Sunday, December 14, 2014

99. මම බලපු චිත්‍රපටි

image

කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට වෙන වෙනම පාට ගාන එකත් ඒ හැටි අමාරුවක් නැහැ…

පිලිපීන ජාතිකයින්ව එහෙම පාට කරන්න කියලා මට කිව්වොත්, මම පාට කරන්නේ හැම දෙයක්ම පුදුමාකාර සැහැල්ලුවකින් විඳින අපායේ වුණත් හිනාවෙවී දවස ගෙවන විනෝදමත් පාටකින්… කල්ප විනාශය දවසටත් වියැකෙන එකක් නැහැ කියලා හිතෙන ඒ අරුම පුදුම හිනාව අඳින්නේ  බොහෝවිට මහමෙරක් තරම් වෙන දුක් කන්දක් කියලා අන් අයට නොදැනෙන්නට ඒගොල්ලෝ මහ හුඟක් පරිස්සම් වෙනවා… ඒ පරිස්සම මඟහැරුණ ඇසිල්ලක ලැබුණු ඔත්තුවකින්, එකකින් පසු අනෙකක් විදියට බැක් ටු බැක් පිලිපීන චිත්‍රපටි දෙකක් බලන්න මට ඉස්පාසුවක් ලැබුනා… මේ ලිපිය ඒ ආස්වාදය බෙදාගන්න…

මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන කතාවක් තමයි මේක… ඒත් අවංකව කිව්වොත් බැංකු මංකොල්ල කන, ගුවන් යානා හයිජැක් කරන වගේ මාරාන්තික ක්‍රියා මට එක්තරා විදියක වීරකම්… වර්ෂ දෙදාහේ මැයි මාසේ විසි පස්වෙනිදා   පිලීපීන ගුවන් සේවයේ ෆ්ලයිට් 812 හි මඟියෙක් තමන්ගේ ජීවිතේ එතෙක් කල මාරාන්තිකම ක්‍රියාව ක්‍රියාවට නංවනවා… පිලිපීන ජාතිකයෙකුට ප්ලෑන් එකක් තිබීම නිතර වෙන දෙයක් නෙමෙයි… නමුත් නමින් රෙජිනල්ඩ් චුආ වුණ මේ පිලිපීන ජාතිකයාට තිබෙනවා ප්ලෑන් එකක්…එතරම් සංකීර්ණ එකක් නෙවෙයි… පිස්තෝලයකිනුත්, අත්බෝම්බයකිනුත් සන්නද්ධ වෙන රෙජිනල්ඩ් ගුවන් මඟීන්ගෙන් හැකිතරම් මුදල් සහ ස්වර්ණාභරණ කොට්ට උරයකට එකතු කරගන්නවා… සමහර මඟීන් කිව්වේ එහෙම කරද්දී ඔහු කඳුළු සලනවාත් දැක්කයි කියලා… ඊළඟට ගුවන්යානය අඩි 6000 පමණ පහතට ගැනීමට අණකරන ඔහු කැබින් එක depressurize කර ගුවන් යානයේ පසුපස දොර විවෘත කරන්න අණකරනවා… ඒ තමන්ගේ පියාගේ බංකොලොත් වුන කර්මාන්තශාලාවේ සේද රෙදි යොදාගෙන තමන් විසින්ම ගෙදරදී සාදාගත් පැරෂුට් එකක් ආධාරයෙන් බිමට පනින්නට… රෙජිනල්ඩ්ගේ පැරෂුටය ඔහුව නිරුපද්‍රිතව පොළවට ගෙනාවාදැයි චිත්‍රපටියේ කියන්නේ නැහැ…අවශ්‍යයනම් මිනිත්තු කිහිපයක ගූගල් සෙවුමකින් ඔබට එක දැනගැනීමට හැකිවේවි…

තම පවුලේ සමීපතමයන්ට වඩාත් හොඳ හෙට දිනයක් උදාකරන සිහිනය සැබෑකරගනු වස්,  හරිහැටි ක්‍රියාත්මකවේදැයි නොදන්නා පැරිෂුටයක් පැළඳ අහසට පිනූ එකම පිලිපීන ජාතිකයා රෙජිනල්ඩ් පමණක් නෙවෙයි…මා නිවැරදිනම් විදෙස්ගත පිලිපීන ජාතිකයන් යනු ලෝකයේ ලොකුම ඩයස්පෝරා වලින් එකක්… මේ හැමදෙනාටම අඩු වැඩි වශයෙන් ඇත්තේ එකම සිහිනයක් බවට සැකයක් නැහැ…

Metro Manila චිත්‍රපටය මේ කිසිවක් ගැන නොවෙයි…අඩුතරමින් මේ කියන රෙජිනල්ඩ් මේ චිත්‍රපටියේ කතා නායකයාවත් නෙවෙයි… ලිපියේ මම මෙතෙක් හඳුන්වානොදුන් චිත්‍රපටියේ කතානායකයෙකු සිටිනවා… ඔහුගේ සිහිනය මින් වෙනස් වන්නේ ඔහුගේ කැපකිරීම මෙයිනුත් බොහෝ එහාට යන නිසයි… ඒ කැපකිරීම කුමක්දැයි චිත්‍රපටිය නැරඹුවොත් ඔබට දැනගැනීමට හැකිවේවි…

විස්තරයක් ලියන්නට ඉසිඹුවක් නැති, මම සඳහන් කළ අනෙක් අපූරු චිත්‍රපටිය Norte, the End of History… කඩිමුඩියේ නරඹන්නට නොහැකි, පැය හතරකටත් වැඩියෙන් දිවෙන දීර්ඝ සිනමාත්මක නිද්‍රාවක් නිදන්න වෙලාව ඇති කෙනෙකුට පමණයි…

23 comments :

  1. ගුවන්යනා පැහැරගැනිම් බැංකු මකොල්ල මටත් හෙන විරකම්..
    හොයාගෙන බලන්නම්.

    ReplyDelete
  2. මතක තියාගන්නම්... මෑතකදි නම් අලුත් චිත්‍රපටියක් බැළුවේ නෑ... ඒ අන්තිමට හෝල් එකකට ගිහින් බලපු අලුත් චිත්‍රපටියත් (Now You See Me) බීට්ල්ගේ රෙකමදාරුව නිසා තමයි.

    ගිය සතියේ ප්‍රසන්න ජයකොඩිගේ '28' චිත්‍රපටිය බලන්න තිබ්බ චෑන්ස් එකක් අසල්වාසියෙකුගේ උපන්දින සාදයක් නිසා මගහැරුණා.

    ReplyDelete
    Replies
    1. රෙකමදාරුව ගැන තිසර සහතික වෙනව නං මම මේ දෙකම බලනවා.

      Delete
    2. මෙට්‍රෝ මැනිලානම් ක්‍රයිම් ටච් එකක් තියෙන හින්දා කම්මැලි වෙන්න විදියක් නැහැ... අනික ගැනනම් මට සහතික වෙන්න අමාරුයි... කඩදාසි ලිපේ දාලා බලන්න බෑ... :)

      Delete
    3. @දේශකයා

      තිසර සහතික වෙන්න ඌ බලලා ඉන්න් එපැයි බන්... මට හිතෙන්නේ ඊට කලින් උඹ බලයි... :)

      Delete
    4. Now You See Me මට ටිකක් අවුල් වගේ ගියා මගක් බලද්දි දමල ගහල නිකං හිටිය

      Delete
  3. ගුවන්යනා පැහැරගැනිම් මටත් හෙන විරකම්. ඇත්තටම දැන් තමයි තේරෙන්නෙ ATC එකේ පාලනයක් නැතුව පයිලට්ට ඕන විදියට ප්ලේන් ගෙනියන්න බෑ කියල. :D

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි ඉතින් ATC නෙමේ මෙලෝ යකෙක් නොදැන අර ෆ්ලයිට් එකක් ගෙනිච්චේ පහුගිය දවසක :)

      Delete
  4. කතාව නියම අැති............ කියලා තියෙන විදිහට නම් කටට කෙළත් උනනවා.............

    ReplyDelete
  5. ම්ම්ම් බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. බලලා කියන්න බලන්න හිතුන දේ...

      Delete
  6. //පිලිපීන ජාතිකයෙකුට ප්ලෑන් එකක් තිබීම නිතර වෙන දෙයක් නෙමෙයි…//

    පට්ට කතාව. ඒ විතරක් නෙමේ, පිරිකම පෙන්වන වැඩ කරන පිල්ලෙක් දැකීමත් තරමක් අමුතු දෙයක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ පැත්තෙනුත් ගොඩක්උන් අතවරයට ලක්වෙනවා නේද...

      Delete
  7. බලන්නං හොයාගන්න මට යූ ටියිබ් නං හරියන්නෙ නෑ
    බාගන්න පුලුවං වුණත් සමහර වෙලාවට බාල බලපුවම මොක්ක හරි අවුලක් ටොරන්ටුවක් හොයාගන්නම ඕන

    ReplyDelete
    Replies
    1. ටොරන්ටු තියෙනවා... කික් ඈස් එකේ එහෙම...

      Delete
  8. දැන් ඉතිං එක බලන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ බලලා දාපං :D

      Delete
  9. බීට්ල් interstellar බැලුවද ? මම කාලෙකට පස්සේ බලපු හොඳ ෆිල්ම් එකක් ... මේ වගේ කතාවක් බලන්න සෙට් වුනේ නෑ කාලෙකින් .. බලලම අදහසක් දෙන්නම් .. :)

    ReplyDelete
    Replies
    1. බැලුවා පැතුම්... ඩීවීඩී එනකල් ඉවසීමක් නැති හින්දා හෝල් එකටම ගිහින් බැලුවා...තවම මම ඒ ෆිල්ම් එක ගැන අන්තර්ජාලේ කියවනවා...අනිවාර්යෙන්ම පැතුම්ට ඒක සෙට් වෙන්න ඇති තමයි... :)

      Delete
  10. පසුගිය කාලේ ගෙදරටම වෙලා හිටපු හින්දා මාත් කලේ අහුවෙච්ච අහුවෙච්ච ෆිල්ම් බලපු එකයි. ටයිම් ටේබල් එකකුත් නොතිබුන හින්දා සිනමා චැනල් එකේ ඒසියන් ෆිල්ම්ස් බලන්න අන්තිම කාලේ වැඩියෙන් යොමුවුනා කීවොත් හරි. විසේශයෙන්ම කාම්බෝජය, වියට්නාමය, ජපානය, චීනය, කොරියාව හා නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල මම නොදැක හිටපු සිනමා කතන්දර එක්ක හිතේ හැටියට රවුම් ගැහැව්වා. වෙන එකක් තියා මෙලෝ මළදානයක් නැති සින්දු දෙදාහක් විතර තියෙන බොළඳ හින්දි චිත්‍රපටිත් කිහිපයක් බැලුවා මම.
    ඒ වුනාට බොලා වගේ ඔය ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් බලන එක නම් මට තාම සෙට් වෙලාම නෑ.

    ReplyDelete
    Replies
    1. සිනමා චැනල් වලින් බලන එක තමයි ඉතින් හොඳ... ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් බලන එක නීතිවිරෝධී වැඩක්... හැබැයි මමනං තවම නවත්තලා නෑ.. රංගිට ඩවුන්ලෝඩ් කරලා බලන්න අවශ්යය නම් මම බලන ක්‍රමේ කියන්නම්. ලැප්ටොප් එකේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා ටීවී එකෙන් බලන එක කරදර හින්දා මම බලන්නේ XBMC කියන මේ සොෆ්ට්වෙයාර් එක හරහා... ඕකේ වීඩියෝ ඇඩ්ඕන් වලට XBMCTorrent කියන ඇඩ්ඕන්එක ඇඩ් කරගත්තට පස්සේ ඒකෙන් පුළුවන් කනෙක්ශන් එක හොඳනම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන අතරෙදිම බලන්න... මුලදී කන්ෆිගර් කරගන්න පොඩි කට්ටක් වගේ පේන්න පුළුවන්... ඒත් ඊට පස්සේ හරි ලේසියි... ටීවී රිමෝට් එකෙන් වැඩකරන්නත් හදාගතහැකි...

      Delete

Web Statistics