Saturday, October 20, 2012

68. චිත්‍රපටි පිස්සෝ සහ පිටසක්වල ජීවීන්

හදිසියෙන් තැබෙන මේ කෙටි සටහන කරුණු දෙකක් වෙනුවෙන්…

 

එක :  මා ඊයේ නැරඹූ වීඩියෝවක්, තවමත් එය ඇස නොගැටුනු කෙනෙක් වේ නම් ඔවුන් හා බෙදාගැනීමේ අරමුණින්…

 

ඒන්ෂන්ට් ඒලියන්ස් කියන වාර්තා චිත්‍රපට සීරීස් එක බලන්න ගත්ත වෙලේ ඉඳන් මට ලොකු අවුලක් තිබුණා... පෘථිවියේ ජීවය ඇතිකරන්න පිටසක්වල ජීවීන් මූලික වුනායැයි ඔවුන් නඟන තර්කය ගැන ලොකු ආරෝවක් නැති උනත්, ලෝකය පුරා විසිරිලා තිබෙන සමහර විශ්වකර්ම නිර්මාණ පිටසක්වලයන්ගේ උදව්වෙන් ගොඬනැගුණු ඒවායැයි කියද්දී මට දැනෙන්නේ අපහසුතාවයක්… ඒකට හේතුව ඒ ප්‍රෝග්‍රෑම් එකේ කතාකරන විද්වතුන් කොච්චර කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත්, මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි දේවල් කරන්න ඒලියන්ස්ලා අවශ්‍යය නෑ.. අවශ්‍යවෙන්නේ අනිත් අයට වැඩිය වෙනස් හීන දකින්න පුළුවන් තවත් මිනිස්සු පිරිසක් විතරයි කියලා මම තදින්ම විශ්වාස කරන නිසයි...

ඒත් මම මේ කාන්තාරෙක ජීවත් වෙන පුංචි ජීවියෙක්... අවුරුදු ගනන් ඒ දේවල් ගැන පර්යේෂන කරලා ඉදිරිපත් කරන තර්ක බිඳින්න මට දැනුමක් කොයින්ද..? අවසානය තෙක් නැරඹීමෙන් අනතුරුව ශිෆ්ට් ඩිලීට් ගහලා ඒ වීඩියෝ ටික ඩිලීට් කරනවා ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ... ඒත් මට නැති ඒ දැනුම තියෙන, නිවැරද්දේ ජීවත්වෙන්න ආසාකරන මිනිහෙක් මූලික වෙලා හදපු මේ වීඩියෝව ඊයේ බලන්න ලැබුණට පස්සේ මට ආව සතුට නම් වචනයෙන් විස්තර කරන්න බෑ...

කෙටියෙන් කිව්වොත් ඒන්ශන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපටියේ සමහර කොටස්වල කියන විදියට වල පිටසක්වල ජීවීන්ගේ තාක්ශණයෙන් හදපු දේවල් යැයි ඔප්පු කරන්න උත්සාහකරන හැමදේම එවැනි තාක්ශණයක් නොමැතිව මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් යැයි මේ වීඩියොවෙන් කරුණු සහිතව තර්ක කරනවා...

පහුගිය දා අභ්‍යාවකාශය ඉස්මත්තේ ඉඳන් මහ පොලවට පැනපු ෆීලික්ස් බර්ම්ගාට්නර්ගේ ඉදන්...ගිසාහි පිරමීඩය උඩට ටොන්ගානක් බර ගල් ගෙනියන ක්‍රමයක් සැලසුම් කල ඒ පුරාණ මිනිස්සු දක්වා... වෙනස් විදියට හිතන, වෙනස් දෙයක් වෙනුවෙන් හීන දැකපු, මනුශ්‍යසංහතියේ ඉතිහාසය අලුතින් ලියන්න වෙහෙසුනු ඒ මිනිස්සුන්ගේ මිලකල නොහැකි කැපකිරීම්, දහදිය කඳුළු කොහේවත් යන පිටසක්වල ජීවීන්ට පූජාකිරීම වලකන මේ වීඩියෝව මටනම් ඉස්තරම්...

අවසාන වශයෙන් මගේ පුද්ගලික මතය, මෙහි තිබෙන්නේත් තර්කයක් පමණයි...  පරම සත්‍යය ලෙස අදහන්න අවශ්‍යය නෑ... බොහෝදුරට  අපි සත්‍ය මොකද්ද කියලා නොදැනම මැරිලා යාවි... ඒත් පවතින මොහොතේ පිළිගතහැකි දෙයක් විශ්වාසකරමින් මරණයට පත්වීම සතුටක්...

මේක පැය තුනක ඩොකියුමන්ට්‍රි එකක්, ඩේටා ප්ලෑන් ඇතිනම් ප්‍රවේසමෙන්... ඒන්ශන්ට් ඒලියන්ස් බලලා මේක බලනවනම් තමයි වඩා හොඳ...

 

අතිරේකව මේ සම්බන්ඬයෙන් මහන්සිවෙන කිහිපදෙනෙකුගේම වෙබ් අඩවි මෙසේයි…

http://ancientaliensdebunked.com/

http://www.jasoncolavito.com/collection-ancient-alien-fraud.html

http://sitchiniswrong.com/

http://michaelsheiser.com/PaleoBabble/

 

දෙක : චිත්‍රපට නැරඹීම විනෝදාංශයක් කරගත් අය වෙනුවෙන්, ගූගල් ගෲප් එකක් හඳුන්වා දීමේ අරමුණින්…

 

බ්ලොග් කියවීම හා ලිවීම හැරුණුකොට සිංහල බ්ලොග් කමියුනිටියේ සැමට පොදු තවත් විනෝදාංශයක් නම් චිත්‍රපටි නැරඹීමයි… තමන් නැරඹූ හොඳ චිත්‍රපටියක් ගැන බ්ලොග් පෝස්ට් එකක් දැමෙන්නේ එහෙමත් වෙලාවක… ඉතින් ඒ වෙනුවෙන් වූ පොදු වේදිකාවක් නැති අඩුව මකන්න පුළුවන්ද බලන්න ඇරඹුණු අපි අපිම සාමාජිකයෝ වෙන ගූගල් ගෲප් එකක් තමයි චිත්‍රපටි පිස්සෝ කියන්නේ…

ඔබ චිත්‍රපට නැරඹීමට උනන්දු නම්, ඒවා ගැන කතාකරන්න, නැරඹූ හොඳ චිත්‍රපටි සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් හා බෙදාගන්න කැමතිනම් මේ ගෲප් එකට ජොයින් වෙන්නට කෙරෙන විවෘත ආරාධනාවකුයි මේ…

https://groups.google.com/d/forum/chithrapatipisso

 

ස්තූතියි Smile

17 comments :

  1. මේ දාලා තියෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ ලබන මාසේ ගිගා බයිට් ටික හම්බුනාම තමා.. හි හි...

    එතකම් තමයි මේ ටික..

    Ancient Aliens කියන්නේ මම ආසම වාර්තා චිත්‍රපටියක්.. හැබැයි මම බලලා තියෙන්නේ පළමුවෙනි කොටස් 6 විතරයි... ඒකේ ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය මට තේරෙන හැටියට පිටසක්වල ජීවීන් විසින් මේවා හැදුවා කියන එකටත් වැඩිය ඔවුන්ගේ තාක්ෂණය යොදාගෙන මිනිස්සු විසින් මේවා හැදුවා කියන එක... ඒ කියන්නේ අපි අද වෙනකොට හිකං ඉන්නවාට වඩා වැඩි තාක්ෂණික හැකියාවක් ආදි මානවයාට තිබුණා කියන එක.. විශේෂයෙන් පිරිමීඩ...

    කොහොමත් මම ඔය සීරීස් එකේ පිළිගන්න එක දෙයක් තමයි දෙවිවරු කියලා මේ වෙනකොට අපිට නිකම්ම උඩ බැලෙන ජාතියේ මුල්ම නිර්මාණය අහසින් ආපු (පිටසක්වලයෙක් හෝ කාල සංචාරකයෙක්) කෙනෙක් නිසා සිදුවුනාය කියන එක....

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එකට ආව පළමු වතාව Beetle..... ජය ලිපිය නියමයි

    ReplyDelete
  3. මමත් කැමති මේ පෞරාණික නිර්මාණ මිනිස්සුම කළාය කියලා හිතන්න. අපි අද හිතන්නෙ අපට දැනට තියෙන තාක්ෂණික ඤාණය අනුව. අපට වඩා ඉහළ තාක්ෂණික දැනුමක් තිබුණු ශිෂ්ඨාචාර තිබුණු බව පිළි ගන්න මැළි වෙන්න ඕන නැහැ. අපට පෙනි පෙනී පහුගිය අවුරුදු 2000 තුළ මොන තරම් දේවල් ඇති නැති වෙලා, වෙනස් වෙලා තියෙනවද?
    ආසයි වීඩියෝව බලන්න. ටිකක් කල් දාන්න වෙනවා හැබැයි. :(

    ReplyDelete
  4. මමත් Ancient Aliens උනන්දුවෙන් බලන්න පටන් අරන් පස්සේ අත ඇරල දැම්මා.. මට හිතෙන විදියට ඒක එක කෝණයකින් විතරක් ලෝක ඉතිහාසය දකින මිනිස්සු ටිකක් එකතු වෙලා හදපු සීරීස් එකක්... ඔය වගේම එකක් ඔන්නම් හදන්න පුළුවන් Ancient Humans වගේ නමක් දාල මිනිස්සු කරපු දේවල් පෙන්නල මේ ලෝකේ තනිකරම හැදුවේ මිනිස්සු කියල... හරියට මේ දවස් වල නැගලම යන රාවණා ඔක්කොම කලා වගේ එකක්...

    මමත් නිදහස මනසින් වැඩ කරන මිනිසුන් ලෝකයම වෙනස් කරනව කියන එක පිළිගන්න කැමති හැබැයි ඒලියන්ස්ලගේ ෆිල්ම්ස් බලල ෆැන්ටසි ආතල් ගන්න කැමති කෙනෙක්.. ඔයා මේ දාල තියෙන වීඩියෝ එක නම් බලල නෑ.. හැබැයි Ancient Aliens බලනකොට මට බලන්න හිතිච්ච විදියෙ එකක් වගෙයි.. ස්තූතියි..

    ReplyDelete
  5. මේ ලෝකෙ ඔප්පු කරන්ඩ බැරි දේවල් වලට මිනිස්සු තම තමන්ට හිතෙන තර්ක ගොඩ නගනවනෙ බන්...මේකත් එහෙම එකක් තමයි.. ඔය වගේ තව විවාදාත්මක කතන්දර කී දාහක් තියනවද..

    මමත් කැමතියි උඹ හිතන විදිහට හිතන්ඩ. ඒක බොහෝ දුරට විය හැකි ප්‍රායෝගීක තර්කය..

    අංක දෙකනම් මට එච්චර වැදගත් නෑ බන්.. මම ෆිල්ම් බලන්නෙ හරිම අඩුවෙන්..

    ReplyDelete
  6. ඔය Ancient Aliens සීරීස් එක මම ටිකක් බලල ඇත ඇරල දැම්ම. ඒකෙ තියෙන සමහර දේවල් බොරු බව වෙන වෙන තැන් වල දැකල තිබ්බට මේ වීඩියෝ එක දැකල තිබ්බෙ නෑ. මේ වගේම වීඩියෝ එකක් තිබ්බ අත්ලාන්තිස් තියරිය ගැන. බොහොම ස්තුතියි මේක බෙදා ගත්තට.

    ReplyDelete
  7. මේක මම ආසම මාතෘකාවක්.. හිස්ට්‍රී චැනල් එකේ ෆිල්ම් එක මම කලින් බැළුවා.. මේකත් බලන් ඉද්දි වෙලාව ගියා තේරුනේ නෑ... ඔක්කොම බලන්න වෙලාව මදි.. බුක්මාර්ක් කලා.. රෑට බලන්න.. තැන්කූ බීට්ල් අයියේ.. මේක ගැන ලිවුවට..

    ReplyDelete
  8. මං නං හිතන්නේ පිට සක්වල කියන වචනේ වැඩිය සිරා ගන්න අවශ්‍ය නෑ. ඒ අපිමයි.

    ReplyDelete
  9. පිට සක්වල කියන වචනෙට නම් මම ආසයි.ඒත් ඕක ඇත්තක් කියලා හිතෙන්නේ නැහැ.ඒත් වෙනත් ලෝකවල පොඩි පොඩි සත්තු ඉන්න පුළුවන් ඒ ලෝකවලට ආවේණික වෙච්ච කෘමි සතුන් වගේ උන්.ඒ හැරෙන්න බුද්ධිමත් ජීවින් කොට්ටාශයක් ඉන්නවා නම් මෙලහකට අපිට මුණ ගැසිලා.

    ReplyDelete
  10. කමෙන්ටුවක් කොටන්ඩත් බැරි තරමට ස්ලෝ වී ඇත , ම්තුරෙකුගේ පිහිටෙන්වත් බලන්නම්

    ස්තූතියි

    ReplyDelete
  11. හිරු, Lahiru, නලිනි, Pathum, සෙන්නා, මුහුදු, Dinesh,කකා, නිශාන්, අටම්...
    අදහස් දැක්වූ හැමදෙනාටමත්, ගෲප් එකට ජොයින් උනු හැමදෙනාටමත් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  12. පෝස්ට් එක බලලා ටික දවසක්. උඩින් තියන movie එක බලලා කමෙන්ට් කරන්නම් කියලා හිතා හිටපු හන්දා ඒක කරන්ට පමා උනා. තාම බලන්ට වෙලාවක් ලැබුනේ නෑ. :(

    //අවශ්‍යවෙන්නේ අනිත් අයට වැඩිය වෙනස් හීන දකින්න පුළුවන් තවත් මිනිස්සු පිරිසක් විතරයි කියලා මම තදින්ම විශ්වාස කරන නිසයි...//

    මම නම් හිතන්නේ මිනිස්සු හැමෝම එකිනෙකාට වෙනස් හීන දකින්ට පුලුවන් කොටසක් බවයි.

    //පිටසක්වල ජීවීන්ගේ තාක්ශණයෙන් හදපු දේවල් යැයි ඔප්පු කරන්න උත්සාහකරන හැමදේම එවැනි තාක්ශණයක් නොමැතිව මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් යැයි මේ වීඩියොවෙන් කරුණු සහිතව තර්ක කරනවා...//

    ඔයා ඔය කාලය දකින්නේ 21 ශත වර්ෂයේ ඉඳන් කියලා අමතක කරන්ට එපා...:)

    මම නම් කැමතියි ඒලියන්ස්ලා ඉන්නවා කියලා හිතන්ට...:)

    ‘Fifteen million people worldwide, including two former US presidents, claim to have seen an unidentified flying object. According to Dr Richard Haines, 15 per cent of all commercial and military pilots will have some kind of UFO contact during their career.’

    මේ ටික උපුටා ගත්තේ ' Paranormal world of Paul McKenna ' කියන පොතෙන්.

    අපේ ලෝකේ ඉන්න අය unidentified flying objects දකින්ට ඒවා වෙන කොහේ හරි ඉඳන් එන්ට ඔනේ නේද? එහම හිතනකොට ඒලියන්ස්ලාගේ කතාව ඇත්ත වගේ හිතෙනවා.

    මේ පොතේ ඒලියන්ස්ලා ගැන ගොඩාක් විස්තර තියනවා. ඒවා ලීවොත් තවත් පෝස්ට් එකක් වෙන හන්දා ලියන්නේ නැහැ.:)

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් එකට දිග පිළිතුරක් දෙන්නම් පොඩ්ඩි...

      ඉස්සෙල්ලාම, වීඩියෝ එකේ කියවෙන්නේ ඒලියන්ස්ලා නෑ කියන එක නෙමෙයි, Ancient Aliens කියන කන්සෙප්ට් එක පදනමක් නැති බවයි... වීඩියෝව බැලුවාම ඔයාට ඒක පැහැදිලි වේවි..

      ///මම නම් කැමතියි ඒලියන්ස්ලා ඉන්නවා කියලා හිතන්ට...:)///

      විශ්වයේ තියෙන අසාමාන්‍ය විශාලත්වය ගැන සැලකුවාම ඒකේ අපි තනිවෙලා නෑ කියලා විශ්වාස කරන එක අමාරුදෙයක් නෙමෙයි... ඇත්තම කියනවා නම් ඒලියන්ස්ලා ඉන්නවා නම් ඔයාට වැඩිය සතුටු වෙන්නේ මම :) මට මතකයි මම අන්තර්ජාලය ගැන අහලා විතරක් තියෙන කාලෙක, හත්මුතු පරම්පරාවෙවත් ක්‍රෙඩිට්කාර්ඩ් එකක් තියෙන මනුස්සයෙක් හොයාගන්න නැති කාලෙක, මම පුදුම කට්ටක් කාලා ක්‍රෙඩිට්කාර්ඩ් එකක් තියෙන යාළුවෙක් හොයාගෙන අර එක්ස් ෆයිල්ස් එකේ තියෙන "I want to believe" කියන UFO පෝස්ටරේ ගෙන්නගෙන බිත්තියේ ගහගත්තා... අදටත් මහගෙදර ඒක තියෙනවා... වෙනකක් තියා අලුත් ඉංග්‍රිසි පන්තියකට ගියාම, මිතුරු හමුවකදි එහෙම "Introduce yourself" කරද්දි මම පුරුදුවෙලා හිටියා මගේ විස්තර කියලා අහන් ඉන්න අය කොච්චර හිනාවුනත් අන්තිමට කියන්න "and I believe in Aliens..." කියලා... ඉතින් ඒලියන්ස්ලා ඉන්නවා කියලා හිතන ඒකේ මටත් අවුලක් නැහැ...

      ///අපේ ලෝකේ ඉන්න අය unidentified flying objects දකින්ට ඒවා වෙන කොහේ හරි ඉඳන් එන්ට ඔනේ නේද? එහම හිතනකොට ඒලියන්ස්ලාගේ කතාව ඇත්ත වගේ හිතෙනවා.///

      ඔන්න ඔය කතා හින්දා ඒලියන්ස්ලා ඇතැයි හිතෙන්නේ නෑ... ඒකයි අවුල... :)

      ඒ මිනිස්සු ඕනේ නෑ මේ බ්ලොග් ලෝකෙම අසාමාන්‍ය දේවල් අත්විඳපු අය ඉන්නවානේ... පුහු කොස් ගහ යටදී චාර්ලිස් සීයගේ අවතාරේ දැක්කමයි කියලා සඳරු දිවුරලා කියනවා... කකා එලොව ගිහින් මෙලොව ආව කතාව කියන්නේ බොරුවට වෙන්න බෑ... ඒත් එහෙමයි කියලා මට එහෙම දේවල් තියෙනවාය කියලා පිළිගන්න බැරි අවුලක් තියෙනවා... පොඩි දෙයක් කියන්නම්...

      මම ඉන්න ගේ තියෙන මහල් නිවාසේ බේස්මන්ට් එකේ තියෙන තට්ටු තුනක තියෙන්නේ කාර් පාර්ක් එක... යටම තට්ටුව අතෑරලා දාලා තියෙන්නේ... ඒකේ ලයිටුත් නෑ... අතෑරලා දාපු වාහන කිහිපෙකුයි අබලි ද්‍රව‍ය අරවා මේවා තියෙන්නේ... වැරදිලාවත් මිනිහෙක් එන්නේ නෑ... මම ජීවිතේ දැකපු පාලුම, මූසලම තැන... ඊට උඩින් තියෙන තට්ටු දෙකේ ඉඩ නැත්තම් මිනිස්සු පාරේ පාර්ක් කරනවා පහළ එකට යන්නේ නෑ... ඒත් පාරේ පාර්ක් කරන්න අකමැති නිසා ඉඩ නැති දවස්වලට මම යටම එකේ පාර්ක් කරනවා... ඊට පස්සේ අර ලීක් වෙන වතුර, කුණු ගොඩවල් මැදින් ලිෆ්ට් එකට යන්න ඕනේ මොබයිල් ෆෝන් එකේ එලියෙන්...

      විශ්වාස කරන්න මුල් දවස්වල ලිෆ්ට් එකට ඇවිදගෙන යන ටිකට මම මෙහෙම කෑගහලා තියෙනවා...

      "මගේ කතාව ඇහෙන හොල්මනක්, බූතයෙක්, කුම්භාණ්ඩයෙක් මොකෙක් හෝ ඉන්නවනම්... මේ පැත්ත පලාතේ මම ඇරෙන්න මිනිස් පුළුටක් නෑ... මම හොල්මන් අවතාර ඉන්නවද කියලා දැනගන්න හරි කැමැත්තෙන් ඉන්නේ... එහෙම භූතාත්ම ඉන්නවනම් මට දැන් එක්කෙනෙක් හරි පේන්න ඕනේ.. පේන්න එන්න බැරිනම් මට මොකක් හරි සංඥාවක් දෙන්න ඕනේ... මොකක් හරි සද්දයක්... අඩුම ගානේ හුලං පාරක් හරි..."

      ලිෆ්ට් එක එනකල් මම අවධානෙන් බලන් ඉන්නවා... මොකුත් නෑ... :( දැන් ඒ වැඩේ මම අතෑරියා...

      මෝඩ කතාවක් බව දන්නවා :D ඒත් මම උදාහරණෙකට කියන්නේ මට ඒ මගේ අත්දැකීම විශ්වාස කරන්න ලේසි අර බ්ලොග් වල තියෙන එකට වඩා... මම දැකලා නැති නිසා ඒවා නෑ කියනවා නෙමෙයි... කොච්චර ට්‍රයි කලත් පිළිගන්න බැරි අවුලක් තියෙන්නේ :D

      ඉතින් අන්න ඒ වගේ UFO ගැන උනන්දුවෙන් කොච්චර විද්‍යාඥයෝ අධිතාක්ෂණික දුරදක්න මානාගෙන බලන් ඉන්නවද..? ඒ කිසිම තැනකට නිල වශයෙන් UFO හමුවෙන්නේ නැතුව දාස්ගානක් මිනිස්සුන්ට අහම්බෙන් ඒවා පේන එක මට අවුල්... අර වගේමයි... ඒ මිනිස්සු ඒ දැක්ක ඒවා විස්තර කරද්දී කට ඇරගෙන අහන් ඉන්නවා... ඒ වුනාට අන්තිමට මට පේන්නෙම පිළිගන්න නෙමෙයි සැක කරන්න උදව්වෙන කරණු... :D

      අවසාන වශයෙන් පෝස්ට් එකෙන්ම;

      "බොහෝදුරට අපි සත්‍ය මොකද්ද කියලා නොදැනම මැරිලා යාවි... ඒත් පවතින මොහොතේ පිළිගතහැකි දෙයක් විශ්වාසකරමින් මරණයට පත්වීම සතුටක්..."

      මගේ බ්ලොග් එකේ ඉන්න සීමිත පාඨක පිරිස හින්දා මේ ගැන කතාකරන්න මේ හොඳම තැන නෙමෙයි... හැකිනම් පොඩ්ඩි පෝස්ට් එකක් දාන්න...මේ ගැන හරියටම දන්න අය එතන ගොඩක් දේවල් කියාවි..

      Delete
    2. //"මගේ කතාව ඇහෙන හොල්මනක්, බූතයෙක්, කුම්භාණ්ඩයෙක් මොකෙක් හෝ ඉන්නවනම්... මේ පැත්ත පලාතේ මම ඇරෙන්න මිනිස් පුළුටක් නෑ... මම හොල්මන් අවතාර ඉන්නවද කියලා දැනගන්න හරි කැමැත්තෙන් ඉන්නේ... එහෙම භූතාත්ම ඉන්නවනම් මට දැන් එක්කෙනෙක් හරි පේන්න ඕනේ.. පේන්න එන්න බැරිනම් මට මොකක් හරි සංඥාවක් දෙන්න ඕනේ... මොකක් හරි සද්දයක්... අඩුම ගානේ හුලං පාරක් හරි..."

      ලිෆ්ට් එක එනකල් මම අවධානෙන් බලන් ඉන්නවා... මොකුත් නෑ... :( දැන් ඒ වැඩේ මම අතෑරියා... //


      භූතයෝ ඔයාට බය ඇති හී හී...

      නෑ නෑ අපිට කොච්චර උවමනා උනත්, භූතයෝ පේන්නේ එක් කොටසකට විතරලු. අර බල්ලන්ට මිනිස්සුන්ට වඩා දුර ඇහෙනවා වගේ, සමහර මිනිස් කොටස් වලට දැනීම, එහෙම නැත්නම් පෙනීම වැඩි ඇති. බුද්ධ ධර්මයට අනුවත් ඒක ඉතින් ඇත්තක්නේ. ඒ හන්දා අනිවාර්යයෙන්ම මම භූතයෝ ඉන්නවා කියන එක පිලිගන්නවා. :D

      ඒ වගේ පෝස්ට් එකක් ලියන්ට ඉතින් ගොඩක් කියවන්ට ඕනි බීට්ල්...

      ඔය මාතෘකාව ගැන කතා කරන්ට මට වඩා දන්න අය ගොඩක් ඇති...:)

      Delete
  13. වීඩියෝව බලන්න ඕනේ... මේ වැඩසටහනම නොවුනත් මේ මාතෘකාව ගැන කතාකරන වැඩසටහන් කීපයක් මම බලලා තියනවා. ඒ ඒකක තිබ්බ දෙවියන් කියන සංකල්පය ඇවිත් තියෙන්නේ පිටසක්වල ජීවීන්ගෙන් කියලා. ඒ වගේම දෙවියන් විසින් මැවීම කියන සංකල්පයත් ඊට සාපේක්ෂව ඔවුන්ගේ නිර්මාණ ආශ්‍රයෙන් ගොඩ නැගුණක් කියලා. මමත් හරි කැමැත්තෙන් විස්වාස කලා දෙවියන් කියන්නේ පිටසක්වල මිනිස්සු කියලා, හැබැයි පස්සෙ කාලෙක ඒ විශ්වාසය පළුදු වෙන විදිහේ දේවල් මම කියවලා තියනවා. බීටල් කියන්නා වගේ සමහර විට අපේ ජීවිත කලෙදි අපි ඇත්ත නොදැන මැරෙන්න පුළුවන්. ඒත් ඒවා ඇත්තද නැද්ද කියලා වාද කරගන්න එකත් කොච්චර සුන්දරද...

    විශ්වය ගැන අද අපි දන්න තරමට නම්, පෘථිවියට පිටසක්වල ජීවීන් ආවා කියන එකට ඇත්ත වෙන්න ඉඩ තියෙන්නෙ, අපි පිටසක්වල ජීවීන් හොයගන්නවා කියන දෙයට තියන ඉඩ මයි. ටයිම් ට්‍රැවල් කියන සංකල්පයත් ඉතින් දැන් පිළිගැනෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර... කතාව ඇත්ත බලන්න ගියොත් මේ ගැන ඉවරයක් නැතුව යූ ටියුබේ බලන්න දේවල් තියෙනවා... :)

      Delete
  14. අමාරුම දේ කිරීමේ හැකියාව තියෙන්නේ මනුස්සයින්ට කියල මමත් දැඩිව විශ්වාස කරනවා. ඒක බුදුන්වහන්සේත් තහවුරු කල දෙයක්.. මනුශ්‍ය පරිනාමයේ උපරිමය වූ නිර්වානය ලබාගන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි ..

    ReplyDelete

Web Statistics