“එන්න ඔය ඇති දැන් යන්…”
අම්මා ඇයගේ යෙහෙළියගෙන් නිවසින් එළියට බහින ගමන් එසේ පවසන්නේ ගෙමිදුලේ චොපර් බයිසිකලයක් තල්ලු කරමින් සිටින මාහටයි…
“ඇති… අපි යනවා…”
මාගේ අලුත් යෙහෙළියට ඇයගේ බයිසිකලය බාර දෙන මා ඇයගෙන් සමුගන්නේ තවත් රවුමක් බයිසිකලය තල්ලු කිරීමට ඇති ආශාව මඬින ලද සිතින්…
“අම්මේ අපිටත් බයිසිකලයක් ගන්න බැරිද..?”
මා අසන්නේ ඉන් බොහෝ වේලාවකට පසු අප නිවස ආසන්නයේදී… නිවසින් බැහැරට යන වේලාවන්හිදී කිසිවක් නොඉල්විය යුතු බවට අම්මා විසින් මැනවින් පුහුණු කරන ලද මගේ සංයමය බිඳින්නේ එහෙමත් දිනෙකයි… බරැති සුසුමක් හෙළන අම්මා මා හිස අත ගාන්නේ නිහඬ මුවින්…
පිළිතුර සරලයි…
“බයිසිකලයක් ගන්න කොයින්ද පුතේ අපිට සල්ලි…”
ඉන් සති කිහිපයකට පසු පාසැල නිමවී නිවසට එන මා හට දකින්නට තිබෙන්නේ ගෙපිලේ හේත්තු කර ඇති චොපර් බයිසිකලයක්…
දන්නා හඳුනන අය ලවා ආරංචි කරගෙන පාවිච්චි කල බයිසිකලයක් අඩු මිලට සොයා ගන්නටත්… එය මිලදී ගන්නටත් අම්මා මහත් වෙහෙසක් දරන්නට ඇති…
නමුත් මට හොරෙන් එය රැගෙන විත් බලාපොරොත්තු නොවූ මොහොතක මට තිළිණ කර මා මුහුණේ ඇඳුණු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
********
“හෙට කම්බි ඇදලා කරන්ට් දෙනවලු… ඔහේලගේ වයරින් කරලා තියෙන ගෙවල් සේරටම හෙටම කරන්ට් ලැබේවි…”
අප නිවසට රැස්වුණු අවට ගම් වැසියන්ට තාත්තා කියන්නේ ජයග්‍රාහී ලීලාවෙන්… තම නිවස වයරින් කරගන්නට මුදල් නැතත් ගමට විදුලි බලය ලබා ගැනීමට තාත්තා ආණ්ඩුව සමග ගෙනගිය හුදෙකලා සටනින් ඔහුට ජය හිමිවන්නට ඇත්තේ තව හෝරා කිහිපයයි…
“හැබැයි ඉතින් මෙච්චර මහන්සි වුණ එකේ සිරිල් අයියටත් කරන්ට් ලැබුණනම් තමයි අපිට හිත සැනසීම…”
“තව මේ පොඩි වැඩ ටිකක්නේ ඉතුරු වෙලා තියෙන්නේ… ඒ ටික හෙට අනිද්දාම එකලාසියක් කරගත්තම හරි…”
තාත්තා කියන්නේ අහිංසකව සිනාසෙමින්…
පසු දින තාත්තා රැකියාවට පිටත්ව යන්නේ ඉර අවරට හැරුණු පසු නැවත නිවසට පැමිණේද්දී, තම නිවසේ නැතත් අවට නිවෙස් වල විදුලි ආලෝකය දැකීමේ බලාපොරොත්තුවෙන් විය යුතුයි…
ඒ පාසැල් නිවාඩු කාලය නිසා නිවසේ නතර වී කෙළි සෙල්ලමෙන් මිදුලේ කාලය ගතකරන මා දකින්නේ ප්ලාස්ටික් බට, වයර් රෝල් වැනිදේ කිහිලි ගන්නාගෙන යතුරු පැදිවලින් අප නිවසට සේන්දුවන තාත්තාගේ මිතුරන් කිහිප දෙනෙක්…
“පුතේ අම්මා ඉන්නවද..?”
“ඉන්නවා…”
මා පවසද්දීත් අම්මා ගෙපිලට පැමිණ අවසන්…
“අක්කේ සිරිල් අයියා ලයිට් වැඩේට ගොඩක් මහන්සි වුණ එකේ එයා කළුවරේ ඉද්දී අපිට ලයිට් තිබිලා වැඩක් නෑ… අපි හදන්නේ සිරිල් අයියා හවස වැඩ ඇරිලා එන්න කලින් ගෙදර කරන්ට් සෙට් කරන්ඩ…”
පැය ගණනාවක් ඔවුන් කඩිසරව වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු මා බලා සිටියේ ඔවුන්ගේ සැලැස්ම ගැන එතරම් අවබෝධයකින් නෙවෙයි… සවස තාත්තා නිවසට එද්දී වැඩ සියල්ල නිමා කර නිවසේ එකදු කුප්පි ලාම්පුවක්වත් නොදල්වා මුළු නිවසම අඳුරේ තබන්නේ ඔවුන්ගේ සැලැස්මකට අනුවයි…
“මොකද මේ ගේම කලුවරේ… ලාම්පුතෙල් ඉවරද...?”
එසේ අසාගෙන තාත්තා ගෙටගොඩවෙද්දී තිලකේ අංකල් මේන් සුවිච් එක දමන්නේ මුළු නිවසම ඒකාලෝක කරමින්… විදුලි ආම්පන්න වියදමත්, වරුවක් තිස්සේ ඔවුන් කිහිපදෙනෙක් වූ මහන්සියත් සුළුපටු නොවෙයි… නමුත් බලාපොරොත්තු නොවූ මොහොතක නිවසේ විදුලිය දැල්වීමට සලස්වා තාත්තාගේ මුහුණේ ඇඳුණු සිනහව දැකීමෙන් ඔවුන් ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
*********
මේ අතීත සිදුවීම් දෙක ගැලපුවේ වෙනත් කතාවක් කියන්නයි… ජීවිතයේ කෙනෙකුට සතුටුදායක දෙයක් ලබාදිය යුත්තේ සර්ප්‍රයිස් එකක් ලෙස බව මා තරයේ අදහන කරුණක්… එවිට එහි සතුට වඩාත් ඔපදමාගත හැකියි… මේ අද මට ලැබුණු එවැනි සර්ප්‍රයිස් එකක්…
දෙමාපිය නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්ව විදේශ රටක ගතකරන ජීවිතයක අහිමි වන දේ බොහෝමයි… සිතූ සැණින් සපයා ගත නොහැකි ලංකාවේ සමහරක් කෑම බීම ඉන් එක් දෙයක්…
“මට ආසාවක් ආවා හැලප කන්න… මේ පාර නිවාඩුවට යද්දී ඔයාලගේ අම්මට කියන්න හැලප හදන්න කියලා හොඳේ..?”
දින කිහිපයකට පෙරදී, හැලප හදමුදැයි නොකියා මා ඇයට එසේ කියුවේ හැලප සෑදීමට හැකිදැයි ඇසීම මොඩකමක් බව දන්නා නිසයි… කුරක්කන් පිටි නම් කොහෙන් හරි හොයාගත්තායැයි කියමු ඒත් දෙවියනේ කැන්ද කොල මොන ලෝකෙන් හොයන්නද..?
දවස් කීපයක් ගතවෙන්නේ සුපුරුදු නිහැඬියාවෙන්… නමුත් සියල්ල වෙනස් වෙන්නේ අද සවස තේ මේසයට පැමිණෙන මේ අමුතු පිඟානෙන්…

“මේ මොනවද..?”
“ඇරලා බලන්ඩකෝ…”

හැලප..!!! 
මා නොමැතිව කිසිදින නිවසින් බැහැරැට ගොස් නැති ඇයට නාඳුනන රටක කුරක්කන් පිටි හොයමින් නගරය පුරා තනිවම සැරි සරන්නත්, අවශ්‍ය අනෙකුත් අඩුම කුඩුම මිලට ගෙන අවසානයේ මෙය සෑදීමටත් වෙනදාට වඩා වෙහෙසක් ගන්නට සිදුවෙන්නට ඇති… එහෙත් ඇලුමිනියම් පැහැති ෆොයිල් කොලය විවෘත කර බැලීමෙන් පසු මා මුහුණේ ඇඳුනු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
තවකෙකුගේ පුංචි සිහිනයක් පාට කිරීමට ඔබ ගතයුතු වෙහෙස බොහෝ විය හැකියි… එහෙත් එසේ කිරීමෙන් ඔබ ලබන සතුට මිල කල නොහැකිනම් ඔබ ජීවිතය උපරිමයටම විඳි කෙනෙක් බව නිසැකයි…