේ...?" අමාරුවෙන් සින්ග්‍රීසි මැසේජ් එක කියවලා, යට තොල නොපිට පෙරළලා  මූ අහන්නේ හරියට මූ ජීවය හොයාගත්තා වගේ...

"දැන් මොක්කුද ඕකේ ඉන්න ජීවය.. සරුපයොද..? සීපාවොද..? මොක්කුද..?" 

සේතං අප්පු තරමක මීටරයක් වග මට කලින් සිද්දි දෙකතුනකින් උන්දෑ එක්ක කතාකරද්දී මට දැනිලා තියෙනවා...

"ඒක කියලා නෑ..." චාමරයා කියන්නේ ආයේ ෆෝන් එක දිහා බලලා..

"මම අහපු විදියටනං ජීවයක් ගැන කියලා නෑ සේතං මාමේ..ඔය නිවුස් කාරයට වැරදිලා... ජීවයක් තියෙන්න අවශ්‍ය වතුර එහෙම තියෙන්න පුළුවන් කියලයි සැක කරන්නේ.." මම කිව්වා..

"ඉතිං වතුර තියෙනවා කියන්නේ ඒවා බොන්න ගෝන්නු මුවෝ එහෙමත් එනවනේ..උන්ව දඩයමට සිංහයෝ කිඹුලෝ හෙමත් ඇති..." 

හිරු නිවුස් එවුන්ව බේරන්න හරි, මේ සාකච්ඡාවට සම්බන්ද වෙන්න හිතාගෙන හරි චාමරයත් මැදට පැන්නා...

"මිනිස්සුන්ට ගොඩ බහින්න පුළුවන් ඉසව්වකද ඕවා තියෙන්නේ..?" 

චාමරයව ඉග්නෝ කරලා සේතංන් අප්පු මගෙන් ඇහුවා..

"ආලෝක වර්ස හතලිහක් කියනවනේ..ඒ කියන්නේ ආලෝකේ වේගෙන් ගියත් අවුරුදු හතලිහක් යනවා..."

"පුහ්...! ඒ කියන්නේ ඉර්දියෙන් තමයි යන්න වෙන්නේ...රොකට්ටුවල යන්න බෑනේ ඔච්චර දුරක්..."  

"ඔන්න ඔය කොහෙද කාලෙක ඉර්දියෙන් හාමුදුරුවරු අහසින් වැඩියා කියනවානේ ඉර එලිය වත් පොලවට වැටිලා නෑලු... එච්චර හාමුදුරුවරු...හක...හක..." ආයෙත් චාමරයා...

"රොකට් වල නං යන්න දුර වැඩි තමයි සේතං මාමේ..."

"කරන්න බැරි මඟුල් නේ... ඕවා ගැන හොයන්න වියදම් කරන සල්ලිත් අපරාදේ... සිරියාවෙද කොහෙදෝ හාමතේ මිනිස්සු මැරෙනවලු අන්න... උන්ට පාන් වාටියක් දුන්නත් පිනක් ඔය සල්ලි වලින්..."

කඩේ මිනිස්සු එක්ක වාද කරන්න යන්නේ නෑ කියලා හිතාගෙන හිටියට මොකද එවලේ මට එතනින් එන්න හිතුනේ නෑ...

"එහෙම කියන්න එපා සේතං මාමේ...මේ සෞරග්‍රහ මණ්ඩලේ දිගටම තියෙන්නේ නෑනේ... අපේ ඉර මැරෙනවා කියනවා තව අවුරුදු බිලියන හතරකින්ද, පහකින්දෝ කොහෙදෝ... එතකොට අපිට යන්න තැනක් තියෙන්න එපැයි...අනාගතේ ඔතෙන්ට යන්න ප්‍රායෝගික ක්‍රමයක් හොයාගනී..ඒක හින්දා මේ ගැන අපි සතුටු වෙන්න ඕනේ..."

"අපිට යන්න...! යකෝ මම තවරුදු දහයක් ඉදීද විස්වාස නෑ.. උබලා වැඩිම උනොත් තව පනහක් ඉදියි... ඉතිං අපි අහවල් එකටද සතුටුවෙන්නේ..."

"ඕකනේ කියන්නේ උඹලාගේ පටු චින්තනේනේ හැමවෙලේම..මනුස්ස සංහතිය ගැන මම කියන්නේ සේතං මාමේ...උඹලා අපි වගේ කාලකන්නි  වගේ නෙමේ විද්‍යාඥයෝ මනුස්ස සංහතිය ගැන හිතලයි වැඩ කරන්නේ...ඒකයි මම කියන්නේ අපි සතුටු වෙන්න ඕනේ..."

"අර පෝය තුන හතරකට එහා... අටවිසි බුද්ද පූජාව ඉවරවෙලා ආපහු එද්දී... මේ සාරාසංඛ්ය කල්ප ලක්සයේ බුදුවරු විසි අටක් පහලවෙලා තියෙනවා කියලා මම සෝමසිරිගේ පොඩි කොලුවට කියලා දුන්න වෙලේ උඹ කිව්වා මතකද ඕවා පොත්වල තියෙන මනෝ විකාරය...මිනිස්සු පරිනාමයද මොකද්ද වෙලත් අවුරුදු කොච්චරයිද කියලා..."

"දළ වසයෙන් අවුරුදු ලක්ස දෙකක් විතර කියලයි පිළිගන්නේ..."

"දැන් මේ ඉර මැරෙනවා කිව්වේ අවුරුදු බිලියන කීයද..?"

"හතරක්, පහක් විතර.."

"එතකොට ලක්ස දෙකට මෙහමනං... අවුරුදු බිලියන පහක් තිස්සේ පරිනාමය වෙලා මේ ලෝකේ අතෑරල ඔය අලුතෙන් හොයාගත්ත ග්‍රහ ලෝකෙට යන එකා දැන් මේ උබලා අපි වගේ මනුස්සයෙක් වෙන්න බෑනේ... එතකොටත් උබ කියන්නේ අපි සතුටු වෙන්න ඕනේද..?"

"ඔබට සතුටුයිද දැන්...?" චාමරයා අහනවා...

"පා...පා...පා..පරි...ණා...ණා.." ලාලුත් ගොත ගගහා මොනවද කියලා ඉවරවෙන්න කලින් මම එන්න ආවා..

ප.ලි. : මෙය කියවන කිසියම් අයෙක්ට යම් සිත් තැවුලක් ඇතිවන්නට අවදානමක් ඇතැයි යන සිතුවිල්ලෙන් මේ සටහන...  මෙහි "ගොත ලාල්" යනුවෙන් යොදාගෙන ඇත්තේ කෙනෙකුගේ ශාරීරික අභියෝගයක් උපහාසයට ලක්කිරීමේ අදහසකින් නොවෙයි.

1. මේ සැබෑ චරිතයක්.. ඒ අව්‍යාජ බව කතාවට එකතුකරන්න අවශ්‍යය වුනා... මා පුද්ගලිකව මෙවැනි කාරනා ගැන අද තරමක් සංවේදී වුනත් එදා ගමේදී ඔහුගේ මානසික තත්වය ගැන අනෙක් ගම්මුන් මෙන්ම සහමුලින්ම අසංවේදී වුන බව සිහිකරන්නේ කණගාටුවෙන්...

2. පරිණාමය ගැන පුංචි තාක්ශණික අවුලක් මේ කතාවේ තිබේ යැයි මට හිතෙනවා..කෙනෙක් ඒ වැරැද්ද ප්‍රශ්න කලොත් එය නිවැරදි කරන්න මේ චරිතය අවශ්‍යයයි...

16 comments :

  1. සේතං මාමා ඉගෙන ගන්න දක්ෂයා..... ප්‍රා යෝගිකව යොදා ගන්නත් දක්ෂයා. ආන්නෙහෙම අයයි අද අපට හිඟ

    ReplyDelete
  2. සේතං මාම ගෙන් අහපන් පාර්ලිමේන්තු යන්න කැමති නැද්ද කියලා.. අද අපිට එතන නැත්තෙම ඔය වගේ පොයින්ට් එකට කතා කරණ බුවාලා... මහ එකාගේ ඉඳන් පොඩිම එකාට යනකම්ම "යන්නේ කොහෙද මල්ලේ පොල්" තමා..

    ReplyDelete
  3. මමත් දවසක් එකෙක් එක්ක වාදෙක පැටලුනා ඔය සාරාසංඛෙයි, අට විසි බුදුවරු ගැනයි...පරිණාමෙයි ගැන... ඌ කියන්නෙම මිනිස්සු කොහෙන්ද මංදා ඇවිත් මොනවද කෑවම සු‍ටුස් ගාලා මේ ලෝකෙට ඇලුනා කියලා ආයෙ යාගන්න බැරුව...

    දැන් මේ රොකට් හදන් වෙන ලෝකෙකට යන කතාව කියෙව්වම මට හිතුනා අඩේ අරූ හරිද මංදා කියලත්.. ඒ කියන්නේ අපි රොකට් හදන් වෙන ලෝකෙකින් ( ඒ ලෝකේ භක්ෂණය කරලා ඉවර වෙලා ) මේ ලෝකෙට ආව වෙන්න පුලුවන් නේද ?

    ReplyDelete
  4. ඉදලා හිටලා කඩේට සෙට් වෙලා මේ වගේ තව කතා දෙක තුනක් අපිට ලියහන්

    ReplyDelete
  5. යකෝ සේතං මාම කියන්නෙ නාසා එකේ ඉන්න ඕන පොරක්නෙ.
    අම්මප තව අවුරුදු බිලියන ගානක් යනකොට අර ඩේවිඩ් බෝමන් වගේ සුටුස් ගාන ඕන තැනකට යන්න පුලුවං විදියට මිනිස්සු පා...පා...පා..පරි...ණා...ණා..මනය වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. නිට්ටබ්බුවේ ඉදලා සුටුස් ගාලා කටුනායකට එන්න පුලුවන් පොරොවල් ඉන්නවා බොරුනම් විදනයාගෙන් අහපන්

      Delete
    2. බ්ලැක් ඕපල් ගහල ද?

      Delete
  6. සේතං මාම නියම බුලට් එකක් නේ.සේතං මාම ගේ තර්කයත් හරි.දැන් ඔය නසා එකෙන් එහෙම සඳ ගමන් අතහැරලා කියන්නේ අධික වියදම නිශ්පල දෙයක් කියලා නේද ?

    ReplyDelete
  7. සේතන් මාමා වගේ බුවෙක් හොඳයි තමයි සමහර පන්ඩිතයන්ට වඩා.

    ReplyDelete
  8. සේතන් අප්පුට තේරෙන දේ නාසා එකට නොතෙරෙනවද මන්ද..

    ReplyDelete
  9. ආරොං මාමා හිටියෙ නැතෙයි?

    ReplyDelete
  10. ඒ කියන්නේ උඹ ආපහු ලියන්න පටන් අරගෙන. මම්ත් කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ.......!

    පට්ටයි !

    පට්ටයි ඔක්කොටම වැඩිය මොකද මම අන්තිමට උඹේ බ්ලොග් එකට එනකොට උඹ කමෙන්ට් වහලා තිබුනේ.......!

    ReplyDelete
  11. සොසී, සෙන්නා, මෙන්ඩා, ඉයන්, ප්‍රසන්න, මනෝජ්, ප්‍රාජේ, අරූ, අම්බල‍ංගොඩ, රසික, දුමී හැමදෙනාටම ස්තූතියි...!

    ReplyDelete

Web Statistics