Sunday, October 28, 2012

69. නික්මයෑම…

image

“Here… keep the change…”

ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි…

“Thank you sir…”

“So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?”

ජැක්කා බර කරමින් පවසද්දී, සිංහල නොදන්නා ගෝපාල් එහි අරුත වටහාගත නොහී අසරණ ලෙස සිනාසෙයි…

“Say it… Say it…”

ජැක්කා වද කරයි...

'”මුකද්ද..?”

අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ බේරාගැනීමට තතනයි…

“ණයත් නෑ… බයත් නෑ…”

“නාත් නා… බාත් නා…”

ගෝපාල්ගේ වැරදි උච්චාරණය අසන අපි හඬ නගා සිනාසෙමු… ඔහුද තම කහට බැඳුණු දසන් පාමින් අප සිනාවට එකතු වේ… ගෝපාල් යනු අප බෝඩිම ආසන්නයේ පිහිටි පලතුරු යුෂ කඩයේ හිමිකරුවායි… ඉඩක් ලද විටෙක අප පවස නිවාගැනීමට ගොඩවැදෙන මේ පුංචි අවන්හල බෝඩිම තරමටම අපට හුරුපුරුදු ස්ථානයකි… කලක පටන් ගනුදෙනු කිරීමෙන් ඇතිවූ  විශ්වාසය මත අප ඔහු හා දෙන්නම් කාසි වලට කල ගනුදෙනු බොහෝ විය… පුරුද්දක් ලෙස මාසය අවසානයේ ඔහු විසින් දක්වන මුදල ගෙවීමට අපි පුරුදු වී සිටියෙමු… මෙදිනද ජැක්කා විසින් එලෙස ගනුදෙනු බේරන දිනයක් වුවද අද වෙනදාට වඩා එහි විශේෂත්වයක් තිබුණි… ඒ මන්ද යත්, දැනුම උකහා ගැනීමේ උවමනාවකටත් වඩා උපාධිකාරයෙකු ලෙස රැකියා හිණිමගේ අඩියක් හෝ ඉහළට නැඟගැනීමේ උවමනාව වෙනුවෙන්, පුරා වසර හතරක් තිස්සේ නොරටක කෙරුණු යුද්ධයක් හමාරකොට අපට නැවත මව් රට බලා යෑමට තිබුණේ තවත් දිනෙක කාලයක් පමණක් වීමයි… වසර හතරකට පෙර ඉන්දියාවට පය තැබූ ජැක්කාත් මමත් හෙට ඉන් පිටව යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසුන් ලෙස යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ… ඉන්දියාව නැමති අරුම පුදුම ලෝකයේ ජනසමාජය හා වසර ගණනාවක් ගැටීමෙන් ලද අත්දැකීම් ගොන්න කටපාඩමින් දිනාගත් උපාධි සහතිකයකට කිසිසේත්ම සමකළ නොහේ…

“සර්ලව ආයෙත් කවදාවත් දකින්න බැරි වෙයිද..?”

ගෝපාල් අසන්නේ අනවශ්‍ය ප්‍රශ්ණයකි… කිසිඳු ජාතී ආගම් කුල සම්බන්ධයක් නොමැති මේ පිටරැටියා හා අප අතර වසර කිහිපයකම පැරණි මිතුදමක් වන බව සැබැවි… එහෙත් මේ සංවේදී බස් තෙපලමින් එකිනෙකාගෙන් සමුගැනීමට නොහැකිව හඬාවැටෙන්නට බලාගෙන පැමිණි ගමනක් නොවේ…  වචනයෙන් නොපැවසූවද ඔහු හා අප නැවත දිනෙක මුණගැසීමට ඇති ඉඩ බොහෝ සෙයින්ම අඩු මිසක් වැඩි විය නොහැක… එසේනම් බැංගලෝරය පුරාවටම අපට අතහැරීමට නොහැකි වන මෙවැනි මතකයන් රැසකි…  ගෝපාල් විසින් පවතින වාතාවරණය සංවේදී සමුගැනීමකට හරවනවාට මා බිය වන්නේ එහෙයිනි…

“මෙතන… මෙතන… මෙතන තියාගන්න…”

ජැක්කා සිනාසෙමින් ගෝපාල්ගේ පපු පෙදසට  මිටින් පහර දෙද්දී ඔහු තම අහිංසක හිනාව දිවි ඇති තුරාවට මා මනසේ නොමැකෙන සේ සටහන් කරයි… අප එතැනින් පිටවන්නේ ඉන්දියාවේ අප විසින් ගෙවන්නට තිබූ අවසන් ණය මුදලද එසේ පියවා හමාර කරමිනි…

“දැන් කාටවත් ණය නැහැ… හෙට හිතේ නිදහසින් යන්නයි තියෙන්නේ…” 

ජැක්කා පවසන්නේ පාරේ වැටී ඇති පොඩිවී ගිය හිස් බියර් ටින් එකකට කාණුවට විසිවෙන්නට පා පහරක් දෙමිනි… සැබැවින්ම මා ඉන්දියාවෙන් පිටවන්නේ කාටවත් ණය නැති පුද්ගලයෙකු ලෙසදැයි  මම සිතන්නට වීමි… හදිසියේම වෙයිශාලිව මට සිහියට නැඟෙන්නේ මන්ද..? ගතවූ වසර කිහිපය පුරාම මා ඇය වෙත ගිය වාර ගණන මතක තබා ගැනීමට නොහැකි තරම් බව මම දනිමි… නාගෂෙට්ටිහි හිරු එළිය නොවැටෙන ඒ අඳුරු වීදිය මම විශ්වවිද්‍යාල මාවත තරම්ම හොඳින් හදුනමි…  එදා පළමු වසරේ දඩබ්බර කොලු ගැටයෙක්ව ඒ අඳුරු වීදියේ පටු කපොල්ලක් තුළින් වූ තරප්පුපෙළක් චකිතයකින් නඟිමින් සිටි මම මතු දිනෙක ඒ තරප්පුපෙළ මා පියසටහන් හොඳින් හඳුනන තැනක් බවට පත්වේයැයි දැන නොසිටියෙමි…

රමණය, රමණයක් වන්නේ එය දිනාගත් විටෙක මිස අනායාසයකින් ළඟා වන විටෙක නොවන බව දැන දැනත් මා වෙයිශාලි වෙත ඇදුණේ කිනම් ආශාවක් සතපවා ගන්නද..?

මීට වසර තුනකට පෙර මා ඇය දුටු පළමු දිනය ඊයේ සිදුවූවක් සේ මා මතකයේ තිබේ… ගණිකා නිවාසයේ පාලිකාව වූ වියපත් කාන්තාව මා විසිත්ත කාමරයක් වැනි ස්ථානයකට කැඳවාගෙන ගොස් මින් කෙනෙකු තෝරාගන්න යැයි කාන්තාවන් පිරිසක් දැක්වීය… අප ගැන වැඩි තැකීමක් නොමැතිව කෙළි කවට සිනාවෙන් කල් මරමින් සිටි ඔවුන් ඉදිරියේ මට මහත් අපහසුවක් දැනිනි…ඇය සිටියේ මට පිටුපස හරවාගෙන තවකෙකු හා දොඩමිනි… හිසපැළඳි සමන්පිච්ච මල් මිස ඇයගේ මුහුණ මා දුටුවේ නැත…  මා දෙස බලාසිටිනවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට මට එඩියක් නොතිබුණ හෙයින්දෝ මම ඇය තෝරාගතිමි…

“අරයා…”

පාලිකාවට මා පවසද්දි සිය මිතුරියගේ සංඥාවකට අනුව වෙයිශාලී හිස හරවා මා දෙස බැලීය… අප නෙත් එකට ගැටුණු ඒ මොහොතේ මම ඉවත බලාගතිමි… මා පාලිකාව හා ගනුදෙනු කතාකර හමාරවී ඇය දෙස බලන විටත් ඇය පෙරසේම මා දෙස බලා සිටියාය… වෙනසකට වූයේ ඇය මුවට නැගී තිබූ අවඥා සහගත සිනාවයි… සිනාවට හේතුව වටහා ගැනීමට අපහසු නොවේ… ගනුදෙනු කතාකරනවායැයි කීවද සැබවින්ම සිදුවූයේ පාලිකාව පැවසූ මුදලට හෙට්ටු නොකර මා එකඟ වීමයි… මා කෝඩුකාරයෙකු බව මෙයින් ඇයට වැටහෙන්නට ඇතැයි සිතමි… පාදයේ මිණි කිංකිණි හඬ නංවමින් ඇය තම කාමරයට ඇවිද යද්දී මම ඒ පසුපසින් ඇදුනෙමි… ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එවිට පිටුපසින් පැමිණෙන පිරිමියාට ඇයගේ සිරුරේ හැඩය රසවිඳිමින් පැමිණිය හැකි නිසා වියයුතුය…

“පයිසා..?”

මේ ඇය මා හා කතාකළ පළමු වචනයයි… පසුම්බියේ තිබූ සිල්ලර නෝට්ටු සියල්ල මම ඇය සුරතේ තැබුවෙමි… ඇඳයට තිබූ පරණ ට්‍රන්ක් පෙට්ටියක එම නෝට්ටු කිහිපය සැඟවූ ඇය කාමරයේ දොරපියන අගුළුලෑමෙන් අනතුරුව මීළඟ ප්‍රශ්නය ඇසුවාය..

“මැගී නූඩ්ල්ස් ලේගා...අවුර්  ... චිකන් බිරියානි ලේගා..?”

මම අන්දමන්ද වීමි…

“මැගී නූඩ්ල්ස්කා මත්ලබ් සබ්කුච් ජල්දි… ඒක් දම් ටූ මිනිට් නූඩ්ල්කේ මාෆි… චිකන් බිරියානිකා මත්ලබ් සබ්කුච් අරාම් සේ… ඒක් දම් රාජා මහරාජා ඕ කිදරී… සම්ජේ බේටා...?”

මා නොදන්නා හිංදියකින් ඇය මට පැහැදිලි කරයි… මා දෙකින් එකක් තෝරාගත යුතුය..

“චිකන් බිරියානි…”

“පයිසා..?”

විනාඩි කිහිපයක් ඇතුළත ඇය දෙවන වරටද සුරත පෑවාය… අප නැවතත් පළමු කොටුවටම පැමිණ සිටිමු… එකම වෙනස මෙවර මා සතුව එකදු මුදල් නෝට්ටුවක්වත් නොමැති වීමයි…මා තවම ඇයගේ අතින්වත් ඇල්ලුවේ නැති... මම අත් ඔරලෝසුව දෙස බැළුවෙමි…

“මේක මම ඉස්සෙල්ලාම ජොබ් එක කරපු පඩියෙන් ගත්තේ… කැම්පස් යද්දි මට ඔරලෝසුවක් තිබුණෙ නෑ…”

ගුවන්තොටුපළේදී මා සමුගැනීමට මා මොහොතකට කලින් තාත්තා එය මා අත බැඳි අයුරු විදුලියක් සේ මා මනසේ සටහන්වී නැතිවී ගියේය…පිය උරුමයෙන් මම ලද ඒ ඔරලෝසුව ගණිකාවකට දුන්නේ යැයි තාත්තා දැනගතහොත් පොළවේ පස්කනු නිසැකය…

කරුණු එසේ වුවද  කලාතුරකින් දිනෙක තරුණ මදය පිය සෙනෙහසට වඩා ඝනකම් වන අවස්ථාද නැත්තේ නොවේ… අවාසනාවකට මේ එවැනි දිනයකි…අත් ඔරලෝසුව ඇයගේ ට්‍රන්ක පෙට්ටියේ සැඟවී යෑමට ප්‍රථම මම අවසන් වරට එය බලාගතිමි…නැගී සිටි ඇය පසෙක වූ කබල් විදුලි පංකාව ක්‍රියාත්මක කර රේඩියෝවේ ශබ්දය වැඩිකලාය… මම බිත්තියේ එල්ලා තිබූ ගනේෂා දෙවියන්ගේ ඡායාරූපය අනෙක්පසට හැරවීමි

ඉනික්බිති ඇය චිකන් බිරියානි පිසීම ඇරඹුවාය…

මෙතැන් පටන් සිදුවූ දේ පියවරින් පියවර විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි… තාත්තාගේ පරණ අත් ඔරලෝසුවට ඔහුවත් එය ඔහුට විකිණු වෙළෙන්දාවත් සිහිනෙකින් වත් නොසිතූ වටිනාකමක් වෙයිශාලි ලබාදුන් බව පමණක් පවසමි…

දින සති මාස ගණන් ගතවෙන අතරේ මා ජීවිතයේද වෙනස්කම් සිදු නොවුනේ නොවේ… බටහිර බෙන්ගාලයෙන් පැමිණි යුවතියක වූ සෘතී මා ජීවිතයට එකතුවීම මින් ප්‍රධානය… එහෙත් සුපුරුදු පරිදි සතියකට හෝ දෙකට සැරයක් මා වෙයිශාලිය හමුවීමට යෑම සෘති නිසා වෙනස් නොවීම මටද පුදුමයකි… වෙනසක් වූවා නම් ඒ වෙයිශාලී හා කෙරෙන මෙම හමුවීම් බොහෝවිට රමණයකින් අවසන්වන්නක් නොවී නිවිසැනසිල්ලේ කෙරෙන සිරුර සම්බාහනයකට පමණක් සීමා වීමයි…  දිනය පුරාවට ගනුදෙනුකරුවන් සතුටු කිරීමට වෙහෙසෙන ඇයටද මෙය ශාරීරිකව සැනසීමක් වූවා වැනිය… මා සිරුර මත වාඩිවී පිටෙහි ඇති මස්පිඩු සෙමින් මිරිකමින් ඇය අතොරක් නැතුව කියවයි…

“කෙල්ලෙකුත් ඉන්නවනම්, ඇයි හැමදාම මේ එන්නේ..?”

මට දෙන්නට පිළිතුරක් නොමැත…

“ඔයාට තියෙන ආදරේ නිසයි…”

මම පවසමි…

“හහ්…!”

ඇය අවඥාවෙන් සිනාසේ…

“මම ප්‍රශ්නයක් අහන්නද..?”

“හා…”

මේ මාගේ ප්‍රියතම මොහොතයි… මා අසනා ඕනෑම ගැටලුවකට හැමවිටම ඈ සතුව නිශ්චිත ප්‍රායෝගික පිළිතුරක් වේ… ඇය තර්ක නඟමින් එය පැහැදිලිකරනායුරු අසා ඉන්නට මම මහත්සේ ආසා කරමි…

“ඔයා වෙන මිනිස්සු එක්ක නිදාගත්තට මට ප්‍රශ්නයක් නැතිවෙන්නත්… සෘති වෙන මිනිහෙන් එක්ක නිදාගත්තොත් මට ඒක ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙත් ඇයි..?”

මා අසන්නේ උඩුබැල්ලට හැරෙමිනි… මෙවැන්නකට පිළිතුරු දෙන විටෙක ඇයගේ මුහුණේ පහළවන ඉරියව් මඟහැරීම අපරාධයකි…

“රුපියල් පනහක් ඕනේ උත්තරේට…”

මම පිටුපස සාක්කුවෙන් ඉවතට ගත් මුදල් පසුම්බියෙන් ඇයට දමා ගසමි… ඉන් පනහේ කොළයක් එළියට ඇදගන්නා ඇය සතුටින් සිනහා වෙයි…

“මෙහෙමයි… මොකටද මම මේ ගුබ්බෑයමේ ඉන්නේ… මෙතෙන්ට එන ඕනේ මිනිහෙක් එක්ක නිදාගන්න… සල්ලි දෙනවනම් මම නිදාගන්නවා… අරයද මෙයාද කියලා මට කාවවත් තෝරගන්න බෑ… ඒගොල්ලොයි මාව තෝරගන්නේ… මම ඔයාව තෝරගත්තද..? නෑනේ..? ඔයයි මාව තෝරගත්තේ…”

“ඔව්…”

“ඒත් ඔයගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගත්තොත්… ඒකේ තේරුම තමයි එයා ඔයාව නැතුව අනිත් කොල්ලව තෝරගත්තා කියන එක… ඔයාව මොහොතකට හරි ප්‍රතික්ෂේප උනා කියන එක… අන්න ඒ ප්‍රතික්ෂේප වීම තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ… නැතුව ඒ කොල්ලයි කෙල්ලයි නිදාගන්න එක නෙමෙයි…”

ඇය ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි… ඇය මෙවැනි අඳුරු මහල් නිවසක සිරවී යන්ත්‍ර වැනි මිනිසුන්ගේ දහදිය වලට තම තරුණ කාලය දිය කරමින් සිටියයුතු නැතැයි මට සිතේ…  නමුත් ඇය වැනි කෙනෙක් මෙම තත්වයට වැටුණේ කෙසේද..?

“දැන් අහන්න එපා මම වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ  කියලා..?”

මා කල්පනා කරමින් සිටිනායුරු දැක ඇය පවසයි…

“ඔයා වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ..?”

මම අසමි… පිළිතුරු දෙනු වෙනුවට ඇය මගේ කම්මුලට පහරදෙන්නේ කියන දේ නාසන දරුවෙකුට දඬුවම් කරනා වැඩිහිටියෙකු මෙනි…

“මේ බිත්ති හතරෙන් එහා මහා විසාල ලෝකයක් තියෙනවා… ඒ ලෝකේ මොනවා වෙනවා ඇතිද කියලා ඔයාට නිකමටවත් හිතිලා නැතිද..?”

“මොනවා උණාම මට මොකද… මගේ ලෝකේ මෙච්චරයි…”

ඇය පපුවේ මස්පිඩු තදින් මිරිකයි… මට සිහින් වේදනාවක් දැනේ…

“දැන් ඇති… ඒ ලෝකේ මොනවගේද කියලා හොයලා බලන්න…ඒ ලෝකේ මිනිස්සු ගැන  තේරුම් ගන්න ඔයා ආසා නැද්ද…?”

“අනේ මේ…! ඔය ලෝකෙන් මිනිස්සු හැමදාම මෙතෙන්ට එනවා… මට උන්ගේ අමුතුවෙන් තේරුම්ගන්න දෙයක් නෑ… අඩුමගානේ ඔයා ගැනවත්…”

දිඟුවේලාවක් සම්භාහනය කිරීමෙන් ඇයගේ ඇඟිලිතුඩු රිදෙනු ඇතැයි සැකයෙන් මා ඒවා පිරිමදිමි… ඇය තරහෙන් අත ගසා දමයි…

“ඔයා මොකද්ද මම ගැන තේරුම් අරගෙන තියෙන්නේ…එහෙනම් කියන්න බලන්න…”

මම ඇයට සමාන්තරව ඇදෙහි වාඩිවෙමි… නොබෝවේලාවකින් මෝටබයිසිකලය ඉල්ලීමට ජැක්කා දුරකථන ඇමතුමක් දෙනු ඇතැයි මගේ සිත කියයි… මා යායුතුය…

“එක… මම තේරුම් අරන් තියෙන විදියට ඔයා ඔහේ පාවෙන තරුණ ජීවිතයක්… තාත්තා සල්ලි එවනවා… ඔයා වියදම් කරනවා… දෙක… ඔයාට ඇත්තටම වෙන වැඩක් නෑ දකින දකින කෙල්ල පස්සේ යනවා ඇරෙන්න… තුන… ඔයා හැමදාම මගෙත් එක්ක ඇඳට නගින්න කලින් දෙවියන්ගේ රූපේ අනිත්පැත්ත හරවන්නේ එක්කෝ ඔයා දෙවියන්ට ලොකු භක්තියක් තියෙනවා…. එහෙම නැත්තං ඔයාට දෙවියෝ ගැන සතේකවත් විශ්වාසයක් නෑ…හා මම වැරදිද..?”

මට සිනා පහළ වේ…

“හොඳයි ඔයා මොකද්ද මං ගැන තේරුම් අරන් තියෙන්නේ..?”

ඇය අසන්නේ කපටි සිනාවක් මුහුණේ රඳවාගෙනයි… මම නිහඬව සපත්තු පයේ රුවා ගමි… කතාව අවසන් කලයුතුය…

“ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”

මම ඇයගේ දෙතොල් වලට නැඹුරු වෙමින් මුමුණමි…

“බොරු චාටු…”

මා තල්ලු කර දමන ඈ දොර දෙසට දිවයයි… මේ නම් අපූරු වැඩකි… මම මුදල් ගෙවා ඇයගේ සේවය ලබා ගැනීමට පැමිණි ගනුදෙනුකරුවෙක්මි… මා ඇය සමඟ ගතකරන සම්පූර්ණ කාලයට සේවය සැලසීමට ඇය බැඳී සිටී… මේ දැන් ඇය ප්‍රතික්ෂේප කල හාදුවද ඊට අයත්ය… එසේ කිරීමට ඇයට හයියක් ලැබුණේ කෙසේද..?එහි අදහස ඇය තවදුරටත්  මා ඉදිරියේ ලිංගික ශ්‍රමිකාවක් නොවන්නේය යන්නද?

-----------------------------------

“ෆෝන් එක ආන්සර් කරපන්කෝ…?”

මා පියවි ලෝකයට පැමිණෙන්නේ ජැක්කාගේ හඬිනි… කොතෙක් වේලා වෙයිශාලී ගැන සිතමින් සිටියාදැයි මම නොදනිමි… මාගේ ජංගම දුරකථනය නොනවත්වා නද දේ… වාදනය වන නාද රටාව අනුව ඒ සෘති බව මම දනිමි…

“හෙලෝ…”

“හෙලෝඕඕ…. අම්මු කුට්ටි…! ඔයා බිසීද පැටියා...?”

මටත් නොදැනීම දුරකථනයේ හඬපාලන පුවරුවට ඇඟිල්ල දිවයන්නේ ඇගේ බොළඳ වදන් ජැක්කාට ඇසෙතැයි බියෙනි…

“නෑ… කියන්න…”

“ඔයා අද ෆෙයාවෙල් එකට මොන පාට ෂර්ට් එකක්ද අඳින්නේ..?”

සෘති මේ සඳහන් කරන්නේ රාත්‍රි‍යේ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ පැවැත්වෙන සමුගැනීමේ සාදය ගැනයි… ඇය මෙසේ අසන්නේ මන්දැයි මම දනිමි… එහෙත් මා එය දන්නා බව ඇය එය දැනගතයුතු නොවේ…

“ඇයි ඒ..?”

“අයියෝ… ඔයාගේ කලර් එක මැච් කරන්නනේ පැටියෝ…”

අපගේ අවසන් හමුවීම හැකිතරම් රෝමෑන්තික කිරීමට වෙහෙසෙන ඇය ගැන මට උපදින්නේ අනුකම්පාවකි… කෙතරම් බොළඳ වුවද සංවේදී අවස්ථාවක වගකීමෙන් හැසිරෙන අයුරු ඈ දනී… ඇරත් මේ සංවේදී අවස්ථාවක්යැයි පැවසීම එතරම් නිවැරදියැයි මම නොසිතමි… මේ හැම බැඳීමක්ම තාවකාලික බව අප නොදැන සිටියා නොවේ… වෙන්වීමට ඇත්තේ තව පැය කිහිපක් බව දැන දැනත් ඇය මෙලෙස සතුටින් සිටින්නේ ඒ නිසාද?  ජැක්කාගේ ඇඳුම් අල්මාරියේ ඇති කමිස මා ඇස් ඉදිරියේ දිවයයි…

"කයින්ඩ් ඔෆ් ‘සිල්වර් ග්‍රේ’…”

ඉන් එකක් මා දෑස් ඉදිරියේ නතර වූ පසු මම පවසමි…

“’සිල්වර් ග්‍රේ’ ඉට් ඊස්..! බ..බායී…. ස්මූචී….!!!”

ඇය දුරකථනය විසන්ධි කරයි… නැවතත් මා සිත අරක්ගන්නේ වෙයිශාලියයි… මා හෙට දිනයේ පිටත් වන බව ඈ දනී… ඒ නැවත කිසිදා හමුනොවන්නට බවද ඈ වටහාගෙන ඇතැයි සිතමි… සැබැවින්ම මීට දින කිහිපයකට පෙර මා ඇය හමුවූ විට මා මව් රටට යන බව පවසා කිසියම් අයුරකින් නිලවශයෙන් සමුගැනීමක්ද සිදුවුණි… ඉතින් මෙහි තවත් හගිස්සන්නට දෙයක් නොවේ… නමුත් ඇය හා කිසියම් අවසන් නොවූ ගනුදෙනුවක් තවමත් ඇතැයි මා සිත චෝදනා කරන්නේ මන්ද..? ජැක්කා ගේ “ණය නෑ බය නෑ “ කතාව මට මහත් වදයකි… සැබවින්ම මා ඇයට ණයගැතිද… මම නොදනිමි… ඒ ගැන සිතන්නටද දැන් අවකාශයක් නොවේ… කෙටි නින්දකින් අනතුරුව සවස්වරුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත යා යුතුය… සෘති මා එනතුරු බලා සිටී… මාගේ ඇඳුමට ගැලපෙන ඇඳුමකින් සැරසීගෙනම..!

-----------------------------------

“මට බයික් එක දීලා උඹ ඔටෝ එකක පාටියට පලයන්…”

සවස නානකාමරයෙන් එළියට පැමිණි ජැක්කාට මම පැවසීමි…ඌ පුදුමයෙන් මා දෙස බලයි…

“උඹ කොහෙද යන්නේ…?”

“ටවුමට…”

“ටවුමට..??? එතකොට ෆෙයාවෙල් එක...?”

“මට එන්න වෙන්නේ නෑ…”

පුදුම වූ විටෙක ජැක්කාගේ මුහුණට නැගෙන්නේ විසුළු පෙනුමකි… අද එය වඩාත් උග්‍ර වී ඇති සෙයකි… හදිසියේම යමක් අවබෝධවූවාක් සේ ඌ සිනහාවෙයි.. එහි ඇත්තේ අවඥාවක් බව මට වටහා ගැනීමට අපහසු නොවේ…

“අපෝ තෝ අදත් අර ගොනා හම්බුවෙන්න යනවා නේද..?”

මෙතරම් වැදගත් අවස්ථාවක් මඟහැර මම වෙයිශාලිය වෙත යන්නේ ඇයගේ සන්තර්පණයෙන් උමතු වී තවත් එකවරක් හෝ ඇය සමඟ නිදාගැනීමට ඇයි ජැක්කා සිතනු නොඅනුමානය… මම ඌට පිළිතුරු දෙන්නට නොයමි…

“සෘතිට කියපන් මම එක්සිට් පර්මිට් එකේ අවුලක් වෙලා හදාගන්න ගියා කියලා…”

“මෙච්චර හවස් වෙලා..?”

“දවල් ගියේ තාම ආවේ නෑ කියපන්…”

ජැක්කා මුවින් නොබැණ මාදෙස බලා සිටී… මම මාගේ ජංගම දුරකථනය උගේ ඇඳ උඩට විසිකරමි…

“මොබයිල් එකත් අමතක වෙලා රූම් එකේ දාලා ගිහින් කියපන්…”

“පව් යකෝ..!”

පව් බව මමද දනිමි… සෘතිට බොරු කියන්නට වීම ගැන ඌට වඩා මා කම්පා වෙන බව පැහැදිලිකර දියයුතුද...? එයින් පලක් නැත… ජැක්කා ඉදිරියේ මට සුදනෙකු වීමට අවශ්‍ය නැත… මා යනගමන ගැන සෘතිටවත් ජැක්කාටවත් වටහාදිය හැකියැයි මම නොසිතමි… මේසය උඩ ඇති යතුර දබරැඟිල්ල අතරට රුවාගන්නා මම තවත් එතැන නොරැදී පිටවෙමි… යතුරුපැදිය පිම්මේ නාගෂෙට්ටි බලා ඇදේ…

මා කාමරය ඇතුළුවන විට වෙශාලි සිටියේ ඔවුන් වෙත අලුතින් ගෙන ආ ගැටවර යුවතියකට සිපගන්නා අයුරු කියා දෙමිනි… බලාපොරොත්තු නොවු වෙලාවක මා දැකීමෙන් ඇය පුදුමයකට පත්වූ සෙයකි… ඇරත් අපි සමුගත්තා නොවැ..!

“ෂයිලු යන්න… කස්ටමර් කෙනෙක් ආවා…”

ඇය යුවතියට පවසයි… මේ මා සම්බන්ධයෙන් ඇය වෙතින් පෙර නොකෙරුණු හැඳින්වීමකි..

“ඇයි මට කස්ටමර් කිව්වේ…?”

යුවතිය පිටවගිය පසු මම අසමි…

“නැත්තම් මොකද්ද කියන්නේ..? මගේ මනුස්සයා ආවා කියන්නද..?”

ඇයගේ කේන්තිය සාධාරණය… අපගේ සමුගැනීමෙන් පසු යථාර්ථයට මුහුණ දීමට ඇය සිත හදාගෙන සිටියා වන්නට ඇත… මේ අනවශ්‍ය හමුවකි… දොර අගුළු දැමූ ඇය මා දේව රූපය අනෙක්පස හරවන තුරු බලාසිටී…

“එපා… අද අපි එලියට යමු..?”

මම පවසද්දී ඇය පුදුමයෙන් උඩබිම බලයි…

“ඒ කියන්නේ…”

“එළියට ගිහින් රැට කාලා… චිත්‍රපටියක් බලලා එමු…”

“ෂර්මිලා මැඩම්..?”

වෙයිශාලී මේ සඳහන් කරන්නේ ඔවුන්ගේ පාලිකාව ගැනයි… ඇය කියන්නේ සත්‍යයකි… මෙම ගණිකා නිවාස වල සේවය කරන කාන්තාවන් කිසිවෙකුට පිටතට යෑම සපුරා තහනම්ය… ඔවුන්ගේ පාලිකාවගෙන් එළියට යෑමට කැමැත්ත ලබාගැනීම මහමෙර සොලවනවා වැනිය… එහෙත් ක්‍රමය දන්නවානම් මහමෙරද සෙලවිය නොහැකි නොවේ… කිහිපවරම මෙම පාලිකාවගේ කොටස් වෙළඳපළ ආයෝජන සඳහා උපදෙස් දීමෙන් මා කල උදව් වලට ඇයගෙන් මෙතුවක් කල් මා හිලව්වක් ඉල්ලා නැත… මේ ඇය ඒ වෙනුවෙන් වන්දි ගෙවියයුතු මොහොතයි… සැලකියයුතු වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව රාත්‍රී දොළහට පෙර වෙයිශාලීව පෙරළා රැගෙන එන කොන්දේසියත්, අනෙකෙකුට ඇසනොගැටෙන සේ ඇයව රැගෙන යන සහ රැගෙන එන කොන්දේසියත් ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව ඇය එයට කැමැත්ත දුන්නාය… ඉන් මොහොතකට පසු වෙයිශාලි සිටියේ තොරතෝංචියක් නැතුව කියවමින් මා බඳ බදාගෙන යතුරුපැදියේ වාඩිවීගෙනයි…

දිග කතාවක් මෙතැන් සිට කෙටියෙන් පැවසුවොත් ඇය තම ජීවිතයේ සුන්දරතම රාත්‍රියක් ගතකලායැයි මම විශ්වාස කරමි…  මඟ යන එන්නන්ගෙන් එකෙකු අප දෙදෙනාගේ බාහිර ස්වරූපයෙන් යමක් අනුමාන කරගෙන ඉඳ හිට හැරී බැලුවා හැරෙන්නට සිදුවූ වෙනත් අකරතැබ්බයක් නැත… ඇයට යම් කඩචෝරුවක් කන්නට අවශ්‍යවී මා එය මිලට ගෙන දෙන අතරේ ඇය සමඟ රාත්‍රියක් ගතකිරීමටවත් එතරම් ගණනක් අය නොකරන බව පවසමින් වෙළෙන්දාට දෝෂාරෝපණය කිරීම සහ සිනමා ශාලාවේ ටිකට් කවුන්ටරයේදී ඩිස්කවුන්ට් නැතිදැයි ඇසීම වැනි සුලු සිදුවීම්ද  නොසලකාහැරිය නොහැක්කේ නොවේ… ජීවිතයේ පළමුවරට ඇය කොල්ලෙකුට තුරුළු වී 3D චිත්‍රපටයක් නැරඹුවාය… නුහුරු කණ්ණාඩි කුට්ටමකුත් පැළඳ බොළඳ ළදැරියක සේ සිනාවෙමින් ඇය එය නරඹන අයුරු දැක මා ලද වින්දනය කිසිවිට මගේ සිතින් මැකී නොයයි… අඳුරු සිනමා ශාලාව උණුසුම් ආලිංගනයකට බලකරන්නේ වුවද  මම ඇයගේ කන් පෙත්තක මෘදු සිපගැනීමකින් ඔබ්බට නොයෑමට ප්‍රවේසම් වීමි… “ම්හ්…” කෙඳිරියක් නඟන ඇය මා උරහිසට තවත් තුරුළු වෙයි… මා ඇය සිපගත් පසුගිය වසර කිහිපය පුරාවට අනායාසයකින් ඇය වෙතින් නැඟුණු පළමු කෙඳිරිය මේ යැයි මම සිතමි… මට දැනෙන්නේ ජයග්‍රාහී සතුටකි…

රාත්‍රී ආහාරයෙන් පසු මම ඇයව ප්‍රවේශමින් ආපසු හැරලද්දී වේලාව යන්තම් රාත්‍රී දොළහා පැන්නා පමණි… ඊට පෙර මා සතුව තිබූ ඉන්දීය රුපියල් නෝට්ටු සියල්ලම මම ඇයට නොදැනෙන සේ ඇගේ අත්බෑගයට ඇතුල්කලෙමි… නිවස අසලින් බයිසිකලයෙන් බැසගත් ඈ මට මඳක් නවතින්න යැයි කියා උඩුමහලට දිව ගියාය… ඇය ආපසු පැමිණියේ මා පියාණන්ගේ අත් ඔරලෝසුවද රැගෙනයි…

“ඇයි මේ…?”

ඇය එය මා අත පළඳවද්දී මම ඇසීමි…

“මේක තියලා යන්න එපා… ඔයා මගේ ජීවිතේට පායලා බැහැලා ගිය දේදුන්නක්… දේදුන්නක් බැහැලා ගියාම ආයේ මොකුත් ඉතුරු වෙන්නේ නෑනේ… ඒ වගේ ඔයා ගියාමත් ආයෙ මොකුත් ඉතුරුවෙන්න බෑ…”

ඇය මා හා තිබූ අවසන් ද්‍රව‍යමය සම්බන්ධයද ලිහා දැමුවේ එලෙසිනි… “ණයත් නෑ බයත් නෑ…” මට ජැක්කා සිහිවිය… ඌ සෘතිට රාත්‍රිය පුරාවට හඬන්නට තම උරහිස දෙන්නට ඇති…  ජැක්කා හොඳ මිතුරෙකි…

“ඔයාගේ ලස්සන දවසක් නාස්ති කළානම් මට සමාවෙන්න…”

නැවත උඩුමහලට නැඟීමට පෙර වෙයිශාලි පැවසුවාය…

“සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…”

මම යතුරුපැදිය පණගන්වා ගතිමි… ඇය තම කාමරයේ ජනේලයෙන් මා පිටව යන අයුරු බලා සිටිතැයි මට සිතේ… මම ආපසු හැරී බලන්නට ප්‍රමාද නොවෙමි… ණය නැති මිනිසෙකු ලෙස මේ විසල් රටෙන් මා නික්ම යන බව දැන් මම විශ්වාසකරමි…

~නිමි~

ප.ලි. : අඩු හෝ වැඩි වශයෙන් ප්‍රබන්ධයක් බව නොකිව මනාය… රචකයාට පළමෝත අත්දැකීම් නැති මෙහි එන සමහර සිදුවීම් Dil Dosti Etc නම් හින්දි චිත්‍රපටය  අනුසාරයෙනි…

අකුරු බ්ලොග් අඩවිය පටන්ගෙන තව නොබෝ දිනකින් දෙවසරක් සම්පූර්ණ වේ… ඒ අතරතුර ගතකළ සෑම මොහොතක්ම මට සතුටක්ම විය… සෑම සතුටකම අවසානයක් ඇත… මා ජීවිතයේ යම් අභියෝගයක් ජයගැනීමට වෙහෙසිය යුතු උපරිමයක් ඇත්ද, මෙවර එය සිදුකිරීමට මට සිදුව තිබේ… හිත්පිත් නැති රෝගයක් හා සටන් කරන්නට සැරසෙන මාගේ ආදරණීය මෑණියන්ට ඒ සඳහා සවියක් වීමට හෙට හිමිදිරියේම මව්‍ රට බලා නික්මයමි… අතිශය සංවේදී කාරණා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට එන විටෙක බ්ලොග් ලිවීම නොසලකාහැරිය හැකි තරම් කුඩා අවශ්‍යතාවයක් වීම වළක්වනු නොහැක… ඉතින් නැවත ඉස්පාසුවක් ලැබෙනතුරු අකුරු බ්ලොග් අඩවිය යාවත්කාලීන වීම තාවකාලිකව ඇණහිටිනු ඇති…  මාගේ පළමු ලිපිය පළකළ ටැබූගේ පටන් මේ වනතෙක් බ්ලොග් අවකාශයේ සහෘද මිතුරුකම බෙදාගත් ඔබ සැමට දිවි ඇතිතුරු කෘතඥ වෙමි…

56 comments :

  1. මචන් මේක පට්ට. මාව නිකන් කරකවලා අතහැරියා වගේ.

    උඹ අන්තිමට කියනවා උඹට තව ටික කාලෙකට ලියන්න වෙන්නේ නෑ කියලා. උඹේ සටහන් ටැබුගේ බ්ලොග් එකේ පළවුන දවසේ ඉදන් [මචන් බොරු මොකටද ඒකේ නම් සෑහෙන්න හදා ගන්න තැන් තිබ්බා :)] කියවපු එකෙක් විදිහට මට උඹ ගැන පට්ට ආඩම්බරයි. මචන් මේක එක්සලන්ට්..! මේ උඹේ තාවකාලික සමුගැන්මේ සටහන පට්ට අයිරනික්..! පොඩ්ඩක් හිතපන් පටන් ගත්ත තැන ඉදන් අද උඹ ඇවිත් තියෙන දුර..?

    අනිත් කාරණේ උඹ බ්ලොග් අවකාශයට එකතු කරපු වෙනස්ම කලර් එක. උඹේ සටහන් යුනීක්, මොඩර්න්.

    මනුස්සයෙක් විදිහට මම උඹෙන් ඉගෙන ගත්තු දේ බොහොමයි. විශ්ෂයෙන්ම උඹේ සුන්දරකම. උඹ සිරා පොරක් මචන්. ඒ සුන්දරකම දිගටම තියා ගනින්. ඒ වුනාට මතකනේ අපි දෙන්නා පැටලුනු විශ්වයීය මිනිසා සංකල්පය එහෙම ;)

    ප.ලි: අම්මලා තාත්තලා අපි වෙනුවෙන් මොනතරම් දේවල් කළාද මචන්. සමහර විට ඒ අයගේ ජීවිතේ හොඳම හරිය ගෙවිලා යන්න ඇත්තේ අපි වෙනුවෙන් වෙන්න ඇති. ඒ නිසා ඒ අයට බැරි කාලෙක ඒ අය කිසි දෙයක් නොයිල්ලුවත් ඒ අය ලඟ ඉන්න එක අපේ යුතුකමක්. ඒ අය දුක් විදිද්දි අපි රජ සැප වින්දත් මොකටද..? උඹ දන්නවනේ මම වුනත් ආයේ ලංකාවට යන්නේ අම්මා තාත්තා නිසා.

    උඹේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා මචන්. පුළුවන් වෙලාවක අපිටත් උඹේ විස්තර දන්වපන්.

    උඹට ජය..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං... මට තාම මතකයි ඒ පළවෙනි පෝස්ට් එකේ උඹ දුන්න සහයෝගය... ඇනෝ කෙනෙක් ඒ ලිපිය හරි නෑ කිව්වම ඉස්සෙල්ලාම ගේමට බැස්සේ උඹ... සාර්ථක කතාවක් නෙමෙයි ඒත් ඌට සාර්ථක වෙන්න ඉඩදීපන් උපන්ගෙයිම මරලා දාන්නේ නැතුව කියලා... එදා උඹ එහෙම කතාකලේ අද වගේ මාව දැනගෙන නෙමෙයි... වැටෙන එවුන් වෙනුවෙන් පෙනී ඉන්න උඹට තියෙන නොසංසිදෙන උවමනාව නිසා බව මම දැන් දන්නවා... උඹව දැකගන්න බැරිවුන කණගාටුව ඇරෙන්නට අතීතයේ සිදුවුනු හැමදෙයක් ගැනම මම සතුටින්... චාර්මිගේ ස්වයං පාලන ඒකකය ලැබුණු දවසක අපි එහේදී මුණගැහෙමු...

      Delete
  2. කොහොම පටන් අරගෙන කොහොම ඉවර කරන්ටද කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ පෝස්ට් කියවලා කමෙන්ට් කරන්ට ගියාම.

    වෛශාලියක් ලඟට යෑම සමාජය අනුමත කරන දෙයක් නෙමෙයි. ඒත් මෙතන වෙන කතාවේ හැටියට කතුවරයා වරදක් කරනවා වගේ මුලින් දැනුනත්, අවසානයේ ඒ ගැහැනියට දවසකට දුන් සතුට දැක්කාම, එය වරදක් නෙමෙයි කියන හැඟීම ඇතිවෙනවා. මේ විදියේ දෙයක් කරන්නට පුලුවන් ආදරේ හඳුනන, සංවේදී හදවතක් තියන කෙනෙකුට පමනයි.

    වෛශාලියගේ පැත්තෙන් ගත්තොත් ඇය ශක්තිමත් කාන්තාවක්. ඔහු නික්ම යෑමට පලමු දුවගෙන විත් ඔහුගේ අත් ඔරලෝසුව දීමෙන්ම එය පෙනී යනවා. කාලෙකට පස්සේ වියපත් ඇය වෙනත් අඳුරු පැලක, ගිණි මැලයක් ඉදිරියේ කම්බිලියක් පොරවාගෙන ඔහු ගැන සිහිපත් කරන හැටි මැවී පෙනුනා. වෙනදා වගේම වෙනස්, අපූරු ලියවිල්ලක්.

    දෙවසරකට සුබ පතනවා.

    අවසාන වශයෙන්, (අවසානයට නොවූවත්) කියන්ට තියෙන්නේ, මේ මොහෙතේ ඔයාගේ හිත කොහොම වැඩ කරනවා ඇත්ද කියන එක හිතා ගත්තෑකි. පුතෙකුට මවකගේ සෙනෙහස තරම් තවත් දෙයක් මේ ලෝකේ නෑ කියලයි මට හිතෙන්නේ. මවට ඉක්මන් සුවය පතනවා. ඔබ ඈ දකින්නට යෑමම ඈ සුව කරන්නක් වෙනවා නොඅනුමානයි.

    ඉකමනින් ගියොත් ඉක්මන්ට එන්නට හැකි.
    ඔබට සුබ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පොඩ්ඩි... හැම දෙයක්ම අවසානයේදී ඔයා හිතන්නේ එතනින් එහාට වෙන දේ ගැන... දෙයක අවසානය කියන්නේ ඇත්තටම අවසානය නෙමෙයි කියලා හිතන්න ඇති හැකියාව ඔයානම් හොඳටම ප්‍රගුන කරලා තියෙනවා...

      අඩු නැතුව බෙදන යාලුකමටත් ස්තූතියි හැමදාටම...

      Delete
  3. ඉතාම කැමතියි මේ කතාවට. බීටල්ගේ කතාවලින් හොඳම එකද මන්දා.
    අනික “සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…” නේ නේද? :)

    අම්මාට ඉක්මනින් සුවය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. ඇයට ශක්තියක් වෙන්න ඔබට ශක්තියත් පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලිති... කියන්න දේවල් ගොඩයි...ස්තූතියි කියලා විතරක් කියන්නම්... ඇත්තටම "සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…" :)

      Delete
  4. ලියන්නෙක් ගැන තවත් ලියන්නෙකුට (ලියන්න උත්සහ කරන්නෙකුට කියමුකෝ) දෙන්න පුලුවන් ලොකුම ගෞරවයක් තමයි, ඔහු ලියූ දෙයක්, තමා අතින් ලියැවුණි නම් කියා සිතෙන බව කීම. ගණිකාවක සමග ගනුදෙණුවට එහා ගිය බැඳීමක් පිළිබඳ කතා සුලභය. කලෙක පුවත්පත් වල මෙවැනි ලිපි තොග ගණනින් පලවූ කාලයක් විය. තවද ඉන්දියන් සාහිත්‍යයේ ද අපේ සාහිත්‍යයේද මෙවැනි කතා එතරම් දුලභ නොවේ. නමුත්, වෙනස් සිදුවීමක් සමග කතාව ගොඩනැගීම, ඒ මාර්ගයෙන් මේ සුලභ කතා තේමාවට පිවිසීම, ඉතා අගනා බස හැසිරවීම සහ ලියන්නගේ පුළුල් ජීවන දැක්ම යන සියලු දේ එකතු වී නැවුම් කියවීමක් අප හමුවේ තබයි. කවදා හෝ මටද මෙවැන්නක් ලිවීමට හැකිනම් යන සිතුවිල්ල ලිපිය පුරාවට මට සිතුනු බව සඳහන් කරන්නේ ඔබගේ ලිපිය අගය කිරීමක් ලෙසය. තමාට යමක් ඉගෙනගත හැකියැයි දැනෙන දෙයක් කියවීමට ලැබීම ලියන්න උත්සහ කරන මා වැන්නන්ට සතුටකි. ඔබගේ අඩවියට පාර කිව්වේ චාමිගේ ලිපියකින් බවත් සඳහන් කරමි.

    ඔබ ඉදිරියේ ඇති අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකිවේවා සහ ඔබගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔබට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර... මේ ලිපි වලින් කෙනෙකුට රසවින්දනයක් ලැබෙයි නම් ඒ සියල්ල මම බ්ලොග් අවකාශයෙන්ම ඉගෙන ගත් ඒවායි...

      සිත් ආර, රියර් ගේට්,kirikawadi,සමනළවිප්ලවය, සිහින සෙවනැළි, සයිබර් යාය, Think with Nadeesha, සිහි සටහන්, The null device ඇතුළු මෙකී නොකී බ්ලොග් අඩවි බොහොමයක් අකුරු බ්ලොග් අඩවියේ සියළුම ලිපි වලට මම ගුරු කරගෙන තිබෙන බව කියන්නේ ගෞරවයෙන්...

      Delete
  5. අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.. will miss your unique pieces of literature. Good luck and all the best!

    ReplyDelete
  6. ඇත්තම කියනවා නම් මට මතක් උනේ අපරාදය හා දඬුවමේ ‍රැස්කොල්නිකොවු සහ සෝනියා. අපූරුයි ඉස්තරම්.. වචනවලින් කියන්න බැරිතරම් උසස් කෘතියක්..

    ReplyDelete
    Replies
    1. සරත් අයියාට ලින්ක් එක යවන්න හිතාගෙන ඉද්දී මෙන්න ඇවිල්ලා... ගොඩක් ස්තූති සරත් අයියා අගයකිරීමට...

      Delete
  7. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ .බැඳීම් ඇති වෙන නැති වෙන ජීවිතය ...
    අම්මට ඉක්මන් සුවය ලැබේවි .. ඔබේ සිතුවිලි නැවත අකුරු කෙරේවි . එය එසේම වෙන බව මට විශ්වාසයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි ගොඩක්...

      Delete
  8. මේ කතාව මරු! මේකේ මම දකින්න එකම අඩුපාඩුව බත්තලංගුණ්ඩුව පොතේ මම දැක්ක අඩුපාඩුවමයි!
    මංජුල වෙඩිවර්ධන ලියලා තිබ්බේ ධීවර ජනයා ගැන. නමුත් ඔවුන්ගේ දෙබස්වල තියෙන්නේ මහා දාර්ශණික අදහස්. බීටලයියා ලියලා තියෙන්නේ ගණිකාවක් ගැන, එයාට තියෙන්නෙත් ඒ වගේ අදහස්!

    “ඒත් ඔයගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගත්තොත්… ඒකේ තේරුම තමයි එයා ඔයාව නැතුව අනිත් කොල්ලව තෝරගත්තා කියන එක… ඔයාව මොහොතකට හරි ප්‍රතික්ෂේප උනා කියන එක… අන්න ඒ ප්‍රතික්ෂේප වීම තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ… නැතුව ඒ කොල්ලයි කෙල්ලයි නිදාගන්න එක නෙමෙයි"

    මම නිතරම දකින දෙයක් තමයි සමාජයේ ඒ වගේ මිනිස්සුන්ට ඔය උඩ උපුටලා දැම්මා වගේ මහා බරසාර අදහස් නෑ. ඔවුන්ගෙ ජීවිත, අදහස් හරි සරලයි. (සරලයි කියන්නෙ ප්‍රශ්න නෑ කියන එක නෙමෙයි) ඔවුන් ඔය වගේ බහුබූත හිතන්නේ නෑ! ඔය වගේ බහුබූත හිතෙන්නේ බීටලයියලා වගේ(මම නෑ ඕවට! :D) ෆිල්ම් එකක් බලලත් ඒකේ ඇතුලෙන් දිවෙන දේශපාලයනයි අරකයි මෙකයි හොයන උන්ට! එහෙම හොයන්නේ/හිතෙන්නේ ඕනෑවට වඩා කියවන උන්ට(පොත් පත්).
    මම මේදේවල් කිව්වේ මට සමාජයේ යම් යම් තැන්වලදී මුණ ගැහුනු යම් යම් පුද්ගලයෝ ඇසුරු කරද්දී දැනුනු දෙයක් නිසයි. හැබැයි ඔය බරසාර වචන නැති උනාට ඔය අදහසම සරලව මැද්දට කුණුහරුපයක් දෙකක් දාලා අහං ඉන්න අයව හිනස්සන විදිහට දෙයක් කියන්න ඒ මිනිස්සු හරි දක්ෂයි! කොටින්ම මම පුදුම වෙලා තියෙනවා සමහරු කියන කතා අහලා!
    මගේ අදහස පිළිගන්න කැමති වෙයිද මංදා! ඒත් ඕං මං කියලා දැම්මා!

    බීටලයියාගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් පූසා උබේ අදහස වැටහුණා... හැබැයි මේ උපුටා ගත්ත එක ඊළඟ ජේදයත් එක්කම ගත්තොත් පුංචි වෙනසක් පෙනේවී... වෙයිශාලි සහ එතන ඉන්න අනෙක් කාන්තාවන් අතර ඇති නොගැලපීම තමයි එහෙම දෙබසකට හේතුව මම හිතන්නේ...

      Delete
    2. එහෙමමත් නෙවෙයි !!! හැම මිනිහෙක්ගේම ලග තියෙන අදහස් ඇත්තෙන්ම ගත්තොත් දාර්ශනිකයි . ඒකට ඒ මිනිහා නියෝජනය කරන්නේ සමාජයේ මොන තරාතිරමද කියන එක අදාල වෙනව කියල මං හිතන්නේ නෑ. ‍
      වෙලා තියෙන්නේ ...... ඇත්තටම මිනිස්සු කථා තරනකොට ඔය අදහස් ඒ විදිහටම එලියට නොදාන එක විතරයි. අර කිව්ව වගේ මැද්දට කුණුහරුපයක් දෙකක් දාලා අහං ඉන්න අයව හිනස්සන විදිහට දෙයක් කියන එක තමයි වෙන්නේ . ඒත් හිතන්නේ එහෙම නෙවෙයි . මෙතනදි කරලා තියෙන්නේ හිතෙන විදිහටම ලියන එක . ඒ නිසා හිතට වදිනව .
      @ Beetle - මං මේ බ්ලොග් එකට ආපු පලවෙනි දවස .....එදාම උඹ යන්න යනවළු ...... හම් කමක් නෑ .... අපි හැමෝටම එක දෙයක් වෙනුවෙන් කැපවෙලා ඉන්න පුළුවන් සීමාවක් තියෙනව , ඒක මං දන්නව . උඹට ජය

      Delete
    3. දිනෙල්ක අන්තිමට බැලුවම අපි දෙන්නම කියලා තියෙන්නේ එකම දේ නේද? :)

      Delete
  9. "බොරු කියන්නට වීම ගැන ඌට වඩා මා කම්පා වෙන බව පැහැදිලිකර දියයුතුද...?"

    පරිස්සමින් ගිහින් එන්න සහෘදයා..
    මාලන් කීවා වාගෙම විස්තර හැකි වෙලාවක දන්වන්න..
    අපෙන් කෙරෙන්න යමක් තියනවනම් ඒකත් දන්වන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිස්ස අයියා... මානසිකව වැටෙන වෙලාවට බදලා අල්ලගන්න ඉන්න රූස්ස ගස්... :)

      Delete
  10. මුලින්ම බීටල් අය්යගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා,

    බීටල් අය්යගෙ ලියමනකට කොමෙන්ට් එකක් කොටනව කියන්නෙත් එක්තරා අභියෝගයක්... ඒ අභියෝගය බාරගන්න බැරි හින්දම පහුගිය ටිකේ පෝස්ට් කිහිපයක්ම කියවල හොරපාරෙන්ම යන්න ගියා..

    මේ සමාන වෘතාන්තයක් තියෙන හින්දි චිත්‍රපටයක් කාලෙකට කලින් නැරඹුවා .. නම මතක නෑ ගෝවින්ද සමග පූජාබාත් රඟපෑවේ.. හැබැයි මුල් සිද්දිය විතරයි සමාන බීටල් අය්යා ලියපු කථාව අළුත්ම එකක්...

    සිතුවිළි ගලාගෙන ගිය අකාරය හරිම අපූරුයි, වචන ඛණ්ඩයක් ඛණ්ඩයක් පාසාම චිත්තරූප මැවෙන්නේ නිරායාසයෙන්,
    // “ඔයා වෙන මිනිස්සු එක්ක නිදාගත්තට මට ප්‍රශ්නයක් නැතිවෙන්නත්… සෘති වෙන මිනිහෙන් එක්ක නිදාගත්තොත් මට ඒක ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙත් ඇයි..?” //

    මෙන්න මේ ප්‍රෂ්නයත වෛශාලි පිළිතුරුදෙන විදිය හරිම අපූරුයි,

    සාර්ථක නිර්මාණයක්, ජය !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මීගොඩයා... ඒ කියන ෆිල්ම් එක මම බලලා නෑ... මේ සඳහන් කරපු ෆිල්ම් එකත් මම ටීවී එකේ අහම්බෙන් දැක්කේ... සම්පූර්නයෙන් බලන්න වුනේ නැහැ...

      Delete
  11. මේ වගෙ කතාවක් සාමාන්‍යයෙන් කියවන්නත් ලැබෙන්නෙ නැති තරම් බ්ලොග් ලෝකෙත්. නියමෙට ලියලා තියෙනවා.

    අම්මට තෙරුවන් සරණින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා බීටලේ.

    Everything's gonna be alright, don't worry too much.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩූඩ්... නොවෙනස් යාලුකමටත් එක්කම...

      Delete
  12. ටැබූ ගෙ බ්ලොග් එකේ බීට්ල් ගෙ ලිපිය පල වෙච්ච දා ඉඳල මම බීට්ල් ගෙ ලිපි කියවනව. ආයාසයක් නැතුව කියවන්න පුළුවන් විදිහට ලියන්නත්, කියන්න තියෙන දේ අපුරුවට වචන ගලපල ලියන්නත් ඔබට තියෙන්නෙ අපුරු හැකියාවක්. අම්මා රෝගී උනාම පුතෙකුට දැනෙන දුක අත්විඳිමින් ඉන්න කෙනෙක් විදිහට ඔබේ හැඟීම් මට හිතා ගන්න පුළුවන්. අම්මාට ඉක්මන් නිරෝගී සුවය පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුහුදු... එදා ඉඳන්ම මා එක්ක ඉන්න ඔබවැන්නන් මට ලොකු හයියක් ඇත්තටම... ඔබේ අම්මාත් අසනීපෙන් බවයි පේන්නේ... එතුමියටත් ඉක්මන් සුවය පතනවා...

      Delete
  13. කියවලා කල්පනා කළේ මොනාද කමෙන්ට් එකේ ලියන්නේ කියලා... හිර වෙන වෙලාවට ෂේප් එකේ මාරු වෙලා යන සිරිතක් තිබුනා උනත් මේ ඒකට තැනක් නෙවෙයි...

    මම ළඟදිනේ කියවන්න ගත්තේ... ඒකෙනුත් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතා තිබුණ එක බ්ලොග් එකක් අකුරැ... තව කාලෙකට කියවන්න ලැබෙන්නේ නෑ කියන්නේ සමහර විට බීට්ල් ආයිත් ලියන්න එනකොට මම බ්ලොග් ලෝකේ ඉන්නෙ නැති වෙන්න පුළුවන්... ඒක නිසයි මේ කමෙන්ට් එක...

    අම්මට ඉක්මණට සනීප වෙන්න කියලා පතනවා...

    ඒ වගේම බීට්ල්ගේ පෝස්ට් එකක් ආයිත් කියවන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා...

    ReplyDelete
  14. අදමයි මේ පැත්තට ආවේ! ඒත් මම කලින් මේ පැත්තට නාවේ ඇයි කියල තාම හිතනවා! මේකනම් ඇත්තටම කතාවක්! කතා කරන කතාවක්!!!

    ReplyDelete
  15. කියන්නට වචන නැත, අතිශය විශිෂ්ටයි, මෝහනය වෙලා වගේ කතාව කියෙව්වේ.

    අම්මට ඉක්මණට සනීප වෙන්න කියලා පතනවා

    ReplyDelete
  16. අම්මා දොයියන්න කියලා කෑගහනවා.. ඇයි මං මේ බ්ලොග් එක කලිං දැක්කෙ නැත්තෙ කියන එක මටම පුදුමයක්.. බොහොම අගෙයි..

    ඒ වගේම අයියාගෙ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete
    Replies
    1. දෙවනි පාරටත් කියෙවුවා.. මරු!

      Delete
  17. කතාව එක්ක මමත් ඉන්දියාවට ගියා ඇත්තටම ..

    මවට ඉක්මන් සුවය පතමි ....!!!!

    ReplyDelete
  18. මවට බුදුසරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    පෝස්ටුව ගැන කියන්න තියෙන්නේ අති විශිෂ්ඨයි ...

    ReplyDelete
  19. බීටල් අයියගෙ අම්මාට ඉක්මන් නිරෝගී සුවය පතනව.

    මේ පොස්ට් එක කියවල හිතට එන හැගීම කියන්න වචන නෑ මං ලග dil dosti etc ෆිල්ම් එකත් බලලම ආයෙමත් හිතන්න ඕනෙ.

    ReplyDelete
  20. අම්මාට ඉක්මන් සුවය පතනවා...
    පරිස්සමෙන් වරෙං...

    ජයවේවා!!!

    ReplyDelete
  21. //ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එවිට පිටුපසින් පැමිණෙන පිරිමියාට ඇයගේ සිරුරේ හැඩය රසවිඳිමින් පැමිණිය හැකි නිසා වියයුතුය//

    සහතික ඇත්ත

    අම්මාට නීරෝගි සුවය අත්වේවා

    තියන ගැටලු ටික විසදාගන ඉක්මනින් ලියන්න ලැබේවා
    වෙනස්ම විදිහේ ලියවිල්ලක් ලිය උන තැනක්
    මට ඒ අඩුව හොදටම දැනේවි

    ReplyDelete
  22. "සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…"

    උඹේ බ්ලොග් එක කියවන්න මම ගත කරපු කාලය ගැනත්
    මට හිතෙන්නෙ එහෙමයි.

    පරිස්සමෙන් ගිහින් වරෙන්.....

    ReplyDelete
  23. කතාව කියෙව්වෙ නැ. පලි කොටස කියෙව්වා.

    මවට සුවය පතමි!

    අවශ්‍යතාවයක් වුනොත් කතා කරන්න.

    ReplyDelete
  24. ඔයාගෙ හැම නිර්මාණයක්ම රහසින් රස වින්ද කෙනෙක්. මේකත් සුපිරි. මගෙ පලවෙනි කමෙන්ටුව. ආයෙත් ලියන්න, පුලුවන් හැම වෙලාවකම..
    අම්මාට ඉක්මන් සුව!

    ReplyDelete
  25. මාත් බොහොම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේ. ගොඩාක් වෙලාවට කියවලා ඉවර වෙලා ආපහු පාරක් කියවලා මිසක් යන්නෙත් නෑ. ඒ තරමට ඔබේ ලිවීම අස්සේ අපිව අතරමං කරනවා.
    මවුරටට ගියාම පුළුවන් විදියට ලියන්නත් හැකිවෙයි. සමු ගැනීමක් වෙන්න ඕනේ නෑ නේ. ඔබේ මවටත් ඉක්මනින් සුව වෙයි. එහෙම වෙනවාමයි.

    ReplyDelete
  26. “ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”

    බීටයියාගේ කතා කියෙව්වොත් ඔය වගේ කතාවක් අහුලගෙන රස විඳින්න පුළුවන්....


    අම්මගේ සැත්කම සාර්ථක වේවි අයියේ.. ඔයා එයා ලඟට ආව නිසා ඉක්මනින්ම සනීපත් වෙයි.. :D

    ReplyDelete
  27. මේ ලිපිය නම් සුපිරි සහෝ
    හොඳටම දැනුන ලිපියක්.

    ඔබේ මවට සුවය පතනවා ඒ වගේම ඔබටත් නැවතත් ඉක්මනට ලියන්න කියලා කියනවා.

    ReplyDelete
  28. කියන්න වචන නෑ බන්.. උඹේ හැකියාව මාව තුශ්නිම්භූත කළා..

    ඉක්මනට ගිහින් වරෙන්.. අම්මට ඉක්මන් සුවය පතමි !

    ReplyDelete
  29. තිසරණ සරණින් ඔබගේ මව නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  30. මවට ඉක්මන් සුවය පතනවා බීට්ල්.

    අපූරු පද ගෙත්තමක්..මෙවන් නිර්මාණයක් ගැන කතා කරන්නත් ගොඩක් කියවන්න වේවි..හරිම ලස්සනයි කියලා විතරක් කියන්නම්..

    ReplyDelete
  31. බීටා.. කතාව....... සුපිරියි...

    උඹගේ මෑණියන්ට ඉක්මනින්ම සනීප වෙන්න ඕනි...

    ReplyDelete
  32. සේරම හොදින් සිදු වෙයි මචෝ,,

    ReplyDelete
  33. මචං පිස්සු හැදෙනවා බන් මේ කතාව . .

    දිග වැඩි නිසා හෙමීට වෙලාව අරං කියවන්න ඕන කියලා තිබ්බ නිසා උඹගේ අම්මගේ අසනීප තත්වේ මේ ලිපියේ අගින් දැන ගන්නවා වෙනුවට උඹ එක්ක චැට් කරද්දීම දැන ගන්න උනේ . . සමාවෙයක් ඒකට . .

    ආයේ පරක් මේ කතාව ගැන කියනවනම් . . මාරම සිරා බන් . .

    සංවේදී ෆිල්ම් හදන එකෙක්ට මේ ප්ලොට් එක අහු උනා නම් පට ක්ලැසික් ආර්ට් ෆිල්ම් එකක් කරන්න තිබ්බා . .

    අම්මට ඉක්මනට සනීප වේවා . . . . !

    ReplyDelete
  34. කකා...
    හිරු...
    නාඩියා...
    ආගන්තුකයා...
    රොබින්...
    Shanaka...
    රුචා...
    රනා...
    අටම්...
    නිශ්...
    එම්.ඒ...
    රංගි...
    සුද්දි...
    නිශාන්...
    සෙන්නා...
    පරිකල්පන...
    රූ....
    පසන්...
    ඩිලා...
    දුකා...

    හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!!!

    ReplyDelete
  35. කාලෙකින් කියෙව්ව අති විශිෂ්ට සටහනක්!!!!

    ඔබ වැන්නවුන් සිංහල බ්ලොග් අවකාශයට ආලෝකයක් සහ ආඩම්බරයක්!!!

    අදත් මේක දකිනකොට මං පරක්කුයි!!
    අම්මාට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  36. ටිකක් වැඩ වැඩි හින්දා කලින් දවසක ඇවිත් ලිපියෙ මුල හරිය බලලා ආපහු ගියා. නැවත කියවන්නට ලැබුණෙ අද.
    "ජීවිතේට පායලා, බැහැලා ගිය දේදුන්නක්." ලස්සන යෙදුම්වලින් සරු වුණු කෙටි කතාවක්.
    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  37. අනේ මංදා තාමත් හිත හිරි වැටිලා වගෙයි... අනේ බීට්ල්ගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා...

    ReplyDelete
  38. අපූරු කතාවක්... එක හුස්මට කියවගෙන ගියා...
    ඔබ ගත් තීරණය හරි. අම්ම ළගින් ඉන්න එක හැමදේටම වඩා වටිනවා... ඔබේ අදහසට ගරු කරන අතරම අම්මාට ඉක්මන් සුවය ප්රාමර්ථනා කරනවා... මේ හැමදේටම ආදරයෙන් මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය ලැ‍බේවා.

    ReplyDelete
  39. අම්මෝ දිග වැඩියි වගේ දැනුනා.....ඇයි එකම පොස්ට් එකකට දාන්න හිතුනේ මේක....

    ReplyDelete

Web Statistics