Saturday, December 17, 2011

43. සීතල උඳුවප් මාසය | Such a Cold December

december1

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇතිකරන්නේ ළා දුඹුරු පාට කෝපි දියර මතුපිටින් නැගෙන දුම් රැල්ල වෙන්නැති… ඒ දුම් රැල්ල හරි අද්භූතයි… තමන් අවට පරිසරයට පුදුම විදියට සංවේදීයි… හැගීම් වලින් අනූන කෙනෙක් ඉදිරියේ නම් දුම් රැල්ල කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන්නේ ලතාවකට… හරියට භාවනාවක් වගේ… ඒත් හිතේ කලබල වෙලාවට කෝපි කොප්පයක් බීලා බලන්න…දුම් රැල්ලත් හරි කලබලයි…

ඒකාකාරී ජීවිතේට වෙනසක් එක්කරන අලුත් මිතුරිය ඉස්සරහා ඉන්න මට මේ ගෙවෙන හැම මොහොතක්ම සර්ව සම්පූර්ණයි… මොන සීතලක්ද..? මම පිළිතුරු දෙන්නේ මඳ සිනාවකින්…

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

ගානට එක මට්ටමට කපපු මල් වැට… ඒ පිටිපස්සෙන් පේළියට රෝස පඳුරු… පාරනම් ටිකක් කලුයි… තාර නිසා… අපිළිවෙළයි හැඩිවෙලා සමහර තැන්… ඒත් ඒ පාරෙන් මෙහාපැත්තේ… තණකොළ බිස්ස පටන් ගද්දිම වගේ තියෙන සිමෙන්ති බංකුවේ මට අයිති හතරෙන් එකයි… ඇයට හතරෙන් තුනක්ම… උඩු බැලි අතට දිගාවෙලා හිස මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇය අහන්නේ අත් දෙක බැඳගෙන… උරිස් හකුළුවමින්… අපි මේ පාරෙන් ආවොත් හැමදාම වාඩිවෙන්නේ මේ සිමෙන්ති ආසනේ… තව ඒවා නැතුව නෙවෙයි… ඒත් මේක හදලා තියෙන්නේ හරියටම අපි දෙන්නාගේ මිම්මට… මම වාඩි වෙලා ඇය ඔඩොක්කුවෙන් දිගාවුණාම...අගලක්වත් අඩුත් නෑ…වැඩිත් නෑ… ඇස් මට්ටමට එකවගේ පෙනුණට අනිත් ආසන මීට වැඩිය දිග පළලින් වෙනස්… ඒවා හදලා ඇත්තේ වෙන ආදරවන්තයන්ට වෙන්න ඇති…

එකක් ඉවර වෙද්දි එකක් ගලා එන ඇගේ වචන වලට මම හූමිටි තියන්නේ ඇගේ හිසකෙස් අතරේ ඇගිලි තුඩු යවමින්… මිතුරියක් වී සිටියදීම නොදැනුණු සීතලක් මට ඇය ආදරවන්තිය වූ කල කොයින්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

කන්පෙති දිගේ දෙතොල් ගෙනයමින් ඇය රහසින් මුමුනන්නේ ඇසෙන නෑසෙන හඬින්… පුළුන් පිරවූ සුදු ඝනකම් පොරෝනය මත අපේ සිරුරු වල හැඩයට රේඛා බෙදිලා… දන්නවද අපි හැමෝගෙම මුළු ශරීරේම උණුසුම තමයි…උදාහරණයක් විදියට එදා මේ මගේ කම්මුලේ දැවටුන ඇගේ හුස්ම රැල්ලේ ඉඳන් ඇගේ පාදවල සිහින් දිගටි ඇගීලි පුරුක් අතරට යනකල්ම… හැබැයි ශරීරයේ සමහර තැන් සාමාන්‍ය ප්‍රමානයට වඩා උණුසුමයි… තවත් සමහර තැන්… ගිනියම් වෙන තරම්… ඒක තනි තනිව විඳින්න බැරි උණුසුමක්… කෙනෙකුට තවකෙකුගෙන් විඳින්නට හැකි මේ උණුසුම විඳින්නට ලැබෙන්නේ ආදරය ඇති තැනක විතරයි… මුදලකට හිලව් කරලා ගන්න හැදුවොත්, කොච්චර උත්සාහා කළත් ලැබෙන්නේ උණුසුමක් නෙවෙයි… කාන්සියක්… මහන්සිය වැඩිවෙන තරමට කළකිරීමයි වැඩිවෙන්නේ…

හවස් වරුව පුරා තිබුණු චුරු චුරුව තරමක වැස්සකට හැරුනා… ඉතින් වැහැපන් වැස්ස ඇතිවෙනකල්… ඇය සිරුර පුරා උණුසුම අඩු වැඩි වෙන අයුරු විඳින මට මොන සීතලක්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

හැම උඳුවප් මසකම අහපු ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයට හිත සීතලෙන් ගල්කරන පිළිතුරක් තිළිණ කරලා ඔබ නික්ම ගිහින්… පට පට ගාමින් ඇවිලෙන ගිනි මැලය ඉදිරියේ… ගතවට දැවටුණු ඝන පොරෝනයකින් සන්නද්ධව… කලබල දුම් රැල්ලකින් වටවුණු තිත්ත කෝපි කෝප්පයක් තොලගාන මට ජීවිතේ පළමු වරට උඳුවප් මාසේ උහුල ගන්න බැරි සීතලක් ඇතැයි අවබෝධ වෙන්නට පටන් අරන්…

snowsnowsnow

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
පැවසුවා මුණගැසුණු මුල්දින
කෝපි හලකදි ඔබ එදා...
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
රෝස උයනක සොඳුරු සවසක
ඇකයේ මා ඔබ හිස හොවා…
දැනුණෙ නෑ ඔබ කී විටෙක මට
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කෙඳිරුවා නෑසෙනා ගානට
තුරුළු වී පපුතුරට මා …
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කියන්නට අද ඔබ නොමැති සඳ
අහිමි උණුසුම සිත අරා…
සක්සුදක් සේ දැන ගතිමි මම
උඳුවප් සීතලයි කියා…

snowsnowsnow

පිංතූරය : Smashing Magazine December Wallpapers

22 comments :

  1. the best thing to happen is to fall in love with ur best frnd :)

    ReplyDelete
  2. දුං දාන තිත්ත කෝපි . . . . .අඩුමගානෙ උඹට ඒකවත් තියනව බං . . .

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්. ඇත්ත, සීතල තරම්, නැති කම මතක් කරන වෙන දෙයක් නැති තරම්... :)
    ජීවිතේ කියන්නේ ඔය චේන් රි ඇක්ශන් එකටද මන්දා... ඇතිවෙනවා... පවතිනවා. නැතිවෙනවා. ඇතිවෙන ස්ටේජ් එකෙත්, නැති වෙන ස්ටේජ් එකෙත් තියෙන අනියත බිය කොච්චර වේදනාවක් උනත් , මිනිස්සු ආයිත් කඳු ගැටයකට නගිනවා....

    ReplyDelete
  4. “ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

    ඔබෙන් අහන්න අද මම ළඟ නැහැ කියලා කියන්නෙ කොහොම ද?

    පපුවට අත තියල ,ඇස් දෙක පියා ගන්න, කෝපි කෝප්පෙ උණුසුම් දුමත් එක්ක ,. දුරුත්තෙ සීතල ඔබට දැනෙනෙකක් නැහැ.

    මගෙ මතකයත් ඒ තරමටම උණුසුම්.......

    ReplyDelete
  5. මට නං නෑ චුට්ටක්වත්... හීතල...

    ReplyDelete
  6. "you feel as warm or as cold as your thoughts"
    lovely.. well written!

    ReplyDelete
  7. උඳුවප් සීතල මැදින් උණුසුම් සිතිවිලි පිබිදී. අපූරුයි !!

    ReplyDelete
  8. ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...

    මොන සීතලද..... මේ තරම් උණුසුම් සිතිවිලි කියවද්දි.. හැබැයි.. එලියේනම් හොඳටම වහිනවා.. විරි විරි වැස්ස.. සුළඟත් හරහට වැටෙන හිරිකඩ... ගස් කොලන මත අයිස් කැට ඩුනු පිනි බින්දු... හ්ම්ම්ම්ම් දැන් ඉතින් ඒ සීතලේ පාළුපාරේ යන්නතී ඔනිනේ...

    රොස පඳරු අද්දර බංකුවේ තනියම වාඩි වෙලා ඉන්නත් ඔනි.. අපිලිවෙල තාරපොරේ ඉබාගානේ ඇවිදන් යන්නත් ඔනි.. තනියම... ඒත් සීතල නෑ පොඩ්ඩක්වත්... උණුසුම් සිතිවිලි වලින් හිත පිරිලා...


    නියම අදහස් ටික බීට්ල්....

    ReplyDelete
  9. මුළු ගතම සීතල වෙලා යන මතකය!
    සිරා ලියවිල්ලක්! පොතක් ලියන්න අදහසක් නැද්ද බීටලයියේ?

    ReplyDelete
  10. ඇයි ඉතින් කලින් උත්තරයක් දුන්නේ නැත්තේ??????

    ReplyDelete
  11. හරිම ලස්සන ලියවිල්ලක්..

    ReplyDelete
  12. Sabith, ඕනයා, ජීවිතේ මල්, ෴සොඳුරු සිත෴, පොඩි මෑන් , malithi, Rasika Kariyawasam, සුදු හංසි, පූසා, Podi Kumarihami, Ice...

    ප්‍රතිචාර වලට හැමදෙනාටම ගොඩක් ස්තූතියි...!

    ReplyDelete
  13. හීතල? මොනව කතා කොරනවද මන්ද...

    අන්න අර කරෝල වාඩියෙ තනි වෙලා ඉන්න ඕනයට නං හීතල ඇති...

    ReplyDelete
  14. හීතල නැති කර ගන්න ජාතිද නැත්තෙ ?

    ReplyDelete
  15. හීතලයි නම් ඉතින් ඇඟපත ඩිංගක් රත් කරවලා යන බීමක් බීලා පොඩි ගතියක් අරං ජොලියේ ඉන්න නෙව ඕනෙ .

    නියම ලිවිල්ලක් . අපේ පලාතටත් මේ කාලේ මාර හීතලයි . වෙනදා මහ රෑටත් ෆෑන් එක දාගෙන දාඩිය මුගුරු පෙරාගෙන බුදියන මට මේ දවස් වල නින්ද යන්නේ නැති තරමට සීතල . මේ කතාවේ හීතලයි පරිසරයේ හීතලයි එකතු වෙලා මාව ගල් කෙරෙවුවා ..

    ඕනම පට්ට පායන කාලෙක මේ කතාව කියෙවුවොතින් ඕනෙම කෙනෙක් හීතල වෙලා යන බවනම් විස්වාසයි .

    ReplyDelete
  16. @Observer
    හැබැයි අර තව තැනක ඌ ගණන් හිලව් එහෙම දාලා තිබුණ අරකට මෙච්චරයි, මේකට අච්චරයි කියලා... අනේමන්දා... :D

    @Weni
    ඒවයින් නැතිකරගෙන පහුවදාට සීතල ඩබල් වෙලා එනවනේ...

    @සඳරු
    ඇගපත ඩිංගක් රත්කරවලා යන බීමක් බොනවා... කෝපි :)

    ReplyDelete
  17. ලස්සනට ලියලා තියෙනවා. ජය!

    ReplyDelete
  18. කාලෙට ගැලපෙන....., සීතට හරියන පෝස්ට් එක!

    ReplyDelete
  19. කෝපි... ඈක්කා... තිත්ත කෝපි.....

    ලස්සනට ලියලා තියනවා බීටලේ, මට තියෙන ප්‍රශ්නෙ තමයි මේක සිතිවිල්ලක් විතරමද කියන එක.......

    ReplyDelete
  20. අපූරුයි, සුන්දරයි, හීතලයි, උණුහුමයි........... හැබෑ දස්සයක් ! ආසයි !!!

    ReplyDelete
  21. සීතලේම කියෙව්වා...හරිම අපූරුවට හිතේ හැගීම් අකුරු කරල තියනවා..

    ReplyDelete
  22. සීතලට තනිකම් මතකය.... හරිම ලස්සන ලිවීමේ රටාවක්.. කතාවත්,පෙලගැස්වීමත් හරිම අපූරුයි..
    සුබ පැතුම්..!! :)

    ReplyDelete

Web Statistics