Saturday, November 12, 2011

39. තරඟය | The Game

 

“ගහපන් යාළුවේ… උඹට පුලුවන්…!”

තමා සමීපයෙන්ම ඉන්නා සගයා කෑගසන හඬ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාට ඇහුණේ වෙන ලෝකයකින් ඇහෙනා හඬක් වාගේයි…  කෙළින් සිටවූ බෝලයට පියවර කිහිපයක් පසුපසින් තම දෙපා අතර අඩි දෙකක පමණ පරතරයක් ඇතිවනසේ පහසුවෙන් සිටගෙන සිහි ඔහු තම ශක්තිමත් පපු කුහරය පිරෙන්නටම ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් හිස ඔසවා ඉදිරියට නෙත් යොමුකළා… තමා දෙස එක එල්ලේ බලා සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයන්,  පිටියේ සීමාවෙන් ඔබ්බෙහි වූ එකම හැඩයේ ප්‍රචාරක දැන්වීම් පුවරු… ඊට ඔබ්බෙහි වූ එකම වර්ණයෙන් යුත් ප්‍රමාණයෙන් කුඩා හිස්වූ ප්ලාස්ටික් ආසන… ක්‍රීඩාපිටිය කෙළවරේ පේළියට වවා ඇති ගස් සහ ඉන් ඔබ්බෙහි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන යනාදී නොයෙකුත් දේ ඔහු අවට පෙනෙන්නට තිබුණත් ඒ කිසිවක් ඔහු දුටුවේ නැහැ… සිරස්ව සිටවූ උස් කණු දෙක හරහා වැටුණු තිරස් පොල්ලකින් යුතු සුදු පැහැති ගෝල් කණුව ඔහු ඉදිරියේ කෙළින් සිටගෙන සිටියා… සම්පූර්ණ හිස් පසුබිමක ඔහුට පෙනුණේ ගෝල් කණුව පමණමයි…

“බස්සපන් එළියටම… උඹට පුලුවන්…!”

කඩුල්ලේ අනික් අන්තයේ සිටින තම සගයා පවසන අයුරු කලු කැරලි කොණ්ඩයක් ඇති ගැටවරයා හැගීමකින් තොරව අසා සිටියා… තම කරගැට වේලී රළු වුණු දෑතට කැත්ත උදැල්ල තරමටම හුරු ලී පිත්ත කිටි කිටියේ හිරකරගෙන සිටි ඔහු ඉපනැල්ල පිරුණු වෙල්යාය සිසාරා නෙත් හෙළුවේ තදින් හුස්ම ගනිමින්… නියර කිහිපයකට ඈතින් වම්පස කෙළවරේ කොට කලිසමකින් පමණක් සැරසී උන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට අඩි කිහිපයක් පිටු පසින් වූ  කුඹුරට ආගන්තුක වැටමාර අත්ත දෙස ඔහු තියුණු ඇසකින් බලා සිටියේ එය හතරේ සීමාව බව ඔහු දන්නා නිසායි…

~~~~~~

ඒ තරගයේ අවසන් මිනිත්තු කිහිපය බව තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා දැන සිටියා… මේ දඬුවම් පහර තරගය ජයග්‍රාහීව නිමකිරීමට ඔවුනට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… මේ සිරස් කණු දෙක අතරින් ඇදීයන සේ ඔහු හිසේ කෙස් ගණනට පහරවල් එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නේ මේ මොහොතේ ඔහු එල්ල කරන පහර මතයි… තරගයට හදවතින්ම අවතීර්ණ වූ ක්‍රීඩකයෙකුට මෙය අතිශය සංකීර්ණ අවස්ථාවක්… තම කණ්ඩායම ඇතුළු සියලු දෙනාම ඔවුන්ගේ බලාපොරොත්තු මේ වනවට කොන්දේසි විරහිතව තබා තිබුණේ ඔහුගේ කරමතයි… අංශක දශමයක වැරැද්දකින් ඒ සියල්ල සුනුවිසුනු වී යන්නේ නැවත ගොඬනගා ගත නොහැකි ලෙසයි… නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ගැඹුරු හුස්මක් ගත් ඔහු රිද්මයානුකූලව අඩි තබමින් දිවවිත් කෙළින් සිටවා තිබු බෝලයට වැරෙන් පහරක් එල්ල කලා… හැඩයෙන් වෙනස් රග්බි බෝලය කරකැවෙමින් හිස් අවකාශය කපාගෙන ඇදීගියේ සාමාන්‍‍ය  හැඩැති ගෝලාකාර පන්දුවකට වඩා වෙනස් නමුත් අලංකාර රටාවක් මවමින්…

“තඩස්….!!!!!!!” මෙතෙක් වේලා කන්දෙක අගුළු වැටුණාක් මෙන් කිසිදු ශබ්දයක් නෑසෙමින් තිබූ ක්‍රීඩකයාට දකුණු ගෝල් කණුවේ පන්දුව වැදෙන හඬ ඉතා තියුණුව ඇසුනා… ඒ සමගම පන්දුව විසිවුයේ වම් පසටයි….

“ගෝල්……….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕයේ……………..!!!!!!!!!! ”

තම පිලේ ක්‍රීඩකයන් සියලු දෙනාම එකවර කෑගසමින් තමාදෙසට දිවගෙන අයුරු  ඔහු බොඳවූ නෙතින් බලාසිටින්නට වුණා…

ඒ තරගයේ අවසන් පන්දුවාරය බව කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාත් දැන සිටියා… අවසන් පසුපෙළ පිතිකරුවා අනෙක් පස තබාගෙන ඔහු මුහුණ දෙන මෙම පන්දුව තරගයේ ජයග්‍රාහි ලකුණු හතර ලබාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… හතරේ සීමාව සලකුණු කරමින් සිටුවා ඇති වියලුණු වැටමාර අත්තට බොහෝ ඈතින් පතිතවන ලෙස ඔහු හිසේ කෙස් ගණනට පහර එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නෙ මේ පන්දුවට ඔහු එල්ල කරන පහරේ සාර්ථකත්වය මතයි…  එහා ගමේ කොල්ලන් උදුරාගැනීමට සැරසෙන තම අභිමානය රැකදෙන තෙක් නියර අයිනේ බලාපොරොත්තු සහගතව බලාසිටින තම සගයන්ගේ මුහුණු දෙස ඔහු වරක් පමණක් හැරී බැලුවා…. නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ප්‍ර්තිවාදී පන්දු යවන්නා ඒ වන විටත් දිව එමින් සිටියා… තමාට හැකි උපරිම ශක්තියෙන් පිත්ත අල්ලා ගත් ඔහු පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙනවාත් සමගම පිතිකරු සීමාවෙන් අඩි කිහිපයක් ඉදිරියට පැන වම් පාදය පෙරට තබා පා ඉන්න දෙසින් එල්ල කරන ඔහුගේ ප්‍රියතම පහර එල්ල කලා….

“ටකස්….” පිත්ත හිස් සුළග කපාගෙන යද්දී පාදය හා පිත්ත අතරින් රිංගූ පන්දුව පිටුපස කඩුල්ලේ වැදෙන ශබ්දය ඔහුට තියුණුව ඇසුනා…

“පොලු……!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හේ……!!!!!!!!!!!!!!!!!”

ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් සියලු දෙනා එකවර කෑගසමින් තමා පසුකර පන්දු යවන්නා වෙත දිවයන අයුරු ඔහු බොඳ වූ නෙතින් බලා සිටින්නට වුණා…

 

~~~~~~~

“තව එකක් ගහමුද…? “

ප්‍රතිවාදී ක්‍රීඩයන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“ජේසුනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියේ නිවස බලා දිව යන තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ සපත්තු පොළවේ හැපෙන රිද්මයානුකූල හඬ ඈතට ඇසුණා… පදික වේදීකාවේ යම් ධාන්‍යවර්ගයක් කමින් සිටි පරවියන් රෑනක් ඔහුගේ කලබලයට බියවී ඉවතට පියාඹා ගියා… මගදී හමුවෙන පඩිපෙළ බසින්නට පවා පමානොවූ ඔහු අත් ඇන්ද දිගේ පහළට රූටාවිත් බිමට පැන නැවතත් දුවන්නට වුණා…  ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

“තව එකක් ගහමුද…?”

තම සගෙයෙක් අනෙක් පිලේ උන්ගෙන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“දෙයියනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් අනුමානයෙන් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියෙ නිවස බලා දිව යන කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ නිරුවත් දෙපා ඉරිතැළුණු පොළවේ වදින රිද්මයට කුඩා දූලි වළාවන් නැගෙන්නට වුණා… නියරේ බිත්තර රකිමින් සිටි කිරල ජෝඩුවක් ඔහුගේ කලබලයට බියවී කෑගසමින් ඉවතට පියාඹා ගියා… කුඹුර කෙළවරේ ඇති ඒදණ්ඩ වෙත දිවීමට පවා පමානොවූ ඔහු වියලුන  ඇලකන්ඩියේ පටු තැනකින් අනෙක් පසට පැන නැවතත් දුවන්නට වුණා… ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

~~~~~~

“අම්මේහ්….රිමෝට් එක දෙන්න…” හති දමමින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා…  ඒ පොදුරාජ්ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක නගරය නිවේදනය කරන මොහොතයි… කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී ගෝල්ඩ් කෝස්ට් හි ජීවත් වූ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා සිටියේ දෑගිලි බැදගෙන රූපවාහිනිය දෙස නෙත් යොමාගෙනයි…

“අම්මේහ්… කලේ දෙන්න…” හති දමමින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා… ඒ බීමට ජලය ලබාගැනීම සදහා කිලෝමීටර හතරක් පමණ දුරකින් වූ නල ළිද වෙත යෑමට දිනපතා ඔහු පිටත්වන මොහොතයි…කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී හම්බන්තොට ජීවත් වූ කලු කැරලි කොණ්ඩයක්  සහිත ගැටවරයා සිටියේ වතුර කලයකුත් ඔසවාගෙන ඇදිරි වැටෙන්නට පළමුව අලි මණ්ඩිය පසුකර ගැනීමේ අදහසින් පය ඉක්මන් කරමින්……

“දෙදාස් දහ අට සත්කාරක නගරය වන්නේ ගෝල්ඩ් කෝස්ට්…!!!”

සුදුජාතිකයා එසේ පවසද්දී තඹ කැරලි කොණ්ඩය සහිත ගැටවරයා ප්‍රීතියෙන් කෑගසමින් නිවසින් එළියට දිවගියේ තම නගරයේ සැණකෙළි සිරින් විනෝදවීමට නොබෝ වේලාවකින් එක්වන පිරිස සමග එකතු වීමටයි… මේ කිසිත් නොදන්නා කලු කොණ්ඩය සහිත ගැටවරයා වතුර කලයද ඔසවාගෙන තම නිවස වෙත ළඟා වෙමින් සිටියේ සවස පරාජයේ අඳුරු මතකය සිතින් මකාගැනීමට උත්සාහා කරමින්…

අපරාදෙ ඉස්සරහට පැනලා ගැහුවේ… තව බෝලයක් දෙකක් ඉඳලා ගැහුවනම් සමහරවිට ගහන්නත් තිබුණා… ඔහු තනිවම සිතන්නට වුණා…

18 comments :

  1. සත්කාරය කළ හැක්කා සහ නොහැක්කා අතර වෙනස.

    ReplyDelete
  2. මේක නම් මරු පොස්ට් එකක්..බොරු කියන්නෙ මොනවටද..කියවල ඉවරවෙන කොට නිකන් ඔළුවට හෙණයක් පාත් වුනා වගේ ඇඟ හිරි වැටිලා ගියා....

    ReplyDelete
  3. සමාන්තර ලෝක, ස්පෙල් බයින්ඩර්ස් මතක් වුනා. ස්ක්‍රීන් එක දෙකට බෙදලා පෙන්නන, විටෙක එකක් හයිලයිට් වෙන ෆිල්ම් එකක වගේ.

    උඹට හොඳට චිත්‍ර මවන්න පුළුවන්.

    ReplyDelete
  4. “ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

    හදිසියේම යමක් සිහිවූ සෙයින් තඹ කැරලි කොණ්ඩයක් සහිත තරුණයා ඇසුවා…

    තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික තම මෝටර් රථය වෙත දුවන්නට වුණා…විශ්ව විද්‍යල බුමියෙන් පිටත් වී අදි වේගී මාර්ගයට පිවිසි ඔහු මේ වසරේ පැවැත්වෙන දෙදාස් දහ අට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන නගරය දෙසට රිය පදවන්න උනා. මිලියන විස්සක් පමණ ජනගහනයක් සිටින විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් තිබෙන තම රටේ විශ්ව විද්‍යාලයකට ඔහු ඇතුළු උනේ රජයෙන් AUstudy ක්‍රමයට නොහොත් යම්කිසි දිනෙක රැකියාවක් කරන විට ගෙවීම පදනමට නයක් අරගනයි . අමතර මුදලක් සොයා ගැනීමට ක්‍රීඩා උළෙල පැවැත්වෙන බැවින් ඇති උණු රැකියා වලින් part time ජොබ් එකක් සොයා ගැනීමට ඔහුට හැකි උනා. තම රැකියාවට යන අතර ඔහු උද්දාමයට පත් උනේ තව නොබෝ දිනකින් තිබෙන ක්‍රීඩා උළෙල ගැන සිතමින්.

    “ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

    හදිසියේම යමක් සිහිවූ සෙයින් කළු කැරලි කොණ්ඩයක් සහිත තරුණයා ඇසුවා…

    තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා. කුඹුර කෙළවරේ ඇති ඒදණ්ඩ මතින් ගොඩ වී හානි හනිකට නගරය වෙත පිය මැන්නේ තව සවල්ප මොහොතකින් දෙදාස් දහ අට මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දේසපාලන රැස්වීමට සහබාගි වීමටියි . මිලියන විස්සක් පමණ ජනගහනයක් සිටින විශ්ව විද්‍යාල විස්සකටත් අඩු ප්‍රමාණයක් තිබෙන තම රටේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට ඔහුට නොහැකි උනා. රැකියාවක් නොමැතිව සිටින ඔහු මෙවර මැතිවරණයෙන් පසු ඇතිවෙන සබැ වෙනසකින් රැකියාවක් බලපොරෝතුවෙන් සිටිනවා. දේසපාලන රැස්වීමට යන අතර ඔහු උද්දාමයට පත් උනේ තව නොබෝ දිනකින් තිබෙන මැතිවරණ ගැන සිතමින්.

    ReplyDelete
  5. සමාන්තර ලෝක තිබුනත් නැතත් එක විදියෙ සිදුවීම් එක විදියෙ මිනිස්සුන්ට වෙන්න පුලුවන් . . . . එකම ලෝකය ඇතුලෙ . . .
    නියමයි බං

    ReplyDelete
  6. මේකේ නම වෙනස් කරහං "අකුරු" නෙවෙයි "අකුරු සිතුවම්" කියලා...

    ReplyDelete
  7. හැමදෙනාටම ස්තූතියි, ඉක්මනින් හැමදෙනාටම පිළිතුරු බඳින්න අදහස්කරගෙන ඉන්නවා... මේ කතාවේ රූප ගැන වැඩිපුරකතා වෙන නිසා මේ දේත් එකතුකරන්න හිතුනා...

    ඇත්තෙන්ම මේ කතාවේ තැන් කිහිපයක්ම මා කලකට පෙර නරඹා මතකයේ තැන්පත්ව තිබූ වීඩියෝපටයක රූපරාමු උදව්කරගෙන මා ගොඬනැගුවා...

    වැඩිදෙනෙකුගේ රසවින්දනය උදෙසා මට ඒ වීඩියෝව සොයාගත හැකිවුණා... 2022 ලෝක පාපන්දු තරගාවලියේ සත්කාරක රට නිවේදනය කිරීමට ප්‍රථම ඊට තරගකල එක් රටක් වන කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කල වීඩියෝවයි මේ...

    මෙය අඩංගු වූයේ චන්දවිමසීමට ප්‍රථම එක් එක් රටෙන් තම තමන්ගේ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කල අවස්තාවේ දීයි... අවසානයේ පෙන්වන මැදපෙරදිග ඒ කුඩා දරුවාගේ බලාපොරොත්තු කඩවීමට ආසන්න මුහුණ, තීරකයන්ගේ හදවතට කතාකරන අයුරින් ඉදිරිපත් කරන අයුරු අපූරුයි...

    මේ ඒ වීඩියෝවයි Let's Make History

    ReplyDelete
  8. දෙපැත්තකින් දෙවිදිහකට චිත්ත රූප මැවෙන විදිහට ලියල තියන එක නම් ඇත්තටම අගේ කරන්න ඕන!හැමොටම බැහැ නොවැ මේවා!

    ReplyDelete
  9. "අපරාදෙ ඉස්සරහට පැනලා ගැහුවේ… තව බෝලයක් දෙකක් ඉඳලා ගැහුවනම් සමහරවිට ගහන්නත් තිබුණා"

    හැබෑට ඔය ගියේ අන්තිම විකට් එකද ?
    ආයෙ ඉණිම ගොඩ නගන්න බැරිම වේවේද ?
    තවත් මැච් තියෙයිනෙ ඉස්සරහට.
    ඒ මැච් එකක්වත් දිනයි නේද කවද හරි

    ReplyDelete
  10. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරකත්වය අපේ රට අරගන්න යනවයි කියලා මම පහු ගිය දවස් වල ඇහුවා දැක්කා . කලු කොන්ඩේ තිබුනු හම්බන්තොට එකාට ඔවුවා ගැන ගානක් නෑ ඌට ඕන එද දවස ගෙවා ගන්න විතරයි . ලොකු වගකීමක් කර ගහන්න අපිට තාම හයිය හත්තිය නෑ තමයි

    කතාව වෙනදා වගේම සුන්දරයි ගින්දරයි

    ReplyDelete
  11. බටර් ගානවා කියලා මොහොතකට වත් හිතන්න එපා බීට්ල්.

    බ්ලොග් අවකාෂයේ නලිනිගේ ආර ට අභියෝග කරන්න පුලුවන් තව කෙනෙක් එන බව දැක්කම ඇත්තෙන්ම සතුටුයි . . .

    සඳරුයි බුද්දියි වෙනමම අපූරු ශෛලීන්ගෙන් ලියනවා . . .

    බින්දි සුජීව බුරා වෙනස් ම විදිහකින් සමාජ අධ්යනය අපිට ලබා දෙනවා . . .

    හරිම සතුටුයි බ්ලොග් අවකාශේයේ තත්වය ගැන හිතුවාම . .

    ReplyDelete
  12. මරු බං... ඔලුවට පොල්ලකිං ගැහුව වගේ... මෙච්චරවෙලා ඇහැරගෙන ස්ක්‍රීන්එක දිහා බලං උන්නට අර්ථයක් ලැබුනා.

    දැං ඕක ලංකාව දින්නනං මේ කතාවෙ ජයග්‍රාහකයො කොහොම වෙයිද?
    මං හිතන්නෙ දෙන්නම පරාද වෙයි....

    ReplyDelete
  13. නියමයි බීටලේ...! මම හිතන්නෙ උඔගේ හැම පෝස්ට් එකක්ම කියොපු සැනින් නැවත වතාවක් මට කියවන්න හිතිලා තියෙනවා.

    මේ ශෛලිය මරු. අතේ මඩ ගැවෙන්නැතුව මල් නෙලන්න උඹත් දන්නවා නියමෙට.

    අනික නියමෙට චිත්ත රූප මවන්නත් පුලුවන් වෙලා තියෙනවා. කාලෙට ගැලපෙන ලියමනක්. ඒ හින්දා වටිනාකම වැඩියි.

    අනිත් කාරණාව පෝස්ට් එකකට පස්සෙ ලියවෙන කමෙන්ට් වල "එළ, පට්ට" කියලා ලියවෙන්නැතුව මේ වගේ අදහස් ලියවෙන කමෙන්ට් ලබාගන්නත් ලේසියෙන් බෑ.

    "අපරාදෙ ඉස්සරහට පැනලා ගැහුවේ… තව බෝලයක් දෙකක් ඉඳලා ගැහුවනම් සමහරවිට ගහන්නත් තිබුණා… ඔහු තනිවම සිතන්නට වුණා…"

    මෙන්න හොඳම ටික.

    ReplyDelete
  14. බීටලයෝ මේක මං කියවපු සිරාම කතාවක්. ලියන්න හිතෙන වැල් වටාරම අද රෑට ලියන්නම්.

    පුංචි වෙනසක් කරපන්. කොල්ලෝ දෙන්නගේ කතා වල ටෙක්ස්ට් පාට දෙකකින් දාපන්. මට මුලින් ටපලුනා කොයි කෑල්ල කොයි එකාගේද කියා හොයා ගන්න බැරුව.

    තඹ කොල්ලගේ කතා තද තඹ පැහැයෙන්ම [බ්‍රොන්ස්] දැම්මොත් මොකද?

    ReplyDelete
  15. අඩේ එක මරු අදහස... ඔෆිසියෙ සඳමොල් වෙලා ඉන්නේ... ගෙදර ගියාම එහෙම කරන්නම් අද රෑට :) තෑන්කො සුජිව...

    ReplyDelete
  16. පෝස්ට් එක රස වින්දා, පාට දෙකකින් ඉදිරිපත් කිරීම පිළිබඳව සුජීව කොකාවල සමග එකඟ වෙනව.

    ReplyDelete
  17. සුපිරි ලියැවිල්ලක් මචන්....

    ReplyDelete
  18. සුපිරි ලියැවිල්ල

    ReplyDelete

Web Statistics