Tuesday, July 12, 2011

31. චරිත පහක් | fi_V_e (II කොටස)


5
මෙතෙක් කතාව
ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

අද එතැන් සිට

ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු වලින් කියලා ලෝචනා කොහේදෝ කියවලා තිබුණා... ඒත් ඒ බලාපොරොත්තුම ජීවිතේ මේ තරම් අන්තයටම කලකිරවනවා කියලා ඇය දැනගෙන හිටියේ නෑ...
සිදුනොවිය යුතු දෙයක් ඇත්නම්, ඒ දේම සිදුවීම ලෝචනාගේ ජීවිතයට අලුත් දෙයක් නෙවෙයි... මෙවරත් එය එසේම සිදු වුණා... තවත් වාරයක් තම වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කරගෙන ඇය තානාපති කාර්යාලයේ කැරකෙන දොරින් එළියට ආවේ විකල් වූ මනසින්...

"තව පාරක් ට්‍රයි කරමු.." දුරකථනය දිගේ එන සුපුන්ගේ පරාජිත පිළිතුර ලෝචනා දැන් දන්නවා...

තේරුමක් නැති උත්සාහයක තමන් පැටලිලාද කියලා ලෝචනාට අවබෝධ වෙන්න පටන්ගත්තත් උපන් ගෙයිම ඒ සිතිවිල්ල ඇය මරලා දැම්මේ සුපුන් ඇයට නැති වුණොත් මොනවා වෙයිද යන්න ගැන ඇයට සිතන්නවත් අවශ්‍යය වූ නැති නිසයි...

සුපුන් සිටිනා ඉසව්වට තවමත් රාත්‍රිය බව ඇය දැන සිටියා… උදෑසනම ඔහු වෙත ලබාදිය යුතු අසුභ ආරංචියත් හිතේ තදකරගෙන, පරාජිත මනසකින් ඇය යෙහෙළියකගේ රූපලාවණ්‍යය ආයතනයට ගොඩ වැදුණේ ඇය සමඟ හෝ තම සිත තුළ ඇති පීඩනය බෙදා ගන්නවාය යන අදහසින්... තම ජීවිතයට බලපාන වැදගත්ම ගැටලුව විසඳිය හැකි කෙනා එහිදී මුණ ගැසේවියැයි ඇය සිහිනෙන්වත් සිතා සිටියේ නැහැ...

ඔහු මාලන්... යෙහෙළියගේ කෙටි හඳුන්වාදීමකින් ලෝචනා හා දොඩමළු වූ ඔහු, ඇයගේ වීසා සිහිනය ගැන අසා ලබා දුන් පිළිතුර ඇයට ඇසුණේ සුරපුරයෙන් බට දේවදූතයෙකු පවසනා දේව වාක්‍යයක් ලෙසින්...

"සුළු දෙයක්නේ... ක්‍රමේ දන්නවනම් වීසා ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි... මම ප්‍රොමිස් වෙන්නම් ඔයාට වීසා අරන් දෙන්න, ඔය ෆයිල් එක දෙන්න... අද හවස හය වෙද්දී මට කෝල් එකක් දෙන්න..."

ඔහුගේ නම සහ දුරකථන අංකය පමණක් සඳහන් වූ කාඩ්පතක් ඇය අතට පත් කරමින් ඔහු පැවසුයේ අතිශය විශ්වාසවන්ත ලෙසින්...

හැකි සෑම උත්සාහයක්ම දරා අසාර්ථකව ලෝචනා සිටියේ ලැබෙන ඕනෑම පිදුරු ගහක එල්ලෙන සිහියෙන්... මාලන්ට ෆයිල් එක ලබාදුන් ඇය සවස හය වනතුරු සිටියේ ඇඟිලි ගනිමින්... කෙසේ වුවත් සවස මාලන්ගෙන් ලැබෙන පිළිතුර ධනාත්මක වුවහොත් පමණක් මේ පිළිබඳව සුපුන්ට දැන්වීමට ඇය ඉටාගත්තා...

කිහිපවරක් නාදවුණු දුරකථනයට ඔහු සම්බන්ධ වුණේ ලෝචනා දුරකථනය විසන්ධි කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීයි...

"මාලන් මම ලෝචනා.."

"මම ඔයාගේ වැඩේ බැලුවා, කිසි ප්‍රශ්නයක් නෑ වැඩේ කරලා දෙන්න පුළුවන්..."

ඔහු කිව්වේ ඉතා සැහැල්ලුවෙන්...

"කොච්චර විතර මුදලක් යාවිද මාලන්..." වෙව්ලන කටහඬින් ලෝචනා ඇසුවා...

"සල්ලි වලින්නම් ඔයාට යන්නේ වීසා ෆීස් ටික විතරයි..."

ඇයට දැනුණේ සුදෝසුදු වලාකුළක නැගී හිමකැටි වන් වලාකුළු අතර සැරිසරමින් තමා අහසේ පාවෙනවා වැනි හැඟීමක්...

"ඔය ඇත්තමද..."

ලෝචනාට මෙය අදහාගත නොහැකි වූ බැවින් ඇය ඇසුවේ මෙහි කිසියම් සැඟවූ යමක් ඇත්දැයි පැහැදිලි කරගන්නා අටියෙන්...

"ඔව්… මෙහෙමයි, මම ඔයාට කෙලින්ම කියන්නම්... මට ඇති තරම් සල්ලි තියෙනවා, ඒ නිසා සල්ලි වැඩක් නැහැ... ඔයාගේ වැඩේ අනිවාර්යෙන්ම කරලා දෙන්න පුළුවන්, හැබැයි ඔයා මගෙත් එක්ක නයිට් එකක් ස්පෙන්ඩ් කරන්න කැමති වෙන්න ඕනේ..."

මාලන්ගේ ඒ පිළිතුරත් සමඟ ලෝචනාට දැනුණේ ඇය අහසේ හුන්තැනම සිටියදී ක්ෂණිකවම වළකුළු සියල්ල අතුරුදන් වූවාක් වැනියි... පාලනයක් නැතිව මහපොළවට ඇද වැටෙද්දී දෙකකුල් හිරීවැටී යනවා මෙන් දැනුණු නිසා ඇය අසල තිබූ බිත්තියකට වාරු වුණා... ගැහෙන ඇඟිලි තුඩු මතින් ගිලිහෙන්නට යන දුරකථනය තදින් අල්ලා ගත් ලෝචනාට ඇතිවුණේ තමන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නට උත්සාහා ගන්නා මාලන් ගැන අසීමිත පිළිකුලක්…

"මාලන් මම කවදාවත් හිතුවේ නෑ ඔයා මට උදව් කරන්න හදන්නේ මේ වගේ සිතිවිල්ලකින් කියලා..."

හැඬුම් මැදින් ඇය පැවසූයේ ඇයට මෙතරම් බලාපොරොත්තු දී අවසනායේ ඒ සියල්ල කඩකිරීම ගැන ඔහු කෙරෙහි උපන් කෝපයකින්...

"මම ඔයාට කරන්න හදන්නේ උදව්වක් නෙමෙයි... උදව් කරන්න තරම් අපි ක්ලෝස් යාළුවෝ නෙමෙයිනේ... මෙක ගනුදෙනුවක්, ඔයාට අවශ්‍යය දේ ඔයාට ලැබෙන, මට අවශ්‍යය දේ මට ලැබෙන දෙන්නටම සාධාරණ ගනුදෙනුවක්... ඔයා අකමැතිනම් රිජෙක්ට් කරන්න පුළුවන්, බයවෙන්න එපා මම ආයේ ආයේ ඔයාගේ පස්සෙන් එන්නේ නෑ... කරනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න...අනිත් එක, ඔයා කිව්වොත් හැරෙන්න මගෙන් මේ ගැන වචනයක්වත් පිට වෙන්නෙත් නැහැ... ඔයාට කාලය අවශ්‍යය නම් හෙට හවස් වෙනකල් කල් දෙන්න පුළුවන්... මොකද අනිද්දා හවස මම ෆ්ලයි කරනවා..."

"මාලන් ඔයාට පිස්සුද..? මේක කවදාවත් වෙන්නේ නෑ..."

"ඕකේ.. ඔයාගේ තීරණය ඒකනම් ගැටලුවක් නෑ... අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔයා හෙට රෑ මගෙත් එක්ක හිටියොත් ඔයාට වීසා අරගෙන දෙන බවට මම සහතික වෙන්නම්...එච්චරයි... හෙට හවස් වෙන්න කලින් තීරණයේ වෙනසක් වුණොත් මට කෝල් කරන්න...ගුඩ් බායි..."

ඉතා සන්සුන් හඬකින් මාලන් ලෝචනාට සමුදෙද්දී, තමන්ගේ ජීවිතයේ අප්‍රසන්නතම දුරකථන ඇමතුම හමාර කල ඇය තමා වාරු වී සිටි බිත්තිය දිගේ පහළට රූටා විත් සීතල පොළව මත හිඳගත්තේ ඉකිගසා හඬමින්...

-මතු සම්බන්ධයි-

4 comments :

  1. කෝ තුන්වෙනි කොටස?

    ReplyDelete
  2. malan,
    ලියාගන්න බැරිවුණා මචං... ඉක්මණින් දාන්නම්...

    ReplyDelete
  3. වමනෙ යන්න එවනවා...ඒ කෝල් එක ගැන ඇහුවම...යෑක්ක්ක්.....

    ReplyDelete
  4. හ්ම්ම්.....ඇත්ත තිත්තයි.

    ReplyDelete

Web Statistics